Showing posts with label Human Evolution. Show all posts
Showing posts with label Human Evolution. Show all posts

Wednesday, October 30, 2024

නියැන්ඩර්තාල් මානවයින් වඳ වූ හේතුව පිළිබඳ නව අදහසක්

ධනේෂ් විසුම්පෙරුම

විදුසර (Vidusara), 2024-10-30



නියැන්ඩර්තාල් මානව පොසිලයක් පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකින් ඔවුන්ගේ වඳවීම සඳහා බලපෑ හේතුව පිළිබඳ නව අදහසක් ඉදිරිපත්ව තිබේ. ඒ අනුව, මේ Homo neanderthalensis ආදි මානවයින්ගේ වඳවීමට හේතු වී ඇති එක් කරුණක් විය හැක්කේ ඔවුන් ප්‍රවේණික වශයෙන් හුදකලා වීමයි.

ප්‍රංශයේ රෝන් නිම්නයේ ග්‍රොට් මැන්ඩ්‍රින් (Grotte Mandrin) නම් ලෙන් ආවරණයක් සහිත එක්තරා ප්‍රදේශයකින් හමු වී ඇති නියැන්ඩර්තාල් මානවයකුගේ දන්ත ශේෂ පිළිබඳව සිදුකරන ලද අධ්‍යයනයකදී ය. මේ ලෙන් ආවරණය වැදගත් ස්ථානයකි. හෝමෝ සේපියන්ස් මානවයින්ට මෙන්ම නියැන්ඩර්තාල් මානවයින්ට ද වාසස්ථාන වූ එකම ස්ථානය සේ සැලකෙන්නේ මේ ස්ථානයයි. එසේම අප්‍රිකාවෙන් පිටත දුනු ඊතල භාවිතය පිළිබඳව පැරණිම සාධක හමුවන්නේ ද මේ ස්ථානයේය.

අප මාතෘකා කරගන්නා නියැන්ඩර්තාල් දත් සහිත පොසිලය ඒ ස්ථානයෙන් හමු වී ඇත්තේ හමු වූයේ 2015 වර්ෂයේ දීය. එය 1979 වර්ෂයෙන් පසුව එරටින් හමුවූ පළමු නියැන්ඩර්තාල් මානවයින්ගේ ශේෂ විය. ‘තෝරින්’ ලෙස හඳුන්වා ඇති එම නව නියැන්ඩර්තාල් මානවයාගේ දත් 31ක්, හනුවේ කොටසක් හා ඇඟිලි අස්ථි පහක් පමණ ලැබී තිබේ. ඇතැම් විට සම්පූර්ණ මානව ඇටසැකිල්ලක් තිබිය හැකි බව සැලනෙ නමුත් ඒ ස්ථානයේ කැනීම් සිදුවන්නේ සෙමින්ය.

මූලික අධ්‍යයනවල දී අනාවරණය වූ පරිදි තෝරින්ගේ ජෙනෝමය සමාන වූයේ වසර 100,000ක් පමණ කාලයකට පෙර ජීවත් වූ මානවයින්ටය. එනම්, මේ පොසිලවලින් ලබාගත් DNA අවුරුදු 105,000ක් පමණ පැරණි Homo neanderthalensis ආදි මානවයින්ට සමානය. එහෙත්, මේ අස්ථි ශේෂ හමු වූ පුරාවිද්‍යාත්මක සන්දර්භය අනුව ඒවා වර්ෂ 40,000ත් 50,000ත් අතර කාලයකට අයත් වේ. මෙසේ ප්‍රවේණික ද්‍රව්‍ය හා පුරාවිද්‍යා සන්දර්භය වයස පිළිබඳව තිබූ වෙනස්කම පුරාවිදච්‍යාඥයන්ට ගැටලුවක් විය.

මේ නිසා තෝරින්ගේ වයස නිශ්චිතව නිර්ණය කිරීම සඳහා ඔවුන් අදාළ පොසිලයේ අස්ථි හා දත්වල ඇති රසායනික සමස්ථානික පිළිබඳව විශ්ලේෂණය කර තිබේ. ඒ මගින් අදාළ මිනිසා පරිභෝජනය කළ ජලයේ ස්වභාවය අනුව ඔවුන් වාසය කළ කාලයේ පැවති දේශගුණය පිළිබඳව කරුණු අනාවරණය වී ඇත. වසර 100,000 පමණ කාලයකට පෙර වාසය කළ නියැන්ඩර්තාල් මානවයකු ජීවත් වන්නේ වඩා උණුසුම් දේශගුණයක් ඇති තත්ත්වයක වන අතර, වසර 45,000කට පෙර කාලයක පැවති අයිස් යුගයේ පැවති දේශගුණය වඩා සිසිල්ය. මේ අනුව තෝරින් ජීවත් වී ඇත්තේ අවුරුදු 40,000-50,000 අතර කාලයක දී බව තහවුරු වී ඇත.


වඳ වී යෑමට හේතුවක්


වසර ගණනාවක් තිස්සේ උක්ත වෙනස්කම පිළිබඳව වැඩිදුරටත් සිදුකරන ලද අධ්‍යයන අවසානයේ දී පර්යේෂකයින් පැමිණි නිගමනය අනුව මේ මානවයා ඇතුළත් වන්නේ ඔවුන්ගේ සෙසු කණ්ඩායම්වලින් වසර පනස් දහසකවත් කාලයකට හුදකලා වී සිටි කණ්ඩායමකටය. මේ ප්‍රවේණික හුදකලා වීම මේ මානවයාගේ DNA වඩා පැරණි වීම සඳහා හේතු වී තිබේ. වෙනත් වචනවලින් කියන්‌නේ නම්, ‘තෝරින්’ නමින් හඳුන්වනු ලබන මේ පොසිලය අයත් වන නියැන්ඩර්තාල් ගහනයේ සාමාජිකයන් අනෙක් නියැන්ඩර්තාල් ගහන සමඟ ජාන හුවමාරු කර නොගෙන අවම වශයෙන් අවුරුදු 50,000ක් පමණ කාලයක් ගත කර ඇති බවයි. මෙයි ඇති අපුරුම කරුණ වූයේ එකිනෙකාට දින දහයනින් ගමන් කරන දුරකින් එකිනෙකට වෙනස් ගහන දෙකක් වසර පනස් දහසක් පමණ කාලයක් වාසය කර තිබීමයි.

මේ අධ්‍යයනය දක්වා විශ්වාස කරන ලද්දේ නියැන්ඩර්තාල් මානවයින් වඳවී යන අවස්ථාව වන විට ද ඒ මානව ගහන පැවතියේ ප්‍රවේණික වශයෙන් සමජාතීය (homogeneous) තත්ත්වයක බවයි. එනම්, ප්‍රවේණික වශයෙන් ඔවුන් අතර සමානකම් පැවති බවයි. එමෙත් මේ අධ්‍යයනයෙන් හෙළි වන තොරතුරු අනුව, බටහිර යු‌රෝපයේම එකිනෙකට වෙනස් නියැන්ඩර්තාල් ගහන දෙකක් තිබී ඇත. ප්‍රවේණික වශයෙන් එකිනෙකට වෙනස් වූ මේ ගහන දෙක සාපේක්ෂව සමීප ප්‍රදේශවල වාසය කර තිබීම එක් ආකාරයකින් පුදුමයට කරුණකි.

තෝරින් අයත් වූ කණ්ඩායම් කුඩා හා පිටතට විවෘත නොවූ ගහනයක් වීම නිසා මේ තත්ත්වය ඇති වූ බව සිතිය හැකිය. මෙය නියැන්ඩර්තාල් මානවයින්ගේ වඳවීම පිළිබඳව පැහැදිලි කිරීමක් ද සිදු කරන්නකි. කුඩා ප්‍රමාණයේ ගහන තිබීම හා ඒවා සංස්කෘතික වශයෙන් හා ප්‍රවේණික වශයෙන් හුදකලා වීම කියම් ජීවි විශේෂයක් වඳවී යෑම සඳහා ප්‍රධානතම හේතුවක් බව දන්නා කරුණකි. අනෙක් අතට, මේ වඳවීම සිදුව ඇත්තේ යුරෝපයට නූතන මානවයින් පැමිණීම සිදු වූ කාලය ආසන්න කාලයක දීය.


නූතන මානවයින්ගේ ඇති වූ අභියෝගය


මේ වන විට අප දන්නා ආකාරයට, නූතන මානවයා හෙවත් Homo sapiens sapiens මානවයා සහ නියැන්ඩර්තාල් මානවයින් අතර අන්තර් අභිජනනය සිදු වී තිබේ. මේ පිළිබඳ ප්‍රවේණික සාධක අද දක්වා නූතන මානවයින් අතර දැකිය හැකිය. එහෙත් නියැන්ඩර්තල් හා නූතන මානවයින් අතර අන්තර් අභිජනනයක් සිදුව ඇති බවට සාධක නියැන්ඩර්තාල් මානව පොසිල තුළින් හමු වී නොමැත. තෝරින්ගේ ශේෂ ඇතුළත් ප්‍රවේණික ද්‍රව්‍යවලින් ද එවැන්නක් හමු වී නොමැත. මෙසේ අන්තර් අභිජනයක් පිළිබඳ සාධක නූතන මානව ගහන තුළ පමණක් දැකිය හැකි වීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ගහනයේ ප්‍රජනනය කළ හැකි වයසේ සිටින සරු සාමාජිකයන් නූතන මානව ගහන හා එකතු වීම සිදුව ඇති බවයි. එය ද නියැන්ඩර්තාල් මානව ගහනයේ වඳවී යෑමට ඇති අවස්ථාව බෙහෙවින් ඉහළ නංවයි.

එසේම අලුතින් පැමිණි නූතන මානවයින් සමග ආහාර හා සම්පත් සඳහා තරග කරන්නට සිදුවීමත් නියැන්ඩර්තාල් මානවයින්ට බරපතළ වූ කරුණක් විය. මෙම ස්ථානයේ සාධක අනුව නියැන්ඩර්තාල් මානවයින් ඔවුන් වාසය කළ ප්‍රදේශයේ සතුටින් හා සියලු අවශ්‍යතා සම්පූර්ණ කරගනිමින් වාසය කර ඇති අතර, ඔවුන්ට වෙනත් ප්‍රදේශයකට ගමන් කිරීමට අවශ්‍ය වී නොමැති බවක් පෙනේ.

එහෙත් ස්වභාවයෙන්ම මීට වෙනස් වූ නූතන මානවයින් වඩාත් ගවේෂණශීලී වූ මානවයන් විය. ඒ නිම්නයෙන් පසු අනෙක් නිම්නයේ කුමක් පවතී ද යන්න, ඔවුන්ට පෙනෙන ගංගාවෙන් අනෙක් පැත්තේ කුමක් පවතී ද යන්න ආදි කරුණු ඔවුන්ගේ අවධානයට ලක් විය. ඒ නිසා ගමන් කළ යුතු විය. එය නූතන මානවයාගේ සාර්ථකතවයට හේතු වූ බව රහසක් නොවේ.


මූලාශ්‍රය - https://www.cell.com/cell-genomics/fulltext/S2666-979X(24)00177-0

Wednesday, May 19, 2021

මානව සංස්කෘතික හා තාක්ෂණික දියුණුව ඇති වුයේ කොතැනකද?

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.05.19, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/05/19/feature6.html

නූතන මානව පරිණාමයේ කිසියම් කාලයක ඔවුන් සංස්කෘතිකමය හා නිර්මාණාත්මක කටයුතුවල යෙදීම ආරම්භ කර තිබෙයි. මෙම සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් (complex symbolic and technological behaviours) පැවතීම, නූතන මානවයාගේ දැකිය හැකි, ඔහුව අනෙකුත් මානවයින්ගෙන් වෙන්කර ගත හැකි අනන්‍ය ලක්ෂණ අතර වෙයි. ඒ තත්ත්වය ඇති වූයේ හා දියුණු වූයේ කුමන කාලයක දිද යන්න හා කිනම් ප්‍රදේශයක දී ද යන්න ගැන විද්‍යාත්මක පර්යේෂණ ලෝකය පුරා සිදුකෙරේ. ඒවායින් වැදගත් කරුණු අනාවරණය වෙයි. 

මේ හා සම්බන්ධව මෙතෙක් පැවති සාධක අනුව සංකේත හැසිරවීම සම්බන්ධ පැරණිම සාධක අදින් වර්ෂ 100,000ක් පමණ පැරණිය. ඒ දකුණු අප්‍රිකාවේ දකුණු දිග වෙරළාසන්නයේ පිහිටා ඇති බ්ලොම්බොස් (Blombos) ලෙන්වලින් හමු වී ඇති වර්ණ සකසන සැකසුමක් හා කැටයම් කරන ලද හිරියල් (ochre) ගල්ය. එසේම වර්ෂ 60,000ක් පමණ පැරණි බවට කාලනිර්ණය කරන ලද පැස්බර බිත්තර කටු දකුණු අප්‍රිකාවේ බටහිර වෙරළේ ඩීප්ක්ලූෆ් (Diepkloof Cave) නම් ලෙනෙන් ලැබී ඇත. 

උක්ත ස්ථාන දෙකම පිහිටා ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළ තීරයට ආසන්නවය. මේ අනුව මානවයින් සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික සොයාගැනීම් වැනි සංකීර්ණ හැසිරීම් රටා වර්ධනය වීම සිදු වූයේ වෙරළ තීරය ආසන්න ප්‍රදේශවල බවත් ඊට මුහුදු ආහාර අතර සම්බන්ධයක් තිබිය හැකි බවට අදහස් පළ විය. වෙරළ ආසන්නව විසූ උක්ත නිර්මාණ කළ මානවයින් විශාල ලෙස බෙල්ලන් හා මසුන් විශාල ලෙස ආහාරයට ගත් බව අනුමාන කිරීම සාධාරණය. මොළයේ වර්ධනය සඳහා අවශ්‍ය පෝෂක සහිත වූ මුහුදු ආහාර ලබාගතහැකි වූයේ ඒ ජනවාස පැවති ප්‍රදේශ සාගරයට ආසන්න වීම නිසාය. ඒ අනුව මේ ප්‍රදේශය මානව හැසිරීමේ වෙනස්කම් කළ ප්‍රදේශයක් යන අදහස උපකල්පනය කර තිබිණි. 

කෙසේ වෙතත් පසුගියදා වාර්තා වූ පර්යේෂණයකට අනුව මේ අදහස අභියෝගයකට ලක්ව ඇත. 

ගොඩබිම අභ්‍යන්තරයෙන් හමු වූ සාධක

අප මාතෘකා කරගන්නා අලුත්ම පර්යේෂණය සිදු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ වෙරළෙන් ඈත කලහාරි කාන්තාරයේ දකුණු දිග ප්‍රදේශයේ සීමාවට ආසන්නව පිහිටා ඇති ස්ථානයකයි. වෙරළේ සිට කිලෝමීටර් 660ක් පමණ ඈතින් පිහිටා ඇති එම පුරාවිද්‍යා ස්ථානය ගා-මොහානා (Ga-Mohana) කඳු පදේශයේ පිහිටා ඇති ලෙනකි. එම ස්ථානයෙන් ලැබී ඇති වැදගත් ද්‍රව්‍ය අතර කැල්සටයිට් ස්ඵටික හා පැස්බර බිත්තර කටු කැබලි විය. එම ද්‍රව්‍ය ඇතුළත් ස්තර ප්‍රකාශ උත්තේජිත සන්දීප්තතා (optically stimulated luminescence)  ක්‍රමයට කාලනිර්ණය කර ඇති අතර, ඒ අනුව ඒවා අයත්වන්නේ අදින් වසර 105000ක් පමණ පෙර කාලයකට බව එහි දී හෙළිවී ඇත. එය ඉහත සඳහන් කළ සංකීර්ණ සංකේතමය හා තාක්ෂණික හැසිරීම් හමුවන පැරණිතම සාධක හමුවන කාලය හා  සමාන වූ කාලයකි. ඒ අනුව වෙරළ තීරයේ විසු මානවයින් අතර මෙවැනි හැසිරීම් ඇතිවීම ආරම්භ වූ බවට ඇති අදහසට අභියෝගයක් ඇති වී තිබෙන බව පැහැදිලිය.


එම කැනීමේ දී හමු වී ඇති සුදු කැල්සයිට්වලින් නිර්මිත ස්ඵටික විසි දෙක කිසියම් ආකාරයකින් සමාන ජ්‍යාමිතික හැඩයක් ගන්නා ඒවාය. එම ස්ඵටිකවල වැදගත්කම වන්නේ ඒවා එම ස්ථානයෙන් ස්වාභාවිකව හමු වූ ඒවා නොවීම නිසාය. ඒවා අතීත මානවයින් විසින් වෙනත් ස්ථානවලින් එකතු කර එම ස්ථානයට ගෙනැවිත් ඇති අතර, කිසිදු වෙනස්කමක් සිදු කර ඇති බවට සාධක නැත. එම කැල්සයිට් ස්ඵටික එදිනෙදා කාර්යයක් පිණිස නොව කිසියම් විසිතුරු කටයුත්තක්  සඳහා යොදාගත් බව සිතිය හැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය කිසියම් චාරිත්‍රයක් සඳහා භාවිත වූවක් විය හැකිය. ඒවා තැන්පත් කිරීම ද එසේ සංකේතාත්මක හැසිරීමක් වූයේ නම් ඔවුන්ගේ හැසිරීම අනුව ඔවුන් වඩා නූතන මිනිසුන්ට වඩා ලං වෙයි. එවැනි ස්ඵටික අප්‍රිකාවේ වෙනත් මානව ජනාවාස පැවති ස්ථානවලින් ද හමු වී ඇති නමුත් ඒවායේ කාලනිර්ණය අනුව අදින් වර්ෂ 80,000කට වඩා අඩු කාලයකට අයත්ය.

මෙවැනි ද්‍රව්‍ය එකතු කිරීම වර්තමාන සමාජයේ ඉතා සාමාන්‍ය දෙයකි. එහෙත් එදා එම ස්ඵටික වැනි ද්‍රව්‍ය එකුතු කිරීම හා භාවිතය වැනි හැසිරීමක් ඒ අතීතයේ ඉතා දුර්ලභ අවස්ථාවක් විය. ඒ මෙවැනි භාවිතය අත්‍යාවශ්‍යය නොවන ද්‍රව්‍ය භාවිතය සංකේතභාවිතය, කලාව හා සංස්කෘතිය හා සම්බන්ධ වන බැවිනි.

පුළුල් පර්යේෂණවල අවශ්‍යතාවය

මේ පර්යේෂකයන් පෙන්වා දෙන වැදගත් කරුණක් වන්නේ මානවයන්ගේ මධ්‍ය ශිලා යුගයේ දී සිදු වු සොයාගැනීම් වැනි දියුණු වීම් පිළිබඳ සාක්ෂි සොයාගැනීම සඳහා සම්පුර්ණ අප්‍රිකා මහාද්වීපය ආවරණය වන ආකාරයේ සමාලෝචනයක් සිදුකිරීම අවශ්‍ය බවයි. අපේ මානවයාගේ සංස්කෘතික පරිණාමය ගැන කරුණු අනාවරණය කරගතහැකි සුදුසුම ක්‍රමය මේ බව පැවසේ. 

අප්‍රිකාවේ පැරණි ස්ථාන තවදුරටත් ගවේෂණය කිරීමේ දී හා අධ්‍යයනය කිරීමේ දී තවත් බොහෝ තොරතුරු හමුවනු ඇති බව සිතිය හැකිය. විශේෂයෙන් අප්‍රිකාවේ දකුණු දිග ප්‍රදේශයේ ගොඩබිම ඇතුළට වන්නට පිහිටා ඇති ස්ථාන ගවේෂණය කිරීම සිදුව ඇත්තේ අඩු වශයෙනි. අනෙක් අතට නැගෙනහිර අප්‍රිකානු ප්‍රදේශවල ගවේෂණය හා අධ්‍යයනය කර නැත්තේ වෙරළබඩ ප්‍රදේශයයි. මේ නිසා සම්පූර්ණ අප්‍රිකානු මහාද්වීපයම ආවරණය වන ආකාරයේ පර්යේෂණ වැදගත්බව පෙන්වා දී තිබෙයි.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-021-03419-0

Wednesday, January 20, 2021

මිනිසුන් ඇඳි පැරණිම සත්ත්ව රූප ඉන්දුනීසියාවෙන්?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.01.20, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2021/01/20/feature1.html




ඌරන්ගේ රූප ඇතුලත් චිත්‍රය


ඉන්දුනීසියාවේ සුලවෙසි දූපතේ ස්ථානයකින් අනාවරණය වී ඇති ඌරෙකුගේ චිත්‍රයක් ලෝකයේ මේ වන විට හමු වී තිබෙන මිනිසුන් විසින් නිර්මාණය කළ සත්ත්ව රූප සහිත පැරණිතම ලෙන් සිතුවම විය හැකි බව පසුගියදා පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දී තිබෙයි. අදින් වසර 45,500කට පමණ පෙර කාලයක දී අදින ලද බවට කාලනිර්ණය කර ඇති මෙම චිත්‍රය හමු වී ඇත්තේ සුලවෙසි දූපතේ දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති ලියෑන්ග් ටෙඩෝංග්නෙ (Leang Tedongnge) නම් ප්‍රදේශයෙන් ලෙනකින් මේ චිත්‍ර හමු වී ඇත.

2017 වර්ෂයේ දී එම ලෙනෙන් මේ චිත්‍ර සොයාගන්නා ලද්දේ එරට පුරාවිද්‍යාඥයෙකු කළ ගවේෂණයක දීය. මේ සිතුවම් එම ලෙනෙහි ඇතුල් බිත්තියේ ඇඳි ඇති ඒවාය. රතු පැහැ ගුරුගල් (ochre) යෙදාගනිමින් ඇඳ තිබෙයි.

මේ චිත්‍රයේ පැහැදිලිව පෙනෙන්නේ ඌරෙකුගේ චිත්‍රයකි. එම සතා තවත් ඌරන් දෙදෙනෙකු දෙස බලා සිටින බව නිරූපණය කරන අතර තවත් ඌරෙකුගේ රූපයක ඡායාවක් ද දැකිය හැකිය. එසේම මිනිස් අත් දෙකක සටහන් ද එහි දැකිය හැකිය. කෙසේ වෙතත් මේ චිත්‍රයේ විශාල කොටසක් හානයනට ලක් වී ඇති නිසා මේ රූපයෙන් කියවෙන්නේ කුමක්ද යන්න නිශ්චිතව හඳුනාගැනීම අද අපහසු වී ඇත.

කෙසේ වෙතත් උක්ත චිත්‍රවලින් අවධානය කරනු ලබන්නේ ඒ මානවයන් දඩයම් කිරීම සඳහා වඩාත් උනන්දුවක් දැක්වූ සතුන් පිළිබඳව විය හැකි බව පෙනෙයි. මේ චිත්‍රවලින් දැක්වෙන්නේ ඌරන් තිදෙනෙකුගේ චිත්‍රය. ඒවායේ එම සතුන් මහත දේහ සහිතව නිරූපණය කර ඇත. මේ පිළිබඳව අදහස් දක්වන පර්යේෂකයන් පවසන්නේ එවැන්නක් නිරූපණය යන්නේ ඔවුන් වඩාත් කැමැත්තක් දැක්වූයේ විශාලතම හා වඩාත් මහතම ඌරා දඩයම් කිරීමට වීම නිසා විය හැකිය. එයින් එම මිනිසුන්ට අවශ්‍ය වූ මස් හා ප්‍රෝටීන වැඩි ප්‍රමාණයක් ලැබෙයි.

මේ චිත්‍ර නිර්මාණය කළ මානවයින් උපකරණ භාවිතය ගැන යම් දැනුමක් තිබූ අය බව පැහැදිලිය. එසේම, එසේම චිත්‍රයේ නිර්මාණය අනුව නිර්මාණකරණය ගැන ඔවුන් දැන සිටි බව ද දැකිය හැකිය. එය තමන් වාසය කළ පරිසරය හා වටපිටාව ගැන ඒ මානවයින්ට තිබූ අවබෝධය පැහැදිලි කරන්නකි.



චිත්‍ර හමු වූ ලෙන

කාලනිර්ණය


ලියෑන්ග් ටෙඩෝංග්නෙ ලෙනෙන් හමු වූ චිත්‍ර කාලනිර්ණය කිරීම සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණයයි (Uranium–thorium dating). හුනුගල් මත ස්වාභාවිකව පවත්නා යුරේනියම් හුණුගල සමග ජලයේ පැමිණ ලෙන් බිත්තියේ තැන්පත් වෙයි. මේ විකිරණශීලී යුරේනියම් තෝරියම් බවට පත්වීමට ගත වන කාලය දන්නා බැයින් මේ මූලද්‍රව්‍යවල ප්‍රමාණ සංසන්දනය කිරීමෙන් චිත්‍රය සඳහා අවම කාලයක් ගණනය කිරීමට හැකිය. මේ චිත්‍රයේ ඌරාගේ පාදය ප්‍රදේශයෙන් ලබාගත් ඛණිජ නිදර්ශකයක් විශ්ලේෂණය කිරීමෙන් මේ චිත්‍රය අවම වශයෙන් වසර 45,500ක් පමණවත් පැරණි බවට කාලනිර්ණය කර ඇත. මේ ක්‍රමය මගින් චිත්‍රය මත තැන්පත්ව ඇති ඛණිජවල කාලය නිර්ණය කර ඇති අතර, ඒ නිසා චිත්‍රය ඊට වඩා පැරණි විය හැකිය.

කෙසේ වෙතත් මේ සම්පූර්ණ චිත්‍රය ඇතැම් විට කාලවකවානු කීපයකදී සිදු කළ එකක් විය හැකි බව ද මේ පර්යේෂකයන් විසින් පෙන්වා දී තිබෙයි. එයට හේතුව ලෙස සඳහන් වී ඇත්තේ එක් අර්ධව පෙනෙන චිත්‍රයක එකිනෙකට වෙනස් වර්ණ දෙකක ගුරුගල් භාවිත කර ඇති නිසාය.

මේ අසලම ඇති තවත් ලෙනකින් හමු වූ තවත් ඌරෙකුගේ චිත්‍රයක් ද මේ අධ්‍යයනයේ දී කාලනිර්ණය කර ඇත. ඒ අනුව එය අදින් වසර 32,000කට පමණ පෙර කරන ලද නිර්මාණයක් බව පැහැදිලිය. මේ ආසන්නයේ ඇති ලියෑං බුලු බිටියු (Leang Bulu Bettue) නම් ස්ථානයෙන් ලැබී ඇති මෙවලම් කාලනිර්ණය කර ඇත්තේ අදින් වර්ෂ 40,000කට පෙර කාලයකට අයත් ලෙසය. ඒ ඒවා තැන්පත්ව තිබූ අවසාධිත ස්තර කාලනිර්ණය කිරීමෙනි. මේ මෙවලම් ගුරුගල් සකස් කිරීම සඳහා යොදා‌ගෙන තිබූ ඒවා වීම ද විශේෂයකි.


ලෝකයේ පැරණිම ලෙන් චිත්‍ර


අතීත මානවයා විසින් නිර්මාණය කරන ලද චිත්‍ර පිළිබඳ පුරාවිද්‍යාඥයන්ගේ මෙන්ම වෙනත් අංශවල ප්‍රවීණයන්ගේ අවධානය ද යොමු වූයේ කලකට ඉහත පටන්ය. මානවයාගේ නිර්මාණාත්මක බව පළමුව ඇති වූයේ කුමන ප්‍රදේශයකද යන්න යළිත් සාකච්ඡාවට ලක්ව ඇත. කලක් තිස්සේ පැවති අදහස වූයේ මානවයාගේ නිර්මාණාත්මක බව ඇති වූයේ යුරෝපයේ බවයි. මෙය එක්තරා ආකාරයකින් යුරෝපා කේන්ද්‍රීය අදහසක් වුවත්, එය ඒ වන විට පැවති සාධක මත එළැඹි නිගමනයකි.

මේ ලෙනෙන් හමු වූ චිත්‍ර ලෝකයේ පැරණිම සත්ත්ව චිත්‍ර වන්නේ යුරෝපයෙන් හමු වූ පැරණිම චිත්‍ර පිළිබඳ දින වකවානු ඉක්මවා ගිය නිසාය. මෑතක් දක්වා ලෝකයේ සොයාගෙන තිබූ පැරණිතම සත්ත්ව රූප ඇතුළත් සිතුවම් අතර ප්‍රංශයේ හා ස්පාඤ්ඤයෙන් හමු වු චිත්‍ර වැදගත්ය. ප්‍රංශයේ වච්වෙට්-පොන්ට්-ඩිආරක් (Chauvet-Pont-d'Arc) නම් ස්ථානයේ ලෙනකින් ලැබුණු චිත්‍රවල දින නියම කර ඇත්තේ අදින් වසර 36,000ක් පමණ කාලයක් පැරණි බවයි. ස්පාඤ්ඤයේ අල්ටමීරා (Altamira) ගුහාවේ ඇති බයිසන් ගව චිත්‍රවල කාලනිර්ණය කර තිබූනේ ද ඒ හා සමාන කාලයකටය.

සුලවෙසි දූපතේ පවත්නා චිත්‍ර ගැන හෙළි වන කරුණුවලින් එම පිළිගැනීම වෙනස් විය. මුලින්ම ආසියාවේ ද පැරණි ලෙන් චිත්‍ර ඇති බව පෙන්වා දෙන ලද්දේ 2014 වර්ෂයේ සිදුකරන ලද අධ්‍යයනයකිනි. සුලවෙසි දූපතෙන් හමු වූ එම චිත්‍ර අදින් වසර 39,900ක් පමණ පැරණි බවට කාල නිර්ණය කරන ලදි. (එම චිත්‍රවලට ඉන් පෙර ලබා දී තිබූ දිනය වූයේ වසර 12000ක් පමණ පැරණි බවයි.) මෙය නිර්මාණාත්මක කුසලතාවයක් ඇති මානවයින් ආසියාවේ කළ නිර්මාණ සම්බන්ධව ලැබුණු පැරණි දිනයකි.

අප මාතෘකා කරගත් චිතුයට ලබා දී ඇති දිනයත් සමඟ එය තවත් ඈතට යයි. මේ පර්යේෂණයෙන් පෙන්වා දී ඇති චිත්‍ර අයත් කාලවකවානුවට පෙර පවා මේ මානවයන් චිත්‍ර නිර්මාණය කරන්නට ඇත. විශේෂයෙන් ඔස්ට්‍රේලියාවෙන් ලැබී ඇති මානව සාධක අනුව අදින් වසර 65,000කට පමණ පෙර ඔස්ට්‍රේලියාවට පැමිණි මානවයින් එසේ පැමිණියේ ද ඉන්දුනීසියාව හරහාය.

නමුත්, මානවයින් කළ පැරණිම ලෙන් චිත්‍ර මේවා නොවේ. මීට පෙර ස්පාඤ්ඤයේ කැස්ටිලෝ (El Castillo) ගුහාවෙන් ලැබුණු අත් සටහන් ඇතුළත් චිත්‍ර වසර 40,800ක් පමණ පැරණි ඒවා බවට කාලනිර්ණය කර තිබුණු අතර, ඒ බව වාර්තා වූ 2012 වන විට ලෝකයේ වඩාත්ම පැරණි ගුහා චිත්‍ර ඒවා විය. එහෙත් මේ දින වනවානු තවත් ඈතට ගෙන යමින් මානවයින් කළ ලෝකයේ පැරණිතම චිත්‍ර ලෙස අද වන විට සැලකෙන්නේ දකුණු අප්‍රිකාවෙන් සොයාගත් ගල් කැබැල්ලක සඳහන්ව ඇති සලකුණකි. ඒවා වසර 73,000ක් පමණ පැරණිය. ඒ පිළිබඳ පර්යේෂණය පළ වූයේ 2018 වඒෂයේ දීය.

මෙය හුදෙක් ප්‍රදේශයක් හෝ මහාද්වීපයක් පිළිබඳ කරුණකට වඩා මානව පරිණාමය සම්බන්ධ කරුණකි. මානයන්ගේ මේ නිර්මාණාත්මක හැකියාව යුරෝප‌යේ මෙන්ම ආසියාවේ ද ස්වාධීනව වර්ධනය වූවක් වීමට ඉඩ ඇත. එමෙන්ම ඇතැම් විට මානවයා අප්‍රිකාවෙන් පිටතට ගමන් කරන අවස්ථාවේ දී ද මානවයින්ට ඒ හැකියාව තිබුණා විය හැකිය. මේ සම්බන්ධව අනාගතයේ දී අනාවරණය වන කරුණු අනුව අපට දැන ගත හැකි වනු ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධව අග්නිදිග ආසියාවේ ඇති සාධකවලට වැදගත් තැනක් හිමි වන බව නම් මේ වන විට පැහැදිලිය.

(මූලාශ්‍රය - Science Advances, DOI: 10.1126/sciadv.abd4648)

ඡායාරූප - Science Advances සඟරාවෙනි

Monday, November 30, 2020

ක්ෂුද්‍ර පරිණාමයට සාධක සපයන වසර මිලියන දෙකක් පැරණි හිස්කබල

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.11.18, පි. 8 (Vidusara)

http://www.vidusara.com/2020/11/18/feature3.html



Paranthropus robustus මානව හිස්කබල

අදට වඩා වර්ෂ මිලියන දෙකක් පමණ පැරණි ආදිමානව හිස්කබලක් දකුණු අප්‍රිකාවෙන් සොයාගෙන ඇති බව පසුගියදා වාර්තා විය. ඔස්ට්‍රේලියානු පර්යේෂකයක් පිරිසක් විසින් සොයාගෙන ඇති මේ හිස්කබල මානව පරිණාමය පිළිබඳ කරුණු ගණනාවක් හෙළිකරන අධ්‍යයනයක් නිසා වැදගත් බව පෙනෙයි.

මේ හිස්කබල අයත් වන්නේ Paranthropus robustus නම් මානව විශේෂයකටය. එම මානවයින්ගේ මෙතෙක් හමු වී ඇති හොඳම හිස්කබල මෙයයි.

Paranthropus robustus යනු Homo erectus මානවයාට සමකාලීනව ජීවත් වූ හා ඥාතිත්වයක් දක්වන විශේෂයකි. කෙසේ වෙතත් Paranthropus robustus මානවයින් Homo erectus කලින් වඳ වී ගොස් තිබෙයි. Homo erectus යනු නූතන මානවයාගේ ඍජු පූර්වජයෙකි; අප ද අයත් වන Homo ගණයට අයත් වන්නෙකි.

මේ පොසිල හිස්කබලේ කොටස් හමු වී ඇත්තේ 2018 වර්ෂයේ දී දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් ප්‍රදේශයට උතුරින් පිහිටා ඇති ඩ්‍රිමොලෙන් (Drimolen) නම් ලෙන් සංකීර්ණයෙනි. එම පොසිල ලැබුණු ස්ථානයට මීටර් කීපයක් නුදුරින් Homo erectus ළමයෙකුගේ හිස්කබලක් හමු වී තිබුණේ 2015 වර්ෂයේදී පමණය. එසේම Australopithecus මානව සාධක ද මේ ස්ථානයෙන් හමු වී තිබිණි. පසුගිය අප්‍රේල් මාසයේදී Science සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයනයකින් මේ ලෙන් සංකීර්ණයේ මානව රූපි මේ විශේෂ තුනම එක සමාන කාලයක දී වාසය කළ බව පෙන්වා දී තිබිණි. එය අද තත්ත්වයට වඩා වෙනස් වූ තත්ත්වයකි. අද වන විට ලෝකයේ පවතින්නේ එක් මානව රූපි විශේෂයකි. ඒ Homo sapiens හෙවත් නූතන මානවයින් පමණකි. (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.aaw7293)


ඩ්‍රිමොලෙන් ලෙන් සංකීර්ණය

මේ මානවයින් විසූ කාලය ගැන කාලනිර්ණය කිරීම සඳහා එම පර්යේෂකයන් විසින් කාලනිර්ණ ක්‍රම තුනක් භාවිත කර තිබෙයි. විද්‍යුත් භ්‍රමණ සම්ප්‍රයුක්තතා ක්‍රමය (electron spin resonance), පුරාචුම්බකත්වය (palaeomagnetism) හා යුරේනියම්-ලෙඩ් කාලනිර්ණය (uranium-lead dating) යනු ඒ ක්‍රම ත්‍රිත්වයයි. ඒ අනුව උක්ත මානවයින්ගේ පොසිල අයත්වන්නේ අදින් වසර මිලියන 2.04ත් 1.95ත් අතර කාලවකවානුවකටය.


ක්ෂුද්‍ර පරිණාමයක්


මෙම ඩ්‍රිමොලෙන් ලෙන්වලින් හමු වූ Paranthropus robustus හිස්කබලට අනුව මීට පෙර හමු වී ඇති එම විශේෂයේ අනෙක් නිදර්ශකවලට වඩා වෙනසක් පෙන්වයි. මේ හමු වී ඇති හිස්කබල පිරිමි එකක් බව විශ්වාස කරන අතර එය එතැනින්ම කලින් හමු වී ඇති ඒ විශේෂයටම අයත් ගැහැණු සතෙකුගේ බව සැලකෙන නිදර්ශකයකට වඩා ප්‍රමාණයෙන් විශාලය. එහෙත් එය ස්වට්ක්‍රාන් (Swartkrans) නම් ස්ථානයෙන් හමු වී ඇති සෙසු පිරිමි හිස්කබල්වලට වඩා ප්‍රමාණයෙන් කුඩාය.

මෙතෙක් විශ්වාස කරන ලද්දේ ගැහැණු පිරිමි සතුන් වීම නිසා මේ වෙනස ඇති වන්නට ඇති බවයි. එහෙත් මේ හිස්කබලේ හමුවීමත් සමඟ මේ ස්ථාන දෙකෙන් හමු වී ඇති පොසිල මානවයන්ගේ ප්‍රමාණවල වෙනස්කම් හුදෙක් ගැහැණු හා පිරිමි සතුන් වීමෙන් පමණක් විසඳාගත නොහැකි බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එම ගහන දෙකේ වෙනස්කම් ලෙස ඒවා සැලකිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි. ඒ වෙනස සඳහා හේතු පැහැදිලි කිරීමක්ද ඔවුන් සිදුකර ඇත.

එම ස්ථාන දෙකේ කාලනිර්ණයේ වෙනස වසර 200,000ක් පමණ වෙයි. ඒ අනුව ඩ්‍රිමොලෙන් ස්ථානයේ මානවයින් වඩාත් මුල්කාලීන ගහනයක් වන අතර, ස්වාට්ක්‍රාන්ස් ස්ථානය ඊට වඩා මෑත කාලීන ගහනයක් වෙයි. මෙම පොසිල විශ්ලේෂණයේදී පෙනි ගොස් ඇත්තේ ඩ්‍රිමොලින්වලින් හමු වූ මානවයන්ගේ හිස්කබලේ අංග අනුව ඔවුන්ට සැපීමට හා විකීමට වැඩි ශක්තියක් යෙදවීම අසීරු කරුණක් වූ බවයි. ඔවුන්ට සාපේක්ෂව වඩා මෑතකාලීනව ජීවත් වූ ස්වාට්ක්‍රාන්ස් පොසිල අනුව ඒ ආදිමානවයන්ට එසේ වැඩි ශක්තියක් යෙදවීමට හැකියාව ලැබී තිබිණි. මෙය වසර 200,000ක පරතරයක් ඇති එකම විශේෂයකට අයත් පොසිල වන නිසා එවැනි පරිණාමීය වෙනසක් වී තිබීම වැදගත් කරුණකි.

මෙවැනි වෙනස්කම් සඳහා හේතුව ලෙස මේ පර්යේෂකයන් විශ්වාස කරන්නේ ප්‍රදේශයේ ඇති වූ දේශගුණ වෙනස් වීමක් මීට බලපා ඇති බවයි. එහි දී සිදුව ඇත්තේ වඩාත් සීතල හා වියළි දේශගුණ තත්ත්වයක් ඇතිවීමය. ඒ සමග මේ ආදිමානවයින්ගේ ආහාරවල වෙනස් වීම් ඇති විය. එතෙක් එම ප්‍රදේශවල දැකිය හැකි වු වෘක්ෂලතාවල වෙනස් වීමත් සමඟ අනුභව කිරීමට වඩාත් අසීරු වූ ශාක ද්‍රව්‍ය මත යැපීමට මේ ආදිමානවයින්ට සිදු වී ඇත. එබැවින් වඩා කාර්යක්ෂම හා ශක්තිමත් සැපීම් හා විකීම් කළ හැකි අය ස්වාභාවිකවරණය මගින් ඒ ගහනය තුළ ප්‍රමුඛ වී ඇති බව ඔවුන්ගේ පැහැදිලි කිරීමයි.

මේ ආකාරයෙන් එක් විශේෂයක් තුළ සිදු වී ඇති පරිණාමය හදුනාගැනීම සඳහා මෙවැනි අවස්ථා ඇත්තේ අඩුවෙනි. එයට එක් හේතුවක් වී ඇත්තේ පොසිල හමුවී ඇති ප්‍රමාණය අඩු වීමය. අනෙක වන්නේ ඇති වී ඇති වෙනස සියුම් එකක් වීමය. ගහනයක් තුළ සාපේක්ෂව කෙටි කාලයක් තුළ ඇති වන මේ පරිණාමය ක්ෂුද්‍ර පරිණාමය (micro evolution) නම් වේ.

කෙසේ වෙතත් මිලියන දෙකක් පමණ ඈත අතීතයේ දී වඩාත් සුලභව සිට ඇත්තේ මේ Paranthropus robustus මානවයන්ය. එහෙත් අවසානයේදී පරිණාමයේදී අද දක්වා පැවත එන්නේ Homo erectus මානවයන්ගෙන් පැවත එන්නන් වූ නූතන මානවයා හෙවත් Homo sapiens ය.


Paranthropus robustus මානවයා


මේ ආදිමානවයින් වාසය කර ඇත්තේ අදින් වසර මිලියන 2ක සිට වසර 600,000ක් පමණ දක්වා කාලයේදීය. මුලින්ම 1938 වර්ෂයේදී අනාවරණය වූ මේ ආදිමානවයින් මුලින්ම විස්තර කරන ලද මුල් ආදිමානවයින් ලෙස සැලකේ. ඔවුන්ගේ පොසිල වැඩි වශයෙන් හමු වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙනි. (කෙසේ වෙතත් මේ ආදිමානව විශලේෂය වලංගු නොවන බවට ද තර්කයක් ඇති අතර එය Australopithecus මානවයින්ම බව යෝජනා වී ඇත. එවිට මේ විශ්ෂය සැලකෙන්නේ Australopithecus robustus යනුවෙනි)

Paranthropus robustus යනු ඝනකමය වැඩුණු හිස්කබල්, විශාල දත් සහ කුඩා මොළයක් තිබූ මානවයෙකි. එසේ වූයේ මේ මානවයින්ගේ ආහාරය අල වර්ග, පොතු වර්ග වැනි වඩාත් ඝනකම ශාක කොටස් වීම නිසාය. එය පරිණාමයේදී ඇති වූ වෙනසක් ලෙස සැලකේ. මේ විශේෂයේ පිරිමින් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 132ක් පමණ උස් වූ අතර, ගැහැණුන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 110ක් පමණ උස් වූ බව ගණනය කර ඇත. ඔවුන්ගේ මොළයේ ධාරිතාව ඝන සෙන්ටිමීටර් 476ක් පමණ තරම් අඩු අගයකි.

වඩාත් ප්‍රාථමික ලක්ෂණ තිබූ Australopithecus මානවයින් වඳ වී යාම හා මෙම Paranthropus robustus මානවයින්ගේ සම්භවය සමාන කාලයක දී ඇති වූ බව මෙතෙක් පැවති සාධක මත පැවති මතයයි. එසේම Homo erectus ඇති වී ව්‍යාප්ත වන්නේ ද මේ කාලයේදීය. සාපේක්ෂව කුඩා දත් හා විශාල මොළයක් තිබූ Homo erectus මානවයාගෙන් මේ මානවයින් පැහැදිලිව වෙනස් වූයේය. ඔවුන්ගේ ආහාරයද ශාක ආහාර මෙන්ම මස්වලින්ද යුත්ක විය.


මූලාශ්‍රය - Nature Ecology & Evolution, DOI: 10.1038/s41559-020-01319-

Sunday, May 31, 2020

සිතුවාට වඩා කලක් පැවති නියැන්ඩර්තාල් හා නූතන මානව සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.05.27, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature2.html


නුතන මානවයින් සහ නියැන්ඩර්තාල් මානවයින් කිසියම් කාලයක් යුරෝපයේ එකම ප්‍රදේශවල වාසය කළ බව මේ වන විට පිළිගන්නා කරුණකි. නූතන මානවයාගේ සමීපතම ඥාතියා ලෙස සැලකෙන නියැන්ඩර්තාල් මානවයින් වඳවී ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ. ඒ අනුව එම මානව විශේෂ දෙක අතර විවිධ අන්තර් සම්බන්ෂතා ඇති වූ බව පැහැදිලිය. ඒ සඳහා ප්‍රවේණික හා වෙනත් සාධක මේ වන විට ලැබී තිබෙයි.

මේ මානව විශේෂ දෙක කෙතරම් කාලයකට පෙර එකිනෙකා හමු වූයේද යන්න පිළිබඳ අලුත් තොරතුරු පසුගියදා අනාවරණය වී ඇත්තේ බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ලෙනකින් ලැබී ඇති නූතන මානව අවශේෂ සම්බන්ධව සිදුකරන ලද අධ්‍යයනයකිනි. එම සාධක හිමි මානව ශේෂවල දින නිර්ණය අනුව ඔවුන් වාසය කර ඇති පැරණිම දිනය අදින් වසර 46,000ක් තරම් ඈතට යයි. එය යුරෝපයෙන් ලැබී ඇති නුතන මානවයින්ගේ පැරණිම සාධක වන අතර, ඒවා මෙතෙක් පැවති දිනවලට වඩා වසර දෙදහසක් පමණ පැරණි දිනයකි. ඒ අනුව නුතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින්ද මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශයක වාසය කර තිබේ.


කැනීමෙන් අනාවරණය වී ඇති දේ

බල්ගේරියාවේ බචෝ කිරෝ (Bacho Kiro cave) නම් ගල් ලෙනකින් ලැබී හමු වූ මානව අස්ථි හා දත් සම්බන්ධව මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තා දෙකකිනි. ඒවායේ ව්‍යුහවිද්‍යාත්මක වැදගත්කම අනුව ඒවා මානවයින්ට අයත් බව සලකා ඇත. මේ අස්ථි ශේෂ නූතන මානවයින්ගේ බව පෙන්වා දෙන එක් පර්යේෂණ පත්‍රිකාවකින් ඒ දත් නූතන මිනිසාට පිහිටන ඒවා බවත් නියැන්ඩර්තාල් මනෙවයින්ට අයත් නොවන බවත් දක්වා ඇත. එසේම මේ ශේෂවලින් DNA ලබාගැනීමට මේ පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇති අතර, එයින් පෙනීගොස් ඇත්තේද ඒවා නුතන මානවයාට අයත් බවය. මේ අස්ථි ශේෂ සමඟ තවත් පුරාවස්තු ලැබී ඇත. ශිලා ආයුධ හා අස්ථිවලින් කළ ආභරණ මේ අතර වෙයි.

දෙවන අධ්‍යයනය සිදු කර ඇත්තේ මේවායේ කාලනිර්ණය සම්බන්ධවය. එම මානව අස්ථි හා දත් මෙන්ම ඒ සමඟ හමු වී ඇති සත්ත්ව ශේෂවල විකිරණශීලී කාබන් 14 කාලනිර්ණය අනුව ඒවා අයත් වන්නේ අදින් වසර 45,820ත් 43,650ත් අතර කාලයකට බව පෙනී ගොස් ඇත. (මෙහි පැරණිම කාලය වසර 46,940ක් දක්වා විය හැකි බවද දක්වා ඇත) එය අයත්වන්නේ මූලික ඉහළ පුරාශිලා අවධිය (Initial Upper Palaeolithic) ලෙස හඳුන්වනු ලබන අවධියටයි. එය නූතන මානවයින් පිළිබඳව යුරෝපයෙන් ලැබී ඇති පැරණිතම සාධකයක් වේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් ලැබී තිබූ අස්ථි මගින් ලැබුණු කාලනිර්ණයේ (44,200-41,500 අතර) සහ ඉතාලියේ ස්ථානයකින් ලැබී තිබූ දත්වලට අදාළ කාලනිර්ණයේ (43,000-45,000) දැක්වෙන නූතන මානවයා පිළිබඳ පැරණිතම දිනයට වඩා ස්පාඤ්ඤයෙන් ලැබුණු මේ නව දිනවකවානුවල පැරණිතම දිනව වඩාත් පැරණිය. එසේම බ්‍රිතාන්‍යයේ හා ඉතාලියේ මානව ශේෂ සම්බන්ධව දින නියම කර ඇත්තේ ඒ අස්ථි සමඟ හමු වී ඇති ද්‍රව්‍යවලට දිය නියම කිරීමෙනි. එහෙත් ස්පාඤ්ඤ ලෙනෙහි ලැබී ඇති මානව ශේෂ කාලිර්ණය කිරීමේ දී ඒ සඳහා මානව අස්ථි ද කාලනිර්ණය කර ඇත.


එකම ප්‍රදේශවල ජීවත්වූ ඥාති මානවයෝ

මෙම නව අධ්‍යයනයෙන් නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් කෙතරම් කාලයක් එකම ප්‍රදේශයක ජීවත්වූවාද යන්න ගැන කාලයක් තිස්සේ පවත්නා විවාදයට තවත් සාධක සපයයි. මේ අනුව අවම වශයෙන් මේ මානව විශේෂ දෙක යුරෝපයේ වසර පන්දහසක් පමණ කාලයක්වත් අඩුම වශයෙන් එකම පරිසරයක වාසය කර ඇත. එය මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශවල වාසය කර ඇති බව පැහැදිලිය. ඒ කාලය තවත් වසර 2,000කින් පමණ ඈතට ගෙන යෑමට මේ නව අධ්‍යයනය සමත් වී ඇත.

ඒ කාලයේදී ඒ වන විටත් පිරිහෙමින් පැවති නියාන්ඩර්තාල් ගහන යුරෝපයේ තැනින් තැන ජීවත් වූ කාලයකි. කෙසේ වෙතත් මුළු යුරෝපය පුරාම මේ මානව විශේෂ දෙක අතර පැවතියේ එකම ආකාරයක සම්බන්ධයක් නොවේ. ඇතැම් ප්‍රදේශයවල නියැන්ඩර්තාල් හා නූතන මානවයින් අතර සම්බන්ධය කෙතරම් ද යත්, ඒ විශේෂ අතර අනත්රාභිජනනය සිදුව ඇති බවට සාධක තිබෙයි. මේ වන විට මානව ජෙනෝමයෙන් 1%-4%ක් පමණ ප්‍රතිශතයක් නියැන්ඩර්තාල් ජාන වීම මීට සාක්ෂි වේ. එසේම 2017 වර්ෂයේදී පළ වූ අධයයනයකට අනුව නියැන්ඩර්තාල් මානවයාගේ මුවේ ජීවත් වූ බැක්ටීරියාවක් මිනිසාගේ මුඛයෙන් හමුවීමෙන් පෙනී යන්නේ ද මේ විශේෂ දෙක අතර තිබූ යම් යම් සම්බන්ධතා පිළිබඳවය.
කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් සමඟ මිශ්‍ර නොවී හුදකලාව ජීවත් වී ඇත. එසේම නියැන්ඩර්තාල් මානවයින් කෙටි කාලයක් තුළ වඳ වී ගියේ නැති බව මේ වන විට පිළිගැනේ. ඔවුන්ගේ ගහනය අඩු වු බවට සාධක දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇතැම් ස්ථානවලින් ලැබී ඇති නියැන්ඩර්තාල් ප්‍රවේණික ද්‍රව්‍යවලින් පෙනීගොස් ඇත්තේ සුළු පිරිසක් තුළ ඇති වූ සහාභිජනනය (inbreeding) නිසා ඔවුන්ගේ ජාන කිටුවේ ඇති වූ පිරිහී ගිය තත්ත්වයයි. 

එමෙන්ම මුලින්ම යුරෝපයට පැමිණි නූතන මානවයින් කුඩා ගහන ලෙස පැමිණි බවට සාධක තිබේ. විශාල නියැන්ඩර්තාල් ගහනයක් ජීවත් වූ පරිසරයකදී මේ නූතන මානවයින්ගේ පැවැත්ම ස්ථිර එකක් නොවූ බවක් පෙනේ.DNA සාධක මගින් පෙනී යන්නේ මේ මුල් පදිංචිකරුවන් පසුකාලීන නූතන මානව ගහනවල ජාන කිටුවට දැක්වු දායකත්වය අවම අගයක් වු බවයි.


නියැන්ඩර්තාල් මනවයා පිළිබඳ මෑතදී අනාවරණය වූ කරුණු


නියැන්ඩර්තාල් මානවයා හෙවත් Homo neanderthalensis යනු අදින් වර්ෂ 400,000ත් 40,000ත් අතර කාලය තුළ ජීවත් වූ ආදි මානවයෙකි. ඔහු වාසය කර ඇත්තේ යුරෝපයේ සහ නිරිතදිග හා මධ්‍යම ආසියාවේ බවට සාධක මේ වන විට ලැබී ඇත. නිශ්චිත වශයෙන් නව මානවයකුගේ බව පිළිගත් නියැන්ඩර්තාල් මානව පොසිල මුලින්ම 1856 වර්ෂයේදී හඳුනාගත් ජර්මනියේ නියැන්ඩර් නිම්න ප‍්‍රදේශය නිසා මේ මානවයාට හ් නම යෙදෙයි. එහෙත් මේ මානවයාට අයත් පොසිල ඉන් පෙර ද සොයා ගෙන තිබේ. 1829 දී වර්තමාන බෙල්ජියමෙන්, 1848 දී ජිබ්රල්ටාර් ප‍්‍රදේශයෙන් ද හමු වූ හිස්කබල් මීට සාධක වේ. මේ මානවයා නූතන මිනිසා හෙවත් Homo sapiens ගේ වඩාත්ම සමීපතම මානවයා සේ සැලකේ. 
 
මෑත කාලයේදී නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තොරතුරු අනුව පහත සඳහන් වැදගත් කරුණු අනාවරණය වේ.

  • නියැන්ඩර්තාල් මිනිසා අප්‍රිකාවෙන් පිටවීම - නියැන්ඩර්තාල් මානවයින් අදින් වසර 400,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී අප‍්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවට සාධක තිබේ. ඔවුන්ගේ පරිණාමයේ වැඩි කොටසක් නූතන ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පර්මනිය හා රුසියාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. සම්පූර්ණ නියැන්ඩර්තාල් ලක්ෂණ සහිත මානවයින් දැකිය හැක්කේ වර්ෂ 130,000කට පමණ ඉහත පටන් බවට ද අදහසක් ඇත.
  • නියැන්ඩර්තාල් ආහාරය - නියැන්ඩර්තාල් මානවයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ලද්දේ වෙනත් සතුන්ගේ මස් බව කලක් තිස්සේ තිබූ පිළිගැනීමය. එහෙත් මේ මානවයින් ශාකමය ද්‍රව්‍යද යම් පමණකින් හෝ ආහාරයට ගත් බවට මේ වන විට පවත්නා පළමු ඍජු සාධක ස්පාඥ්ඤයේ ලෙනකින් ලැබුණේ 2014දී පමණය. මේ අනුව දේශගුණික හේතුන් මත නියැන්ඩර්තාල් මානවයින් ශාකමය ආහාර ද ගත් බව සිතිය හැකිය.
  • නියැන්ඩර්තාල් ගෙනෝමය - 1997 දී නියැන්ඩර්තාල් මානවයින්ගේ ගෙනෝමය අධ්‍යයනය කිරීම ආරම්භ වූ අතර, මේ වන විට සිතියම්ගත කර ඇත. ඒ අනුව අප‍්‍රිකානුවන් නොවන නූතන මානවයින්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතරින් 1%ත් 4%ත් අතර ප‍්‍රමාණයක් පැමිණ තිබෙන්නේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන් බව අධ්‍යයන ගණනාවකින් හෙළි වී තිබෙයි. නියැන්ඩර්තාල් හා වර්තමාන මිනිසුන් පිරිසකගේ ගෙනෝමය සංසන්දනය කිරීමෙන් ඇතැම් රෝග සඳහා අදාළ වන DNA කොටස් නියැන්ඩර්තාල් මානවයින්ගෙන් ලැබී ඇති බව පෙනී ගොස් ඇත. ඒ ප‍්‍රවේණික ද්‍රව්‍ය වර්තමාන අප‍්‍රිකානු මිනිසුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතර නොතිබීම හෝ ඉතා අඩු වශයෙන් පැවතීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්මිශ‍්‍රණය වීම සිදු වී ඇත්තේ අප‍්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයාගේ ආදිතමයින් සමඟ බවය.
  • සංජානන හැකියාව - 2018 වර්ෂයේදී පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දෙන ලද්දේ ස්පාඤ්ඤයේ ලෙන් ගණනාවකින් හමු වූ පුරාශිලා චිත්‍ර නියැන්ඩර්තාල් මානවයින් විසින් නිර්මාණය කරන ලද බවයි. ඒවායේ දින වකවානු අනුව ඒවා අදින් වර්ෂ 64,800කට වඩා පැරණිය. ඒ කාලය නූතන මානවයින් එම ප්‍රදේශයේ වාසයට පැමිණීමට පෙර කාලයකට බව ඉතා පැහැදිලිය. ඒ අනුව නියැන්ඩර්තාල් මානවයින්ට සංකේතාත්මක චින්තනයේ හා කලාත්මක හැකියාවක් තිබූ බව පැහැදිලි විය.
  • වඳ වී ගිය දිනය - නියැන්ඩර්තාල් මානවයින් යුරෝපයෙන් වඳ වී යාම ගියේ අදින් වසර 39,000ත් 41,000ත් අතර කාලයක දී බව 2014 වර්ෂයේ දී පෙන්වා දෙන ලද්දේ 95%ක විශ්වසනීයත්වයකින් යුක්තවය. නූතන මානවයින්ගෙන් ඇති වූ තරඟය හා නූතන මානවයින් සමඟ මිශ‍්‍ර වීම ද මේ මානවයාගේ වඳ වී යෑමට හේතු වූ බව විශ්වාස කරනු ලැබෙයි. එසේම නියැන්ඩර්තාල් ගහනවල ජාන කිටුව ද පිරිහී ගොස් තිබිණි.


මූලාශ්‍ර

Nature Ecologt and Evolution, DOI: 10.1038/s41559-020-1136-3
Journal Link - https://www.nature.com/articles/s41559-020-1136-3

Nature, DOI: 10.1038/s41586-020-2259-z
Journal Link - https://www.nature.com/articles/s41586-020-2259-z

Monday, January 27, 2020

මෙතෙක්‌ සිතුවාට වඩා වැඩි කාලයක්‌ මිහිමත වාසය කළ Homo erectus

ධනේෂ් විසුම්පෙරුම



විදුසර, 2020.01.01, පි. 6 (Vidusara)

http://www.vidusara.com/2020/01/01/feature4.html




නූතන මානවයා අයත් වන Homo ගණයට ම අයත් සමීප ඥාති මානව විශේෂයක්‌ වන Homo erectus මානවයා වඳ වී ගියා යෑයි මෙතෙක්‌ සිතූ කාලයට වඩා වැඩි කාලයක්‌ මිහි මත වාසය කර ඇති බව පසුගිය දා ප්‍රකාශයට පත් වූ අධ්‍යයනයකින් පෙනී ගොස්‌ ඇත.

Homo erectus පිළිබඳව ලැබී ඇති පැරැණි ම සාධක අනුව ඔවුන් අදින් වර්ෂ මිලියන දෙකක පමණ කාලයකට පෙර අප්‍රිකාවේ සම්භවය වූ බව සැලකෙයි. ඉන් පසු ලෝකයේ වෙනත් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇති මේ මානවයා වසර මිලියන 1.5කට පමණ ඉහත දී අග්නිදිග ආසියාවට ද පැමිණ ඇත. මේ මානවයන්ගේ පොසිල හමු වූ ස්‌ථාන අනුව ජාවා මිනිසා, පීකිං මිනිසා නමින් හඳුන්වනු ලබන්නේ මේ මානවයා ය.

Homo erectus මානවයා මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගනියි. මුලින් ම සම්පූර්ණයෙන් ම ඍජුව ඇවිද ගිය මානවයා මොහු ලෙස සැලකේ (erectus යන වදනෙහි අර්ථය වන්නේ ද සෘජු යන්නයි). ඔවුන්ගේ කපාල ධාරිතාව නුතන මිනිසාට වඩා අඩු වූ අතර, දත් වඩා විශාල විය. අදින් වර්ෂ මිලියනයකට පමණ පෙර පාලනය කළ ගින්දර භාවිතය මුලින් ම සිදු කරන ලද්දේ ද Homo erectus මානවයන් විසිනි. එසේ ම මේ මානවයන් අදින් වසර 200,000කට පමණ පෙර මිහිතලයෙන් සම්පූර්ණයෙන් ම වඳ වී ගිය බව අනුමාන කෙරෙයි. ඒ නූතන මිනිසා ද ඇතුළු වෙනත් මානව විශේෂ නිසා ඇති වූ තරගය නිසා බව සැලකේ.

මේ පිළිබඳව සිදු කරන ලද නවතම අධ්‍යයනයට අනුව මේ මානව විශේෂය අදට වර්ෂ 100,000කට ආසන්න කාලයක්‌ දක්‌වා අග්නිදිග ආසියා කලාපයේ ජීවත් වී ඇත. ඊට සාධක ලැබී ඇත්තේ ඉන්දුනීසියාවේ ජාවා දූපතෙනි. මේ මානව විශේෂය ලෝකයෙන් වඳ වී ගොස්‌ සැලකිය යුතු කාලයකට පසු ව දිනයක්‌ වීම නිසා මේ දිනය වැදගත් ය.


පොසිල හමු වීම


මේ අධ්‍යයනයේ දී අවධානයට ලක්‌ වී ඇති Homo erectus පොසිල අස්‌ථි ශේෂ හමු වී ඇත්තේ 1931-1933 අතර කාලයේ සිදු කරන ලද කැණීම්වලිනි. ඒ වර්තමාන ඉන්දුනීසියාවේ මධ්‍යම ජාවා දූපතේ නැන්ඩොං (Ngandong) ප්‍රදේශයේ පිහිටි සෝලෝ (Solo) නම් ගංගාවේ ඉවුරේ ගඟට මීටර් 20ක්‌ පමණ ඉහළින් පිහිටා තිබූ අස්‌ථි තැන්පත් වූ ස්‌තරයකිනි.

ගිනිකන්දක්‌ පිපිරීමේ දී හෝ ඉන්පසුව හෝ ඇති වන අධික වර්ෂාව නිසා කඳු බෑවුමේ සියලු දේ ගසාගෙන යන බරපතළ සැඩ ප්‍රවාහයකට හසු වී මේ අස්‌ථි මේ ස්‌ථානයේ තැන්පත් වන්නට ඇතැයි විශ්වාස කරනු ලැබේ. ජාවා බසින් ලහාර් (lahar) යනුවෙන් හැඳින්වෙන ඉතා චණ්‌ඩ ප්‍රවාහයක්‌ වන එයට ගලා යන ගමන් මෙඟහි හමු වන සියලු දේ ගසාගෙන යයි. මේ මිනිසුන් මිය යැමෙන් පසුව, එවැනි ප්‍රවාහයකට හසු ව ගසාගෙන විත් මේ ගංගා ඉවුරේ අස්‌ථි තැන්පත් වූ බව සැලකිය හැකි ය.

මෙහි දී හමු වී තිබුණේ හිස්‌කබලේ මුදුනට අයත් අස්‌ථි (skull cap) දොළහක්‌ හා පාදයේ කෙණ්‌ඩා අස්‌ථි (tibia) දෙකකි. මේ අස්‌ථිවලට අනුව එම මානවයන් අඩි 5-6 අතර උසකින් යුක්‌ත වූ බව ගණන් බලා ඇති අතර එය අප්‍රිකාවෙන් හා යුරේසියාවේ වෙනත් ස්‌ථානවලින් ලැබෙන Homo erectus මානවයන්ගේ ප්‍රමාණයට සමාන ය. එමෙන් ම අප මාතෘකා කරගත් ස්‌ථානයෙන් ලැබී ඇති අස්‌ථි වඩාත් මෑත කාලීන මෙන්ම වඩාත් දියුණු Homo erectus මානව පොසිල බව ද පැවසී ඇත.



මේ අස්‌ථි කාල නිර්ණය කිරීමට සඳහා එදා සිට ම විවිධ පර්යේෂකයන් උත්සාහ දරා ඇතත් ඒ පිළිබඳ විවිධ මත ඉදිරිපත් ව ඇති අතර ඒ ගැන විවාදයක්‌ පවතී. එයට හේතු වී ඇත්තේ කැණීම් බිම අවට ප්‍රදේශයේ භූවිද්‍යාත්මක තත්ත්වය සංකීර්ණ වීම හා මුල් කැණීම හා සම්බන්ධ විස්‌තර අපැහැදිලි තත්ත්වයක තිබීම ය. නිදසුනක්‌ ලෙස මේ ගැන මීට වසර විස්‌සකට පමණ පෙර කළ අධ්‍යයනයක දී ඒවා අදින් වසර 53,000ත් 27,000ත් අතර කාලයකට අයත් බවට දින නියම කර ඇත. ඒ අනුව Homo erectus මානවයන් Homo sapiens හෙවත් නූතන මානවයන් සමඟ එක ම කාලයක එම දූපතේ විසුවේ ද යන විවාදාත්මක අදහස ඇති විය.

මේ පොසිල පිළිබඳ ව වැඩිදුරටත් සොයා බැලීම පිණිස එම ස්‌ථානයේ නව කැණීමක්‌ සිදු කිරීමට අයෝවා විශ්ව විද්‍යාලයයේ පර්යේෂකයන් ප්‍රමුඛ පර්යේෂණ කණ්‌ඩායමක්‌ කටයුතු කර ඇත්තේ මෙබඳු පසුබිමක දී ය. ඒ සඳහා 1930 දශකයේ කළ කැණීම පිළිබඳ වැඩි විස්‌තර ලබාගෙන, බාධා නො වූ ස්‌ථානයක 2008-2010 කාලයේ දී කැණීමක්‌ සිදු කර ඇති අතර, අදාළ අස්‌ථි තැන්පත් වී තිබූ බොරළු සහිත තැන්පතුව හඳුනාගැනීමට හා එහි තිබූ මානව නො වන වෙනත් අස්‌ථි කාලනිර්ණය කිරීමට මේ පර්යේෂකයන්ට හැකියාව ලැබී ඇත.


නව කාලනිර්ණයක්‌


ඒ අනුව කැණීමේ දී හමු වූ සත්ත්ව අස්‌ථි සඳහා ඔවුන් කාලනිර්ණ ක්‍රම කීපයක්‌ ඇසුරින් දින නියම කර ඇත. ඒ අනුව එක්‌ කාලනිර්ණ ක්‍රමයකින් වසර 109,000 හා 106,000 අතර අවම දිනයක්‌ ලැබී ඇති අතර, තවත් කාලනිර්ණ ක්‍රමයකින් වසර 134,000 හා 118,000 අතර කාලනිර්ණයක්‌ ලැබී ඇත. මේ අනුව ආකෘතික වශයෙන් පෙර සඳහන් අදට වසර 117,000 හා 108,000 අතර දිනයක්‌ ඔවුන් ලබා දී තිබෙයි. මේ සඳහා ලබා දිය හැකි වඩාත් නිවැරැදි හා නිශ්චිත දිනය එම පර්යේෂණ කණ්‌ඩායමේ මතය වෙයි.

මේ දිනය වැදගත් වනුයේ එය Homo erectus මානවයා ජීවත් වූ බවට අප දන්නා වඩාත් ම මෑත කාලීන දින වකවානුව වීම නිසා ය. එවැනි මෑත දින වකවානුවක්‌ ලෝකයේ කිසිදු ප්‍රදේශයකින් ලැබී නැත. එමෙන් ම මේ මානවයන් ඉන්දුනීසියාවේ වසර මිලියනයක්‌ පමණ වාසය කර තිබීම ද වැදගත් ය.

අප්‍රිකාවෙන් මේ මානව විශේෂය වඳ වී ගොස්‌ ඇත්තේ අදින් වසර 500,000කට පමණ කාලයකට ඉහත දී වන අතර ආසියාවේ පිහිටි චීනයෙන් මේ මානව විශේෂය අදින් වර්ෂ 400,000කට පමණ ඉහත දී වඳ වී ගොස්‌ ඇත. එසේ නම්, ජාවා දූපතේ මේ මානවයා වැඩි කාලයක්‌ ජීවත් වූයේ ඇයි ද යන පැනය මතු වෙයි. එහෙත් මේ සඳහා ද පිළිගත හැකි මතයක්‌ ඉදිරිපත් ව ඇත. ඒ අනුව, සෙසු ස්‌ථානවල දී අනෙක්‌ මානව විශේෂවලින් ඇති වූ තරගය නිසා Homo erectus මානවයන් වඳ වී යන්නට ඇති නමුත්, ජාවා දූපතේ එවැනි තරගයක්‌ ඇති නො වූ හෙයින් මේ මානවයන් වැඩි කාලයක්‌ යන තුරු පැවතී තිබෙයි.


වඳ වී යැමට හේතු


එමෙන් ම මේ වන විට හෙළි වී ඇති පරිදි මේ පොසිල අයත් කාලයට ම`ද කලකට පෙර, එනම් වසර 130,000ක පමණ කාලයේ සිට ජාවා දූපතේ පරිසරය වෙනස්‌ වීමට පටන් ගැනිණි. එනම්, දිගු කාලයක්‌ විවෘත කැළෑ ලෙස පැවැති පරිසරය දේශගුණික වෙනස්‌ වීම් නිසා ක්‍රමයෙන් තෙත් වනාන්තරයක්‌ බවට පත් වෙමින් තිබිණි. ඇතැම් විට ජාවා දූපතෙන් Homo erectus මානවයන් වඳ වී ගියේ මේ පොසිල අයත් කාලයේ බව සිතිය හැකි බව මේ පර්යේෂකයන් දක්‌වා ඇති අදහසකි.

මීට හේතු දෙකක්‌ දක්‌වා ඇත. Homo erectus මානවයන් පිළිබඳ සාධක අදාළ අවධියෙන් පසු ව නො ලැබීම එක්‌ හේතුවකි. අනෙක්‌ හේතුව වන්නේ ඒ කාලය හා Homo sapiens හෙවත් නූතන මානවයන් එම දූපතට පැමිණි බවට සාධක ඇති කාලය වන අදින් වසර 39,000කට පෙර කාලය අතර ඇති වූ මානව ක්‍රියාකාරකම් පිළිබඳව සාධක නොමැති වීමයි. විද්‍යාඥයන් සාමාන්‍යයෙන් පිළිගන්නා පරිදි විවෘත සැවනා බිම්වලට පුරුදු වූ Homo erectus මානවයාට වර්ෂා වනාන්තරයක ගෙවන ජීවිතයකට හුරු වීමට අසීරු වන්නට ඇත. දැනට අප දන්නා පරිදි වර්ෂා වනාන්තරයක දිවි ගෙවීමට හුරු වූ එක ම මානවයා නූතන මානවයා ය. එවැනි ජීවිතයකට අවශ්‍ය විශේෂිත ශිලා මෙවලම් නිෂෘපාදනය කිරීමට Homo erectus අසමත් වීම මීට හේතුවකි.

කෙසේ වෙතත් මේ අධ්‍යයනයෙන් හෙළි වන කරුණු පිළිබඳව සමහර විද්‍යාඥයන් අතර එකඟතාවක්‌ නැත. එවැනි විද්‍යාඥයන් පෙන්වා දී ඇති පරිදි තවත් සමහර ස්‌ථානවලින් ලැබෙන පොසිල නිසි පරිදි කාල නිර්ණය කර නැති බැවින් වඳ වී ගිය දිනය හා සම්බන්ධ නිගමනවලට එළැඹීමට ඉක්‌මන් වැඩි විය හැකි ය.

මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1863-2

Sunday, November 24, 2019

ද්විපාද චරණයේ ආරම්භය තවදුරටත් අතීතයට යයි

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.11.20, පි. 05 (Vidisara)



(ඡායාරූපය - වැඩුණු පිරිමි සතාට අයත් හමු වූ පොසිල අස්ථි)


දෙපයින් ගමන් කිරීම හෙවත් ද්වීපාද චරණය යනු මානවයන් බිහි වීම සඳහා වැදගත් වූ දියුණු පරිණාමීය ලක්ෂණයක් ලෙස සැලකෙයි. එමෙන්ම දෙපා මත ඍජුව ඇවිදීමට හැකි වීම සෙසු ප‍්‍රයිමේටාවන් අතරින් ආදිමානවයින් වෙන් කළ හැකි මූලික ලක්ෂණයක්ද වෙයි. එබැවින් ද්විපාද චරණය හෙවත් දෙපාවත්බව (bipedalism) ඇති වූ කාල වකවානුව පරිණාමය ගැන අධ්‍යයනය කරන විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වූවකි. ඒ පිළිබඳව දිගු කලක සිට වාද විවාද ඇති විය. නිදසුනක් ලෙස ගතහොත්, මෙම ලක්ෂණ මානවයින්ට ලැබී තිබෙන්නේ රුක්වාසීව ජීවත් වූ ඔරන්උටන් වැනි වානරයන්ගෙන්ද, නැතහොත් ඇඟිලි මත ඇවිද යන පොළාව මත වැඩි කාලයක් ගත කරන ගොරිල්ලා වැනි වානරයෙකුගෙන්ද යන්න මෙහි දී සාකච්ඡුාවට ලක් වූ වැදගත් කරුණකි.

ද්වීපාද චරණය පිළිබඳව මේ වන විට ඇති පැරණිම නිශ්චිත සාධක වන්නේ Ardipithecus ramidus නම් ආදි මානව (hominin) විශේෂයයි. පැහැදිලිව දෙපයින් ගමන් කළ සත්ත්ව විශේෂයක් වන ඔවුන් වාසය කළේ අදින් වසර මිලියන 4.4කට පමණ කාලයකට ඉහත දීය. එමෙන්ම අදින් වසර මිලියන 6ත් 7ත් අතර කාලයකට පෙර මේ දෙපා මත සංචරණයේ ආරම්භය සිදුවන්නට ඇති බව විශ්වාස කරන්නට සාධක ඇත. චිම්පන්සින් හා බොනබෝ වැනි වානර විශේෂ අයත් වන පරිණාමීය ශාඛාව, ආදි මානව ශාඛාවෙන් වෙන්ව ගොස් ඇත්තේ අදින් වසර මිලියන 7කට පෙරය.

මේ පිළිබඳව වැදගත් වන සොයාගැනීමක් පිළිබඳ විස්තර පසුගියදා ප‍්‍රකාශයට පත් අධ්‍යයනයක සඳහන් වෙයි. එමගින් පැහැදිලි කරනු ලබන්නේ ද්වීපාද චරණය පිළිබඳ ලක්ෂණ පෙන්වන වානර විශේෂයක පොසිලයක් ගැනය. ඒ පොසිල අදින් වසර මිලියන එකොළහකටක් වඩා පැරණි ඒවාය. පොසිලවලින් හෙළි වන සාධක අනුව එම වානරයන්ගේ පුර්ව ගාත‍්‍රා හෙවත් අත් ගස්වල එල්ලී සිටීම සඳහා ගැලපෙන ඒවා වුව ද, අපර ගාත‍්‍රා හෙවත් දෙපාවල ලක්ෂණ හා කොඳු ඇට පෙළෙහි ලක්ෂණ අනුව එම වානරයන් දෙපාවලින් ගමන් කළ හැකි වූ බවයි. ඒ අනුව එම පර්යේෂකයින් විසින් ද්විපාද චරණය ආරම්භ වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර බව යෝජනා කර ඇත. එය පිළිගනු ලැබුවහොත්, ද්විපාද චරණයේ ආරම්භය සඳහා මෙතෙක් ලබා දී තිබූ කාලය වඩා ඈතට ගෙනයයි.


ජර්මනියෙන් ලැබුණු පොසිල සාධක


දකුණු ජර්මනියේ පිහිටා ඇති බැවේරියාවේ මැටි පතලකින් 2015 හා 2018 අතර කාලයේදී ලැබුණු වානර විශේෂයට අයත් සතුන් සිව්දෙනෙකුගේ පොසිල මේ අධ්‍යයනයට ලක් වූ ඒවාය. ඒ අතර පිරිමි සතෙකුගේ, ගැහැණු සතුන් දෙදෙනෙකුගේ හා පැටියෙකුට අයත් අස්ථි සාධක තිබිණි. මේ පොසිල අතර, ඌර්වස්ථි කොටස්, ජංඝාස්ථි කොටස්, අත්වල පහළ කොටස්වල අස්ථි, කොඳු ඇට කොටස් හා අත්වල හා පාදවල අස්ථා ආදිය ඇතුළත් විය.

බැලූ බැල්මට මෙම වානරයා තරමක් හෝ සමාන වන්නේ අද වෙසෙන බොනොබෝ නම් වානරයකු යා සමානය. මීටරයක් පමණ උස බව සැලකෙන මේ සත්ත්වයාගේ බර සෙසු මහා වානරයන්ගේ උසට වඩා අඩුය. පිරිමි සතෙකු කිලෝග‍්‍රෑම් 31ක් පමණද, ගැහැණු සතෙකු කිලෝග‍්‍රෑම් 18ක් පමණවන්නට ඇති බව ගණන් බලා ඇත. මෙම වානර විශේෂය Danuvius guggenmosi යන සත්ත්ව විද්‍යාත්මක නාමයෙන් නම් කර ඇත. ඔවුන් අදින් වසර මිලියන 11.62 ක් පමණ කාලයකට පෙර ජීවත් වූ බවට කාලනිර්ණය කර ඇත.

මෙම වානර පොසිලවල හමු වූ මනාව ආරක්ෂා වූ තත්ත්වයක පැවතිණි. එබැවින් මෙම වානරයින් ගමන් කරන ආකාරය පිළිබඳව මනාව අධ්‍යයනය කිරීමට පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් වැලමිට, දණහිස, උකුල හා වලලූකර වැනි ක‍්‍රියාකාරිත්වය අතින් වැදගත් ශරීර සන්ධි පිළිබඳව විශේෂයෙන් විශ්ලේෂණය කිරීමට හැකියාව ලැබී ඇත. මෙතරම් පැරණි කාලයකට අයත් එකම ඇටසැකිල්ලකින් එවැනි අවස්ථාවක් ලැබී ඇත්තේ පළමුවන අවස්ථාවට බව දක්වා ඇත.


(ඡායාරූපය - නව වානරයා මෙබඳු වන්නට ඇත)


පොසිලවල දැකිය හැකි වූ ලක්ෂණ


මෙම වානර පොසිලවල කොඳු ඇට හා පාදයේ අස්ථිවලින් පෙනී ගොස් ඇත්තේ එම සතුන් පාද දෙකකින් ගමන් කළ හෙවත් ද්විපාද චරණයේ යෙදුණු බවයි. ඇතැම් කොඳු ඇටවල හැඩය මගින් පෙනී ගොස් තිබුණේ අදාළ වානරයාගේ දේහයේ යටිකයේ පසු පෙදෙස (lower back) දිගු හා නම්‍යශීලී එකක් වූ බවයි. ඒ උඩු කයෙහි බර උකුල මත දරාගනිමිනි. එම ස්වභාවය නූතන මානවයාට පවා සිය සමබරතාවය රැුකගෙන දෙපාවලින් ඍජුව ඇවිද යෑමට උපකාර වන ලක්ෂණයකි. එමෙන්ම මෙම වානරයන්ගේ දණහිස් හා වලලූකරවලද බර දරාගැනීමට හැකි අනුවර්තන දැකිය හැකි බවද පෙන්වා දී තිබේ. මේ ලක්ෂණ අනුව එම වානරයා සිරිතක් වශයෙන් තම දෙපා මත සිය ශරීරයේ බර දරාගනිමින් ඍජුව ගමන් කළ බව හෙවත් ද්විපාද චරණයක යෙදුණු බව මෙම පර්යේෂකයන් විසින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මෙම වානරයාගේ අත් හෙවත් පූර්ව ගාත‍්‍රාවල මෙන්ම පාදවලද දැකිය හැකි වී තිබෙන්නේ වඩා වෙනස් තත්ත්වයකි. ඒවායේ දැකිය හැකි වී තිබෙන්නේ ගස්වල අතු තදින් අල්ලා ගැනීමට ගැලපෙන අනුහුරු වීම්ය. ඒ අනුව මෙම වානරයින් අපූරු හා ඔවුන්ටම ආවේණික වූ ගමන් විලාශයක් දක්වන්නට ඇති බව මේ විද්‍යාඥයන්ගේ අදහසයි. ඒ අනුව මෙම වානරයන් රුක්වාසී ජීවිතයක් ගත කළා විය හැකි අතර, දෙපාවලින් පමණක් ගමන් කරමින් සිය ශක්තිමත් අත්වලින් අතුවල එල්ලීමට හැකියාව තිබූ බව ඔවුන්ගේ අදහස වෙයි.


ද්විපාද චරණයේ ආරම්භය


ද්විපාද චරණයේ ආරම්භ වීම පරිණාමයේ වැදගත් අවස්ථාවක් වන්නේ එමගින් තවත් කටයුතු ගණනාවක් සඳහා අවස්ථාව සැලසුණු බැවිනි. යමක් ඇල්ලීමට, විමසා බැලීමට, විවිධ මෙවලම් භාවිතයට මෙන්ම යමක් රුගෙන යාම සඳහාද අවස්ථාව ලැබෙන්නේ මෙම පරිණාමීය ඉදිරි පියවරත් සමඟය.

මේ නව අධ්‍යයන වාර්තාවෙන් යෝජනා කරනු ලබන්නේ ද්විපාද චරණයේ හැකියාව ලැබෙන්නේ මානවයින් හා මහා වානරයින්ගේ පොදු පූර්වජයෙකු ගෙන් බවයි. ඒ අනුව ද්විපාද චරණය හෙවත් දෙපා මත ඇවිදීම මුලින්ම පරිණාමය වන්නේ අදින් වසර මිලියන 12කට පමණ පෙර ගස් මත විසූ වානරයෙකුගෙනි. එම දිනය මෙතෙක් විශ්වාස කළ කාලයට වඩා වසර මිලියන 5ත් 6ත් අතර කාලයක් පැරණිය. එමෙන්ම ඒ හැකියාව ලැබී තිබෙන පොදු පූර්වජයා වාසය කර තිබෙන්නේ මෙතෙක් විශ්වාස කළ ආකාරයට අප‍්‍රිකාවේ නොව, යුරෝපයේය. එය ද මෙතෙක් තිබූ පුළුල් විශ්වාසය අභියෝගයට ලක්කරන්නකි.

මේ අනුව මහා වානරයන් හා ආදිමානවයින්ගේ පරිණාමය පිළිබඳව මෙන්ම, දිවි පාද චරණය ආදිමානව ලක්ෂණයක්ය යන අදහස මෙම අධ්‍යයනයෙන් අභියෝගයකට ලක් කර ඇත. මෙහිදී යෝජනා වී ඇති පරිදි ද්විපාද චරණය ආදිමානව විශේෂ බිහිවීමට පළමුව සිදුවී තිබේ නම් එය වැදගත්ය. ද්විපාද චරණය ආදිමානවයන්ට සුවිශේෂී වූ හා ආදිමානව ස්වභාවය තීරණය කරන ලක්ෂණයක් ලෙස මේ වන විට සැලකේ. ඉහත දක්වා ඇති පරිදි එම මතය හා දිනවකවානු මෙම නව අධ්‍යයනය මගින් ප‍්‍රශ්න කර ඇත. ඒ සඳහා කෙබඳු පිළිගැනීමක් ලැබෙනු ඇතිද?


නව අදහස් පිළිගැනීමට ලක්වේද?


කෙසේ වෙතත් මේ මතය සමඟ සියලූ විද්‍යාඥයින් එකඟ නොවන බවක් පෙනෙයි. නිදසුනක් ලෙස ගතහොත් දිගු හා නම්‍යශීලී යටිකය ප‍්‍රදේශයක් තිබූ බව පැවසීමට තරම් ප‍්‍රමාණවත් කොඳු ඇට කොටස් හමු වී නැති බව සමහර විද්‍යාඥයින් පෙන්වා දී ඇත. එමෙන්ම අස්ථිවල හැඩය පමණක් පදනම් කරගෙන වානරයින් ගමන් කරන ආකාරය ගැන අදහස් දැක්වීම අපහසු බව ද තවත් විද්‍යාඥයින් පිරිසක් විසින් පෙන්වා දී ඇත. අනෙක් අතට මේ වානර විශේෂය වඩා පැරණි වූ පමණින් ආදිමානවයින්ගේ ඍජු පරිණාමීය රේඛාවට එම විශේෂය අයත් වී යැයිතීරණය කිරීම නැණවත් තීරණයක් විය හැකිද යන්න තවත් විද්‍යාඥයින් විසින් ප‍්‍රශ්න කර තිබෙයි. එක් අයෙක් පවසා ඇත්තේ ඇතැම් විට වානරයින් අතර ද්විපාද චරණය එක් වරක් නොව කීපවරකදී පරිණාමය වන්නට ඇති බවයි. එසේ ද්විපාද චරණයක් දැක්වීමට මේ වානරයින්ට යම් අවශ්‍යතාවයක් ඇති වන්නට ඇත.

මේ අනුව පෙනී යන්නේ ඉදිරි පර්යේෂණ මත මේ වානර විශේෂය අයත්වන ස්ථානය වඩා නිවැරදිව තීරණය වනු ඇති බවයි. එය පිළිගනු ලැබුණහොත් එය පුරාමානව විද්‍යාව හා පරිණාමය සම්බන්ධව වැදගත් මඟ සලකුණක් වනු ඇත. මේ අනුව මානවයින් හා මහා වානරයින් අතර ඇති අඩු පුරුක (missing link) මෙම වානරයා ද යන්න තීරණය සඳහා තවත් කල් ගත විය හැකිය.


මූලාශ්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1731-0

Thursday, October 31, 2019

පැරණිතම ආදිමානවයාගේ හිස්කබලක් සොයාගැනීම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2019.09.11, පි. 11 සහ 20 (Vidusara)

Vidusara - Not available online


නූතන මානවයාගේ මෙතෙක් දන්නා පැරණිතම පූර්වජයා ලෙස සැලකිය හැකි ආදිමානවයකුට අයත් හිස්කබලක් අප‍්‍රිකාවෙන් සොයාගැනීම පිළිබඳව පසුගිය මාසයේ වාර්තා විය. මෙය මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් හා දුර්ලභ සොයාගැනීමක් වනවා පමණක් නොව, එහි පැරණිකම පිළිබඳව සලකන විට ඉතා හොඳින් ආරක්ෂා වී තිබෙන පොසිලයක් බවද පෙනෙයි.

අප‍්‍රිකා මහාද්වීපයේ ඉතියෝපියාවේ පිහිටා තිබෙන වොර්සානෝ-මිල් (Woranso-Mille) නම් ප‍්‍රදේශයේ වයඹ දිගින් පිහිටි ස්ථානයක කැනීම් අතරතුර 2016 වර්ෂයේදී එක් පර්යේෂකයෙකුට ප‍්‍රදේශවාසියෙකු විසින් ගෙනැවිත් දුන් ආදිමානවයකුට අයත් උඩු හනු අස්ථියකින් මෙම සොයාගැනීම පිළිබඳ කතාව ආරම්භ වෙයි. එම ලැබුණු ස්ථානය වැඩිදුර පරීක්ෂා කිරීමෙන් පසුව උඩු හනුව ලැබුණු තැන සිට මීටර් 3ක් පමණ ඔබ්බෙන් තිබී හිස්කබලක කොටස් ලැබී ඇත. මේ පිළිබඳව සිදුකරන ලද වැඩිදුර විශ්ලේෂණවලින් එහි වැදගත්කම හෙළි වී තිබෙයි.


පැරණිම ආදිමානව පොසිලය?

මෙම හිස්කබල Australopithecus anamensis විශේෂයට අයත් ආදිමානවයකුගේ බවට විද්‍යාඥයින් විසින් නිගමනය කර ඇත්තේ මූලික වශයෙන් එහි රදනක දත, උඩුහනුව හා ශංඛක අස්ථිය (temporal bone) අස්ථියෙහි ව්‍යුහය හා වෙනත් ලක්ෂණ පදනම් කරගනිමිනි. එම හිස්කබලේ දින වකවානු අනුව එම ආදිමානවයා අදින් වසර මිලියන 3.8ක් පමණ කාලයකට පෙර ජීවත් වූ අයෙකි. රසායනික වශයෙන් එකිනෙකට සම්බන්ධිත ගිනි කඳු ස්තර (chemically correlated volcanic layers) හා පුරාචුම්බක ස්තරායනය (palaeomagnetic stratigraphy) හා දින නියම කර තිබෙන ගිනි කඳු අළුවලින් සැදුණු පාෂාණ (tuff) පිළිබඳ දත්ත අනුව මෙම කාලනිර්ණය සිදුකර ඇත.

අදින් වසර මිලියන 4ත් 2ත් අතර කාලයේදී අප‍්‍රිකාවේ වාසය කළ මූලික ආදි මානව විශේෂය ලෙස සැලකෙන්නේ මෙම Australopithecus ගනයට අයත් ආදිමානවයන්ය. ඔවුන් අප මෙන්ම ඍජුව ගමන් කළ අතර එහෙත් මොළයේ ප‍්‍රමාණය නූතන මානවයාට වඩා කුඩා විය. Australopithecus ගනයට අයත් විශේෂ ගණනාවක් පිළිබඳ පොසිල සාධක කෙන්යාව හා ඉතියෝපියාව වැනි රටවලින් ලැබී තිබෙයි. ලෝක ප‍්‍රකට ආදිමානව පොසිලයක් වන ලූසී අයත් වන්නේ මෙම ගනයටම අයත් වන Australopithecus afarensis විශේෂයටය.

1995 වර්ෂයේදී මුලින්ම විස්තර කරන ලද, අප මාතෘකා කරගත් පොසිලය අයත් Australopithecus anamensis විශේෂය මෙතෙක් හෙළිදරව් වී තිබෙන වඩාත් පැරණිම ආදිමානව විශේෂයට අයත් පොසිලය වෙයි. ඔවුන් වාසය කර තිබෙන්නේ අදින් වසර මිලියන 4.2ත් 3.9ත් අතර කාලයේදී බව මෙතෙක් පිළිගැනිණි. මෙම ආදිමානව විශේෂය රුක්වාසී ජීවීතයෙන් ඉවත්ව දෙපා මත සංචරණය ආරම්භ කළ සමයේ විසූවන් බවටද විශ්වාස කරනු ලැබෙයි. එහෙත් ඔවුන්ගේ මුහුණ වානරයින්ගේ මෙන් නෙරා තිබීම, ශක්තිමත් හනු තිබීම, ප‍්‍රමාණයෙන් කුඩා මොළයක් තිබීම (එය නූතන මානවයකුගේ මොළය මෙන් හතරෙන් එකක් තරම්ය) වැනි ලක්ෂණ විශේෂයක් ගනියි.

එමෙන්ම මෙම විශේෂයට අයත් ආදිමානවයෙකුගේ මුහුණ කෙසේ වූයේද යන්න ගැන අදහසක් ලබාගැනීමට හැකි වූ අවස්ථාවක් ලෙසද මෙය සැලකෙයි. මෙම හිස්කබල යොදාගනිමින් මුහුණ ප‍්‍රතිනිර්මාණය කිරීමටද හැකියාව ලැබී තිබෙයි. පිරිමියෙකුට අයත් බව සිතිය හැකි වූ මෙම හිස්කකබල හිමි තැනැත්තා වියපත්ව මියගිය අයෙකි. එලෙස නිගමනය කිරීමට හේතුව වන්නේ දත් සැලකිය යුතු තරම් අධික ලෙස ගෙවී ගොස් තිබීමය.


පරිණාමය සඳහා වැදගත්කම


මෙම අනාවරණයත් සමඟ පරිණාමය පිළිබඳ මෙතෙක් පිළිගත් මතයකට යම් අභියෝගයක්ද එල්ල වී තිබෙයි.
සාමාන්‍යයෙන් පිළිගැනෙන පරිදි නූතන මානවයා අයත් වන අදින් වසර මිලියන 2.8කට පමණ පෙර කාලයකදී බිහි වූ බව සැලකෙන Homo ගනයේ මානවයින්ට පූර්වජයා වූයේ සුප‍්‍රකට ලූසී අයත් වන Australopithecus afarensis විශේෂයයි. එම විශේෂයේ පොසිල අතර වඩාත් මෑත ඒවා අදින් වසර මිලියන 3ක් පමණ කාලයකට අයත්ය. එය Homo ගනයේ මානවයින්ගේ සම්භවය හා ගැලපෙයි.

එහෙත් එම Australopithecus afarensis විශේෂයේ ආදිමානවයින්ගේ පූර්වජයා කවරෙක් වීද යන්න ගැන පොදු එකඟතාවයක් තිබුනේ නැත. එහෙත් මෙම ලිපියට මාතෘකා වූ පොසිලය අයත් Australopithecus anamensis විශේෂය Australopithecus afarensis විශේෂයේ පූර්වජයා බවට බොහෝ මානව විද්‍යාඥයින්ගේ මතය විය. එයට හේතුව වූයේ Australopithecus anamensis වඩා පැරණි වීමත් වඩා වානර ස්වරූපයත් ගැනීමත්ය. එසේ වූයේ නම් එම විශේෂ දෙක එකම කාලයක විසීමක් සිදුවිය නොහැකිය.

කෙසේ වෙතත් ඉතියෝපියාවෙන් මෙහි සඳහන් වන හිස්කබල සෙයාගැනීමත් සමඟ මේ පිළිබඳව යළිත් සිතා බැලීමට සිදුවන බව විද්‍යාඥයන්ගේ මතයයි. මෙම නව සොයාගැනීමට අනුව Australopithecus anamensis ආදිමානවයාගේ වානර ලක්ෂණ අඩුවීමට පටන් ගෙන තිබීම සැලකිය යුතු කරුණකි. එම විශේෂයේ රදනක දත් කුඩා වීමට පටන් ගෙන තිබෙයි. රදනක දත් විශාල වීම වඩා පැරණි ආදිමානව පොසිලවල දැකිය හැකි විය. එමෙන්ම හා කම්මුල් අස්ථි කැපී පෙනෙන්නට ගෙන තිබිණි.

එබැවින් දැන් මෙම හිස්කබල සෙයාගැනීමත් සමඟ මෙම විශේෂ දෙක අතර කලින් සිතුවාට වඩා වෙනස්කම් තිබෙන බව දැන් හෙළි වී ඇත. එම වෙනස්කම් මෙන්ම මෙම හිස්කබලෙහි දින නිර්ණය වන වසර මිලියන 3.8ක් යන්නට අනුව පෙනෙන්නේ එම විශේෂ දෙක අවම වශයෙන් වසර 100,000ක පමණ කාලයක් එකට ජීවත් වී ඇති බවයි. ඒ අනුව Australopithecus afarensis විශේෂයේ පූර්වජයා ලෙස Australopithecus anamensis සැලකිය හැකිද යන්න ගැටලූවක් වෙයි. 

කෙසේ වෙතත් මේ පිළිබඳව වඩා තාර්කික පැහැදිලි කිරීමක් මෙම විද්‍යාඥයින් විසින්ම ඉදිරිපත් කර තිබෙයි. ඒ අනුව, Australopithecus anamensis විශේෂයේ ජීවීන් අතරින් වෙන්ව ගිය ගහනයක් Australopithecus afarensis බිහි වීමට හේතු වන්නට ඇත. අනෙක් කොටස තවදුරටත් Australopithecus anamensis ලෙස පැවත එන්නට ඇත. එවැනි තත්ත්වයක් ඇති වීමට හැකියාව තිබෙන භූ විෂමතාවයක් එකල තිබූ බවට ඕනෑ තරම් සාධක පවතී. දැඩි බෑවුම් සහිත කඳු, ගිනි කඳු හා ලාවා ගලායෑම් නිසා එකම විශේෂයක ගහන කිහිපයක් එකිනෙකාගෙන් හුදකලා වීමට හා පරිණාමය වීමට ඕනෑ තරම් අවස්ථා තිබී ඇත. එම විශේෂ දෙක එකම කාලයක විසීම සිදුවිය හැක්කේ එවැනි තත්ත්වයක් තුළය.

මේ අයුරින් Homo ගහනයේ පූර්වජයා හැකි ආදිමානව විශේෂ දෙකක් එක් කලක විසූ බවට සාධක හමුවීම නිසා එයින් කුමන විශේෂයක් Homo ගනයේ පූර්වජයා වීද යන්න නිගමනය කිරීම තරමක දුෂ්කර එකක් කරයි. මෙය පරිණාමය වඩා සංකීර්ණ එකක් කරන බවද පෙනෙයි. එමෙන්ම මේ පිළිබඳව දැනට ඇති සාධක මගින් අවසන් නිගමනයකට පැමිණීමට අපහසුය. 

කෙසේ වෙතත් එක් කරුණක් පැහැදිලිය. මෙම හිස්කබල නිසා Australopithecus anamensis යනු මේ වන විට අප දන්නා පැරණිතම ආදිමානව විශේෂය බවට දැන් සැකයක් නැති තරම්ය. එබැවින් මෙම සොයාගැනීම මානව පරිණාමය හා සම්බන්ධව වැදගත් සොයාගැනීමකි.

මූලාශ‍්‍රය - Nature, DOI: 10.1038/s41586-019-1513-8 හා 10.1038/s41586-019-1514-7

Monday, April 29, 2019

Homo luzonensis - පිලිපීනයෙන් හමු වූ ආදි මානව විශේෂය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 24.04.2019, පි. 08 (Vidusara)

http://www.vidusara.com/2019/04/24/feature1.html



අතීතයේ ජීවත් වූ ආදි මානව විශේෂයක්‌ පිළිබඳ තොරතුරු පිලිපීනයෙන් අනාවරණය කරගැනීමට පර්යේෂකයන් පිරිසක්‌ සමත් වී ඇත. මේ සාධක හමු වී ඇත්තේ පිලිපීනයේ ලුසොන් (Luzon) දූපතේ උතුරු ප්‍රදේශයේ පිහිටා ඇති කලාඕ ලෙන (Callao Cave) නම් ගුහාවක සිදුකරන ලද කැණීම්වලිනි. අදින් වසර 50,000 - 67,000 අතර කාලයක්‌ පමණ පැරැණි මේ ෆොසිල අයත් මානව විශේෂය නම්කර ඇත්තේ Homo luzonensis යනුවෙනි.

මේ කතාව ආරම්භ වන්නේ 2007 වර්ෂයේ දී මේ ලෙනෙහි සිදුකළ කැණීම්වලින් හමු වූ තුන්වැනි පාදකූර්චෝපරිය අස්‌ථියක්‌ අදින් වර්ෂ 67,000ක්‌ පමණ පෙර කාලයකට අයත් වූ බවට කාල නිර්ණය කිරීමත් සමඟ ය. එය පිලිපීනයේ මානව පැවැත්ම පිළිබඳ පැරැණි ම සාධකය විය. මේ අස්‌ථියේ පැවැති වක්‍රතාව හා ප්‍රමාණයෙන් වඩා කුඩා වීම සෙසු මානවයන්ට වඩා වෙනස්‌ ලෙස හඳුනාගන්නා ලදි. එහෙත් ඊට වඩා විශ්ලේෂණයක්‌ කිරීමට ප්‍රමාණවත් තරම් සාධක නො ලැබුණු බැවින් පර්යේෂකයන්ගේ නිගමනය වූයේ එය Homo ගණයට අයත් වූ මානවයකුට අයත් වූවක්‌ ලෙස ය. එම සොයාගැනීම පිළිබඳ ව 2010 දී ලිපියක්‌ ප්‍රකාශයට පත් කරන ලදි (මූලාශ්‍රය - Journal of Human Evolution, DOI: 10.1016/ j.jhevol.2010.04.008).

ඉන් පසුව වර්ෂ කිහිපය තුළ එම ලෙන තුළ වැඩිදුරටත් කැණීම් දියත් කළේ මේ මානවයා පිළිබඳ ව වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරගැනීමේ අපේක්ෂාවෙනි. අන්තර්ජාතික පර්යේෂකයන් පිරිසක්‌ විසින් සිදුකරන ලද මේ පර්යේෂණවල ප්‍රතිඵල අනුව එම ෆොසිල අයත් වන්නේ නව ආදි මානව විශේෂයකට යනුවෙන් නිගමනය කිරීමට හැකි වී ඇත.


ප්‍රාථමික හා භින්න ලක්ෂණ



කලාඕ ලෙනෙහි, කලින් ෆොසිල හමු වූ ස්‌තරයෙහි ම සිදුකරන ලද කැණීම්වලින් වැඩිහිටියන් දෙදෙනකුට හා ළමයකුට අයත් ෆොසිල 12ක පමණ ශේෂ හමු වී තිබෙයි. මෙහි දී වැඩිහිටියන්ට අයත් ඇඟිලි අස්‌ථි, පා ඇඟිලි අස්‌ථි හා දත් ද ළමයකුට අයත් ඌර්වස්‌ථියක්‌ හෙවත් කලවා ඇටයක්‌ හමු වී ඇත. මේ අස්‌ථි සියල්ල පිළිබඳ ව සිදුකරන ලද පුළුල් විශ්ලේෂණයක්‌ මඟින් මේ ෆොසිල අයත් වන්නේ Homo luzonensis නම් අලුත් ආදි මානව විශේෂයකට බව මේ මස මුල දී නේචර් සඟරාවේ පළ වූ පර්යේෂණ ලිපියක පළ විය.

මේ ෆොසිලවල ප්‍රාථමික (primitive) හා අත්පත් කරගත් හෙවත් භින්න (derived) ලක්ෂණ සමූහයක්‌ දැකිය හැකි වීම විශේෂයකි. මෙහි දී දැකිය හැකි වූ ඇතැම් ප්‍රාථමික ලක්ෂණ අතීතයේ විසූ ඔස්‌ට්‍රලෝපිතකස්‌ (Australopithecus afarensis) මානවයාට වඩාත් සමාන වී ඇත. Australopithecus මානවයන් මෙලොව ජීවත් වී වඳ වී ගියේ අදින් වසර මිලියන දෙකකට පමණ ඉහත දී වන අතර, ඔවුන් Homo ගණයේ මානවයන්ගේ පූර්වජයන් ලෙස සැලකෙයි (වසර මිලියන 3.1ක්‌ පමණ පැරැණි සුප්‍රකට ලුසී නම් මානව ඇටසැකිල්ල අයත් වන්නේ මේ ආදි මානව විශේෂයට ය).

Homo luzonensis සතු වූ ප්‍රාථමික ලක්ෂණ අතරින් එක්‌ ලක්ෂණයක්‌ වන්නේ පුරශ්චාර්වක දත් ප්‍රමාණයෙන් විශාල වීම හා ඉන් එකක අතිරේක දන්ත මූලයක්‌ තිබීම ය. මේ මානවයාගේ අත් හා පාදවල අස්‌ථිවල ද දැකිය හැකි වූ වක්‍රතාව ද ප්‍රාථමික ලක්ෂණයකි. එවැන්නක්‌ දැකිය හැක්‌කේ ගස්‌ නැඟීම සිදු කරන රුක්‌වාසී විශේෂවල ය. රුක්‌වාසී ජීවිතයකින් පොළාව මත ජීවත්වීමට හුරු වූ දා සිට නූතන මානවයාගේ මේ රුක්‌වාසී අනුවර්තන සියල්ල නැති විය. මේ නිසා අදින් වස ර 67,000කට පමණ පෙර විසූ මානව පූර්වජයකු ගෙන් රුක්‌වාසී අනුවර්තන බලාපොරොත්තු වීම අපේක්ෂා කළ නො හැකි කරුණකි.

එමෙන් ම පිලිපීනයෙන් සොයාගත් මානවයාගේ දැකිය හැකි භින්න ලක්ෂණ අතර කුඩා චාර්වක දත් තිබීම දක්‌වා ඇත. එය වඩාත් සමාන වන්නේ Homo sapiens හෙවත් නූතන මානවයාට ය.

Homo luzonensis මානවයාගේ අස්‌ථි ප්‍රමාණයෙන් කුඩා වීම තවත් සුවිශේෂ කරුණකි. දත් ප්‍රමාණයෙන් කුඩා වීම මෙහි දී පැහැදිලි ව හඳුනාගැනීමට හැකි ව ඇත. සාමාන්‍යයෙන් දත්වල ප්‍රමාණයෙන් ක්ෂරපායී සතුන්ගේ සමස්‌ත ශරීර ප්‍රමාණය නිරූපණය වෙයි. ඒ අනුව මේ මානවයා සාපේක්ෂව ප්‍රමාණයෙන් කුඩා මානවයකු වූ බව පර්යේෂකයන්ගේ මතය වෙයි.

කෙසේ වෙතත් මේ මානවයාගේ උස පිළිබඳ ව නිශ්චිත ව පැවසීමට තරම් මේ දත්ත ප්‍රමාණවත් නැත. ඔවුන්ගේ උස නිශ්චිත ව ගණනය කිරීමට නම් තවත් අස්‌ථි අවශ්‍ය ය. මේ මානවයන් ප්‍රමාණයෙන් කුඩා නම්, මානව පූර්වජයන් අතරින් ශරීර ප්‍රමාණයෙන් කුඩා වන දෙවන විශේෂය ඔවුන් ය. මෙවැනි පළමු විශේෂය වන්නේ ඉන්දුනීසියාවෙන් හමු වූ Homo floresiensis නම් විශේෂයයි.

මෙවැනි එකිනෙකට වෙනස්‌ වූ ලක්ෂණ එක්‌ වූ අවස්‌ථාවක්‌ වෙනත් මානව අස්‌ථි සැකිල්ලක දැකිය නො හැකි වීම පර්යේෂකයන්ගේ අවදානයට ලක්‌ වූවකි. ඒ අනුව මොවුන් නව විශේෂයක්‌ ලෙස නම් කිරීමට මෙය මූලික සාධකයක්‌ ලෙස ගෙන ඇත.


පරිණාමීය ඉතිහාසය



Homo luzonensis මානවයාගේ පූර්වජයන් හඳුනාගැනීම තවමත් පහසු නො වන්නේ ප්‍රමාණවත් සාධක නැති බැවිනි. ඉහත ෆොසිල හමු වූ ලෙනට ආසන්න ප්‍රදේශවල සිදුකරන ලද කැණීම්වලින් අදින් වසර 700,000ක්‌ පමණ කාලයකට පෙර දඩයම් කරන ලද රයිනෝසිරස්‌ සතුන්ගේ අස්‌ථි හා ගල් ආයුධ හමු ව ඇත. කෙසේ වෙතත් ඒ සතුන් දඩයම් කරන ලද්දේ මේ Homo luzonensis මානවයන් ම ද, නැත හොත් ඔවුන්ගේ පූර්වජයෙක්‌ ද යන්න නිශ්චිත ව කීමට නො හැකි ව ඇත්තේ සත්ත්ව ඇටකටු සමඟ මානව ශේෂ හමු වී නැති නිසා ය. මේ දක්‌වා පිලිපීනයෙන් ලැබී ඇති එක ම මානව ෆොසිල වන්නේ අදින් වසර 30,000කට පමණ කාලයකට පෙර විසූ බවට දින නියම කර ඇති නූතන මානව (Homo sapiens) ෆොසිලයකි. එම ෆොසිල සමහරක්‌ සාපේක්ෂ ව කුඩා ශරීර ඇති පුද්ගලයන්ගේ වුව ද ඒවායේ ප්‍රාථමික ශරීර ලක්ෂණ දැකිය නො හැක. එමෙන් ම ආසියාවේ විසූ සෙසු මානව විශේෂ හා මේ Homo luzonensis මානවයා අතර සම්බන්ධයක්‌ වී ද යන්න විමසීමට ද දැනට ඇති ෆොසිල සාධක ප්‍රමාණවත් නො වෙයි. එමෙන් ම මේ මානවයා ගෙන් පැරැණි DNA ලබාගැනීමට ගත් උත්සාහය ද අසාර්ථක වී ඇත.

එහෙත් මේ මානවයාගේ සම්භවය සෙවීමේ දී වැදගත් වන තවත් මානවයෙක්‌ පිළිබඳ සාධක තිබෙයි. ඒ ඉන්දුනීසියාවේ ตලෝරේස්‌ දූපතෙන් 2004 වර්ෂයේ දී අනාවරණය කරගත් හොබිට්‌ හෙවත් Homo floresiensis මානවයා ය. පිලිපීනයෙන් හමු වූ මානවයා මෙන් ම හොබිට්‌ මානවයා ද කුඩා ශරීරයක්‌, කුඩා මොළයක්‌ සහිත හා තවත් ප්‍රාථමික ලක්ෂණ දරන, එහෙත් වඩාත් මෑත යුගයක්‌ දක්‌වා ජීවත් වූ මානවයෙකි. හොබිට්‌ මානවයාගේ සම්භවය පිළිබඳ ව මත දෙකක්‌ පවතී. පළමු මතය අනුව ඔවුන් විශාල ශරීරයක්‌ හා විශාල මොළයක්‌ සහිත වූ Homo erectus නම් ආදි මානවයා ගෙන් පැවත එන අතර පසුව විසූ පරිසරයේ සීමිත සම්පත්වලට හැඩගැසී කුඩා වූ මානව විශේෂයකි. දෙවැනි මතයෙන් පැවසෙන්නේ වඩා ප්‍රාථමික මානව පූර්වජයකු ගෙන් පැවත එන ඔවුන් කිසියම් ක්‍රමයකින් අප්‍රිකාවේ සිට ආසියාවට සංක්‍රමණය වී ඇති බව ය. මෙවැනි පරිණාමීය මාවතක්‌ පිලිපීනයේ විසූ මානවයා සම්බන්ධ පැහැදිලි කිරීම් සඳහා ද යොදාගත හැකි බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එහෙත් ඒ සඳහා තවත් සාධක අවශ්‍ය ය.

අනෙක්‌ අතට Homo luzonensis මානවයා සම්භවය මෙන් ම දිගු කාලයක්‌ තිස්‌සේ පැවැත්ම කෙබඳු දැයි යන්න සැලකිය යුතු කරුණකි. නිදසුනක්‌ ලෙස ගත හොත් ඔවුන් නූතන මානවයා (Homo sapiens), නියෑන්ඩර්තාල්, ඩෙනිසෝවන් හා Homo floresiensis වැනි වෙනත් ආදි මානව විශේෂ සමඟ සමකාලීන ව ජීවත් වී ඇත. ඒ අනුව ආසියානු කලාපය ද මානව පරිණාමික ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක්‌ සිදුකර ඇති බව පැහැදිලි ය. විශේෂයෙන් පිලිපීනය යනු සැලකිය යුතු කාලයක්‌ තිස්‌සේ මුහුදින් වට වී ආසියානු මහාද්වීපයෙන් වෙන් වී තිබූ විශාල ප්‍රමාණයේ දූපත්වලින් යුක්‌ත වූ භූමියකි. එවැනි භූමියක දී විශේෂීකරණය වීමට හැකියාව තිබෙයි. එබැවින් පිලිපීනයෙන් ආදි මානව විශේෂ හමුවීම සඳහා අවස්‌ථාව පවතී. මෙමඟින් පෙනෙන කරුණක්‌ වන්නේ ප්‍රාග් ඉතිහාසයේ අප තවමත් නො දන්නා දේ ඇති බවයි.

මූලාශ්‍රය : Nature, DOI: 10.1038/s41586-019-1067-9

Tuesday, August 28, 2018

නූතන මානවයා පරිසරයට අනුහුරු වීම සෙසු ආදි මානවයන්ට වඩා ඉදිරියෙන්

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 15.08.2018, පි. 11, (Vidusara)

http://www.vidusara.com/2018/08/15/feature4.html





Homo ගණයේ සෙසු විශේෂ අභිබවා Homo sapiens හෙවත් නූතන මානවයාගේ සාර්ථකත්වයට හේතු වූ කරුණු මොනවා ද යන්න ද කලක්‌ තිස්‌සේ පර්යේෂකයන්ගේ අවධානයට යොමු වූ කරුණකි. ඒ සම්බන්ධ ව මේ දක්‌වා යම් හෝ පිළිගැනීමකට ලක්‌ ව ඇති කරුණු අතර, සංකේත භාවිතයට ඇති හැකියාව (symbolism) හා ප්‍රජානන වෙනස්‌කම් (cognitive changes) වැනි කරුණු වෙයි. එම අංශවල දැකිය හැකි දියුණුව නිසා අප අයත් වන නූතන මානවයා සෙසු මානවයන් අභිබවා ඉදිරියට ගිය බව එම අදහස්‌වලින් පැහැදිලි කර ඇත.

කෙසේ වෙතත් මේ පිළිබඳ ව නව කල්පිතයක්‌ පර්යේෂකයන් දෙදෙනකු විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත. එම කල්පිතයට අනුව ලෝකය පුරා විවිධ වූ හා ආන්තික වූ පරිසර අත්පත් කරගැනීමට නූතන මානව විශේෂයට ඇති හැකියාව හේතුවෙන් අනෙක්‌ Homo විශේෂ ඉක්‌මවා ලීමට හා අපේ විශේෂය මේ ගණයේ ඉතිරි ව ඇති අවසන් විශේෂය වීමට අවස්‌ථාව ලැබී ඇත. ඒ අනුව ඔවුන් ඉදිරිපත් කරන නූතන මානවයාගේ සුවිශේෂ පාරිසරික ස්‌ථානගත වීම ගෝලීය වූ සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු (generalist specialist) ලෙස හඳුන්වා දී තිබෙයි. මේ අනුව නූතන මානව විශේෂය පාරිසරික වශයෙන් සුවිශේෂ වූයේ කෙසේ ද යන්න තේරුම් ගැනීම පිළිබඳ ව අවධානය යොමු කළ යුතු බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

අධ්‍යයනයේ පසුබිම


මේ පර්යේෂණ පත්‍රිකාව සඳහා පදනම් වී ඇත්තේ මධ්‍ය හා අපර ප්ලයිස්‌ටොසීන යුගයේ දී (අදින් වසර 300,000 සිට 12,000 දක්‌වා වූ කාලයේ දී) අප්‍රිකාවේ හා ඉන් පිටත ප්‍රදේශවල සිදු වූ ආදි මානවයන්ගේ ව්‍යාප්තිය පුරාවිද්‍යාත්මක හා පුරාපරිසර විද්‍යාත්මක දත්ත යොදාගනිමින් සිදු කරන ලද සවිස්‌තර සමාලෝචනයකි.

මෙහි දී Homo sapiens හෙවත් නූතන මානව විශේෂය හා ඔවුන්ට පෙර හා ඔවුන්ට සමකාලීන ව විසූ මානව විශේෂ වූ Homo erectus හා Homo neanderthalensis වැනි විශේෂ හා පරිසරය අතර පැවැති සම්බන්ධතාව පිළිබඳ ව අවධානය යොමු කර ඇත. එහි දී පැවැති පාරිසරික තත්ත්ව හා ඒවාට අනුහුරු වූ ආකාරය පිළිබඳ ව සැලකිල්ල යොමු කර තිබෙයි. අපේ පූර්වජයන්ට හා සමකාලීන වෙනත් Homo ගණයේ සාමාජිකයන්ට වඩා නූතන මානවයන් වෙනස්‌ වූ එක්‌ ප්‍රධාන කරුණක්‌ වූයේ ඔවුන් කාන්තාර, නිවර්තන වනාන්නර, ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශ හා ප්‍රාග් ආක්‌ටික්‌ ප්‍රදේශ වැනි අභියෝගාත්මක පරිසර ගණනාවක්‌ ජනාවාස කරගැනීම ය. එපමණක්‌ නො ව මේ ඇතැම් ආන්තික පරිසරවලට අනුහුරු වීමේ දී දැක්‌වූ විශේෂිතභාවය ද වැදගත් විය.

අනාවරණය වූ කරුණු


මේ පර්යේෂණ පත්‍රිකාවේ දී ඉදිරිපත් කර ඇති වැදගත් හෙළි කිරීම් මෙසේ සැකෙවින් දැක්‌විය හැකි ය. සෙසු Homo විශේෂ අතරින් Homo erectus මානවයා වැනි මානවයන් අප්‍රිකාවෙන් පිටත ඇතැම් ප්‍රදේශවලට ව්‍යාප්ත වී ඇත. එහි දී මේ මානවයන් වනාන්තර හා තෘණබිම් වැනි පරිසර පද්ධති භාවිත කර ඇති බව මේ වන විට ලැබී ඇති සත්ත්ව, ශාක ආදි අවශේෂ මඟින් පෙනී ගොස්‌ ඇත. Homo florensis වැනි මානව විශේෂයක්‌ නිවර්තන වනාන්තර භාවිත කර ඇති බවට අදහස්‌ පළ වී ඇතත් ඒ පිළිබඳ ව තවමත් ප්‍රමාණවත් හා පිළිගත හැකි සාධක නොමැති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි.

Homo neanderthalensis මානවයා පිළිබඳ ව මීට වඩා වෙනස්‌ අදහසක්‌ තිබුණේ ඔවුන් වඩා ඉහළ අක්‌ෂාංශ ප්‍රදේශ වන යුරේසියානු ප්‍රදේශවල වාසය කළ නිසා ය. අදින් වසර 250,000ත් 40,000ත් අතර කාලයේ වාසය කළ ඔවුන් ඒ පිළිබඳ ව විශේෂඥතාවක්‌ දැක්‌වූ බවට අදහසක්‌ විය. මේ සඳහා පදනම් කරගෙන ඇත්තේ ශීත කාලගුණ තත්ත්වයට ඔරොත්තු දෙන මුහුණු හැඩයක්‌ තිබීම හා වූලි මැමත් වැනි මහා ක්‌ෂිරපායී විශේෂ දඩයම් කිරීම සඳහා පෙලඹීමයි. කෙසේ වෙතත්, මේ පිළිබඳව ඇති සාධක විමසා බැලූ මේ පර්යේෂකයන්ගේ නිගමනය වූයේ නියෑන්ඩර්තාල් මානවයන්ගේ අවධානය මූලික වශයෙන් යොමු වූයේ වනාන්තර හා තෘණභූමි සහිත විවිධ පරිසර පද්ධතිවලට බවයි. ඔවුන් මධ්‍යධරණී ප්‍රදේශවල සිට සෞම්‍ය කලාපීය උතුරු යුරේසියාව දක්‌වා වූ ප්‍රදේශයක විවිධ සතුන් දඩයම් කිරීමේ යෙදී ඇත.

එහෙත් මේ Homo විශේෂ සමඟ සංසන්දනය කරන විට නූතන මානවයා වඩා විශාල විවිධත්වයක්‌ සහිත හා ආන්තික තත්ත්ව සහිත පරිසරයන්හි සිය වාසස්‌ථාන පිහිටුවීමට සමත් විය. අදින් වසර 80,000ත් 50,000ත් අතර කාලයකට ඉහත දී ඔවුහු ඉහළ උන්නතාංශයක්‌ සහිත ප්‍රදේශවල ජනාවාස ඇති කරගත්තෝ ය. අදින් වසර 45,000කට පමණ පෙර කාලය වන විට ආක්‌ටික්‌ ප්‍රදේශ ගණනාවක හා ආසියාවේ, මෙලනීසියාවේ හා ඇමෙරිකාවේ නිවර්තන වනාන්තර තුළ ද වාසස්‌ථාන ඇති කරගෙන තිබිණි. එසේ ම උතුරු අප්‍රිකාවේ, අරාබි අර්ධද්වීපයේ හා වයඹදිග ඉන්දියාවේ කාන්තාර ප්‍රදේශවල නූතන මානවයන් ව්‍යාප්ත වූ බව පෙන්වන සාධක ලැබීමත් සමඟ ඔවුන් නව ප්‍රදේශවලට අනුහුරු වීමේ දී දැක්‌වූ දක්‌ෂතාව මනාව පැහැදිලි වෙයි. එසේ ම ටිබෙට්‌ හා ඇන්ඩීස්‌ කඳුකරය වැනි ඉහළ උන්නතාංශයක්‌ හා ආන්තික තත්ත්ව සහිත පරිසරවලට හැඩගැසීමට හැකි වීම මේ විශේෂයේ ඉදිරි පැවැත්මට වැදගත් විය. එසේ ම මේ හැකියාව නූතන මානවයාගේ නව්‍ය වූ හැකියාවක්‌ විය.

සුවිශේෂී තත්ත්වය


මේ පාරිසරික වශයෙන් වූ සුවිකාර්යතාවට (plasticity) - එනම් බෙහෙවින් එකිනෙකට විවිධ වූ පරිසර අත්පත් කරගැනීමට ඇති හැකියාවට - හේතුව හා එහි ආරම්භය තරමක්‌ අපැහැදිලි ය. එය ඇතැම් විට Homo sapiens නූතන මානව විශේෂයේ අදින් වසර 300,000ත් 200,000ත් අතර සිදු වූ ආරම්භය හා බැඳුණු එකක්‌ විය හැකි ය. එය සාමාන්‍යයෙන් පිළිගැනෙන කරුණකි. එහෙත් මෙසේ නව පරිසර පද්ධතිවලට නූතන මානවයා අනුහුරු වීමේ දක්‌ෂතාවට හේතු වූ කරුණු අනාගතයේ දී වඩාත් පැහැදිලි විය හැකි ය.

මේ ආකාරයෙන් ලෝකයේ මහාද්වීපවලින් බහුතරයක විවිධ වූ පරිසර පද්ධතිවල මානව පැවැත්ම සඳහා සාධක ලැබීම පසුපස නව පාරිසරික නිකේතනයක්‌ හෙවත් අවකාශයක්‌ ඇති බව පර්යේෂකයන්ගේ අදහස වෙයි. එය ඔවුන් දක්‌වන්නේ පෙර සඳහන් කළ 'සාකල්‍යකරුවකු වූ විශේෂඥයකු' යනුවෙනි. මෙහි සාකල්‍යකරුවකු ලෙස හඳුන්වනු ලබන්නේ විවිධ වූ වෙනස්‌ සම්පත් භාවිත කළ හැකි හා විවිධ වූ පාරිසරික තත්ත්වවල වාසය කළ හැකි මිනිසුන් ය. එහෙත් විශේෂඥතාව යනුවෙන් මෙහි දී හඳුන්වන්නේ සීමිත ආහාර වර්ග ප්‍රමාණයක්‌ හා පරිසරයට ඔරොත්තු දිය හැකි සීමිත වූ පිරිස්‌ පිළිබඳව ය. කෙසේ වෙතත් නූතන මිනිසුන් මේ විශේෂඥ ගහන පිළිබඳ ලක්‌ෂණ (කඳුකර වැසි වනාන්තරවාසීන් හා පුරාආක්‌ටික්‌ මැමත් දඩයක්‌කරුවන් වැනි) මෙන් ම සාකල්‍යයික ගහන පිළිබඳ ලක්‌ෂණ ද දරයි.

මේ තත්ත්වය නූතන මානවයාගේ පැවැත්ම සඳහා වැදගත් වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහස වෙයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, මේ හැකියාව සඳහා ඥාතීත්වයක්‌ නොමැති තම විශේෂයේ වෙනත් සාමාජිකයන් සමඟ පුළුල් ලෙස ඇති කරගත් සහයෝගිතාව වැදගත් වන්නට ඇත. එවැනි අය සමඟ ආහාර බෙදා ගැනීම, දිගු දුරක වාසය කරන පිරිස්‌ සමඟ ද්‍රව්‍ය හුවමාරු කරගැනීම හා චාරිත්‍රමය සම්බන්ධතා මඟින් පරිසරයේ විවිධ අංශවල හා දේශගුණයේ විචල්‍යතාවලට අනුහුරු වීමට මිනිසුන්ට ඇති හැකියාව ඉහළ නැංවූ බව මේ පර්යේෂකයන්ගේ අදහසයි. එය සෙසු Homo විශේෂ පරයා ව්‍යාප්ත වීමට මෙන් ම ඔවුන් අභිබවා යැමට ද දායක වන්නට ඇත. මේ අනුව සමුච්චිත (cumulative) සංස්‌කෘතික දැනුමක්‌ එක්‌රැස්‌ කරගැනීම, එය භාවිත කිරීම හා ඊළඟ පරපුරට ලබා දීම අපේ මානව විශේෂයේ සාර්ථකත්වයට හේතු විය. මේ දැනුම ද්‍රව්‍යමය මෙන් ම අදහස්‌වලින් යුත් දැනුමක්‌ වන්නට ඇත. මේ දැනුම සාකල්‍යයික විශේෂඥතා නිකේතය ඇති කිරීමේ දී ඵලදායී වන්නට ඇත.

තවත් කල්පිතයක්‌ ලෙස


අප මාතෘකා කරගත් පර්යේෂණ පත්‍රිකාවෙන් නූතන මානව විශේෂයේ සාර්ථකත්වයට හා සැම මහාද්වීපයක ම හා පරිසරයක ම පාහේ ව්‍යාප්ත වීමට ඔවුන් සතු වූ දක්‌ෂතාව පැහැදිලි කළ හැකි පාරිසරික දෘෂ්ටිකෝණයක්‌ සපයා ඇත. අපගේ විශේෂයේ ආරම්භය හා ස්‌වභාවය පිළිබඳ ව මේ පාරිසරික දෘෂ්ටිකෝණය වැදගත් ය.

කෙසේ වෙතත් පර්යේෂකයන් විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති මේ අදහස අපූරු කල්පිතයකි. එය පිළිගත හැකි මෙන් ම, ප්‍රාමාණික සාධක ඉදිරිපත් කිරීම මඟින් ප්‍රතික්‌ෂේප කළ හැකි එකක්‌ බවත් මේ පර්යේෂකයන්ගේ පිළිගැනීමයි. කෙසේ වෙතත්, මේ නව අදහස මඟින් ආන්තික පරිසරවල පුරාවිද්‍යාත්මක ගවේෂණ හා අධ්‍යයන සිදු කිරීම බෙහෙවින් දිරිමත් කරනු ලැබෙයි. එවැනි ස්‌ථාන රැසක්‌ ම මේ දක්‌වා එතරම් සැලකිල්ලට ලක්‌ නො වූ ස්‌ථාන වෙයි. විශේෂයෙන් නූතන මානවයාගේ පරිණාමය හා සම්බන්ධව තොටිල්ල සේ සැලකිය හැකි කාලයට (වසර 300,000ක්‌ හෝ 200,000ක්‌) අයත් පැරැණි සාධක පිළිබඳ ව වඩා සවිස්‌තර ව හැදෑරීම ඉතා වැදගත් බව ඔවුන්ගේ අදහස වෙයි.

මූලාශ්‍රය : Nature Human Behaviour, DOI: 10.1038/s41562-018-0394-4

Wednesday, April 4, 2018

නියැන්ඩර්තාල් මානවයින් සංකේත භාවිත කළ බවට නිසැක සාධක මතු වේ

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.03.2018, පි. 09 (Vidusara)

Not available online


පරිණාමීය වශයෙන් නූතන මිනිසාගේ සමීප ඥාතියකු වන නියැන්ඩර්තාල් ආදි මානවයින් පිළිබඳව කරුණු රැුසක් මෑත කාලයේදී සිදු කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත. Homo neanderthalensis ලෙස විද්‍යාත්මකව නම් කර ඇති මේ මානවයින්, යුරෝපයේ සැලකිය යුතු පෙදෙසක ව්‍යාප්ත වී සිටි අතර, නිරිතදිග, මධ්‍යම හා උතුරු දිග ආසියාවටද ව්‍යාප්ත වී ඇත. ඔවුන්ගේ වාසස්ථාන, භාවිත කළ මෙවලම් මෙන්ම පොසිල හමුවන්නේ මෙම ප‍්‍රදේශවලිනි. නූතන මානවයින්ගේ පැමිණීම හමුවේ ඔවුන් අදින් වර්ෂ 40,000කට පමණ පෙර මිහිතලයෙන් වඳ වී ගිය බව පර්යේෂණවලින් අනාවරණය වී ඇත. එසේම මෑතකාලීන ප‍්‍රවේණික පර්යේෂණවලින් හෙළි වී ඇති ආකාරයට ඔවුන් නූතන මිනිසා සම`ග අභිජනනය කර තිබෙයි.

මේ අතර නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානනය (cognition) පිළිබඳව වැදගත් වන පර්යේෂණයක් පසුගියදා ප‍්‍රකාශයට පත් විය. ඒ අනුව මෙතෙක් සිතා සිටියාට වඩා එම මානවයින්ගේ ප‍්‍රජානනය ඉහළ මට්ටමක තිබූ පෙන්වා දී ඇත. ස්පාඤ්ඤයේ ප‍්‍රදේශ තුනක පිහිටා ඇති ලෙන්වලින් ලැබී ඇති චිත‍්‍රවල කාලනිර්ණය මගින් මේ සඳහා අවශ්‍ය සාධක ලැබී තිබෙයි. එම චිත‍්‍ර අදින් වසර 65,000කට පෙර අඳින ලද චිත‍්‍ර බවට දින නිර්ණය කර ඇත. මෙතෙක් කලක් මෙම චිත‍්‍ර නිර්මාණය කරන ලද්දේ නූතන මානවයින් බව විශ්වාස කරන ලද නමුත් මෙම අධ්‍යයනයේ ප‍්‍රතිඵල අනුව එම අදහස වෙනස් වෙයි.


නූතන මිනිසා සහ නියැන්ඩර්තාල් මානවයා අතර වෙනස


බොහෝ කාලයක් තිස්සේ නූතන මානවයින් (Homo sapiens sapiens) හා නියැන්ඩර්තාල් මානවයින් අතර ඇති ප‍්‍රධානතම වෙනස ලෙස සාකච්ඡුාවට ලක් වූයේ නියැන්ඩර්තාල් මානවයින් සංකේත තැනීම හෝ භාවිත නොකිරීමයි. එහෙත් නූතන මානවයින් ආභරණ, රූප මෙන්ම ගුහා චිත‍්‍රද නිර්මාණය කර තිබේ. මේ සියල්ල සැලකෙන්නේ සංකේතාත්මක හැසිරීමේ (symbolic behavior) නිෂ්පාදන ලෙසය. සංකේතාත්මක හැසිරීම ලෙස සඳහන් වන්නේ සංකේතවලට ප‍්‍රතිචාර දැක්වීමට හෝ එ්වා භාවිත කිරීමට පුද්ගලයින්ට ඇති හැකියාවයි. මෙය ප‍්‍රජානන ශක්තිය හා සම්බන්ධය.

කෙසේ වෙතත් මෑත කාලයේ දී නියැන්ඩර්තාල් මානවයින් විසින් කිසියම් ප‍්‍රමාණයක සංකේතාත්මක හැසිරීමක් දක්වා ඇති බවට සාධක යුරෝපයේ විවිධ ප‍්‍රදේශවලින් ලැබෙන්නට පටන් ගෙන ඇත. ජිබ්රෝල්ටරයෙන් ලැබී ඇති අදින ලද සංකේතයක්, ක්‍රොයේෂියාව හා ඉතාලියෙන් ලැබී ඇති සැරසුම් ලෙස භාවිත කර ඇති ද්‍රව්‍ය මෙන්ම ස්පාඤ්ඤයෙන් ලැබී ඇති ආභරණ සේ සිතිය හැකි බෙලිකටු නිෂ්පාදන මේ සාධක අතර වෙයි. එසේම ප‍්‍රංශයෙන් ලැබී ඇති අර්ධ කවාකාර හිරිටැඹවලින් නිර්මාණය කළ බැමි කිසියම් චාරිත‍්‍රයක් සඳහා සිදුකරන ලද ඉදිකිරීමක් සේ සැලකේ.

නියැන්ඩර්තාල් මානවයින් විසින් අඳින ලද බව සැලකෙන ගුහා චිත‍්‍ර කිසිවක් මේ දක්වා ලැබී නොතිබීම විශේෂයකි. යුරෝපා රටවලින් අයිස් යුගයේ සතුන් වැනි විවිධ ගුහා චිත‍්‍ර රාශියක් හමු වී තිබුනද, ඒවා සියල්ල නූතන මානවයින්ගේ නිර්මාණ සේ සලකන ලදි. එයට හේතුව එසේ නොවන බව සිතීම සඳහා නිසැක සාක්ෂි නොතිබීමයි. කෙසේ වෙතත් මීට පෙර 2012 වර්ෂයේදී, එවැනි චිත‍්‍ර කිහිපයක් අදින් වසර 40,800කට පමණ ඉහත ලෙස දින නියම කරන ලදි. එය කලින් සිතූ දිනයට වඩා පැරණි දිනයක් වුවද නූතන මානවයා බටහිර යුරෝපයට පැමිණයේ අදින් වසර 42,000කට පමණ පෙර වන බැවින් එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ මෙන්ම නූතන මානවයින්ගේ වීම සඳහාද ඉඩ ඇති බව පෙන්වා දෙන ලදි. නූතන මානවයින් යුරෝපයට පැමිණි කාලවකවානුවට වඩා පැරණි දින නියම කළ හැකි නිර්මාණ වේ නම් එය එ් පිළිබඳව නිශ්චිත තීරණයකට පැමිණීම සඳහා වැදගත් සේ සැලකිනි.


මෑතදී සිදු කළ අධ්‍යයනය


මෑතදී එ් සඳහා අවස්ථාවක් ලැබී ඇත. එ් අනුව ස්පාඤ්ඤයේ පිහිටි ලෙන් තුනක චිත‍්‍ර සඳහා දින නියම කිරීමට පර්යේෂකයන් පිරිසකට හැකියාව ලැබී තිබෙයි. ස්පාඤ්ඤයේ ඊසානදිග ප‍්‍රදේශයේ පිහිටා ඇති ලා පැසීගා (La Pasiega) ලෙන, බටහිර ස්පාඤ්ඤයේ මල්ටවියේසෝ (Maltravieso) ලෙන හා නිරිත දිග ස්පාඤ්ඤයේ පිහිටි අර්ඩාලේස් (Ardales) යන ලෙන් එම ලෙන් අතර වේ. මෙම ගුහාවල රූපමය (figurative) මෙන්ම රූපමය නොවන (nonfigurative) චිත‍්‍රද දැක ගත හැකිය. මෙහිදී පර්යේෂකයන්ගේ අවධානය යොමු වී ඇත්තේ එ්වායේ තිබූ රූපමය නොවන චිත‍්‍ර පිළිබඳවය. මේ වර්ගයට අයත් වන්නේ තිත්, රේඛා, සංකේත හා අත් සලකුණු යනාදියයි. මෙවැනි චිත‍්‍රවල දින වකවානු වඩා පැරණි විය හැකි බවට මීට පෙර සිදුකර ඇති අධ්‍යයනවලදී හෙළි වී තිබීම ඊට හේතුව වෙයි.

මෙම ගුහාවලින් ලැබුණු චිත‍්‍රවල කාලනිර්ණය සිදු කිරීම මේ පර්යේෂණයේදී සිදු කර ඇත. එ් සඳහා යොදාගෙන ඇත්තේ යුරේනියම්-තෝරියම් කාලනිර්ණ ක‍්‍රමයයි. එහිදී කාලයත් සම`ග යුරේනියම් තෝරියම් බවට විකිරණශීලී ක්ෂයවීමට ලක් වීම මත කාලනිර්ණය කිරීම සිදු කෙරේ. එ් අනුව අදාළ චිත‍්‍ර මතුපිට සෑදී ඇති සියුම් කාබනේට තට්ටුවකින් කොටසක් ලබාගෙන එ්වායේ ඇතුළත් යුරේනියම් හා තෝරියම් ප‍්‍රමාණය පිළිබඳව පරීක්ෂා කිරීම සිදුකර ඇත. එවිට ලැබෙන දිනනිර්ණය ඊට යටින් ඇති චිත‍්‍රයට ලබා දිය හැකි අවම දිනය වෙයි. මේ ප‍්‍රයත්නය අනුව ලැබී ඇති දින ලෙන් තුනේ නිදර්ශකවලය විවිධ දින ලැබී තිබුනද එ් සියල්ලේම ඇති පැරණිම දින වකවානු අතර ඇති පැරණිම දිනය අවම වශයෙන් අදින් වර්ෂ 64,800ක් පමණ වේ.


නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව තහවුරු වන කරුණු


මෙම චිත‍්‍ර සඳහා ලැබුණු උක්ත දිනය වැදගත් වන්නේ එම ලෙන් චිත‍්‍ර ඇඳ ඇත්තේ නූතන මානවයා යුරෝපයට පා තැබීමට අවම වශයෙන් වසර විසිදහසකට පමණ පෙර අඳින ලද එ්වා වීම නිසාය. මේ අනුව එම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ චිත‍්‍ර බවට පැහැදිලි සාධක ලැබී ඇත.

මෙහි ඇති වැදගත්කම වන්නේ මේ අනුව නියැන්ඩර්තාල් මානවයින්ගේ ප‍්‍රජානන හැකියාව පිළිබඳ මෙතෙක් පැවැති විවාදය අවසන් කළ හැකි නිසාය. මෙම චිත‍්‍ර නියැන්ඩර්තාල් මානවයින්ගේ නම්, එම චිත‍්‍ර ඇඳීම සඳහා ඔවුන්ට යම් ප‍්‍රජානන හැකියාවක් තිබිය යුතුය. එ් අනුව මෙතෙක් විශ්වාස කළාක් මෙන් නොව නියැන්ඩර්තාල් මානවයින් හටද සංකේත චිත‍්‍ර ඇඳීම පිළිබඳ හැකියාව තිබී ඇත. එ් අනුව නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳ පර්යේෂණවල නව අංශයක් විවෘතව තිබෙයි.

නියැන්ඩර්තාල් මානවයින් ඔවුන්ගේම වූ අදහස් මෙසේ සංකේතවලට නැගූ බව මේ අනුව පෙනේ. මෙය වැදගත් වන්නේ මෙවැනි සිතුවම් මුලින්ම අනාවරණය වන විට එය නියැන්ඩර්තාල් මානවයින්ගේ අවධියේ අවසන් සමයේ වූ බැවින් එ්වා නූතන මානවයාගේද විය හැකි බවට අදහසක් තිබීම නිසාය. නියැන්ඩර්තාල් මානවයින් නූතන මානවයින් සිදු කළ දේ අනුකරණය කළා මිස තමන් කරන්නේ කුමක්ද යන්න දැන නොසිටි බව ඇතැම් පර්යේෂකයන්ගේ අදහස වී ඇත. මෙම නව සොයාගැනීමට ලබාදි ඇති කාලනිර්ණය අනුව එම මතය බිඳවැටෙයි.

එහෙත් මේ චිත‍්‍රද නූතන මානවයාගේ විය හැකි බවට ප‍්‍රකාශ කරන තවත් මතයක්ද ඇති විය හැකිය. එයට හේතුව නූතන මානවයා අප‍්‍රිකාවෙන් පිටවීම මෙතෙක් සිතූ දිනයට පෙර සිදු වී ඇති බවට මේ වන විට ඇති සාධක නිසාය. එහෙත් යුරෝපයට නූතන මානවයා කලින් පැමිණි බවක් පොසිල හෝ වෙනත් සාධකවලින් මෙතෙක් අනාවරණය වී නොමැත. එහෙයින් පවත්නා සාධක සැලකිල්ලට ගැනීමේදී මෙම චිත‍්‍ර නූතන මානවයාගේ නොව නියැන්ඩර්තාල් මානවයාගේ විය හැකි බව පැහැදිලිය.

යුරෝපයේ දැකිය හැකි සෙසු පැරණි ගුහා චිත‍්‍ර මේ ක‍්‍රමය භාවිතයෙන් දින නියම කළ හැකි නම්, නියැන්ඩර්තාල් මානවයින්ගේ ව්‍යාප්තිය තරම්ම ඔවුන්ගේ ගුහාචිත‍්‍ර ද කෙතරම් ව්‍යාප්ත වී තිබුනිදැයි සොයාබැලිය හැකි බව මේ පිළිබඳ විශේෂඥයෝ යෝජනා කරති. පුරාශිලා යුගයට හෙවත් අයිස් යුගයට අයත් බව සැලකෙන යුරෝපයේ දැකිය හැකි විවිධ ගුහා චිත‍්‍ර අතරින් කෙතරම් ප‍්‍රමාණයක් නියැන්ඩර්තාල් මානවයින්ගේ විය හැකිද යන්න එවිට අනාවරණය වනු ඇත.


පරිණාමය සම්බන්ධ වැදගත්කම


විශේෂයෙන් මෙවැනි චිත‍්‍ර නිර්මාණය කිරීම සඳහා දියුණු හෝ නවීන ප‍්‍රජානනයක් පෙන්විය යුතුය. එනම් සුදුසු ස්ථානයක් තීරණය කිරීම, ආලෝකය ලැබෙන ආකාරය සැලසුම් කිරීම හා වර්ණ මිශ‍්‍ර කර චිත‍්‍ර ඇඳීමේදී චින්තනයෙහි කිසියම් දියුණුවක් තිබීම අවශ්‍ය වෙයි. මේ අනුව නියැන්ඩර්තාල් මානවයින් සතුව එවැනි ප‍්‍රජානනයක් තිබූ බව පැහැදිලිය.

මෙහිදී වැදගත් වන තවත් කරුණක් තිබේ. මේ ආකාරයෙන් මානව පරිණාමයේදී සංකේතාත්මක චින්තනයේ (symbolic thought) ආරම්භය පිළිබඳ උක්ත පර්යේෂණයෙන් කිසියම් නව පැහැදිලි කිරීමක් ලැබී ඇති බව පෙනේ. එය මේ දක්වා සලකන ලද්දේ මානව පවුලේ සෙසු සාමාජිකයන්ගෙන් නූතන මානවයා වෙන්කිරීම සඳහා යොදාගන්නා සාධකයක් ලෙසය. එහෙත් මේ පර්යේෂකයන්ගේ සොයාගැනීම අනුව නූතන මානවයින් හා සෙසු ආදි මානවයින් වෙන්කරගැනීම සඳහා එම සාධකය යොදාගැනීම ගැන ගැටලූ මතුවිය හැකිය.

මුලාශ‍්‍රය: Science, DOI: 10.1126/science.aap7778

Friday, February 16, 2018

මිනිසුන් අප්‍රිකාවෙන් පිට වූ දිනය වඩාත් පැරැණි බවට තවත් සාධක

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 14.02.2018. පි. 4 (Vidusara)

http://www.vidusara.com/2018/02/14/feature1.html





නූතන මිනිසා හෙවත් Homo sapiens sapiens මානවයා අදින් වර්ෂ 200,000කට පමණ ඉහත දී අප්‍රිකාවේ බිහි වී ලෝකයේ සෙසු ප්‍රදේශවලට ව්‍යාප්ත වූ බවට ඇති මතය පුළුල් ලෙස පිළිගත් මතයකි. මේ වන විට ඇති එක්‌ මතයක්‌ වන නූතන මිනිසා අප්‍රිකාවෙන් පිට වී ඇත්තේ අදින් වර්ෂ 50,000ත් 75,000ත් අතර කාලයකට පමණ ඉහත දී ය. (එහි සාමාන්‍යය වසර 60,000 ලෙස ද සැලකේ). අද වාසය කරන මිනිසුන් ගේ ප්‍රවේණික ද්‍රව්‍ය ආශ්‍රිත ව සිදු කරන ලද අධ්‍යයන මඟින් ද මේ මතය සඳහා වැඩි නැඹුරුවක්‌ ලැබී ඇත. එහෙත් මිනිසා අප්‍රිකාවෙන් නික්‌මුණු දිනය මීට වඩා පැරැණි බවත් එය අදින් වසර 100,000ත් 125,000 අතර කාලයකට පමණ පෙර සිදු වූ බවත් පැවසෙන මතයක්‌ ද තිබෙයි. මේ අනුව නූතන මිනිසා එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ යෝජනා වී ඇත. ඒ අප්‍රිකාවෙන් කලින් පිට වූ ඇතැම් නූතන මිනිසුන් ගෙන් පැවත එන්නන් පසුව ආ ප්‍රවාහයක්‌ තුළ යටපත් වී යන්නට ඇත යන අදහසිනි.

මේ දෙවැනි මතය සඳහා සාධක ලැබී ඇත්තේ වඩා මෑත කාලයේ දී ය. පසුගිය වර්ෂයේ මොරොක්‌කෝවෙන් හමු වූ නූතන මානව ෆොසිල පෙන්වා දෙන ලද්දේ නූතන මානවයා අදින් වසර 300,000ක්‌ පමණ කාලයකට හෙවත් මෙතෙක්‌ විශ්වාස කළාට වඩා වසර 100,000කට කාලයකට පෙර එම ප්‍රදේශයේ වාසය කළ බවයි. ඒ උතුරු අප්‍රිකාවේ වීම සුවිශේෂ ය. අනෙක්‌ අතට තවත් සාධක අනුව පෙනී ගොස්‌ ඇත්තේ අදින් වසර 60,000කට වඩා කාලයකට පෙර නූතන මානවයා පිළිබඳ සාධක ආසියාවෙන් හා ඔස්‌ටේ්‍රලියාවෙන් ලැබී ඇති බවයි. චීනයෙන් වසර 120,000කට පෙර ද, ඉන්දුනීසියාවෙන් වසර 73,000කට පමණ පෙර ද, ඔස්‌ට්‍රේලියාවෙන් වසර 65,000කට පමණ පෙර ද මේ සාධක ලැබී ඇත. මේ අනුව අප්‍රිකාවෙන් නූතන මානවයා කලින් නික්‌මීම පිළිබඳ සාධක වඩා ශක්‌තිමත් බව පැහැදිලි ය. එමෙන් ම මෑත දී ලැබී ඇති ප්‍රවේණික සාධක මඟින් පෙනී ගොස්‌ ඇත්තේ අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ නූතන මානවයා ඒ වන විට එම ප්‍රදේශවල ජීවත් වූ වෙනත් ආදි මානව විශේෂ වන නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මානවයන් හා අභිජනනය කරන ලද බවයි.


Homo sapiens sapiens මානවයා වැදගත් වන්නේ සමස්‌ත ලෝකය ම ජයගැනීමට සමත් වූ එක ම මානවයා ඔහු වන බැවිනි. Australopithecus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවක්‌ වාර්තා වී නොමැත. එසේ ම නියෑන්ඩර්තාල් මානවයන් අප්‍රිකාවට පැමිණි බවට සාධක හමු නො වෙයි. එමෙන් ම Homo erectus මානවයන් අප්‍රිකාවෙන් පිටතට ගොස්‌ ආසියාව, යුරෝපය ඇතුළත් පැරැණි ලෝකයේ (Old World) බොහෝ ප්‍රදේශවල ව්‍යාප්ත වූ නමුත්, ඔස්‌ට්‍රේලියාවට හා නව ලෝකය හෙවත් ඇමෙරිකානු මහාද්වීපයට ව්‍යාප්ත වූයේ නැත. එහෙත් Homo sapiens sapiens මානවයා සමස්‌ත ලෝකය පුරා ම ව්‍යාප්ත වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය ජනවාරි මාසයේ දී ප්‍රකාශයට පත් වූ පර්යේෂණ පත්‍රිකාවකින් නූතන මානවයා මෙතෙක්‌ පිළිගත් දිනවලට වඩා පෙර වකවානුවක දී අප්‍රිකාවෙන් නික්‌මුණු බවට තවත් සාධකයක්‌ ඉදිරිපත් කර ඇත. එම සාධක ලැබෙන්නේ ඊශ්‍රායලයෙනි.

ඊශ්‍රායලයෙන් ලැබුණු ෆොසිලය


මේ අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ ඊශ්‍රායලයේ ගල් ලෙනකින් 2002 වර්ෂයේ දී ලැබුණු ෆොසිලයකි. එය අප්‍රිකාවෙන් පිටත දී හමු වූ නූතන මානවයා ගේ මෙතෙක්‌ දන්නා පැරැණි ම ෆොසිලය බව මෙහි දී පෙන්වා දී ඇති අතර ඒ පිළිබඳව ඇති දින වකවානු වර්ෂ දස දහස්‌ ගණනකින් අතීතයට ගෙන යැමට යෝජනා කරයි. කෙසේ වෙතත් මෙහි දින වකවානු පිළිබඳ ව මතභේද ද පවතියි.

ඊශ්‍රායලයේ කාර්මල් (Mount Carmel) කන්දේ බටහිර බෑවුමේ පිහිටා ඇති මිස්‌ලියා (Misliya) ගුහාව නම් ගුහාවෙන් හමු වී ඇති මේ ෆොසිලය මානව උඩු හනුවක කොටසකි. එහි දත් අටක්‌ පමණ ශේෂ ව තිබේ. මේ ෆොසිලය එකිනෙකට වෙනස්‌ ක්‍රම තුනක්‌ යොදාගනිමින් කාල නිර්ණය කර ඇති අතර ඒ අනුව අදින් වසර 177,000ක්‌ හා 194,000ක්‌ අතර කාලයකට අයත් ලෙස කාල නිර්ණය කර තිබේ (එහි සාමාන්‍යය වසර 185,000ක්‌ පමණ වේ).

මේ ෆොසිලයේ ව්‍යුහ විද්‍යාත්මක ස්‌වභාවය හඳුනාගැනීමට මේ පර්යේෂකයන් උත්සාහ කර ඇත. එය නූතන මානවයා ගේ හා අප්‍රිකාවෙන්, යුරෝපයෙන් හා ආසියාවෙන් හමු වී ඇති ආදි මානවයන් හා සංසන්දනය කිරීම සිදු කර තිබෙයි. එහි දී පෙනී ගොස්‌ ඇති ආකාරයට එය වඩාත් සමීප වී ඇත්තේ නූතන මානවයා හෙවත් Homo sapiens sapiens සමඟ ය. මේ සඳහා පරිගණක ආශ්‍රිත නවීන තාක්‌ෂණික උපක්‍රම භාවිත කර තිබේ.

මේ ෆොසිලයට ලබා දී ඇති කාල නිර්ණය අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් පිට වූ දිනය මෙතෙක්‌ දන්නා දිනයට වඩා වසර 50,000ක්‌ පමණ පමණ ඈතට යන බව උක්‌ත පර්යේෂකයන් ගේ අදහස වේ. මෙතෙක්‌ පැවැති පැරැණි ම සාධකය වන්නේ අදින් වසර 90,000ත් 120,000ත් අතර කාලයකට දින නියම කර තිබූ ස්‌කුල් (Skhul) හා කෆ්සේ (Qafzeh) නම් ඊශ්‍රායලයේ ම පිහිටා ඇති ස්‌ථානවලින් හමු වී ඇති මානව ශේෂ ය. ඒ අනුව ඒවාට වඩා මේ මිස්‌ලියා ෆොසිලය වසර 50,000ක්‌ පමණ පැරැණි බව පර්යේෂකයන් ගේ මතයයි.

එමෙන් ම මේ ෆොසිලය හමු වූ ලෙනෙන් විශේෂ වර්ගයක ශිලා මෙවලම් හමු වීම ද වැදගත් සොයාගැනීමක්‌ ලෙස දක්‌වා ඇත. ලෙවලියොස්‌ (Levallois) මෙවලම් ලෙස හඳුන්වා ඇති මේ මෙවලම් පැතලි, තුනී තියුණු මුවහතක්‌ සහිත ආයුධ වර්ගයකි. මේවා මානව ප්‍රාග් ඉතිහාසයේ වැදගත් සන්ධිස්‌ථානයක්‌ ලෙස සැලකේ. මොරොක්‌කෝවේ ජෙබෙල් ඉර්හුද් ස්‌ථානයෙන් මෙන් ම ඉහත සඳහන් ඊශ්‍රායලයේ මිස්‌ලියා ගුහාවෙන් ද මේ වර්ගයේ ශිලා මෙවලම් හමු වීම වැදගත් ය. මේවා ඇතැම් විට නූතන මානවයන් විසින් සොයාගන්නා ලද ආයුධ වර්ගයක්‌ වීමට අවස්‌ථාව ඇති බව ඔවුන් දක්‌වා ඇති අතර, එම තාක්‌ෂණය මේ මානවයන්ට අප්‍රිකාවෙන් පිටතට යැමට උපකාරී වූවා ද විය හැකි බවට ද අදහසක්‌ මතු කර තිබෙයි.

මතභේද පවතී


කෙසේ වෙතත් මේ ෆොසිලය හා එමඟින් ඉදිරිපත් කරන මත පිළිබඳ ව ඇතැම් විද්‍යාඥයන් අතර සැක සහිත බවක්‌ ඇති බව ද පෙනේ. එය නූතන මානවයා ගේ බවට පිළිගත හැකි සාධක තිබේ ද යන්න ගැන ඇතැම් විද්‍යාඥයන් අතර සැකයක්‌ ඇති බව පෙනෙයි. ඒ සඳහා භාවිත කර ඇති සාධක කෙතරම් දුරට පිළිගත හැකි ඒවා වන්නේ ද යන්න ඔවුන් මතු කර ඇති පැනය වෙයි. අනෙක්‌ විශේෂවලට වඩා මේ ෆොසිලය Homo sapiens විශේෂයට සමාන වුව ද, එය එක්‌ අස්‌ථි කොටසක්‌ පමණක්‌ බව ඔවුන් පෙන්වා දී තිබේ. එසේ ම එක්‌ විද්‍යාඥයකු පෙන්වා දී ඇති ආකාරයට එම ෆොසිලයේ, දත් වඩාත් නූතන ස්‌වභාවයක්‌ දක්‌වයි.

ඉහත සඳහන් කළ මේ මානව ශේෂ සමඟ හමු වන ශිලා මෙවලම් පිළිබඳ ව ද මතභේද ඇත. නූතන මානවයා බිහි වීමට පෙර කාලයකට දින නියම කර ඇති ස්‌ථානවලින් ද මේ වර්ගයේ ආයුධ හමු වන බව ඇතැම් විද්‍යාඥයන් දක්‌වා තිබෙයි. මේවා නියෑන්ඩර්තාල් වැනි මානවයන් ගේ වාසස්‌ථානවලින් ද හමු වන බවක්‌ ද වාර්තා වෙයි.

කෙසේ වෙතත් මේ සොයාගැනීම මඟින් මෑත දී අනාවරණය වූ තවත් කරුණක්‌ පිළිබඳ ව සාධක ලැබෙයි. එනම් අප්‍රිකාවෙන් පිටත විසූ නියෑන්ඩර්තාල් හා ඩෙනිසෝවන් වැනි මේ වන විට වඳ වී ගොස්‌ ඇති ආදි මානවයන් හා නූතන මානවයන් අතර අන්තර් සම්බන්ධතා පැවැති බවට ප්‍රවේණික පර්යේෂණ මඟින් දක්‌වා ඇති මතයට මෙමඟින් වැඩි අවස්‌ථාවක්‌ ලැබීමයි. වඩා කලින් අප්‍රිකාවෙන් නික්‌මුණු නූතන මානවයන් හා ආදි මානව විශේෂ අතර මෙවැනි සම්බන්ධතා අන්තර් සම්බන්ධතා ඇති වීමේ අවස්‌ථාව අධික ය.

මේ කරුණු අනුව නූතන මානවයා අප්‍රිකාවෙන් නික්‌මීම පිළිබඳව ඇති මතවාද තවදුරටත් සංකීර්ණ වන බව පැහැදිලි ය. එසේ ම නූතන මානවයා ගේ බිහි වීම පිළිබඳ දින වකවානු ද මේ අනුව වෙනස්‌ විය හැකි ය. අනෙක්‌ අතට අප්‍රිකාවෙන් නික්‌මීම එක්‌ වරක්‌ නො ව කිහිප වරක්‌ සිදු වූ නික්‌මීමක්‌ විය හැකි බව ද පෙනෙයි. කලින් නික්‌මුණු මානව ප්‍රවාහය පසු කලක ආ ප්‍රවාහයෙන් යටපත් වී ගියා වීමට ද හැකි ය. ප්‍රවේණික පර්යේෂණවලින් පෙනෙන පරිදි වසර 60,000කට පමණ පෙර අප්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානව ප්‍රවාහයක්‌ වර්තමාන මානවයන් අතර ප්‍රධාන ප්‍රවාහය වන්නේ ඒ නිසා විය හැකි ය.

මූලාශ්‍රය: Science, DOI: 10.1126/science.aap8369

Tuesday, August 22, 2017

නොඉඳුල් නිවර්තන වනාන්තර යනු හිතලුවක්‌ ද ?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 16.08.2017, පි. 05 (Vidusara)

http://www.vidusara.com/2017/08/16/feature1.html



වසර 45,000ක අතීතයක පටන් වැසි වනාන්තර වෙනස්‌ කළ මිනිස්‌සු නිවර්තන වනාන්තර එළිපෙහෙළි කිරීම හා වනාන්තරවල සෙසු වෙනස්‌කම් මිනිසුන් විසින් සිදු කරන්නේ මෑත කාලයේ පටන් බව සාමාන්‍ය පිළිගැනීම වේ. වඩාත් නිශ්චිතව පවසන්නේ නම් ඒ නූතන කෘෂිකර්මාන්තයේ හා කාර්මීකකරණයේ ආරම්භයේ සිට ය. එයට පෙර කාලයේ මේ වනාන්තර මිනිස්‌ වාසයට නොසුදුසු සේ සැලකුණු බැවින් ඇතැම් විට හරිත කාන්තාර (green deserts) ලෙස හඳුන්වා තිබේ. නූතන සංරක්‌ෂණ වැඩපිළිවෙළේ ද මූලික පදනම වන්නේ ද මේ වෙනස්‌කම් මෑත කාලයේ දී සිදු ව ඇත්තේ ය යන්න ය.

කෙසේ වෙතත් මෑත දී සිදු කරන ලද අධ්‍යයනයකට අනුව මිනිසුන් වනාන්තර භාවිත කිරීම හා වනාන්තරවල වෙනස්‌කම් සිදු කිරීම පිළිබඳ කතාව බොහෝ ඈත අතීතයකට දිව යයි. ඒ අනුව අඩු ම වශයෙන් වසර 45,000ක්‌ තරම් වත් ඈත කාලයක සිට මිනිසුන් නිවර්තන වනාන්තර වෙනස්‌ කිරීම සිදු කොට ඇත. ඒ සඳහා මිනිසුන් යොදාගෙන ඇති උපක්‍රම අතර, වනාන්තර පාලිත ගිනි තැබීම් සිදු කිරීම හා ශාක හා සතුන් කළමනාකරණය හා වනාන්තරවල ශාක වැස්‌ම මුළුමනින් ඉවත් කිරීම වැනි උපක්‍රම භාවිත වී තිබේ. අප්‍රිකාවෙන් පිට වූ මානවයා විසූ බොහෝ නිවර්තන වනාන්තරවල මෙවැනි කරුණු වාර්තා වී තිබේ.

මේ කරුණු හෙළි ව ඇත්තේ මිනිසුන් ඈත අතීතයේ සිට ජගත් මට්‌ටමින් නිවර්තන වනාන්තරවලට සිදු කර ඇති බලපෑම් පිළිබඳව සිදු කරන ලද පුළුල් විමර්ශනයක දී ය. මෙවැනි බලපෑම් සම්බන්ධව ලෝකයේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වී ඇතත්, මේ අධ්‍යයනයේ දී ලෝකයේ විවිධ ප්‍රදේශවලින් ලැබී ඇති ඇති දත්ත සමාලෝචනයට ලක්‌ කර තිබීම නිසා එය වැදගත් වේ. මෙහි දී මිනිසුන් නිවර්තන වනාන්තරවලට බලපෑම් සිදු කළ අවධි තුනක්‌ සම්බන්ධව අවධානය යොමු කර ඇත. ඒ දළ වශයෙන් ගත හොත් දඩයක්‌කාර-ඵල වැල රැස්‌ කරන්නන් (hunter-gatherers) ලෙස ක්‍රියා කළ කාලය, කුඩා පරිමාණයෙන් කෘෂිකාර්මික කටයුතුවල නියෑළුණු කාලය හා මහා පරිමාණ නාගරික ජනාවාස පැවැති කාලය යනුවෙනි.

දඩයක්‌කාර-ඵලවැල රැස්‌ කරන්නන් ගේ කටයුතු


මිනිසුන් දඩයක්‌කරුවන් හා ඵල වැල රැස්‌ කරන්නන් වශයෙන් සිටි කාලයේ, අඩු වශයෙන් අදින් වසර 45,000කට පමණ පෙර සිට මිනිසුන් මේ ආකාරයෙන් වනාන්තරවල වෙනස්‌කම් සිදු කර ඇති බව හෙළි වී ඇත. එම වෙනස්‌කම් සැලකිය යුතු බරපතළ තත්ත්වයේ වෙනස්‌කම් වීම මෙහි දී අනාවරණය වී ඇති වැදගත් කරුණකි. මේ පිළිබඳව දැනට ඇති

පැරැණිතම කාල වකවානු ව වාර්තා වන්නේ අදින් වසර 45,000කට පමණ පෙර අග්නිදිග ආසියාවෙනි. ඒ නූතන මිනිසා මේ කලාපයට පැමිණි මුල් කාලයේ දී පමණ ය. එසේ ම ඔස්‌ටේ්‍රලියාවේ හා නව ගිනියාව වැනි රටවලින් ද මෙවැනි ගිනිතැබීම් පිළිබඳව සාධක ලැබේ. මේ ආකාරයෙන් වනාන්තතර එළි කිරීමෙන් මිනිසුන්ට ලැබුණු ප්‍රතිලාභය වූයේ ඔවුන් ආහාරයට ගැනීමට ප්‍රිය කරන සතුන් හා ශාක බහුල වූ පරිසර වැඩි වශයෙන් ඇති කරගැනීමට හැකියාවක්‌ ලැබීම ය. ඒ 'වන වාටි' (forest edge) ලෙස ද හඳුන්වන වනාන්තරයට යාබද වූ පරිසරයක්‌ ඇති කරගැනීමෙනි. මේ සම්පත් ප්‍රදේශ (resource patches) ආශ්‍රිත ව විශේෂිත එහෙත් තිරසර ආකාරයේ දඩයම් ක්‍රමවේද යොදාගෙන තෝරාගත් සතුන් දඩයම් කර ඇති බව විශ්වාස කරනු ලැබේ. මීට ප්‍රයිමේටාවන් වැනි සත්ත්ව කාණ්‌ඩ ඇතුළත් විය.

එසේ ම මේ ආකාරයෙන් සිදු කරන ලද කටයුතුවල දී අපර ප්ලයිස්‌යොසීන (Late Pleistocene) යුගයේ දී වනාන්තරවල විසූ විශාල සතුන් ගේ වඳ වී යැම සඳහා මිනිසුන් ගේ මේ කටයුතු හේතු වූ බවට සාධක ඇතත් එම මතය තවමත් විවාදිත ය. මේ ආකාරයෙන් වඳ වී ගිය සතුන් අතර විවිධ විශාල ප්‍රමාණයේ සතුන් ඇත. මේ සඳහා මිනිසුන් ගේ බලපෑමක්‌ තිබිණි නම් එය වැදගත් වන්නේ මේ සතුන් ගේ වඳ වීමෙන් ඇති වූ වෙනස්‌ වීම් නිසා ය. ඒ නිසා වන ඝනත්වයේ, ශාක විශේෂ ව්‍යාප්තියේ, ශාක ප්‍රජනන යාන්ත්‍රණවල හා වනාන්තරවල ජීවන චක්‍රය වැනි කරුණුවලට සැලකිය යුතු බලපෑමක්‌ සිදු වූ බව මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

වනාන්තරවල ගොවිතැන් කිරීම


නිවර්තන වනාන්තර තුළ ගොවිතැන් කිරීම සම්බන්ධව පැරැණිතම සාධක ලැබී ඇත්තේ නව ගිනියාවෙනි. ඒ අදින් වසර 10,000කට පමණ පෙර පැවැති මුල් මධ්‍ය හොලෝසීන (Early-Mid Holocene) යුගයේ දී සිදු කරන ලද වගා කිරීම් ය. එසේ වගා කළ ශාක අතර විවිධ අල වර්ග හා කෙසෙල් වැනි භෝග වර්ග විය. මිනිසුන් මෙසේ වනාන්තරවල වගා කිරීමේ යෙදුණේ දඩයම හා ඵල වැල රැස්‌ කිරීම ද සිදු කරන අතර ය. මෙමගින් සැලකිය යුතු වැදගත් ප්‍රතිඵල ඇති වූ බව පැහැදිලි ය.

මිනිසුන් විසින් බොහෝ වනාන්තරවල වැවුණු ශාක හා ජීවත් වූ සතුන් ගෘහාශ්‍රිතකරණය කිරීම ඇති වන්නේ මෙහි ප්‍රතිඵලයක්‌ ලෙස ය. මෙමගින් වනාන්තර පරිසර විද්‍යාව වෙනස්‌ වූ අතර එසේ ගෘහාශ්‍රිතකරණය කළ ශාක හා සතුන් මේ දක්‌වා මිනිසුන් ගේ ආහාර වේලට අයත් වේ.

කෙසේ වෙතත් එදා එම මිනිසුන් යොදාගත්තේ එම ප්‍රදේශයේ ම පැවැති ශාක හා සතුන් භාවිත කරගන්නා කෘෂි කාර්මික උපායමාර්ගයකි. ඒ නිසා ඉන් සැලකිය යුතු හා දිගු කල් පවත්නා ආකාරයේ පාරිසරික හානියක්‌ සිදු වී නොමැති බව විද්‍යාඥයන් ගේ අදහස වේ. එසේ ම මේ ජන කණ්‌ඩායම් කුඩා වූ අතර ඔවුන් වාසය කළ පරිසරයට ගැළපෙන ආකාරයේ යෑපුම් මට්‌ටමේ පද්ධති ඇති කරගෙන තිබීම මීට දායක වන්නට ඇත.

කෙසේ වෙතත් කෘෂිකාර්මික නිෂ්පාදනවල අවශ්‍යතාව ඉහළ ගිය විට තත්ත්වය වෙනස්‌ විය. විශේෂයෙන් බාහිරයෙන් හඳුන්වා දුන් කෘෂි පිළිවෙත් නිසා නිවර්තන වනාන්තර හා දූපත් පරිසර පද්ධතිවල දැඩි වෙනස්‌කම් ඇති වී තිබේ. අදින් වසර 2,400ක්‌ තරම් ඈත කාලයක දී අප්‍රිකාවේ බටහිර හා මධ්‍යම ප්‍රදේශවලට ඇතැම් ධාන්‍ය වර්ග හා ගව පාලනය හඳුන්වා දීමේ ප්‍රතිඵලයක්‌ ලෙස දැඩි පාංශු ඛාදනයක්‌ ඇති වීම හා වනාන්තර ගිනි තැබීම් විශාල ලෙස සිදු වීම දැකිය හැකි ය. වී, කුරක්‌කන් හා මෙනේරි වැනි වගා කිරීම් හඳුන්වා දෙන ලද අදින් වසර 4000කට පමණ පෙර කාලයේ දී පමණ අග්නිදිග ආසියාවේ ද මෙවැනි වෙනස්‌කම් ඇති වී තිබේ. එහි දී ද විශාල නිවර්තන වනාන්තර ප්‍රදේශ ගිනි තබා හෙළි පෙහෙළි කොට ඇත. මෙය මෑත කාලයේ දී පාම් තෙල් ශාක වගා කිරීම සඳහා නිවර්තන වනාන්තර එළි පෙහෙළි කිරීම හා සමාන කළ හැකි ය. එයට ද හේතු වී ඇත්තේ ඉහළ ගොස්‌ ඇති ඉල්ලුමයි. මෙවැනි ක්‍රියාකාරකම් නිසා වනාන්තර ගිනි තැබීම පමණක්‌ නො ව ජෛව විවිධත්වය අඩු වීම, පාංශු ඛාදනය වේගවත් වීම හා අදාළ භූමි ප්‍රදේශය වන ගිනිවලට වඩාත් පහසුවෙන් ලක්‌ විය හැකි තත්ත්වයකට පත් වීම සිදු ව තිබේ. මෙය නිවර්තන වනාන්තර මුහුණ දෙන ඉතා බරපතළ තත්ත්වයකි.

වනාන්තර තුළ නගර බිහි වීම


නව තාක්‌ෂණික ශිල්ප ක්‍රම යොදාගනිමින් මෑත දී සිදු කර ඇති අධ්‍යයනවලින් හෙළි වී ඇත්තේ මිනිසුන් නිවර්තන වනාන්තර ඇතුළත සැලකිය යුතු තරම් විශාල නාගරික ජනාවාස ඇති කර තිබෙන බවයි. මීට පෙර අනුමාන කර නො තිබූ තරම් විශාල ප්‍රමාණයේ එවැනි ජනාවාස ඇමෙරිකාවෙන් හා අග්නිදිග ආසියාවෙන් හමු වී තිබේ. විශාල ලෙස ව්‍යාප්ත වූ මේ ජනාවාස ජාල ඇමසෝනියාව, මධ්‍යම ඇමෙරිකාව හා අග්නිදිග ආසියාවෙන් හමු වී ඇත. ඒවා නූතන යුගයේ මෙවැනි ජනාවාස හා නාගරික ජනාවාස පැවැතී ඇති කාලයට වඩා වැඩි කාලයක්‌ පුරා පැවැතී තිබීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ පැරැණි නාගරික මධ්‍යස්‌ථානවලින් ඉගෙනගත හැකි දේ ඇති බව මේ පර්යේෂකයන් ගේ අදහසයි. ඒ දැනුම වර්තමාන නගර මුහුණ දෙන පාරිසරික අභියෝග ජයගැනී ම සඳහා ද යොදාගත හැකි ය. නිදසුනක්‌ ලෙස ගත හොත්, පාංශු ඛාදනය හා විශාල ජනගහනයකට අවශ්‍ය තරම් ආහාර නිෂ්පාදනය කිරීමේ දී කෘෂිකාර්මික පද්ධතිවල අසාර්ථකත්වය අතීතයේ දී මෙන් ම අද දවසේ ද දැකිය හැකි වූ ගැටලු වේ. මායාවරුන් විසූ ඇතැම් ප්‍රදේශවල විසූ ජනතාව අතිරේක ආහාර භෝග ලෙස යොදාගත් ශාක වර්ග සමහරක්‌ වනාන්තර හෙළි පෙහෙළි කිරීමකින් තොර ව, පවත්නා වනාන්තරය ඇතුළත ම වගා කර ඇති බවට සාධක ලැබී ඇත. මෙය වනාන්තර වගා කිරීමක්‌ හෙවත් කිසියම් උදාහරණයක්‌ ලෙස හඳුන්වා දී තිබේ. එහෙත් ඇතැම් ප්‍රදේශවල සිදු ව ඇත්තේ මීට වෙනස්‌ දෙයකි. එහි දී පරිසරයට දරාගත නොහැකි තරම් ප්‍රමාණයෙන් ඒක භෝග වගා කිරීම හා වනාන්තර එළි පෙහෙළි කිරීම නිසා ඉන්පසු දේශගුණයේ පවා වෙනස්‌කම් ඇති වී තිබේ. එහි ප්‍රතිඵලය වූයේ එම ප්‍රදේශයේ ජනගහනයේ පැහැදිලි අඩු වීමක්‌ සිදු වීම ය.

මේ වනගත උපනාගරික ප්‍රදේශ නූතන නගර සඳහා තිරසර ආකෘතියක්‌ ලෙස යොදාගැනීමට ඇති හැකියාව ගැන ද අවධානයක්‌ මේ වන විට යොමු වී ඇත. මේ වනාත්තර ආශ්‍රිත නාගරික ප්‍රදේශ දේශගුණ වෙනස්‌ වීම වැනි තත්ත්ව හමුවේ ඇතැම් අවස්‌ථාවල දී ආහාර සුරක්‌ෂිතතාව තහවුරු කරමින් ස්‌වාරක්‌ෂක කලාපයක්‌ සේ ක්‍රියා කර තිබීම මීට හේතුවයි. මේවායේ දැකිය හැකි ලක්‌ෂණ වන විවිධාංගීකරණය, විමධ්‍යගතකරණය හා නාගරික කෘෂිකාර්මික දිවි පෙවෙත මේ පද්ධතිවල දැකිය හැකි වූ ඔරොත්තු දීමට හේතුව විය හැකි බව මේ පිළිබඳව අධ්‍යයනය කරන විද්‍යාඥයන් ගේ අදහස වේ.

සමස්‌තයක්‌ ලෙස ගත් විට මේ අධ්‍යයනයට සම්බන්ධ කරගත් ජගත් මට්‌ටමේ දත්ත අනුව කරුණු කීපයක්‌ පැහැදිලි ය. ඉන් එකක්‌ වන්නේ, නොඉඳුල් නිවර්තන වනාන්තර පද්ධති සේ සැලකිය හැකි වනාන්තර නොමැති විය හැකි බවයි. එසේ ම දැනට වසර දහස්‌ ගණනක්‌ තිස්‌සේ මිනිසුන් මේ වනාන්තරවලට කළ බලපෑම සිදු වී ඇති බවයි. ඒ අනුව සංරක්‌ෂණ ඉලක්‌ක තීරණය කිරීමේ දී භාවිත කළ හැකි එවැනි දර්ශීය වනාන්තර නොමැති තරම් වේ. අනෙක්‌ අතට නූතන සංරක්‌ෂණ උත්සාහයට ප්‍රයෝජනවත් වන වෙනත් කරුණක්‌ මෙහි දී හඳුනාගත හැකි ය. එනම්, නිවර්තන වනාන්තරවල පුරාවිද්‍යාත්මක ඉතිහාසය හා ඒවා අතීතයේ දී මිනිසුන් විසින් කෙසේ උපයෝගී කරගන්නා ලද්දේ ද යන්න ය.

(මූලාශ්‍රය: Nature Plants, DOI: 10.1038/nplants.2017.93)

http://www.vidusara.com/2017/08/16/feature1.html

Tuesday, June 27, 2017

මොරොක්‌කෝ පොසිල මගින් නූතන මානව සම්භවය තවත් ඈතට?

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 21.06.2017පි 11,  (Vidusara)


http://www.vidusara.com/2017/06/21/feature6.html




Homo sapiens හෙවත් නූතන මානවයාගේ මෙතෙක්‌ අප දැන සිටි පැරැණි ම පොසිල අදින් වසර 195,000ක්‌ පමණ පැරැණි ය. ඒවා ලැබී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ වර්තමාන ඉතියෝපියාව පිහිටා ඇති ප්‍රදේශයෙනි. අදින් වසර 160,000ක්‌ පමණ පැරැණි පොසිල ද එරටින් ලැබී තිබේ. ඒ අනුව නූතන මානවයා ගේ සම්භවය අදින් වසර 200,000ක්‌ පමණ කාලයකට පෙර සිදු වූ බව වැඩි දෙනා ගේ පිළිගැනීම ය. Homo heidelbergensis හෝ Homo rhodesiensis යන මානවයන් ගෙන් නූතන මානවයා අප්‍රිකාවේ දී සම්භවය වී ඇති බව මේ දක්‌වා ලැබී ඇති පොසිල සාධක මත පෙන්වා දී තිබේ.

කෙසේ වෙතත් මේ දිනය පිළිබඳව සැක මතු කරන අධ්‍යයන ද ඇතැම් විට ප්‍රකාශයට පත් ව ඇත. ඒවායින් නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය, වඩා ඈතට ගෙන යැමට යෝජනා කරයි. නිදසුනක්‌ ලෙස ගත හොත් දකුණු අප්‍රිකාවේ ෆ්ලෝරිස්‌බාද් ප්‍රදේශයෙන් හමු වූ අදින් වසර 259,000කට පෙර කාලයකට දින නියම කරන ලද හිස්‌ කබලක නූතන මානවයාට සමීප ලක්‌ෂණ ඇති බව එක්‌ අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ප්‍රවේණික ද්‍රව්‍ය යොදාගනිමින් සිදු කරන ලද තවත් අධ්‍යයනයකට අනුව නූතන මානවයා ඔහු ගේ සමීපතම ඥාතියා වන නියෑන්ඩර්තාල් මානවයා ගෙන් වෙන් වූයේ වසර 500,000කට පමණ පෙර විය හැකි ය. මේ මාසය මුල ප්‍රකාශයට පත් වූ අධ්‍යයන දෙකකින් ද නූතන මානවයා ගේ සම්භවය පිළිබඳ දිනය අදින් වසර 300,000කට පමණ පෙර සිදු වූ බවට යෝජනා කර ඇත. එය මොරොක්‌කෝවෙන් හමු වූ මානව පොසිල සාධක මත පදනම් ව සිදු කරන ලද පර්යේෂණයකි. (මූලාශ්‍රය: Nature, DOI: 10.1038/nature22336 හා 10.1038/nature22335) මේ ලිපිය ඒ අධ්‍යයන ආශ්‍රයෙන් සැකසුණකි.

මොරොක්‌කෝ කැණීමෙන් ලද පොසිල


උතුරු අප්‍රිකාවේ පිහිටි මොරොක්‌කෝවේ අත්ලාන්තික්‌ වෙරළට ආසන්න ව පිහිටා ඇති ජෙබෙල් ඉර්හුඩ් (Jebel Irhoud) නම් ස්‌ථානයෙන් මානව පොසිල මුලින් ම ලැබී ඇත්තේ අහම්බෙනි. ඒ 1961 වර්ෂයේ දී ඛනිජ සොයා සිදු කරන ලද කැණීමකිනි. ඒ අවස්‌ථාවේ දී ලැබුණු පොසිල මානව සාධක පිළිබඳව එම දශකයේ දී වැඩිදුර අධ්‍යයන සිදු කර ඇත. එහෙත් එම මානව පොසිල අස්‌ථි කොටස්‌ හා ගල් ආයුධවල නිශ්චිත භූගෝලීය වයස මෙතෙක්‌ අනාවරණය වී නො තිබිණි. ඒබැවින් එම මානව අස්‌ථි ශේෂ පිළිබඳව විවිධ මත ඉදිරිපත් විය. ඉන් එක්‌ අදහසකින් කියෑවුණේ එම ශේෂ උතුරු අප්‍රිකාවේ විසූ නියෑන්ඩර්තාල් මානවයන් ගේ බවයි. තවත් මතයකට අනුව ඒවා කිසියම් ආදි මානවයකුට අයත් වන අතර, ඔවුන් පසු කලක දී නූතන මානවයන් ගෙන් ප්‍රතිස්‌ථාපනය වී තිබේ.

මේ තත්ත්වය මත 2004 වර්ෂයේ සිට ජෙබෙල් ඉර්හුඩ් ස්‌ථානයේ වඩා පුළුල් පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්‌ සිදු කර ඇත. එහි දී මානව අස්‌ථි ශේෂ 16ක්‌, ගල් ආයුධ හා සත්ත්ව අස්‌ථි ශේෂ

රැසක්‌ හමු වී තිබේ. මේ මානව අස්‌ථි ශේෂ අතර අවම වශයෙන් මිනිසුන් 5 දෙනකුට අයත් වූ හිස්‌කබල්, දත් හා දිගු අස්‌ථි තිබී ඇත. හිස්‌කබල් කොටස්‌, මුහුණේ හා හනු අස්‌ථි කොටස්‌ ඊට ඇතුළත් වේ. මේ සමග මධ්‍ය ශිලා යුගයට අයත් ගල් ආයුධ රැසක්‌ ද ලැබී තිබේ.

හමු වූ ගල් ආයුධ කාල නිර්ණයෙන් පොසිලවල කාලය නිර්ණය කර ඇති අතර, පොසිල අස්‌ථිවල ස්‌වභාවයෙන් පර්යේෂකයන් මේ නූතන මානවයා ගේ පැරැණි ම සාධක බව නිර්ණය කර තිබේ.

පොසිල කාලනිර්ණය


මේ කැණීම්වලින් මානව පොසිල සමග ලැබී ඇති ෆ්ලින්ට්‌ ගල් ආයුධ තාප සංදීප්තතා කාලනිර්ණයට (thermo luminescence) ලක්‌ කිරීමෙන් පෙනී ගොස්‌ ඇත්තේ ඒවා වසර 315,000ක්‌ තරම් පැරැණි බවයි. (පරාසයක්‌ ලෙස ගත හොත් එය වසර 280,000ත් 350,000ත් අතර කාලයකට අයත් වේ.) එසේ ම එම ස්‌ථානයෙන් මින් පෙර හමු වී ඇති දත් පිළිබඳව මානව දත් සම්බන්ධව සිදු කළ විකිරණශීලී යුරේනියම් කාලනිර්ණයකින් ඒ සඳහා වසර 286,000ක දිනයක්‌ ලැබී ඇත. (ඒවා මීට පෙර කාලනිර්ණය කර තිබුණේ වසර 160,000කට ය). එසේ ම මේ මානව පොසිල සමග හමු වී ඇති විවිධ සතුන් ගේ ශේෂ කාලනිර්ණය අනුව ද ඉහත ගල් ආයුධ සඳහා ලැබුණු දින වනවානු සනාථ කරන බව පර්යේෂකයන් ගේ අදහස වේ.

මේ කරුණු අනුව පොසිල වසර 300,000ක්‌ පැරැණි ය යන්න මේ පර්යේෂකයන් ගේ නිගමනයයි. ඒවා මීට පෙර Homo sapiens පොසිල සඳහා ලබා දී තිබූ පැරැණි ම දින වකවානුවලට වඩා වසර 100,000ක්‌ පමණ පැරැණි ය. වෙනත් ආකාරයකින් කිව හොත් මේ පර්යේෂණය මගින් නූතන මානවයා ගේ සම්භවය වසර 100,000ක්‌ පමණ කාලයකින් ඈතට ගෙන යයි.

නුතන මානව පොසිල බව හඳුනාගැනීම


ජෙබෙල් ඉර්හුඩ්වලින් ලැබුණු හිස්‌කබල් අයත් වූයේ කවර මානවයකුට දැයි හඳුනාගැනීමට ද මෙහි දී උත්සාහ දරා ඇත. එම පොසිලවල දත් නූතන මානවයා ගේ දත්වලට වඩා මදක්‌ විශාල ය. එහෙත් ඒවා නියෑන්ඩර්තාල් හෝ වෙනත් ආදි මානවයකු ගේ හෝ දත්වලට වඩා ගැළපෙන්නේ නූතන මානවයා ගේ දත්වලට ය. එසේ ම ලැබුණු මානව අස්‌ථි ශේෂ ආශ්‍රයෙන් ගොඩනගන ලද මුහුණ, නූතන මානවයා ගේ මුහුණ හා සමාන බව පෙන්වා දී තිබේ. කෙසේ වෙතත් මේ පොසිල හිස්‌කබල් නූතන මානවයා ගේ හිස්‌කබලට වඩා මදක්‌ දික්‌ වූ ස්‌වභාවයක්‌ ගනියි. (නූතන මානවයා ගේ ස්‌නායු කපාලය හෙවත් හිස්‌කබලේ මොළය ඇතුළත ප්‍රදේශයේ හැඩය වඩා රවුම් ය). ඒ අනුව ජෙබෙල් ඉර්හුඩ් මානවයා ගේ ස්‌නායු කපාලය (brain case) හා මොළය නූතන මානවයා ගේ මොළයට වඩා වෙනස්‌ ආකාරයකට සංවිධානය වී ඇති බව මේ පර්යේෂකයන්ගේ අදහසයි.

පර්යේෂකයන් පෙන්වා දෙන්නේ ව්‍යqහවිද්‍යාත්මක ව නූතන මානවයා ගේ පරිණාමයේ අනුපිළිවෙළ සම්බන්ධ සාධක මින් ලැබෙන බවයි. නිදසුනක්‌ ලෙස ගත හොත්, නූතන මානවයා ගේ මුහුණේ ස්‌වභාවය ඇති වූයේ ඔවුන් ගේ මොළයේ හැඩය ඇති වීමට පෙර විය හැකි ය. මේ අනුව මොළයේ හැඩය හා ඇතැම් විට මොළයේ ක්‍රියාකාරීත්වය Homo
sapiens මානවයා ගේ පරිණාමය තුළ දී වෙනස්‌ වී ඇති බව පර්යේෂකයන් ගේ අදහසයි.

ජෙබෙල් ඉර්හුඩ්වලින් ලබාගත් මානව ශේෂවලින් DNA ලබාගැනීමට උත්සාහ කර ඇතත් එය අසාර්ථක වී තිබීම අවාසනාවකි.

මානව පරිණාමය සංකීර්ණය


නූතන මානවයා ගේ පරිණාමික ඉතිහාසය මේ අධ්‍යයනය මගින් වඩාත් සංකීර්ණ කර ඇති බව පෙනේ. පර්යේෂකයන්ට අනුව ජෙබෙල් ඉර්හුඩ් පොසිල නූතන මානවයා ගේ නම් ඒවායේ දින වකවානු වැදගත් ය. නැෙගනහිර අප්‍රිකාවෙන් ලැබුණු ශේෂ අනුව සාමාන්‍යයෙන් මානව සම්භවය සඳහා පිළිගන්නා දිනය වන්නේ අදින් වසර 200,000කට පමණ පෙර එය සිදු වූ බවයි. එහෙත් මේ නව පර්යේෂණය අනුව එම කාලය වසර 300,000 දක්‌වා ඈතට යයි. ඒවා මෙතෙක්‌ හමු වූ පැරැණිම නූතන මානව පොසිල වේ.

එසේ ම උතුරු අප්‍රිකාව ද මානව පරිණාමයේ වැදගත් තැනක්‌ ගන්නා බව හෙළි වී තිබීම ද වැදගත් කරුණකි. එසේ නම් මානව පරිණාමය සිදු වී ඇත්තේ නැෙගනහිර අප්‍රිකාවේ පමණක්‌ නො වේ. මේ අනුව පර්යේෂකයන් ගේ අදහස වන්නේ නූතන මානව විශේෂයේ මුල් ම සාමාජිකයන් අප්‍රිකානු මහාද්වීපයේ විවිධ ප්‍රදේශවල පරිණාමය වන්නට ඇති බවයි. මේ පිළිබඳව වැඩිදුරටත් පැහැදිලි කරන පර්යේෂකයන් පෙන්වා දෙන්නේ අදින් වසර 300,000කට පමණ ඉහත දී නූතන මානව විශේෂයේ යම් පැතිරීමක්‌ (dispersal) තිබූ බවයි. එසේ නැත හොත් ඒ ප්‍රදේශවල වාසය කළේ අපේ විශේෂයේ වඩා ප්‍රාථමික ආකාරයක්‌ විය හැකි ය. මේ කාලයේ දී සහරාව ගංගා හා විල් බහුල වූ ගහකොළින් වැසුණු පරිසරයක්‌ වූ අතර, නැෙගනහිර අප්‍රිකාවේ දැකිය හැකි වූ වන සතුන් මොරොක්‌කෝවේ මේ ප්‍රදේශවලද වාසය කළ බව මේ පොසිල සාධක අනුව පැහැදිලි ය.

කෙසේ වෙතත් මේ පර්යේෂණයෙන් හෙළි වී ඇති කරුණු පිළිබඳව මේ විෂය පිළිබඳ විද්‍යාඥයන් අතර කිසියම් මතභේදයක්‌ ඇති බවක්‌ පෙනේ. ඇතැම් අය ඒ නිගමන හා එකග වුව ද තවත් අය ඒ පිළිබඳ සැක කරන බව පෙනේ. මේ මානවයින් Homo sapiens විය හැකි ද යන්න ගැන මේ ඇතැම් විද්‍යාඥයන් සැක ඇති කර ඇත්තේ මේ හිස්‌කබල් හා නූතන මානවයා ගේ හිස්‌කබල් අතර යම් යම් වෙනස්‌කම් ඇති නිසා ය. විශේෂයෙන් කැපී පෙනන කම්මුල් හා නළලක්‌ නො තිබීම නිසා මොරොක්‌කෝ පොසිල නූතන මානවයා ගේ ලෙස නො සැලකිය යුතු බව එක්‌ විශේෂඥයකු ගේ මතය වී තිබේ. එසේ ම නූතන මානවයාට සමාන වූ මුහුණක්‌ ඇති ආදි මානව විශේෂයක්‌ පිළිබඳ සාධක මීට පෙර ස්‌පාඤ්ඤයෙන් ලැබී ඇති බව ද තවත් විද්‍යාඥයකු පෙන්වා දී ඇත.

ආහාරය පිළිබඳ සාධක


මොරොක්‌කෝ කැණීම් මත එම මානවයා ගේ ආහාරය සම්බන්ධව ද මෙහි දී කරුණු අනාවරණය වී ඇත. ඒ එම ස්‌ථානයෙන් හමු වූ විවිධ අස්‌ථි හා කවච වැනි සත්ත්ව ශේෂ අධ්‍යයනය කිරීමෙනි. එහි දී විවිධ සත්ත්ව විශේෂ 472ක්‌ පමණ විශේෂ මට්‌ටමට හඳුනාගෙන ඇති අතර, ඒ අතරින් මිනිසුන් විසින් ආහාරයට ගන්නා ලද විශේෂ හඳුනාගන්නා ලද්දේ කැපුම් සලකුණු හා කැඩීම් සලකුණු මගිනි. එසේ ම වෙනත් සතුන් විසින් මේ සතුන් ආහාරයට ගන්නා ලද බවක්‌ ඒ ලක්‌ෂණ අනුව පෙනී ගොස්‌ ඇත්තේ අඩු වශයෙනි.

හමු වී ඇති සාධක අනුව ගැසල් නම් ඇන්ටිලෝප් සතුන් මේ මානවයන් විසින් වැඩි වශයෙන් ආහාරයට ගනු ලැබ ඇති බව පර්යේෂකයන් පෙන්වා දී තිබේ. එසේ ම සීබ්‍රා, ඉත්තෑවා, හාවා, ඉබ්බා හා මත්ස්‍යයන් වැනි වෙනත් සතුන් මෙන්ම පැස්‌බර බිත්තර ද ඔවුන් ආහාරයට ගෙන තිබේ. එසේ ම මෙහි දී හමු වූ කුඩා සතුන් ගණන අඩු වූ නිසා මේ මානවයන් දඩයම් කිරීමට උනන්දුවක්‌ දැක්‌වූ බව පර්යේෂකයන් ගේ අදහස වේ.