Tuesday, January 31, 2023

එදා අපේ සෝෂල් නෙට්වර්ක් සයිට් එක...

අවුරුදු තිහකටත් එහා අතීතයේ අපේ "සෝෂල් නෙට්වර්ක්" සයිට් එකක් අද පෙනෙන හැටියි මේ.

මේ නුගේගොඩ හන්දියේ, නාවල පාර පටන්ගන්න තැන ඇති කඩ පෙළයි. අද මේ පාර අයිනේ වැටක් ගහලා තිබ්බත් එදා කරගම්පිටිය පැත්තෙන් එන 176 හෙට්ටියාවත්ත බස් නැවැත්තුවේ මෙතන පේන කඩ ඉදිරියේයි. නුගේගොඩින් හරවන ඒවා පොටෝ එකේ දකුණු පැත්තට වෙන්න ඇති අද නවත්වන තැනම නැවැත්තුවා. ඒ කාලේ තිබ්බ අංක 173 තොටළඟ හා අංක 4 කොටුව (කොළකවය) බස් නැවැත්තුවේ ඊට ටිකක් ඉදිරියට වෙන්නයි.


මේ පරණ තාලේ තනිමහල් කඩ පේළියේ එදා කඩ කාමර හතරක් තිබ්බා. දකුණු අත පැත්තේ කෙලවරේ පිහිටයේ අදත් තියන 'දොඩම්පේ ස්ටෝර්ස්' එක. වම් කෙලව‌රේ තිබුනේ 'විජය ඔසුසල' - ඒකත් අද තියනවා 'නව විජය ඔසුසල' නමින් (පරණ ගොඩනැගිල්ලෙම වගේ). විජය ඔසුසල අසලම ඇති අනෙක් කඩේ තට්ටු දෙකකට හදලා. ඒ කාලෙත් වහලා තිබ්බා වගේ මතක ක් කඩ කාමරයක් අද වන විට කැඩිලා.

පාරෙ හා පේමන්ට් එක‌ට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේ කඩ කාමර ටික තිබ්බේ. පොඩ්ඩක් වලක් ව‌ගේ. මා දුටු විිිදියට අදත් ඒක එහෙමයි. ඒකට හේතුව මේ ගොඩනැගිලි හැදුවට පස්සේ කාලෙක පාර උස්සපු එක වෙන්න ඕන. ඉතින් ඒ කාලෙ "වල බහිනව" කියපු එකට නියම අර්ථය ඒක!

ඉතින් මේක අපි ලාවට වල බැහැපු සෝෂල් නෙට්වර්ක් සයිට් එක... ඒක උනේ මෙහෙමයි -

ඒ 1989-1992 අතර කාලය. උදේ පාසැල් ගිහින් එහෙමම වගේ හවස රොටරියේ උසස් පෙළ පන්ති ඇරිලා ආවම අපි නවතින්නේ මෙතන... මගේ පංතිවලින් තුනක් විතර තිබ්බේ සතියේ දවස්වල. සඳුදා පාලිත දේවරාජා සර්ගේ බොටනි පංතිය. බ්‍රහස්පතින්දා දෙව්රුවන් සර්ගේ කෙමිස්ට්‍රි පංතිය. සිකුරාදා පිසික්ස් පංතිය.

ඉතින් අපි මෙතන රැඳී ඉන්න හේතුව තමයි සීසන් එකෙන් ලංගම බස්වල යන්න අපට සිදු වීම. ඒ කාලෙ ලංගම බස් අඩුයි වගේම, ඉස්කෝල ළමයි ගොඩක් හිටියම කරගම්පිටියෙ ඉදල එන බස් සමහර විට මෙතන නවත්වන්නේ නැහැ. ඒ නිසා සමහර දවස්වල අපි පැය කාලක් බාගයක් මෙතන ඉන්නවා. මෙතන ඉදලා බස් හෝල්ට් තුනක් ඈත තියන විජයබා මාවතට යන්න ඕන මමත් පැය බාගෙ මෙතන හිටපු දවස් තියනවා. පයින් ගියා නං මට යන්නේ මිනිත්තු පහළොවයි. ඒ උනාට නාවල, රාජගිරිය වගේම ඊටත් එහා යන යාලුවො දාල යන්න බෑනෙ...

ඉතින් අපි එතන ඉන්න උන්ට මචං කියලා සෙට් වෙනවා - ඒක ඉතින් කවුරු හරි ඇක්ටිව් ඉන්නව දැක්කම, හේතුවක් නැතිවත් Hi කියලා චැට් කරන්න සෙට් වෙනවා හා සමානයි.

ඉතින් අපි ඒවට චැට් ගෘප් කියමු. මෙතන සමහර දවස්වලට චැට් ගෘප් කීපයක් ඇක්ටිව් උනා. කොල්ලෝ ඉන්න ඒව තමයි වැඩිම. ඒ වගේම කෙල්ලන්ගෙත් චැට් ගෘප් තිබ්බ දවසුත් තිබ්බා - ඒත් ඉතින් සීසන් කෙල්ලො ටික. මේ ගැවසෙන්නේ එකම සෙට් එක. හැබැයි හැමෝම හැමදාම නෑ - මොකද පංති වෙනස් වන නිසා. මං හිටියේ සඳුදා හා බ්‍රහස්පතින්දා තමයි වැඩි වශයෙන් (සිකුරාදා පංතියෙ මේ පැත්තට එන යාලුවො හිටියෙ නැති තරම්).

ඉතින් අපේ මේ සෝෂල් නෙට්වර්ක් එකේ අද තියන සෝෂල් නෙට්වර්ක්වල තියන දේවල්ම තිබ්බා. ඒක එක දේවල් ගැන අපි කතා කරනවා. සමහර ඒවා සීරියස් කතා. සමහර ඒවා ඕපදූප. ඒව ඉතින් දැන් තියන ගෘප්වල මාතෘකා වගේම තමයි. යන්නෙ කොහෙහෙමල්ලෙ පොල් කතාත් ඕන තරම්!

ඒ වයසෙදි විය යුතු විදියටම වැඩි කතා බහක් තිබ්බේ බඩු හෙවත් කෑලි හෙවත් කෙල්ලෝ ගැනයි. මොකද එතැනින් අපේ පංතිවල වගේම වෙන පංතිවලට යන ළමයිනුත් යනවනේ.

ඉතින් ඔතන දී අපිත් හරියට සෝෂල් මීඩියා ප්‍රොපයිල් වගේනේ. එතනින් යන එන, බස් නැවතුමේ ඉන්න ගෑණු ළමයිනුත් ප්‍රොපයිල් තමයි. ඉතින් ලස්සන ප්‍රොපයිල් එකක් (ගෑණු ළමයෙක්) දැක්කම ඒ දිහා බලනවා - එයාලට එයාලව ලොක් කරන්න බැරි නිසා ප්‍රොපයිල් පොටෝ එක ඉතින් පබ්ලික් තමයි. ලයික් දානවා, හාට් රියැක්ෂන් දානවා. වොයිස් මැසේජ්වවලින් (විසිල් හෝ ඇහෙන්න දාන සූ සද්ද) රියැක්ට් කරන අවස්ථාත් තියනවා. හැබැයි ඒ ප්‍රොපයිල් එක ‌නොදන්න එකක් නම් එන්නේ ඇන්ග්‍රි රියැක්ෂන්. බ්ලොක් වෙන්නත් පුළුවන් - අනිත් හෝල්ට් එකෙන් බස් එකට නගිනවා එතකොට එයාලා. සමහර කාන්තා ‌ප්‍රොපයිල්වල පිරිමි හිමිකරුවන් හෝ ට්‍රයි කරන වෙන්න ‌හිමිකරුවන් ඒ වෙලාවට ඇන්ග්රි රියැක්ෂන් දානවා. අද භාෂාවෙන් කියනවා නම් 'ටිපර් වෙනවා'.

ඉතින් ඒ වගේ ප්‍රොපයිල් එකකට ෆ්‍රෙන්ඩ් රික්වේස්ට එකක් දාලා ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. ඕන නං ඉන් පස්සේ පුද්ගලිකව චැට් කරන්නත් සෙට් වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ ප්‍රොපයිල් එකේ පාස්වර්ඩ් එක අදාළ කොල්ලට ලැබෙනවා. සමහර වෙලාවට ඌ ඉන්පස්සේ අපේ නෙට්වර්ක් එකේ නෑ. අනිත් ෆ්‍රෙන්ඩ්ලා අන්ෆ්‍රෙන්ඩ් කරලා, අන්ෆලෝ කරලා වෙනම කතාවක් පටන් ගන්නවා. (ඌ වලෙන් ගොඩ ගියාද, වලට වැටුන ද කියලා කියන්න කල් වැඩි ඒ කාලෙ)

සමහරු ඉතින් එකම ප්‍රොපයිල් එකමයි ෆලෝ කරන්නේ. වෙන පෝස්ට් දිහා බලන්නේවත් නෑ. අපි නං එහෙමම හිටියෙ නෑ ඉතින්... තෝරාගත් ප්‍රොපයිල් ෆේවරිට්වලට ඇඩ් කරන් ෆලෝ කරන අතර, නෙට්වර්ක් එකේ එහා මෙහා ගියා අනෙක් ‌ප්‍රොපයිල් හා පෝස්ට් බලබලා. අර "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද" කියලා පස්සේ කාලෙක සින්දුවකුත් තිබ්බේ!

අපි මෙතන චැට් කළේ පෞද්ගලික ඕපා දූප විතරක් නම් නෙවි. අද සෝෂල් මීඩියාවල වාගෙම දේශපාලනයත් කතා කළා... 1989 නොවැම්බර් 13 දින රෝහණ වීජේවීර ඝාතනය උන පුවත දැනගෙන අපි පංති ඇරිලා ආවෙ මෙතනට - එතන හිටිය හැම පැත්තටම සහාය දුන් අය. ඒ වගේම ඉදහිට දේශපාලන චරිතත් මෙතන ඉද්දි දැක්කා - කෝට්ටේ නගරසභා ඡන්දයට 1991 දී ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාව මම මුලින්ම දුටුවෙ මෙතන දි වෑන් එකක ඉදන් නගර සභා කැම්පේන් එක කරනකොටයි. ඒකත් මට හොඳටම මතකයි.

ඉතින් ඔය නෙට්වර්ක් එකේ රස්තියාදුව ඉවර වෙන්නේ හෙවත් ඩේටා ඉවරවෙන්නේ ලංගම බස් එකක් ආවම. ඒ සාමාන්‍යයෙන්176 හෙට්ටියාවත්ත බස් එකක්. ඒ කාලෙ නුගේගොඩ හරහා ගිය අංක 4 (කොටුව) කොළ කවය හා 173 (තොටළඟ) ලංගම බස් තිබ්බට ඒකෙ යන්න හිටියෙ කීප දෙනෙක් විතරයි. ඒ, ඒ බස් දෙක නාවල හන්දියෙන් නාරාහේන්පිට පැත්තට හරවන නිසා. ඒකෙ මට යන්න පුළුවන් නිසා මම යනවා, සමහර දවස්වලට... (හරියටම කිව්වොත් සීරියස්ලි ෆලෝ කරපු එක්තරා ප්‍රොපයිල් එකක් ඒ බස්වල යන දවස්වලට). එහෙම නැති වෙලාවට ඉතින් 176 ලංගමයක් එනකම් චැට් කර ඉන්නවා අනෙක් යාලුවො එක්ක.

ඒ මතක ඉතා සුන්දරයි. මෙතනින් යන හැම මොහොතකම මම ඒ අතීතයට යනවා...

එදා හිටපු උන් සමහරකගේ නම් එක්ක උනත් කියන්න පුළුවන්. ඒත් සමහර උන් නම් කියනවට කැමති වෙයිද දන්නේ නැති නිසා නිහඬ ‌වෙන්නම්.

මට ඒ ගැන මෙහෙම හිතෙනවා. එදා සෝෂල් නෙට්වර්ක් එක පිසිකල් එකක්. හැබැයි අපට ඒක දැනුනා, තවමත් හොඳටම මතකයි. ඒ හා සමාන වූ දේ අද පරම්පරාව කරන්නේ වර්චුවල්. ඒත් දැන් ටිකකට කලින් චැට් කරපු දේවල් දැන් මතකයි ද?

ධනේෂ් විසුම්පෙරුම

2023.01.30

Saturday, January 14, 2023

සිත නතර වූ දෙවන ‌ප්‍රේමය...

පැටි වියේ බැඳි ප්‍රථම ප්‍රේමය
නෙතට සුව දුන් රුසිරු වින්ඳෙමි
සවනට පිනවූ හඬ ඇසූවෙමි
ඈ සොයා ගියෙමි - හැකි හැම විටම
ලං වූ මොහොතේ ඈ සුව ලැබීමි
ජීවිතය වින්දෙමි ඈ සමඟ එක් වී...

කාලයත් සමඟින් හැඳිනීමි මම 
දෙවන ප්‍රේමය සිතේ මතු වූ 
බලනෙමි - විඳිනෙමි ඒ ‌ප්‍රේමය අද
සොයමි - කියවමි මම ඇයව
කියනෙමි - ලියනෙමි ඈ ගැන මම
ජීවිතය දැන් ඇයයි මා හට!

පළමු පෙම මතකයේ රැඳුන ද
විටින් විට ඒ මතු ව ආවද
දෙදෙන එක් විට හමුවුව ද මට... 
දනිමි මම දැන් මගේ දිවියේ
වැඩි උරුම මේ දෙවන පෙම බව
සිත නතර වූ දෙවන පෙම බව...

(පළමු පෙම යනු පරිසරය හා වනජීවීන්ය.
දෙවන පෙම යනු ඉතිහාසය හා පුරාවිද්‍යාවයි.)


ධනේෂ් විසුම්පෙරුම
2023.01.14

Wednesday, January 11, 2023

තවත් මහා වඳවීමක් අතීතයේ සිදු වී තිබේ!

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2023.01.11, පි. 8 හා 15 (Vidusara)


ලෝකයේ විශාල භූගෝලීය ප්‍රදේශයක වාසය කළ ජීවී විශේෂ විශාල ප්‍රමාණයක්, සාපේක්ෂව කෙටි කාලයක් ඇතුළත වඳ වී ගිය අවස්ථා ‘මහා වඳවීම්’ (Mass extinction) යනුවෙන් හැඳින්වේ. ලෝක ඉතිහාසයේ මේ දක්වා සිදු වී ඇති මහා වඳවීම් පහක් මේ වන විට විද්‍යාත්මකව පිළිගැනේ (පහළ ඇති සටහන බලන්න).

එහෙත්, අතීතයේ පෘථිවියේ තවත් මහා වඳවීමක් සිදු වී ඇති බව පසුගිය නොවැම්බර් මාසයේ ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් පෙන්වා දී තිබේ. අදින් වර්ෂ මිලියන 550කට පෙර සිදු වූ ඒ මහා වඳවීම අනෙක් මහා වඳවීම් සියල්ලටම පෙර සිදු වූවකි. එසේම ඒ සඳහා හේතු වී ඇත්තේ වායුගෝලයේ ඔක්සිජන් ප්‍රමාණයේ සිදු වූ අඩුවීමකි.


ඊඩියාකරන් අවධියේ සිදුවීමක්


අදින් වර්ෂ මිලියන 635 සිට 538 අතර කාලයේ දී පැවති ඊඩියාකරන් අවධිය (Ediacaran Period) ලෙස භූවිද්‍යාත්මකව හැඳින්වෙන කාලය යනු ලෝකයේ සාගරවල ජීවය හොඳින් වර්ධනය වෙමින් තිබූ කාලයකි. මේ කාලයේ පෘථිවියේ සාගරවල ජීවත් වූ ජීවීන් අතර පිහාටු වැනි ශරීර ඇති පෙටලොනොමිඩ (Petalonamids) සතුන් ජීවත් වූයේ ජලයෙන් පෝෂක අවශෝෂණය කරගනිමිනි. හම්බෙල්ලන් වැනි Kimberella ගණයේ සතුන් ක්ෂුද්‍රජීවීන් මත යැපුණු අතර, ජෙලි ෆිෂ් හෙවත් ලොඩියන්ගේ පූර්වජයින් ව්‍යාප්ත වීම ආරම්භ වූයේ ද මේ කාලයේ දීය.

මේ කාලයේ විසූ ජීවීන්ගේ පොසිල විවිධත්වයේ විශාල අඩු වීමක් වර්ෂ මිලියන 550කට පෙර දැකිය හැකි වූ අතර, කෙටි කාලයක් ඇතුළත මේ ජීවීන් අතරින් 80%ක් පමණ ප්‍රමාණයක් වඳ වී ගොස් ඇති බව අනාවරණය වී තිබිණි. මේ තත්ත්වය කලක් තිස්සේ දැන සිටිය ද එය මහා වඳවීමක් වූයේ ද යන්න පිළිබඳව කිසියම් සැකයක් තිබිණි. එසේ පොසිල හමු වීම විශාල ලෙස අඩු වීම සඳහා හේතු දෙකක් දක්වා ඇත. ඉන් එකක් වන්නේ සාගර ආත්‍රොපෝඩාවන් අතර සිටි මුල්කාලීන ට්‍රයිලෝබාටාවන් (Trilobites) ව්‍යාප්ත වීමෙන් ඊඩියාකරන් අවධියේ සතුන් සමඟ ඇති වූ තරගය නිසා ඊඩියාකරන් අවධියට අයත් සතුන් වඳ වී යාමය. අනෙක් තර්කය වන්නේ ඊඩියාකරන් අවධියේ සතුන්ගේ ශරීර ආරක්ෂා වීමට සුදුසු තත්ත්ව පැවතියේ මිලියන 550කට පෙර කාල සිමාව දක්වා පමණක්ය යන අදහසයි. මේ හේතු සත්‍ය නම් උක්ත සිදුවීම මහා වඳවීමක් නොවේ.


මහා වඳවීමක් බවට සාධක


කෙසේ වෙතත් මේ නව පර්යේෂණයෙන් පෙන්වා දී ඇත්තේ ඊඩියාකරන් අවධියේ සිදු වූ ජීවීන් වදවී යාම පෙර සඳහන් කරුණු නිසා සිදු වී නොමැති බවයි. එහි දී පර්යේෂකයන් විසින් ඊඩියාකරන් අවධියේ ජීවත් වී වඳ වී ගිය, වද වී නොගිය හා වඳ වීමේ සිදු වීමෙන් පසුව හොඳින් ව්‍යාප්ත වූ ජීවීන් පිළිබඳව අධ්‍යයනය කර ඇත. ඒ සඳහා ඒ යුගයේ පොසිල පිළිබඳ මෙතෙක් ප්‍රකාශිත පර්යේෂණ යොදාගනිමින් දත්ත සමුදායක් සකස් කර, ඒවා හමු වූ භුගෝලීය ප්‍රදේශය, දේහ ප්‍රමාණය, ආහාර ගන්නා ආකාරය අනුව කාණ්ඩ කර තිබේ. ඒ අනුව වර්ෂ මිලියන 550කට පෙර වාසය කළ සත්ත්ව ගණ 70ක් අතරින්, ඉන් වර්ෂ මිලියන 10කට පසුව කාලය වන විට ජීවත් වී ඇත්තේ ගණ 14ක් පමණක් බව අනාවරණය වී ඇත. එසේම ට්‍රයිලෝබයිටයන් වැනි සතුන් හා තරග කිරීමෙන් ඒ සතුන් වඳ වී ගිය බවට සාධක සේ සැලකිය හැකි ආකාරයේ ආහාර ගැනීමේ රටාවේ වෙනසක් හමු වී නොමැත. අනෙක් අතට පොසිල ආරක්ෂා වීම සඳහා බලපාන තත්ත්වවල වෙනසක් ද ඒ කාලයේ ඇති වූ බවක් හෙළි වී නොමැත.

මේ අනුව පර්යේෂකයන් පෙන්වා දෙන්නේ මෙසේ පොසිල අඩු වී යෑම මහා වඳ වීමක් විය හැකි බවත් ඒ සඳහා සෙසු මහා වඳවීම් මෙන්ම දේශගුණයේ ඇති වු වෙනස් වීමක් හේතු විය හැකි බවයි. එසේ සංකීර්ණ සත්ත්ව ගහන මිය යෑම සඳහා හේතුව ඔක්සිජන් සාන්ද්‍රණයේ කැපී පෙනෙන අඩු වීමක් විය හැකි බව අනුමාන කර ඇත. ඊට සාධක ලෙස සැකිය හැකි අපුරු කරුණක් ද අනාවරණය වී ඇත. එ නම්, ඒ වඳවීමෙන් ආරක්ෂා වූ ජීවීන් අතර ඇති සමානකමකි. ඒ සතුන්ගේ දේහ පරිමාවට සාපේක්ෂව දේහ පෘෂ්ටය ඉහළ වීම මේ සාධකයයි. මෙය අඩු ඔක්සිජන් ප්‍රමාණයක් ඇති තත්ත්වයක් යටතේ ජීවත් වීම සඳහා සුදුසු හැඩගැසීමකි. එය සහ භූ-රසායනික සාධකවලින් අනාවරණය වන ඔක්සිජන් ප්‍රමාණයේ අඩුවීමත් සමඟ ගත් විට ඊඩියාකරන් යුගය අවසානයේ සාගරයේ ඔක්සිජන් ප්‍රමාණය අඩු වීම නිසා ඇති වූ මහා වඳවීමක් සිදු වූ බව ඔවුන්ගේ අදහසයි. මෙහි දී ඔක්සිජන් අඩු තත්ත්ව යටතේ ජීවත් වීමට ‌නොහැකි ජීවීන් වඳ වී ගොස් තිබේ.

මේ කාලයේ දී ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමට හේතු වූ කරුණු තවමත් අපැහැදිලිය. ගිනිකඳු පිපිරීම්, භූ තැටි චලනයේ බලපෑම් මෙන්ම ග්‍රහකයක බලපෑම වැනි හේතු මේ අතර වේ. එමෙන්ම, සාගරයේ පෝෂක මට්ටම්වල වෙනස්කම් ද මීට හේතු විය හැකිය. කරුණු මෙන්ම මේවායෙන් කීපයක් ද ඊට හේතු විය හැකිය.

මහා වඳ වීම් ගණන කීයද?


උක්ත අධ්‍යයනයෙන් ඉදිරිපත් කරනු ලබන මහා වඳවීම පිළිගැනීමට ලක්වුවහොත් එය ලෝකයේ ඇති වී තිබෙන පළමුවන මහා වඳවීම වේ. එසේ නම් මේ වන විට ලෝකයේ මහා වඳවීම් හයක් සිදු වී ඇත. එවිට අද මිනිසුන්ගේ කටයුතු නිසා ඇතිවෙමින් ඇති බවට අනතුරු හඟවන්නේ හය වන නොව සත්වන මහා වඳවීමයි. එය මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා සිදුවන්නකි.

මූලාශ්‍රය: Proceedings of the National Academy of Sciences, DOI: 10.1073/pnas.2207475119 (මෙතැනින් පිවිසෙන්න)


සටහන - මහා වඳවීම් පහ

1. ඕඩොවීසියන්-සිලූරියන් මහා වඳවීම (Ordovician-Silurian extinction) - මෙය අදින් වර්ෂ මිලියන 443.8කට පමණ පෙර සිදු වූවකි. එහි දී සාගර ජීවී විශේෂ අතරින් 85%ක් පමණ වඳ වී ගොස් ඇත.

2. ඩෙවෝනියන් මහා වඳවීම (Devonian extinctions) - මෙය අදින් වර්ෂ මිලියන 407.6ත් 358.9ත් අතර කාලයේ දී සිදු වූ වඳවීම් ක්‍රියාවලියකි. එයින් වැඩිම බලපෑමකට ලක් වූයේ සාගර ජීවීන්ය. සතුන් අතරින් 70%-80% අතර ප්‍රමාණයක් වඳ වී ගොස් ඇත.

3. පර්මියානු මහා වඳවීම (Permian extinction) - ඇතැම්විට පර්මියානු-ට්‍රයාසික මහා වඳවීම ලෙස ද හැඳින්වෙන මෙය අදින් වර්ෂ මිලියන 265.1ත් 251.9ත් අතර කාලයේ දී පෙර සිදු වී ඇත. එහි දී ලෝකයේ විසූ මුළු ජීවීන් අතරින් 90%ක් පමණ වඳ වී ගිය අතර, ඊට සාගර ජීවීන් අතරින් 95%ක් ද, භෞමික ජීවීන් අතරින් 70%ක් පමණ අයත් විය. මෙතෙක් ඇති වූ බරපතළම මහා වදවීම සේ සැලකේ.

4. ට්‍රයාසික යුගය අවසානයේ සිදු වූ මහා වඳවීම (end-Triassic extinction) - ඇතැම්විට ට්‍රයාසික-ජුරාසික මහා වඳවීම (Triassic-Jurassic extinction) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 201.3කට පමණ පෙර සිදු වූවකි. එයින් සාගර හා භෞමික ජීවි විශේෂ 76%ක් පමණ වඳ වී ගියේය.

5. ක්‍රිටේසීය-තෘතියික මහා වඳවීම (Cretaceous-Tertiary) - ඇතැම්විට ක්‍රිටේසීය-පැලියොජීන මහා වඳවීම ( or Cretaceous-Paleogene) ලෙස ද හැඳින්වෙන මෙය මෙය අදින් වර්ෂ මිලියන 66කට පමණ පෙර සිදු වූවකි. එයින් පෘථිවිය මත ජීවත් වූ සත්ත්ව විශේෂ අතරින් 80%ක් ද ශා ක විශාල ප්‍රමාණයක් ද වඳ වී ගියේය. ඊට ඩයිනසෝරයන් ද ඇතුළත්ය.

Thursday, January 5, 2023

Revisiting the Past- පුස්තකාලයක් රකින උරුමයෙන් බිඳක්

ධනේෂ් විසුම්පෙරුම

(අවසන් යාවත්කාලීන කිරීම: 05.01.2023)

ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ 146 වන සංවත්සරය හා සමගාමීව ජාතික කෞතුකාගාර පුස්තකාලය මගින් සුරකින උරුමයෙන් බිඳක් විදහාලන 'Revisiting the Past' නම් ප්‍රදර්ශනය 2023 ජනවාරි මස තුන්වන දින ආරම්භ විය. 

එහි දී සාමාන්‍ය පාඨකයා නොදකින දුර්ලභ හා වැදගත් ග්‍රන්ථ, පුස්කොළපොත්, අත්පිටපත්, මුද්දර, චිත්‍ර හා සිතියම් ආදිය මෙහි ප්‍රදර්ශනය කෙරේ. පුස්තකාලයක් රකින උරුමය කෙතරම් ද යන්න ගැන අදහසක් ලබාගැනීමට ඔබට මෙහි දී අවස්ථාව ලැබෙනු ඇත. 

මේ ප්‍රදර්ශනය 2023 ජනවාරි මස 20 දක්වා නැරඹීමට පුළුවන. එය පැවැත්වෙන්නේ කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රධාන දොරටුව අසල ඇති ශ්‍රව්‍ය දෘශ්‍ය මැදිරියේය. 


මා එහි දී දුටු ඔබට ද දැකගත හැකි දෑ සමහරක් පිළිබඳ සටහනකි මේ.

  • පැරණිම පුස්කොළ පොත - චුල්ලවග්ග පාලිය මෙරටින් හමුවන අප දන්නා පැරණිතම පුස්කොළ පොත වේ. මෙම පිටපත දඹදෙණි යුගයේ දී පමණ ලියවුණ බව සැලකේ.

චුල්ලවග්ගය

  • ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමු සිංහල ග්‍රන්ථය - සිංහල භාෂාවෙන් මුද්‍රණ ශිල්පය ආරම්භ වීමෙන් පසුව සිංහලෙන් මුද්‍රණය වී ඇති පළමු පොත වන මෙය ලන්දේසි පෙරදිග ඉන්දියා වෙළෙඳ සමාගම මගින් 1737 වර්ෂයේ දී මුද්‍රණය කරන ලද යාඥා පොතකි.
ශ්‍රී ලංකාවේ මුද්‍රිත පළමු සිංහල ග්‍රන්ථය - 1737
  • හෙන්රි සෝල්ට්ගේ චිත්‍රයක් - මෙහි ගාල්ලට නුදුරු ප්‍රදේශයක දර්ශනයක් දැක්වේ. 1809 වර්ෂයේ දී හෙන්රි සෝල්ට් (1780-1827) විසින් අඳින ලද මෙය ඇතුළත් වන්නේ 'Twenty Four Views in St. Helena, the Cape, India, Ceylon, the Red Sea, Abyssinia and Egypt' නම් කෘතියේය. මෙහි දැක්වෙන්නේ ඕලන්දයින් විසින් තනන ලද ඇල අවසන් වූ ස්ථානයේ බව ඒ පිළිබඳ විස්තරයක දැක්වේ (ඒ චිත්‍රය සම්බන්ධ බ්‍රිතාන්‍ය පුස්තකාල පිටුවට මෙතැනින් පිවිසෙන්න
    ගාල්ලට නුදුරු ප්‍රදේශයක දර්ශනයක් දැක්වෙන චිත්‍රයක්

  • ඇන්ඩෘ නිකොල්ගේ චිත්‍ර දෙකක් - ඇන්ඩෘ නිකොල් (1804-1886) කොළඹ ඇකඩමියේ (වර්තමාන රාජකීය විද්‍යාලය) ‌චිතු ගුරුවරයෙකු ලෙස සේවය කිරීම සදහා 1846 දී මෙරටට පැමිණියේය. වසර කීපයක් මෙරට සිටි ඔහු අඳින ලද චිත්‍ර එකතුවක් කොළඹ ජාතික කෞතුකාගාර‌ය සතුව ප්‍රදර්ශනය කර තිබේ. මෙම ප්‍රදර්ශනයේ ඇත්තේ ඔහු විසින් අඳින ලද අනුරාධපුරයේ ථූපාරාමය හා පොළොන්නරුවේ ලංකාතිලකය යන චිත්‍ර දෙකයි.
    අනුරාධපුර ථූපාරාමය

    පොළොන්නරුවේ ලංකාතිලකය

  • එච්. සී. පී. බෙල්ගේ සෙල්ලිපි සටහන් පොතක් - 1890 වර්ෂයේ දී මෙරට පළමු පුරාවිද්‍යා කොමසාරිස්වරයා ලෙස පත් වූ සිවිල් නිලධාරී එච්. සී. පී. බෙල් (1851-1937) විසින් සෙල්ලිපි පිටපත් සටහන් කිරීම සඳහා යොදාගත් පොතකි.
  • එච්. සී. පී. බෙල්ගේ සටහන් පොතක්
  • ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාස මායිම් සිතියමේ පළමු සංශෝධනය (1933-34) - මෙම සිතියමේ සඳහන් වන ආකාරයට එය ලංකාවේ මැතිවරණ කොට්ඨාස මායිම් සිතියමේ පළමු සංශෝධනය පෙන්නුම් කරන්නකි. 1933-1934 වර්ෂ එහි සඳහන් වේ. 
මැතිවරණ කොට්ඨාස මායිම් සිතියමේ පළමු සංශෝධනය (1933-34)

  • 1951 දී සම්මත වූ නිදහස් ශ්‍රී ලංකාවේ ජාතික ධජය - මෙරට ජාතික ධජය තීරණය කිරීම සඳහා පත් කරන ලද ජාතික ධජ කමිටුව මගින් සකස් කරන ලද ජාතික ධජයයි මේ. 1948.03.06 දින පත් කරන ලද සත් දෙනෙකුගෙන් යුක්ත ඒ කමිටුවේ සභාපති වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතාය. එහි ලේකම් තනතුර දරා ඇත්තේ සෙනරත් පරණවිතාන මහතාය. මේ වාර්තාව 1951 දී නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සභාගත කර තිබේ. එය පාර්ලිමේන්තු මාලාවේ (Parliamentary Series) පළමු පාර්ලිමේන්තුවේ හතරවැනි සැසියේ අංක 5 දරණ වාර්තාව ලෙස මුද්‍රණය වී ඇත. මේ ධජයට යටින් උක්ත නියෝජිතයන් සත් දෙනාගෙන්ත හය දෙනෙක් අත්සන් තබා ඇත. මෙය මුලින්ම ඔසවන ලද්දේ 1952 වර්ෂයේ නිදහස් උත්සවයේ දී බව සඳහන්ය.

1951 දී සම්මත වූ ජාතික ධජය

එහි දී ඔබට දැකගත හැක වෙනත් වැදගත් පොත් හා වෙනත් දෑ අතර පහත සඳහන් ඒවා ද වේ.

  • විවිධ භාෂාවලින් ලියැවුණු පුස්කොළ පොත් ගණනාවක්
  • පිලිප්පුස් බෝල්දියස්ගේ කෘතියේ පිටපතක්
  • කපිතාන් චාල්ස් ඩී.සී. ඕබ්‍රයන්ගේ සිතුවම් කීපයක් (1864 මුද්‍රිත කෘතියක)
  • රොබට් නොක්ස්ගේ කෘතියේ 1911 සංස්කරණයේ (රයන් සංස්කරණය) පිටපතක්
  • සරසවි සඳරැස පුවත්පතේ 1881 කලාප ඇතුළත් වෙළුමක්.
  • මුද්දර පොත් 
  • 1949 දී නිකුත් වූ නිදහස් සමරු මුද්දර
  • ජාතික කෞතුකාගාරයේ 100 වන හා 125 වන වර්ෂ සමරු මුද්දර
  • මෙරට පළ වී ඇති කුඩාම කෘතියේ පිටපතක්
  • ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ප්‍රතිග්‍රහණ ලේඛනයක්
  • ජාතික කෞතුකාගාර සුචි කැබිනට්ටුවක් 

මේ ප්‍රදර්ශනයට ඇතුළු වන ස්ථානයේ ම දක්වා ඇති මේ ප්‍රදර්ශනය පිළිබඳ පුවරුවේ ජාතික කෞතුකාගාර පුස්තකාලයේ ආරම්භය සම්බන්ධව සඳහන් වේ (පහතින් සඳහන්ය). 

එහි සඳහන් කරුණක් එක් කරුණක් මගේ අවධානයට ලක් විය. එනම්, ජාතික කෞතුකාගාරය ස්ථාපිත කිරීමේ ලා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ දායකත්වයයි. එසේම එහි පුස්තකාලයේ ආරම්භයේ දී තිබූ පොත් 1440න් 815ක් ලබා දී ඇත්තේ ඒ සමිතියෙනි (1877 වර්ෂය සඳහා වන කෞතුකාගාර පාලනවාර්තාවේ ඒ පිළිබඳ සටහන පහත දැක්වේ). අද, ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය නමින් ක්‍රියාත්මක මෙරට පැරණිතම පුස්තකාලයක් පවත්වාගෙන යන මේ සමිතියට මම ද කාලයක සිට සක්‍රිය ලෙස සම්බන්ධ වී සිටීම මට සතුටකි.

ජාතික කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ඒ. හේලි සම්පාදනය කළ 1877 වර්ෂයේ වාර්තාවෙන් උපුටාගත් කොටසක්
- මෙහි කෞතුකාගාර පුස්තකාලය ගැන ද, එහි ආරම්භක එකතුව ලැබුණු ආකරය ගැන ද සඳහන් වේ.


ප්‍රදර්ශනයේ විස්තර ඇතුළත් පෝස්ටරය



Sunday, January 1, 2023

මගේ දකුණේ සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


'දකුණ' යනු කවදත් කතාබහට ලක් වූ ප්‍රදේශයකි. අද දකුණ යනුවෙන් අදහස් වන්නේ වර්තමාන පළාත් බෙදීම්වල එක් පළාතකි. අද දකුණ යනු පුරාණ රෝහණයෙන් කොටසක් පමණි.

කොළඹ හා රටේ වෙනත් පැතිවල වාසය කරන සැලකිය යුතු පිරිසකට මෙන්ම මට ද දකුණේ සම්බන්ධයක් තිබේ. මගේ ඒ සම්බන්ධය දිස්ත්‍රික්ක තුනටම අදාළය. ඒ මෙසේය.

මම ගාල්ලේ උපන්නෙමි


මම උපන්නේ ගාල්ලේය. නිශ්චිතවම කිවහොත් ගාල්ලේ මහමෝදර පිහිටා ඇති රෝහලේය. ඒ කාලයේ ගාල්ලේ ප්‍රධාන රෝහල තිබුනේ මහමෝදරය. උප්පැන්න සහතිකයේ ද සඳහන් වෙයි.

මගේ තාත්තාගේ ගම වූයේ මාතර අකුරැස්සය. ඔහුගේ මහගෙදර පිහිටා ඇත්තේ අකුරැස්සේ, මාරගොඩ ගමේ පිහිටි උඩහේන නම් ඉඩමේය. විසුම්පෙරුම වාසගම දරන්නන් වැඩි වශයෙන් වාසය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය. අපේ මුත්තාගේ (සීයා) පියා ගාල්ලේ සිට අකුරැස්සට පැමිණ ඇති බවක් කතාවට කියනු අසා ඇත්තෙමි.

මම අදත් රටේ ආසම ප්‍රදේශය ගාල්ලය. ගාල්ලේ ගිය විට මට බොහෝ හුරු පුරුදු ගතියක් දැනෙයි. කෙටියෙන් කිවහොත් ගාල්ල මට ගෙදර සේ දැනේ. (මම කැමති දෙවැනි ප්‍රදේශය අනුරාධපුරයයි. තෙවැනි තැන හිමිවන්නේ නුගේගොඩටයි. ඒ හැර මන්නාරමට ද බොහෝ සේ ප්‍රිය කරමි.)

ගාලු ලන්දේසි කොටුව, අලුත් දොරටුව (ඡායාරූපය 2013)


හම්බන්තොට මුලින්ම ජීවත් වීමි


ගාල්ලේ උපන්න ද ඉතා ළදරු කාලයේ මුලින්ම මා ජීවත් වී ඇත්තේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ලට නුදුරු කදුරුපොකුණ ග්‍රාමයේය. ඒ, අම්මා ඒ ගමේ සේවය කළ නිසා අප එහි පදිංචි වී සිටි බැවිනි. 1972 නොවැම්බර් මස 24 දින නිකුත් කර ඇති ඇයගේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනය අංක 158, ඉහලගොඩ, කදුරුපොකුණ වේ.

කෙසේ වෙතත් කදුරුපොකුණේ ගෙවූ කාලය ගැන කිසිදු මතකයක් මට නැත. මට මාස තුනක් පමණ කාලයේ දී අපේ අම්මාට ලැබුණු රාජකාරි ස්ථාන මාරුවක් නිසා අප ඒ ගමෙන් නික්මුණු නිසාය. කිසිත් මතකයක් නොතිබූ ඒ ගමට මම ආපසු ගියේ වසර හතළිහකට පසු 2013 වර්ෂයේ දීය. ඒ 1967 සිට 1972 අග දක්වා කාලයක් තමන් සේවය කළ ඒ ගම බලන්නට අම්මා කැමති වූ නිසාය.

කදුරුපොකුණට යන පාර (ඡායාරූපය 2013)


මාතර ගෙවුණු කාලය


අම්මාගේත් තාත්තාගේත් රැකියාවේ ස්ථාන මාරු නිසා අපි ඉන්පසු වසර කීපයක් මාතර දිස්‌ත්‍රික්‌කයේ ගොඩගම හා හිත්තැටිය යන ගම්වල පදිංචි සිටියෙමු. බබ්බු සිඤ්ඤෝ හෝ බබුන් සිඤ්ඤෝ නම් කෙනෙකුට අයත් විශාල කුලී නිවසක අප හිත්තැටියේ දී පදිංචිව සිටි අතර, ඒ කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් වෙනම ලියන්නට තරම් මට මතකය. ඒ නිවස පිහිටා තිබුනේ මාතර-අකුරැස්ස පාර අයිනේ තිබූ හිත්තැටිය සමුපකාරය අසලින් මදක් ඇතුළට වන්නටය (දවල්ට මට බත් කැවීම සඳහා ඇතැම් දවසක ට්‍රයිසිකලයේ මා තබාගෙන මහ පාර අසලට ගොස් ආපසු තල්ලු කරගෙන ඒම අපේ නැන්දාට අපහසු නොවූයේ නිවසට පාරේ සිට ඇති දුර ඒ තරම් අඩු නිසාය!). මාතරට ආසන්න ගොඩගම ප්‍රදේශයේ පදිංචි වීමට සිතා තාත්තා පර්චස් විස්සක පමණ ඉඩමක් ද මිල දී ගෙන තිබිණි.

ඉන් පසුව 1978 ජනවාරියේ දී හෙවත් මට වයස අවුරුදු 5කුත් මාස කිහිපයක දී අපි කොළඹ ආවෙමු. ඒ මා අසනීපයෙන් සිටි නිසාය. මාසයක් පමණ කාලයක් මා රෝහලේ සිටි නිසාත්, කලක් ප්‍රතිකාර ගැනීමට ආ යුතු වූ නිසාත් නිවාඩු නැති වීමෙන් අම්මාත්, තාත්තාත් කොළඹට මාරු වීම් හදාගත්හ (ඒ දෙදෙනා 1960 දශකයේ මැද කොළඹ රාජකාරි කළ අයයි). අපි කොළඹ පදිංචි වීමු. කළුබෝවිල, රාජගිරිය, නුගේගොඩ ප්‍රදේශවල වසර 14ක කුලී නිවාස චාරිකාවකින් පසුව අවසානයේ දැන් සිටින ගමේ පදිංචි වීමු (තාත්තා ගොඩගමින් මිල දී ගෙන තිබූ ඉඩම 1989 දී රුපියල් තිස් දහසකට විකුණා දැමුවේ දැන් අප පදිංචි ඉඩම මිල දී ගැනීමටය).

ඒ මගේ දකුණේ සම්බන්ධයයි.

එහෙත් මම කිසිවිටක දකුණ රටේ අනෙක් පැතිවලට වඩා උසස් බව කියන්නේ නැත. එසේම දකුණේ අය අන් අයට වඩා උසස් සේ පවසන්නේ නැත. එසේම, අනෙක් පළාත් හෝ ප්‍රදේශවල අය පහත් සේ සලකන්නේ ද නැත අනෙක මගේ අම්මා ද, උඩරට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වූ තුන්කෝරළයේය.

එහෙත් මම මගේ දකුණේ සම්බන්ධය ගැන ආඩම්බර වෙමි.

2023.01.01