හදවතට දැනුණු සිනමාපටයක් - Heart of the Beast
ධනේෂ් විසුම්පෙරුම
තිරගත වනතුරුම ඒ ගැන අසා නොතිබූ Heart of the Beast නැරඹීමි.
මෙහි කතාව ගෙතී ඇත්තේ ජේම්ස් බෙල්මන්ට් නම් විශ්රාමික හමුදා නිලධාරියෙකු තම හමුදා සුනඛයා වන ඕඩින් සමඟ ඇලස්කාවේ සංචාරය කරද්දී ඇති වූ හදිසි තත්ත්වයක් වටා ය. ඔහුට වැලඳුණු හෘදයාබාධයක් නිසා ගමන් කළ සී ප්ලේන් වර්ගයේ කුඩා ගුවන්යානය කඩා වැටේ. ඉන්පසුව, සැතපුම් 58ක අධික දුරක් ගෙවා ඔහු සිය සුනඛයා ද සමඟ ආරක්ෂිත ප්රදේශයක් වෙත පැමිණෙන ගමනේ ලද අත්දැකීම් මත මේ චිත්රපටය මූලිකවම ගලා යයි. ස්වාභාවික බාධකවලට මෙන්ම වනසතුන්ට ද මුහුණ දෙමින් පැමිණෙන ඒ ගමන අපූරු එකකි. මෙහි දී ජේම්ස් මෙන්ම ඕඩි ද කිහිපවරක් මරණයෙන් ගැලවෙති. අතීතයේ ලද හමුදා අත්දැකීම් මෙහි දී ජීවිත ගලවාගන්නට මෙන්ම ගැලවීම පිළිබඳ විශ්වාසයක් ඇති කරගැනීමට ද හේතු වේ.
මෙය ජීවිතය ගලවා ගැනීමේ උත්සාහය ගැන කියැවෙන 'සර්වයිවල් ත්රිලර්' (survival thriller) වර්ගයේ සිනමාපටයකි. එහි එන ස්වාභාවික පරිසර දර්ශන, ස්වභාවය තුළ අප කවුරුන්ද යනුුුුවෙන් මතුවට ගැටලුව හා මිලිටරි සතුන් පිළිබඳ මගේ ඇති උනන්දුව Heart of the Beast මගේ හදවතට නම් දැනෙන්නට ඇති බව කිව හැකි ය.
එහෙත් මේ චිත්රපටයෙන් තවත් ගැඹුරු දේ මතු වේ.
මේ කතාවේ දැක්වෙන තවත් දෙයක් වන්නේ හුදකලා මිනිසෙකුගේ සිය ජීවිතය මෙහෙයවන ආකාරයයි. දීර්ඝකාලීනව ඇමරිකානු හමුදා සේවයේ යෙදී ඇති ජේම්ස්ම එහි දී පවසන පරිදි ඔහුට කිසිවෙකු නොමැත. චිත්රපටයේ සීමිතව දැක්වෙන පුද්ගල අන්තර්ක්රියාවල දී පවා එසේ සබඳකම් ඇතිකරගන්නට කැමැත්තක් ඇති බවක් ද නොපෙනේ. ඒ නිසා ඔහු හුදකලා ජීවිතයකට හුරු වී ඇති බව පෙනේ. ඔහුට ඇත්තේ සිය සුනඛයා පමණි. එසේම ඔහු මියගිය පසු සිය දේහය නොසෙවිය යුතු බව ඔහු පවසන්නේ එය වනාන්තරයට එක්විය යුතු බැවිනි.
මෙයින් මතුවන්නේ යුද්ධයේ ලද අත්දැකීම්වලින් ලත් පන්නරය නිසා දැඩි කරගත් මනසකින් හා හුදකලා වූ මිනිසෙකු බව සිතේ. ඔහු ජීවිතය වින්දත් ඒ තනිවම ය. හුදකලාවේ ය. එහෙත්, ජේම්ස් පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාවය (Post-traumatic stress disorder - PTSD) හෙවත් පසු කම්පන ආතති තත්ත්වයෙන් පීඩා විඳන බව පෙනෙන්නට තිබේ.
තම තුවාලවලින් මරණය ආසන්න බව දැනගත් මොහොතේ ජේම්ස් පණිවුඩයක් ලියයි. ඒ සිය සුනඛයා සොයාගත්තෙකු වෙත යොමු කරන පණිවුඩයකි. මරණය පෙනි පෙනී සිය ජීවිතයට වඩා සිය ආදරණීයයන් වෙනුවෙන් එවැන්නක් කළ හැක්කේ සාමාන්ය කෙනෙකුට නොවේ (එවැනි සත්ය සිදුවීම් අප අසා ඇති අතර, ඉතිහාසයේ ද සඳහන් වේ). මිනිසාගේ හොඳම මිතුරා සුනඛයා බව මෙහි යළිත් පෙන්වයි.
එසේම, සතුන් පිළිබඳව මෙන්ම, සත්ත්ව සුබසාධනය සඳහා වැදගත් පණිවුඩයක් ද මෙම චිත්රපටය තුළ ඇතුළත් වේ. ඒ සතුන් ද පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතා තත්ත්වයෙන් පීඩා විඳින බවයි. එය එසේ විය හැකි බව විද්යාත්මකව පෙන්වා දී තිබේ. එසේම, යුද්ධවලට සහභාගි වූ සුනඛයන් පසුව වෙනත් පවුල්වල සාමාන්ය සුනඛයන්සේ දිවි ගෙවන බව චිත්රපටය අවසානයේ දී සිහිපත් කරනු ලැබේ. ඒ ඔවුන්ගේ අතීත පීඩාවන් අමතක කිරීමට දායක විය හැක්කකි. (කෙසේ වෙතත්, මේ PTSD තත්ත්වයෙන් පීඩා විඳින්නේ හමුදා සේවයේ සිටි සුනඛයන් පමණක් නොවේ. වෙනත් පීඩාවලට ලක්වන සුනඛයන් ද එසේ PTSD තත්ත්වයට ලක්විය හැකි ය).
යුද්ධ සඳහා සම්බන්ධ වන්නා වූ සතුන් පිළිබඳව අවධානයට ලක් වන්නේ අඩු වශයෙනි. අද දැකිය හැක්කේ අඩුවෙන් වුවත් අතීතයේ පැවති යුද්ධ සඳහා සතුන් බොහෝ සේ සහභාගී වී ඇත. පළමු ලෝක යුද්ධය සතුන් විශාල වශයෙන් යොදාගත් අවසන් යුද්ධය සේ සැලකේ. එසේම සක්රිය සටන් සඳහා අශ්වයින් විශාල ලෙස යොදාගත් අවස්ථා ඒ යුද්ධයේ තිබේ. අශ්වයින් හැර කොටලුවන්, ඔටුවන් හා බල්ලන් මෙන්ම පරෙවියන් වැනි පක්ෂීන් විවිධ කාර්යයන් සඳහා පළමු ලෝක යුද්ධයේ දී යොදාගෙන තිබේ.
එසේම, ඔවුන් සමරන අවස්ථා ද, ඔවුන් වෙනුවෙන් ඉදි කළ සිහිවටන ද ඒ යුද්ධයට සම්බන්ධ වූ රටවල දැකිය හැකි ය. ඒ සමහර ස්මාරක ඉදිකර ඇත්තේ දිගු කාලයකට පසුව ය. එසේම ඇමරිකානු හමුදා සහ ස්වදේශිකයන් අතර ඇති වූ ලිට්ල් බිග්හෝන් සටනේ දී (1876) මියගිය අශ්වයින් වෙනුවෙන් ඇති සමරුව තවත් අමතක නොවන ස්මාරකයකි.
වර්තමානය වන විට හමුදාවල සක්රියව සටන් සඳහා යොදාගැනෙන සතුන් අතර මූලික වන්නේ සුනඛයන් ය. ඒ ඔවුන් සතු සුවිශේෂී හැකියාවන් නිසා ය.
ආපසු චිත්රපටය ගැන කතා කළහොත්, සාර්ථක චිත්රපටයක් යනු මිනිසුන්ම නොවන බව Heart of the Beast පෙන්වා දෙයි. ජේම්ස්ට මෙන්ම ඕඩින්ට සිහිනෙන් පෙනෙන යුද ගැටුම් දර්ශන හැරුණු විට මේ කතාවේ රඟපාන්නේ මිනිසුන් තිදෙනෙකු පමණි. චිත්රපටය පුරාම රඟපාන එකම මනුෂ්ය චරිතය වන ජේම්ස්ට රඟපාන බ්රැඩ් පිට් විශිෂ්ට චරිත නිරූපණයක යෙදේ.
මේ චිත්රපටය ඩේවිඩ් අයර්ගේ අධ්යක්ෂණයකි. කැමරන් ඇලෙක්සැන්ඩර්ගේ රචනයකි.
චිත්රපටයේ ට්රේලර සඳහා - Trailer 1 හා Trailer 2
Photo: www.rollingstone.com
