එතකොට මතක් උනේ වසන්ත කුමාර කොබවක ලියපු, කසුන් කල්හාර, උරේෂා රවිහාරි හා ඉන්දිකා උපමාලි ගයන ගීයක මුල් පද දෙපේලියයි.
"පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි"
ජීවිතේ සමහර දේ ලැබෙන්නේ පමා වී තමයි.
මේක අමුතු කතාවකි.
මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.
ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!
අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.
මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.
මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.
1. උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය
වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ
වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.
2. උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක
උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික
ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත
විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)
මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක්
විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති
ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ
උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම්
ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන්
කිව යුතු නැත.
රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින්
නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ
තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා
කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද
(එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.
'විදුසර' පුවත්පතට 'පරිසර පුවත්' මැයෙන් මා විසින් සතිපතා ලියන ජගත් මට්ටමින් වැදගත් පරිසරය හා ඒ ආශ්‍රිත විෂය පිළිබඳ පුවත් එකතුව ලිවීමට පටන්ගෙන 2023 පෙබරවාරි 20 දිනට වසර දහයකි. එහි මුල්ම පුවත් දෙක පළ වුයේ 2013 පෙබරවාරි මස 20 දින දී ය (ඡායාරූපය). එදා සිට අද දක්වා මෙවැනි පුවත් එකතු 483ක්* පළ වී ඇත.
සෑම සතියකම කෙහොමත් කියවන පරිසරය හා සම්බන්ධ පුවත් අතරින් තුනක් තෝරාගැනීම ඇතැම් සතිවල අසීරු වන්නේ වැදගත් පුවත් අධික වීම නිසාය. එතැන දී ගෝලීය හා කලාපීය වැදගත්කම මෙන්ම විෂය වැදගත්කම ද සලකා බලා තිබේ. එසේම වැදගත් පුවතක් වචන දෙසීයකින් ලිවිය නොහැකි අවස්ථාවලදී ඇතැම් සතියක එක පුවතක් මුළු පුවත් ඉඩ සඳහාම ලියා ඇත. සමහර සිදුවීම් පුවතක් වනවා වෙනුවට විශේෂාංගයක් වී තිබේ.
මෙහි දී ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි කීපයක විද්‍යා හා පරිසර පුවත් මෙන්ම පර්යේෂණ සන්නිවේදනය සඳහාම කැප වූ වෙබ් අඩවි කීපයක් ද අඛණ්ඩව පරිශීලනය කරමි. කිසියම් පුවතක් සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් හෝ වාර්තාවක් පසුබිම වී ඇත්තේ නම්, අදාළ පර්යේෂණ ප්‍රතිකාවේ DOI අංකය හෝ වාර්තාවක නම් වෙබ් අඩවිය සඳහන් කර ඇත. ඒ වැඩිදුර කියැවීම පහසු කිරීම පිණිසය.
මේ පුවත් සියල්ල ඒ සඳහා සකස් කරමින් ඇති බ්ලොග් අඩවියේ මේ වර්ෂය ඇතුළත පළ වනු ඇත.
*අවුරුදු දහයක් යනු සති පන්සිය විස්සක් වුවත් ලියූ පුවත් එකතු ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ හේතු කීපයක් නිසාය (1) නොවැම්බර් මාසයට යෙදෙන විදුසර සංවත්සර කලාපයේ පුවත් පළ නොවීම, (2) ඇතැම් වසරවල සිංහල අලුත් අවුරුද්ද සතියේ පත්‍රය පළ නොවීම, (3) පසුගිය 2022 වසර මැද සිට පුවත්පත පළ වන්නේ සති දෙකට වරක් වීම හා (4) මගේ කටයුතු බහුල වීම නිසා සති දෙකතුනක් නොලිවීම මේ හේතු වේ.
2023.02.20
අවුරුදු තිහකටත් එහා අතීතයේ අපේ "සෝෂල් නෙට්වර්ක්" සයිට් එකක් අද පෙනෙන හැටියි මේ.
මේ නුගේගොඩ හන්දියේ, නාවල පාර පටන්ගන්න තැන ඇති කඩ පෙළයි. අද මේ පාර අයිනේ වැටක් ගහලා තිබ්බත් එදා කරගම්පිටිය පැත්තෙන් එන 176 හෙට්ටියාවත්ත බස් නැවැත්තුවේ මෙතන පේන කඩ ඉදිරියේයි. නුගේගොඩින් හරවන ඒවා පොටෝ එකේ දකුණු පැත්තට වෙන්න ඇති අද නවත්වන තැනම නැවැත්තුවා. ඒ කාලේ තිබ්බ අංක 173 තොටළඟ හා අංක 4 කොටුව (කොළකවය) බස් නැවැත්තුවේ ඊට ටිකක් ඉදිරියට වෙන්නයි.
මේ පරණ තාලේ තනිමහල් කඩ පේළියේ එදා කඩ කාමර හතරක් තිබ්බා. දකුණු අත පැත්තේ කෙලවරේ පිහිටයේ අදත් තියන 'දොඩම්පේ ස්ටෝර්ස්' එක. වම් කෙලවරේ තිබුනේ 'විජය ඔසුසල' - ඒකත් අද තියනවා 'නව විජය ඔසුසල' නමින් (පරණ ගොඩනැගිල්ලෙම වගේ). විජය ඔසුසල අසලම ඇති අනෙක් කඩේ තට්ටු දෙකකට හදලා. ඒ කාලෙත් වහලා තිබ්බා වගේ මතක එක් කඩ කාමරයක් අද වන විට කැඩිලා.
පාරෙ හා පේමන්ට් එකට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේ කඩ කාමර ටික තිබ්බේ. පොඩ්ඩක් වලක් වගේ. මා දුටු විිිදියට අදත් ඒක එහෙමයි. ඒකට හේතුව මේ ගොඩනැගිලි හැදුවට පස්සේ කාලෙක පාර උස්සපු එක වෙන්න ඕන. ඉතින් ඒ කාලෙ "වල බහිනව" කියපු එකට නියම අර්ථය ඒක!
ඉතින් මේක අපි ලාවට වල බැහැපු සෝෂල් නෙට්වර්ක් සයිට් එක... ඒක උනේ මෙහෙමයි -
ඒ 1989-1992 අතර කාලය. උදේ පාසැල් ගිහින් එහෙමම වගේ හවස රොටරියේ උසස් පෙළ පන්ති ඇරිලා ආවම අපි නවතින්නේ මෙතන... මගේ පංතිවලින් තුනක් විතර තිබ්බේ සතියේ දවස්වල. සඳුදා පාලිත දේවරාජා සර්ගේ බොටනි පංතිය. බ්‍රහස්පතින්දා දෙව්රුවන් සර්ගේ කෙමිස්ට්‍රි පංතිය. සිකුරාදා පිසික්ස් පංතිය.
ඉතින් අපි මෙතන රැඳී ඉන්න හේතුව තමයි සීසන් එකෙන් ලංගම බස්වල යන්න අපට සිදු වීම. ඒ කාලෙ ලංගම බස් අඩුයි වගේම, ඉස්කෝල ළමයි ගොඩක් හිටියම කරගම්පිටියෙ ඉදල එන බස් සමහර විට මෙතන නවත්වන්නේ නැහැ. ඒ නිසා සමහර දවස්වල අපි පැය කාලක් බාගයක් මෙතන ඉන්නවා. මෙතන ඉදලා බස් හෝල්ට් තුනක් ඈත තියන විජයබා මාවතට යන්න ඕන මමත් පැය බාගෙ මෙතන හිටපු දවස් තියනවා. පයින් ගියා නං මට යන්නේ මිනිත්තු පහළොවයි. ඒ උනාට නාවල, රාජගිරිය වගේම ඊටත් එහා යන යාලුවො දාල යන්න බෑනෙ...
ඉතින් අපි එතන ඉන්න උන්ට මචං කියලා සෙට් වෙනවා - ඒක ඉතින් කවුරු හරි ඇක්ටිව් ඉන්නව දැක්කම, හේතුවක් නැතිවත් Hi කියලා චැට් කරන්න සෙට් වෙනවා හා සමානයි.
ඉතින් අපි ඒවට චැට් ගෘප් කියමු. මෙතන සමහර දවස්වලට චැට් ගෘප් කීපයක් ඇක්ටිව් උනා. කොල්ලෝ ඉන්න ඒව තමයි වැඩිම. ඒ වගේම කෙල්ලන්ගෙත් චැට් ගෘප් තිබ්බ දවසුත් තිබ්බා - ඒත් ඉතින් සීසන් කෙල්ලො ටික. මේ ගැවසෙන්නේ එකම සෙට් එක. හැබැයි හැමෝම හැමදාම නෑ - මොකද පංති වෙනස් වන නිසා. මං හිටියේ සඳුදා හා බ්‍රහස්පතින්දා තමයි වැඩි වශයෙන් (සිකුරාදා පංතියෙ මේ පැත්තට එන යාලුවො හිටියෙ නැති තරම්).
ඉතින් අපේ මේ සෝෂල් නෙට්වර්ක් එකේ අද තියන සෝෂල් නෙට්වර්ක්වල තියන දේවල්ම තිබ්බා. ඒක එක දේවල් ගැන අපි කතා කරනවා. සමහර ඒවා සීරියස් කතා. සමහර ඒවා ඕපදූප. ඒව ඉතින් දැන් තියන ගෘප්වල මාතෘකා වගේම තමයි. යන්නෙ කොහෙහෙමල්ලෙ පොල් කතාත් ඕන තරම්!
ඒ වයසෙදි විය යුතු විදියටම වැඩි කතා බහක් තිබ්බේ බඩු හෙවත් කෑලි හෙවත් කෙල්ලෝ ගැනයි. මොකද එතැනින් අපේ පංතිවල වගේම වෙන පංතිවලට යන ළමයිනුත් යනවනේ.
ඉතින් ඔතන දී අපිත් හරියට සෝෂල් මීඩියා ප්‍රොපයිල් වගේනේ. එතනින් යන එන, බස් නැවතුමේ ඉන්න ගෑණු ළමයිනුත් ප්‍රොපයිල් තමයි. ඉතින් ලස්සන ප්‍රොපයිල් එකක් (ගෑණු ළමයෙක්) දැක්කම ඒ දිහා බලනවා - එයාලට එයාලව ලොක් කරන්න බැරි නිසා ප්‍රොපයිල් පොටෝ එක ඉතින් පබ්ලික් තමයි. ලයික් දානවා, හාට් රියැක්ෂන් දානවා. වොයිස් මැසේජ්වවලින් (විසිල් හෝ ඇහෙන්න දාන සූ සද්ද) රියැක්ට් කරන අවස්ථාත් තියනවා. හැබැයි ඒ ප්‍රොපයිල් එක නොදන්න එකක් නම් එන්නේ ඇන්ග්‍රි රියැක්ෂන්. බ්ලොක් වෙන්නත් පුළුවන් - අනිත් හෝල්ට් එකෙන් බස් එකට නගිනවා එතකොට එයාලා. සමහර කාන්තා ප්‍රොපයිල්වල පිරිමි හිමිකරුවන් හෝ ට්‍රයි කරන වෙන්න හිමිකරුවන් ඒ වෙලාවට ඇන්ග්රි රියැක්ෂන් දානවා. අද භාෂාවෙන් කියනවා නම් 'ටිපර් වෙනවා'.
ඉතින් ඒ වගේ ප්‍රොපයිල් එකකට ෆ්‍රෙන්ඩ් රික්වේස්ට එකක් දාලා ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. ඕන නං ඉන් පස්සේ පුද්ගලිකව චැට් කරන්නත් සෙට් වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ ප්‍රොපයිල් එකේ පාස්වර්ඩ් එක අදාළ කොල්ලට ලැබෙනවා. සමහර වෙලාවට ඌ ඉන්පස්සේ අපේ නෙට්වර්ක් එකේ නෑ. අනිත් ෆ්‍රෙන්ඩ්ලා අන්ෆ්‍රෙන්ඩ් කරලා, අන්ෆලෝ කරලා වෙනම කතාවක් පටන් ගන්නවා. (ඌ වලෙන් ගොඩ ගියාද, වලට වැටුන ද කියලා කියන්න කල් වැඩි ඒ කාලෙ)
සමහරු ඉතින් එකම ප්‍රොපයිල් එකමයි ෆලෝ කරන්නේ. වෙන පෝස්ට් දිහා බලන්නේවත් නෑ. අපි නං එහෙමම හිටියෙ නෑ ඉතින්... තෝරාගත් ප්‍රොපයිල් ෆේවරිට්වලට ඇඩ් කරන් ෆලෝ කරන අතර, නෙට්වර්ක් එකේ එහා මෙහා ගියා අනෙක් ප්‍රොපයිල් හා පෝස්ට් බලබලා. අර "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද" කියලා පස්සේ කාලෙක සින්දුවකුත් තිබ්බේ!
අපි මෙතන චැට් කළේ පෞද්ගලික ඕපා දූප විතරක් නම් නෙවි. අද සෝෂල් මීඩියාවල වාගෙම දේශපාලනයත් කතා කළා... 1989 නොවැම්බර් 13 දින රෝහණ වීජේවීර ඝාතනය උන පුවත දැනගෙන අපි පංති ඇරිලා ආවෙ මෙතනට - එතන හිටිය හැම පැත්තටම සහාය දුන් අය. ඒ වගේම ඉදහිට දේශපාලන චරිතත් මෙතන ඉද්දි දැක්කා - කෝට්ටේ නගරසභා ඡන්දයට 1991 දී ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාව මම මුලින්ම දුටුවෙ මෙතන දි වෑන් එකක ඉදන් නගර සභා කැම්පේන් එක කරනකොටයි. ඒකත් මට හොඳටම මතකයි.
ඉතින් ඔය නෙට්වර්ක් එකේ රස්තියාදුව ඉවර වෙන්නේ හෙවත් ඩේටා ඉවරවෙන්නේ ලංගම බස් එකක් ආවම. ඒ සාමාන්‍යයෙන්176 හෙට්ටියාවත්ත බස් එකක්. ඒ කාලෙ නුගේගොඩ හරහා ගිය අංක 4 (කොටුව) කොළ කවය හා 173 (තොටළඟ) ලංගම බස් තිබ්බට ඒකෙ යන්න හිටියෙ කීප දෙනෙක් විතරයි. ඒ, ඒ බස් දෙක නාවල හන්දියෙන් නාරාහේන්පිට පැත්තට හරවන නිසා. ඒකෙ මට යන්න පුළුවන් නිසා මම යනවා, සමහර දවස්වලට... (හරියටම කිව්වොත් සීරියස්ලි ෆලෝ කරපු එක්තරා ප්‍රොපයිල් එකක් ඒ බස්වල යන දවස්වලට). එහෙම නැති වෙලාවට ඉතින් 176 ලංගමයක් එනකම් චැට් කර ඉන්නවා අනෙක් යාලුවො එක්ක.
ඒ මතක ඉතා සුන්දරයි. මෙතනින් යන හැම මොහොතකම මම ඒ අතීතයට යනවා...
එදා හිටපු උන් සමහරකගේ නම් එක්ක උනත් කියන්න පුළුවන්. ඒත් සමහර උන් නම් කියනවට කැමති වෙයිද දන්නේ නැති නිසා නිහඬ වෙන්නම්.
මට ඒ ගැන මෙහෙම හිතෙනවා. එදා සෝෂල් නෙට්වර්ක් එක පිසිකල් එකක්. හැබැයි අපට ඒක දැනුනා, තවමත් හොඳටම මතකයි. ඒ හා සමාන වූ දේ අද පරම්පරාව කරන්නේ වර්චුවල්. ඒත් දැන් ටිකකට කලින් චැට් කරපු දේවල් දැන් මතකයි ද?
| ගාලු ලන්දේසි කොටුව, අලුත් දොරටුව (ඡායාරූපය 2013) |
| කදුරුපොකුණට යන පාර (ඡායාරූපය 2013) |
![]() |
| අප එහි ගිය කාලයේ හයිද්‍රාබාදය ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර විය |
| මිරිචි වඩ |
| තුන්රෝද රථ රියැදුරන්ගේ ෂර්ට් එක! |
| මං තීරු තුනක් ඇති පාරේ මැද තීරුවේ නැවැත්වූ බසයක් |
![]() |
| Andhra Pradesh State Road Transport Corporation ලාංඡනය |
| මෙට්‍රො එක්ස්ප්‍රස් යනු සීමිත නැවතුම් ඇති නගර අතර ධාවනය වන බස් රථය |
| ටිකට් රඳවනයක් |
![]() |
| බස් ටිකට්පත් කීපයක්. මෙහි සඳහන් ලාංඡනය උක්ත සමාගමේය. |
| කාන්තාවන් සඳහා වෙන්කළ අසුන් |
| ඒ පොත් සාප්පුවේ කාර්යාලය ඇතුළත දර්ශනයක් |
| ඉන්ස්ටන්ට් බව පෙනුණු ලැන්ඩ්ස්කේප් එකක් |
| හෝටලයකට ජලය සපයන බවුසරයක් |
22.04.2022
මේ මම කියන්නේ 1980 ගණන්වල මුල කාලෙ සිදු වූ දෙයක් ගැන. ඒ කාලේ අපි හිටියෙ නුගේගොඩ, නාවල පාරේ අතුරු පාරක පොඩි ඇනෙක්සියක කුලියටයි (ඒ පාරේ මතක මෙතනින් බලන්න). උස බිත්ති තියන පරණ තාලේ ගෙයක්. එහේ අපි පදිංචියට ආවේ 1980 උනත් විදුලිය ගත්තේ 82 විතර. ඒක අපේ අම්ම මැදිහත්වෙලා ඊට අදාළ මුදල් ගෙව්ව නිසයි. ඒ මුදල මාස්පතා අපි ගෙවන ගෙවල් කුලියෙන් කොටසක් හැටියට අඩු කරගත් නිසා සහනයක් උනා (ලයිට් තියනව කියල කුලිය වැඩි කළා වගේ මතක). මේ මං හතරේ පංතියේ හිටපු කාලේ. අක්කා හිටියේ අටේ. (දැන් ඒ පංතිවල ඉන්න අයට වඩා අපි වයසින් එක අවුරුද්දක් වැඩිමල්. මොකද අපේ පංති පටන්ගත්තේ පහළ බාලාංශයෙන්. ඉන්පස්සේ 1 ශ්‍රේණියට)
හැමවෙලේම පෝන් එකේ...?
2021.12.02
![]() |
| නින්දෙන් අවදි වූ මට ඈතින් පෙනුනේ මෙවැනි ආලෝකයකි (වෙනත් තැනක ගත් සේයාරුව - දිනිත් ඉන්දික හෑගොඩ) |
ඒ සුවපහසු ආසනයේ නිදා සිටි මා ඇහැරුනේ නැලවෙන රිද්මය නැති වූ නිසා විය යුතුය. හරියට ඇස් ඇර අවට බැලූවිට හාත්පස කළුවර පැතිර ඇති බව දුටිමි. එළියකට තිබුුණේ දුම්රියේ විදුලි එළියයි. මට වැඩේ තේරුණී. බිංගෙයක් තුළ දුම්රිය නතර වී ඇත. වේලාව බැලීමි. සවස 3.35යි. හිස ඔසවා බැලු විට මා සිටි මැදිරියට එහා අවසන් මැදිරියේ නිරීක්ෂණ වීදුරුව හරහා තරමක් ඈතින් පිහිටි බිංගේ දොරටුව පෙනිණි.
මා මේ සිටිනුයේ මහනුවර සිට ආපසු එන අතරතුරය. මාස අටකට පසුව මහනුවර ගියේ වැදගත් කටයුත්තකටය. පාන්දර පුරුදු බස් එකේ පැමිණිය ද, මට ආපසු එන්නට හිතුනේ දුම්රියේය. ඒ සැලකිය යුතු කලකින් දුම්රියක දුර ගමණක් නොගිය නිසා නොවේ. මේ දවස්වල බස් ඒ තරම් වේගයෙන් නොයන නිසාය. උදේ මා නුවර ගියේ ශ්‍රීලංගම බසයක වූ නිසා, ආසන ගණනටවත් සෙනග නැතත් එය වෙනදා වේලාවටම ගමනාන්තයට ළඟා විය. එහෙත් මං එන පාරේ හවසට ලංගම බස් අඩුය.
මගේ කටයුතු නිමකරගෙන කඩිනමින් යමක් කා බී, නගරය හරහා පයින් පැමිණ දුම්රියපොළට ළංවූයේ 2.45 පමණය. ඒ වන විටත් අන්තර්නගර සීඝ්‍රගාමී (ඉන්ටර්සිටි) දුම්රිය තුන්වන වේදිකාවේ නවතා තිබිණි. දෙවන පංතියේ ටිකට්ටුවක් මිල දී ගෙන දුම්රියට නගිනවිට දුම්රිය ගමන් අරඹන්නට ඔන්න මෙන්න තිබිණි.
මා නැගුණු මැදිරියේ ඒ තරම් මගීන් නොසිටි අතර, ජනේලයක් අසල අසුනක් ද ලැබිණී. කෙමෙන් ඉදිරියට ගිය දුම්රිය පේරාදෙණියේ ඉස්ටේසම පසුකරනවා මතකය. ඉන්පසු මිනිත්තු පහළොවක් පමණ මට නින්ද ගොස් ඇත. දැන් මේ අවදි වූයේ ඉන් පසුවය.
දුම්රිය නතර වී තිබුණේ බලන කිට්ටුව බිංගෙයක් තුළ බව අනුමාන කළෙමි. දුම්රිය නතර වීමට හේතුව දැන ගන්නට විදියක් නැත. දැන් දැන් යළි ගමන් අරඹනු ඇතැයි කියා මදක් වේලා බලා සිටියෙමි. එසේ නැත. මොකක් හෝ අබග්ගයකි. මද රස්නයක් ඇති බැවින් නින්ද යන්නේ ද නැත.
කෝකටත් විසඳුම වන ජංගම දුරකථනය අතට ගත්තේ ෆේස්බුක්වත් යන්නටය. අප්පා... කිසිම සිග්නල් එකක් නැත. අනෙක් පරණ පන්නයේ දුරකථනයේ ද සිග්නල් නැත. කොළඹ මා යන එන සමහර කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළ සිග්නල් නැතිවන එකේ බිංගෙයක් තුළ දුරකථන සංඥා තිබිය නොහැකිය.
අද උදේ සිට දුරකථනය භාවිත කළ නිසා බැටරිත් බැස ඇත. ඒ නිසා වෙනදා මේ වාගේ අවස්ථාවක ස්මාට් පෝන් එකෙන් කරන සටහන් තැබීම් හා ගැලරිය හිස් කිරීම ආදි මොකුත් කරන්න බැරිය. අනෙක් දුරකථනයෙන් කළ හැක්කේ ස්නේක් සෙන්සියා හෙවත් නයාට බලාගැනීම පමණකි. ඒක මහා කම්මැලි වැඩකි.
ජනේලයෙන් පිටත බලන්නට කිසිවක් ද නැත. ඇසට පෙනෙන්නේ ඒකාකාරී කළු පාට ගල් බිත්තියයි. දුම්රිය ඇතුළේ ඇති ආලෝකයෙන් පිටත ගල් බිත්තියේ රළු ගල් මෙන්ම තැනින් තැන ඇති බැමි ද දැකිය හැකිය. වෙනදා කෝච්ච්යේ යන විට හැමදාම දකින, ඒ නිසා සමහරුන්ට අගයක් හෝ අමුත්තක් නැති පරිසර භූදර්ශනයේ ඇති විචිත්‍රත්වය මට සිහිපත් වූයේ ඒ වෙලාවේය.
ඒ සමඟ මට මතක් උනේ දැන් ලයිටුත් ගියා නම් කියාය... එහා පැත්තේ ආසනයේ කවුරු හෝ සිටියේ නැත්තේ වාසනාවටක අවාසනාවටද යන්න එක්වරම හිතාගත නොහැකි විය. මට මුලින්ම මතක් වූයේ 1950 දශකයේ දවසක අම්පාර පැත්තේ ගංවතුර නිසා දී අතරමංව සිටිය දී තවත් පිරිසක් සමඟ බෝට්ටුවකින් යමින් සිටිය දී ප්‍රකට ලේඛක ගුලි ලද අත්දැකීමය. බොට්ටුවේ එළිය නැතිවූ අවස්ථාවක දී ළඟ සිටි දමිළ තරුණියක් විසින් ගුලිට කේක් කැබැල්ලක් කැව්වේ (කටේ ඇතිල්ලූවේ?) කළුවරට පින් සිද්දවන්නටය. ඉස්කෝලේ අච්චු පොතක තිබූ පාඩමක මේ කතාව වූ බවක් මතකය.
ඒත් ලයිට් ගියත් මා අසල ආසනය හිස්ය. පැත්ත පළාතක ඒ වගේ අයෙක් නැත. ඒ වගේම ලයිට් යන්නේත් නැත. මට මතක් උනේ කැම්පස් යන කාලයේ දී බස්රථයක ලයිට් තිබිය දී මා ලද එක්තරා අත්දැකීමකි... එහෙත්, ඒ කතාව මෙහි කීමට නොහැකිය.
පුංචි කාලයේ දී මම දුම්රියේ යෑමට බෙහෙවින් ප්‍රියකළෙමි. ඒ, එතරම් දුම්රියේ නොගිය නිසාය. කොළඹ පදිංචියට පැමිණි පසු මාතර යද්දී හමුවන ස්ටේෂන්වල නම් ලියාගත් හැටි ද මට මතක් විය. වරක් නොව දෙතුන් වරක් එසේ කරන්නට ඇත. කොළඹ-ගාල්ල හැර මා වැඩිවශයෙන් ගොස් ඇත්තේ ද නුවර මාර්ගයේ හෙවත් ප්‍රධාන මාර්ගයේය. මේ කැමැත්ත දුම්රිය කෙරේ ද එහි ඉතිහාසය කෙරේ ද කැමැත්තක් ඇතිකර තිබේ.
දුම්රිය දිගේ අතීතයට ගිය සිත, දුම්රිය දිගේ මෑතට ආවේය. දශක දෙකකට ඔබ්බේ එක්තරා දවසක (දිනය මතකය), අපරභාගයේ මාතර සිට නුවර යන දුම්රිය මැදිරියක කළ එක්තරා අපූරු කතාබහක් මට මතක් විය. පෙර දින දෙකේ දී යන්තම් දැන හඳුනාගෙන සිටි අපව, ඇස් දිහා බලාගෙන කළ ඒ කතාබහෙන් සමීප කළේය. කොළඹින් මම බැසයන තෙක් කළ කතාව මට තවමත් මතකය. ඉන්පසුව ගෙවුණු වසර දෙකක් තුළ යළි හමුවුවද, එකිනෙකාට නොකී ඒ ප්‍රේමය ගැන දිගට ලියන්නට මට හිතක් නැත. ඒත් ලියැවුණු නොපළ කවියක් මගේ සටහන් අතර වේ.
මා සිතිවිල්ලේ ගැලී සිටියදී දුම්රිය සෙමින් ඉදිරියට යන්නට පටන්ගත්තේය. වේලාව බැලූ විට පැය බාගයකට වඩා ගෙවී ගොස්ය. කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමෙන් පසුව ගමන යළිත් ආරම්භ වී ඇත. දුම්රිය බිංගෙයින් එළියට පැමිණීමත් සමඟ මම ද වර්තමානයට ආවෙමි.
ඡායාරූපය - දිනිත් ඉන්දික හෑගොඩ
(වෙනත් තැනක ගන්නා ලද්දකි)
මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට.
ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.
මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා.
ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...
"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."
ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...
කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...
"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"
මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.
නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ.
ධනේෂ් විසුම්පෙරුම
2021.02.23
"දවසක් මම කරවල කඩෙන් කරවල වගයක් ගෙනාවා. ඒවා ඔතන් ආපු කොලේ තිබ්බ අකුරු මට හුරුයි. ඉතින් ඒක මොකද්ද කියලා බැලුවම ඒක මම කලින් දවසක කාර්යාලයකට යවපු ලියුමක්. මටම ලැජ්ජා හිතුනා ඒක ලියල තිබ්බ හැටි දැකලා. ඒ කියන්නේ ඒ ලියුම වැඩක් නෑ කියලා ඒ අය විසි කරලා"
"එතකොට සර්ත් ලියුම් ලියන්න ඉගෙනගෙන තියෙන්නෙ ළඟදි ද?"
"අන්කල්, නවගත්තේගමට තව දුරද?"
"මේ නවගත්තේගම තමයි මහත්තයො!"