Monday, June 20, 2016

පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමටත් දේශගුණ වෙනස් වීම හේතු වෙලා!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 27.04.2015, පිටුව 7 (Not available online)

Vidusara, 27.04.2015 - Earth's axis altered due to climate change?

පෘථිවිය එහි ධ‍්‍රැව හරහා පිහිටා ඇති අක්ෂය වඩා භ‍්‍රමණය වීමේදී මේ අක්ෂය ධ‍්‍රැව ප‍්‍රදේශයේම යම් සුළු චලිතයක් පෙන්වයි. මේ පිළිබඳව නිරීක්ෂණ ආරම්භ කළ දින පටන් මේ දක්වා කාලයේදී සිදුව ඇති විශාලතම ප්ලාවිතය (drift) වන්නේ මීටර් 12කි. මෙමගින් එදිනෙදා ජීවිතවලට සැලකිය යුතු බලපෑමක් ඇති නොවන නමුත්, ඨඡුී පද්ධති, චන්ද්‍රිකා හා නිරීක්ෂණාගාරවල නිරීක්ෂණවල නිවැරදිතාව සඳහා මින් යම් බලපෑමක් ඇති විය හැකිය.

මේ මස මුලදී Science Advances සඟරාවේ ප‍්‍රකාශයට පත් වූ පර්යේෂණ වාර්තාවකට අනුව පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මෑත කාලයේදී මදක් වෙනස් වී තිබේ. ඒ අනුව, 2000 වසරේ පමණ සිට පෘථිවියේ භ‍්‍රමණ අක්ෂය මදක් නැගෙනහිර දිශාවට චලනය වී තිබේ. එය, මෙතෙක් කලක් භ‍්‍රමණ අක්ෂයේ දිගුකාලීන චලිතයේ දිශාව වූ කැනඩාව දෙසට චලනය වීමට වඩා වෙනස් වූ දිශාවකි. එසේම නැගෙනහිර දෙසට ගමන් කිරීම ආරම්භ වූ වේගයට වඩා දෙගුණයක් පමණ වේගයෙන් මේ වන විට භ‍්‍රමණ අක්ෂය චලනය වෙමින් තිබේ. ඒ වර්ෂයකට සෙන්ටිමීටර් 17ක් පමණ වේගයකිනි.

ජල ස්කන්ධයේ වෙනස්කම් බලපෑම

මේ ආකාරයෙන් භ‍්‍රමණ අක්ෂයේ චලිත ඇතිවීමක් සඳහා හේතු මින් පෙර විද්‍යාඥයින් විසින් ඉදිරිපත් කර තිබිණි. ඉන් එක් අදහසක් වූයේ ග‍්‍රීන්ලන්තයේ හා අන්ටාක්ටිකාවේ අයිස් දියවීම නිසා ජල ස්කන්ධයේ ඇතිව තිබෙන වෙනස්කම් භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීමට හේතු වී ඇති බවයි. ඉහත කී පර්යේෂණය සිදු කළ විද්‍යාඥයන්ගේ අවධානය යොමු වූයේ මේ අදහස පිළිබඳවය. එය පරීක්ෂා කිරීම සඳහා ඔවුන් 2003 සිට 2015 වර්ෂය දක්වා වූ කාලය සඳහා වූ අභ්‍යවකාශ භූමිතික (space geodetic) හා චන්ද්‍රිකා ගුරුත්වමිතික (satellite gravimetric) දත්ත යොදා ගෙන තිබේ. එ් අනුව මාස්පතා ලෝකයේ ස්කන්ධයේ ඇති වන වෙනස්වීම් පිළිබඳව දත්ත යොදාගෙන අදාළ කාලයේදී ලෝකයේ සිදුව ඇති ජල ස්කන්ධයේ වැඩිවීම් හා අඩුවීම් භ‍්‍රමණ අක්ෂය වෙනස් වීමට බලපා ඇති ආකාරය ඔවුන් විසින් විශ්ලේෂණය කර ඇත. ඉන් අනාවරණය වන පරිදි ජගත් මට්ටමේ මහද්වීපික-සාගර ස්කන්ධ ප‍්‍රවාහනය නිසා පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනස්වීම් ඇති වී තිබේ.

මේ පර්යේෂකයන්ගේ ගණනය කිරීම්වලින් පෙනී ගිය පරිදි ග‍්‍රීන්ලන්තයේ අයිස් තට්ටු දියවීම පමණක් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ සිදුව ඇති වෙනස් වීම සඳහා අවශ්‍ය බලය සැපයීමට ප‍්‍රමාණවත් නැත. ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුවල ඇතිව තිබෙන වෙනස්කම්වලින්, එ නම් බටහිර ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම හා නැගෙනහිර ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව වර්ධනය වීමෙන්, ඇතිවන සමස්ත බලයද හේතු වී ඇති බව ඔවුන්ගේ අදහසයි. එහෙත් පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ චලනය සඳහා එ් බල දෙක පමණක්ද ප‍්‍රමාණවත් නොවන බව ඔවුන්ට පැහැදිලි විය. ඒ අනුව වැඩිදුර කරුණු අධ්‍යයනයේදී ඔවුන්ට පෙනීගියේ ඉන්දියානු උපමහාද්වීපය හා කැස්පියන් මුහුද ඇතුළත් යුරේසියාවේ සිදුව ඇති ජලය හිගවීම මීට අවශ්‍ය අතිරේක බලය ලබාදී ඇති බවයි. නියගය හා භූ ජලසංචිතය ක්ෂයවීම නිසා මේ කලාපයේ ඇතිව ඇත වෙනස්කම් එ් සඳහා හේතු වී තිබේ. මේ නිසා ඇතිවන බලය විශාලවන්නේ අක්ෂාංශ 45 කලාපයේ ඇතිවන වෙනස්වීම්වලින් පෘථිවි අක්ෂයේ භ‍්‍රමණය සඳහා ඇති කළ හැකි බලපෑම විශාල වන නිසාය. (මෙමගින් 1899 සිට පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ නිරීක්ෂණය කර ඇති නැගෙනහිරට හා බටහිරට කලින් කල සිදුවන චලිත පිළිබඳවද පැහැදිලි කිරීමක් ලබා දේ. යුරේසියානු කලාපයේ වියළි කාල වකවානුවලදී පෘථිවි භ‍්‍රමණ අක්ෂය නැගෙනහිරටද, ඒ කලාපයේ අධික වැසි සහිත කාලවලදී භ‍්‍රමණ අක්ෂය බටහිරටද ගමන් කරයි. මේ චක‍්‍රය සඳහා වසර 6-14 අතර කාලයක් ගත වේ.)

මේ කරුණු අනුව ලෝකයේ ජල ස්කන්ධයේ ව්‍යාප්තියේ ඇති වන වෙනස්වීම් නිසා භ‍්‍රමණ අක්ෂයේ චලනයක් ඇති විය හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි.

දේශගුණ වෙනස් වීම නිසා සිදුව තිබේ

‍ලෝකයේ ජල ස්කන්ධයේ මේ වෙනස්වීම් ඇතිවීමට හේතු ව ඇති කරුණ මේ වන විට හොඳින් දනියි. එ් දේශගුණ වෙනස්වීමය. ග‍්‍රීන්ලන්තයේ මෙන්ම ඇන්ටාක්ටිකාවේ අයිස් දියවීම සඳහා බලපා ඇති සාධකය මිහිතලය උණුසුම්වීම බවට මේ වන විට විවාදයක් නොමැති තරම්ය. මේ සඳහා බලපෑවේ මිනිසුන් විසින් හරිතාගාර වායු විමෝචනය කිරීම බවටද මේ වන විට සැකයක් නොමැත.

මේ අනුව දේශගුණ වෙනස් වීම නිසා ඇති වන තවත් බලපෑමක් ගැන මේ පර්යේෂණයෙන් පැහැදිලි වේ. එහි ඇති වැදගත්කම වන්නේ පෘථිවි භ‍්‍රමණ අක්ෂයේ වෙනසක් ඇති වීමට තරම් බලපෑඹක් සඳහා මිනිසුන් දායකත්වය ලබාදී තිබීමය.

‍(මේ පුවත සඳහා මූලාශ‍්‍රය වූ පර්යේෂණ වාර්තාව අදාළ සඟරා වෙබ් අඩවියෙන් නොමිලේ ලබාගත හැකිය. ඒ සඳහා http://advances.sciencemag.org/content/2/4/e1501693 වෙත පිවිසෙන්න. NASA ආයතනයේ වෙබ් පිටුව සඳහා http://climate.nasa.gov/news/2428/ ලිපිනයට පිවිසෙන්න)


රූපය -  www.nasa.gov වෙබ් අඩවිය. http://climate.nasa.gov/news/2428/

No comments:

Post a Comment