Showing posts with label Human-Elephant Relationship. Show all posts
Showing posts with label Human-Elephant Relationship. Show all posts

Thursday, August 3, 2023

ඇතුන් හා කුමරියක නිසා ඇති වූ ඓතිහාසික සංග්‍රාමය

The Historical Invasion Caused by Tuskers and a Princess

Historical Notes - ඉතිහාස සටහන් - 2

ධනේෂ් විසුම්පෙරුම

ශ්‍රී ලංකාවට තායිලන්තයෙන් ත්‍යාගයක් ලෙස ලැබුණු ඇතෙකු ගිලන් වීමෙන් පසු ආපසු එරටට ගෙන යෑම සමඟ ඇති වූ තත්ත්වය අලි-මිනිස් සම්බන්ධතාවය පිළිබඳව මෙන්ම ඒ හා සම්බන්ධ අන්තර් ජාතික සම්බන්ධතා ගැන ද සාකච්ඡාවක් ඇති කළේය.

අතීතයේ පටන්ම අලි ඇතුන් අපේ රට තුළ වැදගත් වූයේ හා අලි මිනිස් සම්බන්ධතාවය ප්‍රබල වූයේ [1] අලින්ගෙන් ලබාගත් විවිධ ප්‍රයෝජන නිසාය. ඒ අතර,  යුද, ප්‍රවාහන හා වෙනත් බර වැඩ සඳහා යොදාගැනීම දැකිය හැකි අතර, ආගමික හා සංස්කෘතික ප්‍රයෝජන ද කැපී පෙනේ [2]. මේ නිසා අලි ඇතුන් වෙළෙඳ භාණ්ඩයක් ලෙස ද වැදගත් විය..  

ශ්‍රී ලංකාවේ අලින් අතර ඇතුන් හමු වන්නේ අඩු ප්‍රතිශතයකිනි. අතීතයේ සිට විදේශවලින් ඇතුන් ත්‍යාග ලෙස හා මිල දී ගැනීම සිදු කර ඇත්තේ මේ නිසා විය හැකිය. මේ සඳහා සාධක මහාවංසයෙහි ඇති අතර, ඇතුන් ලබා දීම  නැවැත්වීම හා මිල දී ගැනීමට බාධා කිරීම නිසා මෙරට හමුදා විසින් ආසන්න රාජ්‍යයක් ආක්‍රමණය කළ අවස්ථාවක් ද ඉතිහාසයේ සඳහන් වේ. මහාවංසයේ 76 වන පරිච්ඡේදයේ මේ පිළිබඳ විස්තර ඇත[3,4]. එහි 10 සිට 35 දක්වා ගාථාවල රාමඤ්ඤ රජු විසින් සිදු කළ මෙම ආක්‍රමණයට හේතු වූ කටයුතු ද, 36 සිට 75 දක්වා ගාථාවල රාමඤ්ඤ දේශය ආක්‍රමණය කිරීම පිළිබඳව ද සඳහන් වේ. මෙම ලිපිය සඳහා මූලික වශයෙන් යොදාගෙන ඇත්තේ මහාවංස විස්තරයයි.

මේ සිදුවීම සිදුවන්නේ පළමු පරාක්‍රමබාහු රජ සමයේය. මහාවංසය දක්වන ආකාරයට ඒ රජුගේ රාජප්‍රාප්තියෙන් 11/12 රාජවර්ෂයේ දී මෙය සිදු වූ බවයි. මේ අනුව මේ ආක්‍රමණය පොදුවර්ෂ 1164 හෝ 1165 දී සිදු වී ඇති බව සී. ඩබ්ලිව්. නිකලස් සඳහන් කරයි[5]. එහෙත්, සිරිමල් රණවැල්ල පවසන්නේ එය 1168 හෝ 1169 වර්ෂයේ සිදු වී ඇති බවයි. ඒ සඳහා සාධකය ලෙස ඔහු යොදාගන්නේ මේ ආක්‍රමණය ගැන සිදු වූයේ පරාක්‍රමබාහු රජු පොලොන්නරුවේ රජ පැමිණ දොලොස්වන වර්ෂයේ දී ලෙස දෙවනගල ගිරිලිපියේ සඳහන් වන නිසාය[6]. කෙසේ වෙතත්, දෙවනගල ලිපිය පිළිබඳ සිය ලිපියේ දී පරණවිතාන ද මේ ආක්‍රමණය 1164 හෝ 1165 දී සිදුව ඇති බව සඳහන් කරන්නේ පරක්‍රමබාහු රජ පැමිණි වර්ෂය 1153 ලෙස ගණන් ගැනීමෙනි[7]. 

ආක්‍රමණයට හේතුව

ලංකාව හා රාමඤ්ඤ හෙවත් අරමණ රට (පහළ බුරුමයේ පේගු රට) අතර ඇති සමාන ආගමික සමනාතාවය නිසා භේද නොමැතිව සුහද සම්බන්ධතා පැවැත්වූ අතර, රටවල් දෙකේම රජවරුන් අතර විශ්වාසයක් විය. මේ නිසා එකිනෙකා අතර වටිනා පඬුරු තෑගි භෝග හුවමාරු කරමින් බොහෝ කාලයක් තිස්සේ අඛණ්ඩව සමගිව සම්බන්ධතා පවත්වාගෙන පැමිණ තිබේ.  

එහෙත් එවකට සිටි රාමඤ්ඤ රජු වූ අලවුංසිතු රජුගේ කාලයේ මේ සිරිත වෙනස් වූ ආකාරය මහාවංස සිංහල පරිවර්තනයේ මෙසේ සඳහන් වේ. "මේ ලක්දිවින් ගිය කණෙහි කොඳුරන්නා වූ කිසි දූත කෙනෙකුන්ගේ බස් අසමින් තමන් වෙත ගිය ලංකේශ්වරයාගේ දුතයන්ට පුරාණ සිරිත් වූ දෙනු ලබන්නා වූ වැටුප් පිරිහෙලී." ඒ අනුව ලංකාවෙන් රාමඤ්ඤ දේශයට තෑගිභෝග රැගෙන යන නැවකට එක් ඇතෙකු බැගින් තෑගි දෙන පුරාණ සිරිතක් රාමඤ්ඤ රජු විසින් පවත්වා ඇති අතර ඒ ඇත් පඬුර දීම ඒ රජු විසින් නවත්වා ඇත. 

එසේම විදේශවලට යැවීම සදහා ඇතුන් විකිණීම සිදුකරන වෙළෙන්දෝ ඒ රටේ සිටියහ. එහෙත් මේ රජු ""ඇත්තු නොවිකිණියමය"යි සම්මතයකුදු කරවී" යනුවෙන් ඇතුන් විකිණීම රජුගේ ඒකාධිකාරයක් කර තිබේ. එසේම  එහෙත් ඇතෙකු විකිණූ මිල මෙන් දෙතුන් ගුණයක් මිලට විකිණිය යුතු යැයි මිල ඉහළ නංවා ඇත. මේ බව මහාවංසයේ දැක්වෙන්නේ "යම් ඇත්කෙනෙක් වනාහී රිදී තිකල් සියයට හෝ වැලි දහයට හෝ පූර්වයෙහි එහි විකුණනු ලබන්නෝ "සහස්‍රද්වයට හෝ සහසත්‍රවයට හෝ වික්ක යුත්තාහයි"" මිල නියම කර තිබේ (ගයිගර් මේ කාසි නොදන්නා කාසියක් බව පවසයි. නික්කල් ලෙස සඳහන් කරයි).

එසේම මෙරටින් ස්වර්ණමය හසුන් රැගෙන ඒ රටට ගිය දූත පිරිසක් "කාම්බෝජ රට" යන්නේ යැයි ව්‍යාජ චෝදනාවන් නගා අනිසි අයුරින් සලකා ඇති අතර, ඔවුන්ගේ ධනය, මිල දී ගත් ඇතුන් හා නැව් ආදිය පැහැර ගෙන ඇත්තේ රාමඤ්ඤ දේශයෙන් මෙරටට එවූ දූතයෙකුට ලංකාවේ රජු විසින් කරන ලද උසස් සංග්‍රහ පිළිබඳව දැන දැනමය. මෙරටින් ගිය දූත පිරිස මුලින් සිරගෙවල දමා ඇති බව ද සඳහන් වේ. එසේම මෙරටින් ගිය දූත පිරිසක් කැඳවා යළිත් මෙරටින් දූතයන් එරටට නොඑවිය යුතු බවත්, එවුවහොත් ඔවුන් මරා දැමීමට වුව ද හැකි බවත් පවසා එසේ වුවහොත් ඒ රට අත වරදක් නැති බවක් සඳහන් ගිවිසුමකට අත්සන් තබන්නට පවසා තිබේ. තවත් වරක් මෙරට වැසියන් සිදුරු සහිත නැවකින් මුහුදට යවා තිබේ. යළිත් වරක් ඇතුන් මිල දී ගැනීමට මෙරට රජු විසින් යවන ලද දූතයින්ගේ පඬුරු හා භාණ්ඩ පිළිගෙන ඇතුන් දහහතරක් හා රිදියෙන් මුදලක් දීමට පොරොන්දු වී ඇතුන් හා මුදල් නොදී දූත පිරිස ආපසු එවා තිබේ. අවසානයේ දී මෙරටින් කාම්බෝජය බලා යවන ලද රජ කුමරියක ද පැහැරගෙන තිබේ.


ආක්‍රමණය

මේ තත්ත්වය නිසා පරාක්‍රමබාහු රජු රාමඤ්ඤ රජු අල්වාගැනීම හෝ මැරීම වහා කළ යුතු බව පවසා සටන් සඳහා සූදානම් විය. ඒ සඳහා මාස පහක කාලයක් ගත කර නැව් තනා තිබේ. නැව් මෙන්ම රැගෙන ගිය ආයුධ සන්නාහ ආදිය ද මහාවංසයේ  විත්ර කර ඇත්තේ මෙසේය. 

"නොයෙන් සියගණනින් නැව් විශේෂයෝ වහා සම්පාදනය කටයුත්තාහ"යි නියෝග කෙළේයි. එකල්හි මොනවට පටන්ගන්නා ලද නැව් කර්මාන්තයෙන් ආකූල වූ (ලක්දිව) හාත්පස මුහුදුබට දේශයෝ එක් කර්මාන්ත ශාලාවක් බඳුවූහ. පසුව පස් මසෙකින් ඒ සියලු නැව්කම් නිමවා දළුවක් නම් කො‌ට යුහුව රැස් කරවී." 

ආක්‍රමණය සඳහා රගෙන ගිය දෑ මෙසේ සඳහන් වේ.

  1. අවුරුද්දකට ප්‍රමාණයත් තරම් සහල් සහ වෙනත් ද්‍රව්‍ය මාර්ගෝපකරණ
  2. සන්නාහ ආදි නොයෙක් යුද්ධෝපකරණ
  3. තියුණු අගිස් ඇති හී ආදිය වළකනු පිණිස අයෝමය සන්නාහ 
  4. ගෝණ සමින් කළ සන්නාහ
  5. ගෝන අංවල බහාලන ලද විවිධ වර්ගවල බෙහෙත් වර්ග (විෂ යෙදූ ඊතලවලින් ආරක්ෂා වීමට හා විෂ සහිත ජලයෙන් සුවපත් කිරීමට ද)
  6. ඊහිස් ඉවත් කිරීම සඳහා යොදාගත යුතු යකඩින් කළ උපකරණ

ඉහත අංක 3 හා 4 එක්ව ගෙන ගෙයිගර් පවසා ඇත්තේ ගෝකණ්නක නම් තියුණු හිස් ඇති ඊතළ ලෙසය. ඒවා ඇතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා බව සඳහන් වේ.

මේ සමඟ තියුණු බුද්ධි ඇති වෙඳුන් ද, සප්පායකර ස්ත්‍රීන් ද රාමඤ්ඤ දේශය වෙත යැවූ බව සඳහන්ව තිබේ.

කෙසේ වෙතත් මේ මුහුදු ගමන පහසු එකක් වී නැත. ඒ ඇතැම් නැව් මුහුදේ දීම විනාශ වී ඇති අතර, තවත් නැව් වෙනත් රටකට සෙන්දු වී ඇත. 

එහෙත් කිර්ති නගරගිරි සෙනෙවි ප්‍රධාන කොටගත් නැව් පහක සෙබළුන් රාමඤ්ඤ දේශයේ කුසුමිතොටට ගොඩ බැස ඇති අතර, ඒ රට හමුදා වනසා, ගම් ගිනිලමින් රාජ්‍යයෙන් අඩක් විනාශ කර තිබේ. එරට පිහිටි පප්ඵාළ නම් තොටට ගොඩබට ආදිත්‍ය ද්‍රවිඪාධිකාරී නම් සෙනෙවියාගේ සේනාව ද එරටට මහත් විනාශයක් සිදු කර තිබේ. මහාවංසයට අනුව, එරට රජු උක්කම පුරයේ දී මරණයට පත් කර තිබේ. ඒ රට ජයගෙන ලංකාධීශ්වරයාගේ ආඥායෙන් එහි අණබෙර කර තිබේ. රාමඤ්ඤ රට වැසියෝ එක්ව සාකච්ඡා කර, "මෙතැන් පටන් අවුරුදු පතා අප අතින් කැමති තෙක් සුංකම් පිණිස ඇත්තු ගෙන යා යුත්තාහ." යනා දී වශයෙන් හසුන්පත් ‌ගත් දූතයන් ලංකාවේ භික්ෂූන් වෙත එවා ඇත. සංඝයා වහන්සේලාගේ බසින් මෘදු බවට පත් පරාක්‍රමබාහු රජු හා සමථයකට පැමිණීමට එරට වැසියන්ට හැකියාව ලැබී තිබේ.  එතැන් සිට අවුරුදු පතා බොහෝ ඇතුන් මෙරටට එවා ඇති බව ද මහාවංසයේ සඳහන්ය.

කෙසේ වෙතත්, මේ රජු මරණයට පත් වූ බවක් එරට මූලාශ්‍රයවල සඳහන් නොවන අතර, ඔහුගේ මරණය සිදුව ඇත්තේ පසුව වඩා වෙනස් අයුරකිනි. ඊට පෙර ඒ අලවුංසිතු රජුම මහා පරාක්‍රමබාහු රජු සමඟ සමථයකට පැමිණි බව එරට මූලාශ්‍රයවල සඳහන් බව පැවසේ. බුරුම රජු මෙරට දූතයන්ට හා වෙළෙඳුන්ට පෙර ලබා දී තිබූ වරප්‍රසාද ලබා දීමට  එකඟ වී තිබේ. [5]

ආක්‍රමණය තහවුරු කරන සෙල්ලිපිය

මේ ආක්‍රමණය පිළිබඳව තහවුරු කරන ප්‍රබල සමකාලීන පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ලට නොදුරුව පිහිටා ඇති දෙවනගල විහාර භූමියෙන් හමුවන ගිරි ලිපියකි. එම සෙල්ලිපිය මගින් අරමණ දේශයේ භුවනදත්ත රජුට එරෙහිව කළ ආක්‍රමණය පිළිබඳව හා කිත්නුවරගල් සෙනවියා ගැන සඳහන් කරමින් ඔහුට ලබාදුන් පමුනු දීමනාවක් ගැන සඳහන් කරයි. [6, 7] එහි රාමඤ්ඤ ‌රට ආක්‍රමණය පිළිබඳ සඳහන් වන්නේ මෙවැන්නකි.

"... ලංකාජීපයෙහි එකචචත්‍ර කොට පුල[ස්තිපුරව]රෙහි රජ ශ්‍රී වළන්ද සමාහි දොළොස්වනු පොසොනැ පුර දස වකැ අරමණ[ධිප]ති භුවනාදිත්ත නම් කෙනෙකුන් රජ කරන කලැ ලක්දිවු සන්තාන නො කරම්හ යී කී හෙයින් නැවු දහස්ගණනකට පිරිස් නඟා යවා අරමණය පාරනේ වදාළ කලැ කිත් නුවරගලුන් කුසුමිය යැයි යව නුවරක් පැහැරැ පස්මසක් ර .. .. .. .. [ගත්] කලැ අරමණයන් සන්තාන කරම්හ යි දූතයන් එවූ හෙයින්..." [7] 

මේ ලිපියේ මුල දී සඳහන් කර ඇති ආකරයට ම මේ ආක්‍රමණය සිදු වූ දිනය පිළිබඳව සහ රාමඤ්ඤ‌ දේශයේ රජුගේ නම "භුවනාදිත්ත" ලෙස අනාවරණය කර ඇත්තේ මේ සෙල්ලිපිය මගිනි. මෙය විරුද නාමයක් විය හැකි බව පරණවිතාන දක්වා තිබේ [7].

දෙවනගල හමුවන ගිරි ලිපි අතරින් මේ ගිරි ලිපිය අපට වැදගත් වන්නේ අපේ රටේ ඓතිහාසික වංසකතාවේ සඳහන් පුවතක් තහවුරු කිරීමට උපකාර වන නිසා පමණක් නොවේ. ඒ සිදුවීම සම්බන්ධව අරමණ හෙවත් රාමඤ්ඤ රටේ මූලාශ්‍ර බොහෝ දුරට නිහඬ වන නිසාය.

  

පාදක සටහන්

[1] Wisumperuma, Dhanesh, 2004, Human-elephant relationships in Sri Lanka: An historical and archaeological perspective, in Endangered elephants, past present and future, Proceedings of the Symposium on Human Elephant Relationships and Conflicts, J. Jayawardene (ed.), pp. 6-12

[2] Wisumperuma, Dhanesh, 2012, Religious Use of Elephants in Ancient Sri Lanka, Gajah, Vol.37,pp.16-21 (සබැඳි 1 හෝ සබැඳි 2 තුළින් )

[3] සුමංගල හිමි, හික්කඩුවේ හා බටුවන්තුඩාවේ ඩී. ඒ. ද සිල්වා (පරි.), 1912, මහාවංසය දෙවන භාගය, සිංහල පරිවර්තනය, (නැවත මුද්‍රණය 1996)

[4] Geiger, W. (Tr) 1953, Culavamsa, Part II. (1930 මුද්‍රණය සඳහා සබැඳිය)

[5] නිකලස්, සී.ඩබ්ලිව්, 1972, I පරාක්‍රමබාහු රජුගේ රාජ්‍ය කාලය, ලංකා විශ්ව විද්‍යාලයේ ලංකා ඉතිහාසය I කාණ්ඩය,  II භාගය, 438-461පිටු (බුරුම රට ආක්‍රමණය කිරීම, පි. 449-451)

[6] Ranawella, G.S., 2007, Inscriptions of Ceylon, Vol. VI, pp. 42-45

[7] Paranavitana, S. 1933, Devanagala Rock Inscription, of Parakramabahu I, in Ehigraphia Zeylanica, Vol III,  pp.312-325 (සම්පූර්ණ වෙළුම සඳහා සබැඳිය)

Tuesday, September 21, 2021

ඇත් පංතියක් නඩත්තු කිරීම හීලෑ අලි-ඇත් ගැටලුවට විසඳුමක් ද?

අලි ඇතුන්ගේ ආගමික භාවිතය ගැන අප සමාජයේ අඛණ්ඩ විවාදයක් මෑත කාලයේ දී ඇති වී පවතී. සංස්කෘතිකමය වශයෙන් වැදගත් වන එය, අලි-ඇතුන්ට හානියක් නොමැතිව පවත්වා ගැනීම පිළිබඳව කලකට පෙර ඉදිරිපත්ව ඇති එක් යෝජනාවක් වන්නේ එවැනි අලි-ඇතුන් සමූහයක් පුද්ගලික අයිතිය යටතේ නොව, රජය විසින් පවත්වාගෙන යෑමය. එනම් "ඇත් පංතියක්" පවත්වාගැනීමය. 

හීලෑ අලි-ඇතුන් පිළිබඳ සංවාදය මතු වූ අවස්ථා කීපයක දී (වෙනස් ආණ්ඩු දෙකක් තිබිය දී) මා විසින් ලියන ලද ලිපිවලින් උපුටාගත් කොටස් කීපයක් පහත දක්වා ඇත. එමෙන්ම ආගමික කටයුතු සඳහා ලංකාවේ දී අලිඇතුන් භාවිත කිරීම පිළිබඳව ලියූ පර්යේෂණ ලිපියක සාරාංශයක් හා ඊට අදාළ සබැඳිය ද මෙහි ඇතුළත් කර ඇත. 


හීලෑ අලි ප්‍රශ්නයට විසඳුම් සෙවීම

සම්පූර්ණ ලිපිය - අපේ රටේ අලි ඇතුන් ගේ අනාගතය (විදුසර 2011.08.10)

සබැඳි: 
(2) Vidusara: http://www.vidusara.com/2011/08/10/feature1.html

හීලෑ අලි-ඇතුන් ශ්‍රී ලංකාවේ සංස්‌කෘතියේ වැදගත් අංගයක්‌ බව පෙනේ. හස්‌තියා මංගල සම්මත සංකේතයක්‌ සේ සලකන ලදි. අතීතයේ සැලකිය යුතු කලක පටන් අලි ඇතුන් විවිධ කටයුතු සඳහා භාවිත කර තිබේ. සංග්‍රාම හස්‌තීන් ලෙස, රාජකීය සත්ත්වයකු ලෙස, ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස, බර වැඩ සඳහා හා වෙළෙඳ ද්‍රව්‍යයක්‌ ආදි වශයෙන් විවිධ කාර්යයන් සඳහා යොදාගෙන තිබේ. එය කලින් කලට වෙනස්‌ වී තිබේ.

මේ වන විට අලි ඇතුන් මූලික වශයෙන් යොදා ගැනෙන්නේ බර වැඩ, සංචාරක කර්මාන්තය හා පෙරහැර වැනි ආගමික අංග සඳහා බව පෙනේ. සැලකිය යුතු කාලයක සිට පෙරහැර සඳහා අලි යොදා ගැනීම නිසා අලි ඇතුන් නැති පෙරහැරක්‌ සඳහා අදටත් සමාජයේ ඇත්තේ අඩු ආකර්ෂණයකි. එසේ ම හීලෑ අලින් නැරඹීමට බොහෝ දෙනා දක්‌වන්නේ ද දැඩි ඇල්මකි. පාරේ තොටේ හෝ වෙනත් තැනක හෝ හීලෑ අලියකු - ඇතකු ගමන් කරන ආකාරය හෝ වැඩ කරන ආකාරය දුටු විට මිනිසුන් අතර ඇති වන උනන්දුව මීට සාධකයකි.

අපේ රටේ සැලකිය යුතු කාලයක පටන් හීලෑ අලින් හිඟයක්‌ ඇති වෙමින් තිබේ. ඒ අලින් ඇල්ලීම තහනම් වූ කාලයේ පටන් අලි ඇතුන් අල්ලාගැනීම අපහසු වූ නිසා ය. සැම වර්ෂයක දී ම මෙන් මේ වර්ෂයේ දී පෙරහැර සමයේ මේ අලි ඇතුන් ගේ හිඟය ගැන අසන්නට ලැබේ. මේ වන විට හීලෑ අලි ඇතුන් ගණන සියයක්‌ තරම් අඩු බව පැවසේ. කෙසේ වෙතත් පොදුවේ පවසන්නේ (නො කියා කියන්නේ) හීලෑ කිරීම සඳහා අලි ඇතුන් අවශ්‍ය බව ය. මේ ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දක්‌වන බවක්‌ ද දැන් දැන් පෙනෙන්ට තිබේ. වනජීවී අමාත්‍යවරයා ගේ ප්‍රකාශයකට අනුව අලින් හා ඇත් පැටවුන් 300ක්‌ පමණ විහාරස්‌ථානවලට ලබා දීමට පියවර ගන්නා බවක්‌ පුවත්පත්වල පළ විය. මෙය සිදු විය යුතු දෙයක්‌ නම් නො වේ.

පෙරහැර වැනි සංස්‌කෘතික අංග සඳහා හීලෑ අලින් අවශ්‍ය ම නම් මේ ගැටලූවට සාධාරණ විසඳුමක්‌ තිබේ ද? මෙවැනි විසඳුමක්‌ කලකට පෙර මාධ්‍ය තුළින් යෝජනා කළ බවක්‌ අපට මතක ය. ඒ අනුව හීලෑ අලි ගහනයක්‌ පවත්වා ගැනීම රජයෙන් සිදු කළ යුතු ය. (දැනටමත් එවැනි ගහනයක්‌ පින්නවල වාසය කරයි). පෙරහැර වැනි විවිධ සංස්‌කෘතික අංග සඳහා අලින් අවශ්‍ය නම් ඒ සඳහා පුහුණු කළ අලි ඇතුන් ලබා දිය හැකි ය. එය අලූතෙන් පිහිටුවන රජයේ ආයතනයක්‌ මගින් සිදු කළ හැකි ය. එක ම කාලයක පෙරහැර ගණනාවක්‌ නො පවත්වන බැවින් මෙවැනි ආයතනයකට එතරම් අලි ඇතුන් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන්නේ ද නැත. එවිට පෞද්ගලික අයිතියක්‌ පිළිබඳ ගැටලූවක්‌ පැන නො නඟී. අපේ රටේ ඉතිහාසයේ වැඩි කාලයක්‌ අලි ඇතුන් රටේ පාලකයාට අයත් ව තිබූ බව පෙනේ. (ඇතැම් කාලවකවානුවල දී අලින් පෞද්ගලික අයිතිය යටතේ පැවැති බව ද ඓතිහාසික සත්‍යයකි). අලින් ගේ යහපත සලකා රජයේ හෙවත් පොදු අයිතිය වෙත යළිත් යොමු වීම මගින් ම මේ ගැටලූව විසඳාගත නොහැකි ය.

හීලෑ අලින් අතරින් නව ජනිතයන් බිහි වීමක්‌ නො වන්නේ ද මේ ආකාරයෙන් අධික ලෙස සේවයේ යෙදවීම නිසා බව පෙනේ. මේ අලින් අතරින් සැලකිය යුතු පිරිසක්‌ වියපත් වූවන් වුවත් ඒ අලින් හා ගැහැනු සතුන් තරුණ කාලයේ දී පවා අභිජනනය කිරීම සඳහා අවස්‌ථාවක්‌ නො ලැබුණු තරම් ය. එහෙත් එය ප්‍රායෝගිකව කළ හැකි ය. මේ දක්‌වා පින්නවල දී අලි පැටවුන් හැටක්‌ පමණ පිරිසක්‌ උපත ලබා ඇත. පෙර සඳහන් කළ ආකාරයට අලි ඇතුන් එක්‌ තැනක රැඳවීම මගින් හා පෙරහැර වැනි අවශ්‍යතා සඳහා පමණක්‌ ලබා දීම මගින් හීලෑ අලින් ගේ අභිජනනයට ද අවස්‌ථාවක්‌ ලැබේ.


කෙසේ වෙතත් කරුණු විමසා බලන විට පෙනෙන්නේ හීලෑ අලින් සඳහා ඇති ඉල්ලූමට තවත් හේතුවක්‌ ඇති බව ය. ඒ අලින් යනු මුදල් ඉපැයිය හැකි ආදායම් මාර්ගයක්‌ වීම ය. අලින් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන තිබේ. ඒ සංචාරකයන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස හා සංචාරකයන් පිනවිය හැකි මාධ්‍යයක්‌ ලෙස ය. හබරණ ප්‍රදේශය මේ සඳහා වඩාත් ප්‍රකට ය. එය අලි හිමියා හට ආදායම් මාර්ගයක්‌ වුවත් ඒ අලින් ගේ සාමාන්‍ය ජීවන අවශ්‍යතා පිළිබඳව නිසි සැලකිල්ලක්‌ මෙහි දී නො ලැබෙන බව පෙනේ. එය මේ අලි ඇතුන් ගේ ජීවිතවලට කළ හැකි අනිසි බලපෑම ගැන අවධානය අඩු ය.

අනෙක්‌ අතට අලි ඇතුන් පෞද්ගලිකව හිමි කරගනිමින් තම වංශවත් බව හෝ සමාජ තත්ත්වය හෝ පෙන්වීමට ද ඇතැම් පිරිස්‌ කැමැත්ත දක්‌වති. එහෙත් එය මේ සත්ත්වයාට සිදු කරන යම් නිගරුවකි. මේ අදහස අපේ සමාජයෙන් ඈත් කිරීමට කාලය එළැඹ තිබේ. අලින්ට ඇති අධික ඉල්ලූම නිසා හොර රහසේ වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා ගැනීම මෙන්ම රජයේ ආයතනවල සිටින අලින් ලබා ගැනීමට විවිධ පිරිස්‌ දක්‌වන උනන්දුව පිළිබඳ වාර්තා විටින් විට මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබේ. මෙය වහා වැළැක්‌විය යුතු තත්ත්වයකි.


**********************************************

Finding a solution

Full article - Deep-rooted jumbo culture of Sri Lanka (The Nation (Insight), 23.08.2015)

Link:

The cultural links between humans and elephants in perahera processions are strong as evident in historical sources mentioned in above mentioned references. The use of tame elephants in Peraheras is given so much importance even at present. Hence, finding a sustainable method to ensure the use of elephants for cultural purposes while reducing the suffering of animals and ensuring their welfare is a need of the day.

These tamed elephants are usually kept chained with iron chains and caretakers are often blamed for handling these animals in a cruel manner. Chaining elephants can cause serious leg injuries to these animals, especially to the calves. This can be solved by finding alternatives to chaining like using proper roping as in the past.

Some of these animals are engaged in hard work during other times of the year – the lifting of logs and recently used in safari rides etc. Both these activities can cause the animal to suffer from physical disorders – safaris can cause serious bone injuries to the animal. This is because during the safari animals are overcrowded with tourists. With regard to such activities, elephants are used without a rest. This type of usage of elephants clearly goes against the guidelines specified in using these animals in safaris.

The ownership of private elephants brings the opportunity for the owners to earn money. They tend to generate more and more money from the elephants disregarding their welfare. This is a reason why elephants are seen engaging in safari rides. When these animals are free from routine functions owners use them for activities which can make them rich. The new rich seem to follow this trend, as opposed to the elites of the past who thought having an elephant enhanced individual status of their respective clans. Hence efforts to find humane ways of keeping elephants in custody should be looked into.

One such solution, as pointed out some time back, is to maintain a reserve of elephants by a dedicated state body solely for religious and other cultural purposes. Properly trained mahouts should be engaged in the service of these centres. Traditional methods as well as modern scientific methods can be tried out at such places. There could be more than one centre in the country. These centres could also serve as tourist attractions. The elephants owned by the temples can be kept in these centres.


**********************************************


හීලෑ අලින් අවශ්‍ය කුමකට ද?

සම්පූර්ණ ලිපිය - අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට අලින් අල්ලා විකිණීම විසඳුමක්‌ ද? (විදුසර, 2017.09.20)

සබැඳිය - 
(1) My Blog: http://dhaneshw.blogspot.com/2017/09/human-elephant-conflict-mitigation.html
(2) Vidusara: http://www.vidusara.com/2017/09/20/feature3.html

අලි-මිනිස්‌ ගැටුමට විසඳුම් ලෙස ඉදිරිපත් වන යෝජනාව අතරට අලින් අල්ලා විකිණීම නම් ඇතුළත් විය යුතු යෑයි ක්‌ෂේත්‍රයේ කිසිදු විද්වතකු පවසනු ඇතැයි අප සිතන්නේ නැත. ඉන් පළමු කරුණ වන්නේ අලින් අද අවශ්‍ය වන්නේ කුමක්‌ සඳහා ද යන්නයි. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා විදේශ රටවලට යෑවූ අලින් පත් ව ඇති ඉරණම විදේශීය මාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ.

සාම්ප්‍රදායික දැනුමක්‌ ලෙස සැලකිය හැකි අලි හීලෑ කිරීම පිළිබඳ මෙරට ඉතිහාසය බොහෝ පැරැණි ය. එහෙත් අද වන විට හීලෑ අලින් අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම කාර්යය වන්නේ සංස්‌කෘතික වශයෙන් වැදගත්කමක්‌ ඇති පෙරහැර පමණකි. ඇතැමුන් ඊට විරුද්ධ වුව ද පෙරහැර යනු අනාදිමත් කාලයක සිට පැවත එන සංස්‌කෘතික අංගයකි. මෙය බුදුදහම මෙරටට හඳුන්වා දුන් කාලයේ සිට පැවත එන්නක්‌ බව මහාවංසය අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට පළමු ස්‌තූපය වන ථූපාරාමය නිර්මාණය කළ අවස්‌ථාවේ දී එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැරේ දී ධාතූන් වහන්සේලා වැඩමවීම සඳහා ඇතකු යොදාගැනීම මීට නිදසුනකි.

කෙසේ වෙතත් පෙරහැර සඳහා අලින් ලබාගැනීම සඳහා වුව ද පෞද්ගලික අයිතියට ලබා දීම ප්‍රවර්ධනය කිරීම නො කළ යුතු බව අප ගේ අදහසයි. ඉහත කී ආකාරයට පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදු කළ හැකි ය. එවැන්නක්‌ සඳහා යම් ආරම්භයක්‌ පසුගිය දිනක පැවැත්වුණු බවක්‌ වාර්තා විය. එය යම් ආකාරයකින් සතුටට හේතු වන කරුණකි.

පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය නො කළ යුතු යෑයි අප සඳහන් කරන්නේ එමගින් අලින් යොදාගෙන මුදල් ඉපැයීම අරමුණු කරගත් නව ධනපති පංතිය නිසා අලින් පත් ව ඇති අසරණ තත්ත්වය අද අප ගේ ඇස්‌ හමුවේ දිස්‌ වන නිසා ය. මෙරට තුළ අලින් යොදාගෙන වැඩ ගැනීම දැන් අවම මට්‌ටමකට පත් ව තිබේ. එය තවදුරටත් අඩු වෙමින් පවතින්නකි. සෆාරි සඳහා යොදාගැනීම අලින් පත් විය හැකි දරුණුතම තත්ත්වයක්‌ වන්නේ එය හුදෙක්‌ මුදල් අරමුණු කරගෙන කරන්නක්‌ බව පෙනෙන නිසා ය. සංචාරක අධිකාරීන් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා මේ වන විට සෆාරි කාර්යයේ යොදාගන්නා අලින් සම්බන්ධව ක්‍රියාත්මක නො වන බව ක්‌ෂේත්‍රයට සමීප පිරිස්‌වල මතය වේ. අලින් ගේ සුබසාධනය සම්බන්ධව මේ පිරිස්‌වල අවධානය අවම ය. මේ නිසා පෞද්ගලික අයිතියට අලින් ලබා දීම නො කිරීම වඩාත් හොඳ ය.


**********************************************

අතිරේක කියැවීම සදහා පහත දක්වා ඇත්තේ පැරණි ලංකාවේ අලි ඇත්න් ආගමික භාවිතය ගැන රචනා කරන ලද පර්යේෂණ ලිපියක සාරාංශයකි. සම්පූර්ණ ලිපිය සබැඳියෙන් බාගත හැකිය.
 

Religious Use of Elephants in Ancient Sri Lanka


Citation: Wisumperuma, D. 2012, Religious Use of Elephants in Ancient Sri Lanka, Gajah, 37, pp. 16-21.


Abstract

The religious use of elephants in Sri Lanka has its origins in the early period of Buddhism in Sri Lanka. The oldest record of the use of elephants in Buddhist religious processions and festivals in Sri Lanka dates back to 3rd century BCE, when Buddhism was introduced to the Island. The oldest record of the use of elephants to draw a chariot with the Tooth Relic in a procession is from early 14th century CE, centuries prior to the commencement of the Kandy Esala Perahera in the 18th century. Elephants used for religious purposes during the early periods were mostly state elephants belonging to the king and in some cases the royal or Mangala elephant. However, a number of elephants were used in religious festivals later and that perhaps required more elephants from other sources. The first recorded donation of an elephant to a temple took place in the early 1st century CE. This could be a continuation of a former tradition. Offering of elephants to temples are frequently mentioned in historical sources since 14th century CE.

Wednesday, December 23, 2020

දළ සඳහා අප්‍රිකානු ඇතුන් මැරූ තරම හෙළි කළ පර්යේෂණයක්

ධනේෂ් විසුම්‌පෙරුම

විදුසර, 2020.12.23, පි 6

http://www.vidusara.com/2020/12/23/feature1.html



ඇත් දළ ලබාගැනීම සඳහා ඇතුන් දඩයම් කිරීම අලි ඇතුන්ගේ පැවැත්මට එල්ල වූ මූලික තර්ජනයකි. කැටයම් භාණ්ඩ, විසිතුරු භාණ්ඩ ආදිය තැනීම සඳහා ලෝකයේ රටවල් ගණනාවක අතීතයේ සිට ඇත් දළ භාවිත කර ඇත. ඒ නිසා ඇත් දළ වෙළෙඳාම ඇතැම් රටවල වැදගත් ආදායම් මාර්ගයක් ද වී තිබිණි. එසේ දළ පිණිස හා ක්‍රීඩාවක් ලෙස දඩයම් කිරීම මෙන්ම වාසස්ථාන අහිමිවීම ආදි විවිධ හේතුවල ප්‍රතිඵලයක් ලෙස අද වන විට අලි ඇතුන්ගේ පැවැත්ම තර්ජනයට ලක්ව තිබෙයි. අප්‍රිකානු අලින්ට වඩා ආසියානු අලින්ට මේ තර්ජනය වඩාත් බරපතළය. සංරක්ෂණ උත්සාහය නිසා අද වන විට ඇත් දළ වෙළෙඳාම බොහෝ රටවල නීතිවිරෝධී ක්‍රියාවකි. එහෙත් මේ සඳහා ඇති ඉල්ලුම නිසා එම වෙළෙඳාම රහසේ සිදුවෙයි. 

අතීතයේ සිට අලි ඇතුන් දඩයම් කළ විවිධ රටවල ඒ දඩයමේ තරම ගැන විවිධ වාර්තා දැකිය හැකිය. ඒ සමහර තොරතුරු අනුව මේ ඇත් දඩයම සැලකිය යුතු තරම් බරපතළ බව පෙනෙයි. කෙතරම් ප්‍රමාණයකින්, කෙතරම් විශාල ලෙස අලි ඇතුන් දඩයම් කළේද යන්න ගැන වන එවැනි විස්තරවල එන කරුණු ගැන ඇතැම් ශාස්ත්‍රඥයන් පවා සැක පහළ කළ අවස්ථා ද තිබේ. ඍජුවම මේ ගැන නොකළ පර්යේෂණයක් නොවූව ද පුරාවිද්‍යාත්මක හා ප්‍රවේණික ද්‍රව්‍ය ගැන සිදු කළ අධ්‍යයනයකින් අප්‍රිකාවේ ඇත් දඩයමේ තරම ගැන වැදගත් කරුණු කීපයක් අනාවරණය වී ඇත. 

ගිලුණු නැවකින් ලැබුණු ඇත් දළ

2008 වර්ෂයේ දී නැමීබියාවේ වෙරළාසන්න දියමන්ති පතලකින් හමු වූ, වැල්ලෙන් වැසීගිය නෞකාවක ශේෂවලින් මේ පර්යේෂණයේ කතාව ආරම්භ වේ. මේ නැව පිළිබඳ සාධක අනාවරණය වීමෙන් පසු දියමන්ති කැනීම නවතා කෙටි කාලයක් තුළ පුරාවිද්‍යා කැනීමක් සිදු කර ඇත. එම නැවේ ටොන් හතලිහක පමණ නැව් බඩු තොගයක් තිබූ බව හෙළි වී තිබෙයි. එසේ හමු වී ඇති විවිධ ද්‍රව්‍ය අතර රිදී හා රන් කාසි, තඹ කුට්ටි හා ඇත් දළ වැඩි වටිනා  ද්‍රව්‍ය තිබී ඇත. එසේම විවිධ නාවුක උපකරණ හා නැවේ භාවිත වූ මෙවලම් ද කැනීමෙන් හමු වී ඇත. විවිධ පර්යේෂකයන් විසින් මේ ද්‍රව්‍ය එදා සිට සිය අධ්‍යයන සඳහා යොදාගනු ලැබෙයි.

මෙම නැවෙන් හමු වූ එක් පෘතුගීසි කාසි වර්ගයක් නිකුත් කරන ලද කාල වකවානුව හා එම කාලසීමාවේ දී එම ප්‍රදේශයේ දී අතුරුදන් වූ නෞකා පිළිබඳ ලිඛිත සාධක ද යොදාගනිමින් එම නැව කුමක්දැයි අනාවරණය කරගැනීමට හැකි වී ඇත. එය බොම් ජීසස් (Bom Jesus) නම් වූ පෘතුගීසි වෙළෙඳ නෞකාවකි. 1533 වර්ෂයේ දී ඉන්දියාව දෙසට යාත්‍රා කරන අතර ඒ නැව අතුරුදන් වී තිබෙයි. මෙම නෞකාව ඉන්දියාව දෙසට යාත්‍රා කරමින් තිබූ බව තීරණය කර ඇත්තේ එහි තිබී හමු වූ තඹ කුට්ටි තොගය නිසාය. එම තඹ කුළු බඩු මිල දී ගැනීමට යොදාගැනීමට අපේක්ෂා කළ ඒවාය. මේ කරුණු අනුව වසර 487ක් පමණ පැරණි නැවක් වන මෙය දකුණු දිග අප්‍රිකාවෙන් හමු වී ඇති පැරණිම නෞකාව ද වෙයි.

නැවේ අඩංගු ද්‍රව්‍ය හා එහි පිහිටීම අනුව එය ශුභ පාර්ථනා තුඩුව දෙසට යාත්‍රා කරමින් තිබිය දී විශාල කුණාටුවට හසු වී උතුරු දෙසට සැතපුම් සියගණනක් ගසාගෙන ගොස් නැමීබියානු වෙරළට ආසන්නව මුහුදුබත්ව විනාශයට පත්වන්නට ඇත. එය අද වැල්ලෙන් වැසුණු බිමකි. මුහුදු මට්ටමට වඩා අඩි විස්සක් පමණ ගැඹුරින් මේ නැව තැන්පත් වී ඇත. 

ඇත් දළවල ප්‍රවේණික දත්ත

නැමිබියාවේ, ඇමරිකාවේ හා එක්සත් රාජධානියේ පර්යේෂක පිරිසක් මෙම නැවෙන් හමු වූ ඇත් දළ පිළිබඳ සිදු කළ අධ්‍යයනයකින් ප්‍රධාන කරුණු දෙකක් අනාවරණය කරගෙන ඇත. ඉන් එකක් පුරාප්‍රවේණික විශ්ලේෂණය මගින් ද දෙවැන්න වන්නේ සමස්ථානික විශ්ලේෂණය මගින් අනාවරණය වී තිබෙයි. 

නැමීබියාවට ඔබ්බෙන් වූ සිසිල් සාගරයේ ගිලී තිබූ බැවින් මේ ඇත් දළ ඉතා හොඳින් ආරක්ෂා වී තිබූ නිසා නැවේ තිබී හමු වූ දළ 62ක තොගයකින් දළ 44කින් සාර්ථක ලෙස DNA ලබා ගැනීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබිණි. එම පෞරාණික ප්‍රවේණික ද්‍රව්‍ය විශ්ලේෂණය කිරීමේ දී විද්‍යාඥයගේ අවධානය යොමු වී ඇත්තේ මයිට්‍රකොන්ඩ්‍රියාවල DNA හෙවත් mtDNA පිළිබඳවය. මයිට්‍රකොන්ඩ්‍රියා යනු සෛලවල ඇතුළත් එක් සංඝටකයක් වන අතර එහි ප්‍රවේණික ද්‍රව්‍ය පරම්පරාවෙන් පරම්පරාවට යන්නේ මව් පාර්ශ්වයෙනි. වෙනත් ආකාරයකට පවසන්නේ නම් දුවෙකුට හෝ පුතෙකුට ලැබෙන්නේ තමන්ගේ මවගේ මයිට්‍රකොන්ඩ්‍රීය DNA ය. එබැවින් පරම්පරා හඳුනාගැනීමේ දී වැදගත් වෙයි. 

මෙම මයිට්‍රකොන්ඩ්‍රීය DNA අධ්‍යයනයෙන් පෙනී ගොස් ඇත්තේ මේ නැවෙන් ලැබුණු ඇත් දළ අයත් වන්නේ අප්‍රිකානු වනාන්තර අලින්ට (African forest - Loxodonta cyclotis) බවයි. අප්‍රිකාවේ වෙසෙන අනෙක් අලියා සැවානා අලියාට (African savanna - Loxodonta africana) අයත් ඓකදර්ශ (Haplotype) අතර මේ දළවල DNAවලින් ලැබී නැත. එසේම මධ්‍යම අප්‍රිකානු අලිගහනවල දැකිය හැකි ශාඛාවලට අයත් ඓකදර්ශ ද හමු වී නැත. ඒ අනුව මේ දළ අයත් වූයේ බටහිර අප්‍රිකාවේ වාසය කළ අප්‍රිකානු වනාන්තර අලින්ට බවට පෙනී යයි. බටහිර අප්‍රිකාවේ අත්ලාන්තික් වෙරළ ප්‍රදේශයෙන් පෘතුගාලයට අපනයනය කළ බවට ඓතිහාසික වාර්තාවලින් ලැබෙන සාධක සමඟ ද මෙය ගැලපේ. මේ ඇත් දළ ගිනියාබොක්ක ප්‍රදේශයෙන් නැව්ගත කළ ඒවා බව මේ පර්යේෂකයින්ගේ නිගමනයයි. 

එසේම ප්‍රවේණික කරුණු අනුව මේ අලින් එකිනෙකට වෙනස් රංචු 17කට අයත් වූ බව ද හෙළි වී තිබෙයි. අප්‍රිකාවේ එම කලාපයේ අද වන විට දැකිය හැක්කේ ඒ අතරින් රංචු හතරක් පමණකි. ඒ අනුව අතීතයේ සිදු වූ දඩයම් කිරීම නිසා සෙසු අලි රංචු වඳ වී යන්නට ඇති බව සිතිය හැකිය. මේ අනුව ගත වූ වසර පන්සීයක පමණ කාලය ඇතුළත අලින්ගේ විවිධත්වය විශාල ලෙසින් අඩු වීමට මහා පරිමාණ දඩයම හේතු වී ඇති බව තහවුරු වී ඇත. එමෙන්ම මේ හමු වූ දළවල දිග අනුව, ගැහැණු පිරිමි සතුන් ද, වැඩුනු හා තරුණ ද යනුවෙන් වෙනසක් නොමැතිව දඩයම් කර ඇති බව ද පැහැදිලිය.

අලින් ජීවත් වූ ප්‍රදේශ හඳුනාගැනීම

අලින් ජීවත්වන්නේ ගැහැණු සතුන් විසින් නායකත්වය ගන්නා කණ්ඩායම් ලෙසයි. එසේම මේ කණ්ඩායමක් හෙවත් රංචුවක් සාමාන්‍යයෙන් ජීවත්වන්නේ එකම භූගෝලීය ප්‍රදේශයකය. එබැවින් මේ පැරණි ඇත් දළවලින් ඒවා අයත් වූ සතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. එම අලින් එකම ප්‍රදේශයක ජීවත්වෙමින් ආහාරගන්නා නිසා ඒ ආහාරවල ඇතුළත් පරමාණු ඔවුන්‌ගේ දළ තුළ තැන්පත් වෙයි. එසේ තැන්පත්වන ද්‍රව්‍යවල ඇති ස්ථාවර කාබන් හා නයිට්‍රජන් සමස්ථානික විශ්ලේෂණය මගින් මේ ඇතුන් ජීවත් වූ ප්‍රදේශය හඳුනාගත හැකිය. 

මේ ඇතුන්ගේ දළවල ඇතුළත් කාබන් 13 සමස්ථානිකවල ඉහළ අගය අනුව ඔවුන්ගේ ආහාරයේ C4 වර්ගයේ තෘණ සැලකිය යුතු ප්‍රමාණයකින් යුක්ත වී තිබෙයි. එහෙත් වනාන්තරවල වෙසෙන අලින්ගේ ආහාරයේ දැකිය හැක්කේ C3 වර්ගයේ ආහාර පමණක් නිසා ඔවුන්ගේ කාබන් 13 සමස්ථානික පිරිහී ගොස් තිබෙයි. එසේම නයිට්‍රජන්  සමස්ථානික අගය අනුව ද නැවෙන් හමු වූ දළ හිමි සතුන් ඝන වනාන්තර හෝ විවෘත ශුෂ්ක පරිසරයක වාසය කළ අලින් නොවෙන බව තහවුරු වී ඇත.

මෙහි දී හෙළි වී ඇත්තේ මේ වනාන්තර අලින් වුවත් අප්‍රිකාවේ බටහිර වෙරළේ දකුණු දෙසට වන්නට පිහිටා ඇති ගිනියානු වනාන්තර ප්‍රදේශයට එපිටින් පිහිටි වනාන්තර හා සාවානා මිශ්‍ර පරිසරයේ හා වියළි වනාන්තර ප්‍රදේශයේ ජීවත් වූ අලින් විය හැකි බවයි. එම ඇතුන් ඝන වැසි වනාන්තර පැවති ප්‍රදේශවල ජීවත් වූවන් නොවන බව පැහැදිලි වී ඇත. මෙතෙක් පැවති එක් විශ්වාසයක් වූයේ එම සැවානා ප්‍රදේශයට වනාන්තර අලින් ව්‍යාප්ත වූයේ 19-20 සියවස්වල දී සැවනා අලින්ගේ ගහන අඩු වූ පසුව බවයි. එහෙත් මේ අධ්‍යයනයෙන් පෙනෙන්නේ අඩු වශයෙන් අදට වසර පන්සීයකට පමණ පෙරදී ද වනාන්තර අලින් ඒ ප්‍රදේශයේ ජීවත් වූ බවයි. ඒ අනුව ඒ කාලයේදී අප්‍රිකානු වනාන්තර අලියාගේ ව්‍යාප්තිය ඒ ප්‍රදේශ දක්වාම තිබී ඇත. එසේම එය එකල පෘතුගීසී වෙළෙද නෞකා පැමිණි ස්ථාන හා ගැලපෙයි. 

සංරක්ෂණයට ඇති අදාළත්වය

කිසියම් සත්ත්ව විශේෂයක ප්‍රවේණික විවිධත්වය අඩු වීම එම සත්ත්ව විශේෂයේ වඳ වී යෑමේ අවදානම ඉහළ යෑමට හේතු වන බව පැහැදිලි කරුණකි. අප්‍රිකානු මහාද්වීපයේම ජීවත්වන චීටා සතුන් අද මුහුණ දී ඇති තත්ත්වය මෙයයි. මිනිසුන් මැදිහත් වී ආරක්ෂා කරගත් හා නැවත ස්වාභාවික පරිසරයට හඳුන්වා දුන් සමහර සතුන් ද මේ තත්ත්වයට මුහුණ දී ඇත. 

මෙම පර්යේෂණයෙන් හෙළි වන කරුණු අලි සංරක්ෂණයට මෙය යොදාගත හැකිය. අද වන විට ද නීතිවිරෝධිව ලබාගත් ඇත් දළ විශාල ලෙසින් හමු වන අවස්තාවල දී ඒවායේ DNA විමර්ශනය කිරීම මගින් අලින් කුමන ප්‍රදේශයක වාසය කරන්නවුන් ද යන්න හදුනාගැනීම මේ වන විටත් සිදුවෙයි. මේ පර්යේෂණයේදී එය තවදුරටත් ශක්තිමත් කර ඇති අතර එම ක්‍රමවේදය ලෝකයේ දැකිය හැකි ඇත් දළ එකතු පැමිණි ප්‍රදේශ හඳුනාගැනීම සඳහා යොදාගත හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සංරක්ෂණය සඳහා වැදගත්ය.

ඡායාරූප - අන්තර්ජාලයෙනි.

(මූලාශ්‍රය: Current Bology, DOI: 10.1016/j.cub.2020.10.086)

Monday, December 25, 2017

දළ පූට්‌ටුවා ගේ ඝාතනය මාකට්‌ කිරීම හා අලි සංරක්‌ෂණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 05, 13.12.2017 (Vidusara)

http://www.vidusara.com/2017/12/13/feature1.html




පසුගිය දා දළ ලබාගැනීම සඳහා වෙඩි තබා මරා දමන ලද ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඇතා ගැන සටහනක්‌ තැබීම සඳහා සූදානම් වන විට අපූරු කෙටි පණිවිඩයක්‌ ජංගම දුරකථනයට ලැබුණේ ය. එම කෙටි පණිවිඩයෙන් කියෑවුණේ 'මෑතක දී රට ම කතා වුණු දළ පූට්‌ටුවා ගැන ඔබ මෙතෙක්‌ නො දන්නා කතා මෙතනින් බලන්න' කියා යූ ටියුබ් සබැඳියක ලිපිනයක්‌ එවූ පණිවිඩයකි. මේ කෙටි පණිවිඩය දළ පූට්‌ටුවා මේ දිනවල 'මාකට්‌' වී ඇති බවට මනා සාධකයක්‌ සපයයි. (අදාළ අංකය වැනි අප ඉල්ලා ලියාපදිංචි වී නොමැති සේවා අංකවලින් මෙවැනි කෙටි පණිවිඩ ලැබීම පාරිභෝගික අයිතියක්‌ උල්ලංඝනය වීමක්‌ සේ සැලකිය හැකි වීම වෙන ම කරුණකි.)

දළ පූට්‌ටුවා හෝ හරියට ම කිව හොත් ඒ සතා මරා දැමීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවක්‌ ඇති වීම වැදගත් කරුණකි. ඒ වසරකට දෙ සිය පනහක්‌ පමණ අලි ඇතුන් අපේ රටේ මිය යන නිසා ය. එහෙත් මේ සාකච්ඡාව කෙතෙක්‌ සාධාරණීය ද යන්න වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් දළ පූට්‌ටුවා ගේ ඝාතනය බෙහෙවින් අලෙවි වූයේ සමාජ ජාලවල සහ ඕපාදූප වෙබ් අඩවිවල ය. මේ ඇතැම් සටහන් හුදෙක්‌ ඝාතකයන්ට සාප කිරීමට හා බලධාරීන්ට දෙස්‌ තැබීමට වෙන් වූ ඒවා ය. තවත් ඒවා හුදෙක්‌ ම ආවේගකාරී විය. තවත් ඒවායේ විවිධ යෝජනා දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස දළ ඇතුනට ආරක්‌ෂාව ලබා දීම සඳහා මේ සමාජ ජාල සංරක්‌ෂකයන් ඉදිරිපත් කළ යෝජනා අතර රේඩියෝ කොලර් සවි කිරීම හා ඇතුන්ට ආරක්‌ෂක අංශවලින් ආරක්‌ෂාව ලබා දීම වැනි යෝජනා තිබිණි. දළ ලබාගැනීම සඳහා දඩයම් කිරීම වළක්‌වාලීමට මේ පළමු උපක්‍රමයෙන් සහායක්‌ නො ලැබෙන බව ඒ තාක්‌ෂණය දන්නා අයට පැහැදිලි කරුණකි. එසේ ම විශාල මෙන්ම වනගත ප්‍රදේශයක සරන අපේ රටේ ඇතකුට ආරක්‌ෂාව ලබා දීම කිසිසේත් ප්‍රායෝගික නො වන්නකි.

අනෙකක්‌ තබා මේ කතාව දිගින් දිගට ඇදී ගොස්‌ සමාජ ජාලවල බෙහෙවින් සිටින සංරක්‌ෂකයන් ගේ චෝදනාවට හා 'කටගැස්‌මට' බෙහෙවින් ලක්‌ ව ඇති සංස්‌කෘතික අවශ්‍යතා සඳහා හීලෑ අලින් ලබා දීම විවේචනය කිරීම දක්‌වා ම මේ කතාව දික්‌ගැසී ගොස්‌ තිබිණි. (පෙරහැර වැනි සංස්‌කෘතික අවශ්‍යතා සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය අලින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අපේ මතය වන අතර, අලින් අනිසි භාවිතය අධික බැවින් පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය අයෝග්‍ය බව අපේ මතයයි.)

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා මෙන්ම, වන අලින් ආරක්‌ෂා කිරීම සඳහා වනජීවී බලධාරීන් විසින් මෙතෙක්‌ ගත් සියලු පියවර අවතක්‌සේරු කරන බවක්‌ මේ ඇතැම් අදහස්‌ තුළ දැකිය හැකි විය. එය සාධාරණ නො වන බව අලි - මිනිස්‌ ගැටුම ගැන ප්‍රාමාණික අවබෝධයක්‌ ඇති අය දන්නා කරුණකි. එසේ ම සමාජ ජාලවල දැකිය හැකි වූ පමණ ඉක්‌මවා ගිය ආකාරයේ ප්‍රතිචාර හා පුවත්වලින් මතු වන්නේ මේ කරුණ දක්‌වාලමින් සමාජයේ කිසියම් හඬක්‌ මතු කිරීමේ අවශ්‍යතාවක්‌ යම් පිරිසකට තිබූ බව ද යන ගැටලුව ද අපට ඇති විය. ඒවායේ පළ වූ සටහන් මෙන්ම ඒවාට දැක්‌වූ ප්‍රතිචාරවල ද කිසියම් කෘත්‍රිම ආකාරයක්‌ ගත් බවක්‌ ද පෙනිණි. කාට හෝ ඩෑෂ් පහරක්‌ එල්ල කිරීම සඳහා බෝලය ඔසවා දීමක්‌ මේ තුළ දැකිය නොහැක්‌කේ නො වේ.

දළ පූට්‌ටුවා ගේ මරණය


දළ පූට්‌ටුවන් පරිසර ප්‍රේමීන් මෙන්ම ජනතාව අතර වැඩි අවධානයකට ලක්‌ වන්නේ ඔවුන් ගේ ඇත් දළවල පිහිටීමේ දැකිය හැකි සුවිශේෂ ලක්‌ෂණය නිසා ය. දළ යුග්මය ඉදිරියට පැමිණ හොඬවැල ඉදිරිපසින් එකට පූට්‌ටු වී පිහිටීම මෙහි දී දැකිය හැකි ය. එම තත්ත්වය නිසා මෙවැනි සතුන්ට හොඬවැල පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි වෙයි. එම අහසුතාව සමඟ දිවි ගෙවීමට මේ සතුන්ට සිදු වේ. මෙවැනි ප්‍රකට දළ පූට්‌ටුවකු යාල හා කුමන ප්‍රදේශවල වාසය කළ අතර, වෙඩි වැදුණු තුවාල හේතුවෙන් එම ඇතා මිය ගියේ 2007 වර්ෂයේ දී පමණ ය. අපේ මතකයේ හැටියට ඒ තුවාල සඳහා ප්‍රතිකාර කරමින් තිබිය දී ය. එහෙත් එදා මෙවැනි හා හෝවක්‌ ඇති කිරීමට තරම් සමාජ ජාල හෝ අන්තර්ජාලය ප්‍රබලව තිබුණේ නැත.

ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ මරණය අවාසනාවන්ත සිදුවීමක්‌ බවට සැකයක්‌ නැත. විශාල ප්‍රදේශයක සැරිසරමින් මිනිස්‌ වාසස්‌ථාන අතර සැරිසරමින් දිවි ගෙවූ මේ සත්ත්වයා මිනිසුන් ගෙන් බොහෝ සෙයින් බැට කා ඇති සත්ත්වයෙකි. එක්‌ ඇසක්‌ අන්ධ වූ අතර අනෙක්‌ ඇසේ ද පෙනීම බෙහෙවින් දුර්වල වීමට හේතුව වී ඇත්තේ මිනිසුන් ගෙන් සිදු වූ ගැහැට ය. කලින් කල මේ ඇතා සමාජයේ අවධානයට ලක්‌ වූ අතර බලධාරීන් ගේ අවධානයට ද ලක්‌ ව තිබූ බව වාර්තා අනුව පැහැදිලි ය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ හස්‌තියා මරා දමා ඇත්තේ ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා ය. ඇත් දළ යුගලයක්‌ අලෙවි කිරීමට යැමේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අනාවරණය වී ඇති තොරතුරු මත කළ සොයාබැලීම්වල දී කහල්ල පල්ලෙකැලේ රක්‌ෂsතය තුළ ස්‌ථානයක තිබී ඇතා ගේ මළසිරුර හමු වී ඇත. ඒ වන විට දිරා යමින් තිබූ දේහය පිළිබඳව කළ පරීක්‌ෂණවලින් ඇතා මරා දැමීම ගැන කරුණු රැසක්‌ අනාවරණය වී ඇත. හිසට හා උදරයට වෙඩි තබා මේ සතා ඝාතනය කර ඇති අතර ඉන් පසුව දළ කපා ඉවත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙරට වෙසෙන දළ ඇති ඇතුන් ප්‍රමාණය මෙරට අලි ගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයකි. 2011 වර්ෂයේ දී මෙරට සිදු කරන ලද අලි සංගණනයේ දී වාර්තා වූ දළ සහිත පිරිමි සතුන් ගේ ගණන 122කි. එනම්, සමස්‌ත පිරිමි සතුන් අතරින් 6.5%ක්‌ තරම් ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ආසියානු අලින් අතර සාපේක්‌ෂව අඩු අගයක්‌ ගන්නා බව සෙසු රටවල සංඛ්‍යා සමඟ සංසන්දනය කරන විට පෙනේ. ඒ අනුව දළ ඇතුන් යනු දිනෙන් දින දැකීමට අපහසු සතුන් වෙමින් ඇති බව පැහැදිලි කරුණකි.

දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දැමීම දිගුකාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරන බව පැහැදිලි ය. දළ සඳහා මේ වන විට ඉල්ලුමක්‌ පවතින්නේ ඒවා ළඟ තබාගැනීමට කැමැති ධනවත් ප්‍රභූ පැළැන්තිය අතර බව පැහැදිලි ය. දළ යොදාගනිමින් විසිතුරු භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්තයක්‌ මේ වන විට අපේ රටේ නොමැත. එහෙයින් ඇත් දළ සඳහා ධනවතුන් හා නැඟී එන ධනවතුන් අතර ඇති කැමැත්ත වැනි ආකල්ප වෙනස්‌ කිරීමට සමාජ ජාල යොදාගැනීමට හැකි නම් එය කාට වත් සාප කරමින් සිටිනවාට වඩා ඵලදායී එකක්‌ විය හැකි ය. විහාරස්‌ථානවල බොහෝ විට ඇත්තේ මිය ගිය හීලෑ ඇතුන් ගේ දළ වන අතර, ප්‍රභූ නිවෙස්‌වල හීලෑ ඇතුන් ගේ දළ මෙන්ම අතීතයේ (හෝ මෑත දී) දඩයම් කළ ඇතුන් ගේ දළ ද තිබිය හැකි ය.

අලි ඇතුන් කෙරෙහි ඇති ආකල්ප


මේ අවස්‌ථාවේ දී අලි - මිනිස්‌ ගැටුම හා අලි ඇතුන් කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන ආකල්ප ගැන යමක්‌ පැවසීම සුදුසු යැයි හැඟෙයි. මේ ආකල්පවල මිශ්‍ර ස්‌වභාවයක්‌ දැකිය හැකි ය. එය හුදෙක්‌ කළු හෝ සුදු නො වන අතර මිශ්‍ර හැඟීමක්‌ වේ. ගොඩබිම දැකිය හැකි විශාල ම සතා මෙන්ම සංස්‌කෘතික හා ආගමික වටිනාකමක්‌ ද ඇති හෙයින් අලින් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර කරුණාවක්‌ දැකිය හැකි වෙයි. එයට බුදුදහමින් ලැබුණු අහිංසාව පිළිබඳ ශික්‌ෂණය ද එක්‌ හේතුවක්‌ බව පිළිගත හැකි කරුණකි.

එහෙත් අලින් ගෙන් සිදු වන ගැහැටවල දී අලින් පිළිබඳ ආකල්පය වෛරයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ බවට පත් වීම දැකිය හැකි ය. විශේෂයෙන් සමාජයේ පීඩාවට පත් ව ඇති  හා නූගත් පිරිස්‌ තුළ ඒ තත්ත්වය දැකිය හැකි ය. එය අද ඊයේ සිට නො ව අතීතයේ සිට ම දැකිය හැකි ය. එය අවබෝධ කරගැනීම එතරම් සංකීර්ණ කරුණක්‌ නො වන්නේ මිනිසුන් සෙසු මිනිසුන් පිළිබඳව ද දක්‌වන්නේ මෙවැනි ආකල්පයක්‌ වන නිසා ය. මිනිසුන් අනෙක්‌ මිනිසුන්ට එරෙහි ව, තමන් ගේ ම මිතුරන්ව සිටි අයට එරෙහි ව පවා, කෙතරම් අපරාධ කරන්නේ ද?

අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම් පමණක්‌ නො ව, හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදුවීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අප නො දන්නා බව පමණක්‌ පැවසිය හැකි ය.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්‌වා ඇති බව වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් දැනුම් දුන් අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. මෙය සමාන කළ හැක්‌කේ අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය කිරීම් සමඟ ය.

එමෙන් ම අවශ්‍ය තරම් වාර්තා සහිත 19 - 20 සියවස්‌ පිළිබඳව සැලකූ විට පෙනෙන කරුණක්‌ වන්නේ අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බවයි. ඉන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට නියෝග කිරීම දැකිය හැකි විය. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන "ක්‍රීඩා ලෝලී" සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟ පෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාව ගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය (මෙය වතු වගාබිම් ආශ්‍රිත ව හුදු ක්‍රීඩාවක්‌ ලෙස ම සිදු වූ අලි දඩයම සමඟ පටලවා නො ගත යුතු ය).

කෙසේ වෙතත් මෙසේ තමන්ට හානි කරන අලින් සමඟ බද්ධ වෛරයක්‌ මේ ජනතාව තුළ දැකිය නොහැක්‌කේ ඔවුන්ට අලියා සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් සත්ත්වයකු වන නිසා ය. ජාතක පොතේ එන අලින්, නුවර පෙරහැරේ යන ඇතුන් ආදි වශයෙන් අලි ඇතුන් සංස්‌කෘතික වශයෙන් මිනිසුන්ට සමීප සත්ත්වයෙක්‌ වෙයි. මේ හේතුවෙන් අලි ඇතුන් පිළිබඳ ව ස්‌වාභාවිකව ජනනය වන අනුකම්පාවක්‌ ද මිනිසුන් තුළ දැකිය හැකි වේ. වගා ළිඳකට වැටුණු, ඇලකට වැටුණු, තුවාල වූ කරදරයට පත් වුණු අලියකු හෝ ඇතෙකු හෝ බේරා හරින්නට ගමේ ම මිනිසුන් ඉදිරිපත් වන්නේ මේ නිසා ය. ඇතැම් විට ඒ තමන් ගේ වගා පාලු කරන්නා වූ වන අලියා ම බව ඔවුහු දනිති. එහෙත් ඔවුහු එම අලියා වෙනුවෙන් අනුකම්පා කරති.

http://www.vidusara.com/2017/12/13/feature1.html

Tuesday, September 26, 2017

අලි-මිනිස්‌ ගැටුම වැළැක්‌වීමට අලින් අල්ලා විකිණීම විසඳුමක්‌ ද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 20.09.2017. පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/09/20/feature3.html


අලි පිළිබඳව කිසියම් දේශපාලනමය කතාබහක්‌ යළිත් ආරම්භ වී තිබේ.

'කැළෑ ප්‍රමාණයේ හැටියට ලංකාවට අවශ්‍ය අලි හාර දාහයි' යනුවෙන් හා අලි බෝ වීම පාලනය කිරීමට කටයුතු කළ යුතු යෑයි පාලක පක්‌ෂයේ දේශපාලනඥයකු පැවසූ කතාවක්‌ මේ සාකච්ඡාව සඳහා මූලික හේතුව විය. ඒ සමග තවත් අදහස්‌ සමූහයක්‌ මතු ව ඇත්තේ වනජීවී-මිනිස්‌ ගැටුමට හේතු වන හානි කරන ඌරන්, රිලවුන් වැනි වෙනත් සතුන් සම්බන්ධව ද ගත යුතු පියවර ද මේ ප්‍රකාශයට ඈඳීමත් සමග ය.

මේ ප්‍රකාශය පිළිබඳව විවිධ අදහස්‌ පළ වී ඇත. ඉන් සමහරක්‌ පළ වී ඇත්තේ ඉහත කී ප්‍රකාශයට පක්‌ෂ ව ය. සමහරක්‌ ඊට විපක්‌ෂ ව ය. මේ අදහස්‌ මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම සමාජ ජාලවල හා වෙනත් වෙබ් අඩවිවල ද පළ වී තිබේ. මේ සමහර අය ගේ අදහස්‌ හාස්‍යජනක වන්නේ ඉන් ඔවුන් ගේ අලින් හා වනජීවීන් පිළිබඳ දැනුම ද ප්‍රශ්න කෙරෙන නිසා ය. නිදසුනක්‌ ලෙස ඇතැමුන් අලි රංචුවක නායකත්වය දරන ඇත් රජු ගැන ද කතා කර තිබිණි. ආසියානු අලි රංචුවක නායකත්වය දරන්නේ වැඩිමහල් ගැහැනු අලියකු බව නො දන්නා අය තවමත් සිටිති. තවත් සමහරුන්ට අනුව ලංකාවේ අලින් ඉන්නේ 2000-2500ක්‌ අතර ප්‍රමාණයක්‌ පමණි.

මෙරට අලි ගහනය කොපමණ ද?


මෙරට වෙසෙන අලි ගහනය පිළිබඳව ද ගැටලුවක්‌ ඇති බව පෙනේ. මෙරට අලි ගහනය පිළිබඳව ඇති වඩාත් පිළිගත හැකි ගණනය කිරීම වන්නේ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව මැදිහත් ව 2011 වර්ෂයේ දී සිදු කරන ලද අලි සංගණනයයයි. එහි වාර්තාව The First Island Wide National Survey of Elephants in Sri Lanka 2011 යනුවෙන් 2013 වර්ෂයේ දී පළ විය. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට මේ වන විට අලි 5,879ක්‌ පමණ මෙරට වාසය කරති. අප මාතෘකා කරගත් ඉහත කී දේශපාලනඥයා ගේ කතාවේ දී ඔහු මෙරට අලි 6,000ක්‌ සිටිනවා යෑයි පවසන්නේ මේ මත පදනම් ව විය යුතු ය.

මේ ගණන විශාල සංඛ්‍යාවක්‌ බැවින් ඇතැම් අය මේ සංගණනය පිළිබඳව සැක කරන ආකාරයක්‌ ද දැකිය හැකි ය. එහෙත් ස්‌වාධීන ව සිදු කර ඇති අධ්‍යයනවලින් ද ඇතැම් ප්‍රදේශවල අලි ගහන සම්බන්ධව හෙළි වී ඇති සංඛ්‍යාලේඛන මීට සමාන ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, ශර්මින් ද සිල්වා සහ තවත් අය විසින් 2011 දී Biological Conservation සගරාවේ ප්‍රකාශයට පත් කරන ලද අධ්‍යයනයකට අනුව උඩවලව ජාතික වනෝද්‍යානය පිළිබඳව සිදු කරන ලද අධ්‍යයනයකට අනුව එහි වාසය කරන අලින් ගණන 804-1,160 අතර බව ගණන් බලා ඇත. (DOI: 10.1016/j.biocon.2011.03.011) කෙසේ වෙතත් 2011 දෙපාර්තමේන්තු සංගණනයේ දී උඩවලව පමණක්‌ නො ව, රුහුණ, ලුණුගම්හෙහෙර හා බුන්දල යන ජාතික උද්‍යාන මෙන්ම ඉන් පිටත ප්‍රදේශ ද ඇතුළත් දකුණු වනජීවී කලාපයෙන් ම (එවකට දකුණු කලාපය) වාර්තා වන, වන අලින් ගණන 1,086ක්‌ පමණි.

අනෙක්‌ අතට මෙරට වාසය කළ හැකි අලින් කොපමණ ප්‍රමාණයක්‌ ද යන්න පිළිබඳව ප්‍රාමාණික අධ්‍යයන සිදුව තිබේ ද යන්න සැකසහිත ය. එසේ සිදු ව ඇතත්, 'අවශ්‍ය' යෑයි අලින් ප්‍රමාණයක්‌ නියම කිරීමට මිනිසුන්ට සදාචාරාත්මක අයිතියක්‌ තිබේ ද යන්න ගැටලුවකි. අලින් යනු ද ස්‌වාභාවික පරිසරයේ මිනිසුන් මෙන්ම ජීවත් වීමේ අයිතියක්‌ ඇති ජීවීන් කොට්‌ඨාසයකි.

පර්යේෂකයන් පෙන්වා දී ඇති ආකාරයට මෙරට අලි ගහනයෙන් සැලකිය යුතු ප්‍රමාණයක්‌ වාසය කරන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් බාහිර ව ය. ඇතැම් විට කැළෑවලින් ද බැහැර ව යමිනි.

අලි ඉන්නේ කැළෑවල පමණක්‌ ද?


ඇතැමුන්ට අනුව අලින් ඉන්නට ඕනෑ කැළේ හෝ ආරක්‌ෂිත ප්‍රදේශවල පමණකි. එහෙත් මිනිසුන් මෙසේ සීමා පනවා ඇති බව අලින් දන්නේ නැත. එසේ ම අලින් ගේ වාසස්‌ථාන වූ ප්‍රදේශ මේ වන විට මිනිසුන් සිය වගා කටයුතු හා ජනාවාස සඳහා යොදාගෙන ඇත. ආහාර මෙන්ම ජලය ද අලින් ගේ අවශ්‍යතාවකි. ජල මාර්ග සොයා ඇතැම් අවස්‌ථාවල දී මානව ජනාවාස සහිත ප්‍රදේශ හරහා ගමන් කිරීමට අලින්ට සිදු ව තිබේ. එසේ ම දික්‌ගැසුණු නියගය වැනි සුවිශේෂ තත්ත්වවල දී ආහාර හා ජලය පිළිබඳ ගැටලුව තවදුරටත් උග්‍ර වේ.

පර්යේෂණවලින් පෙන්වා දී ඇති පරිදි අලි ඇත්තු ආහාර සොයා හේන් ආශ්‍රිත ව මෙන්ම වැව් පිටි ආශ්‍රිත ව ගැවසෙති. අලි හේන්වල භෝග අස්‌වැන්න නෙළාගත් පසුව ඉතිරි භෝග හා ඉන්පසුව වැවෙන ශාකවලට රුචිකත්වයක්‌ දක්‌වති. රුහුණ ජාතික වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති නිමලව ප්‍රදේශයට උතුරින් පිහිටි හේන් වගා කළ ප්‍රදේශ ආශ්‍රිත ව සිදු වූ සිදුවීම මේ සඳහා දැක්‌විය හැකි යෝග්‍යතම නිදසුනකි. එහි දී පෙනී ගිය පරිදි රුහුණ ජාතික වනෝද්‍යානයේ වාසය කළ අලින් වියළි කාලයේ දී යාබදව පිහිටා ඇති හේන් පිහිටා තිබූ ප්‍රදේශවලට පැමිණ අස්‌වනු නෙළාගෙන තිබූ හේන්වල ඉතිරි ව තිබූ භෝග ශේෂ හා සෙසු ශාක ආහාරයට ගැනීම සිදු කර ඇත. එහෙත් යළි වර්ෂා සමය එළැඹීමත් සමග මේ අලින් අතරින් වැඩි ප්‍රමාණයක්‌ යළිත් වනෝද්‍යානය තුළට හා වෙනත් වගා නොකරන ප්‍රදේශවලට පිවිසි බව රේඩියෝ කොලර් යොදාගනිමින් කළ අධ්‍යයනයකින් හෙළි වූ බව ඊ. ඩී. වික්‍රමනායක හා තවත් අය පළ කර ඇති පර්යේෂණ වාර්තාවකින් දක්‌වා ඇත. මෙය වැදගත් වන්නේ වර්ෂා සමයේ දී මේ ප්‍රදේශවල හේන් වගාව සිදු කරන නිසා ය. ඒ කාලයේ දී අලින් ගේ ගැවසීම අඩු වීම නිසා අලි-මිනිස්‌ ගැටුම් අවම වීමට මේ තත්ත්වය හේතු විය. මේ නිසා සාම්ප්‍රදායික ජීවනෝපාය ක්‍රම මනා පාලනයකින් යුක්‌ත ව භාවිත කිරීම අලි සංරක්‌ෂණය මෙන්ම අලි-මිනිස්‌ ගැටුම අවම කිරීම සඳහා යොදාගත හැකි උපක්‍රමයක්‌ බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත්, 2000 වර්ෂයෙන් පසුව පමණ මෙසේ, කලින් කලට ප්‍රදේශවලට සංක්‍රමණය වෙමින් දිවි ගෙවූ අලින් රුහුණු ජාතික උද්‍යාන ප්‍රදේශයට සීමා කරමින් විදුලි වැටක්‌ ඉදි කිරීමෙන් පසුව එම අලින් අතරින් සැලකිය යුතු ප්‍රමාණයක්‌ අකාලේ මිය ගිය බව වාර්තා වී තිබේ.

අලින් සමග දිවි ගෙවීම


මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ පිළිබඳව යම් අදහසක්‌ පවත්වාගත නොහැකි ද යන්න සිතා බැලිය යුතු දෙයකි. ඒ සඳහා බහු පාර්ශ්වීය ප්‍රවේශයක්‌ අවශ්‍ය බව සැබෑ ය. සංවර්ධනය හා මිනිසුන් ගේ අවශ්‍යතා සොයාබැලීම හා ඒ සඳහා අවශ්‍ය ඉඩම් ලබාගැනීම මෙන්ම වනජීවීන් උදෙසා අවශ්‍ය බිම් ප්‍රමාණය තබාගැනීම රටක්‌ ලෙස වැදගත් ය. වනජීවී කළමනාකරණය මෙහි දී වැදගත් වේ. මේ සඳහා විවිධ උපක්‍රම අනුගමනය කිරීමට සිදු විය හැකි ය. විදුලි වැට, ජීව වැට, අගල්, ගැටලුකාරී අලින් ඇල්ලීම, අලින් එළවීම ආදි විවිධ උපක්‍රම මේ සඳහා භාවිත වේ. මේ අතරින් වඩාත් වැදගත් වන්නේ මිනිසුන් හා අලින් අතර සහයෝගී පැවැත්මක්‌ සිදු කළ හැකි ආකාරයේ විසඳුම් ය. එවැනි විසඳුම් සාර්ථකව ක්‍රියාත්මක කළ අවස්‌ථා තිබේ. අලින් ගේ සංචරණයට ද අවස්‌ථාව ලබා දෙමින් ගම් වටා විදුලි වැට යෙදවූ අවස්‌ථා මේ සඳහා නිදසුනකි.

අනාදිමත් කාලයක සිට පැවත එන අලි-මිනිස්‌ ගැටුම අලින් ගේ හා මිනිසුන් ගේ මරණවලට මෙන්ම දේපොළ හා වගාහානිවලට හේතු වන කරුණක්‌ බව සැබෑවකි. මෙය කඩිනමින් විසඳුමක්‌ සෙවිය යුතු ගැටලුවක්‌ ද වේ. එසේ ම මෙය රටේ සැම තැනකට ම එක ම ආකාරයේ විසඳුමක්‌ ලබා දිය හැකි ගැටලුවක්‌ නො වේ. එයට හේතුව ගැටලුවට බලපා ඇති හේතු විවිධ ප්‍රදේශවල දී වෙනස්‌ වීම ය. මේ අනුව මෙය විවිධ ආකාරයේ විසඳුම් ලබා දිය යුතු ආකාරයේ ගැටලුවක්‌ බව බලධාරීන් මෙන්ම ප්‍රතිපත්ති සම්පාදකයන් ද වටහාගත යුතු වේ. එහෙත් මේ ගැටලුවට විසඳුම අලි ඇල්ලීම හෝ විකිණීම නම් නො වේ.

හීලෑ අලින් අවශ්‍ය කුමකට ද?

අලි-මිනිස්‌ ගැටුමට විසඳුම් ලෙස ඉදිරිපත් වන යෝජනාව අතරට අලින් අල්ලා විකිණීම නම් ඇතුළත් විය යුතු යෑයි ක්‌ෂේත්‍රයේ කිසිදු විද්වතකු පවසනු ඇතැයි අප සිතන්නේ නැත. ඉන් පළමු කරුණ වන්නේ අලින් අද අවශ්‍ය වන්නේ කුමක්‌ සඳහා ද යන්නයි. සත්වෝද්‍යානවල ප්‍රදර්ශනය සඳහා විදේශ රටවලට යෑවූ අලින් පත් ව ඇති ඉරණම විදේශීය මාධ්‍ය ඔස්‌සේ වාර්තා වේ.

සාම්ප්‍රදායික දැනුමක්‌ ලෙස සැලකිය හැකි අලි හීලෑ කිරීම පිළිබඳ මෙරට ඉතිහාසය බොහෝ පැරැණි ය. එහෙත් අද වන විට හීලෑ අලින් අවශ්‍ය වන්නා වූ ප්‍රධානතම කාර්යය වන්නේ සංස්‌කෘතික වශයෙන් වැදගත්කමක්‌ ඇති පෙරහැර පමණකි. ඇතැමුන් ඊට විරුද්ධ වුව ද පෙරහැර යනු අනාදිමත් කාලයක සිට පැවත එන සංස්‌කෘතික අංගයකි. මෙය බුදුදහම මෙරටට හඳුන්වා දුන් කාලයේ සිට පැවත එන්නක්‌ බව මහාවංසය අනුව පෙනේ. නිදසුනක්‌ ලෙස ගත හොත් මෙරට පළමු ස්‌තූපය වන ථූපාරාමය නිර්මාණය කළ අවස්‌ථාවේ දී එහි තැන්පත් කිරීම සඳහා ධාතූන් වහන්සේලා තැන්පත් කිරීම සඳහා සංවිධානය කරන ලද පෙරහැරේ දී ධාතූන් වහන්සේලා වැඩමවීම සඳහා ඇතකු යොදාගැනීම මීට නිදසුනකි.

කෙසේ වෙතත් පෙරහැර සඳහා අලින් ලබාගැනීම සඳහා වුව ද පෞද්ගලික අයිතියට ලබා දීම ප්‍රවර්ධනය කිරීම නො කළ යුතු බව අප ගේ අදහසයි. ඉහත කී ආකාරයට පෙරහැර සඳහා අලි ඇතුන් සැපයීම රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් සිදු කළ හැකි ය. එවැන්නක්‌ සඳහා යම් ආරම්භයක්‌ පසුගිය දිනක පැවැත්වුණු බවක්‌ වාර්තා විය. එය යම් ආකාරයකින් සතුටට හේතු වන කරුණකි.

පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය නො කළ යුතු යෑයි අප සඳහන් කරන්නේ එමගින් අලින් යොදාගෙන මුදල් ඉපැයීම අරමුණු කරගත් නව ධනපති පංතිය නිසා අලින් පත් ව ඇති අසරණ තත්ත්වය අද අප ගේ ඇස්‌ හමුවේ දිස්‌ වන නිසා ය. මෙරට තුළ අලින් යොදාගෙන වැඩ ගැනීම දැන් අවම මට්‌ටමකට පත් ව තිබේ. එය තවදුරටත් අඩු වෙමින් පවතින්නකි. සෆාරි සඳහා යොදාගැනීම අලින් පත් විය හැකි දරුණුතම තත්ත්වයක්‌ වන්නේ එය හුදෙක්‌ මුදල් අරමුණු කරගෙන කරන්නක්‌ බව පෙනෙන නිසා ය. සංචාරක අධිකාරීන් ඒ සඳහා නිකුත් කර ඇති මාර්ගෝපදේශ හා මේ වන විට සෆාරි කාර්යයේ යොදාගන්නා අලින් සම්බන්ධව ක්‍රියාත්මක නො වන බව ක්‌ෂේත්‍රයට සමීප පිරිස්‌වල මතය වේ. අලින් ගේ සුබසාධනය සම්බන්ධව මේ පිරිස්‌වල අවධානය අවම ය. මේ නිසා පෞද්ගලික අයිතියට අලින් ලබා දීම නො කිරීම වඩාත් හොඳ ය.

http://www.vidusara.com/2017/09/20/feature3.html

Monday, August 24, 2015

Deep-rooted jumbo culture of Sri Lanka

Dhanesh Wisumperuma

The Nation (Insight), 23.08.2015

The Nation: http://nation.lk/online/2015/08/22/deep-rooted-jumbo-culture-of-sri-lanka/

My Blog (Edited): http://dhaneshw.blogspot.com/2015/08/deep-rooted-jumbo-culture-of-sri-lanka.html

This is the perahera season. Beautifully caparisoned elephants are among the best attractions of these peraheras or the Buddhist religious processions held annually in leading religious centers around the country. They carry the relic casket as well as the nilames or the chieftains in ceremonial dresses. The number of elephants in a perahera improves the ‘state’ of it among others. The elephants are featured well in almost all tourist guides as a key feature in these processions.

However, we can see that there are protests around the country against the use of elephants in these processions. This opposition is often shown against any type of taming of wild elephants. There are two major causes for this uproar – the inhumane keeping and working conditions of the tamed elephants and the illegal capturing of the young calves reported recently. Some critics have gone so far as to demand a stop to taming of elephants all together.

It’s apparent that this resistance arises from not being rooted in one’s culture, particularly Sinhala culture. Other vested interests cannot be totally ruled out. Humans and elephants coexisted in Sri Lankan culture for a long time. They were used for various purposes since the beginnings of our recorded history. Elephants were a part of the four armies of our kings, a stately vehicle, used as a beast of burden, for religious purposes and a profitable trade item. This human-elephant relationship changed with time, and the socio-economic context of the country. It’s rooted in several characteristics of the elephant, of which a key fact is the consideration of the elephants as an auspicious animal that symbolizes good fortune.

Religious ceremonies

Allusions to the use of elephants for religious purposes such as peraheras are made in the records of the earliest parts of the country’s history. The first such incident dates back to the period of King Devanampiyatissa (250-210 BCE), during whose time Arhant Mahinda, introduced Buddhism to the country. King Devanampiyatissa wanted the relics of the Buddha to be placed in the Thuparama Stupa built by him, the first stupa of Anuradhapura and the country. He organised a procession and the relic casket which was placed on the king’s head was then placed on the back of an elephant, and taken in procession to Thuparama, as described in the chronicles Mahavamsa and Thupavamsa. This is the first occasion where an elephant was used in a procession.

There are other important instances where elephants are mentioned in processions in the past, for instance elephants were used for the festival of enshrining of relics in the relic chamber of Ruvanveliseya of Anuradhapura during the reign of King Dutugemunu (167-137 BCE). There was a procession as described in Mahavamsa, where elephants, cavalry and vehicles were an integral part of the procession.

There are few other references to use of elephants in processions throughout our history, Polonnaruwa, Dambadeniya, Kurunegala and Kandy periods, for example. It is obvious that each and every such procession held throughout history and the use of elephants in these is not mentioned in these chronicles which are essentially political histories of the country.

Meanwhile donation of elephants is also recorded in history. Several kings have donated elephants to temples and the oldest to do so was King Mahadathika Mahanaga (7-19 CE), whose donation was a symbolic one as he paid an equal value in money and released the animal thus signifying the tradition of a donation. There are other such elephant offerings by King Nissankamalla during the Polonnaruwa Period, and other kings to temples, including temples in Anuradhapura. Parakramabahu IV of early 14th century and the Kandyan kings of the 18th century Vijaya Rajasinghe and Kirthi Sri Rajasinghe offered elephants among other items to the Tooth Relic itself as mentioned in history.

Association of elephants with the Tooth Relic dates centuries back. Holding processions for the Tooth Relic was an ancient religious rite that possibly dates back to the Anuradhapura period, as suggested by researchers on this subject, based on historical records. Although the association of elephants in these processions is not mentioned specifically, since we have evidence of the use of elephants in early peraheras as mentioned above, we cannot exclude the possibility of elephant usage. A procession held during the reign of Vijayabahu IV of Dambadeniya Period mentions the use of elephants in a procession of the Tooth Relic, where elephants were also used. The 14th Century Sinhala book titled Daladasirita, mentions that the relic enshrined in a casket is taken out and placed on a decorated chariot and was pulled by a tusked elephant with auspicious marks yoked to it. Description states that this is a rule of a procession of public display of the tooth relic.

King Kirthi Sri Rajasingha ordered the procession of the Tooth Relic (Dalada Perahera) be given priority over other items of the annual Esala Maha Perahera festival to honour Lord Buddha. The use of elephants is mentioned in the vivid description of the procession in Culavamsa – the king had placed a canopy fastened on the back of the royal elephant beautifully ornamented with gold embroidery and the elephant was surrounded by other elephants. The king placed the splendid sparkling casket of gold in which the bodily relic of Lord Buddha was placed carefully under the canopy. As some have mentioned this as be the first instance where an elephant was used to carry the casket of the Tooth Relic, but we know that other relics were carried on elephants going in processions long ago, as mentioned above. Historical evidence supports the assumption that it is a continuation of a long tradition.

Finding a solution

The cultural links between humans and elephants in perahera processions are strong as evident in historical sources mentioned in above mentioned references. The use of tame elephants in Peraheras is given so much importance even at present. Hence, finding a sustainable method to ensure the use of elephants for cultural purposes while reducing the suffering of animals and ensuring their welfare is a need of the day.

These tamed elephants are usually kept chained with iron chains and caretakers are often blamed for handling these animals in a cruel manner. Chaining elephants can cause serious leg injuries to these animals, especially to the calves. This can be solved by finding alternatives to chaining like using proper roping as in the past.

Some of these animals are engaged in hard work during other times of the year – the lifting of logs and recently used in safari rides etc. Both these activities can cause the animal to suffer from physical disorders – safaris can cause serious bone injuries to the animal. This is because during the safari animals are overcrowded with tourists. With regard to such activities, elephants are used without a rest. This type of usage of elephants clearly goes against the guidelines specified in using these animals in safaris.

The ownership of private elephants brings the opportunity for the owners to earn money. They tend to generate more and more money from the elephants disregarding their welfare. This is a reason why elephants are seen engaging in safari rides. When these animals are free from routine functions owners use them for activities which can make them rich. The new rich seem to follow this trend, as opposed to the elites of the past who thought having an elephant enhanced individual status of their respective clans. Hence efforts to find humane ways of keeping elephants in custody should be looked into.

One such solution, as pointed out some time back, is to maintain a reserve of elephants by a dedicated state body solely for religious and other cultural purposes. Properly trained mahouts should be engaged in the service of these centres. Traditional methods as well as modern scientific methods can be tried out at such places. There could be more than one centre in the country. These centres could also serve as tourist attractions. The elephants owned by the temples can be kept in these centres.

(The writer compiled a paper titled ‘Religious use of elephants in ancient Sri Lanka’ for Gajah,the Journal of the Asian Elephant Specialist Group in 2012)

* Certain parts edited by the editors that may mislead the reader has been corrected here in the blog article.

http://nation.lk/online/2015/08/22/deep-rooted-jumbo-culture-of-sri-lanka/

Friday, February 21, 2014

අනවසර වනජීවී වෙළෙඳාමට තිත තැබිය හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2014-02-19, (Vidusara), පි 2-3

http://www.vidusara.com/2014/02/19/feature1.html



වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම ලෝකයේ අවධානය බෙහෙවින් යොමු ව ඇති ක්‌ෂේත්‍රයකි. වනජීවීන් ගෙන් ලබාගන්නා විවිධ වූ ද්‍රව්‍ය සඳහා සාම්ප්‍රදායික ඖෂධ, විසිතුරු ද්‍රව්‍ය තැනීම හා විසිතුරු සතුන් හා ශාක ලෙස යොදාගැනීම සඳහා සැලකිය යුතු ජාත්‍යන්තර ඉල්ලුමක්‌ ඈත අතීතයේ පටන් පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් රයිනෝ අං හා ව්‍යාඝ්‍ර අස්‌ථි කොටස්‌ ආදිය ඖෂධ සඳහා යොදාගැනෙන වනජීවී ද්‍රව්‍ය අතර වේ. එසේ ම චිම්පන්සින් වැනි ඇතැම් දුර්ලභ සත්ත්ව ද, තවත් ශාක විශේෂ සඳහා ද ඉල්ලුම ඇත්තේ විසිතුරු ශාක හා සතුන් ලෙස යොදාගැනීම සඳහා ය. ඇත් දළ වැනි ද්‍රව්‍ය සඳහා ඇති වෙළෙඳපොළ මූලික වශයෙන් විසිතුරු භාණ්‌ඩ කර්මාන්තයකි. නීති විරෝධී ලෙස ජාත්‍යන්තර වශයෙන් සිදු වන මේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම නිසා ඇතැම් සත්ත්ව හා ශාක විශේෂ ඒවායේ ස්‌වාභාවික පරිසරයෙන් වඳ වී යන බව දැකගත හැකි ය.

වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ප්‍රමාණයක්‌ සතුන් දඩයම් කිරීම සිදු වන්නේ අප්‍රිකානු රටවල ය. මෙය අප්‍රිකාවේ බරපතළ ගැටලුවක්‌ බවට පත් ව ඇති අතර කලාපයේ රටවල් රැසක දැකිය හැකි අස්‌ථාවර බව හා සිවිල් අර්බුද නිසා මේ තත්ත්වය තවත් උග්‍ර වී ඇත. මෙහි දී ඇතැම් අවිගත් පාර්ශ්වවල ප්‍රධාන ධනෝපායන මාර්ගයක්‌ ලෙස ද වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම භාවිත වන බව පෙනේ. දරිද්‍රතාවෙන් පීඩා විඳින මේ රටවල ජනතාවට ද මේ නීති විරෝධී වෙළෙඳාම තම දිවි රැකගැනීමට උපකාරි වන බවක්‌ පෙනේ. අප්‍රිකානු ඇතුන්, රයිනෝ වැනි සතුන් දඩයම් කිරීම කෙතරම් බරපතළ තත්ත්වයක්‌ ඇති කර තිබේ ද යත්, මේ ඇතැම් විශේෂ මෑත කාලයේ දී වඳ වී යැමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති බව අනාවරණය වී ඇත. පසුගිය වර්ෂයේ දී පමණක්‌ අප්‍රිකානු මහාද්වීපයේ දී මරා දමන ලද ඇතුන් ගේ ගණන 20,000කට අධික වන අතර රයිනෝසිරස්‌ සතුන් දහසකට අධික ප්‍රමාණයක්‌ මරා දමා ඇත. මෑත කාලයේ දී වන සතුන් දඩයම් කිරීමේ වේගවත් වර්ධනයක්‌ දැකිය හැකි විය.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ආකාරයෙන් අපනයනය කරනු ලබන වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩිම ඉල්ලුම පවතින්නේ ආසියානු රටවල ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, වනජීවී ද්‍රව්‍ය සඳහා වැඩි ම ඉල්ලුමක්‌ පවත්නා කලාපය ලෙස චීනය හා අග්නිදිග ආසියානු රටවල් දැක්‌විය හැකි ය. සාම්ප්‍රදායික ඔසු තැනීම සඳහා මේ ද්‍රව්‍ය යොදාගැනීම මීට මූලික හේතුව වී තිබේ.

මේ නීති විරෝධී හා සදාචාර විරෝධී වෙළෙඳාම පාලනය කිරීම සඳහා අදින් දශක හතරකට පමණ පෙර එකඟ වූ ජාත්‍යන්තර සම්මුතියක්‌ පවතී. එය අන්තරායට පත් ව ඇති ජීවි විශේෂ ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ සම්මුතිය (ක්‍ෂඔES) ලෙස හැඳින්වෙන අතර එය ක්‍රියාත්මක වුව ද, ලෝකය පුරා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම මුළුමනින් ම පාලනය කිරීමට හැකි වී ඇති බවක්‌ නො පෙනේ. මේ වෙළෙඳාම පුළුල් ව ව්‍යාප්ත වූ හා සංවිධානාත්මක ජාවාරමක්‌ බව ද පෙනෙන්නට ඇත. විශේෂයෙන් නවීන තාක්‌ෂණය යොදාගනිමින් පවා මේ නීති විරෝධී ලෙස ජාත්‍යන්තර මට්‌ටමින් සිදු කෙරෙන ජාවාරම පාලනය කිරීමට විවිධ පියවර ගෙන ඇත. එහෙත් එය පාලනය කිරීම බොහෝ රටවලට පහසු කරුණක්‌ වී නැත. මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ඇතැම් ජීවී විශේෂ වඳ වීමට ආසන්න තත්ත්වයකට පත් ව ඇති අතර, මේ නීති ක්‍රියාත්මක කරන නිලධාරීන් ගේ ජීවිත පවා අවදානමකට ලක්‌ ව ඇති තත්ත්වයක්‌ පවතී.

නීති විරෝධී වුවත් මේ ජාවාරමේ සංසරණය වන ධනය හේතුවෙන් මේ ජාවාරම සංවිධානාත්මකව ව්‍යාප්තව තිබේ. පිළිගත හැකි සංඛ්‍යාලේඛනවලට අනුව ලෝකයේ වාර්ෂික වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ වටිනාකම ඩොලර් බිලියන 20ක්‌ පමණ බව ගණන් බලා ඇත. එහෙත් මේ වටිනාකමට නීති විරෝධී ලෙස අලෙවි වන දැව හා මසුන් ඇතුළත් නො වේ.

ලන්ඩන් සමුළුවේ එකඟතාව


වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සම්බන්ධ ව කටයුතු කරන පාර්ශ්ව එක්‌ කරමින් ජාත්‍යන්තර සමුළුවක්‌ පසුගිය දා බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නගරයේ දී පවත්වන ලදි. zනීති විරෝධී වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පිළිබඳ ලන්ඩන් සම්මන්ත්‍රණය' (London Conference on the Illegal Wildlife Trade) නම් වූ එහි බලාපොරොත්තුව වූයේ වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය සඳහා කිසියම් ඵලදායී ඉදිරි පියවරක්‌ ගැනීමයි. මේ සමුළුව බ්‍රිතාන්‍ය රජයේ අනුග්‍රහයෙන් පවත්වන ලද අතර, මේ සඳහා එරට ඔටුන්න හිමි චාර්ල්ස්‌ කුමරු ගේ සහභාගිත්වය ලැබීම ද වැදගත් සිදුවීමක්‌ විය.

බොහෝ දෙනා අපේක්‌ෂා කළ ආකාරයෙන් ම උක්‌ත සමුළුවේ දී කිසියම් වැදගත් ඉදිරි පියවරක්‌ ගෙන ඇති බවක්‌ දැකිය හැකි ය. ඊට සහභාගි වූ රටවල් හතළිස්‌ හයක ප්‍රධානීන් හා ඉහළ බලධාරීන් එක්‌සත් ජාතීන් ගේ ආයතන එකොළොහක්‌ පමණ ද එක්‌ ව ලන්ඩන් ප්‍රකාශනය (London declaration) නම් වූ එකඟතාවකට අත්සන් කර තිබේ.

මේ ලන්ඩන් ප්‍රකාශනයෙන් වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම සඳහා ක්‍රියා නො කළ හොත් එය බොහෝ විශේෂවල පැවැත්මට තර්ජනයක්‌ බව පිළිගෙන තිබේ. එසේ ම ඉදිරියේ දී වනජීවීන් දඩයම් කිරීම වර්ධනය වී ඇති බව සඳහන් කරන එය මේ තත්ත්වය වළක්‌වාලීමට ද එකඟ වී ඇත. නීති විරෝධී ලෙස සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම බරපතළ අපරාධයක්‌ (serious crime) සේ සැලකිය යුතු බවට එකඟ වීම මෙහි ඇති සුවිශේෂී වගන්තියකි.

මේ අනුව වනජීවී වෙළෙඳාම ද අන්තර් -රාජ්‍ය සංවිධානාත්මක අපරාධ පිළිබඳ එක්‌සත් ජාතීන්ගේ නීතිරීති යටතට ගැනීම මේ යටතේ සිදු වනු ඇත. මේ අනුව දැඩි නීති පැනවීමට හා ද`ඩුවම් නියම කිරීමට අවස්‌ථාව ලැබේ. මෙය වැදගත් වන්නේ ඇතැම් රටවල වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම සම්බන්ධ ව ඇති ද`ඩුවම් ඉතා සුළු ඒවා වීම නිසා ය. අදාළ නීති විරෝධී කටයුතුවලින් ලැබෙන ආදායම් ඊට වඩා බෙහෙවින් අධික වන බැවින් ඇතැම් පිරිස්‌ දිගින් දිගට ම මේ ජාවාරමේ යෙදෙන ආකාරයක්‌ දකින්නට තිබේ. අනෙක්‌ අතට වනජීවී අපරාධ සුළු කොට තැකීම බොහෝ විට අපට දැකිය හැකි කරුණකි. මේ නිසා විවිධ රටවල නීති දැඩි කිරීම හා මේ පිළිබඳ ව අනුගමනය කරන ප්‍රතිපත්ති ශක්‌තිමත් කිරීම මෙන්ම ඒවා නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ දී සුවිශේෂ වැදගත්කමක්‌ පවතී.

අනෙක්‌ අතට මේ වෙළෙඳාම ආශ්‍රිත ව සිදු වන දූෂණය, හුවමාරු වන zකළු සල්ලිZ පිළිබඳව සොයා බැලීම හා සංවිධානාත්මක අපරාධ හා කල්ලි පිළිබඳ ව සොයා බැලීම සඳහා ප්‍රමුඛතාවක්‌ හිමි විය යුතු බවට ද මෙහි දී අදාළ රටවල් එකඟ වී ඇත. විශේෂයෙන් දෙAශසීමා හරහා සිදු වන වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම වැළැක්‌වීම සඳහා විවිධ රටවල් හා ඒවායේ නීති ක්‍රියාත්මක කිරීමේ ආයතන අතර සම්බන්ධතා වර්ධනය කිරීමෙහි ඇති වැදගත්කම ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත. එසේ ම ජාත්‍යන්තර ආයතන අතර ඇති සම්බන්ධතා දියුණු කිරීම පිළිබඳව ද මෙහි දී අවධානයට ලක්‌ ව ඇත.

මෙහි දී එකඟ වී ඇති ක්‍රියාකාරකම් අතර වනජීවී ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම හා සැපයුම නවතා දැමීමට කටයුතු කිරීම වැදගත් ය. ඉල්ලුම පවත්නා ප්‍රදේශවල ඒ තත්ත්වය පාලනය කිරීම මෙහි දී අත්‍යවශ්‍ය බව පැහැදිලි ය. රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ සහභාගිත්වය ද මේ සියලු කටයුතු සඳහා ලබාගැනීම වැදගත් බව ලන්ඩන් ප්‍රකාශනයේ සඳහන් වී ඇත.

මේ සමුළුවේ දී ඇතැම් අප්‍රිකානු රටවල් තම රටවල රැස්‌ ව ඇති ඇත්දළ ආදි වනජීවී ද්‍රව්‍ය වෙළෙඳපොළට පැමිණීම වළක්‌වාලීමට අවශ්‍ය පියවර ගන්නා බව ද මෙහි දී පොරොන්දු වී ඇත. ඇතැම් රටවල් වසර දහයක කාලයකට මෙවැනි තහනමක්‌ දියත් කරන බව පවසා තිබේ. එය වැදගත් වන්නේ ස්‌වෙච්ඡාවෙන් මෙවැනි ඉදිරිපත් වීමක්‌ තිබීම නිසා ය.

වනජීවී වෙළෙඳාම පාලනය කළ හැකි ද?


විය යුතු පරිදි ම මේ එකඟතාව පරිසර අංශවල ප්‍රශංසාවට ලක්‌ ව ඇති බව පෙනේ. කෙසේ වෙතත් බොහෝ අංශ පෙන්වා දෙන ආකාරයට කඩිනම් ක්‍රියාකාරීත්වයක්‌ නොමැති වීම මෙහි ඇති ගැටලුවකි. මොනතරම් එකඟතාවක්‌ තිබුණ ද මේවා ක්‍රියාත්මක තත්ත්වයකට පත් කිරීම වැදගත් බව ඔවුන් පවසන කරුණකි. ජාත්‍යන්තර මට්‌ටමෙන් කුමන ආකාරයේ එකඟතාවක්‌ තිබුණ ද, ඒවා රාජ්‍ය මට්‌ටමින් නිසි ආකාරයෙන් ක්‍රියාත්මක නො වීම අප දකින ගැටලුවකි.

එසේ ම මේ තත්ත්වය තීරණය වන්නේ අදාළ ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම පාලනය කිරීම මත ය. විශේෂයෙන් වනජීවී ද්‍රව්‍ය සඳහා ප්‍රධානතම වෙළෙඳපොළ වන චීනයේ ප්‍රතිචාරය මත වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාමේ අනාගතය තීරණය වනු ඇත. චීනය මේ පිළිබඳව දක්‌වන ඇල්මැරුණු ප්‍රතිචාරය පරිසර සංවිධානවල විවේචනයට ලක්‌ ව තිබිණි. ජගත් බලපෑම නිසාම චීනයේ දී අත්අඩංගුවට ගත් ඇත් දළ තොගයක්‌ විනාශ කිරීමට කටයුතු කිරීම පසුගිය කාලයේ දී බොහෝ දෙනාගේ පැසසුමට ලක්‌ වූයේ මේ නිසා ය.

වනජීවී ද්‍රව්‍ය වෙළෙඳාම පාලනය කිරීම හා නීති විරෝධී ආකාරයෙන් සිදු වන වෙළෙඳාම අවසන් කිරීම සංරක්‌ෂණය සඳහා ඉතා වැදගත් කරුණක්‌ බව පැහැදිලි ය. ලන්ඩන් සමුළුව හා ලන්ඩන් ප්‍රකාශනය ඊට තවත් බලාපොරොත්තුවක්‌ ලබා දී තිබේ. එහෙත් එය කෙතෙක්‌ දුරට ඉටු වේ ද යන්න කාලය විසින් තීරණය කරනු ඇත.

Tuesday, April 9, 2013

Paper: Religious Use of Elephants in Ancient Sri Lanka (Research Paper)

[My Research Papers published]

Citation: Wisumperuma, D. 2012, Religious Use of Elephants in Ancient Sri Lanka, Gajah, 37, pp. 16-21.

Abstract

The religious use of elephants in Sri Lanka has its origins in the early period of Buddhism in Sri Lanka. The oldest record of the use of elephants in Buddhist religious processions and festivals in Sri Lanka dates back to 3rd century BCE, when Buddhism was introduced to the Island. The oldest record of the use of elephants to draw a chariot with the Tooth Relic in a procession is from early 14th century CE, centuries prior to the commencement of the Kandy Esala Perahera in the 18th century. Elephants used for religious purposes during the early periods were mostly state elephants belonging to the king and in some cases the royal or Mangala elephant. However a number of elephants were used in religious festivals later and that perhaps required more elephants from other sources. The first recorded donation of an elephant to a temple took place in the early 1st century CE. This could be a continuation of a former tradition. Offering of elephants to temples are frequently mentioned in historical sources since 14th century CE.

Downloads

Wednesday, August 10, 2011

අපේ රටේ අලි ඇතුන් ගේ අනාගතය

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2011.08.10 

http://www.vidusara.com/2011/08/10/feature1.html




අලි ඇතුන් යනු මෙරට වාසය කරන වනජීවීන් අතර වැඩි ම ආකර්ෂණයක්‌ දිනාගත් සත්ත්ව විශේෂය බවට සැකයක්‌ නොමැත. ඒ සඳහා කරුණු කිහිපයක්‌ හේතු වී තිබේ. අලියා යනු ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වන අතර බුද්ධිමත් සතෙක්‌ ද වේ. එසේ ම ඔවුන් ගේ බුද්ධිය හා සමාජශීලී හැසිරීම ඔවුන් කෙරෙහි ඇති ආකර්ෂණය තවත් වැඩි කර තිබේ. එපමණක්‌ නො ව සංස්‌කෘතික වශයෙන් ද අලි ඇතුන් අපට බොහෝ සේ සමීප වේ. මේ කරුණු අලි ඇතුන් සංචාරක ආකර්ෂණයක්‌ වීමට ද හේතු වී තිබේ. අනෙක්‌ අතට අලි-මිනිස්‌ ගැටුම ද අලින් පිළිබඳව ඇති අවධානය තවත් වර්ධනය කිරීම සඳහා ද හේතු වී තිබේ.

කෙසේ වෙතත් මේ දිනවල ජනමාධ්‍ය ඔස්‌සේ අලි ඇතුන් පිළිබඳව වැඩි අවධානයක්‌ යොමු වී ඇත්තේ අලි සංගණනය නිසාත් පෙරහැර සමය නිසාත් ය. එසේ ම පසුගිය සති කිහිපය තුළ මිය ගිය ප්‍රකට හීලෑ අලි දෙදෙනකු නිසා ද මේ අවධානය තවදුරටත් පුළුල් වී ඇත.

අලි සංගණනය


අලින් පිළිබඳ සංගණනයක්‌ වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් අගෝස්‌තු 11 වැනි දින (හෙට දින) ආරම්භ කිරීමට නියමිත ය. මේ පිළිබඳව අනාවරණය වී ඇති කරුණු අනුව මේ සංගණනය පැවැත්වීමට අදහස්‌ කර ඇත්තේ ආරක්‌ෂිත ප්‍රදේශ මෙන්ම විශාල වශයෙන් අලින් ගැවසෙන ස්‌ථාන ගණනාවක්‌ පදනම් කරගනිමිනි. ඒ සඳහා ජාතික වනෝද්‍යාන දින තුනක්‌ පමණ කාලයක්‌ වසා තැබීමට ද නියමිත ය. මේ කාර්යය සඳහා තුන් දහසකට අධික පිරිසක්‌ ද සහභාගි වීමට නියමිත ය. මිලියන විස්‌සක පමණ මුදලක්‌ මේ සඳහා වැය වේ. මේ සංගණනයේ අරමුණ සමස්‌ත අලින් ප්‍රමාණය ගණනය කිරීම ය. මෙහි දී යොදාගන්නේ ඍජු නිරීක්‌ෂණ මත පදනම් ව අලින් ගණනය කිරීමකි. ඒ ජල ප්‍රභව මත පදනම් වූ ක්‍රමවේදයකි.

මෙරට වාසය කරන අලි ඇතුන් ගණන පිළිබඳව ද විවිධ ඇස්‌තමේන්තු තිබේ. ඇතැම් සංඛ්‍යාලේඛන අනුව එය 2,500ත් 4,000ත් අතර ප්‍රමාණයකි. වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවට අනුව මේ ප්‍රමාණය 5,000-6,000 අතර වේ.

වනජීවී සංරක්‌ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශවලට අනුව මේ සංගණනයෙන් ලබා ගන්නා තොරතුරු අලින් සංරක්‌ෂණ කළමනාකරණ සැලැස්‌මක්‌ සැදීම සඳහා යොදාගන්නා බව ද ප්‍රකාශ වී තිබේ. එසේ නම් උක්‌ත සංගණනයෙන් ලබා ගන්නා දත්ත නිවැරැදි විය යුතු ය. එසේ නැත හොත් ඒ මත පදනම් ව සකසන කළමනාකරණ සැලැස්‌ම ද අඩුපාඩුවලින් යුක්‌ත විය හැකි ය.

අලින් සංගණනයක්‌ යනු සරල කාර්යයක්‌ නො වේ. ඒ කරුණු කිහිපයක්‌ නිසා ය. අපේ රටේ ද සෙසු ආසියානු අලින් වාසය කරන රටවල ද අලින් දැකිය හැකි ස්‌වාභාවික පරිසරයේ දී ඔවුන් Rජුව ගණනය කිරීම තරමක්‌ අසීරු ය. ඇතැම් විට එය තරමක්‌ ඝන වනාන්තරයක්‌ විය හැකි ය. එසේ ම අලින් මිනිසුන් දුටු විට දක්‌වන ප්‍රතිචාරය විවිධ විය හැකි වීම ය. මිනිසුන් මඟහැර යැම ඔවුන් ගේ මූලික ක්‍රියා පිළිවෙතකි. මේ නිසා අලින් ගණනය කිරීමට බොහෝ විට යොදාගනු ලබන්නේ වක්‍ර ක්‍රියා පිළිවෙත් ය. ඒ අතර අලි බෙටි ගණනය කිරීම වැනි ක්‍රියාමාර්ග ද වේ. කෙසේ වෙතත් මේ සියලූ ආකාරයේ ක්‍රියා පිළිවෙත්වල දෝෂ දැකිය හැකි අතර ඒවායේ අඩුපාඩු සැලකිය යුතු තරමින් සාකච්ඡාවට ලක්‌ වී තිබේ.

ජල මූලාශ්‍ර මත පදනම්ව අලි ඇතුන් ගණනය කිරීම ද එතරම් පහසු කටයුත්තක්‌ නම් නො වේ. එහි දී අලි ඇතුන් ජලය පානය කිරීම සඳහා පැමිණෙන සියලූ ජල ප්‍රභව ආවරණය විය යුතු ය. මේ සතුන් දෙවරක්‌ ගණනය කිරීම වැළැක්‌වීමට ද කටයුතු කළ යුතු වේ. විශේෂයෙන් මෙරට ජීවත් වන වන අලින් අතරින් වැඩි පිරිසක්‌ වාසය කරන්නේ වනෝද්‍යානවලින් පිටත වන බැවින් එය වැඩි සැලකිල්ලකට ලක්‌ විය යුතු කරුණකි. මේ පිළිබඳව ද අදාළ බලධාරීන් යම් අවධානයක්‌ යොමු කර ඇති බව පෙනේ.

මේ සංගණණය පිළිබඳව අපට ඇති වන බරපතළ ම ගැටලූවට හේතු වන්නේ ඇතැම් මාධ්‍යවලට ඇමැතිවරයා පවසා තිබූ ප්‍රකාශයකි. ඒ විහාර හා දේවාලවලට ලබා දීමට යෝග්‍ය අලි පැටවුන් හඳුනාගැනීමක්‌ ද මේ සංගණනයේ දී සිදු කරන බව ය. මෙය එක්‌තරා ආකාරයකට බළලා මල්ලෙන් එළියට පැනීමකි. එය එසේ නම් මේ සංගණනය පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමේ ප්‍රයෝජනයක්‌ නොමැත. මේ ඉතා කණගාටුදායක හා බරපතළ වූ තත්ත්වයකි. වනජීවී දෙපාර්තමේන්තුව අලි ගාලක්‌ පැවැත්වීමේ මූලික පෙරහුරුවක යෙදෙනවා වැනි ය.

අලි - මිනිස්‌ ගැටුම


අලි මිනිස්‌ ගැටුම වැළැක්‌වීම මෙරට අලි ඇතුන් සංරක්‌ෂණය හා සම්බන්ධව වැදගත් කරුණක්‌ වේ. සාමාන්‍යයෙන් එක්‌ වසරක දී මිය යන අලින් ගේ ගණන 150කට අධික ය. මෙය කාලයත් සමග වර්ධනය වී ඇත. එහෙත් 2011 වර්ෂයේ ජූනි මාසය දක්‌වා ගත වී ඇති කාලය තුළ අලි ඇතුන් 148ක්‌ පමණ පිරිසක්‌ මිය ගොස්‌ තිබේ. මේ වසරේ පැවැති ආන්තික කාලගුණ තත්ත්වය හා හක්‌ක පටාස්‌ වැනි කුරිරු උපක්‍රම සුලබ වීම ද ඊට හේතුවක්‌ වී ඇති බව පෙනේ.

එමෙන් ම අලින් ගේ ප්‍රහාරවලට ලක්‌ ව මිය යන මිනිසුන් ප්‍රමාණය ද සුළුපටු නො වේ. සාමාන්‍යයෙන් වසරකට මිනිසුන් 60කට අධික පිරිසක්‌ අලින් ගේ ප්‍රහාරවලින් මිය යන බව වාර්තා වී තිබේ. මේ සියලු දෙනා ම මිහි මත ජීවත් වීමේ අයිතිය රැගෙන උපන්නවුන් වන බැවින් අපට මේ තත්ත්වය අමතක කළ නොහැකි ය.

අලි මිනිස්‌ ගැටුමට එක්‌ ප්‍රධාන හේතුවක්‌ වන්නේ මිනිසුන් විසින් අලින් ජීවත් වන ප්‍රදේශ ආක්‍රමණය කරනු ලැබීම ය. කෘෂිකාර්මික අවශ්‍යතා මේ සඳහා ප්‍රධාන හේතු වේ. වනගතව හා අලින් ගේ වාසභූමි ලෙස පැවැති බොහෝ ප්‍රදේශ කෘෂි ව්‍යාපාර හා ජනාවාස සඳහා මිනිසුන් විසින් ආක්‍රමණය කරනු ලැබ තිබේ. මෑත කාලයේ දී මහවැලි ප්‍රදේශවලින් හා උතුරු නැඟෙනහිර ප්‍රදේශවලින් වැඩි ගැටුම්කාරී තත්ත්වයක්‌ වාර්තා වීම මේ සඳහා නිදසුනකි.

අලින් පිළිබඳ ප්‍රතිපත්තිය කෙසේ විය යුතු ද?


අලින් සංරක්‌ෂණය කිරීම සඳහා ගන්නා කුමන පියවරක දී වුවත් සැලකිය යුතු කරුණු කිහිපයක්‌ තිබේ. ඉන් පළමුවැන්න වන්නේ අපේ රටේ ජීවත් වන අලින් අතරින් අඩකටත් වැඩි සංඛ්‍යාවක්‌ ජීවත් වන්නේ ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත බව ය. නිදසුනක්‌ ලෙස හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ හා වයඹ පළාතේ ජීවත් වන අලි ගහන දැක්‌විය හැකි ය. අලි සංරක්‌ෂණයේ දී මේ බව අමතක කළ නොහැකි ය.

එහෙත් අපට අසන්නට දකින්නට ඇති ඇතැම් කරුණු අනුව පෙනෙන්නට තිබෙන්නේ අලින් ආරක්‌ෂා කිරීමේ සැලසුම්වල දී මේ බව නො සලකා හැර ඇති බවකි. ඒ අනුව අලි ඇතුන් ජාතික වනෝද්‍යානවලට ගාල් කිරීමේ ප්‍රයත්නයක්‌ දියත් වෙතැයි පෙනෙන්නට තිබේ. වනෝද්‍යානවල අලින්ට අවශ්‍ය තරම් ආහාර හා ජලය ලබා දීමට අපේක්‌ෂා කරන බවක්‌ වනජීවී අමාත්‍යවරයා පවසා තිබිණි. මෙය සංචාරක ආකර්ෂණයක්‌ ලෙස සලකා ක්‍රියාත්මක කරන්නක්‌ බව ද පෙනේ.

එහෙත් මෙය කෙතරම් ප්‍රායෝගික වේ ද යන්න අපට නම් ගැටලූවකි.

අලි ඇතුන් යනු ප්‍රමාණයෙන් සීමිත ආරක්‌ෂිත ප්‍රදේශ කිහිපයකට ගාල් කර ආරක්‌ෂා කළ යුතු සතුන් පිරිසක්‌ නො වේ. අධ්‍යයන ගණනාවකින් පෙන්වා දී ඇති පරිදි අලි ඇතුන් සැලකිය යුතු ප්‍රදේශයක ගමන් කරමින් තම ආහාර හා ජල අවශ්‍යතා සපුරා ගන්නා සත්ත්ව විශේෂයකි. ඔවුන් ගේ දේහය පවත්වා ගැනීමට හා ශක්‌තිය ලබා ගැනීම සඳහා අධික ආහාර හා ජල ප්‍රමාණයක්‌ අවශ්‍ය වේ. සාමාන්‍යයෙන් අලියකුට එක්‌ දිනකට කිලෝග්රෑම් 150ක පමණ ආහාර ප්‍රමාණයක්‌ ද ජලය ලීටර් 120ක්‌ පමණ ද අවශ්‍ය වේ. මේ නිසා අලින් සැලකිය යුතු ප්‍රදේශයක සංචරණය කරන බව පෙනේ. ඇතැම් විට වියළි හා තෙත් කාලවල දී මේ සංචරණ ප්‍රදේශය වෙනස්‌ වේ. මේ නිසා ඇතැම් වකවානුවල දී ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත පැමිණීම සිදු වේ.

මෙවැනි අවස්‌ථාවක දී අදාළ අලින් ගේ පැවැත්ම තහවුරු කිරීම සඳහා ඔවුන් ගේ සංචරණ රටාව වටහාගත යුතු ය. මේ සඳහා ඇති හොඳ ම නිදසුන යාල-නිමලව අතර සංචරණයේ යෙදුණු අලි රංචුවේ ඉරණමයි. වියළි කාලයේ දී මේ අලි රංචුව යාල වනෝද්‍යානයෙන් පිටතට පැමිණි අතර යාල හා නිමලව අතර විදුලි වැට ඉදි කිරීමෙන් පසුව ඔවුන් ගේ මේ ගමන්මඟ අවහිර විය. එහි ප්‍රතිඵලයක්‌ ලෙස මේ අලි රංචුවේ වැඩි පිරිසක්‌ කණගාටුදායක ඉරණමකට මුහුණ දී තිබේ. එයට එක්‌ හේතුවක්‌ වූයේ ඔවුන් සීමා වූ ප්‍රදේශයේ ආහාර ප්‍රමාණවත් නො වීම ය.

මේ අනුව අපේ ආරක්‌ෂිත ප්‍රදේශවල සියලූ ම අලි ඇතුන් රඳවා ගත හැකි ද යන්න ගැටලූ සහගත ය. ඒ වනෝද්‍යානවල පවා ජීවත් විය හැකි අලි ඇතුන් ගේ ප්‍රමාණයට සීමා තිබිය හැකි ය. නිදසුනක්‌ ලෙස උඩවලවේ ජීවත් වන අලින් ගේ ප්‍රමාණය ඇතැම් කාල වකවානුවල දී 800-1100 අතර ප්‍රමාණයක්‌ බව මෑත දී පළ වූ අධ්‍යයන වාර්තාවක්‌ මගින් හෙළි වී තිබේ. මේ අධ්‍යයනය වසර පුරා සිදු කරන ලද නිරීක්‌ෂණ මත පදනම් ව සිදු කරන ලද්දකි. එය එතෙක්‌ උඩවලවේ ඇතැයි සැලකුණු වන අලින් සංඛ්‍යාව මෙන් දෙගුණයක්‌ පමණ වේ. මෙය වසර පුරා විවිධ වන්නේ අලින් කලින් කල මේ ප්‍රදේශය අවට ප්‍රදේශවලට සංක්‍රමණය වන නිසා ය. උඩවලව වනෝද්‍යානය තුළ පරිසරයට අලින් ගෙන් සිදු වන බලපෑම නිරීක්‌ෂණය කිරීමෙන් මේ අලින් ප්‍රමාණය ඊට දරාගත හැකි ද යන්න තීරණය කළ හැකි ය. අපේ වනෝද්‍යානවලට දරාගත හැකි අලින් ගණන පිළිබඳව මීට වඩා වැඩි අවබෝධයක්‌ අපට අවශ්‍ය බව පැහැදිලි ය.

ආරක්‌ෂිත ප්‍රදේශවලින් පිටත සිටින අලින් ආරක්‌ෂිත ප්‍රදේශවලට පන්නා දැමීමේ සාර්ථකත්වය පිළිබඳව ද ගැටලූ පවතී. අධික වියදමක්‌ දරා පසුගිය දිනවල සිදු කරන ලද එවැනි අලින් එළවීම් කිහිපයක්‌ ද අසාර්ථක වූ බව පුවත්පත්වල වාර්තා වී තිබිණි. බාධකයක්‌ නොමැති නම් අලින් ආපසු පැමිණීම වැළැක්‌වීම අසීරු ය.

අනෙක්‌ අතට අපේ වනෝද්‍යාන හා අභයභූමිවල ඇති ආරක්‌ෂිත තත්ත්වය ද ඇතැම් විට ගැටලූ සහිත ය. අලි ඇතුන් හා වෙනත් වනජීවීන් වෙනුවෙන් වෙන් කරන බිම් ප්‍රදේශ පසුව මිනිසුන් විසින් ආක්‍රමණය කරනු ලැබීම සිදු කළ හොත් එය එතරම් යෝග්‍ය කරුණක්‌ නො වේ. එවැනි දේ අද ද සිදු වන බව සෝමාවතී වනෝද්‍යානයෙන් අසන්නට ලැබේ. එය කණගාටුදායක කරුණකි.

මේ කරුණු අනුව පෙනෙන්නේ අලි ඇතුන් සංරක්‌ෂණය කිරීමට අවශ්‍ය නම් එය සිදු කළ යුත්තේ අලි ඇතුන් ගේ හැසිරීම් හා අවශ්‍යතා තේරුම් ගැනීමෙන් පමණක්‌ බව ය. අලින් සඳහා වූ ආරක්‌ෂිත ප්‍රදේශ නිර්ණය කළ යුත්තේ අපේ අවශ්‍යතාව මත නො වේ. ඒ සඳහා අලින් ගේ ජීවන රටාව තේරුම් ගත යුතු වේ. කළ යුත්තේ අලින් ගේ ස්‌වාභාවික ව්‍යාප්තිය තේරුම් ගෙන ඒ අනුව අපේ සැලසුම් සකස්‌ කිරීම බව පෙනෙන්නට තිබේ. එවැනි ප්‍රායෝගික යෝජනා ඉදිරිපත් ව ඇතත් ඒවා ක්‍රියාත්මක කෙරෙන බවක්‌ අපට නම් පෙනෙන්නට නැත.

එසේ ම අවසන් වශයෙන් කිව යුත්තේ අලි ඇතුන් සංරක්‌ෂණය කළ යුත්තේ ඔවුන් මේ පරිසරයේ ම කොටසක්‌ වන නිසාත්, අප මේ භූමිය ඔවුන් සමග බෙදා ගන්නවා පමණක්‌ නිසාත් ය. මිහිඳු හිමියන් විසින් මෙරට පාලකයා ව සිටි දෙවනපෑතිස්‌ රජුට එදා වදාරන ලද පහත සඳහන් ප්‍රකාශය අද දවසේ පාලකයන්ට වුවත් වැදගත් වන්නේ කෙමෙන් දියෑවී යන බවක්‌ පෙනෙන වත්මන් රජයේ පරිසර සලකුණ යහපත් ව තබා ගැනීමට එය ඉවහල් විය හැකි නිසා ය. "මහරජ, අහස සරන කුරුල්ලන්ට ද පොළොවේ සියලූ සතුන්ට ද මහ පොළොවේ ඕනෑ ම තැනක හැසිරීමේ අයිතිය හා නිදහස ඔබට මෙන්ම ඇත. ඔබ එහි අයිතිකරු නො ව භාරකරු පමණිZZ.

හීලෑ අලි ප්‍රශ්නයට විසඳුම් සෙවීම


හීලෑ අලි-ඇතුන් ශ්‍රී ලංකාවේ සංස්‌කෘතියේ වැදගත් අංගයක්‌ බව පෙනේ. හස්‌තියා මංගල සම්මත සංකේතයක්‌ සේ සලකන ලදි. අතීතයේ සැලකිය යුතු කලක පටන් අලි ඇතුන් විවිධ කටයුතු සඳහා භාවිත කර තිබේ. සංග්‍රාම හස්‌තීන් ලෙස, රාජකීය සත්ත්වයකු ලෙස, ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස, බර වැඩ සඳහා හා වෙළෙඳ ද්‍රව්‍යයක්‌ ආදි වශයෙන් විවිධ කාර්යයන් සඳහා යොදාගෙන තිබේ. එය කලින් කලට වෙනස්‌ වී තිබේ.

මේ වන විට අලි ඇතුන් මූලික වශයෙන් යොදා ගැනෙන්නේ බර වැඩ, සංචාරක කර්මාන්තය හා පෙරහැර වැනි ආගමික අංග සඳහා බව පෙනේ. සැලකිය යුතු කාලයක සිට පෙරහැර සඳහා අලි යොදා ගැනීම නිසා අලි ඇතුන් නැති පෙරහැරක්‌ සඳහා අදටත් සමාජයේ ඇත්තේ අඩු ආකර්ෂණයකි. එසේ ම හීලෑ අලින් නැරඹීමට බොහෝ දෙනා දක්‌වන්නේ ද දැඩි ඇල්මකි. පාරේ තොටේ හෝ වෙනත් තැනක හෝ හීලෑ අලියකු - ඇතකු ගමන් කරන ආකාරය හෝ වැඩ කරන ආකාරය දුටු විට මිනිසුන් අතර ඇති වන උනන්දුව මීට සාධකයකි.



අපේ රටේ සැලකිය යුතු කාලයක පටන් හීලෑ අලින් හිඟයක්‌ ඇති වෙමින් තිබේ. ඒ අලින් ඇල්ලීම තහනම් වූ කාලයේ පටන් අලි ඇතුන් අල්ලාගැනීම අපහසු වූ නිසා ය. සැම වර්ෂයක දී ම මෙන් මේ වර්ෂයේ දී පෙරහැර සමයේ මේ අලි ඇතුන් ගේ හිඟය ගැන අසන්නට ලැබේ. මේ වන විට හීලෑ අලි ඇතුන් ගණන සියයක්‌ තරම් අඩු බව පැවසේ. කෙසේ වෙතත් පොදුවේ පවසන්නේ (නො කියා කියන්නේ) හීලෑ කිරීම සඳහා අලි ඇතුන් අවශ්‍ය බව ය. මේ ඉල්ලීම්වලට කඩිනම් ප්‍රතිචාර දක්‌වන බවක්‌ ද දැන් දැන් පෙනෙන්ට තිබේ. වනජීවී අමාත්‍යවරයා ගේ ප්‍රකාශයකට අනුව අලින් හා ඇත් පැටවුන් 300ක්‌ පමණ විහාරස්‌ථානවලට ලබා දීමට පියවර ගන්නා බවක්‌ පුවත්පත්වල පළ විය. මෙය සිදු විය යුතු දෙයක්‌ නම් නො වේ.

පෙරහැර වැනි සංස්‌කෘතික අංග සඳහා හීලෑ අලින් අවශ්‍ය ම නම් මේ ගැටලූවට සාධාරණ විසඳුමක්‌ තිබේ ද? මෙවැනි විසඳුමක්‌ කලකට පෙර මාධ්‍ය තුළින් යෝජනා කළ බවක්‌ අපට මතක ය. ඒ අනුව හීලෑ අලි ගහනයක්‌ පවත්වා ගැනීම රජයෙන් සිදු කළ යුතු ය. (දැනටමත් එවැනි ගහනයක්‌ පින්නවල වාසය කරයි). පෙරහැර වැනි විවිධ සංස්‌කෘතික අංග සඳහා අලින් අවශ්‍ය නම් ඒ සඳහා පුහුණු කළ අලි ඇතුන් ලබා දිය හැකි ය. එය අලූතෙන් පිහිටුවන රජයේ ආයතනයක්‌ මගින් සිදු කළ හැකි ය. එක ම කාලයක පෙරහැර ගණනාවක්‌ නො පවත්වන බැවින් මෙවැනි ආයතනයකට එතරම් අලි ඇතුන් ප්‍රමාණයක්‌ අවශ්‍ය වන්නේ ද නැත. එවිට පෞද්ගලික අයිතියක්‌ පිළිබඳ ගැටලූවක්‌ පැන නො නඟී. අපේ රටේ ඉතිහාසයේ වැඩි කාලයක්‌ අලි ඇතුන් රටේ පාලකයාට අයත් ව තිබූ බව පෙනේ. (ඇතැම් කාලවකවානුවල දී අලින් පෞද්ගලික අයිතිය යටතේ පැවැති බව ද ඓතිහාසික සත්‍යයකි). අලින් ගේ යහපත සලකා රජයේ හෙවත් පොදු අයිතිය වෙත යළිත් යොමු වීම මගින් ම මේ ගැටලූව විසඳාගත නොහැකි ය.

හීලෑ අලින් අතරින් නව ජනිතයන් බිහි වීමක්‌ නො වන්නේ ද මේ ආකාරයෙන් අධික ලෙස සේවයේ යෙදවීම නිසා බව පෙනේ. මේ අලින් අතරින් සැලකිය යුතු පිරිසක්‌ වියපත් වූවන් වුවත් ඒ අලින් හා ගැහැනු සතුන් තරුණ කාලයේ දී පවා අභිජනනය කිරීම සඳහා අවස්‌ථාවක්‌ නො ලැබුණු තරම් ය. එහෙත් එය ප්‍රායෝගිකව කළ හැකි ය. මේ දක්‌වා පින්නවල දී අලි පැටවුන් හැටක්‌ පමණ පිරිසක්‌ උපත ලබා ඇත. පෙර සඳහන් කළ ආකාරයට අලි ඇතුන් එක්‌ තැනක රැඳවීම මගින් හා පෙරහැර වැනි අවශ්‍යතා සඳහා පමණක්‌ ලබා දීම මගින් හීලෑ අලින් ගේ අභිජනනයට ද අවස්‌ථාවක්‌ ලැබේ.

කෙසේ වෙතත් කරුණු විමසා බලන විට පෙනෙන්නේ හීලෑ අලින් සඳහා ඇති ඉල්ලූමට තවත් හේතුවක්‌ ඇති බව ය. ඒ අලින් යනු මුදල් ඉපැයිය හැකි ආදායම් මාර්ගයක්‌ වීම ය. අලින් විශාල වශයෙන් සංචාරක කර්මාන්තය සඳහා යොදාගෙන තිබේ. ඒ සංචාරකයන් සඳහා ප්‍රවාහන මාධ්‍යයක්‌ ලෙස හා සංචාරකයන් පිනවිය හැකි මාධ්‍යයක්‌ ලෙස ය. හබරණ ප්‍රදේශය මේ සඳහා වඩාත් ප්‍රකට ය. එය අලි හිමියා හට ආදායම් මාර්ගයක්‌ වුවත් ඒ අලින් ගේ සාමාන්‍ය ජීවන අවශ්‍යතා පිළිබඳව නිසි සැලකිල්ලක්‌ මෙහි දී නො ලැබෙන බව පෙනේ. එය මේ අලි ඇතුන් ගේ ජීවිතවලට කළ හැකි අනිසි බලපෑම ගැන අවධානය අඩු ය.

අනෙක්‌ අතට අලි ඇතුන් පෞද්ගලිකව හිමි කරගනිමින් තම වංශවත් බව හෝ සමාජ තත්ත්වය හෝ පෙන්වීමට ද ඇතැම් පිරිස්‌ කැමැත්ත දක්‌වති. එහෙත් එය මේ සත්ත්වයාට සිදු කරන යම් නිගරුවකි. මේ අදහස අපේ සමාජයෙන් ඈත් කිරීමට කාලය එළැඹ තිබේ. අලින්ට ඇති අධික ඉල්ලූම නිසා හොර රහසේ වනාන්තරවලින් අලි පැටවුන් අල්ලා ගැනීම මෙන්ම රජයේ ආයතනවල සිටින අලින් ලබා ගැනීමට විවිධ පිරිස්‌ දක්‌වන උනන්දුව පිළිබඳ වාර්තා විටින් විට මාධ්‍ය තුළින් අසන්නට දකින්නට ලැබේ. මෙය වහා වැළැක්‌විය යුතු තත්ත්වයකි.

ආසියානු අලියා

  • විද්‍යාත්මක නාමය - Elephas maximus
  • වර්ගීකරණය - ක්‌ෂීරපායී වර්ගයේ, Proboscidea ගෝත්‍රයේ, Elephantidae කුලයේ Elephas ගණයට අයත් ය. මේ ගණයට අයත් එක ම විශේෂයයි.
  • උප විශේෂ - උප විශේෂ තුනක්‌ මේ වන විට පුළුල් ලෙස පිළිගැනේ. ඉන් එකක්‌ ශ්‍රී ලංකාවේ දැකිය හැකි Elephas maximus maximus උප විශේෂයයි.
  • ප්‍රමාණය - උසින් අඩි 10ක්‌ පමණ ද බරින් කිලෝග්‍රෑම් 5000ක්‌ පමණ ද වේ. මේ අනුව ආසියානු මහාද්වීපයේ ගොඩබිම වෙසෙන විශාලතම සත්ත්වයා වේ.
  • ආයු කාලය - වසර 60-70 අතර
  • ව්‍යාප්තිය - දකුණු හා අග්නිදිග ආසියාවේ රටවල් 13ක පමණ ජීවත් වේ.
  • මුළු ගහනය - උක්‌ත රටවල දැකිය හැකි සමස්‌ත වන අලින් ගණන 41,000-52,000 අතර බවට ඇස්‌තමේන්තු කර ඇත. (මෙහි නිරවද්‍යතාව ගැන ගැටලූ තිබේ.) ශ්‍රී ලංකාව ආසියානු අලින් ප්‍රමාණය අතින් තුන්වැනි තැන ගන්නා රට වේ.
  • සංරක්‌ෂණ තත්ත්වය - අන්තරායක (Endangered) සත්ත්වයකු ලෙස 1986 දී රතු දත්ත පොතට ඇතුළත් කරන ලදි.

ප්‍රධාන තර්ජන :

1. වාසභූමි අහිමි වීම, හායනයට ලක්‌ වීම හා කැබැලිකරණය - අලි මිනිස්‌ ගැටුමක්‌ ඇති වීම සඳහා මූලික හේතුව වන්නේ මෙයයි.
2. දඩයම් කිරීම - දළ හා වෙනත් දේහ කොටස්‌ සඳහා දඩයම් කිරීම බොහෝ රටවල සිදු වේ.
3. තෝරාගත් සතුන් ඉවත් කිරීම - දළ සහිත පිරිමි සතුන් ගහනයෙන් ඉවත් කිරීම නිසා ලිංගික අනුපාතය වෙනස්‌ වීම මේ සතුන් ගේ පැවැත්මට බලපායි.

ඡායාරූප - භූෂණ කල්හාර