Friday, April 22, 2022

කළුවරේ ජරමරේ (අපේ වර්ෂන් එක)



ධනේෂ් විසුම්පෙරුම

22.04.2022

මේ මම කියන්නේ 1980 ගණන්වල මුල කාලෙ සිදු වූ දෙයක් ගැන. ඒ කාලේ අපි හිටියෙ නුගේගොඩ, නාවල පාරේ අතුරු පාරක පොඩි ඇනෙක්සියක කුලියටයි (ඒ පාරේ මතක මෙතනින් බලන්න). උස බිත්ති තියන පරණ තාලේ ගෙයක්. එහේ අපි පදිංචියට ආවේ 1980 උනත් විදුලිය ගත්තේ 82 විතර. ඒක අපේ අම්ම මැදිහත්වෙලා ඊට අදාළ මුදල් ගෙව්ව නිසයි. ඒ මුදල මාස්පතා අපි ගෙවන ගෙවල් කුලියෙන් කොටසක් හැටියට අඩු කරගත් නිසා සහනයක් උනා (ලයිට් තියනව කියල කුලිය වැඩි කළා වගේ මතක). මේ මං හතරේ පංතියේ හිටපු කාලේ. අක්කා හිටියේ අටේ. (දැන් ඒ පංතිවල ඉන්න අයට වඩා අපි වයසින් එක අවුරුද්දක් වැඩිමල්. මොකද අපේ පංති පටන්ගත්තේ පහළ බාලාංශයෙන්. ඉන්පස්සේ 1 ශ්‍රේණියට)


හරි... දැන් කතාවට.

ලංකාවේ මීට කලිනුත් මේ වගේ ලයිට් කපන වගේම බිඳ වැටෙන කාලවකවානු තිබ්බා. (ඒත් ඒ මේ දැන්වගේ 99.9%ක් නිවාසවලට විදුලිය තිබ්බ කාලයක් නෙවෙයි. මහවැලි ජලවිදුලි බලාගාරත් හැදෙමින් තිබ්බේ. ඒ වගේම 1982 කියන්නේ නියග තිබ්බ කාලයක්)

ඉතින් එහෙම ලයිට් ගිය සමහර රාත්‍රී කාලවල අපට ගෙදර කරන්න වැඩක් නෑ. ඉස්කෝලෙ වැඩ කරන්නත් බෑනෙ. කොට කොටා ඔබ ඔබා ඉන්න ස්මාට් පෝන් තියා ඇනලොග් ඒවත් නෑනෙ. ගෙදර තිබ්බෙ ටෝච් බැටරියෙන් දුවන ගුවන් විදුලි යන්ත්‍රය විතරයිනේ.

ඉතින් එහෙම ලයිට් ගියාම අක්කයි මායි දෙන්නා පටන් ගන්නවා විවිධ ප්‍රසංගයක්. අපි නිදාගත්න ඇඳන් දෙකේ ඉදල තමයි අපි ඒ ප්‍රසංගය කරන්නේ. අපි වැඩිපුරම කරන්නේ සින්දු කියන එක. ටිකක් හයියෙන්. ගීතයෙන් ගීතය කරනවා. එක්කෙනෙක් කියන ගීතයක අන්තිම අකුරෙන් අනෙක් කෙනා සින්දුවක් පටන් ගන්න ඕන. (ගුවන්විදුලයේ ඉරිදාට විකාශනය වූ අම්බිගා ගීතයෙන් ගීතය තිබ්බේ ඒ කාලෙ වෙන්න ඕන).

ඒක පටන්ගනිද්දි මම අනවුන්ස් කරන්නේ "කලුවරේ ජරමරේ" කියලයි. ඒක මරු. සමහර වෙලාවට විදුලිය එනතුරු අපි සෑහෙන ‌‌වෙලාවක් මේ සින්දු කියන වැඩේ කරනවා. අපි පස්සේ දැනගත් පරිදි අල්ලපු ගෙදර කට්ටියත් අපේ ඒ සජීවී වැඩසටහන රසවිඳලා තියනවා. (අනේ මංදා මං සින්දු කියද්දි කොහොම අහන් හිටියද කියලා නම්!)

පසු සටහන - "කළුවරේ ජරමරේ" නමින් වේදිකා නාට්‍යයක් ද වූ බව මම දැනගත්තේ ඒ කාලෙදි හරි, ටික කලකට පසුව එය රූපවාහිනියෙන් විකාශනය වූ පසුවයි. එය විදෙස් නාට්‍යයේ පරිවර්තනයක් බව එදා සිතුනත් ඒ මුල් නාට්‍යය 1960 දශකයේ පීටර් ෂෆර් රචනා කළ Black Comedy නම් නාට්‍ය බව දැනගත්තේ පසුකලකදීය (1). එසේම සිංහල නාට්‍යය ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ අධ්‍යක්ෂණයක් බවත් දැනගත්තේ මෙය ලියන්නට කළ කියැවීමේ දීය (2). විදුලිය නොමැති කාමරයක සිදුවන සිද්ධීන් සමුහයක් ඉදිරිපත් කළ ඒ නාට්‍යයේ විදුලි එළිය නැති අවස්ථා පෙන්වන්නේ විදුලිය තිබියදීය. විදුලිය තිබෙන අවස්ථා පෙන්වන්නේ කළුවරේය! මගේ මතකයේ හැටියට එය හාස්‍යෝත්පාදක නාට්‍යයකි.

(1) Wikipedia, Black Comedy (play), Page last edited on 19 April 2022, https://en.wikipedia.org/wiki/Black_Comedy_(play)

(2) Jayasena, Henry, I bid adieu to Rupavahini, Daily News, 05.09.2007, http://archives.dailynews.lk/2007/09/05/art07.asp