Tuesday, February 5, 2013

ජගත් පරිසර විමසුම 159 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-30, පි. 11

http://www.vidusara.com/2013/01/30/feature2.html

විමසුම - වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?
ප්‍රමුඛ පුවත- මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ
පුවත් සැකෙවින් - ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ‌/ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා/ චීනය වායු දූෂණයට එරෙහි සටනක


විමසුම
වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?

ජීවී විශේෂ මිහිතලයෙන් වඳවී යැම අද දවසේ බරපතළ පාරිසරික ගැටලූවක්‌ සේ සැලකෙන්නකි. මේ පිළිබඳ ඇති සංඛ්‍යාත්මක පුරෝකථන විශාල පරාසයක විහිදෙන්නකි. මේ ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සොයාගැනීමට හා විද්‍යාත්මකව නම් කිරීමට පෙර වඳවී යා හැකි බවට විද්‍යාඥයන්, පරිසරවේදීන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද පිළිගැනෙන මතයක්‌ තිබේ.

එහෙත් ලොව ජීවත්වන ජීවී විශේෂ අතරින් වැඩි ප්‍රමාණයක්‌, ඔවුන් වඳවී යැමට පෙර විද්‍යාත්මකව හ`දුනාගෙන නම් කළ හැකි බව මේ පිළිබඳව සිදුකර ඇති සමාලෝචනයකින් හෙළිකර ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි, විද්‍යාත්මකව නම් කිරීමට පෙර ජීවීන් අතරින් විශාල ගණනක්‌ වඳවී යා හැකි බවට වන මතය සඳහා කරුණු කිහිපයක්‌ හේතු වේ. ඉන් පළමුවැන්න ලෝකයේ සැබැවින්ම ජීවත්වන ජීවීන් ප්‍රමාණය බෙහෙවින් අධිතක්‌සේරු කර තිබීමයි. දෙවැන්න ජීවීන් හ`දුනාගෙන නම් කිරීමේ යෙදී සිටින විද්‍යාඥයන් ගණන අඩු වී ඇති බවට වන අදහසයි. අනෙක්‌ කරුණ ජීවීන් වඳවී යැමේ වේගය පිළිබඳව ඇතැම් මත අතිශයෝක්‌තිමය වීමය. මේ වාර්තාවේදී උක්‌ත කරුණු පිළිබඳවද විමසීමක්‌ කර ඇත.

ජීවත්වන ජීවීන් ගණන

ලෝකයේ ජීවත්වන ජීවීන් ගණන කෙතරම් ද යන්න පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන පු`ඵල් පරාසයක්‌ ගනියි. මේ ඇස්‌තමේන්තු මිලියන 3ත් 100ක්‌ අතර විවිධ අගයයන් ගනියි. සාමාන්‍යයෙන් මිලියන 8ක්‌ පමණ ජීවී විශේෂ ප්‍රමාණයක්‌ සිටින බව වැඩි පිළිගැනීමක්‌ ඇති අගයයි. උක්‌ත නව වාර්තානේව ජීවී විශේෂ ගණන පිළිබඳව නව අගයයක්‌ ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මිලියන 5ක්‌ පමණ ජීවී විශේෂ සංඛ්‍යාවක්‌ මිහිතලය මත වාසය කරන අතර එය ඊට වඩා මිලියන 3ක්‌ අඩු හෝ වැඩි වීමට හැකිය. එනම් සියලූ ජීවීන් ගණන මිලියන 2ත් 8ත් අතර ගණනක්‌ විය හැකිය. මේ අතරින් තවමත් විද්‍යාත්මකව නම් කර ඇත්තේ විශේෂ මිලියන 1.5ක්‌ පමණ ප්‍රමාණයක්‌ පමණි.

නව විශේෂ සොයාගැනීම

මිහිතලයෙන් ජීවීන් වඳවී යන වේගය හා සැලකූ විට මෙතෙක්‌ හ`දුනාගෙන නොමැති ජීවීන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාඥයන් පිරිසක්‌ සිටින බව මේ වාර්තාවෙන් පෙන්වාදී තිබේ. මෙතෙක්‌ කාලයක නො සිටි තරම් වර්ගීකරණ විද්‍යාඥයන් (ඒංදබදපසිඑs) පිරිසක්‌ අද වන විට ලෝකය පුරා රටවල කටයුතු කරන බව මේ වාර්තාවේ දක්‌වා ඇත. මේ පිරිසේ ප්‍රමාණය අදට වසර විස්‌සකට පමණ පෙර සිටි විද්‍යාඥයන්ගේ ගණන මෙන් දෙගුණයත් තුන් ගුණයක්‌ අතර වේ. එසේම මේ පිරිස තවදුරටත් වැඩිවෙමින් පවත්නා අතර ඒ වේගය නව ජීවී විශේෂ විස්‌තර කරන වේගයට වඩා අධිකය.

මේ කරුණ ලෝකයේ සියලූ ජීවීන් නම් කිරීමට අවස්‌ථාව ලැබීමට බලපාන ප්‍රධාන හේතුවක සේ දැක්‌වේ. කෙසේ වෙතත් මේ වාර්තාව මගින් දක්‌වා ඇති පරිදි වර්ගීකරණ ඵලදායකත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු වේ. එය තවමත් දැඩි අභියෝගයකි.

ජීවීන් වඳවී යන වේගය

අනෙක්‌ අතට ජීවීන් වඳවී යැමේ සත්‍ය වේගය ද මෙහි පෙන්වාදී තිබේ. එය දශකයකට සමස්‌ත ජීවී විශේෂ සංඛ්‍යාවෙන් 0.01%ත් 1%ත් අතර අගයක්‌ ගන්නා අතර මෙහි උපරිම අගය දශකයකට 5%ක්‌ පමණ විය හැකිය. මෙය පු`ඵල්ව පිළිගෙන ඇති ඇතැම් ඇස්‌තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු බව පෙනේ. එහෙත් එය ස්‌වාභාවිකව සිදුවන වඳවීයැමේ වේගයට වඩා ඉහළ බව අප අමතක නොකළ යුතු කරුණකි.

අනෙක්‌ අතට මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක විවිධ සංරක්‌ෂණ ප්‍රයත්න හා ද්විතීයික පරිසර පද්ධතිවල ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම ද ලෝකයෙන් ජීවී විශේෂ වඳවී යැම පමා කිරීමට හේතුවක්‌ විය හැකිය. ඒවාද සියලූ විශේෂ වාර්තාගත කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබාදෙන වැදගත් සාධකයකි.

මිනිසාගේ වගකීම මෙයද?


මේ අතර ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මේ සමාලෝචනය වාර්තා කර තිබුණේ ජීවීන් වඳවී යැම හිතෙන තරම් බරපතළ නොවන බවක්‌ හුවාදක්‌වමිනි. එහෙත් වඩා හොඳින් විමසන විට මේ වාර්තාව ද මිනිසුන් විසින් පරිසරයට සිදු කර ඇති බලපෑමේ තරම පෙන්වාදෙයි. එසේම මේ අද වන විට පවත්නා තත්ත්වයයි. ලෝකයේ වෙසෙන ජීවීන් හමුවේ ඇති අභියෝග දිනෙන් දින වර්ධනය වේ. දේශගුණ වෙනස්‌වීම මීට සාධකයකි. එසේම සියලූ ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම සම්බන්ධව ද සීමා පවතී.

අනෙක්‌ අතට ලෝකයේ වාසය කරන ජීවීන් වඳවී යැමට පෙර හ`දුනාගැනීම හෝ නම් කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් මේ විනාශයට වගකිවයුතු මිනිසුන්ට ලෝකයේ දිවි ගෙවන සෑම ජීවී විශේෂයක්‌ම ආරක්‌ෂා කිරීමට කිසියම් වගකීමක්‌ තිබේ. මෙය සරළ කර්තව්‍යයක්‌ නොවේ. එසේම වර්තමාන ලෝකයේ එවැනි උත්සාහයක්‌ ඇති බව නො පෙනෙන අතර එවැන්නකට ගැලපෙන පසුබිමක්‌ ද නැමැත. මානව කේන්ද්‍රීය සමාජ-සංස්‌කෘතියක්‌ ඇති වර්තමාන ලෝක රාමුව ඇතුළත එවැන්නක්‌ අපේක්‌ෂා කිරීම පවා අපහසු වේ. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1230318)

ප්‍රමුඛ පුවත
මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ

වනාන්තර මිනිසාට අවශ්‍ය සම්පත් රැසක්‌ ලබා දෙන පරිසර පද්ධතියකි. එහෙත් වර්තමාන තත්ත්වය හමුවේ ස්‌වාභාවික වනාන්තර මගින් මානව අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම අපහසුය. එබැවින් තිරසර ලෙස දැව ලබාගැනීම සඳහා වනවගා කිරීම ලෝකයේ බොහෝ රටවල බෙහෙවින් ප්‍රචලිතව තිබේ. නූතන වනවගාවලදී එක්‌ ශාක විශේෂයක්‌ පමණක්‌ වගා කිරීම බොහෝ විට අනුගමනය කෙරේ. එය වනවිද්‍යාත්මක ක්‍රමවේද යටතේ කලක පටන් ප්‍රවර්ධනය කරන ලද වගා ක්‍රමවේදයකි. එහෙත් මෙවැනි ඒක ශාක වනාන්තරවලට වඩා මිශ්‍ර ශාක සහිත වනාන්තරවල නිෂ්පාදකතාවය ඉහළ බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

මේ අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ ඒක ශාක වනවගා හා මිශ්‍ර ශාක වනවගාවලින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවයි. ස්‌වීඩනයේ පිහිටා ඇති වනාන්තර පාදක කරගනිමින් සිදුකර ඇති මෙහිදී වනවගාවල දත්ත භාවිත කරමින් පරිසර පද්ධති සේවා හයක්‌ සඳහා ඉන් ලැබෙන දායකත්වය පරීක්‌ෂා කර තිබේ. ඒවා නම්, ශාක වර්ධනය, කාබන් තැන්පත් කිරීම, ඵල නිපදවීම, වනජීවීන් සඳහා ආහාර සැපයීම, මියගිය දැව කොටස්‌ එක්‌ කිරීම හා ජෛවවිවිධත්වයයි.

මේ අධ්‍යයනයේදී හෙළිවන කරුණු අනුව ඉහතකී සෑම පරිසර පද්ධති සේවාවක්‌ම වනාන්තරයේ හමුවන ශාක විශේෂ ගණන හා අනුලෝමව සමානුපාතික වේ. එනම් ශාක විශේෂ ගණන ඉහළ යන තරමට මේ පරිසර පද්ධති සේවා වඩා හොඳින් සැලසේ. මිශ්‍ර ශාක වන වගාවලින් විවිධ ප්‍රයෝජන ලැබේ. ඒවා අතර ඇති එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ වැඩි නිෂ්පාදනයක්‌ ලැබීමයි. එමෙන්ම මෙහිදී පෙනීගොස්‌ ඇති ආකාරයට එකිනෙකට වෙනස්‌ ශාක එකිනෙකට වෙසක්‌ කරුණු සඳහා දායක වේ. එසේම මේ පරිසර පද්ධති සේවා අතරද යම් සම්බන්ධයක්‌ පවතී.

මේ අධ්‍යයනය වැදගත් වන්නේ මිශ්‍ර ශාක වනාන්තරවලින් වැඩි ප්‍රයෝජනයක්‌ ලැබෙන්නේ පාරිසරික වශයෙන් පමණක්‌ බව ලෝකය මෙතෙක්‌ විශ්වාස කළ නිසාය. මේ අනුව මිශ්‍ර ශාක සහිත වන වගාවල වැදගත්කම යළිත් තහවුරු වී තිබේ. වාසනාවකට මෙන් මේ වන විට මිශ්‍ර ශාක සහිත වනාන්තර පිහිටුවීම කෙරේ යම් අවධානයක්‌ යොමු වී තිබේ. (මූලාශ්‍රයNature Communications, DOI: 10.1038/ncomms2328)

පුවත් සැකෙවින්

ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ

දකුණු ඇමරිකාවේ ඇන්ඩීස්‌ කදුවැටියේ පිහිටි ග්ලැසියර මෑත කාලයේ වේගයෙන් දියෑවී ඇති බව පර්යේෂණයකින් අනාවරණය වේ. ඇන්ඩීස්‌ ක`දුකර ග්ලැසියරවලින් අඩක්‌ ආවරණය කළ මේ අධ්‍යයනයෙන් හෙළිවී ඇති පරිදි 1970 වර්ෂයෙන් පසු ගතවූ කාලය ඇතුළත මේ ක`දුකරයේ පිහිටි ග්ලැසියර 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් දියවී ඇත. ඉහළ උන්නතාංශයක පිහිටි විශාල ග්ලැසියර මෙන් දෙගුණයක පමණ වේගයකින් පහළ මට්‌ටමක පිහිටි කුඩා ප්‍රමාණයේ ගැල්සියර දියෑවී තිබේ.

මීට හේතු වී ඇති ප්‍රධාන හේතුව පසුගිය දශක හතක කාලය පුරා දශකයකට සෙල්සියස්‌ අංශක 0.1ක්‌ පමණ බැගින් මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීමයි. මේ ග්ලැසියර මගින් මිලියන ගණනාවක්‌ ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ද සැපයෙන බැවින් එහි ඇති වැදගත්කම මහත්ය. (මූලාශ්‍රයTheCryosphere, DOI: 10.5194/tc-7-81-2013)

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශ අවට ජීවත්වන ජනතාව පෙනහලු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමකට ලක්‌ව ඇති බව චීනයේ සිදුකළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර ආදී විවිධ විද්යුත් උපකරණවල ඇතුළත් වටිනා ලෝහ වර්ග ලබා ගැනීම සඳහා ඒවා කොටස්‌ කිරීම දියුණුවන රටවල් සමහරක සිදු කෙරේ. එහෙත් ඊට යොදාගන්නා ක්‍රමවල අනාරක්‌ෂිත බව නිසා විවිධ හානිකර රසායන ද්‍රව්‍ය මිනිසුන්ගේ ශරීරගත විය හැකිය. මෙවැනි උපකරණ දහනය කිරීමෙන් පිළිකාකාරකයක්‌ වන බහුචක්‍රීය ඇරෝමැටික හයිෙඩ්‍රාකාබන් වර්ග (PAH) වාතයට එක්‌විය හැකිය.

මෙහිදී අවධානයට ලක්‌ කරන ලද ගුවාංඩොන්ග් පළාතේ ඉ - අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශයකට ආසන්නව පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක ජනතාව අතර පෙනහලු පිළිකා සෑදීමට ඇති අවස්‌ථාව, ගුවාංග්සොයු නම් සාමාන්‍ය නගරයක වැසියන් අතර මෙන් 1.6ගුණයකින් පමණ අධිකය. (මූලාශ්‍රයEnvironmental Science and Technology,DOI:10.1021/es302272a)

චීනය වායු දූෂණයට එරෙහි සටනක

චීනයේ පවත්නා උග්‍ර වායු දූෂණය ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්‌ව ඇති කරුණකි. මේ තත්ත්වය බීජිං හා වෙනත් ප්‍රධාන නගරවල මෙන්ම රටේ සෙසු ප්‍රදේශවලද දැක ගත හැකිය. මේ සඳහා වාහන ඉන්ධනවලින් නිකුත්වන විමෝචන, ගල් අ`ගුරු දහනයෙන් නිකුත්වන විමෝචන මෙන්ම කාන්තාර ප්‍රදේශවලින් හමා එන සුළග ද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙනේ.

මේ තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ ගෙන ඇති පියවර නිසා සල්ෆර්ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, රසායනික ඔක්‌සිජන් හා ඇමෝනියා නයිට්‍රජන් යන ප්‍රධාන වායු දූෂක පසුගිය වර්ෂයේදී 2%කින් පමණ අඩු වී අඩු වී ඇත. එහෙත් රටේ වායු දූෂණය අඩු කිරීම තවමත් ගැටලූවක්‌ වී ඇති බව එරට පරිසර ඇමැතිවරයා විසින් පවසා තිබේ. කෙසේ වෙතත් ජනතාවට හොඳින් දැනෙන මේ තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර එරට තුළ විවේචනයට ලක්‌ව ඇති කරුණකි.

මේ අතර චීන අගනුවර වන බීජිං නගරයේ වාහන සඳහා වන වායු විමෝචන නීති දැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. නගරයේ ධාවනයට එක්‌ කෙරෙන නව වාහන සඳහා ලබන මාසයේ සිට දැඩි වාහන විමෝචන ප්‍රමිති ක්‍රියාත්මක කිරීමට නියමිතය. යුරෝ V ප්‍රමිතිවලට සමාන මේ නව ප්‍රමිති හරහා වාහනවලින් නිකුත්වන නයිට්‍රජන් ඔක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය 40%කින් පමණ අඩු කිරීමට හැකි වෙතැයි අපේක්‌ෂා කෙරේ. පැරණි වාහන නගරයේ ධාවනයෙන් ඉවත් කිරීමද මෙවැනි තවත් පියවරකි.

http://www.vidusara.com/2013/01/30/feature2.html

No comments:

Post a Comment