Tuesday, February 23, 2021

හවුස්කෝට් දෙමු (එදිනෙදා කතා 03)

මේක 2000 ගණන්වල මුල වර්ෂයක දී සිදු වූ සිදුවීමක්. ඒ කාලෙ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බරපතළ නියඟයක් ඇති වූවා. වැඩිම බලපෑමක් තිබ්බේ කිරිඳිඔය ව්‍යාපාරයට. 

ඒ වෙලාවෙ අපේ මිනිසුන් අතර තියන පරිත්‍යාගශීලි බව මොනවට පෙන්වා දෙමින් රටේ හැම පැත්තකම මිනිස්සු විවිධ විදියට එක්වෙලා ඒ ගම්වල උදවියට ආධාර කළා. ඇඳුම්, ආහාර ආදිය එකතු කර ගෙන ගොස් බෙදලා දුන්නා.

මමත් සම්බන්ධව සිටි පරිසර සංවිධානයකුත් ඒ කටයුත්තට දායක වුනා. සෑහෙන ආධාර තොගයක් ගෙනගොස් බෙදලා දුන්නා. 

ඉතින් ඒකට සම්බන්ධ වූ අය ඉන්න තැනකදි අපත් එක්ක සමීපව වැඩ කළ ඈත පැත්තක තරුණ ක්‍රියාකාරිකයෙක් මෙහෙම කීවා...

"අනේ අර ..... පැත්තෙ ගම්වල ගෑනු උදවිය දැන් නයිටි ගවුන් ඇදන් පාරෙත් යනවා... ඒ දීල තියෙන්නෙ කොළඹ ගෑනු රෑට ගෙදරට අඳින ඒව... අර ගම්වල ගෑනු ඒව පාරටත් අඳිනව."

ඔහු හරිම සංවේදී විදියට කතා කරන කෙනෙක්. මට මතක විදියට ඒ යනකොට පේන විදියත් පණ පිහිටුවලා වගේ කීවා. දන්නවනෙ නයිට් ගවුන් මහන රෙදි ගැන, ඩිසයින් ගැන...

කොහොම උනත් මේකට උත්තරේ එතන හිටපු ජ්‍යේෂ්ඨ කෙනෙක් දුන්න...

"මේ... උඹ ඕකට බැන බැන ඉන්නේ නැතිව හවුස්කෝට් ටිකක් එකතු කරල බෙදපන්කො"


මේ කතාව හැමදාටම අදාළයි. අනුන් හරි රජයක් හරි කළ හොඳ කටයුත්තක අඩුපාඩු පෙන්වන එක වැදගත්. ඒ වගේම ඒ විවේචකයන්ට පුළුවන් නේද ඒ අඩුපාඩුව හදන්න කටයුතු කරන්න. අඩු ගණනේ ඒකට මූලික පියවර ගන්න? ඒක සුබවාදී විවේචනයක ලක්ෂණයක්.

නිකං අඳුරට බැන බැන නොසිට පහනක් පත්තු කරන්න කියලනේ කියන්නේ. 


ධනේෂ් විසුම්පෙරුම

2021.02.23

No comments:

Post a Comment