Showing posts with label ජගත් පරිසර විමසුම (විදුසර). Show all posts
Showing posts with label ජගත් පරිසර විමසුම (විදුසර). Show all posts

Tuesday, April 2, 2013

ජගත් පරිසර විමසුම - පසු සටහන

විදුසර පුවත්පත සඳහා ම විසින් වසර තුනකට අධික කාලයක් තිස්සේ ලියන ලද ‘ජගත් පරිසර විමසුම‘ ලිපි පෙළ 2013 පෙබරවාරි 13 වැනි දින පළ වූ 161 වැනි කොට‍සෙන් අවසන් විය. 2010 ජනවාරි මාසයේ ආරම්භ කරන ලද මේ ලිපි පෙළ ජගත් මට්ටමේ පරිසර පුවත් කෙටියෙන් සටහන් කිරීමට ගත් උත්සාහයක් විය. 

මේ බ්ලොග් අඩවියේ ජගත් පරිසර විමසුම අවසාන කොටස් 42ක් ඇතුළත්ය. විදුසර පුවත්පතේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් නොවූ ලිපි කිහිපයක්ද බ්ලොග් අඩවියට ඇතුළත්ය. (මේ ලිපි සඳහා Subjects යටතේ එන ජගත් පරිසර විමසුම ක්ලික් කරන්න) 

විදුසර වෙබ් අඩවියේ පළවූ සෙසු කොටස් සඳහා වන සබැඳි පසුව මේ සටහනට ඇතුළත් කරනු ඇත.

2013 ‍පෙබරවාරි සිට ම විසින් ලියන ලද ජගත් මට්ටමේ වැදගත් පරිසර පුවත් විදුසර පුවත් පතේ පුවත් අතර පළ වේ. ඒවා බ්ලොගයට ළඟදීම එක් කෙරේ

ධනේෂ් විසුම්පෙරුම


ජගත් පරිසර විමසුම 161 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-13, පි. 11
Vidusara: http://www.vidusara.com/2013/02/13/feature2.html

විමසුම - දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අදහස්‌ වෙනස්‌ වන ආකාරය
ප්‍රමුඛ පුවත- සංරක්‌ෂණය සඳහා ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම
පුවත් සැකෙවින් - ගැබොන් දේශයේ අලි මරණ ඉහළට / චීනයේ වායු දූෂණය පාලනයට පියවර/ මහා බාධක පරය ආරක්‌ෂා කරන බව ඔස්‌ට්‍රේලියාව පවසයි


විමසුම
දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ අදහස්‌ වෙනස්‌ වන ආකාරය

දේශගුණ වෙනස්‌ වීම හා එහි බරපතළ ස්‌වභාවය මේ විමසුම ඔස්‌සේ අප නිතර සාකච්ඡාවට ලක්‌ කර ඇති විෂයයකි. විශේෂයෙන් මේ ගැටලුව පිළිබඳව ප්‍රමාණවත් අවධානයක්‌ යොමු නො කිරීමේ ඇති අවදානම ලෝකයේ පරිසරය පිළිබඳ සංවේදී බොහෝ දෙනා ගේ අවධානයට ලක්‌ ව ඇති කරුණකි. එහෙත් මේ අක්‍රිය බවට හා ප්‍රමාදයට හේතු වී ඇත්තේ මූලික වශයෙන් ලෝක දේශපාලන නායකත්වයට මේ පිළිබඳ තීරණ ගැනීමට ප්‍රමාණවත් අවශ්‍යතාවක්‌ නොමැති වීමයි. එසේ ම මේ අර්බුදය විසඳීමේ වැඩි වගකීම පිළිගැනීම සම්බන්ධව දියුණු රටවල් හා දියුණු වන රටවල් අතර ඇති මත ගැටුම ද මීට බලපෑමක්‌ කර ඇති බව පෙනේ.

ලෝක නායකත්වය දරන ආකල්පවල යම් වෙනසක්‌ ඇති කිරීමේ දී ජනතාව ගෙන් ඇති වන බලපෑම වැදගත් බව පුළුල් ලෙස පිළිගන්නා කරුණකි. සාමාන්‍ය ජනතාව හා සමාජයේ සෙසු කාණ්‌ඩවල පිරිස්‌ දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව දරන මතය තීරණය කිරීමට බලපාන සාධක පිළිබඳව මෑත දී කළ අධ්‍යයන කිහිපයක්‌ පිළිබඳව අපේ අවධානය යොමු කිරීමට සිතුවේ මේ නිසා ය.

ජනමතය වෙනස්‌ කරන කාලගුණය

ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව, ප්‍රාදේශීය වශයෙන් ඇති වන කාලගුණ වෙනස්‌ වීම් හමුවේ දේශගුණ වෙනස්‌ වීම යථාර්ථයක්‌ ද යන්න සම්බන්ධව ඇමෙරිකානුවන් දක්‌වන ආකල්පවල වෙනස්‌ වීම් ඇති වන බව පෙන්වා දී තිබේ. මෙවැනි වෙනස්‌වීම් සාමාන්‍ය ජනතාව ගේ ආකල්ප අතර මෙන්ම ජනමාධ්‍යවල ද දැකිය හැකි වීම විශේෂ කරුණකි.

මේ සඳහා යොදාගෙන ඇත්තේ 1990න් පසු කාලයේ පැවැති උෂ්ණත්ව වෙනස්‌වීම් පිළිබඳ වාර්තා, මේ කාලය ඇතුළත දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව පවත්වන ලද ජනමත සමීක්‌ෂණ ප්‍රතිඵල හා ඒ ගැන එරට ප්‍රධාන පුවත්පත් කිහිපයක පළ වූ අදහස්‌ දැක්‌වීම් හා කතුවැකි ම`ගින් නිරූපිත කරුණු ය. අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ගත වූ වසර විස්‌සක පමණ කාලයක්‌ ඇතුළත මේ ප්‍රවණතාව දැකගත හැකි වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, අධික ශීත කාලගුණයක්‌ පවත්නා කාලවල දී දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කිරීමේ ස්‌වභාවය ඉහළ යන අතර උණුසුම් කාලවකවානුවල දී ලෝකය උණුසුම් වෙමින් ඇති බවට විශ්වාස කරන පිරිසේ ගණන ඉහළ යයි. එසේ ම දැඩි ශීත කාලයකින් අනතුරුව දේශගුණ සංශයවාදය බෙහෙවින් වර්ධනය විය හැකි ය.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව ජනතාව දරන අදහස්‌වලට ඔවුන් ගේ දේශපාලන අදහස්‌, පෞද්ගලික දැක්‌ම ආදි කරුණු ද යම් බලපෑමක්‌ කළ හැකි වුවත්, ඉන් පෙර මාස 3-12 අතර කාලයේ පැවැති උෂ්ණත්ව විචල්‍යතා ඒ අදහස්‌වලට කැපී පෙනෙන බලපෑමක්‌ සිදු කරන බව පෙනේ. මෙය ඇමෙරිකානු ජනතාව ගේ ආකල්පවල දේශගුණ වෙනස්‌ වීම සැක කිරීම පිළිබඳ යම් පැහැදිලි කිරීමක්‌ ලබා දෙන බව පෙනේ. එසේ ම විද්‍යාත්මක සාධක පිළිබඳව සාමාන්‍ය ජනතාව අතර ඇති විශ්වාසය ගැන ද මෙහි දී ගැටලු ඇති වේ. එසේ ම පොදු ජන ආකල්පය හැඩගැසීමේ ඇති අවශ්‍යතාව ද මෙහි දී පෙනේ. (මූලාශ්‍රයClimatic Change, DOI: 10.1007/s10584-012-0690-3)

වෘත්තිකයන් සිතන ආකාරය


මේ අතර ඇමෙරිකාවේ ම සිදු කරන ලද තවත් මෙවැනි අදහස්‌ විමසීමකින් ද අපූරු තොරතුරු කිහිපයක්‌ හෙළි වී තිබේ. ඉංජිනේරුවන් හා භූ විද්‍යාඥයන් දහසකට අධික පිරිසක්‌ සම්බන්ධ කරගත් ඒ අධ්‍යයනයේ දී සිදු කර ඇත්තේ ඔවුන් දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව දරන මතය පිළිබඳ විමසීමයි. එහි දී පෙනී ගොස්‌ තිබෙන්නේ ඒ අතරින් 99%ක්‌ තරම් පමණ අධික පිරිසක්‌ මේ වන විට කිසියම් දේශගුණ වෙනස්‌ වීමක්‌ ඇති වෙමින් පවත්නේ යෑයි පිළිගන්නා බව ය. එහෙත් ඊට බලපා ඇති කරුණු පිළිබඳව ඔවුන් අතර එතරම් එකඟතාවක්‌ තිබුණේ නැති තරම් ය. එයට හේතු වන්නේ ඔවුන් ගේ වෘත්තීයමය දැනුම හා දේශගුණ දැනුම අතර ඇති වෙනස්‌කම් හා ගැටුම් විය හැකි ය.

කෙසේ වෙතත්, දේශගුණ වෙනස්‌ වීමේ බලපෑම පිළිබඳ ඇති සාක්‌ෂි හමුවේ කිසියම් වෙනසක්‌ සිදු කිරීම සඳහා පියවර ගැනීමේ ඇති වැදගත්කම ඔවුන් පොදුවේ පිළිගන්නා බව පැහැදිලි ය. බීජය කවරක්‌ වුවත් එහි ප්‍රතිඵලය සැමට අත්විඳින්නට ලැබී තිබීම මේ සඳහා හේතු වී ඇති බවක්‌ පෙනේ. (මූලාශ්‍රයOrganizationStudies, DOI: 10.1177/0170840612463317)

ජනමතය හැඩගැසීම

මේ අනුව ජනතාව ගේ ආකල්ප හැඩගැසීම කිසියම් ආකාරයට අභියෝගයක්‌ බව පෙනේ. විද්‍යාත්මක සාධක තිබිය දී පවා වඩා අඩු වැදගත්කමක්‌ ඇති කරුණු හේතුවෙන් ජනතා ආකල්පවල විශාල වෙනස්‌ වීමක්‌ ඇති වීමට ඉඩ තිබීම මීට හේතුවයි. එසේ ම පසුගිය දා ඇමෙරිකාවේ සිදු කළ එක්‌ ජනමත සමීක්‌ෂණයකින් පෙන්වා දී තිබුණේ දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ගන්නා පියවර අතරින් බදු පැනවීමට වඩා විමෝචන අඩු කිරීමට නීති රීති පැනවීමට ඇමෙරිකානුවන් කැමැති බවයි. එසේ ම දේශගුණ වෙනස්‌ වීම පිළිබඳ සැලකිල්ල මෑත කාලයේ තිබූ ඉහළ ම අවධානය හිමි කරගෙන තිබේ.

කෙසේ වෙතත් විවිධ අවශ්‍යතා හමුවේ දේශගුණ වෙනස්‌ වීම පිළිබඳව සැක කරන පිරිසේ ප්‍රමාණය අධික වන බැවින්, ජගත් මට්‌ටමේ හෝ වේ වා ජාතික මට්‌ටමේ හෝ වේ වා වඩා බලපෑමක්‌ කළ හැකි වෙනසක්‌ ඇති කිරීමට අවශ්‍ය කරන ජනතා ව්‍යාපාරයක්‌ සඳහා වඩා විද්‍යාත්මක පදනමක්‌ මත කටයුතු කිරීමේ අවශ්‍යතාව මේ අනුව පැහැදිලි ය.
ප්‍රමුඛ පුවත
සංරක්‌ෂණය සඳහා ප්‍රජා සහභාගිත්වයේ වැදගත්කම

ඉන්දුනීසියාවේ පිහිටා ඇති කරිමුන්ජාවා (Karimunjawa) සාගර ජාතික වනෝද්‍යානයේ ක්‍රියාත්මක කළ එක්‌තරා වැඩසටහනක්‌ තුළින් ජෛවවිවිධත්වය හා සංවර්ධනය අතර තුලිතතාවක්‌ පවත්වාගැනීම සඳහා සහ-කළමනාකරණය වැදගත් ආකෘතියක්‌ වන බව හෙළි වී තිබේ. සාමාන්‍යයෙන් සාගර ජෛවවිවිධත්වය මත තම ජීවනෝපාය සඳහා මුළුමනිනන් ම යෑපුණු මේ පිරිස ගේ සමාජ යහ පැවැත්ම ඉහළ නංවාගැනීමට හැකියාව ලැබී ඇත.

මේ සාගර ජාතික වනෝද්‍යානයට මුහුදු ප්‍රදේශ මෙන්ම කඩොලාන සහිත දූපත් රාශියකින් සමන්විත දූපත් රැසක්‌ ද අයත් වූ අතර එහි විසූ ජනගහනය නව දහසක්‌ පමණ තරම් විය. මේ පරිසර පද්ධතිය එරට සාගර ජෛවවිවිධත්වය සම්බන්ධව ඉතා වැදගත් ප්‍රදේශයක්‌ ලෙස හඳුනාගන්නා ලද අතර ඒ වන විටත්, අධික ලෙස මසුන් ඇල්ලීම නිසා මේ පරිසර පද්ධතියේ කොරල්පර හා මත්ස්‍ය ජෛව ස්‌කන්ධය දැඩි හායනයට මුහුණ පා තිබිණි. එය සංරක්‌ෂණය කිරීමේ කටයුතු ආරම්භ වන්නේ මේ තත්ත්වයට පිළියමක්‌ ලෙස ය.

වසර පහක්‌ පමණ කාලයක්‌ තිස්‌සේ ක්‍රියාත්මක කරන ලද මේ සහ-කළමනාකරණ ආකෘතියේ දී අදාළ වනෝද්‍යානයේ පාලනය සඳහා ප්‍රජාව ගේ සහභාගිත්වය වැඩි වශයෙන් ලබාගෙන තිබේ. එසේ ම මේ කාර්යයේ දී ජනතාවට විකල්ප ආදායම් මාර්ග සැලසීම කෙරේ ද වැඩි අවධානයක්‌ දක්‌වා තිබේ. නිදසුනක්‌ ලෙස පරිසර සංචරණය සඳහා සහ වෙනත් ව්‍යාපාරික අවස්‌ථා සලසා දීමෙන් අධික ලෙස මසුන් ඇල්ලීමෙන් පරිසර පද්ධතියට සිදු වූ පීඩනය අඩු කිරීමට හැකියාව ලැබී ඇත. එසේ ම තිරසර නො වන ධීවර පිළිවෙත් මුලිනුපුටා දැමීමට ද පියවර ගෙන තිබේ.

මේ ක්‍රියාවලියේ ප්‍රතිඵලයක්‌ ලෙස පාරිසරික වශයෙන් හා සමාජ ආර්ථික වශයෙන් ද වැදගත් ප්‍රතිඵල කිහිපයක්‌ ලැබී ඇති බව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, තිරසර නො වන ලෙස සිදු වූ ධීවර කර්මාන්තය නිසා හානියට ලක්‌ ව තිබුණු පර ආශ්‍රිත මත්ස්‍ය ගහනවල ජෛව ස්‌කන්ධය යථා තත්ත්වයට පැමිණ තිබේ. ඊට බලපා ඇත්තේ මසුන් ඇල්ලීම සීමා කරමින් කලාපනය කිරීම් ය. එසේ ම මේ වැඩසටහනෙන් ලැබුණු අනෙක්‌ වැදගත් ප්‍රතිදානය සේ සඳහන් වන්නේ ප්‍රජාව ගේ සමාජ ආර්ථික තත්ත්වය වර්ධනය වීමයි. එසේ ම මේ ජනතාව ගේ දේශපාලනික බලයේ වර්ධනයක්‌ ද ඇති වී තිබේ. මේ අනුව සහ-කළමනාකරණය වැදගත් සංරක්‌ෂණ මෙවලමක්‌ සේ යොදාගත හැකි බව ද පෙනේ. (මූලාශ්‍රයMarine Policy, DOI:
10.1016/j.marpol.2012.12.022)

පුවත් සැකෙවින්
ගැබොන් දේශයේ අලි මරණ ඉහළට

අප්‍රිකා මහාද්වීපයේ පිහිටා ඇති රටක්‌ වන ගැබොන් දේශයේ පසුගිය දශකයකට ආසන්න කාලයක්‌ ඇතුළත අලින් විශාල ප්‍රමාණයක්‌ මරා දමා ඇති බව පසුගිය සතියේ වාර්තා විය. 2004 වර්ෂයෙන් පසුව ගෙවී ගිය කාලයේ දී එරට එක්‌ ජාතික වනෝද්‍යානයක පමණක්‌ අලින් 11,000කට අධික ප්‍රමාණයක්‌ මරා දමා ඇති බව රජයේ වාර්තාවල සඳහන් විය.

අප්‍රිකාවේ වාසය කරන අලි විශේෂ අතරින් කුඩා විශේෂය වන වනාන්තර අලින් ගෙන් අඩක්‌ පමණ වාසය කරන්නේ ඝන වනාන්තරවලින් වැසුණු රටක්‌ වන ගැබොන්හි ය. ඇත් දළ සඳහා ඇති අධික ඉල්ලුම මේ අලින් මරාදැමීමට හේතු වී ඇත. මේ වනාන්තර අලි විශේෂයේ ඇතුන් ගේ දළ වඩාත් සෘජු වීම, ශක්‌තිමත් වීම හා රෝස පැහැ ගැනීම නිසා ඇත් දළ ලබා ගැනීමේ දී මේ අලින් ගේ දළ සඳහා ඇති ඉල්ලුම ඉහළ ය.

චීනයේ වායු දූෂණය පාලනයට පියවර

මේ වන විට දැවෙන ප්‍රශ්නයක්‌ බවට පත් ව ඇති වායු දූෂණය පාලනය කිරීම සඳහා රටපුරා බෙදාහරිනු කරනු ලබන ඉන්ධනවල ප්‍රමිතිය පිරිසිදු තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා වූ කාලසටහනක්‌ චීන රජය නිකුත් කර තිබේ. එහෙත් වසර හතරක්‌ පමණ යන තුරු මේ ප්‍රමිති අනිවාර්ය නො වීම මෙහි ඇති අඩුපාඩුවක්‌ සේ සැලකේ.

වාහන හා කර්මාන්තශාලාවලින් නිකුත් වන වායු විමෝචන නිසා, චීනයේ දැකිය හැකි වායු දූෂණය ලෝකයේ වඩාත් බරපතළ තත්ත්වයේ පරිසර දූෂණයක්‌ ලෙස සැලකේ. එය එරට ජනතාව ගේ ද දැඩි අවධානයට ලක්‌ ව ඇති කරුණකි. එරට නාගරික ප්‍රදේශවල මේ තත්ත්වය වඩාත් බරපතළ තත්ත්වයේ පවතී. පසුගිය සති කිහිපයක කාලයේ දී එරට ප්‍රදේශ කිහිපයක වායු දූෂණය ඉතා දූෂිත තත්ත්වයකට පැමිණ තිබුණේ එතෙක්‌ කලක්‌ මේ තත්ත්වය පාලනය සඳහා අනුගමනය කළ සියලු පියවර ප්‍රශ්න කරමිනි.

මහා බාධක පරය ආරක්‌ෂා කරන බව ඔස්‌ට්‍රේලියාව පවසයි


ඔස්‌ට්‍රේලියාව මහා බාධක පරය ආරක්‌ෂා කිරීමට පසුගිය දා ප්‍රතිඥා ලබා දී තිබේ. ඒ අනුව පරයට හානි වන ආකාරයෙන් නාවික කටයුතු හා වෙනත් නව සංවර්ධන කටයුතු සිදු නො කරන බව එරට බලධාරීන් පවසා ඇත.

මේ වර්ෂයේ පෙබරවාරි මස පළමුවැනි දාට පෙර පරය ආරක්‌ෂා කිරීමට යම් පියවරක්‌ නො ගන්නේ නම්, එය අනතුරේ ඇති ලෝක උරුමයක්‌ ලෙස නම් කිරීමට ඉඩ ඇති බව යුනෙස්‌කෝ (UNESCO) සංවිධානය පසුගිය වර්ෂයේ දී දැනුම් දී තිබිණි. මහාබාධක පරය වැනි සුවිශේෂ පරිසර පද්ධතියක ආරක්‌ෂිත බව ඒ ආකාරයෙන් අඩු වීම ඒ ආශ්‍රිතව සිදු වන සංචාරක කර්මාන්තයට හා පොදුවේ රටේ ගරුත්වයට එතරම් යෝග්‍ය නො වේ.

ලෝකයේ විශාලතම කොරල්පරයක්‌ සේ සැලකෙන මේ කිලෝමීටර් 2000ක්‌ පමණ දිගු මහා බාධක පරය විවිධ හේතු නිසා තර්ජනයට ලක්‌ ව තිබේ. ඒ අතර දේශගුණ වෙනස්‌ වීම හා ජෛවීය සංරචකවල වෙනස්‌වීම් නිසා මේ පරය හායනයට ලක්‌ වීමේ අවදානමක්‌ පවතී. එහි මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකින් පෙන්වා දී තිබුණේ වර්තමානයේ කොරල් අහිමි වන වේගය අනුව 2022 වන විට කොරල් ආවරණය අඩකින් පමණ අඩු වීමට ඉඩ ඇති බවයි.

http://www.vidusara.com/2013/02/13/feature2.html

Tuesday, February 12, 2013

ජගත් පරිසර විමසුම 160 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-02-06, පි. 11


Vidusara: http://www.vidusara.com/2013/02/06/feature1.html

විමසුම - නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව
ප්‍රමුඛ පුවත- උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ
පුවත් සැකෙවින් - නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්‌/ ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය/ බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

නයිජීරියාවේ තෙල් දූෂණය පිළිබඳව ෂෙල් සමාගමට එරෙහි නඩුවේ තීන්දුව


අප්‍රිකා මහාද්වීපයේ වැඩි ම තෙල් නිෂ්පාදනයක්‌ සිදු කරන නයිජීරියාවේ තෙල් නිධි තරම් පරිසර හා සමාජ ක්‍රියාකාරිකයන් ගේ අවධානයට ලක්‌ වූ වෙනත් තෙල් නිධි සංචිතයක්‌ නොමැති තරම් ය. ඊට හේතුව නයිජර් ඩෙල්ටාවේ තෙල් නිධි කැණීමේ දී ඇති වන තෙල් කාන්දුවීම් හා ගෑස්‌ පිළිස්‌සීම නිසා එරට පරිසරයට හා ජන ජීවිතයට ඇති වී තිබෙන අහිතකර බලපෑමයි. මේ නිසා දූෂණයට ලක්‌ ව ඇති ප්‍රදේශයේ ජලය හා පස තෙල් නිසා දූෂණයට ලක්‌ ව ඇති අතර එය කෘෂිකර්මයට, ධීවර කර්මාන්තයට හා වෙනත් ජීවනෝපාය මාර්ගවලට විවිධ ගැටලු රැසක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් ඔගොනිලන්තය නම් ප්‍රදේශයේ මේ පරිසර දූෂණය ඉතා උග්‍ර තත්ත්වයක පවතී.

මේ තත්ත්වය වළක්‌වාගෙන අදාළ ප්‍රදේශ යළි යථා තත්ත්වයට පත් කිරීමට බොහෝ කලක්‌ ගත විය හැකි බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් ප්‍රකාශිත වාර්තාවකින් 2011 වර්ෂයේ දී පෙන්වා දෙන ලදී. එසේ ම ඒ සඳහා දැරිය යුතු වියදම ද අධික ය. මේ සම්බන්ධව අප මින් ඉහත දී ද මේ තීරුව ඔස්‌සේ සාකච්ඡාවට ලක්‌ කර ඇත. (බලන්න 'නයිජර් ඩෙල්ටාවේ තෙල් දූෂණය', ජගත් පරිසර විමසුම 84, 2011-08-10). මේ තත්ත්වය සඳහා වගකිවයුත්තේ තෙල් සමාගම් බවට එරට ජනතාව චෝදනා කරන අතර තෙල් සොරකම් කිරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියා ද ඊට බලපා ඇති බව පෙන්වා දී තිබේ.

නෙදර්ලන්ත නඩුව හා තීන්දුව


නයිජීරියාවේ ක්‍රියාත්මක ප්‍රධානතම තෙල් සමාගම වන ෂෙල් සමාගමට එරෙහි ව, එහි මූලස්‌ථානය පිහිටා ඇති නෙදර්ලන්තයේ අධිකරණයක්‌ හමුවේ 2008 වර්ෂයේ දී නයිජීරියානුවන් පිරිසක්‌ විසින් නඩුවක්‌ ගොනු කරන ලදි. තෙල් දූෂණය නිසා අගතියට පත් නයිජීරියානු ගොවීන් සිව් දෙනකු හා ජාත්‍යන්තර රාජ්‍ය නො වන සංවිධානයක්‌ වන මිහිතලයේ මිතුරෝ (Friends of the Earth) ආයතනය විසින් පවරන ලද මේ නඩුවේ තීන්දුව පසුගිය සතියේ ලබා දී ඇත.

මෙහි දී අධිකරණය තෙල් දූෂණ සිද්ධීන් පහෙන් හතරකින් ෂෙල් සමාගම නිදහස්‌ කර ඇත. මේ තීන්දුව විමසීමේ දී පෙනෙන්නේ මේ තෙල් කාන්දුවීම් සිදු ව ඇත්තේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා යෑයි අධිකරණය තීරණය කර ඇති බවකි. තීන්දුවට අනුව මවු සමාගම, වෙනත් රටක පිහිටි එහි අනුබද්ධ සමාගමක කටයුතු නිසා තුන්වැනි පාර්ශ්වයකට සිදු වන හානිවලට වගකිවයුතු නැති බවකි. මේ තීන්දුව ෂෙල් සමාගමේ ජයක්‌ ලෙස ඔවුන් සලකා ඇති බව මාධ්‍ය වාර්තාවලින් පෙනේ.

එහෙත් එය එසේ ම නොවේ. එක්‌ තෙල් දූෂණ සිදුවීමක්‌ සම්බන්ධ චෝදනාවක්‌ සඳහා ෂෙල් සමාගමේ නයිජීරියාවේ ක්‍රියාත්මක අනුබද්ධ සමාගමක්‌ මෙහි දී වැරැදිකරුවන් කර තිබේ. ඒ අනුව අදාළ සමාගමට එම ගොවියාට වන්දි ගෙවීමට නියෝග කර තිබේ. සමාගම තම වගකීම නො සලකා හැර ඇති නිසා ගොවියාට සිය ජීවනෝපාය අහිමි වීම සිදු ව ඇති බව අධිකරණය පෙන්වා දී තිබේ. මේ චෝදනාව පිළිබඳව විමසන විට පෙනෙන්නේ ගොවීන් හා පරිසරයේ යම් ජයග්‍රහණයක්‌ ද දැකිය හැකි බව ය. නයිජීරියානු ජනතාව, පරිසරවේදීන් හා ක්‍රියාකාරීන් එසේ සිතන බවත් පෙනේ. මෙතෙක්‌ වගකීමට කිසිත් නොමැති ව සිටි තෙල් දූෂණය හා සම්බන්ධ එක්‌ චෝදනාවකට හෝ සමාගමක්‌ වැරැදිකරුවන් කර තිබීම වැදගත් පූර්වාදර්ශයක්‌ විය හැකි ය. එය වැදගත් වන අනෙක්‌ කරුණ වන්නේ ෂෙල් සමාගමෙන් වෙනත් රටක දී සිදු වූ හානියක්‌ පිළිබඳව එහි මූලස්‌ථානය පිහිටි රටේ දී ගත් පළමු අධිකරණ ක්‍රියාමාර්ගය මෙය වන නිසා ය. එය නයිජීරියානුවන්ට පමණක්‌ නො ව අනෙක්‌ රටවලට ද ආදර්ශයකි. ෂෙල් සමාගමට එරෙහි තවත් මෙවැනි නඩුවක්‌ ලන්ඩනයේ විභාග වෙමින් තිබේ.

සාධාරණය සඳහා තව දුර යා යුතු ය


මේ නඩු තීන්දුවේ දී ප්‍රතික්‌ෂේප වූ චෝදනා පිළිබඳව අභියාචනයක්‌ යොමු කරන බව නයිජීරියානු ක්‍රියාකාරීහු පවසති. මේ අභියාචනය ජයග්‍රහණයක්‌ කරා ගෙන යැමට හැකියාවක්‌ තිබිය හැකි නමුත් සමාගම ද අභියාචනයක්‌ කරනු ඇති බැවින් මේ අධිකරණ ක්‍රියාමාර්ගය සමස්‌තයක්‌ ලෙස අවසන් ව නොමැති බව පෙනේ.

අපට පෙනෙන ආකාරයට උක්‌ත අධිකරණ තීන්දුව කිසියම් ආකාරයක ජයග්‍රහණයක්‌ බව සැබෑවකි. එහෙත් එය ලබාගෙන ඇත්තේ අරගලයකින් තොර ව නම් නො වේ. මේ විනාශයට එරෙහි ව නයිජීරියානුවන් තම ජීවිත අහිමි කරගනිමින් මහත් කැප වීමකින් කලක්‌ තිස්‌සේ අරගලයත් දියත් කළේ තෙල් සමාගම්වල සහායට පැමිණි ආණ්‌ඩුවේ බලය යොදාගෙන සිදු කරන ලද මර්දනයක්‌ හමුවේ ය. මෙවැනි ක්‍රියාකාරිකයකු වූ කෙන් සාරෝ විවා ඇතු`ඵ පිරිසක්‌ 1995 වර්ෂයේ දී මරා දැමීම මහත් ආන්දෝලනයකට හේතු විය. මෙය යම් කිසි ජයක්‌ වන්නේ නම් එය ඔවුන් විසින් සිදු කරන ලද කැප වීමේ යම් ප්‍රතිඵලයකි. මින් ගම්‍ය වන අනෙක්‌ කරුණ වන්නේ පරිසරයට හා ජන ජීවිතයට බලපෑම් ඇති නො වන ආකාරයෙන් කටයුතු කිරීමට කුමන ආකාරයක හෝ ව්‍යාපාරයකට වගකීමක්‌ ඇති බව ය. කෙසේ වෙතත් සාධාරණත්වය සඳහා තවත් දුර යා යුතු බව පෙනේ.

ප්‍රමුඛ පුවත
උෂ්ණත්වය ඉහළ යැම නිසා වැස්‌සේ තීව්‍රතාව වැඩි වේ

ලෝකයේ ඇති වන බොහෝ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව, උෂ්ණත්වය ඉහළ යැමත් සම`ග ඉහළ යමින් ඇති බව ජගත් මට්‌ටමේ වර්ෂාපතන දත්ත යොදාගනිමින් සිදු කරන ලද සමාලෝචනයකින් යළිත් තහවුරු වී තිබේ.

ලෝකයේ පිහිටා ඇති ඉහළ තත්ත්වයේ කාලගුණ මධ්‍යස්‌ථාන 8,326කින් වර්ෂාපතන හා උෂ්ණත්ව දත්ත යොදාගෙන ඇති මේ අධ්‍යයනයේ අරමුණ වූයේ ඒ දත්ත අතර සම්බන්ධයක්‌ තිබේ දැයි සෙවීම ය. මෙහි දී 1900 සිට 2009 දක්‌වා කාලයේ දී ආන්තික වර්ෂාපතන තත්ත්වවල දැකිය හැකි වූ ප්‍රවණතා පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මේ නිසා එය මෙතෙක්‌ කලක්‌ සිදු කරන ලද වඩාත් සම්පූර්ණ අධ්‍යයනයක්‌ සේ ද සැලකිය හැකි ය.

එහි දී අනාවරණය වන පරිදි, මේ කාලය ඇතුළත ආන්තික වර්ෂාපතන තත්ත්ව ඇති වීම සමස්‌ත ලෝකය පුරා ඉහළ ගොස්‌ ඇති අතර අවධානය යොමු කළ කාලගුණ මධ්‍යස්‌ථාන අතරින් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක කිසියම් ආකාරයක වර්ධනයක්‌ දැකිය හැකි ය. මේ දත්ත අනුව පෙනෙන පරිදි වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 1කින් ඉහළ යන විට ලෝකයේ ආන්තික වර්ෂාපතන සිදුවීම්වල තීව්‍රතාව 7%කින් පමණ ඉහළ යන බව පෙනේ. (මෙහි දී භාවිත කර ඇති විශ්ලේෂණ ක්‍රම දෙකේ දී වර්ෂාපතන තීව්‍රතාව වර්ධනය වන අගය 5.9% හා 7.7% ලෙස වාර්තා වී ඇත.) එය වැඩි වශයෙන් දැකිය හැක්‌කේ නිවර්තන කලාපීය ප්‍රදේශවල ය.

මේ අනුව දේශගුණ වෙනස්‌ වීම නිසා 21 වැනි සියවස ඇතුළත උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 3ත් 5ත් අතර ප්‍රමාණයකින් ඉහළ ගිය හොත්, වර්ෂාපතන තීව්‍රතාවේ ඇති විය හැකි වෙනස්‌ වීම සැලකිය යුතු තරම් විය හැකි ය. ඉහළ යන ආන්තික වර්ෂාපතන තත්ත්වවල තීව්‍රතාවේ Rජු ප්‍රතිඵලය වන්නේ ජලගැලීම් හා නාය යැම් වැනි ආපදා වඩා සුලබ වීම ය. මෙවැනි ජලගැලීම්වලින් වැඩි බලපෑමක්‌ ඇති විය හැකි දියුණුවන රටවල ඊට මුහුණ දීම සඳහා පවත්නා සූදානම ද ප්‍රමාණවත් තරම් නො වේ. අනෙක්‌ අතට මෙහි පෙන්වා දී ඇති පරිදි කාලගුණ දත්ත පිළිබඳ වැඩි ම අඩුපාඩු පවතින්නේ ද සමකය ආසන්න රටවල ය. (මූලාශ්‍රයJournal of Climate, DOI: 10.1175/JCLI-D-12-00502.1)

පුවත් සැකෙවින්
නගරවල උෂ්ණත්වයෙන් බොහෝ බලපෑම්

විශාල නාගරික ප්‍රදේශයකින් බොහෝ ඈත පිහිටා ඇති ප්‍රදේශවල කාලගුණයට බලපෑම් කිරීමට අදාළ නගරයේ ජනනය වන තාපයට හැකියාව තිබේ. මානව ක්‍රියාකාරකම් වායුගෝලීය තත්ත්ව සඳහා බලපාන ආකාරය පිළිබඳව පෙන්වා දෙන මේ අධ්‍යයනය අනුව නාගරික ප්‍රදේශවල පිහිටි ගොඩනැ`ගිලිවලින්, වාහන හා වෙනත් ප්‍රභවවලින් ජනනය වන අප තාපය (waste heat) නිසා වායුගෝලීය ප්‍රවාහ පද්ධතිවල ඇති වන වෙනස්‌කම් මීට හේතු වේ. ඉන් විශාල ප්‍රදේශයක උෂ්ණත්වයේ සැලකිය යුතු වෙනස්‌කම් ඇති වීමට ඉඩ තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය ඉහළ යැම හා තවත් ප්‍රදේශවල උෂ්ණත්වය අඩු වී සිසිල් වීම ය.

නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු අර්ධගෝලයේ රටවල ජනනය වන මේ අතිරේක අප තාපය නිසා උතුරු ඇමෙරිකාවේ උතුරුදිග ප්‍රදේශ හා ආසියාවේ උතුරු ප්‍රදේශවල ශීත කාලයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ ඉහළ යැමට ද මේ තත්ත්වය හේතු විය හැකි ය. අනෙක්‌ අතට මේ අප තාපය නිසා යුරෝපයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස්‌ අංශකයකින් පමණ පහළ බැසීමට ද ඉඩ තිබේ.

කෙසේ වෙතත් මේ අප තාපයෙන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයට බලපෑමක්‌ ඇති නො වේ. ඉන් ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ සෙල්සියස්‌ අංශක 0.01කට වැඩි වෙනසක්‌ ඇති නො කරයි. ඊට හේතුව වන්නේ මේ අප තාපය, ලෝකයේ ඉහළ අක්‌ෂාංශ සහිත ප්‍රදේශ හරහා ගමන් කරන තාපයෙන් 0.3%ක්‌ තරම් අඩු වන නිසා ය. (මූලාශ්‍රයNature Climate Change, DOI: 10.1038/nclimate1803)

ජපාන තල්මහ දඩයමට ඔස්‌ට්‍රේලියාවේ විරෝධය

දකුණු මුහුදේ තල්මහ දඩයම් චාරිකාවේ නියෑළී ඇති ජපාන තල්මහ දඩයම් කණ්‌ඩායමට අයත් යාත්‍රාවක්‌ තම රටේ අනන්‍ය ආර්ථික කලාපයට ඇතු`ඵ වීම ගැන ඔස්‌ට්‍රේලියානු රජය පසුගිය සතියේ දී සිය දැඩි විරෝධය පළ කළේ ය. තල්මහ දඩයමේ යෙදෙන නෞකා තම රටේ මුහුදු සීමාවට පිවිසීම පිළිබඳව තමන් එක`ග නො වන බව ඔවුන් මින් පෙර ද පවසා තිබේ. තල්මහ දඩයමට විරුද්ධ උද්ඝෝෂකයන් සිටි යාත්‍රාවත් හඹා යමින් උක්‌ත ජපාන යාත්‍රාව මෙසේ ඔස්‌ට්‍රේලියානු මුහුදු තීරයට පැමිණ ඇති බවක්‌ පෙනේ.

ජාත්‍යන්තර තල්මහ කොමිසම 1986 දී ඇති කරගත් තහනමේ ඇති අඩුපාඩුවක්‌ උපයෝගී කරගනිමින් 'විද්‍යාත්මක අවශ්‍යතා' නමින් ජපාන නෞකා මේ වාර්ෂික තල්මහ දඩයමේ යෙදී සිටියි. මේ පිළිබඳ විරෝධය දක්‌වන රටවල් අතර ඔස්‌ට්‍රේලියාවද වේ. දකුණු මුහුදේ සිදු කරනු ලබන මේ තල්මහ දඩයම සම්පූර්ණයෙන් තහනම් කිරීම සඳහා ඔස්‌ට්‍රේලියාව හේග් නුවර ජාත්‍යන්තර අධිකරණය හමුවේ නඩුවක්‌ ද පවරා තිබේ.

බ්‍රිතාන්‍යයේ සලබයන් ගේ අඩු වීමක්‌

බ්‍රිතාන්‍යයේ වාසය කරන සුලබ විශාල (common larger) සලබ විශේෂ අතරින් තුනෙන් දෙකක්‌ පමණ ප්‍රමාණයකගේ ගහනවල සැලකිය යුතු ප්‍රමාණයක අඩු වීමක්‌ ගත වූ වසර හතළිහක කාලය ඇතුළත සිදු වී ඇති වාර්තාවක්‌ හෙළි කර තිබේ. ඒ අනුව 1968-2007 අතර කාලයේ දී මේ කාණ්‌ඩයට වැටෙන සලබයන් ගේ සුලබතාව 28%ක්‌ තරම් ප්‍රමාණයකින් අඩු වී ඇත. මෙය විවිධ සලබ විශේෂ අතර වෙනස්‌ වේ. එක්‌ විශේෂයක සුලබතාව 99%කින් පමණ අඩු වීමක්‌ පෙන්වීම මේ තත්ත්වයේ ඇති ගැටලු සහගත බව පෙන්වා දෙයි. කෙසේ වෙතත් ඇතැම් විශේෂවල සුලබතාවයේ වර්ධනයක්‌ දැකිය හැකි ය. වාසස්‌ථාන අහිමි වීම හා භූමියේ ඇති වන හායනය මේ අඩු වීම සඳහා හේතු වී ඇති කරුණු අතර විය හැකි බව ද යෝජනා කර තිබේ. සමනළයන් හා මීමැස්‌සන් වැනි මෙවැනි වෙනත් අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්‌ඩ අතර ද මෙවැනි ගහන අඩු වීමක්‌ දැකිය හැකි බව මේ වන විට වාර්තා වී ඇත. (මූලාශ්‍රයState of Britain’s Larger Moths 2013, http://butterfly-conservation.org/files/state-ofbritains-larger-moths-2013-report.pdf)

http://www.vidusara.com/2013/02/06/feature1.html

Tuesday, February 5, 2013

ජගත් පරිසර විමසුම 159 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-30, පි. 11

http://www.vidusara.com/2013/01/30/feature2.html

විමසුම - වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?
ප්‍රමුඛ පුවත- මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ
පුවත් සැකෙවින් - ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ‌/ ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා/ චීනය වායු දූෂණයට එරෙහි සටනක


විමසුම
වඳ වන්නට පෙර සියලු ජීවීන් 'හඳුනාගෙන නම් කිරීම'... මිනිසා ගේ වගකීම මෙය ද?

ජීවී විශේෂ මිහිතලයෙන් වඳවී යැම අද දවසේ බරපතළ පාරිසරික ගැටලූවක්‌ සේ සැලකෙන්නකි. මේ පිළිබඳ ඇති සංඛ්‍යාත්මක පුරෝකථන විශාල පරාසයක විහිදෙන්නකි. මේ ජීවී විශේෂ අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ සොයාගැනීමට හා විද්‍යාත්මකව නම් කිරීමට පෙර වඳවී යා හැකි බවට විද්‍යාඥයන්, පරිසරවේදීන් අතර මෙන්ම සාමාන්‍ය ජනතාව අතරද පිළිගැනෙන මතයක්‌ තිබේ.

එහෙත් ලොව ජීවත්වන ජීවී විශේෂ අතරින් වැඩි ප්‍රමාණයක්‌, ඔවුන් වඳවී යැමට පෙර විද්‍යාත්මකව හ`දුනාගෙන නම් කළ හැකි බව මේ පිළිබඳව සිදුකර ඇති සමාලෝචනයකින් හෙළිකර ඇත. ඔවුන් පෙන්වා දෙන පරිදි, විද්‍යාත්මකව නම් කිරීමට පෙර ජීවීන් අතරින් විශාල ගණනක්‌ වඳවී යා හැකි බවට වන මතය සඳහා කරුණු කිහිපයක්‌ හේතු වේ. ඉන් පළමුවැන්න ලෝකයේ සැබැවින්ම ජීවත්වන ජීවීන් ප්‍රමාණය බෙහෙවින් අධිතක්‌සේරු කර තිබීමයි. දෙවැන්න ජීවීන් හ`දුනාගෙන නම් කිරීමේ යෙදී සිටින විද්‍යාඥයන් ගණන අඩු වී ඇති බවට වන අදහසයි. අනෙක්‌ කරුණ ජීවීන් වඳවී යැමේ වේගය පිළිබඳව ඇතැම් මත අතිශයෝක්‌තිමය වීමය. මේ වාර්තාවේදී උක්‌ත කරුණු පිළිබඳවද විමසීමක්‌ කර ඇත.

ජීවත්වන ජීවීන් ගණන

ලෝකයේ ජීවත්වන ජීවීන් ගණන කෙතරම් ද යන්න පිළිබඳ ඇති සංඛ්‍යාලේඛන පු`ඵල් පරාසයක්‌ ගනියි. මේ ඇස්‌තමේන්තු මිලියන 3ත් 100ක්‌ අතර විවිධ අගයයන් ගනියි. සාමාන්‍යයෙන් මිලියන 8ක්‌ පමණ ජීවී විශේෂ ප්‍රමාණයක්‌ සිටින බව වැඩි පිළිගැනීමක්‌ ඇති අගයයි. උක්‌ත නව වාර්තානේව ජීවී විශේෂ ගණන පිළිබඳව නව අගයයක්‌ ද ඉදිරිපත් කර ඇත.

ඒ අනුව මිලියන 5ක්‌ පමණ ජීවී විශේෂ සංඛ්‍යාවක්‌ මිහිතලය මත වාසය කරන අතර එය ඊට වඩා මිලියන 3ක්‌ අඩු හෝ වැඩි වීමට හැකිය. එනම් සියලූ ජීවීන් ගණන මිලියන 2ත් 8ත් අතර ගණනක්‌ විය හැකිය. මේ අතරින් තවමත් විද්‍යාත්මකව නම් කර ඇත්තේ විශේෂ මිලියන 1.5ක්‌ පමණ ප්‍රමාණයක්‌ පමණි.

නව විශේෂ සොයාගැනීම

මිහිතලයෙන් ජීවීන් වඳවී යන වේගය හා සැලකූ විට මෙතෙක්‌ හ`දුනාගෙන නොමැති ජීවීන් නම් කිරීමට තරම් ප්‍රමාණවත් විද්‍යාඥයන් පිරිසක්‌ සිටින බව මේ වාර්තාවෙන් පෙන්වාදී තිබේ. මෙතෙක්‌ කාලයක නො සිටි තරම් වර්ගීකරණ විද්‍යාඥයන් (ඒංදබදපසිඑs) පිරිසක්‌ අද වන විට ලෝකය පුරා රටවල කටයුතු කරන බව මේ වාර්තාවේ දක්‌වා ඇත. මේ පිරිසේ ප්‍රමාණය අදට වසර විස්‌සකට පමණ පෙර සිටි විද්‍යාඥයන්ගේ ගණන මෙන් දෙගුණයත් තුන් ගුණයක්‌ අතර වේ. එසේම මේ පිරිස තවදුරටත් වැඩිවෙමින් පවත්නා අතර ඒ වේගය නව ජීවී විශේෂ විස්‌තර කරන වේගයට වඩා අධිකය.

මේ කරුණ ලෝකයේ සියලූ ජීවීන් නම් කිරීමට අවස්‌ථාව ලැබීමට බලපාන ප්‍රධාන හේතුවක සේ දැක්‌වේ. කෙසේ වෙතත් මේ වාර්තාව මගින් දක්‌වා ඇති පරිදි වර්ගීකරණ ඵලදායකත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා පියවර ගත යුතු වේ. එය තවමත් දැඩි අභියෝගයකි.

ජීවීන් වඳවී යන වේගය

අනෙක්‌ අතට ජීවීන් වඳවී යැමේ සත්‍ය වේගය ද මෙහි පෙන්වාදී තිබේ. එය දශකයකට සමස්‌ත ජීවී විශේෂ සංඛ්‍යාවෙන් 0.01%ත් 1%ත් අතර අගයක්‌ ගන්නා අතර මෙහි උපරිම අගය දශකයකට 5%ක්‌ පමණ විය හැකිය. මෙය පු`ඵල්ව පිළිගෙන ඇති ඇතැම් ඇස්‌තමේන්තුවලට වඩා බෙහෙවින් අඩු බව පෙනේ. එහෙත් එය ස්‌වාභාවිකව සිදුවන වඳවීයැමේ වේගයට වඩා ඉහළ බව අප අමතක නොකළ යුතු කරුණකි.

අනෙක්‌ අතට මේ වන විට ලෝකයේ ක්‍රියාත්මක විවිධ සංරක්‌ෂණ ප්‍රයත්න හා ද්විතීයික පරිසර පද්ධතිවල ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම ද ලෝකයෙන් ජීවී විශේෂ වඳවී යැම පමා කිරීමට හේතුවක්‌ විය හැකිය. ඒවාද සියලූ විශේෂ වාර්තාගත කිරීම සඳහා අවස්‌ථාවක්‌ ලබාදෙන වැදගත් සාධකයකි.

මිනිසාගේ වගකීම මෙයද?


මේ අතර ඇතැම් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මේ සමාලෝචනය වාර්තා කර තිබුණේ ජීවීන් වඳවී යැම හිතෙන තරම් බරපතළ නොවන බවක්‌ හුවාදක්‌වමිනි. එහෙත් වඩා හොඳින් විමසන විට මේ වාර්තාව ද මිනිසුන් විසින් පරිසරයට සිදු කර ඇති බලපෑමේ තරම පෙන්වාදෙයි. එසේම මේ අද වන විට පවත්නා තත්ත්වයයි. ලෝකයේ වෙසෙන ජීවීන් හමුවේ ඇති අභියෝග දිනෙන් දින වර්ධනය වේ. දේශගුණ වෙනස්‌වීම මීට සාධකයකි. එසේම සියලූ ජීවී විශේෂ සංරක්‌ෂණය කිරීම සම්බන්ධව ද සීමා පවතී.

අනෙක්‌ අතට ලෝකයේ වාසය කරන ජීවීන් වඳවී යැමට පෙර හ`දුනාගැනීම හෝ නම් කිරීම පමණක්‌ ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන් මේ විනාශයට වගකිවයුතු මිනිසුන්ට ලෝකයේ දිවි ගෙවන සෑම ජීවී විශේෂයක්‌ම ආරක්‌ෂා කිරීමට කිසියම් වගකීමක්‌ තිබේ. මෙය සරළ කර්තව්‍යයක්‌ නොවේ. එසේම වර්තමාන ලෝකයේ එවැනි උත්සාහයක්‌ ඇති බව නො පෙනෙන අතර එවැන්නකට ගැලපෙන පසුබිමක්‌ ද නැමැත. මානව කේන්ද්‍රීය සමාජ-සංස්‌කෘතියක්‌ ඇති වර්තමාන ලෝක රාමුව ඇතුළත එවැන්නක්‌ අපේක්‌ෂා කිරීම පවා අපහසු වේ. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1230318)

ප්‍රමුඛ පුවත
මිශ්‍ර ශාක සහිත වනාන්තර වඩා ඵලදායී වේ

වනාන්තර මිනිසාට අවශ්‍ය සම්පත් රැසක්‌ ලබා දෙන පරිසර පද්ධතියකි. එහෙත් වර්තමාන තත්ත්වය හමුවේ ස්‌වාභාවික වනාන්තර මගින් මානව අවශ්‍යතා සම්පූර්ණ කරගැනීම අපහසුය. එබැවින් තිරසර ලෙස දැව ලබාගැනීම සඳහා වනවගා කිරීම ලෝකයේ බොහෝ රටවල බෙහෙවින් ප්‍රචලිතව තිබේ. නූතන වනවගාවලදී එක්‌ ශාක විශේෂයක්‌ පමණක්‌ වගා කිරීම බොහෝ විට අනුගමනය කෙරේ. එය වනවිද්‍යාත්මක ක්‍රමවේද යටතේ කලක පටන් ප්‍රවර්ධනය කරන ලද වගා ක්‍රමවේදයකි. එහෙත් මෙවැනි ඒක ශාක වනාන්තරවලට වඩා මිශ්‍ර ශාක සහිත වනාන්තරවල නිෂ්පාදකතාවය ඉහළ බව අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

මේ අධ්‍යයනයේදී අවධානය යොමු කර ඇත්තේ ඒක ශාක වනවගා හා මිශ්‍ර ශාක වනවගාවලින් ලැබෙන ප්‍රයෝජන පිළිබඳවයි. ස්‌වීඩනයේ පිහිටා ඇති වනාන්තර පාදක කරගනිමින් සිදුකර ඇති මෙහිදී වනවගාවල දත්ත භාවිත කරමින් පරිසර පද්ධති සේවා හයක්‌ සඳහා ඉන් ලැබෙන දායකත්වය පරීක්‌ෂා කර තිබේ. ඒවා නම්, ශාක වර්ධනය, කාබන් තැන්පත් කිරීම, ඵල නිපදවීම, වනජීවීන් සඳහා ආහාර සැපයීම, මියගිය දැව කොටස්‌ එක්‌ කිරීම හා ජෛවවිවිධත්වයයි.

මේ අධ්‍යයනයේදී හෙළිවන කරුණු අනුව ඉහතකී සෑම පරිසර පද්ධති සේවාවක්‌ම වනාන්තරයේ හමුවන ශාක විශේෂ ගණන හා අනුලෝමව සමානුපාතික වේ. එනම් ශාක විශේෂ ගණන ඉහළ යන තරමට මේ පරිසර පද්ධති සේවා වඩා හොඳින් සැලසේ. මිශ්‍ර ශාක වන වගාවලින් විවිධ ප්‍රයෝජන ලැබේ. ඒවා අතර ඇති එක්‌ වැදගත් කරුණක්‌ වන්නේ වැඩි නිෂ්පාදනයක්‌ ලැබීමයි. එමෙන්ම මෙහිදී පෙනීගොස්‌ ඇති ආකාරයට එකිනෙකට වෙනස්‌ ශාක එකිනෙකට වෙසක්‌ කරුණු සඳහා දායක වේ. එසේම මේ පරිසර පද්ධති සේවා අතරද යම් සම්බන්ධයක්‌ පවතී.

මේ අධ්‍යයනය වැදගත් වන්නේ මිශ්‍ර ශාක වනාන්තරවලින් වැඩි ප්‍රයෝජනයක්‌ ලැබෙන්නේ පාරිසරික වශයෙන් පමණක්‌ බව ලෝකය මෙතෙක්‌ විශ්වාස කළ නිසාය. මේ අනුව මිශ්‍ර ශාක සහිත වන වගාවල වැදගත්කම යළිත් තහවුරු වී තිබේ. වාසනාවකට මෙන් මේ වන විට මිශ්‍ර ශාක සහිත වනාන්තර පිහිටුවීම කෙරේ යම් අවධානයක්‌ යොමු වී තිබේ. (මූලාශ්‍රයNature Communications, DOI: 10.1038/ncomms2328)

පුවත් සැකෙවින්

ඇන්ඩීස්‌ කඳුකර ග්ලැසියර වේගයෙන් දියවේ

දකුණු ඇමරිකාවේ ඇන්ඩීස්‌ කදුවැටියේ පිහිටි ග්ලැසියර මෑත කාලයේ වේගයෙන් දියෑවී ඇති බව පර්යේෂණයකින් අනාවරණය වේ. ඇන්ඩීස්‌ ක`දුකර ග්ලැසියරවලින් අඩක්‌ ආවරණය කළ මේ අධ්‍යයනයෙන් හෙළිවී ඇති පරිදි 1970 වර්ෂයෙන් පසු ගතවූ කාලය ඇතුළත මේ ක`දුකරයේ පිහිටි ග්ලැසියර 30%ත් 50%ත් අතර ප්‍රමාණයකින් දියවී ඇත. ඉහළ උන්නතාංශයක පිහිටි විශාල ග්ලැසියර මෙන් දෙගුණයක පමණ වේගයකින් පහළ මට්‌ටමක පිහිටි කුඩා ප්‍රමාණයේ ගැල්සියර දියෑවී තිබේ.

මීට හේතු වී ඇති ප්‍රධාන හේතුව පසුගිය දශක හතක කාලය පුරා දශකයකට සෙල්සියස්‌ අංශක 0.1ක්‌ පමණ බැගින් මේ ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීමයි. මේ ග්ලැසියර මගින් මිලියන ගණනාවක්‌ ජනතාවට අවශ්‍ය ජල පහසුකම් ද සැපයෙන බැවින් එහි ඇති වැදගත්කම මහත්ය. (මූලාශ්‍රයTheCryosphere, DOI: 10.5194/tc-7-81-2013)

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය හා පෙනහලු පිළිකා

ඉලෙක්‌ට්‍රොනික අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශ අවට ජීවත්වන ජනතාව පෙනහලු පිළිකා ඇතිවීමේ වැඩි අවදානමකට ලක්‌ව ඇති බව චීනයේ සිදුකළ අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. පරිගණක, ජංගම දුරකථන, රූපවාහිනී යන්ත්‍ර ආදී විවිධ විද්යුත් උපකරණවල ඇතුළත් වටිනා ලෝහ වර්ග ලබා ගැනීම සඳහා ඒවා කොටස්‌ කිරීම දියුණුවන රටවල් සමහරක සිදු කෙරේ. එහෙත් ඊට යොදාගන්නා ක්‍රමවල අනාරක්‌ෂිත බව නිසා විවිධ හානිකර රසායන ද්‍රව්‍ය මිනිසුන්ගේ ශරීරගත විය හැකිය. මෙවැනි උපකරණ දහනය කිරීමෙන් පිළිකාකාරකයක්‌ වන බහුචක්‍රීය ඇරෝමැටික හයිෙඩ්‍රාකාබන් වර්ග (PAH) වාතයට එක්‌විය හැකිය.

මෙහිදී අවධානයට ලක්‌ කරන ලද ගුවාංඩොන්ග් පළාතේ ඉ - අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කරන ප්‍රදේශයකට ආසන්නව පිහිටි ග්‍රාමීය ප්‍රදේශයක ජනතාව අතර පෙනහලු පිළිකා සෑදීමට ඇති අවස්‌ථාව, ගුවාංග්සොයු නම් සාමාන්‍ය නගරයක වැසියන් අතර මෙන් 1.6ගුණයකින් පමණ අධිකය. (මූලාශ්‍රයEnvironmental Science and Technology,DOI:10.1021/es302272a)

චීනය වායු දූෂණයට එරෙහි සටනක

චීනයේ පවත්නා උග්‍ර වායු දූෂණය ජාත්‍යන්තර වශයෙන් ද අවධානයට ලක්‌ව ඇති කරුණකි. මේ තත්ත්වය බීජිං හා වෙනත් ප්‍රධාන නගරවල මෙන්ම රටේ සෙසු ප්‍රදේශවලද දැක ගත හැකිය. මේ සඳහා වාහන ඉන්ධනවලින් නිකුත්වන විමෝචන, ගල් අ`ගුරු දහනයෙන් නිකුත්වන විමෝචන මෙන්ම කාන්තාර ප්‍රදේශවලින් හමා එන සුළග ද ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව පෙනේ.

මේ තත්ත්වය පිළිබඳව මෙතෙක්‌ ගෙන ඇති පියවර නිසා සල්ෆර්ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඔක්‌සයිඩ, රසායනික ඔක්‌සිජන් හා ඇමෝනියා නයිට්‍රජන් යන ප්‍රධාන වායු දූෂක පසුගිය වර්ෂයේදී 2%කින් පමණ අඩු වී අඩු වී ඇත. එහෙත් රටේ වායු දූෂණය අඩු කිරීම තවමත් ගැටලූවක්‌ වී ඇති බව එරට පරිසර ඇමැතිවරයා විසින් පවසා තිබේ. කෙසේ වෙතත් ජනතාවට හොඳින් දැනෙන මේ තත්ත්වය පාලනය කිරීමට රජය ගෙන ඇති පියවර එරට තුළ විවේචනයට ලක්‌ව ඇති කරුණකි.

මේ අතර චීන අගනුවර වන බීජිං නගරයේ වාහන සඳහා වන වායු විමෝචන නීති දැඩි කිරීමට එරට බලධාරීන් කටයුතු කර ඇත. නගරයේ ධාවනයට එක්‌ කෙරෙන නව වාහන සඳහා ලබන මාසයේ සිට දැඩි වාහන විමෝචන ප්‍රමිති ක්‍රියාත්මක කිරීමට නියමිතය. යුරෝ V ප්‍රමිතිවලට සමාන මේ නව ප්‍රමිති හරහා වාහනවලින් නිකුත්වන නයිට්‍රජන් ඔක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය 40%කින් පමණ අඩු කිරීමට හැකි වෙතැයි අපේක්‌ෂා කෙරේ. පැරණි වාහන නගරයේ ධාවනයෙන් ඉවත් කිරීමද මෙවැනි තවත් පියවරකි.

http://www.vidusara.com/2013/01/30/feature2.html

Monday, January 28, 2013

ජගත් පරිසර විමසුම 158 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-23, පි. 11

http://www.vidusara.com/2013/01/23/feature2.html

විමසුම
රසදිය පාලනය සඳහා වූ 'මිනමාටා සම්මුතියට' එකඟතාව


රිසරයට රසදිය විමෝචන හා මුදාහැරීම වැළැක්‌වීම සඳහා වූ නිසි ජගත් මට්‌ටමේ නෛතික වගකීමක්‌ ඇති සම්මුතියකට එළැඹීමට ලෝකයේ රටවල් 140කට අධික ප්‍රමාණයක්‌ සිය එකඟතාව පළ කර තිබේ. මේ එකඟතාවට එළැඹී ඇත්තේ පසුගිය දා ස්‌විට්‌සර්ලන්තයේ ජිනීවා නගරයේ දී අවසන් වූ එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන ම`ගින් සංවිධානය කළ සමුළුවක දී ය. මේ සමුළුවේ අවසන් දිනයේ රාත්‍රිය පුරා ඇදී ගිය සාකච්ඡාවලින් පසුව මේ එකඟතාව ඇති වී තිබේ. 2009 වර්ෂයේ දී එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහනේ සමුළුවක දී ගත් තීරණයක්‌ මත වසර හතරක පමණ කාලයක්‌ තිස්‌සේ කළ සාකච්ඡාවලින් පසුව මේ එකඟතාවට එළැඹී ඇත.

මේ නව සම්මුතිය 'රසදිය පිළිබඳ මිනමාටා සම්මුතිය' (ඵසබ්ප්ඒ ඤබඩැබඑසදබ දබ පැරජමරහ) ලෙස හැඳින්වේ. ඒ, ලෝකයේ මෙතෙක්‌ ඇති වී තිබෙන බරපතළ ම පරිසර විනාශයක්‌ සේ සැලකෙන මිනමාටා ෙ€දවාචකය සිහිපත් කරමිනි. ජපානයේ පිහිටා ඇති නගරයක්‌ වන මිනමාටා ප්‍රදේශයේ 1950 දශකයේ දී නිරාවරණය වූ රසදිය දූෂණයකින් මිනිසුන්ට විශාල ආකාරයේ සෞඛ්‍ය බලපෑම් ඇති විය. එය රසදිය නිසා ඇති වන ගැටලු පිළිබඳව අවධානය යොමු වීමට මුල් වූ සිදු වීමකි. රසදිය නිසා ඇති වන පාරිසරික හා සෞඛ්‍ය ගැටලු ඉතා බරපතළ තත්ත්වයේ ඒවා ය. එසේ ම අප භාවිත කරන විවිධ ද්‍රව්‍ය රාශියක විවිධ ප්‍රමාණවලින් රසදිය අන්තර්ගත වන නිසා මේ තත්ත්වය නො තකා හළ නොහැකි ය. මෙවැනි ද්‍රව්‍ය අතර වෛද්‍ය උපකරණ, විදුලි උපකරණ, සිමෙන්ති හා ගල් අඟුරු වැනි ද්‍රව්‍ය ද තිබේ.

රසදිය පරිසර දූෂණය පාලනය


අධික ලෙස විෂ සහිත රසායන ද්‍රව්‍යයක්‌ වන රසදිය පරිසරයට එක්‌ වීම පාලනය කිරීමෙන් රසදිය ම`ගින් ඇති වන පරිසර දූෂණය පාලනය කිරීම මේ සම්මුතියේ අරමුණ වේ. මේ අනුව විවිධ නිෂ්පාදන, සැකසුම් ක්‍රියාවලි හා කර්මාන්ත අංශයේ භාවිතයට ගැනෙන හා එහි දී මුදාහරින හා විමෝචනය වන රසදිය ප්‍රමාණය පාලනය කිරීම මෙම`ගින් අපේක්‌ෂා කරනු ලැබේ. අදාළ සම්මුතිය යටතේ රසදිය කැණීම්, අපනයනය, ආනයනය හා භාවිතයෙන් ඉවත් කරන ලද රසදිය ආරක්‌ෂිත ලෙස ගබඩා කිරීම වැනි කරුණු ද ඇතුළත් වේ. ඒ අනුව රසදිය සැපයුම හා අලෙවිය ද යම් පාලනයකට නතු වන බව පෙනේ.

මේ අනුව 2020 වර්ෂය වන විට පහත සඳහන් වර්ගවල රසදිය ඇතුළත් නිෂ්පාදන නිදපවීම, අපනයනය හා ආනයනය රසදිය ඇතුළත් වීම තහනම් වනු ඇත.

* වෛද්‍ය උපකරණවල භාවිත වන ඉතා කුඩා Button cell වර්ගයේ බැටරි හැර අනෙක්‌ බැටරි

* ස්‌විච හා පිළියවන වැනි උපකරණ

* ඇතැම් සංගෘහිත ප්‍රතිදීපන පහන් (CFL බල්බ) වර්ග

* සබන් හා වෙනත් සුවඳ විළවුන් වැනි ද්‍රව්‍ය

* ඇතැම් වර්ගවල වෛද්‍ය උෂ්ණත්වමාන හා රුධිර පීඩනමාන

කෙසේ වෙතත් මේ වන විට වෙනත් විකල්ප දියුණු කර නොමැති ඇතැම් උපකරණවල රසදිය භාවිත කිරීමට අවසර ලැබේ. දත් පිරවීම සඳහා රසදිය යොදාගැනීමට අඩු කිරීමට නියමිත ය.

මෑත කාලයේ දී විශාල ලෙස රසදිය භාවිත කිරීමට හේතු වූ සුළු පරිමාණයේ රන් කැණීම් සිදු වන රටවල් තම රටවල එය අඩු කිරීම හා අවසන් කිරීම සඳහා වූ වැඩසටහන් සැකසීමට මේ සම්මුතිය ක්‍රියාත්මක වී වසර තුනක්‌ ඇතුළත සැලසුම් සකස්‌ කළ යුතු ය. රසදිය නිකුත් කරනු ලබන කර්මාන්තවල හා ගල් අඟුරු බලාගාරවලට ද මේ අනුව සීමා පැනවේ. ඒ අනුව මේ වන විට යොදාගන්නා තාක්‌ෂණික ක්‍රම දියුණු කිරීමෙන් විමෝචන අඩු කිරීමට අපේක්‌ෂා කරනු ලැබේ.

සම්මුතියේ ඉදිරි කටයුතු

මිනමාටා සම්මුතිය ලබන ඔක්‌තෝබර් මාසයේ දී ජපානයේ පැවැත්වෙන විශේෂ සමුළුවක දී රටවල නියෝජිතයන්ට අත්සන් කිරීම පිණිස ඉදිරිපත් කිරීමට නියමිත ය. එය බලාත්මක තත්ත්වයට පත් වීමට වසර තුනත් පහත් අතර කාලයක්‌ ගත වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලබන අතර ඒ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා අවශ්‍ය අරමුදල් සැපයීමට රටවල් කිහිපයක්‌ පොරොන්දු වී තිබේ. සම්මුතිය ක්‍රියාත්මක වන විට දියුණු වන රටවලට අවශ්‍ය සහයෝගය සැපයීම සඳහා ජගත් පරිසර පහසුකම ඔස්‌සේ වැඩපිළිවෙළක්‌ සකස්‌ කිරීමට නියමිත ය.

මිනිසුන්ට හා පරිසරයට හානිකර විය හැකි රසදිය වැනි අනතුරුදායක ද්‍රව්‍යයක්‌ පාලනය කිරීමට මෙවැනි සම්මුතියක්‌ ඇති කර ගැනීම එක්‌තරා ආකාරයකට ජයග්‍රහණයකි. කෙසේ වෙතත් රසදිය යනු ජෛව සාන්ද්‍රණයට ලක්‌ වන මූලද්‍රව්‍යයක්‌ වන නිසා මේ ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් ක්‌ෂණිකව පරිසරයේ ඇති රසදිය ඉවත් වී ආරක්‌ෂිත තත්ත්වයක්‌ ඇති වෙතැයි සිතීම අසීරු ය. එහෙත් මෙය යහපත් මූලාරම්භයකි. මෙය නිසි ආකාරයෙන් ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන එක්‌ කරුණක්‌ වන්නේ සැම රටක ම කැප වීමයි. මොන්ටි්‍රයල් සන්ධානය වැනි ඇතැම් සන්ධාන සඳහා ලැබුණු සුබවාදී සහයෝගය මෙයට ද ලැබෙතැයි අපි අපේක්‌ෂා කරමු.

ප්‍රමුඛ පුවත
ජගත් මට්‌ටමේ ජෛවවිවිධත්ව නිරීක්‌ෂණ පද්ධතියක්‌


ජෛවවිවිධත්ව සංරක්‌ෂණය, පරිසරය පිළිබඳ මාතෘකා අතර වැදගත් කොට සලකන කරුණකි. ඒ නිසා පරිසර පද්ධතිවලට මෙන්ම මානව යහ පැවැත්ම සඳහා ද ඇති විය හැකි බලපෑම පිළිබඳව බොහෝ දේ ලියෑවී තිබේ. මේ ජෛවවිවිධත්වයේ ඇති වන වෙනස්‌කම් හා අහිමි වීම පිළිබඳව ඇති දැනුමෙහි යම් යම් අඩුපාඩු හා හිදැස්‌ පවතී. ජෛවවිවිධත්වය මානනය කිරීමේ හා වාර්තා කිරීම සඳහා වූ ජගත් මට්‌ටමේ ක්‍රමවත් පද්ධතියක්‌ නොමැති වීම මේ සඳහා හේතුව බව විද්‍යාඥයන් ගේ අදහස ය. නිදසුනක්‌ ලෙස ගත හොත් ආක්‍රමණික ජීවීන් පිළිබඳව ප්‍රමාණවත් තොරතුරු ඇත්තේ රටවල් අතරින් 11%ක්‌ තරම් අඩු ප්‍රමාණයක පමණි. එසේ ම වනාන්තර සහතික කිරීමේ ක්‍රියාවලිය ප්‍රචලිත ව ඇතත් නීතිවිරෝධී ලෙස සිදු වන දැව අලෙවිය සැලකිය යුතු තරම් විශාල ය. මෙවැනි කරුණු පිළිබඳව ප්‍රමාණවත් තරම් දැනුමක්‌ ලෝකයට නොමැත.

පසුගිය දා ප්‍රකාශයට පත් ලිපියක්‌ මගින් විද්‍යාඥයෝ පිරිසක්‌ මේ අඩුව පිරවීම සඳහා නව යෝජනාවක්‌ ඉදිරිපත් කර සිටිය හ. මෙහි දී 'අත්‍යවශ්‍ය ජෛවවිවිධත්ව විචල්‍යයන්' (essential
biodiversity variables&) ලෙස හඳුන්වනු ලබන සාධක කිහිපයක්‌ යොදාගනිමින් ජෛවවිවිධත්ව නිරීක්‌ෂණ පද්ධතියක්‌ ගොඩනැ`ගීමට යෝජනා කෙරිණි. ජෛවවිවිධත්වය අහිමි වීම නිවැරැදි ආකාරයෙන් වාර්තා කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධක වන මේවා අතර වල්, භෝග හා ගෘහාශ්‍රිත ආදි ජෛවවිවිධත්වයේ ඇති ප්‍රවේණික විවිධත්වය, ඇතැම් ජීවී කාණ්‌ඩවල ගහන සුලබතාව, වාසස්‌ථානවල ව්‍යාප්තිය හා ත්‍රිමාන ව්‍යුහය හා සංවේදී පරිසර පද්ධතිවල පෝෂක භාවිතය හැකි කරුණු ඇතුළත් වේ. ජගත් මට්‌ටමින් මේවා මානනය කිරීමෙන් ජෛවවිවිධත්වය අහිමි වීම පිළිබඳව යම් අදහසක්‌ ලබාගත හැකි බව පෙනේ. එහෙත් එවැන්නක්‌ ක්‍රියාත්මක වීමට නම් ජගත් මට්‌ටමෙන් එය මනාව සම්බන්ධීකරණය විය යුතු ය.

මේ ලිපියේ පෙන්වා දී ඇති ආකාරයට ජෛවවිවිධත්වය පිළිබඳ දැනුමේ වැඩි හිදැසක්‌ පවතින්නේ දියුණු වන රටවල ය. එසේ ම වැඩි පාරිසරික තර්ජනයක්‌ පවත්නා කලාපවල ද එවැනි තත්ත්වයක්‌ ඇති අතර දියුණු වන රටවල් විසින් මේ තර්ජනය සඳහා සැලකිය යුතු දායකත්වයක්‌ සපයනු ලබයි. මේ වන විට දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මෙවැනි සම්බන්ධීකරණය කරන ලද ජගත් මට්‌ටමේ නිරීක්‌ෂණ පද්ධතියක්‌ තිබේ. (මූලාශ්‍රයScience, DOI: 10.1126/science.1229931)

පුවත් සැකෙවින්
2012 වර්ෂය උණුසුම අධිකතම වර්ෂ අතර

වඩාත් නිවැරැදි ලෙස උෂ්ණත්වය මැනීම ආරම්භ වූ 1880 වර්ෂයෙන් පසුව ගත වූ කාලය ඇතුළත වාර්තා වූ උණුසුමෙන් අධිකතම වර්ෂ දහය අතර 2012 වර්ෂය ද ඇති බව ඇමෙරිකානු පර්යේෂණායතන දෙකක ම වාර්තා අනුව පෙනේ.

ජාතික ගගන හා අභ්‍යවකාශ පරිපාලනය (NASA) පෙන්වා දෙන ආකාරයට උෂ්ණත්වය අනුව 2012 වර්ෂය නව වැනි තැනට එන අතර ජාතික සාගර හා වායුගෝලීය පරිපාලනය (NOAA) අනුව ඊට දස වැනි තැන හිමි වේ. භASA ආයතනයේ ගණනය කිරීම් අනුව 2012 දී ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වය විසි වැනි සියවසේ මධ්‍ය භාගයේ පැවැති අගයට වඩා අංශක 0.6ක්‌ අධික ය. NOAA ආයතනයේ දත්ත අනුව විසිවැනි සියවසේ පැවැති සාමාන්‍ය උෂ්ණත්වයට වඩා එය සෙල්සියස්‌ අංශක 0.57කින් ඉහළ ය. මේ වෙනසට හේතු වන්නේ විශ්ලේෂණයේ ඇති වෙනස්‌කම් බව පෙනේ.

කෙසේ වෙතත් ගත වූ වර්ෂය තුළ පැවැති ලා නිනා තත්ත්වය නිසා සාමාන්‍ය උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් අඩු වී ඇත. එසේ නොමැති වූයේ නම් ලෝකයේ උෂ්ණත්වය මීටත් වඩා ඉහළ යා හැකි ව තිබිණි. එහෙත් ඉන් පැවසෙන්නේ ලෝකය සිසිල් වෙමින් ඇති බවක්‌ නම් නො වේ. 2000 වර්ෂයෙන් පසුව ගත වී ඇති වර්ෂ 12 ම ලෝකයේ 1880 වර්ෂයෙන් පසු වාර්තා වී ඇති වඩාත් උණුසුම් වර්ෂ 14 තුළ තිබීම ලෝකයේ උෂ්ණත්වය අඛණ්‌ඩව ඉහළ යමින් ඇති බවට ඇති සාධකයකි. ලා නිනා තත්ත්වය වැනි හේතු නිසා මෙවැනි සාපේක්‌ෂව සිසිල් කාල වකවානු තිබිය හැකි ය.

වායු දූෂණය වැඩි නම් ජනතාව අසතුටින්

වායු දූෂණය සහ ජනතාව ගේ සතුට අතර කිසියම් සම්බන්ධයක්‌ ඇති බව මෑතක දී ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් පෙන්වා දී තිබේ. සරලව පවසන්නේ නම්, වායු දූෂණය නිසා ජනතාව අතර අසතුටක්‌ ඇති වන අතර, යම් රටක ජනතාව අසතුටින් පසු වන්නේ නම්, ඒ රටේ වැඩි වායු දූෂණයක්‌ ඇති බව ද පෙනේ. එසේ ම වායු දූෂණය අඩු කිරීමට හැකියාවක්‌ තිබේ නම් එය ජනතාව ගේ සතුට වර්ධනය කිරීමට හේතු වේ.

මේ අධ්‍යයනය සිදු කර ඇත්තේ යුරෝපා රටවල් 14ක දත්ත භාවිත කරමිනි. මෙහි දී ඒ රටවල වායු දූෂණ වාර්තා භාවිත කර ඇති අතර සමස්‌ත පරිසර දූෂණයේ තරම පෙන්වා දෙන සාධකයක්‌ ලෙස, ඒක පුද්ගල කාබන් ඩයොක්‌සයිඩ් විමෝචන ප්‍රමාණය යොදාගෙන ඇත. ජනතාව ගේ සතුට පිළිබඳව තීරණය කර ඇත්තේ සමීක්‌ෂණ දත්ත මගිනි. (මූලාශ්‍රයInternational Journal of Green Economics,DOI: 10.1504/IJGE.2012.051492)

ඔස්‌ට්‍රේලියාවේ වාර්තාගත උෂ්ණත්වය හා ලැව් ගිනි

පසුගිය සති කිහිපයක කාලය පුරා ඔස්‌ට්‍රේලියාවේ පැවැති අධික උණුසුම් දේශගුණය ජාත්‍යන්තර පුවත් වාර්තාවල මුල් තැනක්‌ ගෙන තිබිණි. එරට සිඩ්නි නගරයේ මෙතෙක්‌ කලක්‌ වාර්තා වූ වැඩි ම උෂ්ණත්වය පසුගිය දා වාර්තා විය. ඒ සෙල්සියස්‌ අංශක 45.6ක අගයක්‌ වන අතර ඇතැම් ප්‍රදේශවල මීටත් වඩා අධික උෂ්ණත්වයක්‌ වාර්තා කර ඇත. මේ වන විට සෙල්සියස්‌ අංශක 50ක්‌ ඉක්‌මවූ අගයක්‌ දැක්‌වීමට හැකි ලෙස එරට උෂ්ණත්ව වක්‍රයට නව වර්ණ සංකේත එක්‌ කර සංශෝධනය කර තිබේ.

එරට ඇතැම් ප්‍රදේශවල පැවැති අධික උෂ්ණත්වය නිසා දකුණුදිග ඔස්‌ට්‍රේලියාවේ හා තස්‌මේනියාවේ විශාල ප්‍රදේශයක ලැව් ගිනි ඇති විය. එය වනාන්තරවලට, නිවාස හා මහාමාර්ග වැනි යටිතල පහසුකම්වලට හානිකර වී ඇති අතර ජනතාව ගේ සෞඛ්‍යයට ද යම් යම් ගැටලු පැන නැ`ගුණු බව වාර්තාවල සඳහන් විය.

http://www.vidusara.com/2013/01/23/feature2.html

ජගත් පරිසර විමසුම 157 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-16, පි. 11
http://www.vidusara.com/2013/01/16/feature4.html

විමසුම - ආහාර නාස්‌තියේ තරම
ප්‍රමුඛ පුවත- රසදිය විමෝචන තර්ජනය ඉහළට
පුවත් සැකෙවින් - උණුසුමට ඔරොත්තු දෙන කොරල් විශේෂ නව බලාපොරොත්තුවක්‌  ගංගා ලවණීකරණය පාරිසරික අර්බුදයකි/ රයිනෝ ඝාතන වාර්තාගත මට්‌ටමක


විමසුම
ආහාර නාස්‌තියේ තරම

ආහාර නාස්‌තිය සාකච්ඡාවට ලක්‌ කළ යුතු වැදගත් ප්‍රශ්නයක්‌ බවට සැකයක්‌ නොමැත. ලෝකයේ ඇතැම් රටවල ජනතාව ප්‍රමාණවත් තරම් ආහාර නොමැතිකම හෝ මන්දපෝෂණය පිළිබඳ ගැටලුවලට මුහුණ දී ඇති අතර තවත් රටවල බරපතළ තත්ත්වයේ ආහාර නාස්‌තියක්‌ දැකිය හැකි ය. ඇතැම් විට මේ ආහාර නාස්‌තිය සිදු වන රටවල හා සමාජයේ එය එතරම් ගැටලුවක්‌ සේ නො දැකීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. එය ඔවුන් ගේ ජීවන රටාවේ එක්‌ පියවරක්‌ පමණකි.

ලෝකයේ සිදු වන ආහාර නාස්‌තිය අප සිතා සිටිනවාට වඩා බරපතළ වූවක්‌ බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ වාර්තාවකින් පෙන්වා දී තිබේ. බ්‍රිතාන්‍යයේ කාර්මික ඉංජිනේරුවන් ගේ ආයතනය මගින් නිකුත් කර ඇති මේ වාර්තාව පිළිබඳව සාකච්ඡා කිරීමට අප මේ සතියේ විමසුම වෙන් කළේ මේ ගැටලුවේ තරම අප ද අවබෝධ කරගැනීම වැදගත් වන නිසා ය.

ආහාර නිෂ්පාදනයෙන් අඩක්‌ පමණ නාස්‌ති වේ

ජගත් මට්‌ටමේ වාර්තාවකට අනුව ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාරවලින් සියයට 30ත් 50ත් අර ප්‍රමාණයක්‌ මිනිස්‌ ආහාරයට නො ගැනී ම අපතේ යයි. මෙය ප්‍රමාණාත්මකව ගන්නේ නම් ලෝකයේ වාර්ෂිකව නිපදවනු ලබන ආහාර ප්‍රමාණය වන ටොන් බිලියන 4ක්‌ අතරින් ප්‍රමාණයෙන් ටොන් බිලියන 1.2ත් 2ත් අතර ප්‍රමාණයක්‌ වේ. මෙය බරපතළ තත්ත්වයක්‌ බව ඉතා පැහැදිලි ය.

එසේ ම මේ අප දකින්නේ සිදු වන ආහාර නාස්‌තිය පමණකි. මේ ආහාර නිපදවීම සඳහා යොදාගෙන ඇති අනෙක්‌ සම්පත් ප්‍රමාණය මෙහි දී අපේ අවධානයට ලක්‌ නො වේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ ආහාර නිපදවීමේ දී යොදාගෙන ඇති භූමිය, ජලය, පොහොර හා වෙනත් රසායන ද්‍රව්‍ය හා බලශක්‌තිය වැනි සම්පත් මෙහි දී අවධානයට ලක්‌ නො වේ. ඒ සියල්ල සලකන විට අපට මේ ආහාර නාස්‌තියේ තරම සු`ඵපටු නො වන බව පෙනේ.

නාස්‌තියට හේතු හා එය වළක්‌වාලීම

උක්‌ත ආහාර හි`ගයට අදාළ හේතු වන කරුණු ගණනාවක්‌ ද දක්‌වා තිබේ. ඒ අතර අස්‌වනු නෙළීමේ දී ඇති වන හානිය, ගබඩා කිරීමේ පහසුකම් ප්‍රමාණවත් නො වීම හා එහි ඇති ගැටලු නිසා ආහාර අපතේ යැම, ප්‍රවාහන පහසුකම් ආශ්‍රිත ගැටලු මෙන්ම වෙළෙඳපොළේ දී හා පාරිභෝගිකයන් අතින් සිදු වන ආහාර නාස්‌තිය මේ සාධක අතර වේ.

මේ සාධක ලෝකයේ විවිධ රටවල විවිධ ආකාරයෙන් බලපායි. නිදසුනක්‌ ලෙස ගත හොත්, සංවර්ධනය වෙමින් ඇති රටවල ආහාර නාස්‌තිය වැඩි වශයෙන් සිදු වන්නේ ආහාර සැපයුම් දාමයේ පහළින් ම ඇති නිෂ්පාදකයා ගේ මට්‌ටමේ දී ය. එනම් ගොවියා ගේ මට්‌ටමේ දී ය. රටක සංවර්ධනය ඉහළ මට්‌ටමකට ළ`ගා වන විට ආහාර නාස්‌තිය සිදු වන මට්‌ටම ද ඉහළ යයි. දියුණු රටවල දී මේ දාමයේ ඉහළ ම මට්‌ටමේ පසු වන පාරිභෝගික මට්‌ටමේ දී සැලකිය යුතු ආහාර නාස්‌තියක්‌ දැකිය හැකි ය. රටවල මෙන්ම පාරිභෝගිකයා ගේ ආර්ථික මට්‌ටම ද මීට යම් බලපෑමක්‌ ඇති කරයි. මේ රටවල ඇති පාරිභෝගික රටාව ද මීට බලපෑමක්‌ ඇති කරයි.

මේ ආහාර නාස්‌තිය වළක්‌වාලීම සඳහා ගත යුතු නිර්දේශ කිහිපයක්‌ ද උක්‌ත වාර්තාවේ දක්‌වා තිබේ. දියුණු වන රටවලට අවශ්‍ය ඉංජිනේරු දැනුම ලබා දීම මේ අතර මුල්තැනක්‌ ගනියි. මේ රටවල ආහාර නාස්‌තිය වැඩි වශයෙන් සිදු වන්නේ අස්‌වනු ලබාගැනීමේ දී හා පසු අස්‌වනු අවස්‌ථාවේ දී ය. මේ හානිය අවම කරගැනීම සඳහා තාක්‌ෂණය යෙදවීම අවශ්‍ය ය. එසේ ම ප්‍රවාහනයේ දී හා ගබඩා කිරීමේ දී සිදු වන නාස්‌තිය අවම කිරීම සඳහා ද අදාළ රටවල ආණ්‌ඩු මගින් අවශ්‍ය පියවර ගැනීම වැදගත් ය. දියුණු රටවල දී විශේෂයෙන් වැදගත් වන්නේ පාරිභෝගික හා අලෙවි අංශවල සිදු කළ යුතු වෙනස්‌කම් ය. මෙහි දී පාරිභෝගිකයන් විසින් අධික ලෙස මිල දී ගනු ලැබීම නිසා ආහාර අපතේ යැම වැළැක්‌වීම මෙන්ම සිල්ලර අලෙවිකරණයේ දී අපතේ යැම වළක්‌වාලීම ද වැදගත් වේ. මේ සඳහා අවශ්‍ය ආකල්පමය වෙනස්‌කම් සිදු කිරීම ද වැදගත් ය. අධි පරිභෝජනය මේ රටවල දැකිය හැකි බරපතළ ගැටලුවක්‌ වේ.

ආහාර නාස්‌තිය වළකාලීමේ වැදගත්කම

මෙසේ නාස්‌ති වන ආහාර මනාව කළමනාකරණය කිරීමෙන් ප්‍රමාණවත් තරම් ආහාර නොමැති වීම නිසා පීඩා විඳින ජනතාවට ද යම් ආහාර සැපයුමක්‌ ලබා දීමට හැකියාව තිබේ. අනෙක්‌ අතට අප දන්නා පරිදි ලෝක ජනගහනය අඛණ්‌ඩව වර්ධනය වෙමින් තිබේ. මේ වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර ලබා දීම අප හමුවේ අභියෝගයක්‌ බව පැහැදිලි ය. විශේෂයෙන් ආහාර නිෂ්පාදනයට සීමාකාරී සාධක ඇති බව පෙනේ. භූමිය හා ජලය මේ අතර මුල් තැනක්‌ ගනියි. වගා කිරීමට යෝග්‍ය භූමි ප්‍රදේශ මේ වන විටත් සීමා වෙමින් පවත්නා අතර කෘෂිකාර්මික ජල සැපයුමේ ද සීමා පවතී.

ලෝකයේ විවිධ ස්‌ථානවල, විවිධ ආකාරයෙන් සිදු වන ආහාර නාස්‌තිය වළක්‌වාලීම හරහා ලෝකයට අවශ්‍ය ආහාර සැපයුමෙන් සැලකිය යුතු කොටසක්‌ ඉතිරි කර ගත හැකි බව පැහැදිලි ය. උක්‌ත වාර්තාවේ දැක්‌වෙන ආකාරයට ආහාර නාස්‌තිය වළක්‌වාලීමෙන් නිෂ්පාදනය 60-100% අතර ප්‍රමාණයකින් ඉහළ නැංවීමට හැකියාව තිබේ. මේ නිසා ආහාර නාස්‌තිය වළක්‌වාලීමේ වැදගත්කම අප අවිවාදයෙන් ම පිළිගත යුතු කරුණක්‌ වන අතර ඒ ගැන අවශ්‍ය පියවර ගැනීම බලධාරීන් ගේ පමණක්‌ නො ව පෞද්ගලික වශයෙන් සියලු දෙනා ගේ ම යුතුකමක්‌ වේ. එය තිරසර සංවර්ධනය සඳහා ද හේතු වන කරුණකි. (මූලාශ්‍රයGlobal Food;Waste Not, Want Not ,www.imeche.org/Libraries/Reports/IMechE_Global_Food_Report.sflb.ashx)

ප්‍රමුඛ පුවත
රසදිය විමෝචන තර්ජනය ඉහළට

පරිසරයට නිකුත් වන රසදිය විමෝචන නිසා මිනිසුන්ට ඇති තර්ජනය ක්‍රමයෙන් ඉහළ යමින් ඇති බව එක්‌සත් ජාතීන් ගේ පරිසර වැඩසටහන (UNEP) විසින් නිකුත් කරන ලද zරසදිය ක්‍රියාකාරී වීමට කාලයයිZ නම් වාර්තාව පෙන්වා දෙයි.

2010 වර්ෂයේ දී වායුගෝලයට නිකුත් වූ රසදිය විමෝචන ප්‍රමාණය ටොන් 1960ක්‌ පමණ බව ගණනය කර ඇත. මේ තත්ත්වයේ දැකිය හැකි වැදගත් ම කරුණ වන්නේ පසුගිය අඩ සියවසක පමණ කාලය ඇතුළත ලෝකයේ රසදිය භාවිතය ක්‍රමයෙන් පහළ යමින් පැවතීමයි. එහෙත් මෑත කාලයේ දී ඇතැම් කලාපවල රසදිය විමෝචන ඉහළ යමින් තිබේ. මෙහි ඇති බරපතළ තත්ත්වය වන්නේ සෞඛ්‍ය හා පාරිසරික අවදානම වැඩි වශයෙන් දැකිය හැක්‌කේ දියුණු වන රටවල බව ය. කලාපීය වශයෙන් ගත හොත් වැඩි ම රසදිය විමෝචනයක්‌ දැකිය හැක්‌කේ අග්නිදිග ආසියානු රටවල ය.

රසදිය විමෝචන ඉහළ යැමට හේතු වී ඇති කරුණු අතර කුඩා පරිමාණයෙන් සිදු වන රන් කැණීම හා ගල් අ`ගුරු දහනය කිරීම ඇතුළත් ය. රන් නිස්‌සාරණයේ දී රසදිය භාවිතයට ගන්නා අතර ගල් අ`ගුරුවල ස්‌වාභාවිකව රසදිය සු`ඵ ප්‍රමාණයක්‌ ඇතුළත් වේ. මේ ආකාර දෙකෙන් ම වායුගෝලයට රසදිය නිකුත් වන අතර මෙසේ පරිසරයට එක්‌ වන රසදිය දිගු කලක්‌ තිස්‌සේ පරිසරයේ රැඳී පවතී. ජලයේ, වායුගෝලයේ මෙන්ම පසේ ද, ජීවීන් ගේ දේහවල ද පවත්නා රසදිය මගින් විවිධ බලපෑම් ඇති විය හැකි ය.

කුඩා පරිමානයේ රන් කැණීම් කටයුතු 2005 සිට මේ දක්‌වා කාලයේ දී දෙගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. ඒ රන් සඳහා ඇති අධික ඉල්ලුම නිසා ය. මෙය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. රසදිය නොමැති හා රසදිය අඩු වශයෙන් යොදාගන්නා රන් නිස්‌සාරණ ක්‍රම ඇතත් ඒවා භාවිතයේ සීමා පවතී. අනෙක්‌ අතට ගල් අ`ගුරුවල රසදිය ඇතුළත් වන්නේ සු`ඵ වශයෙන් වුව ද වැඩි ගල් අ`ගුරු ප්‍රමාණයක්‌ දහනය කිරීම නිසා රසදිය පරිසරයට එක්‌ වන ප්‍රභවයක්‌ ලෙස ගල් අ`ගුරු වැදගත් වේ.

රසදිය නිසා මිනිසුන්ට ඇති විය හැකි සෞඛ්‍ය බලපෑම් බරපතළ වන බැවින් රසදිය මිනිසුන්ට දැඩි ලෙස විෂ සහිත සේ සැලකේ. රසදිය සඳහා ඇති ඉල්ලුම 2015 වර්ෂය වන විට සීමා කිරීම සඳහා වූ ජාත්‍යන්තර ප්‍රයත්නයක්‌ දියත් කර ඇති අතර එහි සාකච්ඡා වටයක්‌ මේ සතියේ ස්‌විට්‌සර්ලන්තයේ දී ආරම්භ වීමට නියමිත විය. (මූලාශ්‍රයMercury: Time to act,www.unep.org/PDF/PressReleases/Mercury_TimeToAct.pdf)


පුවත් සැකෙවින්

උණුසුමට ඔරොත්තු දෙන කොරල් විශේෂ නව බලාපොරොත්තුවක්‌

කොරල් පර, වර්තමාන දේශගුණ වෙනස්‌ වීම හමුවේ දැඩි අවදානමකට මුහුණ දී ඇති පරිසර පද්ධතියකි. එහෙත් මේ කොරල් පර ආශ්‍රිතව උෂ්ණත්වයට ඔරොත්තු දෙන කොරල් විශේෂ ද හමු වන බව මෑත දී හෙළි වී තිබේ. ලෝකයේ විවිධ ජීවී විශේෂ උෂ්ණත්වයක්‌ සහිත පරිසරයකට අනුහුරු වීමට අදාළ වන ජෛවීය ප්‍රවේණික යාන්ත්‍රණය පිළිබඳව අවබෝධයක්‌ ලබා ගැනීම සඳහා අදාළ කොරල් විශේෂ වැදගත් බව පර්යේෂණයකින් යෝජනා කර ඇත. එය සංරක්‌ෂණය සඳහා ද වැදගත් විය හැකි ය.

එපමණක්‌ නො ව මෙවැනි ඔරොත්තු දීමක්‌ දක්‌වන කොරල් විශේෂ හා ඔවුන් හමු වන ප්‍රදේශ පිළිබඳ ප්‍රාමාණික අවබෝධයක්‌ පවතී නම් ඒ විශේෂ ආරක්‌ෂා කිරීමට යම් පියවරක්‌ ගැනීමට හැකියාව තිබේ.

කෙසේ වෙතත් මේ පුවත තුළින් පැහැදිලි වන කරුණක්‌ වන්නේ ඇතැම් ජීවී විශේෂවල පැවැත්ම පමණක්‌ තීරණය කිරීමට මේ ව්‍යසනයට මුල් පෑදූ මිනිසාට ම සිදු වන බවක්‌ ද? එය මෙහි ඇති වැදගත් කරුණකි. (මූලාශ්‍රයProceedings of the National Academy ofSciences, DOI: 10.1073/pnas.1210224110)


ගංගා ලවණීකරණය පාරිසරික අර්බුදයකි

ගංගා ලවණීකරණයට ලක්‌ වීම ලෝකයේ රටවල් රැසකට තර්ජනයක්‌ බව විද්‍යාත්මක සමාලෝචනයකින් පෙන්වා දී තිබේ. එය පාරිසරික වශයෙන් හා ආර්ථික වශයෙන් දැඩි බලපෑමක්‌ ඇති කරන අතර, මානව සෞඛ්‍යයට ද සැලකිය යුතු තරමේ අවදානමක්‌ ඇති කළ හැකි ය. මිරිදියේ වාසය කරන ජීවීන්ට ඔරොත්තු දිය හැක්‌කේ සීමිත ලවණතාවකට පමණක්‌ වන නිසා, අධික ලවණතාව පරිසර පද්ධතිවලට යම් බලපෑමක්‌ කළ හැකි ය.

ගංගා පරිසර පද්ධතිවල ලවණතාව ඉහළ යැම සඳහා ස්‌වාභාවික සාධක මෙන්ම මානව ක්‍රියාකාරකම් ද හේතු වීමට හැකියාව තිබේ. මේ මානව කටයුතු අතර ගෘහාශ්‍රිත හා කාර්මික අපද්‍රව්‍ය මුදාහැරීම මෙන්ම කැණීම්, කෘෂිකාර්මික හා ගොවිපොළ අපද්‍රව්‍ය පරිසරයට එක්‌ වීම වැනි කරුණු ප්‍රධාන ය. මේ මානව කටයුතු පාලනය කිරීමට ගෙන ඇති පියවර ප්‍රමාණවත් නො වේ.

මේ තත්ත්වය අනාගතයේ දී තවදුරටත් වර්ධනය විය හැකි ය. ඒ සඳහා දේශගුණ වෙනස්‌ වීම සහ ජල පරිභෝජනය ඉහළ යැම වැනි කරුණුවල බලපෑම ද හේතු වේ. මේ පාරිසරික ගැටලුව හා එහි බලපෑම් පිළිබඳව හා එය පාලනය කළ හැකි ආකාරය ගැන අනාගතයේ දී වැඩි අවධානයක්‌ යොමු විය යුතු බව මේ අධ්‍යයනය ම`ගින් පෙන්වා දී ඇත. සාර්ථක ලෙස ගංගාවල ලවණතාව පාලනය කළ අවස්‌ථා කිහිපයක්‌ ද මෙහි දක්‌වා තිබේ. (මූලාශ්‍රයEnvironmental Pollution, DOI:10.1016/j.envpol.2012.10.011)


රයිනෝ ඝාතන වාර්තාගත මට්‌ටමක

දකුණු අප්‍රිකාවේ රයිනෝසිරස්‌ සතුන් මරාදැමීම පසුගිය වර්ෂයේ දී වාර්තාගත මට්‌ටමකට ඉහළ ගොස්‌ ඇති බව එරට රජයේ වාර්තා මත පදනම් වූ පුවත් වාර්තාවලින් පෙන්වා දී තිබේ. 2012 වර්ෂයේ දී අං ලබාගැනීම සඳහා මරා දමන ලද සතුන් ගණන 668ක්‌ පමණ වේ. එය ඊට පෙර වර්ෂයේ දී මරා දමන ලද සතුන් ප්‍රමාණය මෙන් 50%ක ඉහළ යැමකි.

මේ ගැටලුවේ තරම පෙනෙන්නේ 2007 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ දී මරා දමනු ලැබ ඇත්තේ රයිනෝ සතුන් 13ක්‌ තරම් අඩු ගණනක්‌ වීම නිසා ය. අප්‍රිකානු රටවල මෑත කාලයේ දී රයිනෝ සතුන් මරාදැමීම ඉහළ ගොස්‌ තිබේ. ඊට හේතුව අග්නිදිග ආසියානු රටවල පාරම්පරික ඖෂධ නිෂ්පාදනයේ දී රයිනෝ අං සඳහා ඉහළ ඉල්ලුමක්‌ පැවතීම ය. රයිනෝ අං කිලෝග්‍රෑම් එකක්‌ ඩොලර් 65,000ක්‌ තරම් ඉහළ මුදලකට අලෙවි වේ. රයිනෝ සතුන් මරා දැමීම නිසා රයිනෝ ගහනය සැලකිය යුතු අනතුරකට ලක්‌ ව ඇත.

http://www.vidusara.com/2013/01/16/feature4.html

ජගත් පරිසර විමසුම 156 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-09, පි. 11
http://www.vidusara.com/2013/01/09/feature4.html

විමසුම - පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර සම්බන්ධය
ප්‍රමුඛ පුවත- දේශගුණ වෙනස්‌ වීමට විසඳුම් සෙවීමේ දී දේශපාලන අවශ්‍යතාව වැදගත්
පුවත් සැකෙවින් - තොරතුරු තාක්‌ෂණයේ විමෝචන අඩු කිරීම / පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම්/ බ්‍රිතාන්‍යයේ දෙවැනි වැඩි ම වැස්‌ස 2012 දී

විමසුම
පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර සම්බන්ධය

පාකින්සන් රෝගය මේ වන විට අපට එතරම් නුහුරු වූ වදනක්‌ නම් නො වේ. චලන රෝග ගණයට වැටෙන මේ රෝගය ඇති වන්නේ මොළයේ ඇතැම් කොටස්‌වල රසායන ද්‍රව්‍ය අඩු වීම නිසා හෝ ස්‌නායු විනාශ වීම නිසා ය. ස්‌නායු පද්ධතිය ආශ්‍රිත රෝගයක්‌ වන මේ රෝගයට ලක්‌ වූවන් ගේ චාලක කටයුතු හා කථනය වැනි ක්‍රියාකාරිත්වය ක්‍රමයෙන් අඩපණ වීමට ලක්‌ වේ. වැඩි වශයෙන් වියපත් වූවන්ට වැළඳිය හැකි පාකින්සන් රෝගය නිසා අද වන විට ලෝකය පුරා මිනිසුන් මිලියන ගණනක්‌ පීඩා විඳින බව පෙනේ. මේ රෝගය බොහෝ රටවල සෞඛ්‍ය අංශවල වැඩි සැලකිල්ලකට ලක්‌ වීමට එය ද හේතු වී තිබේ.

මේ රෝගය ඇති වීම සඳහා විවිධ කරුණු බලපාන බව පෙනේ. ඒ අතර ප්‍රවේණික කරුණු පමණක්‌ නො ව පාරිසරික සාධක ද වන බව මේ වන විට ක්‍රමයෙන් පිළිගැනීමට ලක්‌ වෙමින් තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාකින්සන් රෝගය වර්ධනය වීම සඳහා මේ පාරිසරික සාධක අතරින් පළිබෝධනාශක බලපාන බවට සාධක පසුගිය වසර කිහිපය ඇතුළත ලැබී ඇත. එහෙත් මේ පාරිසරික සාධක පිළිබඳව හා එහි ඇති බලපෑම පිළිබඳව ඇති අවබෝධය හා අවධානය තරමක්‌ අඩු බවක්‌ පෙනේ. අද විමසුම මේ කරුණ පිළිබඳව යොමු කරන්නට අපට සිතුණේ මේ නිසා ය.

පාකින්සන් රෝගය හා පළිබෝධනාශක

මේ දක්‌වා කර ඇති පර්යේෂණ අනුව පාකින්සන් රෝගය ඇති වීමට ඇතැම් පළිබෝධනාශක හේතු විය හැකි ය. 2009 වර්ෂයේ දී පළ වූ අධ්‍යයනයකට අනුව පාකින්සන් රෝගීන් ගේ රුධිරයේ බීටා-හෙක්‌සක්‌ලෝරොසයික්‌ලොහෙක්‌සේන් (beta-HCH) හමු වීම අධික බව හෙළි විය. මේ පළිබෝධනාශකය ඇතුළත් රසායන ද්‍රව්‍ය ඇමෙරිකාවේ තහනම් කර දශක දෙකක්‌ පමණ ඉක්‌මවී ගොස්‌ ඇතත් අදාළ රෝගීන් ගේ තරුණ කාලයේ දී ඒවා අධිකව භාවිත වී තිබේ. එසේ ම, ඉන් අනතුරුව සිදු කර ඇති අධ්‍යයන අනුව තවත් පළිබෝධනාශක වර්ග පාකින්සන් රෝගය හා සම්බන්ධයක්‌ ඇත. 2010 වර්ෂයේ දී පළ වූ අධ්‍යයන වාර්තාවකට අනුව ඇතැම් ඕගනෝක්‌ලොරීන කෘමිනාශකවලට ලක්‌ වීම නිසාත්, ප්‍රවේණික තත්ත්ව හේතු නිසාත් පිරිමින්ට පාකින්සන් රෝගය ඇති වීමේ ඇති හැකියාව ඉහළ යන බව පෙන්වා දී තිබිණි. එසේ ම පැරකොට්‌ (Paraquat) හා රොටෙනොන් (rotenone) යන පළිබෝධනාශකවලින් එකක්‌ භාවිත කළ පුද්ගලයන්ට පාකින්සන් රෝගය වැළඳීමට ඇති හැකියාව දෙගුණයකින් පමණ අධික බව 2011 වර්ෂයේ දී පෙන්වා දී තිබිණි. මනෙබ් (maneb) හා සිරාම් (ziram) නමින් හැඳින්වෙන වර්තමානයේ භාවිත වන පළිබෝධනාශක ද මේ රෝගය හා සම්බන්ධ බව පර්යේෂණවලින් පැහැදිලි වී ඇත.

පළිබෝධනාශක භාවිතයට ගන්නා ගොවිපොළ සේවකයන් අතර පමණක්‌ නො ව එවැනි ප්‍රදේශවල වාසය කළ හා සේවය කර පිරිස්‌ අතර ද රෝගය වර්ධනය වීමට ඉඩ ඇති බව අනාවරණය වී ඇත. ඒ අදාළ රසායනික ද්‍රව්‍ය අංශු සුළං මගින් ශරීරගත වීම නිසා ය. ග්‍රාමීය ජනතාව අතර පාකින්සන් රෝගය ඉහළ මට්‌ටමකින් දැකිය හැකි වීම මීට තවත් සාධකයකි. මෑතක දී ඇමෙරිකාවේ සිදු කරන ලද තවත් අධ්‍යයනයකින් මේ පළිබෝධනාශක ලේඛනයට තවත් සඳහා තවත් සාධක ලැබී තිබේ.

මේ මතයට තවත් සාධක

මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව පාකින්සන් රෝගය හා බෙනෝමිල් නම් තවත් පළිබෝධනාශකයක්‌ අතර සම්බන්ධයක්‌ ඇත. මේ රසායන ද්‍රව්‍යය ඇමෙරිකාවේ වසර තිහකට අධික කාලයක්‌ භාවිත කර ඇති අතර 2001 වර්ෂයේ දී තහනම් කරන ලද්දේ එහි ඇති අහිතකර බලපෑම් අනාවරණය වීමෙන් පසුව ය. මේ බලපෑම් අතර අක්‌මාව, මොළය ආශ්‍රිත ආබාධ ඇති වීම මෙන්ම පිළිකාකාරකයක්‌ ලෙස ක්‍රියා කිරීම ද වේ.

බෙනෝමිල් රසායනය සෛල සම්බන්ධව කළ අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ ඇතැම් නියුරෝන විනාශ කිරීමට බෙනෝමිල් හේතු වන බව ය. දෙවැනි අදියර ලෙස සීබ්‍රා මත්ස්‍යයන් යොදාගනිමින් කළ පර්යේෂණයක දී හෙළි වී ඇත්තේ මේ රසායන ද්‍රව්‍යය අදාළ වර්ගයේ නියුරෝනවලට හානි කරන බව ය. මේ නියුරෝන විනාශ වීම පාකින්සන් රෝගය සඳහා බලපාන බව විශ්වාස කරනු ලැබේ. මෙහි දී බොනෝමිල් ක්‍රියාකරන්නේ ඇල්ඩිහයිඩ් ඩිහයිඩ්‍රජනේස්‌ නම් එන්සයිමය නිශේධනය කිරීම සඳහා බව විශ්වාස කරනු ලැබේ.

මේ සොයාගැනීම පමණක්‌ නො ව පළිබෝධනාශක හා පාකින්සන් රෝගය අතර ඇති සම්බන්ධය පිළිබඳ සෙසු පර්යේෂණ ද මේ රෝගය පාලනය කිරීම සඳහා යොදාගත හැකි බව පැහැදිලි ය. කෙසේ වෙතත් වඩාත් වැදගත් වන්නේ දිගු කාලයක්‌ තිස්‌සේ මිනිසුන් භාවිත කර ඇති පළිබෝධනාශකවල ඇති හානිකර තත්ත්වය තවමත් එතරම් පැහැදිලි නැති බව වටහාගැනීම ය. එසේ ම මේ වන විට භාවිතය තහනම් කර ඇති පළිබෝධනාශකවල බලපෑම තවමත් අප අත්විඳින බව ය. (මූලාශ්‍රයProceedings of the National Academy ofSciences, DOI: 10.1073/pnas.1215473110)

ප්‍රමුඛ පුවත

දේශගුණ වෙනස්‌ වීමට විසඳුම් සෙවීමේ දී දේශපාලන අවශ්‍යතාව වැදගත්

ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක දෙකක ප්‍රමාණයේ පවත්වා ගෙන යැම එහි බරපතළ ප්‍රතිවිපාක වළක්‌වා ලීම සඳහා වැදගත් වන සාධකයක්‌ බව මේ වන විට පිළිගැනීමයි. එහෙත් තවමත් ලෝකය ඒ සඳහා ප්‍රමාණවත් වන තරම් පියවරක්‌ ගෙන නොමැති බව ද ප්‍රකට කරුණකි. මේ ඉලක්‌කය අත්පත් කර ගැනීමට ඇති හැකියාව හා ඊට බලපාන සාධක පිළිබඳව කළ අධ්‍යයනයකින් මේ කරුණ සඳහා බලපාන කරුණු කිහිපයක්‌ හඳුනාගෙන තිබේ. මේවා අවිනිශ්චිතතා ලෙස හැඳින්විය හැකි ය.

මෙහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට, හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා වඩාත් බලපාන්නේ දේශපාලන ක්‍රියාකාරිත්වය පිළිබඳ ගැටලු වේ. එනම්, ලෝකයේ රටවල් දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීමට හේතු වන ආකාරයෙන් කටයුතු කිරීම ආරම්භ කරන්නේ කවර දා පටන් ද යන්න ය. ලෝකයට අවශ්‍ය ව ඇත්තේ මේ ක්‍රියාකාරිත්වයයි. එසේ ම හරිතාගාර වායු විමෝචන සීමා කිරීම ආරම්භ කිරීම, මේ හා බැඳුණු වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කිරීම ආරම්භ කරන්නේ කවර දා පටන් ද යන්න තීරණය වන්නේ මේ දේශපාලනමය කරුණු මත ය. එය ප්‍රමුඛ අවිනිශ්චිතතාව වන්නේ මේ නිසා ය.

දෙවැනි තැනට ගැනෙන වැදගත් කරුණ වන්නේ සමාජයීය අවිනිශ්චිතතා ය. මේ සමාජයීය කරුණු දේශගුණ වෙනස්‌ වීම පාලනය සඳහා බලපාන්නේ ඒවා ලෝක බලශක්‌ති ඉල්ලුම තීරණය කිරීම සඳහා බලපාන බැවිනි. මේ සඳහා අදාළ වන්නේ ජනතාව කෙතරම් දැනුම්වත් වී තිබේ ද යන්න, බලශක්‌තිය පිළිබඳ ඔවුන් ගේ තෝරාගැනීම් කෙබඳු වේ ද යන්න හා බලශක්‌ති කාර්යක්‌ෂ්ම යෙදවුම් පිළිබඳව ඔවුන් කෙතරම් උනන්දුවක්‌ දක්‌වන්නේ ද යන්න වැනි කරුණු වේ. මෙහි දක්‌වා ඇති පරිදි උක්‌ත කරුණු පුනර්ජනනය කළ හැකි බලශක්‌තිය කෙතරම් තිබේ ද යන්නට වඩා වැඩි බලපෑමක්‌ දේශගුණ වෙනස්‌ වීම කෙරෙහි කළ හැකි කරුණකි. එහෙත් මේ කරුණු එතරම් අවධානයකට ලක්‌ ව නොමැති අංශයකි.

මේ අවිනිශ්චිතතා අතර තුන්වැති තැනට එන්නේ තාක්‌ෂණික අවිනිශ්චිතතා ය. මේවා අතර බලශක්‌ති සැපයුම් තාක්‌ෂණය, භූභෞතික කරුණු වැනි සාධක තිබේ. සාමාන්‍යයෙන් මේ පිළිබඳ ඇති අපේක්‌ෂා අධික වුවත්, ඇත්තෙන් ම අනාගත බලශක්‌ති සැපයුම හා අනාගතයේ කාබන් තිර කිරීමේ තාක්‌ෂණය පිළිබඳව අප තවමත් හරිහැටි නො දන්නා බව ඉතා පැහැදිලි ය. (මූලාශ්‍රයNature, DOI: 10.1038/nature11787)පුවත් සැකෙවින්

පුවත් සැකෙවින්
තොරතුරු තාක්‌ෂණයේ විමෝචන අඩු කිරීම

තොරතුරු තාක්‌ෂණය වර්තමාන යුගයේ අත්‍යවශ්‍ය තාක්‌ෂණයකි. අන්තර්ජාලය හා වෙනත් සන්නිවේදන මාධ්‍යවල භාවිතය ජනජීවිතය හා බෙහෙවින් සම්බන්ධ ය. එහෙත් මේ අංශයේ වර්ධනයත් සමඟ එහි පරිසර බලපෑම ද වර්ධනය වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් ලෝකයේ සමස්‌ත හරිතාගාර වායු විමෝචන අතරින් සියයට 2ක්‌ පමණ ප්‍රමාණයක්‌ තොරතුරු තාක්‌ෂණ අංශය නිසා ජනනය වේ. ප්‍රමාණාත්මකව දක්‌වන්නේ නම් එය කාබන් ඩයොක්‌සයිඩ් වායු ටොන් මිලියන 830කට අධික ය. එය සාමාන්‍යයෙන් ගුවන් ප්‍රවාහනයේ වායු විමෝචනය ප්‍රමාණයට සමාන වුවත් එතරම් අවධානයක්‌ මේ පිළිබඳව යොමු වී නොමැත.

තොරතුරු තාක්‌ෂණයේ හරිතාගාර වායු විමෝචන පාලනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධව සිදු කරන ලද ආකෘතික අධ්‍යයනයකට අනුව ඒ සඳහා යොදාගත හැකි කරුණු තුනක්‌ වේ. අදාළ පහසුකම්වල බලශක්‌ති භාවිතය වඩා කාර්යක්‌ෂ්ම කිරීම, බලශක්‌ති කාර්යක්‌ෂමතාව අතින් ඉහළ උපකරණ වඩාත් කාර්යක්‌ෂ්ම ආකාරයෙන් භාවිත කිරීම හා සන්නිවේදන පහසුකම් සපයන ආයතනවල බලශක්‌ති අවශ්‍යතාව සඳහා පුනර්ජනනය කළ හැකි බලශක්‌ති ප්‍රභව භාවිතය මෙහි දී වැදගත් වේ.

තොරතුරු තාක්‌ෂණය ඉතා වේගයෙන් වර්ධනය වන බැවින් මේ පිළිබඳව අදාළ අංශවල අවධානය යොමු වීම වැදගත් ය. 2020 වන විට තොරතරු තාක්‌ෂණ අංශය අද මෙන් දෙගුණයකින් පමණ වර්ධනය වනු ඇතැයි අපේක්‌ෂා කරනු ලැබේ. (මූලාශ්‍රයEnvironmental Science & Technology,DOI: 10.1021/es303384y&)

පොලිතීන් හා ප්ලාස්‌ටික්‌ තහනම් කිරීම්

ප්ලාස්‌ටික්‌ ද්‍රව්‍ය භාවිතය සීමා කිරීම පිළිබඳ නිදසුන් දෙකක්‌ අපට පසුගිය සතියේ අසන්නට ලැබිණි. ඉන් පළමුවැන්න ප්ලාස්‌ටික්‌ බෑග් භාවිතය තහනම් කිරීමට මොරිටානියාව පියවර ගැනීම ය. එහි අරමුණ මේ බෑග් පරිසරයට එක්‌ වීමෙන් ඇති වන පරිසර දූෂණය වළක්‌වා ලීම පමණක්‌ නො වේ. සතුන් ඒවා ආහාරයට ගැනීමෙන් ඔවුන් මිය යැම අවම කිරීම ද එහි ඉලක්‌කයකි. එරට අගනුවර ප්‍රදේශයේ මිය යන ගවයින් හා බැටළුවන් අතරින් 90%ක්‌ පමණ මිය යන්නේ ප්ලාස්‌ටික්‌ බෑග් ශරීරගත වීම නිසා ය.

මේ අතර ලීටරයට වඩා කුඩා ප්‍රමාණයේ පානීය ජලබෝතල් අලෙවි කිරීම තහනම් කිරීමට ඇමෙරිකාවේ මැසචුසෙට්‌ ප්‍රාන්තයේ කොන්කෝඩ් නම් නගරයක්‌ පියවර ගෙන තිබේ. ඒ අපද්‍රව්‍ය අවම කිරීම හා නල ජලය භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා ය. කෙසේ වෙතත් මෙය මෙවැනි තහනමක්‌ ක්‍රියාත්මක කළ පළමු රට නො වන්නේ ඔස්‌ටේ්‍රලියාවේ බුන්ඩනූන් නම් කුඩා නගරයක්‌ 2009 දී බෝතල් කළ ජල බෝතල අලෙවිය සම්පූර්ණයෙන් ම තහනම් කළ නිසා ය.

බ්‍රිතාන්‍යයේ දෙවැනි වැඩි ම වැස්‌ස 2012 දී


බ්‍රිතාන්‍යයේ අධිකතම වර්ෂාවක්‌ පතිත වූ වර්ෂ අතර ගත වූ 2012 වර්ෂයට දෙවැනි තැන හිමි වේ. එය දෙවැනි වන්නේ 2000 වර්ෂයේ පැවැති වර්ෂාපතනයට පමණක්‌ වන අතර, ඒ මිලිමීටර් 6.6ක්‌ පමණ සුළු ප්‍රමාණයකිනි. 2012 වර්ෂයේ එටර පැවැති ආන්තික කාලගුණය හේතුවෙන් ප්‍රදේශ ගණනාවක ගංවතුර ඇති වූ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස හටගත් දේපළ හානිය ද විශාල විය.

සියවසකට අධික කාලයක පුරා පැතිරුණු වර්ෂාපතන දත්ත අනුව, 1960 වර්ෂයෙන් පසු කාලයේ බ්‍රිතාන්‍යයේ පවත්නා අධික වැසි සහිත දින වඩා සුලබ වී ඇති බව පෙන්වා දී තිබේ. මේ අතර වැඩි ම වර්ෂාපතනයක්‌ පැවැති වර්ෂ පහ අතරින් හතරක්‌ ම වසර 2000න් පසුව ඇති වීම විශේෂ සිදුවීමකි. මේ ආකාරයෙන් වැසි අධික වීම ලෝකය පුරා වර්තමානයේ දැකිය හැකි ප්‍රවණතාවක්‌ වේ.

http://www.vidusara.com/2013/01/09/feature4.html

Thursday, January 3, 2013

ජගත් පරිසර විමසුම 155 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2013-01-02, පි. 11
http://www.vidusara.com/2013/01/02/feature4.html


විමසුම - ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සාර්ථකයි
ප්‍රමුඛ පුවත- බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැම දෙගුණයක්‌ වේගවත්
පුවත් සැකෙවින් - ඇමෙරිකාවේ සුළං බලාගාර ඉදි කිරීම වේගවත් වෙලා / ෆුකුෂිමා බලාගාර සමාගමට ඇමෙරිකානු නැවියෝ නඩු පවරති/ ප්‍රතිචක්‍රිකරණයෙන් කාන්තාවන් ඉදිරියෙන්

විමසුම
ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සාර්ථකයි

අපට බොහෝ විට අසන්නට, දකින්නට හා කියවන්නට ලැබෙන්නේ වනජීවීන් හා පරිසරය පිළිබඳව අසුබදායක වූ පුවත් ය. වනජීවීන් තර්ජනයට ලක්‌ වී ඇති බව, වනජීවීන් වඳ වී යැම, වනාන්තර එළි පෙහෙළි කිරීම හා ආරක්‌ෂිත ප්‍රදේශ විනාශයට පත් වීම වැනි සිදුවීම් මේ පුවත් අතර සුලබ වේ. ලෝකයේ සැම රටක ම පාහේ ක්‍රියාත්මක වන විවිධ සංරක්‌ෂණ ප්‍රයත්නවල මූලික අරමුණ වන්නේ මේ තත්ත්වය වළක්‌වා ලීම ය. එවැනි වැඩසටහන්වලින් සාර්ථක ප්‍රතිඵල ලැබීම සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ වැදගත් පුවතක්‌ වෙතත් ඒ සඳහා ලැබෙන්නේ අඩු අවධානයකි.

අද විමසුම ව්‍යාඝ්‍රයන් සංරක්‌ෂණය සඳහා ගෙන ඇති එවැනි සාර්ථක උත්සාහයක ප්‍රතිඵල පිළිබඳව සාකච්ඡා කිරීමට වෙන් වේ.

තර්ජනයට ලක්‌ වූ ව්‍යාඝ්‍රයෝ

ලෝකයේ සීමිත භූමි ප්‍රදේශයක්‌ වාස භූමි කරගත් ව්‍යාඝ්‍රයන් (Panthera tigris) මුහුණපා ඇති තර්ජනය පිළිබඳව ලෝකයේ අවධානය වසර කිහිපයක පටන් යොමු ව තිබේ. ආසියාවේ වාසය කරන මේ සතුන් ගේ වාස භූමිය, වර්ෂ සියයක පමණ කාලයක්‌ ඇතුළත 93%කින් පමණ අඩු වී ඇති අතර විසිවැනි සියවසේ මුල දී ව්‍යාඝ්‍රයන් 100,000ක්‌ පමණ මිහි මත වාසය කළ බව සැලකේ. මේ වන විට ලෝකයේ වාසය කරන මුළු ව්‍යාඝ්‍රයන් ගණන 3,200ක්‌ තරම් බව වනජීවී සංරක්‌ෂණ සංගමය පවසයි. මේ ආකාරයෙන් ව්‍යාඝ්‍ර ගහනය අඩු වීම සඳහා හේතු වූ ප්‍රධාන කරුණු අතර දඩයම් කිරීම නිසා ඇති වී තිබෙන තර්ජනය, ගොදුරු කරගන්නා සතුන් ගේ සංඛ්‍යාව අඩු වීම හා වාසස්‌ථාන විනාශ වීම යන හේතු මූලික වේ.

ව්‍යාඝ්‍රයන් පත් ව ඇති අනතුර තේරුම් ගත් ඔවුන් වාසය කරන රටවල බලධාරීන් හා විවිධ පරිසර සංවිධාන හා ජාත්‍යන්තර සංරක්‌ෂණ ආයතන කඩිනමින් කටයුතු කිරීම මෑත වර්ෂ කිහිපය ඇතුළත දැකිය හැකි විය. මේ පිළිබඳව අප zජගත් පරිසර විමසුමZ ඔස්‌සේ ද වරින්වර සාකච්ඡා කර තිබේ. මේ පිළිබඳව උනන්දුවක්‌ දක්‌වන ජාත්‍යන්තර සංවිධානයක්‌ වන වනජීවී සංරක්‌ෂණ සංගමය (WCS) විසින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනයක්‌ අනුව ව්‍යාඝ්‍ර සංරක්‌ෂණයේ දී ඔවුන් වාසය කරන ප්‍රධාන කලාප තුනක සැලකිය යුතු වර්ධනයක්‌ අත් කරගෙන තිබේ.

සංරක්‌ෂණයේ සාර්ථකත්වය

මෙහි දී ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සම්බන්ධව සාර්ථකත්වයක්‌ දැකිය හැකි භූදර්ශන කලාප තුනක්‌ පිළිබඳව මේ නිවේදනයෙන් පෙන්වා දී තිබේ. ඒ ඉන්දියාවේ, තායිලන්තයේ හා රුසියාවේ ය.

මෙවැනි එක්‌ කලාපයක්‌ වන්නේ දකුණු ඉන්දියාවේ පිහිටා ඇති බටහිර ඝාට්‌ස්‌ කඳු ප්‍රදේශයයි. මේ ප්‍රදේශයේ පසුගිය වසර දහයක පමණ කාලය තුළ කළ අධ්‍යයනවලින් ව්‍යාඝ්‍රයන් 600කට අධික ප්‍රමාණයක්‌ වාසය කරන බව නිශ්චිතව හඳුනාගෙන ඇත. ඒ කැමරා උගුල් මගිනි. එහි ඇතැම් ජාතික උද්‍යානවල දැකිය හැකි ව්‍යාඝ්‍රයන් ගණන එහි වාසය කළ හැකි උපරිම ගණනට ආසන්න වී තිබේ. මෙවැනි ප්‍රදේශවල වාසය කරන තරුණ ව්‍යාඝ්‍රයන් වෙනත් රක්‌ෂිත වනාන්තරවලට සංක්‍රමණය වන ආකාරය ද වාර්තා වී තිබේ. ඒ ආරක්‌ෂිත වන මංපෙත් ඔස්‌සේ ගමන් කිරීමට හැකියාව ලැබී ඇති නිසා ය. මේ ප්‍රදේශය මිනිසුන් මිලියනයක්‌ පමණ පිරිසක්‌ ජීවත් වන ප්‍රදේශයක්‌ වුවත්, එහි දැකිය හැකි ව්‍යාඝ්‍ර ගහනය යහපත් තත්ත්වයකට ගෙන ඒමට හැකියාව ලැබී ඇත. ව්‍යාඝ්‍ර දඩයම පාලනය කිරීම සඳහා දියත් කර ඇති මුර සංචාර දැඩි කිරීම, ව්‍යාඝ්‍ර වාසභූමිවලින් ඈත ප්‍රදේශවල ස්‌වෙච්ඡාවෙන් පදිංචි වීම සඳහා ජනතාව දිරිමත් කිරීම හා සංරක්‌ෂණ ක්‍රියාකාරකම් සඳහා ජනතාව ගේ දායකත්වය ලබාගෙන තිබීම මේ තත්ත්වය සඳහා හේතු වී තිබේ. පැරැණි රක්‌ෂිතවල මෙන්ම, අලුතින් ප්‍රකාශයට පත් කර ඇති රක්‌ෂිත ප්‍රදේශවල වාසය කරන ව්‍යාඝ්‍රයන් හා ඔවුන් ගොදුරු කරගන්නා වනජීවීන් ගේ ගහන මේ වන විට ඉහළ යමින් පවතී.

නීතිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම

තායිලන්තයේ දැකිය හැක්‌කේ ද මේ හා සමාන තත්ත්වයකි. එහි පිහිටි හුවායි කා කයිං නම් වනජීවී අභයභූමියේ වාසය කරන ව්‍යාඝ්‍ර ගහනය යළි යහපත් තත්ත්වයක්‌ තෙක්‌ වර්ධනය වී තිබේ. මෙහි දී ද නීතිය ක්‍රියාත්මක කිරීම හා මුර සංචාර මගින් දඩයම පාලනය කිරීමට අවස්‌ථාව ලැබී ඇත. අදාළ ප්‍රදේශයේ ක්‍රියාත්මක වූ දඩයම්කරුවන් පිරිසක්‌ නීතිය හමුවට ගෙන ඒමත් සමඟ ප්‍රදේශයේ ව්‍යාඝ්‍ර දඩයම ශීඝ්‍රයෙන් පහළ ගොස්‌ තිබීම මීට හේතු වූ බව පෙනේ.

මේ අතර රුසියානු බලධාරීන් ද ව්‍යාඝ්‍ර සංරක්‌ෂණය සඳහා කටයුතු කරන ආකාරය දැකගත හැකි ය. එරට නීතියේ තිබූ අඩුපාඩුවක්‌ පියෑවීම සඳහා අවශ්‍ය සංශෝධන ගෙන ඒමට ඔවුහු මේ වන විට කටයුතු කරමින් සිටිති. ඒ අනුව අවදානමක ලක්‌ ව සිටින සත්ත්ව විශේෂයක්‌ ළඟ තබාගැනීම, අලෙවිය හා ප්‍රවාහනය ඉදිරියේ දී සිවිල් වරදක්‌ නො ව අපරාධයක්‌ වනු ඇත. මෙය ව්‍යාඝ්‍රයන්ට පමණක්‌ නො ව එවැනි වෙනත් සත්ත්ව විශේෂවලට ද අදාළ වන්නකි. එසේ ම නව අභය භූමි ප්‍රකාශයට පත් කිරීම මගින් ව්‍යාඝ්‍ර වාසභූමි ප්‍රමාණය ද වර්ධනය කර තිබේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට ව්‍යාඝ්‍ර සංරක්‌ෂණ කටයුතුවල සාර්ථකත්වයට හේතු වී ඇති කරුණු කිහිපයක්‌ ද මේ සංවිධානය විසින් දක්‌වනු ලැබ ඇත. ඒ අතර නීතිය වඩා හොඳින් ක්‍රියාත්මක වීම, ව්‍යාඝ්‍රයන් සඳහා අතිරේක වාසස්‌ථාන ප්‍රදේශ ආරක්‌ෂා කිරීමට කටයුතු කිරීම හා රජයේ ආයතන වැඩි සහයෝගීතාවකින් කටයුතු කිරීම මේ හේතු අතර වේ. (මූලාශ්‍රය www.wcs.org)

ප්‍රමුඛ පුවත
බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැම දෙගුණයක්‌ වේගවත්

බටහිර ඇන්ටාක්‌ටිකාවේ උෂ්ණත්වය ඉහළ යැමේ වේගය මෙතෙක්‌ පෙන්වා දී තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයක්‌ පමණ වේගවත් බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ පර්යේෂණයකින් හෙළි වී තිබේ.

මේ සඳහා යොදාගෙන ඇත්තේ බටහිර ඇන්ටාක්‌ටිකා අයිස්‌ තට්‌ටුව (WAIS) නමින් හැඳින්වෙන ප්‍රදේශය මධ්‍යයට ආසන්න ව පිහිටා ඇති බයිඩ් නම් ඇමෙරිකානු පර්යේෂණ මධ්‍යස්‌ථානයකින් ලබාගත් උෂ්ණත්ව දත්ත විශේලේෂණයකි. මෙතෙක්‌ අසම්පූර්ණ සේ සැලකුණු මේ දත්ත යොදාගනිමින්, ඒ දත්තවල හිදැස්‌ පිරවීම සඳහා වෙනත් ක්‍රම භාවිත කරමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ. ඒ සඳහා පරිගණක ආකෘති ද යොදාගෙන තිබේ. මේ අනුව 1958 හා 2010 අතර කාලය ඇතුළත මේ ප්‍රදේශයේ සාමාන්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස්‌ අංශක 2.4කින් පමණ ඉහළ ගොස්‌ ඇති බව හෙළි වී ඇත. එය ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්ව ඉහළ යැම මෙන් තෙගුණයක්‌ පමණ වන අතර, අදාළ ප්‍රදේශය ලෝකයේ වේගයෙන් ම උෂ්ණත්වය ඉහළ යන ප්‍රදේශයක්‌ බවට පත් කරයි.

දකුණු අර්ධගෝලයේ ග්‍රීෂ්ම සෘතුව පවත්නා කාලයේ (එනම් දෙසැම්බර් සිට පෙබරවාරි දක්‌වා වූ කාලයේ) පවත්නා උෂ්ණත්වය ද ඉහළ යන බව පළමුවරට මෙහි දී හෙළි වී ඇත. උෂ්ණත්වය අයිස්‌ මිදෙන උෂ්ණත්වයට වඩා ඉහළ නො න`ගින ප්‍රදේශයක්‌ වන මේ කලාපයේ මෙවැනි තත්ත්වයක්‌ මෙතෙක්‌ අපේක්‌ෂා කර නො තිබිණි. ඉන් පෙනෙන්නේ සාගරයේ උෂ්ණත්වය ඉහළ යැම නිසා පමණක්‌ නො ව, මේ කලාපය වායුගෝලයේ බලපෑමෙන් ද උණුසුම් වන බව ය. විශේෂයෙන් සුළං රටාවේ බලපෑම නිසා හා පැසිෆික්‌ සාගර කලාපයේ දේශගුණ තත්ත්වයේ බලපෑම නිසා මේ ආකාරයට උෂ්ණත්වය ඉහළ යැමට හැකියාව ඇති බව යෝජනා කර තිබේ.

වසර පුරා අයිස්‌වලින් වැසී ඇති ප්‍රදේශයක උෂ්ණත්වය ඉහළ ගොස්‌ තිබීම ලෝකයේ උෂ්ණත්වය ඉහළ යන බවට ඇති ප්‍රබල සාධකයකි. ධ්‍රැව ප්‍රදේශවල ඇති වන උෂ්ණත්වය ඉහළ යැම එහි දැකිය හැකි අයිස්‌ දියෑවීමට හේතුවක්‌ වන අතර එය මුහුදු මට්‌ටම ඉහළ යැම සඳහා ද හේතු වන බව මේ වන විට ඉතා පැහැදිලි කරුණකි. (මූලාශ්‍රයNatureGeoscience, DOI: 10.1038/ngeo1671)


පුවත් සැකෙවින්

ඇමෙරිකාවේ සුළං බලාගාර ඉදි කිරීම වේගවත් වෙලා

ඇමෙරිකාවේ සුළං විදුලි බලාගාර ඉදි කිරීම් මෑත කාලයේ දී බෙහෙවින් වේගවත් වී ඇත. ඒ සඳහා හේතු වී ඇත්තේ සුළං බලාගාර පිහිටුවීම සඳහා ලබා දී ඇති බදු සහන 2012 වර්ෂය නිමාවත් සමඟ අවසන් වීමට නියමිත වීම ය. ස්‌වාභාවික වායු බලාගාර තැනීමට වඩා සුළං බලාගාර තැනීම ඉහළ ගොස්‌ ඇති අතර එවැන්නක්‌ සිදු ව ඇත්තේ පළමුවරට ය.

සුළං බලාගාර පිහිටුවීමේ අධික පිරිවැය නිසා ඊට අවශ්‍ය වැඩි ආයෝජනය සඳහා යම්කිසි සහනයක්‌ සැපයීම ලෝකයේ බොහෝ රටවල් සිදු කරයි. එවැනි මූල්‍ය සහන ලබා දීමෙන් පරිසර හිතකාමී බලශක්‌ති ප්‍රභවවල වර්ධනයක්‌ ඇති කළ හැකි ය. ඇමෙරිකාවේ මේ බදු සහන කලක පටන් ක්‍රියාත්මක වී ඇති අතර සහන නො පැවැති කාලවල දී සුළං බලාගාර ඉදි කිරීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇත.


ෆුකුෂිමා බලාගාර සමාගමට ඇමෙරිකානු නැවියෝ නඩු පවරති

2011 වර්ෂයේ දී අනතුරට ලක්‌ වූ ජපානයේ ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරය අයත් සමාගමට එරෙහි ව නඩු පැවරීමට අමෙරිකානු නාවික සෙබළුන් අට දෙනකු කටයුතු කර තිබේ. ඔවුන් පවසන්නේ අදාළ බලාගාරය හිමි ටෝකියෝ විදුලි බල සමාගම (Tepco), පැවැති විකිරණ අවදානම පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රකාශ කළ බවයි. මේ නිසා ඔවුන් අනතුරුදායක ප්‍රදේශවලට ගොස්‌ සහන සැපයීමේ යෙදුණු අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස විකිරණවලට නිරාවරණය වී තිබේ. මේ සෙබළු අදාළ අනතුරට ද හේතු වූ ස්‌වාභාවික අනතුරුවලින් පසු ආපදා සහන සැලසීමේ කටයුතුවල නියෑළි පිරිසක්‌ වෙති.

ඇමෙරිකානු අධිකරණයක පවරා ඇති මේ නඩුවෙන් ඔවුන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වන්දි ගෙවන ලෙස හා ඔවුන් ගේ සෞඛ්‍ය වියදම් පියවීම සඳහා අරමුදලක්‌ පිහිටුවන ලෙස ය. මේ වන විට අදාළ ජපාන සමාගමෙන් වන්දි ඉල්ලා විශාල පිරිසක්‌ ඉල්ලීම් ඉදිරිපත් කර ඇති අතර, මේ වන විට ඩොලර් බිලියන 38ක පමණ වන්දි මුදලක්‌ ගෙවීමට සිදු වෙතැයි ගණන් බලා ඇත.


ප්‍රතිචක්‍රිකරණයෙන් කාන්තාවන් ඉදිරියෙන්

අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීමේ දී එරට පිරිමින්ට වඩා කාන්තාවන් ඉදිරියෙන් සිටින බව බ්‍රිතාන්‍යයේ සිදු කරන ලද සමීක්‌ෂණයකින් අනාවරණය වී තිබේ. තමන් භාවිත කරන ද්‍රව්‍ය අතරින් ප්‍රතිචක්‍රිකරණය කළ හැකි ද්‍රව්‍ය ඒ සඳහා යොමු කිරීමට වැඩි උනන්දුවක්‌ දක්‌වන්නේ කාන්තාවන් ය. ඔවුන් අපද්‍රව්‍ය තේරීම, වෙන් කිරීම වැනි ඊට අදාළ කටයුතුවලට වැඩි කාලයක්‌ ගත කිරීමට සූදානම් ය.

පිරිමින් හා කාන්තාවන් ඇතුළත් සාමාන්‍ය පවුල් අතරින් 79%ක්‌ පමණ තමන් ගේ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය කිරීම සඳහා පියවර ගෙන තිබේ. එහෙත් තනි ව ජීවත් වන පුද්ගලයන් ප්‍රතිචක්‍රිකරණය සඳහා අඩු ම දායකත්වයක්‌ දක්‌වන අය බව මේ සමීක්‌ෂණයේ දී හෙළි වී ඇත. එවැනි කාන්තාවන් අතරින් 69%ක්‌ පමණ අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා යොමු වන නමුත් හුදලාව වෙසෙන පිරිමින් අතරින් ඊට දායක වන්නේ 58%ක්‌ පමණකි.

බ්‍රිතාන්‍යය ප්‍රතිචක්‍රිකරණය කිරීම පිළිබඳ සාධනීය ඉලක්‌කයක්‌ ඇති රටකි. ඒ අනුව 2020 වර්ෂය වන විට එරට ගෘහස්‌ථ අපද්‍රව්‍ය අතරින් 50%ක්‌ පමණ ප්‍රතිචක්‍රිකරණයට ලක්‌ කිරීම එරට ඉලක්‌කයයි. මේ වන විට ඒ අගය 37-42% අතර පවතී. ඒ අනුව මේ තත්ත්වය වර්ධනය කිරීම සඳහා වැඩි වශයෙන් පිරිමින් දැනුවත් කිරීම අවශ්‍ය බව පෙනේ. එසේ ම පරිසරය පිළිබඳ සංවේදීතාව අතින් කාන්තාවන් ඉදිරියෙන් සිටින බවට සාධකයක්‌ සේ මේ සමීක්‌ෂණය ද සැලකිය හැකි ය.

http://www.vidusara.com/2013/01/02/feature4.html

Thursday, December 27, 2012

ජගත් පරිසර විමසුම 154 ( Global Environmental Watch)

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2012-12-26, පි. 11
Not available online
(unedited writeup is reproduced below)

විමසුම - ගල් අඟුරු භාවිතයේ වර්ධනය හා එහි අනාගතය
ප්‍රමුඛ පුවත- මීමැසි ගහන අධ්‍යයනය සඳහා ක‍්‍රමවේදයක්
පුවත් සැකෙවින් - ඇන්ටාක්ටිකාවටත් ආක‍්‍රමණික ජීවීන්ගේ තර්ජනයක් / කොලරාඩෝ නදියේ ජල පහර සිදේ?/ අපේ නිවාස සංවර්ධනයෙන් පක්ෂීන් කබලෙන් ලිපට


විමසුම
ගල් අඟුරු භාවිතයේ වර්ධනය හා එහි අනාගතය

ගල් අඟුරු යනු ලෝකයේ බලශක්ති උත්පාදනය සඳහා යොදාගන්නා ප‍්‍රධානතම ඉන්ධනයකි. වර්තමාන ලෝක සංවර්ධනයේ ආරම්භය සේ සැලකෙන කාර්මික විප්ලවය සඳහාද දායක වූ ඉන්ධනයක් වන ගල් අඟුරු වර්තමානයේදී විදුලි උත්පාදනය සඳහා බොහෝ රටවල භාවිත වේ. කෙසේ වෙතත්, ගල් අඟුරු භාවිතයේදී නිකුත්වන වායු විමෝචන නිසා ඇති වන පරිසර දූෂණය නිසා ගල් අඟුරු භාවිතය අතිශයින් විවාදාපන්නය. විශේෂයෙන් කාබන් ඩයොක්සයිඞ් වායුව හරහා හරිතාගාර ආචරණයට දක්වන දායකත්වය මේ අතරින් කැපී පෙනේ.

පසුගියදා ජාත්‍යන්තර බලශක්ති ආයතනය විසින් නිකුත් කර ඇති වාර්තාවකින් ගල් අඟුරු භාවිතයේ තත්ත්වය හා එහි අනාගත ප‍්‍රවණතා පිළිබඳ යම් අදහසක් ලබාගත හැකිය. මධ්‍ය කාලීන ගල් අඟුරු වෙළෙඳපොළ වාර්තාව (Medium-Term Coal Market Report 2012) නම් මෙය එ් පිළිබඳව වාර්ෂිකව නිකුත් කරනු ලබන වාර්තාවකි. මෑත කාලයේදී ගල් අඟුරු ඉල්ලූම, සැපයුම හා වෙළෙඳාම පිළිබඳව ගැඹුරින් විශ්ලේෂණය කරනු ලබන එය 2017 වර්ෂය තෙක් ගල් අඟුරු භාවිතය පිළිබඳ පුරෝකථනද සපයයි.

ගල් අඟුරු භාවිතය ක‍්‍රමයෙන් ඉහළට

උක්ත වාර්තාවේ දැක්වෙන ආකාරයට ලෝකය පුරා ප‍්‍රාථමික බලශක්ති ප‍්‍රභවයක් ලෙස ගල් අඟුරු භාවිතය මෑත අනාගතයේදී වර්ධනය වන බව සඳහන් වේ. මේ වන විට ලෝක බලශක්ති භාවිතයේ ඇති වන වර්ධනයෙන් අඩක් පමණ ගල් අඟුරු මගින් සැපයේ. 2011 වර්ෂයේ ගල් අඟුරු භාවිතය 4.3%කින් පමණ ඉහළ ගොස් තිබේ.

ගල් අඟුරු භාවිතව පිළිබඳ ජගත් මට්ටමෙන් ප‍්‍රතිපත්තිමය වෙනස්කමක් සිදුනොවුනහොත්, ලෝකයේ බලශක්ති ප‍්‍රභව අතර මුල් තැන තවත් දශකයක් ඇතුළත ගල් අඟුරුවලට හිමි වනු ඇත. දැනට ලොව වැඩිම ප‍්‍රමාණයක් භාවිත වන ඉන්ධන ප‍්‍රභවය ඛනිජතෙල්ය. 2017 වර්ෂයේදී ලෝකයේ අදට වඩා ගල් අඟුරු ටොන් බිලියන 1.2ක් පමණ භාවිත වනු ඇති බව පෙන්වා දී තිබේ. ගල් අඟුරු සැපයුමේ ගැටලූ නොපැවතීම හා සුලභව තිබීම ඊට යම් පමණකින් හේතු වේ. මේ පුරෝකථන කර ඇත්තේ කාබන් තිරකිරීම වැනි වැඩසටහන් 2017 වන විට ආරම්භ වී නොමැති සේ සලකමිනි.

දියුණු හා දියුණු රටවල් අතර වෙනස

එසේම, මේ වාර්තාවේ දැක්වෙන ආකාරයට ගල් අඟුරු භාවිතය වැඩි වශයෙන් ඉහළ යන්නේ දියුණුවන රටවලය. විශේෂයෙන් වේගවත් කාර්මිකකරණයක් දැකිය හැකි රටවල් වන චීනය හා ඉන්දියාව වැනි රටවල් මේ අතර වේ. මේ ප‍්‍රමාණය කෙතරම්ද යත්, 2017 වර්ෂය වන විට ලෝකයේ වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය භාවිත කරන රට චීනය වන අතර, දෙවැනි තැන ඉන්දියාවට හිමිවනු ඇති බව පෙන්වාදී තිබේ. 2017 වර්ෂය වන විට චීනය ලෝකයේ ගල් අඟුරු භාවිතයෙන් අඩකටත් වඩා පරිභෝජනය කරනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
මේ වන විට ලෝකයේ වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය ආනයනය කරන රට චීනය වේ. මෙතෙක් කල් ජපානය ඊට හිමිකම් දැරූ අතර චීනය ඉදිරියට පැමිණියේ පළමුවරටය. එරටේ නිපදවන ගල් අඟුරු ප‍්‍රමාණයට වඩා වැඩි ප‍්‍රමාණයක් මේ වන විට ආනයනය කරනු ලැබේ. එසේම වැඩිම ගල් අඟුරු ප‍්‍රමාණය අපනයනය කරන රට ලෙස ඉන්දුනීසියාව ඔස්ටේ‍්‍රලියාව ඉක්මවා ගොස් තිබේ.

ඇතැම් දියුණුවන රටවල ගල් අඟුරු භාවිතයේ වර්ධනය සඳහා හේතුවී ඇත්තේ වේගවත් සංවර්ධන වැඩසටහන්ය. මේ වර්ධනය වඩා පරිසර හිතකාමී කිරීම අවශ්‍ය බව පෙන්වා දී තිබේ. එහෙත් අදාළ රටවල සංවර්ධනය අඩාල කර නොගෙන ගල් අඟුරු වෙනුවට වෙනත් ඉන්ධන වර්ගයක් යොදාගැනීම අවශ්‍ය බව පෙන්වාදී ඇත.

අනෙක් අතට දියුණු රටවල ගල් අඟුරු පරිභෝජනය තරමක් අඩු වෙමින් තිබේ. ඉල්ලූම අඩුවී ඇති රටක් වන්නේ ඇමරිකාව දැක්විය හැකි වුවත් ඊට හේතුව වී ඇත්තේ ගෑස් සැපයුම ලාබදායකවීමය. ඉදිරි වසර කිහිපයේදීද ඇමරිකාවේ ගල් අඟුරු නිෂ්පාදනය මෙන්ම භාවිතයද අඩු වන බව පෙන්වාදී ඇත. මෑත කාලයේදී යුරෝපා මහාද්වීපයේගල් අඟුරු භාවිතය වර්ධනය වී ඇති අතර ඒ වර්ධනය තවත් කාලයක් පවතිනු ඇති බව අපේක්ෂා කෙරේ.

සමස්තයක් ලෙස මෙය යහපත් තත්ත්වයක් නොවේ. ලාභදායක ඉන්ධනයක් ලෙස ගල් අඟුරු භාවිතය ජනප‍්‍රිය වුයත්, එය හරිතාගාර ආචරණයට දායක වන්නකි. ගල් අඟුරු දහනයෙන් නිකුත්වන කාබන් ඩයොක්සයිඞ් වායු විමෝචන තිර කිරීම පිළිබඳ අවධානයක් තිබුණද ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම අනුව එය තවමත් ප‍්‍රායෝගික නොවන බව පෙනේ. මේ නිසා ලෝකය වෙනත් පරිසර හිතකාමී ඉන්ධන වෙත යොමුවීම වැදගත් බව පැහැදිලිය. එහි යම් වගකීමක් දියුණුවන රටවලටද ඇති බව පෙනේ. (මූලාශ‍්‍රය: Medium-Term Coal Market Report 2012, www.iea.org/w/bookshop/add.aspx?id=436)


ප්‍රමුඛ පුවත
මීමැසි ගහන අධ්‍යයනය සඳහා ක‍්‍රමවේදයක්

මීමැසි ගහන අඩුවීම පිළිබඳ පුවත් හා පර්යේෂණ ලෝකයේ විවිධ ප‍්‍රදේශවලින් වාර්තා වෙමින් පවතී. එය මිනිසුන්ට වඩා වැදගත් වන්නේ මීපැණි සැපයීම අඩුවීමේ අවදානම නිසා නොව, මී මැස්සන් සිදුකරන වැදගත් පාරිසරික සේවාවක් වන පරාගණය නිසාය. මීමැසි ගහන අඩුවීමෙන් පරාගණය අඩු වීමෙන් ලෝක ආහාර සැපයුමට පවා යම් බලපෑමක් විය හැකිය. අනෙක් අතට එවැනි තත්ත්වයක් ලෝකයේ බොහෝ රටවල ආර්ථිකය සඳහාද හානිකර වීමට ඉඩක් තිබේ. එහෙත් මේ පිළිබඳ අනතුරු හැඟවීමක් කළ හැකි අවස්ථාව කවරක්දැයි නිසි ලෙස හඳුනාගෙන නැත.

කෙසේ වෙතත් මීමැස්සන්ගේ ගහන අඩුවීම පිළිබඳ නිසිලෙස අධ්‍යයනය කර නොමැති බව පෙන්වා දෙන පර්යේෂණ වාර්තාවක් මේ පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා යෝග්‍ය ක‍්‍රමවේදයක් ඉදිරිපත් කර ඇත. පසුගියදා පළ වූ උක්ත වාර්තාවට අනුව, මේ සඳහා ප‍්‍රමාණවත් තරම් දත්ත මෙතෙක් අප හමුවේ නොමැත. මේ නිසා සරළ හා ලාබදායක ක‍්‍රමවේදයක් යොදාගනිමින් මීමැස්සන් පිළිබඳව අධ්‍යයනය කළ හැකි ක‍්‍රමයක් යෝජනා කර ඇත. එ් අනුව ලෝකය පුරා ස්ථාන දෙසීයත් දෙසිය පණහත් පමණ ප‍්‍රමාණයක වසර පහක පමණ කාලයක් තිස්සේ මීමැස්සක් ගණනය කිරීම හා හඳුනාගැනීම මගින් අදාළ දත්ත ලබාගත හැකිය. මේ ප‍්‍රමාණය මීමැසි ගහනවල වාර්ෂිකව 2%ත් 5% අතර සුළු අඩුවීමක් පවා තිබේදැයි නිරීක්ෂණය කිරීමට ප‍්‍රමාණවත් වේ. මෙය මීමැසි ගහන අඩුවීම පිළිබඳව සාර්ථකව හා ඉක්මනින් දත්ත ලබාගත හැකි ක‍්‍රමයක් වේ.
 අදාළ වැඩසටහන සඳහා ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් වැය යනු ඇතැයිද මෙහිදී පෙන්වාදී තිබේ. මේ මුදල මීමැස්සන් මගින් සිදුවන පරාගණය නිසා ලැබෙන ඩොලර් බිලියන 200කට අධික වටිනා ආහාර භෝගවල වටිනාකම හා සංසන්දනය කරන විට ඉතා අඩු මුදලකි. ලෝක ආහාර සැපයුමෙන් 35%ක් පමණ ප‍්‍රමාණයක් ප‍්‍රධාන වශයෙන් මීමැස්සන් හා අනෙක් පරාගණකාරකයින්ගෙන් පරාගණය වන භෝගවලින් සැපයේ. මේ නිසා අදාළ පර්යේෂක පිරිස මෙවැනි ජගත් මට්ටමේ අධ්‍යයනයක් ආරම්භ කිරීමේ ඇති වටිනාකම අවධාරණය කරති. මීමැසි පරාගණය ස්වාභාවික පරිසරයේ පැවැත්ම සඳහාද වැදගත් වන බව මෙහිදී අප අමතක නොකළ යුතු කරුණකි. (මූලාශ‍්‍රය: Conservation Biology, DOI: 10.1111/j.1523-1739.2012.01962.x)

පුවත් සැකෙවින්

ඇන්ටාක්ටිකාවටත් ආක‍්‍රමණික ජීවීන්ගේ තර්ජනයක්

ඇන්ටාක්ටිකාව ආක‍්‍රමණික ජීවීන්ගේ ව්‍යාප්තියට ලක්වීමේ අවදානම ගැන විද්‍යාඥයින් විසින් පෙන්වාදී තිබේ. මේ වන විටද එ් පරිසරයේ වෙනස්කම් ඇති කිරීමට සමත් ජීවී විශේෂ දැකිය හැකි බව බි‍්‍රතාන්‍ය පාරිසරික සංගමයේ වාර්ෂික සමුළුවේදී ඔවුන් අනාවරණය කර ඇත. නිදසුනක් ලෙස ගතහොත් මේ වන විට එහි දැකිය හැකි ෑරුඑපදචඑැර් පමරචයහස නම් හෝහපුටු විශේෂයක ක‍්‍රියාකාරිත්වය දක්වා තිබේ.
මේ නිසා අදාළ ප‍්‍රදේශයේ ස්වාභාවිකව දැකිය හැකි ජීවී විශේෂවලට යම් බලපෑමක් ඇති විය හැකිය.

මේ ආකාරයෙන් ආක‍්‍රමණික ජීවී විශේෂ ව්‍යාප්ත වීමට හේතුවී ඇති එක් කරුණක් වන්නේ දිනෙන් දින ඉහළ යන සංචාරකයින් ප‍්‍රමාණයයි. වසරකට තිස්දහසක පමණ සංචාරක පිරිසක් එහි පැමිණෙන අතර විද්‍යාඥයින් පන්දහසක් පමණද වාර්ෂිකව මේ මහාද්වීපයට පැමිණෙති. මේ පිරිස් මගින් හා ඔවුන් පැමිණෙන නැව් මගින් විවිධ ජීවී විශේෂ ඇන්ටාක්ටිකාවට පැමිණිය හැකිය. එ් හේතුවෙන් වසර මිලියන ගණනාවක් තිස්සේ හුදකලාව පැවැති ඇන්ටාක්ටිකාව අනාගතයේ දැඩි අවදානමකට මුහුණ පෑ හැකි බවට සලකුණු මතුව ඇති බව පෙනේ. මේ නිසා ඇතැම් ජීවී විශේෂ වඳවී යාමට පවා ඉඩ තිබේ.

කොලරාඩෝ නදියේ ජල පහර සිදේ?


ඇමරිකාවේ පිහිටා ඇති ප‍්‍රකට කොලරාඩෝ නදියේ ජල මට්ටම ඉදිරි දශක කිහිපයක කාලය ඇතුළත සියයට දහයකින් පමණ අඩුවිය හැකි බව පෙන්වාදී තිබේ. මේ සඳහා බලපාන මූලික හේතුව වී ඇත්තේ දිගුකාලීන හා දරුණු නියඟ තත්ත්වයන්ය. සමස්තයක් ලෙස ඇමරිකාවේ නිරිතදිග ප‍්‍රදේශය ක‍්‍රමයෙන් ශුෂ්ක ස්වභාවයක් ගන්නා බව කලකට ඉහතදී පෙන්වාදී ඇති අතර හරිතාගාර වායු විමෝචන නිසා ඇතිවන උණුසුම් කාලගුණ තත්ත්වය හා වර්ෂාපතන රටාවේ වෙනස්කම් මීට බලපාන ප‍්‍රධාන හේතු අතර වේ. එසේම මේ ප‍්‍රදේශයේ වැඩිවන ජනගහනය හේතුවෙන් ඇතිවන සැලකිය යුතු පිරිසකට ජල හිඟයකට මුහුණදීමට සිදුවනු ඇතැයි ආකෘති භාවිතයෙන් කළ මේ අධ්‍යයනයෙන් පෙන්වාදී තිබේ.

කොලරාඩෝ නදියේ ජලයෙන් මිලියන 40ක පමණ පිරිසක් තම ජල අවශ්‍යතා සම්පූර්ණ කරගනිති. කෘෂිකාර්මික මෙන්ම ගෘහස්ත පරිභෝජනයද මේ අතර වේ. ලොස් ඇන්ජලීස් වැනි විශාල නගරද මේ ගංඟාවේ ජල ප‍්‍රවාහයෙන් ජලය ලබා ගනී. (මූලාශ‍්‍රය: Nature Climate Change, DOI: 10.1038/nclimate1787)

අපේ නිවාස සංවර්ධනයෙන් පක්ෂීන් කබලෙන් ලිපට

දේශගුණ වෙනස් වීම නිසා අවදානම් තත්ත්වයකය පත්වන පක්ෂීන් මානව නිවාස සංවර්ධනය හේතුවෙන් තවදුරටත් අවදානමට ලක්වන බව කැලිෆෝනියාවේ ජීවත්වන පක්ෂීන් පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් පෙන්වාදී තිබේ.

මේ වන විටත් දැකිය හැකි දේශගුණ වෙනස් වීම නිසා ලෝකයේ බොහෝ ප‍්‍රදේශවල වාසය කරන පක්ෂි විශේෂවල ව්‍යාප්තිය වෙනස්විය හැකි බව පෙන්වාදී තිබේ. මේ අතර ඇතැම් විශේෂවල ව්‍යාප්තවීමක් දැකිය හැකි අතර තවත් විශේෂවල ව්‍යාප්තිය හා ගහනය සීමාවීමටද ඉඩ තිබේ. එහෙත් මේ අද්‍යයනය මගින් පෙන්වා දෙන්නේ අනාගතයේ සිදුවන නිවාස ව්‍යාප්තිය නිසා මේ පක්ෂීන් තවදුරටත් අවදානමකට ලක්විය හැකි බවය. නිදසුනක් ලෙස ගතහොත්, දේශගුණ වෙනස් වීම නිසා ව්‍යාප්තවීමට ඉඩ ඇති පක්ෂීන්ගේ ව්‍යාප්තිය මේ ඉඩම් භාවිතයේ සිදුවන වෙනස් වීම නිසා අඩුවීමේ අවදානමක් තිබේ. විශේෂයෙන් දේශගුණ වෙනස් වීම නිසා බලපෑමට ලක්වන ප‍්‍රදේශයම අනාගත සංවර්ධන කටයුතු සඳහාද යොදාගනු ලැබුවහොත් එ් ප‍්‍රදේශවල වාසය කරන පක්ෂීන්ට මෙවැනි තත්ත්වයක් ඇති විය හැකිය.

සාමාන්‍යයෙන් ඉඩම් භාවිතය නිසා ඇතිවන බලපෑම ලෙස මෙතෙක් කලක් හඳුනාගෙන තිබුනේ වාසස්ථාන අහිමිවීම නිසා වනජීවීන්ට ඇතිවන බලපෑම පමණි. එහෙත් මේ අධ්‍යයනය අනුව එය වෙනස් ආකාරයකින්ද බලපාන බවත් පක්ෂීන් වැනි සාපේක්ෂව සාර්ථක ව්‍යාප්තියක් පෙන්වන ජීවී විශේෂ පවා බහුවිධ තර්ජනවලට ලක්ව ඇති බව මෙයින් පෙනේ. (මූලාශ‍්‍රය: Landscape Ecology, DOI: 10.1007/s10980-012-9825-1)


Not available online (unedited writeup is reproduced above)