Saturday, July 25, 2020

ගිනි නොගත් මතකය

ඒ සඳුදා දවසෙ පාසල් ගමින් සිටි අප එදා උදේ බොරැල්ල නගරයට එන විට උදේ හතට විතර ඇති. වෙනදාට වඩා වෙනසක් ඈත තියාම අම්මත් මමත් දැක්කා. ඒ බොරැල්ල හන්දියේ නාරාහෙන්පිට පාරේ කඩ පෙළ ගිනි ගෙන විනාශ වෙලා තිබුණු හැටි. ඒ වර්තමාන සුපර්මාකට් එක ඉදිරියේ අනිත් පැත්තේ තිබූ ඒ කඩපෙළයි. පහේ පංතියේ සිටි කුඩා දරුවකු වූ මම එය දුටු පසු 176 බසයේ ජනේලෙන් මදක් ඉස්සී  ඒ දෙස බැලූ පසු දුටු ඒ දර්ශනය තවමත් මතකයි.

ඒක මහා විනාසයක් බව පෙනුණා. ඒ එක්කම කොළඹ පාරත්, වෝඩ් පෙදෙසත් අතර මුල්ලේ තිබූ කඩ කීපයකුත් ගිනි ගෙන විනාසවෙලා තිබ්බා. ඒ කඩවලට උඩින් ඊට යාබදව තිබූ තට්ටු ගොඩනැගිල්ලේ බිත්තියේ තිබූ BCC දැන්වීම මට තාමත් මතකයි.

ඒ දවස වෙලා තිබෙන්නෙ මොකද්ද කියලා නොදැන උනත් අපි පාසලට, දෙමටගොඩ වේළුවන විද්‍යාලයට, ගියා. එතැනදි බලනවිට තරමක කලබලගතියක් තිබ්බා. ළමයි ඇවිත් තිබ්බෙත් සෑහෙන අඩුවෙන්. අම්මා පාසලේ නැවතුනෙත් ඒ නිසා. ඊට පස්සේ විවේක කාලෙදි විතර ඇවිත් හිටි ළමයින්ට ආපහු යන්න කීවා. එන්න විදියක් නැති නිසා පාසලේ කැන්ටිම කරන අයගේ වාහනේ නැගලා ළමයි හා වැඩිහිටි කීපදෙනෙක් ආවා. අපි රාජගිරියට ආවෙ, වනාතමුල්ල ඕවල් (පී. සරවනමුත්තු) ක්‍රීඩංගනය තියන පාරෙන් ඇවිත්, කොටාපාරේ ගෝතමී පාර කිට්ටුවට වැටෙන පාරෙන් ඇවිත්. (අද මේක ප්‍රසිද්ධ ෂෙෘ්ට්කට් එකක්)

මේ වන විට රටේ මොකක් හරි කලබලයක් කියලා දැනගෙන හිටියා. ඒ දවස්වල තාත්ත වැඩ කළෙත් බන්ධනාගාර මූලස්ථානෙ. මේ කියන්නෙ ජංගම දුරකථන හා නිවෙස්වල ස්ථාවර දුරකථන නැති කාලෙ. එයා ආවෙ අපටත් පස්සෙ.

ටික ටික සිදුවීම ආරංචි උනා. පෙරදා රාත්‍රියේ ඒ ආරම්භ වෙලා තිබේබෙ "ජූලි කලබලය". මා කියූ ඒ දිනය තමයි 1983 ජුලි 25... අදට වසර තිස් හතකට පෙර අද වැනිම වූ දවසක්.

අපේ ගෙවල් පැත්තෙත් ටිකක් කලබල තිබ්බා. අපි පදිංචි නාවලට නුදුරු විජයබා මාවත පැත්තෙ එතරම් කලබලයක් නොවූවත්, ආසන්න ප්‍රදේශවල දෙමළ ජනතාව පදිංචි නිවාස කීපයකින් ඔවුන් එලවා දමා ගිනිතබා තිබුණා. පසුව වැලිපාක් කියපු, දැන් තෙත්බිම් උද්‍යානය කියලා නම් කර ඇති ස්ථානය ඉදිරිපිට කන්දවත්ත පාරට යාබදව තිබූ තරමක් විශාල නිවස ඉන් එකක්. එය අයත් වුනේ මානික්කම් කියා මතතෙකුට බවයි දැනගන්න ලැබුණෙ. ගිනි තැබීමෙන් පසු ඒ නිවෙසේ බිත්ති වසර ගණනාවක් තිස්සේ ඉතිරිව තිබුණේ හරියට භයානක සිහිවටනයක් වගේ.

මේ කලබල දින කීපයක් තිබ්බා. විවිධ සිදුවීම් ගැන අපට කටකතා ලෙස ආරංචි උනා. කඩවල් කොල්ල කාපු හැටි. ගිනිතියපු හැටි වැනි බොහෝ දේ ආරංචි වුණා. අපේ පැත්තෙත් ජාති-ආල කාරයො කීප දෙනෙක් එවැනි දේ නියැලුණා. ඒ අතර, එජාප මෙන්ම ශ්‍රිලනිප පාක්ෂිකයොත් හිටියා. සමහරු පසුව වසර ගණනකට සිරගතවුණා. 

ඒ කලබල නිසාම අගෝස්තු මාසෙ මමත් පෙනී සිටින්න තිබුණු ශිෂ්‍යත්ව විභාගයක් සති කීපයකින් කල්ගියා. ඒකෙත් හොඳක් උනාද දන්නෙ නැති උනත්, විභාගය හොඳින්ම ගොඩ ගියා. ඒකට නම් ස්තුතිවන්ත වෙන්න ඕන මගේ ගුරුවරයාට - ඒ ගැන වෙනම ලියන්න ඕන. 

(ජුලි කලබලවලට හේතු වූ යාපනයේ සිදු වූ සිදුවීම ඇතුළු බොහෝ දේ ගැන සවිස්තරව කියවන්නට මට ලැබුණෙ ඊට සෑහෙන කාලයකට පසුවයි. මේ අපි කියන්නෙ රජයේ ගුවන්විදුලි හා රූපවාහිනී චැනල් පමණක් තිබුණු, පත්තර කීපයක් පමණත් තිබුණු, පුද්ගල පරිගණක, ජංගම දුරකථන හා අන්තර්ජාලය නොතිබූ යුගයක් ගැනයි.)

ධනේෂ් විසුම්පෙරුම

2020.07.25

Thursday, July 23, 2020

රැකගත යුතු අවශේෂ කැලෑ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.07.22, පි. 4 (Vidusara)



පසුගියදා අමාත්‍ය මණ්ඩලය ගත් තීරණයකට අනුව කටයුතු සිදුවුවහොත් රටේ වනාන්තර අතරින් සැලකිය යුතු ප්‍රමාණයක අනාගත පැවැත්ම සඳහා යම් තර්ජනයක් ඇති වී තිබෙන බවට වන සාකච්ඡාවක් මේ වන විට දැකිය හැකිය. මේ සඳහා පරිසරවේදීන්, පරිසර සංවිධාන, විද්වතුන් මෙන්ම රජයේ ආයතන වෘත්තීය සමිති ද සම්බන්ධ වී ඇත.

2020 ජුලි මස 01 වන දා පැවති කැබිනට් රැස්වීමේදී “රජයේ අවශේෂ කැලෑ වශයෙන් සලකනු ලබන ඉඩම් දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පැවරීමේ අවශ්‍යතාව” යන මැයෙන් සඳහන් වන අමාත්‍ය මණ්ඩල තීරණයේ සාරාංශය මෙසේය. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පාලනයට නියම කර ඇති රජයේ අවශේෂ කැලෑ වශයෙන් හඳුන්වනු ලබන ඉඩම්, පරිසර හා වනජීවී කටයුතුවලට බාධාවක් නොවන පරිදි හා ඉඩම්වල අයිතිය තවදුරටත් රජය සතුව පවත්වා ගනිමින් තාවකාලිකව වෙනත් කාර්යයන් සඳහා යොදා ගැනීමට හැකි වන පරිදි ඒ සඳහා වන බලතල දිස්ත්‍රික් ලේකම්/ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත පවරා දීම සඳහා සුදුසු ක්‍රමවේදයක් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලෙස පරිසර සහ වනජීවී සම්පත් ඇමතිතුමාගෙන් ඉල්ලා සිටීම එදා ගත් තීරණයයි. මෙවැනි ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ලෙස දක්වා ඇත්තේ චක්‍රලේඛයේ විධිවිධාන පරිදි එම ඉඩම් කිසියම් වෙනත් පරිහරණ කටයුත්තක් සඳහා යොදා ගත යුතු වන්නේ නම් ඒ සඳහා දීර්ඝ ක්‍රමවේදයක් අනුගමනය කළ යුතු බැවින් එකී අවශේෂ කැලෑවල හේන් ගොවිතැන් වැනි කටයුතුවල යෙදෙන ගොවීන් දැඩි අපහසුතාවන්ට පත් වී ඇති අතර එකී ඉඩම් ආර්ථික වශයෙන් ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට බාධාවක් වී තිබීමය.

කෙසේ වෙතත් ඉන්පසුව පැවැති කැබිනට් රැස්වීම්වලදී මේ ගැන යළි සාකච්ඡාවක් ඇති වූ බවක් වාර්තා මෙතෙක් ප්‍රකාශයට පත් වී නැත. කෙසේ වෙතත් ආරක්ෂිත ප්‍රදේශ හා මුඩු ඉඩම් පිළිබඳ සොයා බැලීම සඳහා කිසියම් කමිටුවක් පත් කර ඇති බවක් පසුගිය සතියේ ඉරිදා පුවත්පතක වාර්තා වී තිබිණි.


රජයේ අවශේෂ කැලෑ යනු


මේ කියන අවශේෂ කැලෑ හෙවත් වෙනත් රජයේ වනාන්තර (other state forests) යනු වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිය ආඥා පනත් යටතේ පාලනය නොකරන ලද කැලෑය. වන සම්පත් හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විසින් 2001.08.10 දින නිකුත් කරන ලද අංක 05/2001 චක්‍රලේඛයේ විධිවිධාන පරිදි මේ අවශේෂ කැලෑ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පත් කරන ලදි. 

අපේ රටේ වනාන්තරවල පාලනය කලින් කල වෙනස් වූ ආකාරය වන සම්පත් සංරක්ෂකයින්ගේ වෘත්තීය සංවිධානය විසින් පැහැදිලි කර ඇත. නූතන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පිහිටුවන ලද්දේ 1887 වර්ෂයේදී බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාව පාලනය වූ කාලයේදීය. ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියෙන් 1904 වර්ෂයේ දී මෙරට සියලුම වනාන්තරවල භාරකාරිත්වය වන සංරක්ෂකට යටතට පත් කරන ලදි. එහෙත් 1934 දී එය වෙනස් කරන ලද අතර, දිසාපති හා වන සංරක්ෂක යන දෙපාර්ශ්වයම කැලෑ පාලනය පවරන ලද අතර ඒවායේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීම ඒ පාර්ශ්ව දෙකම සිදු කළේය. ඉන්පසු 1952 වර්ෂයේ දී වියළි කලාපයේ අක්කර 500කට (හෙක්ටයාර 200) හා අනිකුත් ප්‍රදේශවල අක්කර 50කට (හෙක්ටයාර 20) වඩා ප්‍රමාණයෙන් අඩු අවශේෂ කැලෑ පාලනය කිරීම දිසාපතිවරුන් යටතේ රදවා ඉතිරි සියලු කැලෑ වන සංරක්ෂකගේ පාලනයට යටත් කරන ලදි. එහෙත් 1998 පමණ වන විට වනාන්තර පාලනයේ දී ඇති වූ තිබූ ගැටලු නිසා ජනාධිපතිනියගේ උපදෙස් පරිදි ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ ඇති කැලෑ බිම් ප්‍රමාණය සීමා කරන ලදි. ඒ අනුව වියළි කලාපයේ අක්කර 200කට (‌හෙක්ටයාර් 80) හා තෙත් කලාපයේ අක්කර 20 (හෙක්ටයාර් 8) කට වඩා ප්‍රමාණයෙන් අඩු වනාන්තර පමණක් ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනයට පත් කරමින් අංක 05/98 දරණ චක්‍රලේඛය, 1998.07.01 දින වන සම්පත් හා පරිසර අමාත්‍යාංශය නිකුත් කළේය. මේ තීරණය වෙනත් රාජ්‍ය ආයතනවල දැනුවත්ව සිදුකරන ලද්දකි.

වනාන්තරවල ආරක්ෂාව උදෙසා 5/2001 චක්‍රලේඛය නිකුත් කරන ලද්දේ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ පාලනය යටතේ පැවති සියලු අවශේෂ වනාන්තරවල කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරමිනි. ඒ අනුව එම අවශේෂ කැලෑ ජාතික වන ප්‍රතිපත්තියට අදාළව කළමනාකරණය කිරීම, වැඩිදියුණු කිරීම හා ආරක්ෂා කිරීම වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලදි. ඒ වනාන්තරවල විද්‍යාත්මක කළමනාකරණය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරන ලද නමුත්, ඒවායේ ආරක්ෂාව සඳහා දිස්ත්‍රික් ලේකම් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට වන ආඥා පනත යටතේ පැවරී ඇති බලතල ක්‍රියාත්මක කළ හැකි විය. එසේම යම් සංවර්ධන ක්‍රියාකාරකමක් සදහා ඒවාට අයත් යම් ඉඩමක් නිදහස් කරගැනීමට අවශ්‍ය වේ නම් ඒ සඳහා ගත යුතු ක්‍රියාපිළිවෙතක් ද හදුන්වා‌දෙන ලැබ තිබිණි.

ඉන් අනතුරුව 2006 වර්ෂයේදී නිකුත් කරන ලද 02/2006 චක්‍රලේඛය මගින්, සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇත. එසේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතේ ඇති, එහෙත් වනාන්තර ලක්ෂණ නොදරන ඉඩම් ප්‍රාදේශීය ලේකම්වරුන්ට භාර දීමේ නව ක්‍රමවේදයක්ද පවතී. එබැවින් 5/2001 චක්‍රලේඛය අහෝසි කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අවශ්‍යතාවයක් පවතී ද යන්න ගැටලුවකි.


මේවා රැකගත යුත්තේ ඇයි?


ශ්‍රී ලංකාවේ මුළු බිම් ප්‍රමාණයෙන් වනාන්තරවලින් ආවරණය වී ඇත්තේ 29.7%ක් පමණ ප්‍රදේශයක් පමණකි. එය හෙක්ටයාර ලෙස ගතහොත් මිලියන දෙකක් පමණ වේ. වන සංරක්ෂණ ආඥා පනත හා වනසත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ ආරක්ෂිත ප්‍රදේශ ලෙස පවත්නා වනාන්තර හැර තවත් වනාන්තර හෙක්ටයාර 694,000ක් පමණ මීට අයත් වෙයි. අප මාතෘකා කරගත් අවශේෂ හෙවත් වෙනත් වනාන්තර අයත් වන්නේ මේ ප්‍රමාණයටය. එම ප්‍රමාණය ලංකාවේ මුළු වනාන්තර බිම් ප්‍රමාණය අතරින් තුනෙන් පංගුවක් පමණ වෙයි.
මේ අවශේෂ වනාන්තර අතර බෙහෙවින් වැදගත් පරිසර පද්ධති පවතී. විද්‍යාත්මක පර්යේසණවලින් හඳුනාගෙන ඇති පරිදි ඇතැම් ස්ථානීය ආවේණික විශේෂ පවා මේ අවශේෂ කැලෑවල දැකිය හැකිය. එබැවින් මේ කැලෑවල වැදගත්කම ගැන ජනමාධ්‍ය මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ද බොහෝ පිරිස් දැනුම්වත් වී ඇත. 

මේ චක්‍රලේඛයේ නෛතික භාවය තහවුරු වූ හා ඒ නිසාම ආරක්ෂා කරගත හැකි වූ වෙනත් රජයේ වනාන්තර පිළිබඳව මෑත කාලීනව ලැබුණු අධිකරණ තීන්දු කීපයක්ද තිබෙයි. නිදසුනක් ලෙස ගතහොත් මින්නේරියට නුදුරුව පිහිටා ඇති පටපිලිකන්ද ප්‍රදේශයේ අවශේෂ වනාන්තරයක දේශපාලන මැදිහත්වීමක් සහිතව ඉදිකරන ලද ඉදිකිරීමක් නීත්‍යනුකූල නොවන බවට තීරණය කරන ලද්දේ මේ චක්‍රලේඛයේ සඳහන් ක්‍රමවේදය අනුගමනය කර නොතිබූ නිසාය. (එම ඉදිකිරීම අද වන විට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී තිබෙයි.) එමෙන්ම කෝකිලායි ප්‍රදේශයේ රජයේ වනාන්තරයක මහවැලි බලධාරින්ගේ අනුමැතිය ඇතිව සිදුකරමින් තිබූ දැව හෙලීමක් සඳහා ද උක්ත චක්‍රලේඛය අනුව නිසි අවසර ලබා ගෙන නොතිබූ බව අධීකරණය හමුවේ හෙළි වීමෙන් පසුව ඒ කටයුත්තද නවතා දැමීමට සිදුවිය. ඇතැම් වාණිජ සමාගම්වලට ඉඩම් ලබාදීමට එරෙහිව අධිකරණයට ගිය පසුව ඒවා නිත්‍යානුකූල නොවූ බවත් ඒ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනය යටතට පත් කිරීමටත් තීරණය වූයේ ද මේ චක්‍රලේඛය නිසාය. 

මේ කරුණු අනුව පෙනෙන්නේ මේ අවශේෂ කැලෑවල ආරක්ෂාව සඳහා 5/2001 චක්‍රලේඛය වැදගත් වන බවයි. ඒ දේශපාලන හා නිලධාරි මැදිහත්වීම් ඇතිව සිදුකරන ඉඩම් පැවරීම්වලට මේ චක්‍රලේඛය බාධා වන නිසාය.
අනෙක් අතට මේ චක්‍රලේඛය ඉවත් කිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද යන්න ගැන සාධාරණ බියක් ඇති වීම වැළැක්විය නොහැකිය. එය හුදෙක් හේන් වගාවට හෝ ඉඩම් නැති ජනතාවට පදිංචිවීමට හා වගා කිරීමට ඉඩම් ලබාදීම පමණක් විය හැකිද? අපේ රටේ කටයුතු සිදුවන ආකාරයට ඒ ගැන සැක ඇතිවීම පුදුමයක් නොවේ. මේවායේ අවසාන අපේක්ෂාව රටේ ඉඩම් මහා පරිමාණ සමාගම්වලට ලබාදීම විය නොහැකිද? මේවා අපැහැදිලි තැන්ය. එබැවින් වඩාත් හොඳම දේ වන්නේ මේ චක්‍රලේඛය අහෝසි කිරීම වළක්වා ලීමය. ලබන මාසයට යෙදෙන මහමැතිවරණයෙන් පසුව රජය මේ ගැන කුමන පියවරක් ගනු ඇතිදැයි අවදියෙන් සිටීම පරිසර හිතැති සැමගේ වගකීම වෙයි. පරිසරයට හානිකර විය හැකියැයි විරෝධයට ලක් වූ ඇතැම් ව්‍යාපෘති නතර කරන බවට පොරොන්දු දී බලයට පැමිණි පාර්ශ්ව පවා මද කලකින් ඒවාට අනුමැතිය ලබාදුන් හැටි අපි දුටුවෙමු. එමෙන්ම ඒවා තමන්ගේ නමට ලියාගන්නට උත්සාහ කළ හැටි ද අපි දුටුවෙමු. කොළඹ වරාය නගරය පිළිබඳ සිදුවීම මීට හොදම නිදසුන වෙයි.


රජයේ පරිසර ප්‍රතිපත්තියට මෙය එකඟ ද?


වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් කළ “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දස වැදෑරුම් ප්‍රතිපත්තිවල නව වැන්න වන්නේ “තිරසාර පරිසර කළමනාකරණය” යන්නයි. ඒ යටතේ මෙසේ සඳහන් වෙයි. 

“ගහකොළ, ඇළදොළ සහ සතා සීපාවා මුල් කරගත් පරිසරය බැඳී ඇත්තේ අපගේ සුසුමත් සමඟ ය. එබැවින් අනාගත පරම්පරාව වෙනුවෙන් අප පරිසරය තිරසාර ලෙස ආරක්ෂා කරගත යුතු ය. අලුත් වන වගා සංග‍්‍රාමයක් මෙන් ම සියලූ වනාන්තර ආරක්ෂා කිරීමට අප කටයුතු කළ යුතු ය. යල්පිනූ නීති රාමුව වෙනස් කර සියලූ පරිසර අවභාවිතයන් නිමා කිරීම සඳහා අවශ්‍ය නීති රාමුවක් ස්ථාපනය කළ යුතු ය.” (පිටුව 3)

“භූමි පරිභෝජන ප‍්‍රතිපත්ති හා ජල කළමණාකරන ප‍්‍රතිපත්ති වල තිරසාර බව තහවුරු කරන අතරතුරම ජාතික වන වැස්ම (forest cover) 30% දකවා ඉහළ දැමීමට ක‍්‍රියාමාර්ග ගනු ලැබේ. ඒ සඳහා යලි වන වගාවන් සිදුකිරීමට සුදුසු පරිසර නිසියාකාරව හඳුනා ගැනීමට නිශ්චිත ක‍්‍රියාමාර්ග ගනු ලැබේ.” (පිටුව 64 හා 66)

අවාසනාවකට මෙන් ඉහත කී ආකාරයට 5/2001 චක්‍රලේඛය අහෝසි කළහොත් සිදුවනු ඇත්තේ මේ වන විට යම් තරමකින් හෝ ආරක්ෂිතව ඇති වනාන්තර භූමි එළි කිරීමට අවස්ථාවක් ලැබීමය. වන වගා යනු ස්වාභාවික වනාන්තරවලට විකල්පයක් නම් නොවේ. ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා ස්වාභාවික වනාන්තරයකින් ලැබෙන ප්‍රයෝජනය වන වගාවකින් නොලැබෙයි. එමෙන්ම, පරිසර පද්ධති සේවා සම්බන්ධයෙන්ද වන වගාවකට වඩා විශාල සේවයක් ස්වාභාවික වනාන්තරවලින් ලැබෙයි. 

මේ කරුණු අනුව පෙර සඳහන් චක්‍රලේඛය සංශෝධනය කිරීමට රජය කටයුතු කළහොත් එය වර්තමාන ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ එන ප්‍රතිපත්තිවලට ද එකඟ නොවන බව ද පැහැදිලිය. එබැවින් මේ යෝජනාව අත්හැර දැමීම වර්තමාන රජයේ පරිසර සලකුණ යහපත්ව තබාගැනීමට වැදගත් වනු ඇත.

Sunday, July 19, 2020

ඉස්කෝලෙ කතා 03 - "Come Down To The..."

ඉස්කොලෙ යන කාලෙ PT කියලා පීරියඩ් එකක් තිබ්බනෙ. සතියකට දවසක් එන ඒ පීරියඩ් එකෙදි ඉතින් අපි බලන්නෙ සෙල්ලම් කරන්නනෙ. (අපි කිව්වට ඉතිං මං නං එච්චර සෙල්ලම් කළේ නෑ.)
ගොඩක් දවස්වල ඒ පීරියඩ් එකට සර් ආවෙත් නෑ. 

දහයෙ හෝ එකොලහෙ පන්තියෙ හිටියද දවසක් අපිට ඒ පීරියඩ් එකට සර් ආවා. සර්ට ඕන උනා අපිව ගෙන්න ගන්න පිට්ටනියෙ තිබ්බ සියඹලා ගස් දෙක ළඟට. සර් ඉංග්‍රීසියෙන් කතාව පටාන් අරන් සිංහලෙන් මෙහෙම ඉවර කළා

"Come Down to the සියඹලා ගස් දෙක යටට"

සර් මේක විහිළුවට කිව්වද, නැත්තං තිබ්බ හදිසියට සියඹලා ගස්වල ඉංග්‍රීසි නම අමතක උනාද කියල අද වන තුරු මම නං දන්නෙ නෑ. ඒත් එදා අපි ගහ යටට යද්දි සර් ආවා මතකයි. ඒත් PT කළාද අපි සෙල්ලං කළාද කියල නං මතකයක් නෑ.

පසු සටහන - පහුගිය දවසක විද්‍යාලෙ කණ්ඩායමක් මේ ගස් දෙක තිබ්බ තැන දියුණු කරලා තිබෙනවා. පහත ලින්ක් එකේ කියන්නෙ ඒ ගැනයි. එහි සඳහන් වන පරිදි 1950 ගණන්වල "මම ඔබව සියඹලා ගහ යටදි හමුවෙන්නම්" (I’ll meet you under the Tamarind tree) කියලා කොල්ලෙක් තව කොල්ලෙක්ට කියන්නෙ අභියෝගයක් කරද්දි.