Sunday, June 23, 2019

තහනම් කළ යුත්තේ වඩු මඩු ද, ජංගම ලී මෝල් ද, නැතිනම්...?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.06.2019, පි. 5 (Vidusara)

Vidusara: http://www.vidusara.com/2019/06/19/feature2.html





වඩු මඩු හා ලී මෝල් තහනම් කිරීම හා සම්බන්ධ ව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කරන ලද ආන්දොaලනාත්මක කතාවක්‌ පසුගිය සතියක රටේ මාතෘකාවක්‌ විය. මේ ප්‍රකාශය ඔහු සිදු කළේ පරිසර දිනය නිමිත්තෙන් පැවැති උත්සවයක දී ය. එහි දී ගස්‌ කපන යන්ත්‍ර පිටරටින් ගෙන ඒම සම්පූර්ණයෙන් ම තහනම් කරන බවත්, වඩු මඩු තහනම් කිරීමට අවශ්‍ය චක්‍රලේඛයක්‌ නිකුත් කරන බව හා ලී මෝල් හිමියන්ට වෙනත් වෘත්තීන් සොයාගැනීම සඳහා වසර පහක කාලයක්‌ ලබා දෙන බවත් ඔහු ප්‍රකාශ කළේ ය. ගෘහභාණ්‌ඩ හා ඒවා නිෂ්පාදනය සඳහා අවශ්‍ය දැව පිටරටින් ගෙන ආ යුතු බව ද ඔහු පැවසී ය.

මේ කතාවේ දැක්‌වුණු පියවරවල අරමුණ වශයෙන් සඳහන් වූයේ වන සංරéණයයි. එය අගය කළ යුතු අදහසක්‌ වුවත් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත විමසා බලන විට දැකිය හැක්‌කේ වඩා වෙනස්‌ චිත්‍රයකි.

උක්‌ත ප්‍රකාශය ගැන සමාජයේ විවිධ පුද්ගලයන් අදහස්‌ දක්‌වා තිබූ අතර සමාජ ජාල මඟින් ද ඉහත ප්‍රකාශය විවේචනයට ලක්‌ විය. නිදසුනක්‌ ලෙස මේ නිසා ගෘහභාණ්‌ඩ හා දැව මිල ඉහළ යා හැකි බව එක්‌ පාරිභෝගික සංවිධානයක්‌ දක්‌වා තිබිණි. ඒ දැව ආනයනය කිරීමට පියවර ගන්නේ නම් ය. වඩු මඩු තහනම් කිරීමක්‌ සිදු වුව හොත් සිය පාරම්පරික වෘත්තිය තර්ජනයට ලක්‌ විය හැකි යෑයි සිතූ වඩු කාර්මිකයන් උද්ඝෝෂණය කළ අතර, මොරටුව ප්‍රදේශයේ උපවාසයක්‌ ද ආරම්භ වූ බව වාර්තා විය. එමෙන් ම වඩු මඩු තහනම් කිරීමෙන් වඩු කාර්මිකයන්ගේ මූලික මිනිස්‌ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට සඳහන් කරමින් එක්‌ සංවිධානයක්‌ සහ වඩු කාර්මිකයන් කිහිපදෙනෙක්‌ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ද පැමිණිලි කර ඇත. ඒ වඩු මඩු තහනම් කිරීමෙන් ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ එන තමන්ට අභිමත වෘත්තියක නියෑළීමේ අයිතිය උල්ලංඝනය වන බව පවසමිනි.

ඇත්තෙන් ම සිදු වන්නේ කුමක්‌ ද?


පසුව මේ පිළිබඳ ව වැඩිදුර පැහැදිලි කරමින් මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය විසින් නිවේදනයක්‌ නිකුත් කරන ලදි. එහි සඳහන් වන පරිදි සාම්ප්‍රදායික දැව මඩු සඳහා නිකුත් කර ඇති බලපත්‍රවලට මුවා වී වනාන්තරවල ගස්‌ කැපීම සිදු කෙරෙන බව බව හෙළි වී ඇති අතර ඉන් සිදු වන පරිසර විනාශය ද විශාල ය. ඒ අනුව කරුණු සලකා ගත් තීරණයක්‌ පරිදි ඉදිරියේ දී ජංගම ලී මෝල් තහනම් කිරීමට කටයුතු කරන බව නිවේදනයේ සඳහන් වෙයි. එවැනි ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර තිබෙන බව ද දැක්‌වෙයි. මේ සඳහා 2014.12.03 දිනැති අංක 1891රැ26 දරන 'දැව මඩු ලියාපදිංචි කිරීම සහ දේපළ සලකුණු' නියෝග පිළිබඳ අතිවිශේෂ ගැසට්‌ පත්‍රය සංශෝධනය කිරීමට නියමිත ය. එම සංශෝධනය තුළින් සාම්ප්‍රදායික වඩු මඩු තහනම් නො වන අතර, 2022 දෙසැම්බර් 31 වැනි දායින් පසු ජංගම ලී මෝල් පවත්වාගෙන යැම තහනම් වනු ඇත. ඒ ජංගම ලී මෝල් පවත්වාගෙන යැම සඳහා දැනට නිකුත් කරනු ලබන වාර්ෂික අවසර පත්‍ර 2022 දෙසැම්බර් 31 දිනෙන් පසුව නිකුත් නො කරන බැවිනි. එවිට එවැනි දැව ව්‍යාපාර සඳහා වන ලියාපදිංචි කිරීමේ සහතිකය අවලංගු වෙයි.

උක්‌ත නිවේදනයේ වැඩිදුරටත් දැක්‌වෙන පරිදි නීත්‍යනුකූල ක්‍රමයට ලී ලබාගන්නා අයට සාම්ප්‍රදායික වඩු කර්මාන්තයේ යෙදීමට බාධාවක්‌ නැත. නීත්‍යනුකූල ව පවත්වාගෙන යන දැව මඩුවල දෛනික ගනුදෙනු පිළිබඳ වාර්තා පවත්වාගෙන යා යුතු අතර, එක්‌ එක්‌ මාසය අවසානයේ සහතික කළ පිටපතක්‌ අදාළ ප්‍රදේශයේ වන අඩවි නිලධාරීවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් යෑවිය යුතු වෙයි.

වරද ජංගම ලී මෝල්වල ද?


මේ අනුව බලධාරීන්ගේ අවධානය යොමු ව තිබෙන්නේ ජංගම ලී මෝල් පිළිබඳ ව බව පෙනෙයි. තැනින් තැනට ගෙන යා හැකි අත්ට්‍රැක්‌ටරයක ටේ්‍රලරයකට සවි කර තිබෙන උපකරණවලින් යුක්‌ත ජංගම ලී මෝල් ලියාපදිංචි කිරීම සඳහා ඉහත සඳහන් 2014.12.03 දින නිකුත් වූ ගැසට්‌ නිවේදනයෙන් ප්‍රතිපාදන සැලසී ඇත. 2015 පමණ සිට ඒවා ලියාපදිංචි කිරීම ආරම්භ විය.

පසුගිය දා අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ දැක්‌වෙන පරිදි මේ වන විට දිවයින පුරා ජංගම ලී මෝල් 300ක්‌ පමණ ලියාපදිංචි කර ඇත. එහෙත් මේ සමඟ ඇති වගුවේ දැක්‌වෙන පරිදි වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2017 වන විට ලියාපදිංචි කර ඇති ක්‍රියාත්මක ජංගම ලී මෝල් ගණන 800කට ආසන්න ය.

2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට ක්‍රියාත්මක ලියාපදිංචි කරන ලද ජංගම ලී මෝල් ගණන 794ක්‌ ඇති අතර, ඉන් වැඩි ප්‍රමාණය අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ ද (278), දෙවැනි තැන කුරුණෑගල දිස්‌ත්‍රික්‌කයේ ද (241) ක්‍රියාත්මක ය. කෑගල්ල, බදුල්ල හා මාතර ද ජංගම ලී මෝල් තරමක්‌ දැකිය හැකි ය. සෙසු දිස්‌ත්‍රික්‌කවල අඩු ප්‍රමාණවලින් ක්‍රියාත්මක අතර දිවයිනේ දිස්‌ත්‍රික්‌ 12ක ජංගම ලී මෝල් ලියාපදිංචි කර නැත.

තහනම් කරන්නට යන්නේ ජංගම ලී මෝල් පමණක්‌ නම් එය මේ ප්‍රශ්නයට විසඳුමක්‌ වේ ද යන්න ද විමසා බැලිය යුතු ය. ජංගම ලී මෝල් භාවිතය ප්‍රචලිත වන්නට පෙර ද, වන විනාශය තිබිණි. එය දැව අවශ්‍යතාව මත මෙන් ම දැව ජාවාරම්කරුවන් නිසා ද වර්ධනය වෙයි. දැව ජාවාරම්කරුන්ට වැඩි අවස්‌ථාවක්‌ ලැබෙන්නේ ජංගම ලී මෝල් නිසා ද, නැතිනම් පොදුවේ සියලු ලී මෝල් නිසා ද යන්න විමසිය යුතු කරුණකි. මේ පිළිබඳ ව නීතිය ක්‍රියාත්මක කරන වන සංරéණ දෙපාර්තමේන්තුවේ 2011 සිට 2017 දක්‌වා වූ කාර්යසාධන වාර්තා පිළිබඳ ව සැලකූ විට ලී මෝල්, දැව අලෙවි මධ්‍යස්‌ථාන මෙන් ම වඩු මඩු ද යන සියල්ලේ ම සංඛ්‍යාව මේ කාලය තුළ වර්ධනය වී ඇති බවක්‌ පෙනෙයි. ඇතැම් වර්ෂ තුළ යම් යම් අඩු වැඩි වීම් සිදු වී ඇතත් සමස්‌තයක්‌ ලෙස සිදු ව තිබෙන්නේ වර්ධනයකි. ඒ අනුව දැව සඳහා සිදු වන වන සංහාරයට ජංගම ලී මෝල් පමණක්‌ චෝදනාවට ලක්‌ වීම කෙතරම් සාධාරණ ද යන්න නම් ගැටලුවකි (වගුව බලන්න).



මේ දත්ත අනුව හුදෙක්‌ ජංගම ලී මෝල් තහනම් වූ පමණින්, වන සංහාරය නවතින්නේ ද යන්න අවධානය යොමු විය යුතු කරුණකි. ජංගම ලී මෝල්වල අමතක කරන පැත්තක්‌ ද තිබෙයි. එනම්, සාමාන්‍ය වැසියකුට සිය ඉඩම තුළ ඇති ගසක්‌ කපා ලී ඉරාගැනීමේ දී මේ ජංගම ලී මෝල් මඟින් සැලසෙන සේවය හා පහසුවයි. එවැනි අවස්‌ථාවක දී අදාළ ගස කැපීම හා ඉරීම පිළිබඳ ව මෙන් ම, ජංගම ලී මෝල ක්‍රියාත්මක කිරීම සඳහා පැමිණීම සඳහා ද බලධාරීන්ගේ අවසරය හා දැනුවත් බව අවශ්‍ය වෙයි. එහෙත් ජංගම ලී මෝල් නොමැති නම්, කැපූ ගසකට ප්‍රවාහන බලපත්‍ර ගෙන ලී මෝලකට ගෙන ගොස්‌, ඉරා ආපසු ගෙන ඒමට සිදු වෙයි. මේ ක්‍රියාවලිය තුළ වංචා සිදු වීමට තිබෙන අවස්‌ථා ද ඉහළ ය. අනෙක්‌ අතට ප්‍රවාහන පිරිවැය අඩු වීම, ලිපිලේඛන කටයුතු සඳහා වන කාලය නාස්‌ති වීම අඩු වීම වැනි කටයුතු නිසා ජනතාව සිය දැව අවශ්‍යතාව සඳහා ගෙවත්තේ ගස්‌ වැවීම දිරිමත් වීමට මෙය හේතුවකි. මෙසේ සිය දැව අවශ්‍යතාව නීත්‍යනුකූලව ගෙවත්තෙන් සැලසෙන්නේ නම් ස්‌වාභාවික වනාන්තරවලට එල්ල වන දැව පීඩනය අඩු වනු ඇත.

ජංගම ලී මෝල් ක්‍රියාත්මක වීම පිළිබඳ රෙගුලාසි ගණනාවක්‌ ම තිබෙයි. එමඟින් ඉරනු ලබන දැව පෞද්ගලික ඉඩමකින් ලබාගත් දැව බවට සහතිකයක්‌ අදාළ බලධාරීන් වෙතින් ලබාගත යුතු ය. මේ ලී මෝලකින් ලී ඉරීම සිදු කරන ඉඩමේ සිට රජයේ වනයක හෝ වන වගාවකට පවත්නා අවම ගුවන් දුර මීටර් 200කට අඩු නො විය යුතු ය. එමෙන් ම මේවා ක්‍රියාත්මක කළ හැක්‌කේ පෙ.ව. 6 සිට ප.ව. 6 දක්‌වා කාලය තුළ පමණකි. එසේ ම ජංගම ලී මෝල හා ඊට අදාළ වාහනය පිළිබඳ ව මෙන් ම එහි පවත්නා උපකරණවල ප්‍රමාණය ගැන ද රෙගුලාසි පවතී. මේ අනුව රෙගුලාසි නිසි ලෙස ක්‍රියාත්මක වේ නම් ජංගම ලී මෝල්වලින් දැවමය ශාක තම ගෙවත්තේ වගා කරන සාමාන්‍ය ජනතාවට පහසුවක්‌ ද සැලසෙයි.

වන වගාව ප්‍රවර්ධනය


දැව සඳහා වැඩි ඉල්ලුමක්‌ තිබීම හා දැව සැපයීමේ ජාවාරම වනාන්තර ආරක්ෂාවට බලපාන මූලික කරුණ ලෙස සැලකීම වඩාත් සාධාරණ බවක්‌ අපට සිතෙයි. එසේ නම් සිදු කළ යුත්තේ ස්‌වාභාවික වනාන්තරවලින් දැව සපයාගැනීම වෙනුවට වගා කරනු ලබන දැවමය ශාකවලින් දැව ලබාගැනීම වඩාත් ප්‍රවර්ධනය කිරීම ය. එය සිදු කළ හැක්‌කේ ගෙවතුවල දැවමය ශාක වගා කිරීම, පෞද්ගලික අංශයේ දැවමය වන වගා මඟින් දැව ලබාගැනීම හා රාජ්‍ය අංශයේ දැවමය වන වගාවලින් දැව ලබාගැනීම මඟිනි. දැවමය වගා සඳහා යොමු වූ සමාගම් මෙන් ම, වතු වගාවේ නිරත වැවිලි සමාගම් ද අද වන විට දැවමය ශාක වගා කිරීමේ යෙදෙන අයුරු දැකගත හැකි ය. එහි අරමුණ වගා කරනු ලබන දැවමය ශාක මෙරට ඉල්ලුම සැපයීම සඳහා අලෙවි කිරීම හා භාවිත කිරීම ය.

මේ නිසා පුද්ගලයන් ගෙවතුවල කරන දැව වගා මෙන් ම පෞද්ගලික අංශය විසින් මහා පරිමාණයෙන් සිදු කෙරෙන දැවමය ශාක වගාවලින් අස්‌වනු ලබාගැනීම සඳහා පහසු ක්‍රමවේදයක්‌ තිබීම අවශ්‍ය ය. ඒ සඳහා පෞද්ගලික ඉඩමක වැවූ දැවමය ශාකවල අස්‌වනු නෙළීම ද පහසු කටයුත්තක්‌ විය යුතු වෙයි. ක්‍රමානුකූල පාලනයකින් යුක්‌ත ව ක්‍රියාත්මක වන ජංගම ලී මෝල් මෙහි දී වැදගත් ය.

දැව ආනයනය පිළිබඳ ව සැලකුව හොත් මෙරට දැව අවශ්‍යතාව සපුරාගැනීම සඳහා එය සාර්ථක විසඳුමක්‌ ද යන්න ගැටලුවකි. ලෝකයේ ක්‍රියාත්මක දැව සහතික කිරීම නිසා ආනයනික දැව මිල අධික වනු ඇත. එමෙන් ම දැව ආනයනය මෙරටින් පිටරටට තවදුරටත් විදේශ විනිමය පිට ව යැමට ද හේතුවක්‌ වෙයි. මෙරට ආර්ථික තත්ත්වය අනුව අප විදේශ විනිමය පිටකිරීම අඩු කළ යුතු බව නොරහසකි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ මෙරට දැව අවශ්‍යතාව හැකි තාක්‌ මෙරට නිෂ්පාදනය කිරීම බව අපගේ අදහස ය.

Friday, June 7, 2019

වායු දූෂණය පිටුදකිමු...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.06.2019, පි. 14-15 (Vidusara)

http://www.vidusara.com/2019/06/05/feature4.html






වාතය අපට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. ආහාර හා ජලය නොමැති ව සාමාන්‍යයෙන් මිනිසකුට දින හෝ සති කීපයක පමණ කාලයක්‌ ජීවත් විය හැකි වුවත් වාතය නොමැති ව ජීවත් විය හැක්‌කේ ඉතා සුළු කාලසීමාවක්‌ පමණක්‌ වීම නිසා වාතය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි ය. ශ්වසනය සඳහා වාතය අවශ්‍ය වීම ලොව වෙසෙන සියලු ම ජීවීන්ට ම පාහේ පොදු වූ කරුණකි.

එහෙත් මූලික වශයෙන් මිනිසුන් විසින් සිදු කෙරෙන විවිධ ක්‍රියාවලි නිසා වාතයට එක්‌ වන වායු දූෂකවලින් පෘථිවි වායුගෝලය දූෂණය වෙයි. මේවා සමහරක්‌ ස්‌වාභාවිකව ද වායුගෝලයට එක්‌ වන අවස්‌ථා තිබෙයි. මෙසේ වායු දූෂණයට හේතු වන විවිධ දූෂක ගණනාවකි. මේ අතර කාබන්ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ්, සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ්, ඕසෝන්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය, කළු කාබන්, ඊයම්, රසදිය, හයිඩ්‍රොකාබන, දිගු කල් පවත්නා කාබනික දූෂක වැනි විවිධ ද්‍රව්‍ය වෙයි. මේවා පිළිබඳ ව හා ඒවායේ ප්‍රභව, වගුවේ සඳහන් ය (වගුව බලන්න).

මේ වායු දූෂක නිකුත් වන ප්‍රධාන මානව ක්‍රියාවලි ලෙස කෘෂිකර්මය, ප්‍රවාහනය, ගෘහස්‌ථ, කර්මාන්ත හා අපද්‍රව්‍ය යන අංශ සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත්, ගෘහස්‌ථ වායු දූෂණය, ප්‍රවාහන විමෝචන හා කර්මාන්ත ආශ්‍රිත විමෝචන වැඩි බලපෑමක්‌ සිදු කළ හැකි වායු දූෂණ මූලාශ්‍ර ලෙස සැලකෙයි. මේ අංශ එකිනෙකින් නිකුත් වන වායු දූෂක වෙනස්‌ විය හැකි ය.

වායු දූෂණය නිසා සිදු විය හැකි මූලික අහිතකර බලපෑම් කිහිපයක්‌ පිළිබඳ ව පුළුල් ව සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. ඉන් එකක්‌ වන්නේ, ඉන් මානව සෞඛ්‍යයට සිදු වන බලපෑම ය. තවත් බලපෑමක්‌ වන්නේ වර්තමාන යුගයේ බරපතළ ම පාරිසරික ගැටලුව ලෙස සැලකෙන දේශගුණ වෙනස්‌ වීම ය. කෙසේ වෙතත් මිනිසුන් මෙන් ම වෙනත් ජීවීන් ද වායු දූෂණයේ අහිතකර බලපෑමට ලක්‌ වන බව අප අමතක නො කළ යුතු ය.

මේ තත්ත්වය නිසා වායු දූෂණය මෙන් ම වායු දූෂණය වැළැක්‌වීම සම්බන්ධව ද පුළුල් අවධානයක්‌ ලෝකයේ යොමු ව තිබෙයි. එබැවින් 2019 වර්ෂයේ ජගත් පරිසර දිනයේ තේමාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ද වායු දූෂණයයි. වායු දූෂණය අවම කිරීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනෙන්නකි. ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධ ව ලෝකයේ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණකි.


මානව සෞඛ්‍යයට බලපෑම


මෑතකාලීන අධ්‍යයන හා සමාලෝචනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝක ජනගහනයේ සැම 10 දෙනකු ගෙන් 9 දෙනෙක්‌ ම දූෂිත වාතය ශ්වසනය කරති. ලෝකයේ සිදු වන සැම මරණ 9කින් 1කට හේතුව වන්නේ වායු දූෂණය වන බැවින් එය වර්තමාන ලෝකයේ බරපතළ ම සෞඛ්‍ය අර්බුදයක්‌ ලෙස සැලකෙයි. ලෝකය පුරා වාර්ෂික ව සිදු වන අකල් මරණ මිලියන 7කට හේතු වන්නේ වායු දූෂණය බවට ගණන් බලා ඇත.

වායු දූෂණය මානව සෞඛ්‍යය සඳහා බලපාන අන්දම පිළිබඳ ව අවධානය යොමු කරමින් සිදු කරන ලද අධ්‍යයන 70,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට ලෝකයේ පළ කර තිබෙයි. ඒවායෙන් පැහැදිලි ව පෙනෙන්නේ වායු දූෂණය නිසා ඇති වන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව ශක්‌තිමත් විද්‍යාත්මක පදනමක්‌ පවත්නා බවයි. මේ සෞඛ්‍යමය ගැටලු සම්බන්ධ ව මෑත කාලයේ සිදු කරන ලද අධ්‍යයනවලින් හෙළි වූ කරුණු කිහිපයක්‌ පහත දැක්‌වෙයි.

වායු දූෂණය නිසා ශ්වසන පද්ධතිය හා හෘදය ආශ්‍රිත ආබාධ ඇති වීම, ඒ පිළිබඳ ව අප දන්නා වඩාත් ප්‍රකට සෞඛ්‍ය බලපෑමයි. ඒ හැරුණු විට තවත් රෝගී තත්ත්ව ගණනාවකට වායු දූෂණය බලපෑම් කරයි. මේ වසර මුල Chest සඟරාවේ ප්‍රකාශයට පත් වූ සවිස්‌තර වාර්තා දෙකකට අනුව වායු දූෂණය නිසා මිනිස්‌ ශරීරයට සිදු විය හැකි බලපෑම කෙතරම් ද යත්, එය සිරුරේ සැම ඉන්ද්‍රියකට ම, සැම සෛලයකට ම හානි කරන බවක්‌ පැවසිය හැකි යෑයි පෙන්වා දී තිබිණි. දූෂිත වාතය නිසා ඇති විය හැකි විවිධ ආබාධ ශරීරයේ හිසේ සිට පාදස්‌ථය දක්‌වා වැළඳිය හැකි ආකාරයේ ඒවා ය. ඒවා හෘදයාබාධ හෝ පෙනහලු ආබාධ හෝ විය හැකි ය. දියවැඩියාව හා භින්නෝන්මාදය හෝ වැනි තත්ත්ව සඳහා ද වායු දූෂණය හේතු වීමට ද ඉඩ ඇත. යාකෘත අර්බුදවල සිට පිත්තාශය ආශ්‍රිත පිළිකා තත්ත්ව දක්‌වා වූ විවිධ රෝගවලට ද මූලික හේතුව එය විය හැකි ය. අස්‌ථි භංගුරතාවයේ පටන් සම තුවාල වීම දක්‌වා වූ විවිධ හානි තත්ත්ව දක්‌වා ද වායු දූෂණය බලපෑමක්‌ වෙයි. එමෙන් ම සරුභාවයට, කලලයට හා දරුවන්ට ද වායු දූෂණය අහිතකර ලෙස බලපෑමක්‌ සිදු කරයි.



මේ අතර ගැබිනි කාන්තාවන්ට ගබ්සා ඇති වීමේ ඇති අවදානම වායු දූෂණයට නිරාවරණය වීම නිසා ඉහළ යන බව Fertility and Sterility සඟරාවේ මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු දූෂණයට, කෙටි කාලයක්‌ නිරාවරණය වීමෙන් නිසා ගබ්සා වීම් ඇති වීමේ අවදානම 16%කින් පමණ ඉහළ යා හැකි ය. සංඛ්‍යාත්මක ව ගත හොත්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 20කින් ඉහළ යැම ගබ්සා වීමක්‌ ඇති වීමේ අවදානම 16%කින් ඉහළ යැමට බලපායි. ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලෝකයේ වෙනත් එවැනි ස්‌ථානවලට හා වඩා වැඩි වායු දූෂණයක්‌ ඇති නගරවලට ද අදාළ විය හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත.

වායු දූෂණය හුදෙක්‌ ශාරීරික ව පමණක්‌ නො ව මානසික ව ද ගැටලු ඇති කළ හැකි ය. දූෂිත වාතය ඇති ප්‍රදේශවල වාසය කළ දරුවන් පසු කලක දී විෂාදයට ලක්‌ වීමට ඇති අවදානම පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයක්‌ Science Advances හි පළ වී තිබිණි. ලන්ඩනයේ ජීවත් වන ළමයින් කණ්‌ඩායමක්‌ සම්බන්ධ ව සිදු කර තිබෙන මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන පරිදි, සිය අවුරුදු 12 පමණ වයසේ දී දූෂිත වාතයට නිරාවරණය වන දරුවන් වයස අවුරුදු 18 පමණ වයස්‌ වන විට විෂාදයට ලක්‌ වීමට ඇති අවස්‌ථාව, එසේ වායු දූෂණයට ලක්‌ නො වූ දරුවන්ට වඩා තුන් ගුණයත් සිව් ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ ය.

ඩීසල් වාහනවලින් නිකුත් වන වායු විමෝචනවලට ලක්‌ වන ළමයින්ගේ පෙනහලුවල වර්ධනය අඩාළ විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. මෙමඟින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයට ම පැවතිය හැකි එකකි. The Lancet Public Health හි පළ වූ මේ අධ්‍යයනය බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප්‍රදේශයේ ප්‍රාථමික පාසල් ළමයින් යොදාගනිමින් සිදු කරන ලද්දකි. එහි දී හෙළි වී ඇති ආකාරයට ඩීසල් විමෝචනවල ඇති නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් මට්‌ටම අනුමත ප්‍රමාණය ඉක්‌මවා ගිය හොත් ළමයින්ගේ පෙනහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකි ය. සාමාන්‍යයෙන් පෙනහලු ධාරිතාව උපරිමයට ළඟා වන්නේ වයස අවුරුදු 18 දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක්‌ නිසා වැඩිහිටි වියට පත් වන විට පෙනහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩු වයසින් මිය යැමේ අවදානමකට ඔවුන් ලක්‌ විය හැකි ය.

European Heart Journal සඟරාවේ පසුගිය වර්ෂයේ පළ වූ අධ්‍යයනයකින් හෘද රෝග සඳහා වායු දූෂණය බලපාන ආකාරයේ බරපතළ බව දක්‌වා තිබිණි. ඊට අනුව, වායු දූෂණය නිසා ලෝකයේ වාර්ෂික ව ඇති වන මරණවලින් 60%ක්‌ පමණ ඇති වන්නේ හෘද්වාහිනී පද්ධතිවල රෝග නිසා ය. වායු දූෂණය නිසා ඇති වන හෘද රෝග පිළිබඳ ව සිදු කරන ලද විමර්ශනයක දී මේ බව හෙළි වී ඇත. මේ සඳහා අංශුමය ද්‍රව්‍ය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරන බව ද හෙළි වී ඇත. විශේෂයෙන් ඉතා සියුම් අංශුමය ද්‍රව්‍ය මේ සඳහා බලපෑමක්‌ ඇති කරයි.

වායු දූෂණය නිසා ඇති විය හැකි තවත් සෞඛ්‍ය හානියක්‌ වන්නේ වකුගඩු ආබාධ ඇති විය හැකි වීම ය. PLOS ONE සඟරාවේ පළ වූ ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව වකුගඩු රෝගය හා PM2.5 කාණ්‌ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය අතර ධන සහසම්බන්ධයක්‌ තිබිය හැකි බව පෙන්වා දී ඇත. වාතයේ ගුණාත්මක තත්ත්වය ඉහළ ප්‍රදේශවලට වඩා දූෂිත වාතය ඇති ප්‍රදේශවල වකුගඩු රෝගීන් ඉහළ ය. එසේ ම මේ සියුම් අංශුමය ද්‍රව්‍ය හැරුණු විට වකුගඩුවලට හානි කරන බැරලෝහ ද දූෂිත වාතයේ දැකිය හැකි ය.

වායු දූෂණය නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ අඩු වන බව Environmental Science Technology Letters සඟරාවේ පළ වූ අධ්‍යයනයක සඳහන් ය. 2016 වර්ෂය හා සම්බන්ධ දත්ත යොදාගෙන රටවල් 185ක PM2.5 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඉන් පසුව එය ඒ ඒ රටට හා ජගත් මට්‌ටමින් ආයු අපේක්ෂාවට බලපාන ආකාරය අවධානයට ලක්‌ කර ඇත. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි ආසියාවේ හා අප්‍රිකාවේ දී ආයු අපේක්ෂාව වසර 1.2 - 1.9 අතර ප්‍රමාණයකින් අඩු කිරීමට මේ තත්ත්වය හේතු වී ඇත. එසේ ම වඩා ගුණාත්මක වායු තත්ත්වයක්‌ පවතින්නේ නම්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යන බව මේ අනුව පැහැදිලි ය.


දේශගුණ වෙනස්‌ වීම


වායු දූෂණය හා දේශගුණ වෙනස්‌ වීම අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ වෙයි. එයට මූලික හේතුව වන්නේ වායු දූෂණය සඳහා සහ දේශගුණ වෙනස්‌ වීම ඇති වීමට බලපාන මූලික සාධක එක ම සාධක වීම ය. මේ අනුව කාබන්ඩයොක්‌සයිඩ් මෙන් ම වෙනත් හරිතාගාර වායු ගණනාවක්‌ ද වායු දූෂක ලෙස වාතයට එක්‌ වන ද්‍රව්‍ය වෙයි. නිදසුන් ලෙස මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද දැක්‌විය හැකි ය.

එබැවින් වායු දූෂණය අඩු කිරීම සඳහා ගන්නා වූ යම් ප්‍රයත්නයක්‌ වේ ද එය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා රුකුලක්‌ වන බව පැහැදිලි ය. මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ ෆොසිල ඉන්ධන සම්බන්ධ ව ය. ෆොසිල ඉන්ධන යනු ප්‍රවාහනය හා කර්මාන්තවල දී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස භාවිතයට ගනු ලබන ප්‍රධාන ඉන්ධන ප්‍රභවයයි. ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන වායු දූෂක අඩු කළ හැකි නම් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධයෙන් ද ඵලදායී විය හැකි ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි ය.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කළ හැකි නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට හැකියාව ඇති බව Nature Communications සඟරාවට ලිපියක්‌ සැපයූ පර්යේෂකයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ මෑත දී ය. ඒ සඳහා ෆොසිල ඉන්ධන හා සම්බන්ධ ව අද භාවිත කෙරෙන සියලු ම යටිතල පහසුකම් - එනම් විදුලි බලාගාර, කර්මාන්තශාලා, රථවාහන, නෞකා සහ ගුවන් යානා වැනි පහසුකම් - ඒවායේ ජීවිත කාලය අවසානයේ දී ශුන්‍ය කාබන් (zero carbon) විකල්ප මඟින් ප්‍රතිස්‌ථාපනය කළ යුතු ය. එනම් මේ පහසුකම්වලින් නිකුත් වන කාබන් විමෝචන ඉදිරි දශක හතරක කාලයේ දී ශූන්‍ය විය යුතු ය. එය වහා ම කළ හැකි නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5 අගයට අඩුවෙන් පවත්වාගැනීමට 64%ක පමණ අවස්‌ථාවක්‌ පවතී. එහෙත් එම කාර්යය 2030 වසර වන තෙක්‌ ප්‍රමාද වුව හොත් අදාළ ඉලක්‌කය අත්පත් කරගැනීමට ඇති අවස්‌ථාව 33%ක්‌ දක්‌වා අඩු වෙයි. කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් දැක්‌වෙන ඉලක්‌ක අත්පත් කරගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන්න නම් මඳක්‌ සැකසහිත ය.


වායු දූෂණය වළක්‌වාගත හැකි ය - අපට කළ හැකි දේ


වායු දූෂණය බරපතළ ගැටලුවක්‌ වුව ද එහි ඇති වැදගත් කරුණක්‌ වන්නේ එය වළක්‌වාගත හැකි එකක්‌ වීම ය. විවිධ වායු දූෂක අවම කිරීම සඳහා ගත හැකි නවීන තාéණික පිළියම් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට අවශ්‍ය ව ඇත්තේ ඒවා අදාළ අංශවල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම ය. ඊට ලෝකයේ සියලු රටවල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය ව තිබෙයි. මෙහි ලා සඳහන් කළ යුතු වැදගත් දෙයක්‌ වන්නේ වායු දූෂණයට ලක්‌ වීම ඉහළ වන්නේ ද, අවශ්‍ය පිරිසිදු තාéණය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රමාද වී තිබෙන්නේ ද දියුණු වන රටවල බවයි.

තනි පුද්ගලයකු ලෙස වායු දූෂණය අවම කිරීම සඳහා අපට කළ හැකි කටයුතු ද බොහෝ ය. මේ අතරින් මූලික වැදගත් කරුණු කීපයක්‌ මෙසේ සඳහන් කළ හැකි ය.


* රුක්‌ රෝපණය - වායු දූෂක අඩු කිරීම සඳහා ගත හැකි වැදගත් පියවරක්‌ වන්නේ රුක්‌ රෝපණයයි. රුක්‌ රෝපණය මඟින් මූලික ව ම වාතයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වාතයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙයි. මේ නිසා හැකි තාක්‌ රුක්‌ රෝපණය මඟින් තනි පුද්ගලයන් ලෙස අපට ද වායු දූෂණය අවම කිරීම සඳහා දායක වීමට හැකි ය. මෙය, වන රෝපණය මෙන් ම ගෙවතු හා මාර්ග ආශ්‍රිත ව සිදු කරන රුක්‌ රෝපණය වුව ද විය හැකි ය. එමෙන් ම ශාක මඟින් වාතයේ තිබෙන අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද ප්‍රයෝජන ලැබෙන බවක්‌ දක්‌වා තිබෙයි.

* කසළ පිරිසිදු කිරීම - කසළ නිසි ලෙස බැහැර කිරීම වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරකි. කැලි කසළ අනිසි ලෙස දහනය කිරීම නිසා කාබන්ඩයොක්‌සයිඩ්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය හා වෙනත් විෂ සහිත ද්‍රව්‍ය වායුගෝලයට එක්‌ විය හැකි ය. මෙවැනි විෂ සහිත ද්‍රව්‍ය අතර පිළිකා වැනි තත්ත්ව ඇති කිරීමට හේතුවන රසායනික සංයෝග, දිගු කල් පවත්නා කාබනික දූෂක (persistent organic pollutants) පවා තිබිය හැකි ය. මේ නිසා වඩාත් වැදගත් වන්නේ කසළ නිසි ලෙස බැහැර කිරීම හා ප්‍රතිභාවිතය, ප්‍රතිචක්‍රීකරණය වැනි කටයුතු සඳහා යොදාගැනීම ය. මෙමඟින් වාතයට එක්‌ වන පරිසර දූෂක අඩු කළ හැකි ය.

* වායු දූෂණය අවම වූ ප්‍රවාහන මාධ්‍ය භාවිතය - මෙය වායු දූෂණය සම්බන්ධ ව, තනි පුද්ගලයන් ලෙස අප සැමට තැබිය හැකි තවත් වැදගත් පියවරකි. මෙහි දී අපගේ එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදාගත හැකි ප්‍රවාහන මාධ්‍ය තෝරාගැනීමේ දී සබුද්ධික වීමේ වැදගත්කම පෙනෙයි. මේ වන විට ඇතැම් රටවල් හා නගර, අඩු කාබන් කලාප, ඇතැම් ප්‍රදේශවල සමහර වාහන වර්ග සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන්නේ මේ තත්ත්වය නිසා ය. මෙහි දී පුද්ගලයන් ලෙස ගත හැකි පියවර වඩාත් වැදගත් වන්නේ එය වඩාත් ස්‌ථාවර හා ඵලදායී වන බැවිනි. මෙහි දී, වැදගත් කරුණු කිහිපයක්‌ මෙසේ ය.

පොදු ප්‍රවාහන සේවා භාවිතය ඉන් පළමුවැන්න ය. පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් අපගේ වායු දූෂණය අවම කළ හැකි ය. ඒ පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීමෙන් ඒවා මඟින් වාතයට එක්‌ වන වායු දූෂක යම් ප්‍රමාණයකින් අඩු වන නිසා ය. එය හැකි හැම විට ම සිදු කළ හැකි නම් එය වායු දූෂණය අවම කිරීම සඳහා අපට ගත හැකි ඵලදායී පියවරක්‌ වනු ඇත. මේ සඳහා වඩා දියුණු තත්ත්වයක පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව සැබෑවකි. එහෙත් පවත්නා තත්ත්ව යටතේ වුව ද ගත හැකි ඇතැම් පියවර පවතී.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම මෙවැනි තවත් පියවරකි. රථවාහන වෙනුවට පාපැදි භාවිතය මෙන් ම පිරිසිදු ඉන්ධන මඟින් ධාවනය වන වාහන ද පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය අතර වෙයි. මේවා හැකි තාක්‌ භාවිත කිරීම වැදගත් වන්නේ ඒවා බොහෝ දුරට අහිතකර වායු විමෝචන අවම වූ ප්‍රවාහන මාධ්‍ය වන නිසා ය. එහෙත් මේ සම්බන්ධව ද යම් යම් සීමා පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් දිවා කාලයේ උෂ්ණත්වය අවම වූ සෞම්‍ය කලාපීය රටවල් මෙන් නො ව අප රට වැනි රටක නාගරික ප්‍රදේශවල හා දිගු දුර ගමන් කිරීම සඳහා දෛනික ව පාපැදි භාවිතය අසීරු ය. එහෙත් කෙටි දුර ප්‍රවාහනය සඳහා පාපැදි යොදාගැනීමට හැකියාව පවතී.



ජගත් පරිසර දිනය - ජුනි 5


ජගත් පරිසර දිනය යෙදෙන්නේ ජුනි මස 5 වන දාටය. 1960 දශකයේ සිට ලෝකයේ රටවල ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ පරිසරය සම්බන්ධව විවිධ ගැටලූ ගැන ඒ රටවල ජනතාවගේ හා දේශපාලන නායකයින්ගේ අවධානය යොමු වී තිබිණි. මේ තත්ත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ජගත් මට්ටමේ පරිසර සමුළුවක් 1972 ජුනි මාසයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී පවත්වන ලදි. මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත‍්‍රණය (United Nations Conference on the Human Environment) නම් වූ මෙම සමුළුව ආරම්භ වූයේ 1972 ජුනි මස 5 වන දිනය.
 
ඉහත පරිසර සමුළුව ආරම්භ වූ දිනය ‘ජගත් පරිසර දිනය’ (World Environment Day) ලෙස සැමරිය යුතු බවට යෝජනාවක් එම වර්ෂයේම දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සම්මත කරන ලදි. ඒ අනුව මුලින්ම පරිසර දිනයක් සමරන ලද්දේ 1974 වර්ෂයේදීය. 

අද වන විට ජගත් පරිසර දිනය පරිසරය හා සම්බන්ධව තේමාවක් මුල්කරගනිමින් ලෝකය පුරා සමරනු ලබන්නකි. එහි වැදගත්කම වන්නේ අදාළ තේමාව පිළිබඳව මෙන්ම, පොදුවේ පරිසරය සම්බන්ධවද ජගත් මට්ටමින් අවධානය යොමු කරවීමට ඉන් අවස්ථාවක් ලැබීමය.