Monday, December 10, 2012

ජගත් පරිසර විමසුම 151 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-05, පි. 11
http://www.vidusara.com/2012/12/05/feature3.html


විමසුම - මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ධ්‍රැව අයිස්‌ දිය වීමේ දායකත්වය
ප්‍රමුඛ පුවත - දෝහා දේශගුණ සමුළුව සෙමින්
පුවත් සැකෙවින් - ඇමෙසන් වන විනාශය තවත් අඩු වේ‌/ සම් ව්‍යාපාරය නිසා පිඹුරන් අවදානමේ?‌/ බීපී සමාගමට ඇමෙරිකාවේ ගිවිසුම් තහනමක්‌


විමසුම
මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ධ්‍රැව අයිස්‌ දිය වීමේ දායකත්වය

මුහුදු මට්‌ටම ඉහළ යැම මිහිතලයේ උණුසුම වැඩි වීම නිසා ඇති වන පාරිසරික බලපෑම් අතර මුල්තැනක්‌ ගන්නා එකකි. එහි ප්‍රතිඵල මගින් ලෝකයේ බොහෝ ප්‍රදේශවලට හා විවිධ අංශවලට ඇති විය හැකි බලපෑම බෙහෙවින් සාකච්ඡාවට ලක්‌ ව ඇත.

මුහුදු මට්‌ටම ඉහළ යැමට බලපාන ප්‍රධාන ම සාධකය වන්නේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සමග ජලයේ ඇති වන ප්‍රසාරණයයි. එසේ ම ධ්‍රැව ප්‍රදේශවල ඇති අයිස්‌ දිය වීමෙන් හා සෙසු ප්‍රදේශවල ඇති ග්ලැසියර දිය වීමෙන් ද මුහුදේ ජල මට්‌ටම ඉහළ යැම සිදු වේ. 2007 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද දේශගුණ ඇගයීමෙන් පෙන්වා දී ඇති පරිදි 2100 වර්ෂය වන විට ලෝකයේ මුහුදු මට්‌ටම සෙන්ටිමීටර් 18-59 අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකි ය. එහෙත් මෙහි දී ධ්‍රැව ප්‍රදේශවල දැකිය හැකි අයිස්‌ දිය වීම පිළිබඳව ප්‍රමාණවත් තරම් සලකා බලා නොමැත. ඒ පිළිබඳ ප්‍රමාණවත් අවබෝධයක්‌ නො තිබීම ඊට හේතු විය. විවිධ අධ්‍යයන මගින් ඇන්ටාක්‌ටිකාව, ග්‍රීන්ලන්තය හා ආක්‌ටික්‌ ප්‍රදේශවල සිදු වන අයිස්‌ දිය වීම පිළිබඳ යම් අදහසක්‌ ලැබී ඇතත් අදාළ අධ්‍යයනවල ඇති වෙනස්‌කම් නිසා ඒවායේ පෙන්වා දී ඇති අයිස්‌ දිය වීම පුළුල් පරාසයක වේ.

පුළුල් අධ්‍යයනයක්‌

මේ අතර පසුගිය දා Science සඟරාවේ පළ වූ වාර්තාවකින් ඉදිරිපත් ව ඇත්තේ මෙතෙක්‌ ඇති වී තිබෙන අයිස්‌ දිය වීම පිළිබඳ වඩා විශ්වසනීය ගණනයකි. ධ්‍රැව ප්‍රදේශ පිළිබඳව අධ්‍යයනය කරන කණ්‌ඩායම් විස්‌සකට පමණ අයත් විද්‍යාඥයන් පිරිසක ගේ දායකත්වයෙන් සිදු කර ඇති මේ අධ්‍යයනයේ දී චන්ද්‍රිකා දත්ත යොදාගෙන ඇත. එහි අවධානය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ ග්‍රීන්ලන්තය හා අන්ටාක්‌ටිකාව පිළිබඳ ව ය. අයිස්‌ දිය වීම සඳහා දේශගුණ වෙනස්‌ වීම දායක වී ඇති ආකාරය පිළිබඳව වඩාත් විශ්වසනීය අගයයක්‌ පෙන්වා දෙන අධ්‍යයනය මේ බව පැවසේ.

මුහුදු මට්‌ටම ඉහළ ගොස්‌ ඇති ආකාරය

මේ අධ්‍යයනයේ දී හෙළි වී ඇති ආකාරයට 1992 සිට 2011 දක්‌වා ගත වූ වසර විස්‌සක කාලය ඇතුළත ග්‍රීන්ලන්තයේ හා ඇන්ටාක්‌ටිකාවේ අයිස්‌ ටොන් ටි්‍රලියන හතරක්‌ තරම් ප්‍රමාණයක්‌ දිය වී ඇත. මේ අයිස්‌ සාගරයට එකතු වී ඇති අතර ඒ නිසා මුහුදු මට්‌ටම මිලිමීටර් 11.1කින් පමණ ඉහළ ගොස්‌ තිබේ. එසේ ම මේ අගය තවත් මිමී. 3.8කින් අඩු හෝ වැඩි විය හැකි ය. ඒ අනුව සිදු වී ඇති මුහුදු මට්‌ටම ඉහළ යැම මි.මී. 7.3ක්‌ හෝ 14.9ක්‌ පමණ තරම් විය හැකි බව පෙනේ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් මුහුදු මට්‌ටම ඉහළ යැම වසරකට මිලිමීටර 0.59ක්‌ පමණ තරම් වේ. 2007 දේශගුණ ඇගැයීම් වාර්තාවට අනුව 1961-2003 අතර කාලයේ ලෝකයේ මුහුදු මට්‌ටම ඉහළ යැමේ සාමාන්‍ය වේගය වර්ෂයකට මිලිමීටර 1.8ක්‌ පමණ වන නිසා අයිස්‌ දිය වීමෙන් ඇති වන මුහුදු මට්‌ටම ඉහළ යැම සැලකිය යුතු ප්‍රමාණයකි.

මේ ප්‍රමාණය 1992 වර්ෂයෙන් පසු ලෝකයේ ඇති වී තිබෙන මුහුදු මට්‌ටම ඉහළ යැමෙන් පහෙන් පංගුවකට පමණ දායක වී ඇත. එහෙත් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය අනුව එය සමස්‌ත සාගර ජල මට්‌ටම ඉහළ යැමෙන් පහෙන් දෙකකට පමණ දායක විය හැකි බව ද පෙන්වා දී ඇත.

ප්‍රාදේශීය වෙනස්‌කම්


මෙහි දී පෙනීගොස්‌ ඇති ආකාරයට ග්‍රීන්ලන්තයේ අයිස්‌ දිය වීමේ වේගය මෑත කාලයේ දී ඉහළ ගොස්‌ තිබේ. එය 1990 ගණන්වල මුල පැවැති වේගය මෙන් පස්‌ගුණයක්‌ පමණ ය. ඉදිරියේ දී මේ තත්ත්වය මේ ප්‍රමාණයෙන් ම පවතී ද, නොඑසේ නම් වර්ධනය වේ ද යන්න නම් පැහැදිලි නැත.

ඇන්ටාක්‌ටිකාවේ නැෙ`ගනහිර ප්‍රදේශයේ අයිස්‌ තට්‌ටු වර්ධනය වෙමින් පවත්නා බවත් මේ වන විටත් දන්නා කරුණකි. එහෙත් එමෙන් දෙගුණයක්‌ පමණ තරම් අයිස්‌ ප්‍රමාණයක්‌ බටහිර ඇන්ටාක්‌ටිකාව හා ඇන්ටාක්‌ටික්‌ අර්ධද්වීපය යන ප්‍රදේශවල දිය වී ගොස්‌ තිබේ. ඒ අනුව සමස්‌තයක්‌ ලෙස ගත් විට ඇන්ටාක්‌ටික්‌ මහාද්වීපයේ ද සිදු වන්නේ අයිස්‌ දිය වීමකි.

ඇන්ටාක්‌ටික්‌ හා ග්‍රීන්ලන්තයේ අයිස්‌ තට්‌ටු දිය වීම උෂ්ණත්වය ඉහළ යැමෙන් තවත් ඉහළ යා හැකි ය. කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් අනාගතයේ ඇති වන අයිස්‌ දිය වීම පිළිබඳව ප්‍රමාණාත්මක පුරෝකථනයක්‌ සිදු කර නොමැත. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1228102)
ප්‍රමුඛ පුවත
දෝහා දේශගුණ සමුළුව සෙමින්

මේ වන විට කටාර් රාජ්‍යයේ දෝහා නගරයේ දී පැවැත්වෙන ජගත් දේශගුණ සමුළුවේ පළමු සතිය අවසන් වී ඇත. සාකච්ඡාවල එතරම් වේගවත් බවක්‌ නොමැති වීම හා එකඟතාවලට එළැඹීමේ ඇති ගැටලු මේ අතර කැපී පෙනේ. විශේෂයෙන්, දේශගුණ වෙනස්‌ වීමට අදාළ මූල්‍ය පහසුකම් ලබා දීම හා දිගුකාලීන හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ සාකච්ඡාවල මෙවැනි මත ගැටුම් පැවතීම නිසා සාකච්ඡා ඉදිරියට යන්නේ ඉතා සෙමින් බව පෙනේ.

මෙවර සමුළුවේ අවධානයට ලක්‌ ව ඇති අංශ අතර කියෝටෝ සන්ධානයේ අනාගතය පිළිබඳ අවිනිශ්චිතභාවය පැහැදිලි වී ඇත. සන්ධානයේ පළමු අදියර සඳහා ලෝකයේ වැඩි ම හරිතාගාර වායු විමෝචකයා වූ ඇමෙරිකාව දායක වූයේ නැත. එසේ ම දෙවැනි අදියර සඳහා දායක කරගත හැකි රටවල් ගණන තවදුරටත් අඩු වී තිබේ. එවැන්නක්‌ සඳහා එකඟ වී ඇත්තේ යුරෝපා සංගමය හා ඔස්‌ටේ්‍රලියාව පමණි. එහෙත් මේ රටවල් නිකුත් කරන්නේ ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු ප්‍රමාණයෙන් සියයට 15ක්‌ තරම් අඩු ප්‍රමාණයකි. එහෙත් දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා වූ ප්‍රයත්නය සජීවීව පවත්වා ගැනීම සඳහා කියෝටෝ සන්ධානය පවත්වා ගැනීම අවශ්‍ය ය යන්න ගැන බොහෝ පාර්ශ්ව එකඟ ය. මේ අතර ස්‌වේච්ඡාවෙන් හරිතාගාර වායු විමෝචන කපාහැරීම් ප්‍රකාශයට පත් කර ඇති බොහෝ රටවලට ඒවා අත්පත් කරගත නොහැකි බව ද හෙළි වී ඇත.

අනෙක්‌ අතට එසේ ම කිසිදු දියුණු රටක්‌ මේ ගැටලුව විසඳීම සඳහා බලපාන ප්‍රබල පියවරක්‌ පිළිබඳව අදහස්‌ පළ කර නොමැත. එවැන්නක්‌ සිදු කිරීම අවශ්‍ය වූවත් ඊට ඔවුන් වඩා බොහෝ සේ වේගවත්ව කටයුතු කිරීම අවශ්‍ය ය. වර්තමාත තත්ත්වය අනුව දියුණු රටවලින් එවැනි කැපවීම් අපේක්‌ෂා කළ නොහැකි ය. එහෙත් මෙහි දී දැකිය නොහැක්‌කේ ද එය ම ය. මීට බලපා ඇති හේතුව වන්නේ උක්‌ත සියලු කරුණු ආර්ථික කරුණු සමඟ බද්ධ වී තිබීම ය. කෙසේ වෙතත් ඩර්බන් වේදිකාව (Durban platform) හෙවත් 2015 දී ඇති කර ගැනීමට යෝජිත ගිවිසුම පිළිබඳ සාකච්ඡාවල කිසියම් වර්ධනයක්‌ දැකිය හැකි ය.

පළමු සතිය අවසානයේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන් ගේ රාමුගත සම්මුතියේ ප්‍රධානී ක්‍රිස්‌ටිනා µqගේරේස්‌ පවසා තිබුනේ තමන් ගේ රටවලට ධෛර්යවත් ලෙස තීරණ ගැනීමට හැකි ආකාරයේ මහජන උනන්දුවක්‌ හා සහයෝගයක්‌ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දැකිය නොහැකි බව ය. මෙහි දී ඇය අදහස්‌ කරන්නේ කරුණු දෙකක්‌ පිළිබඳව ය. ඉන් පළමුවැන්න මහජනතාව තම රටවල පාලකයන්ට ඇති කරන බලපෑම ය. අනෙක්‌ කරුණ වන්නේ සියල්ල තම රටවල රජයට හා බලධාරීන්ට නො පවරා මහජනතාව ද මේ පිළිබඳව යම් යම් පියවර ගත යුතු බව ය. එනම් තමන්ට කළ හැකි කාර්යය පිළිබඳව ද ම`දක්‌ විමසා බැලිය යුතු බව ය. අප සැම දෙනාට ම මේ පිළිබඳව කිසියම් වගකීමක්‌ ඇති බව ඇය පවසා තිබිණි.

සිදු වන කටයුතු අනුව පෙනෙන්නේ දෝහා සමුළුවෙන් එතරම් ප්‍රබල විසඳුමක්‌ ඇති නො වන බවට කළ අනුමානය නිවැරැදි බව ය. ඇතැම් පාර්ශ්ව පවසන ආකාරයට, පසුගිය වර්ෂයේ ඩර්බන් නගරයේ දී පැවැති සමුළුවේ දී ඇති වූ ප්‍රගතියට ද මේ නිසා යම් බාධාවක්‌ ඇති විය හැකි ය. එහෙත් එය ද අනාගතය පිළිබඳව කිසියම් එකඟතාවක්‌ පමණකි.


පුවත් සැකෙවින්
ඇමෙසන් වන විනාශය තවත් අඩු වේ

බ්‍රසීලයේ පිහිටා ඇති ලෝක ප්‍රකට ඇමසන් වනාන්තරයේ සිදු වන වන විනාශය තවදුරටත් අඩු වී ඇති බව එරට රජය පවසයි. පසුගිය වසරේ ඇති වූ වන විනාශය ගෙවී ගිය වර්ෂ 24ක කාලය ඇතුළත වාර්තා වී ඇති අවම අගය වේ. ඒ වන විනාශයේ වේගය 27%කින් පමණ අඩු වී ඇත. එහෙත් ප්‍රමාණාත්මකව ගත හොත් ඒ වර්ෂය ඇතුළත හෙළි කර ඇති වනාන්තර ප්‍රමාණය වර්ග කිලෝමීටර් 4,600ක්‌ පමණ වේ. මේ සඳහා බලපාන ප්‍රධාන හේතු අතර දැව හා ඛණිජ ද්‍රව්‍ය ලබාගැනීම හා කෘෂිකර්මය හා පශුපාලනය සඳහා වනාන්තර හෙළි කිරීම වේ.

2004 වර්ෂයේ සිට බ්‍රසීලයේ වන විනාශය ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. මෙය පාරිසරික වශයෙන් යහපත් වුවත් මෑත කාලයේ වනාන්තර ආරක්‌ෂා කිරීම පිළිබඳ නීතිවල ඇති ව තිබෙන වෙනස්‌කම් නිසා මේ ප්‍රවණතාව වෙනස්‌ විය හැකි බව පරිසර ක්‍රියාකාරීන් විසින් පෙන්වා දී තිබේ.

සම් ව්‍යාපාරය නිසා පිඹුරන් අවදානමේ?

පිඹුරු සම් ව්‍යාපාරය ලෝකයේ දැකිය හැකි වනජීවී ද්‍රව්‍ය ආශ්‍රිත ව්‍යාපාරයකි. අධික මිලකට අලෙවි වන අත්බෑග්, සපත්තු සහ වෙනත් ද්‍රව්‍ය සඳහා යොදාගන්නා නිසා පිඹුරු සම් සඳහා යුරෝපයේ ඇත්තේ වර්ධනය වන ඉල්ලුමකි. අග්නිදිග ආසියාවෙන් පිඹුරු සම් මිලියන භාගයක්‌ පමණ වාර්ෂිකව අපනයනය කරයි. කෙසේ වෙතත් පසුගිය දා ප්‍රකාශයට පත් වාර්තාවකට අනුව මේ ව්‍යාපාරය නිසි පාලනයකට ලක්‌ නො වන අතර මේ සතුන් ලබාගන්නේ කුමන රටකින් දැයි සොයාගැනීම ද ඉතා අසීරු ය.

ඇති කරනු ලබන පිඹුරන් ගෙන් සම් ලබාගැනීම නීත්‍යනුකූල වුවත් සැලකිය යුතු පිඹුරන් ප්‍රමාණයක්‌ නීති විරෝධී ව ස්‌වාභාවික පරිසරයෙන් අල්ලා ගන්නා බව මෙහි දී පෙන්වා දී ඇත. වැඩි ම ඉල්ලූමක්‌ ඇත්තේ මීටර 3-4 ප්‍රමාණයේ පිඹුරු සම්වලට වන අතර වැඩුණු සතුන් අභිජනනයට පෙර අල්ලාගැනීම හේතුවෙන් ඇතැම් පිඹුරු විශේෂවල පැවැත්ම අවදානම් තත්ත්වයකට පත්විය හැකි ය. එසේ ම ඇතැම් අවස්‌ථාවල දී මේ සතුන් මරාදැමීම සඳහා භාවිත කරන ක්‍රම ද අතිශයින් ක්‍රෑර බව පෙන්වා දී ඇත. නිදසුනක්‌ ලෙස වියට්‌නාමයේ පිඹුරන් මරාදැමීම සඳහා සම්පීඩිත වාතය යොදාගැනීම දැක්‌විය හැකි ය.

මේ ව්‍යාපාරය තහනම් කිරීම මීට හොඳ ම විසඳුම නො වන බව පවසන උක්‌ත වාර්තාව මේ ව්‍යාපාරය පාලනය සඳහා අදාළ රටවල නීතිරීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම හා ව්‍යාපාරය පාලනයකට ලක්‌ කිරීම යෝග්‍ය බව පෙන්වා දෙයි. (මූලාශ්‍රයThe Trade in South-East Asian Python Skins,www.intracen.org/The-Trade-in-South-East-Asian-Python-Skin)

බීපී සමාගමට ඇමෙරිකාවේ ගිවිසුම් තහනමක්‌

2010 වර්ෂයේ ඇමෙරිකාවේ මෙක්‌සිකෝ බොක්‌කේ පිහිටි ඩීප් වෝටර් හොරයිසන් තෙල් ළිඳේ ඇති වූ අනතුර පිළිබඳව චෝදනාවලට ලක්‌ ව ඇති බීපී (ඊඡ) සමාගම හා ඇමෙරිකානු රජය අතර නව කොන්ත්‍රාත් ඇති කර ගැනීම තාවකාලිකව තහනම් කර ඇති බව එරට පරිසර ආරක්‌ෂණ අධිකාරිය පවසයි. මේ සඳහා බලපා ඇත්තේ අදාළ අනතුර ඇති වූ අවස්‌ථාවේ දී සමාගම කටයුතු කළ ආකාරයයි. ඇමෙරිකාවේ මධ්‍යම රජය සමග නව ගිවිසුම් ඇති කර ගැනීමේ මේ තහනම බීපී සමාගමට මෙන්ම නම් කරන ලද එය ආශ්‍රිත සමාගම්වලට ද අදාළ වේ.

මේ තහනම කොතෙක්‌ කාලයක්‌ පවතින්නේ ද යන්න පැහැදිලි නැත. සමාගම එය ඉක්‌මනින් නිමා වනු ඇතැයි අපේක්‌ෂා කරන බව පෙනේ. මෙය වාණිජ ආයතනයක සමාජ-පාරිසරික වගකීම් පිළිබඳව යළි සිහිපත් කරන ආකාරයේ තීරණයකි.

http://www.vidusara.com/2012/12/05/feature3.html

No comments:

Post a Comment