Wednesday, August 8, 2018

චීනයෙන් හමු වූ ගිබන් විශේෂය වඳ වී ගියේ මිනිස්‌ ක්‍රියාකාරකම් නිසා ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.07.2017, පි. 06 (Vidusara)

http://www.vidusara.com/2018/07/18/feature1.html




චීනයේ පැරැණි සුසානයක තිබී හමු වූ සත්ත්ව අස්‌ථි ශේෂ අතර තිබී මෙතෙක්‌ විද්‍යාත්මක ව විස්‌තර කර නොමැති ගිබන් වානර විශේෂයකට අයත් ශේෂ හඳුනාගැනීමට විද්‍යඥයන් පිරිසක්‌ සමත් වූ බව පසුගිය දා වාර්තා විය. මෙසේ හමු ව ඇති ගිබන් විශේෂය අද ලෝකයේ දැකිය නොහැකි වඳ වී ගිය ගිබන් විශේෂයකි. ඒ අනුව මිනිසුන් ජීවී විශේෂ තර්ජනයට ලක්‌ කර ඇත්තේ හා වඳ වී යැමට සලස්‌වා ඇත්තේ සැලකිය යුතු තරම් අතීතයේ සිට බවට ද සාධක මෙමඟින් ලැබෙන බව මේ පර්යේෂකයන්ගේ මතය වෙයි.

මේ සොයාගැනීම සිදු කර ඇත්තේ මධ්‍යම චීනයේ ෂාන්ක්‌සි පළාතේ සියාන් (Xi'an) ආසන්නයේ පිහිටා ඇති සුසානයකිනි. අතීතයේ ප්‍රබල අධිරාජ්‍යයක කේන්ද්‍රස්‌ථානය ලෙස පැවැති ප්‍රදේශයක්‌ වන එම ප්‍රදේශයෙන් මේ සුසානය සොයාගන්නා ලද්දේ 2004 වර්ෂයේ දී පමණ ය. සුසානයේ පිහිටීම හා ලැබුණු පුරාවස්‌තු අනුව එහි දින නියම කර ඇත්තේ අදින් වසර 2,200ත් 2,300ත් අතර කාලයකට අයත් වූවක්‌ ලෙස ය. එසේ ම එම සුසානය අයත් වන්නේ සියා (Lady Xia‌) ලෙස හඳුන්වනු ලබන වංශවත් කාන්තාවකට ලෙස ද නිගමනය කර ඇත. ඇය චීනයේ පළමු අධිරාජයා ලෙස සැලකෙන ක්‌සිං ෂිසුආග් (Qin Shi Huang) අධිරාජයාගේ මිත්තණියයි. පොදු වර්ෂ පූර්ව 256 සිට 210 දක්‌වා රාජ්‍යත්වය දැරූ මේ අධිරාජයා චීනයේ විශාල ප්‍රදේශයක්‌ එක්‌සත් කර සිය අධිරාජ්‍යය ගොඩනඟාගත්තේ ය. එසේ ම ඔහු චීන මහා ප්‍රාකාරය තැනීමට ද මුල් වූයේ ය. ලෝක ප්‍රකට මැටි සොල්දාදුවන් දැකිය හැකි සුසාන ගෘහය ඔහුගේ දේහය තැන්පත් කළ සුසාන ගෘහය වෙයි.

පෙර සඳහන් කාන්තාවගේ සුසානය කැණීමෙන් ලැබී ඇති ද්‍රව්‍ය අතර විවිධ සත්ත්ව ශේෂ රැසක්‌ තිබී ඇත. ඒ අතර ලින්ක්‌ස්‌ මුවන්, දිවියන් හා කළු වළසුන් වැනි සතුන්ගේ අස්‌ථිමය ශේෂ විය. ඒ අතර තිබී මේ අධ්‍යයනයේ යෙදුණු පිරිසට අදාළ ගිබන් අස්‌ථි ශේෂ නිරීක්‌ෂණයට අවස්‌ථාව ලැබෙන්නේ 2011 වර්ෂයේ දී පමණ ය. කැණීමෙන් හමු වූ මේ ප්‍රයිමේටා අස්‌ථි ශේෂ මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වූයේ එම හිස්‌ කබල කොටස හා හනු කොටස මේ වන විට දන්නා ගිබන් වානරයකුට සමාන නො වන බව ඔවුන්ට පෙනී ගිය නිසා ය.

ගිබන් විශේෂය හඳුනාගැනීම

ඩිජිටල් පරිලෝකනය මඟින් ලබාගත් දත්ත යොදාගනිමින් ආසියාවේ ගිබන් සතුන් සිය ගණනකගේ හිස්‌කබල් සමඟ මේ නව හිස්‌කබල සංසන්දනය කර ඇති අතර, බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ කෞතුකාගාරවල ඇති නිදර්ශක එකතු හා සමඟ ද සංසන්දනය කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති පරිදි, මේ හිස්‌කබල පැහැදිලි වෙනස්‌කම් සහිත ව ඉස්‌මතු වී ඇති බව පෙනී ගොස්‌ ඇත. කෙසේ වෙතත් මේ හිස්‌කබලෙන් DNA ලබාගැනීමට පර්යේෂකයන්ට හැකියාවක්‌ ලැබී නැත.

මෙසේ ලැබුණු ගිබන් හිස්‌කබලේ තොරතුරු යොදාගෙන පර්යේෂකයන් අධිතාක්‌ෂණික ආකෘතික ක්‍රමවේද යොදාගෙන මේ ගිබන් වානරයන් අතර නව විශේෂයක්‌ මෙන් ම නව ගණයක්‌ ද වන බව අනාවරණය කරගෙන ඇත. මෙසේ සොයාගත් ගිබන් වානර විශේෂය නම් කර ඇත්තේ Junzi imperialis යනුවෙනි. මේ ගිබන් සත්ත්වයාගේ මුහුණේ ස්‌වභාවය සාපේක්‌ෂ ව වඩා පැතලි වූවක්‌ වන අතර එය ප්‍රමාණයෙන් කුඩා වූවකි. එසේ ම මොවුන්ගේ රදනක දත් සත්ත්වයාගේ ප්‍රමාණයට සාපේක්‌ෂ ව දික්‌ වූ බව ද දක්‌වා ඇත. එසේ ම අද වන විට මේ ගිබන් විශේෂය වඳ වී ගොසිනි. මේ අනුව වඳ වී ගිය ගිබන් වානර විශේෂ ගණන දෙකක්‌ දක්‌වා ඉහළ යයි.

මේ නව විශේෂය ජීවත් වන්නට ඇත්තේ වර්තමානයේ ගිබන් වාසය කරන ප්‍රදේශවලට වඩා උතුරට වන්නට විය හැකි ය. අතීත චීනයෙන් ගිබන් පිළිබඳ ව වාර්තා තිබුණ ද වර්තමානය වන විට ගිබන් වානරයන් හමු වන්නේ මධ්‍යම චීනයට බොහෝ ඈතින් ය.

ගිබන් පිළිබඳ වාර්තා ඓතිහාසික චීන ලේඛන අතර එයි. නිදසුනක්‌ ලෙස අටවැනි සියවසේ චීන කවියකු වූ ලි බායි (Li Bai) විසින් යෑංට්‌සි ගෙග් ගල්පර අතරේ ගිබන් වානරයන්ගේ හඩ රැව් දෙන ආකාරය පිළිබඳ ව සටහන් තබා ඇත. එහෙත් අද වන විට යෑංට්‌සි ගෙග් ෙද්‍රdaණියේ තවදුරටත් ගිබන් වානරයන් දැකිය නොහැකි ය. එසේ ම චීනයේ පැරැණි චිත්‍රවල සඳහන් වන සමේ වර්ණ රටාවලින් යුක්‌ත ගිබන් වානරයන් අද වෙනත් ප්‍රදේශවල දැකිය හැකි වානරයන් අතර දැකිය හැකි නො වේ. චිත්‍රවල ඉතා කැපී පෙනෙන ආකාරයෙන් නිරූපණය කර ඇති බැවින් එම ගිබන් වානරයන් මධ්‍යම චීනයේ කිසියම් කාලයක සුලබ ව දැකිය හැකි වූ බව පර්යේෂකයන්ගේ අදහසයි. මේ පිළිබඳ ව සාධකයක්‌ ලෙස මේ සුසානයෙන් ලැබී ඇති ගිබන් අස්‌ථි ශේෂ සැලකිය හැකි ය. මේ අනුව උක්‌ත වඳ වී ගිය විශේෂය චිත්‍රවල හා ඓතිහාසික වාර්තාවල සටහන් වන්නේ ද යන්න සිතීම සාධාරණ ය.

චීන සංස්‌කෘතිය තුළ ගිබන් වානරයන් උසස්‌ ලක්‌ෂණ තිබූ සතුන් සේ සැලකිණි. මේ සතුන් වඳුරන් හා සංසන්දනය කරමින් මේ බව දක්‌වා ඇත. ඒ නිසා ගිබන් වානරයන් වංශවතුන් අතර සුරතල් සතුන් සේ ඇති කරන ලද බව ද සඳහන් වෙයි. චිත්‍රවල ගිබන් වානරයන් සටහන් වීමට මෙය ද එක්‌ හේතුවකි.

වඳ වී යැමට මිනිසුන්ගේ සම්බන්ධය

එසේ නම් මේ ගිබන් වානරයන්ට සිදු වූයේ කුමක්‌ ද? මේ ගිබන් විශේෂය මීට ශතවර්ෂ කීපයකට පෙර පමණ කාලයක්‌ දක්‌වා (එනම් 18 වැනි සියවස පමණ) ජීවත් වී ඇති, ගිබන් විශේෂයක්‌ විය හැකි බව විද්‍යාඥයන්ගේ අදහසයි. මේ ගිබන් විශේෂයේ වඳ වී යැම සඳහා බලපා ඇති මූලික හේතු වන්නේ පරිසරය සම්බන්ධ ව මිනිසුන් විසින් එල්ල කරන ලද පීඩනය විය හැකි ය.

මෙසේ උක්‌ත සත්ත්වයා සුසානයක රැඳවීම මඟින් පෙනෙන්නේ එම සත්ත්වයා සුරතල් සතෙකු ලෙස ඇති කරන ලද බව ය. එවැනි භාවිතයක්‌ අදාළ විශේෂයේ සතුන්ට ඉතා බරපතළ ලෙස හානිකර විය හැකි දෙයකි. විශේෂයෙන් සුරතලයට ඇති කිරීම සඳහා ලබාගන්නේ කුඩා පැටවකු ය. එවැනි පැටවකු පරිසරයෙන් ලබාගැනීමේ දී බොහෝ විට එම පැටවාගේ මව මරා දැමීම සිදු වෙයි. එය තවදුරටත් ගැටලු සහිත විය හැක්‌කේ එය සමස්‌තයක්‌ ලෙස මුළු ගිබන් කණ්‌ඩායමේ ම ව්‍යුහයට බලපාන්නක්‌ විය හැකි නිසා ය. සුරතල් සතුන් ලෙස ඇති කිරීමට ලබාගැනීම ද සතුන්ගේ වඳ වී යැමට හේතුවක්‌ විය හැකි ය.

ඓතිහාසික දත්ත අනුව පෙනී ගොස්‌ ඇත්තේ මිනිසුන් විසින් එල්ල කරන ලද දඩයම හා වාසස්‌ථාන විනාශය වැනි වෙනත් පීඩන තත්ත්ව හේතුවෙන් ද ගිබන් සතුන් වඳ වී යා හැකි බවයි. මේ සියලු තත්ත්ව හේතුවෙන් මේ සුසානයෙන් හමු වූ විශේෂයට අයත් ගිබන් සතුන් වඳ වී යැමට බෙහෙවින් ඉඩ ඇත. මේ අනුව මිනිසුන්ගේ ඝෘජු ක්‍රියාකාරිත්වය නිසා මිහිතලයෙන් වඳ වී ගිය පළමු ජීවී විශේෂය මේ ජීවියා විය හැකි ය. (අද චීනයේ වාසය කරන ගිබන් විශේෂ දැකිය හැක්‌කේ චීනයේ දකුණු දෙසට හා ඈතට වන්නට පිහිටා ඇති ප්‍රදේශයකිනි. ඒ වෙනත් විශේෂ වෙයි)

මේ දක්‌වා දඩයම් කිරීම නිසා හෝ වාසස්‌ථාන විනාශ වීම නිසා හෝ වඳ වී ගිය ප්‍රයිමේටා විශේෂයක්‌ පිළිබඳ ව වාර්තා වී තිබුණේ නැත. එහෙත් මේ නව සොයාගැනීම ගිබන් වානරයන් මුහුණ පා ඇති තත්ත්වය සම්බන්ධ ව පෙන්වා දෙයි. අද වන විට ලෝකයේ ජීවත් වන අග්‍රේෂයන් හෙවත් ප්‍රයිමේටාවන් ජීවත් වන්නේ දැඩි වඳ වීමේ තර්ජනයකට ලක්‌ ව ය.

අනෙක්‌ අතට මිනිසුන් විසින් කොපමණ ප්‍රයිමේටා විශේෂ ගණනකගේ වඳ වීම සඳහා දායක වී තිබේ ද යන්න ඇතැම් විට අප මෙතෙක්‌ අවතක්‌සේරුවට ලක්‌ කර ඇතැයි යන්න මේ පර්යේෂණයෙන් මතු කරන තවත් කරුණකි. අප නො දන්නා දේ තවත් තිබිය හැකි ය. අනෙක්‌ අතට අද ජීවත් වන සියලු ජීවී විශේෂ මුහුණ පා ඇති තර්ජනයේ තරම ද මේ අනුව පෙනෙයි. මේ ජීවීන්ගේ ආරක්‌ෂාව හා පැවැත්ම පවතින්නේ මිනිසුන්ගේ දායකත්වය මත ය.

මූලාශ්‍රය : Science, DOI: 10.1126/science.aao4903

සටහන - ගිබන් විවිධත්වය



ගිබන් යනු ක්‌ෂිරපායි වර්ගයේ Primates ගෝත්‍රයට අයත් Hylobatidae කුලයට අයත් වානර විශේෂ වේ. මොවුන් කුඩා වානරයන් (Lesser apes) ලෙස මහා වානරයන් ගෙන් (Great apes - චිම්පන්සි, ගොරිල්ලා, ඔරංඋටං හා මිනිසුන්) මූලික ව වෙන් කරගනු ලබන්නේ ප්‍රමාණයෙන් කුඩා වීමෙනි.

මේ වන විට ලෝකයේ ජීවත් වන ගිබන් විශේෂ ගණන 18ක්‌ පමණ වෙයි. ඒ විශේෂ 18 ගණ හතරකට (04) අයත් ය. එසේ ම මේ ලිපියේ සඳහන් වන වඳ වී ගිය විශේෂය ද ඇතුළත් ව ගණ දෙකකට (02) අයත් වඳ වී ගිය විශේෂ දෙකක්‌ පිළිබඳව ද වාර්තා වෙයි. මේ අනුව ගිබන් විශේෂ 20ක්‌ පිළිබඳ ව ලෝකයෙන් වාර්තා වී ඇත.

අප දන්නා ගිබන් සත්ත්වයන් වාසය කරන්නේ ආසියාවේ ය. ඒ නිවර්තන හා උප නිවර්තන කලාපයට අයත් රටවල් කිහිපයක පමණකි. බංගලාදේශය හා නැඟෙනහිර ඉන්දියාවේ සිට චීනයේ දකුණුදිග ප්‍රදේශවල හා අග්නිදිග ආසියානු රටවල් දක්‌වා වූ කලාපයක ද හා ඉන්දුනීසියානු දූපත් කිහිපයක ද මේ සතුන් දැකගත හැකි ය.

No comments:

Post a Comment