Writings by Dhanesh Wisumperuma
Wednesday, October 28, 2026
Saturday, October 17, 2026
හදවතට දැනුණු Heart of the Beast
හදවතට දැනුණු සිනමාපටයක් - Heart of the Beast
ධනේෂ් විසුම්පෙරුම
තිරගත වනතුරුම ඒ ගැන අසා නොතිබූ Heart of the Beast නැරඹීමි.
මෙහි කතාව ගෙතී ඇත්තේ ජේම්ස් බෙල්මන්ට් නම් විශ්රාමික හමුදා නිලධාරියෙකු තම හමුදා සුනඛයා වන ඕඩින් සමඟ ඇලස්කාවේ සංචාරය කරද්දී ඇති වූ හදිසි තත්ත්වයක් වටා ය. ඔහුට වැලඳුණු හෘදයාබාධයක් නිසා ගමන් කළ සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන්යානය කඩා වැටේ. ඉන්පසුව, සැතපුම් 58ක අධික දුරක් ගෙවා ඔහු සිය සුනඛයා ද සමඟ ආරක්ෂිත ප්රදේශයක් වෙත පැමිණෙන ගමනේ ලද අත්දැකීම් මත මේ චිත්රපටය මූලිකවම ගලා යයි. ස්වාභාවික බාධකවලට මෙන්ම වනසතුන්ට ද මුහුණ දෙමින් පැමිණෙන ඒ ගමන අපූරු එකකි. මෙහි දී ජේම්ස් මෙන්ම ඕඩි ද කිහිපවරක් මරණයෙන් ගැලවෙති. අතීතයේ ලද හමුදා අත්දැකීම් මෙහි දී ජීවිත ගලවාගන්නට මෙන්ම ගැලවීම පිළිබඳ විශ්වාසයක් ඇති කරගැනීමට ද හේතු වේ.
මෙය ජීවිතය ගලවා ගැනීමේ උත්සාහය ගැන කියැවෙන 'සර්වයිවල් ත්රිලර්' (survival thriller) වර්ගයේ සිනමාපටයකි. එහි එන ස්වාභාවික පරිසර දර්ශන, ස්වභාවය තුළ අප කවුරුන්ද යනුුුුවෙන් මතුවට ගැටලුව හා මිලිටරි සතුන් පිළිබඳ මගේ ඇති උනන්දුව Heart of the Beast මගේ හදවතට නම් දැනෙන්නට ඇති බව කිව හැකි ය.
එහෙත් මේ චිත්රපටයෙන් තවත් ගැඹුරු දේ මතු වේ.
මේ කතාවේ දැක්වෙන තවත් දෙයක් වන්නේ හුදකලා මිනිසෙකුගේ සිය ජීවිතය මෙහෙයවන ආකාරයයි. දීර්ඝකාලීනව ඇමරිකානු හමුදා සේවයේ යෙදී ඇති ජේම්ස්ම එහි දී පවසන පරිදි ඔහුට කිසිවෙකු නොමැත. චිත්රපටයේ සීමිතව දැක්වෙන පුද්ගල අන්තර්ක්රියාවල දී පවා එසේ සබඳකම් ඇතිකරගන්නට කැමැත්තක් ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා ඔහු හුදකලා ජීවිතයකට හුරු වී ඇති බව පෙනේ. ඔහුට ඇත්තේ සිය සුනඛයා පමණි. එසේම ඔහු මියගිය පසු සිය දේහය නොසෙවිය යුතු බව ඔහු පවසන්නේ එය වනාන්තරයට එක්විය යුතු බැවිනි.
මෙයින් මතුවන්නේ යුද්ධයේ ලද අත්දැකීම්වලින් ලත් පන්නරය නිසා දැඩි කරගත් මනසකින් හා හුදකලා වූ මිනිසෙකු බව සිතේ. ඔහු ජීවිතය වින්දත් ඒ තනිවම ය. හුදකලාවේ ය. එහෙත්, ජේම්ස් පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාවය (Post-traumatic stress disorder - PTSD) හෙවත් පසු කම්පන ආතති තත්ත්වයෙන් පීඩා විඳන බව පෙනෙන්නට තිබේ.
තම තුවාලවලින් මරණය ආසන්න බව දැනගත් මොහොතේ ජේම්ස් පණිවුඩයක් ලියයි. ඒ සිය සුනඛයා සොයාගත්තෙකු වෙත යොමු කරන පණිවුඩයකි. මරණය පෙනි පෙනී සිය ජීවිතයට වඩා සිය ආදරණීයයන් වෙනුවෙන් එවැන්නක් කළ හැක්කේ සාමාන්ය කෙනෙකුට නොවේ (එවැනි සත්ය සිදුවීම් අප අසා ඇති අතර, ඉතිහාසයේ ද සඳහන් වේ). මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා බව මෙහි යළිත් පෙන්වයි.
එසේම, සතුන් පිළිබඳව මෙන්ම, සත්ත්ව සුබසාධනය සඳහා වැදගත් පණිවුඩයක් ද මෙම චිත්රපටය තුළ ඇතුළත් වේ. ඒ සතුන් ද පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතා තත්ත්වයෙන් පීඩා විඳින බවයි. එය එසේ විය හැකි බව විද්යාත්මකව පෙන්වා දී තිබේ. එසේම, යුද්ධවලට සහභාගි වූ සුනඛයන් පසුව වෙනත් පවුල්වල සාමාන්ය සුනඛයන්සේ දිවි ගෙවන බව චිත්රපටය අවසානයේ දී සිහිපත් කරනු ලැබේ. ඒ ඔවුන්ගේ අතීත පීඩාවන් අමතක කිරීමට දායක විය හැක්කකි. (කෙසේ වෙතත්, මේ PTSD තත්ත්වයෙන් පීඩා විඳින්නේ හමුදා සේවයේ සිටි සුනඛයන් පමණක් නොවේ. වෙනත් පීඩාවලට ලක්වන සුනඛයන් ද එසේ PTSD තත්ත්වයට ලක්විය හැකි ය).
යුද්ධ සඳහා සම්බන්ධ වන්නා වූ සතුන් පිළිබඳව අවධානයට ලක් වන්නේ අඩු වශයෙනි. අද දැකිය හැක්කේ අඩුවෙන් වුවත් අතීතයේ පැවති යුද්ධ සඳහා සතුන් බොහෝ සේ සහභාගී වී ඇත. පළමු ලෝක යුද්ධය සතුන් විශාල වශයෙන් යොදාගත් අවසන් යුද්ධය සේ සැලකේ. එසේම සක්රිය සටන් සඳහා අශ්වයින් විශාල ලෙස යොදාගත් අවස්ථා ඒ යුද්ධයේ තිබේ. අශ්වයින් හැර කොටලුවන්, ඔටුවන් හා බල්ලන් මෙන්ම පරෙවියන් වැනි පක්ෂීන් විවිධ කාර්යයන් සඳහා පළමු ලෝක යුද්ධයේ දී යොදාගෙන තිබේ.
එසේම, ඔවුන් සමරන අවස්ථා ද, ඔවුන් වෙනුවෙන් ඉදි කළ සිහිවටන ද ඒ යුද්ධයට සම්බන්ධ වූ රටවල දැකිය හැකි ය. ඒ සමහර ස්මාරක ඉදිකර ඇත්තේ දිගු කාලයකට පසුව ය. එසේම ඇමරිකානු හමුදා සහ ස්වදේශිකයන් අතර ඇති වූ ලිට්ල් බිග්හෝන් සටනේ දී (1876) මියගිය අශ්වයින් වෙනුවෙන් ඇති සමරුව තවත් අමතක නොවන ස්මාරකයකි.
වර්තමානය වන විට හමුදාවල සක්රියව සටන් සඳහා යොදාගැනෙන සතුන් අතර මූලික වන්නේ සුනඛයන් ය. ඒ ඔවුන් සතු සුවිශේෂී හැකියාවන් නිසා ය.
ආපසු චිත්රපටය ගැන කතා කළහොත්, සාර්ථක චිත්රපටයක් යනු මිනිසුන්ම නොවන බව Heart of the Beast පෙන්වා දෙයි. ජේම්ස්ට මෙන්ම ඕඩින්ට සිහිනෙන් පෙනෙන යුද ගැටුම් දර්ශන හැරුණු විට මේ කතාවේ රඟපාන්නේ මිනිසුන් තිදෙනෙකු පමණි. චිත්රපටය පුරාම රඟපාන එකම මනුෂ්ය චරිතය වන ජේම්ස්ට රඟපාන බ්රැඩ් පිට් විශිෂ්ට චරිත නිරූපණයක යෙදේ.
මේ චිත්රපටය ඩේවිඩ් අයර්ගේ අධ්යක්ෂණයකි. කැමරන් ඇලෙක්සැන්ඩර්ගේ රචනයකි.
චිත්රපටයේ ට්රේලර සඳහා - Trailer 1 හා Trailer 2
Photo: www.rollingstone.com
Wednesday, October 14, 2026
Tuesday, September 22, 2026
ඉතුරු සල්ලි dynamics අංක 2 (2026 ජුලි සිට)
ධනේෂ් විසුම්පෙරුම
![]() |
| ආරම්භක ගාස්තු වෙනස් වී ඇති ආකාරය |
පොදු නිරීක්ෂණ
(a) අඩු වටිනාකමක් ඇති කාසි භාවිතය නැති කිරීමට කොන්දොස්තරවරුන් උත්සාහ දරන බව - බස් රථවල අඩු මිල කාසි (රුපියල හා 2 වැනි) භාවිතයෙන් වැළකීම කොන්දොස්තරවරුන්ගේ උත්සාහයයි. එහි දී ඔවුන්ට වාසි සිදුවන අවස්ථා මෙන්ම අවාසි සිදුවන අවස්ථා ද තිබේ (පහළ විස්තර කර ඇත).
![]() |
| ආසන්න දින කීපයක දී ලැබුණු පසෙක ලා තිබුණු කාසි |
දැන් අපි ගාස්තු අවස්ථා අනුව හඳුනා ගත හැකි ප්රවණතා බලමු.
(1) රුපියල් 34, 44 ගාස්තු අවස්ථා
මේ ගමන් ගාස්තු දෙකට රු. 40, 50, 100 දුන්විට රුපියලක් නම් නොලැබේ.
රුපියල් පහේ ඒවා කොන්දොස්තර ළඟ තිබේ නම් ලැබේ. ඉහත මිල ගණන් නෝට්ටුවලින් දුන්විට මුලින්ම අසන්නේ "පහක් නැද්ද" කියා ය. ඒ ඇතැම්විට ඔවුන් අතේ පහේ ඒවා තිබියදීත් ය.
රුපියල් 34 ගාස්තුව සඳහා මගීන් වැඩි වශයෙන් 20 කොළ දෙකක් ලබා දේ. එවිට පහක් ඉල්ලීම අඩු ය. පනහක් දුන් විට පහක් ඉල්ලා 20ක් ආපසු දීම ඇත.
විශේෂයෙන් රු. 44 ගාස්තුව සඳහා 100ක් දුන්විට පහක් ඉල්ලීම අනිවාර්ය වාගේ ය. ඒ වැඩියෙන් ඔවුන් අත ඇති රු. 20 කොළවලින්ම ඉතිරි දිය හැකි නිසා ය. රු. 10 කාසි දැන් දැන් අඩු ය. ඒවා කොන්දොස්තරවරුන්ට ලැබෙනවාත් අඩු ය.
එසේම යන තැන කියා කෙනෙකු ගාන ඇහුවොත් කියන්නේ පහේ ඒවායිනි. ඒ 35, 45 ආදි වශයෙන් කියා ය. ඒ වැටයීමේ පාඩම හරියට කරගත් නිසා නොවේය...
මාරු කාසි භීතියක්?
ඒ වගේම මේ ගාස්තු දෙකට මාරු රුපියල් 4 දුන්නොත් ඔවුන් ඒක ගන්නේ ටිකක් මූණ අවුල් කරගෙන ය, හරියට අකමැත්තෙන් මෙනි. එසේ ඔවුන්ට මගීන්ගෙන් එසේ ලැබුණු රුපියලේ හා දෙකේ කාසිවලින් ඉක්මනට මිදෙන්නට උත්සාහ කරන්නේ ඒවා ඉක්මනින් ඉතිරි සල්ලි ලෙස මගීන්ටම ලබා දීමෙනි. මේ නිසා රුපියල් 34 හා 44ට රුපියල් 6ක්ම ලද අවස්ථා ද තිබේ!
(2) රුපියල් 56 ගාස්තු අවස්ථාව
මේ ගාස්තු අවස්ථාව කොන්දොස්තර රුපියලක් පාඩු කරගන්නා අවස්ථාවකි. මෙහි දී බොහෝ විට අපෙන් ගන්නේ 55කි. සාමාන්යයෙන් ඒ ටිකට් එකට පහේ කාසියක් සමඟ දුන් විට කිසි කතාවක් නැතිවම ගනිති. "දැන් ගාන 56යි" කියා කියනවා මට ඇසී ඇත්තේ එකම එක වරකි. ඒ මට නොවේය.
අතේ රුපියල ඇති අවස්ථාවල මම රුපියල් 56 හරියටම දෙන අතර, කාසි දෙකක් මොකද කියා බලා ඒවා ගනිති.
(3) රුපියල් 69 ගාස්තු අවස්ථාව
මේ ගාස්තුව නම් 70ම ය. කුමන මාර්ගයේ ගියත් මම හැමදාම දෙන ගමන් ගාස්තුවක් වන අතර, කිසිදු දවසක රුපියලක් නම් ඉතිරි ලැබී නැත. 100 කොළයක් දුන්නොත් 20ක් හෝ 10ක් නැතිද අසති. පනහට වඩා විස්ස අතේ ඇති නිසා 10ක්ම ඉල්ලති. මම නම් 20 කොළ stand by තියාගෙන ඉන්නෙමි.
(4) රුපියල් 82 ගාස්තු අවස්ථාව
මෙම ගාස්තුවට පොදු දේ වන්නේ මාරු කාසි නොගැනීමය. මේ මාස දෙකකට වැඩි කාලය තුළ 82 ටිකට්ටුවට මම රු. 2 දුන් විට ඒ රු. 2 එපා කියා විස්සක් මට දුන් අවස්ථා බොහෝ ය (කාසිය ගෙන රු 20 දුන් අවස්ථා ගණන හා සමානය). මේ කාලය තුළ 174 බස්වල ගිය රු. 82 ගමන්වල දී දුන්නත් ගත්තේම නැත. 176 නම් ගත් අවස්ථා අඩු ය. 138 නම් ගත් අවස්ථා හා නොගත් අවස්ථා සමානය. උදේට කෙසේ වෙතත්, හවසට නම් රු. 2 කාසිය ගන්නේ අඩුවෙනි.
"ගණන් වැඩි උනාට පස්සේ 82 ටිකට් එකට රු. 2ක් ලැබුනාමයි" කියාය.
ඔහු කී පරිදි හැමෝම දෙන්නේ රුපියල් පහය, නැතිනම් දෙන්නේම නැත.
(5) රුපියල් 95 ගාස්තු අවස්ථාව
මෙයත් ඉතිරි රුපියල් 5 ලැබීමට හෝ නොලැබීමට සමාන අවස්ථාව ඇති ගාස්තුවක් සේ පෙනේ මෑත දවසක 95 ටිකට්ටුවට රු. 100 දුන්නාම මගෙන් 15ක් ඉල්ලා සිට මා ළඟ නැති තැන රුපියල් හතරක් දුන්නේ ලංගම බසයක ය.
Tuesday, August 18, 2026
ශ්රී ලංකාවේ සුඛෝපභෝගී නාගරික බස් සේවාවල ඉතිහාසයක්
ධනේෂ් විසුම්පෙරුම
(1) City Liner Coach Service (2009)
(2) Super Luxury Low Floor City Bus Service (2012)
(3) City Bus Service (2012)
(4) City Bus (2021)
අතිරේක සටහන - අධිවේගී මාර්ගවල සුඛෝපභෝගී බස් රථ සේවා
Wednesday, June 10, 2026
Saturday, May 30, 2026
දන්සැල් විස්තරය
ධනේෂ් විසුම්පෙරුම
(අවසන් යාවත්කාලීන කිරීම: 2026 මැයි 30)
මෙම ලිපිය පසුගිය වසරවල දන්සැල් පිළිබඳව සිදුකරන ලද ෆේස්බුක් සටහන් ද යොදාගනිමින් සකස් කරන විස්තරාත්මක වාර්තාවකි. දන්සැල් පිළිබඳ 2023 මුල්ම ෆේස්බුක් පෝස්ටුව මෙතැනින් ද, 2024 දී පළ කළ දෙවන පෝස්ටුව මෙතැනින් ද බලාගත හැකි ය.
දන්සැල් දීම
දන් දීම යනු මෙරට පවත්නා බෞද්ධාගමික සංස්කෘතියේ ඉතා වැදගත් අංගයකි. දානය යනු දස කුසල් මෙන්ම දස පාරමිතාවලට ද අයත් වන බැවින් දන්සැල් දීමෙන් බොහෝ පින් අත්වන කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.දන්සැල් වර්ගීකරණය
දන්සැල් වර්ගීකරණය කිරීමේ දී ක්රම කිහිපයක් යොදාගත හැකිය. ප්රධාන ක්රම දෙකක් වැදගත් බව පෙනේ.
- දායකයා අනුව - දන්සැල් දෙන්නේ කවුරුන් විසින් ද යන්න හා එහි දී භාවිත වන ක්රමය අනුව මෙය වර්ග කළ හැකිය.
- ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව - මෙය සාම්ප්රදායික දන්සැල් සහ නව්ය/ නූතන/ දන්සැල් ලෙස යළිත් වර්ග කළ හැකි ය.
(1) දායකයා අනුව
දන්සැල දෙන්නේ කවුරුන් විසින් ද යන්න අනුව වර්ග කිහිපයක් හඳුනාගත හැකි ය. එසේම, ඇතැම් විට එහි දී අවශ්ය බරපැන ලබාගැනීම සඳහා භාවිත වන ක්රම ද වෙනස් වේ.
i). සම්මාදම් දන්සල්:- මේවා තරුණ පිරිස් හා ගම් මට්ටමේ සමිති ආදිය මගින් ගෙන් ගෙට යමින් මුදල් හා ආහාර ද්රව්ය එකතු කර දෙනු ලබන දන්සැල් ය. මේවා බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ ය. පසුගිය කාලයේ දී මෙසේ සම්මාදම් කිරීමට පැමිණීම මෙන්ම, එවැනි දන්සැල් ද අඩු වී තිබේ.
ii). සමිති/ කණ්ඩායම් දන්සල්:- මේවා සාමාන්යයෙන් ඒ ප්රදේශයේ වෙළඳ සමිති, ත්රිරෝද රථ සමිති ආදිය මගින් (සමහරවිට දන්සල සඳහාම ඇතිකරගත් සමිතියක් විය හැකිය) මෙන්ම දන්සැල සඳහා සංවිධානය වන කණ්ඩායම් විසින් ද පවත්වනු ලැබේ. එහි දී ඔවුන් අතර සම්මාදමෙන් හා අවට ප්රදේශයේ ව්යාපාරිකයන් හා ප්රභූන්ගේ දායකත්වයෙන් බරපැන දරාගැනේ. මේවා ද බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ හා වෙසක් පෝය නම් පසු දා ද වේ.
iii). ආයතනික දන්සල්:- විවිධ ආයතන මගින් ලබා දෙන මේ දැන්සැල් පොහෝ දින මෙන්ම, පෝය දිනට ආසන්න ඔවුන්ට පහසු වැඩකරන දවසක දී වුව පැවැත්වෙනු දැකිය හැකි ය. ඒ බොහෝ විට අදාළ ස්ථානය අභියස දී ය. මේ දන්සැල් පෞද්ගලික ආයතන මෙන්ම රජයේ ආයතනවල ද සිදුකරන බව පෙනේ. මනාව සංවිධානගතව ලබා දෙන බත් වැනි දන්සැන් මෙන්ම, කෙටි කෑම ලබා දෙන දන්සැල් ද සුලබ ය. වඩාත් දැකිය හැක්කේ අයිස්ක්රීම් හා පාන වර්ග ලබා දෙන දන්සැල් ය.
iv). තනි පුද්ගල දන්සල්:- මේවා ව්යාපාරිකයෙකු වැනි තනි පුද්ගලයෙකු විසින් තම ධනය යොදා සිදුකරන දන්සැල් ය. එසේ දෙන ඇතැම් දන්සල් පිසූ ආහාර දන්සල් විය හැකි අතර, තවත් අවස්ථාවල වියළි ආහාර ද්රව්ය ලබාදීම දැක තිබේ. ඇතැම් අවස්ථාවල ඇඳුම්, ඉන්ධන ආදිය ද ලබා දී තිබේ. එවැනි අවස්ථා පහත සඳහන් වේ.
(2) දන්සැලේ දී ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව
2.1 සාම්ප්රදායික දන්සැල්
මෙවැනි දන්සැල්වල දී ලබා දෙන භාණ්ඩය හා සේවාව කලක් තිස්සේ ලබා දී ඇති භාණ්ඩයක් බැවින් සාම්ප්රදායික ලෙස මෙහි දී හඳුන්වන ලදි. මෙවැනි දන්සැල්වල දී ලබා දෙනු ලබන්නේ ඒ දිනයේ දී අත්යාවශ්ය ද්රව්යයක් හෝ සේවාවකි.
i). ආහාර පාන දන්සැල්:- වැඩි වශයෙන්ම දැකිය හැකි හා අත්යාවශ්යම දන්සැල් වර්ගය වන ආහාරපාන දන්සැල් විවිධ ය.
- පිසූ ආහාර දන්සල් (සාමාන්ය):- බොහෝ විට සමිති හා කණ්ඩායම් ලෙස එකතු වී දෙනු ලැබේ. ඒ කණ්ඩායමේ අය ඔවුන් විසින්ම කෑම පිසිනු ලබන අවස්ථා මෙන්ම, දැන් දැන් කෝකිවරුන්ගේ සේවය ලබාගැනීම ද දැකිය හැකි ය. ගම්වල ද සාමූහිකව පිස දෙන දන්සැල් දැක තිබේ. මේවායේ දී බොහෝ විට සංග්රහ කරනු ලබන්නේ සාමාන්ය බත් වේලක් වන අතර දිවා කාලයේ වඩාත් සුලබ ය. ඇතැම් විට කහබත්, දුන්තෙල් බත් වැනි උත්සවාශ්රිත බත් ද දැකිය හැකි ය. එසේම, පෙරවරුවේ කිරිබත් ද දැකිය හැකි ය. ඇතැම් විට වෙනත් ආහාරයක් ද විය හැකිය. පාන් සමඟ සීනි සම්බල්, මංඤොක්කා, කඩල ආදිය එවැනි ජනප්රිය ආහාර වර්ග වේ. මේවා පෙරවරුවේ හෝ සවස හා රාත්රි කාලයේ පැවැත්වීම ද සුලබ ය. මේ දන්සැල් බොහෝ විට සරසන ලද සාමාන්ය මඩුවක් විය හැකිය. පෝලිම් දැකිය හැකිය. එසේම 2022 වර්ෂයේ සිට එක් ව්යාපාරික ආතයනයකින් සංවිධානය කර තිබු රාමෙන් (කොරියානු ආහාරයක්) දන්සැලක තුත්වැන්න පිළිබඳව හිතවතෙකු දැනුවත් කර තිබිණි (මෙතැනින් බලන්න, ප්රදේශය සඳහන් නොවේ. එසේම, 2026 වර්ෂයේ ඇතුල්කෝට්ටේ ප්රදේශයේ බෞද්ධාගමික මධ්යස්ථානයක් මුල්කරගෙන පැවැත්වෙන, දවසේ එක් එක් කාලසීමාවක දී එකක් බැගින් ලෙස පෙ.ව. 11.30 සිට රාත්රී 9 දක්වා ආහාර වර්ග 7ක් ලබා දෙන දන්සැලක් පිළිබඳව ද දුටුමි.
- පිසූ ආහාර දන්සල් (නවීන):- ප්රයිඩ් රයිස් වැනි නවීන හා නාගරික පන්නයේ ආහාර මේ දන්සල්වල සංග්රහ කරනු ලැබේ. මේවා බොහෝ විට සංවිධානය කරන්නේ ව්යාපාරික ආයතනවලින් වුව ද, දැන් දැන් කණ්ඩායම් හා සංවිධාන මගින් සංවිධානය කරන ඒවා ද ඉහළ යමින් තිබේ. ආහාර ගැනීමට සකස් කර ඇති ස්ථානය මෙන්ම ආසන හා ඇතැම්විට මේස ද නවීන ලෙස සකස් කරනු ලැබේ. මේවායේ ආහාර කේටරින් සේවාවලින් ඇණවුම් කරන ලද ඒවාය. මේවාට බොහෝ පිරිස් ඇඳී එන බැවින් පෝලිමක් දැකිය හැකි අතර, ඒ ආහාර ඉක්මනින් අවසන් විය හැකි ය.
- පාන දන්සල්:- මේවායේ සිසිල් බීම, සව් කැඳ, කෝපි, බෙලිමල් ආදිය වඩා ප්රචලිතය. සමිති/ කණ්ඩායම් මෙන්ම දන්සැල සඳහාම එකතු වන කණ්ඩායම් (ගම්වල තරුණ කැලක්, හන්දිවල තුන්රෝද රථ හිමියන් ආදි) හා සම්මාදම් දන්සල් අතර මේවා ඉතා සුලබ ය. පෝය දා සවසට හා වෙසක් පෝයට පසු දා ද සුලභ ය.
- අතුරුපස දන්සල්:- මේවා අතර වඩාත් ප්රචලිත වන්නේ අයිස්ක්රීම් දන්සැල් ය. මේවා ද ආයතනික දන්සැල් අතර මෙන්ම සමිති/කණ්ඩායම් දන්සල් අතර සුලබ ය. කොළඹ වැනි නගරවල මේවා වැඩි වශයෙන් පැවැත්වෙන්නේ පෝයට පෙර දින දී ය. ඒ, එදින වැඩ කරන දිනයක් වන නිසා වන නිසා ය.
- වියළි ආහාර දන්සල්:- මේවා බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ තනි පුද්ගලයන් හා ව්යායාපාරිකයන් විසිනි. සහල්, පොල්, කල්තබාගත හැකි ආහාර ද්රව්ය ඇතුළත් ආහාර පාර්සලයක් සාමාන්යයෙන් ලබා දේ. ඒවා ලැබිය යුතු පිරිස් වෙනුවෙන් සංවිධානය කරන නමුත් යමක් කමක් ඇති පිරිස් ද මේ දන්සල්වල පෝලිමේ සිටිනු දැකිය හැකි ය.
ii). මල් දන්සැල්:- මල් දන්සැල් ඇතැම් විහාර ආශ්රිතව සංවිධානය කරනු ලැබේ. මෙම දන්සැල් සඳහා සැලකිය යුතු අතීතයක් ඇති අතර, අදින් වසර සියයකට පමණ ඉහත දී ඇතැම් නගර හා විහාරවල ක්රියාත්මක වූ පුෂ්පදාන සමිතිවල එක් අරමුණක් වුයේ ඒ විහාරය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට මල් ලබා දීම ය. වෙනත් පූජා භාණ්ඩ ද ලබා දුන් අවස්ථා තිබේ. අද වන විට ඇතැම් මල් ව්යාපාරිකයන් ද මල් දන්සැල් ලබා දෙන බවක් පෙනේ.
iii). ප්රවාහන සේවා දන්සැල්:- විහාරස්ථාන වන්දනාවට යෑම මෙන්ම නගරයේ වෙසක් සිරි නැරඹීමට යෑම සඳහා ප්රවාහන සේවා සැපයීම ද කලක පටන් සිදු කරනු ලැබේ. මෙය බොහෝ විට අදාළ ප්රවාහන සේවා හිමියන් විසින් සිදුකරනු ලැබේ. මෙය බස්රථයක් හෝ වෙනත් මගීන්ට යා හැකි රථයක් වුව ද විය හැකි ය.
iv). මුදල් දන්සැල්:- අතීතයේ මෙන්ම මෑත කාලයේ දී ද ඉඳහිට දැකිය හැකි දන්සැල් වර්ගයකි.
2.2 නව්ය/ නුතන දන්සැල්
මෙහි දී ලබා දෙන භාණ්ඩය හා සේවාව නූතන ජීවන රටාවට ගැළපෙන ඒවා වන අතර. මෑත කාලයේ සිට දන්සැල්වල ලබා දෙන දේ වේ. ඒවා බොහෝ විට ඒ අවස්ථාවට අත්යාවශ්ය ද්රව්යයක් නොවිය හැකි ය. මේ ඇතැම් දන්සැල් ශ්රමය හෝ අදාළ පුද්ගලයා හෝ පුද්ගලයින්ගේ දැනුම බෙදා දෙන ඒවාය. ඇතැම් දන්සැල් තාක්ෂණික ක්රම සමඟ බද්ධ වී තිබේ. අප නිරීක්ෂණට කළ පහත දන්සැල් අකාරාදි පිළිවෙලට සකස් කර ඇත.
i). ඉන්ධන දන්සැල්:- භූමිතෙල්, පෙට්රල් හා ඩීසල් දන්සැල් දැන් සැලකිය යුතු තරම් සුලබව දැකිය හැකි වේ. මේවා වැඩි වශයෙන් සංවිධානය කර තිබෙනු දැක ඇත්තේ ඉන්ධන පිරවුම්හල් මගිනි. කෙසේ වෙතත්, ලබාදෙන තෙල් ප්රමාණයට සීමාවක් විය.ii). කෑෂ්බැක් දන්සැල්:- ඇතැම් බැංකුවලින් ක්රියාත්මක වී තිබේ. ඒ අනුව අධිවේගී හෙවත් එක්ස්ප්රස් වේ ගාස්තුව අදාළ බැංකුවේ මොබයිල් ඇප් එකෙන් ගෙවන්නේ නම්, ඒ ගෙවු මුදලින් කොටසක් ආපසු ලැබෙන කෑෂ්බැක් දන්සැලක් 2024 දී නිරීක්ෂණය කළෙමි. එය දින කිහිපයක කාලයක් සඳහා දක්වා වලංතු වී තිබිණි. මෙසේ අධිවේගී මාර්ග ගාස්තුවලින් කොටසක් ආපසු ගෙවීම සිංහල අලුත් අවුරුද්ද, අලුත් අවුරුද්ද වැනි උත්සව කාලවල දී ද ක්රියාත්මක කිරීම දැක තිබේ.
iii). ටැටූ දන්සැල්:- නිකවැරටියේ දී 2023 දී පැවති ටැටූ දන්සැලක් පිළිබඳ සටහනක් එක් හිතවතියක් කමෙන්ට් කර තිබිණි. මෙසේ ශරීරයේ ටැටූ ගැසීම වර්තමාන තරුණ පරපුර අතර දැකිය හැකි ය.
iv). ටෙම්පර්ඩ් ග්ලාස් දන්සැල්:- මෙවැන්නක් මා පළමුවරට දුටුවේ 2026 වර්ෂයේ දී ය. එය සංවිධානය කර තිබුණේ වෙසක් දින සවස් කාලයේ පැලවත්ත ප්රදේශයේය.
v). ඩිජිටල් වෙසක් දන්සැල:- ඩේටා, කෝල් හා එස්එම්එස් ලබාදෙන දන්සැලකි. මෙරට ජංගම දුරකථන සේවා ලබාදෙන එක් ආයතනයක් මෙවැනි දන්සැලක් සංවිධානය කර ඇත්තේ 12 වැනි වරට බව ඔවුන්ගේ පාරිභෝගිකයෙකු වී ගත වන පළමු වර්ෂය වන 2026 දී දැනගතිමි. එය දින හතක් පමණ කාලයක් තිස්සේ සක්රිය (activate) කර ගත හැකි ය. අදාළ දත්ත, ඇමතුම් කාලය හා කෙටිපණිවුඩ දින හතක් සඳහා වලංගු වේ.
vi). බතික් දැනුම දන්සැල:- මාර්ගගතව පැවැත්වුණ බතික් දැනුම දන්සැල 2024 මැයි 24 දා පැවැත්වීමට නියමිතව තිබිණි. මෙය අදාළ කලාව පිළිබඳ දැනුම ලබා දීම සඳහා සංවිධානය කරන ලද්දකි.
vii). බැනර් දන්සැල්:- බැනර් සකස් කර අලෙවි කරන ආයතනයක් විසින් සංවිධානය කළ මෙවැන්නක් 2024 පොසොන් සමයේ කිරිබත් කුඹුරේ පැවති බව හිතවතෙකු අප එවා තිබිණි. එහි දී ගමේ දන්සැල් සඳහා අඩි 3 x 2 ප්රමාණයේ බැනරයක් නොමිලේ සකස් කර දෙන ලදි (බලන්න මෙතැනින්).
viii). වයරින් කර දීම:- හෝමාගම විදුලිබල මණ්ඩල සේවක පිරිස විසින් දිළිඳු නිවාස නොමිලේ වයරින් කර දීම වසර ගණනාවකට පෙර දී වසර කීපයක්ම සිදුකර ඇති බව අප හිතවත්ත පියසිරි මාතරගේ මහතා සටහන් කර තිබිණි (මෙතැනින්).
ix). සැලෝන් දන්සැල් - මෙය සැලෝන් මගින් ලබා දෙන සේවාව ලබා දෙන දන්සැලකි. මේවා විවිධ සැලෝන් මගින් දැන් කලක පටන් සිදුකරනු ලැබෙයි. මෙය කාන්තා හා පිරිමි සැලෝන් වර්ග දෙකෙහි ම දැකගත හැකි ය.








