Sunday, November 25, 2018

කොකෝවා භාවිතයෙන් චොකලට්‌ නිපදවීමට සිතුවාට වඩා අතීතයක්‌ ඇත

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 14.11.2018, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2018/11/14/feature1.html




චොකලට්‌ යනු ලොකු කුඩා බොහෝ දෙනා කැමත්තක්‌ දක්‌වන රසකැවිල්ලකි. වැඩි වශයෙන් කුඩා දරුවන් අතර ජනප්‍රිය වුව ද චොකලට්‌ සඳහා වැඩිහිටියන් අතර ද ඉල්ලුමක්‌ ඇත. අද වන විට ලෝකයේ ආහාර නිෂ්පාදන කර්මාන්තය තුළ චොකලට්‌ කර්මාන්තය සැලකිය යුතු වැදගත්කමක්‌ ගනියි. එය වාර්ෂික ව ඩොලර් බිලියන දෙකක පමණ වටිනාකමක්‌ ඇති කර්මාන්තයකි. ලොව ප්‍රකට සමාගම් ගණනාවක්‌ චොකලට්‌ කර්මාන්තයේ ආයෝජනය කර ඇත. අද වන විට ලෝක චොකලට්‌ නිෂ්පාදනයේ 3%ක පමණ වාර්ෂික වර්ධනයක්‌ ද දැකිය හැකි ය.

චොකලට්‌ නිෂ්පාදනය කරනු ලබන්නේ කොකෝවා හෙවත් Theobroma cacao ශාකයේ බීජ යොදාගනිමිනි. මේ ශාකයේ නිජබිම ලෙස දිගු කාලයක සිට පිළිගැනුණේ මෙක්‌සිකෝව හා මධ්‍යම ඇමෙරිකානු කලාපයයි. එහෙත් අද වන විට ලෝකයේ කොකෝවා නිෂ්පාදනයෙන් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයක්‌ සිදු කරනු ලබන්නේ අප්‍රිකානු රටවල ය. ලෝකයේ සමස්‌ත කොකෝවා නිෂ්පාදනය වන ටොන් මිලියන 4.585ක ප්‍රමාණයෙන් ටොන් මිලියන 3.0කට අධික ප්‍රමාණයක්‌ නිපදවනු ලබන්නේ අප්‍රිකානු රටවල ය. වඩාත් නිශ්චිත ව පවසන්නේ නම් සමකයට ආසන්න ව පිහිටා ඇති බටහිර අප්‍රිකානු රටවල ය. එසේ ම කොකෝවා වගාව වාර්ෂික ව ලෝකයේ ව්‍යාප්ත වෙමින් ඇති වගාවකි. 1974ත් 2013ත් අතර කාලයේ දී ලෝකයේ කොකෝවා නිෂ්පාදනය තෙගුණයක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

කොකෝවා ශාකයේ අතීත භාවිතය පිළිබඳ පිළිගත් මතය අනුව කොකෝවා ශාකය ගෘහාශ්‍රිතකරණය කිරීම සිදු වූයේ මෙක්‌සිකෝව ඇතුළුව මධ්‍යම ඇමෙරිකාවේ දී ය. අදින් වර්ෂ 3900කට පමණ පෙර කාලයක දී කොකෝවා භාවිත කළ බවට එම ප්‍රදේශයෙන් සාධක ලැබී ඇත. ඒ අනුව මිනිසුන් කොකෝවා ශාකය ආහාර සඳහා යොදාගැනීම හා වගා කිරීම සිදු කර ඇත්තේ ඒ කාලයේ පටන් බව සැලකේ. මිනිසුන් කොකෝවා බීජ වියළා අඹරාගෙන විවිධ පාන වර්ග ගණනාවක්‌ සකස්‌ කරගත් බවට සාධක තිබෙයි. වෙනත් සුවඳකාරක ද්‍ර්‍රව්‍ය ඊට එකතු කිරීමෙන් උත්සව හා චාරිත්‍රානුකූල උත්සව අවස්‌ථාවල දී පාන සාදාගෙන ඇත. ඒවා සකස්‌ කිරීම, පිළිගැන්වීම හා ගබඩා කිරීම සඳහා යොදාගත් විවිධ බඳුන් වර්ග රැසක්‌ හමු වී ඇති සාධක අතර වෙයි. යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණෙන අවස්‌ථාව වන විට කොකෝවාවලින් සාදාගන්නා චොකලට්‌ එරට ප්‍රභූවරුන්ගේ ජනප්‍රිය පානයක්‌ වූ බව වාර්තාවල සඳහන් වෙයි. එක්‌ වාර්තාවක සඳහන් වන ආකාරයට ඇස්‌ටෙක්‌ අධිරාජ්‍යයකු වන දෙවැනි මොක්‌ටෙසුමා රජු රනින් කළ බඳුනකින් චොකලට්‌ පානය කර තිබෙයි. එසේ ම කොකෝවා ඇටවලින් තැනූ චොකලට්‌මය පානය මෙන්ම, එහි පලතුරුමය කොටස්‌ යොදාගනිමින් වෙනත් පාන වර්ග ද සකස්‌ කර තිබූ බවට සාධක ලැබී ඇත.

මේ හැරුණු විට කොකෝවා බීජ මධ්‍යම ඇමෙරිකාවේ මුදල් වශයෙන් ද භාවිත කර තිබෙයි. එය ප්‍රධාන වෙළෙඳ ද්‍රව්‍යයක්‌ වූ අතර, යටත් පාලකයන් සිය අවනත බව පෙන්වීම සඳහා කප්පම් ගෙවීම් සඳහා ද යොදාගෙන ඇත. එසේ ම එම කලාපයේ ශිෂ්ටාචාරවල දැකිය හැකි මිථ්‍යා කතාවල ද කොකෝවා නිරූපණය වෙයි. කොකෝවා පිළිබඳව සාධකයක්‌ ලෙස මෙතෙක්‌ කාලයක්‌ එවැනි පුරාවස්‌තු පිළිබඳව අවධානය යොමු කිරීමට සිදු ව ඇත්තේ තෙත් දේශගුණයක්‌ පවත්නා එම කලාපයේ ශාකමය ද්‍රව්‍ය දිරාපත් නො වී පවතින්නේ ඉතා අඩු වශයෙන් නිසා ය.





ඇමෙරිකාවට පැමිණි යුරෝපීයයන් කොකෝවා හඳුනාගත් පසුව ස්‌පාඤ්ඤ ජාතිකයන් විසින් යුරෝපයට චොකලට්‌ හඳුන්වා දෙන ලදි. 17 වැනි සියවස මැදභාගය පමණ වන විට එය යුරෝපයේ බෙහෙවින් ජනප්‍රිය පානයක්‌ විය. ඒ සඳහා තිබූ වැදගත්කම කෙතෙක්‌ ද යන්න කොකෝවා ශාකය හඳුන්වන උද්භිද විද්‍යාත්මක නාමය වන Theobroma යන ගණ නාමයෙහි ග්‍රීක භාෂා අර්ථය 'දෙවියන්ගේ ආහාරය' වීමෙන් පෙනෙයි. සිය යටත්විජිතවල කොකෝවා වගා කිරීම සඳහා යුරෝපීයයන් උනන්දු වූ අතර, ආසියානු හා අප්‍රිකානු රටවල මෙන්ම බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල වගා කිරීම සඳහා කොකෝවා ශාකය හඳුන්වා දෙන ලද්දේ මූලික වශයෙන් යුරෝපා ජාතිකයන් විසිනි.


ගෘහාශ්‍රිතකරණයේ දින වකවානු අලුත් වෙයි


කොකෝවා ගෘහාශ්‍රිතකරණය පිළිබඳ ව ඇති පැරැණි ම සාධක ලෙස මෙතෙක්‌ විශ්වාස කරන ලද්දේ ඉහත දැක්‌වූ අදින් වසර 3900ක්‌ පමණ වන දින වකවානුවයි. එහෙත් පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඊට වඩා වසර 1500ක්‌ පමණ ඉහත කාලයට පෙර කොකෝවා ශාක ගෘහාශ්‍රිතකරණය හා භාවිතය කර ඇති බව හෙළි වී ඇත. එසේ ම මෙතෙක්‌ විශ්වාස කළ ආකාරයට එය සිදු ව ඇත්තේ මධ්‍යම ඇමෙරිකාවේ නො ව දකුණු ඇමෙරිකාවේ ය.

මෙම නව දින වකවානු ලබා දී ඇති පර්යේෂණය සඳහා මූලික පදනම වී ඇත්තේ කොකෝවා ශාකයේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳව අනාවරණය වූ කරුණු බව පෙනෙයි. එම ශාකයේ ප්‍රවේණික ද්‍රව්‍ය පිළිබඳ අධ්‍යයනවලින් හෙළි වූ කරුණු අනුව කොකෝවා ශාකයේ හා එයට නෑකම් දක්‌වන ශාක විශේෂවල විවිධත්වය අධික ම ප්‍රදේශය වූයේ සමකාසන්න දකුණු ඇමෙරිකාව ය. එසේ ම එම ශාකය එම ප්‍රදේශයේ වෙසෙන වර්තමාන ස්‌වදේශික ජනතාව සඳහා ද වැදගත් ශාකයක්‌ විය. ඒ එමගින් ලැබෙන ප්‍රයෝජන නිසා ය. මේ නිසා එම ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක ස්‌ථානයකින් කොකෝවා ශාකය භාවිතය පිළිබඳ සාධක තිබේ ද යන්න නව අධ්‍යයනය සිදු කළ පර්යේෂකයන් විසින් සොයා බලන ලදි.

මෙහි දී හෙළි වී ඇති ආකාරයට ඇමසන් ද්‍රෝණියේ ඉහළ කොටස්‌වල හෙවත් ඇන්ඩීස්‌ කඳුකරය පාමුල ගිනිකොනදිග ඉක්‌වදෝරයේ අදින් වර්ෂ 5300කට පෙර විසූ මිනිසුන් කොකෝවා අස්‌වනු නෙළාගෙන ඒවා මිනිසුන්ගේ පරිභෝජනය සඳහා යොදාගෙන ඇත. එම කොකෝවා ශාක ඉන් වසර 1500කට පසුව මෙක්‌සිකෝවේ භාවිත කළ බවට සාධක ඇති කෝකෝවාවලට සමාන වෙයි.

මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ ඉක්‌වදෝරයේ සාන්ත ආනා - ලා ෆ්ලොරිඩා (Santa Aka – La Florida) නම් පුරාවිද්‍යා ස්‌ථානයෙන් ලැබුණු සෙරමික්‌ බඳුන් පිළිබඳ පරීක්‌ෂාවකිනි. ඔවුන්ට හෙළි වූ පරිදි එම ප්‍රදේශයේ විසූ මායෝ-චින්චිපේ නමින් හඳුන්වන සංස්‌කෘතියට අයත් මිනිසුන් අදින් වර්ෂ 2100 හා 5300 අතර කාලයේ දී කොකෝවා ශාක භාවිත කර ඇත. ඒ අතරින් වඩාත් පැරැණි ම නිශ්චිත සාධක ලැබී තිබෙන්නේ අදින් වර්ෂ 5450ත් 5300ත් අතර කාලයේ දී කොකෝවා ශාක භාවිත කර ඇති බවට ය. ඒ සඳහා සාධක ක්‍රම තුනක්‌ ඔස්‌සේ සැපයීමට ද ඔවුන් සමත් ව ඇත.


ක්‍රම තුනක්‌ යොදාගැනේ


පළමු වැනි ක්‍රමය වන්නේ පිෂ්ට කණිකා හඳුනාගැනීමය. ඒ අනුව මේ සෙරමික්‌ බඳුන්වල හා කැඩුණු කොටස්‌වල ඇතුළත හා කැඩුණු කොටස්‌වල දැකිය හැකි පිෂ්ට කණිකා අධ්‍යයනය කර ඇත. එසේ ලබාගත් පිෂ්ට කණිකා නූතන කොකෝවා ශාකයේ (Theobroma cacao) හා එයට ඥාතිත්වයක්‌ දක්‌වන Herrania ගණයේ වෙනත් වනගත ශාකවල පිෂ්ට කණිකා සමග සංසන්දනය කරන ලද අතර ඒ අනුව ඒවා අයත් වන්නේ කොකෝවා ශාකයට බව එහි දී හෙළි විය. එසේ ශාක ගණය තහවුරු වූ පසුව පර්යේෂකයන් යොමු වී ඇත්තේ මේවායේ කොකෝවා ශාකයේ දැකිය හැකි එහෙත් එහි ඥාතිත්වයක්‌ දක්‌වන ශාකවල දැකිය නොහැකි තියෝබ්‍රොaමීන් (theobromine) යන ඇල්කලොයිඩය පිළිබඳව සොයා බැලීම සඳහා ය. ඒවා එම භාණ්‌ඩවල ඉතිරි ව තිබූ ශේෂවල අතුළත් වී තිබිණි. එම නිදර්ශක අතරින් 28%ක්‌ පමණ තියෝබ්‍රොaමීන් ඇති බව තහවුරු වී ඇත. තුන්වැන්න වන්නේ අදාළ සෙරමික්‌ භාණ්‌ඩවලින් ලබාගත් ශේෂවල පෞරාණික DNA පවතී ද යන්න පරීක්‌ෂා කිරීම ය. එහි දී කොකෝවා ශාකයට සුවිශේෂ වූ DNA අනුපිළිවෙළ සහිත DNA හමු වී තිබෙයි.

මේ අධ්‍යයනයෙන් අනාවරණය වන කරුණු අනුව චොකලට්‌ පරිභෝජනය සඳහා වූ දිනය මෙන්ම කොකෝවා ශාකයේ ගෘහාශ්‍රිතකරණය සඳහා ද වඩාත් පැරැණි දින වකවානුවක්‌ ලබාගැනීමට හැකි වීම වැදගත් ය. එසේ ම එම ගෘහාශ්‍රිතකරණය සිදු වූ ස්‌ථානය පිළිබඳ මෙතෙක්‌ පැවැති මතය ද වෙනස්‌ වී තිබෙයි. එම කරුණු අනුව කොකෝවා වගා කළ පිරිස්‌ මගින් එම ශාකය ආහාරයක්‌ ලෙස (බොහෝ විට පානයක්‌ ලෙස) දකුණු ඇමෙරිකාවේ සිට මධ්‍යම ඇමෙරිකාව දක්‌වා පැතිර යන්නට ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. ඒ අනුව කොකෝවා ශාකය ගෘහාශ්‍රිතකරණය කිරීමේ කතාවේ දැනට දන්නා පැරැණිතම කේන්ද්‍රය වන්නේ ඉහළ ඇමසන් ප්‍රදේශයයි. ඇතැම් විට යුරෝපීයයන් ඇමෙරිකාවට පැමිණි කාලය වන විට දකුණු ඇමෙරිකානු ස්‌වදේශිකයන් අතර කොකෝවා සඳහා ඇති වැදගත්කම අඩු වී ගොස්‌ මධ්‍යම ඇමෙරිකානුවන් අතර ඒ සඳහා ඇති වැදගත්කම ඉහළ ගොස්‌ තිබෙන්නට ඇති බව යෝජනා වී ඇත.

මූලාශ්‍රය: Nature Ecology: Evolution, DOI: 10.1038/s41559-018-0697-x

No comments:

Post a Comment