Monday, August 31, 2020

පශ්චාත් කොවිඩ් ලෝකය හා හරිත ප්‍රකෘතිමත් වීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.08.19, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/08/19/feature1.html


“මේ වසංගතයෙන් පස්සේ ලෝකය කලින් තිබ්බ ලෝකයම වෙන්නේ නෑ” යන්න අප මිත්‍රයෙකු පැවසූයේ පසුගිය අප්‍රේල් මස මුලදී පමණය. ඔහුගේ අදහස වූයේ ලෝකයේ ඒ වන විට පැවති ලෝක තත්ත්වයට වඩා සැලකිය යුතු වෙනස්කම් රැසක් අනාගතයේදී ඇති විය හැකි බවයි. ඇත්තෙන්ම එවැන්නක් සිදුවෙමින් තිබේද යන්න යම් ප්‍රමාණයකට හෝ සලකා බැලීමට දැන් අපට හැකියාව ඇත.

කොවිඩ් 19 හෙවත් නව්‍ය කොරෝවා වයිරසය ලෙස ප්‍රකට වර්තමාන වසංගතය නිසා ලෝකයේ විවිධ මට්ටම්වල සීමා කිරීම් ඇති වී ලොක්ඩවුන් තත්ත්වයකට පත් වූ මාර්තු හා අප්‍රේල් මාසවලදීය. අද වන විට ලෝකයේ රටවල් 190කට අධික ප්‍රමාණයකටම රෝගය ව්‍යාප්ත වී ඇත. යළි යළිත් රෝගීන් ගණන හා මරණ ගණන ඉහළ යමින් තිබෙයි.

ඒ තත්ත්වය හමුවේ ලෝකයේ සියලු රටවල විවිධ සීමා පැනවිණි. අන්තර්ජාතික ගමනාගමනය මෙන්ම ප්‍රවාහන කටයුතුද අඩාල විය. රටවල් තුළ සියලු අංශවල දෛනික කටයුතු රැසක් සැලකිය යුතු අන්දමින් බිඳවැටුණි. කර්මාන්ත තාවකාලිකව වසා දමන්නට සිදු විය. සංචාරක ව්‍යාපාරය මුළුමනින්ම පාහේ නැවතිනි. විරැකියාව මෙතෙක් නොවූ විරූ අන්දමින් ඉහළ ගියේය. බොහෝ රටවල විවිධ අංශවලට ඔවුන්ට හැකි පමින් සහන ලබා දෙමින් තිබෙයි. එහෙත් එවැනි ආර්ථික ශක්තියන් නොමැති රටවල එය ගැටලු සහගතය. 

ලෝක ආර්ථිකයේ ඇති වූ පිරිහීම කෙතරම් ද යත් අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පෙන්වා දී ඇති ආකාරයට ලෝක ආර්ථිකය මේ වර්ෂයේදී 3%කින් පමණ අඩු විය හැකිය. එය විස්තර කරනු ලබන්නේ 1930 ගණන්වල ලෝකයේ ඇති වූ ආර්ථික අවපාතයෙන් පසුව ඇති වන බරපතළම ආර්ථික අවපාතය ලෙසය. ලෝකයේ බොහෝ කොටස් වෙළෙඳපොළවල අගය 25%ක් හා 30%ක් දක්වා පහළ බැස්සේ මාර්තු අප්‍රේල් මාසවලදීය.


අර්බුදයෙන් පසු ලෝකය 


අද වන විට ලෝකයේ කටයුතු ක්‍රමයෙන් යළි ආරම්භ වෙමින් තිබේ. සීමා සහිතව වුවද අන්තර්ජාතික ප්‍රවාහන කටයුතු යළිත් ආරම්භ වී ඇත. බොහෝ රටවල දෛනික කටයුතු දැන් ආරම්භ කර තිබෙයි. නිෂ්පාදන හා සේවා කටයුතු යම් ප්‍රමාණයකින් යළිත් ආරම්භ වී ඇත. මේ අනුව 2020 වෙන භාගයේදී කොරෝනා වයිරසය අඩු වී ගියහොත් ලබන වර්ෂයේදී ලෝකයේ ආර්ථිකය 5.8%කින් වර්ධනය විය හැකි බව පෙන්වා දී තිබෙයි. එසේම පහළ ගිය කොටස් වෙළෙඳපොළ ද ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙයි.

මෙය වැදගත්ය. මක් නිසා ද යත් මේ වර්ධනය සිදු වනු ඇත්තේ කෙබඳු ආකාරයකින් ද යන්න නිසාය. එය පරිසර හිතකාමී වර්ධනයක් වීම වැදගත්ය. 

මේ වන විට වැඩි වෙමින් පවත්නා ඛනිජ තෙල් භාවිතය තෙල් භාවිතය ඉහළ යන බවට සාධකයකි. පසුගිය පෙබරවාරි-මාර්තු පමණ තෙල් භාවිතය සඳහා ඇති ඉල්ලුම පහළ යෑමත් සමඟ තෙල් මිල පහළ ගියේය. ඇමරිකානු තෙල් වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල පසුගිය අප්‍රේල් මාසයේ දී ඩොලර් 20 කටත් වඩා අඩු අගයක් දක්වා පහළ ගියේය. අන්තර්ජාතික තෙල් මිල ලෙස සැලකෙන බ්‍රෙන්ට් තෙල් මිල ද ඩොලර් විසි ගණනක් දක්වා පහළ ගියේය. එහිදී තෙල් නිෂ්පාදනය පහළ දැමීමෙන් තෙල් මිල තරමක් ස්ථාවර කරගැනී තෙල් නිපදවන රටවල් ක්‍රියාකළේය. 

කොවිඩ් වසංගතය උග්‍රව තිබිය දී වේගයෙන් පහළ ගිය තෙල් පරිභෝජනය දැන් නැවතත් ක්‍රමයෙන් ඉහළ යමින් තිබේ. ඒ සමඟ තෙල් නිෂ්පාදනය ඉහළ යමින් තිබේ. එහෙත් එය මේ අර්බුදයට පෙර පැවති තත්ත්වයට ළඟා වනු ඇත්තේ ලබන වසරේ දෙවන කාර්තුවේදී පමණය. (1 රූපය බලන්න). එසේම පහළ ගිය තෙල් බැරලයක මිල ද ඩොලර් ඩොලර් 40 අගය ද ඉක්මවා තිබේ.


1 රූපය - ලෝකයේ දියර තෙල් නිෂ්පාදනය හා පරිභෝජනය වෙනස් වී ඇති ආකාරය
(මූලාශ්‍රය - එක්සත් ජනපද බලශක්ති තොරතුරු පරිපාලනය, 2020 අගෝස්තු)



කෙසේ වෙතත් මෙයින් පැවසෙන්නේ ලෝකය නැවතත් ප්‍රකෘතිමත් තත්ත්වයට පත්වන්නේ හැමදාමත් පැවති සාම්ප්‍රදායික ක්‍රමවේදය යටතේ බවද? සමහර අංශවල එසේ නැති බවක් පෙනෙන අතර, තවත් අංශවල එසේ වීමට ද හැකිය.


හරිතවත් මාවතක අවශ්‍යතාවය


කොවිඩ් අර්බුදයෙන් පසුව ලෝකයේ ආර්ථිකය යළිත් ප්‍රකෘතියට ළඟා වීම සඳහා කටයුතු කිරීමේදී දළ ජාතික නිෂ්පාදනය ඉලක්ක කරගැනීම ගැටලුවක් විය හැකි බව දක්වා තිබේ. එයින් පැවසෙන්නේ හුදෙක් මෙතෙක් අප කටයුතු කරගෙන ආ පරිදිම කටයුතු කරගෙන යන බවයි.

අඩාල වූ ආර්ථිකය හා සංවර්ධනය යළිත් යථා තත්ත්වයට පත් වීමේදී හෙවත් ප්‍රකෘතියට පත් වීමේ ක්‍රියාවලියේදී හරිතවත් වීම වැදගත් බව පෙන්වා දී තිබෙයි. හරිත ප්‍රකෘතිමත් වීමක් (Green Recovery) ගැන ලෝකයේ සාකච්ඡාවක් ඇති වන්නේ එතැනදීය. එහි දී හුදෙක් හරිත රැකියා අවස්ථා පමණක් හරිතවත් කිරීම නොව සමස්තයක් ලෙස ප්‍රකෘතිමත්වීමේ ක්‍රියාවලියම හරිතවත් කිරීම වැදලත් බව පෙන්වා දී තිබෙයි. මෙය සැබැවින්ම අභියෝගයකි.

ලෝකයේ එවැනි තත්ත්වයක් ඇතිවෙමින් පවත්නා බවක් පෙනෙන යහපත් ප්‍රවණතා ගණනාවක් දැකිය හැකිය. නිදසුනක් ලෙස භෞතික රැස්වීම් වෙනුවට ඩිජිටල් මාධ්‍යයෙන් සිදුකරන කටයුතු ඉහළ යෑම දැකිවිය හැකිය. දුරස්ථ අධ්‍යාපනය, ටෙලි-වෛද්‍යසේවා (Telemedicine), මාර්ගගත වෙළෙඳ කටයුතු (Online trade) ඉහළ යෑම, ඩිජිටල් ක්‍රමයට පැවැත්වෙන රැස්වීම් හා සම්මන්ත්‍රණ ආදිය මේ අතර වෙයි. මේ සියල්ල අනුව යම් හරිතවත් හා පරිසර හිතවාදී තත්ත්වයක් දැකිය හැකි බව පැහැදිලිය. මේ නිසා සමස්ත ලෝකය පුරාම ඩිජිටල් තාක්ෂණික යටිතල පහසුකම්වල සැලකිය යුතු දියුණුවක් ලබා ඇති බව පෙනෙයි. බොහෝ රටවල මේ පහසුකම් නොතිබූ ප්‍රදේශවලට මෙන්ම ඒවාට ප්‍රවේශයක් නොමැති වූ පිරිස් අතරටද ඩිජිටල් තාක්ෂණය ගමන් කළේය. දැන් බොහෝ රැස්වීම් ආදිය පැවැත්වීම සඳහා අදාළ ස්ථානවලට ගමන් කිරීම අත්‍යාවශ්‍ය නොවන බව පැහැදිලි වී ඇත. විශේෂයෙන් අන්තර්ජාතික රැස්වීම් පවා මාර්ගගතව පැවැත්වීමට හැකි බව හෙළි වී තිබෙයි. එබැවින් අනාගතයේදී පරිසර පියසටහන අඩු කරගැනීමට මෙය යොදාගත හැකි කමයකි. ගුවන් ගමනාගමය යනු හරිතාගාර වායු විමෝචන ඉහළ මට්ටමකින් නිකුත්වීමට හේතුවන්නකි. 

අනෙක් අතට ඒ ඒ රටවල ආර්ථිකයේ අත්‍යවශ්‍ය කටයුතු දේශීය සම්පත් හා නිෂ්පාදන මත පදනම් කරගැනීම සඳහා පියවර ගැනීම ලෝකයේ බොහෝ රටවල වර්ධනය වූ තවත් එක් හරිතවත් ප්‍රවණතාවයකි. මක් නිසා ද යත් එවැනි ද්‍රව්‍යවල මෙන්ම පාරිභෝගිකයාගේ ද ‘කාබන් පියසටහන’ එමගින් අඩු වන නිසාය. දේශියව නිෂ්පාදනය කළ හැකි දේ ප්‍රවර්ධනය කිරීම නිසා එතෙක් අපතේ ගිය සම්පත් භාවිතය සඳහා ද අවස්ථාවක් ලැබී ඇත. එහෙත් මෙය කල්පනාකාරීව කළ යුතු දෙයක් වන්නේ, රටක ඇති ඉඩම්, ජලය හා ශ්‍රමය වැනි සම්පත් සීමාකාරී විය හැකි නිසාය. කිසිදු රටකට ආනයන හා අපනයන නොමැතිව පැවතිය නොහැකි වන නිසා මෙය වැඩිදුරටත් සාකච්ඡා කළ යුතු කරුණක් සේ අපි සිතමු.


ජනතාවගේ වගකීම


කෙසේ වෙතත් මෙවැනි පරිසර හිතකාමී ලක්ෂණ සහිත වූ ලෝකයක් ඇති කරගැනීමේ හැකියාව තිබෙන්නේ ද අපටමය. අනාගතය අද පවතින්නක් නොවේ. එසේම අනාගතය යනු ඉබේ ඇති වන්නක් නොවේ. අනාගතය යනු අපේ වර්තමාන ක්‍රියාකාරිත්වය මත ඇතිවන්නකි. පසුගිය දශක පහක පමණ කාලයේදී පරිසරය සම්බන්ධව ඇති වූ සංකල්පීය වෙනස්කම් හා ප්‍රවේශයේ ඇති වූ වෙනස්කම් මේ සඳහා නිදසුනකි. පරිසර දූෂණය පාලනයේ සිට තිරසර සංවර්ධනය දක්වාත්, එතැනින් හරිත ආර්ථිකය දක්වාත් ඇති වී තිබෙන වෙනස්කම් ඇති වූයේ ගත වූ වසර පනහක කාලය ඇතුළත දීය.

හරිතවත් හෙවත් පරිසර හිතකාමී අනාගතයක් වෙත ගමන් කළ හැකි ස්වර්ණමය අවස්ථාවක් අද ලෝකයට උදාවී ඇත. එහෙත් එය එසේ සිදුකිරීම ගැන තීරණය කළ යුත්තේ ලෝකයේ ඒ ඒ රටවල තීරණ ගන්නා පිරිස් විසිනි. එහෙත් ඒ සඳහා බලධාරීන් පෙළඹවීමට විවිධ අංශවල විද්වතුන්ට මෙන්ම මහජනතාවට හැකියාවක් ඇති අතර, එය කළ යුතුය. අප අද ජීවත්වන ලෝකය හා එහි සම්පත් අනාගත පරපුරටද අයිති සම්පත් වෙයි.

No comments:

Post a Comment