Monday, July 4, 2016

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීම පරිසරයට බලපාන ආකාරය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 29.06.2016, පි. 5

(Vidusara, 29.06.2016, p. 5 - Potential impact of Brexit on the the environment)

http://www.vidusara.com/2016/06/29/feature2.html



පසුගිය සතියේ ලෝක දේශපාලනයේ සිදු වූ වැදගත් ම සිදු වීම වූයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත් විය යුතු ද යන්න විමසීම සඳහා පැවැති ජනමත විචාරණයේ දී එරට ජනතාව ගෙන් 51.9%ක්‌ පමණ පිරිසක්‌ එරට යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු යෑයි ඡන්දය ප්‍රකාශ කිරීම ය. ඊට විරුද්ධ වී ඇත්තේ ඡන්දය ප්‍රකාශ කළවුන් ගෙන් 48.1%ක පමණ පිරිසකි. මේ ජනමත විචාරණයේ දී සමස්‌ත ඡන්දදායකයන් අතරින් 72.2%ක්‌ පමණ ඡන්දය ප්‍රකාශ කර ඇත. මේ අනුව ජනතාව ගේ තීරණය වන්නේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතුය යන්න බව පැහැදිලිය. මෙය 'Brexit' යනුවෙන් හැඳින්වේ.

මේ පිළිබඳව සිදු කර ඇති විශ්ලේෂණ අනුව ජනතාව අතර කැපී පෙනෙන බෙදීම් දැකිය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස තරුණ පිරිස්‌ අතරින් බහුතරය යුරෝපා සංගමය සමග සිටීමට කැමැත්ත දක්‌වන අතර, වැඩිහිටි පිරිස්‌ අතරින් බහුතරය කැමැත්ත පළ කර ඇත්තේ ඉන් ඉවත් වීමට ය. ස්‌කොට්‌ලන්ත හා උතුරු අයර්ලන්ත වැසියන් කැපී පෙනෙන බහුතරයකින් යුක්‌ත ව කැමැත්ත දක්‌වා ඇත්තේ යුරෝපා සංගමය හා එක්‌ ව සිටීමට වන අතර, එංගලන්ත හා වේල්ස වැසියන් වැඩි පිරිසක්‌ කැමැත්ත දක්‌වා ඇත්තේ වෙන් වීමට ය.

මෙය බ්‍රිතාන්‍ය වැසියන් විසින් ගන්නා ලද දේශපාලන තීරණයකි. ඊට විවිධ හේතු බලපාන්නට ඇති බව පැහැදිලි ය. යුරෝපා සංගමය හා එක්‌ ව සිටීම නිසා බ්‍රිතාන්‍ය වැසියන්ට වාසි මෙන්ම පාඩු ද ඇති වූ බව එරට ජනතාව ගේ කැමැත්ත බෙදී ගොස්‌ ඇති ආකාරය අනුව පෙනේ. විශේෂයෙන් මෑත දී සාකච්ඡාවට ලක්‌ වූ, එරට ජනතාවට බලපා ඇති ආර්ථික, සෞඛ්‍ය අංශවල ගැටලු මෙන්ම සංක්‍රමණික ජනතාව නිසා ඇති වී තිබෙන ගැටලු වැනි කරුණු මෙන්ම දේශපාලනික හේතු ද මීට හේතු වී ඇති බව පැහැදිලි ය. බ්‍රිතාන්‍යය තුළ මතු ව ඇති ජාතිකවාදී අදහස්‌ එරට තුළ වර්ධනය වීම මේ වෙනස ඇති වීමට දායක වූ එක්‌ හේතුවකි.

කෙසේ වෙතත් මේ ඉවත් වීමට ගත් තීරණය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වීමට වසර ගණනාවක්‌ ගත විය හැකි ය. ඒ හා සම්බන්ධ ව අනුගමනය කළ යුතු මදක්‌ සංකීර්ණ වූ නිශ්චිත ක්‍රියාවලියක්‌ ද තිබේ. ඒ අනුව බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් පිටමං වීමට අඩු වශයෙන් වසර දෙකක්‌ පමණ කාලයක්‌ වත් ගත වනු ඇත. ඒ පිළිබඳව හදිසියක්‌ වෙන් වීමේ ව්‍යාපාරයේ යෙදුණු අයට ද නැත. එහෙත් යුරෝපා සංගමයේ විදේශ අමාත්‍යවරුන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලා තිබුණේ කඩිනමින් ඉවත් වීමට කටයුතු කරන මෙනි.

යුරෝපා සංගමයට ඇති බලපෑම


බ්‍රිතාන්‍යය, සංගමයෙන් වෙන් වීමට ගත් තීරණය නිසා යුරෝපා සංගමය තුළ අවිනිශ්චිත තත්ත්වයක්‌ ඇති වී තිබෙන බවක්‌ පෙනේ. මේ හේතුව නිසා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් වෙන් වීමට තීරණය වූ ජනමත විචාරණය ඇතැම් අය සමාන කර තිබුණේ 1989 දී බර්ලින් තාප්පයේ බිඳවැටීමට ය. හතළිස්‌ වසරකට අධික කාලයක්‌ පැවැති යුරෝපා සංගමයේ බිඳවැටීමක්‌ ගැන යම් අනතුරු හැගවීමක්‌ ගැන ද මින් කියෑවේ.

විශේෂයෙන් සංගමයේ වෙනත් සාමාජික රටවල් බ්‍රිතාන්‍යය ගත් පියවර හා සමාන පියවර ගැනීමට පෙලැඹුණ හොත් ඇති විය හැක්‌කේ අවිනිශ්චිත තත්ත්වයකි. යුරෝපා සංගමයේ ඇතැම් නීති රීති ආදිය නිසා නොසතුටින් සිටින රටවල් එවැනි තීරණවලට එළැඹීමේ ඉඩක්‌ නැත්තේ නො වේ. කෙසේ වෙතත් එවැනි අනතුරක්‌ නුදුරු අනාගතයේ ඇති වන බවක්‌ පෙනෙන්නට නැතත්, ආරක්‌ෂක පියවරක්‌ ගැනීමට පෙලැඹෙනු ඇත.

එහෙත් යුරෝපා සංගමය, එවැනි සමූහයක්‌ ලෙස එක්‌ ව සිටීම නිසා ඇති වූ අයහපත් දේ කෙතෙක්‌ තිබුණ ද යහපත් දේ ද තිබූ බව අප අමතක නො කළ යුතු ය. ඒ, විශේෂයෙන් පරිසරය සම්බන්ධව ය. දැන් ඇති ගැටලුව වන්නේ යුරෝපා සංගමයේ මේ දුර්වල වීම හමුවේ ලෝකය පරිසරය පිළිබඳ අත්පත් කරගත් ජයග්‍රහණ දුර්වල වීමේ අවස්‌ථාවක්‌ උදා වී තිබීම ය. මෙය බ්‍රිතාන්‍යයට පමණක්‌ නො ව සමස්‌තයක්‌ ලෙස ලෝකයට ම බලපෑමක්‌ සිදු කළ හැකි කරුණක්‌ වීම මෙහි ඇති බරපතළ තත්ත්වයයි.

පරිසරය සම්බන්ධ ව යුරෝපා සංගමය


සංගමය එහි පරිසරය හා සම්බන්ධ විවිධ අංශවලට පැනවූ විවිධ නීති රීති නිසා දැඩි අවධානයකට ලක්‌ විය. සංගමය හා තිබූ බැදීම නිසා ඒ නීති බොහොමයක්‌ ක්‍රියාත්මක කිරීමට එහි සාමාජික රටවලට සිදු විය. ඒ නිසා අදාළ රටවට යහපතක්‌ වූ අතර ඇතැම්වා ජගත් මට්‌ටමෙන් ඉතා වැදගත් පූර්වාදර්ශ ද වූ බව පහත නිදසුන්වලින් ද පැහැදිලි වේ. මෙහි දී වඩාත් ම වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ගත් පියවරයි.

දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව යුරෝපා සංගමය කලක පටන් පුරෝගාමී මෙහෙවරක්‌ ඉටු කොට තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ගැටලුව නො සලකා හැර තිබිය දී ඊට විසඳුමක්‌ සෙවීමට යම් හෝ පියවරක්‌ ගත්තේ යුරෝපා සංගමයයි. දේශගුණ වෙනස්‌ වීම හා සම්බන්ධ සැම වැදගත් ගිවිසුමක්‌ හා සන්ධානයක්‌ සඳහා ම යුරෝපා සංගමය කිසියම් හෝ වැදගත් කාර්යයක්‌ ඉටු කර ඇත. එහි දී බ්‍රිතාන්‍යය ද ශක්‌තිමත් හඩක්‌ නැගූ රටක්‌ විය. යුරෝපා සංගමය ගත් පියවර අතර පිරිසිදු බලශක්‌තිය පිළිබඳ ඉලක්‌ක මෙන්ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ඉලක්‌ක ද වැදගත් සේ සැලකිය හැකි ය. 2020 වන විට පුනර්ජනනය කළ හැකි බලශක්‌තියෙන් සංගමයේ රටවල බලශක්‌ති අවශ්‍යතාවෙන් 20%ක්‌ ලබාගැනීමට එකගතාවක්‌ ඇති කරගත්තේ 2008 වර්ෂයේ දී ය. 2030 වර්ෂය වන විට එම සංගමයේ රටවල හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 40%ක්‌a පමණ දක්‌වා අඩු කිරීමට 2014 වර්ෂයේ දී පමණ යුරෝපා සංගමය තීරණයක්‌ ගත්තේ ය. මේ අනුව යුරෝපා සංගමයේ දුර්වල වීමක්‌ ඇති වුව හොත් එහි ප්‍රතිඵලය බරපතළ එකක්‌ විය හැකි ය.

වායු දූෂණය වැළැක්‌වීමට ගත් පියවර ද මෙවැනි වැදගත් පියවරකි. ඒ සඳහා නව නීති රීති 2013 වර්ෂයේ දී ගෙන ආ සංගමය ප්‍රධාන වායු දූෂක 6ක්‌ සඳහා එවකට පැවැති විමෝචන සීමා තවදුරටත් අඩු කළේ ය. මෙහි අපේක්‌ෂාව වූයේ 2030 වර්ෂය වන විට යුරෝපයේ වායු දූෂණය වර්තමාන මට්‌ටමෙන් 20%ක්‌ පමණ තෙක්‌ අඩු කිරීමය. මෙහි වාසිය බොහෝ රටවලට ලැබිණි. එසේ ම බ්‍රිතාන්‍යයේ ද නගර ගණනාවක වායු දූෂණය පාලනය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරෝපා සංගමය විසින් 2010 වර්ෂයේදී පමණ පනවන ලද වායු දූෂණය පිළිබඳ නීති මත ගන්නා ලද අධිකරණ ක්‍රියාමාර්ග ය. මේ ආකාරයට ම අපද්‍රව්‍යවලින් පිරුණු වෙරළ තීර, පිරිසිදු වෙරළ තීර බවට පත් කිරීමට හේතු වූයේ ද යුරෝපා සංගමයේ නීති මත පදනම් ව ගන්නා ලද නීතිමය ක්‍රියාමාර්ග ය.

පරිසරය හා සම්බන්ධව යුරෝපා සංගමය ගත් තවත් පුරෝගාමී පියවරක්‌ වූයේ මෑත කාලයේ දී වාර්තා වූ මීමැස්‌සන් හා වෙනත් කෘමීන් ගේ වඳ වී යැමට හේතු වූ බවට සැක කරන ලද නියෝනිකොටිනොයිඩ කාණ්‌ඩයේ පළිබෝධනාශක කිහිපයක්‌ තහනම් කිරීම ය. මේ තීරණය ගන්නා ලද්දේද 2013 වර්ෂයේ දී ය. මේ කාණ්‌ඩයේ රසායනික ද්‍රව්‍ය ගැන ලෝකයේ අවධානය යොමු වූයේ මේ සමග ය. කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ කෘෂිකාර්මික සංවිධාන අතර මේ පිළිබඳව යම් විරෝධයක්‌ දැකිය හැකි වූ අතර ඒක පර්ශ්වික ව එම තහනම බ්‍රිතාන්‍යය තුළ ඉවත් කිරීමට ද යම් උත්හාසයක්‌ දැකිය හැකි විය.

පරිසරයට හිමි තැන තේරුම්ගැනීම


මේ කරුණු අනුව අවධානය යොමු කළ යුතු දෙයක්‌ වන්නේ ජාත්‍යන්තර දේශපාලනයේ දී මෙන්ම ඒ ඒ රටවල ජාතික තලයේ දේශපාලනයේ දී පරිසරයට හිමි තැන කුමක්‌ ද යන්න යථාර්ථවාදීව තේරුම්ගැනීම ය. ජාතික දේශපාලනික කරුණුවල දී පාරිසරික කරුණු සඳහා ලැබෙන ප්‍රමුඛතාව වෙනස්‌ වෙමින් හෝ අඩු වෙමින් හෝ පවත්නා බව බවට සාධකයක්‌ ලෙස බ්‍රිතාන්‍යයේ සිදු වූ උක්‌ත සිදුවීම ද සැලකිය හැකි ය. මේ ජනමත විමසුමට පෙර හා ආසන්න කාලයේ දී එරට මෙන්ම යුරෝපයේ විවිධ පරිසර සංවිධාන හා පරිසර ක්‍රියාකාරීන් වැඩි දෙනා අදහස්‌ පළ කර සිටියේ බ්‍රිතාන්‍යය යුරෝපා සංගමය හා සිටීමේ වැදගත්කම ගැන ය. එක්‌ ව සිටීමෙන් බ්‍රිතාන්‍යයේ හා යුරෝපයේ පරිසරය ආරක්‌ෂා කිරීමට ලැබෙන අවස්‌ථාව ගැන ය. එහෙත් ජනමත විමසුමේ ඡන්දය පළ කිරීමේ දී ජනතාව මේ කරුණ සැලකිල්ලට ගෙන ඇති බවක්‌ පෙනෙන්නට නැත.

පාරිසරික සාධකවලට දේශපාලනයේ දී ලැබෙන තැන වෙනස්‌ වෙමින් ඇති බව අප මින් ඉහත දී ද පෙන්වා දී ඇති කරුණකි. ඒ අපේ රටේ දේශපාලනය සම්බන්ධයෙනි. ඊනියා දියුණු යෑයි සම්මත රටවලින් සැදුම් ලද්දේ වුව ද මේ තත්ත්වය යුරෝපා සංගමයට ද පොදු ය. යුරෝපා සංගමය, සංගමයක්‌ ලෙස පරිසරය හා වෙනත් විෂය සම්බන්ධව ඉදිරියෙන් සිටිය ද, එහි සාමාජික රටවල් සියල්ල සමාන අදහස්‌ ඇති රටවල් නො වේ. ඒ රටවල ජාතික දේශපාලනයේ දී ආර්ථික හා සමාජයීය වැනි වෙනත් කරුණු පරිසරයට වඩා වැදගත් වේ. විශේෂයෙන් අර්බුද පවත්නා අවස්‌ථාවල ඒ සාධක වඩාත් තීරණාත්මක වේ. ලෝකයේ බොහෝ රටවල හරිත දේශපාලනය අසාර්ථක වී ඇත්තේ තනි මතවාදයක්‌ ලෙස පරිසරවාදයට හා හැකි දුර සීමාසහිත වන නිසා ය.

මේ අනුව දේශපාලන මතවාදයක්‌ ලෙස ඉදිරිපත් වීමේ දී, වඩා වෙනස්‌ ප්‍රවේශයක්‌ වෙත යොමු වීමට පරිසරවාදයට දැන් කාලය පැමිණ ඇති බව පෙනේ. එය දක්‌ෂිනාංශික ධනවාදී මතවාද සමග මෙන්ම වාමාංශික මතවාද සමග ද මනාව නො පෑහෙන බවක්‌ දැකිය හැකි ය. එසේ ම මේ පාරිසරික ගැටලු බොහෝ දුරට ජාත්‍යන්තර බලපෑමක්‌ ඇති ඒවා වුව ද, ලෝකයේ රටවල් සඳහා තීරණාත්මකව බලපාන්නේ ජාතික මට්‌ටමේ අභිලාෂ බව බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සිදු වීම අනුව යළිත් පැහැදිලි වේ. ඇමෙරිකාවේ හා ඔස්‌ටේ්‍රලියාවේ අතීත දේශගුණ ක්‍රියාකාරකම් ද මේ සඳහා නිදසුන් වේ.

ඒ අනුව ජාතිකවාදය යළි යළිත් ශක්‌තිමත් වීම අනාගතයේ දී ද දැකිය හැකි වනු ඇත. එසේ නම්, ජාතිකවාදී දේශපාලන මතවාද හා සමගාමී ව යා හැකි මගකට පිවිසීම පරිසරවාදයට ද වැදගත් වේ. බොහෝ බටහිර නිදසුන්වලින් මේ සඳහා සාර්ථක මෙන්ම අසාර්ථක නිදසුන් ද දැකගත හැකි ය. එහෙත් බටහිර ආකෘතියට පිටින් ගිය කිසියම් ආකෘතියක්‌ හඳුනාගැනීමට නොහැකි ද?

No comments:

Post a Comment