Wednesday, November 17, 2021

ග්ලාස්ගෝ අලුත් එකඟතාවයෙන්, දේශගුණ අර්බුදය ජයගත හැකිද?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 17.11.2021, පි.11 (Vidusara)

http://www.vidusara.com/2021/11/17/feature3.html


සති දෙකක් පමණ කාලයක් බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ දී පැවති දේශගුණ සමුළුව වැඩිපුර දිනයකුත් ගත වී පසුගිය සෙනසුරාදා අවසන් වුයේ කිසියම් එකඟතාවයකින් යුක්තවය. වර්තමාන දේශගුණ අර්බුදය පිළිබඳව සැලකූ විට මේ එකඟතාවයේ කිසියම් වැදගත්කමකක් පවතී. ඒ, ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක සීමාවේ පවත්වා ගැනීමට අවශ්‍ය ගමන්මග පැහැදිලි කර ගැනීම, ගල්අඟුරු භාවිතය සම්බන්ධ යම් සීමාවක් පැනවීම හා දේශගුණ මූල්‍ය ගැන ඇති වූ එකඟතා නිසාත්ය.

වාර්ෂික දේශගුණ සමුළුව බ්‍රිතාන්‍යයේ ග්ලාස්ගෝ නගරයේ දී පැවැත්වීමට නියමිතව තිබුණේ 2020 වර්ෂයේ දීය. එහෙත් ලෝකයටම බලපෑ Covid-19 වසංගත තත්ත්වය නිසා සමුළුව මේ වර්ෂය දක්වා කල් ගියේය. අවසානයේ දී ලෝකයේ රටවල නියෝජිතයන්ගේ හා රාජ්‍ය නායකයින්ගේ සහභාගිත්වයෙන් එය පවත්වන ලදි.

දේශගුණ වෙනස්වීම පාලනය සඳහා දේශගුණ වෙනස් වීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ රාමුගත සම්මුතිය (UNFCCC) ඇති වන්නේ 1992දී ය. ඉහත දේශගුණ සමුළුව ද ඒ ගිවිසුමේ පාර්ශ්වකරුවන්ගේ 26 වැනි රැස්වීම වේ. කෙසේ වෙතත් ඒ මගින් 1997 දී ඇති කරගන්නා ලද කියෝටෝ සන්ධානය වසර ගණනකට පසු බලාත්මක වූ නමුත් පසුව ය ඵලදායී නොවන බව පැහැදිලි විය. ඒ අතරම දිනෙන් දින දේශගුණ වෙනස් වීමේ බරපතළ බව පැහැදිලි වු නිසා වසර ගණනක් තිස්සේ දිග්ගැසුනු සාකච්ඡාවලින් පසුව 2015 වර්ෂයේ දී පැරිස් ගිවිසුම ඇති කරගැනීමට හැකිවිය.

පැරිස් ගිවිසුම මගින් දේශගුණ වෙනස් වීම පාලනය කිරීම සඳහා අලුත් ප්‍රවේශයක් අනුගමනය කළේය. ලෝකයේ උෂ්ණත්වය ‌ඉහළ යෑම සෙල්සියස් අංශක 2කට හෝ හැකි වුවහොත් අංශක 1.5කට සීමා කළ යුතු බව එහිදී ඇති කරගත් ඉලක්කයයි. ඒ සඳහා ගත් ප්‍රවේශය වුයේ හරිතාගාර වායු විමෝචන සීමා කිරීම සඳහා ඒ ඒ රටවල් ස්වේච්ඡාවෙන් කටයුතු කළ යුතු බවයි. ඒ අනුව ජාතික වශයෙන් නිර්ණය කළ යුතු දායකත්ව (NDC) නම් යෝජනා ඒ ඒ රටවල් විසින් ඉදිරිපත් කරන ලදි.

කෙසේ නමුත්, ඒ පිළිබඳ මෑතදී ඉදිරිපත් වූ විශ්ලේෂණ අනුව පැහැදිලි වූයේ ඒ දායකත්ව මගින් පැරිස් ගිවිසුමෙන් අපේක්ෂිත ඉලක්ක අත්පත් කරගත නොහැකි බවයි. ඒ අනුව මේ වර්ෂයේ දේශගුණ සමුළුවේ දී කිසියම් අලුත් වර්ධනයක් හා දැඩි පියවරක් ගැනීමට හැකි වනු ඇතැයි යන අපේක්ෂාව තිබිණි. මෑත කාලයේ දී ඇති වූ තත්ත්වවලට අනුව මේ වර්ෂයේ දී වැඩි අවධානයට ලක් වු අංශ කීපයක් වේ. උෂ්ණත්ව වර්ධනය ආරක්ෂිත සීමාවක තබාගැනීම සඳහා ඒ ඒ රටවල් සිය විමෝචන සීමා කිරීම සඳහා අලුත් හා වඩා ප්‍රබල ඉලක්ක ඇතිකරගැනීම, ගල්අඟුරු හා පොසිල ඉන්ධන භාවිතය අවසන් කිරීම හා දියුණුවන රටවල්වලට දේශගුණ වෙනස්වීම නිසා ඇති වන බලපෑම් සඳහා ප්‍රමාණවත් අධාර මුදලක් ලබාදීම තහවුරු කිරීමය. මේ තත්ත්වය යටතේ පැවති සමුළුවේ දී ඇති වූ එකඟතාවය තුළ ඇති ප්‍රධාන කරුණු මෙසේය.


ගල් අඟුරු භාවිතය සීමා කිරීම


සමුළුවේ දී ඇති වුයේ ගල්අඟුරු භාවිතය අඩු කිරීම (phase-down) සඳහා වූ එකඟතාවයකි. ගල්අඟුරු භාවිතය අවසන් කිරීම (phase-out) පිළිබඳව මේ සමුළුවේ දී තිරණය වනු ඇතැයි අපේක්ෂා කළ නමුත් ඇතැම් රටවල් ඊට එකඟ නොවීම මේ සඳහා හේතුවක් විය.

ලෝකයේ මුළු කාබන් ඩයොක්සයිඩ් විමෝචන ප්‍රමාණයෙන් 40%ක් නිකුත් වන්නේ ගල්අඟුරු දහනය කිරීමෙනි. පැරිස් ගිවිසුමේ සඳහන් සෙල්සියස් අංශක 1.5 සීමාවේ ලෝක උෂ්ණත්වය පවත්වා ගැනීමට නම් ගල්අඟුරු භාවිතය 2030 වර්ෂය වන විට 45%කින් අඩු කළ යුතු අතර 2050 වන විට ශුන්‍යයට ආසන්න විය යුතුය.

ගල්අඟුරු භාවිතය අවසන් කිරීම මෙන්ම පොසිල ඉන්ධන සඳහා දෙන සහනාධාර අඩු කිරීම පිළිබඳව එකඟ නොවූ රටවල් අතර චීනය, ඉන්දියාව හා දකුණු අප්‍රිකාව වේ. ඔවුන්ගේ අදහස වූයේ සැමට එක් ආකාරයකින් ඒ පිළිබඳව කටයුතු කිරීමට සිදුවීම සාධාරණ නොවන බවයි. ඒය දේශගුණ යුක්තිය සම්බන්ධ කරුණකි. මේ රටවල් සියල්ලම ස්වකීය බලශක්ති අවශ්‍යතාවය සඳහා ගල්අඟුරු මත යැපෙන රටවල්ය. එසේම දියුණු වන රටවලට ඇති ලාබදායී බලශක්ති ප්‍රභවයක් ලෙස ගල්අඟුරු සැලකේ. අනෙක් අතට ගල්අඟුරු පමණක් ඒ ආකාරයෙන් සඳහන් වීම ද තවත් අංශවල විවේචනයට ලක් වී තිබිණි.

කෙසේ වෙතත් ගල්අඟුරු භාවිතය 'අඩු කිරීම' යනු මුලින් පැවති එකඟතාවයේ තිබූ අදහස දියාරු කිරීමක් වන නමුත්, ගල්අඟුරු කිසියම් ආකාරයකින් සීමා කිරීම සඳහා ලෝකයේ රටවල් කිසියම් ගිවිසුමකින් එකඟ වීම වැදගත්ය. එක් වචනයක් වෙනස් කළ ද මෙය ගල්අඟුරු භාවිතයේ අවසානයේ ආරම්භය බවට ඇති සංඥාවකි. එසේම රටවල් 29ක් ගල්අඟුරු සදහා අන්තර්ජාතික වශයෙන් මුල්‍ය පහසුකම් නොසපයන බවට එකඟ වීම ද ග්ලාස්ගෝ සමුළුවේ දී සිදුවූ වැදගත් සිදුවීමකි.


විමෝචන අවම කිරීමේ ඉලක්ක


මේ ශතවර්ෂය අවසානය වන විට ලෝකයේ සාමාන්‍ය උෂ්ණත්වයේ ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5 සීමාවේ නවත්වාගැනීම මේ සමුළුවේ අවධානය යොමු වූ කරුණකි. වර්තමානයේ දී ලෝකයේ රටවල් දී ඇති ප්‍රතිඥා ඒ ආකාරයෙන්ම සම්පුර්ණ කළහොත් ලෝකයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 2.4කින් පමණ ඉහළ යා හැකිය. එය පැරිස් ගිවිසුමේ දී වඩා ආරක්ෂිත යැයි ඒකඟ වූ අංශක 2 ඉලක්කය ද ඉක්මවායෑමකි. ලෝකයේ උෂ්ණත්වය අංශක 1.5 ඉක්මවීම ද බරපතළ අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකි තත්ත්වයක් බව විද්‍යාත්මකව පෙන්වා දී ඇත. එසේම සෙල්සියස් අංශක 1.5 ඉලක්කය වඩාත් ආරක්ෂිත බව ද මේ සමුළුවේදී යළිත් පිළිගෙන ඇත.

ග්ලාස්ගෝ සමුළුවේ දී මේ ගැන එකඟ වූයේ ලෝකයේ උෂ්ණත්වය ඉහළ යෑම සෙල්සියස් අංශක 1.5ක මට්ටමට සීමා කිරීම සඳහා අවශ්‍ය කරන ප්‍රමාණයෙන් විමෝචන අඩු කිරීම සඳහා වු සැලසුම් ලබන වර්ෂයේ දී ඉදිරිපත් කිරීමටය. ඒ ඒ රටවල් සිය ජාතිකව නිර්ණය කරනලද දායකත්ව ඒවායේ සංශෝධිත දායකත්වයෙන් ක්‍රමයෙන් ඉහළ යන කැපවීමක් පෙන්නුම් කරයි. එහෙත් මේ ප්‍රතිඥා ඒ ආකාරයෙන්ම ඉටු වීම එහි සාර්ථකත්වයට අත්‍යාවශ්‍යය. පැරිස් ගිවිසුම අනුව ඒ ඒ රටවල දායකත්ව සංශෝධනය කිරීම අවශ්‍ය වන්නේ වසර පහකට වරක්ය. එබැවින් ඉදිරි වසර දෙකේදී ඒවා සංශෝධනය කිරීමට එකඟ වීම ද කිසියම් ජයග්‍රහණයකි.


දියුණුවන රටවලට ආධාර


දේශගුණ වෙනස් වීම නිසා ඇති වන බලපෑම් හා ඊට අනුහුරුවීමට අවශ්‍ය මූල්‍ය දායකත්වය සම්බන්ධ එකඟතාවයක් නැති වීම දේශගුණ සාකච්ඡාවල දී ඇති වු එක් බරපතළ ගැටලුවකි. 2009 වර්ෂයේ දී මුලින්ම එකඟ වූ ආකාරයට 2020 වර්ෂය වන විට දියුණු වන රටවලට දේශගුණ බලපෑම් සම්බන්ධව කටයුතු කිරීමට හා පිරිසිදු බලශක්තියට පරිවර්තනය වීම සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 100ක් දියුණු රටවලින් ලබා දිය යුතු විය. එහෙත් ඒ ඉලක්කය සම්පූර්ණ කරගැනීමට නොහැකි වී ඇත. 2019 වන විටද එසේ ලබාදෙන ලද්දේ බිලියන 80ක් පමණි.

මේ සම්බන්ධව ග්ලාස්ගෝ සමුළුවේ දී ඇති වූ එකඟතාවයේ සඳහන් වන්නේ මේ මුල්‍යමය ආධාර ලබාදීම පිළිගන්නා බව හා එය නැවත අවධාරණය කිරීමයි. එසේම ඒ ඩොලර් බිලියන 100 ඉලක්කය හැකි ඉක්මනින් අත්පත් කරගත යුතු බවද එහි සඳහන් වේ. ඉදිරි වසර පහක කාලයේ දී දේශගුණ මූල්‍ය ලෙස ඩොලර් බිලියන 500ක් එක්වනු ඇති බව දක්වා ඇත.

දේශගුණ බලපෑමෙන් වඩාත් හානියට ලක්ව ඇති රටවල් පෙන්වා දී තිබුනේ අලාභ හා හානි සඳහා වන්දි වෙීමේ මූලධර්මය ලෙස මෙය ලබා දිය යුතු බවයි. ඒ, අනුහුරුවීමට නොහැකි දේශගුණ බලපෑම් සඳහා වන්දියක් ලෙසය. එසේම මෙහි දී අනුහුරුවීමට ලබාදෙන දේශගුණ මුල්‍ය ප්‍රමාණය දෙගුණයක් කිරීමට එකඟ වී ඇත. එහෙත්, ඇතැම් රටවල් ඉල්ලා සිටින විමෝචන සීමා කිරීම හා අනුහුරු වීමට සමාන දේශගුණ මුල්‍ය ප්‍රමාණයක් යොදවන ලෙසය.

මේ සියලු කරුණු සලකා බලන විට, ග්ලාස්ගෝ දේශගුණ සමුළුවේදී කිසියම් ආකාරයක ඉදිරි පියවරක් ගෙන ඇති බවක් පෙනේ. අනාගතයේ දී එය සාර්ථක කරගැනීම සියලු රටවල වගකීමක් වේ.

No comments:

Post a Comment