Showing posts with label කවි සිතුවිලි. Show all posts
Showing posts with label කවි සිතුවිලි. Show all posts

Monday, May 20, 2024

හුදකලා වූ මරණය...

සැතපේ නිසලව
අවසන් නින්දේ
දිවිගමන නිම කළ 
පියෙකු සිය නිවහනේ...

තැන තැන හිඳිත්
සෝබර වතැතිව
පවුලේ අය පමණක්ම
අඳුරුය නිවෙස ද, අහස ද...

ළඟම නෑසියන්
කළණ මිතුරන්
පැමිණෙනු නොහැකිව
ඇමතුම් දෙත්
අසල්වැසියන් ද
එසේම ය...

පැමිණිවුන් ද නොරැඳෙති
නෑ-හිතවතෙකු වුව
වරකට සිටියැකි ගණන
නියම කර ඇති බැවින...

මළකෙනාගේ මතක
නොපැමිණේ සබයට
කතාවට අයෙකු නැත
මීටරේ දුර සිට වුව ද...

පැය විසිහතරකින්
නික්මිය යුතුය
දශක ගණනක්
ඔහු විසූ ‌සෙව‌නෙන්...

ගුණ කියන්නට
උත්සව සභා නැත
ගුණ අසන්නට
මහ සෙනග නැත...

ගමේ පන්සල වසා ඇත
වසංගතය නිසාවෙන්
හිමිවරුන් වැඩමවින
යාබද ගමක විහාරෙන්  
පාංශුකූලයට...

කොරෝනා ගෙන ආ
වෙනසය මේ...
මරණය හුදකලා වූව ද,
වෙන්වීම දැනේ හදවතට..

ධනේෂ් විසුම්පෙරුම

2024-05-20

සටහන- කොවිඩ් වසංගත සමයේ දී, තෙවසරකට ‌පෙර මා සහභාගී වූ මළගෙදරකින් ලත් අත්දැකීමකින් වික්ෂිප්තව, ඇතැම් හිතවතුන් හා ඔවුන්ගේ නෑසියන් ඒ කාලයේ මියගිය බවක් කලක් යනතෙක් ‌නොදැන උන් සිදුවීම් කීපයකින් ජනිත වූ ශෝකයෙන් ලියන ලද්දකි. මෙතෙක් මෙය පළ කරන්නට සිතුනේ නැත.

අවමංගල්‍යයක් යනු මෙරට සමාජයේ සමාජයීය සිදුවීමකි, අවස්ථාවකි. ඒ ගැන මතුවට ලියනට සිතා සිටිමි.

Saturday, January 14, 2023

සිත නතර වූ දෙවන ‌ප්‍රේමය...

පැටි වියේ බැඳි ප්‍රථම ප්‍රේමය
නෙතට සුව දුන් රුසිරු වින්ඳෙමි
සවනට පිනවූ හඬ ඇසූවෙමි
ඈ සොයා ගියෙමි - හැකි හැම විටම
ලං වූ මොහොතේ ඈ සුව ලැබීමි
ජීවිතය වින්දෙමි ඈ සමඟ එක් වී...

කාලයත් සමඟින් හැඳිනීමි මම 
දෙවන ප්‍රේමය සිතේ මතු වූ 
බලනෙමි - විඳිනෙමි ඒ ‌ප්‍රේමය අද
සොයමි - කියවමි මම ඇයව
කියනෙමි - ලියනෙමි ඈ ගැන මම
ජීවිතය දැන් ඇයයි මා හට!

පළමු පෙම මතකයේ රැඳුන ද
විටින් විට ඒ මතු ව ආවද
දෙදෙන එක් විට හමුවුව ද මට... 
දනිමි මම දැන් මගේ දිවියේ
වැඩි උරුම මේ දෙවන පෙම බව
සිත නතර වූ දෙවන පෙම බව...

(පළමු පෙම යනු පරිසරය හා වනජීවීන්ය.
දෙවන පෙම යනු ඉතිහාසය හා පුරාවිද්‍යාවයි.)


ධනේෂ් විසුම්පෙරුම
2023.01.14

Wednesday, August 10, 2022

පළමු අවසන් සිනහව

සෙංකඩගලින් පිටත් වූ
සවස දුම්රියේ අසුනක
මා ළඟින් හිඳ ආ
ඔබෙ වත සිහිවේ මට යළිත්

දුම්රියට නැගි මොහොතේ
මවෙත රැඳි ඔය බැල්මෙන්
සසල නොවුන ද මසිත
හැඟුම් විරහිත වීමි මම
අතීත මතක සිහි වී...

නෙත් ගැටුනද යළි යළිත්
නිහඬව පැමිණීමු අපි
රඹුක්කන දී බැස ගියා ඔබ...
වරක් මා දෙස බලා

වෙන්ව යන අතර
හැරී බැලුවා මදෙස
හිනැහුනෙමු අපි...
මුල් වරට, සහ...
අවසන් වරට.


ධනේෂ් විසුම්පෙරුම
1992.09.12

සටහන - උසස් පෙළ (දෙවන වර) අවසන්ව සිටිය දී වසර තිහකට පෙර ලියූ මේ කවිය හමු වූයේ එක්තරා මතක සටහන් පොතකිනි. අද ඒ වත ද මතකයේ නැත. එහෙත් ඒ සිදුවීම මතකය. සංස්කරණයක් කළ ද මූලික අදහස එසේමය.

Wednesday, January 26, 2022

පසුතැවුම (?)

කළත් මම බොහෝ දේ
එහැම ‌කටයුතු මට නොවේ...
නොයෙක් දේ කළෙම් මම
සමාජයට ද අනුනට ද
කාලය ශ්‍රමය වැයකර!

මගෙම වැඩ රැසක් ඇත
මගහැරී - නොකෙරී!
කෙටි සටහන්ව නතරව
ලැප් එකේ ගොනුවක...
සටහන් ‌පොතක පිටු අතර...
ඉදිරියට නොගොසින්!

නැවතී හැරී බැලුවෙමි
කාලය ගතව ඇත...
ඉතිරි කාලය කෙතෙක් වෙද
නොදනිමි මම...
විමසමි මම මගෙන් ම
ගමන වෙනස් කළ යුතු
කාලය එළැඹ ඇත්තෙද?


ධනේෂ් විසුම්පෙරුම


26.01.2022

Sunday, November 7, 2021

වැස්ස දෙස බලාගෙන

හදිසියේ වට
නාකපන වැස්සට
කොටුවී හිදිමි
සල්පිලක අගුවක
සුපුරුදු හන්දියේ

වැසි වටොත්
පායනා බව
දත් හෙයින්
බලා ඉමි එතෙක්
වැස්ස දෙස...

@ දෙල්කඳ හන්දිය...

ධනේෂ් විසුම්පෙරුම
07.11.2021

Friday, July 2, 2021

අහස හා සිත


සුදු-අළු-නිල්
එළිය-අඳුර පිරි
පැහැදිලි-අපැහැදිලි
අහස වගෙමයි
.
.
.
සිතත්...


ධනේෂ් විසුම්පෙරුම

02.07.2021


Monday, April 12, 2021

දුවගේ වස්තුව...

පොත් රාක්ක අස්කරද්දි
යළි හමු වූ මේ එකතුව
බිම පෙරලාගෙන ඉඳගෙන
තෝරා - ගලපා - රසවිඳ
බඳුනට දමනා සෙල්ලම
පටන් අරන් වගේ පෙනෙයි...

මාල පබලු - ටීක් බෝල
බොත්තම් හා සීකුයින්ස්
පැන්සල්වල කෑලි බෑලි
තව තව පොඩි පොඩි අයිටම්
තව සෑහෙන වෙලාවකට
ඔතන තමයි එයා ඉතින්...

සැනින් ගියෙමි අතීතයට
මටත් තිබුන ඒ වාගේ
එක එක දේ පෙට්ටියක්ම
තෝර තෝර රසවිඳින්න...
ඒවායින් එකක් දෙකක්
තාමත් තියනව මා ළඟ!


ධනේෂ් විසුම්පෙරුම

12.04.2021

Tuesday, February 16, 2021

හල්දුම්මුල්ලට උඩ අහස

මීදුම
සීතල
අඳුර
කුමක් හෝ
පවසයි...



ධනේෂ් විසුම්පෙරුම

16.02.2021

Tuesday, March 10, 2020

පැමිණ ගිය නුඹට

මේ නිහඬ රා්‍රියේ
කලකින් ඔබ පැමිණි වග
ඒ සිහින් සරයෙන්
මා සවනට ඇසුණා

පිළිගැනුමට ගිය මට
ඔ‌බෙ සුවඳ දැනුණා
ඔය නෙතින් ගලාගිය
කඳුළක සිසිලස
මා සුරතට දැනුණා

එනමුත් ඇයි නුඹ
ආ සැනින් මා දමා
නික්මුණේ ‌නොකියාම
සුවඳ පමණක් තබා

වාසනා නැතිද තව
මා හා රැදෙන්නට.
ජීවය පුබුදන්නට..
ජීවිතය දෙන්නට...
.
.
.
"වර්ෂා"...,
ඔබෙනි මේ විමසුම

ධනේෂ් විසුම්පෙරුම
2020.03.10