Tuesday, November 6, 2018

චීනයේ අපද්‍රව්‍ය ආනයන තහනම නිසා ලෝකය වෙනස්‌ වන හැටි

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 31.10.2018, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2018/10/31/feature1.html


පසුගිය වර්ෂයේ දී චීන රජය එරටට ආනයනය කරනු ලබන ඇතැම් පසුභාවිත අපද්‍රව්‍ය වර්ග ආනයනය කිරීම තහනම් කිරීමට තීරණය කළේ ය. 1980 දශකයේ පමණ සිට චීනය ප්ලාස්‌ටික්‌ ඇතුළු ද්විතීයික අමුද්‍රව්‍ය හෙවත් භාවිත කරන ලද ද්‍රව්‍ය ආනයනය කිරීමේ යෙදී සිටියේ ය. ඒවා යොදාගන්නා ලද්දේ ප්‍රතිචක්‍රීකරණය මඟින් විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ලෙස භාවිත කළ හැකි දේ ලබාගැනීම සඳහා ය. එමඟින් සම්පත් ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය ආනයනය කරන රටවල් අතර මුල් තැන චීනයට හිමි විය. සංඛ්‍යාලේඛන ආශ්‍රිත ව දක්‌වන්නේ නම්, 1992 වර්ෂයේ සිට 2016 දක්‌වා ගත වූ කාලයේ දී ලෝකයේ එක්‌ රටකින් තවත් රටකට අපනයනය කරන ලද ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරන් 45%ක්‌ පමණ ආනයනය කර ඇත්තේ චීනයයි.

කෙසේ වෙතත් 2017 වර්ෂයේ දී චීන රජය තීරණය කළේ කාර්මික නො වන අපද්‍රව්‍ය වර්ග ගණනාවක්‌ ආනයනය කිරීම සම්පූර්ණයෙන් තහනම් කිරීමට ය. පාරිසරික හේතු සඳහන් කරමින් ප්‍රකාශයට පත් කරන ලද මේ තහනම අදාළ වූයේ විවිධ ද්‍රව්‍ය 24ක්‌ වැනි ප්‍රමාණයක ය. ඊට ප්ලාස්‌ටික්‌ කාණ්‌ඩ කිහිපයක්‌ හා කඩදාසි වැනි වර්ග ගණනාවක්‌ අයත් විය. එය ක්‍රියාත්මක වූයේ පසුගිය වර්ෂයේ දෙසැම්බර් 31 පමණ පටන් ය. කෙසේ වෙතත් ඇතැම් වාර්තාවකට අනුව චීනයේ අරමුණ වන්නේ එරට තුළ නිපදවෙන අපද්‍රව්‍ය එරට තුළ ම භාවිත කිරීම ය. එසේ ම එය ආරක්‌ෂණවාදී පියවරක්‌ ලෙස හඳුන්වා දී තිබෙයි.

යළිත් 2018 වර්ෂයේ අප්‍රේල් මාසයේ පමණ ඝන අපද්‍රව්‍ය ලෙස සඳහන් කරන අපද්‍රව්‍ය වර්ග 32ක්‌ ආනයනය කිරීම තහනම් කළේ ය. මේ යටතේ වර්ග 16ක්‌ පමණ මේ වර්ෂයේ දෙසැම්බර් 31 දින සිට ද, තවත් වර්ග 16 ක්‌ 2019 දෙසැම්බර් අග භාගයේ පමණ සිට ද එරටට ආනයනය කිරීම තහනම් කරනු ලැබෙනු ඇත. මේ වර්ග අතරට ප්ලාස්‌ටික්‌ වර්ග කිහිපයක්‌ පමණක්‌ නො ව දැවමය ද්‍රව්‍ය හා ලෝහමය අපද්‍රව්‍ය ද ඇතුළත් වේ.

මේ පිළිබඳ ව ලෝකයේ අවධානය යොමු වූයේ මෙසේ චීනය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ආනයනය සීමා කිරීමත් ඒ හා සමඟ ලෝකයේ එකතු වන අපද්‍රව්‍යවලට කුමක්‌ සිදු වන්නේ ද යන ප්‍රශ්නය නිසා ය.

ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය


ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය කිරීම මෑත කාලයේ ඉතා වේගයෙන් වර්ධනය වූවකි. නිදසුනක්‌ ලෙස ගත හොත් 1950 වර්ෂයේ දී ටොන් මිලියන 2ක්‌ පමණක්‌ වූ සමස්‌ත ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය 2015 වර්ෂය වන විට ටොන් මිලියන 322ක්‌ පමණ දක්‌වා ඉහළ ගොස්‌ ඇත. ප්ලාස්‌ටික්‌වල දැකිය හැකි විවිධ භාවිත කිරීම් නිසා එය අද දවසේ ලෝකයට අත්‍යවශ්‍ය දෙයක්‌ බවට පත් ව ඇත. එසේ ම ලෝකයේ ප්ලාස්‌ටික්‌ අතරින් 40%ක්‌ පමණ භාවිත කරනු ලබන්නේ ආවරණ හෙවත් පැකේජින් ද්‍රව්‍ය ලෙස වීම මෙහි ඇති වැදගත්කම මෙන් ම ඉවත දමන ප්‍රමාණය ද පෙන්වයි. එසේ ම එක්‌ වරක්‌ පමණක්‌ භාවිතයට ගැනීමෙන් පසුව ඉවත ලන ප්ලාස්‌ටික්‌ ප්‍රමාණය අධික වීම නිසා එය අපද්‍රව්‍ය ජනනයට හේතු වී ඇත.

ලෝකයේ රටවල් ගණනාවක්‌ මේ ගැටලුවට මුහුණ දී සිටියි. ඒ සඳහා බොහෝ රටවල් ගත් පියවරක්‌ වූයේ තම රටේ ජනනය වන අපද්‍රව්‍ය වෙනත් රටකට අපනයනය කිරීම ය. ප්ලාස්‌ටික්‌ හා සෙසු අපද්‍රව්‍ය අපනයනය කරන රටවල් අතර මුලින් ම පසු වන්නේ ඉහළ ආදායම් ලබන රටවල් ය. එසේ මෙවැනි ද්‍රව්‍ය ආනයනය කරන්නේ දිළිඳු රටවල් වීම වැදගත් ය. එම රටවල දී එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කර යළිත් භාවිතයට ගත හැකි දේ ලබාගැනෙයි. එම ක්‍රියාවලිය රැකියා අවස්‌ථා ජනනය කර ආර්ථික වශයෙන් ඵලදායී වී ඇති නමුත් ඒ නිසා ඇතැම් රටක මානව සෞඛ්‍යයට හා පරිසරයට බලපෑම් සිදු කර ඇත.

දැන් චීනය ගෙන ඇති පියවර හේතුවෙන් මෙහි කිසියම් ආකාරයක අර්බුදයක්‌ ඇති කර තිබෙයි. එක්‌ ගණනය කිරීමකට අනුව, චීනය ක්‍රියාත්මක කර ඇති තහනම නිසා 2030 වර්ෂය වන විට ප්ලාස්‌ටික්‌ ටොන් මිලියන 111ක්‌ පමණ ප්‍රමාණයකට සිදු වන්නේ කුමක්‌ ද යන ගැටලුව ඇති වේ. එතෙක්‌ කල් නො ගිය ද, තම රටවල ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍යවලට සිදු කරන්නේ කුමක්‌ ද යන්න සිතා බැලීමට රටවල් ගණනාවකට මේ වන විට ද සිදු වී ඇත. විශේෂයෙන් 2018 ජනවාරි මස එම තහනම ක්‍රියාත්මක වීමත් සමඟ තත්ත්වය කෙතරම් බරපතළ වූවක්‌ ද යන්න පැහැදිලි වී ඇත.

චීනයේ තීරණයෙන් ඇති වූ බලපෑම


පළමු ව සිදුව ඇත්තේ අපද්‍රව්‍ය එකතු කරන ස්‌ථාන අපද්‍රව්‍යවලින් පිරී යැමට පටන්ගැනීම ය. එම රටවල මෙවැනි දේ ප්‍රතිචක්‍රීකරණය කිරීම සිදු වන නමුත්, අපනයනය කිරීම නැවතීම නිසා ඒ රටවල ප්‍රතිචක්‍රීකරණ ධාරිතාව ඉක්‌මවා යැම ඉක්‌මනින් වාර්තා විය.

පසුගිය දා වාර්තා වූ පරිදි ජපානයේ ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ද්‍රව්‍ය එකතු වීම ගැටලුවක්‌ වී ඇත. ජපානයේ එකතු වන ටොන් මිලයන 1.5ක්‌ පමණ වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අතරින් අඩක්‌ පමණ එරටින් වෙනත් රටවලට අපනයනය කර ඇත. දැන් මේ ප්‍රමාණය රට තුළ එකතු වීමෙන් ප්‍රශ්න මතු වී ඇත. එරට පළාත් පාලන ආයතන අතරින් රැසක්‌ ම මේ ප්ලාස්‌ටික්‌ බැහැර කිරීම සඳහා ස්‌ථාන නොමැති වීමේ ගැටලුවට මුහුණ පා ඇත. එරට ප්‍රතිචක්‍රීකරණයේ යෙදෙන ආයතනවල ධාරිතාව ඉක්‌මවා ලීම මේ ගැටලුවට හේතුව වී ඇත. මේ වන විට ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය සැකසුම් කටයුතු දේශීය ව සිදු කිරීමේ හැකියාව දියුණු කිරීමට එරට අපේක්‌ෂා කරයි.

මේ නව තත්ත්වය හමුවේ රටවල් කිහිපයක්‌ කඩිනම් සැලසුම් දියත් කර ඇත. මේ වර්ෂයේ ජනවාරි මස බ්‍රිතාන්‍යයේ අගමැතිනිය පවසා තිබුණේ වසර 25ක්‌ ඇතුළත වැළැක්‌විය හැකි අපද්‍රව්‍ය නැවැත්වීම සඳහා පියවර ගන්නා බවයි. එරට තුළ ජනනය වන ප්‍රතිචක්‍රීකරණය කළ හැකි අපද්‍රව්‍ය අතරෙන් තුනෙන් දෙකක්‌ පමණ බ්‍රිතාන්‍යය අපනයනය කළේ ය.

යුරෝපා සංගමය ද වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන තහනම් කිරීමේ යෝජනාවක්‌ පසුගිය මැයි මාසයේ පමණ ද ප්‍රකාශයට පත් කරන ලදි. එයට අනුව විකල්ප ලෙස භාවිත කළ හැකි ද්‍රව්‍ය ඇති අවස්‌ථාවල දී වරක්‌ පමණක්‌ භාවිත කරන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන භාවිතය තහනම් කිරීමට හා එසේ නොමැති අවස්‌ථාවල දී භාවිතය සීමා කිරීමට ද යෝජනා කර ඇත. කෙසේ වෙතත් අදාළ ක්‍රමවේදය තුළ මේ යෝජනාව සම්මත ව නීතියක්‌ බවට පත් වන්නට වසර කිහිපයක කාලයක්‌ ගත විය හැකි ය. පසුගිය සතියේ එම යෝජනාව යුරෝපා පාර්ලිමේන්තුවේ දී සම්මත විය. එසේ ම ඊට පෙර යුරෝපා සංගමය මඟින් ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණය ප්‍රවර්ධනය සඳහා උපායමාර්ගයක්‌ ද දියත් කරන ලදි.

මේ තහනම පිළිබඳ ව අදහස්‌ පළ කළ ඇමෙරිකාව චීනයෙන් ඉල්ලා තිබුණේ එය නැවත සලකා බලන මෙන් ය. ඒ මේ වර්ෂයේ මුල් භාගයේ ය. එය ඇමෙරිකාව හා චීනය අතර වෙළෙඳ යුද්ධයක්‌ බවට ද පත්වෙමින් තිබූ බවක්‌ දැකිය හැකි විය.

විසඳුමක්‌ සොයා


මේ සඳහා විසඳුම් ලෙස වෙනත් රටවලට එම ද්‍රව්‍ය අපනයනය කිරීම දක්‌වා ඇතත්, තවත් රටවල් චීනය ගත් පියවර හා සමාන පියවර ගැනීම පිළිබඳව ද අසන්නට ලැබෙයි. ප්ලාස්‌ටික්‌ හා වෙනත් ඝන අපදව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා ආනයනය කරන තවත් රටවල ද මේ හා සමාන ගැටලු තිබෙයි. මේ මාසය මුල ද මලයාසියාව ද මෙවැනි අපද්‍රව්‍ය ආනයනය සඳහා මාස තුනක තහනමක්‌ පනවා ඇත. මලයාසියාව ලෝකයේ දියුණු රටවල ප්ලාස්‌ටික්‌ කසළ බඳුන වීමට අපේක්‌ෂා නො කරන බව එරට විද්‍යා, තාක්‌ෂණ, පරිසර හා දේශගුණ වෙනස්‌වීම පිළිබඳ අමාත්‍යවරයා පවසා තිබෙයි. වියට්‌නාමය ද තාවකාලික ආනයන තහනමක්‌ පනවා ඇති බවක්‌ වාර්තා වෙයි. තායිලන්තය 2021 වර්ෂයේ සිට ආනයන තහනම් කිරීම සඳහා පියවර ගන්නා බවක්‌ සඳහන් කර ඇත. මේ රටවල් තුනේ සීමා කිරීම වඩාත් බලපානු ඇත්තේ එම රටවලට සිය ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය අපනයනය කරන ඇමෙරිකාවට ය.

අනෙක්‌ අතට මේ ප්‍රතිචක්‍රීකරණය ක්‍රියාවලියෙහි යෙදෙන ඇතැම් රටවල එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා අවශ්‍ය ආරක්‌ෂිත තත්ත්ව නොමැති විය හැකි ය. එය එම රටවල ජනතාවගේ සෞඛ්‍යය පිළිබඳ ව ගැටලු ඇති කරන්නකි.

මෑතක ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙන්වා ඇත්තේ මේ තත්ත්වය අනුව ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ද්‍රව්‍ය සම්බන්ධයෙන් එම ප්‍රමාණය අඩු කිරීම සඳහා අවශ්‍ය අදහස්‌ හා ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බව ය. මෙහි දී අපද්‍රව්‍ය ප්‍රමාණය අවම වන ලෙස ඇතැම් ද්‍රව්‍ය නැවත සකස්‌ කිරීම වැනි පියවර අවශ්‍ය විය හැකි ය.

අවසානයේ දී පෙනෙන්නේ චීනයේ ඉහත කී අපද්‍රව්‍ය ආනයන සීමා කිරීම ලෝකයට යම් කිසි ආකාරයකින් වෙස්‌වලාගත් ආශිර්වාදයක්‌ වී ඇති බවයි. එයට හේතුව ඒ නිසා ප්‍රතිචක්‍රීකරණය මෙන් ම සබුද්ධික ආකාරයෙන් ප්ලාස්‌ටික්‌ හා සෙසු ද්‍රව්‍ය භාවිතය වේගවත් වීමට අවස්‌ථාවක්‌ සැලසීම ය. මෙය ප්ලාස්‌ටික්‌ පරිසර දූෂණය පිළිබඳ සෙසු බලපෑම් සමඟ ගත් විට සාධනීය ප්‍රතිඵල අත්පත් කරමින් ඇති බව පෙනේ.

http://www.vidusara.com/2018/10/31/feature1.html

No comments:

Post a Comment