Saturday, October 17, 2026

හදවතට දැනුණු Heart of the Beast

හදවතට දැනුණු සිනමාපටයක් - Heart of the Beast

ධනේෂ් විසුම්පෙරුම

2026 ඔක්තෝබර් 14


තිරගත වනතුරුම ඒ ගැන අසා නොතිබූ Heart of the Beast නැරඹීමි.  

මෙහි කතාව ගෙතී ඇත්තේ ජේම්ස් බෙල්මන්ට් නම් විශ්‍රාමික හමුදා නිලධාරියෙකු තම හමුදා සුනඛයා වන ඕඩින් සමඟ ඇලස්කාවේ සංචාරය කරද්දී ඇති වූ හදිසි තත්ත්වයක් වටා ය. ඔහුට වැලඳුණු හෘදයාබාධයක් නිසා ගමන් කළ සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන්යානය කඩා වැටේ. ඉන්පසුව, සැතපුම් 58ක අධික දුරක් ගෙවා ඔහු සිය සුනඛයා ද සමඟ ආරක්ෂිත ප්‍රදේශයක් වෙත පැමිණෙන ගමනේ ලද අත්දැකීම් මත මේ චිත්‍රපටය මූලිකවම ගලා යයි. ස්වාභාවික බාධකවලට මෙන්ම වනසතුන්ට ද මුහුණ දෙමින් පැමිණෙන ඒ ගමන අපූරු එකකි. මෙහි දී ජේම්ස් මෙන්ම ඕඩි ද කිහිපවරක් මරණයෙන් ගැලවෙති. අතීතයේ ලද හමුදා අත්දැකීම් මෙහි දී ජීවිත ගලවාගන්නට මෙන්ම ගැලවීම පිළිබඳ විශ්වාසයක් ඇති කරගැනීමට ද හේතු වේ.

මෙය ජීවිතය ගලවා ගැනීමේ උත්සාහය ගැන කියැවෙන 'සර්වයිවල් ත්‍රිලර්' (survival thriller) වර්ගයේ සිනමාපටයකි. එහි එන ස්වාභාවික පරිසර දර්ශන, ස්වභාවය තුළ අප කවුරුන්ද යනුුුුවෙන් මතුවට ගැටලුව හා මිලිටරි සතුන් පිළිබඳ මගේ ඇති උනන්දුව Heart of the Beast මගේ හදවතට නම් දැනෙන්නට ඇති බව කිව හැකි ය.

එහෙත් මේ චිත්‍රපටයෙන් තවත් ගැඹුරු දේ මතු වේ.

මේ කතාවේ දැක්වෙන තවත් දෙයක් වන්නේ හුදකලා මිනිසෙකුගේ සිය ජීවිතය මෙහෙයවන ආකාරයයි. දීර්ඝකාලීනව ඇමරිකානු හමුදා සේවය‌ේ යෙදී ඇති ජේම්ස්ම එහි දී පවසන පරිදි ඔහුට කිසිවෙකු නොමැත.  චිත්‍රපටයේ සීමිතව දැක්වෙන පුද්ගල අන්තර්ක්‍රියාවල දී පවා එසේ සබඳකම් ඇතිකරගන්නට කැමැත්තක් ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා ඔහු හුදකලා ජීවිතයකට හුරු වී ඇති බව පෙනේ. ඔහුට ඇත්තේ සිය සුනඛයා පමණි. එසේම ඔහු මියගිය පසු සිය දේහය නොසෙවිය යුතු බව ඔහු පවසන්නේ එය වනාන්තරයට එක්විය යුතු බැවිනි.  

මෙයින් මතුවන්නේ යුද්ධයේ ලද අත්දැකීම්වලින් ලත් පන්නරය නිසා දැඩි කරගත් මනසකින් හා හුදකලා වූ මිනිසෙකු බව සිතේ. ඔහු ජීවිතය වින්දත් ඒ තනිවම ය. හුදකලාවේ ය. එහෙත්, ජේම්ස් පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (Post-traumatic stress disorder - PTSD) හෙවත් පසු කම්පන ආතති තත්ත්වයෙන් පීඩා විඳන බව පෙනෙන්නට තිබේ. 

තම තුවාලවලින් මරණය ආසන්න බව දැනගත් මොහොතේ ජේම්ස් පණිවුඩයක් ලියයි. ඒ සිය සුනඛයා සොයාගත්තෙකු වෙත යොමු කරන පණිවුඩයකි. මරණය පෙනි පෙනී සිය ජීවිතයට වඩා සිය ආදරණීයයන් වෙනුවෙන් එවැන්නක් කළ හැක්කේ සාමාන්‍ය කෙනෙකුට නොවේ (එවැනි සත්‍ය සිදුවීම් අප අසා ඇති අතර, ඉතිහාසයේ ද සඳහන් වේ). මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා බව මෙහි යළිත් පෙන්වයි.

එසේම, සතුන් පිළිබඳව මෙන්ම, සත්ත්ව සුබසාධනය සඳහා වැදගත් පණිවුඩයක් ද මෙම චිත්‍රපටය තුළ ඇතුළත් වේ. ඒ සතුන් ද පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතා තත්ත්වයෙන් පීඩා විඳින බවයි. එය එසේ විය හැකි බව විද්‍යාත්මකව පෙන්වා දී තිබේ. එසේම, යුද්ධවලට සහභාගි වූ සුනඛයන් පසුව වෙනත් පවුල්වල සාමාන්‍ය සුනඛයන්සේ දිවි ගෙවන බව චිත්‍රපටය අවසානයේ දී සිහිපත් කරනු ලැබේ. ඒ ඔවුන්ගේ අතීත පීඩාවන් අමතක කිරීමට දායක විය හැක්කකි. (කෙසේ වෙතත්, මේ PTSD තත්ත්වයෙන් පීඩා විඳින්නේ හමුදා සේවයේ සිටි සුනඛයන් පමණක් නොවේ. වෙනත් පීඩාවලට ලක්වන සුනඛයන් ද එසේ PTSD තත්ත්වයට ලක්විය හැකි ය).

යුද්ධ සඳහා සම්බන්ධ වන්නා වූ සතුන් පිළිබඳව අවධානයට ලක් වන්නේ අඩු වශයෙනි. අද දැකිය හැක්කේ අඩුවෙන් වුවත් අතීතයේ පැවති යුද්ධ සඳහා සතුන් බොහෝ සේ සහභාගී වී ඇත. පළමු ලෝක යුද්ධය සතුන් විශාල වශයෙන් යොදාගත් අවසන් යුද්ධය සේ සැලකේ. එසේම සක්‍රිය සටන් සඳහා අශ්වයින් විශාල ලෙස යොදාගත් අවස්ථා ඒ යුද්ධයේ තිබේ. අශ්වයින් හැර කොටලුවන්, ඔටුවන් හා බල්ලන් මෙන්ම පරෙවියන් වැනි පක්ෂීන් විවිධ කාර්යයන් සඳහා පළමු ලෝක යුද්ධයේ දී යොදාගෙන තිබේ.  

එසේම, ඔවුන් සමරන අවස්ථා ද, ඔවුන් වෙනුවෙන් ඉදි කළ සිහිවටන ද ඒ යුද්ධයට සම්බන්ධ වූ රටවල දැකිය හැකි ය. ඒ සමහර ස්මාරක ඉදිකර ඇත්තේ දිගු කාලයකට පසුව ය. එසේම ඇමරිකානු හමුදා සහ ස්වදේශිකයන් අතර ඇති වූ ලිට්ල් බිග්හෝන් සටනේ දී (1876) මියගිය අශ්වයින් වෙනුවෙන් ඇති සමරුව තවත් අමතක නොවන ස්මාරකයකි. 

වර්තමානය වන විට හමුදාවල සක්‍රියව සටන් සඳහා යොදාගැනෙන සතුන් අතර මූලික වන්නේ සුනඛයන් ය. ඒ ඔවුන් සතු සුවිශේෂී හැකියාවන් නිසා ය. 

ආපසු චිත්‍රපටය ගැන කතා කළහොත්, සාර්ථක චිත්‍රපටයක් යනු මිනිසුන්ම නොවන බව Heart of the Beast පෙන්වා දෙයි. ජේම්ස්ට මෙන්ම ඕඩින්ට සිහිනෙන් පෙනෙන යුද ගැටුම් දර්ශන හැරුණු විට මේ කතාවේ රඟපාන්නේ මිනිසුන් තිදෙනෙකු පමණි. චිත්‍රපටය පුරාම රඟපාන එකම මනුෂ්‍ය චරිතය වන ජේම්ස්ට රඟපාන බ්‍රැඩ් පිට් විශිෂ්ට චරිත නිරූපණයක යෙදේ.

මේ චිත්‍රපටය ඩේවිඩ් අයර්ගේ අධ්‍යක්ෂණයකි. කැමරන් ඇලෙක්සැන්ඩර්ගේ රචනයකි.

චිත්‍රපටයේ ට්‍රේලර සඳහා - Trailer 1 හා Trailer 2

Photo: www.rollingstone.com

Tuesday, September 22, 2026

ඉතුරු සල්ලි dynamics අංක 2 (2026 ජුලි සිට)

ධනේෂ් විසුම්පෙරුම


2026 ජුලි ගාස්තු වෙනස් වීම - 2026 ජුලි 06 සිට ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන බස් රථවල සාමාන්‍ය බස් සේවාවල ආරම්භක ගාස්තු අවස්ථා දහය වූයේ රුපියල් 34, 44, 56, 69, 82, 95, 108, 115, 123 හා 131 ලෙස ය. මේ නිරීක්ෂණ ඒ අනුව ය.

අවසන් යාවත්කාලීන කිරීම - 2026 සැප්තැම්බර් 21


ආරම්භක ගාස්තු වෙනස් වී ඇති ආකාරය


පොදු නිරීක්ෂණ


මේ ගාස්තු සංශෝධනයත් සමඟ දැකිය හැකි මූලික කරුණු දෙකක් මෙසේ ය.

(a) අඩු වටිනාකමක් ඇති කාසි භාවිතය නැති කිරීමට කොන්දොස්තරවරුන් උත්සාහ දරන බව -  බස් රථවල අඩු මිල කාසි (රුපියල හා 2 වැනි) භාවිතයෙන් වැළකීම කොන්දොස්තරවරුන්ගේ උත්සාහයයි. එහි දී ඔවුන්ට වාසි සිදුවන අවස්ථා මෙන්ම අවාසි සිදුවන අවස්ථා ද තිබේ (පහළ විස්තර කර ඇත).

(b) කාසි භාවිතයට ගෙන ඒමට මගීන් දරන උත්සාහය - මගීන් හැකිතාක් මාරු සල්ලි ගෙන ඒමට උත්සාහ දරන බව පෙනේ. ඒ වැඩි වශයෙන් රුපියල් 5 හා 2 කාසි ය. එසේම කළු ගැහුණු, ගෙවල්වල නොසලකා පසෙක ලා තිබුණු කාසි යම් ප්‍රමාණයක් ද බස් රථවලට පැමිණ ඇති ආකාරයක් දැකිය හැකි ය.

ආසන්න දින කීපයක දී ලැබුණු පසෙක ලා තිබුණු කාසි


මේ අනුව, මේ ගාස්තු සංශෝධනය සමහර කාසි භාවිතයෙන් ඉවත් කිරීමට කොන්දොරස්තරවරුන් ද, ඒ කාසි භාවිතයට ගෙන ඒමට මගීනුත් අතර ඇති අඛණ්ඩ තරගයක් බව පෙනේ.

දැන් අපි ගාස්තු අවස්ථා අනුව හඳුනා ගත හැකි ප්‍රවණතා බලමු.


(1) රුපියල් 34, 44 ගාස්තු අවස්ථා


මේ ගමන් ගාස්තු දෙකට රු. 40, 50, 100 දුන්විට රුපියලක් නම් නොලැබේ.

රුපියල් පහේ ඒවා කොන්දොස්තර ළඟ තිබේ නම් ලැබේ. ඉහත මිල ගණන් නෝට්ටුවලින් දුන්විට මුලින්ම අසන්නේ "පහක් නැද්ද" කියා ය. ඒ ඇතැම්විට ඔවුන් අතේ පහේ ඒවා තිබියදීත් ය. 

එසේම උදේට පහ ලැබෙන බස්වල හවසට රුපියල් 44ට පහක් නොලැබීමේ අවස්ථාවක් ද ඇත (විශේෂයෙන් 138 බස්වල). පෞද්ගලික බස්වල ටිකට්වල ද උදේට හා සවසට මේ වෙනස ඇත.

රුපියල් 34 ගාස්තුව සඳහා මගීන් වැඩි වශයෙන් 20 කොළ දෙකක් ලබා දේ. එවිට පහක් ඉල්ලීම අඩු ය. පනහක් දුන් විට පහක් ඉල්ලා 20ක් ආපසු දීම ඇත.

විශේෂයෙන් රු. 44 ගාස්තුව සඳහා 100ක් දුන්විට පහක් ඉල්ලීම අනිවාර්ය වාගේ ය. ඒ වැඩියෙන් ඔවුන් අත ඇති රු. 20 කොළවලින්ම ඉතිරි දිය හැකි නිසා ය. රු. 10 කාසි දැන් දැන් අඩු ය. ඒවා කොන්දොස්තරවරුන්ට ලැබෙනවාත් අඩු ය.

රවුම් කර ගණන් කීම

එසේම යන තැන කියා කෙනෙකු ගාන ඇහුවොත් කියන්නේ පහේ ඒවායිනි. ඒ 35, 45 ආදි වශයෙන් කියා ය. ඒ වැටයීමේ පාඩම හරියට කරගත් නිසා නොවේය... 

එසේම 34 ටිකට් දෙකකට ගාන 68 නොව, 70කි! 44 දෙකක් යනු රු 88ක් නොව 90කි. ඇතැම් විට 100ක වීමට ද හැකිය.

මාරු කාසි භීතියක්? 

ඒ වගේම මේ ගාස්තු දෙකට මාරු රුපියල් 4 දුන්නොත් ඔවුන් ඒක ගන්නේ ටිකක් මූණ අවුල් කරගෙන ය, හරියට අකමැත්තෙන් මෙනි. එසේ ඔවුන්ට මගීන්ගෙන් එසේ ලැබුණු රුපියලේ හා දෙකේ කාසිවලින් ඉක්මනට මිදෙන්නට උත්සාහ කරන්නේ ඒවා ඉක්මනින් ඉතිරි සල්ලි ලෙස මගීන්ටම ලබා දීමෙනි. මේ නිසා රුපියල් 34 හා 44ට රුපියල් 6ක්ම ලද අවස්ථා ද තිබේ!


(2) රුපියල් 56 ගාස්තු අවස්ථාව


මේ ගාස්තු අවස්ථාව කොන්දොස්තර රුපියලක් පාඩු කරගන්නා අවස්ථාවකි. මෙහි දී බොහෝ විට අපෙන් ගන්නේ 55කි. සාමාන්‍යයෙන් ඒ ටිකට් එකට පහේ කාසියක් සමඟ දුන් විට කිසි කතාවක් නැතිවම ගනිති. "දැන් ගාන 56යි" කියා කියනවා මට ඇසී ඇත්තේ එකම එක වරකි. ඒ මට නොවේය.

අතේ රුපියල ඇති අවස්ථාවල මම රුපියල් 56 හරියටම දෙන අතර, කාසි දෙකක් මොකද කියා බලා ඒවා ගනිති.


(3) රුපියල් 69 ගාස්තු අවස්ථාව


මේ ගාස්තුව නම් 70ම ය. කුමන මාර්ගයේ ගියත් මම හැමදාම දෙන ගමන් ගාස්තුවක් වන අතර, කිසිදු දවසක රුපියලක් නම් ඉතිරි ලැබී නැත. 100 කොළයක් දුන්නොත් 20ක් හෝ 10ක් නැතිද අසති. පනහට වඩා විස්ස අතේ ඇති නිසා 10ක්ම ඉල්ලති. මම නම් 20 කොළ stand by තියාගෙන ඉන්නෙමි.


(4) රුපියල් 82 ගාස්තු අවස්ථාව


මෙම ගාස්තුවට පොදු දේ වන්නේ මාරු කාසි නොගැනීමය. මේ මාස දෙකකට වැඩි කාලය තුළ 82 ටිකට්ටුවට මම රු. 2 දුන් විට ඒ රු. 2 එපා කියා විස්සක් මට දුන් අවස්ථා බොහෝ ය (කාසිය ගෙන රු 20 දුන් අවස්ථා ගණන හා සමානය). මේ කාලය තුළ 174 බස්වල ගිය රු. 82 ගමන්වල දී දුන්නත් ගත්තේම නැත. 176 නම් ගත් අවස්ථා අඩු ය. 138 නම් ගත් අවස්ථා හා නොගත් අවස්ථා සමානය. උදේට කෙසේ වෙතත්, හවසට නම් රු. 2 කාසිය ගන්නේ අඩුවෙනි.

2026 ජුලි ගාස්තු වෙනස් වීමෙන් දින පනහකට පමණ පසු අගෝස්තු 27 දින මම රු. 82 ටිකට්ටුවක් ගැනීමට ලංගම බසයකට රු. 2ක් දුනිමි. එවිට කොන්දොස්තර මට මෙසේ කීවේය.

"ගණන් වැඩි උනාට පස්සේ 82 ටිකට් එකට රු. 2ක් ලැබුනාමයි" කියාය.
ඔහු කී පරිදි හැමෝම දෙන්නේ රුපියල් පහය, නැතිනම් දෙන්නේම නැත.


(5) රුපියල් 95 ගාස්තු අවස්ථාව


මෙයත් ඉතිරි රුපියල් 5 ලැබීමට හෝ නොලැබීමට සමාන අවස්ථාව ඇති ගාස්තුවක් සේ පෙනේ මෑත දවසක 95 ටිකට්ටුවට රු. 100 දුන්නාම මගෙන් 15ක් ඉල්ලා සිට මා ළඟ නැති තැන රුපියල් හතරක් දුන්නේ ලංගම බසයක ය.


Tuesday, August 18, 2026

ශ්‍රී ලංකාවේ සුඛෝපභෝගී නාගරික බස් සේවාවල ඉතිහාසයක්

ධනේෂ් විසුම්පෙරුම


(අවසන් යාවත්කාලීන කිරීම: 2026 අගෝස්තු 18)

බස් රථ යනු රටක ආර්ථිකයට මෙන්ම ජනතාවගේ එදිනෙදා කටයුතු සඳහා ද වැදගත් වන ප්‍රවාහන මාධ්‍යයකි. ශ්‍රී ලංකාවේ බස් මගී ප්‍රවාහනය ආරම්භයේ පටන් 1958 දක්වා මූලික වශයෙන් පෞද්ගලික අංශය යටතේ විය.  1958 වර්ෂයේ දී සිට 1979 පමණ දක්වා බස් සේවා රාජ්‍ය අංශය යටතේ පමණක් ක්‍රියාත්මක විය. ඉන්පසු මේ දක්වා රාජ්‍ය හා පෞද්ගලික අංශය යටතේ මෙරට මගී බස් සේවා ක්‍රියාත්මක වේ.

මෙම බස් සේවා ආරම්භ වූ කාලයේ සිට මේ දක්වා බස් රථවල ගුණාත්මක තත්ත්වය හෝ සුවපහසුව ද ක්‍රමයෙන් ඉහළ ගොස් ඇත. මෙය නාගරික සේවා, කෙටි දුර සේවා හා දුරගමන් සේවා ආදි සියලු ආකාරයේ සේවාවලට පොදු ය.

එතෙක් ක්‍රියාත්මක වූ සාමාන්‍ය සේවාවලින් වෙනස්ව, වායු සමීකරණය කළ අන්තර් නගර බස් සේවා 1990 දශකයේ දී පමණ ආරම්භ විය. ඒවා සාමාන්‍ය ගාස්තුව මෙන් දෙගුණයක් පමණ ගාස්තුවකින් යුක්ත විය. එසේම සාමාන්‍ය ගාස්තුව මෙන් එකහමාර ගුණයක් වන අර්ධ සුඛෝපභෝගී බස් සේවා ඉන් පසුව ආරම්භ විය. අධි සුඛෝපභෝගී සේවා ඇතැම්ක් මාර්ගවල මාර්ගවල ක්‍රියාත්මක ය. 2011 වර්ෂයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගය විවෘත කිරීමෙන් පසු 2012 ජනවාරි මාසයේ දී අධිවේගී මාර්ගවල බස් මගී සේවා සඳහා සුඛෝපභෝගී බස් සේවා ආරම්භ කරන ලදි.

සුඛෝපභෝගී නාගරික බස් සේවා

නාගරික ප්‍රදේශවල සුඛෝපභෝගී බස් සේවා පිහිටුවීම සඳහා ඒ ඒ රජයයන් විසින් 2009 වර්ෂයේ පමණ සිට සිව් වරක් පමණ උත්සාහ කර ඇත. මේ ප්‍රයත්න දරා ඇත්තේ මූලිකවම කොළඹ හා තදාසන්න ප්‍රදේශ ඉලක්ක කරගනිමිනි.

මේ බස් සේවා ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වූයේ නාගරිකව දැකිය හැකි රථවාහන තදබදය අඩු කිරීම ය. එය සිදුකිරීමට අපේක්ෂා කළේ, දිනපතා නගරයට පැමිණිමට සිය පෞද්ගලික වාහන භාවිත කළ පිරිස් මෙම බස් රථ භාවිතයට පෙළඹවීම මගිනි. එය අප පහත විස්තර කර ඇති සියලු ප්‍රයත්න පිළිබඳව සඳහන් වන පුවත්වල සඳහන් වන කරුණකි. සුවපහසු බස් සේවාවක් සැපයීම මේ පෙළඹවීම සඳහා යොදාගන්නා ලද්දකි.


(1) City Liner Coach Service (2009)


2009 වර්ෂයේ මාර්තු මස 12 දින මෙම City Liner සුඛෝපභෝගී බස් සේවාව ආරම්භ කරන ලද්දේ එවකට ප්‍රවාහන අමාත්‍යවරයා වූ ඩලස් අලහප්පෙරුමගේ සහභාගිත්වයෙන් කටුබැද්ද (එවකට) ලංගම පුහුණු පාසල් භූමියේ පැවති උත්සවයකිනි. 

ප්‍රවාහන අමාත්‍යාංශය හා ජාතික ප්‍රවාහන කොමිසම මගින් ආරම්භ කරන ලද ව්‍යාපෘතියක් වන මේ සේවාව  සඳහා කොමිසමේ නිර්දේශ මත පෞද්ගලික සමාගමක් සඳහා (E.C.D. Global Pvt Ltd) සඳහා අවසර ලබා දී තිබිණි. 

මොරටුව (කටුබැද්ද) සිට කොළඹ දක්වා වූ මේ සේවාව මගින් පෙ.ව. 6.30 හා 8.30 අතර සෑම පැය භාගයකටම වරක් බස් රථයක් ධාවනය කිරීමට නියමිත විය. කොළඹ සිට ප.ව. 4.30 සිට 7.30 දක්වා බස් රථ පිටත් වීමට නියමිත විය. මෙය Park & Ride (පාක් ඇන්ඩ් රයිඩ්) හෙවත් මගීන්ගේපෞද්ගලික වාහන නියමිත ස්ථානයක නවතා තබා බස් සේවාව ලබැගැනීමේ පහසුකමෙන් යුක්ත වූ අතර කටුබැද්දේ වාහන 150ක් පමණ නවතා තැබීමට ආරක්ෂිත පහසුකම් සපයා තිබේ. මේ බස්රථ සේවා සැලසුම් කරන ලද්දේ අතරමගින් මගීන් ලබාගැනීමක් සිදු නොකිරීමටය. එසේම මේ ක්‍රමවේදය මත කඩවත, තලංගම හා වේරහැර යන ස්ථානවල සිට ද City Liner සේවාව ආරම්භ කිරීමට යන බව මුල් වාර්තාවල සඳහන් විය. 

2011 පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ කාර්යසාධන වාර්තාවේ (Ministry of Private Transport Services 2011 Performance Report, පි.14) මේ බස් සේවාව ආරම්භ කිරීමේ අරමුණු ප්‍රකාශ කරයි. ඒවා නම්, 
1. කොළඹ නගරයට පැමිණෙන පෞද්ගලික වාහන ප්‍රමාණය 20,000 සිට 15,000 දක්වා අඩු කිරීම
2. කොළඹ නගරයේ ඇති අධික වාහන තදබදය අඩු කිරීම
3. පෞද්ගලික වාහන භාවිත කරන පුද්ගලයින්ට වඩා ආකර්ෂණීය පොදු ප්‍රවාහන සේවාවක් සැපයීම
4. මගීන්ගේ මානසික ආතතිය අඩු කිරීම
5. මගීන්ගේ කාලය නාස්ති වීම අවම කිරීම

2009 මහ බැංකු වාර්තාවේ ද මෙම සේවය හඳුන්වා දීම සඳහන් වන්නේ කොළඹ නගරයට පෞද්ගලික වාහන ඇතුළු වීම අඩු කිරීමට ගත් ප්‍රයත්නයක් ලෙසය (Central Bank of Sri Lanka Annual Report - 2009, Ch 3, p. 64).

ආරම්භ කර මාස හයකට පමණ පසුව මේ ව්‍යාපෘතියේ තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ දී විමසන ලද ප්‍රශ්නයකට මාර්ගස්ථ මගී ප්‍රවාහන අමාත්‍ය ලසන්ත අලගියවන්න දුන් පිළිතුර 2009 සැප්තැම්බර් මස 11 දින හැන්සාඩ් වාර්තාවේ ඇත. ඔහුට අනුව, මාර්තු මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා දිනපතා කාර් රථ 12ක් මොරටුවේ නවතා මේ බස් සේවය භාවිතයට ගත් බවත්, වැඩි ප්‍රචාරණයක් ලබාදුන් පසු ඊට පෙර දිනයේ (සැප් 10) කාර් රථ 40ක් පමණ මොරටුවේ නවතා එම බස් භාවිතයට ගෙන ඇත (හැන්සාඩ් වාර්තාව, 2009-09-11, 184 කාණ්ඩය, 12 කලාපය, තීරු 2521-22). 

මුල් කාලයේ දී මෙහි භාවිතයට දැක්වූ උනන්දුව අඩු නිසා ධාවනය වූයේ එක් බසයක් බව Review of Sri Lanka Transport Sector Final Report වාර්තාව (පි. 2-17) පෙන්වා දෙයි. මේ වාර්තාවේ මේ රථයක ඡායාරූපයක් ද පළ වී ඇත. මෙහි සඳහන් පරිදි ඉහත පැවසෙන ප්‍රචාරණ වැඩසටහනෙන් පසුව කාර්යබහුල වේලාවල භාවිතය 100% දක්වා ඉහළ ගොස් ඇති බව දැක්වේ. එසේම, එම වාර්තාවේ උපුටා දැක්වෙන පරිදි 2010 වර්ෂය මුල දී සිදු කළ සමීක්ෂණයකට අනුව මේ සේවය භාවිත කළ අයගෙන් 82%ක් කලින් පෞද්ගලික වාහන භාවිත කළ අය බව දැක්වේ. ඒ වන විට මේ සේවය වෙනත් මාර්ගවලට පුළුල් කිරීමට තීරණය කර තිබේ (Amal Kumarage, 2010, Review of Sri Lanka Transport Sector Final Report).

පෞද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශයේ 2011 කාර්යසාධන වාර්තාවේ දැක්වෙන  දැක්වෙන ආකාරයට 2011 වන විට අඟුලාන කොළඹ අතර අධි සුඛෝපභෝගී රථ 5ක් ධාවනය වී තිබේ. එහෙත්, කෙසේ වෙතත් මේ සේවාවේ වියදම ආවරණය කරන ලද්දේ සහනාධාර ලෙස බව සඳහන් කරන ඒ වාර්තාව, එය මුළු වියදමින් 50%ක් තරම් වූ බවත් මෙය සුළු පිරිසකට ගෙවන ලද බවත් කියයි. මේ නිසා මේ සේවය තවදුරටත් දීර්ඝ නොකිරීමට 2011 දී තීරණය කර ඇත (Ministry of Private Transport Services 2011 Performance Report, පි. 14-15).

2009 මාර්තු සිට ක්‍රියාත්මක වූ City Liner Coach Service සේවය 2012 අප්‍රේල් මාසයේ දී නවතා දමන ලද බව 2012 ඔක්තෝබර් මස ඉදිරිපත් කළ Interim Report from Committee on Public Enterprises (Parliamentry Series No 179) වාර්තාවේ සඳහන් වේ (පි. 34).

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 12-03-2009 (First ever vehicle park opens: "City Liner" coach service launch today - මෙතැනින් පිවිසෙන්න);  Daily News 13-03-2009 (No response for National Transport Policy Still - Minister - මෙතැනින් පිවිසෙන්න (මෙහි මුද්‍රිත කලාපයේ බස් රථයක් තුළ ගත් ඡායාරූපයක් ඇත)); Daily News 16-03-2009 (Park and Ride City Liner coach service launched - මෙතැනින් පිවිසෙන්න (මෙහි බස් රථයක ඡායාරූපයක් ඇත).]


(2) Super Luxury Low Floor City Bus Service (2012)


ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් අධි සුඛෝපභෝගී පත්ල පහත් නාගරිික බස් සේවාවක් 2012 වර්ෂයේ දී ආරම්භ කරන ලදි. මේ සඳහා වූ නියමු ව්‍යාපෘතියක් ආරම්භ කර සාර්ථකව ක්‍රියාත්මක කර තිබූ ඇති බව 2012 පෙබරවාරි මාස 2 වැනි දා ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වන පුවතක පළ වී ඇතඒ මොරටුව - පිටකොටුව හා මීගමුව - පිටකොටුව මාර්ග ඔස්සේ ය. මගී ඉල්ලුම අනුව බස් රථ අටක් මේ මාර්ගයේ ධාවනය සඳහා සූදානම් කර තිබී ඇත. 

චීනයේ නිෂ්පාදිත මේ Micro Cars Ltd සමාගම මගින් ආනයනය කර ඇති අතර මේ සේවාව ඒ සමාගම මගින්ම ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ. එහි සාර්ථකත්වය අනුව මාර්ග 6ක මේ සේවාව ආරම්භ කිරීමට කටයුතු සූදානම් කරමින් ඇති බව ද  සඳහන් වේ.  

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ අප ගිය කෙටි ගමනකට ලබාගෙන ඇති පහත දැක්වෙන ටිකට්පත මේ වර්ගයේ බස් රථයකින් නිකුත් කරන ලද්දකි. 



[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 02-02-2012 (Wheels move for new super luxury low-floor city bus service - මෙතැනින් පිවිසෙන්න)]


(3) City Bus Service (2012)


2012 මාර්තු මාස 7 වන දින ආරම්භ කරන ලද මේ අධි සුඛෝපභෝගී බස් සේවාව, තෝරාගත් මාර්ගවල බස් රථ 100ක් සහිතව ශ්‍රීලංගම විසින් දියත් කරන ලද්දකි. ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම‌ගේ සහභාගිත්වයෙන් යුතුව මොරටුවේ දී මේ සේවාව ආරම්භ කරන ලදි. 

මේ සඳහා තෝරාගෙන තිබූ මාර්ග වූයේ මොරටුව-කොළඹ, මීගමුව-කොළඹ, නිට්ටඹුව-කොළඹ, හංවැල්ල-කොළඹ, කඩුවෙල-කොළඹ, හෝමාගම-කොළඹ හා කැස්බෑව-කොළඹ යන මාර්ගය. මේ සේවාවේ ගමන් ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයක් විය.

මේ බස්රථ නඩත්තු කටයුතු සඳහා කටුබැද්දේ ඩිපෝවක් පිහිටුවීමට කටයුතු සූදානම් කර තිබිණි. 

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 07-03-2012 (One hundred new super luxury buses for main routes - මෙතැනින් පිවිසෙන්න)]


(4) City Bus (2021)


2021 ජනවාරි මස 15 වැනි දින මෙම City Bus සේවය ආරම්භ කරන ලද්දේ කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ දී (Makumbura Multimodal Center) එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ද සහභාගිත්වයෙන් පැවති උත්සවයක දී ය. ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ ද ඊට සහභාගි විය. මේ අවස්ථාවේ දී ඇප් එකක් ද හඳුන්වා දී ඇත.

පෞද්ගලික වාහන රථ ගාලක නවතා තබා මේ බස්රථවල ගමන් කිරීමට සූදානම් කර තිබූ බැවින් මේ සේවය 'Park & Ride City Bus Service' නමින් ද හඳුන්වා දී ඇතත් එය City Bus ලෙස වඩා ප්‍රකට විය. 

මෙම සේවාවේ ද බස් ගාස්තුව සාමාන්‍ය බස් ගාස්තුව මෙන් දෙගුණයකි. පෙ.ව. 6 සිට 9 දක්වාත් ප.ව. 4 සිට 9 දක්වා සෑම මිනිත්තු 15කට වරක් බසයක් ධාවනය විය. එසේම, පෙ.ව. 9 සිට ප.ව. 4 දක්වා කාලය තුළ මිනිත්තු 30කට (තවත් වාර්තාවකට අනුව මිනිත්තු 25කට) වරක් බස් රථයක් ධාවනය වීමට නියමිත විය. දිනකට බස් ගමන් වාර 64කි. බස් ගමන් මාර්ග හතරක් සැලසුම් කර තිබිණි. සීමිත නැවතුම් ප්‍රමාණයක පමණක් නැවැත්වීම ද විශේෂත්වයකි.

එසේම මේ බස් රථවලට මොබිටෙල් සමාගම මගින් වයිෆයි පහසුකම් ලබාදීමට ද සැලසුම් කර තිබී ඇත. 

මේ සේවාව ද තවත් මාර්ගවලට පුළුල් කිරීමට යෝජනා වී තිබිණි. කෙසේ වෙතත් එය ද පසුව නවතා දමන ලදි.

[පුවත්පත්/ විද්‍යුත් මාධ්‍ය වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 16-01-2021 (Park and Ride City Bus Service first stage launched - මාර්ගගතව නොමැත); Daily News 20-01-2021 (SLT-Mobitel Powers 'Park & Ride' city bus service - මාර්ගගතව නොමැත); Ada Derana, 15-01-2021 (Park & Ride city bus service launched to ease traffic congestion in Colombo - මෙතැනින් පිවිසෙන්න); Daily Mirror, 15-01-2021 (President launches ’’Park & Ride” bus service - මෙතැනින් පිවිසෙන්න]


අතිරේක සටහන - අධිවේගී මාර්ගවල සුඛෝපභෝගී බස් රථ සේවා


2011 නොවැම්බර් මාසයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සිට පින්නදූව දක්වා වූ කොටස විවෘත විය. ඊට සති කිහිපයකට පසුව මහරගම සිට ගාල්ල දක්වා අධිවේගී මාර්ගය ඔස්සේ බස් රථ ධාවනය ආරම්භ විය. මුලින්ම ධාවනයට යොදවන ලද්දේ ශ්‍රීලංගම යටතේ වන අතර, ඒ 2012 ජනවාරි මස 3 දා ය. 

මේ සේවාව ආරම්භයේ දී මහරගම සිට ගාල්ල දක්වා බස් ගාස්තුව රු. 400ක් වූ අතර, කොට්ටාවේ සිට රු. 380ක් විය. එමෙන්ම එම මාර්ගයේ බස් රථ අතරින් 40%ක් ශ්‍රීලංගම මගින් යෙදවීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා මේ නිමිත්තෙන් මහරගම දී පැවති උත්සවයක දී පවසා ඇත. අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ද ඊට දින කිහිපයකට පසුව ආරම්භ කරන ලදි.

[පුවත්පත් වාර්තා (මාර්ගස්ථ සබැඳි සහිතය) - Daily News 04-01-2012 (Super luxury bus service begins operations on Expressway - මෙතැනින් පිවිසෙන්න & Photo on the cover page - මෙතැනින් පිවිසෙන්න); Daily News 03-01-2012 (Toning Southern Expressway - Luxury bus service starts today - මෙතැනින් පිවිසෙන්න]


සටහන - මේ පළකිරීමේ ඇතුළත් වන, පුවත්පත්වල පළ වී ඇති සියලුම පුවත්පත් වාර්තා, පුවත්පත් කියැවීමෙන් ලබාගෙන ඇත. ඒ වාර්තාවල ස්කෑන් පිටපත් ලේඛකයා සතුව තිබේ. මාර්ගගතව ඇති අවස්ථාවල දී අදාළ වෙබ් සබැඳි, අදාළ වෙබ් අඩවිවලට පිවිස අදාළ දිනවල පුවත් සෙවීමෙන් ලබාගන්නා ලදි. ඊට හේතුව වන්නේ ඒවා වැඩි ප්‍රමාණයක් සෙවුම් යන්ත්‍රවලිින් හමු නොවීම ය. වෙබ් පුවත්වලට අවසන් වරට ප්‍රවේශ වන ලද්දේ 2026-08-18 දින දී ය.

2026-08-18

Saturday, May 30, 2026

දන්සැල් විස්තරය

ධනේෂ් විසුම්පෙරුම

(අවසන් යාවත්කාලීන කිරීම: 2026 මැයි 30)

මෙම ලිපිය පසුගිය වසරවල දන්සැල් පිළිබඳව සිදුකරන ලද ෆේස්බුක් සටහන් ද යොදාගනිමින් සකස් කරන විස්තරාත්මක වාර්තාවකි. දන්සැල්  පිළිබඳ 2023 මුල්ම ෆේස්බුක් පෝස්ටුව මෙතැනින් ද, 2024 දී පළ කළ දෙවන පෝස්ටුව මෙතැනින් ද බලාගත හැකි ය.

දන්සැල් දීම 

දන් දීම යනු මෙරට පවත්නා බෞද්ධාගමික සංස්කෘතියේ ඉතා වැදගත් අංගයකි. දානය යනු දස කුසල් මෙන්ම දස පාරමිතාවලට ද අයත් වන බැවින් දන්සැල් දීමෙන් බොහෝ පින් අත්වන කාර්යයක් බව අමුතුවෙන් කිව යුතු නොවේ. 

දන්සැල් යනු එවැනි දානයක් ලබා දෙන ස්ථානයකි. එය නිශ්චිත ස්ථානයකට ගෙන ගොස් දෙන දානයකට වඩා වෙනස් ය. එය පොදුවේ ඕනෑම කෙනෙකුට ලබා ගත හැකි යමක් දන් දෙන බොහෝ විට පොදු ස්ථානයක් ලෙස හැඳින්විය හැකි ය.

දන්සැල් වැඩි වශයෙන් පැවැත්වෙන්නේ විශේෂ පෝය දින නිමිති කොටගෙන ය. ඒ් ප්‍රධාන වශයෙන් වෙසක් පෝය සමයේ හා පොසොන් පෝය ආශ්‍රිතව ය. කෙසේ වෙතත්, සෙසු පෝය දිනවල දී මෙන්ම එසේ නොවී ද දන්සල් දිය හැකි ය. ඇතැම් ආයතනවල හා පුද්ගලයන් හා සම්බන්ධ විවිධ දිනවල දී ද දන්සැල් දෙනු දැකිය හැකි ය. ප්‍රීති උත්සව අවස්ථාවල දී ද දන්සැල් ලබා දෙනු ලැබේ. මෙරට බ්‍රිතාන්‍යයන් විසින් පාලනය කළ සමයේ දී, එරට සිටි රජු හෝ රැජිනගේ රාජාභිෂේකය, ජන්ම දිනය වැනි විශේෂ දින ආශ්‍රිතව දන්සැල් දුන් අවස්ථා වාර්තා වේ. 2009 මැයි 19දිනනේ පසු එළැඹි දින කීපයේ දී ද රට පුරා එබඳු දන්සැල් දැකිය හැකි අවස්ථා විය.

දන්සැල් වර්ගීකරණය 

දන්සැල් වර්ගීකරණය කිරීමේ දී ක්‍රම කිහිපයක් යොදාගත හැකිය. ප්‍රධාන ක්‍රම දෙකක් වැදගත් බව පෙනේ.

  1. දායකයා අනුව - දන්සැල් දෙන්නේ කවුරුන් විසින් ද යන්න හා එහි දී භාවිත වන ක්‍රමය අනුව මෙය වර්ග කළ හැකිය.
  2. ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව -  මෙය සාම්ප්‍රදායික දන්සැල් සහ නව්‍ය/ නූතන/ දන්සැල් ලෙස යළිත් වර්ග කළ හැකි ය.  

(1) දායකයා අනුව

දන්සැල දෙන්නේ කවුරුන් විසින් ද යන්න අනුව වර්ග කිහිපයක් හඳුනාගත හැකි ය. එසේම, ඇතැම් විට එහි දී අවශ්‍ය බරපැන ලබාගැනීම සඳහා භාවිත වන ක්‍රම ද වෙනස් වේ.

i). සම්මාදම් දන්සල්:- මේවා තරුණ පිරිස් හා ගම් මට්ටමේ සමිති ආදිය මගින් ගෙන් ගෙට යමින් මුදල් හා ආහාර ද්‍රව්‍ය එකතු කර දෙනු ලබන දන්සැල් ය. මේවා බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ ය. පසුගිය කාලයේ දී මෙසේ සම්මාදම් කිරීමට පැමිණීම මෙන්ම, එවැනි දන්සැල් ද අඩු වී තිබේ.

ii). සමිති/ කණ්ඩායම් දන්සල්:- මේවා සාමාන්‍යයෙන් ඒ ප්‍රදේශයේ වෙළඳ සමිති, ත්‍රිරෝද රථ සමිති ආදිය මගින් (සමහරවිට දන්සල සඳහාම ඇතිකරගත් සමිතියක් විය හැකිය) මෙන්ම දන්සැල සඳහා සංවිධානය වන කණ්ඩායම් විසින් ද පවත්වනු ලැබේ. එහි දී ඔවුන් අතර සම්මාදමෙන් හා අවට ප්‍රදේශයේ ව්‍යාපාරිකයන් හා ප්‍රභූන්ගේ දායකත්වයෙන් බරපැන දරාගැනේ. මේවා ද බොහෝ විට සිදුකරනු ලබන්නේ පෝය දවසේ හා වෙසක් පෝය නම් පසු දා ද වේ.

iii). ආයතනික දන්සල්:- විවිධ ආයතන මගින් ලබා දෙන මේ දැන්සැල් පොහෝ දින මෙන්ම, පෝය දිනට ආසන්න ඔවුන්ට පහසු වැඩකරන දවසක දී වුව පැවැත්වෙනු දැකිය හැකි ය. ඒ බොහෝ විට අදාළ ස්ථානය අභියස දී ය.  මේ දන්සැල් පෞද්ගලික ආයතන මෙන්ම රජයේ ආයතනවල ද සිදුකරන බව පෙනේ. මනාව සංවිධානගතව ලබා දෙන බත් වැනි දන්සැන් මෙන්ම, කෙටි කෑම ලබා දෙන දන්සැල් ද සුලබ ය. වඩාත් දැකිය හැක්කේ අයිස්ක්‍රීම් හා පාන වර්ග ලබා දෙන දන්සැල් ය.

iv). තනි පුද්ගල දන්සල්:- මේවා ව්‍යාපාරිකයෙකු වැනි තනි පුද්ගලයෙකු විසින් තම ධනය යොදා සිදුකරන දන්සැල් ය. එසේ දෙන ඇතැම් දන්සල් පිසූ ආහාර දන්සල් විය හැකි අතර, තවත් අවස්ථාවල වියළි ආහාර ද්‍රව්‍ය ලබාදීම දැක තිබේ. ඇතැම් අවස්ථාවල ඇඳුම්, ඉන්ධන ආදිය ද ලබා දී තිබේ. එවැනි අවස්ථා පහත සඳහන් වේ.

(2) දන්සැලේ දී ලබා දෙන භාණ්ඩ හා සේවාව අනුව


2.1 සාම්ප්‍රදායික දන්සැල් 

මෙවැනි දන්සැල්වල දී ලබා දෙන භාණ්ඩය හා සේවාව කලක් තිස්සේ ලබා දී ඇති භාණ්ඩයක් බැවින් සාම්ප්‍රදායික ලෙස මෙහි දී හඳුන්වන ලදි. මෙවැනි ‍‍‍‍‍‍‍‍දන්සැල්වල දී ලබා දෙනු ලබන්නේ ඒ දිනයේ දී අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් හෝ සේවාවකි. 

i). ආහාර පාන දන්සැල්:- වැඩි වශයෙන්ම දැකිය හැකි හා අත්‍යාවශ්‍යම දන්සැල් වර්ගය වන ආහාරපාන දන්සැල් විවිධ ය.
  • පිසූ ආහාර දන්සල් (සාමාන්‍ය):- බොහෝ විට සමිති හා කණ්ඩායම් ලෙස එකතු වී දෙනු ලැබේ. ඒ කණ්ඩායමේ අය ඔවුන් විසින්ම කෑම පිසිනු ලබන අවස්ථා මෙන්ම, දැන් දැන් කෝකිවරුන්ගේ සේවය ලබාගැනීම ද දැකිය හැකි ය. ගම්වල ද සාමූහිකව පිස දෙන දන්සැල් දැක තිබේ. මේවායේ දී බොහෝ විට සංග්‍රහ කරනු ලබන්නේ සාමාන්‍ය බත් වේලක් වන අතර දිවා කාලයේ වඩාත් සුලබ ය. ඇතැම් විට කහබත්, දුන්තෙල් බත් වැනි උත්සවාශ්‍රිත බත් ද දැකිය හැකි ය. එසේම, පෙරවරුවේ කිරිබත් ද දැකිය හැකි ය. ඇතැම් විට වෙනත් ආහාරයක් ද විය හැකිය. පාන් සමඟ සීනි සම්බල්, මංඤොක්කා, කඩල ආදිය එවැනි ජනප්‍රිය ආහාර වර්ග වේ. මේවා පෙරවරුවේ හෝ සවස හා රාත්‍රි කාලයේ පැවැත්වීම ද සුලබ ය. මේ දන්සැල් බොහෝ විට සරසන ලද සාමාන්‍ය මඩුවක් විය හැකිය. පෝලිම් දැකිය හැකිය. එසේම 2022 වර්ෂයේ සිට එක් ව්‍යාපාරික ආතයනයකින් සංවිධානය කර තිබු රාමෙන් (කොරියානු ආහාරයක්) දන්සැලක තුත්වැන්න පිළිබඳව හිතවතෙකු දැනුවත් කර තිබිණි (මෙතැනින් බලන්න, ප්‍රදේශය සඳහන් නොවේ. එසේම, 2026 වර්ෂයේ ඇතුල්කෝට්ටේ ප්‍රදේශයේ බෞද්ධාගමික මධ්‍යස්ථානයක් මුල්කරගෙන පැවැත්වෙන, දවසේ එක් එක් කාලසීමාවක දී එකක් බැගින් ලෙස පෙ.ව. 11.30 සිට රාත්‍රී 9 දක්වා ආහාර වර්ග 7ක් ලබා දෙන දන්සැලක් පිළිබඳව ද දුටුමි.
  • පිසූ ආහාර දන්සල් (නවීන):- ප්‍රයිඩ් රයිස් වැනි නවීන හා නාගරික පන්නයේ ආහාර මේ දන්සල්වල සංග්‍රහ කරනු ලැබේ. මේවා බොහෝ විට සංවිධානය කරන්නේ ව්‍යාපාරික ආයතනවලින් වුව ද, දැන් දැන් කණ්ඩායම් හා සංවිධාන මගින් සංවිධානය කරන ඒවා ද ඉහළ යමින් තිබේ. ආහාර ගැනීමට සකස් කර ඇති ස්ථානය මෙන්ම ආසන හා ඇතැම්විට මේස ද නවීන ලෙස සකස් කරනු ලැබේ. මේවායේ ආහාර කේටරින් සේවාවලින් ඇණවුම් කරන ලද ඒවාය. මේවාට බොහෝ පිරිස් ඇඳී එන බැවින් පෝලිමක් දැකිය හැකි අතර, ඒ ආහාර ඉක්මනින් අවසන් විය හැකි ය.
  • පාන දන්සල්:- මේවායේ සිසිල් බීම, සව් කැඳ, කෝපි, බෙලිමල් ආදිය වඩා ප්‍රචලිතය. සමිති/ කණ්ඩායම් මෙන්ම දන්සැල සඳහාම එකතු වන කණ්ඩායම් (ගම්වල තරුණ කැලක්, හන්දිවල තුන්රෝද රථ හිමියන් ආදි) හා සම්මාදම් දන්සල් අතර මේවා ඉතා සුලබ ය. ‌පෝය දා සවසට හා වෙසක් පෝයට පසු දා ද සුලභ ය.
  • අතුරුපස දන්සල්:- මේවා අතර වඩාත් ප්‍රචලිත වන්නේ අයිස්ක්‍රීම් දන්සැල් ය. මේවා ද ආයතනික දන්සැල් අතර මෙන්ම සමිති/කණ්ඩායම් දන්සල් අතර සුලබ ය. කොළඹ වැනි නගරවල මේවා වැඩි වශයෙන් පැවැත්වෙන්නේ පෝයට පෙර දින දී ය. ඒ, එදින වැඩ කරන දිනයක් වන නිසා වන නිසා ය.
  • වියළි ආහාර දන්සල්:- මේවා බොහෝ විට සංවිධානය කරනු ලබන්නේ තනි පුද්ගලයන් හා ව්‍යායාපාරිකයන් විසිනි. සහල්, පොල්, කල්තබාගත හැකි ආහාර ද්‍රව්‍ය ඇතුළත් ආහාර පාර්සලයක් සාමාන්‍යයෙන් ලබා දේ. ඒවා ලැබිය යුතු පිරිස් වෙනුවෙන් සංවිධානය කරන නමුත් යමක් කමක් ඇති පිරිස් ද මේ දන්සල්වල පෝලිමේ සිටිනු දැකිය හැකි ය.
ii). මල් දන්සැල්:- මල් දන්සැල් ඇතැම් විහාර ආශ්‍රිතව සංවිධානය කරනු ලැබේ. මෙම දන්සැල් සඳහා සැලකිය යුතු අතීතයක් ඇති අතර, අදින් වසර සියයකට පමණ ඉහත දී ඇතැම් නගර හා විහාරවල ක්‍රියාත්මක වූ පුෂ්පදාන සමිතිවල එක් අරමුණක් වුයේ ඒ විහාරය වන්දනා කිරීම සඳහා පැමිණෙන බැතිමතුන්ට මල් ලබා දීම ය. වෙනත් පූජා භාණ්ඩ ද ලබා දුන් අවස්ථා තිබේ. අද වන විට ඇතැම් මල්  ව්‍යාපාරිකයන් ද මල් දන්සැල් ලබා දෙන බවක් පෙනේ.

iii). ප්‍රවාහන සේවා දන්සැල්:- විහාරස්ථාන වන්දනාවට යෑම මෙන්ම නගරයේ වෙසක් සිරි නැරඹීමට යෑම සඳහා ප්‍රවාහන සේවා සැපයීම ද කලක පටන් සිදු කරනු ලැබේ. මෙය බොහෝ විට අදාළ ප්‍රවාහන සේවා හිමියන් විසින් සිදුකරනු ලැබේ. මෙය බස්රථයක් හෝ වෙනත් මගීන්ට යා හැකි රථයක් වුව ද විය හැකි ය.

iv). මුදල් දන්සැල්:- අතීතයේ මෙන්ම මෑත කාලයේ දී ද ඉඳහිට දැකිය හැකි දන්සැල් වර්ගයකි. 

2.2 නව්‍ය/ නුතන දන්සැල් 

මෙහි දී ලබා දෙන භාණ්ඩය හා සේවාව නූතන ජීවන රටාවට ගැළපෙන ඒවා වන අතර. මෑත කාලයේ සිට දන්සැල්වල ලබා දෙන දේ වේ. ඒවා බොහෝ විට ඒ අවස්ථාවට අත්‍යාවශ්‍ය ද්‍රව්‍යයක් නොවිය හැකි ය. මේ ඇතැම් දන්සැල් ශ්‍රමය හෝ අදාළ පුද්ගලයා හෝ පුද්ගලයින්ගේ දැනුම බෙදා දෙන ඒවාය. ඇතැම් දන්සැල් තාක්ෂණික ක්‍රම සමඟ බද්ධ වී තිබේ. අප නිරීක්ෂණට කළ පහත දන්සැල් අකාරාදි පිළිවෙලට සකස් කර ඇත.

i). ඉන්ධන දන්සැල්:- භූමිතෙල්, පෙට්‍රල් හා ඩීසල් දන්සැල් දැන් සැලකිය යුතු තරම් සුලබව දැකිය හැකි වේ. මේවා වැඩි වශයෙන් සංවිධානය කර තිබෙනු දැක ඇත්තේ ඉන්ධන පිරවුම්හල් මගිනි. කෙසේ වෙතත්, ලබාදෙන තෙල් ප්‍රමාණයට සීමාවක් විය.

ii). කෑෂ්බැක් දන්සැල්:- ඇතැම් බැංකුවලින් ක්‍රියාත්මක වී තිබේ. ඒ අනුව අධිවේගී හෙවත් එක්ස්ප්‍රස් වේ ගාස්තුව අදාළ බැංකුවේ මොබයිල් ඇප් එකෙන් ගෙවන්නේ නම්, ඒ ගෙවු මුදලින් කොටසක් ආපසු ලැබෙන කෑෂ්බැක් දන්සැලක් 2024 දී නිරීක්ෂණය කළෙමි. එය දින කිහිපයක කාලයක් සඳහා දක්වා වලංතු වී තිබිණි. මෙසේ අධිවේගී මාර්ග ගාස්තුවලින් කොටසක් ආපසු ගෙවීම සිංහල අලුත් අවුරුද්ද, අලුත් අවුරුද්ද වැනි උත්සව කාලවල දී ද ක්‍රියාත්මක කිරීම දැක තිබේ. 

iii). ටැටූ දන්සැල්:- නිකවැරටියේ දී 2023 දී පැවති ටැටූ දන්සැලක් පිළිබඳ සටහනක් එක් හිතවතියක් කමෙන්ට් කර තිබිණි. මෙසේ ශරීරයේ ටැටූ ගැසීම වර්තමාන තරුණ පරපුර අතර දැකිය හැකි ය.

iv). ටෙම්පර්ඩ් ග්ලාස් දන්සැල්:- මෙවැන්නක් මා පළමුවරට දුටුවේ 2026 වර්ෂයේ දී ය. එය සංවිධානය කර තිබුණේ වෙසක් දින සවස් කාලයේ පැලවත්ත ප්‍රදේශයේය.

v). ඩිජිටල් වෙසක් දන්සැල:- ඩේටා, කෝල් හා එස්එම්එස් ලබාදෙන දන්සැලකි. මෙරට ජංගම දුරකථන සේවා ලබාදෙන එක් ආයතනයක් මෙවැනි දන්සැලක් සංවිධානය කර ඇත්තේ 12 වැනි වරට බව ඔවුන්ගේ පාරිභෝගිකයෙකු වී ගත වන පළමු වර්ෂය වන 2026 දී දැනගතිමි. එය දින හතක් පමණ කාලයක් තිස්සේ සක්‍රිය (activate) කර ගත හැකි ය. අදාළ දත්ත, ඇමතුම් කාලය හා කෙටිපණිවුඩ දින හතක් සඳහා වලංගු වේ.

vi). බතික් දැනුම දන්සැල:- මාර්ගගතව පැවැත්වුණ බතික් දැනුම දන්සැල 2024 මැයි 24 දා පැවැත්වීමට නියමිතව තිබිණි. මෙය අදාළ කලාව පිළිබඳ දැනුම ලබා දීම සඳහා සංවිධානය කරන ලද්දකි.

vii). බැනර් දන්සැල්:- බැනර් සකස් කර අලෙවි කරන ආයතනයක් විසින් සංවිධානය කළ මෙවැන්නක් 2024 පොසොන් සමයේ කිරිබත් කුඹුරේ පැවති බව හිතවතෙකු අප එවා තිබිණි. එහි දී ගමේ දන්සැල් සඳහා අඩි 3 x 2 ප්‍රමාණයේ බැනරයක් නොමිලේ සකස් කර දෙන ලදි (බලන්න මෙතැනින්).

viii). වයරින් කර දීම:- හෝමාගම විදුලිබල මණ්ඩල සේවක පිරිස විසින් දිළිඳු නිවාස නොමිලේ වයරින් කර දීම වසර ගණනාවකට පෙර දී වසර කීපයක්ම සිදුකර ඇති බව අප හිතවත්ත පියසිරි මාතරගේ මහතා සටහන් කර තිබිණි (මෙතැනින්).

ix). සැලෝන් දන්සැල් - මෙය සැලෝන් මගින් ලබා දෙන සේවාව ලබා දෙන දන්සැලකි. මේවා විවිධ සැලෝන් මගින් දැන් කලක පටන් සිදුකරනු ලැබෙයි. මෙය කාන්තා හා පිරිමි සැලෝන් වර්ග දෙකෙහි ම දැකගත හැකි ය.


විශේෂ ස්තුතිය - ඔවුන් දුටු දන්සැල් පිළිබඳව අපව දැනුම්වත් කළ සියලු හිත මිතුරන්ට සහ, විශේෂයෙන් දන්සැල් ඔත්තු ගණනාවක් ලබා දුන් දර්ශන වීරසේකර මහතාට.

Friday, May 8, 2026

බස් එකේ ෆෝන් කතා (බස් කතා 18)

මේක එක කතාවක් නෙවි, කතා දෙකක්. ඒව බස් කතා වගේම ෆෝන් කතා...


නුගේගොඩ ඉදල උඩහමුල්ලට යන්න බස් එකකට හිටිය ඉරිද හවසක ටිකක් ඉදිද්දි ආව ලංගම එකක්. ඒකෙ උඩ බෝඩ් එක මහනුවර (17) පහල තිබ්බා නුගේගොඩ 183 බෝඩ් එකක් - කියන්නෙ මහනුවර ඉදල පානදුර ඇවිත් ඩිපෝ යන ගමන්. බස් එක ස්ලෝ කලාම කොන්දොස්තර කීව "උඩහමුල්ල... ඩිපෝ විතරයි" කියල. ජනේලයකින් හිස එලියට දාල එයා ඒක කියන්න ඇති හත් අට පාරක්. නුවර යන්නෙ නෑ කියලත් කීවා. 119 එනකමි හිටපු දහ පාලොස් දෙනෙක් බස් එකට නැග්ගා. එච්චර කියලත් එක් තරුණයෙක් නැගලා නුවර යන්න. මගින් නවතලා එයාව බස්සපු කොන්දොස්තර ඇවිත් කියනවා "අච්චර කියලත් නැගලනේ... කනේ ඉයර් ෆෝන් නේ" කියලා.


තව දවසක් 176 යද්දි එලිපින්ස්ටන් එක ළඟින් නැගපු තරුණියක් නැග්ගෙ කෝල් එකකමයි. ඒක ටිකක් සද්දෙන් යන කෝල් එකක්. මරු වැඩේ කියන්නෙ ඉඳගන්න තැනක් නැතිව, ඇතුලෙ ඉඩ තියෙද්දිත් දොර ළඟම හිටගෙන දොරේ කණුව වටෙන් අත කරකවල අරන් තමයි පෝන් එක කනේ තියාගත්තෙ. අනෙක් අතින් බාර් එක අල්ලගෙන. එයා හිටියෙ එතන නෙමෙයි කෝල් එකේමයි. පස්සෙ සීට් එකේ හිටපු මටත් තව අයටත් එයාගෙ ගෙදර විස්තර පවා අහගන්න උනත්, මම නං බයෙන් ආවෙ ඒ ළමයා වැටුනොත් එහෙම සාක්කි දෙන්න වෙයි ද කියලා! කොන්දොස්තරත් ඉඟි මරණව අපට, "අනේ ද කියන්නෙ" කියන බැල්මෙන්. ඒ තරුණිය හිටියෙ සාමාන්‍යයෙන් කොන්දොස්තර ඉන්න තැන. කැපිටල් එක ළඟ බහින්න එයා ළඟ සෙනඟ පිරුනම තමයි එයාට ඉන්න තැන මතක් උනේ.