Showing posts with label Unpublished Articles (Blog only). Show all posts
Showing posts with label Unpublished Articles (Blog only). Show all posts

Sunday, May 12, 2024

අධික උණුසුම නිසා සිදු වන මරණ

Historical Notes - ඉතිහාස සටහන් 04
Climate Diary - දේශගුණ දිනපොත 05

ධනේෂ් විසුම්පෙරුම

2024-05-12

අධික උෂ්ණත්වය නිසා සිදුවූ මරණ කීපයක් පසුගිය දිනවල යාපනයෙන් වාර්තා වී තිබේ. මෙවැනි මරණ වරින්වර ශ්‍රී ලංකාවෙන් ද වාර්තා වී ඇතත්, කෙටි කාලයක් තුළ මරණ කීපයක් වාර්තා වීම එතරම් සුලබ නොවේ.

ගතවන 2024 වර්ෂයේ මේ දක්වා ගත වූ මාස කිහිපය අධික උෂ්ණත්වයක් සහිත අවුරුද්දකි. සමස්තයක් ලෙස  එය ලෝකයටම ‌පොදු වූ කරුණකි. එවැනි අධික උෂ්ණත්වයක් ඇතිවන තත්ත්වය හමුවේ අපේ රටේ ඇතැම් ප්‍රදේශ හා ප්‍රජාවගේ ඇතැම් කණ්ඩායම් (වැඩිහිටියන්, රෝගීන් හා කුඩා ළමුන්) වැඩි අවදානමකට ලක් විය හැකිය. මේ පිරිස් හා එළිමහනේ කටයුතු කරන පිරිස් විසින් ගත යුතු පියවර කාලගුණ විද්‍යා හා සෞඛ්‍ය අංශ දක්වා ඇත්තේ සැලකිය යුතු කලක සිටය. ඒ අධික උෂ්ණත්වය නිසා පුද්ගලයින්ට ඇති විය හැකි තාප ආඝාතය වැළැක්වීම පිණිසය.

අතීත වාර්තා


මේ තත්ත්වයට අතීතයේ දී ලක් වූ විදේශිකයන් ගැන ද වාර්තා වී ඇත. එසේ මියගිය සමහරුන්ගේ සුසාන ස්මාරක ද රටේ කිහිප ස්ථානයක හමුවේ. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මන්නාරම දිස්ත්‍රික්කයේ අරිප්පුවේ පරණ ලන්දේසි බලකොටු භූමියේ කෙලවරක පිහිටා ඇති සුසානයි.

චාල්ස් ලේස්ගේ සුසානය (1878)


SACRED
TO THE
MEMORY OF
CHAELES LEYS
OF THE
ORIENTAL BANK CORPORATION
WHO DIED OF SUNSTROKE
AT
MARISIKADDI
ON THE 14TH APRIL, 1878
AGED 35 YEARS

මෙහි වැඩි විස්තර සඳහන් කරන ජේ.පී. ලුවිස්ට [1, පි. 249] අනුව, චාල්ස් ලේස් මරිච්චිකඩ්ඩි වෙත පැමිණ ඇත්තේ දඩයම් චාරිකාවකය. පෙර දින යාපනයේ සිට මරිච්චිකඩ්ඩියට ඔහු පැමිණ ඇත්තේ ද ආවරණයක් නොමැති යාත්‍රාවකය. එදින උදෑසන මරිච්චිකඩ්ඩි සිට සැතපුම් හතක් දුර ප්‍රදේශයක දඩයමේ ගොස් ඇති අතරතුර රෝගාතුර වූ බැවින් ආපසු පැමිණ තිබේ. එහෙත් ඔහු මරිච්චිකඩ්ඩි තානායමේ දී එදිනම සවස මියගිය අතර, අරිප්පුවට ගෙන ගිය සිරුර මරණ පරීක්ෂණයකින් පසු අරිප්පුවේ තානායම් භූමියේ කෙලවරක භූමදානය කර ඇත. එහි ‌මේ සුසානය ගොඩ නගා තිබේ (අරිප්පුවේ ඕලන්ද කොටුව පසුකලක තානායමක් ලෙස භාවිත කරන ලදි. තානායම් ගොඩනැගිල්ල ලෙස භාවිත කර ඇති කොටුවේ පිහිටා තිබූ ගොඩනැගිල්ලේ හා අට්ටාලවල නටබුන් එහි ඇත.)

මේ හැර අධික උෂ්ණත්වය නිසා මියගිය බවට සුසාන පුවරුවල සඳහන් වන දෙදෙනෙක් පිළිබඳව ජේ. පී. ලුවිස් සිය List of inscriptions on tombstones and monuments in Ceylon කෘතියේ සඳහන් කරයි. ඒ අය මියගිය දින හා සුසාන පිහිටා ඇති ස්ථාන මෙසේය.

  1. ඇන්ඩෘ මැක්ගිල් (36) - මොහු තාප ආඝාතය නිසා අඹගමුවේ, රොසැල්ල වත්තේ දී මියගියේ 1873.11.13 දිනය (මහනුවර ගැරිසන් සුසාන භුමියේ පිහිටි සුසානයකි, ලුවිස්, පි.319)
  2. ඇලිස් මෝඩ් මේසි ස්වින්නර්ටන් (ළදැරියකි) - දැරියගේ සුසානයේ ඇති පාඨයක් මත ඇය තාප ආඝාතයෙන් මියගිය බව ලුවිස් පෙන්වා දෙයි. ඒ 1876 මාර්තු 7 දින දීය. (පුස්සැල්ලාවේ ශුද්ධ ත්‍රිත්ව සුසානභූමියේ ඇති සුසානයකි, ලුවිස් පි. 348)
මේ ගැන විමසනවිට පෙනී ගියේ 1876-78 කාලය මෙන්ම 1873 ද එල් නිනෝ තත්ත්වය පැවති වර්ෂයක් වූ බවයි. ඒ අතරින් 1876-78 කාලය ඉතා බරපතළ එල් නිනෝ තත්ත්වයක් පැවති බව මයික් ඩේවිස්ගේ කෘතියේ ක්වා තිබේ [2]. අනෙක් අතට පසුව සඳහන් මරණ දෙකම ඇති වී තිබෙන්‌නේ උණුසුම අඩු දේශගුණයක් ඇති කඳුකර ප්‍රදේශවලය.

අධික උෂ්ණත්වය නිසා සිදු වූ ඉහත මරණ අප දන්නේ සුසාන පුවරුවල ඒ පිළිබඳව සඳහන් වන නිසාය. එසේ සඳහන් නොවන, ඒත් අධික උෂ්ණත්වය නිසා ඇති වූ මරණ කෙතරම් සිදුවන්නට ඇත්දැයි අපි නොදනිමු. වඩා ශීත දේශගුණයකට හුරු විදේශිකන්ට මෙන්ම මෙරට වැසියන්ට ද කලින් කල ඇති වන ඒ අධික උෂ්ණ තත්ත්වයට දරාගැනීමට අපහසු වන්නට ඇත.

මූලාශ්‍රය 

[1] Lewis, J. P. (1913) List of inscriptions on tombstones and monuments in Ceylon, of historical or local interest, with an obituary of persons uncommemorated, Colombo: (Printed by) H. C. Cottle. (සබැඳිය - වෙබ් පිටුව, PDF ගොනුව (‌26MB))

[2] Davis, Mike (2001) Late Victorian holocausts: El Niño famines and the making of the third world, London, New York: Verso (සබැඳිය - ඇතැම් කොටස් සහිත වෙබ් පිටුව)

Thursday, April 22, 2021

"මිහිතල දිනය" හා "මිහිතල මාතා දිනය"

ධනේෂ් විසුම්පෙරුම


22.04.2021


අද, එනම් අප්‍රේල් මස 22 වැනි දිනය "මිහිතල දිනය" බව දැන් ප්‍රකට කරුණකි. එහෙත් එය "අන්තර්ජාතික මිහිතල මාතා දිනය" යනුවෙන් ද හැඳින්වෙන බව දන්නේ අඩු පිරිසකි.

මේ දෙක එකක් ද? නැත. මේ පළමුව සඳහන් දිනය ඇමරිකාවේ පැවැති පාරිසරික අර්බුදය නිසා උපන් ජනතා විරෝධතාවක් පැවති 1970 වසරේ දිනයක් සැමරීමකි. (එම සැමරුම 1990න් පසු ජගත් මට්ටමට ගියේය). අනෙක ඊට බොහෝ කාලයකට පසුව 2009 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ප්‍රකාශයට පත් කළ දිනයකි.


මිහිතල දිනය (Earth Day)

1960 ගණන් වන විට ඇමරිකාවේ පැවති මහා පරිමාණ පරිසර දූෂණය පිළිබඳව එරට ජනතාවගේ අවධානය යොමු විය. එයට පිළියම් සෙවීමට රජයට බලකරමින් හා පරිසරය ආරක්ෂා කිරීම සඳහා සහයෝගය පළ කරමින් එරට ජනතාව විසින් 1970 අප්‍රෙේල් මස 22 වැනි දින ඇමරිකාව පුරා උද්ඝෝෂණයක් දියත් කරන ලදි. ඊට මිලියන විස්සක පමණ ජනතාවක් සහභාගි වී ඇත. ඒ සඳහා මුල් වූ එවකට සෙනෙට් සභිකයෙකු වූ ගේලෝඩ් නෙල්සන් (1916-2005) මේ දිනයේ ආරම්භකයා ලෙස සැලකේ. 

එහි ප්‍රතිඵලයක් ලෙස ඇමරිකාවේ පරිසර ආරක්ෂාව සඳහා විවිධ කටයුතු ආරම්භ විය. එමෙන්ම එය 1970 දශකයේ දී ජගත් මට්ටමෙන් ඇති වු පරිසරය පිළිබඳ සාකච්ඡාවට ද බලපෑමක් කළ බැවින් මේ දිනය නූතන පරිසර සංරක්ෂණ ව්‍යාපාරයේ ආරම්භය ලෙස සැලකෙයි.

පළමු මිහිතල දිනයේ සම්බන්ධීකාරක වූ ඩෙනිස් හේයස් (1944-) එහි විසිවන සංවත්සරය හා සමගාමීව 1990 වර්ෂයේදී ජගත් සැමරුමක් බවට පත් විය. ඒ වර්ෂයේ දී රටවල් 141ක් පුරා මේ දිනය සමරන ලදි. 2020ට යෙදුණු මිහිතල දිනයේ පනස්වන සංවත්සරයට ලෝකය පුරා මිලියන සියයක පමණ ජනතාවක් සම්බන්ධ වී ඇත.

1990 වර්ෂයේ දී ජගත් මට්ටමට ගිය මිහිතල දින සැමරුම ශ්‍රී ලංකාවේ ද පවත්වන ලදි. අපේ රටේ සංවිධානය කළ වැඩසටහන් සම්බන්ධව ශ්‍රී ලංකා පරිසර සම්මේලනයේ පුවත්පත වූ 'මිහිකත' 9 කලාපයේ පළ වූ පුවතක් මෙසේය.




එදා මිහිතල දිනයේ සිට පරිසර දිනය (ජුනි 5) දක්වා මෙරට තුළ සිදු කළ කටයුතු ගැන 'මිහිකත' 10 කලාපයේ විස්තර පළ විය. (අපේ රටේ නූතන පරිසර ව්‍යාපාරයේ ව්‍යාප්තිය සිදුවන්නේ ද අසුව දශකයේ පමණය.)




එහි සඳහන් පරිදි 1990 අප්‍රේල් 22 දින පැවති කටයුතු සමහරක් මෙසේය.










කෙසේ වෙතත් මිහිතල දිනය යෙදෙන කාලය ලංකාවේ උත්සව සමයක් වීම නිසා මෙන්ම පාසල් නිවාඩු සමයක් වීම නිසාත් මේ දිනය සැමරීම දිගු කාලීනව සාර්ථක නොවීය. එහෙත් වරින්වර ඒ වෙනුවෙන් විවිධ වැඩසටහන් පවත්වා ඇත.

මිහිතල දිනය සඳහා තේමා නම් කිරීම හා ජගත් මට්ටමින් සම්බන්ධීකරණය කිරීම 'මිහිතල දිනය ජාලය' (Earth Day Network) විසින් සිදුකරනු ලැබේ. එහි වෙබ් අඩවිය www.earthday.org වේ.



අන්තර්ජාතික මිහිතල මාතා දිනය (International Mother Earth Day)



එඑතෙක් ස්වාධීනව සිදුකරන ලද මිහිතල දින සමරුවට අමතරව 'අන්තර්ජාතික මිහිතල මාතා දිනය' ලෙස අප්‍රේල් මස 22 දිනය නම් කරනු ලබන්නේ 2009 වර්ෂයේ දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ දී සම්මත වූ යෝජනාවක් අනුවය. එම යෝජනාව මෙසේය.


ඒ අනුව මේ දිනය සැමරීමේ දී ඒ වන විට පැවති තිරසර සංවර්ධනය හා සම්බන්ධ වැඩසටහන් හා  සැලසුම් ආදිය  යළිත් පිළිගැනීම හා අනුමත කරන බව යළිත් සඳහන් වේ. මිනිසුන්ගේ ද නිවස වන මිහිතලය හා සොබාදාහම සමඟ සාමයෙන් සහජීවනයෙන් පැවැත්මේ ඇති වැදගත්කම ද කියැවේ. 'මිහිතල මාතාව' ලෙස සිදුකරන හැඳින්වීම තුළින්ම මිහිතලය, මිනිසුන් හා සෙසු ජීවීන් අතර ඇති අන්‍යොන්‍ය උපජීවනය නිරූපණය යන බව මේ යෝජනාවෙන් වැඩිදුරටත් තහවුරු කර ඇත. 

(මෙම යෝජනාව PDF පිටපතක් ලෙස මෙතැනින් බාගන්න - http://undocs.org/A/RES/63/278)

එසේ සම්මත වූ මිහිතල මාතා දිනය 2010 වර්ෂයේ සිට සමරනු ලැබේ.


එබැවින් මේ දිනය වෙනුවෙන් 1970 සිට සමරනු ලබන ඇමරිකානු (පසුව ජගත් මට්ටමට ගිය) දිනයක් ද, 2009 දී එක්සත් ජාතීන් විසින් සම්මත කළ අන්තර්ජාතික දිනයක් ද ඇති බව පෙනෙයි. 

"මිහිතල දින" සැමරුම නිසා "අන්තර්ජාතික මිහිතල මාතා දින සැමරුම" යටපත් වී ඇති බවක් ද පෙනේ. එහෙත්  මේ දින දෙකේම අරමුණ වන්නේ මිහිතලය ආරක්ෂා කිරීමය; ඒ වෙනුවෙන් හඬනැගීමය; ඒ වෙනුවෙන් කටයුතු කිරීමය. එබැවින් ඒ දිනවල ඉතිහාසය ගැන අවබෝධයකින් යුක්තව පරිසරය වෙනුවෙන් මේ දිනය සමරමු.

22.04.2021

Tuesday, April 13, 2021

“වැස්ස නුඹ වගේ”

ධනේෂ් විසුම්පෙරුම

13.04.2021


වැස්ස දිහා බලන් ඉන්න මම හැමදාමත් ආසයි.


පිටිපන දී දුටු වැස්සක්

වැස්ස ගැන කතා කළ නිසා "මෙහේ හොඳටම වහිනවා" කියලා අයෙක් එවූ පණිවුඩයක තිබ්බා. එතකොටත් මම හිටියේ වැස්ස පොළොවට වැටිල එන සුවඳ විඳිමින්. අපට එතරම් තද වැස්සක් නොතිබුනත් පොළොව තෙමෙන වැස්සක් වැටුණා. ගෙවල්වල වහල හා සිමෙන්තිත්, පාරෙ කොන්ක්‍රීට් හා කැටගල් අතර ඇති සීමිත පසට වැස්ස වැටිලා ඒ නැවුම් සුවඳ පැමිණෙමින් තිබුනා.

ඒ වැස්ස පොළොව ඉල්ලා සිටින එකක්. අපි මොනතරම් වතුර දැම්මත්, ගෙවත්තේ ගහකොළවලටත් දැනෙන්නෙ මේ වැස්සට වැටෙන වතුරයි. පාරෙ බිඳුණු තැන්වල වැවෙන වල් පැළත් දළු දමා වැඩෙන්නෙ එතකොටයි.

ඊයේ, එනම් අප්‍රේල් 12 දා, තමයි මෙවර බක් මාසය ආරම්භ උනේ. මද අකුණු ගැසීමකුත් එක්ක අපට ආපසු වහින්න ගත්තෙත් ඒ සමඟයි. "බක්මහ වැස්ස" නැත්තං “බක්මහ අකුණු” කියන වචනෙට ගැලපෙන්නම වැඩේ පටන් අරගත්තා.


වැස්ස දිහා බලන් ඉද්දි බොහෝ දේ සිහිපත් වෙනවා.


පොඩි කාලෙ මහ වැස්ස වැටෙනකොට වහලෙන් හෝ පීල්ල කෙරවරකින් වැටෙන වතුර පාරට ඔළුව අල්ලගෙන නාපු හැටි මතක් වෙනවා. “ඉදලා ඉදලා වැටෙන වැස්සෙ නාන්න එපා” කියන එක අහන්නැතිව වැස්සේ නාන්න ගිහින් තාත්තගෙන් ගුටි කාපු වෙලාවලුත් තිබ්බා. දැනුත් ඉඳහිට එහෙම නාන වෙලාවල් නැත්තෙ නෑ. ඒක වෙනම වැඩක්. එහෙම නානකොට දමට දැනුණෙ ගමේ පීල්ලකින් වැටෙන වතුරෙන් අපි නාපු හැටි. දැරණියගල අපේ අම්මලාගෙ ඉඩම කෙලවර ආණ්ඩුවෙ රබර්වත්ත තිබූ කන්දෙ ගල්තලාවක් යටින් මතුවන දියබුබුලක් තිබුණා. ඒකට කිතුල් කඳක් කපා දමා පීල්ලක් සම්බන්ධ කරලා අපූරු නාන්න තැනක් සකසා තිබුණා. එතනින් පොඩි ඇලක් පටන්ගත් බවයි මතක. ඒත් දැන් ඒ පීල්ල එතන නැති බවක් මෑතදි ගිය වෙලාවෙ දැනගන්න ලැබුනා. ආයෙ ගියාම යන්න ඕන එතනට.

පුංචි කාලෙ වැහි වතුරේ කඩදාසි බෝට්ටු යවපු හැටි මතකයි. ගෙදර වහළෙන් වැටෙන වැහි වතුරේ වගේම මිදුලේ කලාගෙන යන වතුරෙත් බෝට්ටු යැව්වා. මහන්සි වෙලා ආසාවෙන් හදපු බෝට්ටු වතුර පාර දිගේ පාවෙලා ඈතට යනවා බලන් හිටියෙ සතුටින් වගේම දුකකින් වෙන්න ඕන - එදා ඒ හැඟීම් වෙන්කරලා තේරුම් ගත්ත හැටි මතක නෑ. කොහොම උනත් වැස්සේ බෝට්ටු යැවීම නං මෑත කාලදිත් කළ දෙයක්, ඒ ඉතිං පොඩි දරුවොත් එක්ක. ඉස්සර කඩදාසි බෝට්ටු යැව්වට දැන් හිටි ගමන් කාඩ්බෝඩ් බෝට්ටුත් හදනවා.

ඒ වගේම මට තියන පරණම සිදුවීමක් තමයි අපි මාතර ගොඩගම ගෙදරක හිටපු කාලෙ තාත්තා මාව දාගෙන ගංවතුරේ ඔරු පැද්ද හැටි. හීනයක් වගේ මත ඒ සිද්ධිය වෙනකොට මට වයස අවුරුදු දෙකක් තුනක් වෙන්න ඕන. තාත්තා එදා අම්මගෙන් සෑහෙන බැනුම් ඇහුවලු (මේක වෙනම ලියන්න ඕන). 

ලොකු උනාට පස්සෙ වැස්ස වෙලාවෙ මං කැමති පැත්තකට වෙලා වැස්ස දිහා බලං ඉන්න. දොර ගාවට වෙලා බලාගෙන ඉන්න. ඒ වගෙම මම වැස්සෙ ගමන් බිමන් යන්න එතරම් කැමති නෑ, ඒ දවසගානෙම කුඩ නැතිකරගන්න නිසාම නෙමෙයි (ඒකත් කියන්න එපැයි). 

මොනව උනත් ගහ කොළ අඩු, පර්චස් දහයෙ කොටස්වලට බෙදුණු ඉඩම්වල ජීවත් වන නිසා රෑට වහිනවා කියන්නෙ මහා සැනසිල්ලක්. කොන්ක්‍රීට් නිසා රෑටත් සිසිල් වීම අඩු පරිසරයේ ඒ ගත දවන උණුසුම නැතිව ගිහින් සිසිලක් ලැබෙන නිසා. සීතලේ නිදන්න හැකි නිසා.

මම පාසල් යන කාලෙ විසූ එක්තරා පරණ නිවසක කොටසක තිබුණෙ තහඩු වහළයක්. එවැනි තැනක දි වැස්සෙ තරම සද්දෙන් පවා කියන්න පුළුවන්. ඒ සද්දෙ තාමත් ඇහෙනව වගේ මතකයි. 


වැස්ස හා සංගීතය


ඉතින් වැස්ස ගැන හිතනකොට මගේ සිතට නිරායිසයෙන් එන ගීත කීපයකුත් තියනවා.

එකක් තමයි ගුණදාස කපුගේ ගයන රණ්බණ්ඩා සෙනෙවිරත්නයන් ලියූ "දවසක් පැල නැති හේනේ - අකාල මහ වැහි වැස්සා" කියන මව් ගුණ ගීතය. මේ ගීතය රජරට වැස්සත්, හේනත්, අම්මාගේ සෙනෙහසත් මතක් කරනවා. හේනක එවැනි අත්දැකීමක් ලබා නැතත් මගේම අත්දැකීමක් වගේ මට ඒක දැනෙනයා. ඒ එක්කම එහි තිබෙන "කොළඹ අහස කළු කරගෙන - මූදු හුළඟ අඬලන කොට" කියලත් කියන එක තවත් දැනෙනවා.

"දවසක් පැල නැති හේනේ
අකාල මහ වැහි වැස්සා
තුරුලේ හංගාගෙන 
මා ඔබ තෙමුනා අම්මේ
පායන තුරු හිටි පියවර
හිටියා ඔබ අම්මේ

නුවර වීදි යට කරගෙන
නින්දා වැහි වැගිරුණ දා
බිරිඳකගේ සෙනෙහෙ ගියා
යෝධ ඇලේ නැම්මේ
ඔබෙ සෙනෙහස සුවඳ දිදී
දැනුණා මට අම්මේ

කොළඹ අහස කළු කරගෙන
මූදු හුළඟ අඹලන කොට
ඔටුන්න බිම දා දුවගෙන
එන්නද එක පිම්මේ
මං එන තුරු ඉදිකඩ ලඟ
ඉන්නවාද අම්මේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සත් එක්ක ඊළඟට මතක් වෙන ගීතයක් තමයි මිල්ටන් මල්ලවාරච්චි ගයන "මේ මැයි ගහ යට දවසක්දා - වැස්සට අපි උන්නා" ගීතය. මේ සමඟ මට හැමදාම මැවෙන රූපය අමුතු එකක්. මැයි ගසක්වත් නැති බව මම හොඳින්ම දන්නා එක්තරා මාර්ගයක, අඳුරු වැසි සහිත සැන්දෑවක මැයි ගසක් පාමුල ඉන්නා නොදන්නා යුවලක් තමයි මට මැවෙන රූපයේ ඉන්නෙ. මේ අපූරු විරහ ගීතය අපි පාසල් කාලෙ සිටම බෙහෙවින් ආස කළ ගීයක්. අත්දැකීමක් ඇතත්, නැතත් විඳින්න හැකි වූ ගීතයක්. මේ ගීතයේ පද ආචාර්ය අජන්තා රණසිංහයන්ගේ.


"මේ මැයි ගහ යට - දවසක්දා
වැස්සට අපි උන්නා
රතුකැට වාගේ - මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසේ එක සැන්දා වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ
වැහිපොද සේ නෙතු කඳුලු සැලේ

වැහිපොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නෑත අද මා පමණයි
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟ ගීතය මම අහන්නෙ පස්සෙ කාලෙක. ඒ සෙංකඩගල වැස්ස සිහිපත් කරන "මුතුකුඩ ඉහළන මල් වරුසාවේ" ගීතයයි. විරහ ගීතයක් වුන මේ ගීතයත් ඒකෙ කිවෙන කතාවත් අපේම අත්දැකීමක් වගේ දැනෙනවා. සෙංකඩගල වැස්ස අත්දැක ඇති නිසාමද මන්දා. ඒකෙ චිත්ත රූපයක් මවන්න බෑ, මොකද කලකට පෙර රූපවාහිනියෙ දැකපු විෂුවල් එකක් චිත්ත රූපයම වෙලා නිසා . ලූෂන් බුලත්සිංහල ලියූ මේ ගීතය ගයන්නෙ රෝහණ වීරසිංහයි.

"මුතු කුඩ ඉහළන මල් වරුසාවේ
උඩ ඉගිළෙන විට වැහි ලේනී
එබී බලා රිය කවුළු දොරින්
යට ගිය දවසේ දෑස ගියා ඉගිලී

අදුරු ලලා සෙංකඩ ගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මදු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේ උනුසුම ඹබට දිිදි
නහවයි මා රියසක මඩ වතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබදකම් නෑ රියසක දන්නේ"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැඩෙන ආදරය එක්ක වැසි දිනයක් ගැන කියන මේ ප්‍රේම ගීතය මම මුලින්ම අහන්නෙ ඊටත් මෑත කාලෙක. රත්න ශ්‍රී විජේසිංහයන් රචනා කළ එඩ්වඩ් ජයකොඩි ගායනා කරන අපූරු ගීයක්.

"මිණි මිණි පොද වැටේවි - මල් මිණි දැදිරි වේවි
ඔබ එනවා නම්
දේදුනු පාලම උඩ හැන්දෑවේ
මම ඉන්නම්

ලා සඳ පළුව ඇවිත් නිල් දිය මුදුනින්
රන් තරු මාල බැදන් රන් වන් අහසින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්

බිම් කළුවර ඈතින් ඉරෙන්නට කලින්
සුදු මීදුමේ සුසුම් නැගෙන්නට කලින්
අද හොදම දවස - අද හොදම දවස
ඔබ එනවා නම්"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ගැන සිහිවීමත් එක්ක වැස්සට එන්න එපා කියන ගීත කීපයකුත් මට මතක් උනා. ඒවා සියල්ලම වගේ ප්‍රේම ගීතයි.

ඒ අතරින් මම මුලින්ම ඇහුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියූ, ආචාර්ය වික්‌ටර් රත්නායක ගායනා කරන මේ සුන්දර ගීතය. පෙම්වතිය හමුවීමට බලාපොරොත්තුවෙන් ඉන්නා අතර වැස්සක් වැටුනොත් ඒ සුන්දර මොහොත අඳුරු වී යා හැකි බවක් පැවසේ. එබැවින් සුළඟ මගින් වැහිවළාවට කියන්නේ හෝරා කීපයක් පමා වන ලෙසයි.

"හිත මිතුරු සුළඟ ළඟ එන වැහි වළාවට කියන්
අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්
දිගු කලෙකින් ඈ මුණගැසේවි හසඟනක් වෙසින්
වැසි වැටුණොත් ඒ සොදුරු මොහොත අදුරු වෙයි සැනින්

වීදි පුරා වතුර පිරෙයි - හෙමින් හෙමින් මුමුණ මුමුණ
ඇවිද යමි කෙසේ...
තණ නිල්ලේ ගොහොරු සැදෙයි - කථා නැතිව අනන්තයට
ඉගිල යමි කෙසේ...

අප සමුගත් පසු වසින්න - ගං හෝ වැව් ඉපිල ඉපිල
ඉතිර යනතුරා...
හෝරා දෙක තුනක් ඉන්න - නෑවිත් වැහි වළාපලේ
කඩ ඉමෙන් මෙහා..."

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඊළඟට මතකයට ආ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන් ලියා ඇති එඩ්වඩ් ජයකොඩි ගයන එකක්. එහි කියැවෙන්නෙ සිය පෙම්වතිය වැසි ආපදාවෙන් ආරක්ෂා කරන්න ඕන බව සිතන පෙම්වතෙක්ගෙ සිතුවිලි. වැස්සොත් සිදු විය හැකි දේ එතැන අපූරුවට කියවෙනවා.

"ඔබ තෙමෙයි කියා බයයි
වැසි වසි සුළං තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරියෙ පිට මඩ ඉහෙයි

මුහුනට හිරිකඩ වැදෙයි
සුදු මුදු මදහස මැකෙයි
මිරිවැඩි තුල දිය පිරෙයි
පය ලිස්සා බිම වැටෙයි

සළු පිළි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සග වන්නෙමි ඔබ මගෙන්
දිව එන්නට මට හිතෙයි"

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්සට එන්න එපා කියන තවත් ගීතයක් තමයි මෑත කාලයේ ඇහුව "මහරගමට වහින්නැතුව - වහින්න ඕනෑ තැනකට" ගීතය. එහි කියැවෙන්නෙ වැඩ අවසන් වී ගෙදර යන්න මහරගමට ආපු තරුණියක් වැස්සට හසු වී තෙමෙන්න පුළුවන් නිසා මහරගමට වහින්න එපාය කියන එක. මේ ගීතය ලියලා තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වන අතර ගයන්නෙ චාමර වීරසිංහයි.

"මහරගමට වහින්නැතුව
වහින්න ඕනෑ තැනකට
කුඩයක්වත් අතේ නැතිව
ඈ ඇති බස් නැවතුම ලග

උදේ ඉඳන් වද විඳලා
දැනුයි ගියේ වැඩ ඇරිලා
ඇඳන් හිටපු සාරියමයි
හෙටත් අඳින්නේ කියලා

මහ වැස්සට තෙමුණොත් ඈ
හෙට අඳින්න ඇඳුමක් නෑ
මග හිටියොත් වැස්ස නිසා
ගෙදර යන්න වෙන්නෙත් රෑ"

(මේ ගීතය මෙතැනින් අහන්න)

(මහරගම ටවුමට කෙසේ වෙතත් මහරගමට වහිනවට මම නං කැමතියි. මොකද මම ඉන්නෙත් මහරගම නගරයේම නිසා...)


වැස්සට කලින් සමහරුන්ට සිතෙන සිතුවිල්ලක් ගැනත් කියන ගීතයක් අපේ ගීත අතර තියනවා. ඒ, පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ගායනා කළ, කේ.ඩී.කේ. ධර්මවර්ධනයන් ලියූ “මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා” ගීතය. මොනව උනත් වැස්ස වෙලාව ඒ කටයුත්තට සුදුසුම වෙලාවක් තමයි.

"මහ වැස්සක පෙර නිමිති පෙනෙනවා - කවුළුව අතරින් හිරිකඩ එනවා
මල්පැණි වඩියක උණුසුම ලබනට යන්නට ඕනෑ කඩ මණ්ඩිය වෙත
කබාය ඉරිලා ඊට කමක් නැහැ - කවුරු බලන්නද කවුරු දකින්නද
මා දැන් මහළු වියේ - මා දැන් මහළු වියේ

පාරට බැස්සම නොවැ සීතල වැඩි - තනිකම ඊට වැඩී
එකම කුඩය යට අර යුවලක් යන හැඩ
මමත් ඔහොම ගිය හැටි මතකයි
මට හොඳහැටි මතකයි

මී විතකින් ගත උණුසුම් වූව ද - සිත උණුසුම් වේදෝ
එපා එපා මී විත මගෙ දෙතොළට
එපා එපා මී විත මගෙ දෙතොළට
ආපසු මගෙ කුටියට යනවා
මා ආපසු යනවා"

(මේ ගීතය මෙතැනින් අහන්න)


අපේ ගීත අතර වැස්ස උපමාවක් ලෙස ගත් ගීතත් තියනවා. ඍජුවම වැස්සක් ගැන නොකීවත්, ඒවයෙ වැස්ස යොදාගෙන තිබෙන්නේ අපූරු අදහස් සන්නිවේදනය කරන්නටයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ” එවැනි එක් ගීයක්. ඒත් ඒකෙ චිත්ත රෑප මැවෙන්නෙ වැස්සට පසුව එන නිසංසල බවත් එක්කම. පෙම් ගීයක් වන මේ ගීතයේ තියෙන්නෙ පෙම්යුවලත් අතර ඇති වූ ගැටුමකින් පසුව ඇති වූ තත්ත්වය. මේ ගීතය ලියා තිබෙන්නෙ සුනිල් සරත් පෙරේරා වන අතර ගයන්නෙ සෝමතිලක ජයමහයි.

“මහ වරුසාවට පසුව නැගෙන සඳ
වෙනදාටත් වැඩියෙන් එළියයි
නෝක්කාඩුවට පසුව ඔබේ වත
ඒ එළියට වැඩියෙන් එළියයි

ඇලදොල පාමුල ගොළුවුන ගීයකි
අප හදවත් බැඳි සොදුරු සෙනේ...
අද නොදකින ඔබ හෙට දකිනා තුරු
මඟ බලමින් මා සිත ලතැවේ

ඔබ මට හමුවුන මල්බර මාවත
වෙනදාටත් වැඩියෙන් සුවදයි...
විටකදි නැගුනත් සැක බිය ශෝකය
පිවිතුරු සෙනෙහස අද උතුරයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


ඍජුවම වැස්සක් ගැන නොකීවත් කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන, යමුනා මාලනී පෙරේරා ලියූ මේ ගීයෙ වැස්ස උපමා කරන්නෙ පෙම්වතියට. වැස්ස වගේ පෙම්වතියගෙන් සිත් මලේ පාට නොසේදීම පුදුමයක් තමයි කියලයි කියන්නෙ. “වැස්ස නුඹ වගේ” කියලා මේ ලියමනට මාතෘකාව ගත්තෙත් මේ ගීතයෙන්.

“සුළඟ නුඹ වගේ - සිත් මල වටා එතේ
මල් සුවඳ හොර හොරෙන් අරන් - යන්නටම හදයි
වැස්ස නුඹ වගේ - සිත් මලට ඇද වැටී
මලේ පාට නොසේදීම - පුදුමයක් තමයි

සිත හැඳිනුවෙත් ඔබයි
පසුපසම එලව එලවා විත්
සැනසුවෙත් නුඹයි
නුඹ මගේ හිත අරන් ගියා
පුදුමයක් නොවෙයි

සිත තනිකලෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි”

(මේ ගීතය මෙතැනින් අහන්න)


වැස්ස ආපදාවක් ද?


මෙතෙක් කීවේ වැස්සේ සුන්දර පැති ගැනයි.

කොහොම වෙතත් අධික වැස්ස නම් ස්වාභාවික ආපදාවක් විය හැකියි. ඒ වැස්ස නිසා ගංවතුර, නාය යෑම් වගේ විපත් සිදුවෙන්න පුළුවන්. ඒ නිසා සෑම වර්ෂයකම පාහේ සිදුවන ජීවිත හා දේපොළ හානි සැලකිය යුතු තරම් බරපතළයි.

එවැනි සිදුවීම් සඳහන් වන පොත් දෙකක් එක් වරම මතකයට ආවා. ඉන් එකක් මීට දශක කීපයකට පෙර පාසල්සමයේ දී කියවූ “වැහි දවස” නවකතාව. එය භද්‍රජී මහින්ද ජයතිලකයන් ලියුවක්. ඒ කතාව නායයෑම් ඛේදවාචකයක් ගැන ගැන කියවෙන්නක් බවයි මට මතක. මේ පොත ආපහු හොයාගන්න ඕන. 

අනෙක් පොත තමයි මෑත දී පළ වූ “හිඹුටුදෙණිය කඳු පාමුලින්” කියන කතාව. නායයෑමක් නිසා අනාථ වන දරුවෙකුගේ ජීවිතය ගැන ලියැවුණු මේ පොත පියසිරි මාතරගේ ලියූ සම්මාන දිනූ යොවුන් නවකථාවක්.

තවත් දෙයක්.

වැස්ස තියන දවස් ඇතැම් විට “අයහපත් කාලගුණයක්” ලෙස හඳුන්වනවා. විශේෂයෙන් සමහර මාධ්‍ය වැසි සහිත දවස් හඳුන්වන්නේ ඒ ආකාරයටයි. ඒ වගේම වැස්සේ තියන යහපත එදාට බොහෝ දෙනාට අමතක වෙනවා. එතෙක් පීඩා වින්ද නියඟය හා වියළි කාලගුණය අමතක වෙනවා. වතුර නැතිව වේලෙන වගාබිම් අමතක වෙනවා.

ඉතින් දැනට ඇති. දැන් වැස්ස තුරල් කරලා.

13.04.2021

Sunday, November 1, 2020

වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල ද?

එක්දහස් නවසිය හැත්තෑ තුනේ අපි තංගල්ලෙන් මාතර පදිංචියට ආවා (මට එතකොට මාස ගාණක්) අපේ අම්මාගේ රැකියාව නිසා වසර කීපයෙන් කීපයට තැනින් තැනට මාරු වීමට සිදු වූ නිසා අපි ඒ කාලෙ හිටියෙ කුලී ගෙවල්වල. මාතරට ආවට පස්සෙ ගොඩගම (ගෙවල් දෙකක) හා හිත්තැටියෙ ගෙදරක අපි හිටියා. හිත්තැටියෙන් කොළඹ ආවෙ 1978 මුලදි.

ගොඩගම ඉන්න කාලෙදි තාත්තා ගොඩගම පැත්තෙන් පොඩි ඉඩමක් අරන් තිබුණා. මට නම් ඒ ඉඩම මතක නෑ. හැබැයි අම්මා පසුකාලෙක කියපු විදියට ඒක පාර අයිනෙ පර්චස් විස්සක විතර ඉඩමක්. ඒ වගෙම එහි සරු පොල් වගාවක් තිබුණලු. ඉතින් අපි කොළඹ ආවට පස්සෙ තාත්තගෙ හිතවතෙක් හා පසුව අපේ මාම කෙනෙක් මාස කීපයකට වරක් ඒ ඉඩමෙ පොල් කඩල, පොල් ඔයලා ගෝනියක් දෙකක් මාතරින් කෝච්චියට දානවා. තාත්තා නුගේගොඩ දුම්රියපොළෙන් ඒවා ගෙදර අරන් එනවා. මේ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ හා නුගේගොඩ විජයබා මාවතේ. (දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන බව මම දැනගන්නෙ ඒ සිදුවීමෙන්.)

ඉතින් මගෙත් අක්කගෙත් අධ්‍යාපනයේ සිදු වූ වෙනස්වීම් එක්ක ආපසු මාතර පදිංචියට යෑම ගැන තිබූ අදහස නැතිව ගියා. ඉන් පසුව 1988 අගදි වගේ තාත්තා ගොඩගම ඒ ඉඩම රු. තිස්දහසකට විකිණුවා. (ඒ කාලෙ ඒක තරමක ලොකු ගණනක්)

එදා ඒ ගොඩගම ඉඩම විකුණපු සල්ලිත් දාල තමයි, අපි දැන් පදිංචි වෙලා ඉන්න නුගේගොඩට ආසන්න ගමක තියන පර්චස් දහයක ඉඩම ගත්තේ. එදා 1989 දී මේ ඉඩම ගත්තේ පර්චස් එකක් රුපියල් අටදාහ ගණනේ රුපියල් අසූ දාහකට... දැන් මේ පැත්තෙ පර්චස් එකක් ලක්ෂ 12-13 අතර වෙනවා. ඒ ගාණට දෙන්න හිස් ඉඩම් නෑ, ගෙවල් තියන ඉඩම් තමයි තියෙන්නෙ.

ඒ කියන්නෙ වසර තිහක් ඇතුළත ඉඩම් මිල එකසිය පනස් ගුණයකින් විතර වැඩි වෙලා. නූතන ලංකාවෙ වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි බොහෝ අය මුදලක් අතට ආ විට අනාගත ආයෝජනයක් ලෙස ඉඩමක් මිලට ගෙන "අරන් දැමීම". ඒ කියන්නෙ එහි ඉක්මනින් නිවසක් තනා පදිංචි වෙන්න අදහසක් නැතිව ඉඩම් මිල දී ගැනීම. ඔවුන්ගෙ අරමුණ පසුකාලයක මුදල් කරගන්න හෝ  දරුවෙකු ලොකු වූ කාලයක නිවසක් හදන්නයි. 

ඒ වගේම ගොඩගම ඉඩම මේ වෙනකම් තිබුනනං ඉන් සෑහෙන කොටසක් මීට වසර කීපයකට පෙර මාතර-අකුරැස්ස පාර ලොකු කරද්දි පාරට අත්පත් කරගන්න ඇති බව අම්මා ඉන්න කාලෙ කීවා.

ඒ ගොඩගම ඉඩම තියෙන්න ඇත්තෙ මේ Google Earth සිතියමේ මැද තියන පාර අසල තැනක. (මේ මාතර-අකුරැස්ස පාර ලොකු කරන්න කලින් 2005දි.)




ධනේෂ් විසුම්පෙරුම
2020.11.01

Wednesday, October 4, 2017

'නිමාවක් නොවන ඇරඹුමක්' ගැන කෙටි සටහනක්

ධනේෂ් විසුම්පෙරුම 

04.10.2017


ඒ සැන්දෑව අපූරු හා සරල අත්දැකීමක් විය.

දයා ද අල්විස්ගේ 'නිමාවක් නොවන ඇරඹුමක් - දයාවියකගේ ගී මතක' නම් කෘතිය ඊයේ (2017 ඔක්තෝබර් 03) දින එළිදැක්වීම බත්තරමුල්ලේ අපේ ගමදී සිදුවීම එ් සිදුවීමයි. එ් අපූරු කෘතියක් වූයේ එය ඇය ලියූ ගීත අතරින් තෝරාගත් ගීත දුසිම් දෙකකට පසුබිම් වූ කතාව හෙවත් අත්දැකීම් ඇයගේ හඩින්ම අනාවරණය කරගැනීමට උත්සාහ කර තිබීමයි. එහි සංස්කාරක මලින්ද සුදර්ශනය.

අප බොහෝ දෙනා කෙතරම් ගීත ඇසුවද ඒවාට පදනම් වු පසුබිම අසා ඇත්තේ අඩුවෙනි. මේ කෘතිය ඒ සඳහා අවස්ථාවක් ලබාදී ඇත. ගීතයක උපත සිදුවන්නේ පදරචනයේය. එබැවින් එ් ගැන කියැවීමට මම ගීත අැසීම තරම්ම ප්‍රිය කරන්නෙමි. අැතැම් විට ගී පදවල අරුත අවැසි අවැසි පරිදි විකෘති කරන්නන් බහුල සමාජයක ගී පද රචකයා විසින්ම එ් පසුබිම් වූ අත්දැකීම් ලියා තැබීම අගනා උත්සාහයකි.

මෙම කෘතියේ අැතුළත් ගීත අතර අැති ගීත බොහොමයක් 1970-1980 දශකයේ ගැයූ ගීත වේ. එ්වා අප එදා රස විඳි, අදටත් මතකයේ රැඳුණු ගීතම වේ. මේ එ් අතරින් මා නොදැනුවත්ම අතීතයට ගෙන යන මා කැමැතිම ගීත කීපයයි.

"මහා මෙරක් ලෙස ඔබ ගැන සිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන සිතුවේ"

"පෙම් කළ වරදට මට වද දෙන්නේ
පෙම් කළ සිතකින් නොවන නිසා"

"නෙතින් නෙත බලාලා සිතේ දුක නිවා
අදින් පසු මියේවී අපේ එ් කතා"

"ලාසඳ එළියේ නා පෙති හැලිලා
නාමල් සුවඳයි විහිදෙන්නේ"

"හිරුට අයිති බව හිරු පවසනවා
විලට අයිති බව විල පවසනවා"

"අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනක ආ සුබ පැතුමක් සේ"

"සඳක් නම් බැස යන්න තිබුනා
හඬන අහසට අඳුර දී"

"මට මතකයි ඔබ පිපිලා උන්නා දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා බඹරෝ සුවද මදු"

"ආපසු එනවා මගෙ සිත ඉබි ගමනේ
ඔබ ඈතක රඳවා"

"සපුමල් සුවඳක් සේ
සීතල රෑ යාමේ"

"දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා"

ඒ සැන්දෑව විචිත‍්‍රවත් වුනේ දයා ද අල්විස් විසින් රචිත මේ ගීත අතරින් සමහරක් එ් ගායික ගායිකාවන් විසින්ම ගයනු ලැබීම නිසාය. එසේ නොමැති වූ අවස්ථාවලදී අන් ගායිකාවන් විසින් ගයනු ලැබුවද ඒ ගීත සුන්දරම විය. එය සැබැවින්ම සුන්දර සන්ධ්‍යාවක්ම විය.

(මලින්ද අයියේ, ඔබට ස්තුතියි මේ අපූරු උත්සාහයට මෙන්ම පැමිණෙන්නැයි සිදු කළ ආරාධනාවට....)

Tuesday, June 27, 2017

අධික වේගයට හේතුව සෙවීම (බස් කථා 3)

මේ කලකට පෙර සිදු වූ සිදුවීමකි. එදින සවස 3ට පමණ මිත‍්‍රයෙකු සමඟ මම පුරහල ප‍්‍රදේශයේ සිට 138 බසයක නැගී නුගේගොඩ දෙසට පැමිණෙමින් සිටියෙමි. අප පැමිණියේ රුක්මල්ගම බසයකය. ආසන ගණනටවත් සෙනඟ නොසිටි අතර අප අසුන් ගෙන සිටියේ පසුපස දොර අසළ පසුපසම අසුනේය.

ගාටා ගාටා ටිකදුරක් ගිය බසය හදිසියේම අධික වේගයෙන් ධාවනය වන්නට විය. පාරේ ඉන්නා සෙනග ගන්නවත් උනන්දුවක් නොමැති බවක් දිස්විය. වෙනත් බසයක් සමග රේස් එකක්වත් නොමැතිව එතරම් වේගයකින් රුක්මල්ගම බසයක් පැමිණීම නිතර 138 පාරේ ගමන් කරන මට පුදුමයක් විය. මගේ මිත‍්‍රයාටද එය එසේම විය.

මගේ මිත්‍රයා අපට මදක් දුරින් සිටි කොන්දොස්තරට අභිනයෙන් කතා කළේය. කොන්දොස්තරද අප අසළට පැමිණියේය.

"මල්ලි අරයා දවල්ට කාල නැද්ද?" මගේ මිත‍්‍රයා කොන්දොස්තරගෙන් ඇසුවේය.

"කවුද?" එ් කොන්දොස්තරගේ පැනයයි.

"ඩ‍්‍රැයිවර් මල්ලි" මගේ මිත‍්‍රයා ඇසුවේය

වික්ෂිප්ත වූ කොන්දොස්තර "එ් ඇයි?" කියා ඇසුවේය.

"නෑ මෙච්චර හයියෙන් යන හින්ද මං හිතුව තවම දවල්ට කාල නැද්ද කියලා" කියා අපේ මිත‍්‍රයා ඇසුවේය.

කොන්දොස්තර මොකුත්ම කීවේ නැත. බසයද අප බසින තැනට පැමිණ තිබිණි.

ප.ලි. - හයිලෙවල් පාරේ 158 බස් ධාවනය වන 'සාමාන්‍ය වේගයේ' ආරෝහණ පිළිවෙලට ගතහොත් මෙසේය. ඒ ඒ මාර්ගයේ ධාවනය වන බහුතර බස්වල වේගය අනුව මෙය ගණන් බලා අැත. එහෙත් සාමාන්‍ය වේගයට වඩා සෙමින් යන මෙන්ම වේගයෙන් ධාවනය කරන රියදුරන් සිටීමට ඉඩ තිබේ. එ්වාට ඉහත කතාවේ කී අාකාරයේ කරුණු හේතු විය හැකිය.

මත්තෙගොඩ < රුක්මල්ගම < අතුරුගිරිය < මහරගම < කොට්ටාව < හෝමාගම

Wednesday, November 23, 2016

ශ‍්‍රී ලාංකික යන්නෙහි අරුත (බස් කතා 1)

අද* හවස 138 බසයක නැගි පසු වාසනාවකට මෙන් අසුනක් ලැබුනෙන් මද නින්දකට සැරසුනෙමි. යාන්තම් නිදිබර වූ මා තිඹිරිගස්යාය හරියෙදී ඇහැරුනේ තරුණයකු හා තරුණියක අතර වූ කතාබහකිනි. මගේ නිදිමත නැති විය.

එ් දෙන්නාගේ කතාබහ විවිධ මාතෘකා ඔස්සේ ඇදී ගියේය. කොළඹ සරසවිය අසලින් බසයට නැගෙන්නට ඇති ඔවුන් එහි සිසුන් බව කැම්පස් කතාවලින් පෙනුණි (එ් ෂෝ එකටදැයි නොදන්නෙමි.) ඔවුන් එකිනෙකාගේ ගම් ප‍්‍රදේශ ගැන දැනසිටියේ මද වශයෙනි. ඒ අනුව ඔවුන් නවක සිසුන් හෝ මෑතදී හඳුනාගත අය විය යුතුය. තරුණයාගේ පියාගේ ගම කුරුණෑගල වූ අතර ඔවුන් දැන් කොළඹ ආසන්නයේ පදිංචි බව පෙනිණි. තරුණියගේ ගම් ප‍්‍රදේශය වේයන්ගොඩ විය. කුරුණෑගල යන විට වේයන්ගොඩ පසුකර යන බවද ඇය සිය මිත‍්‍රයාට පවසා සිටියාය! (මටත් මේ ඔ්පාදූපමයි ලියන්න හිතෙන්නේ, ඔ්න කතාව පැත්තක තිබෙද්දි.)

කතාවේ වැදගත් දේ සිදුවූයේ, ගම්සභා හන්දියේදී තරුණයා බසින්නට සැරසුණු විටය. තරුණිය තරුණයාගෙන් මෙසේ අසා සිටියාය.

තරුණිය - "බස් එකෙන් බැහැලා යන්න දන්නවාද?"

මදක් විපිලිසර වූ තරුණයා මෙසේ කීවේය

"මාව කවුරු වගේද පේන්නේ? මම ශ‍්‍රී ලාංකික කොල්ලෙක්."

මේ අනුව "ශ‍්‍රී ලාංකික" යනු "බස් එකෙන් බැහැල යන්න දැනගැනීම" විය යුතුය.

එය එසේ නම්, ශ‍්‍රී ලාංකික කම යනු අප දන්නා කියන ප‍්‍රදේශවලදී පමණක් ඇති වන තත්ත්වයකි. එ් අනුව අප නොදන්නා තැනක යන විට ශ‍්‍රී ලාංකික කම නැති විය යුතුය. එ් බස් එකෙන් බැහැලා යන්න නොදන්නා නිසාය. පිටරටක ගියාම සමහරුන්ගේ ශ‍්‍රී ලාංකික බව නැත්තටම නැතිවන්නේද මේ නිසා විය යුතුය.

අනේ මංදාය. මේවා ඉගෙන ගන්න මේ කාලේ කැම්පස් යන්නම ඔ්නෑ වගේය. ඔවුන් මොන පීඨයේද යන්න හා 2009ට කලින් උපන් අයද යන්න දැන ගැනීමට මතක් වුනේ පසුවය. අපරාදේ...

(පසු සටහන - අපි කොළඹ කැම්පස් යන කාලයේ මෙවැනි අතිශය ගැඹුරු අර්ථකථන දෙන්නට හැකි අය සරසවියේ සිටියේ නැති වීම ගැන කණගාටුවක් ඇති විය. අපට කලින් කාලයේ එ් තරම් වත් නොසිටින්නට ඇත.) :-D

* 2016 ඔක්. 20

Tuesday, June 3, 2014

මේ වැස්ස අමුතුද?

නිරිත දිග මෝසම සක්‍රිය වෙමින් තිබේ. මේ නිසා අධික වැසි, නායයෑම් හා ගංවතුර තත්ත්ව රටේ තැනින් තැන ඇති වී ඇත. මැයි මස අග හා ජුනි මස මුල කාලයේදී මෙබඳු තත්ත්ව ඇතිවීම එතරම් අමුත්තක් නොවේ. එය හුදෙක් මෝසම් වැස්සේ ප්‍රබලතාව මත තීරණය වේ. එහෙත් ඇතැම් අය අදහස් දක්වන්නේ මෙවැන්නක් කිසිදා අත් නොවින්දාක් සේය.

මේ ගැන අදින් වසර 10කට පෙර 2004 ජුනි 23 දින මා විදුසර පුවත්පතට ලියූ ලිපියක කොටසක් උපුටා දක්වනු කැමැත්තෙමි. (http://www.vidusara.com/2004/06/23/feature3.html - කපුටා අකුරින් පළ වේ)

“සෑම වසරක ම පරිසර දිනයට ටික දවසකට පෙර අපේ රටේ පරිසරය රැකීමේ තත්වයට නිදසුන් සපයන සිදු වීමක් දැකිය හැකි වේ. ඒ මැයි මාසය අවසානයේ හෝ ජූනි මස මූල හටගන්නා ගංවතුර සහ නාය යෑම් ය. මෙවර ද ගංවතුර ඇති වුණු අතර එය වෙනත් වසරවලට වඩා අඩු විය. (ඒ ඇතැම්විට වර්ෂාපතනය අඩූ වූ නිසා ද විය හැකි ය.)“

මේ ලිපිය සමග පළ කරන ලද, ප්‍රවීන කාටූන් ශිල්පී විජේසෝමයන් විසින් 1991 වර්ෂයේදී දිවයින පුවත්පතට අඳින ලද කාටූනයෙන් මේ කාලයේ වැස්ස කෙතරම් සුලභද යන්න පැහැදිලි වේ. ඒ සඳහා මා ලියූ උදෘතය මෙසේය
“දිවයින පූවත්පතේ ප්‍රවීණ කාටූන් ශිල්පී ඩබ්ලිව්. විජේසෝම 1991 වසරේදී පළ කළ කාටූනයක් මේ සමඟ දැක්වේ. ඉන් වසරකට පසුව 1992 වර්ෂයේ ජූනි මස 5 වන දා කොළඹ හා තදාසන්න පෙදෙස්වලට ඇති වූ ඓතිහාසික මහා ගංවතුර අපි අපේ පරිසරය පිළිබඳ ව නොසලකා හැර ඇති ආකාරය පෙන්වා දුන්නේ ය“
 (මෙවැනි මහා ගංවතුරක් 1992න් පසුව කොළඹට යළිත් බලපෑවේ මතකයේ හැටියට 2003දී පමණය)






අවාසනාවකට මෙන් අධික වැස්ස නිසා ඇතිවන මේ ගංවතුර දරුණු කිරීම සඳහා හේතුවන මිනිස් කටයුතු මේ කාලය ඇතුළත තවත් උග්‍රවී ඇති බවට සැකයක් නැත. 2004 විදුසර ලිපියේ මම මෙසේ සඳහන් කළෙමි.

“මේ (ගංවතුර) සඳහා මූල් වන හේතු අතර වනාන්තර විනාශ කිරීම, දළ බෑවූම් සහිත කඳුවල වගා කිරීම, නිසි ආරක්ෂිත උපක්‍රම රහිතව කෙරෙන වගා නිසා සිදු වන පාංශු ඛාදනය ආදිය වේ. මේවා අප විසින් ම කර ගන්නා ලද දේ වේ. ... තෙත් බිම් ගොඩ කිරීම හා පොලිතීන් ආදියෙන් ජලය බැස යන මාර්ග අවහිර වීම ඊට මූලික හේතුව වූ බව පැවසිනි. එහෙත් මේ දක්වාත් තෙත් බිම් ගොඩ කිරිම හෝ පොලිතීන් භාවිතය පාලනය කිරීම සාර්ථක වී නැත.“ 

මේවා අවම කර ගැනීමට අප සමත්ව නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.


තවදුරටත් කරුණු පැහැදිලි කරගැනීම සඳහා පහසුවෙන් පැරණි පුවත්පත් අන්තර්ජාලයෙන් සොයාගත හැකි දිවයින පුවත්පතේ පසුගිය වසර 4ක නිදසුන් දක්වනු කැමැත්තෙමි.

2013 වැස්ස
- ජුනි 01 - රට පුරාම මහවැසි (http://www.divaina.com/2013/06/01/news02.html)

2012 වැස්ස
- මැයි 28 - දක්‌ෂිණ අධිවේගී මාර්ගය දෙපස ගම්බිම් ජලයෙන් යටවේ (http://www.divaina.com/2012/05/28/news07.html)

2011 වැස්ස
- මැයි 30 - විපතට පත් පිරිස 24,000 කට අධිකයි- වැසි විපත්වලින් පුද්ගල මරණ 8ක්‌ (http://www.divaina.com/2011/05/30/news01.html)
- මැයි 28 දිවයිනේ තැනින් තැන මහ වැසි (http://www.divaina.com/2011/05/28/news01.html)

2010 වැස්ස
- මැයි 22 - ගංවතුර සහ නායයැම් හේතුවෙන් මියගිය ගණන 20 දක්‌වා නගී (http://www.divaina.com/2010/05/22/news01.html)