Thursday, December 13, 2012

ජගත් පරිසර විමසුම 152 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-12, පි. 11

Vidusara: Not available online


විමසුම - දෝහා දේශගුණ සමුළුවෙන් සාර්ථක ප‍්‍රතිඵලයක්?
පුවත් සැකෙවින් - ආයු අපේක්ෂාව ඉහළ යෑමට වායු දූෂණය අඩුවීම බලපායි ‌/ බොට්ස්වානාව වනසතුන් දඩයම් කිරීම තහනම් කිරීමට යයි‌/ අප‍්‍රිකාවේ විශාලතම සූර්ය බලාගාරය ඉදි වේ


විමසුම
දෝහා දේශගුණ සමුළුවෙන් සාර්ථක ප‍්‍රතිඵලයක්?

දෙසතියක් පමණ කාලයක් කටාර් රාජ්‍යයේ දෝහා නගරයේදී පැවැති දේශගුණ වෙනස්වීම පිළිබඳ ජගත් සමුළුව පසුගිය සතිය අගදී කිසියම් සාර්ථක ප‍්‍රතිඵලයක් සහිතව අවසන් විය. රටවල් දෙසීයකට ආසන්න ප‍්‍රමාණයක් සහභාගි වූ මේ සමුළුවේදී ලෝකයේ අවධානය දේශගුණ වෙනස්වීම කෙරේ යොමු කිරීමට මේ සාකච්ඡුාවලට හැකියාවක් ලැබුනද සුවිශේෂ වර්ධනයක් එහිදී ඇතිවෙතැයි බලාපොරොත්තුවක් බොහෝ දෙනා තුළ පැවතියේ නැත. කෙසේ වෙතත් අවසානයේ පැය තිස් හයක් පමඛ කාලයක් එක දිගට ඇදීගිය සාකච්ඡුාවටයකින් පසුව මේ ප‍්‍රගතිය ඇති විය.

දෝහා සමුළුවේදී සාකච්ඡුාවට ලක්වූ අංශවල ඇතිවූ ප‍්‍රගතිය පිළිබඳව කෙටියෙන් මෙසේ පැවසිය හැකිය. එ් කියෝටෝ සන්ධානය දීර්ඝ කිරීමට ඇතිවූ එකඟතාවය, හා දුප්පත් රටවලට දේශගුණ වෙනස්වීම නිසා ඇතිවන හානි සඳහාද පොහොසත් රටවල් වගකිව යුතු බව පිළිගැනීම මේ අතරින් වඩා වැදගත්ය. මේ නිසා ඇතැම් මාධ්‍ය ආයතන දෝහා සමුළුවේ වර්ධනය ඓතිහාසික වූවක් බව සඳහන් කර තිබේ. එහිදී දේශගුණ සාකච්ඡුාවල ඉදිරිගමන වඩා සාර්ථක වීමට හේතුවන ප‍්‍රතිපත්තිමය වෙනස්වීමක් සිදුව ඇති බව සැබෑවකි. එහෙත් අප බොහෝ විට පෙන්වා දී ඇති පරිදි මේ ප‍්‍රගතිය ප‍්‍රමාණවත්ද යන්න විමසීමට අපි අදහස් කරමු.

කියෝටෝ සන්ධානයේ දෙවන අදියර

කියෝටෝ සන්ධානයේ ක‍්‍රියාකාරිත්වය මේ වර්ෂය අවසානයේ නිමාවේ. එහි දෙවැනි පියවරක් පිළිබඳ යම් එකඟතාවයක් දෝහාහිදී ඇති විය. එ් අනුව කියෝටෝ සන්ධානය 2020 වර්ෂය දක්වා දීර්ඝ කිරීමට අදාළ රටවල එකඟතාවය ලැබී ලැබේ. 2014 වන විට තම රටවල වායු විමෝචන ප‍්‍රමාණ පිළිබඳව විමසා බලා, වායු විමෝචන කපා හැරිය හැකි ප‍්‍රමාණය ඊට සම්බන්ධවන දියුණු රටවල් විසින් තීරණය කරනු ලැබේ.
එහෙත් මෙහි ඇති ගැටලූව වන්නේ එ් යටතේ පාලනය වන්නේ ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන අතරින් සියයට 15ක් තරම් ප‍්‍රමාණයක් වීමය. ඊට හේතුව වන්නේ සන්ධානයේ දෙවන අදියරකට කැමැත්තක් දක්වා ඇත්තේ යුරෝපා රටවල්, ඔස්ටේ‍්‍රලියාව තවත් දියුණු රටවල් කිහිපයක් පමණක් වීමය. ලෝකයේ විශාලතම හරිතාගාර වායු විමෝචකයන් ඊට සම්බන්ධ නොවේ.

එහෙත්, ලෝකයේ හරිතාගාර වායු විමෝචන අඩු කිරීමට හේතුවන කිසිදු යාන්ත‍්‍රණයක් නොමැති තත්ත්වයක් තුළ කියෝටෝ සන්ධානය මේ ආකාරයෙන් හෝ ක‍්‍රියාත්මක වීමේ කිසියම් වැදගත්කමක් පවතී. 2015දී එකඟවීමට නියමිත නව ගිවිසුම මගින් කියොටෝ සන්ධානය වෙනුවට ආදේශ වීමට නියමිතය. එය ක‍්‍රියාත්මක වන්නේ 2020 වර්ෂයේ පටන්ය. ඒ නිසා සන්ධානය 2020 දක්වා ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යය.

දුප්පත් රටවලට වන හානි සඳහා පොහොසත් රටවල් වගකීම!

මේ අතර දේශගුණ වෙනස්වීම නිසා දුප්පත් රටවලට ඇතිවන හානි ආදි බලපෑම් සඳහා ධනවත් රටවල් ආධාර ලබාදීමට එකඟතා වීම දෝහාහිදී ඇතිවූ වැදගත් ප‍්‍රතිඵලයකි. එය වැදගත් වන්නේ එවැනි එකඟතාවයක් ඇති වන්නේ පළමුවරට වන නිසාය. මින් පෙර දියුණු රටවල් එකඟවී තිබුනේ දේශගුණ වෙනස්වීමට අනුහුරු වීමට හා එය පාලනය කිරීමට අවශ්‍ය තාක්ෂණික ආධාර උපකාර ලබාදීමට පමණි. හරිතාගාර ආචරණයේ ඓතිහාසික වගකීම හිමි පොහොසත් රටවල්, එවැනි ප‍්‍රකාශයකට එකඟ වීම පවා වැදගත් වන බැවීන් මෙය කිසියම් වැදගත් වර්ධනයක් සේ සැලකිය හැකිය.

අදාළ හානි ආදිය සඳහා වන්දි ලබා ගැනීම එහි ඊළඟ පියවර වේ. කෙසේ වෙතත් මේ සඳහා දියුණු රටවල වීරෝධයක් නොතිබුනා නොවේ. වන්දියක් හෝ එවැනි නෛතික අරුතක් දෙන වචනයක් මීට යොදැගැනීමට ඇමරිකාව එකඟ නොවූ අතර ආධාර ලෙස හැඳින්වීමට එකඟ විය. එසේම මේ හානි සඳහා කරන ගෙවීම් දැනටමත් පොරොන්දුවී ඇති වාර්ෂික ප‍්‍රදානය වන ඩොලර් බිලියන 100ට ඇතුළත් වන බැවින් දියුණු රටවල් ඊට දැඩි විරෝධයක් නොදැක්වූ බව පෙනේ. එසේම මේ මුදල් එක් රැුස්කර බලපෑම්වලට ලක්වන රටවලට ලබාදීමට කිසියම් ආයතනික ව්‍යුහයක් සකස් කිරීමට දියුණුවන රටවලට අවශ්‍ය වුවත්, ඇතැම් දියුණු රටවල් ඊට විරෝධය පළ කළ අතර අවසානයේ පවත්නා ආයතන ව්‍යුහය යොදාගැනීම වඩා යෝග්‍ය බව පෙන්වා දෙන ලදි. මේ යාන්ත‍්‍රණය හා අදාළ මුදල් පිළිබඳ කරුණු ඉදිරියේදී සාකච්ඡාවට ලක්වීමට නියමිතය.
විශේෂයෙන් මෙය දේශගුණ වෙනස්වීම හා සම්බන්ධ කිසියම් ප‍්‍රතිපත්තිමය වෙනසක් ලෙස පිළිගත හැකිය. එය සාධාරණ විසදුමක් සඳහා වන මගට පිවිසීමක් සේ සැලකිය හැකිය. මේ අතර 2020 දක්වා දියුණු රටවල් විසින් වාර්ෂිකව ඩොලර් බිලියන 10ක මුදලක් යෙදවීමට දිරිමත් කරන බව එහි සඳහන් වේ. එතැන් සිට වාර්ෂිකව ලබාදීමට නියමිත ඩොලර් බිලියන 100ක මුදල් සඳහා රටවල් දායක වන ආකාරය ගැන සාකච්ඡුාවලද ප‍්‍රගතියක් ඇති වී තිබේ.

මේ ප‍්‍රගතිය ප‍්‍රමාණවත්ද?

කෙසේ වෙතත් හරිතාගාර වායු විමෝචන සැලකිය යුතු තරමින් අඩු කිරීම සඳහා හේතුවන කිසිදු ආකාරයක ක‍්‍රියාමාර්ගයක් මෙහිදී එකඟ වී නොමැත. වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, දේශගුණ වෙනස්වීම පාලනය කිරීමට හේතුවන තරම් ප‍්‍රබල හරිතාගාර වායු විමෝචන කප්පාදුවක් අද-හෙට ඇතිවන බවක් නොපෙනේ. ප‍්‍රබල පියවර සහිත දේශගුණ ගිවිසුමක් පිළිබඳ අපේක්ෂාවක් තැබිය හැක්කේ 2015දී වන නිසා ගැටලූව ඇත්තේ ප‍්‍රමාදයේය. මේ සඳහා ඇති එකඟතාවය දෝහා සමුළුවේදී අලූත් කරගෙන ඇති අතර දියුණු මෙන්ම දියුණුවන රටවල්ද සම්බන්ධ වන මේ ගිවිසුම පිළිබඳව කිසියම් කාලසටහනක්ද එකඟ වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බන් කි-මුන් 2014 වර්ෂයේදී ලෝක නායකයින් ගෙන්වා මේ ගැටලූව පිළිබඳ ප‍්‍රමාණවත් තරමින් කටයුතු කිරීමද අපේක්ෂා කරන බව පවසා ඇත.

එහි ප‍්‍රතිඵලය වනු ඇත්තේ සෙල්සියස් අංශක දෙකක සීමාවේ උෂ්ණත්වය ඉහළ යෑම පවත්වා ගැනීමට අසීරු වීම විය හැකිය. එනම් දේශගුණ වෙනස්වීමේ බරපතළ බලපෑමක් ඇතිවීමට ඉඩක් තිබේ. එ් අනුව දෝහාවලදී ලබාගත් ජයග‍්‍රහණය කෙතරම් සම්පූර්ණ එකක්ද යන ගැටලූව ඉතිරිවේ. මේ තත්ත්වය හමුවේ යුරෝපා රටවල් තම හරිතාගාර වායු විමෝචන අඩු කිරීමේ ඉලක්කය 20%ට වඩා ඉහළ නැංවීමට එකඟ නොවීම පුදුමයක් නොවේ. එ් සඳහා ප‍්‍රධාන හේතුව වූයේ ගල් අඟුරු නිධි විශාල ලෙස ඇති පෝලන්තයේ විරෝධය බව පෙනේ.

මේ සමුළුව පිළිබඳව අදහස් දක්වන ඇතැම් රටවල් මෙය කිසිවක් නොමැතිවාට වඩා හොඳ බව පවසා තිබේ. එය සත්‍යයකි. එසේම නිසි ගමන් මග වෙත ලෝකය පැමිණ ඇති බවක් අපටද සිතේ. ඉදිරි සාකච්ඡුාවලදී මේ ස්ථාවරයේ වෙනස්කම් ඇති වීමේ අවදානමක් ඇති නමුත්, මේ මග හැර යා යුතු අන් මගක් නොමැති බව පැහැදිලිය. වඩා ඵලදායී ගිවිසුමක් සාර්ථක කර ගැනීම සඳහා අද ලෝකයේ දැකිය හැකි උනන්දුව ඒ ආකාරයෙන්ම තබා ගැනීමට ලෝකවාසී පරිසරය පිළිබඳ උනන්දුවක් දක්වන්නන් දිගින් දිගටම බලපෑම් කළ යුතුව තිබේ. විවේක ගැනීමට කාලයක් ඉතිරිව නොමැති බව පැහැදිලිය.

පුවත් සැකෙවින්
ආයු අපේක්ෂාව ඉහළ යෑමට වායු දූෂණය අඩුවීම බලපායි

වායු දූෂණයේ ප‍්‍රධාන සංඝටකයක් වන කුඩා ප‍්‍රමාණයේ අංශුමය ද්‍රව්‍ය මට්ටම අඩු වීම සහ ජනතාවගේ ආයු අපේක්ෂාව ඉහළ යෑම අතර යම් සම්බන්ධයක් ඇති බව ඇමරිකාවේ සිදුකරන ලද අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

1980 වර්ෂයේ සිට ගත වූ කාලය ඇතුළත ඇමරිකාවේ වායු දූෂණය අඩු වෙමින් තිබේ. මේ අධ්‍යයනයේදී සලකා බලා ඇත්තේ මයික්‍රෝමීටර් 2.5ට වඩා අඩු අංශුවලින් (PM 2.5) ඇතිවන වායු දූෂණය අඩුවීමෙන් ඇතිවී තිබෙන ප‍්‍රතිඵල පිළිබඳවය. එහිදී හෙළිව ඇති ආකාරයට, 2000-2007 අතර කාලයේදී ඇමරිකාවේ ප‍්‍රදේශ (County) 545ක උක්ත අංශු සාන්ද්‍රණය ඝන මීටරයකට මයික්‍රෝ ග‍්‍රෑම් 10ක පමණ ප‍්‍රමාණයෙන් අඩුවී ඇති අතර ජනතාවගේ ආයු අපේක්ෂාව වර්ෂ 0.35ක සාමාන්‍ය අගයකින් ඉහළ ගොස් තිබේ. අධික ලෙස නාගරික ප‍්‍රදේශවල හා ජන ඝනත්වය ඉහළ ප‍්‍රදේශවල මේ කරුණු දෙක අතර ඇති සම්බන්ධය වඩා දැඩිය.
වායූ දූෂණය වැළැක්වීමේ යහපත් ප‍්‍රතිඵල පෙන්වන විශාලතම අධ්‍යයනයක් වන මෙය වායු දූෂණය පාලනය කිරීම මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වය වර්ධනය කිරීමට හේතුවන බව පෙන්වයි. එ් නිසා එයට ජගත් මට්ටමේ වටිනාකමක්ද ඇත. (මූලාශ‍්‍රය: Epidemiology, DOI: 10.1097/EDE.0b013e3182770237)

බොට්ස්වානාව වනසතුන් දඩයම් කිරීම තහනම් කිරීමට යයි

ලෝකයේ ඇතැම් රටවල් ඇතැම් සත්ත්ව විශේෂ දඩයම් කිරීමට අවසර ලබාදී තිබේ. එය වනජීවී කළමනාකරණ ක‍්‍රමෝපායක් වන අතර, ආදායම් මාර්ගයක් හා සංචාරක කර්මාන්තයේ අංගයක් ලෙසද භාවිත වේ. විශේෂයෙන් ඇතැම් අප‍්‍රිකානු රටවල් වනසත්ව දඩයමට අවසරදී ඇත. එහෙත් වනජීවීන්ට ඇති තර්ජනය නිසා මෙවැනි ප‍්‍රතිපත්තිද වෙනස් වන ආකාරයක් මෑතදී දැකිය හැකිය. බොට්ස්වානා රාජ්‍යයේ වාණිජ දඩයම් කිරීම් 2014 වර්ෂයේ සිට තහනම් කිරීමට ගෙන ඇති තීරණය මීට නිදසුනකි.

මීට හේතුව ලෙස එරට බලධාරීන් දක්වා ඇත්තේ ඇතැම් සත්ත්ව විශේෂවල ගහන වේගයෙන් අඩුවෙමින් තිබීම නිසා දඩයමට අවසර දීම සංරක්ෂණ ප‍්‍රතිපත්තිවලට එරෙහිවීමයි. ක‍්‍රීඩාවක් හා විනෝදාංශයක් ලෙස සතුන් දඩයම් කිරීම තවදුරටත් කළ නොහැකි බව එරට බලධාරීන් විසින් පෙන්වාදී තිබේ. දඩයම් කිරීම සඳහා අවසරදී තිබූ කලාප, ඡායාරූප කලාප සේ නම් කිරීමට නියමිතය.

අලියකු හො සිංහයකු දඩයම් කිරීම සඳහා ඩොලර් 30,000ක් පමණ අය කරනු ලබන නිසා මේ දඩයම ඇතැමි පිරිස්වලට ආදායම් ගෙනදී ඇත. දඩයම් බලපත‍්‍ර විදේශිකයන්ට අලෙවි කිරීම බොට්ස්වානාවේ ලාබදායී ව්‍යාපාරයක් වී තිබේ. එහෙත් දඩයම මගින් තම ආහාර අවශ්‍යතා සපයාගන්නා ජන කොටස්වලට මෙය බලපෑමක් ඇති කළ හැකි බැවින් ඔවුන් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දෙන බව පෙන්වා දී තිබේ. ප‍්‍රාථමික විනෝදාංශයක් වන දඩයම අවසන් කිරීම වැදගත් පියවරකි.

අප‍්‍රිකාවේ විශාලතම සූර්ය බලාගාරය ඉදි වේ

විශාල පරිමාණයේ සූර්යබල විදුලි බලාගාරයක් අප‍්‍රිකාවේ ඝානා රාජ්‍යයේ ඉදිකිරීමට බි‍්‍රතාන්‍ය සමාගමක් සැලසුම් කරමින් සිටියි. එ් අනුව නිවාස 100,000කට පමණ ප‍්‍රමාණයකට විදුලිය සැපයීමට හැකියාව ඇති මෙගවොට් 155ක ප‍්‍රමාණයේ ප‍්‍රකාශ වෝල්ටීය (Photo-volatic) සූර්ය කෝෂ බලාගාරයක් ඝානා රාජ්‍යයේ ඉදිකිරීමට නියමිතය. අප‍්‍රිකා මහාද්වීපයේ සූර්ය බල විදුලි බලාගාර ඉදිකර හා අනාගතයේදී ඉදිකිරීමට නියමිතව ඇතත්, විශාල පරිමාණයේ බලාගාරයක් ඉදිවන්නේ පළමු වතාවටය. මේ බලාගාරය ඉදිවුවහොත් එය අප‍්‍රිකා මහාද්වීපයේ ඉදිවන විශාලතම සූර්යබල විදුලි බලාගාරය වනු ඇත.

Vidusara: Not available online

No comments:

Post a Comment