Wednesday, November 11, 2015

නූතන මානවයා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණු බවට චීනයෙන් ලැබුණු සාධක

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.10.2015 (Vidusara)

(Topic: Evidence from China for an early Out of Africa date)

http://www.vidusara.com/2015/10/28/feature2.html




නූතන මානවයා හෙවත් Homo sapiens මානවයා අප්‍රිකා මහාද්වීපයෙන් නික්‌මුණේ අදින් වසර 60,000ක පමණ කාලයකට (වඩා පුළුල් ලෙස ගත හොත් වසර 50,000ත් 75,000ත් අතර කාලයකට) පෙර බව වර්තමානයේ පුළුල් ව පිළිගැනෙන මතය වේ. නූතන මානවයා මිහිතලයේ ජනිත වූයේ අදින් වසර 100,000ත් 200,000ත් අතර කාලයකට පෙර සේ සැලකෙන බැවින් මේ මතය සත්‍ය වීමට වැඩි බරක්‌ තිබේ. මේ මතය 'මෑත දී අප්‍රිකාවෙන් නිකAමීමේ' කල්පිතය (recent Out of Africa hypothesis) ලෙස ද හැඳින්වේ.

මෙසේ පැමිණි මිනිසුන් ගෙන් අප්‍රිකා මහාද්වීපයෙන් පිටත ලෝකයේ වෙනත් ප්‍රදේශවල වර්තමානයේ වාසය කරන මිනිස්‌සු පැවත එති. මේ බව පුරාවිද්‍යාත්මක මෙන්ම ප්‍රවේණි විද්‍යාත්මක අධ්‍යයන තුළින් හෙළි වී ඇති කරුණකි. එහෙත් මෑතක දී චීනයේ ගල් ගුහාවකින් හමු වී ඇති මිනිස්‌ දත් සමූහයක්‌ යොදාගනිමින් නූතන මානවයා අප්‍රිකාවෙන් පිටතට පැමිණි දිනය හා ඉන් පසුව ඔහු ගේ ව්‍යාප්තිය සිදු වූ ආකාරය පිළිබඳව පෙර සඳහන් මත අභියෝගයකට ලක්‌ කරන්නට හැකි වැදගත් කරුණු රැසක්‌ අනාවරණය වී තිබේ.

පසුගිය දා Nature සඟරාවේ පළ වූ මේ අධ්‍යයනයට අනුව මෙතෙක්‌ විශ්වාස කළ කාලය වන වසර 60,000ක කාලයට පෙර දිනයක නූතන මිනිසුන් අප්‍රිකාවෙන් පිට ව ගොස්‌ ඇති බවත් ඔවුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට වඩා පෙර ආසියාව වෙත ළඟා වී ඇති බවටත් තොරතුරු ලැබේ. මේ අනුව අදින් වසර 80,000ක්‌ හෝ ඊටත් පෙර කාලයක දී නූතන මානවයන් දකුණු චීනයේ විසූ ව සිතිය හැකි ය. මේ දිනය අප්‍රිකාවෙන් මිනිසුන් පිට වූ දිනය සේ සැලකෙන දිනයට වඩා අවම වශයෙන් වසර 20,000ක්‌ පමණ ඈත දිනයකි. මේ හේතුවෙන් උක්‌ත පර්යේෂණයෙන් හෙළි වන කරුණු පසුගිය දශකයක කාලයේ දී ආසියාවෙන් මේ විෂයය සම්බන්ධව ලැබුණු වැදගත් ම සොයාගැනීමක්‌ සේ සැලකේ.

හුනුගල් ගුහාවකින් ලැබුණු මිනිස්‌ දත්

මේ මානව ෆොසිල සොයාගෙන ඇත්තේ දකුණු චීනයේ හුනාන් පළාතේ ඩාඕක්‌සියාන් (Daoxian) ප්‍රදේශයේ ඇති ෆුයාන් (Fuyan) නම් හුනුගල් ගුහාවකිනි. මෙය වර්ග කිලෝමීටර් 3ක්‌ පමණ ප්‍රදේශයක්‌ තරම් විහිද යන ගුහා පද්ධතියකි. මෙහි මෑත දී සිදු කරන ලද කැණීම්වලින් හමු ව ඇති ෆොසිල අතර මිනිස්‌ දත් 47ක්‌ පමණ තිබී ඇත.

මේ දත්වල රූපවිද්‍යාත්මක (morphological) ලක්‌ෂණ හා ප්‍රමාණය වැනි කරුණු අනුව ඒවා නූතන මානවයාට අයත් බව පෙනී ගොස්‌ තිබේ. මේ දත් ප්‍රමාණයෙන් වෙනත් මානවයන්ට වඩා කුඩා ය. දන්ත මූල සිහින් අතර, දන්ත මස්‌තකය පැතැලි ය. මේ සියලු ලක්‌ෂණ අනුව උක්‌ත ෆොසිල දත් කිසිදු සැකයක්‌ නොමැති ව නූතන මානවයා ගේ දත් හා සමාන ය.

මේ දත් සිර වී තුබුණේ ගුහාවේ කැල්සයිට්‌ පොළොව මත වන අතර ඒ නිසා ඒවා තදින් සිර වී තැන්පත් ව තිබිණි. එම දත් අදාළ කැල්සයිට්‌ ස්‌තරයට වඩා පැරැණි විය යුතු වේ. මේ මත තිබූ අවක්‌ෂේප හුනුගල් ටැඹ (stalagmite) යුරේනියම්-තෝරියම් කාලනිර්ණ සමස්‌ථානික මගින් කාල නිර්ණය කරන ලද අතර, ඒ අනුව ඒවා අදින් වසර 80,000ක්‌ පමණ පැරැණි බව අනාවරණය විය. එසේ නම් ඊට වඩා යටින් හමු වූ ෆොසිල දත් වසර 80,000කට වඩා පැරැණි විය යුතු බව පැහැදිලි ය. මේ පර්යේෂණයේ යෙදුණු විද්‍යාඥයන් පවසන පරිදි ඒවා උපරිම වශයෙන් වසර 120,000ක්‌ පමණ තරම් පැරැණි විය හැකි බව අනුමාන කළ හැකි ය. එසේ ම මේ දත් සමග හයිනාවන්, වඳ ව ගොස්‌ ඇති යෝධ පැන්ඩාවන් හා වෙනත් සත්ත්ව විශේෂ ගණනාවක ශේෂ හමු ව තිබේ. මේ සතුන් ජීවත් වී ඇත්තේ පශ්චාත් ප්ලයිස්‌ටොසීන යුගයේ වන අතර ඒ කාලය අදාළ කාලනිර්ණයෙන් ලැබුණු දින වකවානු හා සමගාමී වේ. මේ දත් අයත් මිනිසුන් එම ලෙනෙහි විසූ බවට සාධක සේ සැලකිය හැකි ගල් ආයුධ හමු නො වූ බැවින් විලෝපීයයන් මේ ශේෂ ගුහාවට ගෙන එන්නට ඇතැයි විශ්වාස කළ හැකි බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මිනිසා අප්‍රිකාවෙන් කලින් ම නික්‌මුණේ ද? දෙවරක්‌ පිට වූයේ ද?

මේ පර්යේෂණය පෙර ආසියාවෙන් ලැබී ඇති නූතන මානවයාට අයත් බවට නිශ්චිතව හඳුනාගෙන ඇති හා කාලනිර්ණය කර ඇති පැරැණි ම ෆොසිල සාධක අදින් වසර 45,000ක්‌ පමණ පැරැණි ඒවා ය. එම සාධක වසර 50,000 - 75,000 අතර කාලයකට පෙර මිනිසුන් අප්‍රිකාවෙන් පිටතට පැමිණියේ ය යන පුළුල් ව පිළිගැනෙන මතය හා සමගාමී වේ. ඉහත සඳහන් කළ පරිදි අද ජීවත් වන මිනිසුන් පැවත එන්නේ මේ මානවයන් ගෙන් ය යන්න පොදු පිළිගැනීම ය.

එහෙත් චීනයෙන් ලැබුණු මේ ෆොසිල සාධකවලින් පෙනෙන්නේ නූතන මානවයන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර සමයක අප්‍රිකාවෙන් පිටතට පැමිණි බවයි. මෙවැනි අදහසක්‌ ඉදිරිපත් වූ ප්‍රථම අවස්‌ථාව මෙය නො වේ. මීට පෙර සිදු කරන ලද පර්යේෂණවලින් ද මේ පිළිබඳ අදහස්‌ ඉදිරිපත් කර තිබේ. මීට පෙර අප්‍රිකාවට පිටත ප්‍රදේශවලින් ලැබී ඇති මෙවැනි ෆොසිල සාධක ද වර්තමාන මැදපෙරදිගට අයත් ලෙවන්ට්‌ ලෙස හඳුන්වනු ලබන ප්‍රදේශය (වර්තමාන සිරියාව, ලෙබනනය හා ජොර්දානය ඇතුළත් මධ්‍යධරණී මුහුදට නැෙගනහිරින් පිහිටි ප්‍රදේශය) වෙත නූතන මානවයන් අදින් වසර 125,000කට පමණ ඉහත දී ළඟා වී ඇති බවට සාධක තිබේ. නිදසුනක්‌ ලෙස ඊශ්‍රායලයේ ස්‌ඛූල් (Skhul) හා කෆ්සේ (Qafzeh) වැනි ගුහාවලින් ලැබෙන නූතන මානවයාට අදාළ සාධක වසර 100,000ක්‌ පමණ පැරැණි වේ. එහෙත් මේ මුල් අවස්‌ථාවේ දී අප්‍රිකාවෙන් පිටතට පැමිණි මානවයන් පසු ව ඈත ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට සාධක ලැබී නොමැති බැවින් ඔවුන් වඳ වී ගිය බවට සැක කරනු ලැබේ. ඒ නිසා මේ සංක්‍රමණය අසාර්ථක වූ බව මේ වන විට වැඩි පිළිගැනීමකට ලක්‌ ව ඇති මතය වේ.

එහෙත් චීනයෙන් ලැබුණු මේ නවතම සාධක අනුව පෙනෙන්නේ නූතන මිනිසුන් මෙතෙක්‌ විශ්වාස කළ කාලයට පෙර කාලයක දී අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාවේ ඈත ප්‍රදේශ කරාද ළඟා වූ බවකි. ඔවුන් වසර 80,000ත් 120,000ත් අතර කාලයක දී දකුණු චීනයේ වාසය කර තිබේ. එය මෙතෙක්‌ පිළිගත් දිනයට වඩා අවම වශයෙන් වසර 30,000ක්‌ පමණ ඈතට ගෙන යැමකි. මේ නව පර්යේෂණයෙන් අනාවරණය වන දත්ත අනුව මුල් සංක්‍රමණය හෝ සංක්‍රමණ අවස්‌ථා අසාර්ථක වූ අප්‍රිකාවෙන් පිට ව ගිය අවස්‌ථා නො වේ. මෙය දකුණුදිග මාර්ගයක්‌ ඔස්‌සේ මිනිසුන් කලකට පෙර ආසියාව දෙසට සංක්‍රමණය වූ බවට ඇති මතය හා ගැලපෙන්නකි. මේ අනුව පෙනෙන කරුණක්‌ වන්නේ නූතන මානවයා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ඇත යන අදහස තවදුරටත් තහවුරු වන බවයි. පැවැති පාරිසරික තත්ත්ව අනුව මෙවැනි පිට ව යැම් එකකට වඩා සිදු වන්නට බොහෝ සේ අවස්‌ථාව තිබේ. එසේ ම මේ මුල් සංක්‍රමණවලින් පැවත ආ මිනිසුන් පසුකාලීනව සිදු වූ පුළුල් ව පිළිගැනෙන සංක්‍රමණයෙන් හා වෙනත් සංක්‍රමණවලින් පැමිණි මිනිසුන් සමඟ මිශ්‍ර වන්නට ද යම් අවස්‌ථාවක්‌ තිබේ. මේ වන විට ඇති සාධක අනුව වර්තමාන නැෙගනහිර ආසියානුවන් පැවත එන්නේ බටහිර ආසියාවේ දී නියෑන්ඩර්තාල් මිනිසුන් ද සමග මිශ්‍ර වූ නූතන මානවයන් ගෙනි. මේ අනුව පසුව පැමිණි මිනිසුන් නිසා ඉහත කී මුල් සංක්‍රමණිකයන් වඳ වී යන්නට ඇති බවක්‌ ද පෙනේ. ඔවුන් ගේ ප්‍රවේණික දායකත්වය හඳුනාගැනීම අපහසු වී ඇත්තේ එවැන්නක්‌ සිදු වූයේ නම් එය සිදු ව ඇත්තේ බොහෝ ඈත කාලයක විය හැකි නිසා ය. කෙසේ වෙතත්, නූතන මිනිසුන් පැවත එන්නේ පෙර සඳහන් පරිදි වසර 50,000ත් 75,000ත් අතර කාලයක සිදු වූ මෑත දී අප්‍රිකාවෙන් නික්‌මුණු මානවයන් ගෙන් ය යන මතය බැහැර කළ නොහැක්‌කේ ප්‍රවේණික සාධක ඒ සඳහා ශක්‌තිමත් සාක්‌ෂියක්‌ සපයන බැවිනි.

යුරෝපයට යැම පමා වූයේ ඇයි?

කෙසේ වෙතත් මෙහි දී ඇති වන තවත් ගැටලුවක්‌ වන්නේ චීනයට වසර 80,000ක්‌ හෝ ඊට පෙර ළඟා වූ නූතන මිනිසුන් යුරෝපයට ළඟා වූයේ ඊට වඩා බොහෝ මෑත කාලයක දී වීමයි. මේ වන විට ලැබී ඇති සාධක අනුව නූතන මානවයන් පිළිබඳ සාධක යුරෝපයෙන් ලැබෙන්නේ අදින් වසර 45,000ක්‌ පමණ කාලයකට ඉහත දී ය. එසේ නම් චීනයට මිනිසුන් ළඟා වූ සංක්‍රමණ අවස්‌ථාවේ දී, ඔවුන් පෙරදිගට පමණක්‌ පැමිණියේ ඇයි ද යන ගැටලුව මෙහි දී ඇති වේ.

මීට හේතුව ලෙස යම් තර්කානුකූල අදහසක්‌ උක්‌ත පර්යේෂකයන් ඉදිරිපත් කර තිබේ. ඒ කාලය වන විට යුරෝපයේ පදිංචි ව සිටි නියෑන්ඩර්තාල් මානවයන් ගෙන් එල්ල වූ තරගය මේ සඳහා හේතු වන්නට ඇත. මේ තරගය යනු හුදෙක්‌ මේ දෙපිරිස අතර ඇති වූ ගැටුමක්‌ ම නො ව, පරිසරයේ ඇති සම්පත් භාවිත කරන්නට ඇති දක්‌ෂතාව නිසා ඇති වූ තරගයකි. නියෑන්ඩර්තාල් මානවයන් ඒ වන විට යුරෝපා පරිසරයට මනාව හැඩගැසී සිටින්නට ඇති බවත්, නිවර්තන කලාපීය පරිසරයකින් පැමිණි නූතන මානවයා ගේ අතීත නෑදෑයන්ට නියෑන්ඩර්තාල් මානවයන් හා තරග කරන්නට අපහසු වූ බවත් සිතිය හැකි ය. එසේ ම යුරෝපයේ පැවැති ශීත දේශගුණික තත්ත්වයට මේ නූතන මානවයන් එතරම් නො ගැළපෙන්නට ඇත. මේ නිසා නියෑන්ඩර්තාල් මානවයන් ගේ ගහනය අඩු වන තෙක්‌ ම නූතන මිනිසුන්ට බටහිර ප්‍රදේශ වෙත සංක්‍රමණය වීම අසීරු වන්නට ඇත. නියෑන්ඩර්තාල් මානවයන් ගේ ප්‍රවේණික ගැටලු නිසා ඔවුන් ගේ ගහනය අඩු ව ගිය කාලයේ දී නූතන මිනිසුන් යුරෝපයේ ස්‌ථාවර වූ බව පැහැදිලි ය.

මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature15696

http://www.vidusara.com/2015/10/28/feature2.html

No comments:

Post a Comment