(තුන් රෝදයේ යනෙන අතරේ අහන/දකින/වෙන/ කියන දේවල් ලියන්න හිතන් හිටියෙ කාලෙක සිට. ඒත් පටන්ගන්න හොඳ කතාවක් තිබ්බෙ නෑ. ගිය සතියෙ දවසක ඒ වගේ අත්දැකීමක් ලැබුණා. එකෙන් පටන්ගමු!)
එදා උදේ හයහමාරට විතර ගමනක් යන්න එළියට බැස්සා. ඒ වෙලාවට බස් අඩු නිසා හයිලෙවල් පාරට යන්නෙ තුන්රෝද රථයක.
හන්දියෙ එක රථයක් වත් තිබ්බෙ නෑ. පාරෙ ගිය රථවල මගීන් හිටියා. ඔන්න ටික වෙලාවකින් ඈතින් වේගෙන් එකක් එනවා පෙනුනා. අත දැම්මාම ඒක නැවැත්තුවා. හිස් රථයක් වූ එහි රියැදුරු වූයේ තරුණයෙක්.
"හයිලෙවල් පාරට යන්න පුළුවන්ද?" මං ඇහුවා.
"පුළුවන්"
"එහෙනං හන්දියට යමු" ඒකට නගින ගමන් මට යන්න ඕන තැන කීවා.
වාහනේ ආපහු ඉගිල්ලුනා.
බැලින්නං මීටරයක් නැති එකක්. කමක් නෑ මං ගාන දන්නවනෙ. උදේමනෙ.
ටිකක් වෙලා ගියාම රියැදුරු තරුණයා මෙහෙම කියනවා.
"මම යන්නෙ කොළඹ අහවල් හොස්පිටල් එකට. ඒ පැත්තට යනව නම් යන්න පුළුවන්"
මෙයා මගෙන් තව ගානක් කපාගන්න වගේ හදන්නෙ. මට හිතුනෙ එහෙමයි.
"නෑ... මම යන්න ඕන හෝමාගම පැත්තට" මම කීවා. (ඇත්ත හොඳේ).
කොහොමහරි හයිලෙවල් පාරට ආවා. තුන් රෝදෙ හයිලෙවල්ට පාරට දාන්න කලින්ම බහින්න සූදානම් වෙලා මම මෙහෙම ඇහුවා.
"කීයද ගාන?"
"සල්ලි එපා. මම මේ වැඩට යන ගමන්නෙ. මං වැඩ කරන්නෙ අවහල් හොස්පිටල් එකේ" එහෙම කීවා.
මට වචන නැති උනා.
"කමක් නෑ. කීයක් හරි ගන්න. උදේමනේ" මං ආයෙත් කීවා.
"ඕක මොකද්ද... ඕන නෑ..." කී ඔහු, "යන්නම්" කියලා ගියා.
එහෙමත් මිනිස්සු ඉන්නවා... පොරත් එක්ක ටිකක් කතා කරන්න බැරි උන එක ගැන කණගාටුවක් ආවා.
ධනේෂ් විසුම්පෙරුම
2021.03.08
No comments:
Post a Comment