Sunday, May 12, 2024

අධික උණුසුම නිසා සිදු වන මරණ

Historical Notes - ඉතිහාස සටහන් 04
Climate Diary - දේශගුණ දිනපොත 05

ධනේෂ් විසුම්පෙරුම

2024-05-12

අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ කීපයක් පසුගිය දිනවල යාපනයෙන් වාර්තා වී තිබේ. මෙවැනි මරණ වරින්වර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතත්, කෙටි කාලයක් තුළ මරණ කීපයක් වාර්තා වීම එතරම් සුලබ නොවේ.

ගතවන 2024 වර්ෂයේ මේ දක්වා ගත වූ මාස කිහිපය අධික උෂ්ණත්වයක් සහිත අවුරුද්දකි. සමස්තයක් ලෙස  එය ලෝකයටම ‌පොදු වූ කරුණකි. එවැනි අධික උෂ්ණත්වයක් ඇතිවන තත්ත්වය හමුවේ අපේ රටේ ඇතැම් ප්‍රදේශ හා ප්‍රජාවගේ ඇතැම් කණ්ඩායම් (වැඩිහිටියන්, රෝගීන් හා කුඩා ළමුන්) වැඩි අවදානමකට ලක් විය හැකිය. මේ පිරිස් හා එළිමහනේ කටයුතු කරන පිරිස් විසින් ගත යුතු පියවර කාලගුණ විද්‍යා හා සෞඛ්‍ය අංශ දක්වා ඇත්තේ සැලකිය යුතු කලක සිටය. ඒ අධික උෂ්ණත්වය නිසා පුද්ගලයින්ට ඇති විය හැකි තාප ආඝාතය වැළැක්වීම පිණිසය.

අතීත වාර්තා


මේ තත්ත්වයට අතීතයේ දී ලක් වූ විදේශිකයන් ගැන ද වාර්තා වී ඇත. එසේ මියගිය සමහරුන්ගේ සුසාන ස්මාරක ද රටේ කිහිප ස්ථානයක හමුවේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුවේ පරණ ලන්දේසි බලකොටු භූමියේ කෙලවරක පිහිටා ඇති සුසානයි.

චාල්ස් ලේස්ගේ සුසානය (1878)


SACRED
TO THE
MEMORY OF
CHAELES LEYS
OF THE
ORIENTAL BANK CORPORATION
WHO DIED OF SUNSTROKE
AT
MARISIKADDI
ON THE 14TH APRIL, 1878
AGED 35 YEARS

මෙහි වැඩි විස්තර සඳහන් කරන ජේ.පී. ලුවිස්ට [1, පි. 249] අනුව, චාල්ස් ලේස් මරිච්චිකඩ්ඩි වෙත පැමිණ ඇත්තේ දඩයම් චාරිකාවකය. පෙර දින යාපනයේ සිට මරිච්චිකඩ්ඩියට ඔහු පැමිණ ඇත්තේ ද ආවරණයක් නොමැති යාත්‍රාවකය. එදින උදෑසන මරිච්චිකඩ්ඩි සිට සැතපුම් හතක් දුර ප්‍රදේශයක දඩයමේ ගොස් ඇති අතරතුර රෝගාතුර වූ බැවින් ආපසු පැමිණ තිබේ. එහෙත් ඔහු මරිච්චිකඩ්ඩි තානායමේ දී එදිනම සවස මියගිය අතර, අරිප්පුවට ගෙන ගිය සිරුර මරණ පරීක්ෂණයකින් පසු අරිප්පුවේ තානායම් භූමියේ කෙලවරක භූමදානය කර ඇත. එහි ‌මේ සුසානය ගොඩ නගා තිබේ (අරිප්පුවේ ඕලන්ද කොටුව පසුකලක තානායමක් ලෙස භාවිත කරන ලදි. තානායම් ගොඩනැගිල්ල ලෙස භාවිත කර ඇති කොටුවේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ හා අට්ටාලවල නටබුන් එහි ඇත.)

මේ හැර අධික උෂ්ණත්වය නිසා මියගිය බවට සුසාන පුවරුවල සඳහන් වන දෙදෙනෙක් පිළිබඳව ජේ. පී. ලුවිස් සිය List of inscriptions on tombstones and monuments in Ceylon කෘතියේ සඳහන් කරයි. ඒ අය මියගිය දින හා සුසාන පිහිටා ඇති ස්ථාන මෙසේය.

  1. ඇන්ඩෘ මැක්ගිල් (36) - මොහු තාප ආඝාතය නිසා අඹගමුවේ, රොසැල්ල වත්තේ දී මියගියේ 1873.11.13 දිනය (මහනුවර ගැරිසන් සුසාන භුමියේ පිහිටි සුසානයකි, ලුවිස්, පි.319)
  2. ඇලිස් මෝඩ් මේසි ස්වින්නර්ටන් (ළදැරියකි) - දැරියගේ සුසානයේ ඇති පාඨයක් මත ඇය තාප ආඝාතයෙන් මියගිය බව ලුවිස් පෙන්වා දෙයි. ඒ 1876 මාර්තු 7 දින දීය. (පුස්සැල්ලාවේ ශුද්ධ ත්‍රිත්ව සුසානභූමියේ ඇති සුසානයකි, ලුවිස් පි. 348)
මේ ගැන විමසනවිට පෙනී ගියේ 1876-78 කාලය මෙන්ම 1873 ද එල් නිනෝ තත්ත්වය පැවති වර්ෂයක් වූ බවයි. ඒ අතරින් 1876-78 කාලය ඉතා බරපතළ එල් නිනෝ තත්ත්වයක් පැවති බව මයික් ඩේවිස්ගේ කෘතියේ ක්වා තිබේ [2]. අනෙක් අතට පසුව සඳහන් මරණ දෙකම ඇති වී තිබෙන්‌නේ උණුසුම අඩු දේශගුණයක් ඇති කඳුකර ප්‍රදේශවලය.

අධික උෂ්ණත්වය නිසා සිදු වූ ඉහත මරණ අප දන්නේ සුසාන පුවරුවල ඒ පිළිබඳව සඳහන් වන නිසාය. එසේ සඳහන් නොවන, ඒත් අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරණ කෙතරම් සිදුවන්නට ඇත්දැයි අපි නොදනිමු. වඩා ශීත දේශගුණයකට හුරු විදේශිකන්ට මෙන්ම මෙරට වැසියන්ට ද කලින් කල ඇති වන ඒ අධික උෂ්ණ තත්ත්වයට දරාගැනීමට අපහසු වන්නට ඇත.

මූලාශ්‍රය 

[1] Lewis, J. P. (1913) List of inscriptions on tombstones and monuments in Ceylon, of historical or local interest, with an obituary of persons uncommemorated, Colombo: (Printed by) H. C. Cottle. (සබැඳිය - වෙබ් පිටුව, PDF ගොනුව (‌26MB))

[2] Davis, Mike (2001) Late Victorian holocausts: El Niño famines and the making of the third world, London, New York: Verso (සබැඳිය - ඇතැම් කොටස් සහිත වෙබ් පිටුව)

6 comments:

  1. ටිකක් අමුතු රිසර්ච් එකක්...මේ වගේ දෙයක් හොයන්න හිතුනු එක...රස්නේ වැඩිකම හින්දම හිතුනු දෙයක් වගේ.

    ReplyDelete
    Replies
    1. ටික දවසක් නිවිස් නොබලා නොකියවා ඉදලා ආවම තමයි යාපනේ සිදුවීම් දැක්කේ. එහෙමම අරිප්පුවේ සුසානය මතක් උනා.

      අරිප්පුවේ ඔය ලොකේෂන් එකට හතර වරක් ගිහින් තියනවා.

      සාමාන්‍යයෙන් යන එන තැන්වල දකින සුසාන කියවනවා මම. යම් පැත්තක යනවා නම් මම සඳහන් කර ඇති ලුවිස්ගේ පොත කියවල ඒ පැත්තෙ මොනව හෝ විශේෂ අයගේ සුසාන තියනවා ද කියලත් බලනවා. අනෙක් වැදගත් දේත් කියවල ඒවත් බලනවා.

      වෙලාවක ලුවිස්ගේ පොත බලන්න. සුසානවල තිබෙන තොරතුරු හා ලුවිස් දෙන පසුබිම් තොරතුරු ඉතිහාසයේ අප්‍රකට දේ පෙන්වනවා

      Delete
  2. සමාජීය මෙන්ම අධ්‍යාපනික වශයෙන් ද ඉතාමත් වටිනා ලිපියක්.

    ReplyDelete
  3. කලින් නොදැන සිටි තොරතුරක්. සොයා බලන්න වටින ක්ෂේත්‍රයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම! ස්තුතියි කමෙන්ටුවට.

      Delete