Sunday, May 31, 2020

සිතුවාට වඩා කලක් පැවති නියැන්ඩර්තාල් හා නූතන මානව සම්බන්ධය

ධනේෂ් විසුම්පෙරුම


විදුසර, 2020.05.27, පි. 5 (Vidusara)

http://www.vidusara.com/2020/05/27/feature2.html


නුතන මානවයින් සහ නියැන්ඩර්තාල් මානවයින් කිසියම් කාලයක් යුරෝපයේ එකම ප්‍රදේශවල වාසය කළ බව මේ වන විට පිළිගන්නා කරුණකි. නූතන මානවයාගේ සමීපතම ඥාතියා ලෙස සැලකෙන නියැන්ඩර්තාල් මානවයින් වඳවී ගියේ අදින් වසර 40,000කට පමණ පෙර බව සැලකේ. ඒ අනුව එම මානව විශේෂ දෙක අතර විවිධ අන්තර් සම්බන්ෂතා ඇති වූ බව පැහැදිලිය. ඒ සඳහා ප්‍රවේණික හා වෙනත් සාධක මේ වන විට ලැබී තිබෙයි.

මේ මානව විශේෂ දෙක කෙතරම් කාලයකට පෙර එකිනෙකා හමු වූයේද යන්න පිළිබඳ අලුත් තොරතුරු පසුගියදා අනාවරණය වී ඇත්තේ බල්ගේරියාවේ උතුරු ප්‍රදේශයේ ලෙනකින් ලැබී ඇති නූතන මානව අවශේෂ සම්බන්ධව සිදුකරන ලද අධ්‍යයනයකිනි. එම සාධක හිමි මානව ශේෂවල දින නිර්ණය අනුව ඔවුන් වාසය කර ඇති පැරණිම දිනය අදින් වසර 46,000ක් තරම් ඈතට යයි. එය යුරෝපයෙන් ලැබී ඇති නුතන මානවයින්ගේ පැරණිම සාධක වන අතර, ඒවා මෙතෙක් පැවති දිනවලට වඩා වසර දෙදහසක් පමණ පැරණි දිනයකි. ඒ අනුව නුතන මානවයින් හා නියැන්ඩර්තාල් මානවයින්ද මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශයක වාසය කර තිබේ.


කැනීමෙන් අනාවරණය වී ඇති දේ

බල්ගේරියාවේ බචෝ කිරෝ (Bacho Kiro cave) නම් ගල් ලෙනකින් ලැබී හමු වූ මානව අස්ථි හා දත් සම්බන්ධව මේ තොරතුරු අනාවරණය වී ඇත්තේ පසුගියදා පළ වූ අධ්‍යයන වාර්තා දෙකකිනි. ඒවායේ ව්‍යුහවිද්‍යාත්මක වැදගත්කම අනුව ඒවා මානවයින්ට අයත් බව සලකා ඇත. මේ අස්ථි ශේෂ නූතන මානවයින්ගේ බව පෙන්වා දෙන එක් පර්යේෂණ පත්‍රිකාවකින් ඒ දත් නූතන මිනිසාට පිහිටන ඒවා බවත් නියැන්ඩර්තාල් මනෙවයින්ට අයත් නොවන බවත් දක්වා ඇත. එසේම මේ ශේෂවලින් DNA ලබාගැනීමට මේ පර්යේෂකයින්ට හැකියාව ලැබී ඇති අතර, එයින් පෙනීගොස් ඇත්තේද ඒවා නුතන මානවයාට අයත් බවය. මේ අස්ථි ශේෂ සමඟ තවත් පුරාවස්තු ලැබී ඇත. ශිලා ආයුධ හා අස්ථිවලින් කළ ආභරණ මේ අතර වෙයි.

දෙවන අධ්‍යයනය සිදු කර ඇත්තේ මේවායේ කාලනිර්ණය සම්බන්ධවය. එම මානව අස්ථි හා දත් මෙන්ම ඒ සමඟ හමු වී ඇති සත්ත්ව ශේෂවල විකිරණශීලී කාබන් 14 කාලනිර්ණය අනුව ඒවා අයත් වන්නේ අදින් වසර 45,820ත් 43,650ත් අතර කාලයකට බව පෙනී ගොස් ඇත. (මෙහි පැරණිම කාලය වසර 46,940ක් දක්වා විය හැකි බවද දක්වා ඇත) එය අයත්වන්නේ මූලික ඉහළ පුරාශිලා අවධිය (Initial Upper Palaeolithic) ලෙස හඳුන්වනු ලබන අවධියටයි. එය නූතන මානවයින් පිළිබඳව යුරෝපයෙන් ලැබී ඇති පැරණිතම සාධකයක් වේ. මීට පෙර බ්‍රිතාන්‍යයේ කෙන්ට් ප්‍රදේශයෙන් ලැබී තිබූ අස්ථි මගින් ලැබුණු කාලනිර්ණයේ (44,200-41,500 අතර) සහ ඉතාලියේ ස්ථානයකින් ලැබී තිබූ දත්වලට අදාළ කාලනිර්ණයේ (43,000-45,000) දැක්වෙන නූතන මානවයා පිළිබඳ පැරණිතම දිනයට වඩා ස්පාඤ්ඤයෙන් ලැබුණු මේ නව දිනවකවානුවල පැරණිතම දිනව වඩාත් පැරණිය. එසේම බ්‍රිතාන්‍යයේ හා ඉතාලියේ මානව ශේෂ සම්බන්ධව දින නියම කර ඇත්තේ ඒ අස්ථි සමඟ හමු වී ඇති ද්‍රව්‍යවලට දිය නියම කිරීමෙනි. එහෙත් ස්පාඤ්ඤ ලෙනෙහි ලැබී ඇති මානව ශේෂ කාලිර්ණය කිරීමේ දී ඒ සඳහා මානව අස්ථි ද කාලනිර්ණය කර ඇත.


එකම ප්‍රදේශවල ජීවත්වූ ඥාති මානවයෝ

මෙම නව අධ්‍යයනයෙන් නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් කෙතරම් කාලයක් එකම ප්‍රදේශයක ජීවත්වූවාද යන්න ගැන කාලයක් තිස්සේ පවත්නා විවාදයට තවත් සාධක සපයයි. මේ අනුව අවම වශයෙන් මේ මානව විශේෂ දෙක යුරෝපයේ වසර පන්දහසක් පමණ කාලයක්වත් අඩුම වශයෙන් එකම පරිසරයක වාසය කර ඇත. එය මෙතෙක් සිතුවාට වඩා වැඩි කාලයක් එකම ප්‍රදේශවල වාසය කර ඇති බව පැහැදිලිය. ඒ කාලය තවත් වසර 2,000කින් පමණ ඈතට ගෙන යෑමට මේ නව අධ්‍යයනය සමත් වී ඇත.

ඒ කාලයේදී ඒ වන විටත් පිරිහෙමින් පැවති නියාන්ඩර්තාල් ගහන යුරෝපයේ තැනින් තැන ජීවත් වූ කාලයකි. කෙසේ වෙතත් මුළු යුරෝපය පුරාම මේ මානව විශේෂ දෙක අතර පැවතියේ එකම ආකාරයක සම්බන්ධයක් නොවේ. ඇතැම් ප්‍රදේශයවල නියැන්ඩර්තාල් හා නූතන මානවයින් අතර සම්බන්ධය කෙතරම් ද යත්, ඒ විශේෂ අතර අනත්රාභිජනනය සිදුව ඇති බවට සාධක තිබෙයි. මේ වන විට මානව ජෙනෝමයෙන් 1%-4%ක් පමණ ප්‍රතිශතයක් නියැන්ඩර්තාල් ජාන වීම මීට සාක්ෂි වේ. එසේම 2017 වර්ෂයේදී පළ වූ අධයයනයකට අනුව නියැන්ඩර්තාල් මානවයාගේ මුවේ ජීවත් වූ බැක්ටීරියාවක් මිනිසාගේ මුඛයෙන් හමුවීමෙන් පෙනී යන්නේ ද මේ විශේෂ දෙක අතර තිබූ යම් යම් සම්බන්ධතා පිළිබඳවය.
කෙසේ වෙතත් තවත් ප්‍රදේශවල නියැන්ඩර්තාල් මානවයින් හා නූතන මානවයින් සමඟ මිශ්‍ර නොවී හුදකලාව ජීවත් වී ඇත. එසේම නියැන්ඩර්තාල් මානවයින් කෙටි කාලයක් තුළ වඳ වී ගියේ නැති බව මේ වන විට පිළිගැනේ. ඔවුන්ගේ ගහනය අඩු වු බවට සාධක දැකිය හැකිය. නිදසුනක් ලෙස ගතහොත් ඇතැම් ස්ථානවලින් ලැබී ඇති නියැන්ඩර්තාල් ප්‍රවේණික ද්‍රව්‍යවලින් පෙනීගොස් ඇත්තේ සුළු පිරිසක් තුළ ඇති වූ සහාභිජනනය (inbreeding) නිසා ඔවුන්ගේ ජාන කිටුවේ ඇති වූ පිරිහී ගිය තත්ත්වයයි. 

එමෙන්ම මුලින්ම යුරෝපයට පැමිණි නූතන මානවයින් කුඩා ගහන ලෙස පැමිණි බවට සාධක තිබේ. විශාල නියැන්ඩර්තාල් ගහනයක් ජීවත් වූ පරිසරයකදී මේ නූතන මානවයින්ගේ පැවැත්ම ස්ථිර එකක් නොවූ බවක් පෙනේ.DNA සාධක මගින් පෙනී යන්නේ මේ මුල් පදිංචිකරුවන් පසුකාලීන නූතන මානව ගහනවල ජාන කිටුවට දැක්වු දායකත්වය අවම අගයක් වු බවයි.


නියැන්ඩර්තාල් මනවයා පිළිබඳ මෑතදී අනාවරණය වූ කරුණු


නියැන්ඩර්තාල් මානවයා හෙවත් Homo neanderthalensis යනු අදින් වර්ෂ 400,000ත් 40,000ත් අතර කාලය තුළ ජීවත් වූ ආදි මානවයෙකි. ඔහු වාසය කර ඇත්තේ යුරෝපයේ සහ නිරිතදිග හා මධ්‍යම ආසියාවේ බවට සාධක මේ වන විට ලැබී ඇත. නිශ්චිත වශයෙන් නව මානවයකුගේ බව පිළිගත් නියැන්ඩර්තාල් මානව පොසිල මුලින්ම 1856 වර්ෂයේදී හඳුනාගත් ජර්මනියේ නියැන්ඩර් නිම්න ප‍්‍රදේශය නිසා මේ මානවයාට හ් නම යෙදෙයි. එහෙත් මේ මානවයාට අයත් පොසිල ඉන් පෙර ද සොයා ගෙන තිබේ. 1829 දී වර්තමාන බෙල්ජියමෙන්, 1848 දී ජිබ්රල්ටාර් ප‍්‍රදේශයෙන් ද හමු වූ හිස්කබල් මීට සාධක වේ. මේ මානවයා නූතන මිනිසා හෙවත් Homo sapiens ගේ වඩාත්ම සමීපතම මානවයා සේ සැලකේ. 
 
මෑත කාලයේදී නියැන්ඩර්තාල් මානවයින් පිළිබඳව සිදු කර ඇති පර්යේෂණ තොරතුරු අනුව පහත සඳහන් වැදගත් කරුණු අනාවරණය වේ.

  • නියැන්ඩර්තාල් මිනිසා අප්‍රිකාවෙන් පිටවීම - නියැන්ඩර්තාල් මානවයින් අදින් වසර 400,000ත් 800,000ත් අතර කාලයකට ඉහත දී අප‍්‍රිකාවෙන් පිටතට ව්‍යාප්ත වූ බවට සාධක තිබේ. ඔවුන්ගේ පරිණාමයේ වැඩි කොටසක් නූතන ප‍්‍රංශය, ස්පාඤ්ඤය, පර්මනිය හා රුසියාවේ ඇතැම් ප‍්‍රදේශවල සිදු වී ඇති බව පෙන්වා දී තිබේ. සම්පූර්ණ නියැන්ඩර්තාල් ලක්ෂණ සහිත මානවයින් දැකිය හැක්කේ වර්ෂ 130,000කට පමණ ඉහත පටන් බවට ද අදහසක් ඇත.
  • නියැන්ඩර්තාල් ආහාරය - නියැන්ඩර්තාල් මානවයින් වැඩි වශයෙන් ආහාරයට ගන්නා ලද්දේ වෙනත් සතුන්ගේ මස් බව කලක් තිස්සේ තිබූ පිළිගැනීමය. එහෙත් මේ මානවයින් ශාකමය ද්‍රව්‍යද යම් පමණකින් හෝ ආහාරයට ගත් බවට මේ වන විට පවත්නා පළමු ඍජු සාධක ස්පාඥ්ඤයේ ලෙනකින් ලැබුණේ 2014දී පමණය. මේ අනුව දේශගුණික හේතුන් මත නියැන්ඩර්තාල් මානවයින් ශාකමය ආහාර ද ගත් බව සිතිය හැකිය.
  • නියැන්ඩර්තාල් ගෙනෝමය - 1997 දී නියැන්ඩර්තාල් මානවයින්ගේ ගෙනෝමය අධ්‍යයනය කිරීම ආරම්භ වූ අතර, මේ වන විට සිතියම්ගත කර ඇත. ඒ අනුව අප‍්‍රිකානුවන් නොවන නූතන මානවයින්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතරින් 1%ත් 4%ත් අතර ප‍්‍රමාණයක් පැමිණ තිබෙන්නේ නියැන්ඩර්තාල් මානවයින්ගෙන් බව අධ්‍යයන ගණනාවකින් හෙළි වී තිබෙයි. නියැන්ඩර්තාල් හා වර්තමාන මිනිසුන් පිරිසකගේ ගෙනෝමය සංසන්දනය කිරීමෙන් ඇතැම් රෝග සඳහා අදාළ වන DNA කොටස් නියැන්ඩර්තාල් මානවයින්ගෙන් ලැබී ඇති බව පෙනී ගොස් ඇත. ඒ ප‍්‍රවේණික ද්‍රව්‍ය වර්තමාන අප‍්‍රිකානු මිනිසුන්ගේ ප‍්‍රවේණික ද්‍රව්‍ය අතර නොතිබීම හෝ ඉතා අඩු වශයෙන් පැවතීමෙන් පෙනෙන්නේ නියැන්ඩර්තාල් ප‍්‍රවේණික ද්‍රව්‍ය සම්මිශ‍්‍රණය වීම සිදු වී ඇත්තේ අප‍්‍රිකාවෙන් පිටතට පැමිණි නූතන මානවයාගේ ආදිතමයින් සමඟ බවය.
  • සංජානන හැකියාව - 2018 වර්ෂයේදී පළ වූ අධ්‍යයනයකින් පෙන්වා දෙන ලද්දේ ස්පාඤ්ඤයේ ලෙන් ගණනාවකින් හමු වූ පුරාශිලා චිත්‍ර නියැන්ඩර්තාල් මානවයින් විසින් නිර්මාණය කරන ලද බවයි. ඒවායේ දින වකවානු අනුව ඒවා අදින් වර්ෂ 64,800කට වඩා පැරණිය. ඒ කාලය නූතන මානවයින් එම ප්‍රදේශයේ වාසයට පැමිණීමට පෙර කාලයකට බව ඉතා පැහැදිලිය. ඒ අනුව නියැන්ඩර්තාල් මානවයින්ට සංකේතාත්මක චින්තනයේ හා කලාත්මක හැකියාවක් තිබූ බව පැහැදිලි විය.
  • වඳ වී ගිය දිනය - නියැන්ඩර්තාල් මානවයින් යුරෝපයෙන් වඳ වී යාම ගියේ අදින් වසර 39,000ත් 41,000ත් අතර කාලයක දී බව 2014 වර්ෂයේ දී පෙන්වා දෙන ලද්දේ 95%ක විශ්වසනීයත්වයකින් යුක්තවය. නූතන මානවයින්ගෙන් ඇති වූ තරඟය හා නූතන මානවයින් සමඟ මිශ‍්‍ර වීම ද මේ මානවයාගේ වඳ වී යෑමට හේතු වූ බව විශ්වාස කරනු ලැබෙයි. එසේම නියැන්ඩර්තාල් ගහනවල ජාන කිටුව ද පිරිහී ගොස් තිබිණි.


මූලාශ්‍ර

Nature Ecologt and Evolution, DOI: 10.1038/s41559-020-1136-3
Journal Link - https://www.nature.com/articles/s41559-020-1136-3

Nature, DOI: 10.1038/s41586-020-2259-z
Journal Link - https://www.nature.com/articles/s41586-020-2259-z

No comments:

Post a Comment