Wednesday, March 31, 2021

Paper: The Date of the Martello Tower in Hambantota

My latest research article was published recently.

Wisumperuma, Dhanesh, 2015, The Date of the Martello Tower in Hambantota, Journal of the Royal Asiatic Society of Sri Lanka, Vol 60: Part 1, pp. 62-76.

Abstract

The Martello Tower in Hambantota in southern Sri Lanka is the sole example of this fortification type in the country. It is a two storied, round gun-tower on a small hill, designed to be used as a defence structure. Although many agree that this is a British construction, the precise date of this tower was not known mainly due to the lack of records and the fact that several dates between 1796 and 1803 were proposed by various authors. The first mention of its existence was a record from 1806. This paper attempts to present documentary evidence for the date of the construction of the tower. According to records, the construction of the Martello Tower in Hambantota commenced after September 1804 and it was still under construction by May 1805. The construction of the tower was an idea of Major General D.D. Wemyss, Commander of the Forces in Ceylon, who ordered Lt. William Gosset of the Royal Engineers to construct a round tower to accommodate fifty people. It is evident that this tower was not used by the British for defence from the attacks of the Kandyans in Hambantota in 1803, and in fact, the need for such a defensive structure was prompted by those attacks. It appears that this tower has not been tested for enemy attacks.

Full paper: https://www.academia.edu/12628783/The_Date_of_the_Martello_Tower_in_Hambantota

Wednesday, March 10, 2021

ලෝක ආහාර නාස්තියේ තරම

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2021.03.10, පි. 7 (Vidusara)

http://www.vidusara.com/2021/03/10/feature2.html

ආහාර නාස්තිය යනු ආහාර සුරක්ෂිතතාවය හා සම්බන්ධ ඉතා වැදගත් අංශයකි. ආහාර නාස්තිය නිසා ප්‍රයෝජනයට ගත හැකි ආහාර විශාල ප්‍රමාණයක් භාවිතයට ගත නොහැකිව අපතේ යයි. ආහාර නාස්තිය යනු සම්පත් නාස්තියක් බැවින් එය තවත් අංශ ගණනාවකට ද බලපාන්නකි.

මේ පිළිබඳ පසුගිය දා එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) මගින් ප්‍රකාශයට පත් කර ඇති ‘ආහාර අපද්‍රව්‍ය සුචිය 2021 වාර්තාව’ (Food Waste Index Report 2021) නම් වාර්තාව අනුව, ජගත් මට්ටමේ ආහාර නාස්තියේ තරම ගැන පැහැදිලි අදහසක් ලබාගත හැකිය. මේ විෂය පිළිබඳව සිදුකරන ලද වැඩිම දත්ත ප්‍රමාණයක් පාදක කරගත් වාර්තාව ලෙස මෙය හැඳින්වෙයි.

මේ වාර්තාවේ දී ආහාර නාස්තිය සලකා ඇත්තේ ආහාර සිල්ලර අලෙවියේ දී, ආහාර සැපයුම් සේවා (ආපනා ශාලා ආදි) සහ ගෘහස්ථ මට්ටමේ දී අපතේ යන ආහාර ප්‍රමාණයයි. (ආහාර නාස්තියට යන පුළුල් අර්ථදැක්වීමට ආහාර නිෂ්පාදනයේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් ජාලයද අයත් වෙයි).


ආහාර නාස්තිය


මේ වාර්තාවේ පෙන්වා දී ඇති ආකාරයට 2019 වර්ෂයේ දී ලෝකයේ අපතේ ගොස් ඇති ආහාර ප්‍රමාණය හෙවත් ආහාර නාස්තිය ටොන් මිලියන 931ක් පමණ වේ. එය ටොන් 40 ප්‍රමාණයේ ට්‍රක්රථ මිලියන 23කට පිරවිය හැකි ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයට සමානය. එම වාහන ප්‍රමාණය එකිනෙකට යාව සිටින ලෙස පෙළගැස්වුවහොත් ලෝකය වඩා සත් වරක් පමණ පෙළගැස්විය හැකිය.

ආහාර අපතේ යන ස්ථානය අනුව ගත් විට තත්ත්වය මෙසේය. මේ අපතේ යන ආහාර අතරින් 61%ක් පමණම නාස්ති වී ඇත්තේ ගෘහාශ්‍රිතව හෙවත් නිවෙස්වල දී ය. ආපනශාලා ආදියේ දී නාස්ති වී ඇති ප්‍රමාණය 26%කි. එසේම, තවත් 13%ක් පමණ අපතේ ගොස් ඇත්තේ වෙළෙඳසැල්වල දීය.

මේ අනුව 2019 වර්ෂයේ ලෝකයේ මුළු ආහාර නිෂ්පාදනයෙන් 17%කට අධික ප්‍රමාණයක් අපතේ ගොස් ඇත. මේ අතරින් 11%ක් පමණ නිවෙස්වල දී ද, ආපනශාලා ආදි ආහාර සැපයුම් සේවාවලදී 5%ක් පමණ ද, වෙළෙඳසැල්වල දී 2%ක් පමණ ප්‍රමාණයක් ද අපතේ ගොස් තිබෙයි. (මේ හැර, ගොවිපොළ මට්ටමේ දී හා ගොවිපොළේ සිට සිල්ලර අලෙවිසැල දක්වා වූ සැපයුම් මාර්ගයේ දී අපතේ යන ආහාර ප්‍රමාණය ද ගත් විට ලෝකයේ මුළු ආහාර නාස්තිය ආහාර නිෂ්පාදනයෙන් තුනෙන් එකකට ආසන්න විය හැකිය.)

මේ තත්ත්වය ඒක පුද්ගල මට්ටමෙන් ද දැක්විය හැකිය. එක් පුද්ගලයෙකු වර්ෂයකට කිලෝග්‍රෑම් 74ක් පමණ ප්‍රමාණයක් නාස්ති කරයි. ආහාරයට ගත හැකි එහෙත් නාස්තිවන ද්‍රව්‍ය ප්‍රමාණය සලකන්නේ නම්, මේ ප්‍රමාණය එක්සත් රාජධානියේ දී එක් නිවසකට එක් සතියකට ආහාරවේල් අටකට සමාන ප්‍රමාණයකි. මේ ඒක පුද්ගල ආහාර නාස්තියේ අගය, මීට පෙර 2011 වර්ෂයේ දී ගණනය කරන ලද ආහාර නාස්තියේ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ ඉහළ අගයකි.


නාස්තිය සිදුවන්නේ කොතැනකද?


සාමාන්‍යයෙන් විශ්වාසය අනුව ආහාර නාස්තිය බරපතළ ලෙස සිදුවන්නේ දියුණු රටවලය. ඒ රටවල දැකිය හැකි අධිපරිභෝජනවාදී ජීවන පිළිවෙත මේ සඳහා හේතුවෙයි. එබැවින් අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර පරිභෝජනය කරන එවැනි රටවල ආහාර නාස්තියක් සිදුවීම අපේක්ෂා කළ හැකිය.

කෙසේ වෙතත් මේ වාර්තාවේ සැලකිල්ලට ගත් සියලු ප්‍රදේශවලම සැලකිය යුතු ආහාර අපතේයෑමක් සිදු වන බව පෙනේ. ඊට දියුනු රටවල් ද අයත්ය. මේ වාර්තාවේ උපුටා දක්වා ඇති ශ්‍රී ලංකාවේ දත්ත අනුව ගෘහාශ්‍රිතව අපතේ යන ආහාර ප්‍රමාණය වර්ෂයකට, පුද්ගලයෙකුට කිලෝග්‍රෑම් 76ක් පමණ වේ. මෙය 2016 වර්ෂයේ දී පළ වූ සමීක්ෂණයකින් ලබාගත් දත්තය. එහි පෙනෙන පරිදි, මෙරට ඒ ඒ ප්‍රදේශ අනුව ආහාර නාස්තියේ සැලකිය යුතු වෙනස්වීමක් ද දැකිය හැකිය.

මේ වාර්තාවේ යම් යම් සීමා ද ඇත. නිදසුනක් ලෙස දියුණු වන රටවල මේ පිළිබඳව ඇති දත්තවල අඩුවක් සහ හිදැස් පවතී. නිදසුනක් ලෙස දියුණු රටවල දත්ත අනුව ආහාරවල ආහාරයට ගත හැකි කොටස් හා ආහාරයට ගත නොහැකි කොටස් කෙතරම් අපතේ යන්නේ ද යන්න හඳුනාගත හැකිය. එහෙත් දියුණු වන රටවල එම නාස්තිවන ප්‍රමාණ වෙන් කර ගැනීමට දත්ත ප්‍රමාණවත් නැත. කෙසේ වෙතත් දියුණු වන රටවලදී ආහාරයට ගත හැකි ආහාර අපතේ යන්නේ අඩුවෙන් බව දක්වා ඇත.

මෙහි දී පෙනී ගොස් ඇති තවත් කරුණක් වන්නේ COVID-19 නිසා සීමා පනවා තිබූ සමයේ දී ඇතැම් රටවල මේ ආහාර නාස්තිය විශාල ප්‍රමාණයෙන් අඩු වූ බවයි. විශේෂයෙන් ගෘහාශ්‍රිත ආහාර නාස්තිය 2019 වර්ෂය හා සංසන්දනය කරන විය මෙසේ අඩු වී ඇත. ඊට හේතුව වී ඇත්තේ කොවිඩ් රෝගය ව්‍යාප්ත වීම නිසා ආහාර පරිභෝජනයේ ඇති වූ වෙනස්කම්ය. සැලසුම් කර ආහාර ලබා ගැනීම, ආරක්ෂාකාරී ලෙස ගබඩා කිරීම වැනි පියවර මේ සඳහා දායක වී ඇත.


ආහාර නාස්තියේ පරිසර සලකුණ


ආහාර නාස්තිය යනු හුදෙක් ආහාර අපතේ යෑම පමණක් නොවේ. එය ආහාර නිෂ්පාදන ක්‍රියාවලියේ පරිසර සලකුණට ද හේතු වේ. ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා භූමිය අවශ්‍යය. මේ නිසා අලුතින් ඉඩම් සඳහා ඇති ඉල්ලුම නිසා ස්වාභාවික පරිසරය හා ඒවායේ ජෛව විවිධත්වය තර්ජනයකට ලක්ව ඇත. (වර්තමානයේ අපේ රට මේ තත්ත්වය භුක්ති විඳිමින් සිටියි). මේ අපතේ යන ආහාර ප්‍රමාණය අඩු කළ හැකි නම්, ඉඩම් සඳහා ඉල්ලුම අඩු වන අතර ඒ නිසා ජෛව විවිධත්වයට ද ඇති තර්ජනය ද අඩු වේ.

අනෙක් අතට ආහාර නිෂ්පාදනය යනු පරිසර බලපෑමක් ඇති ක්‍රියාවලියකි. ඒ සඳහා භාවිත කරන රසායන ද්‍රව්‍ය නිෂ්පාදනයේ දී මෙන්ම භාවිතයේ ද සැලකිය යුතු පරිසර දූෂණයක් සිදුවෙයි. ආහාර නාස්තිය අඩු කළ හැකි නම්, වැඩියෙන් ආහාර නිෂ්පාදනය කිරීමේ දී ඇති වන මේ පරිසර දූෂණය අඩු කළ හැකිය.

එසේම නාස්තිවන ආහාර නිසා සිදුවන හරිතාගාර වායු විමෝචන මුලු හරිතාගාර වායු විමෝචන අරින් 8-10%ක් පමණ වන බව පැවසෙයි. එසේම කෘෂිකර්මයේ දී නිකුත්වන හරිතාගාර වායු විමෝචන ප්‍රමාණය ද ඉහළය. ආහාර නාස්තිය අවම කළ හැකි නම්, හරිතාගාර වායු විමෝචන ද අඩුකළ හැකිය.

ආහාර නාස්තියක් සිදුවන අතර, ලෝකය පුරා විවිධ රටවල ප්‍රමාණවත් ආහාරයක් නොලැබී කුසගින්නේ පසුවන පිරිස ද මහත්ය. නාස්තිය අවම කළ හැකි නම්, මේ පිරිස‌ට ආහාර ලබා දිය නොහැකි ද යන්න අවධානය යොමු කළ යුත්තකි.


ආහාර නාස්තිය වළක්වමු


අපට අපගේ පාරිසරික පියසටහන අඩු කළ හැකි පහසුම ක්‍රියාවක් ලෙස අපේ ආහාර නාස්තිය අඩු කිරීම සැලකේ. එහෙත් එය එතරම් අවධානයට ලක් කර නොමැති අංශයකි. මෙහි දී රාජ්‍ය හා පුද්ගලික අංශයට කළ හැකි කටයුතු ද ඇති නමුත්, තනි පුද්ගලයින්ට ද කළ හැකි කාර්යයක් ද ඇත. එහෙයින් ආහාර නාස්තිය ගැන ජනතාව දැනුම්වත් කිරීම වැදගත් කරුණකි.

ආහාර නාස්තිය අඩු කළ හැකි පියවර කීපයක් මෙසේ දැක්විය හැකිය.

  • ආහාර ද්‍රව්‍ය වෙළෙඳපොළෙන් මිලදී ගන්නා විට පරිභෝජනයට ගන්නා තෙක් තබා ගත හැකිද යන්න ගැන සැලකිලිමත් වීම - උදා: මේරූ එළවළු හා අධික ලෙස ඉඳුණු පලතුරු වැඩි කාලයක් තබා ගත නොහැකිය. එසේම කල් ඉකුත්වීමට ආසන්න ආහාර ද්‍රව්‍යද මිලදී නොගත යුතුය.
  • අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් ආහාර මිලදී ගැනීම - ඔබට අවශ්‍ය ද්‍රව්‍ය පිළිබඳ ලයිස්තුවක් සකස් කරගෙන ආහාර මිලදීගැනීමට යෑම යෝග්‍යය. එහි දී, නිවසේ තිබේ නම් ශීතකරණය පරීක්ෂා කිරීම ද වැදගත්ය.
  • නිවසට රැගෙන ආ ආහාර ද්‍රව්‍ය භාවිතය තෙක් ආරක්ෂිතව ගබඩා කිරීම - ශීතකරණයේ තැබිය යුතු ද්‍රව්‍ය එහි ද, වියළි ස්ථානවල තැබිය යුතු ද්‍රව්‍ය එවැනි ස්ථානවලද ලෙස.
  • කෑම පිසීමේදී ආහාර ගැනීම සඳහා සිටින පිරිසේ ගණනට හා ආහාර ගන්නා වේල් ගණනට සෑහෙන ආහාර ද්‍රව්‍ය ප‍්‍රමාණයක් තෝරා ගැනීම. සහල් හා වෙනත් ප‍්‍රධාන ආහාරවල මැනීම කළ හැකිය.
  • ආහාර පිසීමේදී අවශ්‍ය ප‍්‍රමාණයට පමණක් පිසීම - ආහාර අපතේ යන එක් ක‍්‍රමයක් වන්නේ අධික ලෙස පිසීමයි (රොස්වූ ආහාර).
  • පිඟානට ආහාර බෙදාගැනීමේදී ආහාරයට ගත හැකි යැයි සිතන ප‍්‍රමාණයට පමණක් ආහාර බෙදා ගැනීම. පළමුව ආහාර අඩු ප‍්‍රමාණයක් බෙදාගෙන එය ආහාරයට ගත් පසු යළිත් බෙදාගැනීම යෝග්‍යය.
  • ආහාර බෙදාගැනීමෙන් පසුව ඉතිරි වූ නැවත පරිභෝජනයට ගත හැකි ආහාර ද්‍රව්‍ය සුදුසු පරිදි තබා ඊළඟ ආහාර වේල සඳහා යොදා ගැනීම.
  • පරිභෝජනයට නොගන්නා ආහාර ද්‍රව්‍ය හිතවතුන්ට හෝ ආහාර අවශ්‍ය පුද්ගලයින්ට ලබාදීම.
  • ඇතැම් ඉතිරි වූ ආහාර ද්‍රව්‍ය ඉවත නොදමා වෙනත් ආහාර පිළියෙළ කිරීමට යොදා ගත හැකිය - බත් හා ඉඳි ආප්ප වියළා රසකැවිලි තැනීම මීට නිදසුනකි.

මූලාශ්‍රය - UNEP Food Waste Index Report 2021

https://www.unep.org/resources/report/unep-food-waste-index-report-2021

Monday, March 8, 2021

කීයද ගාන? (තුන් රෝදයේ කතා 1)

(තුන් රෝදයේ යනෙන අතරේ අහන/දකින/වෙන/ කියන දේවල් ලියන්න හිතන් හිටියෙ කාලෙක සිට. ඒත් පටන්ගන්න හොඳ කතාවක් තිබ්බෙ නෑ. ගිය සතියෙ දවසක ඒ වගේ අත්දැකීමක් ලැබුණා. එකෙන් පටන්ගමු!)


එදා උදේ හයහමාරට විතර ගමනක් යන්න එළියට බැස්සා. ඒ වෙලාවට බස් අඩු නිසා හයිලෙවල් පාරට යන්නෙ තුන්රෝද රථයක. 

හන්දියෙ එක රථයක් වත් තිබ්බෙ නෑ. පාරෙ ගිය රථවල මගීන් හිටියා. ඔන්න ටික වෙලාවකින් ඈතින් වේගෙන් එකක් එනවා පෙනුනා. අත දැම්මාම ඒක නැවැත්තුවා. හිස් රථයක් වූ එහි රියැදුරු වූයේ තරුණයෙක්.

"හයිලෙවල් පාරට යන්න පුළුවන්ද?" මං ඇහුවා.

"පුළුවන්"

"එහෙනං හන්දියට යමු" ඒකට නගින ගමන් මට යන්න ඕන තැන කීවා.

වාහනේ ආපහු ඉගිල්ලුනා.

බැලින්නං මීටරයක් නැති එකක්. කමක් නෑ මං ගාන දන්නවනෙ. උදේමනෙ.

ටිකක් වෙලා ගියාම රියැදුරු තරුණයා මෙහෙම කියනවා. 

"මම යන්නෙ කොළඹ අහවල් හොස්පිටල් එකට. ඒ පැත්තට යනව නම් යන්න පුළුවන්"

මෙයා මගෙන් තව ගානක් කපාගන්න වගේ හදන්නෙ. මට හිතුනෙ එහෙමයි.

"නෑ... මම යන්න ඕන හෝමාගම පැත්තට" මම කීවා. (ඇත්ත හොඳේ).

කොහොමහරි හයිලෙවල් පාරට ආවා. තුන් රෝදෙ හයිලෙවල්ට පාරට දාන්න කලින්ම බහින්න සූදානම් වෙලා මම මෙහෙම ඇහුවා.

"කීයද ගාන?"

"සල්ලි එපා. මම මේ වැඩට යන ගමන්නෙ. මං වැඩ කරන්නෙ අවහල් හොස්පිටල් එකේ" එහෙම කීවා.

මට වචන නැති උනා.

"කමක් නෑ. කීයක් හරි ගන්න. උදේමනේ" මං ආයෙත් කීවා.

"ඕක මොකද්ද... ඕන නෑ..." කී ඔහු, "යන්නම්" කියලා ගියා.

එහෙමත් මිනිස්සු ඉන්නවා... පොරත් එක්ක ටිකක් කතා කරන්න බැරි උන එක ගැන කණගාටුවක් ආවා.


ධනේෂ් විසුම්පෙරුම

2021.03.08