Sunday, November 28, 2021

ජාතික උරුමය ගවේෂණයට අතදෙන ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය

ධනේෂ් විසුම්පෙරුම


දේශය, 28.11.2021, පි.19



“ආරේයැස් ලයිබ්‍රරියේ
දූලි වැකුණු මේසය ළඟ
අද මම ලිපියක් කියවමි
ඔබේ පොතක් පෙරලාගෙන.
සෙමෙන් සෙමෙන් ඔබ එයි
පියගැට නැග.
නටබුන් මැද
නටබුන් වූ ප්‍රතිමාවක් සේ
මේසය එහා කොනේ
මා අසලම හිඳගෙන නිශ්ශබ්දව
ඔබත් පොතක් කියවන්නට පටන් ගනී.”

(මහගම සේකර, බෝඩිම, 1970)


කීර්තිමත් පුරාවිද්‍යාඥයෙකු වන මහාචාර්ය සෙනරත් පරණවිතානයන් පිළිබඳව මහගම සේකර විසින් රචනා කරන ලද ‘පරණවිතාන’ නම් වූ ඉහත කවි පංතියේ සඳහන් ‘ආරේයැස් ලයිබ්‍රරිය’ කුමක්දැයි ඔබ දන්නවාද? ඒ අද ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතිය (RASSL) නමින් හඳුන්වන, 1845 වර්ෂයේ දී එවක මෙරට පාලනය කළ බ්‍රිතාන්‍ය උගතුන් හා නිලධාරීන් පිරිසක් විසින් ආරම්භ කරන ලද පැරණිතම ශාස්‍ත්‍රීය සමිතියයි.

වසර 176ක් වැනි දිගුකාලයක් දෙස්-විදෙස් විද්වතුන් විසින් අපේ රටේ උරුමය පිළිබඳව ජාතිය දැනුම්වත් කිරීමට, ඒ පිළිබඳ පර්යේෂණ හා සාකච්ඡා කිරීමට විද්වතුන්ට මූලස්ථානය වූයේ රාජකීය ආසියාතික සමිතියයි. දැනුම ගවේෂණය කරන විද්වතුන්ට හා විද්‍යාර්ථීන්ට දැනුම සපයන සැඟවුණු දැනුම සපයන මෙරට පැරණිතම පුස්තකාලයක් සමිතිය සතුය. එසේම අපේ උරුමයේ විවිධ පැතිකඩ ඔස්සේ දේශන, සාකච්ඡා හා සම්මන්ත්‍රණ පැවැත්විම සමිතියේ තවත් කාර්යයකි. සමිතිය ආරම්භයේ සිටම පළ කරන සමිතියේ ශාස්‍ත්‍රීය සඟරාව රටේ අනාගත පරම්පරාවට මෙන්ම ලෝකයටම මේ දැනුම සම්ප්‍රේෂණය කරයි. එසේම සුවිශේෂ මාතෘකා යටතේ අපේ උරුමය පිළිබඳ ශාස්ත්‍රීය ග්‍රන්ථ හා ග්‍රන්ථ මාලා ද කලින් කලට එළි දක්වා ති‌බේ.

ඉතිහාසය හා පුරාවිද්‍යාව පිළිබඳ පර්යේෂණ


සමිතියේ අරමුණු අතර, ශ්‍රී ලංකාවේ නූතන හා අතීත ජනතාවගේ ඉතිහාසය, ආගම, භාෂාව, සාහිත්‍යය, කලාව, විද්‍යාව හා සමාජ තත්ත්වය පිළිබඳව අධ්‍යයන ප්‍රවර්ධනය කිරීම මූලික වේ. අද වන විට සමාජීය සහ මානව විද්‍යාවන් පිළිබඳ අවධානය වඩාත් ඉහළ ගොස් තිබේ. ඉතිහාසය හා පුරාවිද්‍යාව මේ අතර විශේෂිතය.

රාජකීය ආසියාතික සමිතිය ආරම්භයේ සිට අද දක්වාම උක්ත විෂය සම්බන්ධ බොහෝ ලිපි සමිතියෙන් පළ කරනු ලබන ශාස්‍ත්‍රීය සඟරාවේ පළ වේ. 1845 දී ලාංකීය උගතෙකු වූ සයිමන් කාසිචෙට්ටි විසින් සමිතියේ සඟරාවේ මුල්ම කලාපයට රචනා කරන ලද ‘පැරණි කාසි කිහිපයක්’ නම් ලිපිය මේ විෂයයක් ගැන සාකච්ඡා වූ පළමු ලිපිය වන අතර එතැන් සිට අද දක්වා මේ විෂයයන් හා සම්බන්ධව බොහෝ ලිපි සඟරාවේ පළ වී ඇත.

මෙරට පුරාවිද්‍යාව පිළිබඳ රාජ්‍ය මට්ටමේ ආයතනික මැදිහත් වීම්වලට පෙර 1880 දශකයේ දී සමිතිය මැදිහත් වී පුරාවිද්‍යා ස්ථාන සම්බන්ධව කටයුතු කර තිබේ. 1884 වර්ෂයේ දී එවකට සිටි ආණ්ඩුකාරවරයාගේ යෝජනාවක් අනුව අරමුදලක් පිහිටුවන ලදි. උතුරුමැද පළාතේ ඓතිහාසික නටබුන්වල පුරාවිද්‍යාත්මක අවශේෂ පරීක්ෂා කිරීම සඳහා සක්‍රියව මැදිහත් වීම එහි අරමුණ විය. අරමුදල සඳහා රුපියල් 875ක මුදලක් සාමාජිකයන්ගේ දායකත්වයෙන් එකතු වූ අතර, ඒ මුදල්වලින් මිරිසවැටියේ වාහල්කඩක කැනීම් කටයුතු සිදු කර ඇත්තේ පළාතේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ මැදිහත්වීමෙනි. සමිතියේ සාමාජිකයන් වූ මන්නාරම උප ඒජන්තවරයාට මාන්තායිහි ද, වවුනියා උප ඒජන්තවරයාට වවුනියාවේ ද කැනීම් කිරීම සඳහා සමිතියේ මූල්‍ය අනුග්‍රහය ලැබී ඇත. මේ කටයුතු සිදුවන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පිහිටුවීමට පෙර කාලයේ දීය.

රාජ්‍ය ආයතනික ව්‍යූහය ස්ථාපිත කිරීම


මේ කාලය තුළ මෙරට ජාතික මට්ටමේ ආයතන කීපයක් ආරම්භ කිරීමට සමිතිය නිර්දේශ කර හා මුල් වී ඇති අතර ඒ හරහා රටේ අනාගත දැක්ම සකස් කරන්නට සමිතිය දායක වී තිබේ. ජාතික කෞතුකාගාරය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ අතර වේ. එසේම තවත් අධ්‍යාපනික හා විද්‍යාත්මක ආයතන රැසක් පිහිටුවීමට සමිතිය මුල් වී ඇත.

ආරම්භයේ සිටම සමිතිය සතුව විවිධ කොතුක වස්තු එකතුව සඳහා කෞතුකාගාරයක් පිහිටුවීම පිළිබඳව සමිතියේ නියෝජිතයන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවේ ප්‍රතිඵලය වූයේ එවකට ලංකාවේ ආණ්ඩුකාර විලියම් ග්‍රෙගරි විසින් රජයේ ආයතනයක් ලෙස කොළඹ කෞතුකාගාරය පිහිටුවීමය. එය 1877 වර්ෂයේ දී විවෘත විය.

සමිතියේ පුරාවිද්‍යා කටයුතුවල අත්දැකීමත් සමඟ, පුරාවිද්‍යා නටබුන් ආරක්ෂා කිරීම සඳහා රජය මැදිහත්වීමේ අවශ්‍යතාවය පිළිබඳව සමිතිය 1889 දී පමණ රජයට දන්වා ඇත. එහි අවසන් ප්‍රතිඵලය වූයේ 1890 වර්ෂයේ අයවැයෙන් වැඩි මුදලක් පුරාවිද්‍යා කටයුතුවලට වෙන් කර වර්තමාන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරම්භ කිරීමය. එහි පළමුවැනි කොමසාරිස් තැන ලෙස පත්වූයේ රාජකීය ආසියාතික සමිතියේ ලේකම්වරයෙකු වූ එච්. සී. පී. බෙල්ය.

ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ කටයුතු සඳහා එකල සිටම රාජ්‍ය තන්ත්‍රයේ ඉහළම අනුග්‍රහය සමිතියට ලැබිණි. සමිතියේ අනුශාසකවරයා වූයේ රටේ ප්‍රධානියාය. ඒ අනුව ආණ්ඩුකාරවරු, අග්‍රාණ්ඩුකාරවරු හා අද වන විට ජනාධිපතිවරයා සමිතියේ අනුශාසකත්වය දරයි. සමිතිය 1992 වර්ෂයේ දී පාර්ලිමේන්තු පනතකින් සංස්ථා ගත කරන ලද අතර, සාමාජික ඡන්දයෙන් පත්වන උගත් විද්වත් පිරිසකගෙන් සමන්විත පාලක මණ්ඩලය එහි කටයුතු නියාමනය කරයි.

සමිතියේ කටයුතුවල සාර්ථකත්වය සඳහා එදා සිටම ලැබුණු රජයේ මූල්‍යමය අනුග්‍රහය වැදගත් විය. මේ රාජ්‍ය අනුග්‍රහය හා පිළිගැනීම තවදුරටත් නොඅඩුව ලැබීමෙන් අපේ ජාතික උරුමය අනාගත පරපුරට දායාද කරන්නට සමිතියට හැකි වනු ඇත.

(මේ ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ දී ලේඛකයා ශ්‍රී ලංකා රාජකීය ආසියාතික සමිතියේ පාලක මණ්ඩල සභිකයෙකුව සිටියේය.)

Wednesday, November 17, 2021

ග්ලාස්ගෝ අලුත් එකඟතාවයෙන්, දේශගුණ අර්බුදය ජයගත හැකිද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.11.2021, පි.11 (Vidusara)

http://www.vidusara.com/2021/11/17/feature3.html


සති දෙකක් පමණ කාලයක් බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ දී පැවති දේශගුණ සමුළුව වැඩිපුර දිනයකුත් ගත වී පසුගිය සෙනසුරාදා අවසන් වුයේ කිසියම් එකඟතාවයකින් යුක්තවය. වර්තමාන දේශගුණ අර්බුදය පිළිබඳව සැලකූ විට මේ එකඟතාවයේ කිසියම් වැදගත්කමකක් පවතී. ඒ, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමට අවශ්‍ය ගමන්මග පැහැදිලි කර ගැනීම, ගල්අඟුරු භාවිතය සම්බන්ධ යම් සීමාවක් පැනවීම හා දේශගුණ මූල්‍ය ගැන ඇති වූ එකඟතා නිසාත්ය.

වාර්ෂික දේශගුණ සමුළුව බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වර්ෂයේ දීය. එහෙත් ලෝකයටම බලපෑ Covid-19 වසංගත තත්ත්වය නිසා සමුළුව මේ වර්ෂය දක්වා කල් ගියේය. අවසානයේ දී ලෝකයේ රටවල නියෝජිතයන්ගේ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් එය පවත්වන ලදි.

දේශගුණ වෙනස්වීම පාලනය සඳහා දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) ඇති වන්නේ 1992දී ය. ඉහත දේශගුණ සමුළුව ද ඒ ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 26 වැනි රැස්වීම වේ. කෙසේ වෙතත් ඒ මගින් 1997 දී ඇති කරගන්නා ලද කියෝටෝ සන්ධානය වසර ගණනකට පසු බලාත්මක වූ නමුත් පසුව ය ඵලදායී නොවන බව පැහැදිලි විය. ඒ අතරම දිනෙන් දින දේශගුණ වෙනස් වීමේ බරපතළ බව පැහැදිලි වු නිසා වසර ගණනක් තිස්සේ දිග්ගැසුනු සාකච්ඡාවලින් පසුව 2015 වර්ෂයේ දී පැරිස් ගිවිසුම ඇති කරගැනීමට හැකිවිය.

පැරිස් ගිවිසුම මගින් දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා අලුත් ප්‍රවේශයක් අනුගමනය කළේය. ලෝකයේ උෂ්ණත්වය ‌ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට හෝ හැකි වුවහොත් අංශක 1.5කට සීමා කළ යුතු බව එහිදී ඇති කරගත් ඉලක්කයයි. ඒ සඳහා ගත් ප්‍රවේශය වුයේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ඒ ඒ රටවල් ස්වේච්ඡාවෙන් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව ජාතික වශයෙන් නිර්ණය කළ යුතු දායකත්ව (NDC) නම් යෝජනා ඒ ඒ රටවල් විසින් ඉදිරිපත් කරන ලදි.

කෙසේ නමුත්, ඒ පිළිබඳ මෑතදී ඉදිරිපත් වූ විශ්ලේෂණ අනුව පැහැදිලි වූයේ ඒ දායකත්ව මගින් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත ඉලක්ක අත්පත් කරගත නොහැකි බවයි. ඒ අනුව මේ වර්ෂයේ දේශගුණ සමුළුවේ දී කිසියම් අලුත් වර්ධනයක් හා දැඩි පියවරක් ගැනීමට හැකි වනු ඇතැයි යන අපේක්ෂාව තිබිණි. මෑත කාලයේ දී ඇති වූ තත්ත්වවලට අනුව මේ වර්ෂයේ දී වැඩි අවධානයට ලක් වු අංශ කීපයක් වේ. උෂ්ණත්ව වර්ධනය ආරක්ෂිත සීමාවක තබාගැනීම සඳහා ඒ ඒ රටවල් සිය විමෝචන සීමා කිරීම සඳහා අලුත් හා වඩා ප්‍රබල ඉලක්ක ඇතිකරගැනීම, ගල්අඟුරු හා පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීම හා දියුණුවන රටවල්වලට දේශගුණ වෙනස්වීම නිසා ඇති වන බලපෑම් සඳහා ප්‍රමාණවත් අධාර මුදලක් ලබාදීම තහවුරු කිරීමය. මේ තත්ත්වය යටතේ පැවති සමුළුවේ දී ඇති වූ එකඟතාවය තුළ ඇති ප්‍රධාන කරුණු මෙසේය.


ගල් අඟුරු භාවිතය සීමා කිරීම


සමුළුවේ දී ඇති වුයේ ගල්අඟුරු භාවිතය අඩු කිරීම (phase-down) සඳහා වූ එකඟතාවයකි. ගල්අඟුරු භාවිතය අවසන් කිරීම (phase-out) පිළිබඳව මේ සමුළුවේ දී තිරණය වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඇතැම් රටවල් ඊට එකඟ නොවීම මේ සඳහා හේතුවක් විය.

ලෝකයේ මුළු කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණයෙන් 40%ක් නිකුත් වන්නේ ගල්අඟුරු දහනය කිරීමෙනි. පැරිස් ගිවිසුමේ සඳහන් සෙල්සියස් අංශක 1.5 සීමාවේ ලෝක උෂ්ණත්වය පවත්වා ගැනීමට නම් ගල්අඟුරු භාවිතය 2030 වර්ෂය වන විට 45%කින් අඩු කළ යුතු අතර 2050 වන විට ශුන්‍යයට ආසන්න විය යුතුය.

ගල්අඟුරු භාවිතය අවසන් කිරීම මෙන්ම පොසිල ඉන්ධන සඳහා දෙන සහනාධාර අඩු කිරීම පිළිබඳව එකඟ නොවූ රටවල් අතර චීනය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව වේ. ඔවුන්ගේ අදහස වූයේ සැමට එක් ආකාරයකින් ඒ පිළිබඳව කටයුතු කිරීමට සිදුවීම සාධාරණ නොවන බවයි. ඒය දේශගුණ යුක්තිය සම්බන්ධ කරුණකි. මේ රටවල් සියල්ලම ස්වකීය බලශක්ති අවශ්‍යතාවය සඳහා ගල්අඟුරු මත යැපෙන රටවල්ය. එසේම දියුණු වන රටවලට ඇති ලාබදායී බලශක්ති ප්‍රභවයක් ලෙස ගල්අඟුරු සැලකේ. අනෙක් අතට ගල්අඟුරු පමණක් ඒ ආකාරයෙන් සඳහන් වීම ද තවත් අංශවල විවේචනයට ලක් වී තිබිණි.

කෙසේ වෙතත් ගල්අඟුරු භාවිතය 'අඩු කිරීම' යනු මුලින් පැවති එකඟතාවයේ තිබූ අදහස දියාරු කිරීමක් වන නමුත්, ගල්අඟුරු කිසියම් ආකාරයකින් සීමා කිරීම සඳහා ලෝකයේ රටවල් කිසියම් ගිවිසුමකින් එකඟ වීම වැදගත්ය. එක් වචනයක් වෙනස් කළ ද මෙය ගල්අඟුරු භාවිතයේ අවසානයේ ආරම්භය බවට ඇති සංඥාවකි. එසේම රටවල් 29ක් ගල්අඟුරු සදහා අන්තර්ජාතික වශයෙන් මුල්‍ය පහසුකම් නොසපයන බවට එකඟ වීම ද ග්ලාස්ගෝ සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි.


විමෝචන අවම කිරීමේ ඉලක්ක


මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවත්වාගැනීම මේ සමුළුවේ අවධානය යොමු වූ කරුණකි. වර්තමානයේ දී ලෝකයේ රටවල් දී ඇති ප්‍රතිඥා ඒ ආකාරයෙන්ම සම්පුර්ණ කළහොත් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.4කින් පමණ ඉහළ යා හැකිය. එය පැරිස් ගිවිසුමේ දී වඩා ආරක්ෂිත යැයි ඒකඟ වූ අංශක 2 ඉලක්කය ද ඉක්මවායෑමකි. ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 ඉක්මවීම ද බරපතළ අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි තත්ත්වයක් බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. එසේම සෙල්සියස් අංශක 1.5 ඉලක්කය වඩාත් ආරක්ෂිත බව ද මේ සමුළුවේදී යළිත් පිළිගෙන ඇත.

ග්ලාස්ගෝ සමුළුවේ දී මේ ගැන එකඟ වූයේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක මට්ටමට සීමා කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයෙන් විමෝචන අඩු කිරීම සඳහා වු සැලසුම් ලබන වර්ෂයේ දී ඉදිරිපත් කිරීමටය. ඒ ඒ රටවල් සිය ජාතිකව නිර්ණය කරනලද දායකත්ව ඒවායේ සංශෝධිත දායකත්වයෙන් ක්‍රමයෙන් ඉහළ යන කැපවීමක් පෙන්නුම් කරයි. එහෙත් මේ ප්‍රතිඥා ඒ ආකාරයෙන්ම ඉටු වීම එහි සාර්ථකත්වයට අත්‍යාවශ්‍යය. පැරිස් ගිවිසුම අනුව ඒ ඒ රටවල දායකත්ව සංශෝධනය කිරීම අවශ්‍ය වන්නේ වසර පහකට වරක්ය. එබැවින් ඉදිරි වසර දෙකේදී ඒවා සංශෝධනය කිරීමට එකඟ වීම ද කිසියම් ජයග්‍රහණයකි.


දියුණුවන රටවලට ආධාර


දේශගුණ වෙනස් වීම නිසා ඇති වන බලපෑම් හා ඊට අනුහුරුවීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය සම්බන්ධ එකඟතාවයක් නැති වීම දේශගුණ සාකච්ඡාවල දී ඇති වු එක් බරපතළ ගැටලුවකි. 2009 වර්ෂයේ දී මුලින්ම එකඟ වූ ආකාරයට 2020 වර්ෂය වන විට දියුණු වන රටවලට දේශගුණ බලපෑම් සම්බන්ධව කටයුතු කිරීමට හා පිරිසිදු බලශක්තියට පරිවර්තනය වීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100ක් දියුණු රටවලින් ලබා දිය යුතු විය. එහෙත් ඒ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නොහැකි වී ඇත. 2019 වන විටද එසේ ලබාදෙන ලද්දේ බිලියන 80ක් පමණි.

මේ සම්බන්ධව ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ එකඟතාවයේ සඳහන් වන්නේ මේ මුල්‍යමය ආධාර ලබාදීම පිළිගන්නා බව හා එය නැවත අවධාරණය කිරීමයි. එසේම ඒ ඩොලර් බිලියන 100 ඉලක්කය හැකි ඉක්මනින් අත්පත් කරගත යුතු බවද එහි සඳහන් වේ. ඉදිරි වසර පහක කාලයේ දී දේශගුණ මූල්‍ය ලෙස ඩොලර් බිලියන 500ක් එක්වනු ඇති බව දක්වා ඇත.

දේශගුණ බලපෑමෙන් වඩාත් හානියට ලක්ව ඇති රටවල් පෙන්වා දී තිබුනේ අලාභ හා හානි සඳහා වන්දි වෙීමේ මූලධර්මය ලෙස මෙය ලබා දිය යුතු බවයි. ඒ, අනුහුරුවීමට නොහැකි දේශගුණ බලපෑම් සඳහා වන්දියක් ලෙසය. එසේම මෙහි දී අනුහුරුවීමට ලබාදෙන දේශගුණ මුල්‍ය ප්‍රමාණය දෙගුණයක් කිරීමට එකඟ වී ඇත. එහෙත්, ඇතැම් රටවල් ඉල්ලා සිටින විමෝචන සීමා කිරීම හා අනුහුරු වීමට සමාන දේශගුණ මුල්‍ය ප්‍රමාණයක් යොදවන ලෙසය.

මේ සියලු කරුණු සලකා බලන විට, ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේදී කිසියම් ආකාරයක ඉදිරි පියවරක් ගෙන ඇති බවක් පෙනේ. අනාගතයේ දී එය සාර්ථක කරගැනීම සියලු රටවල වගකීමක් වේ.

Sunday, November 7, 2021

වැස්ස දෙස බලාගෙන

හදිසියේ වට
නාකපන වැස්සට
කොටුවී හිදිමි
සල්පිලක අගුවක
සුපුරුදු හන්දියේ

වැසි වටොත්
පායනා බව
දත් හෙයින්
බලා ඉමි එතෙක්
වැස්ස දෙස...

@ දෙල්කඳ හන්දිය...

ධනේෂ් විසුම්පෙරුම
07.11.2021

Thursday, November 4, 2021

අලුත් ජීවිතය සහ හැඬැල්ලෝ



මේකත් අපේ අම්මා ගේ කතාවකි.

මම හැමදාමත් කන කෑම වර්ග තෝරන්නෙමි. කුඩා කාලයේ අදටත් වඩා බෙහෙවින් තේරුවෙමි.

මම අමු හාල්මැස්සක් කෑමට කැමතිය. ඒ හැඬැල්ලන් කෑමට ඒ් තරම් කැමති නැත.

ඒත් අපේ අම්මා හැඬැල්ලන්ට කැමතිය. ඒත් ඒවා උයපු දවසට මමත්, සමහර විට අක්කාත්, ඒවා නොකන නිසා ඉතිරි වේ. හැඬැල්ලන් කෑමට අම්මා අපව පොළඹවන්නේ "ලොකු හාල්මැස්සෝ" කියාය. ඒ කියලත් කවාගන්නට නොහැකි වූ විට අම්මාට කේන්ති යයි. එවැනි අවස්වථාල ඒක යන්නේ සියලු මාළුන්ගේ පිටින්ය.

"මගෙ ජීවිතේට මං මේ ගෙදරට ආපහු කිසිම මාළු ජාතියක් ගේන්නේ නෑ"

මේ කතාව අපට සුපුරුදුය. කිසිදු බයක් චකිතයක් එන්නේ නැත. ඒ අපේ අම්මා දවස් කීපයක් ඇතුළත "අලුත් ජීවිතයක්" පටන් ගන්නා බව දන්නා නිසාය. එනම්, අර විදියට කීවාට එයා දවසකින් නැත්තම් දෙකකින් මාළු අරන් එන බව අපි සක්සුදක් සේ දන්නා නිසාය.

ධනේෂ් විසුම්පෙරුම


04.11.2021