ධනේෂ් විසුම්පෙරුම
විදුසර, 2021.05.19, පි. 11 (Vidusara)
http://www.vidusara.com/2021/05/19/feature6.html
නූතන මානව පරිණාමයේ කිසියම් කාලයක ඔවුන් සංස්කෘතිකමය හා නිර්මාණාත්මක කටයුතුවල යෙදීම ආරම්භ කර තිබෙයි. මෙම සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් (complex symbolic and technological behaviours) පැවතීම, නූතන මානවයාගේ දැකිය හැකි, ඔහුව අනෙකුත් මානවයින්ගෙන් වෙන්කර ගත හැකි අනන්‍ය ලක්ෂණ අතර වෙයි. ඒ තත්ත්වය ඇති වූයේ හා දියුණු වූයේ කුමන කාලයක දිද යන්න හා කිනම් ප්‍රදේශයක දී ද යන්න ගැන විද්‍යාත්මක පර්යේෂණ ලෝකය පුරා සිදුකෙරේ. ඒවායින් වැදගත් කරුණු අනාවරණය වෙයි.
මේ හා සම්බන්ධව මෙතෙක් පැවති සාධක අනුව සංකේත හැසිරවීම සම්බන්ධ පැරණිම සාධක අදින් වර්ෂ 100,000ක් පමණ පැරණිය. ඒ දකුණු අප්‍රිකාවේ දකුණු දිග වෙරළාසන්නයේ පිහිටා ඇති බ්ලොම්බොස් (Blombos) ලෙන්වලින් හමු වී ඇති වර්ණ සකසන සැකසුමක් හා කැටයම් කරන ලද හිරියල් (ochre) ගල්ය. එසේම වර්ෂ 60,000ක් පමණ පැරණි බවට කාලනිර්ණය කරන ලද පැස්බර බිත්තර කටු දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළේ ඩීප්ක්ලූෆ් (Diepkloof Cave) නම් ලෙනෙන් ලැබී ඇත.
උක්ත ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයට ආසන්නවය. මේ අනුව මානවයින් සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික සොයාගැනීම් වැනි සංකීර්ණ හැසිරීම් රටා වර්ධනය වීම සිදු වූයේ වෙරළ තීරය ආසන්න ප්‍රදේශවල බවත් ඊට මුහුදු ආහාර අතර සම්බන්ධයක් තිබිය හැකි බවට අදහස් පළ විය. වෙරළ ආසන්නව විසූ උක්ත නිර්මාණ කළ මානවයින් විශාල ලෙස බෙල්ලන් හා මසුන් විශාල ලෙස ආහාරයට ගත් බව අනුමාන කිරීම සාධාරණය. මොළයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක සහිත වූ මුහුදු ආහාර ලබාගතහැකි වූයේ ඒ ජනවාස පැවති ප්‍රදේශ සාගරයට ආසන්න වීම නිසාය. ඒ අනුව මේ ප්‍රදේශය මානව හැසිරීමේ වෙනස්කම් කළ ප්‍රදේශයක් යන අදහස උපකල්පනය කර තිබිණි.
කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූ පර්යේෂණයකට අනුව මේ අදහස අභියෝගයකට ලක්ව ඇත.
ගොඩබිම අභ්‍යන්තරයෙන් හමු වූ සාධක
අප මාතෘකා කරගන්නා අලුත්ම පර්යේෂණය සිදු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළෙන් ඈත කලහාරි කාන්තාරයේ දකුණු දිග ප්‍රදේශයේ සීමාවට ආසන්නව පිහිටා ඇති ස්ථානයකයි. වෙරළේ සිට කිලෝමීටර් 660ක් පමණ ඈතින් පිහිටා ඇති එම පුරාවිද්‍යා ස්ථානය ගා-මොහානා (Ga-Mohana) කඳු පදේශයේ පිහිටා ඇති ලෙනකි. එම ස්ථානයෙන් ලැබී ඇති වැදගත් ද්‍රව්‍ය අතර කැල්සටයිට් ස්ඵටික හා පැස්බර බිත්තර කටු කැබලි විය. එම ද්‍රව්‍ය ඇතුළත් ස්තර ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence) ක්‍රමයට කාලනිර්ණය කර ඇති අතර, ඒ අනුව ඒවා අයත්වන්නේ අදින් වසර 105000ක් පමණ පෙර කාලයකට බව එහි දී හෙළිවී ඇත. එය ඉහත සඳහන් කළ සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් හමුවන පැරණිතම සාධක හමුවන කාලය හා සමාන වූ කාලයකි. ඒ අනුව වෙරළ තීරයේ විසු මානවයින් අතර මෙවැනි හැසිරීම් ඇතිවීම ආරම්භ වූ බවට ඇති අදහසට අභියෝගයක් ඇති වී තිබෙන බව පැහැදිලිය.
එම කැනීමේ දී හමු වී ඇති සුදු කැල්සයිට්වලින් නිර්මිත ස්ඵටික විසි දෙක කිසියම් ආකාරයකින් සමාන ජ්‍යාමිතික හැඩයක් ගන්නා ඒවාය. එම ස්ඵටිකවල වැදගත්කම වන්නේ ඒවා එම ස්ථානයෙන් ස්වාභාවිකව හමු වූ ඒවා නොවීම නිසාය. ඒවා අතීත මානවයින් විසින් වෙනත් ස්ථානවලින් එකතු කර එම ස්ථානයට ගෙනැවිත් ඇති අතර, කිසිදු වෙනස්කමක් සිදු කර ඇති බවට සාධක නැත. එම කැල්සයිට් ස්ඵටික එදිනෙදා කාර්යයක් පිණිස නොව කිසියම් විසිතුරු කටයුත්තක් සඳහා යොදාගත් බව සිතිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය කිසියම් චාරිත්‍රයක් සඳහා භාවිත වූවක් විය හැකිය. ඒවා තැන්පත් කිරීම ද එසේ සංකේතාත්මක හැසිරීමක් වූයේ නම් ඔවුන්ගේ හැසිරීම අනුව ඔවුන් වඩා නූතන මිනිසුන්ට වඩා ලං වෙයි. එවැනි ස්ඵටික අප්‍රිකාවේ වෙනත් මානව ජනාවාස පැවති ස්ථානවලින් ද හමු වී ඇති නමුත් ඒවායේ කාලනිර්ණය අනුව අදින් වර්ෂ 80,000කට වඩා අඩු කාලයකට අයත්ය.
මෙවැනි ද්‍රව්‍ය එකතු කිරීම වර්තමාන සමාජයේ ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත් එදා එම ස්ඵටික වැනි ද්‍රව්‍ය එකුතු කිරීම හා භාවිතය වැනි හැසිරීමක් ඒ අතීතයේ ඉතා දුර්ලභ අවස්ථාවක් විය. ඒ මෙවැනි භාවිතය අත්‍යාවශ්‍යය නොවන ද්‍රව්‍ය භාවිතය සංකේතභාවිතය, කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ වන බැවිනි.
පුළුල් පර්යේෂණවල අවශ්‍යතාවය
මේ පර්යේෂකයන් පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ මානවයන්ගේ මධ්‍ය ශිලා යුගයේ දී සිදු වු සොයාගැනීම් වැනි දියුණු වීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා සම්පුර්ණ අප්‍රිකා මහාද්වීපය ආවරණය වන ආකාරයේ සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවයි. අපේ මානවයාගේ සංස්කෘතික පරිණාමය ගැන කරුණු අනාවරණය කරගතහැකි සුදුසුම ක්‍රමය මේ බව පැවසේ.
අප්‍රිකාවේ පැරණි ස්ථාන තවදුරටත් ගවේෂණය කිරීමේ දී හා අධ්‍යයනය කිරීමේ දී තවත් බොහෝ තොරතුරු හමුවනු ඇති බව සිතිය හැකිය. විශේෂයෙන් අප්‍රිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ගොඩබිම ඇතුළට වන්නට පිහිටා ඇති ස්ථාන ගවේෂණය කිරීම සිදුව ඇත්තේ අඩු වශයෙනි. අනෙක් අතට නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවල ගවේෂණය හා අධ්‍යයනය කර නැත්තේ වෙරළබඩ ප්‍රදේශයයි. මේ නිසා සම්පූර්ණ අප්‍රිකානු මහාද්වීපයම ආවරණය වන ආකාරයේ පර්යේෂණ වැදගත්බව පෙන්වා දී තිබෙයි.
මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-021-03419-0
No comments:
Post a Comment