Thursday, April 30, 2020

නව්‍ය කොරෝනාව නිසා පරිසරයට සිදු වූ යහපත තිරසර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.04.29, පි. 5 (Vidusara)

E-paper පමණි - http://www.vidusara.com/2020/04/29/feature4.html (jpg ගොනුවකි)


නව්‍ය කොරෝනා ලෙසින් ප‍්‍රකට වූ කොවිඞ්-19 වයිරස වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය දෛනික කටයුතු නැවතී ඇත. කර්මාන්තශාලා, ව්‍යාපාර ඇතුළු සේවා ස්ථාන වැඩි ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර, ඒවා අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වී ඇත. මාර්ග මෙන්ම ගුවන් ප‍්‍රවාහනය ද මුළුමනින්ම පාහේ නැවතී ඇත. මිනිසුන් සංචරණය නොකරන නිසා මාර්ග මෙන්ම වෙනත් සියලූ ස්ථාන පාලූ වී ගොසිනි. ලෝක ආර්ථික වර්ධනය මේ වර්ෂයේදී විශාල අඩුවීමක් පෙන්වන බවද පැහැදිලිය.

මේ තත්ත්වය නිසා පරිසරයේ ඇති වී තිබෙන සුබවාදී තත්ත්ව පිළිබඳව වාර්තා ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. මිනිස් ක‍්‍රියාකාරකම් අඩු වී ගොස් පාලූ වී ගිය නගරවලට වනසතුන් පැමිණීම එවැනි එක් සිදුවීමකි. ජල දූෂණය හා මානව කටයුතු අඩු වීම නිසා වැනීසිය වැනි සමහර ප‍්‍රදේශවල එතෙක් ජලයේ දැකිය නොහැකි වූ සතුන් හා ශාක දැන් දැකගත හැකි වී තිබෙයි. එසේම වායු දූෂණය අඩු වීම පිළිබඳව සාධක චීනයෙන් හා තවත් රටවලින් වාර්තා වී ඇත. මෑත කාලයේදී දැකිය නොහැකි වූ හිමාලය කඳුවැටිය යළිත් දැක ගැනීමට එක් ඉන්දියානු නගරයක වැසියන්ට හැකි වී ඇත්තේ ද වායු දූෂණය අඩු වීම නිසාය.

කෙසේ වෙතත් මේපරිසරයට මේ ලැබී ඇති සහනය කෙතරම් කාලයක් පවතිනු ඇත්තේද යන්නය. එය පැහැදිලි ගැටලූවකි. මේ තත්ත්වයට තරමක් හෝ සමාන තත්ත්වයක් ලෙස පෙනෙන්නේ 2008 පමණ ඇති වූ ආර්ථික අර්බුදයයි. ඒ නිසා කර්මාන්ත හා සෙසු කටයුතු අඩපණවීම නිසා හරිතාගාර විමෝචන අඩු විය. 2007 වර්ෂයේදී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය පෙර වර්ෂයට වඩා 3.77% කින් ඉහළ ගොස් ඇති අතර, 2008 දී එය ඉහළ ගිසේ 0.65% කින් පමණි. 2009 දී එය 1.10%කින් අඩු විය. එහෙත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2010 වර්ෂයේදී හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 5.72%කින් ඉහළ ගියේය. එය වාර්තාගත වර්ධනයකි. මේ තත්ත්වය සෙසු පරිසර දූෂකවලට ද පොදුය.

නව කොරෝනා වසංගතය නිසා ද ලෝක ආර්ථිකයේ පිරිහීමක් ඇති විය හැකි බව පැහැදිලිය. ඒ සමඟ කර්මාන්ත, ප‍්‍රවාහන හා බලශක්ති අංශ ආදියේ ඇතිව තිබෙන අඩපණ වීමේ ප‍්‍රථිඵලය ලෙස දැකිය හැකි පාරිසරික වෙනස්කම් කීපයක් ඉහත දක්වන ලදි. මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේද දැකිය හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා වූ අතර හා ඒවා තාවකාලික සහනයක් පමණක් විය හැකි බවද පැහැදිලිය. ඒ සිදුවීම් මෙන්ම අදාළ සහනය දිගුකාලීන තිරසර තත්ත්වයක් බවට පත් කරගැනීමට ඇති හැකියාව ගැන ද විමසීම මේ ලිපියේ අරමුණ වෙයි.


වායු දූෂණය අඩු වී තිබීම


කොළඹ ප‍්‍රදේශයේ වායු දූෂණය අඩු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත්වල පළ වි තිබූ කරුණකි. ‘වාතයේ ගුණාත්මක බව පිළිබඳ සුචිය’ අනුව මෑත දිනවල මේ ප‍්‍රදේශයේ වාතය ‘හොඳ’ තත්ත්වයේ පවතී. පෙර වර්ෂවල මාර්තු හා අපේ‍්‍රල් කාලයට සාපේක්ෂව මේ වර්ෂයේදී වායු දූෂණය අඩු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම මේ සමඟම වායුගෝලයට එකුවන කාබන්ඩයොක්සයිඞ් හා සෙසු හරිතාගාර වායු ප‍්‍රමාණය අඩු වී ඇති බවද අප අමතක නොකළ යුතුය.

වායු දූෂණය අඩු වී ඇත්තේ කොළඹ නගරයේ මෙන්ම රටේද බලශක්තිය සඳහා ඉන්ධන දහනයේ වෙනසක් නොමැති තත්ත්වයක් තිබියදීය. නිදසුනක් ලෙස ගතහොත් අපේ‍්‍රල් 27 දින මෙරට විදුලි උත්පාදනයෙන් 39%ක් පමණ ජනනය කර ඇත්තේ තෙල් මගින් ක‍්‍රියාත්මක තාප බලාගාරවලිනි. තවත් 37%ක් ගල්අඟුරුවලිනි. එසේම කර්මාන්තශාලාවලින් සිදුවන විමෝචන ද අවම වී ඇත්තේ ක‍්‍රියාත්මක කර්මාන්ත අඩු නිසාය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන්ම මේ වෙනස සිදුව ඇත්තේ රථවාහන ධාවනය අඩු වීම නිසාය. මේ යහපත් තත්ත්වය දිගටම පවත්වා ගැනීමට නම් කළයුත්තේ කුමක්ද? කර්මාන්ත හා විදුලි බලාගාර රටේ ආර්ථිකයට අවශ්‍ය බැවින් දිගු කාලීනව ඒවා ක‍්‍රියාත්මක නොවී තබාගැනීමට නොහැකිය. එසේ නම් ඉදිරියේදී ද වාහන ධාවනයෙන් නිකුත්වන වායු විමෝචන අඩු කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීම කළ හැකි එකම දේ වෙයි. එය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ පොදු ප‍්‍රවාහන සේවා පුළුල්ව ශක්තිමත් කිරීමෙනි. අනෙක වන්නේ පුද්ගලික වාහන භාවිතය සාධාරණ නොවන අවස්ථා සීමා කිරීමය. නිදසුනක් ලෙස එක් මගියෙකු වෙනුවෙන් එක් වාහනයත් නගරයට ඇතුළු වීම දැක්විය හැකිය. එවැනි පියවර ගැනීමෙන් තවදුරටත් වාහන විමෝචන අඩු කර තබා ගැනීමට හැකිය. මෙහිදී වාහන විමෝචන පරීක්ෂාවෙහි සාර්ථකත්වය ද සමහරුන් ප‍්‍රශ්න කර ඇති අතර ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම මේ වන විට කටයුතු ආරම්භ වී ඇති සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘති හා කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘති වැනි ව්‍යාපෘති මගින් වාහන ධාවනය අඩු කරගත හැකිවනු ඇත. මේවා හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ.


ජලයේ ගුණාත්මක බව ඉහළ යෑම


කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව ද මේ ආකාරයෙන් වාර්තා වූ තවත් කරුණකි. මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් ගංගාවේ ස්ථාන කීපයකින් ලබාගත් නියැදිවලින් මේ බව පෙනී ගොස් ඇත. එයින් පෙනී යන්නේ ජල දූෂණය වැළැක්වීමට මෙතෙක් පැවති නීති අනුව නොහැකි වී ඇති බවද යන්න මෙහිදී මතුවන පැනයයි. ගෙඟ් ජල දූෂණයට බලපෑ කරුණුවලින් මෑත දී වෙනස් වී ඇත්තේ කර්මාන්තශාලාවලින් නිකුත්වන අප ජලය ගඟට මුසු වීම නතර වීම පමණකි. වාහන සේවා ස්ථානවල ද යම් බලපෑමක් ඇති බවය. මෙමගින් පෙනෙන්නේ විවිධ කර්මාන්තශාලාවලින් දැන හෝ නොදැන අප ජලය ගඟට එක්වන බව විය හැකිය.

මේ යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හැක්කේ කෙසේද? කර්මාන්ත රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ රැකියා සම්බන්ධවද වැදගත්ය. එසේ නම්, ඒවා ළඟදීම ආරම්භ විය යුතුව ඇත. එබැවින් මේ කර්මාන්තවලින් නිකුත්වන අප ජලය ප‍්‍රතිකාර කිරීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පෙනේ. අනෙක් කරුණ වන්නේ සේවා ස්ථාන ආදියෙන් නිකුත්වන අපජලය ද පරිසරයට නිකුත් වීම පාලනය කිරීමයි. මේ සඳහා රජයේ බලධාරීන් මෙන්ම අදාළ කඒමාන්ත හිමිකරුවන් ද, ජනතාව ද අවධානය යොමු කිරීම වටියි.


වෙරළ දූෂණය අඩු වෙයි


මේ අතර පසුගියදා වාර්තා වූ තවත් පුවතකට අනුව වෙරළ තීරයට එක් කරනු ලබන ප්ල්ස්ටික් ප‍්‍රමාණය 50% කින් පමණ අඩු වී ඇත. ඒ බව හෙළි වී ඇත්තේ ද රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකදීය. එය වෙරළ තීරයේ දිස්ත‍්‍රික් පහක ස්ථාන ආශ‍්‍රිතව සිදුකරන ලද්දකි. මේ සඳහා මූලික හේතුව ජනයා නිවෙස්වලින් පිටතට යෑම අඩු වීම බව පැවසේ. එමෙන්ම වෙත් ජල දූෂක ද අඩු වී ඇති බවක් ද එහි දක්වා ඇත. මෙය වැදගත් වන්නේ සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් කිරීම ජගත් මට්ටමේ ගැටලූවකට හේතු වී ඇති නිසාය.

ප්ලාස්ටික් හා සෙසු ඝන අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව නම් දීර්ඝ කාලයක සිට පැවතෙන්නකි. එහෙත් එය තවත් කාලයක් ගත වීමට පෙර විසඳා ගත යුත්තකි. මේ පිළිබඳව කෙතරම් දැනුම්වත් කර තිබුණද මේ පුරුදු නැතිකර ගැනීමට තවමත් ජනතාවට හැකියාව ලැබී නැත. තුනී පොලිතින් තහනම් කිරීමෙන් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් බෑග් ප‍්‍රමාණය අඩු කිරීමට ගත් පියවර අසාර්ථක වී ඇති ඇති බව ද පැහැදිලිය. දැන් සිදුව ඇත්තේ වඩා ඝනකම බෑග් වරක් භාවිත කර ඉවත දැමීමක් බව පෙනෙයි. කෙසේ වෙතත් ජනතාව ෂොපින් යෑම ඇතුළුව අනවශ්‍ය ගමන් බිමන් අඩු කර නිවාසවලට සීමා වී සිටි කාලයේදී පොලිතීන් භාවිතය අඩු වී ඇති බවක් පෙවෙයි.


මේ වෙනස තිරසර කිරීමට නම්


මේ තත්ත්වයෙන් පෙන්වන එක් කරුණක් නම් අප මෙතෙක් සිදුකරගෙන ආ කටයුතුවල කිසියම් ගැටලූවක් තිබෙන බවයි. එසේම කොරෝනා නිවාඩුවේ පසුගිය මාසයක කාලයේ පරිසරයට ඇති වූ සහනය හෙවත් වෙනස ජනමාධ්‍යවල තවත් පුවතක් පමණක් බවට පත් වීමට ඉඩ දිය යුතු නැති බව අපේ අදහසයි. පරිසරයේ දැකිය හැකි වූ යහපත් ප‍්‍රතිඵල වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දැරීම අවශයය.

එවැනි උත්සාහයක් මගින් මුළුමනින්ම නැතත්, ඒ වෙනස කිසියම් ප‍්‍රමාණයකින් හෝ තිරසර එකක් කිරීමට අපට තැත් කළ හැකිය. මේ අත්දැකීම් වායු දූෂණය, ජල දූෂණය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට නිර්මාණාත්මක අයුරින් ඇතුළත් කළ හැකිය. මෙහි තවත් අභියෝගයක් ඇත. එනම්, කොවිඞ්-19 ගැටලූවත් සමඟ රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වීමය. එවැනි තත්ත්වයකදී සමහර පරිසර හිතකාමී කටයුතු සඳහා පිරිවැය සපයා ගැනීම ගැටලූ සහිත විය හැකිය. රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පරිසර හිතකාමී කාර්යයක් හා අරමුදල් සදහා මේ තත්ත්වය බලපෑ හැකිය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු විය හැකි දෙයකි. එනිසා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම වැදගත් වනු ඇත. මේ සියලූ කටයුතුවලදී රටේ ජීවත්වන සියලූ දෙනාගේම වගකීමක් ඇති බැවින් සියලූ පාර්ශ්ව දැනුම්වත් කිරීම වැදගත් කටයුත්තක් වනු ඇත. අවශ්‍ය වන්නේ නීති රීති පැනවීම පමණක් නොවේ.

No comments:

Post a Comment