පෙරදා නැවතී සිටි සංචාරක බංගලාවෙන් පිටත් ව විහාර දෙකක් පමණ අධ්‍යයනය කළ පසු අපේ ඊළඟ ඉලක්කය වූයේ නවගත්තේගමට යෑමය. අපේ කිසිවෙකුත් ඉන් පෙර නවගත්තේගමට ගොස් නොතිබූ අතර ඒ කෙබඳු ටවුමක්දැයි දැන සිටියේ ද නැත.
2006 වන විට ලංකාවේ ග්‍රාමීය මාර්ග පැවැති තත්ත්වය ඒ කාලය වන විට දැනුම් තේරුම් ඇති වයසේ සිටි ඇත්තෝ දනිති. එදා අපි ද මදක් දුෂ්කර වූ මාර්ගයක් දිගේ යනවා යනවා ඉවරයක් නැතිවා වාගේය. වරක් දෙවරක් පාරේ යන අයෙකුගෙන් මාර්ගය ඇසූ විට කී අයුරින් නවගත්තේමට එතරම් දුරක් නොවූ බව ද පෙනුණි. දැන් නවගත්තේගම ගැන දන්නා දේවල් කියා අවසන්ය. (ඒවාට විමලරත්න කුමාරගමගේ කවි මෙන්ම සයිමන් නවගත්තේගමගේ කතා ද ඇතුළත් විය). ඒත් තවමත් අපි නවගත්තේගමට පැමිණ නැත.
මෙසේ ගිය අප පිවිසියේ කලින් ගමන් කළ මාවතට වඩා ගෙවල් පිහිටා තිබූ ප්‍රදේශයකටය. දැන් අපට පැනයක් ඇති විය. ඒ පාර නවගත්තේගමට වැටෙන බව කී නමුත් මේ කුමන ප්‍රදේශයක්ද යන්නය. කිසිදු බෝඩ් එකක් හෝ මං සලකුණක් ද නැත.
ඒ නිසා අපි කෙනෙකුගෙන් පාර විමසීමට සිතීමු. වාහනයේ වේගය අඩු කරන්නට කියා ඉදිරි අසුනේ මම මෙසේ ඇසුවේ පාරේ ගිය වැඩිහිටියෙකුගෙනි.
"අන්කල්, නවගත්තේගමට තව දුරද?"
(ඒ කාලේ ඒ මහතාට අන්කල් කීමට තරම් මම තරුණ වූ බව මෙහිිදී සඳහන් කළ යුතුය. එකල මගේ කොණ්ඩය ද තනිකරම කළු පාටය).
මා දෙසත්, වාහනයේ උන් අනෙක් අය දෙසත් මොහොතක් බලා සිටි ඔහු මෙසේ කීවේය.
"මේ නවගත්තේගම තමයි මහත්තයො!"
මටත්, කාටත් උත්තර නැති විය. "ස්තුතියි" කියා මදක් ඉදිරියට ගිය අපේ සිනාව පිටවූයේ ඔහුව අපට නොපෙනී ගිය පසුවය. මොනවා උනත් මේ කතාවේ වගකීම හැමෝම බාරගත් බව නොකියා බැරිය.
මේ තාමත් එදා ඒ ගමන ගිය අපේ කට්ටිය නිතර මතක් කරන කතාවකි.
(ගුවන් ඡායාරූපය Google Earth වෙතින් ලබාගන්නා ලදි. 2009 වර්ෂයේ එකකි)
ජීවිතේ කිසිමදාක අමතක නොවෙන නවගත්තේගමට ගිය ගමන 😄😄
ReplyDelete