Sunday, August 22, 2021

"ඉස්සෙල්ලම මට" (අම්මාගේ කතා 1)

මේක අම්මාම කියපු අම්මාගෙ කතාවක්.

අපෙ අම්මා පවුලෙ බාලයා. ඉතින් ටිකක් හුරතලේට හා ටිකක් හිතුවක්කාරෙට තමයිලු හැදිල තියෙන්නෙ (ඔය දෙවැනි එක නම් මට තියනවා මදි නැතිවම, මොකද මං ඉතින් ඒ අම්මගෙ පුතානේ...).

ඉතින් එයා පොඩි කාලෙ කෑම කනකොට එයාට බෙදල දෙන්න ඕනැලු ඉස්සෙල්ලාම. නැත්තං කන්නෙ නෑලු. මේ එයාගෙ වයස 10-12 කාලෙ වෙන්න ඕන. ඒ කියන්නෙ 1950 දශකයෙ මුල. මේක සෑහෙන කරදරයක් උනාලු එයා‌ගෙ අම්මට (මම දැකලවත් නැති ආච්චිට).

ඉතින් ආච්චි දවසක් මේ ගැන කියලා එයාගෙ මල්ලිට - ඒ කියන්නෙ අම්මගෙ මාමට (මං ඒ සීයාව නං දවස් කීපයක් දැක්කා අසූගණන්වලදි).

ඊට ටික දවසකට පසුව ආපු පාසල් නිවාඩුවෙ අම්ම‌ගෙ මාම, අම්මව එක්කගෙන ගියාලු  එයාගෙ ගෙදරට. දැරණියගල ටවුමට ආසන්න ගමක තිබ්බ අම්මගෙ ගෙදර ඉදල හැතැප්ම කීපයක් දුරයි අර නිවසට - මේ කියන කාලෙ ඒක සෑහෙන දුරක්. වාහනත් අඩුයිනෙ. (මං ඒ ගමට ගියෙ 1980 ගණන්වල)

ඒ අම්මගෙ මාමට හිටපු ළමයි ඔක්කොම වගෙ අපෙ අම්මට වඩා බාල අය. ඉතින් එහෙ හිටපු මාසෙ පුරාම කට්ටියම කෑම කද්දි අපෙ අම්මට කෑම දුන්නෙ අන්තිමටමලු.

ඒ මාසෙ අවසන් වන විට අම්මගෙ අර "මං ෆස්ට්" අසනීපෙ හොඳ වෙලා තිබ්බලු.

අම්ම තමයි මේ කතාව රසකරල කියන්නෙ. 

අපරාදෙ කියන්න බෑ මටත් ඔය ලෙඩේ තිබිල තියනව පුංචි කාලෙ. හැබැයි ඉබේම හොඳවෙලා. හැබැයි පත්තරයක් ගෙනාවොත් නම් හැමදාමත් මං බලල තමයි අනිත් අයට දුන්නෙ. ඒකට කට්ටිය කිව්වෙ "අකුරු අඩුවෙයි" කියලා මං බයේ හිටියා කියලයි.

Thursday, August 12, 2021

"අනේ නාවල යටවෙලා ඇති..."



මේක මට මතක විදියට මම පහළ බාලාංශ පංතියෙදි වූ දෙයක්. ඒ කියන්නේ අද නම් 1 වැනි ශ්‍රේණිය. වයස අවුරුදු 6ක් වන ළමයි ඉන්න පංතියක්.

ඒ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ කුලී නිවසකයි. මේ සේනානායක මාවත ප්‍රධාන පාරට වැටෙන්නේ නාවල හන්දියේ මදක් රාජගිරිය පැත්තට වන්නටයි.

ඒ පාර වැටෙන තැන ඒ කාලෙදි වැස්සට ටිකක් යටවෙනවා. වතුරෙ බැහැල තමයි යන්න ඕන. වතුර පිරුණම මාව පොඩ්ඩක් උස්සලා තියන්නෙ මං පුංචි නිසා.

ඉතින් මේ කියන දව‌සෙ මං පාසලේ ඉද්දි මහා වැස්සක් වැටුනා. ඒ පාසල අවසන් වන්නට ආසන්න වෙලාවෙ වගේ. ඉතින් ඉස්කෝල දැන් ඇරිලා, ඒත් එළියෙ වහිනවා. මාව එක්කන් යන්න එන්න ඕන අම්මා තවම නෑ. පරක්කුයි. මං එළිය දිහා බලමින් හිටියෙ - ඒ දර්ශනය මතක නිසා තමයි මං හිටපු පංතිය මතක් වන්නේ.

පංතියෙ ටීචර්ත් ඉන්නවා. ළමයිත් කීප දෙනෙක් ඉන්නවා. 

දැන් මට දරාගන්න බෑ. බයයි. මං ඇඬුවා හොඳටම... මෙන්න මෙහෙම කියමින්...

"අනේ නාවල යටවෙලා ඇති... අම්මා ගිලිලද දන්නෙ නෑ" කියලා.

මේ කතාව අම්මා ආවම ටීචර් කිව්වා. අම්මත් මං දිහා බලලා හිනා උනා වගෙ මතකයි.


(මේ සමඟ දැක්වෙන 2015 ඔක්තෝබර් ගත් Google Earth ඡායාරූපයේ දැක්වෙන්නේ සේනානායක මාවත ප්‍රධාන මාර්ගයට එක්වන හන්දියයි. නාවල හන්දිය දෙසට ද රාජගිරිය දෙසටද ඇති මාර්ග උස් බැවින් මෙතැන වම් පස බස් නැවතුම අසල එකල වැසි දිනවල දී වතුර එකතු විය. දැන් තත්ත්වය නොදනිමි)

ධනේෂ් විසුම්පෙරුම 

12.08.2021