Wednesday, May 30, 2018

සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වසර 7,000කට පෙර යුරෝපයේ තිබූ බවට සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 23.05.2018, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2018/05/23/feature3.html




සෙංගමාලය හෙවත් හෙපටයිටිස්‌ බී රෝගය වර්තමාන ලෝකයේ සැලකිය යුතු හානියක්‌ සිදු කරන හා පැතිරුණු ව්‍යාප්තියක්‌ සහිත වයිරස මඟින් ඇති වන රෝග අතර වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් 2015 වර්ෂයේ දී ලෝකය පුරා මිලියන 257ක පමණ ජනතාවක්‌ මේ රෝගයට ගොදුරු වී ඇති අතර, රෝගය නිසා මූලික වශයෙන් අක්‌මාවේ ඇති වන ගැටලුවලින් මිය ගිය ප්‍රමාණය 887,000ක්‌ පමණ බව ලෝක සෞඛ්‍ය සංවිධානය වාර්තා කරයි. හෙපටයිටිස්‌ බී රෝගය සඳහා යොදාගන්නා එන්නතක්‌ ද භාවිතයේ තිබිය දී මෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබීමෙන් රෝගයේ බරපතළ බව පෙනෙයි.

මේ රෝගයේ ඉතිහාසය විද්‍යාඥයන්ට දිගු කලක්‌ තිස්‌සේ ගැටලු සහගත ව තිබූ දෙයකි. හෙපටයිටිස්‌ බී වයිරසය (Hepatitis B virus - HBV) ලෝකයේ කිනම් ප්‍රදේශයක කවර කාලයක දී ආරම්භ වූයේ ද යන්න හා එහි පරිණාමීය ඉතිහාසය පිළිබඳ ව අපැහැදිලි තැන් ගණනාවක්‌ තිබිණි. මේ පිළිබඳ ව සිදු කරන ලද අධ්‍යයනවල දී ඇති වූ ගැටලු සහගත තත්ත්වයක්‌ වූයේ වයිරස හා සම්බන්ධ ව පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව අධ්‍යයන කටයුතු සිදු කිරීම අපහසු වීම ය. ඒ පැරැණි ප්‍රාග් ඓතිහාසික මානව ශේෂ ආදියෙන් වයිරස ප්‍රවේණි ද්‍රව්‍ය වන DNA මේ දක්‌වා ලැබී නො තිබීම හේතුවෙනි. මේ තත්ත්වය ඇතැම් විට සමාන කරනු ලබන්නේ ෆොසිල නොමැති ව අද වෙසෙන සතුන් මඟින් පමණක්‌ යොදාගෙන සතුන් පිළිබඳ ව හැදැරීමට ය. ඒ හා සමාන ව අතීතයේ ජීවත් වූ වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය නොමැති ව ඒවායේ පරිණාමය ගැන ලබාගත හැක්‌කේ අඩු අදහසකි. මේ අනුව පෞරාණික DNA සොයාගැනීමට හැකි නම් එමඟින් ලැබෙන්නේ මනා සහායකි.

මෑතක දී හෙපටයිටිස්‌ බී රෝගයට හේතු වන වයිරසවල මෙතෙක්‌ සොයාගත් පැරැණි ම ගෙනෝම සොයාගැනීමත් සමඟ මේ රෝගයේ අතීතය පිළිබඳ නව තොරතුරු රැසක්‌ අනාවරණය කරගැනීමට අවස්‌ථාව මේ වන විට උදා වී තිබෙයි. මෑතක දී ප්‍රකාශයට පත් එක්‌ අධ්‍යයනයකින් අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වයිරස ද, තවත් අධ්‍යයනයකින් අදින් වසර 7,000ක්‌ පමණ පැරැණි වයිරස ද හමු වී ඇත. ඒවා මඟින් හෙළි වන කරුණු පිළිබඳ ව පහත විස්‌තර වෙයි.

වසර 4,500ක්‌ පැරැණි වයිරස හමු වීම


මුලින් ම ප්‍රකාශයට පත් අධ්‍යයනය Nature සඟරාවේ පළ වූවකි. එහි දී පෙන්වා දී ඇති ආකාරයට මෙතෙක්‌ දන්නා හෙපටයිටිස්‌ බී වයිරසය පිළිබඳ පැරැණි ම සාධක අනාවරණය කරගැනීමට එම පර්යේෂණ කණ්‌ඩායමට හැකියාව ලැබී තිබිණි.

යුරෝපයේ හා ආසියාවේ ප්‍රදේශ ගණනාවකින් හමු වී ඇති, ලෝකඩ යුගයේ සිට මධ්‍යතන යුගය දක්‌වා වූ විවිධ කාල වකවානුවලට අයත් ලෙස කාල නිර්ණය කරන ලද මානව ඇටසැකිලි නිදර්ශක 304කින් ලබාගත් ප්‍රවේණික ද්‍රව්‍ය මේ පර්යේෂකයන්ගේ අවධානයට ලක්‌ වී ඇත. එහි දී එම ඇටසැකිලි අතර තිබී හෙපටයිටිස්‌ බී වයිරසය ආසාදිත ඇටසැකිලි 25ක්‌ පමණ ඔවුන්ට හඳුනාගත හැකි වී තිබෙයි. ඒ අතරින් වයිරසයේ ගෙනෝමය පිළිබඳ ව සවිස්‌තර අධ්‍යයනයක්‌ සිදු කිරීමට තරම් ප්‍රමාණවත් DNA හමු වී ඇත්තේ ඇටසැකිලි 12ක්‌ පමණ ප්‍රමාණයකිනි. එසේ හඳුනාගත් වයිරස ගෙනෝම එකිනෙකට වෙනස්‌ මාදිලි (strains) 12කට අයත් වූ අතර, ඒ අතරින් එකක්‌ මේ වන විට වඳ වී ගොස්‌ ඇති මාදිලියකි.

මේ පර්යේෂණයේ දී හමු වී ඇති පැරැණි ම හෙපටයිටිස්‌ බී වයිරසය සහිත ඇටසැකිල්ල අදින් වසර 4,500ක්‌ පමණ පැරැණි වූවකි. එම නිදර්ශක අතරින් වඩාත් මෑතකාලීන නිදර්ශකය වසර 800ක්‌ පමණ පැරැණි ය. මේ අනුව ලෝකඩ යුගය පමණ වන විට ද හෙපටයිටිස්‌ බී වයිරසය මිනිසුන්ට වැළඳී තිබූ බව පැහැදිලි විය. මෙය හෙපටයිටිස්‌ බී වයිරසය සම්බන්ධ ව මෙන් ම වයිරස සම්බන්ධව ද පැරණිතම ගෙනෝමය අනාවරණය වූ අවස්‌ථාව විය. මෙතෙක්‌ පැවැති අවබෝධය අනුව පැරැණි ම මානව හෙපටයිටිස්‌ බී වයිරස අයත් වූයේ අදින් වසර 450ක්‌ පමණ පෙර කාලයකට ය. මේ අනුව මේ පර්යේෂණයෙන් මේ රෝගයේ ඉතිහාසය බොහෝ ඈතට ගෙන යැමට සමත් විය.

වසර 7,000ක්‌ පැරැණි වයිරස හමු වූ අධ්‍යයනය


කෙසේ වෙතත් පැරැණිතම වයිරස පිළිබඳ දින වකවානු සම්බන්ධ වාර්තාව ඉහත දැක්‌වූ පර්යේෂණයට පවත්වාගත හැකි වූයේ දින කිහිපයක කාලයකට පමණකි. එයට හේතුව වෙනත් පර්යේෂණයක්‌ මඟින් හෙපටයිටිස්‌ බී රෝග වයිරසය අදින් වර්ෂ 7,000කට පමණ පෙර කාලයක දී යුරෝපයේ ව්‍යාප්ත ව තිබූ බව හෙළි කිරීම නිසා ය.

මේ දෙවැනි පර්යේෂණය, ඉදිරියේ දී පළ කිරීම සඳහා eLife සඟරාව මඟින් පිළිගෙන ඇති පර්යේෂණ වාර්තාවකි. එම අධ්‍යයනයේ දී ජර්මනියේ නව ශිලා යුගයේ හා මධ්‍යතන යුගයට අයත් ස්‌ථානවල සිදු කරන ලද කැණීම්වලින් ලබාගත් මානව ඇටසැකිලිවල, දත්වලින් ලබාගත් නිදර්ශක විශ්ලේෂණය කිරීමට පියවර ගෙන තිබෙයි. මේවායේ කාල නිර්ණය පොදු වර්ෂ පූර්ව 5,000 සිට පොදු වර්ෂ 1,200 දක්‌වා වූ කාලවලට අයත් විය.

ඔවුන් මේ නිදර්ශක වයිරස විෂබීජවලට පරීක්‌ෂා කර ඇති අතර, එහි දී පුද්ගලයන් තිදෙනකුට අයත් ඇටසැකිලිවලින් හෙපටයිටිස්‌ බී වයිරස හමු වී තිබෙයි. වයිරසවල ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සම්පූර්ණ ගෙනෝමය ගොඩනැඟීමට හැකි වී ඇති අතර, ඉන් ඇටසැකිලි දෙකක්‌ අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වේ. අනෙක්‌ ඇටසැකිල්ල මධ්‍යතන යුගයට අයත් බවට කාලනිර්ණය කර ඇත.

මේ අනුව පෙර සඳහන් කරන ලද අධ්‍යයනයෙන් හෙළි වූ කාලවකවානුවලට වඩා පැරැණි හෙපටයිටිස්‌ බී වයිරස පිළිබඳව අනාවරණය කරගැනීමට හැකියාව ලැබී තිබීම මේ අධ්‍යයනයේ ඇති වැදගත් කරුණ වෙයි.

එසේ ම මේ පෞරාණික වයිරස DNA මාදිලිවලට නෑකම් කියන මාදිලි මේ වන විට දැකිය නොහැකි වීම ද විශේෂයකි. මේ අනුව ඒවා විශේෂිත පරම්පරාවකට (lineage) අයත් බව සිතිය හැකි අතර පසුකාලීන ව වඳ වී ගිය වයිරස මාදිලි විය හැකි ය. අදින් වසර 7,000ක්‌ හා 5,000ක්‌ පමණ පැරැණි වයිරස දෙක බොහෝ දුරට සමීප ඥාතිත්වයක්‌ දක්‌වන අතර. එම වයිරස මාදිලි වර්තමානයේ චිම්පන්සි හා ගොරිල්ලා සතුන් අතර ඇති හෙපටයිටිස්‌ බී වයිරසයට වඩාත් සමීප වෙයි. අනෙක්‌ අතට මධ්‍යතන යුගයෙන් හමු වී ඇති වයිරස මාදිලිය නූතන හෙපටයිටිස්‌ බී වයිරස මාදිලියට වඩාත් සමීප වුව ද, එය ද ප්‍රවේණික වශයෙන් වෙනත් පරපුරකට අයත් බව හෙළි වී ඇත.

පෞරාණික DNA පිළිබඳ අධ්‍යයනවල වැදගත්කම


මේ කරුණු විමසීමේ දී පෙනෙන්නේ හෙපටයිටිස්‌ බී වයිරසයේ අතීතය පිළිබඳ ව පැහැදිලි සාධක ලැබී ඇති බවයි. මීට පෙර 16 වැනි සියවසේ පමණ දින නියම කර ඇති මමීවලින් ලැබී ඇති හෙපටයිටිස්‌ බී වයිරස නූතන වයිරස මාදිලිවලට සමීප ඥාතිත්aවයක්‌ දැක්‌වූ ඒවා විය. මේ නිසා පසුගිය වසර 500ක කාලයේ දී මේ වයිරසවල වෙනසක්‌ වී නො තිබීම තරමක පුදුමයට කරුණක්‌ වී තිබිණි. දැන් එම ගැටලුව ද පැහැදිලි වී ඇත.

මේ සොයාගැනීම් යොදාගනිමින් හෙපටයිටිස්‌ බී රෝගයේ ඓතිහාසික ව්‍යාප්තිය හා විකසනය හැදෑරීමට හැකියාව ලැබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් පෙර තිබූ එක්‌ මතයක්‌ වූයේ හෙපටයිටිස්‌ බී රෝගය නව ලෝකයේ හෙවත් ඇමෙරිකානු මහාද්වීපවල බිහි වී, පසුව අදින් වසර 500කට පමණ ඉහත කාලයේ දී යුරෝපයට හා සෙසු ලෝකයට ව්‍යාප්ත වූ රෝගයක්‌ වන බවයි. එහෙත් මේ සොයාගැනීම් අනුව එම මතය බිඳ වැටෙයි.

මේ කරුණු මඟින් පෙනී ගොස්‌ ඇත්තේ මේ වයිරසයේ ඉතිහාසය වඩා සංකීර්ණ වූ එකක්‌ වන්නට තවත් අවස්‌ථාව ඇති බවයි. මේ පිළිබඳ ව තවදුරටත් පැහැදිලි කරගැනීමට නම් තව තවත් පෞරාණික DNA මෙන් ම නූතන DNA ද, ගොරිල්ලා හා චිම්පන්සි DNA ද අධ්‍යයනයට ලක්‌ කිරීම වැදගත් බව පර්යේෂකයන්ගේ අදහස වෙයි.

මේ අධ්‍යයනවලින් අනාවරණය වී ඇත්තේ මෙතෙක්‌ කලකට ලෝකයේ නැවත ගොඩනඟන ලද පැරැණිතම වයිරස ගෙනෝමය මෙය බවයි. දින කිහිපයක්‌ ඇතුළත ඒ පිළිබඳ වාර්තාව අලුත් කරනු ලැබූව ද පර්යේෂණ ක්‍රමවේද ඉදිරියට ගෙන යැම සම්බන්ධ ව මේ අධ්‍යයන දෙක ම එක සේ වැදගත් බව පැහැදිලි ය.

පෞරාණික වයිරස පිළිබඳ මේ අධ්‍යයන ක්‍රමවේදය අනෙක්‌ වයිරස පිළිබඳ පර්යේෂණ සඳහා යොදාගැනීමට හැකියාව තිබෙයි. ඒ රුධිරය හා සම්බන්ධ රෝග පිළිබඳව අනාගතයේ දී සිදු කරන පර්යේෂණ සඳහා

පැරැණි මානව අස්‌ථි ශේෂ ආදියෙන් ලබාගන්නා පෞරාණික මානව DNA යොදාගැනීමට ඇති හැකියාව මේ අධ්‍යයනවලින් පැහැදිලි වී ඇති නිසා ය. එමඟින් ලබාගන්නා වයිරසවල ප්‍රවේණික ව්‍යුහය හා විකසනය වීම පිළිබඳ ව අවබෝධය ඉදිරියේ දී එම රෝග සඳහා ප්‍රතිකාර ලෙස එන්නත් නිෂ්පාදනය සඳහා නව මංපෙත් විවර කර දෙනු ඇතැයි සිතිය හැකි ය.

මූලාශ්‍රය: eLife, DOI: 10.7554/eLife.36666 හා Nature, DOI: 10.1038/s41586-018-0097-z

ඡායාරූපය: ජර්මනියෙන් හමු වූ හෙපටයිටිස්‌ බී රෝගය වැළඳුණු අයකු ගේ හිස්‌කබලක්‌

දේශගුණ සාකච්ඡාවල අනාගතය කෙබඳු වේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/16/feature4.html




පසුගිය සතියේ (2018 මැයි මස මුලදී), ජර්මනියේ බොන් නගරයේ දී අවසන් වූ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා වාරය එතරම් සාර්ථක වූවක්‌ නො වන බව වාර්තා වෙයි. පසුගිය වර්ෂයේ දී පැවැති දේශගුණ සමුළුවේ දී එකඟ වූ ආකාරයට පැරිස්‌ දේශගුණ ගිවිසුම පිළිබඳ ව රීති පොත (rule book) ලෙස පොදුවේ හඳුන්වනු ලබන ලේඛනය සකස්‌ කිරීම මේ වර්ෂයේ අවසානය වන විට සිදු කළ යුතු ව තිබේ. මෙය 2020 වර්ෂයේ සිට ක්‍රියාත්මක වීමට නියමිත ව ඇති පැරිස්‌ ගිවිසුම හා සම්බන්ධ පැරිස්‌ ගිවිසුමේ ඉලක්‌ක අත්පත් කරගැනීමට අවශ්‍ය රීති හා ක්‍රියාවලි පැහැදිලි කරන ලේඛනයක්‌ වනු ඇත.

එහෙත් මේ හා සම්බන්ධ ඇතැම් කරුණු පිළිබඳ ව එකඟතා ඇති නො වීම මේ සාකච්ඡා වාරයේ දී ද දැකිය හැකි වූ කරුණ විය. පැරිස්‌ දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධ ව ඇති වෙනස්‌කම් විසඳාගැනීමට රටවල් අපොහොසත් වීම නිසා මෙවැනි තත්ත්වයක්‌ ඇති වී තිබෙයි. ඒ අනුව බොන් සාකච්ඡා වටය අවසන් වූයේ එළැඹෙන සැප්තැම්බර් මාසයේ තායිලන්තයේ බැංකොක්‌ නගරයේ දී තවත් අතිරේක සාකච්ඡා වටයක්‌ පවත්වා මේ පිළිබඳ යම් ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමේ අපේක්‌ෂාවෙනි. එමඟින් වර්ෂය අවසානයේ දී පෝලන්තයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුවේ දී අමාත්‍ය මට්‌ටමින් සාකච්ඡා කිරීමට හැකි කිසියම් වූ ලේඛනයක්‌ සකස්‌ කරගැනීමට හැකි වනු ඇතැයි අපේක්‌ෂා කරන බවක්‌ පෙනෙයි.

මේ සාකච්ඡා වටය ද ඉදිරියට යැම සඳහා බලපා ඇති ප්‍රධාන හේතුව වී ඇත්තේ සාමාන්‍යයෙන් ඇති වන ප්‍රධාන ගැටලු දෙක ම බව පෙනෙයි. එනම් හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ ගැටලුව හා දේශගුණ අරමුදල් සම්පාදනය පිළිබඳ ගැටලුවයි. මේ පිළිබඳව දියුණු හා දියුණු වන රටවලට එකඟ වීමට නොහැකි වීම මෙසේ සාකච්ඡා තීරණ ගැනීමෙන් තොර ව අවසන් වීමට බලපා ඇති මූලික හේතුව වී ඇත. සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ සාකච්ඡා වාරයේ ප්‍රගතිය ඉතා අඩු බව විචාරකයන්ගේ අදහසයි.

දේශගුණ අරමුදල් සම්පාදනය


දේශගුණ වෙනස්‌ වීමෙන් ආපදාවට පත් වන දියුණු වන රටවලට සහාය වීම සඳහා අරමුදලක්‌ සැපයීම, එකඟතා ඇති කරගැනීමට නොහැකි වූ එක්‌ අංශයකි. එයට මූලික හේතුව වූයේ 2020 වර්ෂය වන විට අපේක්‌ෂා කරන ඩොලර් බිලියන 100ක අරමුදල ලබා දෙන බවට තවමත් තහවුරු නො වීම ය. එක්‌ නිල අධ්‍යයනයකට අනුව 2014 වන විට ඩොලර් බිලියන 62ක මුදලක්‌ ලැබෙන බවට පොරොන්දු වී තිබෙයි. එහෙත් දියුණු වන රටවලට මෙයින් කොපමණ මුදලක්‌ කවර කලක දී ලැබෙන්නේ ද යන්න තහවුරු කරගැනීමට අවශ්‍ය වූ බව පෙනෙයි.

බොන් සාකච්ඡා වාරය ආරම්භයේ දී පමණ ඔක්‌ස්‌ෆෑම් ආයතනය මඟින් නිකුත් කරන ලද දේශගුණ මූල්‍ය ඡායා වාර්තාව (Climate Finance Shadow Report 2018 : Assessing Progress Towards the 100bn Commitment) නම් වාර්තාවකට අනුව 2015-16 කාලය වන විට ද ලැබී ඇති පොරොන්දු අනුව ලැබෙන්නට අවස්‌ථාව ඇත්තේ ඩොලර් බිලියන 48ක්‌ පමණ මුදලක්‌ පමණකි. එය පොරොන්දු වී ඇති මුදලින් අඩක්‌ පමණ ප්‍රමාණයකි. 2020 වර්ෂයට තවත් ඇත්තේ වසර දෙකක්‌ පමණක්‌ වන තත්ත්වයක්‌ ඇතුළත මෙය ප්‍රමාණවත් නො වන බව පැහැදිලි ය. මේ අතරින් ද දේශගුණ අරමුදල් ලෙස සැලකිය හැක්‌කේ ඩොලර් බිලියන 16-21 අතර ප්‍රමාණයක්‌ පමණක්‌ බව ද සඳහන් වෙයි. සෙසු මුදල් ආධාර යටතේ එයි.

එසේ ම මෙහි දී දියුණු වන රටවල් මේ ඩොලර් බිලියන 100ක මුදල පිළිබඳ ව වැඩි පැහැදිලිතාවක්‌ අපේක්‌ෂා කළ බව පෙනෙයි. මේ ආකාරයෙන් මුදල් ලැබීම පමා වීම වැදගත් වන්නේ එය දේශගුණ වෙනස්‌ වීම හා සමඟ බලපෑමට ලක්‌ වන ආර්ථික අතින් ශක්‌තිමත් නො වන රටවලට බලපාන නිසා ය. මෙය වැදගත් ය. විශේෂයෙන් දේශගුණ වෙනස්‌ වීමෙන් බරපතළ බලපෑමකට ලක්‌ වන දූපත් රාජ්‍ය මේ තත්ත්වයෙන් වඩාත් පීඩා විඳින රටවල් අතර වෙයි.

හරිතාගාර වායු සීමා කිරීම


හරිතාගාර වායු විමෝචන සීමා කිරීම පිළිබඳ කරුණ මේ සාකච්ඡා වාරයේ දී අවධානයට ලක්‌ වූ අනෙක්‌ කරුණ වෙයි. විශේෂයෙන් දියුණු හා දියුණු වන රටවල් සියල්ල ම මේ සම්බන්ධ ව යම් කැප වීමක්‌ සිදු කළ යුතු ව ඇති බව දැනට ඇති පිළිගැනීම ය. ඒ සඳහා ස්‌වෙච්ඡාවෙන් ඇති කරගත් ඉලක්‌ක මේ වන විට ඒ ඒ රටවල් විසින් ලබා දෙනු ලැබ තිබේ. කෙසේ වෙතත් මේ ප්‍රමාණය ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම ආරක්‌ෂsත යෑයි පිළිගන්නා සෙල්සියස්‌ අංශක දෙකේ මට්‌ටමට සීමා කිරීමට ප්‍රමාණවත් නො විය හැකි බව මේ වන විට පෙන්වා දී ඇත.

දියුණු වන රටවල හරිතාගාර වායු විමෝචන සම්බන්ධ ව වැඩි විනිවිදභාවයක්‌ තිබීම දියුණු රටවල් අපේක්‌ෂා කරන බව ද පෙනෙයි. එමඟින් අදාළ විමෝචන තහවුරු කරගත හැකි ක්‍රමවේදයක අවශ්‍යතාව පැහැදිලි කරගෙන ඇත. පැරිස්‌ සම්මුතිය අනුව පොරොන්දු වී ඇති විමෝචන සීමා කිරීම් සැබැවින් ම සිදු වීමට නම්, එවැනි නීති තිබිය යුතු බව දියුණු රටවල අදහස බව පෙනෙයි.

චීනය ඇතුළු ව තවත් දියුණු වන රටවල් කිහිපයක්‌ මේ වේගයෙන් අඩු සාකච්ඡා මාලාව නිසා 2015ට පෙර තිබූ තත්ත්වයට ආපසු යැමට පවා යෝජනා කළ බවක්‌ සඳහන් වේ. ඒ දියුණු රටවල් පමණක්‌ කාබන් විමෝචන සීමා කළ යුතු තත්ත්වයක්‌ පිළිබඳ යෝජනාවකට ය. කෙසේ වෙතත් වාසනාවකට මෙන් බොහෝ දියුණු වන රටවල් මේ සඳහා එතරම් කැමැත්තක්‌ දැක්‌වූයේ නැත. ඔවුන්ගේ යෝජනාව වූයේ ඇතැම් අංශ පිළිබඳ ව නැවතත් සාකච්ඡාවට ගැනීම පමණකි.

සමස්‌තයක්‌ ලෙස ගත හොත් මේ වර්ෂය අවසානයේ පැවැත්වෙන වාර්ෂික දේශගුණ සමුළුවට පෙර කිසියම් දැනෙන මට්‌ටමේ ප්‍රගතියක්‌ අත්පත් කරගැනීමට නම් තවත් බොහෝ දුර යා යුතු බව දේශගුණ සාකච්ඡාවලට සම්බන්ධ වූ අයගේ අදහස වෙයි. ඒ සඳහා වේගවත් ව කටයුතු කිරීම වැදගත් බව ද අවධාරණය කර ඇත.

මේ අනුව ලබන දෙසැම්බර් මාසයේ දී පෝලන්තයේ කතෝවිස්‌ නගරයේ දී පැවැත්වෙන දේශගුණ සමුළුව 2015 වර්ෂයේ දී පැරිස්‌ ගිවිසුම සම්මත කිරීමෙන් පසු ව පවත්වනු ලබන වඩාත් තීරණාත්මක වූ දේශගුණ සමුළුව විය හැකි බව ඇතැමුන් පෙන්වා දී තිබෙයි.

දේශගුණ සාකච්ඡා ඒ ආකාරයෙන් ඇදී යද්දී මෑත කාලයේ ලෝකයේ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව ඇති වූ වෙනස්‌කම් ද සලකා බැලීම වැදගත් ය.

ඇමෙරිකාවේ දේශගුණ විරෝධී කටයුතු තවදුරටත්


ඇමෙරිකාවේ ගගන විද්‍යා හා අභ්‍යවකාශ පරිපාලනය හෙවත් NASA ආයතනයේ හරිතාගාර වායු නිරීක්‌ෂණය පිළිබඳ ව ක්‍රියාත්මක වූ පද්ධතියක්‌ සඳහා අරමුදල් ලබා දීම නවතා දැමීමට ජනාධිපති ට්‍රම්ප් ගේ පාලනය තීරණය කර ඇති බව වාර්තා වූයේ ද පසුගිය සතියේ දී ය. ඒ අනුව කාබන් නිරීක්‌ෂණ පද්ධතිය (Carbon Monitoring System) නමින් හඳුන්වනු ලබන, වාර්ෂික ව ඩොලර් මිලියනයක්‌ පමණ මුදලක්‌ වැය කරමින් ලෝකයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු ප්‍රවාහය නිරීක්‌ෂණය කරනු ලබන ව්‍යාපෘතියේ කටයුතු නවතා දැමීමට නියමිත ය. මේ වන විට පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වන බවට ප්‍රකාශයට පත් කර ඇති ඇමෙරිකාවේ මේ තීරණය එතරම් පුදුමයක්‌ ද නො වේ.

මෙමඟින් ඇති විය හැකි බලපෑම පිළිබඳ ව Science සඟරාව අදහස්‌ පළ කර ඇත. ඒ අනුව ඒ ඒ රටවල ජාතික මට්‌ටමේ වායු විමෝචන සීමා කිරීම් මැනීම සඳහා ඇති හැකියාව අඩාළ විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය මැනීම වැදගත් ය. එය අතීතයේ සිට ම අභියෝගයක්‌ වූ කරුණකි. මේ සඳහා විවිධ රටවල් තම රටවල විමෝචන ලෙස ඉදිරිපත් කරන්නේ භාවිත කරන ඉන්ධන ප්‍රමාණය මත පදනම් වූ ගණනය කිරීමකි. මෙය එතරම් සාර්ථක නො වන අතර, එමඟින් අදාළ රටවලට වංචා කිරීමට ද හැකියාවක්‌ ඇති බව සැලකෙයි.

මේ නිසා චන්ද්‍රිකා හා ගුවන්යානා හෝ භාවිත කරමින් හරිතාගාර වායු විමෝචන මැනීම සඳහා වඩා නිවැරැදි ක්‍රම සකස්‌ කිරීම සඳහා ප්‍රයත්න ගෙන තිබේ. ඒ අතරින් NASA ආයතනයේ පෙර කී ක්‍රමවේදය වඩාත් දියුණු හා නිවැරැදි ක්‍රමයක්‌ සේ පිළිගනු ලැබෙන්නකි. මේ දත්ත යොදාගනිමින් දියුණු රටවල් විසින් දියුණු වන රටවල් අතරින් ඇතැම් රටවල, එනම් වේගයෙන් දියුණු වන ආර්ථිකයක්‌ සහිත රටවල විමෝචන වේගයෙන් ඉහළ ගොස්‌ ඇති බව පෙන්වා දෙනු ලැබ තිබෙයි.

මේ අරමුදල් සැපයීම අහෝසි වීම නිසා කාර්යක්‌ෂම මෙන් ම විනිවිදභාවයෙන් යුක්‌ත හරිතාගාර වායු විමෝචන නිරීක්‌ෂණ පද්ධතියක්‌ ලෝකයට අහිමි විය හැකි ය. මෙය පැරිස්‌ ගිවිසුමේ ප්‍රතිඵලවලට බලපෑමක්‌ ඇති කළ හැක්‌කක්‌ විය හැකි බව පෙන්වා දී ඇත. ඒ, හරිතාගාර වායු ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම හා නිවැරැදි ව ගණනය කිරීම පැරිස්‌ ගිවිසුමේ සාර්ථකත්වයට වැදගත් වන නිසා ය. මෙහි දිගුකාලීන බලපෑම විද්‍යාඥයන්ගේ අවධානයට ලක්‌ ව ඇති කරුණකි. විශේෂයෙන් සැලකිලිමත් විද්‍යාඥයන්ගේ සංගමය (Union of Concerned Scientists) නම් සක්‍රිය ව කටයුතු කරන පිළිගත් කණ්‌ඩායම මේ සම්බන්ධ ව සිය අප්‍රසාදය පළ කර තිබිණි.

මේ අනුව ඉදිරියේ දී කාබන් විමෝචන ප්‍රමාණය නිරීක්‌ෂණය කිරීම පිළිබඳ වගකීම ද යුරෝපය වෙත පැවරෙනු ඇති බව සිතිය හැකි ය. මේ වන විට ද යුරෝපය සතු ව ඔවුන් ගේ ම වූ කාබන් නිරීක්‌ෂණය කරන චන්ද්‍රිකාවක්‌ ඇති අතර ඉදිරියේ දී තවත් චන්ද්‍රිකා දියත් වනු ඇත. විද්‍යාත්මක දැනුමේ මෙන් ම දේශගුණ සටනේ නායකත්වය ද යුරෝපය වෙත යොමු වෙමින් තිබෙයි.

Monday, May 21, 2018

බතල ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව අලුත් මතයක්‌

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 02.05.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/05/02/feature3.html


බතල හෙවත් Ipomoea batatas යනු ලෝකයේ බෙහෙවින් ආහාරයට ගන්නා අල භෝග අතරින් එකක්‌ සේ සැලකේ. ඇමෙරිකා මහාද්වීපය නිජබිම් කරගත් බතල අද වන විට ආහාර භෝගයක්‌ ලෙස ලෝකයේ නිවර්තන හා උපනිවර්තන කලාපීය රටවල් රැසක ව්‍යාප්ත ව ඇත්තේ එහි ඇති මේ ආහාරමය වැදගත්කම නිසා ය.

බතල ඇමෙරිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ව වඩා ප්‍රකට කතාවක්‌ මෙන් ම එතරම් ප්‍රකට නො වන කතාවක්‌ ද තිබෙයි. කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණෙන විට මධ්‍යම හා දකුණු ඇමෙරිකානු වැසියන් ආහාරය සඳහා බතල වගා කිරීම සිදු කර ඇත. එහි දී යුරෝපීයයන් විසින් මුලින් ම හඳුනාගන්නා ලද බතල ශාකය පසුව යුරෝපයට හා ආසියාවට හඳුන්වා දෙන ලද අතර ලෝකය පුරා ව්‍යාප්ත විය.

ඊට සියවස්‌ දෙකකට පමණ පසුව පොලිනීසියානු දූපත්, හවායි හා නවගිනියාව අතර පැසිෆික්‌ දූපත්වලින් බතල සොයාගැනීමෙන් මේ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳ ව තිබූ මතවාද ගැටලුකාරී තත්ත්වයකට පත් විය. එක්‌ මුල් ශාකයකින් ඇති වී මෙතරම් ප්‍රදේශයක එය ව්‍යාප්ත වූයේ කෙසේ ද යන්න ඇති වූ එක්‌ ගැටලුවකි. එසේ ම මෙසේ පැසිෆික්‌ දූපත්වලට බතල ශාක හඳුන්වා දීම මෙතෙක්‌ නො හඳුනන ජන කණ්‌ඩායමක්‌ විසින් සිදු කරන ලද්දේ ද යන්න තවත් ගැටලුවක්‌ විය. ඒ පිළිබඳ ව තිබූ තවත් අදහසක්‌ වූයේ පැසිෆික්‌ දූපත්වාසීන් සාගර තරණයේ දක්‌ෂයන් වූ බැවින් ඔවුන් දකුණු ඇමෙරිකාවට පැමිණි මුහුදු ගමනක දී බතල ලබාගත් බවයි. ඒ කොලොම්බස්‌ ඇමෙරිකාවට පැමිණීමට බොහෝ කාලයකට පෙර කාලයකට පෙර දී ය. මේ සඳහා ඉදිරිපත් කර ඇති එක්‌ සාධකයක්‌ වන්නේ පේරු රාජ්‍යයෙහි බතල සඳහා භාවිත වන එක්‌ නමක්‌ වන Cumara හා සමාන නාමයක්‌ වන Kumara යන්න නවසීලන්තයේ භාවිත වීමයි.

පුරාවිද්‍යාත්මක අධ්‍යයනවලින් හෙළි වී ඇති ආකාරයට අදින් වසර 700කට පමණ පෙර පවා පොලිනීසියානු දූපත්වල බතල තිබී ඇත. ඒ අනුව ඇතැම් පර්යේෂකයන් විශ්වාස කළ පරිදි බතල පොලිනීසියානු දූපත්වලට පැතිරෙන්නේ යුරෝපීය ආගමනයෙන් පසුව නො වේ. ඉන් පෙර කාලයක දී බතල එම ප්‍රදේශවලට පැමිණ තිබෙයි.

එමෙන් ම මේ දක්‌වා සිදු කර ඇති ප්‍රවේණික පර්යේෂණවලින් ද තත්ත්වය තවත් සංකීර්ණ කර තිබිණි. සමහර පර්යේෂණවලින් පෙන්වා දී තිබුණේ බතල එක්‌ වල් දර්ශකයකින් පමණක්‌ ආරම්භ වූ බව වන අතර, තවත් අධ්‍යයනවලින් එය ඉතිහාසයේ දෙවරක්‌ සිදු ව ඇති බවක්‌ පෙන්වා දී තිබිණි. එය මේ පිළිබඳව ඇති දැනුම තවදුරටත් ගැටලු සහගත කරන්නක්‌ විය. මේ දෙවැනි මතය අනුව, දකුණු ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද බතල පොලිනීසියානුවන් විසින් ලබාගනු ලැබ තිබෙයි. යුරෝපීයයන් වෙත ලැබී ඇත්තේ මධ්‍යම ඇමෙරිකානුවන් විසින් ගෘහාශ්‍රිතකරණය කරන ලද දෙවැනි බතල ප්‍රභේදයකි.


පුළුල් ප්‍රවේණික අධ්‍යයනයක්‌


පැසිෆික්‌ දූපත්වල බතල ශාකයේ සම්භවය පිළිබඳව ඇති ගැටලුව නිරාකරණය කිරීම සඳහා පර්යේෂකයන් පිරිසක්‌ සිදු කර ඇති මෑතක දී ප්‍රකාශයට පත් කර ඇති අධ්‍යයනය බතල ශාකය පිළිබඳව DNA යොදාගනිමින් මෙතෙක්‌ සිදු කරන ලද වඩාත් ම පුළුල් අධ්‍යයනය වෙයි.

මේ අධ්‍යයනය සඳහා ලෝකයේ දැකිය හැකි ශාකාගාර හා කෞතුකාගාර ගණනාවක ඇතුළත් වන බතල ශාක මෙන් ම ඒවායේ වල් දර්ශවල නිදර්ශකවලින් ප්‍රවේණික ද්‍රව්‍ය ලබාගෙන ඒවායේ DNA විශ්ලේෂණය කිරීමට මේ පර්යේෂකයන් පිරිස සමත් ව ඇත. එහි දී මීට පෙර සිදු කරන ලද අධ්‍යයනවලට වඩා වැඩි ප්‍රවේණික ද්‍රව්‍ය ප්‍රමාණයක්‌ ලබාගැනීමට ද ඔවුන් සමත් වීම විශේෂත්වයකි. ඒ සඳහා අති නවීන DNA අනුක්‍රමය සැකසීමේ ක්‍රම යොදාගෙන තිබෙයි.

බතල ශාකයේ ප්‍රවේණික සම්භවය පිළිබඳව මේ අධ්‍යයනයෙන් පැහැදිලි වී ඇත්තේ ලෝකයේ දැකිය හැකි සියලු බතල ප්‍රභේදවල පූර්වජයා වන්නේ එක්‌ වල් ශාකයක්‌ බවයි. ළඟ ම ඥාතිත්වය දක්‌වන මේ ශාකය වන්නේ කැරිබියානු ප්‍රදේශවල වැවෙන Ipomoea trifida නම් ශාකයයි. මේ විද්‍යාඥයන්ට අනුව මේ ශාකයේ පුෂ්ප බතල ශාකයේ පුෂ්පවලට ද බොහෝ සේ සමාන වෙයි. එහෙත් Ipomoea trifida ශාකයේ දැකිය හැක්‌කේ කුඩා පැන්සලක්‌ වැනි අලයකි. එය ආහාරයට ගත හැකි අලයක්‌ නො වෙයි.

මේ පර්යේෂණයේ දී ගණන් බලා ඇති ආකාරයට බතල ශාකයේ පූර්වජයන් Ipomoea trifida ශාකයෙන් වෙන් වී ඇත්තේ අදින් වසර 800,000කට පමණ පෙර දී ය.

ඔවුන් මෙහි දී පැසිෆික්‌ දූපත්වලින් හමු වී ඇති බතල ශාකවල අතීතය පිළිබඳව ද සොයා බැලීමට උත්සාහ කර ඇත. නිදසුනක්‌ ලෙස සුප්‍රකට දේශ ගවේෂකයකු වූ කපිතාන් කුක්‌ට 18 වැනි සියවසේ දී පොලිනීසියාවෙන් හමු වූ බතල නිදර්ශක පිළිබඳව ප්‍රවේණික ද්‍රව්‍ය අධ්‍යයනයට ලක්‌ කර ඇත. ඒ ලන්ඩනයේ ස්‌වාභාවික විද්‍යා කෞතුකාගාරයේ තැන්පත් ව ඇති නිදර්ශකයක්‌ යොදාගනිමිනි.

මෙහි දී පෙනී ගොස්‌ ඇත්තේ පොලිනීසියානු බතල ප්‍රවේණික වශයෙන් වෙනස්‌ බවයි. සෙසු බතල ප්‍රභේදවලින් එම බතල වෙන් ව ගොස්‌ ඇත්තේ අදින් වසර 111,000කට පමණ පෙර දී ය. මෙහි ඇති වැදගත්කම වන්නේ එම කාල වකවානුව අනුව එවැනි කාලයක දී පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ඒමට මිනිසුන්ට හැකියාවක්‌ නො වීම ය. මිනිසුන් නවගිනියාවට පැමිණියේ අදින් වසර 50,000කට පමණ පෙර වන අතර, පැසිෆික්‌ දූපත්වලට පැමිණියේ ඊටත් පසු කලක හෙවත් වඩාත් මෑත කාලයක දී ය.

මේ අනුව පැසිෆික්‌ දූපත්වලට බතල ගෙන ආවේ කිසිදු මිනිස්‌ කණ්‌ඩායමක්‌ වීමට ඇති අවස්‌ථාව බෙහෙවින් සීමිත බව පෙනෙයි. එම දූපත් වාසීන් හෝ ස්‌පාඤ්ඤ ජාතිකයන් හෝ ඇමෙරිකාවෙන් බතල ගෙන ආ බවට ඇති මතය නිවැරැදි නො වන බව මේ පර්යේෂකයන් ගේ අදහස වෙයි.

එහෙත් මෙහි දී පැන නැඟෙන ගැටලුව වන්නේ එතරම් කාලයකට ඉහත දී ඇමෙරිකාවේ සිට පොලිනීසියානු දූපත්වලට බතල රැගෙන ගියේ කවුරුන් ද යන්න ය. එය මිනිසුන් විසින් සිදු නො කළේ නම් එය සිදු වූයේ කෙසේ ද? මේ පිළිබඳව අපූරු පැහැදිලි කිරීමක්‌ මේ පර්යේෂකයන් ඉදිරිපත් කර ඇත. ඒ අනුව පක්‌ෂීන් හා සාගර රළ වැනි ස්‌වාභාවික සාධක මේ සඳහා හේතු වන්නට ඇති බව ඔවුන් යෝජනා කර තිබෙයි. මුහුදේ පාවීමෙන් මෙවැනි අල වර්ගවලට ඈත ප්‍රදේශවලට ළඟා විය හැකි ය. එසේ ම අල වර්ග වැනි ශාක කොටස්‌ පක්‌ෂීන් විසින් දුර ප්‍රදේශවලට ගෙන යනු ලැබීම දැකිය හැකි ය.

මෙවැනි තවත් ශාක වර්ග පිළිබඳව සාධක හෙළි වී තිබෙයි. හවායි දූපත්වල පිහිටා ඇති වියළි වනාන්තරවල පමණක්‌ දැකිය හැකි Hawaiian moonflower නම් ශාකයේ ළඟ ම ඥාතිත්වයක්‌ දැකිය හැකි ශාක දැකිය හැකි වන්නේ මෙක්‌සිකෝවේ ය. එම ශාකය එහි ඥාති ශාකවලින් වෙන් වූයේ අවම වශයෙන් අදින් වසර මිලියනයකට පමණ ඉහත දී බව විද්‍යාඥයන් ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මතයට එකඟ නො වන පිරිස්‌ ද ඇති බව පෙනෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් විද්‍යාඥයන් පවසන්නේ ස්‌පාඤ්ඤ ජාතිකයන් ඇමෙරිකාවට පැමිණි පසුව ඇති වූ වෙනස්‌ වීම් සමඟ බතල ශාකයේ විවිධත්වයෙන් විශාල ප්‍රමාණයක්‌ නැති ව යන්නට ඇති බව ය. පැසිෆික්‌ සාගරයේ දූපත්වල ගෙන ගිය බතලවලට සම්බන්ධ ප්‍රවේණික ද්‍රව්‍ය මේ නිසා ඒ කාලය වන විට අතුරුදන් ව තිබෙන්නට ඇත යන්න ඔවුන් ගේ අදහසයි.

කෙසේ වෙතත් උක්‌ත පර්යේෂණය අනුව බතල ශාකයේ මුල් ව්‍යාප්තිය සඳහා මිනිසුන් නො ව වෙනත් සාධක හේතු වී ඇති බව පැහැදිලි ය. ස්‌වාභාවික ක්‍රම මඟින් බතල ශාකය ඇමෙරිකාවේ සිට පැසිෆික්‌ දූපත්වලට ව්‍යාප්ත වී ඇත.

මූලාශ්‍රය : Current Biology, DOI: 10.1016/j.cub.2018.03.020


ශ්‍රී ලංකාවට බතල පැමිණියේ කවදා ද ?


බතල යනු ශ්‍රී ලංකාවේ ද බෙහෙවින් ම ජනප්‍රිය ආහාර භෝගයකි. එය අප රටේ කෙතරම් ජනප්‍රිය වී තිබේ ද යත් මෙය ඇමෙරිකා මහාද්වීපය නිජබිම කරගත් භෝගයක්‌ බව පිළිගැනීම පවා ඇතැමුන්ට අසීරු විය හැකි ය. අප දන්නා ආකාරයට බතල ශාකයට ඒ නම සැදුණු ආකාරය පිළිබඳව ද බොහෝ දෙනා දන්නා ජන කතාවක්‌ පවා තිබෙයි. බතල හා සම්බන්ධ බතලවත්ත වැනි ස්‌ථාන නාම ගණනාවකි. එහෙත් මේ බොහෝ ස්‌ථාන නාමවලට ඇත්තේ මෑතකාලීන ප්‍රභවයක්‌ බව පෙනේ.

1670 දශකයේ දී මෙරට විසූ පෝල් හර්මන් විසින් එකතු කළ ශාක එකතුවේ බතල ශාකය දැකිය නො හැකි වීම ද විශේෂත්වයකි. 1824 දී සිය A Catalogue of the Indigenous and Exotic Plants Growing in Ceylon කෘතියේ බතල ඇතුළත් කර ඇති ඇලෙක්‌සැන්ඩර් මුන්, එය වගා කරන භෝග බව සඳහන් කරයි. ඔහු සුදු, රතු, කොච්චි, පත්තෑ සහ කහ යනුවෙන් ප්‍රභේද පහක්‌ ගැන ද සඳහන් කර තිබෙයි. හෙන්රි ට්‍රයිමන් සිය Flora of Ceylon කෘතියේ තෙවැනි කාණ්‌ඩයේ (1890 දශකයේ මුද්‍රිත) සඳහන් කරන්නේ ද බතල ස්‌වාභාවික පරිසරයේ දැකිය නො හැකි බව හා අත්හැර දැමූ ගෙවතුවල දැකිය හැකි බව ය. මේ අනුව උදය රාජපක්‌ෂ සිය Traditional food plants in Sri Lanka කෘතියේ සඳහන් කරන පරිදි බතල යනු ඕලන්ද ජාතිකයන් විසින් මෙරටට ගෙන එන ලද ශාකයක්‌ යන්න නිවැරැදි බව පෙනෙයි.

එසේ ම මෙරට ශාක නාම පිළිබඳ ව සාහිත්‍ය කෘතිවල යෙදී ඇති නම් පිළිබඳ ව අධ්‍යයනයක්‌ සිදු කර ඇති තිස්‌මඩ නන්දාරාම හිමියන් ගේ උද්භිද නාම ප්‍රදීපිකා කෘතියේ සඳහන් පරිදි බතල යන නම ඇතුළත් කෘතිය එහිමියන්ට හමු ව ඇත්තේ 1920 දශකයට අයත් කාටර් ගේ ශබ්දකෝෂයේ පමණකි.

දොඩම් ශාකයේ සම්භවය හිමාලය පාමුල ප‍්‍රදේශයක සිදුව තිබේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 18.04.2018, පි. 11 (Vidusara)

Not available online


දොඩම් ගණයේ ශාක ලෝකයේ වඩාත් වවනු ලබන පලතුරු ශාක අතරට ඇතුළත් වේ. දෙහි, දොඩම් වර්ග, නාරන් වර්ග, ජම්බෝල ආදි වශයෙන් අපේ රටේද විවිධ Citrus ගණයට අයත් ශාක ගණනාවක් දැකිය හැකිය. මේවා අයත්වන්නේ Rutaceae කුලයටය. ලෝකය පුරා විවිධ රටවල Citrus ගණයේ ශාක වගා කරනු ලබන්නේ එ්වා රසවත් පලතුරු ශාක වන නිසාය. මෙම ශාකවලින් ලබාගන්නා පලතුරුවලට ඇති ඉල්ලූම නිසා ආර්ථික භෝග ලෙස මේවාට වැදගත්කමක් තිබේ.

Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳව විද්‍යාඥයින් අතර පැහැදිලි අවබෝධයක් නොතිබිණි. මේ පිළිබඳව ගත වු වසර සියයක පමණ කාලය ඇතුළත විවිධ මත පළ වී තිබිණි. එහෙත් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ මේ ශාකවල සම්භවය අග්නිදිග ආසියාවේ සිදු වූ බවයි. මෑතකදී ප‍්‍රවේණික සාධක යොදාගනිමින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ සම්බන්ධව වඩාත් පිළිගත හැකි ආකාරයේ මතයක් ඉදිරිපත් කර ඇත.

එමගින් හෙළි වන ආකාරයට මේ ශාකවල සම්භවය හිමාලය කඳුකරයේ ගිනිකොන දිග ප‍්‍රදේශයේ කඳුකරයට පහළ ප‍්‍රදේශ බව පෙන්වා දී ඇත. ක්‍සඑරමි Citrus ගණයේ ශාකවල DNA පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයක් වන එයට අනුව මෙම ශාකවල සම්භවය සිදුව ඇත්තේ අදින් වර්ෂ මිලියන 8කට පමණ ඉහත කාලයකදීය. මේ අනුව Citrus ගණයේ ශාකවල පරිණාමීය ඉතිහාසය මෙම අධ්‍යයනයෙන් වඩා පැහැදිලි වී තිබෙයි.

ජෙනෝම පිළිබඳ අධ්‍යයනයක්

දොඩම් අයත් වන Citrus ගණයේ ශාකවල ස්වාභාවික ව්‍යාප්තිය දකුණු හා අග්නිදිග ආසියාවේ විශාල ප‍්‍රදේශයක් බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණක් බව පෙර සඳහන් කළෙමු. එහෙත් දොඩම්වල භූගෝලවිද්‍යාත්මක ආරම්භය, කාලය හා ව්‍යාප්ත වීම පිළිබඳ මෙතෙක් අපැහැදිලි වීම සඳහා බලපෑ එක් හේතුවක් වූයේ මේ ශාකවල ජෙනෝමය පිළිබඳව ඇති දැනුම අසම්පූර්ණ වීමයි. උක්ත අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ එ් පිළිබඳවය.

මෙහිදී පර්යේෂකයන් සිදුකර ඇත්තේ Citrus ගණයේ ශාක 58ක් හා ඊට සමීපත්වයක් දක්වන Poncirus හා Severinia යන ශාක ගණවල ශාක 2ක ජෙනෝම විශ්ලේෂණය කිරීමයි. එ් සඳහා ඉන් පෙර කළ අධ්‍යයනවලින් හෙළි වී ඇති ජෙනෝම මෙන්ම මෙම පර්යේෂණය සඳහාම ජෙනෝම අධ්‍යයනය කිරිම සිදු කර ඇත. එ් අනුව එමගින් ස්වාභාවික Citrus ගණයේ විශේෂ 10ක් හඳුනාගැනීමට මෙම පර්යේෂකයන්ට හැකියාව ලැබී තිබෙයි.

මේ අනුව Citrus ගණයේ සම්භවය සිදු වූ ප‍්‍රදේශය පිළිබඳව හෙළි වී ඇති කරුණ වන්නේ එ්වා ඇසෑමයේ නැගෙනහිර ප‍්‍රදේශය, උතුරු මියන්මාරය හා යුනාන් ප‍්‍රාන්තයේ බටහිර ප‍්‍රදේශය ද ඇතුළත් භූගෝලීය කලාපයක සම්භවය වී ඇති බවයි. එහි ස්වාභාවිකව දැකිය හැකි වූ විශේෂවලින් නූතන Citrus ගණයේ ශාක ඇති වී තිබෙයි.

වසර මිලියන ගණනකට පෙර අපර මයෝසීන යුගයෙදී ඉහත සඳහන් ප‍්‍රදේශයේ දේශගුණය වෙනස් වී දුර්වල මෝසම් තත්ත්වයක් ඇති වීම හා වියළි කාලගුණයක් ඇති වීම සිදු වී ඇත. එම කාලයේදී මෙම ශාක නව විශේෂ හටගැනීමකට හෙවත් විශේෂ පරිණාමයකට (speciation) ලක්ව ඇත. එසේම මේ විශේෂ අදාළ සම්භවය සිදු වූ ප‍්‍රදේශයෙන් පිටත ප‍්‍රදේශවලටද ව්‍යාප්ත වී ඇත. එ් අනුව අග්නිදිග ආසියාව පුරා මෙම ශාක පැතිරගොස් තිබෙයි. එතැනින් මෙම ශාක ලෝකය පුරා ව්‍යාප්ත වී ඇත. අදින් වසර මිලියන 4කට පමණ පෙර මෙම ශාක ඔස්ටේ‍්‍රලියාව වෙත ව්‍යාප්ත වී ඇත. මෙසේ ස්වාභාවිකව ව්‍යාප්ත වූ ශාක මෙන්ම පසුකලක මිනිසුන් විසින් ගෘහාශ‍්‍රිතකරණය කිරීම නිසාද Citrus ගණයේ ශාකවල ප‍්‍රභේද ගණනාවක් අද වන විට දැකිය හැකි වෙයි.

මේ අනුව අප අද දකින Citrus ගණයේ ශාක වසර මිලියන ගණනාවක පරිණාමයකින් හා ඉන් පසුව එම ශාක අතරින් සමහරක් යොදාගනිමින් මිනිසුන් විසින් වසර දහස් ගණනාවක් තිස්සේ සිදුකරන ලද අභිජනන ක‍්‍රියාවලියේ ප‍්‍රතිඵලය බව පැහැදිලිය.

සාමාන්‍යයෙන් Citrus ගණයේ ශාක පිළිබඳව ලැබී ඇති පොසිල සාධක අල්පය. එහෙත් නිරිත දිග චීනයේ යූනෑන් හි ලින්කැන් (Lincang) ප‍්‍රදේශයෙන් ලැබී ඇති පොසිලගත වූ ක්‍සඑරමි Citrus linczangensis ශාකයේ පත‍්‍රයකට ලබාදී ඇති කාල වකවානුව වන්නේ එය වසර මිලියන 8ක් පමණ පැරණි බවයි. එම දින වකවානුව මෙම අධ්‍යයනයේදී හෙළි වන Citrus ගණයේ ශාකවල සම්භවය පිළිබඳ කාලවකවානුව හා සමාන වීම මෙහි ඇති විශේෂත්වයකි.

ප‍්‍රායෝගික භාවිත පිළිබඳ අපේක්ෂා

පරිණාමීය ඉතිහාසය පිළිබඳව සිදුකරන ලද මෙම හෙළිදරව් වීම හැරුණු විට මේ පර්යේෂණයෙන් ලැබෙන වඩාත් ප‍්‍රායෝගික ප‍්‍රතිලාභද ඇති බව උක්ත පර්යේෂකයන් විසින් පෙන්වා දී ඇත. එයට හේතුව වන්නේ Citrus ගණයේ ශාකවල ජෙනෝමය පිළිබඳව වැඩි විස්තර ලැබී ඇති නිසාය.

මේ අනුව මෙම ශාකවලට වැළඳෙන රෝගවලට හා පළිබෝධකයන්ට ඔරොත්තු දිය හැකි ප‍්‍රභේද සොයාගැනීම සඳහා මෙමගින් යම් අවස්ථාවක් ලැබෙයි. විශේෂයෙන් මේ වන විටද බරපතළ හානිකර තත්ත්ව ඇති කර තිබෙන ඇතැම් රෝගවලට පිළියම් ලෙස යොදාගත හැකි ප‍්‍රතිරෝධී ලක්ෂණ දරණ ජානමය තත්ත්ව සහිත ශාක මෙහිදී හඳුනාගත හැකිය. එ්වා යොදා ගනිමින් නව Citrus ශාක ප‍්‍රභේද හා විශේෂ වුවද බිහි කිරීමට අවස්ථාවක් ලැබිය හැකිය. මෙය Citrus ශාක පිළිබඳව හා එ් මත පදනම්ව ඇති පලතුරු කර්මාන්තයට ඉතා වැදගත් වනු ඇත. මේ වන විටද මෙවැනි ඇතැම් රෝග නිසා Citrus ශාක වගාවට සැලකිය යුතු තරම් තර්ජනයක් ඇති වී තිබෙන බැවින් මෙම ප‍්‍රායෝගික භාවිතය ඉතා ඵලදායී වනු ඇත.

මූලාශ‍්‍රය: Nature, DOI: 10.1038/nature25447


Citrus ගණයේ ශාකවල ආරම්භය සිදු වු ප‍්‍රදේශය හා අතීත ව්‍යාප්තිය සිදු වූ මාර්ග දැක්වෙන රූපයක්. තරු ලකුණින් දැක්වෙන්නේ Citrus linczangensis විශේෂයේ පොසිල ශාක පත‍්‍රයක් හමු වූ ස්ථානය පහත සඳහන් සිතියමෙහි දැක්වෙයි.

Wednesday, May 9, 2018

බලශක්‌තිය පිරිසිදු කිරීමට වසර 400ක්‌ යන හැඩ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 04.04.2018, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2018/04/04/feature4.html



අනාගතයේ දී ඇති විය හැකි බරපතළ ආකාරයේ දේශගුණ වෙනස්‌ වීමක්‌ වළක්‌වාගැනීමට නම් ලෝකයේ ඉන්ධන භාවිතයේ කැපී පෙනෙන වෙනසක්‌ ඇති කළ යුතු බව පැහැදිලි කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් හරිතාගාර වායු අධික ලෙස විමෝචනය කිරීමට හේතු වන ගල්අඟුරු, ඛනිජතෙල් ආදි ෙෆාසිල ඉන්ධන දහනය කිරීම වෙනුවට පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමට සිදු වෙයි. මෙය බලශක්‌ති ක්‌ෂේත්‍රයේ කිසියම් ආකාරයක විප්ලවයක්‌ බඳු තත්ත්වයකි.

පිරිසිදු බලශක්‌තිය වෙත යොමු වීමේ මේ අවශ්‍යතාව පිළිබඳ ව කලක පටන් පෙන්වා දී ඇති අතර, ලෝකයේ රටවල් ගණනාවක්‌ මේ ගැන අවධානය යොමු කර ඇත. මේ නිසා ඒ රටවල් හා රටවල් කණ්‌ඩායම් විවිධ කාල වකවානු සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය භාවිතය පිළිබඳ ඉලක්‌ක සකස්‌ කර එය ප්‍රවර්ධනය කිරීම සඳහා ද කටයුතු කර තිබෙයි. එසේ ම දේශගුණ වෙනස්‌ වීම පාලනය පිළිබඳව ලෝකය සතු බලාපොරොත්තුව වන පැරිස්‌ දේශගුණ ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් ප්‍රකාශිත ජාතිකමය නිර්ණය කළ දායකත්වවල ද පිරිසිදු බලශක්‌ති ඉලක්‌ක ඇතුළත් වෙයි.

කෙසේ වෙතත් පිරිසිදු බලශක්‌තිය වෙත මේ වන විට අප ගමන් කරන වේගය ප්‍රමාණවත් ද යන්න සැක සහිත ය. මේ බව පෙන්වා දෙන අධ්‍යයනයකින් හෙළි වන කරුණු පිළිබඳ පුවතක්‌ පසුගිය දා වාර්තා වී තිබිණි.

වර්තමාන තත්ත්වය ප්‍රමාණවත් නැහැ


දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර්රාජ්‍ය මණ්‌ඩලයට අනුව ලෝකයේ සෙල්සියස්‌ අංශක දෙකක උෂ්ණත්වය ඉහළ යැමක්‌ ඇති වීම වැළැක්‌වීමට නම් 2050 වන විට ලෝකයේ විමෝචනය වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 2010 පැවැති මට්‌ටමින් 40%ත් 70%ත් අතර පමණ ප්‍රමාණයකින් අඩු කළ යුතු ය. මෙහි උපරිම අගය පිළිබඳව සිතීම වඩා තාර්කික ය. එහෙත් කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය වර්ෂයෙන් වර්ෂය ඉහළ යයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2017 වර්ෂයේ කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය 2%කින් පමණ ඉහළ ගිය බව වාර්තා විය.

එසේ ම ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත දී ලෝකයේ බලශක්‌ති පරිභෝජනය 30%ක්‌ පමණ ප්‍රමාණයකින් ඉහළ යනු ඇතැයි අපේක්‌ෂීත ය. එයට එක්‌ හේතුවක්‌ වන්නේ දියුණු වන රටවල සිදුවන ආර්ථික වර්ධනයයි. මේ අනුව බලශක්‌ති වර්ධනය සමඟ හරිතාගාර වායු විමෝචන කපා හැරීමට නම් 2050 වර්ෂය වන විට ටෙරාවොට්‌ 20ක පිරිසිදු බලශක්‌ති ධාරිතාවක්‌ දියුණු කළ යුතු වේ. මේ ප්‍රමාණය වෙනත් ආකාරයකින් පවසන්නේ නම්, න්‍යෂ්ටික බලාගාර 30,000ක්‌ ඉදි කිරීමට සමාන ය. එසේ නැත හොත් වොට්‌ 250 සූර්ය බලශක්‌ති පැනල බිලියන 120ක්‌ නිෂ්පාදනය කර ස්‌ථාපිත කිරීම හා සමාන ය.

ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2කට වඩා ඉහළ යැම වළක්‌වාගැනීමට නම් ලෝකයට කාබන් විමෝචන නොමැති බලශක්‌තිය කෙතරම් අවශ්‍ය ද යන්න ගැන ගණනය කිරීමක්‌ සිදු කර තිබෙයි. ඒ අනුව එවැනි බලශක්‌තිය මෙගවොට්‌ 1,100ක්‌ බැගින් එක්‌ දිනකට එකතු විය යුතු බව ඇමෙරිකාවේ කානගි ආයතනයේ කෙන් කල්දේරා ප්‍රමුඛ විද්‍යාඥයන් පිරිසක්‌ විසින් 2003 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයන වාර්තාවකින් පෙන්වා දී තිබෙයි. එසේ සිදු කළ හොත් හරිතාගාර වායු විමෝචන වර්ධනය පාලනය කරගනිමින් දේශගුණ වෙනස්‌ වීමේ භයානක ප්‍රතිඵල වළක්‌වාගත හැකි මට්‌ටමක ලෝකයේ උෂ්ණත්වය පවත්වාගත හැකි ය.

අද වන විට මේ ආකාරයෙන් ලෝකයේ බලශක්‌ති පද්ධතියට එකතු වන පිරිසිදු බලශක්‌තිය පිළිබඳව යළි ගණනය කිරීමක්‌ පිළිබඳව පසුගිය දා වාර්තා විය. එය 2006-2015 අතර කාලයේ දී නිෂ්පාදනය කළ පිරිසිදු බලශක්‌තිය ප්‍රමාණය අනුව සිදු කරන ලද ගණනය කිරීමකි. ඒ අනුව ලෝකයේ බලශක්‌ති පද්ධතියට දිනකට අලුතින් එකතු වන්නේ මෙගවොට්‌ 151ක්‌ තරම් ප්‍රමාණයක්‌ පමණකි. එසේ නම් ලෝකය මේ වේගයෙන් ඉදිරියට කටයුතු කළ හොත්, ලෝක බලශක්‌ති පද්ධතිය හරිතාගාර විමෝචනවලින් තොර පිරිසිදු බලශක්‌තියට හැරවීම සඳහා ගත වන කාලය වසර 363ක්‌ තරම් කාලයක්‌ විය හැකි ය.

ඉහත දැක්‌වූ පරිදි හරිතාගාර වායු විමෝචන කපා හැරීම දශක තුනක්‌ ඇතුළත ඇති කරගත යුතු විය. එහෙත් දැන් පෙනෙන වසර 363ක්‌ හෙවත් ශතවර්ෂ හතරක්‌ යනු බරපතළ ප්‍රතිවිපාක ඇති විය හැකි තරම් කාලයකි. මේ කාලයේ දී උෂ්ණත්වය ඉහළ යැම, අයිස්‌ කඳු දිය වීම, මුහුදු මට්‌ටම ඉහළ යැම, තාප ප්‍රවාහ වැනි දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ප්‍රතිවිපාකවලට මුහුණ දීමට ලෝකයට සිදු විය හැකි ය.

පිරිසිදු බලශක්‌තියේ ප්‍රමාදය හා අනාගතය


වසර ගණනාවක්‌ තිස්‌සේ සිදු කරන ලද අනතුරු හැඟවීම්වලින්, ප්‍රතිපත්තිමය කරුණු පිළිබඳ විවාදවලින් හා පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ සංවිධාන හා කණ්‌ඩායම් විසින් සිදු කරන ලද ව්‍යාපාරවලින් අනතුරු ව පවා ලෝකය ඒ පිළිබඳව ප්‍රමාණවත් තරමින් කටයුතු කර නොමැති වීම ය. එය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව කටයුතු කිරීමේ දී අප දකින සාමාන්‍ය උදාසීන ප්‍රතිචාරයට සාධකයක්‌ ලෙස ද ගත හැකි ය.

මෙසේ වීමට බලපාන හේතු අතර පිරිසිදු බලශක්‌ති අංශයට ප්‍රමාණවත් තරම් මූල්‍ය සහායයක්‌ නො ලැබීම, රාජ්‍ය ප්‍රතිපත්තිවල ප්‍රබල වෙනසක්‌ සිදු නො වීම හා තාක්‌ෂණයේ විශාල පෙරළිකාර වර්ධනයක්‌ සිදු නො වීම වැනි කරුණු වෙයි.

නිදසුනක්‌ ලෙස ඇමෙරිකාව පිළිබඳව සලකා බැලිය හැකි ය. එරට වාර්ෂික ව ගිගාවොට්‌ 10ක්‌ පමණ නව බලශක්‌ති සැපයුමක්‌ පද්ධතියට එක්‌ කරයි. මෙයට ස්‌වාභාවික වායු, සූර්ය හා සුළං බලය ද අයත් වෙයි. එහෙත් එම වේගයෙන් ගිය ද, පවත්නා විදුලි පද්ධතිය පිරිසිදු බලශක්‌තිය මඟින් ප්‍රතිස්‌ථානය කිරීම සඳහා තවත් වර්ෂ සියයක පමණ කාලයක්‌ ගත විය හැකි බව පෙන්වා දී ඇත. එසේ නම් තවත් දශක කිහිපයක කාලයක්‌ ඇතුළත සිදු විය හැකි වෙනස්‌වීමක්‌ ගැන අපේක්‌ෂා කිරීම අපහසු බව පෙනෙයි.

හරිතාගාර වායු විමෝචන කපා හැරීම සම්බන්ධව ඇති අනෙක්‌ ගැටලුව වන්නේ එමඟින් ආර්ථිකයට හා ආර්ථික වර්ධනයට බලපෑමක්‌ ඇති විය හැකි සේ සැලකීමයි. එහෙත් මෙහි දී අමතක කරනු ලබන වැදගත් කරුණ වන්නේ දේශගුණ වෙනස්‌ වීම නො සලකා හැරීම මඟින් අනාගතයේ දී ආර්ථිකයට සිදු විය හැකි හානිය ඊට වඩා විශාල විය හැකි බවයි. එක්‌ ගණන් බැලීමකට අනුව ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සම්බන්ධව කිසිවක්‌ සිදු නො කළ හොත්, ලෝකයේ දළ ජාතික නිෂ්පාදනය මේ ශතවර්ෂය අවසන් වන විට 20%කින් පමණ අඩු වීමේ අවදානමක්‌ පවතී.

ජනතාව අතර ද තවමත් දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ ප්‍රතිවිපාක පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක්‌ නොමැති වීම ද මෙවැති තත්ත්ව ඇති වෙයි. අනාගතයේ දී දේශගුණ වෙනස්‌ වීමේ බරපතළ බලපෑම් දැනෙන විට ජනතාව අතර ඇති අදහස්‌ හා ආකල්ප ද වෙනස්‌ විය හැකි බව දක්‌වා තිබේ. එවිට බලශක්‌ති භාවිතය මෙන් ම උත්පාදනය හා සම්බන්ධව ද යම් යම් වෙනස්‌කම් සිදු කිරීමට හැකියාවක්‌ ලැබෙන බව හා එමඟින් දැනට වඩා වේගවත් වෙනසක්‌ සිදු කළ හැකි බව ඇතැම් විද්‍යාඥයන් ගේ අදහස වෙයි.

විසඳුම කොතැන ද?


එහෙත් එය ප්‍රමාද වැඩි විය හැකි ය. කාබන් ඩයොක්‌සයිඩ් වායුව එහි සම්පූර්ණ උණුසුම් වීමේ බලපෑම ඇති කිරීම ආරම්භ කරන්නේ විමෝචනය වී වසර 10ක දී පමණ ය. එසේ ම එම වායුව වසර දහස්‌ ගණනාවක්‌ වායුගෝලයේ පවතිනු ඇත. අප අනතුරුදායක තත්ත්වයකට පිවිසිය පසුව කාබන් ඩයොක්‌සයිඩ් වායු විමෝචන සීමා කළ පමණින් එහි බලපෑම් නැති නො වේ. අපට කළ හැක්‌කේ එම බලපෑම් තවදුරටත් නරක අතට හැරීම වළක්‌වාගැනීම පමණකි. මේ අනුව දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් තවත් වසර ගණනාවක්‌ - ඇතැම් විට සහස්‍රක ගණනාවක්‌ - තිස්‌සේ පැවතිය හැකි ය. එසේ නො වීමට නම් හරිතාගාර වායු විශාල ප්‍රමාණවලින් වායුගෝලයෙන් ඉවත් කිරීමට හැකි තාක්‌ෂණයක්‌ සොයාගත යුතු වෙයි. නො එසේ නම් සාර්ථක තත්ත්වයේ භූ ඉංජිනේරු ක්‍රම සොයාගත යුතු ය.

මේ අනුව බලශක්‌ති ක්‌ෂේත්‍රයේ වෙනසක්‌ ඇති කිරීම සඳහා වඩා වැදගත් වන්නේ රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස්‌ කිරීම බව මේ පිළිබඳව අදහස්‌ දක්‌වන බොහෝ විද්‍යාඥයන් හා ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස ය. මෙහි දී බොහෝ විට යෝජනා වන කරුණ වන්නේ කාබන් සඳහා මිලක්‌ නියම කිරීම ය. එය බද්දක්‌ හෝ කාබන් වෙළෙඳාම හෝ විය හැකි ය. එමඟින් ෙෆාසිල ඉන්ධනවල මිල ඉහළ යැමත් සමඟ පිරිසිදු බලශක්‌තිය ප්‍රවර්ධනය සඳහා වඩාත් යෝග්‍ය අවස්‌ථාවක්‌ ලැබේ. ඒ සඳහා කාබන් ටොන් එකකට ගෙවනු ලබන මිල අද පවත්නා ඩොලර් 15කට අඩු මට්‌ටමේ සිට ඩොලර් 40ක්‌ පමණ තෙක්‌ ඉහළ යා යුතු බව ආර්ථික විද්‍යාඥයන් ගේ අදහස වෙයි. එවිට ෆොසිල ඉන්ධනවලට වඩා පුනර්ජනනය කළ හැකි ඉන්ධනවලට අවස්‌ථාවක්‌ ලැබෙයි. එහෙත් එවැනි මිලක්‌ කාබන් සඳහා අනුමත වේ ද යන්න මෙහි ඇති සැක සහිත කරුණ ය.

අනෙක්‌ අතට කාබන් ඩයොක්‌සයිඩ් විමෝචනය කරන බලශක්‌තියට අදාළ අංශ අතර විදුලි බලය එක්‌ අංශයක්‌ පමණක්‌ බව ද සැලකිය යුතු ය. හරිතාගාර වායු විමෝචනය කරන තවත් අංශ තිබේ.

මේ කරුණු අනුව හෙළි වන තත්ත්වය කෙතරම් කණගාටුදායක වුව ද ලෝකය මේ ගැටලුව සඳහා විසඳුමක්‌ සෙවිය යුත්තේ ද මේ මාර්ගය තුළින් පමණකි. මේ ගැටලුවෙන් මිදීමට වෙනත් මඟක්‌ නොමැත. ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකේ සීමාවේ නවත්වාගැනීමට නො හැකි වුව හොත් අංශක 4 සීමාවේ හෝ නවත්වාගැනීමට හෝ උත්සාහයක්‌ තිබිය යුතු ය. අප කළ යුතු සියලු දේ කළ යුතු ය, එය කඩිනමින් කළ යුතු ය යන්න මේ විද්‍යාඥයන් පිරිස අවසන් වශයෙන් ලබා දෙන පණිවිඩයයි.

මූලාශ්‍රය: www.technologyreview.com

http://www.vidusara.com/2018/04/04/feature4.html