Monday, November 30, 2020

ක්ෂුද්‍ර පරිණාමයට සාධක සපයන වසර මිලියන දෙකක් පැරණි හිස්කබල

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.11.18, පි. 8 (Vidusara)

http://www.vidusara.com/2020/11/18/feature3.html



Paranthropus robustus මානව හිස්කබල

අදට වඩා වර්ෂ මිලියන දෙකක් පමණ පැරණි ආදිමානව හිස්කබලක් දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා විය. ඔස්ට්‍රේලියානු පර්යේෂකයක් පිරිසක් විසින් සොයාගෙන ඇති මේ හිස්කබල මානව පරිණාමය පිළිබඳ කරුණු ගණනාවක් හෙළිකරන අධ්‍යයනයක් නිසා වැදගත් බව පෙනෙයි.

මේ හිස්කබල අයත් වන්නේ Paranthropus robustus නම් මානව විශේෂයකටය. එම මානවයින්ගේ මෙතෙක් හමු වී ඇති හොඳම හිස්කබල මෙයයි.

Paranthropus robustus යනු Homo erectus මානවයාට සමකාලීනව ජීවත් වූ හා ඥාතිත්වයක් දක්වන විශේෂයකි. කෙසේ වෙතත් Paranthropus robustus මානවයින් Homo erectus කලින් වඳ වී ගොස් තිබෙයි. Homo erectus යනු නූතන මානවයාගේ ඍජු පූර්වජයෙකි; අප ද අයත් වන Homo ගණයට අයත් වන්නෙකි.

මේ පොසිල හිස්කබලේ කොටස් හමු වී ඇත්තේ 2018 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ඩ්‍රිමොලෙන් (Drimolen) නම් ලෙන් සංකීර්ණයෙනි. එම පොසිල ලැබුණු ස්ථානයට මීටර් කීපයක් නුදුරින් Homo erectus ළමයෙකුගේ හිස්කබලක් හමු වී තිබුණේ 2015 වර්ෂයේදී පමණය. එසේම Australopithecus මානව සාධක ද මේ ස්ථානයෙන් හමු වී තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේදී Science සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් මේ ලෙන් සංකීර්ණයේ මානව රූපි මේ විශේෂ තුනම එක සමාන කාලයක දී වාසය කළ බව පෙන්වා දී තිබිණි. එය අද තත්ත්වයට වඩා වෙනස් වූ තත්ත්වයකි. අද වන විට ලෝකයේ පවතින්නේ එක් මානව රූපි විශේෂයකි. ඒ Homo sapiens හෙවත් නූතන මානවයින් පමණකි. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaw7293)


ඩ්‍රිමොලෙන් ලෙන් සංකීර්ණය

මේ මානවයින් විසූ කාලය ගැන කාලනිර්ණය කිරීම සඳහා එම පර්යේෂකයන් විසින් කාලනිර්ණ ක්‍රම තුනක් භාවිත කර තිබෙයි. විද්‍යුත් භ්‍රමණ සම්ප්‍රයුක්තතා ක්‍රමය (electron spin resonance), පුරාචුම්බකත්වය (palaeomagnetism) හා යුරේනියම්-ලෙඩ් කාලනිර්ණය (uranium-lead dating) යනු ඒ ක්‍රම ත්‍රිත්වයයි. ඒ අනුව උක්ත මානවයින්ගේ පොසිල අයත්වන්නේ අදින් වසර මිලියන 2.04ත් 1.95ත් අතර කාලවකවානුවකටය.


ක්ෂුද්‍ර පරිණාමයක්


මෙම ඩ්‍රිමොලෙන් ලෙන්වලින් හමු වූ Paranthropus robustus හිස්කබලට අනුව මීට පෙර හමු වී ඇති එම විශේෂයේ අනෙක් නිදර්ශකවලට වඩා වෙනසක් පෙන්වයි. මේ හමු වී ඇති හිස්කබල පිරිමි එකක් බව විශ්වාස කරන අතර එය එතැනින්ම කලින් හමු වී ඇති ඒ විශේෂයටම අයත් ගැහැණු සතෙකුගේ බව සැලකෙන නිදර්ශකයකට වඩා ප්‍රමාණයෙන් විශාලය. එහෙත් එය ස්වට්ක්‍රාන් (Swartkrans) නම් ස්ථානයෙන් හමු වී ඇති සෙසු පිරිමි හිස්කබල්වලට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

මෙතෙක් විශ්වාස කරන ලද්දේ ගැහැණු පිරිමි සතුන් වීම නිසා මේ වෙනස ඇති වන්නට ඇති බවයි. එහෙත් මේ හිස්කබලේ හමුවීමත් සමඟ මේ ස්ථාන දෙකෙන් හමු වී ඇති පොසිල මානවයන්ගේ ප්‍රමාණවල වෙනස්කම් හුදෙක් ගැහැණු හා පිරිමි සතුන් වීමෙන් පමණක් විසඳාගත නොහැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එම ගහන දෙකේ වෙනස්කම් ලෙස ඒවා සැලකිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒ වෙනස සඳහා හේතු පැහැදිලි කිරීමක්ද ඔවුන් සිදුකර ඇත.

එම ස්ථාන දෙකේ කාලනිර්ණයේ වෙනස වසර 200,000ක් පමණ වෙයි. ඒ අනුව ඩ්‍රිමොලෙන් ස්ථානයේ මානවයින් වඩාත් මුල්කාලීන ගහනයක් වන අතර, ස්වාට්ක්‍රාන්ස් ස්ථානය ඊට වඩා මෑත කාලීන ගහනයක් වෙයි. මෙම පොසිල විශ්ලේෂණයේදී පෙනි ගොස් ඇත්තේ ඩ්‍රිමොලින්වලින් හමු වූ මානවයන්ගේ හිස්කබලේ අංග අනුව ඔවුන්ට සැපීමට හා විකීමට වැඩි ශක්තියක් යෙදවීම අසීරු කරුණක් වූ බවයි. ඔවුන්ට සාපේක්ෂව වඩා මෑතකාලීනව ජීවත් වූ ස්වාට්ක්‍රාන්ස් පොසිල අනුව ඒ ආදිමානවයන්ට එසේ වැඩි ශක්තියක් යෙදවීමට හැකියාව ලැබී තිබිණි. මෙය වසර 200,000ක පරතරයක් ඇති එකම විශේෂයකට අයත් පොසිල වන නිසා එවැනි පරිණාමීය වෙනසක් වී තිබීම වැදගත් කරුණකි.

මෙවැනි වෙනස්කම් සඳහා හේතුව ලෙස මේ පර්යේෂකයන් විශ්වාස කරන්නේ ප්‍රදේශයේ ඇති වූ දේශගුණ වෙනස් වීමක් මීට බලපා ඇති බවයි. එහි දී සිදුව ඇත්තේ වඩාත් සීතල හා වියළි දේශගුණ තත්ත්වයක් ඇතිවීමය. ඒ සමග මේ ආදිමානවයින්ගේ ආහාරවල වෙනස් වීම් ඇති විය. එතෙක් එම ප්‍රදේශවල දැකිය හැකි වු වෘක්ෂලතාවල වෙනස් වීමත් සමඟ අනුභව කිරීමට වඩාත් අසීරු වූ ශාක ද්‍රව්‍ය මත යැපීමට මේ ආදිමානවයින්ට සිදු වී ඇත. එබැවින් වඩා කාර්යක්ෂම හා ශක්තිමත් සැපීම් හා විකීම් කළ හැකි අය ස්වාභාවිකවරණය මගින් ඒ ගහනය තුළ ප්‍රමුඛ වී ඇති බව ඔවුන්ගේ පැහැදිලි කිරීමයි.

මේ ආකාරයෙන් එක් විශේෂයක් තුළ සිදු වී ඇති පරිණාමය හදුනාගැනීම සඳහා මෙවැනි අවස්ථා ඇත්තේ අඩුවෙනි. එයට එක් හේතුවක් වී ඇත්තේ පොසිල හමුවී ඇති ප්‍රමාණය අඩු වීමය. අනෙක වන්නේ ඇති වී ඇති වෙනස සියුම් එකක් වීමය. ගහනයක් තුළ සාපේක්ෂව කෙටි කාලයක් තුළ ඇති වන මේ පරිණාමය ක්ෂුද්‍ර පරිණාමය (micro evolution) නම් වේ.

කෙසේ වෙතත් මිලියන දෙකක් පමණ ඈත අතීතයේ දී වඩාත් සුලභව සිට ඇත්තේ මේ Paranthropus robustus මානවයන්ය. එහෙත් අවසානයේදී පරිණාමයේදී අද දක්වා පැවත එන්නේ Homo erectus මානවයන්ගෙන් පැවත එන්නන් වූ නූතන මානවයා හෙවත් Homo sapiens ය.


Paranthropus robustus මානවයා


මේ ආදිමානවයින් වාසය කර ඇත්තේ අදින් වසර මිලියන 2ක සිට වසර 600,000ක් පමණ දක්වා කාලයේදීය. මුලින්ම 1938 වර්ෂයේදී අනාවරණය වූ මේ ආදිමානවයින් මුලින්ම විස්තර කරන ලද මුල් ආදිමානවයින් ලෙස සැලකේ. ඔවුන්ගේ පොසිල වැඩි වශයෙන් හමු වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. (කෙසේ වෙතත් මේ ආදිමානව විශලේෂය වලංගු නොවන බවට ද තර්කයක් ඇති අතර එය Australopithecus මානවයින්ම බව යෝජනා වී ඇත. එවිට මේ විශ්ෂය සැලකෙන්නේ Australopithecus robustus යනුවෙනි)

Paranthropus robustus යනු ඝනකමය වැඩුණු හිස්කබල්, විශාල දත් සහ කුඩා මොළයක් තිබූ මානවයෙකි. එසේ වූයේ මේ මානවයින්ගේ ආහාරය අල වර්ග, පොතු වර්ග වැනි වඩාත් ඝනකම ශාක කොටස් වීම නිසාය. එය පරිණාමයේදී ඇති වූ වෙනසක් ලෙස සැලකේ. මේ විශේෂයේ පිරිමින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 132ක් පමණ උස් වූ අතර, ගැහැණුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 110ක් පමණ උස් වූ බව ගණනය කර ඇත. ඔවුන්ගේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර් 476ක් පමණ තරම් අඩු අගයකි.

වඩාත් ප්‍රාථමික ලක්ෂණ තිබූ Australopithecus මානවයින් වඳ වී යාම හා මෙම Paranthropus robustus මානවයින්ගේ සම්භවය සමාන කාලයක දී ඇති වූ බව මෙතෙක් පැවති සාධක මත පැවති මතයයි. එසේම Homo erectus ඇති වී ව්‍යාප්ත වන්නේ ද මේ කාලයේදීය. සාපේක්ෂව කුඩා දත් හා විශාල මොළයක් තිබූ Homo erectus මානවයාගෙන් මේ මානවයින් පැහැදිලිව වෙනස් වූයේය. ඔවුන්ගේ ආහාරයද ශාක ආහාර මෙන්ම මස්වලින්ද යුත්ක විය.


මූලාශ්‍රය - Nature Ecology & Evolution, DOI: 10.1038/s41559-020-01319-

No comments:

Post a Comment