Sunday, February 26, 2012

අපේ රටේ විදුලි මීටර්!

අප නිවසේ විදුලි මීටරය අඩුවෙන් පෙන්වන බව අදාළ බලධාරීන්ට දැනුම් දී දින කිහිපයකට පසුව LECO සේවක පිරිස් පැමිණ නව විදුලි මීටරයක් සවි කරන ලදි. එය පෙර පැවැති, මගේ මතකයේ හැටියට ඉන්දුනීසියානු නිෂ්පාදනයක් වූ කරකැවෙන රෝදයක් ඇති මීටරයක් නොව, නවීන පෙනුමැති හුරැබුහුටි මීටරයකි. 

එහි නිෂ්පාදිත සමාගම ලෙස ස‍ඳහන් වූයේ Ante LECO Metering Company (Pvt.) Ltd නම් සමාගමක නමකි. ඒ ගැන සෙවූ විටමේ සමාගම වසර කිහිපයකට පෙර නිෂ්පාදන කටයුතු ආරම්භ කළ බව අන්තර්ජාලයෙන් (http://www.colombopage.com/archive_08/October552601SL.html) දැනගැනීමට හැකි විය. බණ්ඩාරගම ප්‍රදේශයේ පිහිටා ඇති එය චීන සමාගමක් හා LECO සමාගමේ හවුල් ව්‍යාපාරයක් සේ ක්‍රියාත්මක වේ. 


පසුගිය වර්ෂයේ දී The Island පුවත්පතේ වාර්තාවක සඳහන් වූ පරිදි මෙ මගින් නිපදවනු ලබන මීටර් අපනයනය කිරීමට පවා හැකිය. ඒ, රටේ අවශ්‍යතාවයට වඩා අධික නිෂ්පාදනයක් ඇති නිසාය. (http://www.island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=23968)

අපේ රටේ විදුලි භාවිතය ආරම්භ කර වසර සියයකටත් වඩා ගත වූ පසු හෝ එවැන්නක් ආරම්භ කිරීමට හැකි වීම සතුටක් දකවන්නකි.


ධනේෂ් විසුම්පෙරුම
2012-02-26

Friday, February 24, 2012

මිනිසුන්ට ගැටලුවක් වෙමින් ඇති අලි ...

පසුගියදා ලුණුගම්වෙහෙර වැලිගත්ත ප්‍රදේශයේ ඇති වූ අවාසානාවන්ත සිදුවීම පිළිබඳව ජනමාධ්‍යවලින් මේ වන විට බෙහෙවින් සාකච්ඡාවට ලක්ව තිබේ. මා මේ ස‍ඳහන් කරන්නේ අලියකු පහරදීමෙන් තරැණියක මියයෑම සමග ඇති වූ ජනතා උද්ඝෝෂණය හා ඉන් අනතුරුව ඇති වූ තත්ත්වය පිළිබඳවය. මේ සිදුවීම ජීවිතයක් අහිමි වීමෙන් ඇති වූ සැබෑ ශෝකයේ ප්‍රතිරාවයක් සේ සැලකිය හැකිය.

අලි වාසය කරන්නේ වනාන්තරවල හා ආරක්ෂිත ප්‍රදේශවල පමණක් නම් මේ ගැටලු කිසිත් ඇති නොවේ. ඒ අදාළ ප්‍රදේශ සීමා කර ආරක්ෂා කළ හැකි නිසාය. එහෙත් මිනිසුන් වන අප විසින් ඇති කර තිබෙන සීමා අලින්ට අදාළ නොවේ. මෙරට අලින් සැලකිය යුතු පිරිසක් වාසය කරන්නේ ආරක්ෂිත ප්‍රදේශවලින් පිටතය. නැතහොත් ඔවුන් කලින් කලට ආරක්ෂිත ප්‍රදේශවලින් පිටතට ගමන්කරන බව දැකිය හැකිය. මේ අනුව ඔවුන් ආරක්ෂා කිරීම ගැටලුවක් වන බව පැහැදිලිය. ඒ අනුව ගැටලුව සඳහා එක් විසඳුමක් නොමැති බව පැහැදිලිය.

නිදසුනක් ලෙස හම්බන්තොට ප්‍රෙද්ශයේ හුදකලාව මිනිස් අනාවාස අතර කොටුවී සිටින අලින් ආරක්ෂා කර ගැනීම සඳහා අදාළ ගම්මාන ආරක්ෂා වන සේ විදුලි වැට ඉදිකිරීමට යෝජනාවක් තිබූ බව අපට මතකය.


මෙසේ වන්නේ ඇයි? අලි-ඇතුන් සමඟ සහයෝගයෙන් ජීවත් වීමට අපට නොහැකිද? මෙය අද දිනයේ විමසා බැලිය යුතු කරුණකි. අපේ රටේ අලි-මිනිස් ගැටුම බොහෝ දිගු කාලයක් තිස්සේ පවතින්නටය ඇති බව ඓතිහාසික සාධක අනුව පෙනෙන අතර වර්තමානයේ හෝ ඒ සඳහා සාර්ථක විසඳුමක් හෝ විසඳුම් සොයා ගත යුතුව තිබේ. යළිත් අවධාරණය කළ යුත්තේ මිනිසුන් මෙන්ම අලින් රැකගතහැකි විස‍ඳුමක් අලි ගැටලුවට ලබාදීම අත්‍යවශ්‍ය බවය.

වැඩි විස්තර - අපේ රටේ අලි ඇතුන් ගේ අනාගතය (http://www.vidusara.com/2011/08/10/feature1.html)
ධනේෂ් විසුම්පෙරුම
2012-02-24

දුම්කොළ භාවිතයේ අතීතය පිළිබඳ පුරාවිද්‍යාත්මක සාධක (Vidusara, 22-02-2012)

ධනේෂ් විසුම්පෙරුම
Published: Vidusara, 22-02-2012, p.9. http://www.vidusara.com/2012/02/22/feature5.html)



දුම්කොළ පිළිබඳව නො දන්නා අයකු නැති තරම් ය. දුම්පානය සඳහාත්, බුලත් විට හා වෙනත් එවැනි අවශ්‍යතා සඳහාත් ලෝකය පුරා ජනතාව භාවිත කරන ද්‍රව්‍යයක්‌ ලෙස දුම්කොළ හැඳින්වීමට හැකි ය. එයින් ලබාගන්නා ඇතැම් සංයෝග ඖෂධ නිෂ්පාදනය සඳහා යොදාගැනෙන අතර පළිබෝධ නාශකයක්‌ ලෙස ද භාවිත කරනු ලැබේ. මේ නිසා දුම්කොළ ශාකය රටවල් රැසකට ආර්ථික වශයෙන් වැදගත් ශාකයකි.

එහෙත් දුම්කොළ ලෝකයේ ප්‍රචලිත වීමට පටන් ගෙන තවමත් වසර පන් සියයක්‌ තරම් වත් නොමැත. මේ කාලය තුළ දුම් බීම මානව සෞඛ්‍යයට ද තර්ජනයක්‌ වී අවසන් ය. (දුම්කොළ වගාවේ පාරිසරික හානි ද හඳුනාගෙන ඇති බව සඳහන් කළ යුතු ය) මෙහි ඇති ගැටලු නිසා 2003 වර්ෂයේ දී දුම්කොළ පාලනය සඳහා රාමුගත සම්මුතියක්‌ ද ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ඇති කරගන්නා ලදි. මෙය එක්‌සත් ජාතීන් ගේ සම්මුති පිළිබඳ ඉතිහාසය තුළ දී වඩාත් ඉක්‌මනින් අපරානුමත කරන ලද සම්මුතියක්‌ සේ සැලකේ. ශ්‍රී ලංකාව ද මෙහි පාර්ශ්වකරුවෙකි.

මිනිසුන් ගේ ජීවිත සමඟ සම්බන්ධ වී ඇති ශාකයක්‌ නිසා දුම්කොළ ශාකයේ නිජබිම හා මිනිසුන් දුම්කොළ භාවිත කිරීමේ ආරම්භය ලෝකයේ කොතැනක සිදු වී ද යන්න ඉතිහාසඥයන් මෙන්ම විද්‍යාඥයන් ගේ ද අවධානය යොමු වී ඇති කරුණකි.

මේ පිළිබඳව ඇති තොරතුරුවලට අනුව දුම්කොළ භාවිතයේ ආරම්භය සිදු වන්නේ ඇමෙරිකාවේ ය. 15 වැනි සියවස අවසානයේ පටන් ඇති වාර්තා හා පුරාවිද්‍යාත්මක දත්ත අනුව මේ බව පැහැදිලි ය. 15 වැනි සියවස අවසානයේ දී පමණ ක්‍රිස්‌ටෝපර් කොලම්බස්‌ විසින් වර්තමාන ඇමෙරිකා මහාද්වීපය හෙවත් නවලෝකය ''සොයාගනු ලැබූ'' කාලයේ දී (ඒ වන විටත් මිනිසුන් වාසය කළ මහාද්වීපයක්‌ යමකු විසින් 'සොයාගනු ලැබූයේ' කෙසේ ද යන්න අපට නම් ගැටලුවකි. ඒ එය හුදෙක්‌ ඔවුනට සාපේක්‌ෂ දෙයක්‌ පමණක්‌ වන නිසා ය. ඒ නිසා මේ යෙදුමේ යෝග්‍යතාව පිළිබඳව අපට ගැටලු පවතී.) එහි වාසය කළ ස්‌වදේශිකයන් දුම්කොළ පානය කරමින් සිටි බැව් සඳහන් වේ. ස්‌වදේශික ඇමෙරිකානුවන් දුම්කොළ භාවිත කළේ එහි ඇතුළත් ඖෂධමය බලපෑම නිසා සහ ඊට ලබා දී තිබූ ආගමික හා පූජනීය තත්ත්වය නිසා ය. ඔවුන් ගේ චිත්‍රවල මිනිසුන් මෙන්ම දෙවිවරුන් ද දුම්පානය කරන ආකාරය දැක්‌වේ. මේ සිදුවීමෙන් පසු දුම්කොළ සෙසු ලෝකයට හඳුන්වා දෙන ලද්දේ මූලික වශයෙන් යුරෝපීයයන් විසිනි.

එහෙත් ඇමෙරිකාවේ ස්‌වදේශිකයන් ඊට වඩා ඈත කාලයක පටන් දුම්කොළ භාවිත කර ඇති බවට සාධක ඇත. ඇමෙරිකාවේ විසූ ස්‌වදේශිකයන් ගේ ශිෂ්ටාචාරවල නටබුන් අතර හමු වන චිත්‍ර හා රූපාක්‌ෂරවලින් ලියා ඇති තොරතුරු අනුව මේ බව පැහැදිලි ය. එහෙත් ඒ සඳහා නිශ්චිත භෞතික සාධක - එනම් දුම්කොළ - ඊට වඩා පැරැණි කාලයකින් මෙතෙක්‌ කලක්‌ ලැබී තිබුණේ නැත. එහෙත් මේ දින වකවානු පිළිබඳව නිශ්චිතව කරුණු දක්‌වන පර්යේෂණ වාර්තාවක්‌ පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් විය.

දුම්කොළ තිබුණු බඳුනක්‌

මේ අධ්‍යයනයේ දී මෙක්‌සිකෝවෙන් සොයාගන්නා ලද, ඇමෙරිකානු කොංග්‍රස්‌ පුස්‌තකාලයේ එකතුවක තිබූ පැරැණි මායා ශිෂ්ටාචාරයේ පශ්චාත් සම්භාව්‍ය සමයට (ව්‍යවහාර වර්ෂ 600-900 අතර කාලයට) අයත් බඳුන් රැසක ඇතුළත් ද්‍රව්‍ය පිළිබඳව පරීක්‌ෂා කර තිබේ. නවීන විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ යොදාගනිමින් සිදු කළ මේ විශ්ලේෂණයේ දී ඉන් එක්‌ බඳුනක්‌ භාවිත කර ඇත්තේ දුම්කොළ තැන්පත් කර තබා ගැනීම සඳහා බව නිශ්චිතව හෙළි වී තිබේ.

පැරැණි යුගයකට අයත් බඳුනක්‌ වූ එහි ඇතුළත් රසායනික ද්‍රව්‍ය සඳහා විශ්ලේෂණය කිරීමේ දී ඇති විය හැකි ගැටලු රැසකි. මෙවැනි බඳුනක්‌ භාවිත කළ කාලයේ දීම විවිධ ද්‍රව්‍ය එ තුළ තැන්පත් වීමට ඉඩ තිබේ. එසේ ම එවැනි බඳුනක්‌ භාවිතයෙන් පසු ඉවත දැමූ විට විවිධ ස්‌වාභාවික ක්‍රියාවලි නිසා රසායනික වශයෙන් විවිධ වෙනස්‌කම් ඇති වීමට ඉඩ තිබේ. ජලය නිසා සේදී යැම හා ක්‌ෂුද්‍ර ජීවීන් නිසා ඇති වන විපර්යාස මේ සඳහා නිදසුන් වේ. එපමණක්‌ නො ව පුරාවිද්‍යාත්මක අධ්‍යයනයකින් යළි අනාවරණය වී ගෙවී යන කාලය තුළ ද (එනම් ක්‌ෂේත්‍රයේ දී හා විද්‍යාගාර තුළ දී) එහි ඇති රසායනික ද්‍රව්‍යවල විපර්යාස ඇති විය හැකි ය.

එහෙත් උක්‌ත පර්යේෂණයේ දී යොදාගත් බඳුනේ අභ්‍යන්තරය හොඳින් ආරක්‌ෂා වී තිබී ඇත. මැටියෙන් නිෂ්පාදනය කරන ලද ප්‍රමාණයෙන් කුඩා මේ බඳුනේ අභ්‍යන්තරය පිරිසිදු කිරීමකට ලක්‌ කර නො තිබූ අතර ඊට වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීමක්‌ ද සිදු වී නොමැති තරම් ය. එය මතුපිට 'ඔහු ගේ/ඇය ගේ දුම්කොළ සඳහා වූ නිවස්‌ යන අරුත් දෙන වැකියක්‌ මායා රූපාක්‌ෂරවලින් ලියා තිබේ.

නවීන ක්‍රමවේදයක්‌ යොදාගැනේ


මේ බඳුන ද ඇතුළත් බඳුන් එකතුවේ ඇතුළත් ද්‍රව්‍ය මේ අධ්‍යයනයේ දී නවීන ක්‍රමවේදයක්‌ මඟින් පරීක්‌ෂා කර තිබේ. වායු වර්ණලේඛශිල්පය/ස්‌කන්ධ වර්ණාවලිමිතිය (Gas Chromatography/Mass Spectrometry) හා ද්‍රව වර්ණලේඛශිල්පය/ස්‌කන්ධ වර්ණාවලිමිතිය (Liquid Chromatography/
Mass Spectrometry) යනු මේ සඳහා යොදාගත් ක්‍රමවේද වේ.

මේ ක්‍රම දෙකෙන් ම අනාවරණය වී ඇත්තේ අප මාතෘකා කරගත් බඳුන තුළ නිකොටින් ඇතුළත් බව ය. නිකොටින් යනු දුම්කොළවල ඇතුළත් වන ප්‍රධාන සක්‍රිය රසායනික ද්‍රව්‍යයයි. එසේ ම මේ බඳුන තුළින් නිකොටින් ඔක්‌සිකරණය වූ විට සෑදෙන සංයෝග ද හමු වී තිබේ. එය සාමාන්‍යයෙන් දුම්කොළ වාතයට නිරාවරණය වීම හා බැක්‌ටීරියා ක්‍රියාකාරිත්වය නිසා සිදු විය හැකි දෙයකි. එහෙත් බඳුනේ තිබී භාවිත කරන ලද දුම්කොළ හා සම්බන්ධ කිසිදු රසායනික ද්‍රව්‍යයක්‌ හමු වී නොමැත. ඒ අනුව මෙය දුම්කොළ භාවිතයට පෙර තැන්පත් කර තැබීමට යොදාගත් බඳුනක්‌ ලෙස නිගමනය කර තිබේ. එසේ ම මේ භාණ්‌ඩ එකතුවේ වූ අනෙක්‌ බඳුන්වලින් නිකොටින් ඇතුළත් බවට සාධක කිසිවක්‌ නො ලැබීම ද වැදගත් ය.

උක්‌ත බඳුන අයත් කාලය අනුව ව්‍යවහාර වර්ෂ 700 පමණ කාලයේ දී මෙක්‌සිකෝවේ විසූ මායාවරුන් දුම්කොළ භාවිත කළ බවට මේ පර්යේෂණයෙන් නිගමනය කර තිබේ. මේ අනුව දුම්කොළ භාවිතය පැරැණි ශිෂ්ටාචාරයක්‌ වූ මායා ශිෂ්ටාචාරයේ විසූ ජනතාව විසින් සිදු කරන ලද බවට පැහැදිලි භෞතික සාධකයක්‌ ලබා දී තිබේ. එය මෙතෙක්‌ සිතා සිටියාට වඩා ඈත කාලයකට දුම්කොළ භාවිතය ගෙන යැමක්‌ ද වේ.

මෙය වැදගත් වන්නේ එය දුම්කොළ භාවිතයේ ඉතිහාසයට එළියක්‌ ලබා දීම නිසා හෝ මායා රූපාක්‌ෂරවලින් කියෑවෙන දේ බඳුන අභ්‍යන්තරයේ තිබීම තහවුරු කළ අවස්‌ථාවක්‌ නිසා හෝ පමණක්‌ නො වේ. එය ඉතා නවීන විශ්ලේෂණාත්මක රසායන විද්‍යාත්මක ක්‍රමවේදයක්‌ පුරාවිද්‍යාවේ භාවිතයක්‌ සඳහා යොදාගත් අවස්‌ථාවක්‌ ද වේ. සාමාන්‍යයෙන් මෙවැනි කාර්යයන් සඳහා යොදා නො ගන්නා මේ ක්‍රමවේදය පුරාවිද්‍යාත්මක අධ්‍යයන සඳහා අනාගතයේ දී භාවිත කළ හැකි ය.

(මූලාශ්‍රය( Rapid Communications in Mass Spectrometry, DOI: 10.1002/rcm.5339)

දුම්කොළ ශාකය හා එහි ඓතිහාසික ව්‍යාප්තිය

දුම්කොළ යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන Nicotiana ගණයේ ශාක විශේෂ 67ක්‌ පමණ දැකිය හැකි බව කිව් උද්‍යානයේ වාර්තා අනුව පෙනේ. මින් වැඩි ප්‍රමාණයක නිජබිම වන්නේ උතුරු හා දකුණු ඇමෙරිකාව වන අතර තවත් සමහරක්‌ ඔස්‌ටේ්‍රලියාවේ හා දකුණු පැසිµsක්‌ කලාපයේ හමු වේ. එහෙත් වර්තමානයේ මිනිසුන් විසින් ප්‍රධාන වශයෙන් වගා කරනු ලබන්නේ Nicotiana tabacum ශාකයයි. Nicotiana rustica ශාකය ද තවත් එවැනි වගා කරන දුම්කොළ ශාකයකි. මේවා ඇමෙරිකාව නිජබිම් කරගත් දුම්කොළ ශාක වේ. Nicotiana tabacum ශාකය මිනිසුන් විසින් වගා කිරීමෙන් දෙමුහුම් කරන ලද විශේෂයක්‌ ලෙස මේ වන විට පිළිගැනේ. ඒ අනුව එය ස්‌වාභාවික පරිසරයේ හමු නො වන ශාකයක්‌ බව පෙනේ.

ඇමෙරිකානුවන් දුම්කොළ භාවිත කළේ ද ඒවා මුලින් ම යුරෝපයට හඳුන්වා දී ඇත්තේ ද ඖෂධයක්‌ වශයෙනි. යුරෝපීයයන් විසින් දුම්කොළ ශාකය මෙන්ම දුම්බීම ද ලෝකයේ සෙසු රටවලට හඳුන්වා දෙන ලද්දේ 16 වැනි සියවසේ දී ය. දුම්කොළ යුරෝපයට හඳුන්වා දුන් දින වකවානු පිළිබඳ විශ්වසනීය සාධක රැසක්‌ තිබේ. නිදසුනක්‌ ලෙස ගත හොත්, පෘතුගාලයට 1558 දී ද, ප්‍රංශයට 1556 දී ද, ස්‌පාඤ්ඤයට 1559 දී ද, බ්‍රිතාන්‍යයට 1565 දී ද යනුවෙනි. දුම්කොළවල උද්භිද විද්‍යාත්මක නාමය ලෙස භාවිත වන Nicotiana සඳහා මුල් වී ඇත්තේ ජීන් නිකොට්‌ (Jean Nicot) නම් ප්‍රංශ ජාතිකයා ය. ඒ කාලයේ පෘතුගාලයේ සිටි ප්‍රංශ තානාපතිවරයා වූ ඔහු 1560 දශකයේ මුල් කාලයේ දී මේ ශාකයේ බීජ ප්‍රංශයේ රැජනක්‌ වෙත යවා ඇත.

දුම්කොළ ශාකයේ ව්‍යාප්තිය පිළිබඳව සැලකිල්ලට ගත හොත් එය මුලින් ම බ්‍රිතාන්‍යයට පැමිණ දශක කිහිපයක්‌ ඇතුළත, එනම් 1614 වන විට ලන්ඩනයේ දුම්කොළ අලෙවි සල් 7000ක්‌ පමණ තිබූ බව හෙළි වී ඇත. එය මෙහි ජනප්‍රියතාව සඳහා මනා සාධකයකි. දුම්කොළ භාවිතය කිසියම් ආකාරයක මෝස්‌තරයක්‌ ලෙස පිළිගැනීමට ලක්‌ වූ බවට මේ අනුව සාධක තිබේ.

දුම්කොළ ශාකය බොහෝ පුළුල් පාරිසරික තත්ත්ව යටතේ වැවිය හැකි ශාකයකි. ඒ නිසා විවිධ දේශගුණික කලාපවල වැවේ. මේ නිසා ගත වූ වසර පන් සියයක පමණ කාලය තුළ එය ලෝකය පුරා ව්‍යාප්ත වීම දැකිය හැකි විය. පෙරදිග ප්‍රදේශවලට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ ද පෘතුගීසින් හා ස්‌පාඤ්ඤ ජාතිකයන් විසිනි. ඒ 16 වැනි හෝ 17 වැනි සියවසේ මුල් භාගයේ දී පමණ ය. පෘතුගීසි ජාතිකයන් ඉන්දියාවට දුම්කොළ හඳුන්වා දුන්නේ ද මේ කාලයේ දී බව ද විශ්වාස කරනු ලැබේ.

අපේ රටට දුම්කොළ හඳුන්වා දෙන ලද්දේ පෘතුගීසින් විසිනි. පෘතුගීසි හමුදාවේ සිටි ජොආඕ රිබේරෝ නම් නිලධාරියකු විසින් රචනා කරන ලද කෘතියේ සඳහන් වන ආකාරයට 1638-1640 අතර කාලයේ දී ලංකාවේ වෙරළබඩ පෘතුගීසී පාලන ප්‍රදේශවල ඉහළ ම නිලධාරියා හෙවත් කපිතන්-ජනරාල් තනතුර දැරූ දොන් අන්තෝනියෝ මස්‌කරඤ්ඤස්‌, හමුදාවේ සිටි සියලු දෙනා දුම්කොළ භාවිත කළ යුතු බවට නියෝග දී ඇත. ඒ එක්‌ රෝගයක්‌ සඳහා ප්‍රතිකර්මයක්‌ ලෙසය. එසේ ම යුද්ධ හා ආක්‍රමණ කාලවල දී දුම්කොළ මිල ඉහළ ගිය බව ද ඇතැම් පෘතුගීසි වාර්තාවල සඳහන් වේ. ඒ අනුව දුම්කොළ සඳහා වූ වෙළෙඳපොළක්‌ ඉක්‌මනින් නිර්මාණය වූ බව පෙනේ. අපේ රටේ දුම්කොළ වගා කිරීම ද මේ කාලයේ දී ආරම්භ වූ බව විශ්වාස කළ හැකි ය. මෙරට වෙරළබඩ ප්‍රදේශ ලන්දේසීන් යටතේ පැවැති කාලයේ දී ද දුම්කොළ සැලකිය යුතු අංශයක්‌ විය.

http://www.vidusara.com/2012/02/22/feature5.html

Thursday, February 23, 2012

Starting Point

My decision to maintain a blog titled "Diary & Writings" (now My Writings) was based on the accumulation of material that could be shared along with friends and others who are interested in reading. I encountered that sometimes, there are more issues I come across than I can publish in papers!

This blog will be a collection of Published Articles, My Diary entries, Travel notes, Poems by me. These will cover mainly matters on nature and environment, culture, history and archaeology, and matters of national interest.

Please visit if you have time. Comments are expected.


Dhanesh Wisumperuma
Independant Researcher/ Freelance Writer

Originally written: 23.02.2012
Updated: 03.12.2021

Wednesday, February 1, 2012

‘ප‍්‍රථම’ ‘වැඩිම’ ‘විශාලතම’ - අප මේ දකින්නේ උන්මාදයක් ද වාර්තා පේ‍්‍රමයක් ද

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2012.02.08 (Vidusara)

http://www.vidusara.com/2012/02/08/feature3.html

2012.02.08 දින  දී පළ වූ මුල් ලිපිය මෙම බ්ලොග් ලිපියේ දී සංශෝධනය කර ඇත. (අවසන්වරට සංශෝධනය කරන ලද්දේ 2021.03.15 දින දී ය).

අපේ ජනමාධ්‍ය මගින් ඔස්සේ පසුගිය කාලයේ අපට අසන්නට ලැබුණු ශීර්ෂ පාඨ කිහිපයක් පිළිබඳව අවධානය යොමු වීම මේ ලිපිය ලිවීම සඳහා මූලික හේතුව විය. 

  • ‘ප‍්‍රථම’ වතාවට ඉදි කෙරුණු පාවෙන අවන්හල
  • ලොවේම ‘ප‍්‍රථම’ වතාවට ගුරුවරුන්ට විශ‍්‍රාම නිවහනක්
  • ලෝකයේ බත්කූරන්ගේ ‘දීර්ඝතම’ පර්යටනය
  • දකුණු ආසියාවේ ‘උසම’ කුළුණ
  • දකුණු ආසියාවේ ‘විශාලතම’ වරාය
  • මානව සංවර්ධනය අතින් දකුණු ආසියාවේ ‘පළමු’ තැන
  • ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ ‘පළමු’ සූර්ය බලාගාරය
  • ‘වැඩිම’ සංචාරක පිරිසකගේ පැමිණීම


මේවායේ දැකිය හැකි විශේෂණ පදය ඇතැම් විට අදාළ බලධාරියකු විසින් එක් කරන ලද්දකි. නැතහොත් වගකිවයුතු ආයතනයක් විසින් පවසන ලද්දකි. එසේත් නැතහොත් අඩු වශයෙන් පුවත්පතේ කර්තෘවරයකු විසින් එක් කරන ලද්දකි.

මෙවැනි විශේෂණ සහිත මේ සියල්ල අපේ රටේ දැකිය හැකි කිසියම් ආකාරයක සුවිශේෂ මානසික තත්ත්වයක් පිළිබඳ නිදසුනක් සපයන බවක් අපට සිතේ. මේ සියල්ල මගින් පෙන්වා දෙන්නට උත්සාහ කරන්නේ මෙතෙක් පැවැති තත්ත්වයට හෝ ඉදිකිරීමට හෝ සිදුවීමට වඩා වර්තමාන තත්ත්වය හෝ ඉදිකිරීම හෝ සිදුවීම වඩා සුවිශේෂී බවය. එය එවැනි ‘පළමුවැන්න’ විය හැකිය. නැතහොත් ‘විශාලතම’ හෝ ‘වැඩිම’ දේ විය හැකිය. එසේත් නැතහොත් ‘දීර්ඝතම’ දේ විය හැකිය. එසේත් නැතහොත් ‘උසම’ හෝ විය හැකිය. මේ ආකාරයෙන් මෙතෙක් පැවතියාට වඩා ඉදිරියෙන් පවත්නා බව පෙන්වීමට හෙවත් වාර්තාගත බව පෙන්වීමට සුදුසු (හෝ ඇතැම්විට නුසුදුසු) විශේෂණයක් යොදාගනිමින් අදාළ දේ හැඳින්වීම සිදුවේ. "වාර්තා පේ‍්‍රමය" හෝ "වාර්තා මානසිකත්වය" සේ හැඳින්වීමට හැකි මෙය කිසියම් උන්මාදයක් බවට පත්වෙමින් ඇති බවක් පෙනේ. 

මෙහි කිසියම් අපූරු කරුණක් තිබේ. මේ වාර්තාගත බව සඳහා සලකා බැලීමේ දී පළමුව සලකා බලන්නේ ලෝකයේ පළමුතැනට ගත හැකි ද යන්න පිළිබඳවය. ලෝකයේ මුල් තැනට එන්නට නොහැකි නම් ඊළඟට සලකා බලන්නේ ආසියාවේය. ආසියාවේ ද මුල් තැනක නොමැත්තේ නම් ඊළඟට සොයා බලන්නේ දකුණු ආසියාවේ තත්ත්වය පිළිබඳවය. එසේත් නැතහොත් ලංකාවේ මුල් තැනට එන්නේ ද යන්න පිළිබඳවය. මේ කිසිවක පළමු තැනට හෝ විශාලතම දේ නොවන්නේ නම් ඊළඟට සලකා බලනු ලබන්නේ දෙවැනි තැනට එන්නේ ද යන්න ගැනය. ඉන් පෙනෙන්නේ කෙසේ හෝ කැපී පෙනෙන්නට උත්හාසයක් දරණ ආකාරයකි.

මේ ආකාරයෙන් ඉදිරිපත් කිරීම අදාළ ඉදිකිරීම හෝ සිදුවීම හෝ අන් කවරක් හෝ වේවා එය අනෙක් සමාන දේට වඩා ඉස්මතු කිරීම සඳහා දැරෙන උත්සාහයක් ලෙස මෙය හැඳින්වීමට හැකිය. කෙසේ වෙතත් මේ අතරින් ඇතැම් සංසන්දනය කිරීම් සිදුකරනු ලබන්නේ කිසිදු වගකීමක් හෝ ප‍්‍රමාණවත් සොයැබැලීමක් හෝ නොමැතිවය. ඇතැම්විට එවැනි කරුණු පිළිබඳව සංසන්දනය කිරීමක් කළ හැකි තරම් දත්ත පවා නොමැත. එසේම මෙවැනි මැනීම කරනු ලබන්නේ හුදෙක් පුද්ගලිකව හෝ ආයතනික වශයෙන් යම් කැපී පෙනීමේ අවශ්‍යතාවයක් මත බව පෙනේ. ඇතැම් විට මෙවැනි අවස්ථාවල දී අතපසු වීම් හා වැරදි ද සිදුවී ඇති බව ද පෙනේ. පහත සඳහන් සිදුවීම මේ සඳහා යෝග්‍යතම නිදසුන සේ සිතමු.


ජාතික විදුලිබල පද්ධතියට එක් වූ පළමු සූර්යබල විදුලි බලාගාරය කුමක්ද?

ජාතික විදුලිබල පද්ධතියට එක්වූ පළමු සූර්යබල විදුලි බලාගාරය පසුගිය වර්ෂයේ අගෝස්තු මාසයේ විවෘත වූ බව මාධ්‍යවල වාර්තා විය. එය ඉදිකරන ලද්දේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොන්නොරුව ප‍්‍රදේශයේ ය. මේ පිළිබඳව සතුටු විය යුතු බව සැබැවි. විශේෂයෙන් දවසේ පැය දොළහක් පමණ කාලයක් තිස්සේ වසර පුරාම පාහේ හොඳින් සූර්යාලෝකය ලැබෙන රටක් ලෙස සූර්ය බලයෙන් විදුලිය උත්පාදනය කිරීමට උත්සාහ කිරීම යහපත් මෙන්ම පරිසර හිතකාමී වූවකි. සූර්ය බලයෙන් විදුලිය ජනනය කිරීමේ පිරිවැය තවමත් ඉහළ වුවත් නමුත් පිරිසිදු බලශක්තිය පිළිබඳව සලකා බැලීමේ දී එය වැදගත් කටයුත්තක් වන අතර මෙය අනාගතය වෙනුවෙන් ගත් ඉදිරි පියවරක් සේ හැඳින්වීමට ද හැකිය. ලංකාවේ විවිධ පුද්ගලයින් විසින් සූර්යබල පැනල භාවිත කළ ද එ්වායේ නිපදවන ලද ජාතික පද්ධතියට එක්ව නොමැති බව ද මේ පිළිබඳ පළවූ පුවත්පත් වාර්තාවල පෙන්වා දී තිබිණි.

එහෙත් හම්බන්තොට ඉදි වූ සූර්යබල බලාගාරය ජාතික විදුලිබල පද්ධතියට එක්වූ පළමු සූර්යබල විදුලි බලාගාරය ද යන ගැටලූව අපට ඇතිවේ. ඒ 2002 වර්ෂයේ ජනවාරි මාසයේ දී බත්තරමුල්ලට නුදුරු පැලවත්ත ප‍්‍රදේශයේ පිහිටි පුද්ගලික මාධ්‍ය ආයතනයක දී ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක්කරන බව පවසමින් සූර්යබල විදුලි බලාගාරයක් විවෘත වූ නිසාය. එය ද එදා හඳුන්වා දී තිබුණේ ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කරන පළමු සූර්යබල විදුලි බලාගාරය යනුවෙනි. එහි ආරම්භයේ දී කිලෝවොට් 25ක් ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතව තිබූ අතර ක‍්‍රමයෙන් කිලෝවොට් 100ක් දක්වා ඉහළ නැංවීමට ද නියමිතව තිබිණි. මේ සඳහා ඇමරිකානු ඩොලර් 125,000ක මුදලක් වැය වී තිබුණු අතර එය එවකට ලංකාවේ පැවැති විශාලතම සූර්යබල විදුලි බලාගාරය බව ද පෙන්වා දී තිබිණි. මේ බව ජාතික විද්‍යා පදනමේ සඟරාවේ 2008 නොවැම්බර් මාසයේ පළ වූ විකල්ප බලශක්තිය ලිපියක ද මේ ව්‍යාපෘතිය ලංකාවේ පළමුවැන්න සේ හඳුන්වා දී තිබිණි. මෙයින් නිපදවන ලද විදුලිය සඳහා මුදල් ගෙවන ලද්දේ කුඩා පරිමාන ජල විදුලි බලාගාරයකින් නිපදවනු ලබන විදුලි ඒකකයක් හා සමානවය. මේ අනුව උක්ත බලාගාරය වාණිජමය වශයෙන් ලාබදායක නොවන බව ඒ කාලයේ දීම පෙන්වා දී තිබිණි. (එය සූර්ය බලය ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලිය මිල දී ගැනීමේ එකඟතාවල සූර්ය බලය අඩංගු නොවීම නිසා බව ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ ඇමරිකාන නියෝජාතියතනය (USAID) වෙනුවෙන් සකස් කරන ලද වාර්තාවක ද සඳහන් විය.)  

මේ අනුව ජාතික විදුලිබල පද්ධතියට විදුලිය එක් කළ ප‍්‍රථම විදුලි බලාගාරය කුමක් ද යන්න ගැටලූවකි. යම් ආකාරයකින් පෙර කී 2002 වර්ෂයේ දී විවෘත වූ බලාගාරය පසුව ක‍්‍රියාත්මක නොවූව ද ඉන් පසුව ඉදිකරනු ලබන බලාගාර ‘පළමු’ බලාගාරය සේ හැඳින්වීම ගැටලූ සහගතය. පැලවත්තේ ඉදිකරන ලද බලාගාරයේ නිපදවන ලද විදුලිය ප‍්‍රමාණය අඩු වුවත් ඉන් ජාතික විදුලි පද්ධතියට විදුලිය ලබා දී ඇති බව පැහැදිලිය. දැනගැනීමට ඇති අන්දමට එය අදාළ ආයතනයේ ද භාවිත කරමින් ඒ අතර ජාතික පද්ධතියට ද විදුලිය ලබා දීමට හැකි ආකාරයේ බලාගාරයකි.


වාර්තා අවශ්‍ය නම්

අපේ රටට අපේ නමින් වාර්තා අවශ්‍ය වන්නේ නම් සොයැබැලිය යුතු වැදගත් කරුණක් පිළිබඳව ද අපේ අවධානය යොමු කිරීම යෝග්‍ය බව අපි සිතීමු. ඒ අනුව අප සිටින ස්ථානය පිළිබඳ අදහසක් ලබා ගැනීමට උපකාරී වනු ඇත. 

නිදසුනක් ලෙස ලෝකයේ සියදිවි නසාගැනීම් වේගය අනුව ශ‍්‍රී ලංකාව 2011 වන විට  පසුවන්නේ 11 වැනි ස්ථානයේ බව විකීපීඩියාව පවසයි. 2011 වර්ෂයේ දී රටවල් 107ක් පෙළගස්වා තිබූ මේ ලේඛනය සඳහා ලංකාවේ භාවිත කර ඇත්තේ 1996 වර්ෂයේ දත්ත ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ වාර්තා අනුව එම වර්ෂය සඳහා වූ ලංකාවේ වේගය, එ නම් වර්ෂයක දී ජනගහනයෙන් 100,000කට සිදු වූ සියදිවි නසාගැනීම් ගණන, 21.6ක් පමණ විය. වාසනාවකට මෙන් 1985 දී උපරිම වේගයක් වාර්තා කළ සියදිවි නසාගැනීමේ වේගය ඉන්පසු අඩු වී තිබේ. සියදිවිනසාගැනීම් පිළිබඳ 2016 වන විට පැවති තත්ත්වය අනුව මෙහි අඩුවීමක් සිදුව ඇති බව පෙනේ. මේ අගය තවදුරටත් අඩු කිරීම සඳහා පියවර ගැනීම සුදුසුය. උක්ත විකීපීඩියා පිටුව අවසන් වරට පරිශීලනය කළ 2021.03.15 දින වන විට එහි සඳහන් වන්නේ 2016 දත්තය. ඒ අනුව 2016 දී ලංකාවේ වර්ෂයක දී ජනගහනයෙන් 100,000කට සිදු වූ සියදිවි නසාගැනීම් ගණන 14.2කි. ඒ අනුව ලංකාව ලෝකයේ රටවල් 183ක් අතරින් 31 වන තැන ගෙන ඇත. මේ සඳහා සබැඳිය- http://en.wikipedia.org/wiki/List_of_countries_by_suicide_rate වෙත පිවිසෙන්න).


වාර්තා මානසිකත්වයෙන් ඔබ්බට 

වාර්තා පිට වාර්තා පිහිටුවීම නොව සැබැවින්ම අපේ රටට අවශ්‍යව ඇත්තේ ගුණාත්මක සංවර්ධනයකි. ඒ සඳහා වැදගත් වන කරුණු අප ද විටින්විට පෙන්වා දී තිබේ. එහෙත් අවාසනාවකට මෙන් අපේ රටේ වැඩි අවධානයක් යොමු වී ඇත්තේ සංඛ්‍යාත්මක කරුණු හෙවත් ප‍්‍රමාණාත්මක වර්ධනය කෙරෙහිය. නිදසුනක් ලෙස ගතහොත් වැඩිම සංචාරකයින් පිරිස මෙරටට ගෙන්වා ගැනීමට වළිකන බලධාරීන් පාලනය කළ යුතු තත්ත්වයක තිබෙන සංචාරක ව්‍යාපාරයේ අයහපත් බලපෑම් ගැන නිහඬය. එසේම අපේ රටේ ක‍්‍රියාත්මක අධිවේගී සංවර්ධනය නිසා විනාශවන පරිසරය පිළිබඳව ද විමසා බැලිය යුතුය. තිරසර සංවර්ධනය ඉලක්ක කරගත්තද අපේ රටේ ඇතැම් විට සිදුවන්නේ තිරසර නොවන සංවර්ධන කටයුතුය. මේ නිසා සංවර්ධනයේ ගුණාත්මක බව පිළිබඳව සලකා බැලිය යුතු බව පැහැදිලිය. 

කෙසේ වෙතත් මේ වාර්තා හඹා යාම පසුපස ඇත්තේ දේශපාලන අවශ්‍යතාවයක් බව පෙනෙන්නට තිබේ. එය ආණ්ඩුවට හෝ ආයතනයකට හෝ පුද්ගලයකුට කැපීපෙනීමේ හෝ පුවත් මැවීමේ ඇති අවශ්‍යතාවයක් බව පෙනේ. 

දේශපාලන අවශ්‍යතාවය කෙසේ වෙතත් දේශපාලනය අතින් නම් අපේ රට පහසුවෙන් නොබිඳිය හැකි වාර්තා තබා ඇති බව පෙනේ. වසර පණහක් පමණ තිස්සේ පළ කරන ලෝ පුරා පිළිගැනීමක් ඇති ගිනස් ලෝක වාර්තා පොතේ ඇතුළත් එක් වාර්තාවක් මෙහි දී වැදගත් වේ. ශ‍්‍රී ලංකාවේ හෝ ශ‍්‍රී ලාංකිකයන්ගේ නමින් ලියැවුණු වාර්තා විසිහයක් ගිනස් වාර්තා වෙබ් අඩවියේ මේ සටහන තබන අවස්ථාව (2012) වන විට දැකිය හැකි ය. ඉන් බහුතරයක් පමණ ක‍්‍රිකට් හා සම්බන්ධය. තවත් කිහිපයක් විවාහ මංගල්‍ය උත්සව හා  පුද්ගලික මට්ටමේ දක්ෂතා පිළිබඳව පිහිටුවන ලද වාර්තාය. ශ‍්‍රී ලංකාවේ නමින් ලියැවී ඇති වාර්තා අතරින් කැපී පෙනෙන වාර්තාවක් වන්නේ ‘‘ලෝකයේ විශාලතම කැබිනට් මණ්ඩලය’’ පිළිබඳ වාර්තාවයිි. එය 2005 වර්ෂයේ නොවැම්බර් 17 වන දින ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත්කරන ලද ඇමතිවරුන් 52ක ගෙන් යුක්ත කැබිනට් මණ්ඩලය බව වාර්තාවේ සඳහන්ය (මූලාශ්‍රය - (https://www.guinnessworldrecords.com/world-records/most-cabinet-ministers-appointed-by-a-government/). 

අනෙක් අතට මෙහි දී ගිනස් වාර්තා පොතට ද වරදක් සිදු වී තිබේ. අදාළ කැබිනට් මණ්ඩලය පිහිටුවන ලද දිනය වැරදි දිනයකි. නොවැම්බර් 17 යනු අදාළ කැබිනට් මණ්ඩලය පත් කළ ජනාධිපතිවරයා පත් වූ ජනාධිපතිවරණය පැවැත්වූ දිනයයි. ඔහු ජනාධිපති ලෙස දිවුරුම් දුන්නේ ද නොවැම්බර් 19 දින ය. අගමැතිවරයා පත් කරන ලද්දේ 22 වන දා වන අතර කැබිනට් මණ්ඩලයේ මුල් ඇමැතිවරුන් විසිපස්දෙනා පත් කරන ලද්දේ 23 වැනි දාය. වාර්තා පිළිබඳව අඟලට, නූලට සලකන බව පවසන ගිනස් වාර්තා පොතටත් වැරදීම වාර්තා මානසිකත්වය තවදුරටත් සමච්චලයට පත් කරන බව පෙනේ.

කෙසේ වෙතත් මේ වාර්තාව අලූත් කරන්නට ඉන්පසුව පිහිටුවන ලද කැබිනට් මණ්ඩල පිහිටුවීමේ දී හෝ සංශෝධනවල දී හෝ උත්සාහ කරන ලද්දේ නැත. එය වාසනාවකි.

(මෙම තිරසටහන ලබා ගන්නා ලද්දේ 2021.03.15දින දීය)