Wednesday, January 3, 2018

දොඩම් වගාව නිසා වර්ධනය වූ සිසිලියේ මාෆියා කල්ලි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 27.12.2017, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2017/12/27/feature4.html




මධ්‍යධරණී මුහුදේ ඉතාලියට යාබද ව පිහිටා ඇති සිසිලි දූපතේ මාෆියා කල්ලි බිහි වන්නේ 19 වැනි සියවසේ දී පමණ ය. මේ කල්ලි කෙටි කාලයක්‌ ඇතුළත ඉතාලියේ ආර්ථික හා දේශපාලන අංශවලට සැලකිය යුතු තරම් බලපෑමක්‌ කළ හැකි තත්ත්වයට දියුණු විය. එසේ ම එය පසුකලක ඇමෙරිකාවට හා තවත් රටවලට ද යම් බලපෑමක්‌ ඇති කර තිබේ. විශේෂයෙන් මෑත යුගයේ දී යුරෝපයේ ආර්ථික කටයුතුවලට සැලකිය යුතු තරම් අහිතකර ආකාරයේ බලපෑමක්‌ ඇති කළ ආයතනයක්‌ ලෙස මාෆියා කල්ලි සැලකෙයි. එදා සිට මේ දක්‌වා මේ කල්ලිවල අපරාධ පිළිබඳව බොහෝ දේ සාකච්ඡා වී තිබේ.

මේ මාෆියා කල්ලි බිහි වීමට හා වර්ධනය වීමට බලපෑ සාධක මොනවා ද යන්න මේ සම්බන්ධව පර්යේෂණවල යෙදෙන පර්යේෂකයන්ට කලක පටන් ම පැවැති ගැටලුවක්‌ වෙයි. එම හේතු පිළිබඳව මේ දක්‌වා යම් යම් අදහස්‌ ඉදිරිපත් ව ඇතත්, ඒ පිළිබඳව මෙතෙක්‌ හරිහැටි පැහැදිලි වී නො තිබිණි.

මේ විෂය සම්බන්ධව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයන වාර්තාවකින් හදුනාගෙන ඇති ආකාරයට, සිසිලි දූපතේ වගා කරන ලද දොඩම් සහ ලෙමන් සඳහා පැවැති ඉල්ලුම 19 වැනි සියවසේ දී වේගයෙන් ඉහළ යැම මාෆියා කල්ලිවල වර්ධනය සඳහා බලපෑ හේතුව ලෙස හදුනාගෙන තිබේ.

ඓතිහාසික වාර්තා පිළිබඳ අධ්‍යයනයක්‌


මේ අධ්‍යයනය සමකාලීන ලිත වාර්තා ප්‍රභව දෙකක්‌ පාදක කර ගනිමින් සිදු කරන ලද්දකි. 19 වැනි සියවසේ දෙවැනි භාගයේ දී ගොනු කරන ලද දත්ත යොදාගනිමින් මේ අධ්‍යයනය සිදු කර තිබේ.

සිසිලි දූපතේ දොඩම් කුලයේ ශාක වගාවට සැලකිය යුතු අතීතයක්‌ තිබේ. 10 වැනි සියවසේ අරාබි ජාතිකයන් මුලින් ම තිත්ත දොඩම් (bitter orange - Citrus higaradia) සිසිලි දූපතට හදුන්වා දුන් බව මේ වන විට අනාවරණය වී ඇති ඓතිහාසික වාර්තා අනුව පැහැදිලි ය. සිසිලි දූපතේ පැවැති දේශගුණ තත්ත්වය, සරු පස මේ ශාකයේ ව්‍යාප්තිය සඳහා යෝග්‍ය විය. මේ ශාකය ලෙමන් හා දොඩම් බද්ධ කිරීම සඳහා සුලබ ව යොදාගන්නා ශාකයකි. කෙසේ වෙතත් මේ වගාව දූපතේ පැතිර ගිය ද, 19 වැනි සියවසට පෙර මේ පලතුරු සඳහා දේශීයව හෝ අන්තර්ජාතික වශයෙන් හෝ එතරම් ඉල්ලුමක්‌ තිබී නොමැත.

මේ තත්ත්වය වෙනස්‌ වූයේ ශීතාද රෝගය (scurvy) රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස ඉහත සඳහන් Citrus කුලයේ පලතුරු භාවිත කිරීම සුදුසු යෑයි සොයාගැනීමත් සමග ය. එය සිදු වූයේ 18 වැනි සියවසේ මැද භාගයේ දී ඡේම්ස්‌ ලින්ඩ් විසින් සිදු කරන ලද පරීක්‌ෂණයක්‌ සමග ය. එම සොයාගැනීම හේතුවෙන් දොඩම් හා ලෙමන් වැනි පලතුරුවල ප්‍රායෝගික භාවිතය බෙහෙවින් පුළුල් විය. ඒ සමග පලතුරු හා යුෂ ලෙස භාවිතය සඳහා ඒවාට ඇති ඉල්ලුම වේගයෙන් ඉහළ ගියේ ය.

මෙසේ විදේශීය වශයෙන් ඇති වූ අධික ඉල්ලුම නිසා ඒ වන විටත් දොඩම් වැනි පලතුරු සඳහා ප්‍රසිද්ධ වූ සිසිලියේ පලතුරු නිෂ්පාදනය කරන ප්‍රදේශවල ආදායම් 1800 ගණන්වල දී බෙහෙවින් වර්ධනය විය. 19 වැනි සියවස මැද භාගයේ දී පමණ (1850 පමණ වන විට) සිසිලියෙන් අපනයනය කරන ලද ලෙමන්, දොඩම් හා එහි නිෂ්පාදනවල කැපී පෙනෙන වර්ධනයක්‌ දැකිය හැකි වේ. නිදසුනක්‌ ලෙස ගත හොත් සිසිලියේ මෙසීනා වරායෙන් 1837 දී අපනයනය කළ ලෙමන් යුෂ බැරල් ප්‍රමාණය 740ක්‌ වූ අතර එය 1850 වන විට බැරල් 20,707ක්‌ දක්‌වා ඉහළ ගොස්‌ ඇත.

දොඩම් නිෂ්පාදනවලින් අධික ලාභයක්‌ ලැබිය හැකි බැවින් දොඩම් වගාව මේ කාලයේ දී ඉතා වේගයෙන් ව්‍යාප්ත වී ඇත. ඒ සමග දොඩම් අපනයනය හා ඉන් ලැබෙන ආදායම ද වේගයෙන් වර්ධනය වී තිබේ. එක්‌ වාර්තාවකින් පෙන්වා දෙන ආකාරයට දූපතේ සෙසු ප්‍රදේශවල හෙක්‌ටයාරයක භූමියකින් ලබාගත හැකි ලාභය මෙන් 60 ගුණයක ලාභයක්‌ දොඩම් හා ලෙමන් වගාවලින් ලබාගත හැකි විය.

මාෆියා කල්ලිවල වර්ධනය


මාෆියා (Mafia) කණ්‌ඩායම්වල ආරම්භය සිදු වූයේ ඉතාලියේ එක්‌සත් කිරීමේ ව්‍යාපාරය ආරම්භ වීමට පෙර බව විශ්වාස කරනු ලැබේ. ආරම්භක සමයේ දී ඔවුන් පෙනී සිටින්නේ අසාධාරණයට එරෙහි ව සිටි එඩිතර හා දිරිමත් පිරිසක්‌ ලෙසිනි. සමාජයේ ද ඔවුන් පිළිබඳව නිශේධනීය අදහසක්‌ දැකිය හැකි නො වූ අතර, ඔවුන් විසින් සිදු කරන ලද අපරාධ ලෙස හැඳින්විය හැකි ක්‍රියා සම්බන්ධව පවා ප්‍රාදේශීය ප්‍රජාව ගේ ගෞරවය එම කණ්‌ඩායම්වලට ලැබී තිබේ.

දොඩම් හා ලෙමන් වැනි පලතුරු සඳහා ඇති වූ අධික ඉල්ලුමත් සමග එම පලතුරු අපනයනයෙන් සිසිලි දූපතේ නිෂ්පාදකයන්ට අධික ආදායමක්‌ ලැබිය හැකි වූ ප්‍රදේශවල මාෆියා කල්ලි වර්ධනය වූ ආකාරය උක්‌ත අධ්‍යයනයෙන් අනාවරණය වේ. ඉහත සඳහන් පරිදි ඒ වන විට මාෆියා කල්ලි ඇති වී තිබිණි. එහෙත් ඒවායේ කැපී පෙනෙන ආකාරයේ වර්ධනයක්‌ සිදු වන්නේ දොඩම් හා ලෙමන් වගාවේ ව්‍යාප්තියත් සමග බව ඉහත කී දත්ත ආශ්‍රයෙන් පෙන්වා දී ඇත.

මෙය සිදුවී ඇති ආකාරය මෙසේ සරල ව පැහැදිලි කළ හැකි ය. සිසිලියේ ඉතිහාසය තුළ පෞද්ගලික දේපළ පාලනය පිළිබඳ නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට 1861 දී ඉතාලිය එක්‌සත් වීමෙන් පසුව හෝ ඊට පෙර පැවැති පාලනයට හෝ නොහැකි විය. මේ තත්ත්වයේ ප්‍රයෝජනය ගත්තේ මාෆියා කල්ලිකරුවන් ය. නීතියේ පාලනය දුර්වල වූ පරිසරයක, දොඩම් වගාබිම් විවිධ කොල්ලකරුවන් ගෙන් ආරක්‌ෂා කිරීම, නිෂ්පාදකයා හා අපනයනකරු අතර අතරමැදියන් ලෙස ක්‍රියා කිරීම වැනි කටයුතු මාෆියා කල්ලි මගින් සිදු කර තිබේ. මාෆියා කල්ලි සාමාජිකයන් කුලියට ගැනීමට දොඩම් නිෂ්පාදකයන්ට සිදු වූ බව ද පෙන්වා දී ඇත. ඒ ආරක්‍ෂාව අවශ්‍ය වූ අවස්‌ථාවල දී ය. ඇතැම් අවස්‌ථාවල දී දොඩම් වගාවේ බොහෝ පියවරවලට මාෆියා කල්ලි සාමාජිකයන් දායක වී ඇති අවස්‌ථා පිළිබඳව ද හෙළි වී ඇත.

මේ කරුණු අනුව පෙනී ගොස්‌ ඇත්තේ සිසිලි දූපතේ මාෆියා කල්ලිවල වර්ධනය වීම සඳහා අන්තර්ජාතික ඉල්ලුමේ ප්‍රතිඵලයක්‌ ලෙස ඉහළ ගිය දොඩම් හා ලෙමන් නිෂ්පාදනය හේතු වී ඇති බවයි.

ආර්ථික සාධකවල වැදගත්කම


මේ අධ්‍යයනය විසින් හෙළි කරනු ලබන්නේ ආර්ථික වශයෙන් වැදගත් වූ පාරිසරික හා කෘෂිකාර්මික සාධක නූතන සමාජ දේශපාලන තත්ත්ව හැඩගැසීමේ ලා වැදගත් හා තීරණාත්මක කාර්යයක්‌ සිදු කර ඇති එක්‌ අවස්‌ථාවකි. දොඩම් වැනි නිෂ්පාදනයක්‌ සඳහා ඇති වූ ඉල්ලුම නිසා මාෆියා කල්ලි වැනි ව්‍යqහයක්‌ වර්ධනය වීමට බලපා තිබීම මෙතෙක්‌ නො දැන සිටි, එහෙත් වැදගත් සිදු වීමකි. පසුකාලීනව සිදු වූ මාෆියා කල්ලිවල පරිණාමය හා සමග ඒවා මගින් සිදු ව ඇති අහිතකර බලපෑම ලෝකයේ රටවල් ගණනාවකට ම දැනී ඇති කරුණකි.

මෙය සමාජ හා දේශපාලන ඉතිහාසය සම්බන්ධව මෙන් ම පාරිසරික හා කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධයෙන් ද වැදගත් අධ්‍යයනයක්‌ සේ සැලකිය හැකි ය.

ස්‌කර්වි රෝගය

ස්‌කර්වි (Scurvy) හෙවත් ශීතාද රෝගය යනු ප්‍රමාණවත් තරම් විටමින් සී ප්‍රමාණයක්‌ ආහාර මගින් නො ලැබී යැම නිසා ඇති වන තත්ත්වයකි. මේ රෝගය පිළිබඳව ඈත අතීතයේ සිට වාර්තා වී ඇති එය කලක්‌ බොහෝ බරපතළ රෝගයක්‌ සේ සැලකිණි.

කෙසේ වෙතත් මේ රෝගය වැඩි අවධානයකට ලක්‌ වූයේ දීර්ඝ නාවික ගමන්වල දී නාවිකයන් අතර අධික මරණ ඇති වීමට මේ රෝගය හේතු වූ නිසා ය. මේ නිසා දිර්ඝ මුහුදු ගමන් සීමා කිරීම සඳහා ද මේ රෝගය බලපා ඇත. බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ සේවය කළ වෛද්‍යවරයකු වූ ඡේම්ස්‌ ලින්ඩ් ගේ පරීක්‌ෂණවලින් හෙළි වූයේ අතිරේක ආහාරයක්‌ ලෙස දොඩම් වැනි සිට්‌රස්‌ කුලයේ පලතුරු ලබා දීම මගින් මේ රෝගය සුව කළ හැකි බව ය. 1740 දශකයේ අග භාගයේ දී පමණ ඔහු සිදු කළ මේ පර්යේෂණය ලෝකයේ මුල් ම පාලිත සායනික පරීක්‌ෂණය (controlled clinical experiments) ලෙස සැලකෙන අතර ඒ පිළිබඳව 1753 දී පමණ ප්‍රකාශයට පත් විය. එහෙත් ස්‌කර්වි රෝගය සඳහා ප්‍රතිකාරයක්‌ ලෙස නාවික ගමන්වල දී සිට්‌රස්‌ යුෂ නිත්‍ය ලෙසින් ලබා දීම නාවික හමුදාවල සිරිතක්‌ බවට පත් වීම සඳහා තවත් කලක්‌ ගත වී ඇත.

අද වන විට මේ රෝගය ලෝකයේ දුර්ලභ රෝගයක්‌ සේ සැලකේ. එය මේ වන විට දැකිය හැක්‌කේ ඇතැම් දියුණු වන රටවල මන්දපෝෂණයෙන් පෙළෙන පිරිස්‌ අතර හා ඇතැම් සුවිශේෂ ජන කණ්‌ඩායම් අතර පමණකි. එනම් මානසික රෝගීන්, අසාමාන්‍ය ආහාර රටා ඇති අය, මත්පැනට ඇබ්බැහි වූවන්, වියපත් වූවන් වැනි සමබර තත්ත්වයේ ආහාර වේලක්‌ නො ලබන පිරිස්‌ අතර ය.

මූලාශ්‍රය: The Journal of Economic History, DOI: 10.1017/S002205071700078X

http://www.vidusara.com/2017/12/27/feature4.html

No comments:

Post a Comment