Showing posts with label Sustainable Development. Show all posts
Showing posts with label Sustainable Development. Show all posts

Wednesday, December 28, 2022

ව්‍යාජ පරිසර හිතකාමී බව හෙවත් ‘හරිත හුණු ගෑම’

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2022.12.28, පි.6 (Vidusara)

පසු සටහන: Greenwashing යන වචනය සඳහා 'හරිත ‌හුණු ගෑම' මෙන්ම 'හරිත සේදුම' යන්න ද සුදුසුය.


ඉතා ප්‍රසිද්ධ ජාත්‍යන්තර බැංකුවක් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ධ ස්ථානවල පළ කර තිබූ දැන්වීම් දෙකක් තහනම් කිරීමට එරට වෙළෙඳ දැන්වීම් පිළිබඳ නියාමනය කරන ආයතනය වන දැන්වීම් ප්‍රමිති අධිකාරිය පසුගිය ඔක්තෝබර් මාසයේ දී කටයුතු කළේය. එයට හේතුව වූයේ ඒ දැන්වීම්වලින් පෙන්වන ආකාරයට දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා එම සමාගම කටයුතු කර නොතිබීමයි. මේ දැන්වීම් මගින් සමාගම මගින් ගන්නා පියවර ප්‍රවර්ධනය කිරීමට කටයතු කර තිබුනත් ඒ සමාගම එවැනි කටයුතු සිදු කරන බවට ප්‍රමාණවත් සාධක නොමැති බව බලධාරීන්ගේ මතය වී තිබේ. මේ සිදුවීම අදාළ අධිකාරිය මගින් බැංකුවක පරිසර හිතකාමී ප්‍රචාරණයට ඒරෙහිව ගන්නා ලද පළමු පියවර ලෙස මාධ්‍යවල සඳහන් විය. ඔවුන් මේ පියවර ගෙන ඇත්තේ ලැබුණු පැමිණිලි අනුව කටයුතු කරමිනි.

මේ සිදුවීම නූතන ලෝකයේ පරිසර හිතවාදී ප්‍රවණතාවය වාණිජ ආයතනවලින් අනිසි ලෙස යොදාගන්නා ආකරය පැහැදිලි කරන්නකි. පරිසර හිතකාමී වීම හෙවත් හරිතවත් බව මේ වන විට ව්‍යාපාරවල සේවා හා නිෂ්පාදන සඳහා වැදගත් මෙින් පවතී. විශේෂයෙන් පාරිසරික කරුණු පිළිබඳ සංවේදී වන පාරිභෝගිකයක් අතර කිසියම් භාණ්ඩයක් හෝ සේවාවාක් අලෙවි කිරීමේ දී මෙය ඒ ආයතනලවට වැදගත් වේ. පරිසර හිතකාමී ලේබලයක් තිබීම තරගකාරී ව්‍යාපාර ලෝකයේ දී ඒ භාණ්ට හා සේවාවලට වැඩි අවස්ථාවක් ලැබීම සඳහා හේතු වේ. මේ තත්ත්වය ලෝකය පුරාම දැකිය හැකි ප්‍රවණතාවයක් වන අතර සංවර්ධිත රටවල්වල වඩාත් පැහැදිලිව දැකිය හැකිය.

කෙසේ වෙතත් මේ ආකාරයෙන් ‘පරිසර හිතකාමී’ (eco-friendly), ‘හරිත’ (green) හෝ ‘තිරසර’ (sustainable) යන ලේබල් සහිතව දැක්වෙන නිෂ්පාදන හා සේවා එසේ නොවන අවස්ථා ද පවතී. එවැනි ලේබල් භාවිත කරන ඇතැම් නිෂ්පාදන හා සේවාවන් මෙන්ම ඒ සමාගම් ද එතරම් පරිසර හිතකාමී නොවන බව හෙළි වූ අවස්ථා තිබේ. වෙනත් ආකාරයකින් කියන්නේ නම් ඔවුන් ප්‍රචාරණය කරන එවැනි පිළිවෙත් ඔවුන්ගේ ක්‍රියාකාරිත්වයෙන් නොපෙනේ. එසේ ව්‍යාජ හෙවත් අසත්‍ය ලෙස පරිසර හිතකාමී බව පෙන්වන අවස්ථා ‘හරිත හුණු ගෑම’ (greenwashing) ලෙස හැඳින්වේ. අයහපත් හෝ නරක දේකට හෝ අයෙකුට යහපත් බවක් ආරෝපණය කිරීම හඳුන්වන්නට සිංහල භාෂාවේ එන සුදු හුණු ගෑම ද මෙවැනි අර්ථයක් දෙන්නකි.


හරිත හුණු ගෑමේ ප්‍රතිඵලය


මේ ආකාරයෙන් ව්‍යාජ පරිසර හිතකාමී බවක් දක්වමින් සිදුකර ප්‍රචාරණය මගින් පාරිසරික කරුණු ගැන සංවේදී වන පාරිභෝගිකයා නොමග යැවීමක් සිදු වේ. එවැනි කරුණු පිළිබඳව සැලකිල්ලක් දක්වන, පාරිසරික වශයෙන් සවිඥානික වූ පාරිභෝගිකයන් විසින් අදාළ නිෂ්පාදන හා සේවා තෝරාගන්නේ ඒවා වෙනත් නිෂ්පාදන හා සේවාවලට වඩා පරිසර හිතකාමී බව සිතමිනි. ඒවායින් පරිසරයට සිදුවන බලපෑම් අඩු බව සිතමිනි. ඇතැම් විට ඒ සඳහා වෙනත් ඒ හා සමාන නිෂ්පාදන හා සේවාවලට වඩා වැඩි මිලක් ගෙවීමට ද පාරිභෝගිකයෝ කටයුතු කරති. එහෙත් කටයුතු එය එසේ නොවන විට ඔවුන් උවමනාවෙන්ම නොමග යවා ඇති බව පැහැදිලිය. පාරිසරික පියසටහන අඩු කරගැනීම පිළිබඳව පාරිභෝගිකයන් දක්වන විශ්වාසය බිඳවැටීම කණගාටුදායක සිදුවීමකි. එය සමස්තයක් ලෙස පරිසර හිතකාමී නිෂ්පාදන හා සේවාවල වර්ධනයට ද තර්ජනයක් වේ. එවැනි ව්‍යාජ ප්‍රචාරවලට ‌චෝදනා එල්ල වන්නේ ද අවධානයට ලක් වන්නේ ද මේ නිසාය.

අනෙක් අතට, මහා පරිමාණ බැංකු හා මූල්‍යායතන සම්බන්ධව මීට අදාළව චෝදනා රැසක් ඉදිරිපත් වී තිබේ. ඉන් එකක් වන්නේ ‘හරිත බැංකුකරණයේ’ යෙදෙන බව පෙන්වා දෙමින්, පොසිල ඉන්ධන ආශ්‍රිත කටයුතු සඳහා මුල්‍ය පහසුකම් සැපයීමේ දිගින් දිගටම යෙදීමයි. නව තෙල් හා ගෑස් නිෂ්පාදන ව්‍යෘපෘති ද මේ අතර වේ. විශේෂයෙන් හරිත බැංකුකරණ කණ්ඩායමක් ලෙස හැඳින්වෙන ශුද්ධ ශුන්‍ය බංංකුකරණ සන්ධානයට (Net Zero Banking Alliance) ද එක්ව සිටින මහා පරිමාණ බැංකු මෙසේ සිදු කිරීම ගැටලුවකි. මේ පිළිබඳව අදහස් දක්වා ඇති ක්‍රියාකාරී කණ්ඩායමක් පෙන්වා දී ඇත්තේ එසේ පොසිල ඉන්ධන සමාගම්වලට මුදල් සම්පාදනය කිරීමට පෙර, අදාළ සමාගම්වල හරිත සැලසුම් පිළිබඳව විමසීමට මේ බැංකු කටයුතු කළ යුතු බවයි.

මේ ආකාරයෙන් තමන්ට නැති පරිසර හිතකාමී බවක් මවාගැනීමට යෑම සිදුකරන සමාගම්වල අරමුණ වන්නේ තම ව්‍යාපාර වඩා පරිසර හිතකාමී බවක් පෙන්වීමෙන් ඔවුන්ගේ නිෂ්පාදන හෝ සේවාවලට වඩා වැඩි වෙළෙඳපොලක් ලබාගැනීමටය. එනම් අලෙවිකරණ උපාය මාර්ගයක් ලෙසය. ඒවා ඇත්තෙන්ම පරිසර හිතකාමී ද යන්න විමසා බැලීමට තනි තනි පාරිභෝගිකයන්ට ක්‍රමවේදයක් නැති වීම මෙහි ඇති ගැටලුවයි. මේ ව්‍යාජ හරිතවත් ප්‍රචාරණ හඳුනාගැනීමට හැකි ක්‍රම පිළිබඳව අවධානය යොමුව ඇති අතර, එවැනි ප්‍රචාර නැවැත්වීම සඳහා දැන්වීම් නියාමන අධිකාරීන් තීරණය කර ඇත්තේ ඒ නිසාය.


ව්‍යාජ ප්‍රචාර හඳුනාගැනීමට හැකි ආකාර


ඉන් එකක් වන්නේ ව්‍යාජ තත්ත්ව දැක්වීම හා නොපැහැදිලි භාෂා භාවිතයයි. ‘අඩුම විමෝචන’ නිකුත් කරන බව පැවසූ ගුවන් සේවාවක දැන්වීම් ද, ‘වාතය පිරිසිදු කරන’ මෝටර් රථයක් පිළිබඳ දැන්වීමක් ද මෙවැනි අවස්ථා සඳහා නිදසුන් වේ. එසේම ඇතැම් නිෂ්පාදනයක ඇති අන්තර්ගත ද්‍රව්‍යවලින් ‘ස්වාභාවික’, ‘කාබනික’, ‘පරිසර හිතකාමී’ වන්නේ ඇතැම් ද්‍රව්‍ය පමණක් විය හැකිය. නිෂ්පාදකයක් කුමක් කීවත්, ඒ පවසන දේ සත්‍යය ද යන්න දැනගැනීමට පාරිභෝගිකයක් විමසීමෙන් සිටීම වැදගත් වේ. වරක් භාවිතයෙන් පසු ඉවත දමන ප්ලාස්ටික් බෝතලයක් වැනි නිෂ්පාදනයක ඇති පරිසර හිතකාමී ලේබලයක් පිළිබඳ විශ්වාසය තැබීමට නොහැකි වීම මේ සඳහා උදාහරණයකි.

සුලබ අලංකාර වදන් භාවිතය හා ස්වාභාවික පරිසරයේ ඡායාරූප ආදිය යොදාගැනීම ද මෙවැන්නකි. ‘පරිසර හිතකාමී’, ‘තිරසර’ හා ‘හරිත’ වැනි වදන් භාවිතය පාරිසරික හිතකාමී බව පෙන්වීම සඳහා යොදාගන්නා සුලබ වචන වේ. එ‌හෙත්, අදාළ නිෂ්පාදන හෝ සේවාවලට එවැනි තත්ත්වයක් දැක්වීමට විද්‍යාත්මක සාධක නොමැති අවස්ථා සුලබ බව පෙන්වා දී තිබේ. එවැනි අවස්ථාවල ඒ හා සමාන අනෙක් නිෂ්පාදනවලට වඩා පරිසර හිතකාමී බවක් ඒ ලේබල් කරන ලද නිෂ්පාදනවලට ඇති බවක් ඔප්පු කිරීමට අසමත් වු අවස්ථා ‌ොබහෝය. ඇතැම් ‘100%ක් පරිසර හිතකාමී’ වශයෙන් සඳහන් වන නිෂ්පාදන එසේ නොවන බව පෙන්වා දුන් අවස්ථා රැසකි.

තොරතුරු වසන් කිරීම ද මෙවැනි සමහර නිෂ්පාදනවල සිදුකරන්නකි. ඇතැම් අවස්ථාවල පරිසර හිතකාමී බව වචනවලින් පෙන්වා දෙන නමුත්, එසේ වන්නේ නිෂ්පාදනයෙන් කිසියම් කොටසක් පමණකි. ඇතැම් ක්‍රියාවලි හෝ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු එහි සඳහන් නොවේ. ඇතැම් විට සැපයුම් දාමයේ තිබිය හැකි විමෝචන මෙහි දී සලකා බලා නොමැති විය හැකිය.

‘කාබන් හිලව්කිරීම’ (carbon offsetting) තවත් සුලබ පරිසර හිතකාමී යැයි පැවසෙන කටයුත්තකි. කාබන් හිලව් කිරීම සම්බන්ධ පියවර තවත් මෙවැනි පියවර අතර වේ. එහි දී යම් සමාගමක් තම නිෂ්පාදනයක් නිපදවීමේ දී හෝ සේවාවක් ලබා දීමේ දී නිකුත්වන විමෝචන ප්‍රමාණය හා සමාන විමෝචන ප්‍රමාණයක් වෙනත් ස්ථානයක දී වායුගෝලයෙන් ඉවත් කිරීමට පියවර ගනී. ඒ අදාළ කටයුතු සඳහා ආයෝජනය කිරීමෙනි. කෙසේ වෙතත් විමෝචන අඩුකිරීමක් අවශ්‍යව තිබිය දී මෙසේ කාබන් විමෝචන හිලව් කිරීම පිළිබඳ තත්ත්වය පරිසර ක්‍රියාකාරීන් අතර විවේචනයට ලක්ව ඇත්තේ ව්‍යාජ හරිතවත් බව සඳහා මනා නිදසුනක් ලෙසය.

සත්‍ය අයිතිය ඇත්තේ කාටද යන්න විමසීම තවත් උපක්‍රමයකි. ඇතැම් ව්‍යාජ හරිතවත් ප්‍රචාර හඳුනාගැනීමට හැකි එක් ක්‍රමයක් වන්නේ ඒ ව්‍යාපාරයේ සැබැ අයිතිකරු හදුනාගැනීමයි. ඇතැම් සමාගම් පරිසරය පිළිබඳ අවධානයක් යොමු කරන පාරිභෝගිකයක් ආකර්ෂණය කිරීම සඳහා වෙනම වෙළෙඳනාමයක් සහිත ආයතන යොදා ගනී. එහෙත් ඒවායේ සැබෑ පාරිසරික පියසටහන මැනීමේ දී සැබෑ හිමිකරුවන් හදුනාගැනීම වැදගත් වේ.

එක් නිෂ්පාදයක් පමණක් පරිසර හිතකාමී ලේබලයකින් අලෙවිකරණය කිරීම ද මෙවැනි උපක්‍රමයකි. ඇතැම් සමාගම් තමන්ගේ නිෂ්පාදන අතර එක් නිෂ්පාදනයක් පමණක් පරිසර හිතකාමී ලේබලයක් යටතේ අලෙවි කරන අතර, ඔවුන්ගේ අනෙක් නිෂ්පාදනවල පාරිසරික සලකුණ කෙසේද යන තෙරතුරු සඟවා තබයි. එවිට සමස්තයක් ලෙස ඒ සමාගනේ නිෂ්පාදනවල පරිසර හිතකාමී බව පිළිබඳ ගැටලු ඇති වේ.

ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි බව - ඇතැම් සමාගම් අදාළ නිෂ්පාදන හෝ ඒවායේ ආවරණ ප්‍රතිචක්‍රියකරණය කළ හැකි බව පවසා එය ප්‍රචාරණය කරයි. එහෙත් ඇතැම් නිෂ්පාදනවල ප්‍රතිච්‍රකිය කරණය කළ හැකි බව සඳහන් ලේබල් ඇති නමුත්, එය පහසුවෙන් කළ නොහැකිය. ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදනවල ඇතුළත් සංකීර්ණ ප්ලාස්ටික් වර්ග ප්‍රතිචක්‍රියකරණය කිරීම පහසු නොවීම මීට උදාහරණයකි. ජෛව හායනයට ලක් විය හැකි බව දක්වන ඇතැම් ප්ලාස්ටික් නිෂ්පාදන ද එසේ නොවූ අවස්ථා තිබේ.


නියාමනයක් අවශ්‍ය ඇයි?


එබැවින් විවිධ ව්‍යාපාර විසින් මේ ආකරයෙන් ව්‍යාජ පරිසර හිතකාමී බවක් පෙන්වා හරිත හුණු ගෑමක් මගින් පාරිභෝගකයන් මුලා කිරීම වැළැක්වීමට පියවරක් ගැනීම අවශ්‍ය වේ. අදාළ නියාමන ආයතනවල වැදගත්කම ඇත්තේ එහි දීය. එසේ නොමැති වුවහොත් තමන් ගන්නා ද්‍රව්‍යවල පරිසර හිතකාමී බව පිළිබඳ එවැනි පාරිභෝගිකයන් තබන විශ්වාසය පළුදු වීම සිදුවිය හැකිය. මෙය සමස්තයක් ලෙස තිරසර නිෂ්පානයක් හා පරිභෝජනයක් ඇති කිරීමේ දී හානිකර වේ.

Friday, November 4, 2022

දේශගුණ අර්බුදයෙන් ලෝකය ගලවාගත හැකි ද?

ධනේෂ් විසුම්පෙරුම 

මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවට පෙරවදනක් 


දේශගුණ වෙනස්වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතියේ (UNFCCC) පාර්ශ්වකරුවන්ගේ වාර්ෂික සමුළුව ඊජිප්තුවේ ශාම් එල් ෂෙයික් නගරයේ දී නොවැම්බර් මස 6 දින ආරම්භ කිරීමට නියමිතය. එය උක්ත ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 27 වන සමුළුවයි (COP 27). මේ සමුළුව පැවැත්වෙන්නේ විවිධ ආන්තික කාලගුණ තත්ත්වවලින් ලෝකයම දැඩි ලෙස පීඩාවට ලක් වූ කාලවකවානුවක දී ය. ලෝකයේ බරපතළම පාරිසරික ගැටලුව වන දේශගුණ වෙනස් වීම සම්බන්ධව අද ලෝකය පසුවන්නේ කොතැන ද? මේ පිළිබඳව මෑත දී පළ වූ වාර්තා හා අදහස් කීපයක් විමසීමට අපි සිතුවෙමු. 

උෂ්ණත්ව ඉලක්කය ඉක්මවීම වැළැක්විය නොහැකියි? 


මේ සමුළුව ආරම්භ වීමට පෙර එක්සත් ජාතීන්ගේ ආයතනයකින් අනතුරු හැඟවීමක් සහිත වාර්තාවක් නිකුත් වී තිබේ. ඒ වාර්තාවට අනුව ලෝකයේ ඉහළ යන උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 මට්ටමට ඉක්මවා යා නොදී සීමා කළ හැකි ප්‍රායෝගික ක්‍රියාපටිපාටියක් මේ දක්වා නොමැත. මේ බව පෙන්වා දෙන්නේ එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් නිකුත් කරන ලද වාර්තාවකිනි. එහි සඳහන් වන පරිදි පසුගිය වර්ෂයේ දේශගුණ සමුළුවෙන් පසුව, හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා ඒ ඒ රාජ්‍ය විසින් ලබා දී ඇති සැලසුම් ද මේ උෂ්ණත්ව ඉලක්ක අත්පත් කරගැනීම සඳහා “ප්‍රමාණවත් නොවේ”. ඒ නිසා උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 මට්ටමට සීමා කිරීම ඇත්තේ දැඩි අර්බුදයකය. ‘දේශගුණ හිදැස වාර්තාව 2022’ (Emission Gap Report 2022) නම් මේ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අවශ්‍ය කරන විමෝචන ඉලක්ක හා සත්‍ය තත්ත්වය අතර වෙනසයි. ඊට අනුව කාබන් විමෝචන අඩු කිරීම සඳහා ඇති නව උත්සාහයන්ගේ ප්‍රතිඵලයක් ලෙස 2030 වර්ෂය වන විට ලෝකයේ විමෝචන අඩු වන්නේ 1%ක් තරම් අඩු ප්‍රමාණයකිනි. මෙය අපේක්ෂිත ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු නොසලකා හැරිය හැකි අගයයකි. 

ඉහත කී සෙල්සියස් අංශක 1.5 උෂ්ණත්ව ඉලක්කය අත්පත් කරගැනීමට නම්, වර්තමාන ප්‍රතිපත්ති අනුව 2030 වන විට විමෝචනය වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 45%කින් පමණ අඩු කළ යුතුය. එසේම උෂ්ණත්වය ඉහළ යෑම අංශක 2කට සීමා කිරීමට නම්, 2030 දී නිකුත්වනු ඇතැයි පුරෝකථනය කර ඇති හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය 30%කින් පමණ අඩු කළ යුතුය. මෙය පහසු කරුණක් නොවන බව පැහැදිලිය. ඒ සඳහා කටයුතු කළ නොහැකි වුවහොත් හා තත්ත්වය වෙනස් නොවුවහොත් මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.8කින් පමණ ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් පොරොන්දු වී ඇති, ජාතිකව නිර්ණය කළ දායකත්ව අතර ඇති සියලු ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ හැකි වුව ද ලෝකයේ උෂ්ණත්වය අංශක 2.4ත් 2.6ත් අතර ප්‍රමාණයකින් ඉහළ යා හැකිය. ඒ ඒ රටවල් ප්‍රකාශ කර ඇති, බාහිර මූල්‍ය ආධාර ලැබිය යුතු කොන්දේසි සහිත ක්‍රියාමාර්ග ද ක්‍රියාත්මක කළ හැකිවුවහොත් 2.4ක් ද, කොන්දේසි රහිත ක්‍රියාමාර්ග පමණක් ක්‍රියාත්මක කළහොත් 2.6ක් ද වශයෙනි. 

මේ වනවිට දන්නා පරිදි මේ සෙල්සියස් අංශක 1.5 සීමාව යනු දේශගුණ වෙනස් වීමේ බරපතළ අහිතකර බලපෑම් වැළැක්වීම නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සීමා කළ යුතු අගය ලෙස පැරිස් දේශගුණ ගිවිසුම මගින් ද පිළිගැනෙන ඉලක්කයයි. එය අත්පත් කරගත නොහැකි නම් ඉලක්ක කරගත යුතු අගය ලෙස සඳහන් වන්නේ අංශක 2යි. එහෙත් ඉහත සඳහන් වාර්තාවේ එන අගයයන් ඒ දෙකම ඉක්මවා යයි. 

 මේ අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුටරේස් බීබීසී නාලිකාව සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුනේ ලෝකය දේශගුණ වෙනස්වීම කෙරේ නැවත අවධානය යොමු කළ යුතු බවයි. එසේ නැතහොත්, මහා ව්‍යසනයකට මුහුණ දීමට ලෝකය සූදානම් විය යුතු බව ද ඔහු සඳහන් කර ඇත. මේ අතර ඊජිප්තුවේ විදේශ අමාත්‍ය ෂාමි ෂුක්රි, ද ගාඩියන් පුවත්පතට පවසා තිබුනේ සෙල්සියස් අංශක 1.5 ඉලක්කය මේ වන විට අන් කවරදාටත් වඩා දුර්වල එකක් වී ඇති බවයි. ඔහු මේ සතියේ ඇරඹෙන දේශගුණ සමුළුවේ සභාපති ධූරය දැරීමට නියමිත පුද්ගලයාය. 

පිරිසිදු බලශක්තිය ශක්තිමත් වීම 


එහෙත් තවදුරටත් අපේක්ෂා තබාගත හැකි තත්ත්ව පිළිබඳව ද ඇතැම් වාර්තාවලින් පෙන්වා දී තිබේ. අන්තර්ජාතික බලශක්ති ආයතනයේ (IEA) ‘ජගත් බලශක්ති විමසුම 2022’ (World Energy Outlook 2022) නම් වාර්තාවෙන් පෙන්වා දෙන්නේ ලෝකය මේ අවස්ථාවේ දී මුහුණ දී ඇති තත්ත්වය වඩා තිරසර බලශක්ති පද්ධතියක් සඳහා යොමුවීමට අවස්ථාවක් බවයි. මේ වෙනස්කම් සඳහා බලපා ඇති මූලික සිදුවීම වන්නේ යුක්රේනයේ ඇති වී තිබෙන යුදමය තත්ත්වය නිසා ඇති වී තිබෙන බලශක්ති අර්බුදයෙයි. යුරෝපයේ මෙන්ම ලෝකයේ වෙනත් ප්‍රදේශවල දියුණු කාර්මික රටවල් ගණනාවක්ම පිරිසිදු බලශක්තිය සම්බන්ධ ආයෝජන ඉහළ නැංවීමේ ප්‍රතිපත්තියකට එළැඹීම මේ සඳහා උදාහරණ ලෙස ඒ වාර්තාවේ දක්වා තිබේ. මේ රටවල් අතර බ්‍රිතාන්‍යය හා ජපානය ද වේ. මෙසේ පිරිසිදු බලශක්තිය වෙත යොමු වීම හරිතාගාර වායු විමෝචන අඩු කිරීම සඳහා හේතුවක් ද වේ. 

මෙවැනිම තත්ත්වයක් ‘දේශගුණ ක්‍රියාකාරිත්වයේ තත්ත්වය’ (State of Climate Action 2022) නම් ලෝක සම්පත් ආයතනය (WRI) මගින් නිකුත් කර ඇති වාර්තාවක ද සඳහන් වේ. ඊට අනුව ප්‍රවාහන අංශයේ වඩා තිරසර ඉන්ධනවලට මාරුවීමක් දැකිය හැකිය. මේ පිළිබඳව එහි දැක්වෙන වැදගත් කරුණු කීපයක් මෙසේය. බලශක්ති උත්පාදනය සම්බන්ධව ගත් විට, 2019 හා 2021 වර්ෂ අතර කාලයේ දී ලෝකයේ සූර්යබලයෙන් සිදුවන විදුලි ජනනය 47%කින් ද, සුළං විදුලිබල ජනනය 31%කින් ද ඉහළ ගොස් තිබේ. එසේම ප්‍රහාන අංශයේ දී වෙනස්කම් ඇති වී තිබේ. 2021 වර්ෂයේ දී අලෙවි වූ කාර් රථ අතරින් 9%ක් පමණ විදුලියෙන් ධාවනය වන කාර් රථ වේ. මෙය පෙර වර්ෂයේ අලෙවි වූ ප්‍රතිශතය මෙන් දෙගුණයකි. එසේම 2021 වර්ෂයේ දී අලෙවි වූ මුළු බස් රථවලින් 44%ක් පමණ විදුලි බස් රථ වේ. 2013 දී මේ ප්‍රමාණය 2%ක් පමණ වූ නිසා දශකයක් ඇතුළත දස ගුණයකින් වර්ධනය වී තිබේ. කෙසේ වෙතත්, අප දැක් වූ මුල් වාර්තාවෙන් දැක්වෙන ආකරයට, මේ අපේක්ෂා සහගත පියවරවල පරිමාණය ඇති වී තිබෙන අර්බුදයට ප්‍රමාණවත් ද යන්න මෙම වාර්තාවෙන් ද පෙන්වා දී තිබේ. 2030 වන විට පැරිස් ගිවිසුමේ ඉලක්ක වෙත යෑමට නම් ඒ සඳහා සිදුකරන බොහෝ කාර්ය වේගවත් කළ යුතු මෙහි ද දක්වා තිබේ. 

මූලාශ්‍රය 
 The Closing Window – Climate crisis calls for rapid transformation of societies (Emission Gap Report 2022), www.unep.org/resources/emissions-gap-report-2022 


Wednesday, January 19, 2022

බලශක්ති විවිධාංගීකරණය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 19.01.2022, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2022/01/19/feature3.html

පසුගිය දිනයක විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරියෙකු ජනමාධ්‍යයක් සමඟ සංවාදයකට එක්වෙමින් විදුලි උඳුන් භාවිතයෙන් ආහාර සකස් කරන පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා තිබුණේ රාත්‍රී ආහාරවේල සවස 6ට පෙර පිළියෙළ කරන ලෙසයි. සවස හයෙන් පසුව සිදුවන විදුලි කප්පාදුව එමගින් අවම කරගත හැකි බව දක්වා තිබිණි.

කෙසේ වෙතත් මේ පණිවුඩය අපේ සමාජයේ සැලකිය යුතු පිරිසක් හරිහැටි ග්‍රහණය කරගත් බවක් දැකිය නොහැකිය. ඇතැම් පිරිස් ඒ අදහස සමහරු විවේචනයට ලක් කර තිබිණි. රැකියාවල නියැලෙන පිරිස් වෙසෙන නිවාසවල එසේ කරන්නේ කෙසේද යන්න සමහරුන්ට ගැටලුවක් වී තිබිණි. එහෙත් එසේ නොවන අයට පවා මේ ඉල්ලීම පිළිබඳව ගැටලු තිබූ බව පැහැදිලි විය.

මේ පිළිබඳ වැදගත්ම කරුණ වන්නේ එවැනි ඉල්ලීමක් විදුලිබල මණ්ඩලයේ නිලධාරින් විසින් සිදුකරන ලද්දේ කුමක් නිසාද යන්න නිසාය. ඔවුන් එසේ කියන්නේ අපේ රටේ විදුලි ඉල්ලීම දවස තුළ වෙනස් වන ආකාරය සලකා බලාය. අපේක්ෂා කළ හැකි ආකාරයටම රටේ විදුලි ඉල්ලුම වැඩිම වන්නේ සවස 6 හා 10 අතර කාලයේ දී ය. ඒ අවස්ථාවේ රට පුරාම නිවාසවල විදුලි ආලෝකය, රූපවාහිනී භාවිතය ආදිය ඉහළ යයි. එබැවින් ඒ කාලයේ දී අධික විදුලියක් වැය වන හා වෙනත් අවස්ථාවල දී සිදු කළ හැකි කටයුතුවලින් ඈත් වී සිටීමට පාරිභෝගිකයාට ද හැකිය. ඉවුම් පිහුම් හා රෙදි මැදීම වැනි කටයුතු, එසේ වැලකී සිටිය හැකි අධික විදුලියක් වැයවන කටයුතු අතර වේ. පාරිභෝගිකයන් ඒ පිළිබඳ සැලකිල්ලක් දක්වන්නේ නම්, ජනනය කළ යුතු විදුලිබලය අඩු වන බව පැහැදිලිය. එමගින් ඒ් කාලසීමාවේදී රටේ විදුලි ඉල්ලුම හා සැපයුම තුලනය කළ හැකිවේ.

මේ දිනවල ගැටලුව උග්‍ර වී ඇත්තේ ඇතැම් බලාගාර ඉන්ධන නැතිව ක්‍රියාකරවිය නොහැකිව ඇති නිසාය. මේ හේතුව නිසා රටේ සමහර පැතිවල වැඩිම විදුලිය ඉල්ලුම ඇති කාලය තුළ කෙටි කාලසීමාවල විදුලිය කප්පාදු කිරීමට පියවර ගෙන තිබිණි. ඒ ලබාදිය හැකි විදුලි සැපයුම මගින් රටේ ඉල්ලුම තුලනය කිරීමට අපහසු වන අවස්ථාවල දී ය. මෙරට විදුලි සැපයුමෙන් සැලකිය යුතු දායකත්වයක් සපයන නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය අක්‍රිය වූ අවස්ථාවල දී ද මෙවැනි තත්ත්ව අපි දුටුවෙමු.

ඉහත දැක්වූ විදුලිය අධික ලෙස භාවිත වන ක්‍රියාකාරකම් වන්නේ ඉවුම් පිහුම් කටයුතු, ජලය උණුකිරීම, රෙදි මැදීම ආදි කටයුතුය. විදුලිබලය සම්බන්ධ කටයුතු කරන බලධාරීන් ‌තිරසර ආකාරයෙන් විදුලිය පරිභෝජනය කිරීම පිළිබඳව ජනතාව දැනුම්වත් කරන්නේ කලක පටන්ය. එහෙත් පෙර කී ඇතැම් අදහස් පිළිබඳව විමසිලිමත්ව බැලූ විට අපට පෙනී යන්නේ සබුද්ධිකව හා තිරසර ආකාරයෙන් බලශක්තිය භාවිතය ගැන ප්‍රාමාණික අවබෝධයක් බොහෝ දෙනාට නොමැති බවයි. ‘මයි කාර් - මයි පැට්රෝල්’ යනුවෙන් ප්‍රකට න්‍යාය හැම තැනකටම නොගැලපේ. අප හැමගේම ක්‍රියාකාරකම්වල දී සමස්තයක් ලෙස රට හා සම්පත් පිළිබඳ වගකීමක් තිබේ. ඉහත කී ඉල්ලීම මගින් විදුලිබල බලධාරීන් පෙන්වා දුන්නේ ඒ් කරුණය.

මේ සියලු කරුණු අනුව අපේ සම්පත් තිරසර ලෙස භාවිතය මෙන්ම තිරසරභාවය ගැන අවබෝධය සන්නිවේදනය කිරීම ද තවමත් අභියෝගයක් බව අපට සිතේ.


ඉන්ධන පිළිබඳ අර්බුදය


විදුලි බලයෙන් ඉවීම ගැන යළිත් අවධාන වූයේ බලශක්තිය පිළිබඳ තවත් ගැටලුවක් නිසාය. ඒ ද්‍රව පෙට්‍රෝලියම් වායු හෙවත් ගෑස් භාවිතය සම්බන්ධව ඇතිවූ අවිනිශ්චිත තත්ත්වයයි. ගෑස් සංයුතිය පිළිබඳව ඇති වු ගැටලුවක් නිසා වාර්තා වූ අනතුරුදායක සිදුවීමි මේ සඳහා හේතු විය. එසේම ඒ හා ඇතිවූ ගෑස් හිඟය හේතුවෙන්, ආහාර සැකසීම සඳහා විකල්ප ඉන්ධනවලට යොමුවීම ගෑස් පාරිභෝගිකයන් යොමු විය. මේවා අතර විදුලිය උඳුන්, භූමිතෙල් උඳුන් හා දියුණු කළ දර උඳුන් ආදිය වේ.

මෙරට නිවාසවලින් 78.5%ක් පමණ ඉවුම් පිහුම් සඳහා දර යොදාගන්නා බව සුනිත්‍ය බලශක්ති අධිකාරියේ වෙබ් අඩවිය පෙන්වා දෙයි. එහෙත් ඒ වැඩි වශයෙන් අර්ධ නාගරික හා ග්‍රාමීය නිවාසවල විය යුතුය. නාගරික සමාජයේ වැඩි වශයෙන් භාවිත වන්නේ ගෑස් හා විදුලියයි. ගෑස් නොමැති තත්ත්වයක් තුළ නාගරික ජනතාව වැඩි වශයෙන් යොමු වී ඇත්තේ විදුලිය හා භූමිතෙල් භාවිතයට බව පෙනේ. භූමිතෙල් ලිප්වල මිල ද දෙතුන් ගුණයකින් ඉහළගොස් ඇත. එසේම දියුණු කළ වඩා කාර්යක්ෂම වූ දර ලිප්වල මිල ද ඉහළ ගොස් ඇත. එමෙන්ම නාගරික හා අර්ධනාගරික ප්‍රදේශවල නගරයේ දී දැන් දර මිටියක් රු. 80කට අධිකය. මෙසේ ලිප් හා දර සඳහා ඇති ඉල්ලුම තරමට සැපයුම ප්‍රමාණවත් නොවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවක් පෙනේ.

එක් බලශක්ති ප්‍රභවයක් මත පමණක් යැපෙන විට මේ තත්ත්වය ඇති වේ. එය විදුලි ජනනය මෙන්ම ගෘහස්ත බලශක්ති පරිභෝජනයේ ද එක හා සමානය.


බලශක්ති විවිධාංගීකරණය


එක් බලශක්ති ප්‍රභවයක් හෝ සැපයුම්කරුවෙකු මත යැපීම වෙනුවට විවිධ බලශක්ති ප්‍රභව, සැපයුම්කරුවන් හා සම්ප්‍රේෂණ මාර්ග භාවිත කිරීම බලශක්ති විවිධාංගීකරණය වේ. මෙය කිසියම් රටක බලශක්ති සැපයුම ස්ථාවරව පවත්වාගැනීමට හෙවත් බලශක්ති සුරක්ෂිතතාවයට උපකාරී වන්නකි. එක් බලශක්ති ප්‍රභවයක් මත රැඳී සිටීමෙන් යම් ආකාරයකින් ඒ බලශක්ති ප්‍රභවය හිඟ වීම, සැපයුම බිඳවැටීම හෝ මිල ඉහළ යෑම වැනි තත්ත්වයක් ඇති වුවහොත් රටක බලශක්ති සැපයුම බැඳ වැටීමට හැකිය. මේ තත්ත්වය වළක්වාගැනීමට නම් විවිධ බලශක්ති ප්‍රභව වෙත යොමුවීම වැදගත්ය.

සංකල්පයක් ලෙස මෙය රටක් ලෙස මෙන්ම ගෘහස්ථව වැදගත් බව පැහැදිලිය. ඒ බව පැහැදිලි වූයේ පසුගිය කාලයේ දී ඇති වූ ගෑස් හිගය නිසා ජනතාව ගෑස් පෝලිම්වල බලා සිටින දකින විටය. ගෑස් මගින් පමණක් නිවසේ බලශක්ති අවශ්‍යතා සපයා ගැනීමට පුරුදු වී සිටි ජනතාවට වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයක් නැති බවක් පෙනිණි. එහෙත් මෙහි දී ජනතාවගෙන් පිරිසක් විකල්ප ඉන්ධන වෙත යොමු වී ඇති බව ඉහත දැක්විය. ඒ අතර, ඉන්ධන දර හා භූමිතෙල් වැදගත්ය.

මෙවැනි පරිවර්තනයක් මෑත කාලයේ දී කර්මාන්ත ක්ෂේත්‍රයේ සිදු වූ ආකාරය නිරීක්ෂණය කළ හැකිය. ඒ බොයිලේරු භාවිත කරන කර්මාන්තවලය. මේ බොයිලේරුවල ඉන්ධන ලෙස භාවිත වන්නේ මූලික වශයෙන් ඩීසල් හා පොසිල ඉන්ධනය. එහෙත් ඒ වෙනුවට දැව ඉන්ධන යොදාගැනීම සඳහා වූ ප්‍රවණතාවයක් මෑත කාලයේ දී හඳුනාගැත හැකිය. එයට බලපා ඇති එක්හේතුවක් වන්නේ දර සාපේක්ෂව ලාබදායක ඉන්ධනයක් වීමය. එමෙන්ම පොසිල ඉන්ධන වෙනුවට දර වැනි ජෛව ස්කන්ධ බලශක්ති ප්‍රභව භාවිතය නිසා සාපේක්ෂව පිරිසිදු බලශක්තිය වෙත යොමු වීමකි. එසේම ඒය පුනර්ජනනය කළ හැකි බලශක්තියක් ද වේ. එමගින් අදාළ කර්මාන්තයට ද හරිත ලකුණක් ලැබෙන අතර විමෝචන අඩුවීමක් ද සිදු වේ. මේ නිසා කර්මාන්ත අංශයේ මෙවැනි පිරිසිදු හරිත බලශක්තිය ප්‍රවර්ධනය කිරීමට පිවිතුරු නිෂ්පාදන ජාතික මධ්‍ය්ථානය වැනි ආයතන කටයුතු කර තිබේ. අනෙක් අතට දිවාකාලයේ දී විදුලිය භාවිත කරන ආයතන ගණනාවක් සූර්ය බලයෙන් විදුලිය ලබාගැනීමට යොමු වී තිබීම ද දැකිය හැකිය.

පෙර සඳහන් කළ ආකාරයට නාගරික ප්‍රදේශවල දර ඉන්ධන වෙනුවට ගෑස් භාවිතය ඉහළ ගොස් ඇත. දර හා භූමිතෙල් භාවිතවට සාපේක්ෂව ගෑස් භාවිතයේ ඇති පහසුව මෙන්ම, විදුලිබලයට වඩා සාපේක්ෂව ලාබදායක වීම ඊට හේතුවයි. මේ නිසා ගෙවත්තේ ඉවතලන දැව හා පොල්කටු ආදිය ඉවත දැමීම සිදුවිය. නිවෙස්වල ඉදිකර තිබූ තිබූ පෝරණු ඉවත් කරන ලදි.

කෙසේ වෙතත් ගෑස් භාවිතයේ ඇති තවත් වාසියක් වන්නේ සෞඛ්‍යමය වශයෙන් යම් බලපෑමක් තිබීමයි. දර හා භූමිතෙල්වලට වඩා ගෑස් භාවිතය ගෘහස්ථ වායු දූෂණය අඩු කිරීම සම්බන්ධව වැදගත්ය. වෙනත් ආකාරයකට පවසන්නේ නම් ප්‍රමාණවත් වාතාශ්‍රයක් නොමැති ස්ථානවල දර හා භූමිතෙල් වැනි ඉන්ධන භාවිත කිරීම සෞඛ්‍යයට බලපෑමක් කළ හැකිය. මේ පිරිසිදු බලශක්තිය භාවිතය බොහෝ රටවල් උනන්දු වී ඇති අතර, දර භාවිතයෙන් ඈත් විය නොහැකි අවස්ථාවලදී කාර්යක්ෂම වැඩි දියුණු කළ උඳුන් ආදිය හඳුනවා දීම ද මෙහි දී සිදුකර ඇත.


තිරසර බලශක්තිය


තිරසර බලශක්ති භාවිතයක් රටකට බෙහෙවින් වැදගත්ය. පාරිසරික වශයෙන් තිරසර වීම මේ අතරින් පළමුවැන්නය. එහි දී හරිතාගාර වායු විමෝචන අඩු වීම, විෂ සහිත අපද්‍රව්‍ය ජනනය අවම වීම වැනි කරුණු වැදගත්ය. දෙවැනි වැදගත් කරුණ යන්නේ සමාජ තිරසරභාවයයි. ඊට අයත් වන්නේ ජනතාවගේ දරිද්‍රතාවය අවම කිරීම, ජීවන තත්ත්වය දියුණු කිරීම මෙන්ම බලශක්ති සුරක්ෂිතතාවය වැනි කරුණුය. මෙහි දී බලශක්ති ප්‍රභවවල මිල දරිද්‍රතාවයට බලපාන අතර, ජීවත තත්ත්වය දියුණු කිරීමේ දී බලශක්තියේ ගුණාත්මක බව හා සොඛ්‍යයට ඇති විය හැකි බලපෑම වැදගත්ය. බලශක්ති සුරක්ෂිතතාවය ද ඒ ආකාරයෙන්ම වැදගත්ය. තුන්වන කරුණ වන ආර්ථික තිරසරභාවය ජාතික මට්ටමේ දී මෙන්ම ගෘහස්ථ මට්ටමේ දී ද වැදගත් වේ. රටක බලශක්ති සැපයුම ඒ රටේ ආර්ථිකයට දරාගත හැකි මට්ටමක එකක් විය යුතුය. අපේ රටේ විදුලි සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් දිගුකාලයක් තිස්සේ සපයන ලද්දේ ජලවිදුලි බලයෙනි. එය ලාබදායක විය. ඒ කාලයේ දී ඇතැම් දේශපාලනඥයන් ප්‍රකාශ කර තිබුනේ ඉන්දියාවටත් විදුලිය දිය හැකි බවයි. එහෙත් රටේ විදුලි ඉල්ලුම ඉහළ යෑමත් සමඟ දැන් රටේ විදුලි අර්බුදයක් කලින් කල ඇති වේ. අද වන විට අපේ රටේ දැන් විදුලි සැපයුමෙන් සැලකිය යුතු ප්‍රමාණයක් සැපයෙන්නේ ගල්අඟුරුවලිනි. එය වැදගත් වන්නේ ගල්අඟුරු තවමත් ලාබදායක ඉන්ධනයක් වන නිසාය. එහෙත් එය පාරිසරික වශයෙන් බලපෑම් කරන්නම් වන බැවින් වර්තමාන ලෝකය ගල්අඟුරුවලින් ඈත්වීමට සුදානම් වෙමින් තිබේ.

Wednesday, March 10, 2021

ලෝක ආහාර නාස්තියේ තරම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.03.10, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2021/03/10/feature2.html

ආහාර නාස්තිය යනු ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ ඉතා වැදගත් අංශයකි. ආහාර නාස්තිය නිසා ප්‍රයෝජනයට ගත හැකි ආහාර විශාල ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකිව අපතේ යයි. ආහාර නාස්තිය යනු සම්පත් නාස්තියක් බැවින් එය තවත් අංශ ගණනාවකට ද බලපාන්නකි.

මේ පිළිබඳ පසුගිය දා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආහාර අපද්‍රව්‍ය සුචිය 2021 වාර්තාව’ (Food Waste Index Report 2021) නම් වාර්තාව අනුව, ජගත් මට්ටමේ ආහාර නාස්තියේ තරම ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකිය. මේ විෂය පිළිබඳව සිදුකරන ලද වැඩිම දත්ත ප්‍රමාණයක් පාදක කරගත් වාර්තාව ලෙස මෙය හැඳින්වෙයි.

මේ වාර්තාවේ දී ආහාර නාස්තිය සලකා ඇත්තේ ආහාර සිල්ලර අලෙවියේ දී, ආහාර සැපයුම් සේවා (ආපනා ශාලා ආදි) සහ ගෘහස්ථ මට්ටමේ දී අපතේ යන ආහාර ප්‍රමාණයයි. (ආහාර නාස්තියට යන පුළුල් අර්ථදැක්වීමට ආහාර නිෂ්පාදනයේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් ජාලයද අයත් වෙයි).


ආහාර නාස්තිය


මේ වාර්තාවේ පෙන්වා දී ඇති ආකාරයට 2019 වර්ෂයේ දී ලෝකයේ අපතේ ගොස් ඇති ආහාර ප්‍රමාණය හෙවත් ආහාර නාස්තිය ටොන් මිලියන 931ක් පමණ වේ. එය ටොන් 40 ප්‍රමාණයේ ට්‍රක්රථ මිලියන 23කට පිරවිය හැකි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයට සමානය. එම වාහන ප්‍රමාණය එකිනෙකට යාව සිටින ලෙස පෙළගැස්වුවහොත් ලෝකය වඩා සත් වරක් පමණ පෙළගැස්විය හැකිය.

ආහාර අපතේ යන ස්ථානය අනුව ගත් විට තත්ත්වය මෙසේය. මේ අපතේ යන ආහාර අතරින් 61%ක් පමණම නාස්ති වී ඇත්තේ ගෘහාශ්‍රිතව හෙවත් නිවෙස්වල දී ය. ආපනශාලා ආදියේ දී නාස්ති වී ඇති ප්‍රමාණය 26%කි. එසේම, තවත් 13%ක් පමණ අපතේ ගොස් ඇත්තේ වෙළෙඳසැල්වල දීය.

මේ අනුව 2019 වර්ෂයේ ලෝකයේ මුළු ආහාර නිෂ්පාදනයෙන් 17%කට අධික ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. මේ අතරින් 11%ක් පමණ නිවෙස්වල දී ද, ආපනශාලා ආදි ආහාර සැපයුම් සේවාවලදී 5%ක් පමණ ද, වෙළෙඳසැල්වල දී 2%ක් පමණ ප්‍රමාණයක් ද අපතේ ගොස් තිබෙයි. (මේ හැර, ගොවිපොළ මට්ටමේ දී හා ගොවිපොළේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් මාර්ගයේ දී අපතේ යන ආහාර ප්‍රමාණය ද ගත් විට ලෝකයේ මුළු ආහාර නාස්තිය ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්න විය හැකිය.)

මේ තත්ත්වය ඒක පුද්ගල මට්ටමෙන් ද දැක්විය හැකිය. එක් පුද්ගලයෙකු වර්ෂයකට කිලෝග්‍රෑම් 74ක් පමණ ප්‍රමාණයක් නාස්ති කරයි. ආහාරයට ගත හැකි එහෙත් නාස්තිවන ද්‍රව්‍ය ප්‍රමාණය සලකන්නේ නම්, මේ ප්‍රමාණය එක්සත් රාජධානියේ දී එක් නිවසකට එක් සතියකට ආහාරවේල් අටකට සමාන ප්‍රමාණයකි. මේ ඒක පුද්ගල ආහාර නාස්තියේ අගය, මීට පෙර 2011 වර්ෂයේ දී ගණනය කරන ලද ආහාර නාස්තියේ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ ඉහළ අගයකි.


නාස්තිය සිදුවන්නේ කොතැනකද?


සාමාන්‍යයෙන් විශ්වාසය අනුව ආහාර නාස්තිය බරපතළ ලෙස සිදුවන්නේ දියුණු රටවලය. ඒ රටවල දැකිය හැකි අධිපරිභෝජනවාදී ජීවන පිළිවෙත මේ සඳහා හේතුවෙයි. එබැවින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පරිභෝජනය කරන එවැනි රටවල ආහාර නාස්තියක් සිදුවීම අපේක්ෂා කළ හැකිය.

කෙසේ වෙතත් මේ වාර්තාවේ සැලකිල්ලට ගත් සියලු ප්‍රදේශවලම සැලකිය යුතු ආහාර අපතේයෑමක් සිදු වන බව පෙනේ. ඊට දියුනු රටවල් ද අයත්ය. මේ වාර්තාවේ උපුටා දක්වා ඇති ශ්‍රී ලංකාවේ දත්ත අනුව ගෘහාශ්‍රිතව අපතේ යන ආහාර ප්‍රමාණය වර්ෂයකට, පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 76ක් පමණ වේ. මෙය 2016 වර්ෂයේ දී පළ වූ සමීක්ෂණයකින් ලබාගත් දත්තය. එහි පෙනෙන පරිදි, මෙරට ඒ ඒ ප්‍රදේශ අනුව ආහාර නාස්තියේ සැලකිය යුතු වෙනස්වීමක් ද දැකිය හැකිය.

මේ වාර්තාවේ යම් යම් සීමා ද ඇත. නිදසුනක් ලෙස දියුණු වන රටවල මේ පිළිබඳව ඇති දත්තවල අඩුවක් සහ හිදැස් පවතී. නිදසුනක් ලෙස දියුණු රටවල දත්ත අනුව ආහාරවල ආහාරයට ගත හැකි කොටස් හා ආහාරයට ගත නොහැකි කොටස් කෙතරම් අපතේ යන්නේ ද යන්න හඳුනාගත හැකිය. එහෙත් දියුණු වන රටවල එම නාස්තිවන ප්‍රමාණ වෙන් කර ගැනීමට දත්ත ප්‍රමාණවත් නැත. කෙසේ වෙතත් දියුණු වන රටවලදී ආහාරයට ගත හැකි ආහාර අපතේ යන්නේ අඩුවෙන් බව දක්වා ඇත.

මෙහි දී පෙනී ගොස් ඇති තවත් කරුණක් වන්නේ COVID-19 නිසා සීමා පනවා තිබූ සමයේ දී ඇතැම් රටවල මේ ආහාර නාස්තිය විශාල ප්‍රමාණයෙන් අඩු වූ බවයි. විශේෂයෙන් ගෘහාශ්‍රිත ආහාර නාස්තිය 2019 වර්ෂය හා සංසන්දනය කරන විය මෙසේ අඩු වී ඇත. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම නිසා ආහාර පරිභෝජනයේ ඇති වූ වෙනස්කම්ය. සැලසුම් කර ආහාර ලබා ගැනීම, ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම වැනි පියවර මේ සඳහා දායක වී ඇත.


ආහාර නාස්තියේ පරිසර සලකුණ


ආහාර නාස්තිය යනු හුදෙක් ආහාර අපතේ යෑම පමණක් නොවේ. එය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර සලකුණට ද හේතු වේ. ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා භූමිය අවශ්‍යය. මේ නිසා අලුතින් ඉඩම් සඳහා ඇති ඉල්ලුම නිසා ස්වාභාවික පරිසරය හා ඒවායේ ජෛව විවිධත්වය තර්ජනයකට ලක්ව ඇත. (වර්තමානයේ අපේ රට මේ තත්ත්වය භුක්ති විඳිමින් සිටියි). මේ අපතේ යන ආහාර ප්‍රමාණය අඩු කළ හැකි නම්, ඉඩම් සඳහා ඉල්ලුම අඩු වන අතර ඒ නිසා ජෛව විවිධත්වයට ද ඇති තර්ජනය ද අඩු වේ.

අනෙක් අතට ආහාර නිෂ්පාදනය යනු පරිසර බලපෑමක් ඇති ක්‍රියාවලියකි. ඒ සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී මෙන්ම භාවිතයේ ද සැලකිය යුතු පරිසර දූෂණයක් සිදුවෙයි. ආහාර නාස්තිය අඩු කළ හැකි නම්, වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ දී ඇති වන මේ පරිසර දූෂණය අඩු කළ හැකිය.

එසේම නාස්තිවන ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන මුලු හරිතාගාර වායු විමෝචන අරින් 8-10%ක් පමණ වන බව පැවසෙයි. එසේම කෘෂිකර්මයේ දී නිකුත්වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ද ඉහළය. ආහාර නාස්තිය අවම කළ හැකි නම්, හරිතාගාර වායු විමෝචන ද අඩුකළ හැකිය.

ආහාර නාස්තියක් සිදුවන අතර, ලෝකය පුරා විවිධ රටවල ප්‍රමාණවත් ආහාරයක් නොලැබී කුසගින්නේ පසුවන පිරිස ද මහත්ය. නාස්තිය අවම කළ හැකි නම්, මේ පිරිස‌ට ආහාර ලබා දිය නොහැකි ද යන්න අවධානය යොමු කළ යුත්තකි.


ආහාර නාස්තිය වළක්වමු


අපට අපගේ පාරිසරික පියසටහන අඩු කළ හැකි පහසුම ක්‍රියාවක් ලෙස අපේ ආහාර නාස්තිය අඩු කිරීම සැලකේ. එහෙත් එය එතරම් අවධානයට ලක් කර නොමැති අංශයකි. මෙහි දී රාජ්‍ය හා පුද්ගලික අංශයට කළ හැකි කටයුතු ද ඇති නමුත්, තනි පුද්ගලයින්ට ද කළ හැකි කාර්යයක් ද ඇත. එහෙයින් ආහාර නාස්තිය ගැන ජනතාව දැනුම්වත් කිරීම වැදගත් කරුණකි.

ආහාර නාස්තිය අඩු කළ හැකි පියවර කීපයක් මෙසේ දැක්විය හැකිය.

  • ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගන්නා විට පරිභෝජනයට ගන්නා තෙක් තබා ගත හැකිද යන්න ගැන සැලකිලිමත් වීම - උදා: මේරූ එළවළු හා අධික ලෙස ඉඳුණු පලතුරු වැඩි කාලයක් තබා ගත නොහැකිය. එසේම කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍යද මිලදී නොගත යුතුය.
  • අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආහාර මිලදී ගැනීම - ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ ලයිස්තුවක් සකස් කරගෙන ආහාර මිලදීගැනීමට යෑම යෝග්‍යය. එහි දී, නිවසේ තිබේ නම් ශීතකරණය පරීක්ෂා කිරීම ද වැදගත්ය.
  • නිවසට රැගෙන ආ ආහාර ද්‍රව්‍ය භාවිතය තෙක් ආරක්ෂිතව ගබඩා කිරීම - ශීතකරණයේ තැබිය යුතු ද්‍රව්‍ය එහි ද, වියළි ස්ථානවල තැබිය යුතු ද්‍රව්‍ය එවැනි ස්ථානවලද ලෙස.
  • කෑම පිසීමේදී ආහාර ගැනීම සඳහා සිටින පිරිසේ ගණනට හා ආහාර ගන්නා වේල් ගණනට සෑහෙන ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයක් තෝරා ගැනීම. සහල් හා වෙනත් ප‍්‍රධාන ආහාරවල මැනීම කළ හැකිය.
  • ආහාර පිසීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් පිසීම - ආහාර අපතේ යන එක් ක‍්‍රමයක් වන්නේ අධික ලෙස පිසීමයි (රොස්වූ ආහාර).
  • පිඟානට ආහාර බෙදාගැනීමේදී ආහාරයට ගත හැකි යැයි සිතන ප‍්‍රමාණයට පමණක් ආහාර බෙදා ගැනීම. පළමුව ආහාර අඩු ප‍්‍රමාණයක් බෙදාගෙන එය ආහාරයට ගත් පසු යළිත් බෙදාගැනීම යෝග්‍යය.
  • ආහාර බෙදාගැනීමෙන් පසුව ඉතිරි වූ නැවත පරිභෝජනයට ගත හැකි ආහාර ද්‍රව්‍ය සුදුසු පරිදි තබා ඊළඟ ආහාර වේල සඳහා යොදා ගැනීම.
  • පරිභෝජනයට නොගන්නා ආහාර ද්‍රව්‍ය හිතවතුන්ට හෝ ආහාර අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීම.
  • ඇතැම් ඉතිරි වූ ආහාර ද්‍රව්‍ය ඉවත නොදමා වෙනත් ආහාර පිළියෙළ කිරීමට යොදා ගත හැකිය - බත් හා ඉඳි ආප්ප වියළා රසකැවිලි තැනීම මීට නිදසුනකි.

මූලාශ්‍රය - UNEP Food Waste Index Report 2021

https://www.unep.org/resources/report/unep-food-waste-index-report-2021

Wednesday, December 16, 2020

ජෛව ස්කන්ධය ඉක්මවා ගිය මානවකෘත ස්කන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.12.16, පි. 9

http://www.vidusara.com/2020/12/16/feature4.html





පෘථිවිය මත පවත්නා මිනිසුන් විසින් නිෂ්පාදනය කරල ලද ද්‍රව්‍යවල ස්කන්ධය හෙවත් මානවකෘත ස්කන්ධය මේ වර්ෂය වන විට පොළාව මත ඇති සමස්ත ජෛව ස්කන්ධයට වඩා අධික බව පසුගියදා නිකුත් වු අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි.

1900 වර්ෂයේ දී ලෝකයේ මානවකෘත ස්කන්ධය තිබී ඇත්තේ ගිගා ටොන් 35ක් පමණ අගයකය. එය එකල ලෝකයේ පැවති සමස්ත ජෛව ස්කන්ධයෙන් 3%ක් තරම් වී ඇත. එහෙත් මේ මානවකෘත ස්කන්ධය 2020 වන විට ටෙරාටොන් 1.1ක් (ගිගාටොන් 1100ක්) පමණ තෙක් වර්ධනය වී ඇත. එ් අනුව 2020 වර්ෂය හෝ ඊට වසර 6ක් එහා මෙහා වූ කාලයක් ඇතුළත ලෝකයේ මානවකෘත ස්කන්ධය, ජෛව ස්කන්ධයෙහි බර ඉක්මවා ගොස් ඇත.


මානවකෘත ස්කන්ධය හා ජෛව ස්කන්ධය


මෙහිදී මානවකෘත ස්කන්ධය (anthropogenic mass) ලෙස සලකා ඇත්තේ මිනිසුන් විසින් නිපදවනු ලැබූ ද්‍රව්‍යවල ස්කන්ධයයි. ඊට මිනිසුන් විසින් නිෂ්පාදනය කරනු ලබන අප්‍රාණික වූ ඝන ද්‍රව්‍යවල ස්කන්ධය ඇතුළත්ය. එසේම විනාශ කර දැමු හා භාවිතයෙන් ඉවත් කරන ලද ද්‍රව්‍යවල ස්කන්ධය ඊට ඇතුළත් නොවේ. බර ලෙස සලකා ඇත්තේ ජලය නොමැති වියළි බරය. ස්වාභාවික පරිසරයේ ද්‍රව්‍ය ප්‍රවාහයෙන් ආරම්භ වී සමාජආර්ථික පද්ධතියට එක් වන මේ ද්‍රව්‍යවල ස්කන්ධය මානවකෘති හෙවත් මෙවලම් (artefacts) ලෙස එකතු වීම සිදුවේ. මේ මානවකෘත ස්කන්ධය යනු භෞතික තාක්ෂණගෝලයට (physical technosphere) ඇතුළත් වන ඇසට පෙනෙන අප්‍රාණික සංඝටකය ලෙස ද හැඳින්විය හැකිය.

මේ මාකවකෘත ස්කන්ධය කාණ්ඩ හයකට බෙදා දක්වා තිබෙයි. ඒ කොන්ක්‍රීට්, මිශ්‍රණ ද්‍රව්‍ය (aggregate - මාර්ග හා ගොඩනැගිලිවල පදනම් සඳහා යොදාගන්නා බොරළු හා වැලි වැනි ද්‍රව්‍ය), ගඩොල්, ඇස්ෆෝල්ට් (asphalt - තාර ඇතුළත් කාණ්ඩය), ලෝහ යන ප්‍රධාන අංශ පහක් හා දැව, වීදුරු හා ප්ලාස්ටික් ඇතුළත් අතිරේක කාණ්ඩයක් ලෙසය. මේ කාණ්ඩවලට සමස්ත මානවකෘත ස්කන්ධයෙන් 98%ක් පමණ අයත් වෙයි. කෙසේ වෙතත් මේ ද්‍රව්‍ය උකහාගැනීමේ ක්‍රියාවලියේදී භාවිත නොකරන ද්‍රව්‍ය මෙහිදී ගණන් බලා නැත. නිදසුනක් ලෙස ගතහොත් ඉදිකිරීම් කර්මාන්තයේදී කනිනු ලබන ගල් හා පස් මෙන්ම දැව කර්මාන්තයේදී භාවිත නොකරන කොටස් මීට ඇතුළත් නොවෙයි. එමෙන්ම ඉදිකිරීම් සඳහා යොදාගනු ලැබෙන කාර්මික දැව මානවකෘත ස්කන්ධය තුළට ඇතුළත් කරගෙන ඇත්තේ එය මිනිසුන් විසින් තැනූ මානවකෘති හෙවත් මෙවලම් තුළ ඇතුළත් වන නිසාය.

මේ මානවකෘත ස්කන්ධය ගණන්බලා ඇත්තේ 1900 වර්ෂයේ සිට වන අතර, එය එහි ආරම්භක අගය සේ සලකා ඇත. ඒ වර්ෂයේ දී මානවකෘත ස්කන්ධය ගිගාටොන් 35ක් ලෙස ගණනය කර ඇත්තේ 1820-1900 අතර කාලයේ ද්‍රව්‍ය ප්‍රවාහ දත්ත භාවිත කරමිනි. (1820 දී මානවකෘත ස්කන්ධය ශුන්‍ය වූ ලෙස සලකා ඇත. ඊට පෙර තිබූ සමුච්චිත මානවකෘත ස්කන්ධය ඉතා සුළු ප්‍රමාණයක් වූ බැවින් 20වන සියවසේ ඇති වූ වර්ධනය පිළිබඳ ගණනය කිරීමට ඉන් සිදුකරන බලපෑම නොවැදගත් සේ සලකා ඇත.).

ජෛව ස්කන්ධය යනු පෘථිවිය මත දැකිය හැකි ජීවීන්ගේ සමස්ත ස්කන්ධයයි. මේ අධ්‍යයනය සඳහා වියළි ජෛව ස්කන්ධය යොදාගෙන ඇත. අදාළ වූ කාලය වූ 1900 සිට 2017 දක්වා කාලයේ ලෝකයේ ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී විවිධ ප්‍රවේශවලින් ලබාගත් ජෛව ස්කන්ධ ගණනය කිරීම් ආශ්‍රයෙන් සංකලනය කළ අගයක් යොදාගෙන තිබෙයි. මුලින්ම එහිදි ගණනය කර ඇත්තේ ශාක ජෛව ස්කන්ධයයි. එය සමස්ත ජෛව ස්කන්ධයෙන් 90%ක් පමණ ප්‍රමාණයක් වෙයි. පාංශු කාබන් යනු සජීවී ජෛව ස්කන්ධයක් නොවන බැවින් එය මෙම ගණනය කිරීමේදී සලකා බලා නැත. ශාක නොවන ජෛව ස්කන්ධය ගණනය කිරීමේදී ක්ෂුද්‍ර ජීවීන්ගේ ජෛව ස්කන්ධය ද ඇතුළත් කර ඇත.

මෙම මානව භෞතික තාක්ෂණගෝලයට ඇතුළත් වන ජෛව ස්කන්ධයක් ද තිබේ. ඊට අයත් භෝග වගා, පශු සම්පත වැනි දෑ මානව අවශ්‍යතා සඳහා නිෂ්පාදනය වන නමුත් මෙහි දී ඒවා ඇතුළත් කර ඇත්තේ ජෛව ස්කන්ධයටය.

මානවකෘත ස්කන්ධ අපද්‍රව්‍ය (anthropogenic mass waste) ප්‍රමාණය ද මානවකෘත ස්කන්ධයට එකතු කර සැලකුවහොත් ඒවායේ එකතුව ජෛව ස්කන්ධය ඉක්මවා ගොස් ඇත්තේ 2013 වර්ෂයේදී පමණ බව ද මෙහිදී හෙළි වී ඇත. එමෙන්ම ජෛව ස්කන්ධය සඳහා තෙත් ජෛව ස්කන්ධය ගතහොත් මානවකෘත ස්කන්ධය එය ඉක්මවා යෑම සිදුවන්නේ 2037 වර්ෂයේදී ය.


වැදගත් කරුණු කීපයක්


මෙම අධ්‍යයනයෙන් අනාවරණය වූ වැදගත් කරුණු කීපයක් මෙසේ දැක්විය හැකිය.
  • 1900 සිට මේ දක්වා ලෝකයේ සිදු වූ මානවකෘත ස්කන්ධයේ ඉහළ යෑම ගැන සැලකූ විට එම ස්කන්ධය සෑම වසර විස්සකට පමණ වරක් දෙගුණ වී ඇත.
  • මානවකෘත ස්කන්ධය ඉහළ යන වේගය වෙනත් ආකාරයකින් දක්වන්නේ නම්, එක් මිනිසෙකුගේ බරට වඩා අධික මානවකෘත ස්කන්ධයක් සතියක් තුළ දී නිපදවේ.
  • ලෝකයේ ඇති ප්ලාස්ටික්වල ස්කන්ධය (අපද්‍රව්‍ය සමඟ) සියලු භෞමික සතුන් හා සාගර ජීවීන්ගේ ස්කන්ධයට වඩා අධිකය. ලෝකයේ ප්ලාස්ටික් ගිගා ටොන් 8ක් පමණ ඇති අතර, ජීවත්වන සියලු සතුන්ගේ ජෛව ස්කන්ධය ගිගාටොන් 4ක් පමණ වෙයි.
  • මානවකෘත ස්කන්ධය කැපී පෙනෙන ලෙස වර්ධනය වූ අවස්ථා හඳුනාගත හැකිය. 1950 දශකය මැද පමණ සිට කොන්ක්‍රීට් භාවිතය පුළුල්වීම මෙන්ම 1960 දශකයේ දී පදිකවේදිකාවල ඇස්පාල්ට් ඇතිරීම ප්‍රචලිතවීමත් සමඟ මානවකෘත ස්කන්ධයේ කැපීපෙනෙන වර්ධනයක් ඇති වී තිබෙයි. එසේම දෙවන ලෝක සංග්‍රාමය අවසන් වු පසුව උදා වූ වර්ෂවල මානවකෘත ස්කන්ධයේ ඇති වූ 5%ක පමණ වර්ධනයක් ඇති වී ඇත. එයට හේතු වී ඇත්තේ සම්පත් පරිභෝජනය මෙන්ම නාගරික සංවර්ධනය වේගවත් වීමයි. එය “මහා වේගවත් වීම” (Great Acceleration) ලෙස ද හැඳින්වෙයි.
  • එසේම ලෝකයේ ඇති වූ ආර්ථික අවපාත කාලවලදී මානවකෘත ස්කන්ධයේ අඩුවීමක් දැකිය හැකිය. 1930 දශකයේ ඇති වූ “මහා අවපාතය” (Great Depression) කාලයේ හා 1979 ආසන්න කාලයේ දී පමණ ඇති වූ තෙල් අර්බුදයේ දී ද මේ අඩුවීම දැකිය හැකිය.
  • කෙසේ වෙතත් ජෛව ස්කන්ධයේ දැකිය හැක්කේ වඩා අඩු වෙනසකි. 1900 සිට මේ දක්වා ගත වූ කාලයේදී ජෛව ස්කන්ධයේ සුළු අඩු වීමක් දැකිය හැකිය.
  • අද දැකිය හැකි වේගයෙන් මිනිසුන්ගේ නිෂ්පාදනය වර්ධනය වුවහොත් 2040 වර්ෂය වන විට මිනිසුන් විසින් නිපදවන ලද මානවකෘත ස්කන්ධය ටෙරාටොන් තුනක් පමණ විය හැකිය.
  • නුතන ජනගහනයට අවශ්‍ය ශාක වැවීම නිසා ජෛව ස්කන්ධය ඉහළ ගොස් ඇති බව සත්‍ය වන නමුත්, වන විනාශය හා භූමි භාවිතය ආශ්‍රිත වෙනත් කටයුතු නිසා අහිමි වී ඇති ජෛව ස්ක්න්ධය ඊට වඩා අධිකය.


මානව බලපෑමේ තරම


සරලව පවසන්නේ නම් මේ මානවකෘත ස්කන්ධය ඉහළ යන්නේ පරිභෝජනය ඉහළ යෑම සහ නාගරික සංවර්ධනය නිසාය. එසේම මේ අධ්‍යයනය ලෝකයේ මානව පියසටහනේ තරම පෙන්වා දෙන්නකි. එය මිනිසා විසින් පෘථිවිය මත ඇති කර තිබෙන බලපෑමේ තරම පෙන්වා දෙයි. මිනිසා ලෝකය වෙනස් කිරීමට සිදුකර ඇති දායකත්වය ගැන සාධක සපයන්නකි.

මේ වන විට මිනිසා ලෝකය වෙනස් කිරීම සඳහා සිදුකර ඇති කාර්යය මෙහි දී පැහැදිලි වේ. එසේම මිනිසා සහ සොබාදහම අතර ඇති සමතුලිතතාවය සම්බන්ධව කටයුතු කිරීමේ ඇති වැදගත්කම මෙයින් යළිත් අවධාරණය කරනු ලැබෙයි.

මේ අධ්‍යයනය වර්තමාන වකවානුව මානව යුගය (Anthropocene) ලෙස නම් කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාවට සහයෝගයක් ලබා දෙයි. එය මිනිසුන් විසින් ලෝකයේ සිදු කර තිබෙන වෙනස්කම් පෙන්වන්නකි. මේ අධ්‍යයනය මගින් මානව බලපෑමෙන් ඇති වු මානව යුගය සම්බන්ධව ස්කන්ධය පාදක කරගත්, ප්‍රමාණාත්මක හා සංකේතාත්මක ලක්ෂණයක් පෙන්වා දෙන බව පර්යේෂකයන් විසින් සඳහන් කර තිබේ.

(මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-020-3010-5)


Sunday, November 8, 2020

When achieving SDG becomes A global initiative

Dhanesh Wisumperuma


The Nation, 11.10.2015

http://nation.lk/online/2015/10/10/when-achieving-sdg-becomes-a-global-initiative/

Although some countries argue that there are too many goals and targets, this development agenda seems to address most aspects of sustainable development

Anew set of globally accepted development goals was adopted during the United Nations Sustainable Development Summit held in New York during the last week of September 2015. These goals, known as ‘Sustainable Development Goals’ and also as ‘Global Goals’ will be the core of the future development agenda of the world.

These development goals have links to the Millennium Development Goals, which were globally accepted in 2000 as the global development goals and, were the base of the development agenda for the period up to 2015. Several programs were implemented in the world to achieve these targets. However it was obvious by early 2010s, that the achievement of these goals and the targets may be significantly different from country to country – some countries were on track to achieve at least some of the goals while some weren’t. It was clear some of the targets weren’t achievable, such as the target on biodiversity loss. Also there were few major setbacks from the onset – as MDGs were considered as targets to be achieved mainly by the developing countries and the fact that they overlooked vital areas that required attention in a development agenda, such as economic development and rights issues.

In this backdrop, the establishment of a new post-2015 development agenda was discussed during the UN Sustainable Development Conference (Rio+20 Summit) in 2012. An open working group aimed to draft a new development agenda and a set of development goals was also created at Rio+20 Summit. The process of this working group is known as one of the largest discussion processes and the present set of goals, the Sustainable Development Goals (SDGs), are a result of this activity.


The SDGs consists of 17 goals and 169 targets that detail the achievable targets under each goal (See box). The SDGs have certain advantages when compared to the MDGs. SDGs target a wide variety of areas that are related to development; SDGs are a set of universal goals designed for all countries. Since these are a fresh set of goals, it can provide a re-start of the development process of the countries.

The SDGs are applicable from January 2016 and the targets are to be achieved by 2030, within a 15 year period. These goals cover almost all vital areas of development agenda – poverty, hunger, health, gender, education, water, energy, economic growth, inequality, environmental challenges including biodiversity and climate change. Although some countries argued that there are too many goals and targets, the SDGs seem to address most aspects of sustainable development. These are not just a set of goals and targets set by an external organization, the UN, but contain crucially important achievements which the policy makers of any country may wish to accomplish, for the benefit of the citizens of their countries.

It is obvious that the path towards the achievement of these goals and targets is not an easy and simple task. There will be numerous challenges in the path towards their fulfillment. The main issue of achieving SDGs will be the financing. Some of the targets require huge investments and most of the developing countries – specially the poor countries – may not be able to find funds on their own initiative. There are some estimates of the possible amount of funds required – for instance, the cost of providing a social safety net to eradicate extreme poverty is estimated to be about US $ 66billion a year.

As it is said, the main funding source will be the public money generated within the countries itself. Also funding from private sector through taxes, and also combating illegal financial flows and corruption within those countries. Loans and aid from other countries as well as from multi-lateral banks and other financial agencies will be available for achievement of the SDGs. These agencies will adjust their policies to SDGs and some such agencies have already expressed their interest. This will benefit the developing countries, but they will be entangled in the trap of loans.

It is true that Sustainable Development Goals can create the momentum required for the world to move forward towards a development which is more sustainable. But it depends on how the countries face the challenge.
(Pics courtesy Presidential Media Unit)
Visit https://sustainabledevelopment.un.org/topics for full set of SDGs – goals and targets. (ENDS)
Sustainable Development Goals

1) End poverty in all its forms everywhere

2) End hunger, achieve food security and improved nutrition, and promote sustainable agriculture

3) Ensure healthy lives and promote wellbeing for all at all ages

4) Ensure inclusive and equitable quality education and promote lifelong learning opportunities for all

5) Achieve gender equality and empower all women and girls

6) Ensure availability and sustainable management of water and sanitation for all

7) Ensure access to affordable, reliable, sustainable and modern energy for all

8) Promote sustained, inclusive and sustainable economic growth, full and productive employment, and decent work for all

9) Build resilient infrastructure, promote inclusive and sustainable industrialization, and foster innovation

10) Reduce inequality within and among countries

11) Make cities and human settlements inclusive, safe, resilient and sustainable

12) Ensure sustainable consumption and production patterns

13) Take urgent action to combat climate change and its impacts

14) Conserve and sustainably use the oceans, seas and marine resources for sustainable development

15) Protect, restore and promote sustainable use of terrestrial ecosystems, sustainably manage forests, combat desertification and halt and reverse land degradation, and halt biodiversity loss

16) Promote peaceful and inclusive societies for sustainable development, provide access to justice for all and build effective, accountable and inclusive institutions at all levels

17) Strengthen the means of implementation and revitalize the global partnership for sustainable development

Wednesday, September 23, 2020

වනාන්තර රැකීම සඳහා ඉඩම් මිල දී ගැනීම හෝ හුවමාරු කිරීම ඵලදායක ද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2020.09.23, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/09/23/feature1.html


ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ලංකාගම ආශ්‍රිත ප්‍රදේශයේ මාර්ග සංවර්ධනය කිරීමක් පිළිබඳ සිදුවීම මෑත දී සාකච්ඡාවට ලක්වූවකි. සති කිහිපයක් රටේ පැවැති ආන්දෝලනයකට හේතු වූ එහිදී අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් පරිසරයට හානි නොවන සේ පාරක් ඉදිකරන්නට තීරණය වූ බව වාර්තා විය.

මේ මාර්ගය පිළිබඳව වූ සාකච්ඡාව වැඩි වශයෙන් පැවතියේ සමාජ මාධ්‍ය ඔස්සේය. විවිධ පාර්ශ්ව ඒ ගැන අදහස් දැක්වීම හා වාද විවාද ඇති කරගත් ආකාරය අපි දුටුවෙමු. ඒ වාද විවාද සඳහා මූලිකව බලපා තිබුණේ ඒ ඒ අයගේ දේශපාලන අදහස් බව ද බොහෝවිට දැකිය හැකි විය. අප මේ ලිපියෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ ඒ දේශපාලන අදහස් ගැන නොව, ඒ සාකච්ඡාව අතර දී මතු වූ සංරක්ෂණ උපායමාර්ගයක් ලෙස අනාගතයේදී වැදගත් විය හැකි කරුණක් පිළිබඳවය.

පෙර කී සමාජ මාධ්‍ය සාකච්ඡා අතර දී පරිසරය ගැන කතා කරන පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන්ගෙන් ෆේස්බුක් අඩවිය ඔස්සේ ඇතැම් අය විමසූ එක් පැනයක් විය. ඒ "ලංකාගම වැසියන්ට තමන්ගේ නිවාස හා ඉඩම් ලබාදීමට නගරයේ වෙසෙන පෙර කී පරිසරවේදීන් හා පරිසරප්‍රේමීන් කැමැතිද" යන්නය.

ඊට දින කීපයකට පසුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරිනියක් එවැනි යෝජනාවක් සිය ෆේස්බුක් පැතිකඩ හරහා කළාය. ඒ, ඇයට අයත් කෑගල්ලේ පිහිටි ඉඩමක් ලංකාගම අයෙකුගේ ඉඩමකට මාරු කිරීමට කැමති බවයි. ඇය කියා තිබුණේ එසේ ලබාගන්නා ඉඩම සිංහරාජ වනාන්තරයට ලබා දීම ඇගේ අරමුණ බවය. ඒ සමඟ පරිසරයට ආදරය කරන තවත් අය ගණනාවක්ම ඒ හා සමාන හුවමාරු කිරීම් ගැන ෆේස්බුක් අඩවියේ සටහන් පළ කර තිබිණි. කෙසේ වෙතත් මේ සටහන් ලියූ පසුව, ඒ ඉල්ලීම් හුදෙක් ප්‍රායෝගික නොවන බව සමහරු පවසා තිබිණි. එහෙත් ලෝකයේ මෙවැනි දේ සිදු වේ. එනම් විනාශ විය හැකි ඉඩම් මිල දී ගෙන සංරක්ෂණය සඳහා වෙන් කිරීමයි.


සංරක්ෂණය සඳහා ඉඩම් මිලදී ගැනීම


සංරක්ෂණ වටිනාකමක් ඇති හා එළි පෙහෙළි වීමේ අවදානමක් සහිත පුද්ගලික අයිතියේ ඇති ඉඩම් මිලදී ගෙන ඒවා විනාශ වී යා නොදී සංරක්ෂණය සඳහා යෙදවීම මේ වන විට ජගත් මට්ටමින් ක්‍රියාත්මක වන පරිසර සංරක්ෂණ උපායමාර්ගයකි. එය මේ වන විට ලෝකයේ රටවල් ගණනක විශාල බිම් ප්‍රමාණයක් ආරක්ෂා කිරීම සඳහා සාර්ථකව ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයකි.

එහිදී සාමාන්‍යයෙන් සිදුවන්නේ තර්ජනයට ලක්ව ඇති ප්‍රදේශයේ ඉඩම් අදාළ රටේම ක්‍රියාත්මක වන සංවිධානයක් හෝ ආයතනයක් මගින් මිල දී ගැනීමය. ඒ සඳහා අවශ්‍ය අරමුදල් සපයනු ලබන්නේ ජගත් මට්ටමින් ක්‍රියාත්මක විශාල හා ධනවත් සංවිධාන මගිනි. ඒවාට අරමුදල් ලැබෙන්නේ විවිධ පුද්ගලයන්ගෙන් හා සමාගම් ආදියෙනි. බ්‍රිතාන්‍යයේ සිට ක්‍රියාත්මක වන ලෝක ඉඩම් භාරය (World Land Trust - www.worldlandtrust.org) මෙවැනි එක් අරමුදල් සපයන ආයතනයකි. ඇමරිකාවේ ක්‍රියාත්මක වැසි වනාන්තර භාරය (Rainforest Trust - www.rainforesttrust.org) 1988 වර්ෂයේ දී ආරම්භ කරන ලද මෙවැනි සංවිධානයකි. මේ සංවිධාන මගින් ඇමරිකාවේ (උතුරේ හා ලතින් ඇමරිකාවේ), අප්‍රිකාවේ හා ආසියාවේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීමට හා ආරක්ෂා කිරීමට ඔවුන් අරමුදල් සපයා තිබේ. ඇමරිකාව ඇතුළු තවත් රටවල ද මෙවැනි තවත් වෙනත් සංවිධාන ද පවතී. ඔවුන් මේ දක්වා සැලකිය යුතු ඉඩම් ප්‍රමාණයක් විනාශයෙන් මුදාගෙන සංරක්ෂණය සඳහා යොදාගෙන ඇත.

කෙසේ වෙතත් එසේ මිල දී ගන්නා ඉඩම් මිලදී ගැනීම, ආරක්ෂා කිරීම හා කළමනාකරණය කරනු ලබන්නේ අදාළ රටේ සංවිධානය හා ප්‍රජාව විසින් හෝ ඒ දෙකම එක්වය. (එම දේශීය සංවිධාන බොහෝ විට ජෛව විවිධත්ව සංරක්ෂණය අරමුණු කරගත් ඒවා වෙයි). එසේ නැතහොත් ඒ ඉඩම් එසේම තිබෙන්නට හරිනු ලැබෙයි. ඇතැම් අවස්ථාවලදී සංරක්ෂණය සඳහා ඒ රටවල රාජ්‍ය ආයතනවලට පැවරූ අවස්ථා ද ඇත. මේ සෑම අවස්ථාවකදීම එම රටේ තත්ත්ව අනුව යෝග්‍ය වූ සංරක්ෂණ උපායමාර්ගයක් අනුගමනය කිරීමට අවස්ථාවක් ලැබෙන බව පැහැදිලිය.

අපට යාබද ඉන්දියාවේ ප්‍රදේශ කිහිපයක මෙවැනි ඉඩම් මිලදීගැනීම් සිදුව ඇත. දකුණු ඉන්දියාවේ ඝාට්ස් කඳු ප්‍රදේශයේ පිහිටා ඇති මුදාහලී නම් වන තීරුව සතුන් සංක්‍රමණය වන ප්‍රදේශයකි. එහි අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා කෘෂිකාර්මික බිම් අයිතිකරුවන්ගෙන් මිලදී ගැනීම වෙනත් ගැටලු අවම ප්‍රදේශයකින් ඉඩම් ලබාදීම (හුවමාරු කිරීම) ඉන්දියානු සංවිධානයක් මගින් සිදු කර තිබෙයි.

සංරක්ෂණ අරමුණු අතින් වඩාත් වැදගත් වන්නේ සංවිධානයක් හා ප්‍රජාව මගින් සිදුකරනු ලබන මෙවැනි මැදිහත් වීම්ය. එසේම කුඩා ඉඩම් කැබලි මිලදී ගැනීමට වඩා එහිදී වැඩි වශයෙන් සිදුව ඇත්තේ විශාල ඉඩම් ප්‍රමාණයක් මිලදී ගැනීම ද වැදගත්ව. (කෙසේ වෙතත් ඇතැම් ස්ථානවලදී තනි තනි පුද්ගලයින් විසින් ද ඉඩම් මිලදී ගැනීමක් සිදුවී ඇති අවස්ථාද ඇති බව අප අමතක නොකළ යුතුය. ඒ සුප්‍රකට ධනවතුන්, කලාකරුවන් ආදි පුද්ගලයින් විසිනි. එවැනි මිලදී ගැනීම්වලදී එම ඉඩම් පුද්ගලික අයිතිය යටතේ ආරක්ෂා වන නමුත් ඊට වඩා වැඩි දිගු කාලීන සංරක්ෂණයක් ප්‍රජාව හෝ සංවිධාන මගින් සිදුකරන මෙවැනි ක්‍රියාවකින් අපට අපේක්ෂා කළ හැකිය.
මේ ආකාරයට විවිධ සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලදුව සංරක්ෂණය සදහා මිලට ගෙන ඇති ඉඩම්වල ප්‍රමාණය ඉතා විශාලය. මේ බලපෑම කෙතරම් ද යන් ඇතැම් රටවල පාලකයින් මෙම මැදිහත්වීම්වලට එතරම් කැමැත්තක් නොදක්වන බව ද ඇතැම් අවස්ථාවල දී වාර්තා වෙයි.


සංරක්ෂණ පරවශතාව

සංරක්ෂණ පරවශතාව (conservation easement) යනුවෙන් හඳුන්වන්නේ තවත් මේ හා සමාන වූ සංරක්ෂණ උපායමාර්ගයකි. එය ඉහත විස්තර කරන ලද ඉඩම් මිලදී ගැනීමට වඩා වෙනස් වන්නේ ඉඩම් හිමියන්ගෙන් අදාළ ඉඩම්වල අයිතිය මිලදී ගැනීමක් එහිදී සිදු‌ නොවන නිසාය. ඒ වෙනුවට ඉඩම් හිමියන් විසින් අදාළ ඉඩම්වල සංවර්ධන අයිතිය කිසියම් සංරක්ෂණ සංවිධානයකට හෝ රජයට හෝ පවරනු ලැබේ. එම පැවරීම පරිත්‍යාගයක් වශයෙන් හෝ අලෙවි කිරීමක් ලෙස කළ හැකිය.
 
එහිදී කිසියම් කාල සීමාවක් සඳහා දෙපාර්ශ්වය විසින් ස්වේච්ඡාවෙන් ඇති කරගත්තා නෛතික වලංගුතාවයක් ඇති ගිවිසුමක් ඇති කරගනු ලැබේ. ඒ අනුව ඉඩම් හිමියන්ට අදාළ ගිවිසුමෙන් අවසර නොමැති සංවර්ධන කාර්යයක් සඳහා ඒ ඉඩම් යොදාගැනීම කළ නොහැකිය. සංරක්ෂණ පරවශතාවයක දී ද මූලික අරමුණ වන්නේ එම භූමියේ ඇති සංරක්ෂණ වටිනාකම්ය. එය වනාන්තරයක් ආරක්ෂා කිරීම, ජල මූලාශ්‍රයක් ආරක්ෂා කිරීම, කිසියම් ජීවියෙකුගේ සංරක්ෂණ අවශ්‍යතා සපුරාලීම වැනි සංරක්ෂණ අරමුණු විය හැකිය.

මේ ක්‍රමය වැඩි වශයෙන් භාවිත වන්නේ ඇමරිකා එක්සත් ජනපදයේය.


ශ්‍රී ලංකාවේ මේ උපාය මාර්ග අනුගමනය කළ හැකි ද?


ඉහත සඳහන් කළ ආකරයේ උපාය මාර්ග ශ්‍රී ලංකාවේද සිදුකිරීමට නීතිමය බාධාවක් ඇති බවක් නොපෙනේ. එහෙත් එය සිදුවිය යුත්තේ පෙර සඳහන් ලෙස තනි තනි පුද්ගලයන් විසින් තර්ජනයකට ලක් වූ ප්‍රදේශයක පුද්ගලික ඉඩම් මිලට ගැනීමෙන් නොවේ. කිසියම් තනි දේශීය භාරයක් වැනි ආයතනයක් මගින් ඉඩම් මිලට ගැනීමෙන් හෝ හුවමාරු කිරීමෙනි. එවිට මිල දී ගත් ඉඩම් අදාළ භාරය මගින් පාලනය කිරීමට මෙන්ම, අවශ්ය නම් රජයට පැවරීම ද හැකිය. එවිට ඉඩමක් තනි පුද්ගලයෙකුගේ අයිතියට පත්ව පසු පරම්පරාවක් එම ඉඩම් වෙනත් භාවිතයකට ගැනීම ද වළකී. (අවිධිමත් ලෙස සංචාරක පහසුකම් ඇති කිරීම ද පාරිසරික ගැටලුවකි. සංචාරක ආකර්ෂණය ඇති ස්ථාන අවට ඉඩම් මිලට ගැනීම, රජයේ ඉඩම් අල්ලාගැනීම හා අනවසරයෙන් එළි කිරීම වැනි කටයුතු සඳහා එක් හේතුවක් වන්නේ සංචාරක නිකේතන ඉදිකිරීම සඳහා නාගරික පදනමක් ඇති ව්‍යාපාරිකයන් කරන කටයුතුය).

මේ ආකාරයෙන් පුද්ගලික ඉඩමක් වනාන්තරක් ලෙස සංරක්ෂණය කළ අවස්ථාවකට එක් නිදසුනක් වන්නේ දඹුල්ලට නුදුරුව පිහිටා ඇති, සෑප් පොපම් නම් බ්‍රිතාන්‍ය ජාතිකයා විසින් ස්ථාපනය කළ, පසුව රජයේ ආයතනයකට පවරා ඇති සෑම් පොපම් වනඋයනයි (Sam Popham Arboretum). අත්හැර දමන ලද හේන් ඉඩමක් මිල දී ගෙන වසර ගණනක උත්සාහයෙන් පසු අගනා වන උයනක් බවට පත් කිරීමට ඔහු සමත් විය. අනෙක් අතට පෞද්ගලික අයිතියේ ඇති, සංවර්ධන කටයුත්තක් නොකරන හා සංරක්ෂණය සඳහා වෙන්කර ඇති තවත් ඉඩම් අපේ රටේ ඇති බව අප අමතක නොකළ යුතුය. ගිවිසුමක් ඇතිව හෝ නැතිව හෝ ක්‍රියාත්මක ඒවා සංරක්ෂණ පරවශතාව උපායමාර්ගය හා සමාන වූ ඒවාය.

කෙසේ වෙතත් මෙවැනි කුමන උපායමාර්ගයක් වේ නම් එය ස්වේච්ඡාවෙන්ම පමණක් සිදුවිය යුතු කරුණකි. එනම්, අදාළ ඉඩම් විකිණීමට කැමැත්ත දක්වන පිරිස් වේ නම් ඔවුන් සියලු දෙනා ස්වේච්ඡාවෙන් ඊට කැමැති වීම වැදගත්ය. එවැන්නක් සිදුවන්නේ නම්, ඉඩම් හුවමාරුවක් හරහා අදාළ සමස්ත ප්‍රජාව හෝ වැඩි පිරිසක් වෙනත් ස්ථානයක ස්වේච්ඡාවෙන්ම ස්ථානගත කිරීමට කටයුතු කළ යුතු වීම පහසු කරුණකි (සමාන ඉඩම්, සමාජ ජීවනෝපාය ඇති ප්‍රදේශ නැත්තේ නොවේ). එමගින් ඔවුන්ගේ දැනට පවත්නා සමාජ සම්බන්ධතා බිඳ වැටීම ද වළක්වා ගත හැකිය (එවැනි නැවත පදිංචිකිරීම් සමහර සංවර්ධන ව්‍යාපෘතිවලදී ලංකාවේ සිදුකර ඇත). එමෙන්ම ඒ වැසියන්ගේ නිත්‍යානුකූල ජීවනෝපාය ක්‍රියාත්මක කළ හැකි ප්‍රදේශයක් වීම ද වැදගත්ය. එවැන්නක් සිදුකිරීමට අවශ්ය තාක්ෂණික දැනුම මෙරට පවතී. අවශ්‍ය වන්නේ ස්වාධීන අරමුදලක් මගින් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කිරීමය.

Monday, August 31, 2020

පශ්චාත් කොවිඩ් ලෝකය හා හරිත ප්‍රකෘතිමත් වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.19, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/19/feature1.html


“මේ වසංගතයෙන් පස්සේ ලෝකය කලින් තිබ්බ ලෝකයම වෙන්නේ නෑ” යන්න අප මිත්‍රයෙකු පැවසූයේ පසුගිය අප්‍රේල් මස මුලදී පමණය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ ඒ වන විට පැවති ලෝක තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් රැසක් අනාගතයේදී ඇති විය හැකි බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදුවෙමින් තිබේද යන්න යම් ප්‍රමාණයකට හෝ සලකා බැලීමට දැන් අපට හැකියාව ඇත.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝවා වයිරසය ලෙස ප්‍රකට වර්තමාන වසංගතය නිසා ලෝකයේ විවිධ මට්ටම්වල සීමා කිරීම් ඇති වී ලොක්ඩවුන් තත්ත්වයකට පත් වූ මාර්තු හා අප්‍රේල් මාසවලදීය. අද වන විට ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයකටම රෝගය ව්‍යාප්ත වී ඇත. යළි යළිත් රෝගීන් ගණන හා මරණ ගණන ඉහළ යමින් තිබෙයි.

ඒ තත්ත්වය හමුවේ ලෝකයේ සියලු රටවල විවිධ සීමා පැනවිණි. අන්තර්ජාතික ගමනාගමනය මෙන්ම ප්‍රවාහන කටයුතුද අඩාල විය. රටවල් තුළ සියලු අංශවල දෛනික කටයුතු රැසක් සැලකිය යුතු අන්දමින් බිඳවැටුණි. කර්මාන්ත තාවකාලිකව වසා දමන්නට සිදු විය. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ නැවතිනි. විරැකියාව මෙතෙක් නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. බොහෝ රටවල විවිධ අංශවලට ඔවුන්ට හැකි පමින් සහන ලබා දෙමින් තිබෙයි. එහෙත් එවැනි ආර්ථික ශක්තියන් නොමැති රටවල එය ගැටලු සහගතය. 

ලෝක ආර්ථිකයේ ඇති වූ පිරිහීම කෙතරම් ද යත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති ආකාරයට ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 3%කින් පමණ අඩු විය හැකිය. එය විස්තර කරනු ලබන්නේ 1930 ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන බරපතළම ආර්ථික අවපාතය ලෙසය. ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල අගය 25%ක් හා 30%ක් දක්වා පහළ බැස්සේ මාර්තු අප්‍රේල් මාසවලදීය.


අර්බුදයෙන් පසු ලෝකය 


අද වන විට ලෝකයේ කටයුතු ක්‍රමයෙන් යළි ආරම්භ වෙමින් තිබේ. සීමා සහිතව වුවද අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු යළිත් ආරම්භ වී ඇත. බොහෝ රටවල දෛනික කටයුතු දැන් ආරම්භ කර තිබෙයි. නිෂ්පාදන හා සේවා කටයුතු යම් ප්‍රමාණයකින් යළිත් ආරම්භ වී ඇත. මේ අනුව 2020 වෙන භාගයේදී කොරෝනා වයිරසය අඩු වී ගියහොත් ලබන වර්ෂයේදී ලෝකයේ ආර්ථිකය 5.8%කින් වර්ධනය විය හැකි බව පෙන්වා දී තිබෙයි. එසේම පහළ ගිය කොටස් වෙළෙඳපොළ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙයි.

මෙය වැදගත්ය. මක් නිසා ද යත් මේ වර්ධනය සිදු වනු ඇත්තේ කෙබඳු ආකාරයකින් ද යන්න නිසාය. එය පරිසර හිතකාමී වර්ධනයක් වීම වැදගත්ය. 

මේ වන විට වැඩි වෙමින් පවත්නා ඛනිජ තෙල් භාවිතය තෙල් භාවිතය ඉහළ යන බවට සාධකයකි. පසුගිය පෙබරවාරි-මාර්තු පමණ තෙල් භාවිතය සඳහා ඇති ඉල්ලුම පහළ යෑමත් සමඟ තෙල් මිල පහළ ගියේය. ඇමරිකානු තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසයේ දී ඩොලර් 20 කටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය. අන්තර්ජාතික තෙල් මිල ලෙස සැලකෙන බ්‍රෙන්ට් තෙල් මිල ද ඩොලර් විසි ගණනක් දක්වා පහළ ගියේය. එහිදී තෙල් නිෂ්පාදනය පහළ දැමීමෙන් තෙල් මිල තරමක් ස්ථාවර කරගැනී තෙල් නිපදවන රටවල් ක්‍රියාකළේය. 

කොවිඩ් වසංගතය උග්‍රව තිබිය දී වේගයෙන් පහළ ගිය තෙල් පරිභෝජනය දැන් නැවතත් ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමඟ තෙල් නිෂ්පාදනය ඉහළ යමින් තිබේ. එහෙත් එය මේ අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟා වනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණය. (1 රූපය බලන්න). එසේම පහළ ගිය තෙල් බැරලයක මිල ද ඩොලර් ඩොලර් 40 අගය ද ඉක්මවා තිබේ.


1 රූපය - ලෝකයේ දියර තෙල් නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය
(මූලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය, 2020 අගෝස්තු)



කෙසේ වෙතත් මෙයින් පැවසෙන්නේ ලෝකය නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වන්නේ හැමදාමත් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ බවද? සමහර අංශවල එසේ නැති බවක් පෙනෙන අතර, තවත් අංශවල එසේ වීමට ද හැකිය.


හරිතවත් මාවතක අවශ්‍යතාවය


කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝකයේ ආර්ථිකය යළිත් ප්‍රකෘතියට ළඟා වීම සඳහා කටයුතු කිරීමේදී දළ ජාතික නිෂ්පාදනය ඉලක්ක කරගැනීම ගැටලුවක් විය හැකි බව දක්වා තිබේ. එයින් පැවසෙන්නේ හුදෙක් මෙතෙක් අප කටයුතු කරගෙන ආ පරිදිම කටයුතු කරගෙන යන බවයි.

අඩාල වූ ආර්ථිකය හා සංවර්ධනය යළිත් යථා තත්ත්වයට පත් වීමේදී හෙවත් ප්‍රකෘතියට පත් වීමේ ක්‍රියාවලියේදී හරිතවත් වීම වැදගත් බව පෙන්වා දී තිබෙයි. හරිත ප්‍රකෘතිමත් වීමක් (Green Recovery) ගැන ලෝකයේ සාකච්ඡාවක් ඇති වන්නේ එතැනදීය. එහි දී හුදෙක් හරිත රැකියා අවස්ථා පමණක් හරිතවත් කිරීම නොව සමස්තයක් ලෙස ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලියම හරිතවත් කිරීම වැදලත් බව පෙන්වා දී තිබෙයි. මෙය සැබැවින්ම අභියෝගයකි.

ලෝකයේ එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බවක් පෙනෙන යහපත් ප්‍රවණතා ගණනාවක් දැකිය හැකිය. නිදසුනක් ලෙස භෞතික රැස්වීම් වෙනුවට ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකරන කටයුතු ඉහළ යෑම දැකිවිය හැකිය. දුරස්ථ අධ්‍යාපනය, ටෙලි-වෛද්‍යසේවා (Telemedicine), මාර්ගගත වෙළෙඳ කටයුතු (Online trade) ඉහළ යෑම, ඩිජිටල් ක්‍රමයට පැවැත්වෙන රැස්වීම් හා සම්මන්ත්‍රණ ආදිය මේ අතර වෙයි. මේ සියල්ල අනුව යම් හරිතවත් හා පරිසර හිතවාදී තත්ත්වයක් දැකිය හැකි බව පැහැදිලිය. මේ නිසා සමස්ත ලෝකය පුරාම ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව පෙනෙයි. බොහෝ රටවල මේ පහසුකම් නොතිබූ ප්‍රදේශවලට මෙන්ම ඒවාට ප්‍රවේශයක් නොමැති වූ පිරිස් අතරටද ඩිජිටල් තාක්ෂණය ගමන් කළේය. දැන් බොහෝ රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා අදාළ ස්ථානවලට ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාතික රැස්වීම් පවා මාර්ගගතව පැවැත්වීමට හැකි බව හෙළි වී තිබෙයි. එබැවින් අනාගතයේදී පරිසර පියසටහන අඩු කරගැනීමට මෙය යොදාගත හැකි කමයකි. ගුවන් ගමනාගමය යනු හරිතාගාර වායු විමෝචන ඉහළ මට්ටමකින් නිකුත්වීමට හේතුවන්නකි. 

අනෙක් අතට ඒ ඒ රටවල ආර්ථිකයේ අත්‍යවශ්‍ය කටයුතු දේශීය සම්පත් හා නිෂ්පාදන මත පදනම් කරගැනීම සඳහා පියවර ගැනීම ලෝකයේ බොහෝ රටවල වර්ධනය වූ තවත් එක් හරිතවත් ප්‍රවණතාවයකි. මක් නිසා ද යත් එවැනි ද්‍රව්‍යවල මෙන්ම පාරිභෝගිකයාගේ ද ‘කාබන් පියසටහන’ එමගින් අඩු වන නිසාය. දේශියව නිෂ්පාදනය කළ හැකි දේ ප්‍රවර්ධනය කිරීම නිසා එතෙක් අපතේ ගිය සම්පත් භාවිතය සඳහා ද අවස්ථාවක් ලැබී ඇත. එහෙත් මෙය කල්පනාකාරීව කළ යුතු දෙයක් වන්නේ, රටක ඇති ඉඩම්, ජලය හා ශ්‍රමය වැනි සම්පත් සීමාකාරී විය හැකි නිසාය. කිසිදු රටකට ආනයන හා අපනයන නොමැතිව පැවතිය නොහැකි වන නිසා මෙය වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු කරුණක් සේ අපි සිතමු.


ජනතාවගේ වගකීම


කෙසේ වෙතත් මෙවැනි පරිසර හිතකාමී ලක්ෂණ සහිත වූ ලෝකයක් ඇති කරගැනීමේ හැකියාව තිබෙන්නේ ද අපටමය. අනාගතය අද පවතින්නක් නොවේ. එසේම අනාගතය යනු ඉබේ ඇති වන්නක් නොවේ. අනාගතය යනු අපේ වර්තමාන ක්‍රියාකාරිත්වය මත ඇතිවන්නකි. පසුගිය දශක පහක පමණ කාලයේදී පරිසරය සම්බන්ධව ඇති වූ සංකල්පීය වෙනස්කම් හා ප්‍රවේශයේ ඇති වූ වෙනස්කම් මේ සඳහා නිදසුනකි. පරිසර දූෂණය පාලනයේ සිට තිරසර සංවර්ධනය දක්වාත්, එතැනින් හරිත ආර්ථිකය දක්වාත් ඇති වී තිබෙන වෙනස්කම් ඇති වූයේ ගත වූ වසර පනහක කාලය ඇතුළත දීය.

හරිතවත් හෙවත් පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් අද ලෝකයට උදාවී ඇත. එහෙත් එය එසේ සිදුකිරීම ගැන තීරණය කළ යුත්තේ ලෝකයේ ඒ ඒ රටවල තීරණ ගන්නා පිරිස් විසිනි. එහෙත් ඒ සඳහා බලධාරීන් පෙළඹවීමට විවිධ අංශවල විද්වතුන්ට මෙන්ම මහජනතාවට හැකියාවක් ඇති අතර, එය කළ යුතුය. අප අද ජීවත්වන ලෝකය හා එහි සම්පත් අනාගත පරපුරටද අයිති සම්පත් වෙයි.

Tuesday, March 10, 2020

ජාතිකවාදී රාජ්‍ය හා පරිසර සංරක්‌ෂණය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.03.04, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/03/04/feature1.html


ජාතිකවාදය (Nationalism) හා පරිසර ආරක්‌ෂාව යනු එකට යන ගමන් නො කරන සංකල්ප දෙකක්‌ බව සාමාන්‍යයෙන් පිළිගත් කරුණකි. මේ සඳහා බොහෝ දෙනා දක්‌වන නිදසුනක්‌ වන්නේ ජාතිකවාදී මතවාදයක්‌ සහිත රජයයක්‌ බලයට පත් වූ රටවල පරිසර ප්‍රතිපත්ති වෙනස්‌ වන අන්දමයි.

මේ සඳහා ඇති ආසන්න ම ජගත් මට්‌ටමේ උදාහරණය වන්නේ නූතන ඇමෙරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනය යටතේ එරට ඇති වී තිබෙන වෙනස්‌කම් ය. ඔහු බලයට පත් වීමට පෙර අට වසරක කාලයක්‌ එරට පාලනය කළ ඩිමොක්‍රටික්‌ පාක්‌ෂික ජනාධිපති බැරැක්‌ ඔබාමාගේ කාලයේ දී, ඊට පෙර ඇමෙරිකාව ගෙන ගිය පරිසර ප්‍රතිපත්තිවල යම් වෙනස්‌කම් ඇති විය. නිදසුනක්‌ ලෙස ගත හොත් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධ ව අවශ්‍ය පියවර ගැනීමට ඇමෙරිකාව ප්‍රමාද වීම දේශගුණ වෙනස්‌ වීම වැළැක්‌වීම සඳහා ලෝකය ගත් උත්සාහයට බරපතළ ගැටලුවක්‌ වී තිබිණි. එහෙත් ඔබාමා පාලනය යටතේ ඒ තත්ත්වය තරමක්‌ වෙනස්‌ වී සුබවාදී ප්‍රවේශයක්‌ දැකිය හැකි විය. අවාසනාවකට මෙන් ඔබාමා පාලනය යටතේ ගත් පරිසර හිතකාමී පියවර ගණනාවක්‌ ම ආපසු හැරවීමට හෝ නවතා දැමීම සඳහා හෝ ඉන්පසුව බලයට පැමිණි ට්‍රම්ප් ක්‍රියා කළේ ය. දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධව මේ වන විට ඇති වැදගත් ම එකඟතාව වන පැරිස්‌ ගිවිසුමෙන් ඉවත් වීම සඳහා ද ට්‍රම්ප් පාලනය යටතේ ඇමෙරිකාව තීරණය කළේ ය. දේශීය වශයෙන් ද ඔහු ගත් ඇතැම් පියවර ද පාරිසරික වශයෙන් අහිතකර වූ බව ප්‍රකට කරුණකි.

සාමාන්‍යයෙන් ජාතිකවාදී මෙන්ම දක්‌ෂිණාංශික දේශපාලන ව්‍යාපාර පරිසරය හා සම්බන්ධව අසුබවාදී එකක්‌ බව පිළිගැනෙයි. එයට හේතුව දක්‌ෂිණාංශික පක්‌ෂ පරිසර කරුණු දෙස බලන්නේ ද ජාතික වූ හා සංස්‌කෘතික ඇසින් මෙන්ම භූමිය පිළිබඳ ඇසින් ද යන දෙකෙන් ම වන නිසා ය. මේ නිසා ඔවුන් පාරිසරික ගැටලු සම්බන්ධ ව ගන්නා ප්‍රවේශය දේශීය එකක්‌ වන අතර ජගත් මට්‌ටමේ එකක්‌ නො වේ.


ජාතික දේශසීමා ඉක්‌මවා ගිය පරිසර ගැටලු


එහෙත් සමහර පාරිසරික ගැටලු ජාතික මට්‌ටමෙන් ඔබ්බට ගිය ඒවා වෙයි. ඒවාට මිනිසුන් විසින් සකස්‌ කරගනු ලැබ ඇති දේශසීමා වලංගු නො වේ. මෙවැනි තත්ත්ව ලෝකයේ දැකිය හැකි වූයේ බොහෝ කලක පටන් ය. අම්ල වැසි මෙන්ම රටවල් හරහා ගලා යන ගංගාවල දැකිය හැකි ජල දූෂණය වැනි අර්බුද සමඟ ජාතික රාජ්‍ය ම`ගින් පාලනය කළ නොහැකි පාරිසරික ගැටලු ඇති බව ලෝකයට පැහැදිලි විය. ඒ ගැටලුවලින් පරිසරය හා ඒ ඒ රටවල ජනතාව ආරක්‌ෂා කරගැනීමට නම් ජාතික මට්‌ටමින් ඔබ්බට ගිය විසඳුම් අවශ්‍ය විය. එවැනි අවස්‌ථාවක දී ජගත් මට්‌ටමේ උත්සාහයක්‌ අවශ්‍ය විය. එම ගැටලු විසඳීමේ අරමුණ ඇති ව ගත් ප්‍රයත්න නිසා නූතන ජගත් පරිසර ව්‍යාපාරය ද ක්‍රමයෙන් වර්ධනය වූයේ ය. එහි දී බොහෝ රාජ්‍ය ස්‌වකීය දේශපාලන ප්‍රතිපත්ති කෙසේ වෙතත් ජගත් මට්‌ටමේ ක්‍රියාමාර්ගවලට අනුගත වූයේ එම ගැටලුවල බරපතළ තත්ත්වය නිසා ය.

අද දැකිය හැකි බරපතළ පාරිසරික ගැටලු වන දේශගුණ වෙනස්‌ වීම හා ඕසෝන් ස්‌තරය විනාශ වීම වැනි ගැටලු මේ සඳහා හොඳ ම නිදසුන් වෙයි. ඕසෝන් ස්‌තරය ආරක්‌ෂා කරගැනීම ලෝකයේ සියලු ම රාජ්‍ය එක්‌ ව ගත් ජගත් මට්‌ටමේ උත්සාහයක ප්‍රතිඵලයකි. ඒ සඳහා වන ජාතික ප්‍රතිපත්ති අතර ම ජගත් මට්‌ටමෙන් ඇති කරගත් එකඟතා සමඟ කටයුතු කිරීම අවශ්‍ය විය. අද වන විට දේශගුණ වෙනස්‌ වීම සඳහා ද ගෝලීය මට්‌ටමේ ක්‍රියාකාරිත්වයක්‌ අවශ්‍ය ව තිබෙයි. ඒ වර්තමාන දේශගුණ වෙනස්‌ වීමේ අහිතකර බලපෑම් ලෝකයේ සියලු රටවලට එක ලෙස බලපාන බැවිනි. එය ඒ ඒ රටවල් සිදු කරන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය මත ර`දා පවතින්නක්‌ නම් නො වේ. (තවමත් දැකිය හැකි දේශගුණ සංශයවාදීන් විවිධ රටවල සිටිය ද, හරිතාගාර වායු විමෝචනය වීම, මිහිතල උණුසුම් වීම හා දේශගුණ වෙනස්‌ වීම මේ වන විට පිළිගත් බරපතළ පාරිසරික අර්බුදයකි). අද අපේ රට වුව ද අද මුහුණ පා ඇති තත්ත්වය එබඳු ය - අපේ හරිතාගාර වායු දායකත්වය කෙබඳු වුවත් අපට එහි බලපෑමට ලක්‌ වීමට සිදු වෙයි. මෙවැනි තවත් ගැටලුවක්‌ ලෙස ආසියානු දුඹුරු වලාව ලෙසින් හඳුන්වන ලද ආසියානු කලාපයේ දැකිය හැකි පරිසර දූෂක වායුවලින් සමන්විත වලාව දැක්‌විය හැකි ය.


ජාතිකවාදී පරිසරවාදයක්‌?


කෙසේ වෙතත් මේ වන විට ලෝකයේ හඳුනාගෙන ඇති ප්‍රවණතා අතර පරිසර හිතවාදී ලක්‌ෂණ සහිත ජාතිකවාදී ප්‍රවණතා පිළිබඳව ද සඳහන් වේ.

පරිසර ජාතිකවාදය (Eco-nationalism) යනුවෙන් හඳුන්වනු ලබන්නේ එවැනි ලක්‌ෂණ සහිත මතවාදයකි. එය හරිත ජාතිකවාදය (Green nationalism) හෙවත් පාරිසරික ජාතිකවාදය (Ecological nationalism) යනුවෙන් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. එහි දැකිය හැකි ලක්‌ෂණ වන්නේ ජාතිකමය ලක්‌ෂණ සහිත පරිසර දෘෂ්ටියක්‌ තිබීම ය. නිදසුනක්‌ ලෙස විදේශීය රටවලින් ආනයනය කරනු ලබන ඉන්ධන හා බලශක්‌තිය වෙනුවට විකල්පය ලෙස තම රට ඇතුළත ප්‍රමාණවත් තරම් බලශක්‌තියක්‌ ජනනය කිරීම දැක්‌විය හැකි ය. මෙසේ තම රටේ දී බලශක්‌තිය ජනනය කිරීම ම`ගින් බලශක්‌තියෙන් ස්‌වයංපෝෂිත වූ රටක්‌ ලෙස බ්‍රසීලය දක්‌වනු ලැබේ. කෙසේ වෙතත් බලශක්‌තිය ම රටේ ම නිෂ්පාදනය කිරීමේ ක්‍රමවේදය සඳහා ලෝකයේ සෙසු රටවල් ද උත්සාහ කර ඇතත්, එය අසාර්ථක වූ අවස්‌ථා ද දැකගත හැකි ය.

එමෙන් ම මේ ආකාරයෙන් සිදු කරන තවත් ජාතිකවාදී හා පරිසර හිතවාදී ක්‍රියාවක්‌ වන්නේ දේශීය ව දැකිය හැකි ජීවී විශේෂ හා භූදර්ශනවල වැදගත්කම හා සංකේතාත්මකව හුවා දැක්‌වීමයි. සංරක්‌ෂණ කටයුතුවල දී එවැනි දේශීය ජීවී විශේෂ හා භූ දර්ශන සඳහා ප්‍රමුඛතාව ලබා දීම දැකිය හැකි ය. මෙතෙක්‌ කල් වන වගා වැනි කටයුතු සඳහා යොදාගත් විදේශීය ශාක වෙනුවට දේශීය ශාක පමණක්‌ යොදාගැනීම දැක්‌විය හැකි ය. මෙය දේශපාලන දෘෂ්ටියකින් කෙසේ වෙතත්, පාරිසරික දෘෂ්ටියකින් සමහර රටවල් ම`ගින් ක්‍රියාත්මක කරනු ලබන්නකි. එහි පාරිසරික ප්‍රයෝජන ද බෙහෙවින් ඇත. මේ ආකාරයෙන් පාරිසරික වශයෙන් වැදගත් භූ දර්ශන ජාතිකමය වැශයෙන් වැදගත් සේ දක්‌වන අවස්‌ථා සඳහා නිදසුන් බොහෝ රටවලින් අපට ලැබේ. නිදසුනක්‌ ලෙස ඕස්‌ටේ්‍රලියාවේ පිහිටා ඇති මහා බාධක පරය දැක්‌විය හැකි ය. එය එරට විසින් සලකනු ලබන්නේ ජාතික වශයෙන් වැදගත් වූ සම්පතක්‌ ලෙස ය. එමෙන් ම සමහර රටවල් විසින් තම රටවල ජෛව විවිධත්වයෙහි සංකේතයක්‌ බඳු ජීවී විශේෂ හා පරිසර පද්ධති සඳහා ක්‍රියාත්මක කරනු ලබන සුවිශේෂී සංරක්‌ෂණ ප්‍රයත්න පවා මෙවැනි ක්‍රියාවලි සඳහා සාධක වෙයි.

පරිසර ජාතිකවාදය යම් ආකාරයකින් දේශපාලන වශයෙන් වැදගත් වූ අවස්‌ථා ඇති බව පෙන්වා දී තිබෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත් සෝවියට්‌ දේශය බිඳවැටීම සඳහා එහි සාමාජිකත්වය දැරූ විවිධ රටවල් තුළ පෙලඹවීමක්‌ ඇති කළ එක්‌ කරුණක්‌ ලෙස මෙය දක්‌වා ඇත. සෝවියට්‌ දේශය යටතේ පැවැති සමූහාණ්‌ඩු වූ එස්‌තෝනියාව, ලිතුවේනියාව හා යුකේ්‍රනය වැනි රටවල ඇති වූ නිදහස්‌ අරගල සඳහා සැලකිය යුතු බලපෑමක්‌ පාරිසරික විරෝධතා නිසා ඇති වූ බව සඳහන් වෙයි. ඒ වැඩි වශයෙන් න්‍යෂ්ටික බලයට විරෝධය පාමින් සිදු කරන ලද විරෝධතා ය. කෙසේ වෙතත් රුසියානුවන් විසින් සෝවියට්‌ සමූහාණ්‌ඩුවල සම්පත් කොල්ලකෑම හා ඒ රටවල ස්‌වාභාවික පදනම විනාශ කිරීමට කටයුතු කිරීම ද සෝවියට්‌ පාලනය Rජු ව සිදු කළ බව පෙනේ. ඒ නිසා ඇති වූ පරිසර හායනය එම සමූහාණ්‌ඩුවල ඇති වූ නිදහස්‌ ව්‍යාපාරවලට උත්තේජනයක්‌ සපයා ඇත.

කෙසේ වෙතත් පරිසර ජාතිකවාදය යන්නෙන් පරිසරය හෙවත් සොබාදහම සංස්‌කෘතික පරිසරයෙන් පිටත පවතින ව්‍යqහයක්‌ ලෙස සැලකීමක්‌ ද දැකිය හැකි ය. ඒ අනුව එය මානව සංස්‌කෘතියෙන් බාහිර වූ දෙයක්‌ වන අතර, හැකි හැම විට ම නොඉඳුල් ව හා ආරක්‌ෂිත ව තැබීමට කටයුතු කළ යුතු බවක්‌ මෙහි දී කියෑවේ. මෙවැනි ක්‍රියාවලියක්‌ දැකිය හැකි රටවල් සඳහා නිදසුන් ලෙස ඕස්‌ටේ්‍රලියාව හා නවසීලන්තය වැනි රටවල් දක්‌වා ඇත.

මේ පරිසර ජාතිකවාදය දේශපාලන ප්‍රතිපත්ති හා සම්බන්ධ වූ වැදගත් අවස්‌ථාවක්‌ ලෙස ඇතැම් දේශපාලන පක්‌ෂ විසින් ප්‍රකාශයට පත් කරන ලද ප්‍රතිපත්ති දක්‌වා ඇත. ඒ සඳහා නිදසුනක්‌ ලෙස බ්‍රිතාන්‍ය ජාතික පක්‌ෂය විසින් 2005 වර්ෂයේ දී ප්‍රකාශයට පත් කරන ලද එක්‌ ප්‍රතිපත්තියක්‌ දැක්‌විය හැකි ය. ඒ අනුව ඔවුන් බලයට පත් වුව හොත් එරටට පැමිණෙන මහා පරිමාණ විදේශක සංක්‍රමණ නැවැත්වීම සඳහා කටයුතු කරන බව පොරොන්දුවක්‌ විය. එම`ගින් එරට තුළ ඇති එක ම සැබෑ පරිසරවාදී 'හරිත' පක්‌ෂය ඔවුන් බව ද දක්‌වා තිබිණි. ඒ, සංක්‍රමණ නැවතීමත් සමඟ ඒ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම වැනි කටයුතු සඳහා අවශ්‍ය සම්පත් හා අවකාශය ඉතිරි වන නිසා ය.


බටහිර පරිසර වාදය හා පෙරදිග අපි


කෙසේ වෙතත් අපේ රට වැනි පෙරදිග රටවල අනාදිමත් කාලයක සිය පැවතියේ පරිසරය හා සහජීවනයෙන් එකට ජීවත් වූ ජීවන ක්‍රමයකි. පරිසරය හා බැඳුණු සංස්‌කෘතියකින් යුක්‌ත මේ රටවල චින්තනය එය මානවකේන්ද්‍රීය වූ බටහිර චින්තනයට වඩා වෙනස්‌ වූවකි. එහෙත් අවාසනාවකට මෙන්, සියවස්‌ ගණනාවක යටත්විජිත වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස අද අප විසින් අනුගමනය කරනු ලබන්නේ බටහිර සංවර්ධන ආකෘතියයි. එවැනි තත්ත්වයක්‌ ඇතුළත බටහිර පරිසරවාදය ම මෙරට තුළ ද අද වන විට ඇති වී තිබීම පුදුමයක්‌ නො වේ.

අද අප වැනි රටවල් හමුවේ ඇති අභියෝගය වන්නේ අපේ සංස්‌කෘතික වටිනාකම් තුළ පැවැති පරිසර හිතකාමී ජීවන රටාව නැවතත් ස්‌ථාපිත කිරීමට හැකි සංවර්ධන ආකෘතියක්‌ සකස්‌ කිරීම ය. එහෙත් මෙහි දී බටහිර සංවර්ධන ආකෘතියෙන් හා බටහිර විද්‍යාවෙන් ගත යුතු දේ තිබිය හැකි බව පැහැදිලි ය. ජාතිකවාදී මතවාදයක්‌ තුළ මෙය සිදු කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බව පෙනේ.

Tuesday, February 18, 2020

සම්පත් පරිභෝජනය හා චක්‍රීය ආර්ථිකය...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.02.05, පි. 7 හා 24 (Vidusara)

විදුසර - http://www.vidusara.com/2020/02/05/feature2.html




රෝම සමාජය (Club of Rome) නම් විද්වත් සමූහයක මැදිහත් වීමෙන් සකස්‌ කරන ලද Limits to Growth වාර්තාව 1972 වර්ෂයේ දී නිකුත් විය. (එය පසු කලක 'වර්ධනයේ සීමා' නමින් සිංහල භාෂාවට ද න`ගන ලදි). එම වාර්තාවෙන් අවධානය යොමු කර තිබුණේ ලෝකයේ පවත්නා සීමාසහිත වූ සම්පත් සැපයුම හමුවේ අනාගතයේ දී ලෝකයේ ඇති විය හැකි ආර්ථික හා ජනගහන වර්ධනයේ තත්ත්වය හා සීමා පිළිබඳව ය. එම`ගින් පෙන්වා දී තිබුණේ එතෙක්‌ සිදු කරගෙන ආ පරිදි ඓතිහාසික සම්පත් භාවිතයේ කිසිදු වෙනසක්‌ සිදු නො කර වර්ධනය සඳහා කටයුතු කළ හොත් 2072 වර්ෂය වන විට ලෝකයේ වර්ධනයට යම් යම් සීමා ඇති විය හැකි බවයි. එම සීමා සැලකිය යුතු තරම් බරපතළ විය හැකි බව ද දැක්‌වෙයි. එමෙන් ම 1972 වර්ෂය වන විට වර්ධනය පිළිබඳව ලෝකයේ පැවැති ප්‍රවණතා වෙනස්‌ කළ හැකි නම් තිරසර පාරිසරික හා ආර්ථික ස්‌ථාවරත්වයක්‌ අත්පත් කරගත හැකි ය. මේ දෙවැන්න අත්පත් කරගැනීමට කටයුතු කිරීම මිනිසුන් කෙතරම් ඉක්‌මනින් ආරම්භ කරන්නේ ද යන කාරණය මත ඒ තිරසාරත්වය අත්පත් කරගැනීමට වැඩි අවස්‌ථාවක්‌ පවතී.

පරිගණක ආකෘති මත පදනම් ව සකස්‌ කරන ලද මේ වාර්තාවේ පුරෝකථනය කරන ලද ඇතැම් සිදුවීම් හා ඒවා ඇති වෙතැයි දක්‌වන ලද දින වකවානු මේ වන විට එලෙසින් ම සාක්‌ෂාත් වී නොමැතිවා විය හැකි ය. ඇතැම් සම්පත් සීමා වනු ඇති බවට එහි ලබා දී තිබූ දිනවකවානුව වැරැදි විය හැකි ය. එහෙත් එම`ගින් පෙන්වා දුන් මූලික කරුණ වූ සංවර්ධනය හෙවත් වර්ධනය යනු සීමා රහිත එකක්‌ නො වේ ය යන්න අද වන විට පිළිගත් සත්‍යයකි. සම්පත් සීමා වීම වර්ධනය සඳහා සීමා පැනවිය හැකි ය. එය ඉක්‌මනින් හෝ පසුව හෝ ඇති විය හැකි දෙයකි. අපට මේ බව සිතුණේ පසුගිය දා නිකුත් වූ වාර්තාවක සඳහන් වන කරුණු නිසා ය.

චක්‍රිකරණයේ හිදැස වාර්තාව 2020 (The Circularity Gap Report 2020) නමින් නිකුත් වී තිබෙන මේ වාර්තාව චක්‍රිය ආර්ථිකයක්‌ වෙත ලෝකය පිවිසීම වේගවත් කිරීම සඳහා කටයුතු කරන ආයතනයකි.


වර්ෂයක්‌ තුළ සම්පත් ටොන් බිලියන 100ක්‌


මිනිසුන් විසින් එක්‌ වර්ෂයක්‌ තුළ භාවිත කරනු ලබන විවිධ සම්පත් ප්‍රමාණය ටොන් බිලියන 100ක සීමාව ඉක්‌මවා ගොස්‌ ඇති බව පසුගිය දා එළිදැක්‌වූ වාර්තාවක සඳහන් වෙයි. මේ සීමාව ඉක්‌මවා ගොස්‌ ඇත්තේ පළමුවැනි වරට ය. එය නිශ්චිත ව දක්‌වන්නේ නම් ටොන් බිලියන 100.6කි.

මේ අතරින් ටොන් බිලියන 50.8ක්‌ පමණ ඛනිජ ද්‍රව්‍ය වේ. ඒවා වැඩි වශයෙන් වැලි, මැටි, බොරළු හා සිමෙන්ති වැනි ගොඩනැගිලි කර්මාන්තය සඳහා අත්‍යවශ්‍ය දේ ය. ටොන් බිලියන 24.6ක්‌ පමණ ගස්‌ හා භෝග වෙයි. තවත් 15.1ක්‌ පමණ ගල්අ`ගුරු, තෙල් හා ගෑස්‌ වැනි පොසිල ඉන්ධන ය. එමෙන් ම ටොන් බිලියන 10.1ක්‌ පමණ ලෝහ සහිත පස්‌ ය.

ලෝකය වාර්ෂික ව භාවිත කරන විවිධ සම්පත් ප්‍රමාණය 1970 සිට මේ වන විට සිව් ගුණයකින් පමණ ඉහළ ගොස්‌ ඇත. එහෙත් මේ කාලය තුළ ජනගහනය වර්ධනය වී ඇත්තේ දෙගුණයකින් පමණකි. අද ජීවත් වන අයකු එක්‌ වසරක දී සම්පත් ටොන් 13ක්‌ පමණ භාවිත කරන බව මේ අනුව පෙනේ.

භාවිතය සඳහා අවශ්‍ය සම්පත් මේ ආකාරයෙන් අලුතින් උකහාගැනීම සඳහා බලපාන කරුණු කීපයක්‌ තිබෙයි. ඉන් පළමුවැන්න වන්නේ වර්ධනය සඳහා නොඉඳුල් සම්පත් අලුතින් ලබාගැනීම සඳහා අප පුරුදු වී සිටීම ය. පවත්නා සම්පත් වඩා හොඳින් භාවිත කිරීම සම්බන්ධ ව ලෝකයේ ඇති අවධානය අඩු ය. දෙවැන්න වන්නේ අප තවදුරටත් නිවාස, යටිතල පහසුකම් හා බර යන්ත්‍ර තවදුරටත් අලුතින් ඉදි කිරීම ය. මේවා ලෝකයේ වැඩි වන ජනගහනයට අවශ්‍ය වෙයි. තෙවැනි හේතුව වන්නේ භාවිතය අවසානයේ එම ද්‍රව්‍ය ප්‍රතිචක්‍රිකරණය සඳහා ප්‍රාමාණික සැකසුම් ක්‍රමවේදයක්‌ නො තිබීම හා නිෂ්පාදනවල සැකසුම දුර්වල වීම ය. මේ නිසා සිදු වන්නේ අලුත් අමුද්‍රව්‍යවලට ඇති ඉල්ලුම ඉහළ යැම ය. ඒ සඳහා සම්පත් පරිසරයෙන් උකහා ගැනීම දිගින් දිගට ම සිදු වේ.


සම්පත් නැවත භාවිතය


මේ වාර්තාව මගින් පෙන්වා දෙන අනෙක්‌ වැදගත් කරුණ වන්නේ ප්‍රතිචක්‍රිකරණය පිළිබඳ තත්ත්වයයි.

ලෝකයේ වාර්ෂිකව භාවිත වන ඉහත සඳහන් කළ සම්පත් ප්‍රමාණය අතරින් වසරකට පසුව භාවිත වන්නේ ටොන් බිලියන 31කි. මේ මූලික වශයෙන් ගොඩනැ`ගිලි හා රථවාහන වැනි ද්‍රව්‍ය වේ. එම සම්පත් වැඩි කාලයක්‌ භාවිතයේ ඇති ඒවා ය.

තවත් ටොන් බිලියන 14.6ක්‌ පමණ වූ සම්පත් ප්‍රමාණයක්‌ වායු විමෝචන ලෙස පිට වෙයි. ඒ පොසිල ඉන්ධන හා වෙනත් දහනය ම`ගින් වායුගෝලයට එක්‌ වන හරිතාගාර වායු ඇතුළු ද්‍රව්‍ය වේ. ටොන් බිලියන 22.4ක්‌ පමණ පරිසරයට එක්‌ වෙයි.

තවත් ටොන් බිලියන 32.6න් පමණ ඉවත දමනු ලැබේ. ඒ අතර කැණීම් අපද්‍රව්‍ය ටොන් බිලියන 7.4ක්‌, ලේඛනගත නො කළ අපද්‍රව්‍ය ටොන් බිලියන 4.4ක්‌, බිම් පිරවුම් සඳහා යොදාගන්නා ද්‍රව්‍ය ටොන් බිලියන 11.2ක්‌, පුළුස්‌සා දමනු ලබන ටොන් බිලියනයක්‌ යන ද්‍රව්‍ය අපතේ යයි. සමස්‌තයක්‌ ලෙස ගත් විට නැවත භාවිතය හා ප්‍රතිචක්‍රිකරණය සඳහා යොදා ගනු ලබන්නේ මුළු සම්පත් ප්‍රමාණයෙන් ටොන් බිලියන 8.65ක්‌ පමජි. ප්‍රතිශකයක්‌ ලෙස පවසන්නේ නම් නැවත භාවිතයක්‌ සඳහා ගනු ලැබෙන්නේ මුළු සම්පත් ප්‍රමාණර්යෙන් 8.6%කි.

එය මෑත කාලයේ ලෝකයේ දැකිය හැකි ප්‍රවණතාවය පෙන්වාදෙන්නකි. ගත වූ අවසන් වසර දෙක ඇතුළත සම්පත් පරිභෝජනය කරන ප්‍රමාණය 8%කින් ඉහළ ගොස්‌ ඇතත්ණී ඒ වසර දෙක තුළ ප්‍රතිචක්‍රිකරණය හා යළි භාවිතය 9.1% සිට 8.6%ක්‌ පමණ දක්‌වා අඩු වී ඇත. ඒ අනුව චක්‍රිකරණය පිළිබඳ පරතරය වර්ධනය වෙමින් තිබෙයි. එමගින් පෙන්වා දෙන්නේ තත්ත්වය හොඳ නැති බවයි. එය වැඩි අවධානයක්‌ යොමුකර සොයා බැලිය යුතු කරුණක්‌ බව සඳහන් වෙයි.

මේ ආකාරයෙන් ලෝකයේ පවත්නා සම්පත් සීමා රහිත බවක්‌ සිතමින් පරිභෝජනය කිêමට යැම ලෝකයටම අහිතකර ප්‍රතිඵලයක්‌ අත්කර ක්ෂය හැකි දෙයක්‌ බව පැහැක්ෂලිය. එසේ නම් අප යොමු විය යුත්තේ සම්පත් අපතේ නොයන ක්‍රමවේදයක්‌ කරාය.


චක්‍රිය ආර්ථිකයක්‌ කරා


චක්‍රිය ආර්ථිකයක්‌ යනුවෙන් අදහස්‌ කරන්නේ ලෝකයේ අද භාවිත වන රේ‚ය ආර්ථික මොඩලයට විකල්පයක්‌ ලෙස ඉක්ෂරිපත් වූවකි. රේ‚ය ආර්ථික මොඩලයේ" යමක්‌ නිෂෘපාදනය කරණී භාවිත කර බැහැර කරනු ලබයි. එහෙත් චක්‍රිය ආර්ථිකයක" එම සම්පත් හැකිතාක්‌ කාලයක්‌ භාවිකයේ තිබේ. ඒවා භාවිතයට ගැනීමේ" ඒවායේ උපරිම ප්‍රයෝජනය ගන්නා අතරණී ඒවායේ ïව කාලය අවසානයේ" නැවත භාවිකයකට ගෙන යා හැකි විය යුතුය. මෙම ක්‍රමයේ" අපද්‍රව්‍ය තිබිය නොහැකිය. ඒ අදාළ අපද්‍රව්‍ය තවත් ක්‍රියාදාමයක ආරම්භයක්‌ වන නිසාය. මේ නිසා අදාළ අමුද්‍රව්‍ය අඛණ්‌ඩව භාවිතයට ගනු ලැබෙයි.

මේ අනුව ලෝකයේ ඇති සීමිත සම්පත් තිරසර ආකාරයෙන් භාවිතය පිළිබඳව ඇති ගැටලූර්වට සුදුසු විසදුමක් ලෙස චක්‍රිය ආර්ථිකය සැලකිය හැකි බව පැහැක්ෂලිය.

මෙහි" චක්‍රිය ආර්ථිකව සම්බන්ධව වැදගත් වන කරුණු කිහිපයක්‌ පවතී. ඉන් එකක්‌ වන්නේ ලෝකයේ රටවල් චක්‍රිය ආර්ථික සංකල්පයට පහසුකම් සැපයිය යුතු වීමය. මෑත කාලයේ" ලෝකයේ මේ පිළිබඳව යොමු වී ඇති රටවල් හෝ රටවල් සඹූහ දැක්‌විය හැකියත ඉන් එකක්‌ වනුයේ යුරෝපා සංගමයයි. චීනය ද එවැනි ක්‍රමවේදයක්‌ වෙත යොමු වී ඇති රටකි. එසේම ලෝකයේ තවත් රටවල් චක්‍රිය ආර්ථිකයකට සම්බන්ධ ප්‍රතිපත්ති වෙත පිවිසුණු ආකාරයක්‌ දැක ගත හැකිය.

මූලාශ්‍රය - The Circularity Gap Report 2020, www.circularity-gap.world/2020

Friday, August 23, 2019

දේශගුණ වෙනස් වීම පිළිබඳ නව වාර්තාවක් හා ආගමික මුහුණුවරකින් ගැටලුවට මුහුණ දීමේ යෝජනාවක්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.08.14, පි. 7 (Vidusara)
Not Available Online



දේශගුණ වෙනස් වීම අද ලොව හමුවේ තිඛෙන වඩාත් බරපතළ පාරිසරික ගැටලූව බවට විවාදයක් නැත. එය වැළැක්වීම සඳහා ගත හැකි පියවර පිළිබඳව සමස්ත ලෝකයේම අවධානය යොමු වී තිඛෙයි. එහෙත් ඊට පිළිතුරක් ලෙස ජගත් මට්ටමෙන් ක්‍රියාත්මක වන ප්‍රමාණවත් වැඩපිළිවෙලක් තවමත් පෙනෙන්නට නොමැත.

මේ අතර දේශගුණ වෙනස් වීම පිළිබඳ අන්තර් ආණ්ඩු මණ්ඩලය (IPCC) මගින් පසුගියදා ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවකින් කියැවෙන පරිදි මනා ඉඩම් කළමනාකරණයක් තිබීම දේශගුණ වෙනස් වීම වැළැක්වීමට උපකාර වෙයි. එහෙත් එය එකම විසඳුම නොවන බවත් පවසයි. සෙල්සියස් අංශක 2 (1.5 නොහැකි නම්) සීමාවේ ලෝකයේඋෂ්ණත්වය තබාගැනීමට නම්, සියලූ අංශවල හරිතාගාර වායු විමෝචන අඩු කිරීම අවශ්‍ය වෙයි. එම වාර්තාව සඳහා පසුගියදා අනුමැතිය හිමි වූයේ ස්විටර්ලන්තයේ ජිනීවාහිදී පැවැති රැස්වීමකදීය.

දේශගුණ වෙනස් වීම හා භූමිය (Climate Change and Land) නමින් කෙටියෙන් හඳුන්වනු ලබන මෙම විශේෂ වාර්තාව දේශගුණ වෙනස් වීම, කාන්තාරනය, භූමි හායනය, තිරසර ඉඩම් කළමනාකරණය, ආහාර සුරක්ෂිතතාව හා භෞමික පරිසරයේ හරිතාගාර වායු පවත්නා ආකාරය වැනි කරුණු පිළිබඳව අවධානය යොමු කර තිඛෙන්නකි. එහි දක්වා තිඛෙන කරණු අතර වැදගත් කරුණු කීපයක් මෙසේය.

ආහාර රටාව වෙනස් කිරීම


මිනිසුන් ඉදිරියේදී ශාකමය ආහාර අධික වූ ආහාර රටාවකට යොමුවීම දේශගුණ වෙනස් වීම වැළැක්වීම සඳහා යෝග්‍ය වූ පිළියමකි. මස් හා කිරි ආහාර අධික ලෙස භාවිත වන ආහාර රටාවකට යොමු වීම මිහිතලය උණුසුම් වීම සඳහා බලපාන්නකි. එසේ මස් අධික ආහාරයක් ගැනීම ඇතැම් ප්‍රදේශවලදී සිදු කළ යුත්තේ වෙනත් තේරීමක් නොමැති වීම නිසාය. එහෙත් බටහිර රටවල මස් පරිභෝජනය සාපේක්ෂව අධික බව රහසක් නොවෙයි. එය බටහිර ආහාර රටාවේ දැකිය හැකි මූලික අංගයක් වෙයි.

සමස්තයක් ලෙස ලෝකයේ මස් ආහාර පරිභෝජනය අඩු කළ හැකි නම්, අඩු භූමි ප්‍රමාණයකින් වැඩි පිරිසකට ආහාර ලබාදිය හැකි බව මෙම වාර්තාව පෙන්වාදෙයි. එහෙත් සියලූ දෙනාට ශාකමය ආහාර හෙවත් එළවළු ආහාරයට ගත යුතු යැයි මෙම වාර්තාව සඳහන් නොකරයි. (මේ පිළිබඳව විවේචනද එල්ල වී තිඛෙයි).

මේ කරුණෙහි වැදගත්කම පෙනෙන්නේ ආහාර නිෂ්පාදනය සඳහා අදාළ හරිතාගාර වායු විමෝචන සම්බන්ධව සැලකූ විටය. 2018 වර්ෂයේදී පළවූ වාර්තාවකට අනුව ලෝකයේ සමස්ත හරිතාගාර වායු විමෝචන අතරින් 26%ක් පමණ නිකුත් වන්නේ ආහාර නිෂ්පාදනය හා පරිභෝජනය නිසාය. ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් 58%ක් පමණ නිකුත් වන්නේ සත්ත්ව නිෂ්පාදන වලිනි. සෙසු සියලූ ආහාර වර්ගවලින් නිකුත් වන්නේ විමෝචනවලින් 42%ක් පමණකි. එමෙනම් ඇතිකරනු ලබන සතුන්ගෙන් සිදුවන හරිතාගාර වායු විමෝචන අතරින් ගවයින් හා බැටලූවන්ගෙන් නිකුත්වන විමෝචන ප්‍රමාණය 50%කි. සෙසු සියලූ සතුන් දායක වන්නේ ඒ හා සමාන විමෝචන ප්‍රමාණයකටය. මේ අනුව මස් හා කිරි ආහාර පරිභෝජනය නිසා හරිතාගාර වායු විමෝචන ඉහළ යන බව පැහැදිලිය. පෙර සඳහන් ලෙසම, සාමාන්‍යයෙන් බටහිර පරිභෝජන රටාවේ දැකිය හැකි ලක්ෂණයක් වූ මස් අධික ලෙස පරිභෝජනය දැන් දැන් වේගයෙන් දියුණු වන ආර්ථීකයක් තිඛෙන තවත් රටවලටද පැතිරයමින් තිඛෙයි. නිදසුනක් ලෙස චීනයේ ගව මස් පරිභෝජනය ඉහළ යෑම දැක්විය හැකිය.

මෙම වාර්තාව දක්වන ලෙස අප නාස්ති කරන හා අපතේ යවන ආහාර ප්‍රමාණයද මහත්ය. ලෝකයේ නිෂ්පාදනය කරනු ලබන ආහාර අතරින් තුනෙන් එකක් පමණ අපතේ යයි. උක්ත වාර්තාවෙහි දැක්වෙන පරිදි ලෝකයේ මුළු හරිතාගාර වායු ප්‍රමාණයෙන් 8%ත් 10%ත් අතර ප්‍රමාණයක් නිකුත්වන්නේ ගොවිපොළ සිට නිවස දක්වා සිදුවන ආහාර නාස්තිය හා අපතේ යෑම නිසා සිදුවන හරිතාගාර වායු විමෝචනයෙනි. මෙම නාස්තිය වැළැක්වීම සඳහා පියවර ගැනීමේ තිඛෙන වැදගත්කමද මෙම වාර්තාවෙහි දක්වා තිඛෙයි.

එමෙන්ම පසට හානි සිදුවීම හා කාන්තාරණය වැළැක්වීම සඳහා ද පියවර ගත යුතු බව මෙම වාර්තාව වැඩිදුරටත් පවසයි. එම ක්‍රියාවලි දෙකම දේශගුණ වෙනස් වීම සඳහා දායක වීම එයට හේතුව වෙයි.

කෙසේ වෙතත් සාමාන්‍යයෙන් විශ්වාස කරන පරිදි, අධික හරිතාගාර වායු විමෝචනයක් පැවතීම වනාන්තරවල වර්ධනයට හේතුවක් වෙයි. විශේෂයෙන් මෙම තත්ත්වය උතුරු අර්ධගෝලයේ දැකිය හැකිය. මෙය දේශගුණ වෙනස් වීම වැළැක්වීමට දායක විය හැකි කරුණක් බව සත්‍යයකි. එහෙත් උෂ්ණත්ව තවදුරටත් අධික ලෙස වර්ධනය වන තත්ත්වයක් තුළ වනාන්තරවලට පවත්නා මෙම බලපෑම ආපසු හැරවිය හැකිය යා හැකිය. නිදසුනක් ලෙස නිවර්තන කලාපීය වනාන්තරවල මෙම තාප ආතතිය නිසා වනාන්තරවල වෘක්ෂලතා අහිමිවීමක් පවා සිදුවිය හැකිය.

දේශගුණ හිතවාදී පිළිවෙත් සඳහා පෙළඹවීම


උක්ත වාර්තාවෙන් දැක්වෙන කරුණු ගෝලීය වශයෙන් වැදගත් හා ජගත් මට්ටමින් ක්‍රියාත්මක විය යුතු ඒවාය. එහෙත් පුද්ගලික මට්ටමින් සිදුකරනු ලබන ආකල්පමය වෙනස්කම් වැදගත් වෙයි. එවැනි ක්‍රියාවලියක් පිළිබඳවද මෑතකදී අසන්නට ලැබි‚.

මේ අතර දේශගුණ වෙනස් වීමට එරෙහිව පියවර ගැනීම සඳහා ජනතාව පොළඹවන ආකාරයේ නව්‍ය අත්හදාබැලීමක් සම්බන්ධව පසුගියදා අසන්නට ලැබි‚. සරලව ගතහොත් එය ආගමික මුහුණුවරක් ගත් ව්‍යාපාරයකි. මෙම ව්‍යාපාරයේ අරමුණ වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධව වැඩිදුරටත් කටයුතු කිරීම සඳහා වැඩි කැපවීමක් දායකත්වයක් ප්‍රවර්ධනය කිරීමයි.

මෙහි ආරම්භකයා වන්නේ දේශගුණ වෙනස් වීම සම්බන්ධ ඉංජිනේරුමය විසඳුම් පිළිබඳව දිගුකලක් තිස්සේ කටයුතු කළ ඔල්යා ඉර්සාක් නැමැත්තියකි. වෘත්තියෙන් ඉංජිනේරුවරියක වූ ඇය සිය අත්දැකීම් අනුව ඇය පැමිණ තිඛෙන නිගමයනක් වනුයේ නියම විසඳුම රැඳී පවතින්නේ තාක්ෂණික විසඳුම් මත නොව ඒවා සඳහා සමාජමය සහයෝගය දිනා ගැනීම මත බවයි. කිසියම් පොදු ආචාර ධර්ම පද්ධතියක් වටා ජනතාව සංවිධානය කිරීම සඳහා යොදාගත හැකි බහු පරම්පරාමය සමාජමය නිර්මාණය කවරක්ද යන්න පිළිබඳව ඇය සිය අවධානය යොමු කර තිඛෙයි. ඒ සඳහා සුදුසුම වන්නේ ආගමික රටාවක් බව එහි අවසන් නිගමනයයි.

මීට වසර තුනකට පමණ පෙර ඉර්සාක් සිය මිතුරන් කිහිපදෙනෙකු හා එක්ව එවැන්නක් ආරම්භ කරන්නට යෙදුනාය. එය අද හඳුන්වනු ලබන්නේ 'දේශගුණ විද්‍යාවේ සාක්ෂිකරුවෝ' (Witnesses of Climatology) යන නමිනි. එසේ ආරම්භ කරන්නට යෙදුණු සංකල්පීය උත්සාහයට නිරාගකමික අදේවවාදියක වූ ඇයට දෙවියන් පිළිබඳ අදහසක් මීට එක් කිරීමට අවශ්‍ය වී නැත. එහෙත් ක්‍රමානුකූලව පැවැත්වෙන දේව මෙහෙයක් වැන්නක් ඔවුන්ගේ ආගමට ඇතුළත් විය. ඊට හැඳින්වීමක්, ස්වභාවධර්මයේ තේජස් වී ස්වභාවයට ප්‍රශංසා කිරීමේ දෙසුමක් හා පාරිසරිකත්වයෙහි විවිධ අංග සම්බන්ධ අධ්‍යාපනය ලබාදීමක් ඇතුළත් විය.

වරින්වර ඔවුන් විසින් හඳුන්වා දෙන ලද චාරිත්‍ර විධිද ඊට ඇතුළත් විය. නිදසුනක් ලෙස සාම්ප්‍රදායික නිවාඩු දිනවලදී ඔවුන් දේශගුණ වෙනස් වීම හා එම විද්‍යාව හා සම්බන්ධ පියවර ගැනීම හඳුන්වා දී තිබිණි. නිදසුනක් ලෙස ප්‍රති නත්තල (reverse Christmas) නමින් හඳුන්වා දී ඇති දිනයේ ඔවුන් සිදුකරන්නේ ගසක් සිටුවීම මිස සාමාන්‍ය නත්තලකදී මෙන් නත්තල් ගසක් සඳහා ගසක් කපා දැමීම නොවේ. ග්ලැසියර සමරු දිනය නම් දිනයකදී ඔවුන් සිදුකරන්නේ අයිස් කැටයක් ඉර අව්වේ දිය වනු නැරඹීමයි.

ඔවුන් මෙවැනි චාරිත්‍ර හරහා සිදුකරන්නට අපේක්ෂා කරන්නේ වඩා ගැඹුරු ප‚වුඩයක් සමාජයට ලබාදීමටය. මෙහි සැබෑ වටිනාකම මිනිසුන් විසින් අවබෝධ කරගෙන දේශගුණ වෙනස් වීම සම්බන්ධව පියවර ගැනීමට හා කටයුතු කිරීමට මිනිසුන් දිරිගැන්වීමය. එය පවත්නා තත්ත්වය සම්බන්ධව කලකිරීමෙන් පසුවීමට වඩා වැදගත් වන්නක් බව ඔවුන්නගර අදහස වෙයි.

එය ප්‍රමාණයක් විය හැකිය. එහෙත් එම සංඛ්‍යාව වර්ධනය වනු ඇති බවට සැක නොකරයි. ඒ සදහා අවශ්‍ය පියවර ගැනීම සඳහා ඔවුහු විවිධ පියවර ගනිමින් සිටිති. නිදසුනක් ලෙස මේ වන විට ඔවුන්ගේ අවධානය යොමුව තිඛෙන කරුණක් වනුයේ සංකීර්ණ පද්ධති ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධව අවබෝධයක් ලබා දීම අරමුණු කරගත් ඉරිදා පාසැලක් ආරම්භ කිරීමටය. මෙවැනි නව්‍ය පියවර හා පිළිවෙත් මගින් වැඩි අවධානයක් යොමු කර ගැනීමට අපේක්ෂිතය.

මූලාශ්‍රය - Special Report on Climate Change and Land, https://ipcc.ch/report/srccl

Friday, June 7, 2019

වායු දූෂණය පිටුදකිමු...

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 05.06.2019, පි. 14-15 (Vidusara)

http://www.vidusara.com/2019/06/05/feature4.html






වාතය අපට ජීවත් වීම සඳහා අත්‍යවශ්‍ය වූ සාධකයකි. ආහාර හා ජලය නොමැති ව සාමාන්‍යයෙන් මිනිසකුට දින හෝ සති කීපයක පමණ කාලයක්‌ ජීවත් විය හැකි වුවත් වාතය නොමැති ව ජීවත් විය හැක්‌කේ ඉතා සුළු කාලසීමාවක්‌ පමණක්‌ වීම නිසා වාතය කෙතරම් වැදගත් ද යන්න පැහැදිලි ය. ශ්වසනය සඳහා වාතය අවශ්‍ය වීම ලොව වෙසෙන සියලු ම ජීවීන්ට ම පාහේ පොදු වූ කරුණකි.

එහෙත් මූලික වශයෙන් මිනිසුන් විසින් සිදු කෙරෙන විවිධ ක්‍රියාවලි නිසා වාතයට එක්‌ වන වායු දූෂකවලින් පෘථිවි වායුගෝලය දූෂණය වෙයි. මේවා සමහරක්‌ ස්‌වාභාවිකව ද වායුගෝලයට එක්‌ වන අවස්‌ථා තිබෙයි. මෙසේ වායු දූෂණයට හේතු වන විවිධ දූෂක ගණනාවකි. මේ අතර කාබන්ඩයොක්‌සයිඩ්, කාබන් මොනොක්‌සයිඩ්, සල්ෆර් ඩයොක්‌සයිඩ්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ්, ඕසෝන්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය, කළු කාබන්, ඊයම්, රසදිය, හයිඩ්‍රොකාබන, දිගු කල් පවත්නා කාබනික දූෂක වැනි විවිධ ද්‍රව්‍ය වෙයි. මේවා පිළිබඳ ව හා ඒවායේ ප්‍රභව, වගුවේ සඳහන් ය (වගුව බලන්න).

මේ වායු දූෂක නිකුත් වන ප්‍රධාන මානව ක්‍රියාවලි ලෙස කෘෂිකර්මය, ප්‍රවාහනය, ගෘහස්‌ථ, කර්මාන්ත හා අපද්‍රව්‍ය යන අංශ සඳහන් කළ හැකි ය. කෙසේ වෙතත්, ගෘහස්‌ථ වායු දූෂණය, ප්‍රවාහන විමෝචන හා කර්මාන්ත ආශ්‍රිත විමෝචන වැඩි බලපෑමක්‌ සිදු කළ හැකි වායු දූෂණ මූලාශ්‍ර ලෙස සැලකෙයි. මේ අංශ එකිනෙකින් නිකුත් වන වායු දූෂක වෙනස්‌ විය හැකි ය.

වායු දූෂණය නිසා සිදු විය හැකි මූලික අහිතකර බලපෑම් කිහිපයක්‌ පිළිබඳ ව පුළුල් ව සාකච්ඡාවට ලක්‌ ව තිබෙයි. ඉන් එකක්‌ වන්නේ, ඉන් මානව සෞඛ්‍යයට සිදු වන බලපෑම ය. තවත් බලපෑමක්‌ වන්නේ වර්තමාන යුගයේ බරපතළ ම පාරිසරික ගැටලුව ලෙස සැලකෙන දේශගුණ වෙනස්‌ වීම ය. කෙසේ වෙතත් මිනිසුන් මෙන් ම වෙනත් ජීවීන් ද වායු දූෂණයේ අහිතකර බලපෑමට ලක්‌ වන බව අප අමතක නො කළ යුතු ය.

මේ තත්ත්වය නිසා වායු දූෂණය මෙන් ම වායු දූෂණය වැළැක්‌වීම සම්බන්ධව ද පුළුල් අවධානයක්‌ ලෝකයේ යොමු ව තිබෙයි. එබැවින් 2019 වර්ෂයේ ජගත් පරිසර දිනයේ තේමාව ලෙස තෝරාගෙන තිබෙන්නේ ද වායු දූෂණයයි. වායු දූෂණය අවම කිරීමේ ඇති වැදගත්කම මේ අනුව පෙනෙන්නකි. ඒ සඳහා ගත හැකි පියවර සම්බන්ධ ව ලෝකයේ අවධානය යොමු කිරීම කාලෝචිත කරුණකි.


මානව සෞඛ්‍යයට බලපෑම


මෑතකාලීන අධ්‍යයන හා සමාලෝචනවලින් පෙන්වා දී ඇති ආකාරයට ලෝක ජනගහනයේ සැම 10 දෙනකු ගෙන් 9 දෙනෙක්‌ ම දූෂිත වාතය ශ්වසනය කරති. ලෝකයේ සිදු වන සැම මරණ 9කින් 1කට හේතුව වන්නේ වායු දූෂණය වන බැවින් එය වර්තමාන ලෝකයේ බරපතළ ම සෞඛ්‍ය අර්බුදයක්‌ ලෙස සැලකෙයි. ලෝකය පුරා වාර්ෂික ව සිදු වන අකල් මරණ මිලියන 7කට හේතු වන්නේ වායු දූෂණය බවට ගණන් බලා ඇත.

වායු දූෂණය මානව සෞඛ්‍යය සඳහා බලපාන අන්දම පිළිබඳ ව අවධානය යොමු කරමින් සිදු කරන ලද අධ්‍යයන 70,000ක්‌ පමණ ප්‍රමාණයක්‌ මේ වන විට ලෝකයේ පළ කර තිබෙයි. ඒවායෙන් පැහැදිලි ව පෙනෙන්නේ වායු දූෂණය නිසා ඇති වන අහිතකර සෞඛ්‍ය බලපෑම් පිළිබඳ ව ශක්‌තිමත් විද්‍යාත්මක පදනමක්‌ පවත්නා බවයි. මේ සෞඛ්‍යමය ගැටලු සම්බන්ධ ව මෑත කාලයේ සිදු කරන ලද අධ්‍යයනවලින් හෙළි වූ කරුණු කිහිපයක්‌ පහත දැක්‌වෙයි.

වායු දූෂණය නිසා ශ්වසන පද්ධතිය හා හෘදය ආශ්‍රිත ආබාධ ඇති වීම, ඒ පිළිබඳ ව අප දන්නා වඩාත් ප්‍රකට සෞඛ්‍ය බලපෑමයි. ඒ හැරුණු විට තවත් රෝගී තත්ත්ව ගණනාවකට වායු දූෂණය බලපෑම් කරයි. මේ වසර මුල Chest සඟරාවේ ප්‍රකාශයට පත් වූ සවිස්‌තර වාර්තා දෙකකට අනුව වායු දූෂණය නිසා මිනිස්‌ ශරීරයට සිදු විය හැකි බලපෑම කෙතරම් ද යත්, එය සිරුරේ සැම ඉන්ද්‍රියකට ම, සැම සෛලයකට ම හානි කරන බවක්‌ පැවසිය හැකි යෑයි පෙන්වා දී තිබිණි. දූෂිත වාතය නිසා ඇති විය හැකි විවිධ ආබාධ ශරීරයේ හිසේ සිට පාදස්‌ථය දක්‌වා වැළඳිය හැකි ආකාරයේ ඒවා ය. ඒවා හෘදයාබාධ හෝ පෙනහලු ආබාධ හෝ විය හැකි ය. දියවැඩියාව හා භින්නෝන්මාදය හෝ වැනි තත්ත්ව සඳහා ද වායු දූෂණය හේතු වීමට ද ඉඩ ඇත. යාකෘත අර්බුදවල සිට පිත්තාශය ආශ්‍රිත පිළිකා තත්ත්ව දක්‌වා වූ විවිධ රෝගවලට ද මූලික හේතුව එය විය හැකි ය. අස්‌ථි භංගුරතාවයේ පටන් සම තුවාල වීම දක්‌වා වූ විවිධ හානි තත්ත්ව දක්‌වා ද වායු දූෂණය බලපෑමක්‌ වෙයි. එමෙන් ම සරුභාවයට, කලලයට හා දරුවන්ට ද වායු දූෂණය අහිතකර ලෙස බලපෑමක්‌ සිදු කරයි.



මේ අතර ගැබිනි කාන්තාවන්ට ගබ්සා ඇති වීමේ ඇති අවදානම වායු දූෂණයට නිරාවරණය වීම නිසා ඉහළ යන බව Fertility and Sterility සඟරාවේ මෑත දී පළ වූ පර්යේෂණයකින් පෙන්වා දී තිබෙයි. ඒ අනුව නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු දූෂණයට, කෙටි කාලයක්‌ නිරාවරණය වීමෙන් නිසා ගබ්සා වීම් ඇති වීමේ අවදානම 16%කින් පමණ ඉහළ යා හැකි ය. සංඛ්‍යාත්මක ව ගත හොත්, නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් වායු සාන්ද්‍රණය ඝන මීටරයකට මයික්‍රොග්‍රෑම් 20කින් ඉහළ යැම ගබ්සා වීමක්‌ ඇති වීමේ අවදානම 16%කින් ඉහළ යැමට බලපායි. ඇමෙරිකාවේ නාගරික ප්‍රදේශ කිහිපයක සිදු කර ඇති මේ අධ්‍යයනයේ ප්‍රතිඵල ලෝකයේ වෙනත් එවැනි ස්‌ථානවලට හා වඩා වැඩි වායු දූෂණයක්‌ ඇති නගරවලට ද අදාළ විය හැකි බව ද මේ පර්යේෂකයන් දක්‌වා ඇත.

වායු දූෂණය හුදෙක්‌ ශාරීරික ව පමණක්‌ නො ව මානසික ව ද ගැටලු ඇති කළ හැකි ය. දූෂිත වාතය ඇති ප්‍රදේශවල වාසය කළ දරුවන් පසු කලක දී විෂාදයට ලක්‌ වීමට ඇති අවදානම පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයක්‌ Science Advances හි පළ වී තිබිණි. ලන්ඩනයේ ජීවත් වන ළමයින් කණ්‌ඩායමක්‌ සම්බන්ධ ව සිදු කර තිබෙන මේ අධ්‍යයනයෙන් පැහැදිලි වන පරිදි, සිය අවුරුදු 12 පමණ වයසේ දී දූෂිත වාතයට නිරාවරණය වන දරුවන් වයස අවුරුදු 18 පමණ වයස්‌ වන විට විෂාදයට ලක්‌ වීමට ඇති අවස්‌ථාව, එසේ වායු දූෂණයට ලක්‌ නො වූ දරුවන්ට වඩා තුන් ගුණයත් සිව් ගුණයත් අතර ප්‍රමාණයකින් ඉහළ ය.

ඩීසල් වාහනවලින් නිකුත් වන වායු විමෝචනවලට ලක්‌ වන ළමයින්ගේ පෙනහලුවල වර්ධනය අඩාළ විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. මෙමඟින් ඇති වන බලපෑම ඔවුන්ගේ ජීවිත කාලයට ම පැවතිය හැකි එකකි. The Lancet Public Health හි පළ වූ මේ අධ්‍යයනය බ්‍රිතාන්‍යයේ මධ්‍යම ලන්ඩන් ප්‍රදේශයේ ප්‍රාථමික පාසල් ළමයින් යොදාගනිමින් සිදු කරන ලද්දකි. එහි දී හෙළි වී ඇති ආකාරයට ඩීසල් විමෝචනවල ඇති නයිට්‍රජන් ඩයොක්‌සයිඩ් මට්‌ටම අනුමත ප්‍රමාණය ඉක්‌මවා ගිය හොත් ළමයින්ගේ පෙනහලු ධාරිතාව 5%කින් අඩු වීම සඳහා එය හේතු විය හැකි ය. සාමාන්‍යයෙන් පෙනහලු ධාරිතාව උපරිමයට ළඟා වන්නේ වයස අවුරුදු 18 දී පමණ වන අතර, ඉන් පසුව එය අඩු වන බව පැවසේ. එහෙත් මෙවැනි තත්ත්වයක්‌ නිසා වැඩිහිටි වියට පත් වන විට පෙනහලු ධාරිතාව පැවතිය යුතු තත්ත්වයට වඩා අඩු වීම බරපතළ කරුණකි. වයසත් සමඟ එම ධාරිතාව අඩු වීම නිසා අඩු වයසින් මිය යැමේ අවදානමකට ඔවුන් ලක්‌ විය හැකි ය.

European Heart Journal සඟරාවේ පසුගිය වර්ෂයේ පළ වූ අධ්‍යයනයකින් හෘද රෝග සඳහා වායු දූෂණය බලපාන ආකාරයේ බරපතළ බව දක්‌වා තිබිණි. ඊට අනුව, වායු දූෂණය නිසා ලෝකයේ වාර්ෂික ව ඇති වන මරණවලින් 60%ක්‌ පමණ ඇති වන්නේ හෘද්වාහිනී පද්ධතිවල රෝග නිසා ය. වායු දූෂණය නිසා ඇති වන හෘද රෝග පිළිබඳ ව සිදු කරන ලද විමර්ශනයක දී මේ බව හෙළි වී ඇත. මේ සඳහා අංශුමය ද්‍රව්‍ය සැලකිය යුතු බලපෑමක්‌ සිදු කරන බව ද හෙළි වී ඇත. විශේෂයෙන් ඉතා සියුම් අංශුමය ද්‍රව්‍ය මේ සඳහා බලපෑමක්‌ ඇති කරයි.

වායු දූෂණය නිසා ඇති විය හැකි තවත් සෞඛ්‍ය හානියක්‌ වන්නේ වකුගඩු ආබාධ ඇති විය හැකි වීම ය. PLOS ONE සඟරාවේ පළ වූ ඇමෙරිකාවේ සිදු කරන ලද අධ්‍යයනයකට අනුව වකුගඩු රෝගය හා PM2.5 කාණ්‌ඩයේ සියුම් අංශුමය ද්‍රව්‍ය සාන්ද්‍රණය අතර ධන සහසම්බන්ධයක්‌ තිබිය හැකි බව පෙන්වා දී ඇත. වාතයේ ගුණාත්මක තත්ත්වය ඉහළ ප්‍රදේශවලට වඩා දූෂිත වාතය ඇති ප්‍රදේශවල වකුගඩු රෝගීන් ඉහළ ය. එසේ ම මේ සියුම් අංශුමය ද්‍රව්‍ය හැරුණු විට වකුගඩුවලට හානි කරන බැරලෝහ ද දූෂිත වාතයේ දැකිය හැකි ය.

වායු දූෂණය නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වසරකින් පමණ අඩු වන බව Environmental Science Technology Letters සඟරාවේ පළ වූ අධ්‍යයනයක සඳහන් ය. 2016 වර්ෂය හා සම්බන්ධ දත්ත යොදාගෙන රටවල් 185ක PM2.5 කාණ්‌ඩයේ අංශුමය ද්‍රව්‍යවලට නිරාවරණය වීම හා ඉන් පසුව එය ඒ ඒ රටට හා ජගත් මට්‌ටමින් ආයු අපේක්ෂාවට බලපාන ආකාරය අවධානයට ලක්‌ කර ඇත. මෙහි දී පෙනී ගොස්‌ ඇති පරිදි ආසියාවේ හා අප්‍රිකාවේ දී ආයු අපේක්ෂාව වසර 1.2 - 1.9 අතර ප්‍රමාණයකින් අඩු කිරීමට මේ තත්ත්වය හේතු වී ඇත. එසේ ම වඩා ගුණාත්මක වායු තත්ත්වයක්‌ පවතින්නේ නම්, මිනිසුන්ගේ ආයු අපේක්ෂාව ඉහළ යන බව මේ අනුව පැහැදිලි ය.


දේශගුණ වෙනස්‌ වීම


වායු දූෂණය හා දේශගුණ වෙනස්‌ වීම අතර අෙන්‍යාන්‍ය සම්බන්ධයක්‌ වෙයි. එයට මූලික හේතුව වන්නේ වායු දූෂණය සඳහා සහ දේශගුණ වෙනස්‌ වීම ඇති වීමට බලපාන මූලික සාධක එක ම සාධක වීම ය. මේ අනුව කාබන්ඩයොක්‌සයිඩ් මෙන් ම වෙනත් හරිතාගාර වායු ගණනාවක්‌ ද වායු දූෂක ලෙස වාතයට එක්‌ වන ද්‍රව්‍ය වෙයි. නිදසුන් ලෙස මීතේන් හා නයිට්‍රස්‌ ඔක්‌සයිඩ් ද දැක්‌විය හැකි ය.

එබැවින් වායු දූෂණය අඩු කිරීම සඳහා ගන්නා වූ යම් ප්‍රයත්නයක්‌ වේ ද එය දේශගුණ වෙනස්‌ වීම පාලනය කිරීම සඳහා රුකුලක්‌ වන බව පැහැදිලි ය. මෙහි දී අපගේ අවධානය යොමු විය යුත්තේ ෆොසිල ඉන්ධන සම්බන්ධ ව ය. ෆොසිල ඉන්ධන යනු ප්‍රවාහනය හා කර්මාන්තවල දී බලශක්‌ති ප්‍රභවයක්‌ ලෙස භාවිතයට ගනු ලබන ප්‍රධාන ඉන්ධන ප්‍රභවයයි. ඒ අනුව ෆොසිල ඉන්ධන දහනයෙන් නිකුත් වන වායු දූෂක අඩු කළ හැකි නම් දේශගුණ වෙනස්‌ වීම සම්බන්ධයෙන් ද ඵලදායී විය හැකි ප්‍රතිඵලයක්‌ ලබාගත හැකි ය.

ෆොසිල ඉන්ධන භාවිතයෙන් ඉවත් කිරීම සඳහා කඩිනමින් කටයුතු කළ හැකි නම්, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5කට සීමා කිරීමට හැකියාව ඇති බව Nature Communications සඟරාවට ලිපියක්‌ සැපයූ පර්යේෂකයන් පිරිසක්‌ පෙන්වා දී තිබුණේ මෑත දී ය. ඒ සඳහා ෆොසිල ඉන්ධන හා සම්බන්ධ ව අද භාවිත කෙරෙන සියලු ම යටිතල පහසුකම් - එනම් විදුලි බලාගාර, කර්මාන්තශාලා, රථවාහන, නෞකා සහ ගුවන් යානා වැනි පහසුකම් - ඒවායේ ජීවිත කාලය අවසානයේ දී ශුන්‍ය කාබන් (zero carbon) විකල්ප මඟින් ප්‍රතිස්‌ථාපනය කළ යුතු ය. එනම් මේ පහසුකම්වලින් නිකුත් වන කාබන් විමෝචන ඉදිරි දශක හතරක කාලයේ දී ශූන්‍ය විය යුතු ය. එය වහා ම කළ හැකි නම් ලෝකයේ උෂ්ණත්වය ඉහළ යැම සෙල්සියස්‌ අංශක 1.5 අගයට අඩුවෙන් පවත්වාගැනීමට 64%ක පමණ අවස්‌ථාවක්‌ පවතී. එහෙත් එම කාර්යය 2030 වසර වන තෙක්‌ ප්‍රමාද වුව හොත් අදාළ ඉලක්‌කය අත්පත් කරගැනීමට ඇති අවස්‌ථාව 33%ක්‌ දක්‌වා අඩු වෙයි. කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් දැක්‌වෙන ඉලක්‌ක අත්පත් කරගැනීම කෙතරම් ප්‍රායෝගික ද යන්න නම් මඳක්‌ සැකසහිත ය.


වායු දූෂණය වළක්‌වාගත හැකි ය - අපට කළ හැකි දේ


වායු දූෂණය බරපතළ ගැටලුවක්‌ වුව ද එහි ඇති වැදගත් කරුණක්‌ වන්නේ එය වළක්‌වාගත හැකි එකක්‌ වීම ය. විවිධ වායු දූෂක අවම කිරීම සඳහා ගත හැකි නවීන තාéණික පිළියම් හඳුනාගෙන තිබෙන අතර මේ වන විට අවශ්‍ය ව ඇත්තේ ඒවා අදාළ අංශවල ක්‍රියාත්මක කිරීම සඳහා පියවර ගැනීම ය. ඊට ලෝකයේ සියලු රටවල බලධාරීන්ගේ අවධානය යොමු කිරීම අවශ්‍ය ව තිබෙයි. මෙහි ලා සඳහන් කළ යුතු වැදගත් දෙයක්‌ වන්නේ වායු දූෂණයට ලක්‌ වීම ඉහළ වන්නේ ද, අවශ්‍ය පිරිසිදු තාéණය ක්‍රියාත්මක කිරීම වඩාත් ප්‍රමාද වී තිබෙන්නේ ද දියුණු වන රටවල බවයි.

තනි පුද්ගලයකු ලෙස වායු දූෂණය අවම කිරීම සඳහා අපට කළ හැකි කටයුතු ද බොහෝ ය. මේ අතරින් මූලික වැදගත් කරුණු කීපයක්‌ මෙසේ සඳහන් කළ හැකි ය.


* රුක්‌ රෝපණය - වායු දූෂක අඩු කිරීම සඳහා ගත හැකි වැදගත් පියවරක්‌ වන්නේ රුක්‌ රෝපණයයි. රුක්‌ රෝපණය මඟින් මූලික ව ම වාතයේ තිබෙන කාබන්ඩයොක්‌සයිඩ් වායුව වාතයෙන් ඉවත් කිරීමට හැකියාව ලැබෙයි. මේ නිසා හැකි තාක්‌ රුක්‌ රෝපණය මඟින් තනි පුද්ගලයන් ලෙස අපට ද වායු දූෂණය අවම කිරීම සඳහා දායක වීමට හැකි ය. මෙය, වන රෝපණය මෙන් ම ගෙවතු හා මාර්ග ආශ්‍රිත ව සිදු කරන රුක්‌ රෝපණය වුව ද විය හැකි ය. එමෙන් ම ශාක මඟින් වාතයේ තිබෙන අංශුමය ද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා ද ප්‍රයෝජන ලැබෙන බවක්‌ දක්‌වා තිබෙයි.

* කසළ පිරිසිදු කිරීම - කසළ නිසි ලෙස බැහැර කිරීම වායු දූෂණය අවම කිරීම සඳහා ගත හැකි පියවරකි. කැලි කසළ අනිසි ලෙස දහනය කිරීම නිසා කාබන්ඩයොක්‌සයිඩ්, මීතේන්, අංශුමය ද්‍රව්‍ය හා වෙනත් විෂ සහිත ද්‍රව්‍ය වායුගෝලයට එක්‌ විය හැකි ය. මෙවැනි විෂ සහිත ද්‍රව්‍ය අතර පිළිකා වැනි තත්ත්ව ඇති කිරීමට හේතුවන රසායනික සංයෝග, දිගු කල් පවත්නා කාබනික දූෂක (persistent organic pollutants) පවා තිබිය හැකි ය. මේ නිසා වඩාත් වැදගත් වන්නේ කසළ නිසි ලෙස බැහැර කිරීම හා ප්‍රතිභාවිතය, ප්‍රතිචක්‍රීකරණය වැනි කටයුතු සඳහා යොදාගැනීම ය. මෙමඟින් වාතයට එක්‌ වන පරිසර දූෂක අඩු කළ හැකි ය.

* වායු දූෂණය අවම වූ ප්‍රවාහන මාධ්‍ය භාවිතය - මෙය වායු දූෂණය සම්බන්ධ ව, තනි පුද්ගලයන් ලෙස අප සැමට තැබිය හැකි තවත් වැදගත් පියවරකි. මෙහි දී අපගේ එදිනෙදා ප්‍රවාහනය සඳහා යොදාගත හැකි ප්‍රවාහන මාධ්‍ය තෝරාගැනීමේ දී සබුද්ධික වීමේ වැදගත්කම පෙනෙයි. මේ වන විට ඇතැම් රටවල් හා නගර, අඩු කාබන් කලාප, ඇතැම් ප්‍රදේශවල සමහර වාහන වර්ග සීමා කිරීම වැනි පියවර ගෙන තිබෙන්නේ මේ තත්ත්වය නිසා ය. මෙහි දී පුද්ගලයන් ලෙස ගත හැකි පියවර වඩාත් වැදගත් වන්නේ එය වඩාත් ස්‌ථාවර හා ඵලදායී වන බැවිනි. මෙහි දී, වැදගත් කරුණු කිහිපයක්‌ මෙසේ ය.

පොදු ප්‍රවාහන සේවා භාවිතය ඉන් පළමුවැන්න ය. පෞද්ගලික වාහන වෙනුවට පොදු ප්‍රවාහන සේවා යොදාගැනීමෙන් අපගේ වායු දූෂණය අවම කළ හැකි ය. ඒ පෞද්ගලික වාහන භාවිතය අඩු කිරීමෙන් ඒවා මඟින් වාතයට එක්‌ වන වායු දූෂක යම් ප්‍රමාණයකින් අඩු වන නිසා ය. එය හැකි හැම විට ම සිදු කළ හැකි නම් එය වායු දූෂණය අවම කිරීම සඳහා අපට ගත හැකි ඵලදායී පියවරක්‌ වනු ඇත. මේ සඳහා වඩා දියුණු තත්ත්වයක පොදු ප්‍රවාහන සේවාවක්‌ අවශ්‍ය බව සැබෑවකි. එහෙත් පවත්නා තත්ත්ව යටතේ වුව ද ගත හැකි ඇතැම් පියවර පවතී.

පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය භාවිත කිරීම මෙවැනි තවත් පියවරකි. රථවාහන වෙනුවට පාපැදි භාවිතය මෙන් ම පිරිසිදු ඉන්ධන මඟින් ධාවනය වන වාහන ද පරිසර හිතකාමී ප්‍රවාහන මාධ්‍ය අතර වෙයි. මේවා හැකි තාක්‌ භාවිත කිරීම වැදගත් වන්නේ ඒවා බොහෝ දුරට අහිතකර වායු විමෝචන අවම වූ ප්‍රවාහන මාධ්‍ය වන නිසා ය. එහෙත් මේ සම්බන්ධව ද යම් යම් සීමා පවතී. නිදසුනක්‌ ලෙස ගත හොත් දිවා කාලයේ උෂ්ණත්වය අවම වූ සෞම්‍ය කලාපීය රටවල් මෙන් නො ව අප රට වැනි රටක නාගරික ප්‍රදේශවල හා දිගු දුර ගමන් කිරීම සඳහා දෛනික ව පාපැදි භාවිතය අසීරු ය. එහෙත් කෙටි දුර ප්‍රවාහනය සඳහා පාපැදි යොදාගැනීමට හැකියාව පවතී.



ජගත් පරිසර දිනය - ජුනි 5


ජගත් පරිසර දිනය යෙදෙන්නේ ජුනි මස 5 වන දාටය. 1960 දශකයේ සිට ලෝකයේ රටවල ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් තිබූ පරිසරය සම්බන්ධව විවිධ ගැටලූ ගැන ඒ රටවල ජනතාවගේ හා දේශපාලන නායකයින්ගේ අවධානය යොමු වී තිබිණි. මේ තත්ත්වය නිසා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලිකත්වයෙන් ජගත් මට්ටමේ පරිසර සමුළුවක් 1972 ජුනි මාසයේදී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේදී පවත්වන ලදි. මානව පරිසරය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මන්ත‍්‍රණය (United Nations Conference on the Human Environment) නම් වූ මෙම සමුළුව ආරම්භ වූයේ 1972 ජුනි මස 5 වන දිනය.
 
ඉහත පරිසර සමුළුව ආරම්භ වූ දිනය ‘ජගත් පරිසර දිනය’ (World Environment Day) ලෙස සැමරිය යුතු බවට යෝජනාවක් එම වර්ෂයේම දෙසැම්බර් මාසයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී සම්මත කරන ලදි. ඒ අනුව මුලින්ම පරිසර දිනයක් සමරන ලද්දේ 1974 වර්ෂයේදීය. 

අද වන විට ජගත් පරිසර දිනය පරිසරය හා සම්බන්ධව තේමාවක් මුල්කරගනිමින් ලෝකය පුරා සමරනු ලබන්නකි. එහි වැදගත්කම වන්නේ අදාළ තේමාව පිළිබඳව මෙන්ම, පොදුවේ පරිසරය සම්බන්ධවද ජගත් මට්ටමින් අවධානය යොමු කරවීමට ඉන් අවස්ථාවක් ලැබීමය.

Thursday, April 25, 2019

තිරසර සංවර්ධනයට තර්ජනයක්‌ විය හැකි භෝග විවිධත්වයේ අඩු වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 03.04.2019, පි. 12 (Vidusara)

http://www.vidusara.com/2019/04/03/feature4.html




භෝග විවිධත්වය හෙවත් මිනිසුන් විසින් වගා කරනු ලබන ශාකවල විවිධත්වය මානව ආහාර සුරක්ෂිතතාව සඳහා ඉතා වැදගත් ය. මේ පිළිබඳ ව මෑතක දී සිදු කරන ලද අධ්‍යයනයකින් වාර්තා වී ඇත්තේ ජගත් මට්‌ටමින් ගත් විට මිනිසුන් විසින් වගා කරනු ලබන භෝග විවිධත්වයේ කිසියම් අඩු වීමක්‌ දැකිය හැකි බව හෙවත් අප විසින් වගා කරනු ලබන්නේ එක සමාන භෝග වර්ග බවත් ය. එය අනාගතයේ දී තිරසර කෘෂිකර්මයට අභියෝගයක්‌ විය හැකි බව ද එම අධ්‍යයනයෙන් පෙන්වා දී ඇත.

මේ අධ්‍යයනය සඳහා භාවිත කර ඇත්තේ එක්‌සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයෙන් (FAO) ලබාගත් ලෝකයේ මහා පරිමාණ ගොවිපොළවල (Industrial farms) වගා කරනු ලබන භෝග පිළිබඳ දත්ත ය. එනම් කාලය සමඟ මේ භෝග වගා වෙනස්‌ වීම පිළිබඳ දත්ත ය. අධ්‍යයන කාලය වන්නේ 1961 හා 2014 දක්‌වා වන කාලයයි. එහි දී එම සංවිධානය විසින් පිළිගනු ලැබෙන උපමහාද්වීපික කලාප (subcontinental regions) 22ක්‌ ආවරණය වී ඇති අතර, භෝග ශාක වර්ග 160කට ආසන්න ප්‍රමාණයක්‌ පිළිබඳ ව අවධානය යොමු කර ඇත. ඒ දත්ත මත පර්යේෂකයන්ගේ අවධානය යොමු වූ කරුණු අතර විවිධ කෘෂිකාර්මික කලාපවල වගා කරනු ලැබූ භෝගවල විවිධත්වයෙහි යම් වෙනසක්‌ කාලය සමඟ සිදු වී තිබේ ද යන්න වැදගත් කරුණකි. එසේ ම භෝග විවිධත්වයේ වෙනස්‌කම් හුදෙක්‌ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ පුරෝකථනය කළ හැකි ද යන්න තවත් වැදගත් කරුණකි.

භෝග විවිධත්වයෙහි ඇති වූ වෙනස්‌කම්


ලෝක කෘෂිකාර්මික ඉතිහාසය සම්බන්ධ ව ගත් විට කෘෂිකර්මය සඳහා යොදාගන්නා භෝග වර්ගවල විශාල ව්‍යාප්තියක්‌ ඇති වූ සිදුවීමක්‌ ලෙස කොලම්බියානු හුවමාරුව (Columbian Exchange) ලෙසින් හඳුන්වනු ලබන ක්‍රියාවලිය දක්‌වනු ලැබෙයි. එය සිදු වූයේ 15 හා 16 වැනි ශතවර්ෂවල දී ය. කෙටියෙන් පවසන්නේ නම් ඒ, ඇමෙරිකානු මහාද්වීපවලට යුරෝපීයයන් පැමිණි පසු එම zනව ලෝකයZ හා zපැරැණි ලෝකයZ අතර සිදු වූ භෝග හුවමාරුවයි. නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයෙහි විසූ ජනතාව විසින් වගා කරන ලද භෝග වර්ග

පැරැණි ලෝකය හෙවත් වෙනත් මහාද්වීපවලටත්, ලෝකයේ සෙසු මහාද්වීපවල වගා කරන ලද භෝග වර්ග ඇමෙරිකානු මහාද්වීපවලටත් හුවමාරු කරන ලදි. මේ සිදුවීම කෘෂිකර්ම ඉතිහාසය සම්බන්ධයෙන් වැදගත් සිදුවීමක්‌ ලෙස සැලකෙයි. අප අද දන්නා භෝග විශාල ප්‍රමාණයක්‌ එම සිදුවීමත් සමඟ ලෝකය පුරා ව්‍යාප්ත වූ භෝග වර්ග අතර වෙයි. මෙසේ භෝග වර්ග ඒවා සම්භවය වූ ප්‍රදේශවලින් පිටත ප්‍රදේශවලට මිනිසුන් විසින් ව්‍යාප්ත කරනු ලැබීම මානව යුගය (Anthropocene) අර්ථකථනය කිරීම සඳහා යොදාගන්නා එක්‌ සාධකයක්‌ ලෙස සැලකෙයි. ඒ, එම සිදුවීමෙන් සිදු වූ වෙනස ලෝකය තුළ පැහැදිලි ව හඳුනාගත හැකි වන නිසා ය.

අප මාතෘකා කරගත් අධ්‍යයනයෙන් දක්‌වා ඇති ආකාරයට අධ්‍යයන කාලයේ මුල හෙවත් 1961 සිට 1970 ගණන්වල අගභාගය දක්‌වා වූ කාලයේ ලෝකයේ භෝග විවිධත්වයේ විශාල වෙනසක්‌ සිදු වී නැති තරම් ය. එහෙත් 1980 දශකයේ මුල පටන් ගත වූ වසර දහයක පමණ කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වයෙහි විශාල ප්‍රමාණයේ ඉහළ යැමක්‌ වාර්තා වී ඇත. එයට හේතුව ලෙස මේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ විවිධ භෝග වර්ග නව වගා බිම්වල මහා පරිමාණයෙන් වගා කරනු ලැබීම ය. එහෙත් මේ විවිධත්වය 1990 ගණන්වල මුල පටන් ස්‌ථාවර තත්ත්වයකට පත් වූ අතර, එතැන් සිට භෝග විවිධත්වයේ ඉහළ යැමක්‌ දැකිය නොහැකි ය.

ජගත් මට්‌ටමේ භෝග විවිධත්වය අඩු වීම


මේ අධ්‍යයනයෙන් අනාවරණය වී ඇති ආකාරයට ජගත් මට්‌ටමෙන් දැකිය හැකි ප්‍රවණතාව වන්නේ එක ම ආකාරයක භෝග වඩාත් විශාල පරිමාණයෙන් වගා කරනු ලබන බවයි. එයින් පෙනෙන්නේ ලෝකයේ බොහෝ ප්‍රදේශවල දැකිය හැකි මහා පරිමාණ ගොවිපොළවල වගා කරනු ලබන්නේ වාණිජමය වශයෙන් වටිනාකමක්‌ ඇති භෝග වර්ග කිහිපයක්‌ බව ය. මෙසේ වගා කරනු ලබන භෝග ඒක භෝග වගා වන අතර ඒවා ප්‍රවේණික වශයෙන් එක ම ප්‍රවේණි දර්ශයට (genotype) අයත් වෙයි.

මේ සඳහා නිදසුන් ලෙස මේ පර්යේෂකයන් විසින් දක්‌වනු ලබන භෝග අතර සෝයා බෝංචි, තිරිඟු, සහල් හා ඉරිඟු දැක්‌විය හැකි ය. මේ භෝග වර්ග හතර වගා කරනු ලබන බිම් ප්‍රමාණය ලෝකයේ මුළු වගා බිම් ප්‍රමාණයෙන් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ තරම් වෙයි. ලෝකය පුරා වගා කරනු ලබන සෙසු භෝග වර්ග 152ක්‌ ම වගා කරනු ලබන්නේ ඉතිරි වගාබිම් ප්‍රමාණයෙහි ය.

මෙවැනි තත්ත්වයක්‌ තුළ මේ භෝගවල ප්‍රවේණික විවිධත්වය අඩු වීම අනිවාර්යයෙන් ම අපේක්ෂා කළ යුත්තකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඇමෙරිකාවේ වගා කරනු ලබන ඉරිඟු අතරින් 50%ක්‌ පමණ ප්‍රමාණයක්‌ සමන්විත වන්නේ ප්‍රවේණි දර්ශ හයක්‌ පමණ ප්‍රමාණයකිනි.

මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු අනුව කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් පමණක්‌ මේ භෝග වර්ගවල විවිධත්වයේ වෙනස්‌ වීම පැහැදිලි කළ නොහැකි බව පැහැදිලි ය. ඒ වෙනස්‌කම් සඳහා බලපා ඇති කරුණු අතර ඇතැම් භෝගවලට ලබා දී ඇති සහන, අන්තර්ජාතික වෙළෙඳපොළ, ජනගහන වර්ධනය, ඒක පුද්ගල ආහාර ඉල්ලුම වැනි කරුණු ද භෝග ව්‍යාප්තියට බලපා ඇත. අන්තර්ජාතික වෙළෙඳ ගිවිසුම්, භෝග විවිධත්වයට බලපා ඇත්තේ කෘෂිකාර්මික ව්‍යාප්තියෙන් ස්‌වාධීන ව බව ද මේ අධ්‍යයනය මඟින් පෙන්වා දී ඇති කරුණකි.

කලාපීය වෙනස්‌කම්


කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වී ඇති තවත් කරුණක්‌ වන්නේ මෙහි කලාපීය වශයෙන් වෙනස්‌කම් දැකිය හැකි බවයි. ඇතැම් කලාපවල භෝග විවිධත්වය ඉහළ ගොස්‌ ඇත. නිදසුනක්‌ ලෙස ගත හොත් උතුරු ඇමෙරිකාවේ 1960 දශකයේ දී මහා පරිමාණයෙන් වගා කරන ලද භෝග වර්ග ගණන 80ක්‌ පමණ විය. එහෙත් මේ වන විට උතුරු ඇමෙරිකාවේ භෝග විශේෂ 93ක්‌ පමණ මහා පරිමාණයෙන් වගා කරනු ලැබෙයි.

එහෙත් සෙසු බොහෝ කලාපවල මහා පරිමාණ ගොවිපොළවල දැකිය හැක්‌කේ භෝග විවිධත්වයෙහි අඩු වීමකි. එය සමස්‌තයක්‌ ලෙස ලෝකයේ භෝග විවිධත්වය අඩු වීම සඳහා බලපායි.

විවිධත්වය අඩු වීමේ බලපෑම


මීට පෙර සිදු කර ඇති ඇතැම් අධ්‍යයනවලින් පෙන්වා දී ඇති එක්‌ කරුණක්‌ වන්නේ මෑත කාලයේ දී ලෝකයේ භෝග විවිධත්වය ඉහළ ගිය බවකි. එය රේ‚ය ප්‍රවණතාවක්‌ පෙන්වන බවට ද අදහසක්‌ විය. එහෙත් මේ නව අධ්‍යයනය අනුව සිදු වී ඇති වෙනස්‌කම් වඩාත් පැහැදිලි ය. විශේෂයෙන් වැඩි භූමි ප්‍රමාණයක මහා පරිමාණයනේ වගා කරනු ලබන භෝගවල සිදු ව ඇති වෙනස්‌කම් ද මේ අනුව පැහැදිලි ය.

මේ ආකාරයෙන් භෝගවල විවිධත්වය අඩු වීම නිසා සිදු විය හැකි බලපෑම මෙහි දී සැලකිය යුතු කරුණකි. එය කලාපීය වශයෙන් ආහාර සුරක්ෂිතතාවට බලපෑමක්‌ කළ හැකි ය. කලාපීය වශයෙන් ඇති වන භෝග විවිධත්වය පිරිහීමක්‌ එම කලාපයේ වෙසෙන ජනතාවට තමන්ට සංස්‌කෘතික වශයෙන් අනන්‍ය වූ ආහාර අනුභව කිරීමට හෝ ලබාගැනීමට හෝ ඇති හැකියාව අඩු කරවයි. ඒ වෙනුවට මහා පරිමාණයෙන් වගා කරනු ලබන භෝග මත යෑපීමට සිදු වෙයි. එමෙන් ම මෙසේ එක්‌ භෝගයක්‌ හෝ ප්‍රභේදයක්‌ ලෝකයේ විශාල ප්‍රදේශයක වගා කරනු ලැබීම නිසා ඒවා පළිබෝධ හා රෝගවල තර්ජනයට වඩාත් ලක්‌ වීමට ඉඩ සැලසෙයි. මේ වන විට කෙසෙල් වගාවට බරපතළ ලෙසින් හානි කරන දිලීරයක්‌ මේ සඳහා නිදසුන ලෙස දක්‌වා ඇත. ලෝක කෘෂිකර්මය හමුවේ එවැනි අභියෝගයක්‌ දැකිය හැකි ය.

මේ ආකාරයෙන් භෝග විවිධත්වය අඩු වීම වළක්‌වාගැනීම සඳහා ලෝකයේ රටවල ආණ්‌ඩුවලට යමක්‌ කළ හැකි බව ද මේ පර්යේෂකයන්ගේ අදහසක්‌ වෙයි. විශේෂයෙන් ඒ ඒ රටවල් විසින් ප්‍රතිපත්තිමය වශයෙන් අනුමත කරනු ලබන්නේ එක්‌ භෝගයක්‌ හෝ සීමිත භෝග ගණනක්‌ හෝ වැඩි භෝග ගණනක්‌ වගා කිරීමට ද යන්න ඒ අනුව වැදගත් ය.

භෝගවල ප්‍රවේණික විවිධත්වය සංරéණය කිරීම තිරසර සංවර්ධන අභිමතාර්ථවල (Sustainable Development Goals) එන එක්‌ ඉලක්‌කයක්‌ වන අතර එය තහවුරු කිරීමේ දී මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු ගැන අවධානය යොමු කළ යුතු බවක්‌ පෙනෙයි.

මූලාශ්‍රය :- PLOS ONE, DOI: 10.1371/journal.pone.0209788