Tuesday, March 10, 2020

පැමිණ ගිය නුඹට

මේ නිහඬ රා්‍රියේ
කලකින් ඔබ පැමිණි වග
ඒ සිහින් සරයෙන්
මා සවනට ඇසුණා

පිළිගැනුමට ගිය මට
ඔ‌බෙ සුවඳ දැනුණා
ඔය නෙතින් ගලාගිය
කඳුළක සිසිලස
මා සුරතට දැනුණා

එනමුත් ඇයි නුඹ
ආ සැනින් මා දමා
නික්මුණේ ‌නොකියාම
සුවඳ පමණක් තබා

වාසනා නැතිද තව
මා හා රැදෙන්නට.
ජීවය පුබුදන්නට..
ජීවිතය දෙන්නට...
.
.
.
"වර්ෂා"...,
ඔබෙනි මේ විමසුම

ධනේෂ් විසුම්පෙරුම
2020.03.10

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.

Monday, March 9, 2020

ඉස්කොලෙ කතා 2 - පස්සෙන් යන්න එපා කී ‌දෙක

මේ සිද්ධිය අපි 10 ‌හෝ 11 පන්තියෙ හිටිය කාලෙ වූ දෙයක්.

දවසක් කිසියම් රැස්වීමක් සඳහා අපේ පංතිවල ළමුන් ශාලාවට කැඳවූවා. කාරණය නම් මට මතක නෑ. එදා අපේ විදුහල්පති තුමා අපූරු කාරණයක්  සිහිකළා. (ඒක කීවෙ අපේ යාළුවෙක් බස් එකෙන් වැටිලා තුවාලයක් කරගෙන හිටි නිසාද කියලා නම් මතක නෑ)

"ළමයි පස්සෙන් පන්නන්න ඕන නැති දේවල් දෙකක් තියනවා."

"එකක් තමයි බස්. අනෙක තමයි ගෑණු ළමයි."

"මොකද කියලා දන්නවද?" දැන් ‌කොල්ලො ටික හරිම උනන්දුවෙන් අහගෙන ඉන්නවා.

"මොකද ඕව එකක් ගියාට ඊට පස්සෙන් තව ඒවා එනවා."

අපි ඉතින් විදුහල්පතිතුමා වගෙම ගුරුවරුත් දුන්නු අනෙක් අවවාද පිළිගත්තට, අපේ ගොඩක් කොල්ලො අඩුවෙන්ම සැලකිල්ලට ගත් අවවාදය ‌මේක වෙන්න ඕන. ඒ ‌නොපිළිගැනීම බස් සම්බන්ධයෙන් වගෙම ගෑණු ළමයි සම්බන්ධයෙනුත් ‌පොදුයි!

මගෙම අත්දැකීමෙන් කියන්නෙ. 138 බස් එකක් පස්සෙන් එල්ලෙන්න ගිහින් වැටුනෙ නුගේගොඩ ‌බෝ ගහ ළඟදි. 173 බස් එකකින් බහින්න ගිහින් වැටුනෙ කුරුඳුවත්තෙ ‌පොලිසිය ඉස්සරහදි.

අනිත් කාරණය ගැන උදාහරණ කියන්න ඕන නෑනෙ!

ධනේෂ් විසුම්පෙරුම
2020.03.09