Sunday, November 1, 2020

වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල ද?

එක්දහස් නවසිය හැත්තෑ තුනේ අපි තංගල්ලෙන් මාතර පදිංචියට ආවා (මට එතකොට මාස ගාණක්) අපේ අම්මාගේ රැකියාව නිසා වසර කීපයෙන් කීපයට තැනින් තැනට මාරු වීමට සිදු වූ නිසා අපි ඒ කාලෙ හිටියෙ කුලී ගෙවල්වල. මාතරට ආවට පස්සෙ ගොඩගම (ගෙවල් දෙකක) හා හිත්තැටියෙ ගෙදරක අපි හිටියා. හිත්තැටියෙන් කොළඹ ආවෙ 1978 මුලදි.

ගොඩගම ඉන්න කාලෙදි තාත්තා ගොඩගම පැත්තෙන් පොඩි ඉඩමක් අරන් තිබුණා. මට නම් ඒ ඉඩම මතක නෑ. හැබැයි අම්මා පසුකාලෙක කියපු විදියට ඒක පාර අයිනෙ පර්චස් විස්සක විතර ඉඩමක්. ඒ වගෙම එහි සරු පොල් වගාවක් තිබුණලු. ඉතින් අපි කොළඹ ආවට පස්සෙ තාත්තගෙ හිතවතෙක් හා පසුව අපේ මාම කෙනෙක් මාස කීපයකට වරක් ඒ ඉඩමෙ පොල් කඩල, පොල් ඔයලා ගෝනියක් දෙකක් මාතරින් කෝච්චියට දානවා. තාත්තා නුගේගොඩ දුම්රියපොළෙන් ඒවා ගෙදර අරන් එනවා. මේ කාලෙ අපි හිටියෙ නාවල සේනානායක මාවතේ හා නුගේගොඩ විජයබා මාවතේ. (දුම්රියෙන් බඩු ප්‍රවාහනය කරන බව මම දැනගන්නෙ ඒ සිදුවීමෙන්.)

ඉතින් මගෙත් අක්කගෙත් අධ්‍යාපනයේ සිදු වූ වෙනස්වීම් එක්ක ආපසු මාතර පදිංචියට යෑම ගැන තිබූ අදහස නැතිව ගියා. ඉන් පසුව 1988 අගදි වගේ තාත්තා ගොඩගම ඒ ඉඩම රු. තිස්දහසකට විකිණුවා. (ඒ කාලෙ ඒක තරමක ලොකු ගණනක්)

එදා ඒ ගොඩගම ඉඩම විකුණපු සල්ලිත් දාල තමයි, අපි දැන් පදිංචි වෙලා ඉන්න නුගේගොඩට ආසන්න ගමක තියන පර්චස් දහයක ඉඩම ගත්තේ. එදා 1989 දී මේ ඉඩම ගත්තේ පර්චස් එකක් රුපියල් අටදාහ ගණනේ රුපියල් අසූ දාහකට... දැන් මේ පැත්තෙ පර්චස් එකක් ලක්ෂ 12-13 අතර වෙනවා. ඒ ගාණට දෙන්න හිස් ඉඩම් නෑ, ගෙවල් තියන ඉඩම් තමයි තියෙන්නෙ.

ඒ කියන්නෙ වසර තිහක් ඇතුළත ඉඩම් මිල එකසිය පනස් ගුණයකින් විතර වැඩි වෙලා. නූතන ලංකාවෙ වැඩිම වේගයකින් ඉහළ යන්නේ ඉඩම් මිල වෙන්න ඕන. ඒකට එක හේතුවක් තමයි බොහෝ අය මුදලක් අතට ආ විට අනාගත ආයෝජනයක් ලෙස ඉඩමක් මිලට ගෙන "අරන් දැමීම". ඒ කියන්නෙ එහි ඉක්මනින් නිවසක් තනා පදිංචි වෙන්න අදහසක් නැතිව ඉඩම් මිල දී ගැනීම. ඔවුන්ගෙ අරමුණ පසුකාලයක මුදල් කරගන්න හෝ  දරුවෙකු ලොකු වූ කාලයක නිවසක් හදන්නයි. 

ඒ වගේම ගොඩගම ඉඩම මේ වෙනකම් තිබුනනං ඉන් සෑහෙන කොටසක් මීට වසර කීපයකට පෙර මාතර-අකුරැස්ස පාර ලොකු කරද්දි පාරට අත්පත් කරගන්න ඇති බව අම්මා ඉන්න කාලෙ කීවා.

ඒ ගොඩගම ඉඩම තියෙන්න ඇත්තෙ මේ Google Earth සිතියමේ මැද තියන පාර අසල තැනක. (මේ මාතර-අකුරැස්ස පාර ලොකු කරන්න කලින් 2005දි.)




ධනේෂ් විසුම්පෙරුම
2020.11.01

No comments:

Post a Comment