Showing posts with label Environmental Education and Awareness. Show all posts
Showing posts with label Environmental Education and Awareness. Show all posts

Monday, February 20, 2023

දශකයක් ලියන 'පරිසර පුවත්'!


'විදුසර' පුවත්පතට 'පරිසර පුවත්' මැයෙන් මා විසින් සතිපතා ලියන ජගත් මට්ටමින් වැදගත් පරිසරය හා ඒ ආශ්‍රිත විෂය පිළිබඳ පුවත් එකතුව ලිවීමට පටන්ගෙන 2023 පෙබරවාරි 20 දිනට වසර දහයකි. එහි මුල්ම පුවත් දෙක පළ වුයේ 2013 පෙබරවාරි මස 20 දින දී ය (ඡායාරූපය). එදා සිට අද දක්වා මෙවැනි පුවත් එකතු 483ක්* පළ වී ඇත.

සෑම සතියකම කෙහොමත් කියවන පරිසරය හා සම්බන්ධ පුවත් අතරින් තුනක් තෝරාගැනීම ඇතැම් සතිවල අසීරු වන්නේ වැදගත් පුවත් අධික වීම නිසාය. එතැන දී ගෝලීය හා කලාපීය වැදගත්කම මෙන්ම විෂය වැදගත්කම ද සලකා බලා තිබේ. එසේම වැදගත් පුවතක් වචන දෙසීයකින් ලිවිය නොහැකි අවස්ථාවලදී ඇතැම් සතියක එක පුවතක් මුළු පුවත් ඉඩ සඳහාම ලියා ඇත. සමහර සිදුවීම් පුවතක් වනවා වෙනුවට විශේෂාංගයක් වී තිබේ.

මෙහි දී ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි කීපයක විද්‍යා හා පරිසර පුවත් මෙන්ම පර්යේෂණ සන්නිවේදනය සඳහාම කැප වූ වෙබ් අඩවි කීපයක් ද අඛණ්ඩව පරිශීලනය කරමි. කිසියම් පුවතක් සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් හෝ වාර්තාවක් පසුබිම වී ඇත්තේ නම්, අදාළ පර්යේෂණ ප්‍රතිකාවේ DOI අංකය හෝ වාර්තාවක නම් වෙබ් අඩවිය සඳහන් කර ඇත. ඒ වැඩිදුර ‌කියැවීම පහසු කිරීම පිණිසය.

මේ පුවත් සියල්ල ඒ සඳහා සකස් කරමින් ඇති බ්ලොග් අඩවියේ මේ වර්ෂය ඇතුළත පළ වනු ඇත.

*අවුරුදු දහයක් යනු සති පන්සිය විස්සක් වුවත් ලියූ පුවත් එකතු ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ හේතු කීපයක් නිසාය (1) නොවැම්බර් මාසයට යෙදෙන විදුසර සංවත්සර කලාපයේ පුවත් පළ නොවීම, (2) ඇතැම් වසරවල සිංහල අලුත් අවුරුද්ද සතියේ පත්‍රය පළ නොවීම, (3) පසුගිය 2022 වසර මැද සිට පුවත්පත පළ වන්නේ සති දෙකට වරක් වීම හා (4) මගේ කටයුතු බහුල වීම නිසා සති දෙකතුනක් නොලිවීම මේ හේතු වේ.


ධනේෂ් විසුම්පෙරුම

2023.02.20

Sunday, June 5, 2022

පරිසරය ජගත් මාතෘකාවක් වී වසර පනහයි

ධනේෂ් විසුම්පෙරුම

අද, එනම් ජුනි මස පස්වැනි දා ජගත් පරිසර දිනයයි.

ජගත් පරිසර දිනය යෙදී ඇති ජුනි මස 5 වැනි දිනය ඒ සඳහා යොදාගෙන ඇත්තේ ඇයි ද යන්න විමසා බැලූවිට මේ වර්ෂයේ ජුනි 5 දිනය වැදගත් බව පෙනේ. ඒ පරිසරය පිළිබඳව ජගත් මට්ටමින් පැවැති පළමු සමුළුව ආරම්භ කරන ලද්දේ වසර 50කට පෙර අද වැනි දිනයක නිසාය.

ඒ සමුළුව නම්, 1972 ජුනි මස 5 දින සිට 16 දින දක්වා ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ දී පැවති 'මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුවයි' (UN Conference on the Human Environment). මෙය ස්ටොක්හෝම් සමුළුව ලෙස ද හඳුන්වනු ලැබේ.

ඒ ස්ටොක්හෝම් සමුළුවේ දී පිළිගන්නා ලද මානව පරිසරය පිළිබඳ ස්ටොක්හෝම් ප්‍රකාශනය හා ක්‍රියාකාරී සැලසුම මේ සමුළුවේ දී සම්මත වූ වැදගත් ප්‍රකාශයකි. එසේම එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන හා ජගත් පරිසර දිනය ස්ථාපිත කිරීම ද මෙහි දී යෝජනා කරන ලද්දකි. 1 රූපයේ දැක්වෙන්නේ ඒ සමුළුවේ දී ජගත් පරිසර දිනය පිළිබඳ ඉදිරිපත් වූ යෝජනාවයි. එය සඳහන් වන්නේ සමුළුවේ වාර්තාව වන Report of the United Nations Conference on the Human Environment නම් ලේඛනයේ 32 වන පිටුවේය. ඒ වාර්තාව මෙතැනින් බාගන්න)

ජගත් පරිසර දිනය ස්ථාපිත කිරීම පිළිබඳ මේ  යෝජනාව 1972 දෙසැම්බර් මස 15 දින පැවැති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත විය. මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනාව සඳහා 2 රූපයේ දැක්වේ. (අදාළ ලේඛනය මෙතැනින් බාගන්න)

අදින් වසර පනහකට පෙර ස්ටොක්හෝම් නගරයේ දී පැවති 'මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව' නුතන පරිසර ව්‍යාපාරයේ සන්ධිස්ථානයක් වන්නේ පරිසරය සම්බන්ධව ජගත් මට්ටමේ පළමු උත්සාහය එය වන නිසාය. 1960 දශකයේ සිට පරිසර ගැටලු සම්බන්ධව ලෝකයේ සංවර්ධිත යැයි සම්මත රටවල විද්‍යාඥයින්ගේ හා උනන්දුවක් දක්වන ජනතා ක්‍රියාකාරීන්ගේ අවධානයක් හා උනන්දුවක් පැවැතිණි. ඇමරිකාවට සීමා වූ 1970  අප්‍රේල් මාසයේ දී පැවති මිහිතල දිනය එවැනි සිදුවීමක් විය. එසේ තැනින් තැන ඇති වූ පරිසරය ආරක්ෂා කිරීම පිළිබඳ උනන්දුව ජගත් මට්ටමට පිවිසියේ 1972 වර්ෂයේ ජුනි 5 දා ආරම්භ වූ ස්ටොක්හෝම් සමුළුවෙනි. ඒ නිසා 1972 ජුනි 5 වැනි දා සිහිපත් කළ යුතු දිනයක් වේ. 

මේ ජගත් පරිසර දිනය ආරම්භයේ කතාවයි. එය මුල්වරට සමරන්නට පටන්ගන්නේ 1973 වර්ෂයේ දී බව සඳහන් අතර පළමුවරට තේමාවක් සහිතය සමරනු ලබන්නේ 1974 වර්ෂයේ පටන්ය. 


1 රූපය - ජගත් පරිසර දිනය පිළිබඳව ස්ටොක්හෝම් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනාව
1 රූපය - ජගත් පරිසර දිනය පිළිබඳව ස්ටොක්හෝම් සමුළුවේ දී ඉදිරිපත් වූ යෝජනාව

 

2 රූපය - 1972 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ සම්මත වූ යෝජනා

Thursday, April 22, 2021

"මිහිතල දිනය" හා "මිහිතල මාතා දිනය"

ධනේෂ් විසුම්පෙරුම


22.04.2021


අද, එනම් අප්‍රේල් මස 22 වැනි දිනය "මිහිතල දිනය" බව දැන් ප්‍රකට කරුණකි. එහෙත් එය "අන්තර්ජාතික මිහිතල මාතා දිනය" යනුවෙන් ද හැඳින්වෙන බව දන්නේ අඩු පිරිසකි.

මේ දෙක එකක් ද? නැත. මේ පළමුව සඳහන් දිනය ඇමරිකාවේ පැවැති පාරිසරික අර්බුදය නිසා උපන් ජනතා විරෝධතාවක් පැවති 1970 වසරේ දිනයක් සැමරීමකි. (එම සැමරුම 1990න් පසු ජගත් මට්ටමට ගියේය). අනෙක ඊට බොහෝ කාලයකට පසුව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කළ දිනයකි.


මිහිතල දිනය (Earth Day)

1960 ගණන් වන විට ඇමරිකාවේ පැවති මහා පරිමාණ පරිසර දූෂණය පිළිබඳව එරට ජනතාවගේ අවධානය යොමු විය. එයට පිළියම් සෙවීමට රජයට බලකරමින් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහයෝගය පළ කරමින් එරට ජනතාව විසින් 1970 අප්‍රෙේල් මස 22 වැනි දින ඇමරිකාව පුරා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඊට මිලියන විස්සක පමණ ජනතාවක් සහභාගි වී ඇත. ඒ සඳහා මුල් වූ එවකට සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් (1916-2005) මේ දිනයේ ආරම්භකයා ලෙස සැලකේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂාව සඳහා විවිධ කටයුතු ආරම්භ විය. එමෙන්ම එය 1970 දශකයේ දී ජගත් මට්ටමෙන් ඇති වු පරිසරය පිළිබඳ සාකච්ඡාවට ද බලපෑමක් කළ බැවින් මේ දිනය නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙයි.

පළමු මිහිතල දිනයේ සම්බන්ධීකාරක වූ ඩෙනිස් හේයස් (1944-) එහි විසිවන සංවත්සරය හා සමගාමීව 1990 වර්ෂයේදී ජගත් සැමරුමක් බවට පත් විය. ඒ වර්ෂයේ දී රටවල් 141ක් පුරා මේ දිනය සමරන ලදි. 2020ට යෙදුණු මිහිතල දිනයේ පනස්වන සංවත්සරයට ලෝකය පුරා මිලියන සියයක පමණ ජනතාවක් සම්බන්ධ වී ඇත.

1990 වර්ෂයේ දී ජගත් මට්ටමට ගිය මිහිතල දින සැමරුම ශ්‍රී ලංකාවේ ද පවත්වන ලදි. අපේ රටේ සංවිධානය කළ වැඩසටහන් සම්බන්ධව ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ පුවත්පත වූ 'මිහිකත' 9 කලාපයේ පළ වූ පුවතක් මෙසේය.




එදා මිහිතල දිනයේ සිට පරිසර දිනය (ජුනි 5) දක්වා මෙරට තුළ සිදු කළ කටයුතු ගැන 'මිහිකත' 10 කලාපයේ විස්තර පළ විය. (අපේ රටේ නූතන පරිසර ව්‍යාපාරයේ ව්‍යාප්තිය සිදුවන්නේ ද අසුව දශකයේ පමණය.)




එහි සඳහන් පරිදි 1990 අප්‍රේල් 22 දින පැවති කටයුතු සමහරක් මෙසේය.










කෙසේ වෙතත් මිහිතල දිනය යෙදෙන කාලය ලංකාවේ උත්සව සමයක් වීම නිසා මෙන්ම පාසල් නිවාඩු සමයක් වීම නිසාත් මේ දිනය සැමරීම දිගු කාලීනව සාර්ථක නොවීය. එහෙත් වරින්වර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා ඇත.

මිහිතල දිනය සඳහා තේමා නම් කිරීම හා ජගත් මට්ටමින් සම්බන්ධීකරණය කිරීම 'මිහිතල දිනය ජාලය' (Earth Day Network) විසින් සිදුකරනු ලැබේ. එහි වෙබ් අඩවිය www.earthday.org වේ.



අන්තර්ජාතික මිහිතල මාතා දිනය (International Mother Earth Day)



එඑතෙක් ස්වාධීනව සිදුකරන ලද මිහිතල දින සමරුවට අමතරව 'අන්තර්ජාතික මිහිතල මාතා දිනය' ලෙස අප්‍රේල් මස 22 දිනය නම් කරනු ලබන්නේ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මෙසේය.


ඒ අනුව මේ දිනය සැමරීමේ දී ඒ වන විට පැවති තිරසර සංවර්ධනය හා සම්බන්ධ වැඩසටහන් හා  සැලසුම් ආදිය  යළිත් පිළිගැනීම හා අනුමත කරන බව යළිත් සඳහන් වේ. මිනිසුන්ගේ ද නිවස වන මිහිතලය හා සොබාදාහම සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවැත්මේ ඇති වැදගත්කම ද කියැවේ. 'මිහිතල මාතාව' ලෙස සිදුකරන හැඳින්වීම තුළින්ම මිහිතලය, මිනිසුන් හා සෙසු ජීවීන් අතර ඇති අන්‍යොන්‍ය උපජීවනය නිරූපණය යන බව මේ යෝජනාවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත. 

(මෙම යෝජනාව PDF පිටපතක් ලෙස මෙතැනින් බාගන්න - http://undocs.org/A/RES/63/278)

එසේ සම්මත වූ මිහිතල මාතා දිනය 2010 වර්ෂයේ සිට සමරනු ලැබේ.


එබැවින් මේ දිනය වෙනුවෙන් 1970 සිට සමරනු ලබන ඇමරිකානු (පසුව ජගත් මට්ටමට ගිය) දිනයක් ද, 2009 දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ අන්තර්ජාතික දිනයක් ද ඇති බව පෙනෙයි. 

"මිහිතල දින" සැමරුම නිසා "අන්තර්ජාතික මිහිතල මාතා දින සැමරුම" යටපත් වී ඇති බවක් ද පෙනේ. එහෙත්  මේ දින දෙකේම අරමුණ වන්නේ මිහිතලය ආරක්ෂා කිරීමය; ඒ වෙනුවෙන් හඬනැගීමය; ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. එබැවින් ඒ දිනවල ඉතිහාසය ගැන අවබෝධයකින් යුක්තව පරිසරය වෙනුවෙන් මේ දිනය සමරමු.

22.04.2021

Friday, September 25, 2020

‘ග්‍රේටා තුන්බර්ග් සාධකය’

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.09.02, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/09/02/feature1.html





පසුගිය දෙවසරක පමණ කාලයේ දී ලෝකයේ පරිසර හා සම්බන්ධව ග්‍රේටා තුන්බර්ග් ගැන කතා නොකළ ප්‍රධාන පෙළේ ජනමාධ්‍යයක් නොමැති තරම්ය. ස්වීඩනයේ ජීවත් වූ පහළොස් හැවිරිදි පාසල් දැරියක වූ ඈ උපතින් වර්ධනය හා සම්බන්ධ ගැටලුවකින් ද යුක්ත වූ තරුණියක විය. දේශගුණ වෙනස් වීම සම්බන්ධව එරට ගෙන තිබූ පියවර ප්‍රමාණවත් නොවන බව හඳුනාගත් ඈ ඒ සම්බන්ධව ක්‍රියාකාරී වීම සඳහා අලුත් මගක් ගත්තාය. ඇය මුලින්ම ප්‍රකට වූයේ සිකුරාදා දිනවල දී පාසල වර්ජනය කරමින් එරට පාර්ලිමේන්තුව අසළ තනිවම සිදු කළ උද්ඝෝෂණයත් සමගිනි. ඒ 2018 වර්ෂයේ අගෝස්තු මාසයේදීය. මේ පාසල් වර්ජනය හා ඒ සමඟාමීව ආරම්භ වූ උද්ඝෝෂණ මාලාව කෙටි කාලයක් ඇතුළත ලෝකයේ බොහෝ රටවල්වලට ව්‍යාප්ත විය. 2019 මාර්තු 15 දින පැවැති පාසල් වර්ජනයට රටවල් 120කට අයත් මිලියන 1.6ක පමණ සිසු පිරිසක් සම්බන්ධ වූ බවට ගණනය කර තිබෙයි. කලක් තිස්සේ අඩාල වෙමින් තිබූ පරිසර ක්‍රියාකාරිත්වයට නව පණක් ලබාදීමට මෙයින් හැකි විය.

2015 වර්ෂයේදී දේශගුණ වෙනස් වීම පාලනය කිරීම අරමුණු කරගෙන පැරිස් ගිවිසුම ඇතිකරගත් නමුත් ඒ සම්බන්ධව ලෝකයේ රටවල් ගෙන තිබූ පියවර ප්‍රමාණවත් බව කලක සිට පැහැදිලිව තිබිණි. විශේෂයෙන් ඒ ගිවිසුම යටතේ ලෝකයේ එක් එක් රටවල් ස්වේච්ඡාවෙන් සිදුකරන්නට පොරොන්දු වී තිබූ හරිතාගාර වායු සීමා කිරීම් ප්‍රමාණවත් නොවන බව පැහැදිලිව තිබිණි. එහෙත් ලෝක දේශපාලන නායකත්වය කල් මරමින් සිටියා මිස එතරම් සාධනීය පියවරක් ගැනීමට යොමු වූ බවක් ද දැකිය නොහැකි විය.

එවැනි තත්ත්වයකදී ලෝකයේ අවධානය යළිත් මේ බරපතළ ගැටලුව වෙත යොමුකරවීමට එම උද්ඝෝෂණ මාලාව මෙන්ම මේ කාලයේම ආරම්භ වූ තවත් උද්ඝෝෂණ හා සංවිධානගත කටයුතු ද මීට බලපා තිබිණි. ග්‍රේටා තුන්බර්ග් විසින් කළ පෙලඹවීම ඒ අතරින් කැපී පෙනෙන්නකි. මීට ට්විටර් හා වෙනත් සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලැබිණි. මේ සමඟම ග්‍රේටා තුන්බර්ග් ජගත් පරිසරවේදිත්වයේ සංකේතයක් බවට පත් විය. ඇය අනාගත පරපුරේ පරිසර ක්‍රියාකාරිත්වයේ හඬ වූවාය. මේ සමඟ ඇයට ජගත් මට්ටමේ සමුළු ආදියට සම්බන්ධ වීමට මෙන්ම ඇතැම් සමුළු ආමන්ත්‍රණය කිරීමට ද හැකි විය. ඈ සිදු කළ කතා මෙන්ම පළ කළ විවිධ අදහස්වල කැපී පෙනෙන පාරිසරික පණිවුඩයක් අන්තර්ගත විය. ඒ මූලික වශයෙන් දේශගුණ වෙනස් වීම සම්බන්ධයෙනි.

ඇගේ ක්‍රියාකාරිත්වය අනුව ඇය ලෝකයට කිසියම් බලපෑමක් කළ බව පෙනෙයි. එය අද වන විට හඳුන්වනු ලබන්නේ ‘ග්‍රේටා තුන්බර්ග් සාධකය’ (Greta Thunberg Effect) හෝ ‘ග්‍රේටා සාධකය' (Greta Effect) යනුවෙනි. මුලින්ම පුවත්පත් මගින් හඳුන්වා දෙන ලද බවක් පෙනෙන මේ යෙදුම ගැන බොහෝ දේ ලියැවී ඇති අතර, ඒ සම්බන්ධව යම් යම් පර්යේෂණවල විෂය බවට ද පත්ව ඇත. මේ අනුව ඇගේ බලපෑම අංශ දෙකක් ඔස්සේ දැක්වීමට හැකි බව අපට පෙනෙයි. ඒ ව්‍යාපාර හා තනි පුද්ගලයන් පරිසරය සම්බන්ධව ගත් පියවර හා පරිසර ක්‍රියාකාරිත්වය කෙරේ ඇති කර තිබෙන බලපෑම ලෙසය.

පරිසරය සම්බන්ධව ගත් පියවර


විවිධ ව්‍යාපාර හා පුද්ගලයින් විසින් සිය කාබන් විමෝචන අවම කරගැනීම සඳහා කාබන් හිලව් කිරීමේ (carbon offsetting) ව්‍යාපෘවල සිදුකරන ආයෝජන පසුගිය කාලයේදී ඉහළ ගොස් ඇත. ඒ ආයෝජන වැඩි වශයෙන් සිදුවන්නේ දියුණු වන රටවලය. මේ ගැන කටයුතු කරන සංවිධාන පෙන්වා දෙන පරිදි, මෑත වසර එකහමාරක පමණ කාලයේදී එවැනි ආයෝජන සිව් ගුණයකින් පමණ ඉහළ ගොස්ය. ක්ලයිමේට් කෙයාර් (ClimateCare) හා ක්ලියිමේට් ස්ටුවර්ට්ස් (Climate Stewards) වැනි සමාගම් හා සංවිධාන මේ බව වාර්තා කර තිබෙයි. මේ අතර තනි තනි පුද්ගල සහභාගිත්වය වඩාත් පැහැදිලිව ඉහළ ගොස්ය.

කාබන් හිලව් කිරීමේදී සිදුවන්නේ කිසියම් ආයතනයක හෝ පුද්ගලයකුගේ කටයුතු නිසා සිදුවන කාබන් විමෝචන ප්‍රමාණයට සමාන විමෝචන ප්‍රමාණයක් පරිසරයෙන් ඉවත් කිරීමට හෝ පරිසරයට එක්වීම වැළැක්විය හැකි ව්‍යාපෘතියකට ගෙවීමක් කර කාබන් අයක් (carbon credit) මිල දී ගැනීමයි. මෙය තරමක් විවාදාත්මක වන්නේ එමගින් මුලින් පවසන තැනැත්තා තම කාබන් විමෝචනවල අඩු කිරීමක් සිදුනොකරන නිසාය. වෙනත් තැනක කාබන් විමෝචන ඉවත් කිරීමට හෝ නිකුත්වීම වැළැක්වීමට පියවරක් ගැනීම මෙහිදී සිදුවේ. මේ කාබන් වෙළෙඳාම මුළුමනින්ම පාහේ ස්චේඡාවෙන් සිදුවන මෙන්ම ස්ථිර මිලක් නියම වී නොමැති එකකි.

කාබන් හිලව් කිරීමට යොමු වීමේ දැකිය හැකි මෙම ඉහළ යෑම සඳහා හේතුවක් ලෙස ලෝකයේ දැකිය හැකි විවිධ උද්ඝෝෂණ නිසා සිදු වූ දැනුවත්භාවය හේතු වූ බව මේ සංවිධානවල අදහසයි. ඉන් එකක් වන්නේ ග්‍රේටා බලපෑමයි. එසේම මෑත දී ඇති වූ වඳවීමේ කැරැල්ල (Extinction Rebellion), පාසල් වර්ජන ආදිය ද මීට බලපා ඇති බව ඔවුන්ගේ අදහසයි. කොවිඩ් 19 මගින් ලෝකයේ කටයුතු අක්‍රිය කිරීමට පෙර පැවැති සමීක්ෂණයක දී හෙළිව තිබුණේ 2020 වර්ෂයේදී සිය පරිසර ක්‍රියාකාරකම් ඉහළ නැංවීමට විවිධ ආයතන අපේක්ෂා කරන බවයි. විශේෂයෙන් පාරිසරික ඉලක්ක අත්පත් කරගැනීම ඒ අතර වෙයි. මේ සමාගම් ප්‍රධානීන් තුළ පරිසරය හා දේශගුණ වෙනස් වීම ගැන කටයුතු කිරීමට උනන්දුවක් ඇති වීමට බලපෑමක් කළ පුද්ගල චරිතය ලෙස බොහෝ අය දක්වා ඇත්තේ ග්‍රේටා තුන්බර්ග්ගේ ක්‍රියාකාරිත්වයයි. ඒ නිසා ඔවුන් තුළ ඇති වූ පෙළඹවීමය

පරිසර ක්‍රියාකාරිත්වයට බලපෑම


මේ අතර ග්‍රේටාගේ ක්‍රියාකාරිත්වය නිසා පරිසරය සම්බන්ධය ක්‍රියාකාරී වීම ලෝකය පුරා දැකිය හැකිය. ඒ සඳහා උත්ප්‍රේරකය වී ඇත්තේ ඇයගේ ක්‍රියාකාරිත්වයයි. එවැනි නිදසුන් රැසක් පසුගිය කාලයේ පුවත්පත් හා වෙබ් මාධ්‍ය ඔස්සේ වාර්තා විය.

තරුණ ගැහැණු ළමුන් සංවිධානාත්මකව පරිසරය සම්බන්ධව ක්‍රියාකාරී වීම මෑත කාලයේ ඉහළ ගොස් ඇති බව ෆෝබ්ස් සඟරාව වාර්තා කරයි. පරිසර සටන්කාමීන් (eco-warriors) ලෙස ඔවුන් ඉදිරිපත් වීම ඉහළ යෑමට හේතුව වන්නේ ග්‍රේටාගේ බලපෑම විය හැකි බව ඒ ගැන අදහස් දක්වන අය පෙන්වා දී තිබෙයි.

එමෙන්ම මාර්ගගත () හෙවත් අන්තර්ජාලය හරහා සිදුකරන සමාජමය සක්‍රිය වීමේ ක්‍රියාකාරකම් ද ඉහළ ගොස් ඇත. තරුණ පරපුරට තොරතුරු තාක්ෂණය යොදාගන්නා ආකාරය ගැන බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක ෆියුචර් මේකර්ස් (FutureMakers) නම් වැඩසටහනකින් පෙනීගොස් ඇත්තේ ඊට සහභාගිවන පිරිස් අතර, දේශගුණ වෙනස් වීම ගැන කටයුතු කිරීම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. මේ අතර බ්‍රිතාන්‍යයේ මාධ්‍ය නියාමන ආයතනයක් වන ඔෆ්කොම් (Ofcom) ආයතනයේ සමීක්ෂණයකින් හෙළි වී ඇති පරිදි 2019 වර්ෂයේදී ළමුන් වැඩි පිරිසක් සිය සමාජමය ක්‍රියාකාරිත්වය සඳහා සමාජ මාධ්‍ය පුළුල් ලෙස යොදාගෙන ඇත. මෙය හුදෙක් පරිසරය පමණක් නොව වෙනත් කරුණු සම්බන්ධව ද දැකිය හැක්කකි.

සම්මාන හා විවේචන‌


ග්‍රේටා තුන්බර්ග් සිදු කළ කාර්යය නිසා ඇයට බොහෝ සම්මාන පවා හිමි විය. නිදසුනක් ලෙස ගතහොත්, රාජකීය ස්කොට් භූගෝලවිද්‍යා සංගමයේ (Royal Scottish Geographical Society) ගෞරවනීය අධිසාමාජිකත්වයක් (honorary fellowship) ඇයට හිමි විය. එසේම ටයිම් සඟරාවෙන් තෝරාගන්නා ලෝකයේ වඩාත් බලපෑමක් කළ හැකිපුද්ගලයින් 100 දෙනා (100 most influential people) අතරට මෙන්ම වසරේ පුද්ගලයා බවට පත් වූ ලාබාලතම පුද්ගලයා (Time Person of the Year) බවට ද පත්වීමට ඇයට හැකි විය. එසේම ෆෝබ්ස් සඟරාව විසින් නම් කළ ලෝකයේ වඩාත්ම බලවත් කාන්තාවන් 100දෙනා අතර (Forbes list of The World's 100 Most Powerful Women) ඇය සිටියි. එසේම 2019 හා 2020 නොබෙල් සාම ත්‍යාගය (Nobel Peace Prize) සඳහා යෝජනා වූ නම් අතර ඇගේ නම ද වෙයි. තවත් බොහෝ සම්මාන ද ඇය සතු විය.

කෙසේ වෙතත් ඇයට ඇතැම්විට චෝදනා ද එල්ල විය. ඒ අතර පාසල්වර්ජනය කිරීම, ඇගේ ලාබාල වයස වැනි කරුණු දැකිය හැකි විය. එසේම දේශගුණ සංශයවාදී අදහස් ඇති අයද ඇයට විවේචන එල්ල කර තිබිණි. ග්‍රේටාව විවේචනය කළ එක් ප්‍රකට චරිතයක් වූයේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය.

මෙසේ ග්‍රේටා සම්බන්ධ ඍණාත්මක අදහසක් ඇති පිරිස් සම්බන්ධව අවධානය යොමු කළ එක් අධ්‍යයනයකට අනුව ඒ විවේචන සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව විවේචකයන් තුළ ඇති සංශයවාදී අදහස් පමණක් නොවේ. ඔවුන් සමාජ කරුණු ගැන දක්වන සෙසු ආකල්ප ද හේතු වී ඇත. නිදසුනක් ලෙස ගතහොත් ඇය කාන්තාවක වීම හා ඇගේ ලාබාල වයස ද මේ විවේචන එල්ල කළ අයගේ අකමැත්ත සඳහා හේතු වී ඇත! මේ අධ්‍යයනය ඇය හා ඇයගේ කටයුතු සම්බන්ධව සිදුකරන ලද මාස 14ක ඇමරිකානු හා ස්වීඩන ට්විටර් පණිවුඩ හා ඒවායේ හිමිකරුවන්ගේ පැතිකඩ (profile) තොරතුරු ‌යොදාගනිමින් සිදුකරන ලද්දකි. එහිදී සලකා බලා ඇති එක් අංශයක් වී ඇත්තේ ඔවුන්ගේ පසුබිම හා වෙනත් සමාජ කරුණු ගැන දක්වන අදහස්ය. එසේම මෙම අධ්‍යයනයේදී පෙනී ගොස් ඇති තවත් කරුණක් නම් ඇය විසින් කළ බලපෑම ඉහළ නැංවීමට විවිධ නළු නිලියන් හා වෙනත් ජනප්‍රිය පුද්ගලයන් විසින් කළ බලපෑම ද විශාල බවයි. (මූලාශ්‍රය - DOI: Sustainability, DOI:10.3390/su12072707)

ග්‍රේටා තුන්බර්ග් පසුගියදා යළි පාසල් ගියාය. ඒ සිය පාසල් ගමන වසරකට අධික කාලයක් නවතා තැබීමෙන් පසුවය. ඈත දහහත් හැවිරිදි වයසේ පසුවන්නියකි. මීට පෙරද තරුණ පරිසර ක්‍රියාකාරිකයන් මෙසේ සක්‍රියව දායක වී ඇත. ඇතැමුන් එක්සත් ජාතීන්ගේ සමුළුද අමතා ඇත. එහෙත් ග්‍රේටා තරම් ඉදිරියට ගිය අය අල්පය. එසේම ඇයගේ කියාදෙන තවත් දෙයක් වන්නේ තමන් ලෝක ප්‍රකට තරුවක් වුවද අධ්‍යාපනය අත් නොහල යුතු බවයි. කෙසේ වෙතත් දේශගුණ වෙනස් වීම හා පරිසරය ගැන ග්‍රේටාය කළ හැකි තවත් දේ ඇති බව සිතේ.

ඡායාරූපය - European Union 2020 – Source: EP

Thursday, April 30, 2020

නව්‍ය කොරෝනාව නිසා පරිසරයට සිදු වූ යහපත තිරසර එකක් බවට පත්කර ගන්නේ කෙසේ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.04.29, පි. 5 (Vidusara)

E-paper පමණි - http://www.vidusara.com/2020/04/29/feature4.html (jpg ගොනුවකි)


නව්‍ය කොරෝනා ලෙසින් ප‍්‍රකට වූ කොවිඞ්-19 වයිරස වසංගතය හමුවේ ලෝකයේ බොහෝ රටවල සාමාන්‍ය දෛනික කටයුතු නැවතී ඇත. කර්මාන්තශාලා, ව්‍යාපාර ඇතුළු සේවා ස්ථාන වැඩි ප‍්‍රමාණයක් වසා දමා ඇති අතර, ඒවා අත්‍යාවශ්‍ය සේවාවලට සීමා වී ඇත. මාර්ග මෙන්ම ගුවන් ප‍්‍රවාහනය ද මුළුමනින්ම පාහේ නැවතී ඇත. මිනිසුන් සංචරණය නොකරන නිසා මාර්ග මෙන්ම වෙනත් සියලූ ස්ථාන පාලූ වී ගොසිනි. ලෝක ආර්ථික වර්ධනය මේ වර්ෂයේදී විශාල අඩුවීමක් පෙන්වන බවද පැහැදිලිය.

මේ තත්ත්වය නිසා පරිසරයේ ඇති වී තිබෙන සුබවාදී තත්ත්ව පිළිබඳව වාර්තා ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙයි. මිනිස් ක‍්‍රියාකාරකම් අඩු වී ගොස් පාලූ වී ගිය නගරවලට වනසතුන් පැමිණීම එවැනි එක් සිදුවීමකි. ජල දූෂණය හා මානව කටයුතු අඩු වීම නිසා වැනීසිය වැනි සමහර ප‍්‍රදේශවල එතෙක් ජලයේ දැකිය නොහැකි වූ සතුන් හා ශාක දැන් දැකගත හැකි වී තිබෙයි. එසේම වායු දූෂණය අඩු වීම පිළිබඳව සාධක චීනයෙන් හා තවත් රටවලින් වාර්තා වී ඇත. මෑත කාලයේදී දැකිය නොහැකි වූ හිමාලය කඳුවැටිය යළිත් දැක ගැනීමට එක් ඉන්දියානු නගරයක වැසියන්ට හැකි වී ඇත්තේ ද වායු දූෂණය අඩු වීම නිසාය.

කෙසේ වෙතත් මේපරිසරයට මේ ලැබී ඇති සහනය කෙතරම් කාලයක් පවතිනු ඇත්තේද යන්නය. එය පැහැදිලි ගැටලූවකි. මේ තත්ත්වයට තරමක් හෝ සමාන තත්ත්වයක් ලෙස පෙනෙන්නේ 2008 පමණ ඇති වූ ආර්ථික අර්බුදයයි. ඒ නිසා කර්මාන්ත හා සෙසු කටයුතු අඩපණවීම නිසා හරිතාගාර විමෝචන අඩු විය. 2007 වර්ෂයේදී ලෝකයේ හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය පෙර වර්ෂයට වඩා 3.77% කින් ඉහළ ගොස් ඇති අතර, 2008 දී එය ඉහළ ගිසේ 0.65% කින් පමණි. 2009 දී එය 1.10%කින් අඩු විය. එහෙත් ආර්ථික කටයුතු යථා තත්ත්වයට පත්වීමත් සමඟ 2010 වර්ෂයේදී හරිතාගාර වායු විමෝචන ප‍්‍රමාණය 5.72%කින් ඉහළ ගියේය. එය වාර්තාගත වර්ධනයකි. මේ තත්ත්වය සෙසු පරිසර දූෂකවලට ද පොදුය.

නව කොරෝනා වසංගතය නිසා ද ලෝක ආර්ථිකයේ පිරිහීමක් ඇති විය හැකි බව පැහැදිලිය. ඒ සමඟ කර්මාන්ත, ප‍්‍රවාහන හා බලශක්ති අංශ ආදියේ ඇතිව තිබෙන අඩපණ වීමේ ප‍්‍රථිඵලය ලෙස දැකිය හැකි පාරිසරික වෙනස්කම් කීපයක් ඉහත දක්වන ලදි. මේ තත්ත්වය ශ‍්‍රී ලංකාවේද දැකිය හැකිය. එවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳව වාර්තා වූ අතර හා ඒවා තාවකාලික සහනයක් පමණක් විය හැකි බවද පැහැදිලිය. ඒ සිදුවීම් මෙන්ම අදාළ සහනය දිගුකාලීන තිරසර තත්ත්වයක් බවට පත් කරගැනීමට ඇති හැකියාව ගැන ද විමසීම මේ ලිපියේ අරමුණ වෙයි.


වායු දූෂණය අඩු වී තිබීම


කොළඹ ප‍්‍රදේශයේ වායු දූෂණය අඩු වූ බව මධ්‍යම පරිසර අධිකාරියේ නිලධාරීන් උපුටා දක්වමින් පුවත්පත්වල පළ වි තිබූ කරුණකි. ‘වාතයේ ගුණාත්මක බව පිළිබඳ සුචිය’ අනුව මෑත දිනවල මේ ප‍්‍රදේශයේ වාතය ‘හොඳ’ තත්ත්වයේ පවතී. පෙර වර්ෂවල මාර්තු හා අපේ‍්‍රල් කාලයට සාපේක්ෂව මේ වර්ෂයේදී වායු දූෂණය අඩු වී ඇති බව පැහැදිලිය. එමෙන්ම මේ සමඟම වායුගෝලයට එකුවන කාබන්ඩයොක්සයිඞ් හා සෙසු හරිතාගාර වායු ප‍්‍රමාණය අඩු වී ඇති බවද අප අමතක නොකළ යුතුය.

වායු දූෂණය අඩු වී ඇත්තේ කොළඹ නගරයේ මෙන්ම රටේද බලශක්තිය සඳහා ඉන්ධන දහනයේ වෙනසක් නොමැති තත්ත්වයක් තිබියදීය. නිදසුනක් ලෙස ගතහොත් අපේ‍්‍රල් 27 දින මෙරට විදුලි උත්පාදනයෙන් 39%ක් පමණ ජනනය කර ඇත්තේ තෙල් මගින් ක‍්‍රියාත්මක තාප බලාගාරවලිනි. තවත් 37%ක් ගල්අඟුරුවලිනි. එසේම කර්මාන්තශාලාවලින් සිදුවන විමෝචන ද අවම වී ඇත්තේ ක‍්‍රියාත්මක කර්මාන්ත අඩු නිසාය. ඒ අනුව ප‍්‍රධාන වශයෙන්ම මේ වෙනස සිදුව ඇත්තේ රථවාහන ධාවනය අඩු වීම නිසාය. මේ යහපත් තත්ත්වය දිගටම පවත්වා ගැනීමට නම් කළයුත්තේ කුමක්ද? කර්මාන්ත හා විදුලි බලාගාර රටේ ආර්ථිකයට අවශ්‍ය බැවින් දිගු කාලීනව ඒවා ක‍්‍රියාත්මක නොවී තබාගැනීමට නොහැකිය. එසේ නම් ඉදිරියේදී ද වාහන ධාවනයෙන් නිකුත්වන වායු විමෝචන අඩු කිරීම සඳහා ඉක්මනින් පියවර ගැනීම කළ හැකි එකම දේ වෙයි. එය කළ හැකි එක් ක‍්‍රමයක් වන්නේ පොදු ප‍්‍රවාහන සේවා පුළුල්ව ශක්තිමත් කිරීමෙනි. අනෙක වන්නේ පුද්ගලික වාහන භාවිතය සාධාරණ නොවන අවස්ථා සීමා කිරීමය. නිදසුනක් ලෙස එක් මගියෙකු වෙනුවෙන් එක් වාහනයත් නගරයට ඇතුළු වීම දැක්විය හැකිය. එවැනි පියවර ගැනීමෙන් තවදුරටත් වාහන විමෝචන අඩු කර තබා ගැනීමට හැකිය. මෙහිදී වාහන විමෝචන පරීක්ෂාවෙහි සාර්ථකත්වය ද සමහරුන් ප‍්‍රශ්න කර ඇති අතර ඒ ගැන ද අවධානය යොමු කළ යුතුය. එසේම මේ වන විට කටයුතු ආරම්භ වී ඇති සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘති හා කණු මත දිවෙන දුම්රිය ව්‍යාපෘති වැනි ව්‍යාපෘති මගින් වාහන ධාවනය අඩු කරගත හැකිවනු ඇත. මේවා හැකි ඉක්මනින් ක‍්‍රියාත්මක විය යුතුව තිබේ.


ජලයේ ගුණාත්මක බව ඉහළ යෑම


කැලණි ගඟේ ජලයේ ගුණාත්මක බව ඉහළ ගොස් ඇති බව ද මේ ආකාරයෙන් වාර්තා වූ තවත් කරුණකි. මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් ගංගාවේ ස්ථාන කීපයකින් ලබාගත් නියැදිවලින් මේ බව පෙනී ගොස් ඇත. එයින් පෙනී යන්නේ ජල දූෂණය වැළැක්වීමට මෙතෙක් පැවති නීති අනුව නොහැකි වී ඇති බවද යන්න මෙහිදී මතුවන පැනයයි. ගෙඟ් ජල දූෂණයට බලපෑ කරුණුවලින් මෑත දී වෙනස් වී ඇත්තේ කර්මාන්තශාලාවලින් නිකුත්වන අප ජලය ගඟට මුසු වීම නතර වීම පමණකි. වාහන සේවා ස්ථානවල ද යම් බලපෑමක් ඇති බවය. මෙමගින් පෙනෙන්නේ විවිධ කර්මාන්තශාලාවලින් දැන හෝ නොදැන අප ජලය ගඟට එක්වන බව විය හැකිය.

මේ යහපත් තත්ත්වය අඛණ්ඩව පවත්වා ගත හැක්කේ කෙසේද? කර්මාන්ත රටේ ආර්ථිකයට මෙන්ම ජනතාවගේ රැකියා සම්බන්ධවද වැදගත්ය. එසේ නම්, ඒවා ළඟදීම ආරම්භ විය යුතුව ඇත. එබැවින් මේ කර්මාන්තවලින් නිකුත්වන අප ජලය ප‍්‍රතිකාර කිරීම ගැන වඩාත් සැලකිලිමත් විය යුතු බව පෙනේ. අනෙක් කරුණ වන්නේ සේවා ස්ථාන ආදියෙන් නිකුත්වන අපජලය ද පරිසරයට නිකුත් වීම පාලනය කිරීමයි. මේ සඳහා රජයේ බලධාරීන් මෙන්ම අදාළ කඒමාන්ත හිමිකරුවන් ද, ජනතාව ද අවධානය යොමු කිරීම වටියි.


වෙරළ දූෂණය අඩු වෙයි


මේ අතර පසුගියදා වාර්තා වූ තවත් පුවතකට අනුව වෙරළ තීරයට එක් කරනු ලබන ප්ල්ස්ටික් ප‍්‍රමාණය 50% කින් පමණ අඩු වී ඇත. ඒ බව හෙළි වී ඇත්තේ ද රාජ්‍ය ආයතනයක් විසින් සිදුකරන ලද අධ්‍යයනයකදීය. එය වෙරළ තීරයේ දිස්ත‍්‍රික් පහක ස්ථාන ආශ‍්‍රිතව සිදුකරන ලද්දකි. මේ සඳහා මූලික හේතුව ජනයා නිවෙස්වලින් පිටතට යෑම අඩු වීම බව පැවසේ. එමෙන්ම වෙත් ජල දූෂක ද අඩු වී ඇති බවක් ද එහි දක්වා ඇත. මෙය වැදගත් වන්නේ සාගරයට ප්ලාස්ටික් අපද්‍රව්‍ය එක් කිරීම ජගත් මට්ටමේ ගැටලූවකට හේතු වී ඇති නිසාය.

ප්ලාස්ටික් හා සෙසු ඝන අපද්‍රව්‍ය පිළිබඳ ගැටලූව නම් දීර්ඝ කාලයක සිට පැවතෙන්නකි. එහෙත් එය තවත් කාලයක් ගත වීමට පෙර විසඳා ගත යුත්තකි. මේ පිළිබඳව කෙතරම් දැනුම්වත් කර තිබුණද මේ පුරුදු නැතිකර ගැනීමට තවමත් ජනතාවට හැකියාව ලැබී නැත. තුනී පොලිතින් තහනම් කිරීමෙන් වරක් භාවිත කර ඉවත දමන පොලිතීන් බෑග් ප‍්‍රමාණය අඩු කිරීමට ගත් පියවර අසාර්ථක වී ඇති ඇති බව ද පැහැදිලිය. දැන් සිදුව ඇත්තේ වඩා ඝනකම බෑග් වරක් භාවිත කර ඉවත දැමීමක් බව පෙනෙයි. කෙසේ වෙතත් ජනතාව ෂොපින් යෑම ඇතුළුව අනවශ්‍ය ගමන් බිමන් අඩු කර නිවාසවලට සීමා වී සිටි කාලයේදී පොලිතීන් භාවිතය අඩු වී ඇති බවක් පෙවෙයි.


මේ වෙනස තිරසර කිරීමට නම්


මේ තත්ත්වයෙන් පෙන්වන එක් කරුණක් නම් අප මෙතෙක් සිදුකරගෙන ආ කටයුතුවල කිසියම් ගැටලූවක් තිබෙන බවයි. එසේම කොරෝනා නිවාඩුවේ පසුගිය මාසයක කාලයේ පරිසරයට ඇති වූ සහනය හෙවත් වෙනස ජනමාධ්‍යවල තවත් පුවතක් පමණක් බවට පත් වීමට ඉඩ දිය යුතු නැති බව අපේ අදහසයි. පරිසරයේ දැකිය හැකි වූ යහපත් ප‍්‍රතිඵල වර්ධනය කිරීම සඳහා අඛණ්ඩ උත්සාහයක් දැරීම අවශයය.

එවැනි උත්සාහයක් මගින් මුළුමනින්ම නැතත්, ඒ වෙනස කිසියම් ප‍්‍රමාණයකින් හෝ තිරසර එකක් කිරීමට අපට තැත් කළ හැකිය. මේ අත්දැකීම් වායු දූෂණය, ජල දූෂණය හා ඝන අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධ දැනුම්වත් කිරීමේ වැඩසටහන්වලට නිර්මාණාත්මක අයුරින් ඇතුළත් කළ හැකිය. මෙහි තවත් අභියෝගයක් ඇත. එනම්, කොවිඞ්-19 ගැටලූවත් සමඟ රටේ ආර්ථිකයේ යම් පසුබෑමක් ඇති වීමය. එවැනි තත්ත්වයකදී සමහර පරිසර හිතකාමී කටයුතු සඳහා පිරිවැය සපයා ගැනීම ගැටලූ සහිත විය හැකිය. රාජ්‍ය අංශයේ මෙන්ම පුද්ගලික අංශයේ පරිසර හිතකාමී කාර්යයක් හා අරමුදල් සදහා මේ තත්ත්වය බලපෑ හැකිය. මෙය ලංකාවට පමණක් නොව ලෝකයටම පොදු විය හැකි දෙයකි. එනිසා ජනතාවගේ ආකල්ප වෙනස් කිරීම වැදගත් වනු ඇත. මේ සියලූ කටයුතුවලදී රටේ ජීවත්වන සියලූ දෙනාගේම වගකීමක් ඇති බැවින් සියලූ පාර්ශ්ව දැනුම්වත් කිරීම වැදගත් කටයුත්තක් වනු ඇත. අවශ්‍ය වන්නේ නීති රීති පැනවීම පමණක් නොවේ.

Saturday, January 27, 2018

එළිමහන් ක්‍රියාකාරකම්වලින් පසුව සිසු අවධානය ඉහළට

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.01.2018 පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/01/24/feature1.html




ස්‌වාභාවික පරිසරයෙන් මිනිසුන්ට ලැබෙන බොහෝ ප්‍රයෝජන පිළිබඳව අපි දනිමු. ඒ අතර විවිධ ඝෘජු හා වක්‍ර සේවා වෙයි. උද්‍යාන, ගහකොළ හා වනජීවීන් වැනි ස්‌වාභාවික පරිසරයේ නොයෙක්‌ සංරචකවලට නිරාවරණය වූ පුද්ගලයන්ට ලැබෙන ප්‍රයෝජන මේ අතර තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ශාරීරික ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම, මානසික ආතතිය අඩු කරවීම, අවධානය ප්‍රාණවත් වීම හා සක්‍රියභාවය ඉහළ යැම වැනි කරුණු දැක්‌විය හැකි ය.

මේ තත්ත්වය ළමයින් ගේ පාසල් අධ්‍යාපනයේ දී ද දැකිය හැකි කරුණකි. සාමාන්‍යයෙන් පාසල් අධ්‍යාපනයේ ප්‍රමුඛතාවක්‌ ලැබෙන්නේ පන්ති කාමරය ඇතුළත පවත්වනු ලබන ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා ය. එහෙත් පන්ති කාමරයෙන් පිටත එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු සඳහා යම් අවධානයක්‌ යොමු වී ඇත. ගසක්‌ යට, තණ පිටියක සිදු කරන පාඩමක්‌ යනු ළමයින්ට පංති කාමරයේ සිදු කරනු ලබන සාමාන්‍ය අධ්‍යාපන කටයුතුවලට වඩා යම් වෙනසක්‌ ලබා දෙන්නකි. ඒ සඳහා පාසල් ළමයින් ගේ, විශේෂයෙන් ප්‍රාථමික පංතිවල පසු වන කුඩා ළමයින් අතර, වැඩි උනන්දුවක්‌ ද දැකගත හැකි ය.

පරිසරය පාදක කරගත් ක්‍රියාකාරකම් අනාගතයේ දී පරිසරය පිළිබඳව විමසුමක්‌ සහිත පරපුරක්‌ බිහි කිරීමට උපකාරී වෙයි. දරුවන් සිය ළමා කාලයේ දී ලබන පරිසරය පිළිබඳ ධනාත්මක අත්දැකීම් ඔවුන් ගේ වැඩිහිටි වයසේ දී පරිසර හිතවාදී හැසිරීම් ඇති වීම සඳහා වැදගත් වන බව පර්යේෂණ මගින් පෙන්වා දී තිබෙන කරුණකි. මේ අනුව ස්‌වාභාවික පරිසරය පාදක කරගත් පාඩම්වල කිසියම් වැදගත්කමක්‌ ඇති බව පැහැදිලි ය.

වර්තමානය වන විට බොහෝ යුරෝපීය රටවල විධිමත් පාසල් අධ්‍යාපන ක්‍රමවේදය තුළ ස්‌වභාවික පරිසරයේ සිදු කරන පාඩම් වැඩසටහන් සඳහා වැදගත් තැනක්‌ ලබා දීම සඳහා කටයුතු කර තිබෙයි. එහෙත් ඇමෙරිකාවේ පෙර පාසල් පද්ධතියේ හැර පාසල් අධ්‍යාපනය තුළ මේ සඳහා ලබා දී ඇත්තේ අඩු අවධානයක්‌ බව පැවසෙයි. මේ සඳහා එක්‌ හේතුවක්‌ සේ සැලකෙන්නේ එවැනි එළිමහන් අධ්‍යාපන කටයුත්තක දී ළමයින් ගේ අවධානය කේන්ද්‍රගත කර තබාගැනීමට අපහසු බවට ගුරුවරුන් තුළ ඇති විශ්වාසයයි.

කෙසේ වෙතත්, එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරනු ලබන පාඩමකින් පසු ව ළමයින් ස්‌වකීය පාසල් කටයුතුවලට සම්බන්ධ වීම හා අවධානය ඉහළ යන බව පසුගිය දා නිකුත් වූ අධ්‍යයනයකින් අනාවරණය කර ඇත. මේ නිසා එවැනි අධ්‍යාපන සැසියකින් පසු ව සිදු කරන ගෘහාශ්‍රිත පාඩමක දී එම ගුරුවරුන්ට බාධාවකින් තොර ව දෙගුණයක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ඉගැන්වීමේ කටයුතුවල නියෑළීමට හැකියාව පවතී. මෙය වැදගත් වන්නේ ස්‌වාභාවික පරිසර තත්ත්ව යටතේ සිදු කරනු ලබන අධ්‍යාපන කටයුතු මගින් ලැබෙන මෙ වැනි ප්‍රතිලාභ සම්බන්ධව පැහැදිලි කිරීම් වැදගත් වන නිසා ය.

ඇමරිකානු අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනයේ දී එම අධ්‍යයන කණ්‌ඩායම, පරීක්‌ෂා කිරීම සඳහා යොමු කළ කල්පිතය වූයේ ස්‌වාභාවික පරිසරයේ එළිමහනේ සිදු කරනු ලබන පාඩමක්‌ මගින් ඊට පසුව වහා ම සිදු කරනු ලබන පන්ති කාමරය ආශ්‍රිත පාඩම්වල දී දක්‌වන අවධානය හා පාඩමට සම්බන්ධ වීම ඉහළ යන බවයි.

උක්‌ත අධ්‍යයනය සිදු කර ඇත්තේ වයස අවුරුදු 9 - 10 අතර වයසේ පසු වන තුන්වැනි ශ්‍රේණියේ පංති දෙකක ළමයින් පදනම් කරගනිමිනි. ඒ ඇමෙරිකාවේ දී ය. එහි දී පරෙස්‌සමෙන් තෝරාගන්නා ලද ගැළපෙන ආකාරයේ පාඩම් දෙකක්‌ එක්‌ පාඩමක්‌ එළිමහනේ ද, ඒ හා සමාන අනෙක්‌ පාඩම පන්ති කාමරයක්‌ ඇතුළත ද වශයෙන් සති දහයක කාලයක්‌ ළමයින්ට උගන්වා තිබෙයි. මෙය පළපුරුදු ගුරුවරයකු විසින් මෙන් ම එසේ නො වන ගුරුවරයකු විසින් ද සිදු කරනු ලැබ ඇත. ඔවුන් ගේ එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ පාඩම සඳහා තෝරාගෙන තිබුණේ පාසලෙන් පිටත පිහිටා ඇති කුඩා වනාන්තරයක්‌ පෙනෙන දුර පිහිටි තණබිමකි. මේ පාඩම සාමාන්‍යයෙන් මිනිත්තු 40ක කාලයක්‌ ගත වූ පාඩමකි. ඊට පන්ති කාමරයේ සිට අදාළ එළිමහන් ස්‌ථානයට ගමන් කරන කාලය ද අයත් ය.

මේ සැම එළිමහන් හා ගෘහස්‌ථ පාඩම් සැසියකින් පසු ව කෙටි මිනිත්තු 5ක විවේකයක්‌ ලැබේ. ඉන් පසුව ආ මිනිත්තු 20ක නිරීක්‌ෂණ කාල පරිච්ඡේදවල දී ළමයින් කෙතරම් දුරට අධ්‍යාපන කාර්යයේ නිරත වූයේ ද යන්න ගුරුවරුන් විසින් මැනීම සිදු කරන ලදි. මේ නිරීක්‌ෂණය කරන ලද කාල සීමාවේ දී ළමයින් ගේ අවධානය අන් අතකට යොමු වූ අවස්‌ථා පිළිබඳව ගණනය කිරීම සිදු කර ඇත. ඒ 'ඉඳගන්න', 'වැඩ කරන්න' වැනි යෙදුම් යොදා ළමයින් ගේ අවධානය පාඩම් කටයුතු සඳහා යොමු කළ යුතු වූ අවස්‌ථා ප්‍රමාණය ගණන් කිරීමෙනි. එසේ ම පන්තියේ දී ලබාගන්නා ලද ඡායාරූප පිටස්‌තර නිරීක්‌ෂකයකු විසින් නිරීක්‌ෂණය කරන ලදුව ළමයින් කෙතරම් හොඳින් පාඩම් කටයුතුවල නිරත වූයේ ද යන්න නිරීක්‌ෂණය කර ඇත. ඒ අනුව ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම පිළිබඳව ලකුණු ලබා දී ඇත. එහෙත් ඒ ඡායාරූප එළිමහන් සැසියකට පසු ද, ගෘහස්‌ථ සැසියකට පසු ද යන්න නිරීක්‌ෂකයන් හට හෙළි කර නොමැත. ගුරුවරුන් ද ළමයින් අධ්‍යාපන කටයුතුවලට සම්බන්ධ වීම සඳහා ලකුණු ලබා දී තිබෙයි.

ඒ අනුව හෙළි වී ඇත්තේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද එළිමහන් පාඩමකින් පසු ව එම ළමයින් වඩාත් අවධානයකින් (attention) යුතු ව සිය පාසල් කටයුතුවලට සම්බන්ධ (engage) වූ බව ය. මේ අනුව එළිමහන් පාඩමකින් පසු සිදු කරන ලද පන්ති කාමර පාඩමක දී බාධාවකින් තොර ව සාමාන්‍ය කාලසීමාව මෙන් දෙගුණයක පමණ කාලයක්‌ සිය පාඩම කරගෙන යැමට එම ගුරුවරුන්ට හැකියාවක්‌ ලැබී තිබෙයි. මෙය වැදගත් හෙළිදරව්වකි. එසේ ම ගුරුවරයා වෙනස්‌ වීම, උපදේශාත්මක ප්‍රවේශය, පන්තියේ ළමයින් ගණන, පන්ති කාමරය වැනි කරුණු, වසරේ කාලය, දවසේ කාලය වැනි කරුණු අනුව මේ වෙනස පැහැදිලි කළ නො හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත. එසේ ම ස්‌වභාවික පරිසරය පදනම් කරගත් අධ්‍යාපන පාඩම් පිළිබඳ සුබවාදී ලෙස සැලකූ ගුරුවරයකුට මෙන් ම එවැනි පාඩම් පිළිබඳව නිශේධනාත්මක අදහස්‌ තිබූ ගුරුවරයකුට ද ලැබුණේ සමාන ප්‍රතිඵල වීම විශේෂත්වයකි.

එළිමහනේ ස්‌වාභාවික පරිසරයේ සිදු කරන ලද පාඩම්වලින් පන්ති කාමරයේ අධ්‍යාපන කටයුතුවලට සිදු වූ බලපෑම සම්බන්ධ ව සිදු කරන ලද පළමු අධ්‍යයනය මෙය බව සඳහන් වෙයි.

අනාගතයට ඇති ප්‍රයෝජනය


ළමයින් සම්බන්ධව මීට පෙර සිදු කර ඇති මෙවැනි අධ්‍යයනවලින් පෙන්වා දී ඇති කරුණක්‌ වන්නේ පන්ති කාමරයේ ජනේලයක්‌ තුළින් පෙනෙන හරිතවත් පරිසරයක දර්ශනයකින් පවා ළමයින් ගේ අවධානය සම්බන්ධ ව යම් සාධනීය බලපෑමක්‌ ඇති කළ හැකි බවයි.

එහෙත් ඇතැම් ගුරුවරුන් එළිමහනේ පාඩම් කටයුතු සිදු කිරීමට මැළිකමක්‌ දක්‌වන බව වෙනත් රටවල සිදු කර ඇති අධ්‍යයනවලින් ද පෙනී ගොස්‌ ඇති දෙයකි. එයට හේතුව එළිමහනේ සිදු කරන පාඩම් කටයුතු මගින් ළමයින් තුළ අධි-කලබලකාරිත්වයක්‌ හෝ අධික උත්තේජනයක්‌ (overexcite) හෝ ඇති වීම නිසා ඉන් පසුව පන්ති කාමරයේ කටයුතුවලට ඔවුනට සිය මනස යොමු කිරීම අපහසු විය හැකි නිසා ය.

එහෙත් මේ පර්යේෂණ කණ්‌ඩායමේ අධ්‍යයන ප්‍රතිඵල අනුව පෙනී ගොස්‌ ඇත්තේ ළමයින් පාසලේ කටයුතුවලට වඩාත් සම්බන්ධ වී ඇත්තේ එළිමහන් පාඩමකින් පසු ව බවයි. සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි එවැනි පාඩමකින් පසුව ළමයින් අධික ලෙස කලබලකාරී බවට පත් වීමක්‌ හෝ අවධානය නොමැති බවක්‌ නො දැක්‌වූ අතර, ඔවුන් ස්‌වකීය පාසල් කටයුතුවලට වඩාත් සම්බන්ධ වීම හා අධික අවධානයක්‌ ඇති වීම දැකිය හැකි විය.

මේ අනුව එළිමහනේ සිදු කරනු ලබන පාඩම් කටයුතු සිසුන් අධ්‍යාපන කටයුතු හා සම්බන්ධ වීම (engage) වැඩිදියුණු කිරීම සඳහා යෝග්‍ය අඩු වියදම් හා පහසු ක්‍රමවේදයක්‌ විය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා තිබෙයි. මෙය සලකා බැලිය යුතු කරුණක්‌ වන්නේ ඒ නිසා ය. එසේ ම ඔවුන් විධිමත් අධ්‍යාපනයේ දී සොබාදහම පදනම් කරගත් එළිමහන් පාඩම්වලට තවදුරටත් වැඩි අවස්‌ථාවක්‌ ලබා දිය යුතු බව ද දක්‌වා තිබෙයි. එය ප්‍රවර්ධනය කළ යුතු තත්ත්වයකි.

කෙසේ වෙතත් මේ තත්ත්වය සැම රටකට ම, සැම පාසලකට ම එක සේ සාධාරණ යෑයි කීමට අප හදිසි විය යුතු නැත. පාසලේ පිහිටීම හා වටපිටාව මෙන්ම එය එළිමහන් පාඩමක්‌ සිදු කිරීමට සුදුසු ස්‌ථානයක්‌ පවතින්නේ ද යන්න වැදගත් කරුණකි. ආසන්න ප්‍රදේශයේ ස්‌වාභාවික දර්ශනයක්‌ නොමැති ප්‍රදේශවල පිහිටා ඇති පාසල් පවතී. එසේ ම මෙවැනි එළිමහන් ක්‍රියාකාරකමක්‌ පැවැත්වීම සඳහා පාසල තුළ ද අවශ්‍ය වටපිටාවක්‌ තිබිය යුතු අතර, යෝග්‍ය කාලයක්‌ ද තිබිය යුතු ය. ඇතැම් විට මෙවැනි ක්‍රියාකාරකම් සමහර නිවර්තන කලාපීය රටවලට නො ගැළපෙනු ඇතැයි සිතීමට ද ඉඩක්‌ තිබෙයි. ඒ පරිසරයේ පවත්නා අධික උෂ්ණත්වය නිසා ය. අප රට වැනි රටක නම් මදුරුවන් දෂ්ටනය වැනි අතුරු විපාක ද වළක්‌වාගැනීමට විධිවිධාන යෙදීමට සිදු වේ. කෙසේ වෙතත්, දවසේ ඒ සඳහා නියමිත කාලය සකස්‌ කරගැනීම ඇතුළු අදාළ පියවර ගැනීමෙන් එම තත්ත්ව වෙනස්‌ කළ හැකි ය. එසේ ම සාමාන්‍යයෙන් මෙවැනි ක්‍රියාකාරකම් පවත්වනුයේ ප්‍රාථමික පංතිවලට ය. එහෙත් වඩා වැඩුණු සිසුන් වෙත ද මෙවැනි කටයුතුවලට සම්බන්ධ වීමට හැකියාව තිබෙයි. එය ද සලකා බැලිය යුතු කරුණකි.

මූලාශ්‍රය: Frontiers in Psychology, DOI:10.3389/fpsyg.2017.02253

http://www.vidusara.com/2018/01/24/feature1.html

Friday, July 14, 2017

පොලිතීන් තහනමට ජයවේවා, ඒත්........

(මේ ලිපිය ලියන ලද්දේ 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ පොලිතින් භාවිතය සඳහා පළමුවරට සීමා පනවමින් ගැසට් නිවේදනයක් නිකුත් කළ අවස්ථාවේදීය. එම තහනම ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවූ බව අප දන්නා කරුණකි. - ධනේෂ් විසුම්පෙරුම 14.07.2017)

ධනේෂ් විසූම්පෙරුම

විදුසර, 2006.12.27 (Vidusara)

http://www.vidusara.com/2006/12/27/feature1.html (in kaputa font)


තුනී පොලිතින් භාවිතය හා නිෂ්පාදනය තහනම් වූව ද මයික්‍රෝන 20ට වැඩි ඝනකමකින් යූක්ත පොලිතින් භාවිතය හෝ නිෂ්පාදනය තහනම් නො වේ. මේ නිසා වැඩි ඝනකමින් යූක්ත පොලිතින්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් වර්ග වෙළෙඳපොළට පැමිණිය හැකි ය. මේ වන විටත් ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ සඳහා උනන්දු වී ඇත. මේවා වර්තමාන ලන්ච්ෂීටි හා ෂොපින් බෑග්වලට වඩා මිලෙන් අධික වනූ ඇත.

දිගු කලක් තිස්සේ අප අපේක්ෂා කළ පොලිතින් තහනම අවසානයේ දී ක්‍රියාත්මක වීමට යයි. ලබන ජනවාරි මස 1 වැනි දින පටන් ක්‍රියාත්මක වීමට නියමිත මෙම නව නීති අනූව ඝනකමින් මයික්‍රෝන විස්සට අඩූ පොලිතින් නිෂ්පාදනය, අලෙවිය සහ භාවිතය තහනම් වේ. පරිසර නීතියේ ප්‍රතිපාදන අනූව පරිසර අමාත්‍යවරයා විසින් 2006 ඔක්තෝබර් 10 වන දින ප්‍රකාශයට පත් කරන ලද අංක 1466/5 දරන ගැසටි නිවේදනය අනූව මේ තත්ත්වය උදා වී ඇත. පරිසර නීතිය අනූව මෙම නියෝග කඩ කරන අයකු ඒ සඳහා වරදකරු වූව හොත් රුපියල් 10,000ක දඩයක් හෝ වසර දෙකක සිර දඬූවමක් හෝ ඒ දඬූවම් දෙකට ම යටත් වීමට සිදු වනූ ඇත.

මෙම නව නියෝගවලට අනූව පොලිතින් යනූවෙන් පොලිඑතිලින්, පොලිප්‍රොපිලින්, පොලිස්ටයිරින්, පොලිවයිනයිල් ක්ලෝරයිඩ්, පොලිඑතිලින් ටෙරිප්තලේටි හෝ වෙනත් සමාන අමූද්‍රව්‍යවලින් කරනූ ලබන නිෂ්පාදන අචහස් කෙරෙයි. මේ නිෂ්පාදන සඳහා

රැගෙන යාම, ඇසිරීම, එතීම හෝ ඇසූරුම් කිරීම සඳහා නිපදවන නිෂ්පාදන ඇතුළත් වේ. මේ නීති විශේෂයෙන් ම පාරිසරික වශයෙන් මේ වන විටත් හිසරදයක් වී ඇති ලන්ච් ෂීටි, ග්‍රොසරි බෑග් හා ෂොපින් බෑග් වර්ගවලට බලපායි.

කිසිදු සැකයක් නොමැති ව මෙම නියෝග අපේ රටෙි පාරිසරික අර්බූද පිළිබඳ කථාවේ, එසේත් නැත හොත් පරිසරය රැකගන්නට ක්‍රියාත්මක අරගලයේ වැදගත් සන්ධිස්ථානයකි.

පොලිතීන් හා පරිසරය

රටෙි පරිසරය සම්බන්ධයෙන් ඉතා බරපතල ගැටලූවක් බවට පත් ව ඇති පොලිතින් නිසා ඇති වන ගැටලූ අපි දිගු කලක පටන් අත්විඳිමින් සිටිමූ. මේවා පරිසරයට එක් වීම නිසා සිදු වන හානිය ඉතා විශාල ය. නිදසූනක් ලෙස පහසූවෙන් දිරාපත් නො වන පොලිතින් නිෂ්පාදන නිසා පරිසරය දූෂණය වීම, හා ජල මාර්ග අවහිර වීම වැනි තත්ත්ව අපි අත්දුටූවෙමූ. ඒ විනාශයේ තරම ප්‍රත්‍යක්ෂ කරගත්තෙමූ. මේ සඳහා තුනී පොලිතින් එනම් මයික්‍රෝන 20ට අඩූ ඝනකමක් ඇති පොලිතින්වලින් ඇති දායකත්වය අධික ය. මෙම නිෂ්පාදන වැඩි වාර ගණනක් භාවිතය ඉතා අසීරු ය. මේ නිසා බොහෝ විට එක් වරක් පමණක් භාවිතයෙන් පසූ ඉවත දෑමීමට සිදු වේ. (මෑත කාලයේ දී මෙවැනි පොලිතීන් නිෂ්පාදන ඇතැම් විට එක්වරක් වත් භාවිත කළ හැක්කේ අසීරුවෙනි. මේ සඳහා හේතු වී ඇත්තේ අමූද්‍රව්‍ය මිල ඉහළ යාම බව ද පැවසෙයි). පොලිතින් හා ප්ලාස්ටික්වලින් කෙරෙන කල් පවතින නිෂ්පාදන මෙන් නො ව මේවා නිසා පරිසරයට එකතු වන පොලිතින් ප්‍රමාණය අධික ය. එසේ ම මෙම තුනී පොලිතින් නිෂ්පාදන ප්‍රතිචක්‍රිකරණය ද අපහසූ වී ඇති බව පෙනේ. (අපේ රටෙි ප්‍රතිචක්‍රිකරණය කරනූ ලබන්නේ පරිභෝජනය කෙරෙන ප්ලාස්ටික් ප්‍රමාණයෙන් ඉතා සූළු ප්‍රමාණයකි. ඒ සඳහා ක්‍රමවත් හා පූළුල් උත්සාහයක් තවමත් දෑකගත නොහැකි ය.)

අපේ රටෙි ඒක පූද්ගල ප්ලාස්ටික් පරිභෝජනය කිලෝ ග්‍රෑම් 4.5ක් බව කලකට පෙර වාර්තා වී තිබිණිි. මෙය මේ වන විට තවත් වැඩි වී ඇතිවාට සැක නැත. මේ අතරට පොලිතින් නිෂ්පාදකයන් පවසන ආකාරයට එක් දිනක දී රටෙි භාවිත වන ලන්ච්ෂීටි මිලියන 5ක් ද ඇතුළත් ය. භාවිතයෙන් පසූව අනිවාර්යයෙන් ම ඉවත දැමෙන ලන්ච්ෂීටි භාවිතයේ තරම කෙබඳු දෑයි මෙම සංඛ්‍යාලේඛනවලින් සිතා ගත හැකි ය.

මේ තත්ත්වය හා ඒ සඳහා වන විසඳුම් පිළිබඳව ද එතරම් කලක පටන් සාකච්ඡා කර ඇත්තෙමූ. මෙි සඳහා යම් ආකාරයක සීමාකිරීම්, තහනමක් හෝ බදු හෝ දඩ වැනි ක්‍රමයක් හෝ ක්‍රම එකතුවක අවශ්‍යතාව පිළිබඳව යෝජනා වී තිබිණිි. අපි ද මේ පිළිබඳව විදුසර පූවත්පත මගින් ම කිහිප වරක් ම කතා කර ඇත්තෙමූ.

ලෝකයේ වෙනත් රටවල් ද මේ තත්ත්වයට මූහූණ දුන් අතර ඒ සඳහා පියවර ද ගෙන ඇත. බංග්ලාදේශය, ඉන්දියාවේ ඇතැම් ප්‍රාන්ත හා දකුණූ අප්‍රිකාව මේ අතර වෙයි. බංග්ලාදේශය වැනි රටවල මේ තත්ත්වය වඩාත් සාර්ථක ය.

අපේ රටෙි පොලිතින් නිෂ්පාදන සීමා කිරීම හා තහනම් කිරීම පිළිබඳව මැතිවරණ පොරොන්දුවලින් ද සහතික දී තිබේ. එසේ ම කලින් කලට පත් වූ පරිසර අමාත්‍යවරුන් කිහිප දෙනකු දුන් පොරොන්දු ද අප ගේ මතකයේ තිබේ. කෙසේ වෙතත් මේ දක්වා මෙම තහනම ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් නො වී ය. අවසානයේ දී එය යථාර්ථයක් බවට පත් වීමට ආසන්න අවස්ථාවේ දී මේ පිළිබඳව මඳක් විමසා බැලීම සූදුසූ ය. විශේෂයෙන් මෙම තහනම මගින් පමණක් පොලිතීන් නිසා ඇති වී තිබෙන පරිසර දූෂණය ඇතුළු ගැටලූ වළක්වා ලිය හැකි ද යන්න විමසා බැලීම සූදුසූ ය.

තහනමේ බලපෑම

රජය ගෙන ආ නව තහනම නිසා ඇති විය හැක්කේ කෙබඳු බලපෑමක් ද යන්න මඳක් විමසා බැලීම වැදගත් ය. නිදසූනක් ලෙස රජය මෙමගින් බලාපොරොත්තු වනූයේ ඇතැම් වර්ගවල පොලිතින් නිෂ්පාදන නිෂ්පාදනය, අලෙවිය හා භාවිතය වැළැක්වීම ය. එමගින් මෙම ද්‍රව්‍ය පරිසරයට එකතු වීම වළක්වා පරිසර දූෂණය නවත්වා ලීම ය. නීති සම්පාදනය පමණක් නො ව මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයක් ද අවශ්‍ය ය. එවැන්නක් ද සැකසෙනූ ඇතැ යි අපේක්ෂා කරමූ. අදාළ නීති උල්ලංඝනය කරන්නවූන් අල්ලාගැනීම සඳහා අවශ්‍ය පියවර ගැනීම මෙන්ම දඬූවම් ලබා දීමට පියවර ගැනීම ද වැදගත් ය.

මෙම තහනම නිසි ආකාරයට ක්‍රියාත්මක වූව ද ඇති විය හැකි ගැටලු අතර වැදගත් කරුණක් වන්නේ ෂොපින් බෑග් සහ ලන්ච් ෂීටි සඳහා මේ වන විට පූළුල් විකල්පයක් නොමැති වීම ය. මේ වන විට පොලිතීන් සඳහා විවිධ විකල්ප භාවිතයට පැමිණ ඇතත් ඒ සූළු ප්‍රමාණවලිනි. සිලි සිලි බෑග් වෙනූවට අතීතයේ දී භාවිත කළ විවිධ පරිසර හිතකාමී බෑග් වර්ග දෑන් වෙළදපොළේ පවතී. මේ අතර රෙදි, හණ, පන් ආදියෙන් කළ බෑග් වර්ග තිබේ. මේවා අනාගතයේ ඇති විය හැකි ඉල්ලූම සමඟ ව්‍යාප්ත වනූ ඇත. එසේ ම ජෛව හායනයට ලක් වන පොලිතින් බෑග් නිෂ්පාදනය ද දෑන් දෑන් ප්‍රචලිත වෙමින් පවතී. මෙවැනි නිෂ්පාදන හා කර්මාත්න සඳහා යම් යම් සහන ආදිය ලබා දීම ඵලදායක විය හැකි ය. ලන්ච් ෂීටි වෙනූවට ආදේශයක් ලෙස මැතක දී කරළියට පැමිණි පදම් කළ කෙසෙල් කොළය තවත් හොඳ විකල්පයකි. අනෙක් අතට ප්ලාස්ටික්වලින් නිෂ්පාදිත වූව ද කෑම පෙටිටිය මේ සඳහා හොඳ විකල්පයකි.

මෙම විකල්ප නිෂ්පාදන ද පූළුල් ව ව්‍යාප්ත වූව හොත් නියෝග යම් පමණකින් හෝ සාර්ථක වනූ ඇතැයි යන්න අප ගේ හැඟීමයි. එසේ ම එය අපේ ප්‍රාර්ථනාවයි. කෙසේ වෙතත් එහි දී වෙළෙඳ උපක්‍රම හා ජනතාව ගේ ආකල්පවලින් සැලකිය යූතු අභියෝගයක් එල්ල වනූ ඇත.

තුනී පොලිතින් භාවිතය හා නිෂ්පාදනය තහනම් වූව ද මයික්‍රෝන 20ට වැඩි ඝනකමකින් යූක්ත පොලිතින් භාවිතය හෝ නිෂ්පාදනය තහනම් නො වේ. මේ නිසා වැඩි ඝනකමින් යූක්ත පොලිතින්වලින් නිෂ්පාදිත ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් වර්ග වෙළෙඳපොළට පැමිණිය හැකි ය. මේ වන විටත් ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ සඳහා උනන්දු වී ඇත. මේවා වර්තමාන ලන්ච්ෂීටි හා ෂොපින් බෑග්වලට වඩා මිලෙන් අධික වනූ ඇත.

එවැනි නිෂ්පාදන වෙළෙඳපොළට පැමිණීම තුළ නව නීති සඳහා ජනතාව කුමන ආකාරයක ප්‍රතිචාරයක් දක්වන්නේ ද යන්න අනූව මෙම වැඩි ඝනකමක් ඇති ද්‍රව්‍යවල අලෙවිය තීරණය වනූ ඇත. ඇතැම් විට වැඩි මිලක් ගෙවා පූරුදු ආකාරයට ම ලන්ච්ෂීටි හා සිලි සිලි බෑග් වර්ග භාවිතයට ද ජනතාව යොමූ විය හැකි ය. ඒවා නැවත නැවතත් භාවිත කළ හැකි වූව ද පහසූව පමණක් ම සොයන පිරිස් ඒ සඳහා යොමූ වේ ද යන්න ද ගැටලූවකි. අප රටෙි ද පැතිර යන වරක් භාවිතයෙන් පසූ ඉවත දෑමීම ආඩම්බරයක් සේ සලකන ඩිස්පෝසබල් සංස්කෘතියට (මේ සඳහා යෝග්‍ය යෙදුමක් සොයාගත යූතු ය) අනූගත පිරිස් ලන්ච් ෂීටි හා ෂොපින් බෑග් නැවන නැවත භාවිතයට හූරු වේ ද යන්න සැක සහිත ය. එසේ වන්නේ ඒවායේ මිල මූදල් පසූම්බියට දෑනෙන ආකාරයේ ප්‍රමාණයකින් ඉහළ ගිය හොත් පමණකි. මේ නිසා අවසානයේ තුනී පොලිතින්වලින් සිදු වන පරිසර දූෂණය වෙනූවට වඩා ඝනකම පොලිතීන්වලින් සිදු වන පරිසර දූෂණයක් අපට අත්විඳින්නට සිදු විය හැකි ය. ඒ වැඩි ඝනකමක් සහිත ද්‍රව්‍ය නිෂ්පාදනයට වැය වන වැඩි සම්පත් භාවිතයක් සමගිනි. මේවා නිෂ්පාදනයට වැඩි පොලිතින් ප්‍රමාණයක්, වැඩි බලශක්තියක් අවශ්‍ය වේ. අප සිතන අකාරයට කටයූතු මේ ආකාරට ද සිදු වීමට ඉඩ තිබේ. මෙය තත්ත්වය දෙස අසූබවාදී ලෙස බැලීමක් නො ව ඇති විය හැකි තත්ත්වයක් දෙස විමසූම් ඇසින් බැලීමක් පමණකි.

මේ අනූව පෙනෙන්නේ තවදුරටත් පොලිතින් ලාබදායි භාණ්ඩයක් වන නිසා ඇතැම් විට මේ උත්සාහය ද බලාපොරොත්තු වන තරමට සාර්ථක නො විය හැකි බව ය. අපේ අදහස වන්නේ මෙවැනි පියවර ගණනාවක් ගෙන මිස මේ උවදුර පාලනය කරන්නට නොහැකි වන බව ය. 2003 නොවැම්බර් 12 දින විදුසරට අප ලියූ ලිපියකින් වරක් අප මයික්‍රෝන 30කට අඩූ පොලිතීන් තහනමක් හා පොලිතින් සඳහා බද්දක් අය කිරීම පිළිබඳව ද යෝජනා කළේ ඒ නිසා ය. ඒ වන විට රජය ගෙන ආ යෝජනා අනූව සෙස් බද්දක් පැනවීම මගින් පමණක් පොලිතින් අර්බූදය විසඳා ගැනීමට නොහැකි වී ඇති බව මේ වන විට පෙනී ගොස් ඇත. එමගින් පොලිතින් භාවිතය පසූගිය කාලය තුළ වර්ධනයක් මිස අඩූ වීමක් නම් සිදු වී නොමැත.

සුපුරුදු පරිදි මෙම නියෝගවලට එරෙහි ව කර්මාන්තකරුවන් ගේ පාර්ශ්වයෙන් හඬක් නැගී තිබේ. දෙසැම්බර් මාසය මූල දී මෙම තහනම පිළිබඳව නැවත සිතාබලන මෙන් හෝ එය ක්‍රියාත්මක කිරීම කල් දෑමීම සඳහා පියවර ගන්නා ලෙස ද ඉල්ලීම් ඉදිරිපත් ව තිබිණි. කෙසේ වෙතත් මේ ලිපිය ලියන මොහොත වන විට ද එවැනි තීරණයක් ගෙන නො තිබිණි.

කර්මාන්තකරුවන් පවසන්නේ දෑනටමත් නිෂ්පාදිත පොලිතින් අලෙවිය සඳහා කාලයක් අවශ්‍ය බව ය. කෙසේ වෙතත් 2006 වසරේ මූල් භාගය වන විට තුනී පොලිතින් වර්ග තහනම් කරන්නට යන බව රජය පවසා තිබූ අතර මෙවැනි තත්ත්වයක් ඇති නො වීමට පියවර ගැනීමට මේ කාලය ප්‍රමාණවත් ය. ගැසටි නිවේදනය පවා නිකුත් වූයේ පසූගිය ඔක්තෝබර් මාසයේ ය. තහනම ක්‍රියාත්මක නො වේ යැයි සිතමින් නො සිට අවශ්‍යතාව තිබේ නම් නිෂ්පාදකයන්ට මේ කාලය ද යම් පියවරක් ගැනීම සඳහා ප්‍රමාණවත් බන අපේ හැඟීමයි. ඇතැම් පොලිතින් නිෂ්පාදකයන් මේ වන විට ද නව නීතිවලට එකඟ ව විකල්ප පියවර ගෙන ඇති බව අප ද දන්නා කරුණකි.

අවසන් වශයෙන් පැවසිය යූත්තේ මෙම තහනම යෝග්‍ය හා අත්‍යවශ්‍ය මූලික පියවරක් පමණක් බව ය. එය සාර්ථක වේවා යි අපි ප්‍රාර්ථනා කරමූ. එහෙත් එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අත් කරගත හැකි වේ දෑ යි සැක සහිත ය. ඇතැම් විට ඒ සඳහා වඩා දෑඩි ක්‍රියාමාර්ග අවශ්‍ය විය හැකි ය.

http://www.vidusara.com/2006/12/27/feature1.html

Monday, May 8, 2017

අපද්‍රව්‍ය ගැටලුවට නිවසේ දී යෙදිය හැකි පිළියම්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර. 03.05.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/05/03/feature1.html


කැළිකසළ හෙවත් අපද්‍රව්‍ය මේ වන විට අපේ රටේ දැවෙන ප්‍රශ්නයකි. අපේ නගරවල මෙන්ම නගරවලින් පිටත දී ද ජනනය වන අපද්‍රව්‍ය ප්‍රමාණය දිනෙන් දින ඉහළ යමින් තිබේ. මේවා බැහැර ලිය හැකි ස්‌ථාන ද සීමිත ය. ඒවා මග දෙපස හා කුණු කඳු ලෙස බැහැර කිරීම නිසා තවත් ගැටලු රැසක්‌ ම ඇති වන බව අපි දැන් අත්දැකීමෙන් දනිමු.

එසේ නම් කැළිකසළ ගැටලුව සඳහා අපට කළ හැක්‌කේ කුමක්‌ ද? ඒ පැනයට විසඳුම් ලබා දීමට අපට ද හැකියාව තිබේ. මේ පිටුවේ දැක්‌වෙන්නේ අපට ගත හැකි එවැනි සරල පියවර මගින් අපේ නිවෙස්‌වල ජනනය වන අපද්‍රව්‍ය අඩු කළ හැකි ආකාරය හා ජනනය වන අපද්‍රව්‍ය සඳහා ලබා දිය හැකි පිළියම් කිහිපයකි.

අපද්‍රව්‍ය අවම කිරීම


අප නිෂ්පාදනය කරන අපද්‍රව්‍ය ප්‍රමාණය අවම කිරීම (reduce) අපද්‍රව්‍ය සඳහා ඒවායේ ප්‍රභවයේ දීම ලබා දිය හැකි හොඳ ම විසඳුමක්‌ වේ. අප භාවිත කරන ඇතැම් ද්‍රව්‍ය අපට ඒ පමණින් අවශ්‍ය ද යන්න අප අප ගෙන් ම අසාගත යුතු ප්‍රශ්නයකි. නිදසුනක්‌ ලෙස ගත හොත්, ඇතැම් අවස්‌ථාවල දී අපි අපේ නිවසේ පරිභෝජනය සඳහා අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ආහාර ද්‍රව්‍ය මිල දී ගනිමු. එසේ නැතිනම් ආහාර ගන්නා විට කෑමට නොහැකි තරම් ආහාර ප්‍රමාණයක්‌ කෑම පිගානට බෙදා ගනිමු. එය සෙසු ද්‍රව්‍ය සම්බන්ධ ව ද එසේ ම ය.

හැකි අවස්‌ථාවල දී ප්ලාස්‌ටික්‌ පොලිතීන් වැනි ද්‍රව්‍ය ප්‍රතික්‌ෂේප කිරීම ඒවා භාවිතය අවම කිරීමට හේතු වේ.






මේ සම්බන්ධව අපට කළ හැකි දේ සමහරක්‌ මෙසේ ය.
  • ප්ලාස්‌ටික්‌ හා පොලිතීන් බෑග් භාවිතය අඩු කිරීම ඒ සඳහා යෝග්‍ය විකල්ප අතර රෙදි බෑග්, පන් මලු හා වේවැල් කූඩ වේ. මේවා දිගු කාලයක්‌ භාවිත කළ හැකි අතර, භාවිතයෙන් පසු දිරාපත් වේ.
  • කඩදාසි භාවිතය අවම කිරීම සඳහා කියෑවීම සඳහා ඉලෙක්‌ට්‍රොනික මාධ්‍ය භාවිත කිරීම මේ සඳහා ස්‌මාට්‌ දුරකථන හා පරිගණක පාවිච්චිය අද වන සුලබ ය.
  • හැම විට ම කඩදාසිවල දෙපැත්ත ම භාවිතය එක්‌ පැත්තක්‌ භාවිත කළ කඩදාසි කටු සටහන් සඳහා යොදාගැනීමට ද හැකි ය. මෙමගින් අප භාවිත කරන කඩදාසි ප්‍රමාණය අඩකින් අඩු කළ හැකි ය.
  • අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇසුරුම් සහිත භාණ්‌ඩ මිල දී ගැනීමෙන් වැළැකීම මෙමඟින් ඇසුරුම් පරිසරයට එක්‌ වීම අඩු වේ. බොහෝ විට මේ ඇසුරුම් පොලිතීන් වැනි පහසුවෙන් දිරා නො යන ද්‍රව්‍යවලින් කළ ඒවා ය.
  • වරක්‌ භාවිත කර ඉවත ලන දේ වෙනුවට නැවත භාවිත කළ හැකි දේ භාවිතය ප්ලාස්‌ටික්‌ බීම බෝතල් වෙනුවට වීදුරු බීම බෝතල් ද, ප්ලාස්‌ටික්‌ ජල බෝතල් වෙනුවට තමන් ගේ ම ජල බෝතලයක්‌ ද අපට පාවිච්චි කළ කළ හැකි ය.
  • කුඩා ප්‍රමාණවලින් භාණ්‌ඩ මිල දී ගැනීම වෙනුවට හැකි හැම විට ම කල්තබාගත හැකි ද්‍රව්‍ය, අවශ්‍යතාව අනුව වැඩි ප්‍රමාණවලින් මිල දී ගැනීමෙන් අපට ලැබෙන ඇසුරුම් ප්‍රමාණය අඩු වේ.
  • ඇතැම් විට අප ඉවත දැමීමට සූදානම් වන විවිධ භාණ්‌ඩ සුළු අලුත්වැඩියාවකින් පසු තවත් කාලයක්‌ භාවිත කළ හැකි ය. ඒ ගැන සැලකිලිමත් වීම වැදගත් ය.

නැවත භාවිත කිරීම




අප ඉවත ලන ද්‍රව්‍ය නැවත භාවිත කිරීම ද (reuse) කසළ අර්බුදය සඳහා විසඳුමකි. අප භාවිතයට ගන්නා ඇතැම් ද්‍රව්‍ය සඳහා අපට වෙනත් විකල්පයක්‌ නොමැත. ඇතැම් ද්‍රව්‍ය අසුරා දෙන්නේ ෂොපින් මලුවල ය. තවත් ද්‍රව්‍යවල ඇසුරුම ප්ලාස්‌ටික්‌ හෝ වීදුරුවලින් නිම කර ඇත. එහෙත් මේ ඇසුරුම් වරක්‌ භාවිතයෙන් පසු බැහැර ලීම වෙනුවට ප්‍රයෝජනවත් ලෙස යළි නැවත භාවිත කිරීමෙන් ඒවා කසළ ගොඩට එක්‌ වීම වැළැක්‌වීමට හා ප්‍රමාද කිරීමට හැකි ය.

·

මේ අපට එසේ ගත හැකි පියවර කීපයකි.
  • අපට ලැබෙන ප්ලාස්‌ටික්‌ බඳුන් හා බෝතල් මල් හා එළවළු වැනි පැළ සිටුවීමට පෝච්චි ලෙස භාවිත කළ හැකි ය. අයිස්‌ක්‍රීම් බඳුන් මීට නිදසුන් වේ. මෙහි දී එක හා සමාන ප්‍රමාණයේ බඳුන් එක ස්‌ථානයක තැබීමට හැකි ය.
  • අප විවිධ ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමේ දී ලැබෙන ෂොපින් බෑග් හෙවත් ග්‍රොසරි බෑග් යළි යළිත් භාවිත කිරීමෙන් අප භාවිතයට ගන්නා බෑග් ප්‍රමාණය අඩු වේ.
  • විවිධ ද්‍රව්‍ය ඇසීරීම සඳහා යොදගත් කඩදාසි, කාඩ්බෝඩ් පෙට්‌ටි, වීදුරු බෝතල් හා ටින් වැනි දේ වෙනත් කාර්ය සඳහා යොදාගැනීමට අපට හැකි ය. විවිධ ද්‍රව්‍ය දැමීම සඳහා බඳුන් ලෙස මේවා යොදාගත හැකි ය. එසේ ම මේවා භාවිතයෙන් විසිතුරු දේ තැනීමට ද අපට හැකි ය.
  • ජෑම්, කෝඩියල් වැනි ඇතැම් ද්‍රව්‍ය අඩංගු වීදුරු බඳුන් භාවිතයෙන් පසු ආපසු බාර දුන් විට ඒ සඳහා කිසියම් මිල අඩු කිරීමක්‌ බොහෝ වෙළෙඳසල්වලින් ලබා දෙයි.
  • මේ කරුණු සඳහා අපට යොදාගත නොහැකි වුව ද මේ සමහර ද්‍රව්‍ය ඒවා භාවිතය සඳහා අවශ්‍ය අයකු වෙත ලබා දිය හැකි ය. නිදසුනක්‌ ලෙස පුවත්පත් කඩදාසි විවිධ දේ එතීම සඳහා යොදාගැනීම දැක්‌විය හැකි ය.

ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම


අප භාවිත කරන ඇතැම් දේ භාවිතයෙන් පසු ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. කඩදාසි, කාඩ්බෝඩ්, වීදුරු හා ප්ලාස්‌ටික්‌ මේ අතර වේ. එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කිරීම පිණිස එකතු කරන්නන්ට ලබා දීමෙන් අපට මුදලක්‌ ද ලබාගත හැකි ය. එමෙන් ම මේ වන විට බොහෝ පළාත් පාලන ආයතනවල කසළ එකතු කරන රථ මගින් මේවා වෙන වෙන ම රැස්‌ කරනු දැකිය හැකි ය. ඒ අනුව කසළ වෙන් කර ලබා දීම වැදගත් බව පැහැදිලි ය.

·

  • කඩදාසි හා කාඩ්බෝඩ් - විවිධ කඩදාසි වර්ග ප්‍රතිචක්‍රියකරණය සඳහා එකතු කිරීම සිදු කරනු ලැබේ. පුවත්පත්, ලියන කඩදාසි, පොත්, කාඩ්බෝඩ් හා කඩදාසි පෙට්‌ටි ආදි බොහෝ ද්‍රව්‍ය ප්‍රතිචක්‍රියකරණය කරනු ලැබේ.
  • වීදුරු බෝතල් ආදිය - භාවිත කළ නොහැකි, අනවශ්‍ය වීදුරු බෝතල් ආදිය ප්‍රතිචක්‍රියකරණය සඳහා යොමු කළ හැකි ය. මෙහි දී විවිධ වර්ණවල වීදුරු බෝතල හා බඳුන් වෙන් වෙන් ව එකතු කිරීම වැදගත් වේ.
  • ලෝහමය ද්‍රව්‍ය - ලෝහවලින් නිපදවන ලද විවිධ භාණ්‌ඩ තවදුරටත් භාවිත කළ නොහැකි වූ විට ඒවා ද එම ද්‍රව්‍ය එකතු කරන පිරිස්‌ වෙත ලබා දිය හැකි ය. ඒවා සඳහා ගෙවනු ලබන මිල ද ඉහළ ය.

කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය




නිවෙස්‌වලින් ඉවත ලන දිරාපත් වන ආහාර ද්‍රව්‍ය මෙරට නාගරික කැළිකසළ ප්‍රවාහයෙන් වැඩි ප්‍රමාණයක්‌ සඳහා හේතු වේ. නිවසේ දී කොම්පෝස්‌ට්‌ නිෂ්පාදනය කිරීම මේ අපද්‍රව්‍ය ප්‍රයෝජනවත් කාර්යයක්‌ සඳහා යෙදවීමක්‌ පමණක්‌ නො ව, අප බැහැර ලන කසළ ප්‍රමාණය අඩු කිරීම සඳහා ද හේතු වේ.

ඉඩමේ ප්‍රමාණය අනුව පහසුවෙන් කොම්පෝස්‌ට්‌ නිපදවිය හැකි බඳුන් මේ වන විට හඳුන්වා දී ඇත. මේවා සිමෙන්ති මෙන්ම ප්ලාස්‌ටික්‌වලින් ද නිර්මාණය කර තිබේ. මේවා සඳහා මුළුතැන්ගෙයින් බැහැර කරන එළවළු හා පලතුරු කොටස්‌ මෙන්ම ගෙවත්ත අතුගෑමේ දී එකතු වන කොළ රොඩු ද යොදාගත හැකි ය. එසේ ම කෑමෙන් පසු ඉතිරි වන ඉඳුල් ද සාර්ථකව මේ සඳහා භාවිත කළ හැකි ය.

එපමණක්‌ නො ව, ගෙවත්තේ ඉඩ ප්‍රමාණය අනුව කොම්පෝස්‌ට්‌ නිපදවීම සඳහා වළ ක්‍රමය හා ගොඩ ක්‍රමය වැනි ක්‍රම ද යොදාගත හැකි ය. කොම්පෝස්‌ට්‌ පොහොර ගෙවතු වගා සඳහා යොදාගත හැකි ය.

http://www.vidusara.com/2017/05/03/feature1.html

Monday, March 20, 2017

කලාඳුරු නො හඳුනන නූතන පරපුර

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 08.03.2017, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2017/03/08/feature1.html


දිනක්‌ ගෙවත්තක පැළෑටි සම්බන්ධව කාන්තාවන් තිදෙනකු අතර සිදු වූ කතාබහක්‌ අසා සිටින්නට මට සිදු විය. කොළඹට ආසන්න ප්‍රදේශයක ගෙවත්තක්‌ පිරිසිදු කරමින් සිටි, ගමක ඉපදී නගරයට සංක්‍රමණය වූ වැඩිහිටි කාන්තාවක්‌ කිසියම් පැළෑටියක්‌ පෙන්වා කලාඳුරු පැළෑටියක්‌ බව අනෙක්‌ කාන්තාවන්ට පැවසුවා ය. ඉන්පසු ඇති වූ සාකච්ඡාව මට ඇසුණු දෙබසයි. දේශීය වෙදකමේ දී උදරාබාධවලට ඖෂධයක්‌ ලෙස කලාඳුරු යොදාගන්නා බව ඇය දැන සිටි බව පෙනිණි. එහෙත් වයසින් තිස්‌ හතළිස්‌ ගණන්වල පසු වූ, කොළඹට තදාසන්න ප්‍රදේශවල හැදුණු වැඩුණු අනෙක්‌ කාන්තාවන් දෙදෙනා කලාඳුරු පැළෑටිය ගැන මෙන්ම එහි ඖෂධීය භාවිතය ගැන ගැන දැන නො සිටි අතර ඔවුන් දෙදෙනා ඒ බවක්‌ විශ්වාස කළ බවක්‌ පෙනුණේ ද නැත.

කලාඳුරු ශාකය නො හඳුනන අතර ම ඔවුන් දෙදෙනා එය වල් පැළෑටියක්‌ සේ සලකන බව කතාබහ අනුව පැහැදිලි විය. ඒ අතරින් වයසින් අඩු කාන්තාව අවධාරණය කළේ තණකොළ පැළයක්‌ වැනි බැවින් ද, හැම තැන ම හැදෙන බැවින් ද ඒ පැළය බේත් පැළයක්‌ විය නොහැකි බවකි. ඊට වඩා වියපත් අනෙක්‌ කාන්තාව විහිළුවට මෙන් යෝජනා කළේ එසේ නම්, එම පැළවලින් යුෂ ගෙන හදාගත් ඔසුව පළමුව පෙර කී වැඩිහිටි කාන්තාවට පානය පිණිස ලබා දී බලන්නට ය.

ඔවුන් ගේ මේ කතාබහට පාදක වූ ශාකය සැබෑ කලාඳුරු ශාකය ද යන්න මට ඒ අවස්‌ථාවේ දී නිරීක්‌ෂණය කළ නොහැකි වුවත් ඉන් මට එක්‌ කරුණක්‌ පැහැදිලි විය. සාමාන්‍යයෙන් අත් බෙහෙත් සඳහා මෙරට වැසියන් යොදාගත් ඖෂධීය වැදගත්කමක්‌ ඇති ශාකයක්‌ වන කලාඳුරු වැනි ශාක නො හඳුනන පිරිස්‌ අර්ධ නාගරික ප්‍රදේශවල ජීවත් වන බවයි. කලාඳුරු සම්බන්ධව පාසල් විෂය මාලාවේ ද සඳහන් වන බවක්‌ මතකයේ තිබේ. ඉන් එක්‌ කරුණක්‌ වන්නේ ධාවක ශාකයක්‌ ලෙස වන අතර අනෙක්‌ කරුණ වන්නේ මුල්වල දැකිය හැකි ආකන්දයයි.

සාමාන්‍යයෙන් අපේ රටේ පහතරට ප්‍රදේශවල තෙත් කලාපයේ දැකිය හැකි Cyperaceae කුලයට අයත් ඒක වාර්ෂික ශාකයක්‌ වන කලාඳුරු Cyperus rotundus නම් විද්‍යාත්මක නාමයෙන් හැඳින්වේ. එය අපේ රටේ මෙන්ම ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවක ම දැකිය හැකි ය. මේ ශාකය ඖෂධීය ශාකයක්‌ ලෙස රටවල් ගණනාවක ම භාවිත වේ.




භාවිතයෙන් ඈත් වන බෙහෙත් පැළෑටි පිළිබඳ දැනුම


මේ සිදුවීම ඖෂධ පැළෑටි පිළිබඳ දැනුම ජනතාව අතරින් භාවිතයෙන් ඈත් වීම පිළිබඳව අපි දේශීය වෛද්‍ය ක්‌ෂේත්‍රයේ නියෑළි විද්වතුන් කිහිප දෙකන හා වෙනත් හිතවතුන් හා සමාජජාල ඔස්‌සේ සකච්ඡාවට ලක්‌ කළෙමු. එහි දී හෙළි වූ කරුණක්‌ වූයේ, නාගරික ප්‍රදේශ මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ද තත්ත්වය මේ හා සමාන බවයි. ජනතාව බෙහෙත් පැළෑටි භාවිතයෙන් ඈත් වීම නිසා ඒ පිළිබඳ දැනුම ද ක්‍රමයෙන් ඈත් වෙමින් තිබේ.

සමාජ ජාලයක්‌ ඔස්‌සේ එක්‌ හිතවතකු අප හා පැවසූ පරිදි තම වත්ත සුද්ද කිරීම සඳහා ගෙන්වාගන්නා ගම්වල එදිනෙදා කුලියක්‌ කරන අය ගෙන් ඔහු ගේ වත්තේ ඇති බෙහෙත් පැළෑටි බේරාගැනීම සඳහා ඔහු ද දවස පුරා ඒ අය හා රැඳිය යුතු වේ. නැත හොත් සිදු වන්නේ කලක්‌ තිස්‌සේ අමාරුවෙන් වවාගත් බෙහෙත් පැළෑටි ඔවුන් ගේ නොදැනුවත්කම නිසා විනාශ වී යැමයි. ගම්වල වැසියන් අතර පවා ගෙවත්තක තිබිය යුතු ඖෂධීය පැළ ඇති දැනුම නොමැති වීම නිසා ඒවා ද වල් පැළ ගණයට ම එක්‌ කර විනාශ කර දමන ආකාරයක්‌ දැකිය හැකි ය.

අපේ රටේ දැකිය හැකි ඖෂධීය වටිනාකමක්‌ සහිත සමහර ශාක මේ ආකාරයෙන් වල් පැළෑටි සේ සලකනු ලැබීම පිළිබඳව අවධානය යොමු කළ යුතු බව පෙනේ. එයට හේතුව වල් පැළෑටි ලේබලය නිසා කිසියම් ආකාරයකින් ප්‍රයෝජනයකට ගත හැකි ආකාරයේ ශාක ද විනාශ වී යා හැකි වීමයි. ඒවා ප්‍රයෝජනයට ගැනීම සඳහා අවශ්‍ය කරන දැනුම නොමැති වීම තුළ මේ ගැටලුව තවදුරටත් උග්‍ර විය හැකි ය.

මේ පිළිබඳව අප හා අදහස්‌ දැක්‌වූ ආයුර්වේද වෛද්‍ය ඩැනිස්‌ටර් එල්. පෙරේරා මහතා පැවසුවේ, වරක්‌ කෘෂිකර්ම බලධාරීන් වල්පැළෑටි ලෙස ප්‍රකාශනයකට ඇතුළත් කර තිබූ ශාක විශේෂ සියයක්‌ පමණ අතරින් 60%ක්‌ පමණ ප්‍රමාණයක්‌ ම ඖෂධීය ශාක වූ බවයි. මේ අනුව එවැනි බලධාරීන් අතින් දැනුම ලබන ගොවීන් විසින් ඒවා වගා බිමෙන් ඉවත් කරනු ලැබීම එක්‌ අතකට පුදුමයට කරුණක්‌ නො වේ. අවාසනාව වන්නේ ඔවුන් කාලයක්‌ තිස්‌සේ මේ ඖෂධ භාවිත කළ පරම්පරාවකට අයත් ජනතාවක්‌ වීම ය.

ඖෂධ ශාක දැනුම ඈත් වන්නේ ඇයි?


ඖෂධ ශාක පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ඇති දැනුම ඔවුන් වෙතින් ඈත් වන්නේ භාවිතයට නො ගැනීම නිසා බව අපි පෙර සඳහන් කළෙමු. එසේ ඖෂධීය ශාක භාවිත නො වන්නේ කුමක්‌ නිසා ද යන්න ගැන විමසූ විට පෙනෙන්නේ දේශීය වෙදකමේ අත් බෙහෙත්වලින් අප ශීඝ්‍රයෙන් ඈත් වෙමින් ඇති බවයි. මේ තත්ත්වයට බලපා ඇත්තේ බොහෝ රෝගාබාධ සඳහා බටහිර වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට යොමු වීම ය. අද වන විට නාගරික මෙන්ම ග්‍රාමීය සමාජයේ ද මේ තත්ත්වය දැකිය හැකි ය. සුළු අසනීප හා ආබාධ සඳහා නිවසේ දී සිදු කළ හැකි අත්බෙහෙත් කෙරෙහි යොමු වීම තවදුරටත් අඩු වෙමින් පවතී. සෙම්ප්‍රතිෂ්‍යාව හා උගුර ආශ්‍රිත ආබාධ හැර වෙනත් කිසිදු රෝගයක්‌ සඳහා නිවසේ දී සිදු කළ හැකි දේශීය වෛද්‍ය ප්‍රතිකාර හා අත් බෙහෙත් සිදු කරන ආකාරයක්‌ දැන් දැකිය හැක්‌කේ කලාතුරකිනි. එය බොහෝ දුරට කොත්තමල්ලි හා පස්‌පංගුව වැනි ප්‍රතිකාර සඳහා සීමා වී ඇත. එහෙත් මේ සුළු ආබාධ සඳහා ද ප්‍රතිකාර ලෙස, වෙළෙඳපොළෙන් ගෙන ආ ක්‌ෂණික ව භාවිත කළ හැකි කලින් සැකසූ විවිධ ප්‍රතිකාර වර්ග භාවිතය ඉහළ යමින් ඇති බව අධ්‍යයනවලින් පෙනී ගොස්‌ තිබේ. එයට හේතුව කාලය සමග ඇති තරගය හා වෙළෙඳ ප්‍රචාරය මගින් පාරිභෝගික සිත් තුළ ඇති කර තිබෙන විවිධ අදහස්‌ විය හැකි ය.

මේ නිසා අතීතයේ එදිනෙදා සුළු රෝගාබාධ සඳහා අත් බෙහෙත් සෑදීම සඳහා යොදාගත්, කාලය විසින් පරීක්‌ෂාවට ලක්‌ කරන ලද අත් බෙහෙත් වර්ග රැසක්‌ ම මේ වන විට සාමාන්‍ය ජනතාව අතර භාවිතයෙන් ඈත් වී ඇත. මේ නිසා ඒ සඳහා යොදාගත් ඖෂධීය ශාක වර්ග ද ගෙවත්තෙන් හා වටපිටාවෙන් ඈත් වෙමින් තිබේ. මෙය ගම්වලට පවා පොදු කරුණක්‌ සේ සැලකිය හැකි ය. මේ ලිපිය ආරම්භයේ දී අප දැක්‌වූ නිදසුන මේ සඳහා මනා නිදසුනකි. (එහෙත් ඇතැම් රෝගාබාධ හා සම්බන්ධව දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර විශේෂයෙන් සොයා යන ආකාරය දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස කැඩුම් බිඳුම් ප්‍රතිකාර හා සර්ප විෂ ප්‍රතිකාර අපට හඳුනාගත හැකි ය.)

මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස යම් යම් මට්‌ටම්වලින් ඔසු පැළ හා අත් බෙහෙත් වර්ග හඳුන්වා දීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වී නැතිවා නො වේ. දේශීය වෛද්‍ය ක්‍රමය ප්‍රවර්ධනය කිරීම සඳහා කටයුතු කරන රාජ්‍ය ආයතන ඒ සඳහා යම් යම් කටයුතු සිදු කර ඇත. ආයුර්වේද දෙපාර්තමේන්තුව ගෙවත්තේ ඇති ඖෂධ පැළෑටි ගැන දැනුවත් කිරීම හා ඒවා භාවිත කිරීම ගැන විවිධ වැඩපිළිවෙළ වරින්වර ක්‍රියාත්මක කර ඇත. එහෙත් ඒවා අපේක්‌ෂිත අරමුණු කරා ළගා වූයේ ද යන්න සැකසහිත ය. නිදසුනක්‌ වශයෙන් ගත් විට 1990 දශකයේ මැද භාගයේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් 'ගෙවත්තෙන් ඔසු' නමින් ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළ පොත් පෙළෙහි අරමුණ වූයේ ගෙවත්තේ තිබිය හැකි ශාක ඖෂධ එදිනෙදා ජීවිතයේ දී භාවිත කළ හැකි ආකාරය ගැන තොරතුරු සැපයීම ය. සරල බසින් ඒ ගැන විස්‌තර කර ඇති එම පොත් පෙළේ පළ වූය් එක්‌ පොත් පිංචක්‌ පමණක්‌ වීම අවාසනාවකි.

එසේ ම නිවසේ දී වුවත් සාදාගෙන භාවිත කළ හැකි අත් බෙහෙත් පිළිබඳව විශ්වසනීය වූ පොත් පත් විවිධ ආයතන මගින් පළ කර තිබේ. එහෙත් ගැටලුව ඇත්තේ කෙතරම් පිරිසක්‌ මේවා භාවිත කරන්නේ ද යන්න ය. බොහෝ විට ඒ සඳහා යොමු වන්නේ ඒ පිළිබඳ දැනුවත් හා අත්දැකීම් සහිත වූ පිරිස්‌ පමණකි. සෙසු අය මෙවැනි අත් බෙහෙත් භාවිත කිරීමට පෙලඹෙන්නේ නැති තරම් ය. මෙය අවධානය යොමු කළ යුතු අංශයකි.

එසේ ම පාසල් මට්‌ටමින් හා පරිසරය පිළිබඳ දැනුම හරහා මෙවැනි දැනුම පාසල් සිසුන් වෙත ලැබී ඇත. බොහෝ පාසල්වල ඔසු උයන් ද පිහිටුවා ඇත. ඒ නිසා අඩු වශයෙන් පාසල් සිසු සිසුවියන් අතරින් උනන්දුවක්‌ දක්‌වන යම් ප්‍රමාණයක්‌ හෝ ඖෂධීය ශාක පිළිබඳ දැනුවත් වේ. එහෙත් අවාසනාවකට මෙන් මේ දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම සඳහා මේ සිසුනට අවස්‌ථාවක්‌ හෝ නිදසුනක්‌ සිය නිවසේ දී ලැබේ ද යන්න සැකසහිත ය. (පාසලේ දී ලබාගන්නා දැනුම ප්‍රායෝගික ජීවිතයේ දී යොදාගත නොහැකි වීම පරිසර අධ්‍යාපනය හමුවේ ඇති බරපතළ පොදු ප්‍රශ්නයකි). අද ජීවත් වන තරුණ පරපුර මෙන්ම මැදි වයසේ පරපුර අතරත් සැලකිය යුතු පිරිසක්‌ ඖෂධ පැළෑටි නො හඳුනන හා භාවිත නො කරන පරපුරකට අයත් සේ සැලකිය හැකි බවක්‌ අපට සිතෙන්නේ මේ නිසා ය.

http://www.vidusara.com/2017/03/08/feature1.html

Friday, July 22, 2016

සංරක්‌ෂණ පණිවිඩයේ ඉලක්‌කය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.07.2016, පි. 5

(Vidusara, 20.07.2016, Target of the Conservation message)

http://www.vidusara.com/2016/07/20/feature1.html




නූතන සමාජයේ බොහෝ විට දැකිය හැක්‌කේ පරිභෝජනවාදී ආකල්ප කුලුගැන්වෙන තත්ත්වයකි. පොදුවේ ගත් විට සමාජයේ දැකිය හැකි විවිධ ප්‍රවණතා මෙන්ම ජනමාධ්‍ය ඔස්‌සේ අප දකින දේ අපව පොලඹවන්නේ සම්පත් තිරසර ආකාරයෙන් පරිහරණය කිරීමට නම් නො වේ. ජනමාධ්‍ය ඔස්‌සේ අද දකින, අසන හා කියවන බොහෝ වැඩසටහන්, ලිපි හා වෙළෙඳ දැන්වීම් ආදිය බොහොමයක මේ තත්ත්වය දැකිය හැකි ය. ඇතැම් විට සම්පත් හැකිතාක්‌ වැඩි වැඩියෙන් පරිහරණය කිරීම සඳහා ය. කිසිදු ඵලක්‌ නොමැති දෙයක්‌ භුක්‌ති විඳීම සඳහා ය. අත්‍යවශ්‍ය නො වන දේ පවා භුක්‌ති විඳීමට හා රැස්‌ කිරීමට පෙලඹවීම පිණිස ය. මේ සියල්ල අද අප අනුගමනය කරන බටහිර ආකෘතියේ ජීවන රටාවේ ලක්‌ෂණ වේ. මේ සියලු දේ මගින් අප පොලඹවන්නේ වැඩි වැඩියෙන් සම්පත් පරිභෝජනය සඳහා ය. නිෂ්පාදනය සඳහා ය.

මෙසේ විවිධ ද්‍රව්‍ය පරිහරණයේ දී හුදෙක්‌ සිදු වන්නේ සම්පත් අධි පරිභෝජනය හා සම්පත් ක්‌ෂය වීම පමණක්‌ ම නො වේ. සම්පත් අධි පරිහරණය හා ඒ නිසා ම සිදු වන ක්‌ෂය වීම බරපතළ ගැටලූවක්‌ බව සැබෑවකි. ඒ නිසා ඇතැම් සම්පත්වල තිරසර පරිහරණයට ද අභියෝගයක්‌ ඇති විය හැකි ය. විශේෂයෙන් අනාගත පරපුරේ පරිහරණය සඳහා අවශ්‍ය සම්පත් ප්‍රමාණය ගත් විට මේ ගැන යළි සිතා බැලීමට සිදු වේ. එහෙත්, අද දවසේ දැකිය හැකි පරිභෝජනයේ ප්‍රතිඵලය වන අපද්‍රව්‍ය ජනනය පිළිබඳ ගැටලුව මෙහි දී අප ගේ සැලකිල්ලට ලක්‌ විය යුතු කරුණක්‌ වේ.

නිදසුනක්‌ ලෙස ගත හොත්, නැවත නැවත භාවිතයට ගත හැකි වීදුරු බෝතල වෙනුවට දැන් දැන් අපට සිදු ව ඇත්තේ වරක්‌ භාවිතයෙන් පසු ඉවත ලිය හැකි ප්ලාස්‌ටික්‌ බෝතලයක්‌ හෝ ටෙට්‌රා ඇසිරුමක එන ද්‍රව්‍ය මිල දී ගැනීමට ය. මේවා දිරා යැමට බොහෝ කාලයක්‌ ගත වන ඒ නිසා ම බොහෝ පාරිසරික ගැටලූ ඇති කළ හැකි ද්‍රව්‍ය අතර වේ. ඒ ඒවා පරිසරයට බැහැර කළ විට දිරා යැමට කලක්‌ ගත වන බැවිනි. එහෙත් පහසුව හා සෞඛ්‍යාරක්‌ෂාව මුල් කරගත් අපි එය දෙවැනි ගැටලුවක්‌ සේ අමතක කර දමමු. එහෙත් අපට කලක්‌ තිස්‌සේ පුරුදු වීදුරු බෝතල හා බඳුන් එසේ නො වේ. ඒවා නැවත නැවත භාවිත කළ හැකි අතර, බිඳී ගිය ද සැලකිය යුතු ප්‍රමාණයක්‌ ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ය. එහෙත් ඒවා මුලින් නිෂ්පාදනය කිරීම සඳහා නිෂ්පාදකයාට අධික පිරිවැයක්‌ දැරීමට සිදු වන අතර, නැවත භාවිතය සඳහා එකතු කිරීමේ දී ද යම් ශ්‍රමයක්‌ හා මුදලක්‌ වැය වීම සිදු වේ. ඊට සාපේක්‌ෂව, ප්ලාස්‌ටික්‌ ඇසුරුම් හා ටෙට්‌රා ඇසුරුම් යොදාගැනීම නිෂ්පාදකයාට ලාබදායක ය.

අනෙක්‌ අතට මෙවැනි ද්‍රව්‍ය පරිහරණය කරන අපට ක්‌ෂණිකව අමතක වන කරුණ වන්නේ එහි දී බැහැර කරනු ලබන ප්ලාස්‌ටික්‌ හා ප්ලාස්‌ටික්‌ මිශ්‍ර ද්‍රව්‍යවලට සිදු වන්නේ කුමක්‌ ද යන්න ය. ඒවා එකතු වන්නේ අපේ අපද්‍රව්‍ය ප්‍රවාහයට ය. අප එයට විසඳුමක්‌ සොයන්නේ වෙන ම ය. එහෙත් එය ද අප පෙර කී ජීවන ක්‍රමයේ ම ප්‍රතිඵලයකි. අපද්‍රව්‍ය ජනනයේ දී ම අවම කළ හැකි නම්, එම ගැටලුව විසඳාගත හැකි බව අපට අමතක වී ගොසිනි. මේ නිසා අපද්‍රව්‍ය ජනනය කිරීම අවම කිරීම පිළිබඳ පණිවිඩය දැන් බොහෝ දුරට අමතක ව ගොස්‌ කීව ද නිවැරැදි ය. මේ ආකාරයෙන් ම පරිසරය හා සම්බන්ධ වෙනත් බොහෝ කරුණුවල දී ද වැදගත් කරුණ අමතක ව ගොස්‌ ඇති බව කීවොත් එය නිවැරැදි ය.

සංරක්‌ෂණය පණිවිඩයේ ඉලක්‌කය


මෙවැනි තත්ත්වයක්‌ තුළ සංරක්‌ෂණ පණිවිඩය නිසි ලෙස ජනතාව අතරට ගෙන යැමේ දී එහි ඉලක්‌කගත පිරිස නිවැරැදි ලෙස තෝරාගැනීම වැදගත් වේ. නොඑසේ නම්, සිදු වන්නේ සංරක්‌ෂණ පණිවිඩය සඳහා යොදාගන්නා සම්පත් හා කාලය ද අපතේ යැමක්‌ විය හැකි ය. මේ අනුව පොදුවේ පරිසර සංරක්‌ෂණ පණිවිඩය ජනතාව අතරට ගෙන යැමේ දී මුහුණ දෙන අභියෝග පිළිබඳව ජගත් මට්‌ටමේ දී බොහෝ දේ වරින් වර සාකච්ඡාවට ලක්‌ ව තිබේ. පරිසර අධ්‍යාපනයේ අසාර්ථකත්වය පිළිබඳව සාකච්ඡා වන්නේ ද මෙවැනි පසුබිමක්‌ යටතේ දී ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, සංරක්‌ෂණය සඳහා ජනතාව පෙළගැස්‌වීම එක්‌තරා ආකාරයක අභියෝගයකි. ඊට එක්‌ නිදසුනක්‌ ලෙස මෑතක දී අප දුටු එක්‌ අධ්‍යයන වාර්තාවකින් හෙළි වන කරුණක්‌ දැක්‌විය හැකි ය.

එම අධ්‍යයනය ජල සංරක්‌ණය කිරීම පිළිබඳ පණිවිඩය ගෙන යා යුත්තේ කවුරුන් වෙත ද යන්න සම්බන්ධ ව කළ අධ්‍යයනයකි. ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේ වැසියන් පිරිසක්‌ යොදාගනිමින්, බොහෝ දුරට අන්තර්ජාලය පාදක කරගනිමින් සිදු කළ එම අධ්‍යයනයේ දී හෙළි වූ පරිදි ඔවුන් ජල පරිභෝජනය මත පිරිස්‌ කාණ්‌ඩගත කරගෙන තිබේ. ඉන් එක්‌ පිරිසක්‌ වන්නේ ජල සංරක්‌ෂණයක්‌ කිසිසේත් සිදු නො කරන පිරිස්‌ වන අතර, තවත් පිරිසක්‌ වන්නේ ජලය ගැන මදක්‌ හෝ සිතන පිරිසයි. එහි දී හෙළි ව ඇති අපූරු කරුණක්‌ වූයේ, තවදුරටත් ජල සංරක්‌ෂණය කළ යුතු නම් ඒ සඳහා ඉලක්‌ක කරගත යුත්තේ දැනටමත් ජලය මදක්‌ හෝ ඉතිරි කරන්නට පෙලඹී ඇත්තේ මේ දෙවැනි කාණ්‌ඩයේ පිරිස්‌ බව ය. ඔවුනට පැහැදිලි වී ඇති ආකාරයට දැනටමත් කිසියම් ජල සංරක්‌ෂණයක යෙදී සිටින මේ පිරිස්‌ අතර වුව ද යම් යම් අංශවල තවදුරටත් සංරක්‌ෂණ අදහස්‌ සඳහා අවස්‌ථා තිබේ. ඒ ඔස්‌සේ කටයුතු කිරීමෙන් වැඩි ප්‍රයෝජනයක්‌ අත්පත් කරගත හැකි ය. තම එදිනෙදා ජල භාවිතයේ දී කිසිදු ආකාරයක සංරක්‌ෂණයක්‌ සිදු නො කරන පිරිස්‌වලට වඩා වැඩි සංරක්‌ෂණ අවස්‌ථාවක්‌ ඇත්තේ මේ පිරිස ගැන අවධානය යොමු කිරීමෙනි. (මූලාශ්‍රය: Environmental Management, DOI: 10.1007/s00267-016-0706-2)

උක්‌ත අධ්‍යයනය මගින් කියෑවෙන එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ සංරක්‌ෂණ පණිවිඩය මගින් මේ වන විට පවා ඉලක්‌ක කරගෙන ඇති පිරිස්‌ අතර වුව ද තවදුරටත් ගුණාත්මක වශයෙන් යම් වර්ධනයක්‌ සිදු කළ හැකි බවයි. එය සංරක්‌ෂණ පණිවිඩයේ මෙන්ම පරිසර අධ්‍යාපනයේ සාර්ථකත්වයට ද වැදගත් වන බව පැහැදිලි ය. විශේෂයෙන් මේ වන විට ද යම් ප්‍රමාණයකින් හෝ පරිසර සංවේදී තත්ත්වයක පසු වන පිරිස අතර පවා තවදුරටත් වර්ධනයක්‌ කළ හැකි වීම එක්‌තරා ආකාරයක ජයග්‍රහණයකි. සංරක්‌ෂණය පණිවිඩය තේරුම්ගන්නා පිරිස්‌ ඊට අලුතින් එක්‌ වන්නේ නම් එය එය වැදගත් බව සත්‍යයකි. එහෙත්, ඉහත දැක්‌වූ ආකාරයට දැනටමත් පරිසර සංවේදී පිරිස්‌ මගින් සංරක්‌ෂණය සඳහා වැඩි ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට හැකි වීම ඊටත් වඩා ඵලදායී ය. ලෝකයේ බොහෝ රටවල දී පරිසරය පිළිබඳව සිදු කරන සියලු කටයුතුවල පාහේ නියෑළෙන්නේ බොහෝ විට ආකල්පමය වශයෙන් එක ම පිරිසක්‌ වීම තුළින් පැහැදිලි වන්නේ ද මේ කරුණ ම බව අපට සිතේ. එය ඇතැම් විට ඔවුන් ගේ සමාජ පසුබිම හා බැඳී පවතින්නක්‌ විය හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මහා පරිමාණ පස්‌ හා බොරලු කැපීමකට විරුද්ධ ව පාරට බසින ජනතාව හා විල්පත්තුව වැනසීමට එරෙහි ව විරෝධතා දක්‌වන පිරිස සමාජමය හෝ පංතිමය වශයෙන් දෙපිරිසක්‌ විය හැකි ය. එහෙත් ඔවුන් තුළ පොදු සාධකයක්‌ තිබිය හැකි ය. ඒ මේ අය සෙසු ජනතාවට වඩා පරිසරය පිළිබඳව වඩා සංවේදී වීම ය. (අප මෙහි දී සඳහන් කරන්නේ මෙවැනි කටයුතුවලට වෙනත් පෞද්ගලික අරමුණුවලින් තොර ව අවංක ව පැමිණෙන පිරිස්‌ පිළිබඳ ව ය).

මේ පණිවිඩය ගෙන යා හැකි අය


මේ කරුණු පිළිබඳව ගැඹුරින් හැදෑරීමේ දී අපට පැහැදිලි වන කරුණක්‌ වන්නේ පරිසර සංවේදීතාව පිළිබඳව බලපාන වැදගත් දෙයක්‌ වන්නේ ඒ ඒ පුද්ගලයා ගේ ආකල්ප බවයි. පොදුවේ ගත් විට මේ ආකල්ප පිළිබඳ කරුණ හුදෙක්‌ සංරක්‌ෂණ පණිවිඩයේ සාර්ථකත්වට පමණක්‌ නො ව වෙනත් බොහෝ දේ සඳහා ද වැදගත් වේ.

පරිසරය සම්බන්ධව ගත් විට මේ ආකල්පමය වෙනස දැකගත හැකි හා බලපාන්නා වූ තවත් වැදගත් අංශයක්‌ වන්නේ පරම්පරා වෙනසයි. එය සංරක්‌ෂණය සඳහා වන දායකත්වය සඳහා බලපාන්නකි. සම්පත් සංරක්‌ෂණය මෙන්ම බලශක්‌ති සංරක්‌ෂණය වැනි ඇතැම් කරුණු අද වැඩිහිටි පරපුරේ ඇතැම් පිරිස්‌ වෙත ඒත්තු ගැන්වීම හා ඒවා අනුගමනය කිරීමට පෙලඹවීම තරමක්‌ අසීරු ය. පොදුවේ ගත් විට ඔවුන් වෙත සංරක්‌ෂණ පණිවිඩය ම ඒත්තු ගැන්වීම අසීරු ය. නිදසුනක්‌ ලෙස ගත හොත් විදුලි හා ජල පරිහරණයේදී අප ගත යුතු සංරක්‌ෂණවාදී පියවර ඒත්තු ගැන්වීම වඩාත් අසීරු වී ඇත්තේ වැඩිහිටි පරපුර වෙත ය. අපේ පෞද්ගලික අත්දැකීම් අනුව මෙය උගත්කම අනුව වෙනස්‌ නො වන තරම් ය. වැඩිහිටි පරපුරේ බොහෝ උගත් අය අතර මෙන්ම සාමාන්‍ය දැන උගත්කමක්‌ ඇති අය අතරට ද මේ සංරක්‌ෂණ පණිවිඩය ගෙන යැමේ අසීරුතාව අප අත්දැක තිබේ. ඔවුන් බොහෝ දෙනා තවමත් ජීවත් වන්නේ 'මයි කාර් - මයි පැට්‍රොaල්' න්‍යාය අනුගමනය කරන පසුබිමක හා තමන් දරන අදහස්‌ වෙනස්‌ කිරීමට අකැමැති වන තත්ත්වයක ය. ඔවුන් සඳහා වෙනස්‌ උපක්‍රම අනුගමනය කිරීමට සිදු වනු ඇත.

මේ සියලු කරුණු අනුව අපට එක්‌ දෙයක්‌ පැහැදිලි ය. එනම්, සංරක්‌ෂණයේ දී මිනිසුන් දරන ආකල්ප අමතක කළ නොහැකි දෙයක්‌ බව ය. එබැවින් අනාගත පරපුර කුඩා කාලයේ පටන් නිසි ආකාරයෙන් පරිසර අධ්‍යාපනයක්‌ ලැබීම වැදගත් වන්නේ මේ නිසා ය. එය පාසල් අවධියේ පටන් ම විධිමත් හා අවිධිමත් ආකාරයෙන් සිදු විය යුත්තකි.

http://www.vidusara.com/2016/07/20/feature1.html

Friday, October 9, 2015

ලෝකයේ අනාගත සංවර්ධනයේ න්‍යාය පත්‍රය - තිරසර සංවර්ධන අභිමතාර්ථ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 30.09.2015

Sustainable development Goals - the agenda of the future development

Vidusara, 30.09.2015

http://www.vidusara.com/2015/09/30/feature5.html



පසුගිය සතියේ (2015 සැප්. 25-27) ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැත්වුණු එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී 'තිරසර සංවර්ධන අභිමතාර්ථ' (Sustainable Development Goals) නම් අලුත් ම සංවර්ධන ඉලක්‌ක සමූහය ඇතුළත් තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යාය පත්‍රය නිල වශයෙන් අනුමත කරන ලදි. 'ගෝලීය අභිමතාර්ථ' (Global Goals) ලෙස ද හැඳින්වෙන මේ අභිමතාර්ථ සමූහය ජගත් මට්‌ටමෙන් අනාගත සංවර්ධන සැලසුම් සඳහා පදනම් වන ඉලක්‌ක සමූහයක්‌ වනු ඇත.

මේ නව ඉලක්‌ක පිළිබඳ අවධානය යොමු වන්නේ 2015 වර්ෂය වන විට අත්පත් කරගැනීම සඳහා වූ සංවර්ධන ඉලක්‌ක සමූහයක්‌ වූ 'සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ' (Millennium Development Goals) අසාර්ථක වන බව පෙනී යැමත් සමග ය. 2000 වර්ෂයේ දී ඇති කරගත් මේ ඉලක්‌ක ලෝකයේ රටවල සංවර්ධන වැඩපිළිවෙළ සකස්‌ කිරීමට මෙන්ම සංවර්ධන ආධාර ලබා දීමේ දී ද වැදගත් විය. එහෙත් මේ ඉලක්‌ක කරා ළඟා වීමේ දී ඇතැම් රටවල් මේවා සාර්ථකව අත්පත් කරගන්නා බවක්‌ පෙනුණ ද තවත් රටවලට එසේ කළ නොහැකි බව පැහැදිලි විය. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ වන විට ලෝක ජනගහනයෙන් බිලියනයක්‌ පමණ දිනකට ඩොලර් 1.25කට අඩු ආදායමක්‌ ලබන අතර, මිලියන 800කට අධික පිරිසකට යෑපීමට ප්‍රමාණවත් තරම් ආහාර නොමැත. එමෙන් ම අභිමතාර්ථ අටකට පමණක්‌ සීමා වීම නිසා ඇතැම් අත්‍යවශ්‍ය අංශ ආවරණය නො වූ බවට ද විවේචන තිබිණි. ආර්ථරික සංවර්ධනය මීට නිදසුනකි.

මේ නිසා, සහස්‍ර සංවර්ධන අභිමතාර්ථවලින් ඉදිරියට ගිය ඵලදායී වූ සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ ඇති කරගැනීම අවශ්‍ය විය. මේ තත්ත්වය හමුවේ 2012 වර්ෂයේ දී බ්‍රසීලයේ රියෝ ද ජැනේරෝ නගරයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ තිරසර සංවර්ධන සමුළුවේ දී (Rio+20) තිරසර සංවර්ධන අභිමතාර්ථ සමූහයක්‌ සකස්‌ කිරීමට එකඟ වූ අතර ඒ සඳහා විවෘත ක්‍රියාකාරී කණ්‌ඩායමක්‌ ද පිහිටුවීමට තීරණය කරන ලදි. එසේ ම 2015 වර්ෂයෙන් පසු කාලය සඳහා වූ එක්‌සත් ජාතීන් ගේ සංවර්ධන න්‍යායපත්‍රයට මේ නව අභිමතාර්ථ ඇතුළත් කිරීම සඳහා ද එකඟතාව පළ විය.

මේ නව අභිමතාර්ථ සකස්‌ කිරීම සඳහා ක්‍රියාකාරී කණ්‌ඩායමට රටවල් 70ක පමණ නියෝජිතයන් අයත් වූ අතර, එහි අවසන් කෙටුම්පත 2014 ජූලි මාසය වන විට සකස්‌ වී තිබිණි. මෙහි දී අනුගමනය කරන ලද ක්‍රියාවලිය මෙතෙක්‌ අනුගමනය කරන ලද පුළුල් ම ක්‍රියාවලියක්‌ සේ සැලකේ. එසේ සකස්‌ කරන ලද අභිමතාර්ථ සමූහය ඇතුළත් පශ්චාත් 2015 සංවර්ධන න්‍යාය පත්‍රය 2014 වර්ෂයේ පැවැති එක්‌සත් ජාතීන් ගේ මහා මණ්‌ඩලයේ 68 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ලදි. ඉන් පසු සාමාජික රටවල අදහස්‌ ද සැලකිල්ලට ගෙන 2015 අගෝස්‌තු මාසය වන විට පොදු එකඟතාවක්‌ ඇති කර ගැනිණි.

ඒ අනුව පසුගිය සති අන්තයේ ඇමෙරිකාවේ නිව්යෝක්‌ නගරයේ දී පැවැති සමුළුවේ දී අනුමත කරන ලද්දේ 'ලෝකය පරිවර්තනය කිරීම( තිරසර සංවර්ධනය සඳහා වූ 2030 න්‍යායපත්‍රය' (Transforming our world: the 2030 Agenda for Sustainable Development) යනුවෙන් හැඳින්වෙන මේ රාමුවයි.

තිරසර සංවර්ධන අභිමතාර්ථ

මේ තිරසර සංවර්ධන අභිමතාර්ථවලට අභිමතාර්ථ (goals) 17ක්‌ හා ඒ හා සම්බන්ධ ඉලක්‌ක (targets) 169ක්‌ පමණ ඇතුළත් ය. මේවා තිරසර සංවර්ධනය හා සම්බන්ධ අංශ රැසක්‌ ආවරණය කරයි. මේ අභිමතාර්ථ හා ඉලක්‌ක 2016 ජනවාරි මස පළමුවැනි දා සිට බලපැවැත්වෙනු ඇති අතර ඒවා සාක්‌ෂාත් කරගැනීමේ අවසන් ඉලක්‌කය වන්නේ 2030 වර්ෂයයි. එනම් වසර පහළොවක පමණ කාලයකි.

තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් කරුණක්‌ වන්නේ මෙය ලෝකයේ සැම රටකට ම අදාළ ඒවා වීමයි. (සහස්‍ර සංවර්ධන අභිමතාර්ථ බොහෝ දුරට දියුණු වන රටවලට අදාළ විය). එසේ ම සංවර්ධනය සඳහා අදාළ අංශ වැඩි ප්‍රමාණයක්‌ ආවරණය වන ලෙස වැඩි අභිමතාර්ථ ගණනක්‌ තිබීම ද තිරසර සංවර්ධන අභිමතාර්ථවල වැදගත් වර්ධනයකි. මෙතෙක්‌ එතරම් සාකච්ඡාවට නො ගැනුණු කාන්තාවන් බලගැන්වීම, සාමය හා ආරක්‌ෂාව හා යහපාලනය වැනි සංකල්ප ඊට ඇතුළත් ව තිබීම මීට නිදසුන් වේ.

අනාගත ලෝකයේ සංවර්ධනය සැලසුම් වනු ඇත්තේ මේ නව අභිමතාර්ථ මත පදනම් වෙමිනි. ඉදිරියේ දී සියලු රටවල් මේ අභිමතාර්ථ සිය සංවර්ධන ප්‍රතිපත්තිවලට ඇතුළත් කරගනු ඇත. එහෙත් එය අභියෝගයක්‌ විය හැකි බව පැහැදිලි ය. නිදසුනක්‌ ලෙස ගත හොත් මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් ඒ සඳහා සැලකිය යුතු ආයෝජනයක්‌ සිදු කළ යුතු වේ. ආන්තික දරිද්‍රතාව නැති කිරීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 66ක පමණ මුදලක්‌ අවශ්‍ය බව ගණන් බලා තිබේ. එසේ ම ජලය, කෘෂිකර්මය, ප්‍රවාහනය හා බලශක්‌තිය වැනි යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා වාර්ෂිකව අවශ්‍ය කරන මුදල ද විශාල ය. සමස්‌තයක්‌ ලෙස මේ ඉලක්‌ක අත්පත් කරගැනීමට නම් වාර්ෂිකව ඩොලර් ටි්‍රලියන 3ක්‌ අවශ්‍ය බව පෙන්වා දී තිබේ. මේ මුදල් සොයාගන්නේ කෙසේ ද යන්න මෙහි දී ඇති ගැටලුව වේ. ඒ ඒ රටවල මහජන මුදල් මෙන්ම ආධාර මුදල් තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා යොදාගන්නා ප්‍රධාන මූල්‍ය ප්‍රභවය වනු ඇත. එහෙත් බදු ප්‍රතිපත්ති වෙනස්‌ කිරීම හරහා පෞද්ගලික අංශයෙන් ද, දූෂණය හා නීතිවිරෝධී මූල්‍ය කටයුතු නැවැත්වීම මගින් ද අරමුදල් සම්පාදනය කිරීම ගැන ද අවධානය යොමු වී ඇති බව පෙනේ. කෙසේ වෙතත්, පසුගිය ජුලි මාසයේ දී ඉතියෝපියාවේ දී පැවැති සමුළුවක දී පැහැදිලි වූයේ මේ අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීම සඳහා අවශ්‍ය කරන අරමුදල් සම්පාදනය කරගැනීම අසීරු විය හැකි ය යන්න අවධානයට ලක්‌ විය යුතු යුතු කරුණක්‌ බවයි.

මේ අනුව නව ඉලක්‌ක අත්පත් කරගැනීම අභියෝගයක්‌ බව පැහැදිලි ය. කෙසේ වෙතත් මේ අභියෝග ජයගනිමින්, තිරසර සංවර්ධන අභිමතාර්ථ සාක්‌ෂාත් කරගැනීමට කටයුතු කරනු ඇති බවත්, එමගින් ලෝකයේ යම් පරිවර්තනයක්‌ ඇති කළ හැකි වනු ඇතැයි ද යන්නත් ලෝකයේ ම අපේක්‌ෂාව වේ.

අභිමතාර්ථ හා ඉලක්‌ක


තිරසර සංවර්ධන අභිමතාර්ථ 17 හා ඒවාට අයත් ඉලක්‌ක 169 අතරින් වැදගත් ඉලක්‌ක මෙසේ ය. (අදාළ ඉලක්‌ක සියල්ල මෙහි සඳහන් නො වන බව කරුණාවෙන් සලකන්න).

1. දරිද්‍රතාව එහි සැම ආකාරයකින් ම සැම තැනින් ම අවසන් කිරීම


  • ආන්තික දරිද්‍රතාව (දිනකට ඩොලර් 1.25ට අඩු ආදායම් ලබන) 2030 වන විට මුලිනුපුටා දැමීම.
  • ඒ ඒ රටවල ජාතික නිර්ණායක අනුව දරිද්‍රතාවෙන් පෙළෙන ජනතාව ගේ ප්‍රමාණය 2030 වන විට අඩකින් පමණ අඩු කිරීම.
  • 2030 වන විට දුප්පත් හා අවදානම් කාණ්‌ඩයේ ජනතාවට ආර්ථික සම්පත්වලට සමාන ප්‍රවේශයක්‌ තිබීම.
  • දුප්පත් හා අවදානම් ජන කොටස්‌ දේශගුණය හා සම්බන්ධ ආන්තික තත්ත්ව හා ආපදා අවස්‌ථාවලින් ඇති වන බලපෑම්වලට ඔරොත්තු දීම.

2. කුසගින්නේ පසු වීම අවසන් කිරීම, ආහාර සුරක්‌ෂිතතාව හා ඉහළ පෝෂණයක්‌ අත්පත් කරගැනීම හා තිරසර කෘෂිකර්මය ප්‍රවර්ධනය කිරීම

  • 2030 වර්ෂය වන විට ජනතාව කුසගින්නේ පසු වීම නිමා කිරීම හා සැම ජන කොටසකට ම ආරක්‌ෂිත, පෝෂණයෙන් යුක්‌ත, ප්‍රමාණවත් ආහාර වසර පුරා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වර්ෂය වන විට විවිධ මන්දපෝෂණ තත්ත්ව අවසන් කිරීම හා වසර 5ට අඩු දරුවන් ගේ වයසට සරිලන උසක්‌ නොමැති වීම හා උසට සරිලන බරක්‌ නොමැති වීම පිළිබඳ ඉලක්‌කවලට 2025 දී ළඟා වීම.
  • 2030 වන විට කෘෂිකාර්මික ඵලදායකත්වය දෙගුණයක්‌ කිරීම, කුඩා පරිමාණ ආහාර නිෂ්පාදකයන් ගේ ආදායම දෙගුණයක්‌ කිරීම.
  • 2030 වන විට තිරසර ආහාර නිෂ්පාදන පද්ධති තහවුරු කිරීම හා ප්‍රත්‍යස්‌ථ කෘෂිකාර්මික පිළිවෙත් ක්‍රියාත්මක කිරීම.
  • 2020 වන විට බීජ, වගා කරන භෝග, ඇති කරන හා ගෘහාශ්‍රිතකරණය කළ සතුන් හා එAවායේ වල් දර්ශ හා විශේෂවල විවිධත්වය ආරක්‌ෂා කිරීම.

3. නිරෝගී ජීවිතයක්‌ තහවුරු කිරීම හා සියලු දෙනාට, සැම වයසක දී ම යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම
  • ගෝලීය මාතෘ මරණ අනුපාතය 2030 වර්ෂය වන විට සජීවී දරු උපත් 100,000කට 70 දක්‌වා අඩු කිරීම.
  • අලූත උපන් දරුවන් ගේ හා වයස අවුරුදු 5ට අඩු දරුවන් ගේ වළක්‌වාගත හැකි මරණ 2030 වන විට අවසන් කිරීම, අලුත උපන් දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1,000කට 12 දක්‌වා අඩු කිරීම හා අවුරුදු 5ට අඩු දරුවන් ගේ මරණ ප්‍රමාණය උපත් 1000කට 25 දක්‌වා අඩු කිරීම.
  • 2030 වන විට ඒඩ්ස්‌, ක්‌ෂයරෝගය, මැලේරියාව හා වෙනත් නිවර්තන කලාපීය රෝග මුලිනුපුටා දැමීම හා සෙංගමාලය, ජලය මගින් බෝ වන රෝග හා බෝ වන රෝග වැළැක්‌වීම.
  • 2020 වන විට මාර්ග අනතුරුවලින් සිදු වන මරණ හා තුවාල වීම් අඩකින් අඩු කිරීම.
  • සුදුසු පරිදි දුම්කොළ පාලනය පිළිබඳ රාමුගත සම්මුතිය ක්‍රියාත්මක කිරීම ශක්‌තිමත් කිරීම.

4. සමාන හා අන්තර්ග්‍රහණීය (inclusive- සියලු සමාජ ස්‌තරයන්ට අවස්‌ථාවක්‌ ලැබෙන) වූ අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම හා සැමට ජීවිත කාලය පුරා අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථා ප්‍රවර්ධනය

  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින් නිදහස්‌, සමාන හා ගුණාත්මක බවින් යුක්‌ත වූ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි ළමයින්, උසස්‌ තත්ත්වයේ පූර්ව ළමා විය සංවර්ධනයක්‌ සඳහා ප්‍රවේශය ලැබීම.
  • 2030 වන විට සියලු ගැහැනු හා පිරිමි සඳහා දරාගත හැකි හා ගුණාත්මක වූ තාක්‌ෂණික, වෘත්තීය හා තෘතීයික අධ්‍යාපනයක්‌ (විශ්වවිද්‍යාලය ද ඇතුළු) සඳහා සමාන ප්‍රවේශයක්‌ ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට සියලු තරුණ පිරිස්‌ හා වැඩිහිටියන් අතරින් සැලකිය යුතු පිරිසක ගේ සාක්‌ෂරතාව හා සංඛ්‍යා හැකියාව ලැබීම තහවුරු කිරීම.
  • දියුණු වන හා විශේෂයෙන් අඩු දියුණු රටවලට ලබා දෙන අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රමාණය ඉහළ නැංවීම.

5. ස්‌ත්‍රී පුරුෂ සමාජභාවය අත්පත් කරගැනීම හා කාන්තාවන් හා ගැහැනු ළමයින් බලගැන්වීම

  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව සිදු වන සැම ආකාරයක ම වෙනස්‌කම් අවසන් කිරීම.
  • කාන්තාවන් හා ගැහැනු ළමයින්ට එරෙහි ව පොදු හා පෞද්ගලික ස්‌ථානවල සිදු වන සියලු ආකාරයේ ප්‍රචණ්‌ඩතා අවසන් කිරීම.
  • තීරණ ගන්නා දේශපාලන, ආර්ථික හා පොදු ජීවිතයේ සියලු මට්‌ටම්වල දී කාන්තාවන් ගේ පූර්ණ හා ඵලදායී සහභාගිත්වය හා නායකත්වය සඳහා වන අවස්‌ථා තහවුරු කිරීම.

6. සැමට ජලය ලැබීම හා තිරසර කළමනාකරණය හා හා සනීපාරක්‌ෂාව ලැබීම තහවුරු කිරීම

  • සියලු දෙනාට ම ආරක්‌ෂිත හා මිල දරාගත හැකි පානීය ජලය ලබාගැනීමට ජගත් මට්‌ටමින් සමාන අවස්‌ථා ලැබීම 2030 වන විට තහවුරු කිරීම.
  • 2030 වන විට ප්‍රමාණවත් හා සමාන සනීපාරක්‌ෂාවක්‌ හා ස්‌වස්‌ථතාවක්‌ ලැබීමේ අවස්‌ථා සියලු දෙනාට ම අත්පත් කරගැනීම.
  • ජල දූෂණය අඩු කිරීම, හානිකර රසායන ද්‍රව්‍ය හා ද්‍රව්‍ය එක්‌ කිරීම අවසන් කිරීම හා පිළියම් නො කරන ලද අපජල ප්‍රමාණය අඩක්‌ බවට පත් කිරීම හා ජල ප්‍රතිචක්‍රිකරණය හා ආරක්‌ෂිත නැවත භාවිතය ඉහළ නැංවීම මගින් ජලයේ ගුණාත්මක බව 2030 වන විට වැඩිදියුණු කිරීම.
  • 2030 වන විට සියලු අංශවල ජල භාවිතයේ කාර්යක්‌ෂමතාව සැලකිය යුතු තරම් ඉහළ නැංවීම, ජල හිඟය දුරලීම සඳහා මිදිය සැපයීම හා ජල හිඟයෙන් පීඩා විඳින ජන ප්‍රමාණය අඩු කිරීම.
  • ජලාශ්‍රිත පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම හා ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • ජලය හා සනීපාරක්‌ෂාව කළමනාකරණය වර්ධනය කිරීමේ දී ප්‍රාදේශීය ප්‍රජාව ගේ සහභාගිත්වය ශක්‌තිමත් කිරීම හා සහාය දීම.

7. දරාගත හැකි, විශ්වස්‍ය වූ, තිරසර හා නූතන බලශක්‌තිය සඳහා ප්‍රවේශය සැමට තහවුරු කිරීම

  • 2030 වන විට දරාගත හැකි, විශ්වස්‍ය හා නවීන බලශක්‌ති සේවා ලැබීම තහවුරු කිරීම.
  • 2030 වන විට ජගත් බලශක්‌ති මිශ්‍රණයේ ඇති පුනර්ජනනය කළ හැකි විදුලිබල ප්‍රමාණය සැලකිය යුතු තරම් ඉහළ නැංවීම.
  • බලශක්‌ති කාර්යක්‌ෂමතාව වර්ධනයේ ජගත් මට්‌ටමේ වේගය 2030 වන විට දෙගුණ කිරීම.
  • පිරිසිදු බලශක්‌තිය පිළිබඳ පර්යේෂණ හා තාක්‌ෂණය පිළිබඳව ජාත්‍යන්තර සහයෝගිතාව 2030 වන විට වැඩිදියුණු කිරීම.

8. දරාගත හැකි, අන්තර්ග්‍රහණීය සහ තිරසර ආර්ථික වර්ධනයක්‌, සම්පූර්ණ හා ඵලදායී රැකියාවක්‌ හා සැමට ගෞරවාන්විත වෘත්තියක්‌ ලැබීම ප්‍රවර්ධනය කිරීම

  • ජාතික තත්ත්ව අනුව එAක පුද්ගල ආර්ථික වර්ධනය පවත්වාගැනීම හා විශේෂයෙන්, අඩු සංවර්ධනයක්‌ ඇති රටවල දළ දේශීය නිෂ්පාදිතයේ 7%ක වර්ධනයක්‌ වාර්ෂිකව පවත්වාගැනීම.
  • විවිධාංගීකරණය, තාක්‌ෂණික දියුණුව හා නව සොයාගැනීම් මගින් ඉහළ මට්‌ටමක ආර්ථික ඵලදායිත්වයක්‌ ලබාගැනීම.
  • නිෂ්පාදනයේ හා පරිභෝජනයේ දී ජගත් මට්‌ටමේ සම්පත් කාර්යක්‌ෂමතාව 2030 වන විට වර්ධනය කරගැනීම හා ආර්ථික සංවර්ධනය පරිසර හායනයෙන් වියුග්මනය කිරීම.
  • 2020 වන විට රැකියාවක, අධ්‍යාපනයේ හෝ පුහුණුවක යෙදී නො සිටින තරුණ පිරිසේ ප්‍රමාණය සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • කම්කරු අයිතීන් සුරක්‌ෂිත කිරීම හා ආරක්‌ෂිත සේවා පරිසරයක්‌ තිබීම ප්‍රවර්ධනය කිරීම.

9. ප්‍රත්‍යස්‌ථ වූ යටිතල පහසුකම් තැනීම, අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය, නවෝත්පාදනය ධෛර්යවත් කිරීම

  • අන්තර්ග්‍රහණය හා තිරසර කාර්මිකකරණයක්‌ ප්‍රවර්ධනය කිරීම හා කර්මාන්ත අංශය රැකියා ප්‍රමාණයට හා දළ ජාතික නිෂ්පාදනයට දක්‌වන දායකත්වය 2030 වන විට සැලකිය යුතු තරමින් ඉහළ නැංවීම.
  • විශේෂයෙන් දියුණු වන රටවල කුඩා පරිමාණයේ කර්මාන්ත හා ව්‍යාපාරවලට ලැබෙන මූල්‍ය පහසුකම් හා වෙළෙඳපොළ සඳහා ඇති ප්‍රවේශය ඉහළ නැංවීම.
  • 2030 වන විට යටිතල පහසුකම් හා කර්මාන්ත වැඩිදියුණු කිරීමෙන් එAවා තිරසර කිරීම, සම්පත් භාවිතයේ කාර්යක්‌ෂමතාව ඉහළ නැංවීම, පිරිසිදු හා පරිසර හිතකාමී තාක්‌ෂණය යොදාගැනීම.

10. රටවල් ඇතුළත හා රටවල් අතර ඇති අසමානතාව අඩු කිරීම

  • රටක ජනගහනයේ අඩු ආදායමක්‌ ලබන 40%ක්‌ පමණ පිරිස ගේ ආර්ථික වර්ධනය 2030 වන විට එහි ජාතික සාමාන්‍යයට වඩා ඉහළ තත්ත්වයක පවත්වාගැනීම.
  • වයස, ස්‌ත්‍රී-පුරුෂභාවය, ආබාධිත බව ආදී කරුණු නො සලකා සමාජ, ආර්ථික හා දේශපාලනමය වශයෙන් 2030 වන විට සියලු දෙනා අන්තර්ග්‍රහණය කිරීම ප්‍රවර්ධනය.
  • පිස්‌කල්, වැටුප් හා සමාජ ආරක්‌ෂණ ප්‍රතිපත්ති පිළිගැනීමෙන් වැඩි සමානතාවක්‌ අත්පත් කරගැනීම.

11. නගර හා මානව ජනාවාස අන්තර්ග්‍රහණය, ආරක්‌ෂිත, ප්‍රත්‍යස්‌ථ හා තිරසර බවට පත් කිරීම

  • 2030 වන විට සියලු දෙනාට ම ප්‍රමාණවත්, ආරක්‌ෂිත හා මිල දරාගත හැකි නිවාස ලැබීම තහවුරු කිරීම.
  • ආරක්‌ෂිත, මිල දරාගත හැකි, තිරසර ප්‍රවාහන පද්ධති සඳහා වූ ප්‍රවේශය සියලු දෙනාට ම 2030 වන විට ලබා දීම, මාර්ග ආරක්‌ෂාව වැඩි දියුණු කිරීම හා පොදු ප්‍රවාහන සේවා දියුණු කිරීම.
  • 2030 වන විට තිරසර නාගරීකකරණය වැඩිදියුණු කිරීම.
  • ලෝකයේ සංස්‌කෘතික හා ස්‌වාභාවික උරුමය ආරක්‌ෂා කිරීමට ගන්නා උත්සාහය ශක්‌තිමත් කිරීම.
  • වාතයේ ගුණාත්මක බව හා අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂ සැලකිල්ලකින් යුක්‌තව නගරවල ඒක පුද්ගල පාරිසරික බලපෑම 2030 වන විට අඩු කිරීම.
  • සම්පත් කාර්යක්‌ෂමතාව, අන්තර්ග්‍රහණීය බව, දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම හා අනුහුරු වීම, ආපදාවලට ප්‍රත්‍යස්‌ථ වීම වැනි කරුණු පිළිබඳව ප්‍රතිපත්ති හා සැලසුම් ඇති කිරීම සඳහා යොමු වූ නගර හා මානව ජනාවාස ප්‍රමාණය 2020 වන විට ඉහළ නැංවීම.

12. තිරසර පරිභෝජන හා නිෂ්පාදන රටා තහවුරු කිරීම

  • තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය පිළිබඳ දස අවුරුදු රාමුව ක්‍රියාත්මක කිරීම.
  • ස්‌වාභාවික සම්පත් තිරසර කළමනාකරණය හා කාර්යක්‌ෂම භාවිතය 2030 වන විට අත්පත් කරගැනීම.
  • සිල්ලර අලෙවිසල් හා පාරිභෝගික මට්‌ටමින් සිදු වන ඒක පුද්ගල ආහාර අපතේ යැම 2030 වන විට අඩක්‌ බවට පත් කිරීම.
  • රසායන ද්‍රව්‍ය හා සියලු අපද්‍රව්‍ය 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම.
  • වැළැක්‌වීම, අඩු කිරීම, ප්‍රතිචක්‍රිකරණය හා ප්‍රතිභාවිතය හරහා අපද්‍රව්‍ය ජනනය වීම 2030 වන විට සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • තිරසර සංචරණයේ තිරසර සංවර්ධන බලපෑම් නිරීක්‌ෂණය සඳහා මෙවලම් නිර්මාණය හා ක්‍රියාත්මක කිරීම.

13. දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා කඩිනම් පියවර ගැනීම
  • දේශගුණය හා සම්බන්ධ ආපදා හා ස්‌වාභාවික ආපදා සම්බන්ධව ප්‍රත්‍යස්‌ථ බව හා අනුහුරු වීමේ ධාරිතාව ශක්‌තිමත් කිරීම.
  • ජාතික ප්‍රතිපත්ති, උපායමාර්ග හා සැලසුම් සඳහා දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ පියවර එAකාබද්ධ කිරීම.
  • දේශගුණ වෙනස්‌වීම අවම කිරීම, අනුහුරු වීම හා බලපෑම් අඩු කිරීම හා පූර්ව අනතුරු හැඟවීම් පිළිබඳව අධ්‍යාපනය, අවබෝධය හා ධාරිතාව වර්ධනය කිරීම.
  • දියුණු වන රටවල දේශගුණ වෙනස්‌ වීම හා එහි බලපෑම් වැළැක්‌වීම සඳහා 2020 වන විට වාර්ෂිකව ඩොලර් බිලියන 100ක අරමුදලක්‌ දියුණු රටවල දායකත්වයෙන් සම්පාදනය කිරීමේ ප්‍රතිඥාව ක්‍රියාත්මක කිරීම.
14. සාගර. මුහුදු හා සමුද්‍රීය සම්පත් සංරක්‌ෂණය කිරීම හා තිරසර සංවර්ධනය සඳහා යොදාගැනීම
  • සියලූ ආකාරයේ සාගර දූෂණය 2025 වන විට වැළැක්‌වීම හා සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • සාගර හා වෙරළ පරිසර පද්ධති 2020 වන විට තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම හා ආරක්‌ෂා කිරීම.
  • සාගරය ආම්ලිකකරණය වීමේ බලපෑම් අවම කිරීම හා පිළියම් යෙදීම.
  • සාගරයේ ධීවර අස්‌වනු නෙළීම හා අධික ලෙස මසුන් මැරීම, නීති විරෝධී ව ධීවර සම්පත නෙළීම, හානිකර ධීවර උපක්‍රම භාවිතය 2020 වන විට සාර්ථකව පාලනය කිරීම.
  • 2020 වන විට ලෝකයේ සාගර හා වෙරළ ප්‍රදේශවලින් 10%ක්‌ පමණ සංරක්‌ෂණය කිරීම.
15. භෞමික පරිසර පද්ධති ආරක්‌ෂා කිරීම, ප්‍රතිස්‌ථාපනය කිරීම හා තිරසර භාවිතය ප්‍රවර්ධනය කිරීම, වනාන්තර තිරසර ආකාරයෙන් කළමනාකරණය කිරීම, කාන්තාරණය වැළැක්‌වීම, භූමි හායනය නවත්වා එය ප්‍රතිවර්තනය කිරීම හා ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම
  • 2020 වන විට භෞමික හා අභ්‍යන්තර මිරිදිය පරිසර පද්ධති සංරක්‌ෂණය, ප්‍රතිස්‌ථාපනය හා තිරසර භාවිතය තහවුරු කිරීම.
  • 2020 වන විට සියලු වනාන්තර තිරසර කළමනාකරණය ප්‍රවර්ධනය හා ක්‍රියාත්මක කිරීම, වන විනාශය නැවැත්වීම, හායනයට ලක්‌ වූ වනාන්තර ප්‍රතිස්‌ථාපනය කිරීම, නැවත වන වගාව හා වන වගාව වැඩි කිරීම. 
  • 2030 වන විට කාන්තාරණය වැළැක්‌වීම, හායනයට ලක්‌ වූ භූමිය හා පස ප්‍රතිස්‌ථාපනය කිරීම.
  • 2030 වන විට කඳුකර පරිසර පද්ධති සංරක්‌ෂණය කිරීම.
  • ස්‌වාභාවික වාසස්‌ථාන හායනය අඩු කිරීම සඳහා කඩිනම් පියවර ගැනීම, ජෛව විවිධත්වය අහිමි වීම නැවැත්වීම හා තර්ජනයට ලක්‌ ව ඇති විශේෂ වඳ වී යැම 2020 වන විට වැළැක්‌වීම.
  • ප්‍රවේණික සම්පත් භාවිතයේ ප්‍රතිලාභ සාධාරණ අයුරින් බෙදාගැනීම ප්‍රවර්ධනය කිරීම.
  • දඩයම, ආරක්‌ෂිත විශේෂ නීතිවිරෝධී ව ප්‍රවාහනය කිරීම හා නිතිවිරෝධී වනජීවී ද්‍රව්‍ය ඉල්ලුම හා සැපයුම පාලනය සඳහා කඩිනම් පියවර ගැනීම. 
  • ආක්‍රමණික විශේෂ හඳුන්වා දීම වැළැක්‌වීමට හා ඒවායේ බලපෑම් සැලකිය යුතු මට්‌ටමින් අඩු කිරීමට අවශ්‍ය පියවර 2020 වන විට හඳුන්වා දීම හා ප්‍රමුඛතා විශේෂ මුලිනුපුටා දැමීම.
  • ජෛව විවිධත්ව හා පරිසර පද්ධති වටිනාකම් ජාතික හා ප්‍රාදේශීය සැලසුම් සඳහා එක්‌ කරගැනීම.
  • පරිසර පද්ධති හා ජෛව විවිධත්වය සංරක්‌ෂණය හා තිරසර භාවිතය සඳහා මූල්‍ය සම්පත් සංචලනය හා වර්ධනය කිරීම.
16. තිරසර සංවර්ධනය සඳහා වූ සාමකාමී හා අන්තර්ග්‍රහණය වූ සමාජ ප්‍රවර්ධනය හා සැමට සාධාරණය සඳහා ප්‍රවේශය සැපයීම හා වග වීමක්‌ සහිත හා අන්තර්ග්‍රහණය වූ ආයතන සැම මට්‌ටමක ම ස්‌ථාපිත කිරීම
  • ගැටුම් හා ඒ නිසා ඇති වන මරණ සැම ප්‍රදේශයකින් ම සැලකිය යුතු තරම් අඩු කිරීම.
  • ළමයින්ට එරෙහි සියලු ආකාරයේ හිංසන, අපහරණය ආදිය අවසන් කිරීම.
  • ජාතික හා ජාත්‍යන්තර මට්‌ටමින් නීතියේ පාලනය ප්‍රවර්ධනය කිරීම.
  • සියලු ආකාරයේ අල්ලස හා දූෂණය සැලකිය යුතු තරමින් අඩු කිරීම.
  • සියලු මට්‌ටම්වල දී වගවීමක්‌ සහිත හා විනිවිදභාවයෙන් යුතු ආයතන වර්ධනය කිරීම.
17. තිරසර සංවර්ධනය සඳහා වූ ගෝලීය සහයෝගිතාව ක්‍රියාත්මක කිරීමේ හා නව ජීවයක්‌ දීමේ මාර්ග ශක්‌තිමත් කිරීම
  • දේශීය සම්පත් සංචලනය (mobilization - යෙදවීම) ශක්‌තිමත් කිරීම. 
  • දියුණු වන රටවලට අතිරේක මූල්‍ය සම්පත් සංචලනය.
  • උතුරු-දකුණු, දකුණු-දකුණු හා කලාපීය හා ජාත්‍යන්තර සම්බන්ධතා මගින් විද්‍යාව, තාක්‌ෂණය හා නවෝත්පාදනය පිළිබඳ කටයුතු කිරීම.
  • පරිසර හිතකාමී තාක්‌ෂණය දියුණු වන රටවලට ලබා දීම හා දියුණු කිරීම. 
  • දියුණු වන රටවල තිරසර සංවර්ධන අභිමතාර්ථ සාර්ථක කරගැනීම සඳහා අවශ්‍ය ධාරිතා සංවර්ධනය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබා දීම.
  • දියුණු වන රටවල අපනයන වර්ධනය කිරීම හා අඩු දියුණු රටවල අපනයන ප්‍රමාණය 2020 වන විට දෙගුණයක්‌ බවට වර්ධනය කිරීම.

Tuesday, October 6, 2015

වගකීම් සහගත පාරිසරික සංචරණය

ධනේෂ් විසුම්පෙරුම

(Responsible tourism)

විදුසර, පි. 5, Vidusara, 23.09.2015

http://www.vidusara.com/2015/09/23/feature1.html



සංචාරක කර්මාන්තය හෙවත් සංචරණය අපේ රටේ වේගයෙන් වර්ධනය වන අංශ අතරින් එකකි. 2009 වර්ෂයෙන් පසුව රටේ ඇති වී තිබෙන සාමකාමී වාතාවරණය තුළ මෑත කාලයේ සංචාරක කර්මාන්තයේ වේගවත් වර්ධනයක්‌ ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් 2009 වර්ෂයේ දී මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් ගේ ප්‍රමාණය 447,000ක්‌ පමණ වූ අතර, 2014 වර්ෂයේ දී මේ ප්‍රමාණය 1,500,000 ඉක්‌මවා ගොස්‌ තිබේ. එසේ ම දේශීය සංචාරකයන් ද විශාල ලෙසින් අපේ රටේ පිහිටි විවිධ සංචාරක ස්‌ථාන නැරඹීමට යැම දැන් දැකිය හැකි ය. මෙය අපේ රටේ ආර්ථිකය සඳහා වැදගත් වන අංශයක්‌ වේ.

දේශීය මෙන්ම විදේශීය සංචාරකයන් ගේ ආකර්ෂණයට ලක්‌ වූ මෙරට දැකිය හැකි ස්‌ථාන අතර ස්‌වාභාවික පරිසර පද්ධති බෙහෙවින් වැදගත් තැනක්‌ ගනියි. නිදසුනක්‌ ලෙස ගත හොත් රට වටා පිහිටි වෙරළ තීරය හා ජාතික වනෝද්‍යාන ආදිය දැක්‌විය හැකි ය. විශේෂයෙන් වනජීවීන් හා ස්‌වාභාවික පරිසරය සම්බන්ධව ගත හොත් අපේ රටේ සැලකිය යුතු විවිධත්වයක්‌ තිබීම නිසා සංචාරක කර්මාන්තයට යෝග්‍ය වටපිටාවක්‌ රටේ පවතී.

කෙසේ වෙතත්, අපේ රටේ වනෝද්‍යාන දෙකකින් මෑත කාලයේ දී වාර්තා වූ සිදුවීම් දෙකක්‌ අපේ සංචාරක කර්මාන්තය පිළිබඳව සිතා බැලිය යුතු කරුණු කිහිපයක්‌ සිහිපත් කර දෙයි. ඉන් පළමුවැන්න වන්නේ යාල වනෝද්‍යානයේ දී වාහනයක ගැටී කොටියකු මිය යැමේ සිදු වීමයි. දෙවැන්න වන්නේ මින්නේරිය වනෝද්‍යානයේ දී දැකිය හැකි වූ සංචාරකයන් ගේ අනුමත කළ නොහැකි හැසිරීම් ය.

වාහනවල ගැටීමෙන් වනජීවීන්ට අනතුරු


පසුගිය අගෝස්‌තු මස අවසන් සතියේ දිනක උදෑසන යාල ජාතික උද්‍යානයේ මාර්ගයක තිබී කොටි දෙනක ගේ සිරුරක්‌ හමු වීම මින් පළමු සිදුවීමයි. කොඳු ඇට පෙළට සිදු වූ හානිය නිසා සිදු ව තිබූ එම මරණයට හේතුව වාහනයක ගැටීම විය හැකි බව බලධාරීන් විසින් සැක කරන ලදි. මේ සඳහා වගකිවයුත්තේ රාත්‍රි කාලයේ මේ වනෝද්‍යානයේ සංචාරක බංගලාවක රාත්‍රිය ගත කළ පිරිසක්‌, රාත්‍රි කාලයේ වනෝද්‍යානයේ නීති විරෝධී ව සිදු කළ සංචාරයක්‌ බව ඇතැම් පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ තිබිණි. මේ ලිපිය ලියන මොහොත වන විට ද මේ සිදුවීම සම්බන්ධ සත්‍යය අනාවරණය වී නො තිබිණි.

යාල ජාතික උද්‍යානයේ සංචාරක ආකර්ෂණය වැඩි වශයෙන් යොමු වී ඇත්තේ කොටින් පිළිබඳව ය. මේ නිසා කොටින් සුලබව දැකිය හැක්‌කේ කොතැන ද එතැනට යැමට සංචාරකයෝ පෙලඹෙති. විවිධ සංචාරක සේවා සපයන්නන් ගේ හා මාර්ගෝපදේශකයන් ගේ අපේක්‌ෂාව වන්නේ හැකිතාක්‌ සංචාරකයන් ඒ වෙත ගෙන යැම ය. මේ සඳහා ජීප් රථ රියදුරන් හා මාර්ගෝපදේශකයන් ගත් එක්‌ පියවරක්‌ වූයේ කිසියම් ස්‌ථානයක කොටින් දුටු විට ජංගම දුරකථන යොදාගනිමින් අනෙක්‌ පිරිස්‌ වෙත ඒ බව සන්නිවේදනය කිරීම ය. ඒ අනුව සෙසු පිරිස්‌ ද අදාළ ප්‍රදේශයට කඩිනමින් ළඟා වන්නේ ජීප් රථ අධික වේගයෙන් ධාවනය කරමිනි. මෙසේ ඇති වන තරගයේ එක්‌ ප්‍රතිඵලයක්‌ වන්නේ මෙවැනි අනපේක්‌ෂිත අනතුරු සිදු වී, වනසතුන්ට වෙන් කර ඇති ආරක්‌ෂිත භූමිය තුළ ම ඔවුන් මිය යැම ය.

යාල ජාතික උද්‍යානය තුළ මෙවැනි සිදුවීම් කිහිපයක්‌ මින් පෙර ද වාර්තා වී ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත්, 2011 ඔක්‌තෝබර් මාසයේ දී පටනංගල ප්‍රදේශයේ දී ද, 2013 වර්ෂයේ මුල් භාගයේ දී ද, මෙවැනි සිදුවීම් වාර්තා වී තිබේ. මේ ආකාරයෙන් රිය අනතුරු නිසා මිය යන්නේ කොටින් පමණක්‌ නො වේ. මුවන් ආදි වෙනත් වනසතුන් ද මේ ආකාරයෙන් මරණයට පත් වීම් පිළිබඳව වනෝද්‍යානවලින් වාර්තා වේ. අනෙක්‌ අතට වාහනවල ගැටීමෙන් මිය යන සෙසු සතුන් පිළිබඳව මෙතරම් අවධානයක්‌ යොමු වන්නේ නැත.

මෙවැනි අනතුරු මරණ යාල දී අධිකව දැකිය හැක්‌කේ එයට පැමිණෙන සංචාරකයන් ගණන හා වාහන ප්‍රමාණය අධික වීම නිසා ය. යාල ජාතික උද්‍යානය ගත හොත් එය අපේ රටේ වැඩි ම සෆාරි ජීප් රථ ප්‍රමාණයක්‌ සේවා සපයන ජාතික උද්‍යානය ද වේ. විශේෂයෙන් සති අන්ත දිනවල දී මේ ප්‍රදේශවලට සංචාරකයන් ගේ පැමිණීම බෙහෙවින් ඉහළ යයි. ඒ නිසා සිදු විය හැකි වනසතුන් ගේ මරණ හා සතුන් ගේ චර්යාරටාවලට ඇති වන බාධා වීම් වළක්‌වාලීමට කිසියම් පියවරක්‌ ගැනීම අවශ්‍ය බව පැහැදිලි ය. මේ දෙවැනි කරුණ, එනම් අධික සංචාරකයන් ප්‍රමාණයක්‌ සංචරණයේ යෙදීම නිසා වනසතුන්ට යම් ආතතියක්‌ ඇති කිරීම අවධානයට ලක්‌ විය යුතු කරුණකි. වනජීවීන් ගේ සාමාන්‍ය ජීවන පිළිවෙත්වලට අධික සංචරණයෙන් සිදු වන බාධා වීම් පිළිබඳව වාර්තා වී ඇත.

මේ තත්ත්වය සඳහා යෙදිය හැකි විසඳුම් ඇතැම් විට සාකච්ඡාවට ලක්‌ ව ඇත. නිදසුනක්‌ ලෙස වාහනවල අධික වේගය වැළැක්‌වීම සඳහා මාර්ග බාධක පිහිටුවීම එවැනි යෝජනාවකි. මෑතක දී ගත් එක්‌ පියවරක්‌ වූයේ ජංගම දුරකථන භාවිත කිරීම පාලනය කිරීමයි. එහි සාර්ථකත්වය පිළිබඳව තවමත් පැහැදිලි නැත. එක්‌ වාර්තාවකට අනුව, තවමත් මෙය සිදු කරන්නේ කඩින් කඩ ය. අනෙක්‌ අතට සති අන්ත වැනි ඇතැම් දිනවල අධික සංචාරකයන් පිරිසක්‌ පැමිණීම අධෛර්යවත් කිරීමට කිසියම් සාධනීය පියවරක්‌ ගත හැකි නම් එය වඩා ඵලදායී විය හැකි ය. නිදසුනක්‌ ලෙස දින අනුව වෙනස්‌ ගාස්‌තු ක්‍රමයක්‌ අනුගමනය කිරීම දැක්‌විය හැකි ය. මීට කලකට පෙර අත්හදා බලන ලද, මාර්ගවල එක්‌ දිශාවකට පමණක්‌ ගමන් කිරීමේ ක්‍රමවේදය යම් තරමකින් හෝ සාර්ථක වූ බව තතු දන්නවුන් ගේ අදහස වේ.

සංචාරක විනය


සංචරණය හා සම්බන්ධව මෑතක දී වාර්තා වූ අනෙක්‌ වැදගත් සිදුවීම වූයේ මින්නේරිය වනෝද්‍යානය නැරඹීමට ගිය සංචාරකයන් පිරිසක ගේ අනිසි හැසිරීම සම්බන්ධ ව ය. සංචාරකයන්ට අවසර නොමැති කාර්යයක නියෑළීම සම්බන්ධව ඔවුනට කරුණු වටහා දීමට වනජීවී නිලධාරීන් උත්සාහ ගත් අවස්‌ථාවක දී ඔවුන් වනජීවී නිලධාරීන්ට බාධා වන ආකාරයෙන් හැසිරුණු ආකාරය දැක්‌වෙන වීඩියෝවක්‌ එක්‌තරා පෞද්ගලික රූපවාහිනි නාළිකාවක විකාශය වූ අතර එය සමාජ ජාල ඔස්‌සේ ද ප්‍රචාරය විය.

ජාතික උද්‍යානවල සංචාරකයන් සඳහා ඇති නීති පද්ධතිය උල්ලංඝනය කරමින් කටයුතු කරන ආකාරය බොහෝ ස්‌ථානවල නිතර දැකිය හැකි කරුණකි. විශේෂයෙන් අදාළ වනෝද්‍යාන ඇතුළත සංචාරකයන්ට වාහනවලින් බැසීමට අවසර නොමැති ස්‌ථානවල දී වාහනවලින් බැසීම මෙවැනි එක්‌ කරුණකි. එසේ ම මත්පැන් හා දුම්වැටි පානය කිරීම වැනි දේ වනෝද්‍යානවල සම්පූර්ණයෙන් ම තහනම් වන නමුත් සංචාරකයන් එවැනි කාර්යයන්හි යෙදෙන ආකාරය දැකීම එතරම් දුර්ලභ නො වේ. අනෙක්‌ අතට අපද්‍රව්‍ය බැහැර ලීම ද ජාතික වනෝද්‍යාන තුළ දැකිය හැකි මෙවැනි අනිසි හැසිරීමකි. එය වනජීවීන් ගේ පැවැත්මට අහිතකර ලෙස බලපාන කරුණක්‌ බවට ද පත් ව ඇත.

මේ තත්ත්වය වනෝද්‍යාන හා වෙනත් ස්‌වාභාවික භූ දර්ශන නැරඹීමට යන සංචාරකයන් ගේ හැසිරීම සම්බන්ධව ගැටලු ඇති කරන්නකි. වනෝද්‍යාන තුළ කළ යුතු හා නො කළ යුතු දේ පිළිබඳව කෙතරම් දැනුම් දී ඇතත් සංචාරකයන් ගේ හැසිරීම පිළිබඳ බොහෝ ගැටලු තිබේ.

මේ කරුණු අනුව පෙනෙන්නේ අපේ රටේ පවත්නා සංචාරක සංස්‌කෘතියේ වගකීම් රහිත ස්‌වභාවයයි. විශේෂයෙන් දේශීය සංචාරකයන් අතරින් වැඩි පිරිසක්‌ සංචාරයේ යෙදෙන්නේ හුදෙක්‌ විනෝදය සඳහා පමණි. කෑම-බීම-නෑම අපේ සංචාරකයන් ගේ සංචරණයේ මූලික අපේක්‌ෂාව බව පෙනේ. එසේ ම ඔවුන් මේ ස්‌වකීය විනෝදය නිසා පරිසරයට හා සෙසු සංචාරකයන්ට ඇති වන බලපෑම් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු කරන්නේ ද නැත. මේ තත්ත්වය කඩිනමින් වෙනස්‌ විය යුතු බව අපේ රටේ පරිසරයට ඇලුම් කරන අයට නම් අමුතුවෙන් කිව යුතු නො වේ.

මෙහි දී වැදගත් වන්නේ වගකීම් සහිත සංචරණයක්‌ වෙත යොමු වීමයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, අපට කළ හැකි එක්‌ දෙයක්‌ වන්නේ සංචාරකයන් ලෙස නො කළ යුතු දේ මොනවා ද යන්න පැහැදිලිව වටහාගැනීමයි. ජාතික උද්‍යානවලට පැමිණෙන සංචාරකයන් පිරිස හුදෙක්‌ සංඛ්‍යාත්මකව වර්ධනය කිරීම වෙනුවට අද කළ යුතු ව ඇත්තේ සංචාරකයන් ගේ විනයවත් බව හා වගකීම් සහිත සංචරණයක්‌ වෙනුවෙන් කටයුතු කිරීමයි. හුදෙක්‌ යටිතල පහසුකම් පමණක්‌ නො ව, සංචාරක විනය වැනි කරුණු පිළිබඳව ද සංචාරක ප්‍රවර්ධනයේ දී අවධානය යොමු විය යුතු ව තිබේ. මේ සඳහා තරාතිරම නො බලා සංචාරකයන්ට බලපාන නීති රීති දැඩිව අනුගමනය කිරීම ඉතා වැදගත් වේ. මෙහි දී සංචාරක ම`ගපෙන්වන්නන් හා සෆාරි ජීප් රථ රියදුරන් වඩා වගකීමෙන් කටයුතු කිරීම සඳහා යොමු කිරීම ද අත්‍යවශ්‍ය වේ.

මේ කරුණු සලකා බලන විට උක්‌ත කරුණු සම්බන්ධව කිසියම් පිළියමක්‌ නො යෙදුව හොත්, සංචාරක කර්මාන්තය වැනි ආර්ථික වර්ධනයට තිරසර දායකත්වයක්‌ ලබාගත හැකි අංශයක ආදායම් මාර්ග බිඳ වැටීමට පවා ඉඩ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත් යාල ජාතික උද්‍යානය වැනි ස්‌ථානවල ඇති අධික තදබදය නිසා ඇතැම් විට සංචාරකයන් එහි සංචාරය කිරීමට උනන්දුවක්‌ නො දක්‌වන තත්ත්වයක්‌ ඇති වීමට පවා ඉඩ තිබේ.

Thursday, September 10, 2015

කැලණි ගඟේ ජල දුෂණය කෙරෙහි යොමු වූ අවධානය ප්‍රමාණවත් ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 09.09.2015, 5 පිටුව (Vidusara)

(Do we have sufficient attention of pollution of Kelani River?)

http://www.vidusara.com/2015/09/09/feature2.html



බියගම පිහිටා ඇති කොකාකෝලා සමාගම් පරිශ්‍රයේ සිදු වූ අනතුරක්‌ හේතුවෙන් කැලණි ගඟට ඩීසල් එක්‌ වීමේ සිදුවීම ගැන මුලින් ම දැනගැනීමට ලැබෙන්නේ පසුගිය අගෝස්‌තු 17 වැනි දින ය. එම සමාගම් පරිශ්‍රයේ සිදු කරන ලද කිසියම් ඉදිකිරීම් කටයුත්තක දී ඩීසල් ගෙන යන නළයකට හානි වී ඩීසල් කාන්දු වී තිබේ. එදින සේවයේ නියුතු වූ සමාගම් සේවක පිරිස්‌ අදාළ තෙල් කාන්දුව නතර කිරීමට කටයුතු කර ඇතත්, ඒ වන විට ද සැලකිය යුතු තෙල් ප්‍රමාණයක්‌ කැලණි ගඟට එක්‌ වී තිබේ. (මේ ප්‍රමාණය තෙල් ලීටර් 1900ක්‌ පමණ බව එක්‌ වාර්තාවක සඳහන් විය.) කොළඹ හා අවට ප්‍රදේශ රැසකට ජලය සපයන අඹතලේ ජල පවිත්‍රාගාරය පිහිටා ඇත්තේ කැලණි ගඟේ මේ ප්‍රදේශයට වඩා පහළිනි. මේ නිසා ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන ලද අතර බලධාරින් විසින් ගඟෙන් ජලය ලබාගැනීම නවතා දමා මේ තෙල් ඇතුළත් ජලය ගඟ දිගේ පහළට ගසා ගෙන යැමට සලස්‌වා තිබිණි.

කෙසේ වෙතත් යළිත් අගෝස්‌තු මස 28 වැනි දින කැලණි ගඟේ ජලයේ තෙල් තට්‌ටුවක්‌ ඇති බව අනාවරණය විය. ඒ නිසා කෙටි දැනුම් දීමකින් පසුව එදින කොළඹ, ශ්‍රී ජයවර්ධනපුර කෝට්‌ටේ හා දෙහිවල-ගල්කිස්‌ස යන මහ නගරසභා බලප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන ලදි. මේ තත්ත්වය ඇති වීමට හේතු වූයේ ගඟේ ඉවුරුවල තිබූ තෙල් කාන්දුවේ අපද්‍රව්‍ය ඒ දිනවල ඇති වූ අධික වර්ෂාවට සේදී ගොස්‌ ගඟට එක්‌ වීම බව බලධාරීන් විසින් හෙළි කරන ලදි. අපවිත්‍ර ජලය ගඟ පහළට ගසා යැමට හා පවිත්‍රාගාරයේ පිරිසිදු කිරීම් සඳහා රාජ්‍ය බලධාරීන් විසින් ගන්නා ලද ක්‍රියාමාර්ග නිසා ජල සැපයුම එදින සවස්‌ වන විට යථා තත්ත්වයට පත් කරගත හැකි විය. මේ කටයුතු සඳහා වැය වී ඇත්තේ මහජන මුදල් ය.

මේ තෙල් කාන්දුව පිළිබඳව අවශ්‍ය නීතිමය පියවර ගත් මධ්‍යම පරිසර අධිකාරිය පළමුව අදාළ සමාගමේ පරිසර ආරක්‌ෂක බලපත්‍රය තහනම් කළ අතර, ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු අත්හිටුවන ලදි. පසුව අගෝස්‌තු මස 31 දින එම තහනම ඉවත් කරන ලද අතර ඒ පරිසර අධිකාරිය පවසන පරිදි ඒ කොන්දේසි සහිත ව ය. සමාගම තවදුරටත් තෙල් කාන්දු වීම් ඇති නො වන ලෙස ක්‍රියා කිරීම මීට හේතුව සේ දක්‌වා තිබිණි. එසේ ම අධිකාරීන් විසින් නියම කරන ලද නිර්දේශ සපුරා ලීම මේ කියන කොන්දේසි අතර වේ. ඒ සමඟ සමාගමේ නිෂ්පාදන කටයුතු යළිත් ආරම්භ වූ බව ද වාර්තා විය. මේ අතර අපවිත්‍ර තෙල් ඉවත් කිරීම හා ජල පොම්පාගාරයේ ඇති වූ හානි සඳහා වූ වියදම ප්‍රතිපුර්ණය කිරීමට අදාළ සමාගම එකඟ වී ඇති බවක්‌ පුවත්පත්වල වාර්තා විය. එක්‌ වාර්තාවකට අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයට සිදු වූ අලාභය රුපියල් මිලියන 130කට අධික බව පැවසේ. මේ අලාභයට තෙල් නිසා අපවිත්‍ර වීමෙන් පාරිභෝගිකයන්ට බෙදාහැරීමට නොහැකි වූ ජලය ලීටර් 200,000ක්‌, පවිත්‍රාගාරයේ තෙල් පිරිසිදු කරන ජල පෙරණ හා ජල තටාක පිරිසිදු කිරීම හා මේ කටයුතු සඳහා යොදාගත් අතිරේක සේවකයන් හා අතිරේක බලශක්‌තිය සඳහා වූ වියදම ද අයත් බව පෙනේ. මේ අතර ගඟේ ජලය පවිත්‍ර කිරීමේ කටයුතු සඳහා මැදිහත් වූ සාගර පරිසර ආරක්‌ෂණ අධිකාරිය හා සේවා සැපයූ පෞද්ගලික ආයතනයකින් ද රු. 177,000 ක්‌ හා මිලියන 1.45ක්‌ ලෙස වියදම් ඉල්ලා ඇති බව වාර්තා වී තිබේ. මේ අනුව සමස්‌ත වියදම මීට වඩා ඉහළ යා හැකි අතර, එය අධිකරණ ක්‍රියාමාර්ගයක්‌ වෙත යොමු විය හැකි ය.

කෙසේ වෙතත් පසුගිය ඉරිදා පුවත්පතකට ජල සම්පාදන මණ්‌ඩලයේ සභාපතිවරයා පවසා තිබූ ආකාරයට ඉන්දියාවට යෑවූ ජල නිදර්ශක සම්බන්ධයෙන් සිදු කර ඇති පර්යේෂණවලින් හෙළි ව ඇති පරිදි, ගංගා ජලයේ අඩංගුව තිබුණේ මෙතිලින් වර්ගයේ කාබනික සංයෝගයකි. ඇතැම් සාම්පලයක අදාළ සංයෝගය ලීටරයකට මිලි ග්‍රෑම් 0.5ක පමණ මට්‌ටමින් හමු වී ඇති බව ද වාර්තා වේ. (මේ කරුණ අදාළ සිදුවීම පිළිබඳ ගැටලූ ඇති කරන අතර, ඒ ගැන වැඩිදුර තොරතුරු ඉදිරියේ දී අපේක්‌ෂා කළ හැකි ය.)

රතුපස්‌වල හා කැලණි ගඟ


උක්‌ත සිදුවීම පිළිබඳව විමසිල්ලෙන් බැලීමේ දී පෙනී ගිය කරුණක්‌ වන්නේ මේ තෙල් කාන්දුව නිසා කැලණි ගඟ දූෂණය වීම හා ජලය අපවිත්‍ර වීම ගැන සමාජයේ එතරම් අවධානයක්‌ යොමු නො වූ බවයි. අනෙකක්‌ තබා ජනමාධ්‍යවල ද මේ පිළිබඳව මුලින් දැකිය හැකි වූයේ අඩු උනන්දුවකි. කෙසේ වෙතත් සමාජ ජාල වෙබ් අඩවි ඔස්‌සේ මේ පිළිබඳව බොහෝ දේ සාකච්ඡාවට ලක්‌ විය. ඒවා අතර රජයේ බලධාරීන් ගේ නො සැලකිල්ලේ සිට අදාළ සමාගමේ නිෂ්පාදන ප්‍රතික්‌ෂේප කිරීම දක්‌වා වූ විවිධ කරුණු උලූප්පා දක්‌වා තිබිණි. පුදුමයකට මෙන් සමාජයේ මෙවැනි සිදුවීම් පිළිබඳ කටයුතු කරන පරිසර හා සමාජ සංවිධාන හා ක්‍රියාකාරීන් අතර පවා මේ සිදුවීම පිළිබඳව ප්‍රමාණවත් ක්‍රියාකාරිත්වයක්‌ දැකිය නොහැකි විය.

රටේ ජනගහනයෙන් සැලකිය යුතු පිරිසක ගේ පානීය ජල සැපයුම හා ගංගාවක්‌ දූෂණය වීම මෙසේ රටේ එතරම් අවධානයක්‌ යොමු නො වූයේ ඇයි ද යන්න ම`දක්‌ විමසීම වැදගත් කරුණකි. එහි දී අපට මෑතක දී ඇති වූ රතුපස්‌වල ජල ගැටලූව පිළිබඳව අවධානය යොමු කළ හැකි ය.

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පිහිටා ඇති රතුපස්‌වල ප්‍රදේශයේ පානීය ජලයේ ආම්ලිකතාව ඉහළ යැමට හේතුව කම්හලකින් නිකුත් වූ රසායනික ද්‍රව්‍ය බව ජනතාව ගේ චෝදනාව විය. එහෙත් විද්‍යාත්මක පර්යේෂණවලින් ඒ බව සනාථ නො වූ බව රාජ්‍ය බලධාරීන් ගේ මතය විය. එහෙත් ප්‍රදේශවාසී ජනතාව අදාළ සමාගම වසා දමන තෙක්‌ උද්ඝෝෂණය කළ හ. මේ සඳහා ඇතැම් දේශපාලන බලවේග මෙන්ම රාජ්‍ය නො වන සංවිධාන හා ක්‍රියාකාරීන් ගේ මැදිහත් වීම දැකිය හැකි විය. එසේ ම එය පැවැති රජයට එරෙහි උද්ඝෝෂණයක්‌ බවට ද පත් විය. මේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස ජීවිත කිහිපයක්‌ අහිමි වූ අතර අදාළ කම්හල එතැනින් ඉවත් කරගන්නා ලදි. එසේ ම ජනතාවට පානීය නළ ජල සැපයුමක්‌ ලබා දීමට ද රජය පියවර ගත්තේ ය. ඒ දිනවල රතුපස්‌වල පිළිබඳව කතා කළ අය අතර, පරිසරවේදීන්, දේශපාලනඥයන් මෙන්ම සාමාන්‍ය ජනතාව ද වූ අතර එය කිසියම් ආකාරයක ජාතික ප්‍රශ්නයක්‌ බවට පත් වූ බවක්‌ දැකිය හැකි විය.

කෙසේ වෙතත්, පසුගිය දා කැලණි ගඟට තෙල් නිකුත් වූ අවස්‌ථාවේ දී රටේ එවැනි තත්ත්වයක්‌ දක්‌නට නො වී ය. මේ සිදුවීමෙන් ඇති වූ බලපෑම් පිළිබඳව කිසිදු දේශපාලන බලවේගයක්‌ හෝ රාජ්‍ය නො වන සංවිධාන හෝ සැලකිය යුතු තරම් උනන්දුවක්‌ දැක්‌වූ බවක්‌ අසන්නට දකින්නට නො ලැබිණි. එසේ ම ඇතැම් ක්‍රියාකාරීන් පවා සිය ෆේස්‌බුක්‌ ගිණුමේ කළ ප්‍රකාශයකින් හෝ සටහන් කිහිපයකින් ඔබ්බට ගිය බවක්‌ දැකිය හැකි නො වී ය. බැලු බැල්මට පෙනුණේ මේ පිළිබඳව ජනතාව ද එතරම් උනන්දුවක්‌ නො දැක්‌වූ බවකි. නැත හොත්, එය ගැන කතා කරන්නට කිසිවක්‌ නොමැති ද යන්න පවා ගැටලූවක්‌ විය. එසේ ම මුල් ම තෙල් කාන්දුව ඇති වූයේ අගෝස්‌තු 17 දින වුවත්, මේ ගැන තරමක්‌ හෝ සාකච්ඡාවක්‌ දැකිය හැකි වූයේ පසුගිය 28 වැනි දින කොළඹ හා අවට ප්‍රදේශවල ජල සැපයුම තාවකාලිකව අත්හිටුවන ලැබූ පසු ව ය. එසේ ම ඇතැම් ප්‍රදේශවල ජලයේ තෙල් සහිත බව හා දුගඳක්‌ දැනුණු පසුව ය. ඒ අනුව මේ ගැටලූව ජනතාවට දැනුණේ පානීය ජලයේ අර්බුදයක්‌ ඇති වූ පසුව බව පෙනේ.

ගංගා පරිසරය නොවැදගත් ද?


මෙහි දී මතු වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් පළමුවැන්න වන්නේ කැලණි ගඟ පරිසර පද්ධතියට තෙල් එකතු වීම නිසා කිසියම් ආකාරයක පරිසර දූෂණයක්‌ සිදු වූ බව වැදගත් නො වූයේ ද යන්න ය. එය මිනිසුන්ට බලපාන බව වටහාගත් අවස්‌ථාවේ දී පමණක්‌ ඒ ගැන සැලකිල්ලක්‌ යොමු වුයේ ඇයි? ගඟ සහ ගංගා පරිසරයට මින් සිදු වූ බලපෑම ගැන කිසිදු අවධානයක්‌ යොමු නො වී ය. එහෙත් අදාළ තෙල් කාන්දුව සිදු වූ ප්‍රදේශයේ දී හෝ මේ ගංගා පරිසරයට කිසියම් බලපෑමක්‌ ඇති වූ බව පැහැදිලි ය.

කැලණි ගඟ යනු මෙරට ප්‍රධාන ගංගා අතරින් සැලකිය යුතු තරම් දූෂණයකට ලක්‌ වූ පරිසර පද්ධතියකි. අවිස්‌සාවේල්ල සිට පහළ ප්‍රදේශ තෙක්‌ කැලණි ගඟ ආසන්නයේ ඇති කර්මාන්තශාලාවලින් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතු වීම බොහෝ කාලයක සිට සිදු වන්නකි. එහෙත් මේ පිළිබඳව බලධාරීන් ගේ සැලකිල්ල ප්‍රමාණවත් තරම් යොමු ව තිබේ ද යන්න සැකසහිත ය.

රජයේ ආයතනවල ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මෙහි දී වැදගත් කරුණක්‌ අනාවරණය වී ඇත. ඒ උක්‌ත සිදුවීමේ දී ඇති වූ ජල දූෂණයට හේතු වූයේ කුමන රසායනික ද්‍රව්‍යයක්‌ ද යන්න තීරණය කිêමට අවශ්‍ය පරීක්‌ෂණ සිදු කිරීමට ප්‍රමාණවත් පහසුකම් මෙරට නො තිබූ බවයි. ඒ නිසා අදාළ ජල නිදර්ශක ඉන්දියාවට යෑවීමට සිදු වූ බව බලධාරීන් මාධ්‍යවලට පවසා තිබිණි. මෙවැනි සිදුවීමක දී ඇති වන ප්‍රමාදය වැළැක්‌වීමට එවැනි රසායන ද්‍රව්‍ය හඳුනාගැනීමට අවශ්‍ය පරීක්‌ෂණ සඳහා වූ පහසුකම් මෙරට ස්‌ථාපිත කළ යුතු ව තිබේ.

අවසන් වශයෙන් පැවසිය යුත්තේ මෙවැනි තත්ත්වයක්‌ අනාගතයේ දී ඇති වීමට ඉඩ නො තැබීම සියලූ පාර්ශ්වවල වගකීමක්‌ බව ය. ජලය යනු හුදෙක්‌ මිනිසුන් ගේ පානය පිණිස පවත්නා සම්පතක්‌ පමණක්‌ නො ව, සෙසු ජීවීන් ගේ පැවැත්ම සඳහා ද වැදගත් වන ස්‌වාභාවික සම්පතක්‌ බව අප සිහි තබාගත යුතු ය.

http://www.vidusara.com/2015/09/09/feature2.html