ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2020.03.25, පි. 6 (Vidusara)
Not available onlineලෝකයේ කාලයෙන් කාලයට ව්‍යාප්ත වූ විවිධ වසංගත රෝගවලට වරින්වර ශ‍්‍රී ලංකාව ද ලක් වී ඇත. ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටි දූපතක් ලෙස ලංකාව පිළිබඳව විදේශීය ජාතීන් දැක්වූ උනන්දුව හා නාවුක ගමනාගමනයේ සන්ධිස්ථානයක පිහිටීම නිසා ලංකාව හරහා ගමන් කරන පිරිස විශාල වීම ඊට හේතු විය.
ඈත අතීතයේ අපේ රටේ ඇති වූ විවිධ රෝග සම්බන්ධව අපේ ඉතිහාසයේ ඇත්තේ කෙටි සඳහන් වීම් කීපයකි. නිදසුනක් ලෙස රත්තාක්ෂි රෝගය දැක්විය හැකිය. එහෙත් 19 හා 20 සියවස්වල ඇති වූ වසංගත සම්බන්ධව ප‍්‍රමාණවත් වාර්තා අපේ රටේ දැකිය හැකිය. වසූරිය, කොලරාව, මහාමාරිය, ඉන්ෆ්ලූවන්සාව හා මැලේරියාව වැනි රෝග වඩා බරපතළ බලපෑම් කළ ඒවා වන්නේ වසංගත ලෙස පැතිරීමෙන් ඒවායින් සැලකිය යුතු පිරිසක් මරණයට පත් වූ නිසාය. මේ ඒ පිළිබඳව සිදුකරන කෙටි විමසීමකි.
වසූරිය
Variola ගණයට අයත් වයිරස මගින් පැතිරෙන බෝවන රෝගයක් වන වසූරිය (smallpox) වසංගත නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල වරින්වර මරණ රැසක් ඇති විය. අතීතයේ සිට වරින්වර ලංකාවේ පැතිරී තිබෙන වසූරිය රෝගය මෙරටට ව්‍යාප්ත වීම සඳහා යාබද ඉන්දියානු උපමහාද්වීපය හා පැවති සම්බන්ධතා හේතු වූ බව විශ්වාස කරනු ලැබේ. මහනුවර රාජධානියේ වසූරිය පැතිරීම නිසා රජු හා ප‍්‍රධානීන් මහනුවර නගරය තාවකාලිකව අත්හැර දැමු අවස්ථා ද වාර්තා වෙයි. 1796 වර්ෂයේදී ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලා ගත් බි‍්‍රතාන්‍යයෝ 1802 වර්ෂයේදී වසූරිය සඳහා ප‍්‍රතිශක්තිකරණයක් ලෙස එන්නත් ලබාදීම ආරම්භ කළහ. ඒ, ඊට වසර කීපයකට පෙර එඞ්වඞ් ජෙනර් විසින් ලෝකයට හඳුන්වා දුන් එන්නත් ක‍්‍රමය මගිනි. එහෙත් ඉන් පසුව ද කලින් කල වසූරිය වසංගත ඇති වී තිබෙයි. ඊට එක් හේතුවක් වූයේ එන්නත් කිරීම වැඩි වශයෙන් මුහුදුබඩ පළාත්වලට සීමා වීමත්, එය රටේ අභ්‍යන්තර ප‍්‍රදේශවලට පිවිසියේ පසු කාලයක වීම නිසාත්ය. 1819 වර්ෂයේදී ඇති වූ වසංගතයෙන් 4,000ක් පමණ පිරිසක් මියගොස් ඇත. එසේම පසුකලක වතු වගාව සඳහා ඉන්දියාවේ සිට පැමිණි කම්කරුවන් නිසා මේ රෝගය යළි යළිත් ඇති වු අවස්ථා දැකිය හැකිය. කෙසේ වෙතත් අඛණ්ඩව ක‍්‍රියාත්මක වූ එන්නත් දීම නිසා වරින්වර ඇති වූ උච්චාවචන සහිතව වුව ද වසූරිය රෝගීන් ගණන හා මරණ ගණන ක‍්‍රමයෙන් අඩු කරගැනීමට හැකි විය. 1870 හා 1880 දශකවල මේ රෝගය යළි හිස එස වූ වර්ෂ කීපයක් තිබිණි. කෙසේ හෝ එන්නත් දීමේ වැඩපිළිවෙල නිසා 1930 දශකය වන විට වසූරිය රෝගීන් ගණන බෙහෙවින් අඩු කරගත හැකි විය. වසූරිය රෝගීන් පිළිබඳ වාර්තා සහිත කාල වකවානුව ගතහොත්, ලංකාවෙන් එකම වසුරිය රෝගියකු හෝ මරණයක් හෝ වාර්තා වී නැති පළමු වර්ෂය වූයේ 1938 වර්ෂයයි. අද වන විට මේ රෝගය ලෝකයෙන් මුලිනුපුටා දමා ඇති රෝගයකි.
කොලරාව
කොලරාව ඇතිවන්නේ Vibrio cholerae නම් බැක්ටීරියාව මගිනි. මේ රෝගය අතීතයේ සිට ඉන්දියානු උපමහාද්වීපයේ පැවති බව පෙන්වා දී ඇති අතර වාර්තා අනුව මෑතකාලයේ පළමුවරට ඇති වී තිබෙන්නේ 1819දී පමණය. මේ රෝගය ජනතාව අතර මහත් බියක් ඇති කිරීමට හේතු වූයේ එය වැළඳුණු පිරිස් අතරින් වැඩි ප‍්‍රමාණයක් ප‍්‍රතිකාර නොකළහොත් මිය යෑම නිසාය. 1840-1950 අතර කාලයේදී ලංකාවේදී කොලරාව වැළඳුණු රෝගීන් අතරින් 60%කට අධික ප‍්‍රතිශකයක් පමණ මියගොස් ඇත. එසේම රෝගය වේගයෙන් පැතිරීම ජනතාව අතර බිය ඇති කිරීමට ද හේතු විය. 1821 වර්ෂයේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ දෙදහසකට අධික පිරිසක් මේ රෝගයෙන් මරුමුවට පත් වූහ. යාපනය අර්ධද්වීපයේ ඇති වූ කොලරා වසංගතය නිසා 1855, 1866-67, 1876-77 වැනි වර්ෂවලදී විශාල මරණ ගණනක් සිදුවිය. මේ සඳහා හේතු වූ කරුණු අතර සනීපාරක්ෂක පහසුකම් ප‍්‍රමාණවත් නොවීම මූලික වූ බව ඒ පිළිබඳව කරුණු සෙවීම සඳහා පත් කළ කොලරා කොමිසම මගින් අනාවරණය කරගෙන ඇත. ලංකාවේ ඇති වූ කොලරා වසංගත අතරින් 1877 වසරේ ඇති වූ වසංගතයෙන් 11,963ක් මියගිය බව සඳහන් වේ. මෙම රෝගය නැවත නැවත මතු වීම සඳහා වතු වගා සඳහා ජනතාව ඉන්දියාවේ සිට කම්කරු පිරිස් මෙරටට ගෙන ඒම ද හේතු විය. මේ අතර ඔවුන් ආ සංක‍්‍රමණ මාර්ග ඔස්සේ පිහිටා ඇති ප‍්‍රදේශවල ද කොලරාව ව්‍යාප්ත විය. කොළඹ නගරය ඇතුළුව රටේ විවිධ ප‍්‍රදේශවල කොලරා වසංගත ඇති විය. මේ තත්ත්වයට පිළියමක් ලෙස සමහර වර්ෂවලදී ඇතැම් ආගමික උත්සව පවා තහනම් කර ඇත. ඒ එවැනි අවස්ථාවල රෝගය පැතිරීමට ඇති අවස්ථාව ඉහළ වීමය.
මහාමාරිය
මහාමාරිය (Plague) රෝගය Yersinia pestis නම් බැක්ටීරියාව නිසා වැළදෙන්නකි. මෙම රෝගය අතීතයේ සිට ලෝකයේ ව්‍යාප්ත වූ රෝගයක් වන අතර යුරෝපයේ විනාශකාරී වසංගත තත්ත්ව ඇති වීමට හේතුවක් වී ඇත. ලංකාවට මේ රෝගය ව්‍යාප්ත වීමට ඉන්දියාව සමඟ පැවති සම්බන්ධතා හේතුවක් වී ඇක. අපේ රටේ තැනින් තැන ඇති වූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා සැලකිය යුතු මරණ ගණනක් ඇති විය. 1914දී කොළඹ දී, ඇති වු වසංගතයෙන් 381ක් මියගියහ. එසේම රටේ නගර ගණනාවක මේ රෝගය ව්‍යාප්ත වීම හා මරණ ඇති වීම වරින්වර සිදුවිය. මේ රෝගය පැතිරවීම සඳහා මීයන්ගෙන් සිදුවන බලපෑම නිසා සහල් වැනි ධාන්‍ය ආරක්ෂිත ලෙස ගබඩා කිරීමේ අවශ්‍යතාවය ඇති විය. පිටකොටුවේ පිහිටා තිබූ චාමර්ස් ධාන්‍යාගාර සංකීර්ණය ගොඩනගන ලද්දේ ආනයනය කරන ධාන්‍ය ගබඩා කිරීම සඳහාය.
ස්පාඤ්ඤ උණ
1918-20 වර්ෂවල දී ලෝකයම වෙලාගත් H1N1 කුලයට අයත් ඉන්ෆ්ලූවන්සා වෛරසයක් වූ ස්පාඤ්ඤ උණ රෝගය ලංකාවේ ද පැතිරුණු අතර බරපතළ බලපෑමක් ඇති කළේය. කොළඹ වරාය හරහා මේ රෝගය ලංකාවට පිවිසි බව අනුමාන කරන රෝගය ලංකාව පුරාම පාහේ ව්‍යාප්ත වූයේය. 1918 අගෝස්තු මාසයේ ච ඒ වර්ෂයේ සැප්තැම්බර් සිට නොවැම්බර් මාසවල ද යළිත් 1919 මුලදීද වසංගතයක් සේ ව්‍යාප්ත විය. මේ රෝගය ජනතාවට අලූත් එකක් වු නිසා රෝගය බෝවන ආකාරය පිළිබඳව කලක් යනතුරු ගැමියන් හඳුනාගෙන නැත. ඒ නිසා රෝගී වූ නෑදෑ-හිතවතුන්ගේ සුවදුක් විමසීමට යෑම නිසා රෝගය ව්‍යාප්ත විය. රෝගීන් සෙසු අයගෙන් වෙන් කර තැබීම වැදගත් බව ජනතාවට අවබෝධ කරවීම බෙහෙවින් අවශ්‍ය වූ නිසා ඒ ගැන උපදෙස් සහිත පත‍්‍රිකා දහස් ගණනින් බෙදා හැර තිබෙයි. මෙම රෝගයේ බලපෑම පෙනෙන්නේ ඉන් ඇති වූ මරණ ගණන විමසූ විටය. රෙජිස්ටාර් ජනරාල්ගේ වාර්තා අනුව එම ඉන්ෆ්ලූවන්සාවෙන් ඇති වූ මරණ ගණන 41,916කි. එහෙත් එය 57,000ක් බව සංගණන වාර්තාවල සඳහන්ය. මෑත කාලයේ සිදු කළ අධ්‍යයන දෙකකින් මේ වසංගතය නිසා ඇති වූ මරණ ගණන 91,000 හා 307,000 තරම් ඉහළ විය හැකි බව පෙන්වා දී ඇත.
මැලේරියාව
Plasmodium ගණයට අයත් ක්ෂුද්‍රජීවී විශේෂ මගින් බෝ වන මැලේරියා රෝගය ව්‍යාප්ත වන්නේ මදුරුවන් මගිනි. අතීතයේ සිටම කලින් කල අපේ රටේ විවිධ ප‍්‍රදේශවල බරපතළ බලපෑම් ඇති කළ රෝගයක් විය. සැලකිය යුතු පිරිසක් එම වසංගතවලින් මරණයට පත් වූහ. එමෙන්ම ශාරීරික වශයෙන් ඇති වන බලපෑම් නිසා වැඩකටයුතු කරගැනීම අපහසු වීමද මේ රෝගීන්ට බලපෑවේය. වරින්වර ඇති වූ මැලේරියා වසංගත දරුණු තත්ත්වයක් ගත් අතර, 1934-35 කාලයේ ඇති වූ වසංගතය මේ අතරින් වඩාත් බරපතළ වූවකි. ඒ සිදුවීම මතකයේ ඇති වැඩිහිටියන් තවමත් අප අතර සිටීම හා ඒ හා සම්බන්ධ වූ සමාජ-දේශපාලනික තත්ත්ව නිසා මේ සිදුවීම සෙසු වසංගතවලට වඩා ප‍්‍රකට සිදුවීමකි. මේ මැලේරියා වසංගතය වැඩි වශයෙන් බලපෑවේ ජනගහනය ද අධික වූ දිස්ත‍්‍රික්ක කීපයකටය. මිලියන එකහමාරක් පමණ ජනගහනයකට රෝගය වැළඳුණු අතර මරණයට පත් වූ පිරිස 80,000කි. පමණ වූ බව සැලකේ. ඉන් සිදු වු හානිය බරපතළ කිරීමට හේතුව වූයේ ඒ සමඟ ඇති වූ සාගත තත්ත්වයයි.
උගත යුතු පාඩම්
අප මේ කතා කළේ ගත වූ සියවස් දෙකක පමණ කාලයේ ඇති වූ වසංගත පිළිබඳවය. ඉහත දැක්වූ රෝග හැරුණුවිට පරංගි (Yaws) හා ක්ෂයරෝගය ද මේ කාලයේ ඇති වූ වසංගත සේ සැලකිය හැකිය.
එදා පැවති වසංගත ගැන විමසීමෙන් අපට උගත හැකි දේ බොහෝය. නිදසුනක් ලෙස එක් කරුණක් සඳහන් කරමු. එදාට වඩා සෞඛ්‍ය පහසුකම් දියුණු හා රෝග මර්ධනය කිරීමේ හැකියාව පවතින අද වැනි කාලයක රෝගයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව අතරට තොරතුරු සන්නිවේදනය කිරීම ද පහසුවෙන් හා කාර්යක්ෂමව කළ හැකිය. මේ නිසා වසංගත වැනි තත්ත්වවලදී ගත යුතු පියවර ගැන දැනුම්වත් කිරීම පහසු බව සිතේ. නිදසුනක් ලෙස පෙර සඳහන් කළ 1918-20 උණ සන්නිපාත අවස්ථාවේදී පත‍්‍රිකා හා රාජ්‍ය නිලධාරීන් යොදාගනිමින් දැනුම්වත් කළ ද අද ඒ සඳහා විද්‍යුත් මාධ්‍ය, සමාජ ජාල ආදිය යොදාගැනීම දැකිය හැකි විය. එහෙත්, එසේ තිබියදීත් මේ ලිපිය ලියන අවස්ථාවේදී ද ව්‍යාප්ත වෙමින් ඇති නව කොරෝනා වයිසරය වැළඳීම වැළක්වීමට නම්, එකිනෙකා ගැටීම අඩු කිරීම හා නිරෝධායනය අවශ්‍ය බවට ජනතාව දැනුම්වත් කිරීමට කෙතරම් උත්සාහයක් දැරිය යුතු වීද යන්න අපි අත්දුටුවෙමු. එබැවින් අතීතයෙන් අප උගත යුතු පාඩම් එයයි.
(මූලාශ‍්‍ර - වසූරිය, කොලරාව, මහාමාරිය හා මැලේරියාව පිළිබඳ තොරතුරු සඳහා ආචාර්ය එස්. ඒ. මීගම විසින් රචිත Famine, Fevers and Fear කෘතිය ප‍්‍රධාන මූලාශ‍්‍රය විය. ස්පාඤ්ඤ උණ පිළිබඳ කරුණු සඳහා සමකාලීන රජයේ වාර්තා, දිනපොත් හා පසුකාලීන මූලාශ‍්‍ර යොදාගන්නා ලදි.)
No comments:
Post a Comment