Sunday, December 23, 2018

පෝලන්ත සමුළුවේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ඉදිරි පියවරක්‌ සටහන් වී ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.12.2018 පි. 6 (Vidusara)

http://www.vidusara.com/2018/12/19/feature1.html



පෝලන්තයේ කටෝවිස්‌ නගරයේ දී පසුගිය දෙසතියක කාලය තිස්‌සේ පැවැති වාර්ෂික දේශගුණ සමුළුව පසුගිය සති අන්තයේ දී අවසන් විය. ඊට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) 24 වැනි පාර්ශ්වකරුවන්ගේ රැස්‌වීම හා තවත් සමාන්තර රැස්‌වීම් ගණනාවක්‌ අයත් ය.

එහි දී මේ වන විට දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා එක ම පිළිගත් විසඳුම ලෙස ඉදිරිපත් ව ඇති පැරිස්‌ දේශගුණ ගිවිසුම ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ ව යම් එකඟතාවකට පැමිණ ඇති බව පෙනෙයි. අවසාන මොහොතේ කාබන් වෙළෙඳපොළ පිළිබඳ ව යම් ගැටලු සහගත තත්ත්වයක්‌ ඇති වූ බවක්‌ වාර්තා වන නමුත්, එක්‌ අමතර දිනයක්‌ අවසානයේ දී යම් සාධනීය වූ ප්‍රතිඵලයක්‌ අත්පත් කරගෙන ඇති බවක්‌ පෙනෙයි. අවසානයේ දී ඇති කරගත් එකඟතාව පිළිබඳ ව හා වෙනත් වැදගත් කරුණු පහත සඳහන් වෙයි.

පොදු නීති පද්ධතියක්‌


පෝලන්ත සමුළුවේ දී ඇති කරගත් වැදගත් එකඟතාවක්‌ වූයේ සියලු රටවලට පොදු වූ නීති පොතක්‌ හෙවත් නීති පද්ධතියක්‌ ඇති කරගැනීමට එකඟ වීම ය. එක්‌ එක්‌ රටවල් හෝ රටවල් කාණ්‌ඩ අනුව පවත්නා වෙනස්‌කම් මත වෙනස්‌ වන නීති පද්ධතියක්‌ වෙනුවට සියලු රටවලට පොදු වූ එක්‌ නීති පද්ධතියක්‌ එහි දී අවධානයට ලක්‌ ව ඇත. මෙවැන්නකට එරෙහි ව අදහස්‌ දැක්‌වූ චීනය වැනි රටවල් එවැනි අදහසක්‌ සඳහා එකඟ වීම ද වැදගත් කරුණකි. එතරම් සරල කරුණක්‌ නො වූ මේ නීති පොත සම්බන්ධ ව එකඟතාවකට පැමිණීම තාéණික වශයෙන් දුෂ්කර කරුණක්‌ වූ බැවින් එය අත්පත් කරගැනීම කිසියම් ජයග්‍රහණයක්‌ ලෙස සැලකිය හැකි ය. විශේෂයෙන් රට රටවල් අතර ඇති වෙනස්‌කම් හා කාල රාමුවල ඇති වෙනස්‌කම් තිබිය දී මෙවැනි එකඟතාවකට පැමිණිය හැකි වීම වැදගත් ය.

මෙසේ ඇති කරගන්නා නීති පද්ධතිය ඉදිරියේ දී පැරිස්‌ ගිවිසුමේ ක්‍රියාත්මක නීති පද්ධතිය වනු ඇත. මෙමඟින් ඒ ඒ රට රටවල විමෝචන නිරීéණය හා වාර්තා කිරීම සම්බන්ධ ව සමාන ව කටයුතු කිරීම සිදු වනු ඇත. මෙහි දී එකඟ වී ඇති ආකාරයට, තම රටවල වාර්තා ලබා නො දෙන රටවල් ඒ පිළිබඳ ව විමසීමකට ලක්‌ වනු ඇත. මේ නීති පද්ධතිය අනුව පැරිස්‌ ගිවිසුම යටතේ ලබා දී ඇති කාබන් විමෝචන සීමා කිරීමේ පොරොන්දු ඉටු කිරීමට සියලු රටවල් කටයුතු කරනු ඇතැයි අපේක්‌ෂාවක්‌ ඇති වී තිබෙයි. මෙසේ විනිවිදභාවයෙන් යුක්‌ත ක්‍රමවේදයක්‌ ලැබීමෙන් සාර්ථක ලෙස සියලු රටවල කටයුතු පිළිබඳ ව ලෝකයට දැනගැනීමට හැකියාව ලැබෙයි. එසේ ම මේ දක්‌වා පැරිස්‌ ගිවිසුම අපරානුමත නො කළ රටවලට දැන් නීති පද්ධතිය පිළිබඳ ව පැහැදිලි කිරීමක්‌ ඇති නිසා එයින් ඈත් වීමට නො හැකි වනු ඇත.

එසේ ම දුප්පත් රටවලට දේශගුණ මූල්‍ය සහන ලබා දීම පිළිබඳ ව අදහස්‌ ද මේ යටතේ එයි. 2020 වර්ෂය වන විට වාර්ෂික ව ඩොලර් බිලියන 100ක මුදලක්‌ බැගින් දියුණුවල රටවල් සඳහා ලබා දීම නැවත ඉල්ලා ඇත. එය දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යැම සඳහා තිබූ බරපතළ බාධකයකි.

කෙසේ වෙතත් මේ නීති පද්ධතිය පිළිබඳ ව එකඟතාව කෙතරම් ප්‍රමාණවත් ද යන්න ගැන සමහර පරිසර ක්‍රියාකාරිකයන් අතර එකඟතාවක්‌ නොමැති බව දැකිය හැකි ය. නිදසුනක්‌ ලෙස මෙමඟින් අදාළ ක්‍රියාවලියේ දියුණුවක්‌ සංකේතවත් කරන නමුත්, ලෝකය හා සම්බන්ධ ව සැලකූ විට එය ප්‍රමාණවත් ප්‍රතිඵලයක්‌ අත්පත් කර දෙන්නේ ද යන්න මෙහි දී මතු කර ඇති ගැටලුවයි. ඒ නිසා පෝලන්ත සමුළුව ක්‍රියාකාරී ප්‍රතිඵලයක්‌ අත්පත් කරගැනීමට තිබූ අවස්‌ථාවක්‌ ගිලිහුණු එකක්‌ සේ ඇතැමුන් පෙන්වා දී ඇත. එයින් කියෑවෙන්නේ මේ එකඟතාව ලෝකයේ දැන් ඇති වී තිබෙන කඩිනමින් කටයුතු කිරීමට ඇති අවශ්‍යතාව හා සංසන්දනය කරන විට ප්‍රමාණවත් නො විය හැකි බවයි. නිදසුනක්‌ ලෙස ගත් විට එක්‌ නියෝජිතයකු පවසා ඇත්තේ "මේ කළ හැකි දෙය වන අතර, අවශ්‍ය දේ නො වෙයි" යනුවෙනි.

කෙසේ වෙතත්, කිසියම් හෝ නීති පොතක්‌ පිළිබඳ ව එකඟතාවක්‌ ඇති වීම වැදගත් ය.

හරිතාගාර වායු විමෝචන සීමා කිරීම


2020 වර්ෂය වන විට රටවල් තමන්ගේ කාබන් විමෝචන සීමා කළ යුතු මට්‌ටම සඳහා පදනම වන ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වයේ නව සැලසුම් දැනුම් දෙන ලෙස රටවලින් ඉල්ලා ඇත. මෑත කාලයේ දී පළ වූ බොහෝ විද්‍යාත්මක වාර්තාවලින් නැවත නැවත පෙන්වා දී තිබුණේ මේ වන විට ප්‍රකාශිත ජාතිකමය වශයෙන් නිර්ණය කළ දායකත්වය මඟින් රටවල් පොරොන්දු වී ඇති කාබන් විමෝචන කපා හැරීමේ ප්‍රමාණය පැරිස්‌ ගිවිසුමෙන් අපේක්‌ෂා කර ඇති ඉලක්‌ක අත්පත් කරගැනීම සඳහා ප්‍රමාණවත් නො වන බවයි.

මේ සමුළුවේ දී ද කාබන්ඩයොක්‌සයිඩ් ඇතුළු හරිතාගාර වායු විමෝචන කඩිනමින් කපා හැරීමේ ඇති වැදගත්කම බොහෝ පාර්ශ්ව විසින් පෙන්වා දෙනු ලැබ ඇත. ඒ පිළිබඳ ව ලෝකයේ ඇතැම් රටවල් මුහුණපා ඇති තත්ත්වය වඩාත් බරපතළ බව පැහැදිලි ය.

රට රටවල් අතර වෙනස්‌කම්


දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට අවශ්‍ය අන්තර්ජාතික සහයෝගය පිළිබඳ ව ඇති ගැටලු මේ සමුළුවේ දී අවධානයට ලක්‌ වූ කරුණකි. එයට මූලික හේතුවක්‌ ලෙස ඒ ඒ රටවල දේශපාලනයේ දී ජාතිකත්වය හා සම්බන්ධ කණ්‌ඩායම් ඉදිරියට පැමිණීම හා බලය ලබාගැනීම දක්‌වා තිබෙයි. එහි දී අදාළ රටවල ප්‍රතිපත්ති වෙනස්‌ වීමෙන් හුදෙක්‌ ජාතික වැදගත්කමක්‌ ඇති කරුණු පමණක්‌ සැලකිල්ලට ලක්‌ වීම මීට හේතුවයි. කෙසේ වෙතත්, මේ නිසා දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී පසුබෑමක්‌ ඇති වී තිබෙයි. ඇමෙරිකාවේ ජනාධිපති ධූරයට ට්‍රම්ප් පත් වීමෙන් පසුව එරටේ දේශගුණ ප්‍රතිපත්තිවල ඇති වී තිබෙන වෙනස්‌ වීම් මීට නිදසුනකි. එසේ ම මෑත කාලයේ දී බ්‍රසීලයේ ඇති වී තිබෙන දේශපාලන වෙනස්‌ වීම් ද ඊට නිදසුනක්‌ සේ දක්‌වා ඇත.

මේ විවිධ වූ අදහස්‌ ඇති රටවල් අතර තවමත් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව කටයුතු කිරීමේ දී රටවල් අතර ඇති උනන්දුව සමාන ආකාරයෙන් පවත්වාගැනීමට හැකි වීම වැදගත් ය. ඒ පිළිබඳ ව රටවල් අතර ඇති උත්සාහයේ අඩුවක්‌ නො වීම වැදගත් සේ සැලකෙයි. මේ වන තෙක්‌ ඇති එකඟතාව සම්බන්ධ ව සියලු ම රටවල් පාහේ එකඟ වී තිබීම මේ සඳහා හේතුවයි.

දේශගුණ වාර්තාවට වූ දේ


පසුගිය ඔක්‌තෝබර් මාසයේ දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අන්තර් රාජ්‍ය මණ්‌ඩලය (IPCC) නිකුත් කළ වාර්තාව පිළිගැනීමට ඇතැම් රටවල් විරුද්ධත්වය පළ කිරීම මේ දේශගුණ සමුළුවේ දී සිදු විය. එම වාර්තාවෙන් පෙන්වා දී තිබුණේ ලෝකය අපේක්‌ෂා කරන ඉලක්‌කය වන සෙල්සියස්‌ අංශක 1.5 සීමාව ඇතුළත ලෝක උෂ්ණත්වය ඉහළ යැම පවත්වාගැනීම අපහසු වන බව හා අංශක 3ක පමණ උෂ්ණත්ව වර්ධනයක්‌ සිදු විය හැකි බව ය. උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට නම්, 2030 වර්ෂය වන විට ලෝකයේ මුළු කාබන්ඩයොක්‌සයිඩ් වායු විමෝචන ප්‍රමාණය අද මට්‌ටමට වඩා 45%කින් පමණ අඩු කළ යුතු බව ද එහි දක්‌වා ඇත. ඒ සඳහා කඩිනමින්, පුළුල් හා ඇතැම් විට මෙතෙක්‌ නො සිතූ ආකාරයේ පියවර ගත යුතු වෙයි. ඒ වාර්තාව ලෝකය පුරා, විද්‍යාඥයන් හා පරිසරවේදීන් අතර පිළිගැනීමකට ලක්‌ විය.

පෝලන්ත සමුළුවේ දී එම වාර්තාව පිළිගැනීම පිළිබඳ ව රටවල් කිහිපයක්‌ එරෙහි විය. එම රටවල අදහස වූයේ අදාළ වාර්තාව පිළිබඳ ව සටහන් කරන (take note) බවක්‌ සඳහන් කළ යුතු බවයි. කෙසේ වෙතත් සෙසු රටවල් විසින් දිගින් දිගට ම සිදු කරන ලද මැදිහත් වීම නිසා අවසානයේ දී මේ දේශගුණ සමුළුවේ දී මේ වාර්තාව සම්පූර්ණ කළ බව පිළිගැනීමට හා එය භාවිත කිරීමට රටවලට ආරාධනා කිරීමට එකඟ වී ඇත. වාර්තාව පිළිගැනීම තරම් නො වුව ද මෙය වැදගත් ප්‍රතිදානයකි. ෂඡCC ආයතනය පිළිබඳ ව හා විද්‍යාත්මක දත්ත පිළිගැනීමට එකඟ වීම සතුටුදායක කරුණකි. එහෙත් එය ප්‍රමාණවත් නො වන බව විද්‍යාඥයන් හා පරිසරවේදීන්ගේ අදහස වෙයි.

වෙනත් කරුණු


අනෙක්‌ අතට දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව වැදගත් සාධකයක්‌ ලෙස සැලකෙන ගල් අඟුරු භාවිතය ප්‍රවර්ධනය කරන ආකාරයේ කටයුතු ගැන ඇමෙරිකාව හා පෝලන්තය උනන්දු වූ බවක්‌ පැවසේ. එම රටවල් ගල් අඟුරු මත තදින් යෑපෙන රටවල් අතර වෙයි. එබැවින් දේශගුණ සමුළුවේ දී එවැන්නක්‌ සිදු වීම පරිසර ක්‍රියාකාරිකයන්ගේ විවේචනයට ලක්‌ විය.

මේ සමුළුවේ දී තරුණ පිරිස්‌වල ක්‍රියාකාරිත්වයේ හා ඉදිරිපත් වීමේ පැහැදිලි වර්ධනයක්‌ දැකිය හැකි වූ බව සඳහන් වෙයි. විවිධ රටවල් නියෝජනය කරමින් සමුළුව හා ඊට සමගාමී ව පැවැති වැඩසටහන්වලට සම්බන්ධ වූ මේ පිරිස්‌ අනුව පෙනෙන්නේ ලෝකයේ තරුණ පිරිස්‌ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ ව දක්‌වන උනන්දුවයි. එය වැදගත් වන්නේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අරගලයට එමඟින් ජවයක්‌ ලැබෙන නිසා ය.

Thursday, December 13, 2018

ප්ලාස්‌ටික්‌ පිළිබඳව 'නැවත සිතා බැලීම' වැදගත්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 12.12.2018 පි. 7,18 (Vidusara)

http://www.vidusara.com/2018/12/12/feature3.html



ඉවත ලන ප්ලාස්‌ටික්‌ නිසා ලෝකයේ ඇති වී තිබෙන ගැටලු පිළිබඳ ව බොහෝ දේ පසුගිය කාලය පුරා සාකච්ඡා වී ඇත. මිනිසුන්ගේ ජීවිත කෙතරම් පහසු තත්ත්වයකට පත් කළ නිෂ්පාදනයක්‌ වුවත් ප්ලාස්‌ටික්‌ ස්‌වාභාවික තත්ත්ව යටතේ දිරාපත් නො වීමෙන් මේ තත්ත්වය ඇති වී තිබෙයි. ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය පරිසරයට එක්‌ වී අවසානයේ දී මුහුදට එක්‌ වීම නිසා ඇති වී තිබෙන්නේ බරපතළ තත්ත්වයකි. ප්ලාස්‌ටික්‌ කොටස්‌ කුඩා ප්ලාස්‌ටික්‌ කැබැලි බවට පත් ව, ආහාර දාමයට එක්‌ වීම නිසා මේ වන විට සතුන් සැලකිය යුතු ගණනාවකගේ ශරීරවල ප්ලාස්‌ටික්‌ කැබැලි ඇතුළත් බව සොයාගෙන ඇත. මේ නිසා ඇති විය හැකි සෞඛ්‍ය ගැටලු පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් අවබෝධයක්‌ නොමැති තරම් ය.

මේ තත්ත්වය විසඳීම සඳහා මූලික ව යෝජනා වී ඇති 3R සංකල්පය පිළිබඳව ද ලෝකය බෙහෙවින් දැනුවත් ය. එමඟින් පැවසෙන්නේ අඩු කිරීම (Reduce), නැවත භාවිතය (Reuse) හා ප්‍රතිචක්‍රිකරණය (Recycle) පිළිබඳ ව ය. මෙහි දී අඩු කිරීම වඩාත් වැදගත් වන්නේ වරක්‌ පමණක්‌ භාවිත කර ඉවත දමනු ලබන ප්ලාස්‌ටික්‌ නිෂ්පාදන සම්බන්ධ ව ය. එසේ ම ප්ලාස්‌ටික්‌ භාණ්‌ඩ නිෂ්පාදනය අඩු කිරීම සඳහා ඒවා නැවත භාවිත කිරීම වැදගත් වෙයි. අනෙක්‌ අතට භාවිතයෙන් පසුව පරිසරයට එකතු වන ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීම සඳහා ප්‍රතිචක්‍රිකරණය බෙහෙවින් ඵලදායක ය.



නැවත සිතා බැලීම


කෙසේ වෙතත් මීට අමතර ව ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව 'නැවත සිතා බැලීම' වැදගත් බවට වූ අදහසක්‌ මෑත කාලයේ දී සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. එයට හේතුව වන්නේ පෙර සඳහන් පියවර මඟින් පමණක්‌ ප්ලාස්‌ටික්‌ අපද්‍රව්‍ය පිළිබඳ ගැටලුව විසදා ලීමට අපහසු බව අද වන විට පැහැදිලි බැවිනි. නිදසුනක්‌ ලෙස සැම ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයක්‌ ම ප්‍රතිචක්‍රීකරණය කිරීම පහසු නො වෙයි. ඇතැම් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනවලට විවිධ භෞතික ලක්‌ෂණ හා වර්ණ ආදිය ලබා දීම සඳහා එක්‌කර ඇති වෙනත් රසායන ද්‍රව්‍ය හේතුවෙන් ඒවා ප්‍රතිචක්‍රීකරණය අපහසු වී ඇත.

මේ තත්ත්වය හමුවේ ප්ලාස්‌ටික්‌ ගැටලුව විසඳා ලීම සඳහා යෝග්‍ය පියවරක්‌ ලෙස ප්ලාස්‌ටික්‌වල ස්‌වභාවය වෙනස්‌ කිරීම හා ඒවා ප්‍රතිචක්‍රීකරණය කරනු ලබන ක්‍රමවේදවල වෙනස්‌කම් සිදු කිරීම වැනි අංශ පිළිබඳ ව අවධානය යොමු කළ යුතු යෑයි ඇතැම් විද්‍යාඥයන් අදහස්‌ කරන බව පෙනෙයි. ඒ අනුව මේ ඇතැම් කරුණු පිළිබඳ ව මූලික වෙනස්‌කම් හෙවත් නැවත සිතා බැලීමක්‌ (Rethinking) කළ යුතු වෙයි.

නිදසුනක්‌ ලෙස ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ පිළිබඳ ව මෙවැනි වෙනස්‌කමක්‌ කළ යුතු වෙයි. ඒවා හායනයට ලක්‌ වන බැවින් ආහාර ඇසුරුම් වැනි දිගු කලක්‌ භාවිතය සඳහා යොදාගැනීම අපහසු ය. එබැවින් කළ යුත්තේ කෙටිකාලීන ව හා එක්‌ වරක්‌ පමණක්‌ භාවිත වන ආවරණ වැනි ද්‍රව්‍ය සඳහා මේවා යොදාගැනීම ය. නිදසුනක්‌ ලෙස වරක්‌ පමණක්‌ භාවිත වන ආහාර උපකරණ සඳහා සහ ඇතැම් ක්‌ෂණික ආහාර, කෙටි වේලාවකට ආවරණය කිරීම සඳහා මෙවැනි ජෛව හායනයට ලක්‌ වන ප්ලාස්‌ටික්‌ ආවරණ යොදාගත හැකි ය.


එමෙන් ම ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රිකරණයේ දී සැලකිය යුතු ගැටලුවක්‌ වී ඇති, ප්ලාස්‌ටික්‌වලට එකතු කර ඇති විවිධ ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා යෝග්‍ය ක්‍රමවේදයක්‌ දැන් දැන් සාකච්ඡා වෙමින් තිබෙයි. ඒ අනුව ප්ලාස්‌ටික්‌ ප්‍රතිචක්‍රීකරණයේ දී වර්තමානයේ දී මූලික වශයෙන් යොදාගනු ලබන භෞතික වශයෙන් කැබැලි කොට අඹරා යළිත් ප්ලාස්‌ටික්‌ සෑදීම වෙනුවට වෙනත් ක්‍රමවේදයක්‌ යොදාගැනීමට යෝජනා කර ඇත. ඒ අනුව ප්ලාස්‌ටික්‌ රසායනික වශයෙන් ඒවායේ ඇතුළත් වන ද්‍රව්‍යවලට වෙන් කිරීමෙන් ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනයේ දී එකතු කර ඇති වෙනත් අවශේෂ රසායනික ද්‍රව්‍ය ඉවත් කිරීම එම ක්‍රමවේදයයි.

තාක්‌ෂණයක්‌ නිසා ජනනය විය හැකි අතුරු ඵල වැනි කරුණු සම්බන්ධ ව මෙහි දී යම් අවධානයක්‌ යොමු විය යුතු බව පැහැදිලි ය.

නිදසුනක්‌ ලෙස PET හෙවත් පොලිඑතිලීන් ටෙරෙප්තැලේට්‌ බෝතලයක්‌ එහි මූලික තැනුම් ඒකකවලට වෙන් කරනු ලබන අතර එහි දී ඊට එකතු කර ඇති අවශේෂ ද්‍රව්‍ය වෙන් කර ඉවත් කළ හැකි ය. එමඟින් ලබා ගන්නේ මුල් ප්ලාස්‌ටික්‌ අමුද්‍රව්‍ය බැවින් ඒවා යොදා ගනිමින් සිදු කරන ඕනෑ ම නිෂ්පාදනයක්‌ තැනීමට හැකි ය. එසේ භාවිත කරන ලද ප්ලාස්‌ටික්‌ නැවතත් එම ප්ලාස්‌ටික්‌ නිෂ්පාදනය සඳහා ම යොදාගැනීමට පියවර ගැනීම මේ විද්‍යාඥයන්ගේ යෝජනාව වෙයි. වීදුරු හා කඩදාසි සම්බන්ධ ව මෙය දැනටමත් ක්‍රියාත්මක වෙයි.

කෙසේ වෙතත් ඒවා තනා ඇති මූලික ම බහුඅවයවිකය දක්‌වා වෙන් කළ නො හැකි ප්ලාස්‌ටික්‌ වර්ග ද තිබිය හැකි ය. එවැනි අවස්‌ථාවල දී ඒවා කිසියම් මට්‌ටමකට වෙන් කරනු ලැබීමෙන් පසුව වෙනත් නිෂ්පාදනයක්‌ සඳහා යොදා ගැනීමට හැකි බව මේ විද්‍යාඥයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ඉන්ධන නිෂ්පාදනය දැක්‌විය හැකි ය. ඇතැම් විට ඖෂධ වර්ග නිෂ්පාදනය සඳහා ද මේවා අවශ්‍ය විය හැකි ය. මෙමඟින් ප්ලාස්‌ටික්‌වලට යම් අගයක්‌ ලබා දීමට හැකි අතර, එමඟින් ඒවා පුළුස්‌සා හෝ පරිසරයට බැහැර කිරීමට වඩා ප්‍රයෝජනයක්‌ ලබාගැනීමට මිනිසුන් පෙලඹවිය හැකි ය. එමෙන් ම එවැනි ඉහළ වටිනාකමක්‌ දිය හැකි නම් මේ වන විට ද බැහැර කර ඇති ප්ලාස්‌ටික්‌ පරිසරයෙන් ඉවත් කිරීමට පවා මිනිසුන් පෙලඹවිය හැකි ය. එවැන්නකට බොහෝ දුර විය හැකි නමුත් සෛද්ධාන්තික ව මේ බව අනුමාන කළ හැකි ය.

අද වන විට ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ හායනය හා සම්බන්ධය සිදු කර ඇති පර්යේෂණ මඟින් ද වැදගත් සොයාගැනීම් සිදු කර ඇත. නිදසුනක්‌ ලෙස ඇතැම් වර්ගවල ක්‌ෂුද්‍ර ප්ලාස්‌ටික්‌ ජීරණය කළ හැකි බැක්‌ටීරියා හා එන්සයිම පිළිබඳ ව කරුණු අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත් මේ පිළිබඳ ව තවමත් ඇත්තේ පර්යේෂණ මට්‌ටමේ ය.

http://www.vidusara.com/2018/12/12/feature3.html

Saturday, December 8, 2018

දේශගුණ අවදානම් සුචිය විමසීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.06.2018 (Vidusara)

http://www.vidusara.com/2018/06/20/feature2.html




ජගත් දේශගුණ අවදානම් සුචිය (Global Climate Risk Index) යනු මීට සති කිහිපයකට පමණ ඉහත දී ශ්‍රී ලංකාවේ ද තරමක්‌ සාකච්ඡාවට ලක්‌ වූ අන්තර්ජාතික සුචියකි. ඒ පසුගිය මැයි මාසයේ දී එම සුචියේ 2018 වර්ෂයේ සුචිය (Global Climate Risk Index 2018) ප්‍රකාශයට පත් වීමත් සමඟ ය. එම වාර්තාවෙන් ශ්‍රී ලංකාව අදාළ සුචියේ සිව්වැනි තැනට පත් ව ඇති බව වාර්තා විය.

වාර්ෂික ව ඇති වන ස්‌වාභාවික ආපදා තත්ත්ව පිළිබඳව සැලකිල්ලට ගනිමින් German Watch නම් ආයතනය විසින් සකස්‌ කරනු ලබන මේ සුචිය සඳහා මූලික දර්ශක හතරක්‌ යොදාගනු ලැබෙයි. ආපදා නිසා ඇති වූ මරණ ප්‍රමාණය, ජනගහනයේ 100 000ක්‌ සඳහා ඇති වී තිබෙන ආපදා මරණ ගණන, හානියේ වටිනාකම ක්‍රය ශක්‌ති සාම්‍යය ලෙස (ඇමෙරිකානු ඩොලර්වලින්) හා දළ දේශීය නිෂ්පාදිතයේ ඒකකයකට හානිය යන දර්ශක මේවා වෙයි.

2018 සුචිය සකස්‌ කිරීම සඳහා ඔවුන් පදනම් කරගෙන තිබුණේ 2016 වර්ෂයේ දී ඇති වූ ආන්තික කාලගුණ තත්ත්ව හා සම්බන්ධ ආපදා නිසා වන, හානි පිළිබඳ දත්ත ය. (එහෙත් මේ පිළිබඳ ව සාකච්ඡාවට ගත් අය අතරින් මේ බව සැලකිල්ලට ගෙන තිබුණේ සුළු පිරිසක්‌ පමණකි.) මේ සුචිය අනුව ලංකාව පසු වන්නේ හයිටි, සිම්බාබ්වේ හා ෆීජී යන රාජ්‍යවලට පසුව වන අතර, ලංකාව ලබා ඇති අගය 11.50ක්‌ විය.

මේ පිළිබඳව මඳක්‌ විමසා බලන්නට අප සිතුවේ මේ සුචිය ප්‍රකාශයට පත් වූ පසුව එමඟින් අනාවරණය වූ කරුණු විවිධ පාර්ශ්ව විසින් දේශපාලනික අරුතකින් යොදාගැනීම නිසා ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇතැම් පිරිස්‌ විසින් මේ සුචියෙන් දැක්‌වෙන කරුණු, පවත්නා රජයේ අසාර්ථකකම දැක්‌වීමට යොදාගෙන තිබූ අතර තවත් පිරිස්‌ එසේ නො වන බව පෙන්වීමට උත්සාහ කර තිබිණි. ඇතැම් අයෙක්‌ සැබෑ ස්‌ථානය පෙන්වන රූප සටහනක්‌ වෙනුවට වෙනස්‌ කරන ලද දත්ත සහිත රූප සටහන් පිළියෙල කර සමාජජාලවලට එක්‌කර තිබෙනු දැකිය හැකි විය. මෙහි දී පළමුව සඳහන් කළ යුත්තේ මෙහි දී වැදගත් වන කරුණක්‌ වන්නේ මෙවැනි දේ දේශපාලනික ව නො ගැනීම වැදගත් බවයි. ස්‌වාභාවික ආපදා ඇති වීම ස්‌වාභාවික සිදුවීමකි. එයට මිනිසුන්ගේ ක්‍රියාකාරකම් හේතු වන්නේ නම් එය බලයේ සිටින දේශපාලකයන් ගේ කටයුතුවලට වඩා හේතු විය හැක්‌කේ සමස්‌ත මිනිසුන්ගේ ම කටයුතුවල ප්‍රතිඵලයක්‌ වීමට ය. එබැවින් මෙවැනි කරුණුවල දී එවැනි දේ පිළිබඳ ව සැලකිය යුත්තේ වෙනත් ආකාරයකට ය. කෙසේ වෙතත් ඇති වූ ආපදාව කළමනාකරණයේ දී, පවත්නා රජයේ වගකීමක්‌ පවතී.

සුචිය පිළිබඳව විමසීම


මේ පිළිබඳ විමසීම සඳහා මේ සුචියේ මින් ඉහත වර්ෂවල දී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ස්‌ථාන හා දත්ත පිළිබඳ ව සලකා බැලීම වැදගත් බව පෙනෙයි. මේ සමඟ ඇති වගුවේ අදාළ සුචියේ 2006 සිට 2018 දක්‌වා කාලයට අයත් ශ්‍රී ලංකාවට අදාළ දත්ත දක්‌වා තිබේ. (මේ සුචිය සකස්‌ කිරීමේ දී යොදාගන්නා ලද දත්තවල යම් යම් සුළු වෙනස්‌වීම් සිදු කර ඇති බව ඔවුන් සඳහන් කර ඇතත් එම වාර්තාවල ඇතුළත් දත්ත මෙහි දී යොදාගෙන ඇත.)

ඒ අනුව පෙනෙන්නේ අපේ රට එක්‌ එක්‌ වර්ෂවල දී ගෝලීය දේශගුණ අවදානම් සුචියේ ලබා ඇති ස්‌ථානය බෙහෙවින් විචල්‍ය වී ඇති බවයි. එය තීරණය වී ඇත්තේ ඒ ඒ වර්ෂවල දී ඇති වී තිබෙන ස්‌වාභාවික ආපදා හානිය අනුව හා වෙනත් රටවලට බලපා ඇති ස්‌වාභාවික ආපදාවලින් ඒ රටවලට ඇති වී තිබෙන හානියේ තරම අනුව බව පෙනෙයි. මේ අනුව මේ සුචියේ ඒ ඒ රටවල් ලබන ස්‌ථාන ඒ ඒ වර්ෂවල දී ඇති වන ආපදාවලට හා සෙසු රටවල් මුහුණ දෙන ආපදාවලට සාපේක්‌ෂ බව පැහැදිලි ය.

නිදසුනක්‌ ලෙස දැඩි ගංවතුර තත්ත්ව ඇති වූ 2016 වර්ෂයේ දත්ත මඟින් සකස්‌ කර ඇති 2018 සුචියේ ශ්‍රී ලංකාව 04 ස්‌ථානය ලැබූ අතර, 2011 වර්ෂයේ දත්තවලට අදාළ 2013 සුචියේ 10 වැනි ස්‌ථානය ලබා ඇත. මේ සුචියේ දත්ත අනුව 2016 වර්ෂයේ ආපදා නිසා මරණ 99ක්‌ ඇති වී තිබෙන අතර, ඇමෙරිකානු ඩොලර් මිලියන 1,623ක ආර්ථික හානියක්‌ ඇති වී තිබේ. එසේ ම 2011 වර්ෂයේ ස්‌වාභාවික ආපදා නිසා මරණ 106ක්‌ ද, ඇමෙරිකානු ඩොලර් මිලියන 602ක පමණ හානියක්‌ ද ඇති වී තිබෙයි.

අනෙක්‌ අතට දැඩි ස්‌වාභාවික ආපදා ඇති නො වූ වර්ෂ වන 2004, 2009 හා 2015 යන වර්ෂවලට අදාළ ව ප්‍රකාශයට පත් ව ඇති 2006, 2011 හා 2017 යන වර්ෂවල සුචිවල ශ්‍රී ලංකාවට හිමි වී ඇති ස්‌ථානය වන්නේ පිළිවෙළින් 92, 107 හා 98 යන ස්‌ථාන වෙයි.

විවිධ දේශගුණ අවදානම් සුචි


ගෝලීය දේශගුණ අවදානම් සුචිය යනු දේශගුණ අවදානම් මත පදනම් ව සකස්‌ කරනු ලබන විවිධ සුචි අතරින් එකක්‌ පමණක්‌ බව පළමුව සඳහන් කළ යුතු ය. එය මේ වන විට සම්පූර්ණ දත්ත සහිත රටවල් 134ක්‌ පමණ 2015 දී ආවරණය කළේ ය. තවත් මෙවැනි එක්‌ සුචියක්‌ වන්නේ 'ND-GAIN ජාතික සුචිය' (ND-GAIN Country Index) නමින් හඳුන්වන ප්‍රධාන කාණ්‌ඩ 6ක්‌ ඔස්‌සේ වර්ග කරන ලද දර්ශක 45ක්‌ යොදාගනිමින් සකස්‌ කරනු ලබන සුචියකි. එයට රටවල් 181ක්‌ පමණ 2015 දී අයත් විය. තවත් එවැනි සුචියක්‌ වන්නේ 'INFORM - අවදානම් කළමනාකරණය සඳහා වූ සුචිය' (INFORM - Index for Risk Management) නම් සුචියයි. එයට ප්‍රධාන කාණ්‌ඩ තුනකට කාණ්‌ඩගත කරන ලද දර්ශක 48ක්‌ අයත් වූ අතර රටවල් 191ක්‌ ඇතුළත් විය. සිව්වැනි වැදගත් අවදානම් සුචිය වන්නේ 'ජගත් අවදානම් සුචිය' (World Risk Index) නමින් හඳුන්වනු ලබන මූලික කාණ්‌ඩ හතරක්‌ යටතේ ගොනු කර ඇති දර්ශක 28කින් සමන්විත වූ සුචියයි. මෙමඟින් රටවල් 171ක දත්ත සලකා බලා තිබෙයි.

මේ සුචි හතරෙහි ම 2015 වාර්තා පිළිබඳ ව සිදු කරන ලද එක්‌ සංසන්දනාත්මක විවරණයකට අනුව මේ සුචි සකස්‌ කිරීම සඳහා යොදාගන්නා දර්ශක මෙන් ම ක්‍රමවේද ද එකිනෙකට වෙනස්‌ වෙයි. මේ නිසා මේ සුචිවල වඩාත් අවදානම් රටවල් ලෙස පෙන්වා දෙන රටවල් එකිනෙකින් දැඩි ලෙස වෙනස්‌ වෙයි. මේ නිසා වඩාත් අවදානම් රට තීරණය කිරීම සඳහා මේ සුචි යොදාගැනීම ගැටලු සහිත බව මේ විවරණය පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සංසන්දනය කරන ලද 2015 වර්ෂයේ දී එක්‌ එක්‌ සුචිවල මුල්තැනට පැමිණ ඇත්තේ වෙනස්‌ රටවල් ය. වඩාත් අවදානම් රටවල් 20 ලෙස මේ සුචි මඟින් දක්‌වා ඇති රටවල් සංසන්දනයේ දී, එම සුචි හතරෙහි ම හෝ අඩු වශයෙන් සුචි තුනකට හෝ පොදු වූ රටක්‌ නොමැති වීම තරමක්‌ විස්‌මයට හේතු වූ කරුණකි. කෙසේ වෙතත් රටවල් 19ක්‌ මේ සුචි හතරෙන් දෙකක හෝ වැඩි ම අවදානම් රටවල් 20 අතර ඇතුළත් වූ අතර, ඉන් රටවල් 08ක්‌ කිසියම් සුචි දෙකක මුල් රටවල් 10 අතර ඇතුළත් විය. අවදානම වැඩි ම රටවල් තුන අතර එක්‌ සුචියකට වඩා වැඩි වාර ගණනක්‌ වාර්තා වී තිබුණේ එක්‌ රටක්‌ පමණකි. සුචි දෙකක සඳහන් වූ එම රට මධ්‍යම ඇමෙරිකානු ජනරජයයි.

මේ අනුව පෙනෙන්නේ දේශගුණ අවදානම සම්බන්ධ සුචි භාවිතය මඳක්‌ සැලකිල්ලෙන් කළ යුත්තක්‌ වන බවයි. ස්‌වාභාවික ආපදා මෙන් ම ඒ ඒ රටවල ස්‌ථාන ද වාර්ෂික ව වෙනස්‌ වෙයි. ඒ නිසා අදාළ රටවල් ලබාගෙන ඇති ස්‌ථානයට වඩා මේ සුචිවල ඇතුළත් දර්ශක භාවිතය වඩාත් ඵලදායී විය හැකි ය.

Thursday, December 6, 2018

ලෝක ඉතිහාසයේ නරක ම කාලය සොයාබැලීම

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 28.11.2018, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2018/11/28/feature3.html




මානව ඉතිහාසයේ වරින් වර බොහෝ අඳුරු හා අවාසනාවන්ත කාලපරිච්ඡේද ඇති වී තිබෙයි. ඒ ඇතැම් සිදුවීම්වල දී ලෝකයේ විසූ මානව සංහතියේ පැවැත්ම පවා අවදානමට ලක්‌ වූ අවස්‌ථා ඇත. සමහර ශිෂ්ටාචාර බිඳ වැටීමට පවා ඒ තත්ත්වය හේතු විය. ඉතිහාසය යනු මෙවැනි සිදුවීම්වලින් සමන්විත වූවකි.

ඓතිහාසික වාර්තා මෙන් ම පුරාවිද්‍යාත්මක දත්ත අනුව හඳුනාගත හැකි සිදුවීම් කිහිපයක්‌ මෙසේ ය. වර්ෂ 1349 දී යුරෝපයේ ව්‍යාප්ත වීමට පටන්ගත් එහි ජනගහනයෙන් අඩක්‌ පමණ පිරිසක්‌ මරුමුවට පත් කළ 'කළු මරණය' (Black Death) හෙවත් මහාමාරිය වසංගතය එවැනි එක්‌ සිදුවීමකි. 1918 - 1920 අතර ව්‍යාප්ත වූ 'ස්‌පාඤ්ඤ උණ' (Spanish flu) නමින් ප්‍රකට වූ ඉන්ෆ්ලුවන්සා උණ වසංගතය නිසා ලෝකය පුරා මිනිසුන් මිලියන 50 - 100ක්‌ අතර ප්‍රමාණයක්‌ මරුමුවට පත් වීම තවත් බරපතළ ව්‍යසනයකි. තෙවැන්න වන්නේ 1939 - 1945 කාලයේ දී මිලියන 80ක්‌ පමණ පිරිසකට මරු කැඳවූ දෙවැනි ලෝක මහා සංග්‍රාමයයි.

මානව ඉතිහාසයේ වඩාත් නරක ම වර්ෂය පිළිබඳ ව අලුත් මතයක්‌ විද්‍යාඥයන් පිරිසක්‌ ඉදිරිපත් කර ඇත. ඒ අනුව වර්ෂ 536 දී පමණ ඇති වූ ගිනිකඳු පිපිරී යැමක්‌ හෝ පිපිරී යැම් ඒ සඳහා හේතු වී තිබෙයි. එමඟින් ඇති වූ අර්බුදකාරී තත්ත්වය යථා තත්ත්වයට පත් වීමට වසර සියයක්‌ (100) පමණ කාලයක්‌ ගත විය.

හයවැනි සියවසේ ඇති වූ නරක කාලය


වර්ෂ 536න් පසුව ගත වූ කාලයේ දී ඇති වූ සිදු වීම් මාලාව පිළිබඳ ව සමකාලීන ඓතිහාසික වාර්තාවල සඳහන් වෙයි. ඒ කාලයේ ඇති වූ දූවිලි වලාකුළු මඟින් සූර්යාලෝකය අවහිර වූ බව වාර්තා වෙයි. මෙය විශාල ප්‍රදේශයකට බලපා ඇත. යුරෝපය, මැද පෙරදිග හා ආසියාවේ සමහර ප්‍රදේශ ඇතුළත් ව උත්තරාර්ධගෝලයේ විශාල ප්‍රදේශයක්‌ මාස දහ අටක්‌ (18) පමණ කාලයක්‌ පුරා අඳුරින් වැසී තිබී ඇත. එවකට නැඟෙනහිර රෝම අධිරාජ්‍යයේ පාලකයා වූ මහා ජස්‌ටින් අධිරාජයාගේ සමයේ විසූ ප්‍රොකෝපියස්‌ නම් ඉතිහාසඥයා මෙසේ වාර්තා කරයි. සූර්යාලෝකයේ දීප්තිමත් බව අඩු වූ අතර, වර්ෂය පුරා ම එහි ආලෝකය සඳේ ආලෝකය හා සමාන විය. එසේ ම ආලෝකය සූර්යග්‍රහණයක දී ඇති වූ තත්ත්වය හා සමාන බව ද ඔහු පවසයි. ඒ තත්ත්වය හේතුවෙන් කෙටිකාලීන ව ලෝකයේ උෂ්ණත්වයේ අඩු වීමක්‌ සිදු ව ඇත.

මේ වන විට දන්නා පරිදි එම වර්ෂයේ දී ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1.5ත් 2.5ත් අතර ප්‍රමාණයකින් පහළ ගොස්‌ ඇත. විවිධ ආන්තික කාලගුණ තත්ත්වවලින් යුක්‌ත වර්ෂ ගණනාවක්‌ ඉන් පසුව ඇති වී තිබෙයි. නියඟය, බෝග අස්‌වනු පාළු වීම ඒ අතර විය. ග්‍රීෂ්ම ඝෘතුවේ දී චීනයේ හිම පතනයක්‌ වූ බව ද වාර්තා වෙයි. මේ සියල්ලේ අවසන් ප්‍රතිඵලය වූයේ මහා සාගත තත්ත්වයක්‌ ඇති වීම ය. අයර්ලන්ත වාර්තාවල ද ආහාර හිඟය පිළිබඳ ව සඳහන් වෙයි. එසේ ම ජස්‌ටීනියන් වසංගතය ලෙසින් හඳුන්වනු ලබන වර්ෂ 541 දී පමණ ඇති වූ මහාමාරිය වසංගත තත්ත්වය නිසා මේ අයහපත් තත්ත්වය තවදුරටත් බරපතළ වන්නට ඇත. එම වසංගතය පැතිරීමෙන් නැඟෙනහිර රෝම අධිරාජ්‍යයේ ජනගහනයෙන් තුනෙන් එකක්‌ හා අඩක්‌ අතර ප්‍රමාණයකට සිය දිවි අහිමි වූ අතර, එය එම අධිරාජ්‍යයේ අවනතිය ඉක්‌මන් කළ සාධකයක්‌ ලෙස ද සැලකෙයි.

ඒ අඳුරු වලාව හා ඉන් පසුව ඇති වූ තත්ත්වය පිළිබඳ ව ඉතිහාසයේ සඳහන් වුව ද, එයට හේතුව සම්බන්ධ ව මෙතෙක්‌ නිශ්චිත ව අනාවරණය වී නො තිබිණි. එය පැහැදිලි කිරීමට මෑත කාලයේ දී සිදු කරන ලද අධ්‍යයනවලින් හැකියාව ලැබී ඇත.

යමහල් විදාරණ නිසා හිරු එළිය අඩු වීම



මේ ආකාරයෙන් සූර්යාලෝකය පොළොවට පතිත වීම අඩාළ වීමට හේතු වන එක්‌ කරුණක්‌ ලෙස ගිsනිකඳු පිපිරීම්වල දී වායුගෝලයට නිකුත් වන අළු හා වෙනත් ද්‍රව්‍ය හඳුනාගෙන තිබෙයි. ප්‍රබල ගිනිකඳු පිපිරීමක දී පිට වන අළු හා වෙනත් අංශු ඉහළ වායුගෝලයේ රැඳෙමින් සූර්යාලෝකයෙන් කොටසක්‌ පරාවර්තනය කරයි. ඒ නිසා ප්‍රමාණවත් සූර්යාලෝකයක්‌ පොළොව මතට පැමිණීම වළකී. එහි ප්‍රතිඵලයක්‌ ලෙස ලෝකයේ උෂ්ණත්වය අඩු වෙයි.

මෙවැනි සිදු වීම් පිළිබඳ ව 2015 පළ වූ අධ්‍යයනයකට අනුව පසුගිය වසර 2,500ක කාලයේ දී ඇති වූ අසාමාන්‍ය ලෙස ශීතල ග්‍රීෂ්ම ඝෘතු අතරින් බහුතරයකට පෙර යමහල් විදාරණයක්‌ සිදු ව ඇත. වර්ෂ 535 හෝ 536 දී සිදු වූ විශාල ගිනිකඳු පිපිරීමක්‌ හා ඉන් පසු ව 540 වර්ෂයේ දී ඇති වූ ගිනිකඳු පිපිරීමක්‌ නිසා අප මාතෘකා කරගත් කාලයේ දී මෙසේ ලෝකය අඳුරින් වැසී ගිය බව ඔවුන් පැහැදිලි කර ඇත. මේ අතරින් 536 වර්ෂයේ දී වූ සිදු වීම උතුරු ඇමෙරිකාවේ සිදු වන්නට ඇති බව ඔවුන්ගේ මතයයි. (Nature, DOI: 10.1038/nature14565) එසේ ම 1990 ගණන්වල සිට සිදු කර ඇති රුක්‌ වළලු හා සම්බන්ධ පර්යේෂණවලින් ද 540 වර්ෂය හා ආසන්න වර්ෂවල ග්‍රීෂ්ම ඝෘතුව අසාමාන්‍ය ලෙස ශීතල වූ බව පැහැදිලි වී තිබිණි. එවැනි ම සාධක මීට පෙර, ග්‍රීන්ලන්තය හා ඇන්ටාක්‌ටිකාවෙන් ලබාගෙන තිබුණු අයිස්‌ මද (Ice core) පිළිබඳ අධ්‍යයනවලින් ද ලැබී තිබිණි.

වර්ෂ 536න් පසු සිදු වූයේ කුමක්‌ ද?


536 වර්ෂයේ දී ඇති වූ සිදු වීම පිළිබඳ ව අවධානය මෑතක දී යොමු ව ඇත්තේ ස්‌විට්‌සර්ලන්තය හා ඉතාලිය අතර දේශ සීමාවේ ඇල්ප්ස්‌ කඳුවැටියේ පිහිටා ඇති කෝල් නිµsටි නම් ග්ලැසියරයකින් (Colle Gnifetti glacier) ලබාගත් අයිස්‌ මදයක්‌ පිළිබඳව කෙරුණු අධ්‍යයනවලිනි (Antiquity, DOI: 10.15184/aqy.2018.110). මෙවැනි ස්‌ථිර ව පිහිටා ඇති අයිස්‌ තැන්පතු වාර්ෂික ව සිදු වන හිමපතනයත් සමඟ අඛණ්‌ඩ ව වර්ධනය වෙයි. එහි දී අයිස්‌ සමඟ වායුගෝලයේ ඇති විවිධ ද්‍රව්‍ය තැන්පත් වෙයි. අයිස්‌ තැන්පතුවලින් ලබාගත් අයිස්‌ මදයක්‌ යොදාගනිමින් එහි අදාළ කාල සීමාවේ වායුගෝලයට එක්‌ ව ඇති දේ හා සිදු ව ඇති වෙනස්‌වීම් හඳුනාගැනීමට හැකි ය. අතීතයේ වර්ෂයක දී, මාසයක දී හෝ ඇතැම් විට සතියක දී සිදු ව ඇති සිදු වීම් හඳුනාගැනීමට තරම් තාéණය සියුම් වී ඇත. එම වායුගෝලයේ වෙනස්‌වීම්වලට හේතු වී ඇති කරුණු හඳුනාගැනීමෙන් ඉතිහාසයේ වූ සිදු වීම් පිළිබඳ ව තොරතුරු අනාවරණය වෙයි.

උක්‌ත අධ්‍යයනයේ දී අදාළ අයිස්‌ මදය විශ්ලේෂණය කිරීමෙන් පොදු වර්ෂ 536 දී තැන්පත් ව ඇති ද්‍රව්‍ය අතර ගිනිකඳු පිපිරීමක දී පිට වන අළු සහ වෙනත් අංශු, අයිස්‌ හා මිශ්‍ර ව ඇති ආකාරය හඳුනාගෙන තිබෙයි. මෙසේ හමු වී ඇති ඉතා කුඩා යමහල් වීදුරු කැබැලි මින් පෙර ග්‍රීන්ලන්තයෙන් හා යුරෝපයේ විල්වලින් හමු ව තිබූ ද්‍රව්‍ය අතරින් හමු වී තිබූ වීදුරු කැබැලිවලට සමාන බව හෙළි ව ඇත. එසේ ම ඒවා සමාන වන්නේ අයිස්‌ලන්තයේ ගිනිකඳු පිපිරීම්වලින් නිකුත් වූ ඒවාට බව ඔවුන්ගේ අදහසයි. අදාළ ගිනිකඳු පිපිරීම කොතැන සිදු වූවා ද යන්න ගැන නිශ්චිත ව දැනගැනීමට නම් තවදුරටත් අධ්‍යයනය කළ යුතු අතර, එය මහත් විනාශකාරී වූ බව නම් පැහැදිලි ය.

එදා ඇති වූ තත්ත්වය පිළිබඳ ව ඉහත විස්‌තර කර ඇත. ආලෝකය අඩු වීම හා ශීතල නිසා බෝග වගා පාළු වූ අතර සාගතයක්‌ පැතිර ගියේ ය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස විශාල ජීවිත ප්‍රමාණයක්‌ අහිමි විය. තත්ත්වය කෙතරම් බරපතළ වූයේ ද යත්, ඉන් සමස්‌තයක්‌ ලෙස අද අප දන්නා යුරෝපයේ ඇති වූ ආර්ථික පිරිහීම යළිත් යථා තත්ත්වයට පත් වූ බවක්‌ පෙනෙන්නේ පොදු වර්ෂ 640 දී පමණ ය. ඒ සඳහා සාධක මේ නව පර්යේෂණය මඟින් යෝජනා කරනු ලැබෙයි. ඒ මේ අයිස්‌ මදවල ඇති වායුගෝලීය ඊයම් තැන්පතු ඉහළ යැම සමඟිනි. වර්ෂ 536 කාලයට සමපාත වන හයවැනි සියවසේ මැද භාගයේ දී අඩු වූ මේ ඊයම් තැන්පත් වීම යළි ඉහළ යන්නේ වර්ෂ 640න් පසුව ය. මෙසේ වායුගෝලයේ ඇති ඊයම් ඉහළ යැමට හේතුව රිදී සොයා, ඊයම් හා සිල්වර් සල්ෆයිඩ් සහිත නිධි කැණීම හා ඒවා සකස්‌ කිරීම ඉහළ යැම ය. එසේ ඊයම් විමෝචන ඉහළ යැමෙන් පෙනෙන්නේ රිදී සඳහා යළිත් ඉල්ලුමක්‌ ඇති වී තිබෙන බව ය. එය සිදු ව ඇත්තේ ආර්ථිකය යළිත් යථා තත්ත්වයට පත් වීම නිසා විය යුතු බව මේ පර්යේෂකයන්ගේ පැහැදිලි කිරීම වෙයි.

රිදී භාවිතය පිළිබඳ සාධකයක්‌


ඒ අනුව වර්ෂ 536 දී පමණ ඇති වූ නරක කාලය වර්ෂ 640 පමණ තෙක්‌ හෙවත් සියවසක්‌ පමණ කාලයක්‌ පැවතී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයට අයහපත් කාල වකවානුවක්‌ වූ බවට පැහැදිලි සාධකයක්‌ ලෙස ඔවුන් සලකා තිබෙයි. එසේ නම් වර්ෂ 536න් ආරම්භ වන කාල වකවානුව ලෝක ඉතිහාසයේ පැවැති නරක ම කාල වකවානුව හෝ වකවානුවක්‌ විය හැකි ය.

වායුගෝලයේ ඊයම් ප්‍රමාණය වෙනස්‌ වන ආකාරය ඉතිහාසයේ සිදු වීම් සමඟ සමපාත වන බව මින් පෙර සිදු කර ඇති අධ්‍යයනවලින් ද සනාථ වී ඇත. නිදසුනක්‌ ලෙස ග්‍රීන්ලන්තයෙන් ලබාගත් අයිස්‌ මදයක්‌ යොදාගනිමින් සිදු කර ඇති අධ්‍යයනයක්‌ දැක්‌විය හැකි ය. එහි දී දක්‌වා ඇති ආකාරයට යුද්ධ, අයහපත් තත්ත්ව, දේශපාලන අස්‌ථාවරත්වය හමුවේ රිදී කැණීම් නැවතීම නිසා එම තත්ත්වය ඇති වෙයි (Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.1721818115).

එසේ ම වර්ෂ 660 දී පමණ ඊයම් ප්‍රමාණයේ කැපී පෙනෙන ඉහළ යැමක්‌ දැකිය හැකි ය. එය රිදී භාවිතයේ ඉහළ යැමකි. රන් භාවිතය අඩු වීමත් සමඟ මුදල් සඳහා රිදී යොදාගැනීම ඉහළ යැම මෙමඟින් දක්‌වන බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙසේ ඊයම් මඟින් දක්‌වන රිදී භාවිතය පිළිබඳ සාක්‌ෂි 14 වැනි සියවසේ ද දැකිය හැකි ය. 1349 - 1353 අතර කාලයේ දී වායුගෝලයේ ඊයම් නො තිබූ බව අයිස්‌ මද පිළිබඳ අධ්‍යයනවලින් පෙනී ගොස්‌ ඇත. ඒ කාලය පෙර සඳහන් කළ 'කළු මරණය' නම් වසංගතය නිසා යුරෝපයේ ආර්ථික වර්ධනය නැවතී තිබූ කාල වකවානුවකි.


Monday, December 3, 2018

මහත්තයා සහ බල්ලා (බස් කථා 8)

මේක වුනේ දැනට මාසයකට විතර කලින්. මාර්ග අංක 17, පානදුර බස් එකක.

​බස් එකේ ඉස්සරහ හරියෙ ඉන්න මහත්තයෙක්, එයාගෙ නෝනට රෑ 8ට විතර බස් එකේ සිට දුරකථනයකින් මෙහෙම කියනවා පසුපස සිටි මට අැසිණි.

"මං එන්න තව පැය දෙකක් වත් යයි ඒයි"

"ගේට්ටුව ලොක් කරන්න එපා"

"බල්ලව ලෙහල දාන්න"

"එයාට රෑට බත් දෙන්න එපා"

ඇහුනෙ මෙච්චරයි. නෝන කීවෙ මොනවද කියල මට දන්නෙ නැහැ. ඉන් පස්සෙ අන්තිමට මහත්තය කිවූ දේ ඇහුනෙත් නැහැ. මං හිතන්නෙ බල්ලට කන්න දෙයක් ගෙන එන බව වෙන්න ඇති කිව්වේ. (නේද?)

නැතිව වෙන දෙයක් නෙවෙයි කියා හිතමු. ඒත් ඒක පිටිපස්සට ඇහුනෙ නැහැ.