Friday, February 14, 2020

ෆැන්ටසියක් නොවූ ෆැන්ටසියාව!

ෆැන්ටසියාව - කුසුම්සිරි විජයවර්ධන
2018 (දයාවංශ ජයකොඩි සහ සමාගම)

ධනේෂ් විසුම්පෙරුම

සිරිතක් වශයෙන් නවකතා හා කෙටිකතා කියැවීම මා අතින් නතර වූයේ වසර ගණනකට පෙරදීය. ඒ අධ්‍යයන අවශ්‍යතා සඳහා පොත්, පුවත්පත් හා වෙනත් වාර්තා කියැවීම පටන් ගත් කාලයේදී සිටය. ඒවා කියවන විට තවත් දෙයක් කියැවීමට කාලයක් ලැබෙන්නේ නැති තරම්ය! ඉඳහිට ප්‍රබන්ධයක් කියවූ අවස්ථා තිබුණද ඒ අතළොස්සකි. එහෙත් දකින්නට ලැබෙන ඓතිහාසික තේමා සහිත නවකතා පොත් මිලදී ගැනීම මම දිගටම සිදුකළ අතර, මගේ නොකියවූ පොත් ගොන්නෙහි ඒවා ගොඩ ගැසී ඇත. ඒ දකින විට මට සිහි වන්නේ දවල්ට, රෑට බත් කන විට පවා කිසියම් පොතක් කිය වූ අතීතයයි. 

එහෙත් කෙසේ හෝ කාලය සොයාගෙන නවකතා කියවන්නට උත්තේජනයක් මට ලැබී ඇත. ඒ අලුත්ම පසුබිමක ලියැවුණු අපූරු කෘතියක් එහි කතුවරයාගෙන් මට ලැබුණු නිසාත්, එහි කර්තෘ හමු වූ හෝ කතා කළ හෝ හැම විටම ඒ පොත කියවන මෙන් බල කළ නිසාත්ය. මම ඔහුට ඒ පිළිබඳව ස්තුති කරන්නේ ඒ පොත කියැවූ දා සිට දැන් දිනපතාම නවකතාවක් හෝ චරිතාපදානයක් වැනි විෂය මූලික නොවන දේ කියැවීමට මා පෙළඹී ඇති නිසාය.

යළි පොත් කියැවීමට මා යොමු කළ මේ කෘතිය 'ෆැන්ටසියාව' නම් වෙයි. ඒ පොත මට දුන් මිතුරා කුසුම්සිරි විජයවර්ධනය. මේ ඒ පොත ගැන මට හිතෙන දේ හා දැනෙන හැටිය.

ෆැන්ටසියාවේ කතාව


ෆැන්ටසියාව නූතන සමාජය වටා ගෙතී ඇති කතාවකි. එහි ලියැවී ඇත්තේ ස්මාර්ට් ෆෝන්, බ්ලොග්, ෆේස්බුක්, ට්විටර් ඇසුරේ ගෙවී යන ජීවිත පිළිබඳවය. මේ සයිබර් ජීවිතය නූතන තරුණ පරපුරට පමණක් නොව, අඩු වැඩි වශයෙන් ඩිජිටල්කරණය වූ ලෝකයක කල් ගෙවන මැදිවියේ හා වැඩිහිටි වියේ අයටද පොදුය.

මෙහි කතාව සයිබර් අවකාශයේ ජීවත් වන චරිත කීපයක් වටා දිවයයි. එහි කතා නායිකාව වන නර්මි හෙවත් නර්මදා සයිබර් ලෝකයේ ක්‍රමයෙන් ජනප්‍රිය වූ තරුණියකි. ගැමි හෝ අර්ධ නාගරික සංස්කෘතික පසුබිමක් ඇති ඈ සිය උගත්කමට සරිලන වෘත්තියක නියැලෙන්නියකි. එහෙත් ඇයට ‘තැනක්’ හෙවත් පිළිගැනීමක් හෙවත් ජනප්‍රියත්වයක් ලැබෙන්නේ ඇයගේ සයිබර් ලියමනෙන්ය. ඇගේ ‘ආච්චිගේ රෙද්ද’ බ්ලොග් අඩවියේ හා ෆේස්බුක් ලිවීමෙන්ය.

ඒ ජනප්‍රියතාවයත් සමඟ ඇයට ළං වන සයිබර් ලෝකයේ වීරයෙකු ලෙස සැලකෙන රහල් සමඟ ඇය කෙටි කලක් තුළ විවාහ වන්නීය. එහෙත් රහල් යනු ඊට වඩා වෙනස් මනසක් හෝ අරමුණක් හෝ ඇති (හෝ නැති) හා වෙනස් සමාජයක ජීවත්වන අයෙකි. ඔවුන් දෙදෙනා අතර බරපතළ ගැටුම් ඇති නොවූවද, එවැනි විවාහයකට වැඩි කල් පැවැත්මක් නැති බව පෙන්වමින් ඔවුන්ගේ විවාහය දෙදරා යයි. එය සයිබර් ලෝකයේ මැවුණු ෆැන්ටසියක් හෙවත් ‘ෆැන්ටසියාවක්’ හා සමාන වන්නේ එමගිනි.

මේ ඒ කතාවේ සාරාංශයයි. නර්මදා හා රහල්, වැනි චරිත අපේ ලෝකයේ ඕනෑ තරම් සිටිති. සයිබර් ලෝකයේ මෙන්ම වෙනත් මාධ්‍යවලින් මවන ෆැන්ටසි ලෝකවල ජීවත්වන්නවුන්ද බොහෝය.


සයිබර් ලෝකයේ සමාජය


කුසුම්සිරි අපට අපූරු කතාවක් කියයි. ඒ සයිබර් ලෝකය හෙවත් ඩිජිටල් ලෝකය අපේ සමාජයට පිවිස ඇති ආකාරයයි. තමන් පීඩාවිඳින හුදකලාවෙන් මිදීමට ඩිජිටල් උපකරණ මගින්, සයිබර් ලෝක තුළ ජීවත් වන පිරිස් බොහෝය. මේ එවැනි එක් කතාවක් පමණක් බව සිතෙන්නේ අප කවුරුත් අඩු වැඩි වශයෙන් සයිබර් අවකාශයේ ජීවත්වන නිසාය.

හොඳින් විමසා බැලූවිට අපේ සමාජයේ බොහෝ දෙනා හුදකලාවක හා අපේක්ෂා භංගත්වයක ගිලී ජීවීතය තුළ අතරමං වී ඇති බව පෙනේ. ධනය, බලය හෝ තත්ත්වය හෝ වෙනත් යමකින් ජීවිතය සම්පූර්ණ කරගත් බව පෙනෙන අය සමහරෙක් තවත් පැත්තකින් අසාර්ථක වී ඇතිවා විය හැකිය. ඔවුන් නතරවන්නේ කොතැනකද? හුදකලාව හා අපේක්ෂා භංගත්වයකය. ජීවිතයේ වැඩි කාලයක් සයිබර් අවකාශයේ සරන අය තුළ මෙවැනි පිරිසක් අපි දකිමු. සයිබර් අවකාශයේ සිය හැඟීම් බෙදාගැනීමෙන් හා දුටු-නොදුටු මිතුරු-මිතුරියන් අන්තර්ජාලය හා එතැනින් ඇරඹෙන මිතුරු සමාගම් මගින් ඔවුන්ගේ හුදකලාව නැතිවී යයි. එයින් ඔවුන්ට ලැබෙන්නේ ලෝකයම බව ඔවුන්ගේ අදහසය. මේ කතාවේ නර්මදා වරක් පවසන්නේ සේම, ‘ලෝකෙම අතේ වගේ තමයි’ය. ඇත්තෙන්ම මෙතෙක් ඔවුන් පෙළූ හුදකලාව නිමා කර ගැනීමට සයිබර් අවකාශය සහාය ලබාදුන්නද එය හුදෙක් තාක්ෂණික බැඳීමක් පමණකි. එහෙත් මෙතෙක් ඔවුන්ය නොලැබුණු තැන, පිළිගැනීම හා අවකාශය ඔවුන්ට ලැබී ඇත. මේ කතාව තුළ විග්‍රහ කරන ජීවිත සමහරක් ගත වන්නේ එවැනි වූ ෆැන්ටසියාවකය. එය සැබෑ ලෝකයේ නොමැති බව පසක් වන විට සිදුවිය යුත්ත සිදු වී හමාර විය හැකිය.

සයිබර් ලෝකය හැමවිටම හානිකර ප්‍රතිඵල දෙන්නක් නොවේ. මේ සයිබර් ජීවිතය හුදෙක් තරුණ පරපුරට පමණක් නොව, වැඩිහිටියන්ගේ හුදකලාව නැති කරන බවත් එදිනෙදා ජීවිතයේ දහසකුත් එකක් ගැටලු අතර සතුටක් ලබා දෙන්නක් බව අපි දනිමු. ෆැන්ටසියාවේ එන මහාචාර්ය ජයදේවගේ ෆේස්බුක් ආගමනය ඊට නිදසුනකි.

එහෙත් භෞතිකව කාලයක් නාදුනන මිනිසුන් සයිබර් අවකාශය හරහාම හඳුනාගෙන සමීපවීමෙන් ඇතිවන සමීප සම්බන්ධතා වේ නම්, ඒවා අස්ථිර ඒවා බව කුසුම්සිරි මේ කතාවෙන් කියයි. සැබෑ ලෝකයේ හඳුනාගෙන වසර ගණන් පෙම් කර සිදුවන විවාහයන් පවා දික්කසාදවලින් කෙලවර වන්නේ නම් සයිබර් අවකාශයෙන් හඳුනාගත්තවුන් අතර එය පුදුමයක් නම් නොවේ. සයිබර් ප්‍රේමය ෆැන්ටසියක් වීමට ඇති ඉඩ වැඩිය. කුසුම්සිරිගේ 'ෆැන්ටසියාව' ෆැන්ටසියක් ‌නොවන බව මා කී‌වේ එනිසාය.

මට සිහිවන්නේ මේ පොත ගැන තිබූ සංවාදයකදී ආචාර්ය සුනන්ද මහේන්ද්‍රයන් පැවසූ දෙයකි. එනම් නර්මදාගෙන් සිංහල බෞද්ධ කුල කාන්තාව නිරූපණය වන බවකි. ඒ කතාවේ සත්‍යයක් ඇතැයි මමද සිතමි. ජීවිතයේ කෙබඳු හැලහැප්පීම් මැද වුවද ඇයට ජීවිතය ගොඩ නංවා ගැනීමට හැකියාව ලැබී ඇත්තේ ඒ නිසා විය යුතු යැයි සිතමි.


කුසුම්සිරිගේ නවකතා ප්‍රවේශය


ෆැන්ටසියාව යවු කුසුම්සිරි විජයවර්ධනගේ පළමු නවකතාව බව ඇසීමි. නවකතාවක් තාක්ෂණික වශයෙන් විමසීමට තරම් විෂය දැනුමක් මට නැතත්, පසෙක නොතබා කියැවිය හැකි කතාවක් ඉදිරිපත් කිරීමට සිය පළමු උත්සාහයෙන්ම එහි රචකයා සමත් වී ඇත. එබැවින් ඔහු එම අංශයේද සිය ප්‍රතිභාව පෙන්වා තිබේ.

මේ කතාවේ ආකෘතිය සඳහා ද වෙනස් මෙවලම් ඔහු විසින් භාවිත කර ඇත. ආකෘතික වශයෙන් සමාජ මාධ්‍ය හා සයිබර් මෙවලම් නවකතාවකට ගෙන ඒමට කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. එවැන්නක් සිදුව ඇත්තේ පළමුවරට බව ද දැනගන්නට ලැබිණි.

එකිනෙකට වෙනස් චරිත ගණනාවක් අපූරු ලෙස නිරූපණය කිරීමට මේ පොත පුරා කුසුම්සිරිට හැකියාව ලැබී ඇත. ඒ මිනිසුන් අතර ඇතිවන සමාජ සම්බන්ධතා මෙන්ම, පෞද්ගලික ගැටලුද නිරූපණය කර ඇති අයුරුද අපූරුය. සිය සේවා ස්ථානයේ මෙන්ම, මගතොටදී මුණගැසෙන අය අතර ඇතිවන සම්බන්ධතා මෙන්ම ඇති නොවන සම්බන්ධතාද මෙහි මොනවට විස්තර කර ඇත. ඒවා අපට එදිනෙදා අහන්නට දකින්නට ලැබෙන ඒවාය. කාර්යාලයේ හා දුම්රියේ පෙම් සබඳතා, මිත්‍ර සම්බන්ධතා වැනි මානව සම්බන්ධතා ඒ අතර වෙයි.

කතාවේ අවසානය වේගවත් වැඩි යැයි මට සිතේ. එය වේගවත් කඩා වැටීමක් බව ඔහු අපට ඒත්තු ගන්වා ඇත. ඒ කඩා වැටීම මට, අපට දැනෙතත්, නර්මි දැක්වූ බව පෙන්වන උපේක්ෂා සහගත ස්වභාවය මට පුදුමය. එය මීට වඩා සෙමින් අවසන් වූයේ නම් මේ ෆැන්ටසි ලෝකයේ යථාර්ථය වඩාත් තීරණාත්මකව දක්වන්නට ඔහුට ඉඩක් තිබුනා යැයි මට සිතේ. එහෙත් එසේ වුයේ නම්, මෙහි රසය වෙනස් වීමට ඉඩ තිබිණි.

මිත්‍රයා, ඔබට ස්තුතියි ඒ පොත කියැවීමට සැලැස්වූවාට... ඒ වගෙම මා යළිත් ප්‍රබන්ධ කියැවීමටයොමු කළාට.

ධනේෂ් විසුම්පෙරුම
14.02.2020

No comments:

Post a Comment