Monday, December 25, 2017

දළ පූට්‌ටුවා ගේ ඝාතනය මාකට්‌ කිරීම හා අලි සංරක්‌ෂණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, පි. 05, 13.12.2017 (Vidusara)

http://www.vidusara.com/2017/12/13/feature1.html




පසුගිය දා දළ ලබාගැනීම සඳහා වෙඩි තබා මරා දමන ලද ගල්ගමුවේ දළ පූට්‌ටුවා ඇතා ගැන සටහනක්‌ තැබීම සඳහා සූදානම් වන විට අපූරු කෙටි පණිවිඩයක්‌ ජංගම දුරකථනයට ලැබුණේ ය. එම කෙටි පණිවිඩයෙන් කියෑවුණේ 'මෑතක දී රට ම කතා වුණු දළ පූට්‌ටුවා ගැන ඔබ මෙතෙක්‌ නො දන්නා කතා මෙතනින් බලන්න' කියා යූ ටියුබ් සබැඳියක ලිපිනයක්‌ එවූ පණිවිඩයකි. මේ කෙටි පණිවිඩය දළ පූට්‌ටුවා මේ දිනවල 'මාකට්‌' වී ඇති බවට මනා සාධකයක්‌ සපයයි. (අදාළ අංකය වැනි අප ඉල්ලා ලියාපදිංචි වී නොමැති සේවා අංකවලින් මෙවැනි කෙටි පණිවිඩ ලැබීම පාරිභෝගික අයිතියක්‌ උල්ලංඝනය වීමක්‌ සේ සැලකිය හැකි වීම වෙන ම කරුණකි.)

දළ පූට්‌ටුවා හෝ හරියට ම කිව හොත් ඒ සතා මරා දැමීම පිළිබඳව සමාජයේ සාකච්ඡාවක්‌ ඇති වීම වැදගත් කරුණකි. ඒ වසරකට දෙ සිය පනහක්‌ පමණ අලි ඇතුන් අපේ රටේ මිය යන නිසා ය. එහෙත් මේ සාකච්ඡාව කෙතෙක්‌ සාධාරණීය ද යන්න වැදගත් වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් දළ පූට්‌ටුවා ගේ ඝාතනය බෙහෙවින් අලෙවි වූයේ සමාජ ජාලවල සහ ඕපාදූප වෙබ් අඩවිවල ය. මේ ඇතැම් සටහන් හුදෙක්‌ ඝාතකයන්ට සාප කිරීමට හා බලධාරීන්ට දෙස්‌ තැබීමට වෙන් වූ ඒවා ය. තවත් ඒවා හුදෙක්‌ ම ආවේගකාරී විය. තවත් ඒවායේ විවිධ යෝජනා දක්‌වා තිබිණි. නිදසුනක්‌ ලෙස දළ ඇතුනට ආරක්‌ෂාව ලබා දීම සඳහා මේ සමාජ ජාල සංරක්‌ෂකයන් ඉදිරිපත් කළ යෝජනා අතර රේඩියෝ කොලර් සවි කිරීම හා ඇතුන්ට ආරක්‌ෂක අංශවලින් ආරක්‌ෂාව ලබා දීම වැනි යෝජනා තිබිණි. දළ ලබාගැනීම සඳහා දඩයම් කිරීම වළක්‌වාලීමට මේ පළමු උපක්‍රමයෙන් සහායක්‌ නො ලැබෙන බව ඒ තාක්‌ෂණය දන්නා අයට පැහැදිලි කරුණකි. එසේ ම විශාල මෙන්ම වනගත ප්‍රදේශයක සරන අපේ රටේ ඇතකුට ආරක්‌ෂාව ලබා දීම කිසිසේත් ප්‍රායෝගික නො වන්නකි.

අනෙකක්‌ තබා මේ කතාව දිගින් දිගට ඇදී ගොස්‌ සමාජ ජාලවල බෙහෙවින් සිටින සංරක්‌ෂකයන් ගේ චෝදනාවට හා 'කටගැස්‌මට' බෙහෙවින් ලක්‌ ව ඇති සංස්‌කෘතික අවශ්‍යතා සඳහා හීලෑ අලින් ලබා දීම විවේචනය කිරීම දක්‌වා ම මේ කතාව දික්‌ගැසී ගොස්‌ තිබිණි. (පෙරහැර වැනි සංස්‌කෘතික අවශ්‍යතා සඳහා රාජ්‍ය අංශයේ මැදිහත් වීමෙන් අවශ්‍ය අලින් ලබා දීම සඳහා වැඩපිළිවෙළක්‌ තිබිය යුතු බව අපේ මතය වන අතර, අලින් අනිසි භාවිතය අධික බැවින් පෞද්ගලික අයිතිය ප්‍රවර්ධනය අයෝග්‍ය බව අපේ මතයයි.)

අලි - මිනිස්‌ ගැටුම අවම කරගැනීම සඳහා මෙන්ම, වන අලින් ආරක්‌ෂා කිරීම සඳහා වනජීවී බලධාරීන් විසින් මෙතෙක්‌ ගත් සියලු පියවර අවතක්‌සේරු කරන බවක්‌ මේ ඇතැම් අදහස්‌ තුළ දැකිය හැකි විය. එය සාධාරණ නො වන බව අලි - මිනිස්‌ ගැටුම ගැන ප්‍රාමාණික අවබෝධයක්‌ ඇති අය දන්නා කරුණකි. එසේ ම සමාජ ජාලවල දැකිය හැකි වූ පමණ ඉක්‌මවා ගිය ආකාරයේ ප්‍රතිචාර හා පුවත්වලින් මතු වන්නේ මේ කරුණ දක්‌වාලමින් සමාජයේ කිසියම් හඬක්‌ මතු කිරීමේ අවශ්‍යතාවක්‌ යම් පිරිසකට තිබූ බව ද යන ගැටලුව ද අපට ඇති විය. ඒවායේ පළ වූ සටහන් මෙන්ම ඒවාට දැක්‌වූ ප්‍රතිචාරවල ද කිසියම් කෘත්‍රිම ආකාරයක්‌ ගත් බවක්‌ ද පෙනිණි. කාට හෝ ඩෑෂ් පහරක්‌ එල්ල කිරීම සඳහා බෝලය ඔසවා දීමක්‌ මේ තුළ දැකිය නොහැක්‌කේ නො වේ.

දළ පූට්‌ටුවා ගේ මරණය


දළ පූට්‌ටුවන් පරිසර ප්‍රේමීන් මෙන්ම ජනතාව අතර වැඩි අවධානයකට ලක්‌ වන්නේ ඔවුන් ගේ ඇත් දළවල පිහිටීමේ දැකිය හැකි සුවිශේෂ ලක්‌ෂණය නිසා ය. දළ යුග්මය ඉදිරියට පැමිණ හොඬවැල ඉදිරිපසින් එකට පූට්‌ටු වී පිහිටීම මෙහි දී දැකිය හැකි ය. එම තත්ත්වය නිසා මෙවැනි සතුන්ට හොඬවැල පහසුවෙන් පිටතට ගැනීමට නොහැකි වෙයි. එම අහසුතාව සමඟ දිවි ගෙවීමට මේ සතුන්ට සිදු වේ. මෙවැනි ප්‍රකට දළ පූට්‌ටුවකු යාල හා කුමන ප්‍රදේශවල වාසය කළ අතර, වෙඩි වැදුණු තුවාල හේතුවෙන් එම ඇතා මිය ගියේ 2007 වර්ෂයේ දී පමණ ය. අපේ මතකයේ හැටියට ඒ තුවාල සඳහා ප්‍රතිකාර කරමින් තිබිය දී ය. එහෙත් එදා මෙවැනි හා හෝවක්‌ ඇති කිරීමට තරම් සමාජ ජාල හෝ අන්තර්ජාලය ප්‍රබලව තිබුණේ නැත.

ගල්ගමුව දළ පූට්‌ටුවා ගේ මරණය අවාසනාවන්ත සිදුවීමක්‌ බවට සැකයක්‌ නැත. විශාල ප්‍රදේශයක සැරිසරමින් මිනිස්‌ වාසස්‌ථාන අතර සැරිසරමින් දිවි ගෙවූ මේ සත්ත්වයා මිනිසුන් ගෙන් බොහෝ සෙයින් බැට කා ඇති සත්ත්වයෙකි. එක්‌ ඇසක්‌ අන්ධ වූ අතර අනෙක්‌ ඇසේ ද පෙනීම බෙහෙවින් දුර්වල වීමට හේතුව වී ඇත්තේ මිනිසුන් ගෙන් සිදු වූ ගැහැට ය. කලින් කල මේ ඇතා සමාජයේ අවධානයට ලක්‌ වූ අතර බලධාරීන් ගේ අවධානයට ද ලක්‌ ව තිබූ බව වාර්තා අනුව පැහැදිලි ය. දැනට අනාවරණය වී ඇති ආකාරයට මේ හස්‌තියා මරා දමා ඇත්තේ ඇත් දළ හා ගජමුතු ලබා ගැනීම සඳහා ය. ඇත් දළ යුගලයක්‌ අලෙවි කිරීමට යැමේ දී අත් අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකු අනාවරණය වී ඇති තොරතුරු මත කළ සොයාබැලීම්වල දී කහල්ල පල්ලෙකැලේ රක්‌ෂsතය තුළ ස්‌ථානයක තිබී ඇතා ගේ මළසිරුර හමු වී ඇත. ඒ වන විට දිරා යමින් තිබූ දේහය පිළිබඳව කළ පරීක්‌ෂණවලින් ඇතා මරා දැමීම ගැන කරුණු රැසක්‌ අනාවරණය වී ඇත. හිසට හා උදරයට වෙඩි තබා මේ සතා ඝාතනය කර ඇති අතර ඉන් පසුව දළ කපා ඉවත් කර ඇති බව හෙළි වී තිබේ.

මෙරට වෙසෙන දළ ඇති ඇතුන් ප්‍රමාණය මෙරට අලි ගහනයෙන් ඉතා අඩු ප්‍රමාණයකි. 2011 වර්ෂයේ දී මෙරට සිදු කරන ලද අලි සංගණනයේ දී වාර්තා වූ දළ සහිත පිරිමි සතුන් ගේ ගණන 122කි. එනම්, සමස්‌ත පිරිමි සතුන් අතරින් 6.5%ක්‌ තරම් ප්‍රමාණයකි. මේ ප්‍රමාණය ආසියානු අලින් අතර සාපේක්‌ෂව අඩු අගයක්‌ ගන්නා බව සෙසු රටවල සංඛ්‍යා සමඟ සංසන්දනය කරන විට පෙනේ. ඒ අනුව දළ ඇතුන් යනු දිනෙන් දින දැකීමට අපහසු සතුන් වෙමින් ඇති බව පැහැදිලි කරුණකි.

දළ ලබා ගැනීම සඳහා ඇතුන් මරා දැමීම දිගුකාලීන වශයෙන් ගැටලුකාරී තත්ත්වයක්‌ ඇති කරන බව පැහැදිලි ය. දළ සඳහා මේ වන විට ඉල්ලුමක්‌ පවතින්නේ ඒවා ළඟ තබාගැනීමට කැමැති ධනවත් ප්‍රභූ පැළැන්තිය අතර බව පැහැදිලි ය. දළ යොදාගනිමින් විසිතුරු භාණ්‌ඩ නිපදවීමේ කර්මාන්තයක්‌ මේ වන විට අපේ රටේ නොමැත. එහෙයින් ඇත් දළ සඳහා ධනවතුන් හා නැඟී එන ධනවතුන් අතර ඇති කැමැත්ත වැනි ආකල්ප වෙනස්‌ කිරීමට සමාජ ජාල යොදාගැනීමට හැකි නම් එය කාට වත් සාප කරමින් සිටිනවාට වඩා ඵලදායී එකක්‌ විය හැකි ය. විහාරස්‌ථානවල බොහෝ විට ඇත්තේ මිය ගිය හීලෑ ඇතුන් ගේ දළ වන අතර, ප්‍රභූ නිවෙස්‌වල හීලෑ ඇතුන් ගේ දළ මෙන්ම අතීතයේ (හෝ මෑත දී) දඩයම් කළ ඇතුන් ගේ දළ ද තිබිය හැකි ය.

අලි ඇතුන් කෙරෙහි ඇති ආකල්ප


මේ අවස්‌ථාවේ දී අලි - මිනිස්‌ ගැටුම හා අලි ඇතුන් කෙරෙහි සාමාන්‍ය ජනතාව දක්‌වන ආකල්ප ගැන යමක්‌ පැවසීම සුදුසු යැයි හැඟෙයි. මේ ආකල්පවල මිශ්‍ර ස්‌වභාවයක්‌ දැකිය හැකි ය. එය හුදෙක්‌ කළු හෝ සුදු නො වන අතර මිශ්‍ර හැඟීමක්‌ වේ. ගොඩබිම දැකිය හැකි විශාල ම සතා මෙන්ම සංස්‌කෘතික හා ආගමික වටිනාකමක්‌ ද ඇති හෙයින් අලින් කෙරෙහි සාමාන්‍ය ජනතාව අතර කරුණාවක්‌ දැකිය හැකි වෙයි. එයට බුදුදහමින් ලැබුණු අහිංසාව පිළිබඳ ශික්‌ෂණය ද එක්‌ හේතුවක්‌ බව පිළිගත හැකි කරුණකි.

එහෙත් අලින් ගෙන් සිදු වන ගැහැටවල දී අලින් පිළිබඳ ආකල්පය වෛරයක්‌ හෝ ද්වේෂයක්‌ හෝ බවට පත් වීම දැකිය හැකි ය. විශේෂයෙන් සමාජයේ පීඩාවට පත් ව ඇති  හා නූගත් පිරිස්‌ තුළ ඒ තත්ත්වය දැකිය හැකි ය. එය අද ඊයේ සිට නො ව අතීතයේ සිට ම දැකිය හැකි ය. එය අවබෝධ කරගැනීම එතරම් සංකීර්ණ කරුණක්‌ නො වන්නේ මිනිසුන් සෙසු මිනිසුන් පිළිබඳව ද දක්‌වන්නේ මෙවැනි ආකල්පයක්‌ වන නිසා ය. මිනිසුන් අනෙක්‌ මිනිසුන්ට එරෙහි ව, තමන් ගේ ම මිතුරන්ව සිටි අයට එරෙහි ව පවා, කෙතරම් අපරාධ කරන්නේ ද?

අලින් ගෙන් සිදු වන හානිවල දී අලින්ට එරෙහි ව ක්‍රෑර ලෙස ක්‍රියා කරන ආකාරය පිළිබඳ වාර්තා අපට අවම වශයෙන් පෘතුගීසින් මෙරට වෙරළබඩ ප්‍රදේශ පාලනය කළ කාලයේ සිට හමු වේ. ඒ අනුව අලින්ට වෙඩි තැබීම් පමණක්‌ නො ව, හොඬවැලට උණු තෙල් දැමීම, අලින් මතට ගිනි අඟුරු දැමීම වැනි සිදුවීම් පිළිබඳ වාර්තා මේ කාලයේ දී අපට හමු වේ. ඊට පෙර එවැනි උපක්‍රම යොදාගත්තේ ද යන්න අප නො දන්නා බව පමණක්‌ පැවසිය හැකි ය.

අලි ගහනයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සිදු වූ අවස්‌ථාවල දී ඉන් පීඩාවට පත් වූ ජනතාව ඒ සම්බන්ධව ප්‍රතිචාර දක්‌වා ඇති බව වාර්තා අනුව පෙනේ. පෘතුගීසි සමයේ අලි ඇල්ලීම ආදායම් මාර්ගයක්‌ වූ අතර, අලි ගහනය වැඩි වූ ප්‍රදේශ පිළිබඳව පෘතුගීසි නිලධාරීන්ට ගම්වැසියන් දැනුම් දුන් අවස්‌ථා පිළිබඳව සඳහන් වෙයි. මෙය සමාන කළ හැක්‌කේ අලි ඇතුන් ගෙන් සිදු වන ගැහැටවලට විසඳුම් ඉල්ලා මිනිසුන් වීදි බැස පාරවල් වසාගෙන අද සිදු කරන උද්ඝෝෂණය කිරීම් සමඟ ය.

එමෙන් ම අවශ්‍ය තරම් වාර්තා සහිත 19 - 20 සියවස්‌ පිළිබඳව සැලකූ විට පෙනෙන කරුණක්‌ වන්නේ අලින් ගෙන් සිදු වන වගා හානි හා වෙනත් ගැහැට පිළිබඳව බලධාරීන්ට පැමිණිලි කරන්නේ ද ප්‍රදේශවාසී ජනතාව බවයි. ඉන් පසුව අදාළ ප්‍රදේශයේ අලින් ඇල්ලීමට හෝ වෙඩි තැබීමට නියෝග කිරීම දැකිය හැකි විය. ඇතැම් විට ඒ සඳහා වූ බලපත්‍රය ලබා දෙන්නේ නොමිලේ ම ය. එහි දී ඉදිරිපත් වන්නේ දඩයමට රුචිකමක්‌ දක්‌වන "ක්‍රීඩා ලෝලී" සුදු ජාතිකයන් හෝ දේශීය ප්‍රභූන් ය. මොවුන්ට මඟ පෙන්වන්නේ අදාළ ප්‍රදේශයේ ගමේ ප්‍රධානීන් හා ගම්වැසියන් ය. ප්‍රශ්නකාරී අලි ඇතුන් ගෙන් මිදීම එදා ජනතාව ගේ වගා බිම්වල හා ජීවිතවල ආරක්‌ෂාව සඳහා අවශ්‍ය වූ දෙයකි. අප මෙය තේරුම්ගත යුත්තේ එදා පැවැති සන්දර්භය සමඟ ය (මෙය වතු වගාබිම් ආශ්‍රිත ව හුදු ක්‍රීඩාවක්‌ ලෙස ම සිදු වූ අලි දඩයම සමඟ පටලවා නො ගත යුතු ය).

කෙසේ වෙතත් මෙසේ තමන්ට හානි කරන අලින් සමඟ බද්ධ වෛරයක්‌ මේ ජනතාව තුළ දැකිය නොහැක්‌කේ ඔවුන්ට අලියා සංස්‌කෘතික හා ආගමික වශයෙන් වැදගත් සත්ත්වයකු වන නිසා ය. ජාතක පොතේ එන අලින්, නුවර පෙරහැරේ යන ඇතුන් ආදි වශයෙන් අලි ඇතුන් සංස්‌කෘතික වශයෙන් මිනිසුන්ට සමීප සත්ත්වයෙක්‌ වෙයි. මේ හේතුවෙන් අලි ඇතුන් පිළිබඳ ව ස්‌වාභාවිකව ජනනය වන අනුකම්පාවක්‌ ද මිනිසුන් තුළ දැකිය හැකි වේ. වගා ළිඳකට වැටුණු, ඇලකට වැටුණු, තුවාල වූ කරදරයට පත් වුණු අලියකු හෝ ඇතෙකු හෝ බේරා හරින්නට ගමේ ම මිනිසුන් ඉදිරිපත් වන්නේ මේ නිසා ය. ඇතැම් විට ඒ තමන් ගේ වගා පාලු කරන්නා වූ වන අලියා ම බව ඔවුහු දනිති. එහෙත් ඔවුහු එම අලියා වෙනුවෙන් අනුකම්පා කරති.

http://www.vidusara.com/2017/12/13/feature1.html

No comments:

Post a Comment