Wednesday, May 19, 2021

මානව සංස්කෘතික හා තාක්ෂණික දියුණුව ඇති වුයේ කොතැනකද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.05.19, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/05/19/feature6.html

නූතන මානව පරිණාමයේ කිසියම් කාලයක ඔවුන් සංස්කෘතිකමය හා නිර්මාණාත්මක කටයුතුවල යෙදීම ආරම්භ කර තිබෙයි. මෙම සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් (complex symbolic and technological behaviours) පැවතීම, නූතන මානවයාගේ දැකිය හැකි, ඔහුව අනෙකුත් මානවයින්ගෙන් වෙන්කර ගත හැකි අනන්‍ය ලක්ෂණ අතර වෙයි. ඒ තත්ත්වය ඇති වූයේ හා දියුණු වූයේ කුමන කාලයක දිද යන්න හා කිනම් ප්‍රදේශයක දී ද යන්න ගැන විද්‍යාත්මක පර්යේෂණ ලෝකය පුරා සිදුකෙරේ. ඒවායින් වැදගත් කරුණු අනාවරණය වෙයි. 

මේ හා සම්බන්ධව මෙතෙක් පැවති සාධක අනුව සංකේත හැසිරවීම සම්බන්ධ පැරණිම සාධක අදින් වර්ෂ 100,000ක් පමණ පැරණිය. ඒ දකුණු අප්‍රිකාවේ දකුණු දිග වෙරළාසන්නයේ පිහිටා ඇති බ්ලොම්බොස් (Blombos) ලෙන්වලින් හමු වී ඇති වර්ණ සකසන සැකසුමක් හා කැටයම් කරන ලද හිරියල් (ochre) ගල්ය. එසේම වර්ෂ 60,000ක් පමණ පැරණි බවට කාලනිර්ණය කරන ලද පැස්බර බිත්තර කටු දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළේ ඩීප්ක්ලූෆ් (Diepkloof Cave) නම් ලෙනෙන් ලැබී ඇත. 

උක්ත ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයට ආසන්නවය. මේ අනුව මානවයින් සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික සොයාගැනීම් වැනි සංකීර්ණ හැසිරීම් රටා වර්ධනය වීම සිදු වූයේ වෙරළ තීරය ආසන්න ප්‍රදේශවල බවත් ඊට මුහුදු ආහාර අතර සම්බන්ධයක් තිබිය හැකි බවට අදහස් පළ විය. වෙරළ ආසන්නව විසූ උක්ත නිර්මාණ කළ මානවයින් විශාල ලෙස බෙල්ලන් හා මසුන් විශාල ලෙස ආහාරයට ගත් බව අනුමාන කිරීම සාධාරණය. මොළයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක සහිත වූ මුහුදු ආහාර ලබාගතහැකි වූයේ ඒ ජනවාස පැවති ප්‍රදේශ සාගරයට ආසන්න වීම නිසාය. ඒ අනුව මේ ප්‍රදේශය මානව හැසිරීමේ වෙනස්කම් කළ ප්‍රදේශයක් යන අදහස උපකල්පනය කර තිබිණි. 

කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූ පර්යේෂණයකට අනුව මේ අදහස අභියෝගයකට ලක්ව ඇත. 

ගොඩබිම අභ්‍යන්තරයෙන් හමු වූ සාධක

අප මාතෘකා කරගන්නා අලුත්ම පර්යේෂණය සිදු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළෙන් ඈත කලහාරි කාන්තාරයේ දකුණු දිග ප්‍රදේශයේ සීමාවට ආසන්නව පිහිටා ඇති ස්ථානයකයි. වෙරළේ සිට කිලෝමීටර් 660ක් පමණ ඈතින් පිහිටා ඇති එම පුරාවිද්‍යා ස්ථානය ගා-මොහානා (Ga-Mohana) කඳු පදේශයේ පිහිටා ඇති ලෙනකි. එම ස්ථානයෙන් ලැබී ඇති වැදගත් ද්‍රව්‍ය අතර කැල්සටයිට් ස්ඵටික හා පැස්බර බිත්තර කටු කැබලි විය. එම ද්‍රව්‍ය ඇතුළත් ස්තර ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence)  ක්‍රමයට කාලනිර්ණය කර ඇති අතර, ඒ අනුව ඒවා අයත්වන්නේ අදින් වසර 105000ක් පමණ පෙර කාලයකට බව එහි දී හෙළිවී ඇත. එය ඉහත සඳහන් කළ සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් හමුවන පැරණිතම සාධක හමුවන කාලය හා  සමාන වූ කාලයකි. ඒ අනුව වෙරළ තීරයේ විසු මානවයින් අතර මෙවැනි හැසිරීම් ඇතිවීම ආරම්භ වූ බවට ඇති අදහසට අභියෝගයක් ඇති වී තිබෙන බව පැහැදිලිය.


එම කැනීමේ දී හමු වී ඇති සුදු කැල්සයිට්වලින් නිර්මිත ස්ඵටික විසි දෙක කිසියම් ආකාරයකින් සමාන ජ්‍යාමිතික හැඩයක් ගන්නා ඒවාය. එම ස්ඵටිකවල වැදගත්කම වන්නේ ඒවා එම ස්ථානයෙන් ස්වාභාවිකව හමු වූ ඒවා නොවීම නිසාය. ඒවා අතීත මානවයින් විසින් වෙනත් ස්ථානවලින් එකතු කර එම ස්ථානයට ගෙනැවිත් ඇති අතර, කිසිදු වෙනස්කමක් සිදු කර ඇති බවට සාධක නැත. එම කැල්සයිට් ස්ඵටික එදිනෙදා කාර්යයක් පිණිස නොව කිසියම් විසිතුරු කටයුත්තක්  සඳහා යොදාගත් බව සිතිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය කිසියම් චාරිත්‍රයක් සඳහා භාවිත වූවක් විය හැකිය. ඒවා තැන්පත් කිරීම ද එසේ සංකේතාත්මක හැසිරීමක් වූයේ නම් ඔවුන්ගේ හැසිරීම අනුව ඔවුන් වඩා නූතන මිනිසුන්ට වඩා ලං වෙයි. එවැනි ස්ඵටික අප්‍රිකාවේ වෙනත් මානව ජනාවාස පැවති ස්ථානවලින් ද හමු වී ඇති නමුත් ඒවායේ කාලනිර්ණය අනුව අදින් වර්ෂ 80,000කට වඩා අඩු කාලයකට අයත්ය.

මෙවැනි ද්‍රව්‍ය එකතු කිරීම වර්තමාන සමාජයේ ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත් එදා එම ස්ඵටික වැනි ද්‍රව්‍ය එකුතු කිරීම හා භාවිතය වැනි හැසිරීමක් ඒ අතීතයේ ඉතා දුර්ලභ අවස්ථාවක් විය. ඒ මෙවැනි භාවිතය අත්‍යාවශ්‍යය නොවන ද්‍රව්‍ය භාවිතය සංකේතභාවිතය, කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ වන බැවිනි.

පුළුල් පර්යේෂණවල අවශ්‍යතාවය

මේ පර්යේෂකයන් පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ මානවයන්ගේ මධ්‍ය ශිලා යුගයේ දී සිදු වු සොයාගැනීම් වැනි දියුණු වීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා සම්පුර්ණ අප්‍රිකා මහාද්වීපය ආවරණය වන ආකාරයේ සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවයි. අපේ මානවයාගේ සංස්කෘතික පරිණාමය ගැන කරුණු අනාවරණය කරගතහැකි සුදුසුම ක්‍රමය මේ බව පැවසේ. 

අප්‍රිකාවේ පැරණි ස්ථාන තවදුරටත් ගවේෂණය කිරීමේ දී හා අධ්‍යයනය කිරීමේ දී තවත් බොහෝ තොරතුරු හමුවනු ඇති බව සිතිය හැකිය. විශේෂයෙන් අප්‍රිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ගොඩබිම ඇතුළට වන්නට පිහිටා ඇති ස්ථාන ගවේෂණය කිරීම සිදුව ඇත්තේ අඩු වශයෙනි. අනෙක් අතට නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවල ගවේෂණය හා අධ්‍යයනය කර නැත්තේ වෙරළබඩ ප්‍රදේශයයි. මේ නිසා සම්පූර්ණ අප්‍රිකානු මහාද්වීපයම ආවරණය වන ආකාරයේ පර්යේෂණ වැදගත්බව පෙන්වා දී තිබෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-021-03419-0

Tuesday, May 11, 2021

පිටකෝට්ටේ MOH කාර්යාලයට මල් මිටක්!




අද, එනම් 2021 මැයි මස 11 වන දා, Sinopharm වැක්සින් එක විද ගැනීමට මට අවස්ථාව ලැබිණි. ඒ මා පදිංචි ගම අයත් වන MOH හෙවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වන, බැද්දගානේ පිහිටා ඇති පිටකෝට්ටේ MOH කාර්යාලයෙදීයි.

මීට පෙර වතාවක් ද මේ ගමට එන්නත් ලබාදීමට සූදානම් තිබුණත් එය අවලංගු කරනු ලැබිණි. ඒ නිසා අද ලැබුණු අවස්ථාවේ පැය හතරක පමණ කාලයක් ගතකර එන්නත ලබාගැනීමට හැකි විය.

මේ සටහන තබන්නේ ඒ කාර්යයට සම්බන්ධ වූ සියලුම නිලධාරින්ට ස්තුති කිරීම සඳහායි. ඒ ඔවුන් සිය රාජකාරි කටයුත්ත ඉතාම සංවිධානාත්මකව හා ඉතාම වගකීමෙන් ඉටු කළ බැවිනි. 
  • ඔවුන් ඉතාම ආචාරශීලී අන්දමින් ජනතාවට අවශ්‍ය උපදෙස් ලබා දීමට පියවර ගෙන තිබීම ඉතා අගනේය. පෝලිමේ අතරමග මීටරයේ පරතරය තබාගන්නට, ආකෘති පත්‍ර පිරවිය යුතු ආකාරය, එහි අඩුපාඩු නිවැරදි කිරීම, එන්නත ලබාගත් පසු කළ යුතු දේ ගැන උපදෙස් දීම ආදිය මේ උපදෙස් අතර විය. (මීටරයේ පරතරය නම් තබාගත්තෙ නෑ වගෙයි බැලූ බැල්මට පෙනුණෙ). කොටින්ම කීවොත් අත උඩ තියාගනෙ හෝ බිත්තියක තියාගෙන ආකෘති පත්‍රය පිර වූ අයට ඒකට සුදුසු තැන් ඇති බව පවා පෙන්වා දීමට තරම් මේ නිලධාරීන් කාරුණික වූ බව කිව යුතුයි.
  • අවශ්‍ය තැන්වල නිලධාරීන් සේවයේ යොදවා තිබිණි. ආකෘති පත්‍රය ලබා දීමට, එය පුරවා ලබා දී කාඩ් පත ගැනීමට යොමුකිරීම පවා මනාව සංවිධානය කර තිබිණි.
  • වැඩිම කාලයක් ගත වනුයේ කාඩ් පත ලිවීමට යන කාලය අඩු කිරීම සඳහා සැලකිය යුතු නිලධාරීන් පිරිසක් ඒ සඳහා වෙන් කර තිබිණි.
  • එතැනින් එන්නත විඳගැනීමට යොමු කිරීමත් එන්නත විදීමත් ඉතාම කාර්යක්ෂමව සිදුවිය. එන්නත විඳීමෙන් පසුව කළ නොකළ යුතු දේ ගැන උපදෙස් දීම ඉතාම පැහැදිලිව කණ්ඩායම් වශයෙන් ලබා දීීී නිලධාරිනියක්ට යොදවා තිබිණි.
  • යම් සංකූලතාවක් ඇති වේදැයි බලන්නය මිනිත්තු විස්සක් ගත කර එතැනින් පිටවීමට කීවත්, ඒ අතරත් ඇවිත් ආබාධ තියනවද කියලා විටින් විට මතක් කිරීමත් පැසසුම් කටයුත්තක් උනා.
සමස්තවක් විදියට ආකෘති පත්‍රය ලබාගැනීමේ සිට එන්නත විදගැනීම සඳහා ගතවූයේ පැය බාගයක් පමණ කාලයක්. ගමේ අයගේ හැසිරීමත් ඉතාම ඉහළ මට්ටමක තිබූ බව සඳහන් කළ යුතුයි.

තවත් කරුණක් කියන්න ඕන, මිත්‍රයෙක් කී දෙයක් නිසාම - මේ වතාව තනිකරම අපේ ගමට පමණක් සීමා කර තිබිණි. වෙනත් ගම්වල අය පැමිණීම වළක්වන්න ගත් පියවර මෙසේය. 
  • ඊයේ සවස/රාත්‍රියේ ගම පුරා ධාවනය වූ ත්‍රීවීල් එකකින් පැමිණ හෙට දින එන්නත් ලබා දෙන්නේ මේ ගමේ (ග්‍රාම නිලධාරි කොට්ඨාස දෙකක්) අයට පමණක් බව නිවේදනය කිරන ලදි.
  • උදේ 8.45ට වන විට මීටර් 300ක් පමණ වූ පෝලිමක් අසලට පැමිණි ත්‍රීවීල් එකකින් එන්නත දෙනු ලබන්නේ මේ ගමේ අයට පමණත් බව යළිත් දැනුම් දුන් බැවින් සෙසු ගම්වලින් පැමිණ අය හැරී ගියා.
  • පෝලිමේ යන විට තැන් තැන්වල සිටි නිලධාරිනුත් ඒ බව මතක් කළා. තැනක දෙකක ඒ ගම්වල නම් සඳහන් බෝඩ් ද තිබිණි. 
  • එන්නත විදගැනීම සඳහා වූ ආකෘති පත්‍රය දුන්නෙ ජාතික හැඳිනුම්පතෙන් පදිංචිය බලලයි.
  • NIC එකේ ඇති වෙනස් ලිපිනයක් ඇති, ඒත් මේ ගමේ පදිංචිය අය ඒ බව තහවුරු කරන්න තම නමට ලිපිනය ඇති බිල් අරන් ඇවිත් තිබුණත් ඒත් අදාළ ග්‍රාම නිලධාරී ලවා ඒ බව සහතික කරගන්න ඔවුන්උව යොමු කරනු ලැබිණි. ග්‍රාම නිලධාරීනීහු දෙදෙනාම අද දවසම සේවයේ සිටියෝය.
පැය තුන-හතරක්හ පෝලිමේ සිට අපි එන්නත ලබාගත්තත්, ඔවුන් පැය අටක්වත් එක දිගට සේවයේ සිටි බව සඳහන් කළ යුතුයි. ඇතැම් අය ආරක්ෂිත ඇඳුම් ඇදගෙන සිටි අයයි. මදක් විවේක ගත්තත් සමහරු වැඩිකාලයක් සිටගෙනම බව දැකිය හැකි විය. දන්නා තරමින් හෙටදින තවත් ගමක ජනතාවට ඔවුහු මේ සේවය සපයති.

ඉතින් මේ කාර්යයට සම්බන්ධ වූ සියලු නිලධාරීන්ට ස්තුතියි! 🌹


පිටකෝට්ටේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සියලු කාර්ය මණ්ඩලයට, ග්‍රාම නිලධාරිනීන් දෙපළට, පොලීසියේ හා සිවිල් ආරක්ෂක නිලධාරින්ට ඒ ස්තුතිය හිමිවේ. (තවත් නොදන්න නිලධාරින් හිටියා නම් ඔවුන්ටත් ස්තුතියි).

සමාජ මාධ්‍යයේ මෙන්ම සෙසු ජනමාධ්‍යවල ද නිතරම විවේචනයට ලක් වූව ද, රාජ්‍ය සේවයේ උපරිම සේවයක් කරන නිලධාරීන් ඇති බව මෙහි දී සඳහන් කළ යුතුය.

ධනේෂ් විසුම්පෙරුම

2021.05.11