ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2020.0520, පි. 7 (Vidusara)
http://www.vidusara.com/2020/05/20/feature2.htmlඅද ලෝකයේ අවධානයට ලක්ව ඇති ප්‍රධානතම ගැටලුව වන්නේ නව්‍ය කොරෝනා හෙවත් කොවිඩ්-19 රෝගය හා එහි ව්‍යාප්තිය නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ වන විට බොහෝ රටවල ආර්ථිකය හා සමාජයේ සියලු අංශ පාහේ බරපතළ අර්බුදයකට ලක් වී ඇත්තේ මේ වසංගත තත්ත්වය නිසාය. සිය රටවල ආර්ථිකය හැකි ඉක්මනින් යළි යථාතත්ත්වයට පත් කිරීම බොහෝ රටවල නායකයින්ගේ හා බලධාරීන්ගේ ඉලක්කය බවට පත්වෙමින් තිබෙයි. කෙසේ වෙතත් මේ තත්ත්වය නිසා ලෝකයේ පවත්නා සෙසු අර්බුද අමතක වී ගොස් තිබේද යන්න ඇතැම් විටක සිතෙයි.
පසුගිය අප්‍රේල් මස 22 වැනි දිනට යෙදුණු මිහිතල දිනය වෙනුවෙන් නිකුත් කළ පණිවුඩයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් මේ තත්ත්වය පෙන්වා දුන්නේය. නව්‍ය කොරෝනා වයිරස් වසංගතයේ බලපෑම තිබියදී වුවත්, ලෝකය මේ වන විට මුහුණ දී තිබෙන “බරපතළ පාරිසරික හදිසි” තත්ත්වය අමතක නොකළ යුතු බව ඔහු පැවසුවේය. මෙහිදී ඔහු අදහස් කළ එක් ප්‍රධාන පාරිසරික අර්බුදයක් වන්නේ දේශගුණ වෙනස් වීමය.
මේ අතර මෑතදී වාර්තා වූ පර්යේෂණ දෙකකින් දේශගුණ වෙනස් වීමේ ඇති බරපතළ ස්වභාවය ගැන පෙන්වා දී තිබෙයි.
වසර 50කදී දරාගත නොහැකි උෂ්ණත්වයක්
මේ මාසය මුලදී Proceedings of the National Academy of Sciences සඟරාවේ පළ වූ අධ්‍යයනයකට අනුව, මිනිසුන්ට දරාගත නොහැකි තරම් වූ උෂ්ණත්වයක් ඇතුළත ජීවත්වන ජනතාවගේ ප්‍රමාණය ඉදිරි වර්ෂ පනහක් පමණ කාලය අවසානයේ දී බිලියනයත් බිලියන තුනත් අතර වනු ඇති බවයි. එම උපරිම ප්‍රමාණය ලෝකයේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ විය හැකිය. එසේ ඉහළ ගිය උෂ්ණත්වය දැකිය හැකි ප්‍රදේශවල සාමාන්‍ය උෂ්ණත්වය සහරා කාන්තාරයේ උණුසුමින් ඉහළම ප්‍රදේශ හා සමාන වූ උෂ්ණත්වයකින් යුක්ත වන ඇත. මේ අධ්‍යයනයෙන් පෙන්වන තත්ත්වය විද්‍යාඥයින් මෙතෙක් නොසිතූ තරම් බරපතළ තත්ත්වයක් පෙන්වයි. ඒ බව උක්ත අධ්‍යයනය සිදු කළ විද්‍යාඥයින්ගේ අදහස ද වෙයි.
වර්තමාන මානව ජනාවාසවල ව්‍යාප්තිය සම්බන්ධව සිදුකර තිබෙන මේ අධ්‍යයනය අනුව, අද ලෝකයේ ජීවත්වන මිනිසුන් අතරින් වැඩි ප්‍රමාණයක් ජීවත්වන්නේ සෙල්සියස් අංශක 6ත් 28ත් අතර වාර්ෂික සාමාන්‍ය උෂ්ණත්වයක් පවත්නා ප්‍රදේශවලය. (එනම් මිනිසුන් වාසය කරන ප්‍රදේශවල මධ්‍යන්‍ය වාර්ෂික උෂ්ණත්වය අංශක 13ක් පමණ වේ) එය මීනිසුන්ගේ පැවැත්මට සුදුසුම උෂ්ණත්ව පරාසය ද වෙයි. එහෙත් අද වන විට මිනිසුන් විසින් සිදුකරන ලද දේශගුණ වෙනස් වීමේ ප්‍රතිඵලයක් ලෙස මේ ප්‍රදේශවල උෂ්ණත්වය ද ක්‍රමයෙන් ඉහළ යමින් තිබෙයි. එහි ප්‍රතිඵලය වන්නේ මේ ඇතැම් ප්‍රදේශවල දරාගත නොහැකි තරම් ඉහළ උෂ්ණත්වයක් ඇති වීමය.
මේ අනුව තවත් වසර පනහක් ඇතුළත ලෝකයේ උෂ්ණත්වය අංශක 3කින් ඉහළ ගියහොත්, ලෝක ජනගහනයෙන් බිලියන 1ත් 3ත් අතර පිරිසක් ජීවත්වනු ඇත්තේ සෙල්සියස් අංශක 29ක් පමණ වූ සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයකය. උපරිම තත්ත්වය යටතේ ඉන්දියාවේ මිලියන 1200ක්, නයිජීරියාවේ මිලියන 485ක්, පාකිස්තානයේ, ඉන්දුනීසියාවේ හා සුඩානයේ මිලියන 100ක් බැගින් වූ පිරිසක් මේ අධික උෂ්ණත්වයක් ඇති ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අයත් වනු ඇත. අද මෙවැනි උෂ්ණත්වයක් දැකිය හැක්කේ ලෝකයේ බිම් ප්‍රමාණයෙන් 0.8ක් තරම් වූ ඉතා සීමිත ප්‍රදේශයක පමණකි.
උක්ත අධ්‍යයනයෙන් හෙළි වන පරිදි ඉහළ යන සෑම සෙල්සියස් අංශයකටම ලෝකය පුරා බිලියනයක පමණ පිරිසක් වාසය කරන ප්‍රදේශ එවැනි අධික සාමාන්‍ය උෂ්ණත්වයක් ඇති තත්ත්වයකට පත්වෙයි. එම ජනතාවට එම ප්‍රදේශවල සිට වෙනත් ප්‍රදේශවලට සංක්‍රමණය වීමට හෝ ඒ තත්ත්වයට අනුහුරු වී ජීවත්වීමට සිදුවනු ඇත. ඒ සඳහා අවශ්‍ය සම්පත් හා මූල්‍ය පහසුකම් ඒ රටවල ජනතාවට ඒ වන විට පවතිනු ඇතිද? නිදසුනක් ලෙස ගහොත් ඒ අධික උෂ්ණ තත්ත්ව යටතේ වගා කටයුතු පවා සීමා විය හැකිය. (මූලාශ්‍රය - Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1910114117)
ආන්තික තත්ත්වවල ඉහළ යෑමත්
සාමාන්‍ය වියළි තත්ත්වවලදී ශරීරයට දහඩිය දමන අතර ඒවා වාෂ්ප වී යෑමෙන් යම් පහසුවක් දැනෙයි. එහෙත් අධික ආර්ද්‍රතාවයක් ඇති විට මේ වාෂ්පීකරණය අඩු වන අතර ඇතැම් විට නැවතීමටද හැකිය. එවිට දේහයේ උෂ්ණත්වය ඉහළ යන අතර ඉන්ද්‍රිය අකර්මණ්‍ය වී මරණය පවා සිදුවිය හැකිය. මිනිසුන්ගේ පැවැත්මට බලපාන මේ උෂ්ණත්වය හෙවත් “තෙත්-බල්බ උෂ්ණත්වය” (wet-bulb temperature) සෙල්සියස් අංශක 35 ඉක්මවීම බරපතළ බලපෑමක් ඇති කරයි. මේ අගය මිනිසුන්ගේ කායික විද්‍යාත්මක ක්‍රියකාරිත්වයේ ඉහළ සීමාව වෙයි. (එහෙත් ඊට වඩා අඩු අගයවලදී ද බරපතළ සෞඛ්‍ය හානි ඇති විය හැකිය). දැනටමත් ඇතැම් උප නිවර්තන වෙරළාසන්න ස්ථානවලින් මේ තත්ත්වය වාර්තා වී තිබෙයි. ඒවා ඇතිවිය හැකි යැයි අනුමාන කරන ලද්දේ ආර්ද්‍රතාවය ගැටලුවක් බවට පත්ව ඇති නිවර්තන හා උප නිවර්තන කලාපීය රටවලය.
මෙම අධ්‍යයනයට අනුව අදින් දශක කීපයකට පසුව ඇති වෙතැයි අපේක්ෂා කළ මෙවැනි සිදුවීම් දැනටමක් ඇතිවෙමින් පවතී. ඒවා පවත්නා කාල සීමාව වැඩිවෙමින් ඇති අතර, ඒවායේ බලපෑමට ලක්වන ප්‍රදේශ ප්‍රමාණය ද මිහිතලය උණුසුම් වීම හා සාපේක්ෂව ඉහළ යනු ඇත. මෙසේ පෙර සිදු කළ අධ්‍යයනවලට වඩා වෙනස් ප්‍රතිඵලයක් මෙම අධ්‍යයනයේදී ලැබී ඇත්තේ භාවිත කර ඇති දත්ත නිසාය. පෙර සිදුකරන ලද අධ්‍යයනවලදී යොදාගෙන ඇත්තේ විශාල ප්‍රදේශවල පැය කීපයක පමණ කාලයක් මුළුල්ලේ පැවති ආර්ද්‍රතාවයේ හා උෂ්ණත්වයේ සාමාන්‍ය තත්ත්වයයි. එහෙත් මේ අධ්‍යයනයේදී යොදාගෙන තිබෙන්නේ ලෝකය පුරා කාලගුණ මධ්‍යස්ථාන 7877කින් ලබාගත් පැයෙන් පැයට ලබාගත් දත්තය. එමගින් කෙටිකාලීනව පැවති හා කුඩා ප්‍රදේශයකට බලපෑ සිදුවීම් පවා හඳුනා ගැනීමට ඔවුන්ට හැකි වී තිබෙයි. එසේම මීට පෙර හඳුනාගැනීමට නොහැකි වූ එවැනි සිදුවීම් ගණනාවක් හඳුනාගැනීමට ද හැකි වී තිබෙයි. (මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.aaw1838)
අනාගතය වෙනුවෙන් අප කළ යුතු දේ
මේ තත්ත්වය අනුව දේශගුණ වෙනස් වීඹ පාලනයට හෙවත් හරිතාගාර විමෝචන පාලනය සඳහා කටයුතු කිරීමට කඩිනම් විය යුතු බව පැහැදිලිව පෙනේ. එය පශ්චාත්-කොරෝනා සමයේදී යළිත් ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේදී වැදගත්ය.
ඉහත සඳහන් කරන ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන ලද, කොරෝනා වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වන ලෝකයට වැදගත් පියවර මෙසේය. හරිත හෙවත් පිරිසිදු ව්‍යාපාර හා රැකියා අවස්ථා ඇති කිරීම, ජනතාවගේ බදු මුදල් හරිත රැකියා හා තිරසර වර්ධනයක් සඳහා යොදාගැනීම, ජනතාව හා සමාජය දේශගුණ වෙනස් වීමට වැඩිදුරටත් ඔරොත්තු දෙන ලෙස මුදල් වැය කිරීම, පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර නවතා දැමීම, පරිසර දූෂකයන් ඒ පරිසර දූෂණය සඳහා වන්දි ගෙවීම හා ලෝකය එක්ව කටයුතු කිරීම යන කරුණු ඔහු දක්වා ඇති පියවර අතර වෙයි.
ඉහත සඳහන් කරන ලද, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් වරයා විසින් නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දෙන ලද, කොරෝනා වසංගතයෙන් පසු යථාතත්ත්වයට පත්වන ලෝකයට වැදගත් පියවර මෙසේය. හරිත හෙවත් පිරිසිදු ව්‍යාපාර හා රැකියා අවස්ථා ඇති කිරීම, ජනතාවගේ බදු මුදල් හරිත රැකියා හා තිරසර වර්ධනයක් සඳහා යොදාගැනීම, ජනතාව හා සමාජය දේශගුණ වෙනස් වීමට වැඩිදුරටත් ඔරොත්තු දෙන ලෙස මුදල් වැය කිරීම, පොසිල ඉන්ධන සඳහා ලබාදෙන සහනාධාර නවතා දැමීම, පරිසර දූෂකයන් ඒ පරිසර දූෂණය සඳහා වන්දි ගෙවීම හා ලෝකය එක්ව කටයුතු කිරීම යන කරුණු ඔහු දක්වා ඇති පියවර අතර වෙයි.
මෙවැනි අදහස් තවත් අයගෙන් ඉදිරිපත්ව ඇත. එංගලන්ත බැංකුවේ හිටපු අධිපතිවරයෙකු වන මාක් කාර්නි පවසා තිබුණේ කාර්මික රටවල් කොරෝනා අර්බුදයෙන් පසුව හරිතවත් ආර්ථිකයක් වෙත පෙළඹිය යුතු බවයි. පවිත්‍ර බලශක්තියේ වැදගත්කම ඔස්ට්‍රේලියාවේ හිටපු අගමැතිවරයෙකුවන මැල්කම් ටර්න්බුල් ද පවසා තිබිණි.
ලෝකයේ නගරාධිපතිවරුන්ගේ එකතුවක් නිකුත් කළ නිවේදනයකින්ද කියැවුනේ කොවිඩ්-19න් පසුව ලෝකය යළි යථා තත්ත්වයට පත් වීම සඳහා සකස් කරන සැලසුම්වලදී දේශගුණ වෙනස්වීම පාලනය එහි වැදගත් අංශයක් විය යුතු බවයි. ලෝකය බරපතළ දේශගුණ ව්‍යසනයකින් මිදීමට නම්, අද පවත්නා සාමාන්‍ය තත්ත්වයෙන් වෙනස් වීම අත්‍යවශ්‍ය බව මෙහි සඳහන් වේ. මෙහි අවධානය විශේෂයෙන් යොමුව ඇත්තේ නාගරික සමාජ සම්බන්ධවය. පයින් යෑම, බයිසිකල් පැදීම, වැනි පිරිසිදු පිළිවෙත් ප්‍රවර්ධනය සඳහා කටයුතු කිරීමේ වැදගත්කම එහිදී අවධාරණය කර ඇති කරුණු හතකින් යුක්ත නිවේදනයේ දැක්වෙයි. එමෙන්ම හරිත රැකියා හා බලශක්ති කාර්යක්ෂමතාවය සම්බන්ධව අවධානය යොමු කිරීමේ ඇති වැදගත්කමද එහි දක්වා ඇත. ලෝක ජනගහනයෙන් මිලියන 750ක් වාසය කරන නගරවල නගරාධිපතිවරු මේ ප්‍රකාශයට එකඟ වී ඇත.
වර්තමාන වසංගතයෙන් මෙන්ම ඒ නිසා ඇති වී තිබෙන ආර්ථික අර්බුදයෙන්ද මිදී ඉදිරියට යන ලෝකයට දැන් අවශ්‍යව ඇත්තේ තවත් අර්බුදයක් ඇති වීම වලක්වාලීමටය. ලෝක ආර්ථිකය තිරසර, හරිත ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමය. පිරිසිදු බලශක්තිය, හරිත රැකියා, හරිත ආයෝජන ආදිය තිරසර ආර්ථිකයකට අත්‍යාවශ්‍ය දේ බව මේ වන විට පැහැදිලිය. එහෙත් ඒ සඳහා යන මග අභියෝග රහිත වූවක් නම් නොවේ.
http://www.vidusara.com/2020/05/20/feature2.html
http://www.vidusara.com/2020/05/20/feature2.html
No comments:
Post a Comment