Monday, September 7, 2015

අළු යට ගිනි ලෙස තවමත් පවතින දේශගුණ සංශයවාදය

(Climate skepticism has not died.)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර 02.09.2015 (Vidusara)

http://www.vidusara.com/2015/09/02/feature2.html




දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කිරීම හෙවත් දේශගුණ සංශයවාදය (climate skepticism) පිළිබඳ ලියෑවෙන මේ ලිපිය ආරම්භ කිරීම සඳහා පළමුව පෞද්ගලික අත්දැකීම් දෙකක්‌ ඉදිරිපත් කිරීමට අදහස්‌ කළේ ඉන් කියෑවෙන පණිවිඩය ඉතා පැහැදිලි නිසා ය.

කොළඹ ප්‍රධාන පෙළේ විද්‍යාලයකින් මෑත දී සිය අධ්‍යාපනය හමාර කළ මගේ ඥාති තරුණයකු පසුගිය දා මුණගැසුණු අවස්‌ථාවක කීවේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීමක්‌ නොමැති බව හා එය අසත්‍යයක්‌ බව ය. ඔහු ගේ පදනම පිළිබඳව බැලූ විට ඔහු විදේශීය විෂයමාලාවකින්, වාණිජ්‍යය විෂය ධාරාවක්‌, ඉංග්‍රීසි බසින් හැදෑරූ අයෙක්‌ විය. අප හමු වූ අවස්‌ථාවේ දී ද ඔහු සූදානම් වෙමින් සිටියේ ඇමෙරිකානු විශ්වවිද්‍යාලයයක පාඨමාලාවක්‌ හැදෑරීම පිණිස විදේශගත වීම සඳහා ය. මට මෙහි දී ඇති වූ ගැටලුව වූයේ වර්තමාන තරුණ පරපුරේ කෙතරම් පිරිසක්‌ මෙවැනි අදහස්‌ දරන්නේද යන්න ය.

මේ අතර වර්තමානයේ කැනඩාවේ ජීවත් වන මගේ සරසවි සගයකු මීට කලකට පෙර එරට දැකිය හැකි වූ අධික හිමපතන අවස්‌ථාවක දී ඔහු ගේ සමාජ ජාල ගිණුමක සටහනක්‌ තබමින් පැවසුවේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ඔහු තවදුරටත් විශ්වාස නො කරන බවකි. මේ මිත්‍රයා මෙරට සිටිය දී පරිසර ක්‍රියාකාරියකු ලෙස කටයුතු කළ අතර පරිසර අංශයක රැකියාවක්‌ ද කළේ ය. එවැනි වෙනසක්‌ ඔහු තුළ ඇති වූයේ කෙසේ ද යන්න පිළිබඳව මට එළැඹිය හැකි හොඳ ම නිගමනය වූයේ, මේ වෙනස සඳහා ඔහු අද ජීවත් වන පරිසරයේ පැවැති සාමාන්‍ය විශ්වාසයේ යම් බලපෑමක්‌ හේතු වන්නට ඇති බව ය.

මේ දෙදෙනා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දක්‌වන අදහස්‌ පිළිබඳව සැලකූ විට මට සිතුණේ දේශගුණ සංශයවාදය කිසියම් ආකාරයකින් නව ප්‍රවේශයක්‌ ගෙන ඇති බවයි. එA නූතන පරපුරේ අදහස්‌ සමඟ හා ආන්තික දේශගුණ තත්ත්ව සමඟ මතු වන්නක්‌ ලෙසිනි. සමස්‌තයක්‌ ලෙස ජගත් මට්‌ටමේ දී දේශගුණ සංශයවාදයේ අද තත්ත්වය පිළිබඳව මදක්‌ විමසීමට මට සිතුණේ මේ නිසාවෙනි.

දේශගුණ සංශයවාදය


දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡාවේ ආරම්භයේ පටන් ම ඒ පිළිබඳ විද්‍යාත්මක සාධක ගැන මෙන්ම ඒ සඳහා හේතු වූ කරුණු මොනවා ද යන්න සම්බන්ධව අවිනිශ්චිතතා තිබූ බවට සැකයක්‌ නොමැත. මේ නිසා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ දිගින් දිගට ම සිදු කරන ලද පර්යේෂණ මත පදනම් ව දේශගුණ වෙනස්‌ වීම මේ වන විට ද සිදු වන බවත්, ඒ සඳහා මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ පැහැදිලි බලපෑමක්‌ පවත්නා බවත් අද වන විට පෙන්වා දී තිබේ. දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය විසින් ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ඇගැයීම් වාර්තා පෙළෙන් පෙළට මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයේ බලපෑම් පිළිබඳ සාධක ඉහළ ගොස්‌ ඇති බැවින් ඒ සම්බන්ධ විශ්වාසය ඉහළ ගොස්‌ තිබේ.

ඒ කෙසේ වෙතත් මේ පර්යේෂණ හා ඒවායේ ඇතුළත් කරුණු සම්බන්ධව සැක කරන විද්‍යාඥයන් හා වෙනත් පිරිස්‌ ලෝකයේ එදා සිට ම දැකිය හැකි විය. මේ පිරිස්‌ ඇතැම් විටක මේ පර්යේෂණවල අඩුපාඩු දැක්‌වූ අතර, තවත් අවස්‌ථාවක දී ඔවුන් ගේ ම තර්ක හා පර්යේෂණ මගින් දේශගුණ වෙනස්‌ වීම යනු හුදෙක්‌ ස්‌වාභාවික වූ සංසිද්ධියක්‌ බව පෙන්වා දීමට උත්සාහ කළ ආකාරය දැකිය හැකි විය. මේ පිරිස්‌ හඳුන්වන ලද්දේ දේශගුණ සංශයවාදීන් යන නමිනි.

කෙසේ වෙතත් මෙසේ දේශගුණ සංශයවාදීන් ලෙස අදහස්‌ දැක්‌වූ විද්‍යාඥයන් අතර ප්‍රකට හා පිළිගත් ප්‍රකාශන ඇති පර්යේෂකයන් සිටියේ අඩු වශයෙනි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2012 වර්ෂයේ දී Wall Street Journalys 'දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව කලබල විය යුතු නැහැ' (No Need to Panic About Global Warming) යනුවෙන් අදහස්‌ දැක්‌වීමක්‌ කළ විද්‍යාඥයන් 16 දෙනකු අතරින් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව පිළිගත් පර්යේකයන් සිටියේ සිව් දෙනකු පමණක්‌ බව ඒ දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ පෙන්වා දී තිබිණි. එසේ ම ඔවුන් අතරින් ඇතැම් අයට ෙµdසිල ඉන්ධන කර්මාන්තය හා සම්බන්ධකම් තිබූ බව ද ඒ දිනවල වාර්තා වී තිබිණි.

දේශගුණ වෙනස්‌ වීමට දායක වූ, ඒ නිසා ම කිසියම් තර්ජනයකට ලක්‌ ව තිබූ ෆොසිල ඉන්ධන හා බලශක්‌ති කර්මාන්තයේ යෙදුණු ආයතන මේ දේශගුණ සංශයවාදීන්ට සහයෝගය දීම ආචාරධර්ම පිළිබඳව ගැටලු ඇති කරන්නකි. ඔවුන් ගේ අභිප්‍රාය වූයේ දේශගුණ වෙනස්‌ වීම යනු මිනිසුන් ගේ ක්‍රියාකාරිත්වයක්‌ නිසා සිදු වූවක්‌ නො වන බව තහවුරු කිරීම ය. ඇතැම් විට පෙන්වා දී ඇති පරිදි සංශයවාදී ව්‍යාපාරය ක්‍රියාත්මක වූයේ දුම්කොළ සමාගම් අතීතයේ දී ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය. ඒ දුම්පානය කිරීම සෞඛ්‍යයට හානිකර බවට වූ විද්‍යාත්මක අවවාද හා සාධක සැකකිරීම සඳහා දුම්කොළ සමාගම් ක්‍රියාත්මක වූ ආකාරය හා සමාන ආකාරයකට ය.

සමාජය තුළ සංශයවාදය


මේ සංශයවාදීන් අතර සිටියේ හුදෙක්‌ විද්‍යාඥයන් පමණක්‌ නො වේ. ඇතැම් ජනමාධ්‍ය පවා සංශයවාදී යනුවෙන් හැඳින්විය හැකි විය. එසේ ම ඇතැම් දේශපාලන පක්‌ෂ හා දේශපාලනඥයන් ද ඒ ගණයට ඇතුළත් කළ හැකි විය. ඇතැම් දියුණු රටවල ගතානුගතික දේශපාලනමය අදහස්‌ දැරූ කණ්‌ඩායම් මේ සංශයවාදී අදහස්‌වල එල්බ සිටින අයුරු ද දැකිය හැකි ය. ඇමෙරිකාවේ රිපබ්ලිකන් පක්‌ෂය හා ඔස්‌ටේ්‍රලියාවේ ලිබරල් පක්‌ෂය මේ සඳහා නිදසුන් ය. මේ තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් ඇතැම් රටවල් දේශගුණ සටනින් ඈත් වීම සඳහා පියවර ගත් ආකාරය ද පෙනේ. කැනඩාව හා ඔස්‌ටේ්‍රලියාව මීට නිදසුන් සේ දැක්‌විය හැකි ය. මේ රටවල් සංශයවාදයේ තර්ක උපයෝගි කරගනිමින් විද්‍යාත්මක සාධක නොමැති බව දක්‌වමින් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ප්‍රමාණවත් වූ ක්‍රියාමාර්ග ගැනීම ප්‍රමාද කළ ආකාරය අපි දුටුවෙමු. මේ නිසා දේශගුණ සංශයවාදය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමේ සටනට බාධා කළේ ය.

සාමාන්‍ය ජනතාව අතර දේශගුණ වෙනස්‌ වීම නො පිළිගන්නා පිරිස කෙතරම් ද යන්න ද වැදගත් ය. මේ අතරින් පිරිසක්‌ දේශගුණ වෙනස්‌ වීමක්‌ සිදු නො වන බව සිතන අය වන අතර, තවත් කණ්‌ඩායමක්‌ එසේ ම එය සිදු වෙතත්, ඊට මිනිසුන් වගකිව යුතු යෑයි නො සිතන පිරිසකි. මෙහි ඇති බලපෑම වන්නේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ස්‌වෙච්ඡාවෙන් සිදු කරන කටයුතු සඳහා සාමාන්‍ය ජනතාව ගේ දායකත්වය වැදගත් වන නිසා ය. කෙසේ වෙතත් දියුණු කාර්මික රටවල් සියල්ලේ ම මේ තත්ත්වය දැකිය හැකි නො වේ. ඇමෙරිකාවේ තරම් සංශයවාදීන් ප්‍රමාණයක්‌ හෝ සංශයවාදිත්වයක්‌ යුරෝපයේ දැකිය නොහැකි ය. එසේ ම යුරෝපයේ රටවල් රැසක්‌ ම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා කැපී පෙනෙන ආකාරයෙන් ඉදිරිපත් ව කටයුතු කරමින් සිටියි.

සංශයවාදය අවසන් ද?


2013/14 වර්ෂයේ දී පළ වූ පස්‌වැනි දේශගුණ ඇගැයීම් වාර්තාවේ දක්‌වා ඇති ආකාරයට විසි වැනි සියවසේ මැදභාගයේ සිට ඇති ව තිබෙන උණුසුම් වීම සඳහා ප්‍රමුඛ හේතුව මිනිසුන් ගේ බලපෑම බවට 'අතිශයින් විය හැකි' (extremely likely) බව විශ්වාස ය. මේ විශ්වාසය එක්‌ එක්‌ ඇගැයීම් වාර්තාවෙන් වාර්තාවට වර්ධනය විය. ඒ අනුව, විද්‍යාත්මක ක්‍රමවේදය පිළිබඳව විශ්වාස කරන්නේ නම්, තවදුරටත් මේ පිළිබඳව සැකසංකා තබාගත හැකි ද යන්න ගැටලුවකි.

බොහෝ දියුණු රටවල විද්‍යාඥයන්ගේ සිට සාමාන්‍ය ජනතාව දක්‌වා සංශයවාදී අදහස්‌ දරන පිරිස්‌ ප්‍රමාණය මේ වන විට අඩු වී ඇති අතර එය යහපත් ප්‍රවණතාවකි. එහෙත් එය සම්පූර්ණයෙන් ම පහ වී ගොස්‌ ඇති බවක්‌ මින් අදහස්‌ නො වේ.

පසුගිය ජුලි මාසයේ දී Global Environmental Change සඟරාවේ ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකට අනුව (10.1016/j.gloenvcha.2015.05.003) දේශගුණ සංශයවාදීන් ගේ ප්‍රමාණය පිළිබඳ අදහසක්‌ ලබාගත හැකි ය. කාර්මික රටවල් 14ක එක හා සමාන සමීක්‌ෂණ යොදාගනිමින් සිදු කර ඇති මේ විශ්ලේෂණයට අනුව ලෝකයේ වැඩි ම සංශයවාදී ජනතාවක්‌ වාසය කරන්නේ ඔස්‌ටේ්‍රලියාවේ ය. එA එරට ජනගහනයෙන් 17%ක්‌ පමණ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන බැවිනි. දෙවැනි තැනට එන නෝර්වේ රාජ්‍යයේ මේ ප්‍රමාණය 15කි. තුන්වැනි තැන පසු වන නවසීලන්ත ජනගහනයෙන් 13%ක්‌ සංශයවාදීන් වන අතර, අප බොහෝ දෙනා විශ්වාස කරන ඇමෙරිකාවේ ජනගහනයෙන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන්නේ 12%ක්‌ පමණ පිරිසකි. එරට පසු වන්නේ සිව්වැනි ස්‌ථානයේ ය. බ්‍රිතාන්‍යය, ස්‌වීඩනය හා පින්ලන්තයේ ජනගහනයෙන් 10%ක්‌ පමණ දේශගුණ සංශයවාදීන් වන බව ද මේ වාර්තාවේ දක්‌වා ඇත. අඩු ම ජනතාවක්‌ සංශයවාදීන් වන්නේ ස්‌පාඤ්ඤයේ වන අතර ඒ 2%ක්‌ පමණ පිරිසකි. (කෙසේ වෙතත් මේ අධ්‍යයනය සඳහා පදනම් කරගෙන ඇත්තේ මේ රටවල 2010-11 දී පමණ කාලයේ දී සිදු කර ඇති සමීක්‌ෂණ බව සැලකිය යුතු ය).

මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් වැදගත් කරුණක්‌ වන්නේ අධික හරිතාගාර වායු විමෝචන ප්‍රමාණයක්‌ තිබීම හා සංශයවාදිත්වය අනුලෝමව සමානුපාතික වන බවයි. එසේ ම අදාළ රට කෙතරම් දුරට අවදානම් සහිත තත්ත්වයක පවතින්නේ ද යන්න ද අනුලෝමව සමානුපාතික වේ. එසේ ම මේ අධ්‍යයනයෙන් පැහැදිලි කර ඇති ආකාරයට සංශයවාදී වීමට බලපාන මූලික කරුණු හා සාධක කිහිපයක්‌ ද වේ. දේශපාලනික වශයෙන් ගතානුගතික (කන්සර්වේටිව්) අදහස්‌ දැරීම ඉන් එකකි. එසේ ම පිරිමින් අතර සංශයවාදීන් බහුල ය. එසේ ම පරිසරය පිළිබඳව දක්‌වන අඩු සැලකිල්ල සංශයවාදිත්වය සඳහා බලපාන තවත් සාධකයකි.

කෙසේ වෙතත් මේ අනුව පෙනෙන්නේ සංශයවාදිත්වය හා සංශයවාදීන් ගේ ගණන මේ වන විට කැපී පෙනෙන ආකාරයෙන් අඩු ව තිබුණ ද, එය අළු යට ඇති ගිනි සේ රැඳී ඇති බවකි. නිදසුනක්‌ ලෙසින් ගත හොත්, අද පවා කිසියම් අධික සිසිල් කාලගුණ තත්ත්වයක්‌, අධික වැසි සහිත තත්ත්වයක්‌ ඇති වුව හොත් මේ සංශයවාදී අදහස්‌ දක්‌වන්නවුන් විවිධ මට්‌ටම්වලින් කරළියට පැමිණෙන ආකාරය අඩුවෙන් වුව ද දැකිය හැකි ය. විශේෂයෙන් පෙර සඳහන් කර ඇති ආකාරයට යම් යම් වෙනත් අවශ්‍යතා ඇති පිරිස්‌ මේ අතර සිටින බව සැලකිය යුතු ය.

කෙසේ වෙතත් දේශගුණ වෙනස්‌ වීම යනු අද වන විට සිදු වෙමින් ඇති දෙයක්‌ හෙවත් යථාර්ථයක්‌ ය යන්න හා සම්බන්ධව විවාදයක්‌ නොමැති බව සඳහන් කළ හැකි ය. වර්තමාන විද්‍යාත්මක දත්ත අනුව ඒ ගැන සැකයක්‌ නැත.

http://www.vidusara.com/2015/09/02/feature2.html

No comments:

Post a Comment