Showing posts with label My Diary මගේ දිනපොත. Show all posts
Showing posts with label My Diary මගේ දිනපොත. Show all posts

Friday, October 24, 2025

පමා වී සිදු වූ හමුවීම්



"පමා වී මෙසේ අප ඇයි හමුවුනේ
අතීතයේ අප හමු වූවා නම්"

මේ පද එන්නේ කුලරත්න ආරියවංශ ලියූ නිරංජලා සරෝජිනී කියන ගීයකයි. එය ප්‍රේමය හා සම්බන්ධයි. 

ඒත් මේ පද මට මතක් උනේ ප්‍රේමය ගැන මතකයක් එක්ක නෙවි. 

මේ ගීතය මට මතක් උනේ මෑතක දී කියවන්නට ලැබුණු පොත් කීපයක් ගැන හිතමින් ටික දවසකට පෙර නුවර යද්දී... ඇත්තටම ඒ සමහර පොත් කියවන්න තිබ්බේ මීට පෙරයි, බොහොම පෙර... 

ඒත් ඒවා පමා වී හෝ කියැවීමට ලැබුණු එක වාසනාවක්.

එතකොට මතක් උනේ වසන්ත කුමාර කොබවක ලියපු, කසුන් කල්හාර, උරේෂා රවිහාරි හා ඉන්දිකා උපමාලි ගයන ගීයක මුල් පද දෙපේලියයි.

"පමාවී පිපුණු මල් සුවඳයි
පමාවී පිපුණු මල් සුවඳයි"

ඒ ගීතයත් ප්‍රේම ගීතයක් තමයි. ඒත් මුල් පද දෙක පමණක් කියවීමි.

ජීවිතේ සමහර දේ ලැබෙන්නේ පමා වී තමයි. 

හිතාගත යුත්තේ එක් දෙයයි. ඒ දේ තමන්ට ලැබුනේ ඒ ලැබිය යුතු වෙලාවටයි යන්නයි. 

කොහොමටත් යමක් ලැබෙනවාදැයි අපට කලින් දැනගන්නට ක්‍රමයක් නැහැනේ...


ඒ ගීත අසන්නට - 
පමා වී මෙසේ අප ඇයි හමුවුනේ
https://www.youtube.com/watch?v=EFBdL7sOXFk

පමාවී පිපුණු මල් සුවඳයි
https://www.youtube.com/watch?v=gc1dA45DBLg

ධනේෂ් විසුම්පෙරුම 
2025-04-15

Friday, October 25, 2024

තාත්තාගේ දොඩම් ගසේ කතාව




මේක අමුතු කතාවකි.

මේ මගේ ගෙදර දොඩම් ගසය. මේකේ වයස අවුරුදු විස්සක් පමණ වේ. දොඩම් කුලයේම ගසක් ග්‍රාහකය ලෙස ගෙන, ඊට පැණි දොඩම් අංකුරයක් බද්ධ කරන ලද්දේ තාත්තා විසිනි.

ඔහු මේ ගස සිටුවා වසර දහයක් පමණ ගත වුව ද ඒ ගසේ ගෙඩි හැදුණේ නැත. තාත්තා ඒ ගැන බෙහෙවින් විස්සෝප වූ අතර ගසේ ගෙඩි හටගන්වන්නට ඔහු නොකළ දෙයක් නැත - ගසට වතුර නොදා සිටියේය, ගසේ බර එල්ලුවේය, ගහට පහර දුන් බවත් දුටු අය කියා ඇත. කොටින් ඔහු ඒ ගැන නොකළ දෙයක් නැතිවා විය හැකිය. ඒත් දොඩම් ගසේ ගෙඩි ආවේ නම් නැත!

අවසානයේ මේ ගසේ ගෙඩි හැදුනේය. ඒ 2013 වර්ෂයේ මැද හරියේය. එනම් තාත්තා මිය ගොස් මාස කීපයකට පසුවය. ඒ, මේ ගසට මොකක් කරන්න දැයි මගේ හිතවතුන් කීප දෙනෙකුගෙන් මා විමසමින් සිටි කාලයේ දීය.

මේ ගසේ දොඩම් හොඳ පැණි රසකින් යුක්ත විය. එහෙත් මුල්ම කන්න කීපයේ හැදුණු ගෙඩි මෙන් නොව පසුව ආ ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවිය. අපේ ගෙදර සිටි වැඩිහිටියෙකු පැවසූ විදිහට වරක් 'ආර්ථික සමීක්ෂණයකට' පැමිණි රජයේ නිලධාරිනියක් වත්තේ තියෙන්නේ මොනවද අසා, "ආ මේ දොඩම් ගසකුත් තියෙන්නේ" කියා පවසා සටහන් කරගන ඇත. ගෙඩිවල පැණි ගතිය හා දියර ගතිය අඩුවී ඇත්තේ එයින් පසු බව ඒ ඥාතින්ගේ අදහසයි. එය නිසැකව නොදනිමි. වසර ගණනාවකට පසුව දැන් ගෙඩි තරමක් හොඳය. ඒත් පෙරට වඩා කුඩා ප්‍රමාණයක තිබිය දී වැටෙයි.

මෙවැනිම තවත් සිදුවීමක් හිතවතෙකුගේ නිවසක දී මම ඇසීමි. කොළඹ නගරයේ වූ එම ගෙවත්තේ මගේ හිතවතා සිටුවා ආදරයෙන් සාත්තු කළ වෙරළු ගසක් හොඳින් වැඩී ඇතත් එහි ගෙඩි හැදී නැත. ඔහු ඒ ගැන කණගාටු වූ බවත්, ඔහු මිය ගොස් මාස කීපයක් තුළ ඒ ගසේ වෙරළු ගෙඩි හැදුණු බවත් ඔහුගේ බිරිඳ මා සමඟ පැවසුවාය.

මේවා මෙසේ වන්නේ කෙසේදැයි නොදනිමි.

2024-10-25

Sunday, June 23, 2024

පාසලෙන් ඈත් වීම

මෙය පසුගිය දා මා දුටු මීම් එකකි. තරමක හාස්‍යයක් දැනුනත් මේ තුළින් පෙන්වන්නේ අද උසස්පෙළ පාසැල් අධ්‍යාපනයේ ඇති අර්බුදයයි. උසස් පෙළ කරන වයසේ ළමුන් පාසැලට නොපැමිණීමයි - කලින් පාසල් යෑම නැවැත්වීමයි.


මා දකින ආකාරයට මෙවැනි තත්ත්වයක් ඇති වන ආකාර දෙකකි.

1.     උසස් පෙළ කරන ළමුන් - මේ අතරින් සමහර ළමුන් පාසලට වඩා උපකාරක පංති සඳහා කාලය වෙන් කර ඇත. ඒ නිසා පාසල් පැමිණෙන්නේ නැත. මදක් විමසීමෙන් බැලුවහොත්, සතියේ දිනවල උදේ වරුවේ උපකාරක පංති ඇති ස්ථාන බොහෝ ඇති බව දැකිය හැකිය.

2.      උසස්පෙළ නොකරන ළමුන් - ළමුන් සමහරක් උසස් පෙළ විභාගය නොකර පෞදගලික සරසරවියක උපාධියක් කිරීමට යොමු වන නිසා පාසැල් පැමිණීම අවශ්‍ය නැත. එහෙත් මෙය වැඩි වශයෙන් නාගරික ප්‍රවණතාවයක් වන අතර එය සිදු කළ හැක්කේ යමක් කමක් ඇති අයටය. (මා දන්නා පරිදි විවෘත විශ්වවිද්‍යාලයේ ද උසස් පෙළ නොමැතිව පදනම් පාඨමාලාවකින් පසුව උපාධියක් කළ හැකිය.)

මෙහි ඇති ගැටලුව වන්නේ උසස්පෙළ අධ්‍යාපනයේ ඇති වටිනාකම හුදෙක් විෂය නිර්දේශයට සීමා නොවීමයි. එය තවත් අංශ ගණනාවකට යොමු වී ඇත. මද කලකට පෙර ව්‍යාපෘති ක්‍රමය මගින් ඵලදායී තත්ත්වයක් ඇති විය. අනෙක් අතට පාසැල් ජීවිතයේ හොඳම කාලය වන්නේ උසස් පෙළ සමය බව මගේ අදහසයි. අප නිදහසේ ක්‍රීඩා, කලා, සමිති සමාගම් ආදියේ අත්දැකීම් ලැබුවේ ඒ කාලයේ දීය. ළමයෙකු සමාජයට නික්මීමට පෙර හැඩගැස්වීමේ ලා මේවා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත.

රටේ නිදහස් අධ්‍යාපනයක් නැතැයි ඔබට සිතිය හැකිය. නැත, ගාස්තුවලින් නිදහස් වූ අධ්‍යාපන අවස්ථාව සරසවි අධ්‍යාපනය දක්වාම අපේ රටේ ඇත. එහෙත් ගැටලුව ඇත්තේ තමන්ගේම (හා දෙමාපියන්ගේ) කැමැත්තෙන් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන නොගැනීමය. එසේම අප මේ කතා කරන්නේ එකේ පංතියේ සිට සාමාන්‍ය පෙළ දක්වා වසර 11ක් නිදහස් හා නොමිලේ අධ්‍යාපනය ලද (එහි වටිනාකම නොදන්නා) ළමුන් පිළිබඳවය.

ධනේෂ් විසුම්පෙරුම

2024-06-23

Monday, June 5, 2023

ප්ලාස්ටික් දූෂණය සඳහා විසඳුම් සෙවීම



අද, එනම් ජුනි මස පස්වන දා, ජගත් පරිසර දිනයයි. මෙවර එහි තේමාව වී ඇත්තේ ප්ලාස්ටික් දූෂණය සඳහා විසඳුම් සෙවීමයි.

රාජගිරියේ පාසලක තාප්පයේ ඇති මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ මිනිසුන් පරිසරයට බැහැර කරන ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය, වෙනත් ජීවීන්ට බලපෑම් කරන අන්දමයි. අප දන්නා පරිදි, එහි හානිකර බලපෑම් මිනිසුන්ට ද දැනෙමින් තිබේ.

ඒ චිත්‍රය පාමුල, පදික වේදිකාවේ ඇති ප්ලාස්ටික් ඇතුළු අපද්‍රව්‍ය මෙතැනට පැමිණියේ කෙසේද? ඒ මිනිසුන් විසින්ම බැහැර කිරීමෙන් පසුව මාර්ගය පිරිසිදු කරන සේවක පිරිස් විසින් එකතු කළ නිසාය. මේ චිත්‍රය දැක ඇති අය ද මේ කසල බැහැර කරන්නට ඇත... මේ අනුව වගකීම පැහැරහැර ඇත්තේ ජනතාව විසින්ම බව පෙනේ.

ප්ලාස්ටික් නිසා ඇති වන පරිසර දූෂණය වැළැක්වීමට නම් අප භාවිත කරන ප්ලාස්ටික් නිෂ්පාදන අවසානයේ බැහැරලන ආකාරය ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත්ය. භාවිතය අවම කිරීම, නැවත භාවිතය හා ප්‍රතිචක්‍රියකරණය යන 3R සංකල්ප මෙන්ම අවසන් බැහැරලීම විධිමත් වීම ද වැදගත්ය. (පසුගියදා පැවති ප්ලාස්ටික් දූෂණය පිළිබඳ අන්තර්ජාතික සාකච්ඡාවක දී ඇතැම් පාර්ශ්ව (රටවල්) තර්කය වූයේ ප්ලාස්ටික් පරිසර දූෂණයේ ගැටලුව ඇත්තේ අවසන් බැහැරලීමේ බවයි. අප ඊට එකඟ නොවන නමුත්, ප්ලාස්ටික්වලින් තොර ජීවිතයක් ගැන සිතීමත් අපහසු නිසා, මේ තර්කය ඉදිරි සංවාදවල දී ප්‍රධාන ධාරාවේ අදහස වීමේ අවදානමක් ඇති බව සිහිතබාගත යුතු වේ).

ධනේෂ් විසුම්පෙරුම

2023.06.05

ඡායාරූපය - 2023 අප්‍රේල් 9 සවස.

Monday, February 20, 2023

දශකයක් ලියන 'පරිසර පුවත්'!


'විදුසර' පුවත්පතට 'පරිසර පුවත්' මැයෙන් මා විසින් සතිපතා ලියන ජගත් මට්ටමින් වැදගත් පරිසරය හා ඒ ආශ්‍රිත විෂය පිළිබඳ පුවත් එකතුව ලිවීමට පටන්ගෙන 2023 පෙබරවාරි 20 දිනට වසර දහයකි. එහි මුල්ම පුවත් දෙක පළ වුයේ 2013 පෙබරවාරි මස 20 දින දී ය (ඡායාරූපය). එදා සිට අද දක්වා මෙවැනි පුවත් එකතු 483ක්* පළ වී ඇත.

සෑම සතියකම කෙහොමත් කියවන පරිසරය හා සම්බන්ධ පුවත් අතරින් තුනක් තෝරාගැනීම ඇතැම් සතිවල අසීරු වන්නේ වැදගත් පුවත් අධික වීම නිසාය. එතැන දී ගෝලීය හා කලාපීය වැදගත්කම මෙන්ම විෂය වැදගත්කම ද සලකා බලා තිබේ. එසේම වැදගත් පුවතක් වචන දෙසීයකින් ලිවිය නොහැකි අවස්ථාවලදී ඇතැම් සතියක එක පුවතක් මුළු පුවත් ඉඩ සඳහාම ලියා ඇත. සමහර සිදුවීම් පුවතක් වනවා වෙනුවට විශේෂාංගයක් වී තිබේ.

මෙහි දී ජාත්‍යන්තර පුවත් වෙබ් අඩවි කීපයක විද්‍යා හා පරිසර පුවත් මෙන්ම පර්යේෂණ සන්නිවේදනය සඳහාම කැප වූ වෙබ් අඩවි කීපයක් ද අඛණ්ඩව පරිශීලනය කරමි. කිසියම් පුවතක් සඳහා විද්‍යාත්මක පර්යේෂණයක් හෝ වාර්තාවක් පසුබිම වී ඇත්තේ නම්, අදාළ පර්යේෂණ ප්‍රතිකාවේ DOI අංකය හෝ වාර්තාවක නම් වෙබ් අඩවිය සඳහන් කර ඇත. ඒ වැඩිදුර ‌කියැවීම පහසු කිරීම පිණිසය.

මේ පුවත් සියල්ල ඒ සඳහා සකස් කරමින් ඇති බ්ලොග් අඩවියේ මේ වර්ෂය ඇතුළත පළ වනු ඇත.

*අවුරුදු දහයක් යනු සති පන්සිය විස්සක් වුවත් ලියූ පුවත් එකතු ප්‍රමාණය ඊට වඩා අඩු වූයේ හේතු කීපයක් නිසාය (1) නොවැම්බර් මාසයට යෙදෙන විදුසර සංවත්සර කලාපයේ පුවත් පළ නොවීම, (2) ඇතැම් වසරවල සිංහල අලුත් අවුරුද්ද සතියේ පත්‍රය පළ නොවීම, (3) පසුගිය 2022 වසර මැද සිට පුවත්පත පළ වන්නේ සති දෙකට වරක් වීම හා (4) මගේ කටයුතු බහුල වීම නිසා සති දෙකතුනක් නොලිවීම මේ හේතු වේ.


ධනේෂ් විසුම්පෙරුම

2023.02.20

Tuesday, January 31, 2023

එදා අපේ සෝෂල් නෙට්වර්ක් සයිට් එක...

අවුරුදු තිහකටත් එහා අතීතයේ අපේ "සෝෂල් නෙට්වර්ක්" සයිට් එකක් අද පෙනෙන හැටියි මේ.

මේ නුගේගොඩ හන්දියේ, නාවල පාර පටන්ගන්න තැන ඇති කඩ පෙළයි. අද මේ පාර අයිනේ වැටක් ගහලා තිබ්බත් එදා කරගම්පිටිය පැත්තෙන් එන 176 හෙට්ටියාවත්ත බස් නැවැත්තුවේ මෙතන පේන කඩ ඉදිරියේයි. නුගේගොඩින් හරවන ඒවා පොටෝ එකේ දකුණු පැත්තට වෙන්න ඇති අද නවත්වන තැනම නැවැත්තුවා. ඒ කාලේ තිබ්බ අංක 173 තොටළඟ හා අංක 4 කොටුව (කොළකවය) බස් නැවැත්තුවේ ඊට ටිකක් ඉදිරියට වෙන්නයි.


මේ පරණ තාලේ තනිමහල් කඩ පේළියේ එදා කඩ කාමර හතරක් තිබ්බා. දකුණු අත පැත්තේ කෙලවරේ පිහිටයේ අදත් තියන 'දොඩම්පේ ස්ටෝර්ස්' එක. වම් කෙලව‌රේ තිබුනේ 'විජය ඔසුසල' - ඒකත් අද තියනවා 'නව විජය ඔසුසල' නමින් (පරණ ගොඩනැගිල්ලෙම වගේ). විජය ඔසුසල අසලම ඇති අනෙක් කඩේ තට්ටු දෙකකට හදලා. ඒ කාලෙත් වහලා තිබ්බා වගේ මතක ක් කඩ කාමරයක් අද වන විට කැඩිලා.

පාරෙ හා පේමන්ට් එක‌ට වඩා පොඩ්ඩක් පහළින් තමයි මේ කඩ කාමර ටික තිබ්බේ. පොඩ්ඩක් වලක් ව‌ගේ. මා දුටු විිිදියට අදත් ඒක එහෙමයි. ඒකට හේතුව මේ ගොඩනැගිලි හැදුවට පස්සේ කාලෙක පාර උස්සපු එක වෙන්න ඕන. ඉතින් ඒ කාලෙ "වල බහිනව" කියපු එකට නියම අර්ථය ඒක!

ඉතින් මේක අපි ලාවට වල බැහැපු සෝෂල් නෙට්වර්ක් සයිට් එක... ඒක උනේ මෙහෙමයි -

ඒ 1989-1992 අතර කාලය. උදේ පාසැල් ගිහින් එහෙමම වගේ හවස රොටරියේ උසස් පෙළ පන්ති ඇරිලා ආවම අපි නවතින්නේ මෙතන... මගේ පංතිවලින් තුනක් විතර තිබ්බේ සතියේ දවස්වල. සඳුදා පාලිත දේවරාජා සර්ගේ බොටනි පංතිය. බ්‍රහස්පතින්දා දෙව්රුවන් සර්ගේ කෙමිස්ට්‍රි පංතිය. සිකුරාදා පිසික්ස් පංතිය.

ඉතින් අපි මෙතන රැඳී ඉන්න හේතුව තමයි සීසන් එකෙන් ලංගම බස්වල යන්න අපට සිදු වීම. ඒ කාලෙ ලංගම බස් අඩුයි වගේම, ඉස්කෝල ළමයි ගොඩක් හිටියම කරගම්පිටියෙ ඉදල එන බස් සමහර විට මෙතන නවත්වන්නේ නැහැ. ඒ නිසා සමහර දවස්වල අපි පැය කාලක් බාගයක් මෙතන ඉන්නවා. මෙතන ඉදලා බස් හෝල්ට් තුනක් ඈත තියන විජයබා මාවතට යන්න ඕන මමත් පැය බාගෙ මෙතන හිටපු දවස් තියනවා. පයින් ගියා නං මට යන්නේ මිනිත්තු පහළොවයි. ඒ උනාට නාවල, රාජගිරිය වගේම ඊටත් එහා යන යාලුවො දාල යන්න බෑනෙ...

ඉතින් අපි එතන ඉන්න උන්ට මචං කියලා සෙට් වෙනවා - ඒක ඉතින් කවුරු හරි ඇක්ටිව් ඉන්නව දැක්කම, හේතුවක් නැතිවත් Hi කියලා චැට් කරන්න සෙට් වෙනවා හා සමානයි.

ඉතින් අපි ඒවට චැට් ගෘප් කියමු. මෙතන සමහර දවස්වලට චැට් ගෘප් කීපයක් ඇක්ටිව් උනා. කොල්ලෝ ඉන්න ඒව තමයි වැඩිම. ඒ වගේම කෙල්ලන්ගෙත් චැට් ගෘප් තිබ්බ දවසුත් තිබ්බා - ඒත් ඉතින් සීසන් කෙල්ලො ටික. මේ ගැවසෙන්නේ එකම සෙට් එක. හැබැයි හැමෝම හැමදාම නෑ - මොකද පංති වෙනස් වන නිසා. මං හිටියේ සඳුදා හා බ්‍රහස්පතින්දා තමයි වැඩි වශයෙන් (සිකුරාදා පංතියෙ මේ පැත්තට එන යාලුවො හිටියෙ නැති තරම්).

ඉතින් අපේ මේ සෝෂල් නෙට්වර්ක් එකේ අද තියන සෝෂල් නෙට්වර්ක්වල තියන දේවල්ම තිබ්බා. ඒක එක දේවල් ගැන අපි කතා කරනවා. සමහර ඒවා සීරියස් කතා. සමහර ඒවා ඕපදූප. ඒව ඉතින් දැන් තියන ගෘප්වල මාතෘකා වගේම තමයි. යන්නෙ කොහෙහෙමල්ලෙ පොල් කතාත් ඕන තරම්!

ඒ වයසෙදි විය යුතු විදියටම වැඩි කතා බහක් තිබ්බේ බඩු හෙවත් කෑලි හෙවත් කෙල්ලෝ ගැනයි. මොකද එතැනින් අපේ පංතිවල වගේම වෙන පංතිවලට යන ළමයිනුත් යනවනේ.

ඉතින් ඔතන දී අපිත් හරියට සෝෂල් මීඩියා ප්‍රොපයිල් වගේනේ. එතනින් යන එන, බස් නැවතුමේ ඉන්න ගෑණු ළමයිනුත් ප්‍රොපයිල් තමයි. ඉතින් ලස්සන ප්‍රොපයිල් එකක් (ගෑණු ළමයෙක්) දැක්කම ඒ දිහා බලනවා - එයාලට එයාලව ලොක් කරන්න බැරි නිසා ප්‍රොපයිල් පොටෝ එක ඉතින් පබ්ලික් තමයි. ලයික් දානවා, හාට් රියැක්ෂන් දානවා. වොයිස් මැසේජ්වවලින් (විසිල් හෝ ඇහෙන්න දාන සූ සද්ද) රියැක්ට් කරන අවස්ථාත් තියනවා. හැබැයි ඒ ප්‍රොපයිල් එක ‌නොදන්න එකක් නම් එන්නේ ඇන්ග්‍රි රියැක්ෂන්. බ්ලොක් වෙන්නත් පුළුවන් - අනිත් හෝල්ට් එකෙන් බස් එකට නගිනවා එතකොට එයාලා. සමහර කාන්තා ‌ප්‍රොපයිල්වල පිරිමි හිමිකරුවන් හෝ ට්‍රයි කරන වෙන්න ‌හිමිකරුවන් ඒ වෙලාවට ඇන්ග්රි රියැක්ෂන් දානවා. අද භාෂාවෙන් කියනවා නම් 'ටිපර් වෙනවා'.

ඉතින් ඒ වගේ ප්‍රොපයිල් එකකට ෆ්‍රෙන්ඩ් රික්වේස්ට එකක් දාලා ෆ්‍රෙන්ඩ් වෙන්නත් පුළුවන්. ඕන නං ඉන් පස්සේ පුද්ගලිකව චැට් කරන්නත් සෙට් වෙන්න පුළුවන්. එහෙම උනාම ඒ ප්‍රොපයිල් එකේ පාස්වර්ඩ් එක අදාළ කොල්ලට ලැබෙනවා. සමහර වෙලාවට ඌ ඉන්පස්සේ අපේ නෙට්වර්ක් එකේ නෑ. අනිත් ෆ්‍රෙන්ඩ්ලා අන්ෆ්‍රෙන්ඩ් කරලා, අන්ෆලෝ කරලා වෙනම කතාවක් පටන් ගන්නවා. (ඌ වලෙන් ගොඩ ගියාද, වලට වැටුන ද කියලා කියන්න කල් වැඩි ඒ කාලෙ)

සමහරු ඉතින් එකම ප්‍රොපයිල් එකමයි ෆලෝ කරන්නේ. වෙන පෝස්ට් දිහා බලන්නේවත් නෑ. අපි නං එහෙමම හිටියෙ නෑ ඉතින්... තෝරාගත් ප්‍රොපයිල් ෆේවරිට්වලට ඇඩ් කරන් ෆලෝ කරන අතර, නෙට්වර්ක් එකේ එහා මෙහා ගියා අනෙක් ‌ප්‍රොපයිල් හා පෝස්ට් බලබලා. අර "මට නුඹ විතරක් උනාට නුඹට ඉන්නෙ මං විතර ද" කියලා පස්සේ කාලෙක සින්දුවකුත් තිබ්බේ!

අපි මෙතන චැට් කළේ පෞද්ගලික ඕපා දූප විතරක් නම් නෙවි. අද සෝෂල් මීඩියාවල වාගෙම දේශපාලනයත් කතා කළා... 1989 නොවැම්බර් 13 දින රෝහණ වීජේවීර ඝාතනය උන පුවත දැනගෙන අපි පංති ඇරිලා ආවෙ මෙතනට - එතන හිටිය හැම පැත්තටම සහාය දුන් අය. ඒ වගේම ඉදහිට දේශපාලන චරිතත් මෙතන ඉද්දි දැක්කා - කෝට්ටේ නගරසභා ඡන්දයට 1991 දී ඉදිරිපත් වූ සුසිල් ප්‍රේමජයන්ත මහතාව මම මුලින්ම දුටුවෙ මෙතන දි වෑන් එකක ඉදන් නගර සභා කැම්පේන් එක කරනකොටයි. ඒකත් මට හොඳටම මතකයි.

ඉතින් ඔය නෙට්වර්ක් එකේ රස්තියාදුව ඉවර වෙන්නේ හෙවත් ඩේටා ඉවරවෙන්නේ ලංගම බස් එකක් ආවම. ඒ සාමාන්‍යයෙන්176 හෙට්ටියාවත්ත බස් එකක්. ඒ කාලෙ නුගේගොඩ හරහා ගිය අංක 4 (කොටුව) කොළ කවය හා 173 (තොටළඟ) ලංගම බස් තිබ්බට ඒකෙ යන්න හිටියෙ කීප දෙනෙක් විතරයි. ඒ, ඒ බස් දෙක නාවල හන්දියෙන් නාරාහේන්පිට පැත්තට හරවන නිසා. ඒකෙ මට යන්න පුළුවන් නිසා මම යනවා, සමහර දවස්වලට... (හරියටම කිව්වොත් සීරියස්ලි ෆලෝ කරපු එක්තරා ප්‍රොපයිල් එකක් ඒ බස්වල යන දවස්වලට). එහෙම නැති වෙලාවට ඉතින් 176 ලංගමයක් එනකම් චැට් කර ඉන්නවා අනෙක් යාලුවො එක්ක.

ඒ මතක ඉතා සුන්දරයි. මෙතනින් යන හැම මොහොතකම මම ඒ අතීතයට යනවා...

එදා හිටපු උන් සමහරකගේ නම් එක්ක උනත් කියන්න පුළුවන්. ඒත් සමහර උන් නම් කියනවට කැමති වෙයිද දන්නේ නැති නිසා නිහඬ ‌වෙන්නම්.

මට ඒ ගැන මෙහෙම හිතෙනවා. එදා සෝෂල් නෙට්වර්ක් එක පිසිකල් එකක්. හැබැයි අපට ඒක දැනුනා, තවමත් හොඳටම මතකයි. ඒ හා සමාන වූ දේ අද පරම්පරාව කරන්නේ වර්චුවල්. ඒත් දැන් ටිකකට කලින් චැට් කරපු දේවල් දැන් මතකයි ද?

ධනේෂ් විසුම්පෙරුම

2023.01.30

Sunday, January 1, 2023

මගේ දකුණේ සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


'දකුණ' යනු කවදත් කතාබහට ලක් වූ ප්‍රදේශයකි. අද දකුණ යනුවෙන් අදහස් වන්නේ වර්තමාන පළාත් බෙදීම්වල එක් පළාතකි. අද දකුණ යනු පුරාණ රෝහණයෙන් කොටසක් පමණි.

කොළඹ හා රටේ වෙනත් පැතිවල වාසය කරන සැලකිය යුතු පිරිසකට මෙන්ම මට ද දකුණේ සම්බන්ධයක් තිබේ. මගේ ඒ සම්බන්ධය දිස්ත්‍රික්ක තුනටම අදාළය. ඒ මෙසේය.

මම ගාල්ලේ උපන්නෙමි


මම උපන්නේ ගාල්ලේය. නිශ්චිතවම කිවහොත් ගාල්ලේ මහමෝදර පිහිටා ඇති රෝහලේය. ඒ කාලයේ ගාල්ලේ ප්‍රධාන රෝහල තිබුනේ මහමෝදරය. උප්පැන්න සහතිකයේ ද සඳහන් වෙයි.

මගේ තාත්තාගේ ගම වූයේ මාතර අකුරැස්සය. ඔහුගේ මහගෙදර පිහිටා ඇත්තේ අකුරැස්සේ, මාරගොඩ ගමේ පිහිටි උඩහේන නම් ඉඩමේය. විසුම්පෙරුම වාසගම දරන්නන් වැඩි වශයෙන් වාසය කරන්නේ ගාල්ල දිස්ත්‍රික්කයේය. අපේ මුත්තාගේ (සීයා) පියා ගාල්ලේ සිට අකුරැස්සට පැමිණ ඇති බවක් කතාවට කියනු අසා ඇත්තෙමි.

මම අදත් රටේ ආසම ප්‍රදේශය ගාල්ලය. ගාල්ලේ ගිය විට මට බොහෝ හුරු පුරුදු ගතියක් දැනෙයි. කෙටියෙන් කිවහොත් ගාල්ල මට ගෙදර සේ දැනේ. (මම කැමති දෙවැනි ප්‍රදේශය අනුරාධපුරයයි. තෙවැනි තැන හිමිවන්නේ නුගේගොඩටයි. ඒ හැර මන්නාරමට ද බොහෝ සේ ප්‍රිය කරමි.)

ගාලු ලන්දේසි කොටුව, අලුත් දොරටුව (ඡායාරූපය 2013)


හම්බන්තොට මුලින්ම ජීවත් වීමි


ගාල්ලේ උපන්න ද ඉතා ළදරු කාලයේ මුලින්ම මා ජීවත් වී ඇත්තේ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ, තංගල්ලට නුදුරු කදුරුපොකුණ ග්‍රාමයේය. ඒ, අම්මා ඒ ගමේ සේවය කළ නිසා අප එහි පදිංචි වී සිටි බැවිනි. 1972 නොවැම්බර් මස 24 දින නිකුත් කර ඇති ඇයගේ හැඳුනුම්පතේ සඳහන් ලිපිනය අංක 158, ඉහලගොඩ, කදුරුපොකුණ වේ.

කෙසේ වෙතත් කදුරුපොකුණේ ගෙවූ කාලය ගැන කිසිදු මතකයක් මට නැත. මට මාස තුනක් පමණ කාලයේ දී අපේ අම්මාට ලැබුණු රාජකාරි ස්ථාන මාරුවක් නිසා අප ඒ ගමෙන් නික්මුණු නිසාය. කිසිත් මතකයක් නොතිබූ ඒ ගමට මම ආපසු ගියේ වසර හතළිහකට පසු 2013 වර්ෂයේ දීය. ඒ 1967 සිට 1972 අග දක්වා කාලයක් තමන් සේවය කළ ඒ ගම බලන්නට අම්මා කැමති වූ නිසාය.

කදුරුපොකුණට යන පාර (ඡායාරූපය 2013)


මාතර ගෙවුණු කාලය


අම්මාගේත් තාත්තාගේත් රැකියාවේ ස්ථාන මාරු නිසා අපි ඉන්පසු වසර කීපයක් මාතර දිස්‌ත්‍රික්‌කයේ ගොඩගම හා හිත්තැටිය යන ගම්වල පදිංචි සිටියෙමු. බබ්බු සිඤ්ඤෝ හෝ බබුන් සිඤ්ඤෝ නම් කෙනෙකුට අයත් විශාල කුලී නිවසක අප හිත්තැටියේ දී පදිංචිව සිටි අතර, ඒ කාලයේ සිදු වූ ඇතැම් සිදුවීම් වෙනම ලියන්නට තරම් මට මතකය. ඒ නිවස පිහිටා තිබුනේ මාතර-අකුරැස්ස පාර අයිනේ තිබූ හිත්තැටිය සමුපකාරය අසලින් මදක් ඇතුළට වන්නටය (දවල්ට මට බත් කැවීම සඳහා ඇතැම් දවසක ට්‍රයිසිකලයේ මා තබාගෙන මහ පාර අසලට ගොස් ආපසු තල්ලු කරගෙන ඒම අපේ නැන්දාට අපහසු නොවූයේ නිවසට පාරේ සිට ඇති දුර ඒ තරම් අඩු නිසාය!). මාතරට ආසන්න ගොඩගම ප්‍රදේශයේ පදිංචි වීමට සිතා තාත්තා පර්චස් විස්සක පමණ ඉඩමක් ද මිල දී ගෙන තිබිණි.

ඉන් පසුව 1978 ජනවාරියේ දී හෙවත් මට වයස අවුරුදු 5කුත් මාස කිහිපයක දී අපි කොළඹ ආවෙමු. ඒ මා අසනීපයෙන් සිටි නිසාය. මාසයක් පමණ කාලයක් මා රෝහලේ සිටි නිසාත්, කලක් ප්‍රතිකාර ගැනීමට ආ යුතු වූ නිසාත් නිවාඩු නැති වීමෙන් අම්මාත්, තාත්තාත් කොළඹට මාරු වීම් හදාගත්හ (ඒ දෙදෙනා 1960 දශකයේ මැද කොළඹ රාජකාරි කළ අයයි). අපි කොළඹ පදිංචි වීමු. කළුබෝවිල, රාජගිරිය, නුගේගොඩ ප්‍රදේශවල වසර 14ක කුලී නිවාස චාරිකාවකින් පසුව අවසානයේ දැන් සිටින ගමේ පදිංචි වීමු (තාත්තා ගොඩගමින් මිල දී ගෙන තිබූ ඉඩම 1989 දී රුපියල් තිස් දහසකට විකුණා දැමුවේ දැන් අප පදිංචි ඉඩම මිල දී ගැනීමටය).

ඒ මගේ දකුණේ සම්බන්ධයයි.

එහෙත් මම කිසිවිටක දකුණ රටේ අනෙක් පැතිවලට වඩා උසස් බව කියන්නේ නැත. එසේම දකුණේ අය අන් අයට වඩා උසස් සේ පවසන්නේ නැත. එසේම, අනෙක් පළාත් හෝ ප්‍රදේශවල අය පහත් සේ සලකන්නේ ද නැත අනෙක මගේ අම්මා ද, උඩරට ප්‍රත්‍යන්ත ප්‍රදේශයක් වූ තුන්කෝරළයේය.

එහෙත් මම මගේ දකුණේ සම්බන්ධය ගැන ආඩම්බර වෙමි.

2023.01.01

Sunday, October 9, 2022

හයිද්‍රාබාදයේ නොකියූ කථා

2012 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ දී ඉන්දියාවේ හයිද්‍රාබාද් නගරයේ සතියකට අධික කාලයක් ගත කිරීමට අප කීපදෙනෙකුට අවස්ථාව ලැබිණි. ඒ ජෛව විවිධත්වය පිළිබඳ අන්තර්ජාතික සමුළුවකට (COP 11) සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා හරිත ව්‍යාපාරය වෙනුවෙන් ගිය අවස්ථාවේදීය. හයිද්‍රාබාදය ඒ කාලයේ දී ආන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ අගනගරය ලෙස පැවති අතර, අද වන විට එය පසුව පිහිටුවන ලද ‌තෙලන්ගානා ප්‍රාන්තයේ අගනගරයයි.

ඒ ගමනේ ආගිය තැන් ගැන ලිපි කීපයක් The Nation පුවත්පතට ලිවීමි (මේ ලිපියේ පහළ ලින්ක් ඇත). මෙතෙක් ලිවීමට නොහැකි වූ රසවත් අත්දැකීම් කීපයක් ලියා තැබීමට ඉතිරි වී ඇත. ඒවා මේ ලියන්නේ හරියටම වසර දහයකට පසුවය.

ලංකාව පිහිටයේ කොතැනක ද?

හයිද්‍රාබාදයේ අප නැවතී සිටි කාලය ඇතුළත එහි වැසියන් සමග ගැවසීමට හා අදහස් හුවමාරු කරගැනීමට අපට යම් අවස්ථාවක් ලැබිණි. අප සහභාගි වූ වැඩසටහනට සහභාගි වූ අය, නවාතැනේ මෙන්ම නගරයේ දී හමු වූ ඉංග්‍රීසි භාෂාව කතා කළ හැකි වූ ආන්ද්‍රා වැසියන් සමඟ ද අපට කතා කරන්නට හැකි විය.  

එහි දී පෙනී ගිය කරුණක් වූයේ ඉංග්‍රීසි කතා කරන්නට හා අවබෝධ කරගන්නට හැකි වූ අය අතර පවා ලංකාව ගැන තිබූ අවබෝධය විවිධ වූ බවයි.

අප එහි ගිය කාලයේ හයිද්‍රාබාදය ආන්ද්‍රා ප්‍රදේශයේ අගනුවර විය


වරක් මගී බස් රථයක ගමන් කරද්දී මා සමග කතාවට වැටුණු අයෙකුට අප පැමිණි රට දැනගැනීමට අවශ්‍ය විය. අප ආවේ ශ්‍රී ලංකාවෙන් යැයි පැවසූ විට ඔහුට ඒ පිහිටියේ කොතැනදැයි දැනගැනීමට ද අවශ්‍ය විය. ඔහු පළමුව ඇසුවේ ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක් ද කියාය. එය එසේ නොවේ කියූ මම අප ඉන්දියාවට පහළින් පිහිටා ඇති වෙනම රටක් බව කී විට, තමිල්නාඩුවට මායිම් වන රටක්දැයි විමසා සිටියේය. ශ්‍රී ලංකාව පිළිබඳව ඔහු නොදැන සිටීම ගැන මට පුදුමයක් නොවූ අතර, තමන්ගේ රටේ මායිම නිසි ලෙස නොදැන සිටීම ගැන නම් මදක් පුදුම සිතුනි. එහෙත් මේ කතාව අපේ කට්ටියට කී විට ඔවුන් කීවේ "උඹේ ඉංග්‍රීසී මෑන්ට තේරුණාද දන්නේ නෑනේ" කියලාය.

අසල්වැසි රටේ ප්‍රධාන නගරයක වැසියෙකු ශ්‍රී ලංකාව කොතැනදැයි නොදැන සිටීම එක් ආකාරයකට විමතියට කරුණක් වුවත් එය සැමවිටම එසේ නොවීය.

තමිල්නාඩුවේ ක්‍රියාකාරිත්වය දැන සිටි හයිද්‍රාබාද් වැසියෝ ද සිටියහ. අප නැවතී සිටි එක් හෝටලයක කවුන්ටරයේ සිටි සේවකයන් අතර සිටි එක් මැදිවියේ අයෙක් අපේ රට පමණක් නොව රටේ පැවති බෙදුම්වාදී ගැටලුව ගැන ද දැන සිටියේය. එසේම තමිල්නාඩුව ඒ සම්බන්ධයෙන් කරන බලපෑම් ගැන ද ඔහු මනාව දැන සිටි බව පෙනුණි. තමිල්නාඩුව ලංකාව සම්බන්ධව දක්වන පිළිවෙත ගැන ඔවුන් එතරම් ප්‍රසන්න බවක් නොදැක්වූ බව අපට වැටහුණි. ඊට හේතුව වන්නට ඇත්තේ අන්ද්‍රා ප්‍රදේශ් හා තමිල්නාඩු ප්‍රාන්ත දෙක අතර ඇති ගැටලු පැවතීම වීමට ද හැකිය.


ක්‍රිකට් අප එක් කරයි!

ශ්‍රී ලංකාව ගැන නොදත් බොහෝ දෙනා අතර, ලංකාව පමණක් නොව ලංකාවේ ප්‍රකට පුද්ගලයන් ගැන ද දැන සිටි අය ද අපට හමු විය. ඒ අතරින් එක් පොලිස් නිලධාරියෙක් සුවිශේෂ විය. මතක හැටියට ඔහු මධ්‍ය මට්ටමේ නිලධාරියෙකි. ඔහු අපේ රට ගැන දැන සිටියේ ක්‍රිකට් නිසාය.

ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ සංචාරය කළ අවස්ථාවල දී ඔහුට ලැබුනු රාජකාරි නිසා අපේ රටේ ක්‍රීඩකයන් සමග කටයුතු කරන්නට මෙන්ම සේවා සපයන්නට ද අවස්ථාව ලැබී ඇත. එබැවින් ඔහුට අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම් පවා මතකයේ තිබිණි. අප සමුළුවට යන එන අතර දිනපතාම පාහේ හමු වූ ඔහු ඒ හැම විටම කතා කළේ ක්‍රිකට් හා අපේ රටේ ක්‍රීඩකයන් ගැනමය. ඔහුට මෙරට ක්‍රීඩකයින් හමු වු තරග ගැනත් කතා කළා මතකය. ඒ නිසාම, අදාළ ආරක්ෂක මුරපොළවලදී ඔහු අපට දැක්වූ සිනහවෙන් පිරි හිතවත්කම ද මට තවමත් මතකය.

ලංකාවෙන් ආ අප්‍රිකානුවන්

වරක් අපේ කණ්ඩායමේ සාමාජිකයන් දෙදෙනෙක් පමණක් තනිව රාත්‍රී ආහාරයට නගරයේ අවන්හලකට ගිය අවස්ථාවක දී අපූරු සිදුවීමක් සිදු වී තිබිණි. ඔවුන් කී පරිදි එහි සිටි අයෙක් ඔවුන්ගෙන් මෙසේ අසා ඇත.

"ඔයාලා මොන රටෙන් ද?"

"ශ්‍රී ලංකාවෙන්" යැයි කියූ විට තවත් අයෙක් ඒ කොතැනදැයි අසා තිබේ. ඒ අතර අපේ මිතුරන්ට ඇසී ඇත්තේ "අප්‍රිකාවේ රටක් වෙන්න ඇති" යනුවෙන් ඒ අයගෙන් කෙනෙක් පැවසූ ආකාරයයි!

මේ ගැන අපේ අදහස වූයේ, එහි සිටි අපේ මිතුරන් දෙදෙනාගේ ස්වරූපය දැකීමෙන් ඔවුන් එවැනි මතයකට එන්නට ඇති බවයි! ඒ බැවින්, මේ කතාව කිවූ පසු ඒ දෙන්නාට අපේ පිළිතුර වූයේ "අපිත් එක්ක යන්න කියන්නෙ ඕකනේ" යන්නය.

අපේ ශ්‍රී ලාංකික අප්‍රිකානු මිතුරන් අමනාප වන්නට ඉඩ ඇති බැවින් ‌ඒ දෙන්නාගේ පින්තූර ඇස් කපා හෝ දැමිය නොහැකිය. 


හයිද්‍රාබාදයේ කෑම!


කෑම ගැන කී බැවින් හයිද්‍රාබාදයේ කෑම ගැන නොකියාම බැරිය. ඒ දින කීපය තුළ අපට විවිධ ඉන්දියානු කෑම රසවිඳින්නට ලැබිණි. ඒ සමහරක් ලංකාවේ දී ආහාරයට ගෙන තිබූ ඒවාය. තෝසේ, ඉට්ලි ඒ අතර වූ අතර ඉන්දියානු කෑමවල රසේ වෙනසක් විය. මිරිස්වලින් තැනූ මිරිචි වඩ නම් මම රසබැලුවේ එහි දීය. 

මිරිචි වඩ


කෙසේ වෙතත් ඒ අතරින් 'හයිද්‍රාබාද් බිරියානි' වඩාත් සිත්ගත් ආහාරය විය. එය ඒ තරම්ම රසවත් විය. හයිද්‍රාබාද් බිරියානි එකේ තිබූ අතුරු ආහාරයක් වුයේ කපන ලද ලොකු ලූනු හෙවත් බොම්බයි ලූනු පෙතිය. ඒ ලූනු වර්ගය එසේ ආහාරයට ගන්නටම වවන එකක් බව සිතුනේ එහි සැර අඩු නිසාය. ලංකාවේ දී ඒ හා සමාන ලොකු ලූනු හමු වී ඇත්තේ ඉතා කලාතුරකිනි (අපේ රටේ ලොකු ලූනු යනු රතු ලූනුවලට ආදේශකයක් බව මට සිතේ. දැන් තියන ලොකු ලූනු සමහරක් සුද්ද කරද්දී රතු ලූනු සුද්දකරන විට වගේ සැරය).

මේ ගමනින් වසර කීපයකට පසුව මෑත දී නාවින්නේ අවන්හලක ‌දී හයිද්‍රාබාද් බිරියානි කෑමට ලැබිණි. එය මට හයිද්‍රාබාද් ගමන සිහිපත් කළේය.   


පොල් පටවන තුන්රෝද රථ


සාමාන්‍යයෙන් අපේ රටේ නම් තුන්රෝදයක තමන්ගේ අයකු මිස නොදන්නා අයෙකු රැගෙන යන්නේ කලාතුරකිනි. එහෙත් හයිද්‍රාබාදයේ තුන්රෝද රථයක ඇතැම්විට සෙනග කතාකර‌ගෙන යන්නේ රියැදුරාය. ඒ අනුව එක් ගමනකට අඩු ගානේ හත්අට දෙනෙකු එක් වෙති. රියැදුරාගේ දෙපස ද දෙදෙනෙකු ගමන් කරති. ගමන් ගාස්තුව ද එවිට අසාධාරණ නොවන බව පැවසේ.

මෙවැනි සේවාවක් ලංකාවේ දී එක් තැනක දී පසුව දැකගතිමි. ඒ රත්මලානේගොළුමඩම හන්දිය හා බොරුපන පාලම අතරය. වරක් මා දන්නා හඳුනන මහාචාර්යවරයෙකු ඔහුගේ නිවසට පැමිණීම සඳහා මට පාර කීමේ දී එන්නට කීවේ ඒ ආකාරයටය. යද්දී පයින් ගිය මම එද්දී ඒ ආකාරයට පැමිණියෙමි.


ඒ ෂර්ට් එක


දිනක් අපට ඇඳුම් කඩ කීපයකට යන්නට අවස්ථාව ලැබිණි. එහි තිබූ ඇඳුම් අතර, රළු පෙනුමක් ඇති අඳුරු ගොාම කොළ පාට ෂර්ට් එකකට අපේ අය අතර සිටි සක්‍රිය පරිසර ක්‍රියාකාරීකයෙකු වූ තරුණයකු‌ගේ සිත ගියේය. එහි පරිසර හිතකාමී බවක් හෝ පරිසර හිතැති බවක් දැකිය හැකි වූ නිසාය. ඔහු ඒ කමිසයක් මිලට ගත්තේය. මතක හැටියට එහි මිල ඉන්දියානු රුපියල් පනහකි. එහි වූ අනෙක් ඇඳුම් ගත් විට ඒ අඩු මිලකි. 

කෙසේ වෙතත් එහි සිටි සේවිකාවන් ඒ කමිසය දීමෙන් පසු සිනාවෙමින් ඔවුන් අතර යමක් කී බව පෙනුණි. අසීරුවෙන් පසුව අසා දැනගත් පරිදි ඒ කමිස වර්ගය ඒ ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රියැදුරන්ගේ ඇඳුමයි. මේ රූපයේ ඇත්තේ ඒ ඇඳුම ඇඳ සිටින හයිද්‍රාබාද් රියැදුරෙකි.

තුන්රෝද රථ රියැදුරන්ගේ ෂර්ට් එක!


උස් මිටි භේදය


අන්ද්‍රා ප්‍රදේශයේ අප නැවතී සිටි හයිටෙක් සිටි ප්‍රදේශයේ සැමතැනකම පාහේ දැකිය හැකි වූයේ එපාට්මන්ට් හෙවත් මහල් නිවාසය. ඒ තොරතුරු තාක්ෂණ දියුණුව නිසාය. එසේම ඉදිවෙමින් පවතින විවිධ ආයතන රැසක් ද දැකිය හැකි විය. කෙසේ වෙතත්, මේ මහා ගොඩනැගිලි ආසන්නයේ වූයේ කම්කරුවන් නැවතී සිටි නිවාසය. 
මේ තත්ත්වය අද වන විට වෙනස් වී ඇති දැයි නොදනිමි. 

හයිද්‍රාබාදයේ මගක් අසල දර්ශනයක්


හයිද්‍රාබාදයේ හයිටෙක් සිටි හෙවත් තොරතුරු තාක්ෂණය හා අනෙක් කර්මාන්ත සහිත ප්‍රදේශය අපේ සම්මන්ත්‍රණය පැවති ප්‍රදේශය විය. ඒ ප්‍රදේශයේ බොහෝ නව ගොඩනැගිලි තතා තිබු අතර, තවත් ගොඩනැගිලි තැනෙමින් තිබිණි. 

කෙසේ වෙතත් තාක්ෂණික දියුණුව තිබුන ද, කෘෂිකර්මය හා ගොවීන් සඳහා වැඩි සැලකිල්ලක් නොදැක්වීම නිසා ප්‍රාන්තයට ඒ දියුණුව ගෙන ආ චන්ද්‍රබාබු නායිදු 2004 දී පරාජයට පත්විය. අප එහි සිටි කාලයේ දී පවා ඇතැම් පිරිස් ඒ සිදුවීම සිහිපත් කළ ආකාරය දැකිය හැකි විය. එසේම ඒ ගැටුම ඒ කාලයේ දීද  පැවති බවක් පෙනිණි.


පාර පැනගන්න තිබ්බ අමාරුව


හයිද්‍රාබාදයේ අපට තිබූ එක් ගැටලුවක් වූයේ පාර හරහා පැනගැනීමට තිබූ අසීරුවයි. අප නිරීක්ෂණය කළ ආකාරයට පදිකයින්ට පාර පැනීම සඳහා සාමාන්‍යයෙන් වාහන නවත්වන්නේ නැත. වාහන එන අතර පරිස්සමෙන් පාර පැනගැනීමට අප දැනගත යුතුය. එවිට වාහන මදකට නවතිනු ඇත. එරට තවත් නගරවල තත්ත්වය එවැනි බව පසුව ඇසීමී. තැන් තැන්වල පාර මාරුවීම සඳහා ඉරි තිබ්බත් ජනතාව ද හැමතැනින්ම පාර මාරුවෙනු දැකිය හැකි විය. ඒ අනුව, "වාහන නතර නොකරන නිසා පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවනවාද?" නැතිනම් "පදිකයින් හිතෙන හිතෙන තැන්වලින් පාර මාරුවන නිසා වාහන නොනවත්වනවාද?" යන්න සිතාගත නොහැකි වූ ගැටලුවක් විය. ඒ ගැන නොසිතා පාර පැනීමට ඔවුන්ගේ ක්‍රමය ම භාවිත කළෙමු.

සමහරු පාර පනින්නට බලා සිටින අතර තවත් සමහරු පාර පනිති


හයිදාබාදයේ පැරණි නගරය සේ සැලකෙන සෙකුන්දරාබාද් ප්‍රදේශයේ දී ලිෆ්ට් එකක් සහිත පාර මාරුවන තැනක් දුටුවෙමි. පෙර කී ආකාරයෙන් වාහන ධාවනය වන තත්ත්වයක් තුළ එවැනි ලිෆ්ට් වැදගත් වන්නේ හුදෙක් ආබාධිතයන්ට පමණක් නොවේ. ඉන් වසරකට දෙක-තුනකට පසුව අපේ රටේ පාණදුරේ එවැන්නක් ඉදිකර තිබිණි (අන්තිමට පාණදුරේ ගිය කිහිප වතාවේ දීම එය අක්‍රිය බව දුටිමි).


බස් නවත්වන හැටි


එවැනිම තවත් අපූරු දෙයක් වූයේ බස්නවත්වන හැටිය. මංතීරු තුනක් ඇති පාරේ මැද මංතීරුවේම බස් නවත්වනු දැකිය හැකිවිය. අයිනේ සිටි මගීන් පාර මැදට ගොස් බස්වලට ගොඩ වූ ආකාරය ද දැකිය හැකිවිය.

මං තීරු තුනක් ඇති පාරේ මැද තීරුවේ නැවැත්වූ බසයක්


බස් මගී ප්‍රවාහනය

අපට ප්‍රවාහන පහසුකම් සැපයුනේ නිශ්චිත ‌වේලාවලට බැවින් ඇතැම් අවස්ථාවල අපි පොදු බස්රථවල ගමන් කළෙමු. හයිදරාබාදයේ (මෙන්ම ආන්ද්‍රා ප්‍රදේශයේම) මගී බස් ධාවනය රජය සතු සමාගමක් වන 'ආන්ද්‍රා ප්‍රදේශ් රාජ්‍ය මාර්ග ප්‍රවාහන සංස්ථාව' (Andhra Pradesh State Road Transport Corporation) නම් එරට රජයට අයත් සමාගමයි (ලාංඡනය බලන්න). කෙසේ වෙතත් බස් වර්ග කීපයක් මෙන්ම ගාස්තු වර්ග කීපයක්ම වූ බව අපි දුටුවෙමු. නගරයේ ඉතා හොඳ බස් සේවාවක් විය. බස්රථවල පහසුකම් කෙසේ වෙතත්, නිතර බස් ධාවනය වන බව දැකිය හැකි විය. (පසුව 2014 දී මෙම සමාගම දෙකඩ වී අද වන විට තෙලන්ගානා ප්‍රාන්තය සඳහා වෙනම සමාගමක් ක්‍රියාත්මක වේ. මේ සමාගම් දෙකේම රජය සතු බස් රථ මෙන්ම පුද්ගලික අංශයෙන් කුලියට ගත් බස් රථ ද ධාවනය වේ.)

Andhra Pradesh State Road Transport Corporation ලාංඡනය



මෙට්‍රො එක්ස්ප්‍රස් යනු සීමිත නැවතුම් ඇති නගර අතර ධාවනය ‌වන බස් රථය 


මේ බස්වල බොහෝ දුරට අපට හමු වූයේ කඩදාසි ටිකට්පත්ය. අප ගමන් කළ කිසිදු බසයත ටිකට් මැෂින් දුටු බවක් මට මතක නැත (ඒ තත්ත්වය අද වන විට වෙනස් වී තිබිය හැකිය).

ටිකට් රඳවනයක්

මේ බස්වල නිකුත් කළ ටිකට්පත් කීපයක් මෙසේය. මේවායේ සඳහන් වන ලාංඡනය ඉහත සඳහන් කළ Andhra Pradesh State Road Transport Corporation ආයතනයේය.

බස් ටිකට්පත් කීපයක්. මෙහි සඳහන් ලාංඡනය උක්ත සමාගමේය.


මේ බස්වල කාන්තාවන් සඳහා අසුන් ගණනාවක් වෙන් කර තිබිණි. කෙසේ වෙතත්, ඒවායේ කාන්තාවන් මෙන්ම පිරිමි ද ගමන් කරනු දැකිය හැකි විය. බොහෝ විට බස්වල ආසන හිස්ව තිබූ නිසා එය ඒ තරම් ගැටලුවක් නොවීය. බස් රථ ද ඕනෑ තරම් විය.

කාන්තාවන් සඳහා වෙන්කළ අසුන්


පොත් කඩේට ගිය ගමන


මගේ ගමනේ දී මට මිල දී ගැනීමට තිබූ පොත් දෙකක් මිලට ගැනීමට Orient Blackswan නම් ප්‍රකාශන ආයතනය සොයාගෙන හයිද්‍රාබාද් නගරයේ අනෙක් කෙලවරටම ගියෙමි. ඒ ගමනට අපේ නඩයේ තවත් අය ද එක් වූහ. ඒ ගමන ගියේ තුන්රෝද රියකය. පොත්කඩවලට අමතරව රෙදි කඩවලට ද නගරය බැලීමට ද එය උපකාරී විය.
ඒ පොත් සාප්පුවේ කාර්යාලය ඇතුළත දර්ශනයක්

ඉන්දියානු ගමනට කලකට පෙර සිට මා ඔවුන් සමඟ සන්නිවේදනය කර තිබූ බැවින් අප එන බව ඔවුහු දැන උන්හ. ඒ නිසා ඔවුන් අපට සැලකුයේ හුදෙක් පොත් ගන්නට ආ අය ලෙස පමණක්ම නොවේ. ලංකාවෙන් පැමිණ ඔවුන්ගේ පොත් හල සොයා පැමිණීම ගැන ඔවුන් බෙහෙවින් සතුටූ බව ද දැකිය හැකි විය. අප උනන්දු වන විෂය පිළිබඳව දැනුවත්ව ඒ සම්බන්ධ අපේ රටට ද අදාළ පොත් මොනවාද කියා පෙන්වීමට ඔවුහු කටයුතු කළහ. එපමණක් නොව අපේ රටේ ප්‍රකාශන ආයතනයකින් ඉදහිට ලැබෙන ආකාරයේ මිල අඩුකිරීමක්ද අපට ඔවුන් වෙතින් ලැබිණි.


ඉන්ස්ටන්ට් ලෑන්ස්කේප්


අප සහභාගි වූ සමුළුව පැවතියේ හයිද්‍රාබාද් නගරයේ පිහිටි විශාල සම්මන්ත්‍රණ ශාලාවකය. එම ප්‍රදේශය ආසන්නයේ මෙන්ම, ප්‍රධාන මාර්ගයේ ඒ ආසන්න ප්‍රදේශයේද මග ‌දෙපස මෙන්ම, මාර්ගය මැද දූපත් කොටස් ද මලින් පිරුණු ලොකු කුඩා පැළවලින් පිරී ගොස් තිබිණි. ඒවාට වතුර දමා නඩත්තු කරන ආකාරය ද දැකිය හැකි විය. කෙසේ වෙතත් ඒ කුඩා මල්පැළ ඉතා මෑත දී සිටවූ බව නම් පෙනෙන්නට තිබිණි.

ඉන්ස්ටන්ට් බව පෙනුණු ලැන්ඩ්ස්කේප් එකක්
 
මේ මල්වගාව ගැන අපේ උදේ-හවස සාකච්ඡා අතර ඇති වූ මාතෘකාවක් වූයේ මේ 'ඉන්ස්ටන්ට් ලෑන්ඩ්ස්කේපින්'  ඉන්දියානුවන් ලංකාවෙන් ඉගෙන ගත්තේද, නැතිනම් ලාංකිකයන් ඉන්දියාවෙන් ඉගෙන ගත්තේ ද යන්නය. ඒ කාලයේ දී මෙවැනි වැඩ කළ අපේ නායකයන්ගේ නම් ගම් ද ඒ කතාවට එක් වූ බව සඳහන් කළ යුතුය.


ජලය හා විදුලිය


ඒ කාලයේ හයිදරාබාදයේ දිවා කාලයේ විදුලි කප්පාදුවක් වූ බවක් මතකය. එහෙත් සම්මන්ත්‍රණය තිබූ ප්‍රදේශයේ එවැනි ගැටලුවක් වූයේ නැත. එසේම ජලය පිළිබඳ අර්බුදයක් ද වූ බවක් පැහැදිලි විය. බොහෝ ගොඩනැගිලි හෝටල  ආදියට ජලය සහයන ලද්දේ බවුසර් මගිනි. කෙසේ වෙතත් ජලය අවශ්‍ය පරිදි සම්පාදනය කිරීමට හෝටල් බලධාරීන් පියවර ගෙන තිබිණි.

හෝටලයකට ජලය සපයන බවුසරයක්


ගෑණු ලමයි දැක්කම හිතුන දේ - ලංකාවට නිදහස ලැබෙද්දි ඉන්දියාවට එක් නොකළෙ ඇයි?

හයිද්‍රාබාද් නගරය ඉන්දියාවෙ ප්‍රධානම IT hub එකකි. ඒ රටේ විවිධ පෙදෙස්වලින් පැමිණි තරුණ තරුණියන් එහි රැකියාවල නියුක්ත වූ බව දැකිය හැකි වුණා. අප නවාතැන් ගත් හෝටලයට එන, රෑට කෑම කන්න ගිය තැන්වල රෑ 9-10ටත් පාරේ සිටි පිරිස් අතර තරුණ-තරුණියන් බොහෝය.
ඉන්දියාවේ ගෑණු ළමයි ලස්සනයි (ඇත්ත කියන්න එපායැ). ඉතින් දවස් ගණනක් තිස්සෙ මේ සුන්දර මුහුණු දකින අපේ කණ්ඩායමේ සමහරු හිටියෙ ටිකක් වශීවෙලා හෝ ටිකක් තක්බීර් වෙලා වගේ. වරක් අපේ කණ්ඩායමේ අයෙක් මෙහෙම කීවා...
"සුද්දො අපිට නිදහස දුන්න වෙලාවෙ, ඉන්දියාවට එකතු කළේ නැහැනෙ! එහෙනං අපිත් මෙහෙනෙ!"
ඔහු ඉන් අදහස් කළේ ලංකාව එදා ඉන්දියාවෙ කොටසක් උනානම් ලංකාවෙ අයට හයිද්රාබාද් හා වෙනත් ඉන්දියානු නගරවලට පහසුවෙන් යන්න අවස්ථාව ලැබෙන බවයි... ඒ හුදෙක් ලස්සන ගෑණු ළමයි නිසාම රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය වචනයෙන් ‌හෝ පාවාදුන් මොහොතක් - හැබැයි විහිළුවට හා ඇති වූ දුක වහගන්න... මොකද එතැන අධිරාජ්ය විරෝධී වාමාංශිකයොත් හිටි නිසා!
(මේ කතාව මීට කලින් කියලා තිබ්බ එකක්.)


කියන්න බැරි කතා කීපයක් (මා විසින්ම) කපා හරින ලදි...

අදාළ මිත්‍රයන්ගේ ඉල්ලීම හේතුවෙන් මෙහි ලියන්නට බැරි කතා කීපයක් ඇති බව පමණක් මෙහි සඳහන් කරමි.‍ ඒත් ඒ සමහර කතා අපේ මිතුරන් හමුවන ඕපාදූප සැසිවාරවල දී කටගැසුම් ලෙස කියූ අවස්ථා ඇත. එහෙත් ඒ නම් ගම් රහිතවය (ඒ නිසා ඒ අය කලබල විය යුතු නැත). 


හයිදරාබාදයේ කියූ කතා (ලියු ලිපි)

1. Hyderabad The city, people and life, Nation, 04.11.2012

2. A different zoo and a village of culture at Hyderabad, The Nation, 11.11.2012

3. The Buddhist Heritage of Andhra Pradesh, The Nation, 25.11.2012


Wednesday, August 10, 2022

පළමු අවසන් සිනහව

සෙංකඩගලින් පිටත් වූ
සවස දුම්රියේ අසුනක
මා ළඟින් හිඳ ආ
ඔබෙ වත සිහිවේ මට යළිත්

දුම්රියට නැගි මොහොතේ
මවෙත රැඳි ඔය බැල්මෙන්
සසල නොවුන ද මසිත
හැඟුම් විරහිත වීමි මම
අතීත මතක සිහි වී...

නෙත් ගැටුනද යළි යළිත්
නිහඬව පැමිණීමු අපි
රඹුක්කන දී බැස ගියා ඔබ...
වරක් මා දෙස බලා

වෙන්ව යන අතර
හැරී බැලුවා මදෙස
හිනැහුනෙමු අපි...
මුල් වරට, සහ...
අවසන් වරට.


ධනේෂ් විසුම්පෙරුම
1992.09.12

සටහන - උසස් පෙළ (දෙවන වර) අවසන්ව සිටිය දී වසර තිහකට පෙර ලියූ මේ කවිය හමු වූයේ එක්තරා මතක සටහන් පොතකිනි. අද ඒ වත ද මතකයේ නැත. එහෙත් ඒ සිදුවීම මතකය. සංස්කරණයක් කළ ද මූලික අදහස එසේමය.

Friday, April 22, 2022

කළුවරේ ජරමරේ (අපේ වර්ෂන් එක)



ධනේෂ් විසුම්පෙරුම

22.04.2022

මේ මම කියන්නේ 1980 ගණන්වල මුල කාලෙ සිදු වූ දෙයක් ගැන. ඒ කාලේ අපි හිටියෙ නුගේගොඩ, නාවල පාරේ අතුරු පාරක පොඩි ඇනෙක්සියක කුලියටයි (ඒ පාරේ මතක මෙතනින් බලන්න). උස බිත්ති තියන පරණ තාලේ ගෙයක්. එහේ අපි පදිංචියට ආවේ 1980 උනත් විදුලිය ගත්තේ 82 විතර. ඒක අපේ අම්ම මැදිහත්වෙලා ඊට අදාළ මුදල් ගෙව්ව නිසයි. ඒ මුදල මාස්පතා අපි ගෙවන ගෙවල් කුලියෙන් කොටසක් හැටියට අඩු කරගත් නිසා සහනයක් උනා (ලයිට් තියනව කියල කුලිය වැඩි කළා වගේ මතක). මේ මං හතරේ පංතියේ හිටපු කාලේ. අක්කා හිටියේ අටේ. (දැන් ඒ පංතිවල ඉන්න අයට වඩා අපි වයසින් එක අවුරුද්දක් වැඩිමල්. මොකද අපේ පංති පටන්ගත්තේ පහළ බාලාංශයෙන්. ඉන්පස්සේ 1 ශ්‍රේණියට)


හරි... දැන් කතාවට.

ලංකාවේ මීට කලිනුත් මේ වගේ ලයිට් කපන වගේම බිඳ වැටෙන කාලවකවානු තිබ්බා. (ඒත් ඒ මේ දැන්වගේ 99.9%ක් නිවාසවලට විදුලිය තිබ්බ කාලයක් නෙවෙයි. මහවැලි ජලවිදුලි බලාගාරත් හැදෙමින් තිබ්බේ. ඒ වගේම 1982 කියන්නේ නියග තිබ්බ කාලයක්)

ඉතින් එහෙම ලයිට් ගිය සමහර රාත්‍රී කාලවල අපට ගෙදර කරන්න වැඩක් නෑ. ඉස්කෝලෙ වැඩ කරන්නත් බෑනෙ. කොට කොටා ඔබ ඔබා ඉන්න ස්මාට් පෝන් තියා ඇනලොග් ඒවත් නෑනෙ. ගෙදර තිබ්බෙ ටෝච් බැටරියෙන් දුවන ගුවන් විදුලි යන්ත්‍රය විතරයිනේ.

ඉතින් එහෙම ලයිට් ගියාම අක්කයි මායි දෙන්නා පටන් ගන්නවා විවිධ ප්‍රසංගයක්. අපි නිදාගත්න ඇඳන් දෙකේ ඉදල තමයි අපි ඒ ප්‍රසංගය කරන්නේ. අපි වැඩිපුරම කරන්නේ සින්දු කියන එක. ටිකක් හයියෙන්. ගීතයෙන් ගීතය කරනවා. එක්කෙනෙක් කියන ගීතයක අන්තිම අකුරෙන් අනෙක් කෙනා සින්දුවක් පටන් ගන්න ඕන. (ගුවන්විදුලයේ ඉරිදාට විකාශනය වූ අම්බිගා ගීතයෙන් ගීතය තිබ්බේ ඒ කාලෙ වෙන්න ඕන).

ඒක පටන්ගනිද්දි මම අනවුන්ස් කරන්නේ "කලුවරේ ජරමරේ" කියලයි. ඒක මරු. සමහර වෙලාවට විදුලිය එනතුරු අපි සෑහෙන ‌‌වෙලාවක් මේ සින්දු කියන වැඩේ කරනවා. අපි පස්සේ දැනගත් පරිදි අල්ලපු ගෙදර කට්ටියත් අපේ ඒ සජීවී වැඩසටහන රසවිඳලා තියනවා. (අනේ මංදා මං සින්දු කියද්දි කොහොම අහන් හිටියද කියලා නම්!)

පසු සටහන - "කළුවරේ ජරමරේ" නමින් වේදිකා නාට්‍යයක් ද වූ බව මම දැනගත්තේ ඒ කාලෙදි හරි, ටික කලකට පසුව එය රූපවාහිනියෙන් විකාශනය වූ පසුවයි. එය විදෙස් නාට්‍යයේ පරිවර්තනයක් බව එදා සිතුනත් ඒ මුල් නාට්‍යය 1960 දශකයේ පීටර් ෂෆර් රචනා කළ Black Comedy නම් නාට්‍ය බව දැනගත්තේ පසුකලකදීය (1). එසේම සිංහල නාට්‍යය ෆීලික්ස් ප්‍රේමවර්ධනගේ අධ්‍යක්ෂණයක් බවත් දැනගත්තේ මෙය ලියන්නට කළ කියැවීමේ දීය (2). විදුලිය නොමැති කාමරයක සිදුවන සිද්ධීන් සමුහයක් ඉදිරිපත් කළ ඒ නාට්‍යයේ විදුලි එළිය නැති අවස්ථා පෙන්වන්නේ විදුලිය තිබියදීය. විදුලිය තිබෙන අවස්ථා පෙන්වන්නේ කළුවරේය! මගේ මතකයේ හැටියට එය හාස්‍යෝත්පාදක නාට්‍යයකි.

(1) Wikipedia, Black Comedy (play), Page last edited on 19 April 2022, https://en.wikipedia.org/wiki/Black_Comedy_(play)

(2) Jayasena, Henry, I bid adieu to Rupavahini, Daily News, 05.09.2007, http://archives.dailynews.lk/2007/09/05/art07.asp

Wednesday, January 26, 2022

පසුතැවුම (?)

කළත් මම බොහෝ දේ
එහැම ‌කටයුතු මට නොවේ...
නොයෙක් දේ කළෙම් මම
සමාජයට ද අනුනට ද
කාලය ශ්‍රමය වැයකර!

මගෙම වැඩ රැසක් ඇත
මගහැරී - නොකෙරී!
කෙටි සටහන්ව නතරව
ලැප් එකේ ගොනුවක...
සටහන් ‌පොතක පිටු අතර...
ඉදිරියට නොගොසින්!

නැවතී හැරී බැලුවෙමි
කාලය ගතව ඇත...
ඉතිරි කාලය කෙතෙක් වෙද
නොදනිමි මම...
විමසමි මම මගෙන් ම
ගමන වෙනස් කළ යුතු
කාලය එළැඹ ඇත්තෙද?


ධනේෂ් විසුම්පෙරුම


26.01.2022

Saturday, January 22, 2022

හැමවෙලේම පෝන් එකේ...?

 හැමවෙලේම පෝන් එකේ...?

මාව දකින අයටත් එහෙම හිතෙනවා ඇති. ඔව්. මම සෑහෙන පෝන් එකේ ඉන්නවා. පුද්ගලයින් වගේම ගෘප් එක්කත් පණිවුඩ හුවමාරු කරනවා. හැබැයි ඒ වගේම පෝන් එකෙන් වැඩත් කරනවා.
අද උදේ 8.30 හා 9.30 අතර බස් එකේදි මම හිටියෙ පෝන් එකේමයි. මම නිව්ස් කීපයක් බැලුවා. FB පෝස්ට් දෙකක් දැම්මා. යාලුවෙක්ගේ පර්යේෂණ වාර්තාවක් කියවන්න ගත්තා - අදහස් දෙන්න. ආ තව චැට් කළත් ටිකක්... Insta ගිහින් හාස්යයත් වින්දා. (ගියේ ගමනාන්තය වන හෝමාගමට යන බස් එකක නිසා බයකුත් නෑනේ)
මට එහෙම ලියන්න හිතුනේ පස්සේ අහපු කතාවක් නිසා. මෙන්න මේව...
> අද පරම්පරාව ඉන්නේ පෝන් එකේමලු.
> කාලය කනවලු.
> ජීවිතේ රස විඳින්නේ නෑලු.
ඒත් පෝන් එකේ ඉන්න පමණින්ම ඒ අය ගේම්වල හෝ චැට්වල කාලය කනවා නොවන්න පුළුවන්. ඒ වගේම පෝන් එකෙන් යමක් කියවනවා හෝ වැඩ කරනවා වෙන්නත් පුළුවන්. අර විදියට කාලය නාස්ති කරන අයත් ඇති... ඒ අයට ඒකෙන් කරන්න පුළුවන් දේ කියා දෙන්න.
මේක ලියන්නේ ඒ උදේ ගිය පොත් එළිදැක්වීමේ ඉදල ආපහු එන ගමන්. දැන් පන්නිපිටියේ. මගේ අතේ තියෙන්නේ නම් අනිත් පෝන් එක. පොටෝ එක ගන්නේ ස්මාට් එකෙන් නේ.

ධනේෂ් විසුම්පෙරුම

22.01.2022

Saturday, December 4, 2021

බිංගේක පැය බාගයක්

ධනේෂ් විසුම්පෙරුම

2021.12.02


නින්දෙන් අවදි වූ මට ඈතින් පෙනුනේ මෙවැනි ආලෝකයකි
(වෙනත් තැනක ගත් සේයාරුව - දිනිත් ඉන්දික හෑගොඩ)


ඒ සුවපහසු ආසනයේ නිදා සිටි මා ඇහැරුනේ නැලවෙන රිද්මය ‌නැති වූ නිසා විය යුතුය. හරියට ඇස් ඇර අවට බැලූවිට හාත්පස කළුවර පැතිර ඇති බව දුටිමි.  එළියකට තිබුුණේ දුම්රියේ විදුලි එළියයි. මට වැඩේ තේරුණී. බිංගෙයක් තුළ දුම්රිය නතර වී ඇත. වේලාව බැලීමි. සවස 3.35යි. හිස ඔසවා බැලු විට මා සිටි මැදිරියට එහා අවසන් මැදිරියේ නිරීක්ෂණ වීදුරුව හරහා තරමක් ඈතින් පිහිටි බිංගේ දොරටුව පෙනිණි. 

මා මේ සිටිනුයේ මහනුවර සිට ආපසු එන අතරතුරය. මාස අටකට පසුව මහනුවර ගියේ වැදගත් කටයුත්තකටය. පාන්දර පුරුදු බස් එකේ පැමිණිය ද, මට ආපසු එන්නට හිතුනේ දුම්රියේය. ඒ සැලකිය යුතු කලකින් දුම්රියක දුර ගමණක් නොගිය නිසා නොවේ. මේ දවස්වල බස් ඒ තරම් වේගයෙන් නොයන නිසාය. උදේ මා නුවර ගියේ ශ්‍රීලංගම බසයක වූ නිසා, ආසන ගණනටවත් සෙනග නැතත් එය ‌වෙනදා වේලාවටම ගමනාන්තයට ළඟා විය. එහෙත් මං එන පාරේ හවසට ලංගම බස් අඩුය.

මගේ කටයුතු නිමකරගෙන කඩිනමින් යමක් කා බී, නගරය හරහා පයින් පැමිණ දුම්රියපොළට ළංවූයේ 2.45 පමණය. ඒ වන විටත් අන්තර්නගර සීඝ්‍රගාමී (ඉන්ටර්සිටි) දුම්රිය තුන්වන වේදිකාවේ නවතා තිබිණි. දෙවන පංතියේ ටිකට්ටුවක් මිල දී ගෙන දුම්රියට නගිනවිට දුම්රිය ගමන් අරඹන්නට ඔන්න මෙන්න තිබිණි. 

මා නැගුණු මැදිරියේ ඒ තරම් මගීන් නොසිටි අතර, ජනේලයක් අසල අසුනක් ද ලැබිණී. කෙමෙන් ඉදිරියට ගිය දුම්රිය පේරාදෙණියේ ඉස්ටේසම පසුකරනවා මතකය. ඉන්පසු මිනිත්තු පහළොවක් පමණ මට නින්ද ගොස් ඇත. දැන් මේ අවදි වූයේ ඉන් පසුවය. 

දුම්රිය නතර වී තිබුණේ බලන කිට්ටුව බිංගෙයක් තුළ බව අනුමාන කළෙමි. දුම්රිය නතර වීමට ‌හේතුව දැන ගන්නට විදියක් නැත. දැන් දැන් යළි ගමන් අරඹනු ඇතැයි කියා මදක් වේලා බලා සිටියෙමි. එසේ නැත. මොකක් හෝ අබග්ගයකි. මද රස්නයක් ඇති බැවින් නින්ද යන්නේ ද නැත.

කෝකටත් විසඳුම වන ජංගම දුරකථනය අතට ගත්තේ ෆේස්බුක්වත් යන්නටය. අප්පා... කිසිම සිග්නල් එකක් නැත. අනෙක් පරණ පන්නයේ දුරකථනයේ ද සිග්නල් නැත. කොළඹ මා යන එන සමහර කොන්ක්‍රීට් ගොඩනැගිලි තුළ සිග්නල් නැතිවන එකේ බිංගෙයක් තුළ දුරකථන සංඥා තිබිය නොහැකිය. 

අද උදේ සිට දුරකථනය භාවිත කළ නිසා බැටරිත් බැස ඇත. ඒ නිසා වෙනදා මේ වාගේ අවස්ථාවක ස්මාට්  පෝන් එකෙන් කරන සටහන් තැබීම් හා ගැලරිය හිස් කිරීම ආදි මොකුත් කරන්න බැරිය. අනෙක් දුරකථනයෙන් කළ හැක්කේ ස්නේක් සෙන්සියා හෙවත් නයාට බලාගැනීම පමණකි. ඒක මහා කම්මැලි වැඩකි. 

ජනේලයෙන් පිටත බලන්නට කිසිවක් ද නැත. ඇසට පෙනෙන්නේ ඒකාකාරී කළු පාට ගල් බිත්තියයි. දුම්රිය ඇතුළේ ඇති ආලෝකයෙන් පිටත ගල් බිත්තියේ රළු ගල් මෙන්ම තැනින් තැන ඇති බැමි ද දැකිය හැකිය. වෙනදා කෝච්ච්යේ යන විට හැමදාම දකින, ඒ නිසා සමහරුන්ට අගයක් හෝ අමුත්තක් නැති පරිසර භූදර්ශනයේ ඇති විචිත්‍රත්වය මට සිහිපත් වූයේ ඒ වෙලාවේය. ‌

කල්පනා ලොවට පිවිසියෙමි.

මුලින්ම මතක් වූයේ ඉස්සර බිංගෙයක් තුළින් දුම්රියේ යන විට ඇසුණු හූ හඩ හා ඝෝෂාවයි. හරිහැටි විදුලිබුබුළු නෙැමති මැදිරිවල සිටි පිරිස් - විශේෂයෙන් ළමෝ - බිංගෙවල් තුළ දී ඝෝෂා කරන්නට පුරුදුව සිටියෝය. ඒ දැකිය හැකි වූයේ දුරගමන් දුම්රියවලය. විදුලි එළිය නොමැති මැදිරිවල කුඩා ළමුන් බියපත් වු බවත් දැක ඇත්තෙමි.

ඒ සමඟ මට මතක් උනේ දැන් ලයිටුත් ගියා නම් කියාය... එහා පැත්තේ ආසනයේ කවුරු හෝ සිටියේ නැත්තේ ‌වාසනාවටක අවාසනාවටද යන්න එක්වරම හිතාගත නොහැකි විය. මට මුලින්ම මතක් වූයේ 1950 දශකයේ දවසක අම්පාර පැත්තේ ගංවතුර නිසා දී අතරමංව සිටිය දී තවත් පිරිසක් සමඟ බෝට්ටුවකින් යමින් සිටිය දී ප්‍රකට ලේඛක ගුලි ලද අත්දැකීමය. බොට්ටුවේ එළිය නැතිවූ අවස්ථාවක දී ළඟ සිටි දමිළ තරුණියක් විසින් ගුලිට කේක් කැබැල්ලක් කැව්වේ (කටේ ඇතිල්ලූවේ?) කළුවරට පින් සිද්දවන්නටය. ඉස්කෝලේ අච්චු පොතක තිබූ පාඩමක මේ කතාව වූ බවක් මතකය.

ඒත් ලයිට් ගියත් මා අසල ආසනය හිස්ය. පැත්ත පළාතක ඒ වගේ අයෙක් නැත. ඒ වගේම ලයිට් යන්නේත් නැත. මට මතක් උනේ කැම්පස් යන කාලයේ දී බස්රථයක ලයිට් තිබිය දී මා ලද එක්තරා අත්දැකීමකි... එහෙත්, ඒ කතාව මෙහි කීමට නොහැකිය. 

පුංචි කාලයේ දී මම දුම්රියේ යෑමට බෙහෙවින් ප්‍රියකළෙමි. ඒ, එතරම් දුම්රියේ නොගිය නිසාය. කොළඹ පදිංචියට පැමිණි පසු මාතර යද්දී හමුවන ස්ටේෂන්වල නම් ලියාගත් හැටි ද මට මතක් විය. වරක් නොව දෙතුන් වරක් එසේ කරන්නට ඇත. කොළඹ-ගාල්ල හැර මා වැඩිවශයෙන් ගොස් ඇත්තේ ද නුවර මාර්ගයේ හෙවත් ප්‍රධාන මාර්ගයේය. මේ කැමැත්ත දුම්රිය කෙරේ ද එහි ඉතිහාසය කෙරේ ද කැමැත්තක් ඇතිකර තිබේ.

දුම්රිය දිගේ අතීතයට ගිය සිත, දුම්රිය දිගේ මෑතට ආවේය. දශක දෙකකට ඔබ්බේ එක්තරා දවසක (දිනය මතකය), අපරභාගයේ මාතර සිට නුවර යන දුම්රිය මැදිරියක කළ එක්තරා අපූරු කතාබහක් මට මතක් විය. පෙර දින දෙකේ දී යන්තම් දැන හඳුනාගෙන සිටි අපව, ඇස් දිහා බලාගෙන කළ ඒ කතාබහෙන් සමීප කළේය. කොළඹින් මම බැසයන තෙක් කළ කතාව මට තවමත් මතකය. ඉන්පසුව ගෙවුණු වසර දෙකක් තුළ යළි හමුවුවද, එකිනෙකාට නොකී ඒ ප්‍රේමය ගැන දිගට ලියන්නට මට හිතක් නැත. ඒත් ලියැවුණු නොපළ කවියක් මගේ සටහන් අතර වේ.

මා සිතිවිල්ලේ ගැලී සිටියදී දුම්රිය සෙමින් ඉදිරියට යන්නට පටන්ගත්තේය. වේලාව බැලූ විට පැය බාගයකට වඩා ගෙවී ගොස්ය. කඩා වැටී තිබූ ගසක් ඉවත් කිරීමෙන් පසුව ගමන යළිත් ආරම්භ වී ඇත. දුම්රිය බිංගෙයින් එළියට පැමිණීමත් සමඟ මම ද වර්තමානයට ආවෙමි.


ඡායාරූපය - දිනිත් ඉන්දික හෑගොඩ

(වෙනත් තැනක ගන්නා ලද්දකි)

Tuesday, February 23, 2021

හවුස්කෝට් දෙමු (එදිනෙදා කතා 03)

මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට. 

ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.

මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා. 

ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...

"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."

ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...

කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...

"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"


මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.

නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ. 


ධනේෂ් විසුම්පෙරුම

2021.02.23

Monday, February 8, 2021

පොල්තෙල් පහනට අකුණු ගැසීම! (එදිනෙදා කතා 02)

මේ කතාව අක්ෂර වින්‍යාසය වැරදී, භයානක අනතුරක් ගැන හඟවපු සිදුවීමක් ගැන...

මීට දශකයකට පමණ පෙර දිනයක, අප කීපදෙනෙකු සිටි තැනකදි (පුරාවිද්‍යා සංගමයේ රැස්වීමකට පෙර විය යුතුය) මහාචාර්ය වීනී විතාරණ මහතා කියූ, එතුමා අත්දුටු සිදුවීමක් තමයි මේ. (නියමම වචන නූනත් කතාව මෙතැන ඇති)

එතුමා ඒ ආසන්න දිනයකදි රජයේ ආයතනයක උත්සව අවස්ථාවකට ගිය විට දක්නට ලැබුණු දෙයක් තමයි එදා  කීවේ.

"මම ටිකක් පරිස්සමෙන් තමයිි ඒ උත්සවේට ගියේ" එතුමා කීවා.

"ඇයි සර්?" අපේ කෙනෙක් ඇහුවා.

"ඒකෙ වැඩසටහනේ හැටියට අකුණු ගහන්නත් ඉඩ තිබ්බා..."

"මොකක්ද සර් ඒ කීවේ?" තව කෙනෙක් විමසුවා.

"ඒකේ වැඩසටහනේ මුද්‍රණය කරලා තිබ්බෙ lightning the oil lamp කියලා... ඉතින් බය නැද්ද?" කියා එතුමාගේ මුවේ නිතර දැකිය හැකි මදහසින් යුතුවම කීවා.

සටහන් කළේ,

ධනේෂ් විසුම්පෙරුම

2021.02.08

Wednesday, December 9, 2020

සුරදූත ප්‍රේමය - "Angel Love" (ඉස්කෝලෙ කතා 6)

 


මේක ඉස්කෝලෙ කතාවකට වඩා ටියුෂන් පංතියක කතාවක්. 1988 වර්ෂයේ 11 වසරෙ ඉන්න කාලෙ මම ගිය ගණන් පංතියෙ වූ සිදුවීමක්. ඒක නුගේගොඩ නාවල පාරෙ තිබ්බ ප්‍රසිද්ධ පංතියක්. ළමයි තුන්හාරසීයක් හිටිය ඒ පංතියෙ ඉගැන්වූ හා ආයතනය හිමි වූ සර් ටිකක් සැරයි. කොල්ලො කෙල්ලො යාලු වීම වළක්වන්න අවංකවම ලොකු උත්සාහයක් ගත්තා. ගොඩක් දවස්වල ගෑණු ළමයි ටික යවලා මිනිත්තු දහයකට විතර පස්සෙ තමයි කොල්ලන්ව යවන්නෙ. ඒත් ඉතින් අර "සැබෑ උවමනාව" තියන, "ඇත්තටම ආදරය කරන" ගෑණු ළමයි එතැන තිිබුණු ළිදෙන් වතුර එහෙම බීලා, හෙමින් ගිහින් අතරමගදි අදාළ පුද්ගලයා එනකම් ඉන්නවා. කොල්ලන්ව මුලින් යැව්වෙ එකම එක දවසයි!

මේ පංතියෙ එක විශේෂ චරිතයක් හිටියා. ඒ පංතියේ සිටි අයගෙන් මට තවමත් නමින් මතක ඔහු පමණයි. ධනවත් පවුලක එකම පුතා වූ ඔහුු කොළඹ ප්‍රධානම පාසලක ඉගෙනගත්තෙ (මගේ පාසලේ නෙමෙයි. ඒ ගැනත් කියන්න වෙන කතාවක් තියනවා). මතක විදියට අම්මා නෑ. තාත්තා විතරයි හිටියෙ. හොඳටම නිදහස භුක්ති වින්ද, ටිකක් සෙල්ලක්කාර, පොෂ් පෙනුමක් තියන හාදයෙක්. 

මෑන් තමයි පංතියෙ එකට හිටපු කොල්ලො සෙට් එකේ අප්‍රකාශිත නායකයා. මාත් ඉතින් ඒ සෙට් එකේ හිටියා. අපි හත් අට දෙනෙක් තමයි නාවල දිහාට පයින් ගෙදර එන්නෙ (වෙන යන්න ගමන් එහෙම තිබ්බෙ නැත්තං හොඳේ...).

අපේ කතා නායක මිත්‍රයා ඒ වෙනකොට කෙල්ලො කීප දෙනෙක් හිටපු කෙනෙක්. ඒත් ඒ කිසිවක් සීරියස් ඒව උනේ නෑ. ඒ පංතියෙ කලින් අවුරුද්දෙත් කෙල්ලො කීප දෙනෙක් එක්ක යාළුවෙලා හිටියාලු. (අපේ මිත්‍රයගෙ පෙනුමට අකමැති වන කෙල්ලෙක් නැති තරම් කියතෑකි)

ඒ අලුත් අවුරුද්දෙ මෑන් ටිකක් පස්සෙන් ගිහින් යාළු වුණ කෙල්ලෙක් හිටියා - එයා අහිංසක ඇස් දෙකක් තිබ්බ, සුදු, ටිකක් උස ලස්සන කෙල්ලක්. පැහැදිලිව කැපී පෙනෙන සෙමින් ගමනක් තිබූ කෙනෙක්. නුගේගොඩට කිට්ටුව පදිංචිව සිටි ඈ යමක් කමක් ඇති පවුලක බව පෙනේනනට තිබ්බා. වැල්වටාරම් නැතිව කීවොත් යාලුවුනොත් සිරාවටම ලව් කරන්න හිතෙන කෙල්ලෙක්.

ඉතින් ඒ ආදර කතාවෙ මුල් කාලෙ ඒ කෙල්ල එවූ ලිපියක් අපේ සෙට් එකේ හැමෝම වගේ කියෙව්වා. ඒ‌කත් එක්ක අමුණලා තිබ්බා "Angel Love" කියා සඳහන් වූ මුද්‍රිත ටැග් එකක්. කළු-සුදු එකක් වූ එහි කපල් එකක් සරල නැටුමක ඉන්න චිත්‍රයක් තිබ්බෙ... එයා ලිපියෙත් කියලා තිබ්බෙ එයාලගෙ ආදරය "ඒන්ජල් ලව්" එකක් බව... වචනයෙන් වචනය මතක නැතත්, ඒක මං කියෝපු ලස්සනම පෙම් හසුනක් බව නම් මතකයි. අවුරුදු 16ක විතර කෙල්ලෙක් ලියූ එකක් ද කියලත් හිතෙන තරම්. එදා අපේ කට්ටිය යාලුවට දුන්න උපදෙස උනේ "ඒකි පව් බං", "ඒක සිරාවට කරපන්" කියලයි.

මොන විකාරද? ඒ ආදරයත් වැඩි කාලයක් තිබ්බෙ නෑ. අපේ සෙල්ලක්කාරයගෙ සාමාන්‍ය ක්‍රමයටම වගේ ඒ ආදරය නැවතුනා. පංතියෙ අන්තිම දවස්වල ඒ කෙල්ල දුකෙන් හිටි බව කාටත් පෙනෙන්න තිබ්බා. ඒ තමයි සුරදූත ආදරයකට වූ දේ...

ඒ ටැග් එක මට නම් කවදාවත් අමතක නොවන ටැග් එකක්. මේ සමඟ ඇති රූපය ඊට කිට්ටු කරන්වත් බෑ! ඒ ගෑණු ළමයටත් තිබ්බෙ අමතක නොවන මූණක්. පසුකාලයක අපි උසස්පෙළ කරද්දි වගේම මම සරසවි යන කාලෙදි නුගේගොඩ නගරයෙදි ඒ ගෑණු ළමයාව ඉදහිට දැක්කා - 2000 වර්ෂය විතර වනතුරු. ඉන් පස්සෙ දැක්කෙ නෑ.

තාමත් මට මතකයි ඒ මූණ... දැන් දැක්කොත් හඳුනාගන්න පුළුවන් ද කියලා නම් කියන්න බෑෑ.

(පසු සටහන - මෙහිඑන පොෂ්, සෙට් එක වැනි වදන් අප එකල භාවිත කළේ නැත.)

ධනේෂ් විසුම්පෙරුම

2020.12.09    

Saturday, December 5, 2020

රාජකාරි ලිපි ලිවීමේ කොලිටිය! (ඉස්කෝලෙ කතා 5)



මේක උනේ 8 ශ්‍රේණියෙදි - හරියටම කීවොත් 1986දි. එදා අපේ සිංහල පාඩම උනේ ලිපි ලිවීම. මැදිවයසෙ හිටපු සිංහල සර් උගන්වන්න පටන් අරන් මුලින්ම රාජකාරි ලිපියක් නිසි ලෙස ලිවීමේ වැදගත්කම කීවා.

"දවසක් මම කරවල කඩෙන් කරවල වගයක් ගෙනාවා. ඒවා ඔතන් ආපු කොලේ තිබ්බ අකුරු මට හුරුයි. ඉතින් ඒක මොකද්ද කියලා බැලුවම ඒක මම කලින් දවසක කාර්යාලයකට යවපු ලියුමක්. මටම ලැජ්ජා හිතුනා ඒක ලියල තිබ්බ හැටි දැකලා. ඒ කියන්නේ ඒ ලියුම වැඩක් නෑ කියලා ඒ අය විසි කරලා"

අපේ උන් කීදෙනෙක් මේක විශ්වාස කළා ද කියලා මං දන්නේ නෑ. එකෙක් නං පස්සෙ මෙහෙම කිව්වා - 

"එතකොට සර්ත් ලියුම් ලියන්න ඉගෙනගෙන තියෙන්නෙ ළඟදි ද?"

(පින්තූරය අන්තර්ජාලයෙනි. පෙළ පොතක එන්නක් විය යුතුය.)

ධනේෂ් විසුම්පෙරුම


2020.12.05

Friday, November 20, 2020

"නවගත්තේගමට තව දුරද?" (ගමන් කතා 4)


එදා අපි ගියේ පුත්තලම් දිස්ත්‍රික්කයේ පන්සල් හා වෙනත් පුරාවිද්‍යාත්මක ස්ථාන කීපයක් අධ්‍යයනයටය. එදා අපේ තෙදින ගමනක දෙවන දිනය විය. දිනය හරියටම කියන්නේ නම් 2006 අප්‍රේල් මස 10දාය.

පෙරදා නැවතී සිටි සංචාරක බංගලාවෙන් පිටත් ව විහාර දෙකක් පමණ අධ්‍යයනය කළ පසු අපේ ඊළඟ ඉලක්කය වූයේ නවගත්තේගමට යෑමය. අපේ කිසිවෙකුත් ඉන් පෙර නවගත්තේගමට ගොස් නොතිබූ අතර ඒ කෙබඳු ටවුමක්දැයි දැන සිටියේ ද නැත.

2006 වන විට ලංකාවේ ග්‍රාමීය මාර්ග පැවැති තත්ත්වය ඒ කාලය වන විට දැනුම් තේරුම් ඇති වයසේ සිටි ඇත්තෝ දනිති. එදා අපි ද මදක් දුෂ්කර වූ මාර්ගයක් දිගේ යනවා යනවා ඉවරයක් නැතිවා වාගේය. වරක් දෙවරක් පාරේ යන අයෙකුගෙන් මාර්ගය ඇසූ විට කී අයුරින් නවගත්තේමට එතරම් දුරක් නොවූ බව ද පෙනුණි. දැන් නවගත්තේගම ගැන දන්නා දේවල් කියා අවසන්ය. (ඒවාට විමලරත්න කුමාරගමගේ කවි මෙන්ම සයිමන් නවගත්තේගමගේ කතා ද ඇතුළත් විය). ඒත් තවමත් අපි නවගත්තේගමට පැමිණ නැත.

මෙසේ ගිය අප පිවිසියේ කලින් ගමන් කළ මාවතට වඩා ගෙවල් පිහිටා තිබූ ප්‍රදේශයකටය. දැන් අපට පැනයක් ඇති විය. ඒ පාර නවගත්තේගමට වැටෙන බව කී නමුත් මේ කුමන ප්‍රදේශයක්ද යන්නය. කිසිදු බෝඩ් එකක් හෝ මං සලකුණක් ද නැත.

ඒ නිසා අපි කෙනෙකුගෙන් පාර විමසීමට සිතීමු. වාහනයේ වේගය අඩු කරන්නට කියා ඉදිරි අසුනේ මම මෙසේ ඇසුවේ පාරේ ගිය වැඩිහිටියෙකුගෙනි.


"අන්කල්, නවගත්තේගමට තව දුරද?"

(ඒ කාලේ ඒ මහතාට අන්කල් කීමට තරම් මම තරුණ වූ බව මෙහිිදී සඳහන් කළ යුතුය. එකල මගේ කොණ්ඩය ද තනිකරම කළු පාටය).

මා දෙසත්, වාහනයේ උන් අනෙක් අය දෙසත් මොහොතක් බලා සිටි ඔහු මෙසේ කීවේය.

"මේ නවගත්තේගම තමයි මහත්තයො!"

මටත්, කාටත් උත්තර නැති විය. "ස්තුතියි" කියා මදක් ඉදිරියට ගිය අපේ සිනාව පිටවූයේ ඔහුව අපට නොපෙනී ගිය පසුවය. මොනවා උනත් මේ කතාවේ වගකීම හැමෝම බාරගත් බව නොකියා බැරිය.

මේ තාමත් එදා ඒ ගමන ගිය අපේ කට්ටිය නිතර මතක් කරන කතාවකි.

(ගුවන් ඡායාරූපය Google Earth වෙතින් ලබාගන්නා ලදි. 2009 වර්ෂයේ එකකි)

ධනේෂ් විසුම්පෙරුම

2020.11.20