Wednesday, February 24, 2021

දේශගුණ වෙනස් වීම ජීවීන්ට බලපාන ආකාරය පිළිබඳ මෑතකාලීන පර්යේෂණ

ධනේෂ් විසුම්පෙරුම

විදුසර, 2021.02.24, පි. 11 (Vidusara)

http://www.vidusara.com/2021/02/24/feature4.html

දේශගුණ වෙනස් වීම ලෝකයේ ඇති බරපතළම පාරිසරික ගැටලුව වන බවට කිසිදු සැකයක් නැත. ඒ ගැන කළ යුත්තේ කුමක්දැයි යන්න ගැන එකඟතාවයක් ඇතත්, ඒ සම්බන්ධ කටයුතු ක්‍රියාත්මක වන්නේ සෙමිනි. මේ වන විට ඉදිරිපත්ව ඇති එකම ගිවිසුම වන පැරිස් ගිවිසුම යටතේ ඒ ඒ රටවල් විසින් පොරොන්දු වී ඇති හරිතාගාර වායු විමෝචන සීමා කිරීම අනාගතයේ ඇති විය හැකි බරපතළ බලපෑම් වැළැක්වීමට තරම් ප්‍රමාණවත් නොවන බව දැන් පෙනේ. 

මේ තත්ත්වය එසේ පවත්නා අතර, මේ වන විටත් ලෝකයේ විවිධ ප්‍රදේශවල දේශගුණ වෙනස් වීමේ අහිතකර බලපෑම් දැකිය හැකිය. ඒ අතර වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වන්නේ මිනිසුන්ට බලපාන්නා වූ කරුණු පිළිබඳවය. ස්වාභාවික පරිසරයට හා ජීවීන්ට ඇති වී තිබෙන බලපෑම් ගැන අවධානය යොමු වන්නේ අඩුවෙනි. මිනිසුන්ගේ කටයුතුවල ප්‍රතිඵලයක් වන දේශගුණ වෙනස් වීම නිසා ඊට කිසිසේත් වගකිවයුතු නැති වෙනත් ජීවී විශේෂවලට බලපෑමක් ඇති වීම කණගාටු දායකය. මෙම ලිපිය මෑත කාලයේ දී වාර්තා වී ඇති එවැනි සිදුවීම් කීපයක් පිළිබඳව සිදුකරන්නා වූ විවරණයකි. 


පක්ෂීන්ගේ ව්‍යාප්තියේ වෙනස් වීම


උෂ්ණත්වය ඉහළ යෑමත් සමඟ පක්ෂීන් වාසය කරන අඩවියේ ව්‍යාප්තිය වෙනස්වන බව පෙන්වා දී තිබිණි. ඒ අනුව, වඩාත් ශීත ප්‍රදේශ කරා පක්ෂීන් ව්‍යාප්ත වීම සිදුවේ. නිදසුනක් ලෙස උතුරු අක්ෂාංශ දෙසට හෙවත් උත්තරධ්‍රැවය දෙසට මෙන්ම කඳුකර ප්‍රදේශවල උන්නතාංශ දෙසට ව්‍යාප්ත වීම සිදුවේ. මේ පිළිබඳව මෑත කාලීන අධ්‍යයනයකින් වැදගත් කරුණු රැසක් හෙළි වී ඇත.

රටවල් 48ක පක්ෂි නිරීක්ෂකයන් 120,000ක් පමණ දෙනාගෙන් ලබාගත් දත්ත යොදාගනිමින් සිදුකර ඇති මේ අධ්‍යයනයට අනුව යුරෝපයේ පක්ෂි ගහන සාමාන්‍යයෙන් වර්ෂයකට සාමාන්‍යයෙන් කිලෝමීටරය බැගින් පසුගිය වසර තිහක පමණ කාලය තිස්සේ ක්‍රමයෙන් බැගින් උතුරු දෙසට ව්‍යාප්ත වී ඇත. 

යුරෝපීය අභිජනන පක්ෂි සිතියම (European Breeding Bird Atlas (Ebba 2) නමින් හැඳින්වෙන මෙය වසර හතරක් තිස්සේ සිදුකරන ලද ලෝකයේ විශාලතම මහජන විද්‍යා සමීක්ෂණය ලෙස සැලකේ. එහිදී කිලෝමීටර් මිලියන 11ක පමණ ප්‍රදේශයක පක්ෂි නිරීක්ෂණ වාර්තා ලබාගෙන ඇත. 1980 සිට රැස්කරන ලදුව 1997 දී මුලින්ම ප්‍රකාශයට පත් පක්ෂි නිරීක්ෂණවලට වඩා පක්ෂීන්ගේ අඩවිය කි‌ලෝමීටර් 28ක් පමණ උතරු දෙසට ව්‍යාප්ත වී ඇති බව පෙනෙයි. කෙසේ වෙතත් සියලු පක්ෂීන්ගේ අඩවියේ එක හා සමාන ව්‍යාප්තියක් දැකිය නොහැකිය. පක්ෂි විශේෂ අතරින් 35%කගේ පමණ අඩවිය ව්‍යාප්ත වී ඇතත්, තවත් පක්ෂි විශේෂ 25%කගේ පමණ අඩවිය අඩු වී තිබේ. අනෙක් පක්ෂි විශේෂවල එවැනි කැපී පෙනෙන වෙනසක් සිදු වී නොමැත. මෙසේ තම ව්‍යාප්තිය ඉහළ නංවාගෙන ඇත්තේ වනාන්තර පක්ෂීන් වන අතර, ගොවි බිම් ආශිතව වාසය කරන පක්ෂීන් වාසය කරන ප්‍රදේශය අඩු වී ඇති බව පැහැදිලිය.

නිදසුනක් ලෙස ගතහොත්, මීට පෙර මධ්‍යධරණී ප්‍රදේශවල හමු වූ ඇතැම් පක්ෂි විශේෂ අද වන විට එංගලන්තය, ප්‍රංශය හා නෙදර්ලන්තය වැනි රටවල හමුවේ. ඒ ආකාරයෙන් ව්‍යාප්ත වීමට හේතුව වී ඇත්තේ ශීත ඍතුව අතීතයේ පැවති තරම් අසීරු නොවීමයි. ඒ දේශගුණ වෙනස් වීම නිසා ඇති වූ තත්ත්වයකි. කෙසේ වෙතත් සමහර පක්ෂි විශේෂ මෙසේ ව්‍යාප්ත වීමට බලපා ඇති හේතු අතර, වැඩි ආරක්ෂාවක් ඇති වාසස්ථාන තිබීම හා නීති රීති දැඩි වීම ද තිබෙයි. 


පතනශීලී ශාකවල කලින් කොළ හැලේ


පතනශීලි ශාකවල සරත් ඍතුවේ දී සිදුවන කොළ හැලීයෑමේ ක්‍රියාවලිය අතීතයට වඩා කලින් සිදු වන බව අධ්‍යයනයකින් පෙන්වා දී තිබිණි. ඒ ලෝකය උණුසුම් වීම නිසාය. මෙතෙක් සාමාන්‍යයෙන් විශ්වාස කරන ලද්දේ උණුසුම ඉහළ යෑම නිසා සරත් ඍතුව ආරම්භ වීම පමා වන බවයි. එහෙත් මේ නව නිරීක්ෂණය එම අදහසට වඩා වෙනස් තත්ත්වයකි. සාමාන්‍යයෙන් වසන්ත ඍතුව කලින් එළැඹීම නිසා සෞම්‍ය කලාපීය රටවල දැකිය හැකි වගා සමය දීර්ඝ වන බව සත්‍යයකි. එහෙත් දැන් පෙනෙන පරිදි කොළ හැලෙන කාලය දින 3-6 අතර ගණනකින් ඉදිරියට පැමිණ තිබේ. 

1948-2015 අතර කාලයේ දී යුරෝපයේ ස්ථාන 3,800ක දැකිය හැකි ශාකවල පත්‍ර පතනය වීම් සම්බන්ධ නිරීක්ෂණ 430,000ක් පමණ යොදාගනිමින් හා පරිගණක ආකෘති යොදාගනිමින් තනාගත් දත්ත පද්ධතියක් භාවිතයෙන් මෙය සිදු කර ඇත. එහි දී පෙනීගොස් ඇත්තේ ඉහළ උෂ්ණත්වය හා දිවා කාලයේ දීර්ඝ බව පමණක් නොව, අදාළ ශාක මගින් එම ඍතුව ඇතුළත ගබඩා කර ඇති කාබන් ප්‍රමාණය ද ශාකවල පත්‍ර පතනය විය යුතු දිනය තීරණය කිරීමට හේතු වන බවයි. එය මිනිසෙකු බර ආහාරයක් ගැනීමෙන් පසුව තවත් ආහාර ගැනීමට නොහැකි තත්ත්වයකට සමාන බව මේ ගැන විස්තර කරමින් පෙන්වා දී ඇත. 

මේ තත්ත්වය වැදගත් වන්නේ ශාකවලින් සිදුකරනු ලබන කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ කාර්යය දේශගුණ වෙනස් වීම පාලනය කිරීමට උපකාර වන බැවිනි. එහෙත් සරත් ඍතුව කලින් එළැඹී, ශාකවල පත්‍ර පතනය කලින් සිදුවීම නිසා ශාකවල කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය කරගැනීමේ ක්‍රියාවලියෙන් අපේක්ෂිත ප්‍රතිඵලයේ අඩු වීමක් දැකිය හැකිය. එවිට ශාකවල තිර කරන කාබන් ප්‍රමාණයේ අඩු වීමක් සිදු වෙයි. මෙය ගෝලීය උණුසුම් වීම පමා කිරීම යම් පමණකින් අඩපණ කිරීමට ද හේතුවකි.

මේ ආකාරයෙන් අවශෝෂණය නොකරන කාබන් ප්‍රමාණය කෙතරම් ද යන්න ගණන් බලා නැතත් එය වසරකට කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන එකකට වඩා අධික විය හැකි බව ද පෙන්වා දී තිබෙයි. එම අගය ජර්මනියේ සමස්ත විමෝචන ප්‍රමාණයට සමානය. 

මේ අධ්‍යයනය පළ වී තිබුනේ Science සඟරාවේ ය (මූලාශ්‍රය - Science, DOI: 10.1126/science.abd8911)


තල්මහට බලපෑම


තල්මහ විශේෂවලට දේශගුණ වෙනස් වීම බලපාන ආකාරය ගැන මෑත දී Global Change Biology සඟරාවේ ප්‍රකාශයට පත් අධ්‍යයන දෙකකින් කරුණු අනාවරණය වී ඇත.  

ඉන් පළමුවැන්න දකුණු සාගරයේ දැකිය හැකි බැලීන් තල්මහ කාණ්ඩයට අයත් විශේෂවල ගහන ඉදිරියේ දී අඩු විය හැකි බව මේ එක් අධ්‍යයනයකින් පෙන්වා දී ඇත. මේ අනුව නිල් තල්මහ, වරල් තල්මහ, මොල්ලි තල්මහ හා දකුණු තල්මහ යන සතුන්ගේ පැසිෆික් සාගර ගහනවල අඩුවීමක් මෙන්ම ඇතැම් විශේෂවල වඳවීම් ද 2100 වන විට අපේක්ෂා කළ හැකි බව එහි දැක්වේ. එයට හේතුව එම සතුන්ගේ ආහාර වන කුඩා ක්‍රස්ටේෂියාවන්ගේ ගහන අඩුවීම නිසාත්, එසේ අඩු වී තිබෙන ආහාර සඳහා තල්මහ විශේෂ අතර ඇති වන තරගය නිසාත්ය. මේ ගොදුරුවල අඩු වීම සඳහා හේතු වී ඇත්තේ දේශගුණ වෙනස් වීමය. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.15466)

කැනඩාවේ ශාන්ත ලෝන්ස් බොක්ක ප්‍රදේශයේ වාසය කරන මොල්ලි තල්මහ (hump-backed whale) ගහනයේ පැටවුන් බිහි වීම  පසුගිය වසර පහළොවක පමණ කාලයේ දී අඩු වී ඇති බව දෙවැනි අධ්‍යයනයෙන් හෙළි වී ඇති කරුණයි. 2004-2018 අතර කාලයේ දී මේ සතුන් වාර්ෂිකව පැටවුන් දැමීමේ වේගය කැපී පෙනෙන ලෙස අඩුවී ඇත. මේ කාලය ඇතුළත නිරීක්ෂණය කළ ගැබ් ගැනීම් අතරින් 39%ක් පමණ ප්‍රමාණයකින් ජනිතයන් බිහි වී නැත. වාර්ෂික ගැබ්ගැනීම් වේගයේ සාමාන්‍ය අගය 37%ක් පමණ වුවද, වාර්ෂික පැටවුන් ඇතිවීමේ වේගයේ සාමාන්‍යය 23%ක් පමණ වී ඇත. මේ සඳහා බලපාන්නේ ගැබ් කාලය තුළ හා ඉන්පසු කාලයේ දී අවශ්‍ය ශක්තිය ලබාගැනීමට නොහැකි වීම බව අනුමාන කෙරෙයි. 

මෙසේ අවශ්‍ය තරම් ශක්තිය අහිමි වීමට බලපා ඇත්තේ දේශගුණ වෙනස් වීම නිසා ඉහළ ගොස් ඇති උෂ්ණත්වය හා මුහුදු මට්ටම ඉහළ යෑම නිසා ඇති වී තිබෙන තත්ත්වයයි. මේ අනුව, තල්මහගේ ප්‍රධාන ආහාරය වන හුරුල්ලන් වැනි මසුන්ගේ අඩු වීමක් දැකිය හැකිය. මෙම තල්මහ ද අයත්වන බැලීන් තල්මහ කාණ්ඩයට අයත් තල්මහ විශේෂ ‌දේශගුණ වෙනස් වීමට යම් පමණකින් හෝ ඔරොත්තු දෙන බව මීට පෙර විශ්වාස කරන ලදි. එයට හේතුවන්නේ සංක්‍රමණය රටාවෙනස් කරගැනීම හා එයින් පසුව ගොදුරු වෙනස්කර ගැනීම මගිනි. එසේ සංක්‍රමණ රටා වෙනස්කරගත් තල්මහ වාර්තා වී තිබේ. එහෙත් මේ අධ්‍යයනයට අනුව මොල්ලි තල්මහ සම්බන්ධයෙන් නම් පෙනෙන්නේ එය සීමිත ඔරොත්තු දීමක් පමණක් සිදුවන බවයි. (මූලාශ්‍රය - Global Change Biology, DOI: 10.1111/gcb.14573)

No comments:

Post a Comment