Friday, February 21, 2014

අනවසර වනජීවී වෙළෙඳාමට තිත තැබිය හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2014-02-19, (Vidusara), පි 2-3

http://www.vidusara.com/2014/02/19/feature1.html



වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම ලෝකයේ අවධානය බෙහෙවින් යොමු ව ඇති ක්‌ෂේත්‍රයකි. වනජීවීන් ගෙන් ලබාගන්නා විවිධ වූ ද්‍රව්‍ය සඳහා සාම්ප්‍රදායික ඖෂධ, විසිතුරු ද්‍රව්‍ය තැනීම හා විසිතුරු සතුන් හා ශාක ලෙස යොදාගැනීම සඳහා සැලකිය යුතු ජාත්‍යන්තර ඉල්ලුමක්‌ ඈත අතීතයේ පටන් පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් රයිනෝ අං හා ව්‍යාඝ්‍ර අස්‌ථි කොටස්‌ ආදිය ඖෂධ සඳහා යොදාගැනෙන වනජීවී ද්‍රව්‍ය අතර වේ. එසේ ම චිම්පන්සින් වැනි ඇතැම් දුර්ලභ සත්ත්ව ද, තවත් ශාක විශේෂ සඳහා ද ඉල්ලුම ඇත්තේ විසිතුරු ශාක හා සතුන් ලෙස යොදාගැනීම සඳහා ය. ඇත් දළ වැනි ද්‍රව්‍ය සඳහා ඇති වෙළෙඳපොළ මූලික වශයෙන් විසිතුරු භාණ්‌ඩ කර්මාන්තයකි. නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් සිදු වන මේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම නිසා ඇතැම් සත්ත්ව හා ශාක විශේෂ ඒවායේ ස්‌වාභාවික පරිසරයෙන් වඳ වී යන බව දැකගත හැකි ය.

වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ප්‍රමාණයක්‌ සතුන් දඩයම් කිරීම සිදු වන්නේ අප්‍රිකානු රටවල ය. මෙය අප්‍රිකාවේ බරපතළ ගැටලුවක්‌ බවට පත් ව ඇති අතර කලාපයේ රටවල් රැසක දැකිය හැකි අස්‌ථාවර බව හා සිවිල් අර්බුද නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත. මෙහි දී ඇතැම් අවිගත් පාර්ශ්වවල ප්‍රධාන ධනෝපායන මාර්ගයක්‌ ලෙස ද වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම භාවිත වන බව පෙනේ. දරිද්‍රතාවෙන් පීඩා විඳින මේ රටවල ජනතාවට ද මේ නීති විරෝධී වෙළෙඳාම තම දිවි රැකගැනීමට උපකාරි වන බවක්‌ පෙනේ. අප්‍රිකානු ඇතුන්, රයිනෝ වැනි සතුන් දඩයම් කිරීම කෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබේ ද යත්, මේ ඇතැම් විශේෂ මෑත කාලයේ දී වඳ වී යැමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති බව අනාවරණය වී ඇත. පසුගිය වර්ෂයේ දී පමණක්‌ අප්‍රිකානු මහාද්වීපයේ දී මරා දමන ලද ඇතුන් ගේ ගණන 20,000කට අධික වන අතර රයිනෝසිරස්‌ සතුන් දහසකට අධික ප්‍රමාණයක්‌ මරා දමා ඇත. මෑත කාලයේ දී වන සතුන් දඩයම් කිරීමේ වේගවත් වර්ධනයක්‌ දැකිය හැකි විය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ආකාරයෙන් අපනයනය කරනු ලබන වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩිම ඉල්ලුම පවතින්නේ ආසියානු රටවල ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ඉල්ලුමක්‌ පවත්නා කලාපය ලෙස චීනය හා අග්නිදිග ආසියානු රටවල් දැක්‌විය හැකි ය. සාම්ප්‍රදායික ඔසු තැනීම සඳහා මේ ද්‍රව්‍ය යොදාගැනීම මීට මූලික හේතුව වී තිබේ.

මේ නීති විරෝධී හා සදාචාර විරෝධී වෙළෙඳාම පාලනය කිරීම සඳහා අදින් දශක හතරකට පමණ පෙර එකඟ වූ ජාත්‍යන්තර සම්මුතියක්‌ පවතී. එය අන්තරායට පත් ව ඇති ජීවි විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (ක්‍ෂඔES) ලෙස හැඳින්වෙන අතර එය ක්‍රියාත්මක වුව ද, ලෝකය පුරා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම මුළුමනින් ම පාලනය කිරීමට හැකි වී ඇති බවක්‌ නො පෙනේ. මේ වෙළෙඳාම පුළුල් ව ව්‍යාප්ත වූ හා සංවිධානාත්මක ජාවාරමක්‌ බව ද පෙනෙන්නට ඇත. විශේෂයෙන් නවීන තාක්‌ෂණය යොදාගනිමින් පවා මේ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරෙන ජාවාරම පාලනය කිරීමට විවිධ පියවර ගෙන ඇත. එහෙත් එය පාලනය කිරීම බොහෝ රටවලට පහසු කරුණක්‌ වී නැත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් ජීවී විශේෂ වඳ වීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති අතර, මේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ගේ ජීවිත පවා අවදානමකට ලක්‌ ව ඇති තත්ත්වයක්‌ පවතී.

නීති විරෝධී වුවත් මේ ජාවාරමේ සංසරණය වන ධනය හේතුවෙන් මේ ජාවාරම සංවිධානාත්මකව ව්‍යාප්තව තිබේ. පිළිගත හැකි සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ වාර්ෂික වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 20ක්‌ පමණ බව ගණන් බලා ඇත. එහෙත් මේ වටිනාකමට නීති විරෝධී ලෙස අලෙවි වන දැව හා මසුන් ඇතුළත් නො වේ.

ලන්ඩන් සමුළුවේ එකඟතාව


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සම්බන්ධ ව කටයුතු කරන පාර්ශ්ව එක්‌ කරමින් ජාත්‍යන්තර සමුළුවක්‌ පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දී පවත්වන ලදි. zනීති විරෝධී වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳ ලන්ඩන් සම්මන්ත්‍රණය' (London Conference on the Illegal Wildlife Trade) නම් වූ එහි බලාපොරොත්තුව වූයේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය සඳහා කිසියම් ඵලදායී ඉදිරි පියවරක්‌ ගැනීමයි. මේ සමුළුව බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් පවත්වන ලද අතර, මේ සඳහා එරට ඔටුන්න හිමි චාර්ල්ස්‌ කුමරු ගේ සහභාගිත්වය ලැබීම ද වැදගත් සිදුවීමක්‌ විය.

බොහෝ දෙනා අපේක්‌ෂා කළ ආකාරයෙන් ම උක්‌ත සමුළුවේ දී කිසියම් වැදගත් ඉදිරි පියවරක්‌ ගෙන ඇති බවක්‌ දැකිය හැකි ය. ඊට සහභාගි වූ රටවල් හතළිස්‌ හයක ප්‍රධානීන් හා ඉහළ බලධාරීන් එක්‌සත් ජාතීන් ගේ ආයතන එකොළොහක්‌ පමණ ද එක්‌ ව ලන්ඩන් ප්‍රකාශනය (London declaration) නම් වූ එකඟතාවකට අත්සන් කර තිබේ.

මේ ලන්ඩන් ප්‍රකාශනයෙන් වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සඳහා ක්‍රියා නො කළ හොත් එය බොහෝ විශේෂවල පැවැත්මට තර්ජනයක්‌ බව පිළිගෙන තිබේ. එසේ ම ඉදිරියේ දී වනජීවීන් දඩයම් කිරීම වර්ධනය වී ඇති බව සඳහන් කරන එය මේ තත්ත්වය වළක්‌වාලීමට ද එකඟ වී ඇත. නීති විරෝධී ලෙස සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම බරපතළ අපරාධයක්‌ (serious crime) සේ සැලකිය යුතු බවට එකඟ වීම මෙහි ඇති සුවිශේෂී වගන්තියකි.

මේ අනුව වනජීවී වෙළෙඳාම ද අන්තර් -රාජ්‍ය සංවිධානාත්මක අපරාධ පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ නීතිරීති යටතට ගැනීම මේ යටතේ සිදු වනු ඇත. මේ අනුව දැඩි නීති පැනවීමට හා ද`ඩුවම් නියම කිරීමට අවස්‌ථාව ලැබේ. මෙය වැදගත් වන්නේ ඇතැම් රටවල වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම සම්බන්ධ ව ඇති ද`ඩුවම් ඉතා සුළු ඒවා වීම නිසා ය. අදාළ නීති විරෝධී කටයුතුවලින් ලැබෙන ආදායම් ඊට වඩා බෙහෙවින් අධික වන බැවින් ඇතැම් පිරිස්‌ දිගින් දිගට ම මේ ජාවාරමේ යෙදෙන ආකාරයක්‌ දකින්නට තිබේ. අනෙක්‌ අතට වනජීවී අපරාධ සුළු කොට තැකීම බොහෝ විට අපට දැකිය හැකි කරුණකි. මේ නිසා විවිධ රටවල නීති දැඩි කිරීම හා මේ පිළිබඳ ව අනුගමනය කරන ප්‍රතිපත්ති ශක්‌තිමත් කිරීම මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී සුවිශේෂ වැදගත්කමක්‌ පවතී.

අනෙක්‌ අතට මේ වෙළෙඳාම ආශ්‍රිත ව සිදු වන දූෂණය, හුවමාරු වන zකළු සල්ලිZ පිළිබඳව සොයා බැලීම හා සංවිධානාත්මක අපරාධ හා කල්ලි පිළිබඳ ව සොයා බැලීම සඳහා ප්‍රමුඛතාවක්‌ හිමි විය යුතු බවට ද මෙහි දී අදාළ රටවල් එකඟ වී ඇත. විශේෂයෙන් දෙAශසීමා හරහා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම වැළැක්‌වීම සඳහා විවිධ රටවල් හා ඒවායේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර සම්බන්ධතා වර්ධනය කිරීමෙහි ඇති වැදගත්කම ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත. එසේ ම ජාත්‍යන්තර ආයතන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීම පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත.

මෙහි දී එකඟ වී ඇති ක්‍රියාකාරකම් අතර වනජීවී ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම නවතා දැමීමට කටයුතු කිරීම වැදගත් ය. ඉල්ලුම පවත්නා ප්‍රදේශවල ඒ තත්ත්වය පාලනය කිරීම මෙහි දී අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහභාගිත්වය ද මේ සියලු කටයුතු සඳහා ලබාගැනීම වැදගත් බව ලන්ඩන් ප්‍රකාශනයේ සඳහන් වී ඇත.

මේ සමුළුවේ දී ඇතැම් අප්‍රිකානු රටවල් තම රටවල රැස්‌ ව ඇති ඇත්දළ ආදි වනජීවී ද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණීම වළක්‌වාලීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මෙහි දී පොරොන්දු වී ඇත. ඇතැම් රටවල් වසර දහයක කාලයකට මෙවැනි තහනමක්‌ දියත් කරන බව පවසා තිබේ. එය වැදගත් වන්නේ ස්‌වෙච්ඡාවෙන් මෙවැනි ඉදිරිපත් වීමක්‌ තිබීම නිසා ය.

වනජීවී වෙළෙඳාම පාලනය කළ හැකි ද?


විය යුතු පරිදි ම මේ එකඟතාව පරිසර අංශවල ප්‍රශංසාවට ලක්‌ ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් බොහෝ අංශ පෙන්වා දෙන ආකාරයට කඩිනම් ක්‍රියාකාරීත්වයක්‌ නොමැති වීම මෙහි ඇති ගැටලුවකි. මොනතරම් එකඟතාවක්‌ තිබුණ ද මේවා ක්‍රියාත්මක තත්ත්වයකට පත් කිරීම වැදගත් බව ඔවුන් පවසන කරුණකි. ජාත්‍යන්තර මට්‌ටමෙන් කුමන ආකාරයේ එකඟතාවක්‌ තිබුණ ද, ඒවා රාජ්‍ය මට්‌ටමින් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නො වීම අප දකින ගැටලුවකි.

එසේ ම මේ තත්ත්වය තීරණය වන්නේ අදාළ ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීම මත ය. විශේෂයෙන් වනජීවී ද්‍රව්‍ය සඳහා ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනයේ ප්‍රතිචාරය මත වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ අනාගතය තීරණය වනු ඇත. චීනය මේ පිළිබඳව දක්‌වන ඇල්මැරුණු ප්‍රතිචාරය පරිසර සංවිධානවල විවේචනයට ලක්‌ ව තිබිණි. ජගත් බලපෑම නිසාම චීනයේ දී අත්අඩංගුවට ගත් ඇත් දළ තොගයක්‌ විනාශ කිරීමට කටයුතු කිරීම පසුගිය කාලයේ දී බොහෝ දෙනාගේ පැසසුමට ලක්‌ වූයේ මේ නිසා ය.

වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම හා නීති විරෝධී ආකාරයෙන් සිදු වන වෙළෙඳාම අවසන් කිරීම සංරක්‌ෂණය සඳහා ඉතා වැදගත් කරුණක්‌ බව පැහැදිලි ය. ලන්ඩන් සමුළුව හා ලන්ඩන් ප්‍රකාශනය ඊට තවත් බලාපොරොත්තුවක්‌ ලබා දී තිබේ. එහෙත් එය කෙතෙක්‌ දුරට ඉටු වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

1 comment: